- Advertisement -

චර්යාබාධ ගැටලු හා කලහාකාරී හැසිරීම් රටා දරුවෙක් උපතින්ම රැගෙන එනවාද?

-

දරුවෙකුගේ චර්යාබාධ ‍හා සමාජ විරෝධි චර්යාත්මක ගැටලු කෙරෙහි බලපාන ජීව විද්‍යාත්මක සාධක, පාරිසරික සාධකයන්ටත් වඩා දීර්ඝ කාලීනව මෙන්ම ස්ථිර ලෙස බලපවත්වනු ලබන ප්‍රබලතම සාධකයක් ලෙස හැඳින්විය හැකියි. 

දරුවන්ගේ චර්යාබාධ සඳහා බලපාන ජීව විද්‍යාත්මක සාධක

- Advertisement -
  • මොළයට සිදුවන හානි සහ ව්‍යුහාත්මක අසාමාන්‍යතාවයන්
  • ස්නායු සම්ප්‍රේෂණ නියමයන් අසමතුලිත බව
  • ස්නායු ක්‍රියාවලියේ දුබලතා
  • ජානමය සාධක

මොළයට සිදුවන හානි සහ ව්‍යූහාත්මක අසාමාන්‍යතාවයන්

සමාජ විරෝධි හෝ චර්යාත්මක ගැටළු සඳහා කම්පනයන් හේතුවෙන් මොළයට සිදුවන හානි මෙන්ම මොළයේ ව්‍යුහාත්මක අසාමාන්‍යතා සහ කෘත්‍යයන් මූලික භූමිකාවක් සිදුකරන අතර මොළයේ ලලාට ඛණ්ඩිකාව (Frontal Lobe) තුල සිදුවන ක්‍රියාකාරිත්වය මෙහිදී වැදගත් වේ. මූලික වශයෙන් විධායක ක්‍රියාකාරිත්වයන් පිළිබඳ වගකීම, උසස් මට්ටමේ ක්‍රියාවලීන් මෙන්ම මෙම කලාපය පුද්ගලයකුගේ විනිශ්චයන්, චිත්තවේග පාලනයන්, සැලසුම් පවත්වා ගැනීම් ආදිය සම්බන්ධව වගකීම දරනු ලබයි. මේ අනුව පුද්ගලයකුගේ මෙම ලලාට ඛණ්ඩිකා කලාපයට උපන් අවස්ථාවේදි සිදුවන හානි හෝ ලලාට ඛණ්ඩිකාවේ ව්‍යුහාත්මක අසාමාන්‍යතා උපතින්ම ඇතිවීම හෝ සමාජ විරෝධි හැසිරීම් සඳහා වන මූලික රෝගී ලක්‍ෂණ කෙරෙහි සම්බන්ධ වන බව පෙන්වා දෙයි. ලලාට ඛණ්ඩිකාව ඉරීම හෝ තුවාල වීම සෘජුවම පුද්ගලයෙකුගේ ආවේගික හා චිත්තවේගික ක්‍රියාවලීන් සඳහා සම්බන්ධ වන අතර මෙය සමාජ විරෝධි කලහකාරී හැසිරීම්වලට බලපාන බව කියවේ. එමෙන්ම ඇමිග්ඩලා ප්‍රදේශය චිත්තවේග, හැඟීම්, භාවයන් සහ එම භාවමය ප්‍රතිචාරයන් සඳහා විශේෂිත කලාපය වන බව පෙන්වා දෙන අතරම මෙම ප්‍රදේශය හීනවීම හෝ ඇමිග්ඩලා කලාපයට හානි වීම උද්වේගකර කලහකාරී හැසිරීම් මෙන්ම දුබල භාවමය නියාමනයන් සහ සදාචාරාත්මක ප්‍රතීයමානයන් කෙරෙහි සතිය අවම වීම කෙරෙහි ද බලපාන  බවට විෂයානුබද්ධ විශේෂඥ වෛද්‍යවරුන් කරුණු අනාවරණය කරයි. 

