- Advertisement -

බබා බයයි…

-

බිය කියන්නේ අපේ එදිනෙදා මුහුණ දෙන ජීවිතයේ  සුලබ චිත්තවේගයක්. මේ තත්වය අපේ ජෛව රසායනික ක්‍රියාවලිය  සමග වගේම එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස්. වගේම ඇතැම් අවස්ථාවලදී බිය අපේ ජීවිතයේ පැවැත්මට හිතකර විදිහටත් බලපානවා. සමාජයේ නීතිය කැඩුවොත් ලැබෙන  දඩුවමට අපි බිය නිසාම සමාජ නීති රීතිවලට අනුගතව ජීවත් වෙනවා. ඒ වගේම තවත් පිරිසක් ‘‘යක්කුන්ට බිය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ‘‘ යන ස්ථාවරයේ පිහිටා ගෙන වැරදි හැසිරීම් වෙනුවෙන් යොමු වෙනවා. ඒ නිසාම අපි මේ අන්තවාදී හැසිරීමෙන් මිදෙන්න අවශ්‍ය වගේම අපේ දරුවන්ටත් ‘‘ බිය “ කියන සංකල්පය සමග ජීවිතය පවත්වා ගෙන යෑමට උදව් කිරීම ඉතාම වැදගත්. 

දරුවන්ගේ බිය සාධාරණයි…

- Advertisement -

පුංචි දරුවන්ට බිය ඇති වීමට අපට වගේ සාධාරණ හේතු අවශ්‍ය නැහැ. සමහර දරුවන් අලුත් මුහුණක් දුටු විට පවා බියක් දක්වනවා.දරුවාගේ මනසේ අලුත් පුද්ගලයෙක් යන චිත්ත රූපය මැවෙන නිසාම ආගන්තුක පුද්ගලයා සමග ගණුදෙණු කිරීමට බියක් දැක්වීම සාමාන්‍යයි. ඒ අතර තවත් දරුවෙක් කිසිම චකිතයක් බියක් නැතුව ඕනෑම පුද්ගලයෙක් සමග ගණුදෙණු කිරීමට උනන්දුවක් දක්වනවා.

බිය නිසා දරුවා ආරක්ෂා වෙනවා…

බිය නිසා  දරුවා ආරක්ෂා වෙන බව මේ වෙන විට විද්‍යාඥයින් පවා පිලිගෙන තිබෙනවා.කොටින්ම එය ස්වභාව ධර්මයෙන් දරුවාට ලැබුන තෑග්ගක්.සමහර අවස්ථාවලදී බිය නිසාම දරුවා ආරක්ෂා වෙනවා. ගින්දර නිසා පිච්චෙන බව දන්නා දරුවා එයට අත තබන්නේ නැහැ. ඔහු බුද්ධිමත්ව ඒ බව තේරුම් ගනන්වා. නමුත් ඒ වයසේම තවත් දරුවෙක් කිසිම බියක් නැතුව ගින්දරට අත දමා පිලිස්සීම් තුවාල සිදු කර ගනිති. ඒ ගින්දර දැවෙන බවට අවබෝධයක් ඔහුගේ සිතේ නැති නිසාය.

සමාජයේ බිය විය යුතු තැන් කියා දෙන්න..

පසුගිය ඇසළ පෙරහැර කාලයේදී වයස අවුරුදු පිරිමි දරුවෙකු එක්තරා පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගිය සිදුවීමක් ගැන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අප දුටු බව මතක ඇති. එවැනි ආගන්තුක පුද්ගලයන් ගැන බිය සැක ඇතුව ජීවත් වීමෙන් දරුවාගේ ආරක්ෂාව සැලසෙන බව ඔවුන්ට කියා දෙන්න. ආගන්තුක හැම දෙනාම අප සිතන තරම් සුදු චරිත නොවන  නිසා සමාජය කියවන දැණුම තුළ ඉදිරිය ඇති කර ගන්නා චරිත ගැනත් දරුවා දැණුවත් කරන්න.

