- Advertisement -

අලුත උපන් දරුවාගේ උපත් බර අඩු වීම ගැටලුවක් ද?

-

දහසක් පැතුම් මැද්දේ වේදනා විඳ මොලොවට බිහි කළ දරු පැටියා රැගෙන නිවසට එන ඕනෑම මවකට ගැටලු රාශියක් ඇති විය හැකියි. ඒ අතරින් මව්කිරි දීම අම්මා මෙන්ම කිරි කැටියාටත් අලුත් අත්දැකීමක් නිසා මවත් දරුවාත් අපහසුතාවයට පත් වීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ කෙසේ වෙතත් අවසානයේ දරුවාගේ බර වැඩි වීම අත්‍යවශ්‍යම කරුණයි. දරුවාගේ බර වැඩිවීමක් දක්නට නොලැබුණහොත් මවට දැනෙන්නේ වරදාකාරී හැඟීමක් වුවත් එය මවගේ වරදක් නොවන බව ස්ථිරවම කිව හැකිය. 

අලුත උපන් නිරෝගී දරුවෙකුගේ උපත් බර 3kg – 3.5kg අතර ප‍්‍රමාණයක් වන අතරම සාමාන්‍යයෙන් උපත් බර 2.5kg ට වඩා වැඩි වීම හොඳ බර ප්‍රමාණයක් ලෙස සැලකෙනවා. එසේම උපත් බර 2.5kg ට වඩා අඩු වුවහොත්  උපත් බර අඩු දරුවෙකු ලෙස සැලකෙනවා. එයට හේතු විය හැක්කේ නොමේරූ ළදරුවෙක් වීම, නියමිත දිනට පෙර ඉපදීම, මවගේ රෝග තත්ත්ව වැනි හේතු නිසා විය හැකිය. බොහෝ විට ගර්භයට සති 37 සම්පූර්ණ වීමට පෙර ඉපදුණු දරුවන් එනම් ප‍්‍රාග් පරිනත දරුවන් වගේම ගර්භාෂය තුල වැඩීම බාල වූ දරුවනුත් උපත් බර අඩු දරුවන් විය හැකියි.

- Advertisement -

ළදරුවෙකුගේ උපත් බර අඩු වීමට හේතු 

  • අම්මගේ වයස 20 ට අඩු හෝ 35 ට වැඩි වීම
  • මාතෘ මන්ද පෝෂණය
  • මවගේ රෝග තත්ත්ව
  • නිවුන් දරුවන්
  • මවගේ දුම් පානය/මත්ද්‍රව්‍ය භාවිතය
  • පියා දුම්පානය හෝ දුම්පානය කරන තැන්වල ගැවසීම
  • ගර්භාෂයේ විකෘතිතා
  • භ‍්‍රෑණ විකෘතිතා 
  • මවගේ අධික සිත් තැවුල 

එවැනි යම් හේතුවක් මත දරුවෙකුගේ උපත් බර අඩු වුවත් උපතින් පසු දරුවාට ලැබෙන නිසි පෝෂණය හේතුවෙන් උපත් බරට අනුපාතිකව දරුවාගේ බර වැඩි වීම සිදු වේ. 

උපතින් පසු මුල් දින කිහිපයේදී බොහොමයක් ළදරුවන්ගේ බර උපත් බරට වඩා අඩු විය හැකි වුවත් දින 14 ක පමණ කාලයක් ගතව යද්දී උපත් බර ඉක්මාවා යා හැකියි. මුල් දින වල බර අඩු වීම උපත් බරින් 10% ක් වැනි ප්‍රතිශතයක් විය හැකි අතර එය ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් පහළ බසී නම් එය සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර එවිට දරුවාගේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි ඔබට ක‍ටයුතු කිරීමට සිදු වනු ඇත. 

හොඳ උපත් බරක් ඇතිව ඉපදෙන දරුවන්ගෙන් උපත් බර අඩු වීම මුල් දින වලදී අඩු වෙන්නේ ඇයි?

එයට බලපාන මූලිකම හේතුව වන්නේ දරුවාට ලැබෙන තරල ප‍්‍රමාණය අඩු වීමයි. උපතින් පසු මිකෝනියම් පිට වීමත් මුත‍්‍රා පිටවීමත් සිදු වන අතර ඒ පිටවීමට සරිලන ලෙසින් සිරුරට තරල ප‍්‍රමාණයක් නොලැබේ. මුල් දිනවල මව්කිරි වලින් ලැබෙන කොලස්ට‍්‍රම් ප‍්‍රමාණවත් අවශ්‍ය සියලු පෝෂක අඩංගු පෝෂකයක් වුවත් එය ලැබෙන්නේ කුඩා වුනාට ප‍්‍රමාණයකිනි. මව‍කගේ පියයුරේ සාමාන්‍ය ලෙස කිරි නිෂ්පාදනයට දින තුනක පමණ කාලයක් ගත වේ. 

