දරුවන් ගැන කථා කිරීමේදී අප විසින් මතක තබා ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. එනම් දරුවා කියන්නේ කුඩා කරන ලද වැඩිහිටියෙක් නම් නොවෙයි. ඒ වගේම යුනෙස්කෝ නිර්වචනයට අනුව දරුවා කියන්නේ වයස අවුරුදු 18 ට අඩු සාමාජිකයෙක් බව ඇත්ත. ඔවුන් මව්පියන්ගේ ආහාර මගින් පෝෂණය වෙන සමාජයේ වගකීමක් නොලද පිරිසක් වුනත් මනෝවිද්‍යාඥයන්ගේ පිලිගැනීමට අනුව ළමා වයස සහ තරුණ වයසට පිවිසෙන කාලය සැබැවින්ම කුනාටු සමයක්. ඉතින් මේ කුනාටු කාලයේදී දරුවන් නිසි ලෙසින් රැක බලා නොගතහොත් අනාගතයේදී ඔවුන් මුහුණ දෙන ශාරිරික සහ මානසික අර්බුදයන්හි වැඩි බරක් වැඩිහිටියන් විසින්ද බාර ගැනීමට සිදු වෙනවා.
දරුවන් මුහුණ දෙන ශාරිරික සෞඛ්‍ය ගැටලු…
අද පවතින තරඟකාරී අධ්‍යාපනය නිසා දරුවන්ට අතිරේක පංති වෙනුවෙන් සහභාගී වීම අනිවාර්යෙන්ම විය යුත්තක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම ඔවුන් සොයන්නේ හොඳම පංතිය. හොඳම පංතිය තිබෙන්නේ ආසන්න නගරයේ. ඒ වෙනුවෙන් කිලෝමීටර් ගණනාවක දුරක් ගෙවාගෙන යන්නත් සිදු වෙනවා. එහෙම නැත්නම් නේවාසිකව ඉගෙන ගැනීම වැනි විකල්පයක් සොයා ගැනීමට සිදු වෙනවා.
ඉතින් මේ වගේ දුරක් ගෙවා ගෙන යන දරුවා පංතියට යෑමට පාන්දරින් පිටත් වෙන විට අම්මාට ඔවුන් වෙනුවෙන් හොඳ පෝෂ්‍යදායී ආහාරයක් සකස් කරන්න අවස්ථාවක් නැති බව කියනවා. නමුත් එය එතරම් සාධාරණ නැහැ. දරුවා වෙනුවෙන් කැප වෙන මවක් නම් පෙරදා රාත්‍රියේ වුනත් පහසුවෙන් සකස් කර ගත හැකි එළවළුවක් , පලා මැල්ලුමක් පසුදාට සකස් කිරීමට පහසු වෙන සේ සූදානම් කරන්න පුළුවන්. අතීතයේ ශිතකරණ නොතිබුන යුගයක වුනත් අම්මා කියන චරිතය රාත්‍රියේ පරිප්පු ව්‍යංජනයක් සකස් කරලා එය ලිප අසල තබා පසුවදාට පොල් සම්බෝලයක් සහ කරවල බැදුමක් සමග දරුවාගේ බත් මුල වැරැද්දුවේ නැහැ.අදටත් මේ විදිහට පහසු ක්‍රම ගලපා ගන්න පුළුවනි.
උදේ ආහාරය වැදගත්…
සාමාන්‍යයෙන් අපි දන්නවා උදේ ආහාරය රජෙක් වගේ ගත යුතුයි. නමුත් අද දරුවන්ගේ වරදින්නේම උදේ ආාහරය නිසා ඔවුන් මුල් කර ගත් සෞඛ්‍ය ගැටලු බොහොමයක් තිබෙනවා. විටමින් සහ අයඩින් ඌනතාවයන් නිසා දරුවන්ගේ බුද්ධි වර්ධනය, උස පිලිබඳ ගැටලු වගේම ධාරණය පිලිබඳ ප්‍රශ්නත් ඇති වෙනවා. ඒ වගේම වැඩි වේලාවක් නිරාහරව සිටීම නිසා මිග්රේන් හිසරදය, ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්වයන් අද නව යොවුන් දරුවන් අතර ඉතා බහුලයි. ගැහැනු දරුවන් අනාගත මව්වරුන් බවට පත් වීමේදී පවා අද ඔවුන් මුහුණ දෙන පෝෂණ ගැටලු බලපානවා.ඒ නිසා දරුවාගේ පෝෂණය වෙනුවෙන් අම්මා කෙනෙකුගෙන් වැඩි දායකත්වයක් ලැබීම වැදගත්.
අපේ දරුවා ගුණ දෙයක් කන්නේ නැහැ..
