- Advertisement -

ජීවිතය නැති කරගන්න තරම් කෙනෙකුට ශක්තිය ලැබෙන්නේ කාගේ වරදින්ද?

-

සියදිවි නසා ගැනීමට තරම් කෙනෙකුගේ සිත ශක්තිමත් වන්නේ කෙසේද යන්න ගැටලුවක්. එය ඉතාම සංකීර්ණ මාතෘකාවක්. අපි සැමවිටම සිතන්නේ අපේ ජීවිත ස්ථිර බවයි. අපට අවශ්‍ය පරිදි එය පාලනය කළ හැකි බවයි. සතුටින් සිටිනතාක් අපිට දැනෙන මේ සිතුවිලි සමුදාය ගැටලුකාරී තත්ත්වයක් හමුවේ බොහෝ සෙයින් වෙනස් වේ. මන්ද ඒ ඇති වන ගැටලු හමුවේ ඕනෑම අයෙක් මානසික පීඩනයට ලක් විය හැකියි පමණක් නොවෙයි ජීවිතය තොර කරගැනීමට වුවත් අයෙකු‍ට සිතිය හැකියි. එය මනුෂ්‍ය ස්වභාවයයි. මෙවැනි අවස්ථාවකදී එවැනි අයෙකුගේ මුළු ජීවිත කතාවම දන්නා ලෙස සමාජය විසින් ඔහුගේ ගැටලුව තීරණය කිරීම සුදුසු නොවේ. ඒ එක් එක් පුද්ගලයාට තමාටම ආවේණික වූ ජීවිත කතාවක් ඇති නිසයි.

 සියදිවි නසා ගැනීම පිළිබඳ අර්ථ කථනයක් සැපයීමේදී එය කොටස් 3ක් යටතේ සාකච්ඡා කළ හැකියි. 

- Advertisement -
  1. සියදිවි නසා ගැනීමේ සිතුවිල්ල ඇති වීම – මේ තත්ත්වය ඕනෑම විටෙක ඇති විය හැකියි. විශේෂයෙන්ම ‍යොවුන් වියේ, නව යොවුන් වියේ දරුවන්ට මේ තත්ත්වය ඇති විය හැකියි. උදාහරණයක් විදියට ඇතැම් යොවුන් දරුවන් තම ප්‍රේම සබඳතා බිඳ වැටීම හේතුවෙන් තමාට සියදිවි නසා ගැනීමට සිතෙන බව පැවසිය හැකියි. නමුත් ඒ වෙනුවෙන් ඒ දරුවා සැලසුමක් සකස් කොට නැති නම් එය මානසික රෝග තත්ත්වයක් නොවේ. 
  2. ගැටලු හමුවේ තම සිරුරට හානි කරගැනීම – තමාට යම් ගැටලුවක් පීඩනයක් ඇති වූ විට අත පය කපා ගැනීම, සූරා ගැනීම 
  3. සියදිවි නසා ගැනීම – බොහෝ විට මේ තත්ත්වයට පත් වන්නේ මානසික රෝග තත්ත්වය කිසයි.

යමෙක් කාලයක් යම් ගැටලුවකින් පීඩාවිඳිමින් සිටීම ගැන සමීපතමයන් නොදැනුවත් වන්නේ කෙසේද කිය ඔබට සිතෙනු ඇත. සාමාන්‍යයෙන් යමෙක් හිතවත් අයෙක් තමාට ගැටලුවක් ඇති බව පැවසුවහොත් අපි ඒ පිළිබඳව ඒ පුද්ගලයාට කරන උදව්වක් ලෙස එයට සවන් දීමට පෙලඹෙනවා. ඒත් එක්වරම තමාට සියදිවි නසා ගැනීමට හිතෙන බව පැවසුවොත් ඕනෑම අයෙක් කලබලයට පත් වෙනවා. එයට හේතුව ජීවත් වීම හොඳ දෙයක් ලෙස අප සිතන නිසාත් එයින් පිටස්තර යමක් පැවසූ විට එය අපි පිළිගැනීමට ඇති අකමැත්ත නිසයි. එවැනි අවස්ථාවක බොහෝ දෙනා ප්‍රතිචාර දක්වන්නේ ඔයාට පිස්සුද? ඔහොම කියන්න එපා. අම්මලා කොච්චර මහන්සි වෙලාද ඔයාව මේ තත්ත්වෙට ගෙනල්ලා කියෙන්නේ. ඔය සිත්විල්ල අයින් කරගන්න ලෙසටයි.

අපි එක මොහොතකට අදාල පුද්ගලයාගේ ජීවිතය, මුහුණ දී ඇති ගැටලු සුළු කොට තැකීමට පෙළඹෙනවා. නමුත් අපිට කිසිම පුද්ගලයෙකුගේ ජීවිත කතාව පිළිබඳව නිශ්චිත තීරණය කිරීමට නොහැකියි. මෙවැනි පුද්ගලයෙකු හමුවේ පළමුවෙන්ම අප කළ යුත්තේ අදාල පුද්ගලයාට හොඳ සවන් දෙන්නෙකු වීමයි. එවිට ඒ පුද්ගලයාගේ හිතේ තෙරපෙන හැඟීම් මුදා හැරීමට අවස්ථාව හිමි වෙනවා. එයාගේ පීඩනය යම්තාක් දුරකට හෝ පහව යන අතරම මනසට යම් සුවයක් සැලසෙනවා. එසේ නොවන්නට ඒ පුද්ගලයා සිතන්නේ තම ගැටලුවලට ඇති එකම විසදුම ජීවිතයෙන් පලා යෑම බවයි.