ස්නායු සම්ප්‍රේෂණ නියමයන් අසමතුලිත බව

චර්යාබාධ කෙරෙහි ඇති ජීව විද්‍යාත්මක බලපෑම් පිළිබඳව විමර්ශනයේ දී ස්නායු සම්ප්‍රේෂණ වෛද්‍යවරුන් විසින් ඉතා වැදගත් සාධක කීපයක් පෙන්වා දෙනු ලබෙන ආකාරය පිළිබඳව  මෙන්ම චර්යාත්මක ගැටළු සහ සමාජ විරෝධි හැසිරීම් කෙරෙහි ස්නායු සම්ප්‍රේෂණ අසමබර වීම බලපාන ආකාරය ද පෙන්වා දී ඇත. ස්නායු සම්ප්‍රේෂණ අතර සෙරටොනින් ස්නායු සම්ප්‍රේෂණය මෙහිලා ප්‍රධාන භූමිකාව නියෝජනය කරයි. මොළයේ සෙරටොනින් ක්‍රියාකාරිත්වයේ දෝෂ චර්යාබාධ හැසිරීම් සඳහා හේතුකාරක වේ. සෙරටොනින් සම්ප්‍රේෂණය අවම වීම උද්වේගකර හැසිරීම්, චිත්තවේග ගමන් කිරීම්, කඩාකප්පල්කාරී වීම  යන සියලු චර්යාත්මක ගැටළු කෙරෙහි බලපායි. මස්තිෂ්ක සුෂුම්නා ගමන් පථයේ සෙරටොනින් පරිවෘතිය අවම වීම කලහකාරී සමාජ විරෝධි හැසිරීම් කෙරෙහි බලපායි.

සෙරටොනික් නියුරෝ සම්ප්‍රේෂණයේ බලපෑම පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් සිදු කළ අධ්‍යයනවලට අනුව වයස අවුරුදු 15ක අපරාධකරුවෙකු ලෙස සිරගත වූ චර්යාබාධ රෝගයෙන් යුත් යෞවනයාගේ රසායනික ද්‍රව්‍ය හා සාමාන්‍යය යෞවනයින් 10 දෙනෙකුගේ ස්නායු රසායනයන් සමඟ සංසන්දනය කිරීමෙන් සෙරටොනික් නිෂ්පාදන ක්‍රියාවලිය හා ඇමයිනෝ ඇසිඩ් යන රසායනික ඉතා ඉහළ අගයකින් වෙනස් වී ඇති ආකාරය දැකගන්නට ලැබුණි. මෙම ඇමයිනෝ අම්ල ක්‍රියාකාරිත්වයේ ඉහළ අගය තුලින් සෙරටොනික් පරිවෘත්තිය ක්‍රියාවලිය ඉහළ දමන අතර මෙසේ සෙරටොනික් පරිවෘත්තිය ක්‍රියාවලිය අසමතුලිත වීම තුලින් කලහකාරී හා අපරාධ චර්යා තුල නියැලීමට අවශ්‍ය ඉන්ධන හා පසුබිම සලසා දෙයි‍. මෙම පර්යේෂනවලට අනුව අපරාධ හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් ප්‍රකට කරන්නන්ගේ නියුරෝ සම්ප්‍රේෂණ ක්‍රියාවලිය මුළුමනින්ම අසාමාන්‍ය බව සනාථ කර ඇත.

ජානමය සාධක

මේ සම්බන්ධව සිදු කළ විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ ජානමය බලපෑම ළමා කාලයේ චර්යාබාධවල ලක්‍ෂණයක් වන දැඩි හැඟීම් (Callus emotion) නොමැති ස්වභාවය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති බවයි. මෙම රෝගී තත්වයෙන් පෙළෙන්නන් දඬුවම් කෙරෙහි දක්වන්නේ ද අසංවේදී මානසික තත්ත්වයකි. මේ පිළිබඳව තවදුරටත් පෙන්වා දෙන පරිදි මෙම යෞවනයින්ගේ ප්‍රමාණවත් නොවන චිත්තවේගී හැසිරීම් ප්‍රතිචාර දැක්වීමේ කුසලතාවය නිසි පරිදි වර්ධනය නොවීමට ඔවුන් සමාජානුයෝජනය වීමේදී සිදුවන දුබලතා හේතුවන වන බව ද අවධාරණය වේ. සමාජානුයෝජන සහ ධනාත්මක අත්දැකීම්වල ඇති හිඟකම චිත්තවේගී ප්‍රතිචාරාත්මක චිත්තවේග නිවැරදිව හසුරුවා ගැනීමේ කුසලතාවය වර්ධනය නොවීමට හේතුවක් වේමෙවැනි හැසිරීම් සහිත ළමුන්ගේ චිත්තවේග කළමනාකරණය කිරීමට නොහැකි ගැටළුවේ ප්‍රතිඵලය වන්නේ ඔවුන්ගේ පාලනය කරගත නොහැකි, කළමනාකරණය කරගත නොහැකි කෝපය ආවේග තුල සහ සමාජ විරෝධි ක්‍රියා තුලට ඇතුල්වීමයි.