ඔව් ඒක ඇත්ත. නමුත් ගුණදායක එළවලු, පලා වැනි දේ දරුවා නොකනවා නම් එය වෙනස් විදිහකින් පිලියෙළ කරන්න පුළුවනි. පලා මැල්ලුම එපා කියනවා නම් නිවසේ සිටින දිනයකදී කොළ කැඳ කෝප්පයක් සකස් කර දෙන්න අපහසුවක් නැහැ. ඒ වගේම වර්ණවත් එළවලු යොදා ගෙන රසවත් සහ අලංකාර බතක් සකස් කරන්න පුළුවනි. පාසල් යන දරුවාට වුනත් කැරට්, බෝංචි, බිත්තර සහ ගොටුකොල ටිකක් ලියා ගෙන වර්ණවත් අන්දමින් බතක් සකස් කර දුන්නොත් එයින් යම් පෝෂණයක් දරුවාට ලැබෙනවා. සොසේජස් බනිස් එකකින් හෝ පැටිස් එකකින් වේල සපුරන දරුවා මේ අන්දමේ රසවත් සහ ලස්සන බත් කටක් දෙකකින් වුනත් යම් අන්දමකින් කුස පුරවා ගැනීම වගේම පෝෂනයත් ලබා ගැනීමට සමත් වෙනවා.
වතුර පානය කිරීම…
පාසල් යන වයසේ දරුවන් ජලය පානය කිරීමේ ඇති ගැටලුව පිටුපසින් තිබෙන්නේ ඉතාම ශෝකාකූල තත්වයක්. ඔවුන් ජලය පානය කිරීමට සමානුපාතිකව මුත්‍රා පිට වීම සාමාන්‍ය සිදුවීමක්. ඒ නිසා කිසිසේත්ම දිනකට අවශ්‍ය ජලය ලීටර් දෙකක ප්‍රමාණය දරුවන්ට සපුරන්න බැහැ. ප්‍රවාහනයේ වැඩි වේලාවක් නිරත වීම, වැසිකිලි ගැටලු නිසා ඔවුන් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය වලක්වා ගැනීමට ජලය පානය කිරීමෙන් වලකිනවා. නමුත් මේ අවස්ථාවන්හිදී ඇති වෙන පිපාසය කෘතිම සහ පැනි බීම මගින් සපුරා ගැනීම තත්වය තව දුරටත් නරක අතට පත් කරනවා කිව්වොත් නිවරැදියි. සිරුරට අවශ්‍ය ජලය නොලැබෙන නිසා මුත්‍රා ආසාදන, වකුගඩු ගල් ඇති වීමේ අවදානම ඔවුන්ගේ තරුණ කාලයේදීම ඇති වෙන බවත් අමතක කරන්න එපා.
ඒ නිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමට අවස්ථාවක් නොලැබෙන නිසා දරුවන් නිවසේ සිටින දවසට වුනත් ජලය වගේම මුත්‍රා කාරකයන් ලෙස සැලකෙන තැඹිලි, බාර්ලි රනවරා, බෙලි මල් වැනි දියර වර්ග පානය කිරීම වැදගත්.
ළමා වයසේ දියවැඩියාව…
මෑතකදී මගෙන් ප්‍රතිකාර ගැනීමට වයස අවුරුදු 13 ක දියණියක් ඇගේ මව සමග පැමිනියා. දියණිය තරබාරු බව බැලු බැල්මට පෙනුනා.රෝග විස්තර සහ රුධිර පරීක්ෂනයකින් පසුව ඇය ළමා අවධියේ දියවැඩියා රෝග තත්වය හෙවත් ඔහචැ 2 දියවැඩියා රෝග තත්වයෙන් පසු වෙන බව තහවුරු වුණා.
දියණියගේ හැසිරීම ගැන අසන විට ඇගේ මව කියා සිටියේ නිතරම පොත් කියවීම ඇගේ විනෝදංශය බවයි. පොත් කියවීම ඇත්තටම දරුවන්ට හොඳයි. නමුත් මේ දියණිය ඇගේ මල්ලි සමග හෝ නිවසේ සිටින බලු පැටියා සමගවත් සෙල්ලම් කිරීමක් නැහැ. පොත් කියවීම ඇගේ ජීවිතය බවට පත් වී තිබුනා.
පුටුවෙන් ඇඳට…ඇඳෙන් පුටුවට..
මේ වගේම අද අපේ බොහෝ දරුවන් විභාග නිසාම ජීවිතයේ ක්‍රියාශීලිත්වයක් නැහැ. අතීතයේ දරුවන් ළමා කාලයේදී කණ්ඩායම් විදිහට සෙල්ලම් කලා..ඇළ දොළ පිහිනුවා. නමුත් ඔවුන් අතරිනුත් අනන්තවත් වෛද්‍යවරුන්…ඉංජිනේරුවන් සහ පරිපාලන ක්ෂෙත්‍රයේ ඉහළ තනතුරුවල නිළධාරීන් බිහි වුණා. සෙල්ලම් කිරීම නිසා දරුවන්ගේ ශාරිරික ක්‍රියාශීලිත්වය ඇති වෙනවා. මොළයට හොඳින් ඔක්සිජන් පරිවහනය වෙනවා.එය ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් වගේම ශාරිරික නිරෝගිතාවයටත් වැදගත්.