දොස් නගන්න හෝ සමච්චල් කරන්න එපා…

විටෙක ඔබේ දරුවා අනවශ්‍ය දෙයට බියක් දක්වන්න පුළුවනි. දරුවන්ගේ බය සාමාන්‍යයි. කළුවරට, ගොරවන ශබ්දයට අපිත් කුඩා කාලයේ බිය වුනත් වයස සමග ඒවා අපේ ජීවිතයෙන් ඉබේම මගහැරෙනවා.ඒ නිසා දරුවා බියක් දක්වන විට ඒ ගැන දුවම් කිරීම හෝ බැන වැදීම සුදුසු නැහැ.

 බ්ලෙන්ඩරයේ ශබ්දයට බියකින් පීඩා විදින මා මිතුරියෙකුගේ දරුවෙක් මෙන්ම වැසිකිලියේ වතුර  flush  කරන ශබ්දයට බියක් දක්වන දරුවන් මා දැක ඇත. එය අපට බියක් ඇති නොවන කරුණක් වුනත් දරුවා බියකින් පසු වන්නේ නම් ඒ ගැන දොස් නගන්න එපා. මේක විකාරයක් යැයි කියමින් බය නැති කිරීමට යැයි සිතා දරුවාට ඒ ශබ්ද බලහත්කාරයෙන් අසන්නට සලස්වන්නත් එපා. කාලයත් සමග දරුවාගේ බිය සිතෙන් දුරු වීම සාමාන්‍ය තත්වයක්.

හේතු ඵල සම්බන්ධතාවය අනුව කියා දෙන්න..

දරුවාට බිය විය යුතු යම් යම් සිදුවීම් ගැන හේතු ඵල සම්බන්ධතාවයක් ඇතුව කියා දෙන්න. ගඟ දිය ගැඹුරු විට  ඇති වෙන අනතුරු ගැන මනසට ඒත්තු යන අන්දමින් කියා දෙන්න. ඒ වගේම සෑම දෙයක් වෙනුවෙන්ම අනවශ්‍ය අන්දමින් බිය ඇති කරන්න එපා. සමහර දෙමව්පියන් තමන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීමට කැරපොත්තා, මකුළුවා , ඇනකොන්ඩා වැනි සතුන් ගැන කියමින් දරුවා බියට පත් කළත් එය එතරම් තාර්තික නැත. එවිට දරුවා අවදානම් සහිත ක්‍රියාවක් නොකරන්නේ එහි අවදානම ගැන සලකා ගෙන නොව සතා මුල් කර ගත් බිය නිසාය. ඒ නිසා දරුවන් සතුන්ට, විවිධ පුද්ගලයන්ට බිය ගැන්වීමට වඩා අදාල අවදානමේ තරම කියා දීම ඉතා වැදගත්.

දරුවාගේ එකම ආරක්ෂකයා ඔබයි…

දරුවාට සිටින එකම ආරක්ෂකයා දෙමව්පියන්. ඒ බව අමතක කරන්න එපා. නමුත් සමහර අවස්ථාවලදී ඔබ දරුවාට ‘‘පොලිස් අන්කල්ට කියනවා. ‘‘ නැත්නම් ‘‘ඩොක්ටර් අන්කල්ට කියලා කටුවෙන් ඉන්ජක්ෂන් ගහනවා ‘‘යැයි බිය වද්දන්න එපා.බත් නොකන විට ඔබ දරුවාට සේලයින් කටුව ගහනවා…එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් ගහනවා යැයි බිය වද්දන අවස්ථා ඇත. නමුත් එවැනි බිය වැද්දීම් නිසා දරුවාගේ මනස තුළ ඇති වෙන බියජනක සංකල්ප සමහර විට ඔවුන් වයසින් වැඩුනත් හිතෙන් දුරස් නොවන තරමටම ප්‍රබල විය හැකියි. ඒ නිසා දරුවා නිතරම සැකයෙන් ජීවත් වීමට පටන් ගනී. වෛද්‍යවරයා යනු බියජනක චරිතයක් ලෙසින් දෙමව්පියන්ගේ අර්ථ ගැන්වීම නිසා දරුවාගේ හිතේ ඇති වෙන බිය මානසික ලෙසින්ද අයහපත් අන්දමින් බලපෑමට ඉඩ තිබේ.