පූර්ව යොවුන්විය එනම් අවුරුදු 6 13 අතර ළමුන් 166 පර්යේෂණයට ලක්කරමින් ඔවුන්ගේ දුෂ්කෘත්‍යයන් සඳහා බලපානු ලබන හේතු සම්බන්ධව සිදුකරන ලද ගවේෂණයකදී වයස, ලිංග භේදය, ජාන විකාශන විද්‍යාව, ජන වර්ගය, සමාජ ආර්ථික මට්ටම, බුද්ධි මට්ටම් වැනි සාධක අනුව චර්යාබාධ රෝගීත්වය පිළිබඳ ලැබෙන ලක්‍ෂණ තොරතුරු විවිධාකාර බව වටහා ගත් අතරම ඒ අනුව චර්යාබාධ අවධානම් සාධක මෙන්ම හේතු විද්‍යාව පිළිබඳව කරනු ලබන ගවේෂණ ඉතා සංකීර්ණ විවිධ බැරූරුම් ස්වරූපයක් ගනියි. මව්පිය සබඳතාවය දුබල චර්යාබාධ සහිත යෞවනයින්ගේ ප්‍රතිවිරුද්ධ චිත්තවේග ප්‍රතිචාර (Opposing emotional responses) ප්‍රදර්ශනය වන බව ප්‍රකට වන අතර මේ සඳහා ස්නායු විද්‍යානුකූල මනෝ විද්‍යාත්මක චර්යාත්මක සාධක බලපානු ලබයs.

චිත්තවේග ප්‍රතිචාර කෙරෙහි බලපානු ලබන සාධක පිළිබඳව කතා කිරීමේදී චර්යාබාධ ගැටළු සඳහා මොළයේ සුවිශේෂ කලාප තුල සිදුවන වෙනස්කම් පිළිබඳව ස්නායු මනෝ විද්‍යාඥයින්ගේ කරුණු අනාවරණය කර ඇත. FMRI ස්කෑන් පරීක්ෂණය (Functional magnetic resonance imaging) මගින් චර්යාබාධ ගැටළු ප්‍රකට වන ළමුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හඳුනා ගෙන ඇත. 

මෙම පර්යේෂණ වාර්තාවට අනුව මෙම ස්කෑන් පර්යේෂණ සඳහා වයස අවුරුදු 10 -16 අතර චර්යාබාධ සහිත යෞවනයින් තෝරාගෙන ඇති අතර මෙහිදි අවධානය යොමුකර ඇත්තේ දැඩි හැඟීම් රහිත (CU Trails) ගති ස්වභාවය ඇති චර්යා ගැටළු පෙන්වන යෞවනයින් කෙරෙහිය. මෙම දැඩි හැඟීම් රහිත වූවන්ගේ මොළයේ ඇමිග්ඩලා ප්‍රදේශය භීතිය හා සම්බන්ධ ගැටළු උත්තේජනයට දුබල ප්‍රතිචාර දක්වා ඇත. එමෙන්ම තවත් පර්යේෂණයක් තුලින් භීතියට දනවන උත්තේජනයකදී ජීව විද්‍යාත්මක ප්‍රතිචාරය මැන බැලීම සිදුව ඇති අතර දඬුවම් පිළිබඳව අවස්ථා මැවීමේදී ඔවුන්ට ඒ පිළිබඳව ඇති බියජනක බව පිළිබඳව ද සංවේදීතාවය කෙබඳුදැයි නිරීක්‍ෂණය කිරීම සිදුකර ඇත. මේ අනුව Chronic CD සහ CU Trail ගැටළු ඇති ඇති සහ නැති අය ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල පෙන්වා ඇත. ඉහළ මට්ටමේ CU Trail සහිත චර්යා ගැටළු ඇති යෞවනයින් දඬුවම් කෙරෙහි දක්වා ඇති භිය හා සංවේදිතාවය දුබල බව වාර්තා වේ. CU Trail වැඩි ළමුන් බිය ගැන්වීමේ ප්‍රතීක ක්‍රියාවලිය දුබල බවත් සංවේදිතාවය දුබල බවත් මෙම පර්යේෂණය මගින් පෙන්වා දෙයි.