දරුවා ඉපදී මුල් පැය ½ හෝ පැය ඇතුලත මව්කිරි ආරම්භ කිරීමෙන් කිරි නිෂ්පාදනයට ප‍්‍රබල උත්තේජනයක් සැපයිය හැකියි. එසේම දරුවාට කිරි ලබාදීම සඳහා මවට හුරු වීමටත් යම් කාලයක් ගත වන අතරම මවට පමණක් නොව දරුවාටද මේ අත්දැකීඹ නිසි ලෙස විඳගැනීමට දින දෙක තුනක් ගත වේ. පළමු දරුවා බිහි කළ මවකට එක්වරම මව්කිරි දීමට හුරු විය නොහැකි විය හැකි නිසාම මෙවැනි කරුණු හේතුවෙන් මුල් දින කිහිපය තුළ මව්කිරි ලබාදීමේදී යම් යම් ගැටළු ඇති විය හැකියි. 

ඒවගේම ප‍්‍රසූතියෙන් පසු මවගේ වේදනා, අපහසුතා වගේම ඇය ලැබූ අත්දැකීමත් හේතුවෙන් ඇති වූ තත්ත්වයන් ද මව්කිරි නිෂ්පාදනයට බලපෑමක් ඇති කළ හැකි අතරම මවට මෙන්ම ළදරුවාටත් මෙලොවට බිහිවී පෙකෙණි වැල හරහා මව සමග කිබූ සම්බන්ධය නතර වීමත් සමගම අවශ්‍ය පෝෂණය ලබා ගැනීම වෙනුවෙන් වෙහෙස වීමට සිදු වීම නිසා යම් යම් ගැටලු ඇති විය හැකියි. 

මෙසේ මුල් දින කිහිපයේ ඇති විය හැකි මේ සියලු කරුණු ගත් කළ ඒවා හේතුවෙන් ළදරුවාගේ උපත් බරින් 10% ක බර අඩු වීමක් ඇති වීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. නමුත් මවගේ කැපවීම, දැනුවත් වීම හේතුවෙන් ළදරුවාට මව්කිරි ලබාදීමේ ක‍්‍රමවේදය සාර්ථක වීම මත වගේම දරුවා ඊට එකතුවන අන්දම අනුව දින 14 වන විට දරුවාගේ උපත් බරට වඩා වැඩි වීමක් දැකිය හැකියි. මෙම සිද්ධිය පරිසරය, ලබන අත්දැකීම් මත සිදුවන සංසිද්ධියක් හෙයින් එය ස්වභාවික තත්ත්වයකි. මේ නිසා මුල් දින 10 තුලදී 10% කින් බර අඩු වීම පිළිබඳව මව්වරු කනස්සල්ලට හෝ බියට පත් විය යුතු නොවේ. 

එහෙත් මෙසේ අඩු වන උපත් බර අඩුවීමේ ප්‍රතිශතය 10% ඉක්මවා යන්නේ නම් එය පැහැදිලිවම යම් ගැටළුවක් වන අතරම එය හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. එහිදී දරුවාගේ පාර්ශවයට මෙන්ම මවගේ පාර්ශවයටද යම් ගැටලු තිබිය හැකිය.

දරුවගේ

  • කිරි උරා බීම‍
  • කිරි උරා බීමට දරුවා ගත කරන කාලය
  • දරුවාට කිරි දීමට මව ස්ථාපිත කර ගන්නා අන්දම
  • පියයුර හා මුඛය සම්බන්ධ වීම නිවැරදිව සිදු නොවීම 

මවගේ 

  • ධෛර්ය
  • ආත්ම විශ්වාසය
  • මවට ඇති වන බිය/වේදනාව
  • කනස්සල්ල 

මීට අමතරව නොමේරූ දරුවකු නම් කිරි උරා බීමට අපහසු විය හැකියි. එසේම දරුවා තුල ඇති රෝග හැම විශේෂයෙන් හෘද රෝග, තල්ල/මුඛය ආශ‍්‍රිත විකෘතිතා මෙන්ම ආහාර මාර්ග පද්ධතිය/ජීර්ණ ක්‍රියාවලිය සම්බන්ධ ගැටළු නිසාවෙන්ද බලාපොරොත්තු වන බර වැඩි වීම අපේක්‍ෂා කල නොහැකියි. 

මෙවන් විටකදී පුහුණු සෞඛ්‍ය සේවිකාවකගේ, විශේෂයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සේවය ලබාගැනීම තුලින් මවට පහසුවෙන් මෙම තත්ත්වයට මුහුණ දීමට හැකි වෙනවා මෙන්ම එය නිරාකරණය කරගැනීමටද අවස්ථාව ලැබෙනු ඇත.  

මේ නිසා ඉපදී මුල් දින කීහිපය තුල උපත් බරට වඩා බර අඩු වීම විය හැකි නිසා එය අවබෝධ කරගැනීමත් ඒ අනුව අවශ්‍ය කරන දැනුමින් පරිපූර්ණ වීමත් කුසලතා වර්ධනය කර ගැනීමත් මගින් සියලු කටයුතු ජයගත හැකියි. එසේ හෙයින් උපන්දා සිට දරුවාට අවශ්‍ය පමණට කිරි සැපයීමට උනන්දු වීම මගින් දරුවාගේ වර්ධන ගැටළු අවම කරගැනීමටත් මවගේ කනස්සල්ල නැති කර ගැනීමටත් හැකි වනු නොඅනුමානයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article