ඉස්සරකාලයේ අධි රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරගත අහිතකර කොලස්ටරෝල් වැනි ලෙඩ රෝග වාර්තා වුනේ වයස අවුරුදු 40 ඉක්ම වූ පිරිස වෙතින් වුනත් අද මේ රෝග දරුවන් අතරත් දකින්න ලැබෙනවා. ඒ නිසාම අනාගත දිනකදී දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ගේ අවමංගල්‍යට සහභාගී වීමට සිදු වෙන තරම් අවාසනාවන්ත දිනයක් උදා වෙන බවටත් සෞඛ්‍ය වෘත්තිකයන් අනාවැකි පළ කරනවා. ඉතින් අපි මේ අනාවැකි සැබෑ නොවන්න කටයුතු කිරීම වැදගත්. දරුවන්ට සෙල්ලමට ඉඩ දෙන්න, විභාගය ජීවිතය නොවන බව කියා දෙන්න.
මානසික ගැටුම්…
කුනාටු සමයත් දරුවන්ට ඇති වෙන මානසික ගැටුම් ගැන වැඩිහිටියන් සැලකීමක් ඇත්තේම නැහැ. තරුණ වසසේ දියණිවරුන් නිතරම තමා සෙසු ගැහැණු දරුවන් සමග සංසන්දනය කරනවා. එයින් පසුව මම කළුයි..මිටියි..කොණ්ඩය ලස්සන නැහැ. මුහුණේ කුරුලෑ තියෙනවා. මගේ යාලුවෝ ලස්සනයි. වැනි සිතුවිලි මත තමන් ගැන අවතක්සේරුවක් ඇති කර ගන්නවා. පිරිමි දරුවන් තමන්ගේ රැවුල, මාංශ පේශි වැනි ශාරිරික ලක්ෂණ මුල් කර ගෙන විවිධ මානසික ගැටුම් ගොඩ නගා ගන්නවා.
ඒ අතර දෙමව්පියන් විසිනුත් සසංන්දය මුල් කර ගෙන දරුවන්ට පීඩනයක් ලබා දෙනවා. අහවල් දරුවා විශිෂ්ඨ සම්මාන තුනක් අරගෙන මුල් වතාවෙම වෛද්‍ය පීඨයට ගියා. ඔයා තුන් වතාවක් කරලත් යාන්තමින් පාස් වුනා විතරයි. විභාග මානසිකත්වය දරුවන්ට දැරීම පහසු නැහැ. අපේ රටේ හැම වසරකදීම උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමෙන් සතියක් දෙකක් ගෙවෙන විට දරුවන් සිය දිවි හානි කර ගැනීම් වාර්තා වෙන රහස පිටුපස තිබෙන හේතුව දැන් ඔබටත් තේරුම් යනවා ඇති.
හොඳ සවන් දෙන්නෙක් අවශ්‍යයි…
අපේ දරුවන් අතර ඇති වෙන පාසල් ප්‍රේමය ගැන සඳහන් කලොත්…එක් දවසක් මගේ පංතියේදී පුංචි පිරිමි දරුවෙක් මගේ බෙල්ල බදා ගෙන “ සර් මට බයයි..මාව බේරා ගන්න කිව්වා.මම පුංචි පුතා ළඟට අරගෙන ආදරයෙන් විස්තර ඇහුවා. ගැහැනු ළමයෙක් ආදරය ප්‍රකාශ කරපු ලියුමක් පුතාට දීලා. ඔහුට මෙය දරා ගන්න බැහැ.නමුත් ඔහු මේ විස්තරය අම්මාටත් කියා තිබුනා. දරුවා ඉල්ලන්ගේ චිත්තවේග ආරක්ෂාවක්. මේ වගේ අවස්ථාවලදී ඔහුගේ චිත්තවේග සුරකින්න කෙනෙක් නොසිටියොත් තත්වය දරුණු වෙනවා.
සිය දිවි හානි කර ගත්තාට පසුව පශ්චාත් මරන පරීක්ෂනය අවශ්‍ය නැහැ…
මෑත කාලයේදී තරුණ හෙවත් ගැටවර වයසේ දරුවන් අතර සිය දිවි හානි කර ගැනීම් අවාසනාවන්ත විදිහට ඉහළ ගියා. දරුවන්ට ප්‍රශ්න නැහැ කියල අපි හිතුවට ඔවුන්ටත් ප්‍රශ්න තියෙනවා. වරද ඇත්තේ දරුවන්ට ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. දරුවෙක් සිය දිවි හානි කර ගැනීමෙන් පසුව සම වයස් කණ්ඩායම් මුහුණු පොතේ සටහන් තබනවා.වැඩිහිටියන් දරුවාගේ මරණයට හේතු සාධාරණ කරනවා. එහෙම නැත්නම් දරුවන්ට දොස් නගනවා.නමුත් අපේ පශ්චාත් මරණ පරීක්ෂන හෝ වැලපීම් කිසිම ප්‍රතිඵලයක් නැහැ. නමුත් අපි අවදි විය යුතුයි. තවත් තරුණ දරුවෙක් මේ තත්වයට පත් නොවන්නට කටයුතු කිරීම වැඩිහිටියන්ගේ වගකීම විදිහට සලකන්න ඕන.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
වෛද්‍ය කිත්සිරි දිසානායක