පිරිමි දරුවන් වීම

සමාජ විරෝධි හැසිරීම් තුල නිරතවන්නන්ගෙන් බහුතරය පිරිමි දරුවන් බවට සනාථ කර ඇත. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙම පිරිමි දරුවන් තුළ ක්‍රියාකාරී වන ටෙස්ටෙස්රෝන් හෝමෝනය, ආබාධ තුල ප්‍රබල භූමිකාවක් සිදුකරන බවයි. පිරිමින්ගේ කලහකාරිත්වය තුල නිසඟවම අධිකව ක්‍රියාත්මක වන ටෙස්ටෙස්රෝන් කාන්තාවන් තුළ ඔසප් සමය තුල අධිකව ක්‍රියාකාරී වේ. කාන්තාවන් විසින් සිදුකරනු ලබන අපරාධාත්මක චර්යාවලින් බහුතරයක් ඔසප් සමය තුල ක්‍රියාත්මක වන බව පර්යේෂණ වාර්තාවලින් පෙන්වා දෙයි. මේ අනුව කලහකාරී තත්වය සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම ටෙස්ටෙස්ටරෝන් මගින් සපයනු ලබන බව ජීව විද්‍යාඥයින්ගේ පිළිගැනීමයි.

ස්නායු පිරිසැකසුම් අසාමාන්‍යතාවය 

චර්යාබාධ යෞවනයාගේ ගැටළුව සඳහා හේතු වන තවත් ජීව විද්‍යාත්මක සාධකයක් ලෙසට  ස්නායු පිරිසැකසුම් අසාමාන්‍යතාවය (Neural Processing Abnormalities) හේතුවන ආකාරය ද විද්‍යාඥයින් පෙන්වා දෙනු ලැබේ. චර්යාබාධ, යෞවනයාගේ කලහකාරී හැසිරීම් අතර ප්‍රභලව ප්‍රදර්ශනය කරනු ලබන චිත්තවේගික ප්‍රතිචාරාත්මක හැසිරීම් ලෙස අන් අයට විරුද්ධව පහරදීම්, ප්‍රචණ්ඩකාරී බව, බැන වැදීම් වැනි චර්යාවන් බහුලය. මෙවැනි අවස්ථාවල නිරන්තරව නියැලීම සමග සහකම්පනයේ ඌණතාවය හේතුකාරක වේ. පර්යේෂණාත්මක අනාවරණවලට අනුව යෞවනයින්ගේ මොළයේ ස්නායු සැකසුම් තුල සහකම්පනය සම්බන්ධ මොළයේ කලාප සෙසු පාලිත කණ්ඩායම් සමග සංසන්දනයේදී වෙනස් ප්‍රතිචාරයන් දක්වා ඇත.

මේ සඳහා කලහකාරී චර්යාබාධ ඇති යොවුන් දරුවන් අට දෙනෙකු සහ සාමාන්‍ය දරුවන් අට දෙනෙකුගේ මොළයේ FMR ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ඇති මොවුන්ගේ සහකම්පන ප්‍රතිචාර පරීක්ෂා කිරීමේදී චර්යාබාධ සහිත යෞවනයින්ගේ මොළයේ ස්වයං නියාමන සිද්ධාන්තයන් සහ සාදාචාර තර්කන ක්‍රියාවලියන් මෙන්ම ප්‍රජානන වැනි ක්‍රියාවන් සඳහා ද හේතු කාරක වන Cingulate Cortex සහ Orbital Frontal Cortex වැනි මොළයේ කලාප ක්‍රියාකාරී නොවී පැවති අතර පාලිත කණ්ඩායමේ මෙකී අදාළ කලාප ක්‍රියාකාරිත්වය ප්‍රදර්ශනය කර ඇත. මෙම පර්යේෂණය තුලින් දොම්නස් සහගත තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම ලෙස සිදුවෙන සහකම්පන ප්‍රතිචාරයන් චර්යාබාධ යෞවනයා තුළ අඩු බවට නිගමනය වී ඇත.