දකින දේ ගැන ඇති වෙන බිය සාමාන්‍යයි…

එදිනෙදා ජීවිතයේදී වැස්සට, කලුවරට, සතුන්ට හෝ ගින්දරට දරුවා බියක් දක්වන්නේ නම් එය ඉතාම සාමාන්‍යයි. කළුවර තැනකින් ඉවත් වීමට දරුවා දනී. ගොරවන විට නිවස ඇතුලට වී මව්පියන්ට තුරුල්ව සිටි. එහෙත්…දරුවා නොදකින හෝ නූපන් අනාගතයක් ගැන බියක් දක්වනවා නම් එය යම් අන්දමක ගැටළුවක් විය හැකියි.

සමහර විට ඔබ නොදකින රාස්සයෙක් ගැන දරුවා කියනවා නම්…හෙට දවසක අම්මා තාත්තා නැති වුනොත් යැයි අසුබවාදී සිතුවිලි නිසා හිතේ බියක් ඇති කර ගෙන ඇත්නම් එය එතරම් සුදුසු තත්වයක් නොවේ.සමහර විට දරුවා නරඹන ලද චිත්‍රපටයක සිතින්.(Delusions)  මවා ගත් බියකරු රාස්සයෙක් විය හැකියි. එසේත් නැත්නම් දරුවා දුටු බියකරු සිදුවීමක යම් චරිතයක් විසින් දරුවාගේ හිතට වධ දෙන මානසික තත්වයක් ඇති වීමට පුලුවනි. එවැනි අවස්ථාවකදී දරුවාට මානසික ලෙසින් සුවපත් බවක් ඇති වීමට කටයුතු කිරීමත් ඉතාම වැදගත්.

සෘණ සිතුවිලි ගැන කියන්න එපා…

දරුවන්ගේ සිත් බොහොම මුදු මෙලෙක නිසා ඔවුන්ගේ සිත් තුළට අසුබ සිතුවිලි එසේත් නැත්නම් සෘන ආකල්ප ඇති කරන්න එපා. පාරේ සිඟමන් යදින පුද්ගලයෙක් දුටු විට ඔන්න ඉගෙන ගන්නේ නැතුව ඉන්න ඔයාටත් මේ වගේ පාරේ බස්ටෑන්ඩ් එකක තමා ඉන්න වෙන්නේ. අම්මා..තාත්තා මැරිලා ගියාම කන්න දෙන්නේ කවුද..? මේ අන්දමින්  දරුවාගේ හිතට මවන විවිධ සංකල්ප නිසා (Hallucinate) ඔහුගේ හිත පීඩාකාරි සිතුවිලිවලින් හෙම්බත් වෙනු ඇත. ඒ නිසාම දරුවා නිතරම නූපන් අනාගතය මුල් කර ගත් බියකින් පසු වීමත් බරපතල මානසික ගැටලුවක් බවට පත් විය හැක.ඒ නිසා දරුවාගේ බිය තුළ යම් අසාමාන්‍ය බවක් ඇත්නම් ඒ ගැනත් නොසලකා සිටින්න එපා. මානසික උපදේශනයෙන් දරුවා නැවත යතා තත්වයට පත් කර ගැනීමට දැන් ඒනෑ තරම් අවස්ථා තිබෙන නිසා මිථ්‍යාවන් ලුහු බැදීම වෙනුවට සුදුසුකම් ලත් මානසික උපදේශනයන් වෙත යොමු කිරීම ඉතා වැදගත්.

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article