ජානමය සාධක 

සමාජ විරෝධි ක්‍රියාවන් සඳහා ආරමය බලපෑම පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ බොහොමයකි. ඒ මගින් සමාජ විරෝධි චර්යාවන්වල නිරත වන රෝගීන්ගෙන් 65%ක ප්‍රතිශතයකට එම ස්වභාවය සඳහා ආරමය බලපෑම් ඇති බව හඳුනාගෙන ඇත.

චර්යාත්මක අක්‍රමිකතා සහ සමාජ විරෝධි හැසිරීම් කෙරෙහි බලපානු ලබන සාධක ඉතා විවාදාත්මක මෙන්ම සංකීර්ණ බවට පත්ව ඇත. මේ අතර චර්යාබාධ සඳහා හේතු විද්‍යාව තුල මෙම ජානමය සහ පාරිසරික සාධක පිළිබඳව ඇති මතවාද ප්‍රබල වේ. බොහෝ පර්යේෂකයින්ගේ මතය වන්නේ ජානමය මෙන්ම පාරිසරික සාධක යන දෙකම රෝගීන් කෙරෙහි බලපාන බවයි. බොහෝ පර්යේෂකයන් දක්වන අදහස්වලට අනුව  ඇතැම් අය තුළ ජානමය හෝ ආරමය බලපෑමක් කිසිසේත් නොමැතිමුත් පාරිසරික සාධක මත පමණක්ම සමාජ විරෝධි චර්යා කෙරෙහි ඔවුන් යොමුව ඇත. එනම් චර්යාබාධ සඳහා ජීව විද්‍යාත්මක බලපෑමක් නොමැතිව උත්පත්තිය ලද දරුවෙකු වුවද පසුව සෘණාත්මක පාරිසරික බලපෑම් මත වර්ධනය වීමේදී එනම් ආතති ජනක පසුබිමක් තුළ හැදී වැඩීමේදී ඔහු හෝ ඇය තුල ජීව විද්‍යාත්මක අසමතුලිතතා වර්ධනය වීමට ඉඩ ඇති බවයි. නිදහසුන් ලෙස ස්නායු සම්ප්‍රේෂණ අසමබර වීමටත් (Neuro Chemical Imbalance) ස්නායු සැකසුම් අසාමාන්‍ය වීමටත් සෘණාත්මක ආතති ජනක පරිසරය තුළ කුඩා කල සිටම දීර්ඝ කාලීනව දරුවකු හැදී වැඩේ නම් ජීව විද්‍යාත්මක අසාමාන්‍යතා ඇතිවීම කෙරෙහි බලපෑමක් සිදුවිය හැකි බවයි. 

බොහෝ මනෝ විද්‍යාඥයින් දරණ අදහසට අනුව ජීව විද්‍යාත්මක සාධක මත පමණක්ම නිසා හෝ පූර්ණ වශයෙන්ම පාරිසරික සාධක පමණක්ම නිසා හෝ දරුවන් තුළ චර්යාබාධ/කලහකාරී හැසිරීම් රටා ඇති විය නොහැක. ජීව විද්‍යාත්මකව උපතින්ම ගැටලු ඇති දරුවෙකු සුදුසු පරිසර සාධක යටතේ ඇති දැඩි වීමේදී චර්යාමය ආබාධ ඇති වන ප්‍රවණතාවය අවම බවත් ජීව විද්‍යාත්මකව අංග සම්පූර්ණව උපත ලද දරුවෙක් නුසුදුසු වටපිටාවක එනම් නුසුදුසු පරිසර සාධක සහිතව ඇති දැඩි වන්නේ නම් එම දරුවා චර්යාබාධ මෙන්ම කලහකාරී හැසිරීම් රටා පෙන්නුම් කිරීමට ඇති ප්‍රවණතාවය වැඩි බවයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්යය කුමුදු ඒකනායක

නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article