නමුත් අපි ලබාදෙන්නේ උපදේශනයක් නොවිය යුතුයි. එනම් ගැටලුවලට විසදුම් ලබාදීම නොකළ යුතුයි. ඒ අපි මේ වන විටත් දන්නේ අදාල පුද්ගලයාගේ ජීවියෙන් යම් කොටසක් නිසා එසේ අපට ඔහුගේ/ඇයගේ ගැටලුවලට විසදුම් ලබා නොදිය හැකි බවයි. මේ සියල්ලට පෙර ඔබ අතින් සිදු විය යුත්තේ සවන් දීමයි. ඉන් පසුව අපි එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙමු. මම ඔයාට මෙන්ම මේ ටිකට සහය වෙන්නම් යනුවෙන් අදාල පුද්ගලයාට සහය වීමට තමාත් සිටින බව හැඟවීම තුළින් තමා තනි වී නොමැති බව ඔහුට/ඇයට දැනෙනවා. 

ඒ වගේම මෙහි අනෙක් පැත්ත පිළිබඳව කතා කළොත් අපි ඉතා පීඩාකාරී තත්ත්වයකදී ඒ තත්ත්වය ගැන කතා කිරීමට අයෙක් තෝරාගත යුත්තේ කෙසේද යන්න ඉතා වැදගත් කරුණකි. ඒ ගැටලු පැන නගින හැම අවස්ථාවකදීම වෛද්‍යවරු වෙත යන්න අපි පෙළඹෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි අපට හිතවත් යමෙක් සමග අපේ ගැටලු පැවසීමට පෙළ‍ඹිය හැකියි. අප තෝරාගන්නා එම පුද්ගලයා දිගු කාලීනව සමීපව ඇසුරු කරන තමා පිළිබඳ හොඳින් දන්නා අයෙන් නම් එය ඉතා වැදගත්. 

අපි තෝරා ගන්නා පුද්ගලයා, 

  • මනෝමීය පරණත බවකින් යුත් අයෙක් විය යුතුයි
  • ගැටලුව ඇති පුද්ගලයාට වඩා කලබලයට පත් නොවිය යුතුයි
  • ඔහු/ඇය හොඳ සවන්දෙන්නෙක් විය යුතුයි
  • තම මතයේම එල්බ තම අදහස්ම ත්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන්නෙක් නොවිය යුතුයි. 
  • සමබර පුද්ගලයෙකු විය යුතුයි. 
  • පුද්ගලික රහස්‍යබාවය රුකිය යුතුයි.
  • ප්‍රායෝගිකව විසදුමක් දැකිය හැකි අයෙක් විය යුතියි.

යම් හෙයකින් යමෙකුට එවැනි පුද්ගලයෙකු‍ නොමැති නම් 1926 හරහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය අමතන්න. මානසික සුවතාව වෙනුවෙන් දවසේ පැය විසිහතරම ක්‍රියාත්මක සේවාවක් එම ආයතනය මගින් ලබාදෙනවා. 

සියදිවි නසා ගැනීමට තීරණය කර ඇති අයෙකු පෙන්නුම් කරන ලක්ෂණ

යම් පුද්ගලයෙක් බොහොම සතුටෙන් විනෝදයෙන් කාලය ගත කරමින් තම කාර්යයන් වල නිරත වී සිට කාලයක සිට ඒ දේවල් වෙනස් කරමින් සිනහව, කතාබහ අඩු වී යම් කැපී පෙනෙන වෙනස්කම් පෙන්වයි නම් ඇතැම් විට ඔහු/ඇය යම් ගැටලුවක් නිසා පීඩාවට පත්ව සිටිනවා විය හැකියි. ඇතැම් විට යමෙක් තම ගැටලුව යහළුවන් අතරේ බෙදා ගනිමින් එය විසඳා ගැනීමට උත්සාහ කරයි. ඇතමෙක් එය සඟවා ගනීමින් විඳවමින් සිටිනවා විය හැකියි. 

තම සාමාන්‍ය පැවැත්මේ වෙනස් කම් සමග එවැනි පුද්ගලයක් තවත් ලක්ෂණ පෙන්නුම් කරයි.

  • නින්දේ ඇති වෙනස්කම් – නින්ද තදබලව අවශ්‍ය වුවත් නින්ද නොයෑම/විටින් විට නින්දට බාධා ඇති වීම
  • ආහාර රටාව – ආහාර අරුචිය වගේම ආහාර ලබා ගත්තත් සිරුරේ පෘෂ්ඨිමත් බවක් නොමැතිවීම/කෙට්ටු වීම. 
  • තරහා යෑම

මේ තත්ත්ව‍යන් සමග දිගින් දිගටම පැවතීමක් තම ගැටලුවට විසදුමක් නොමැති වීම ‍නිසා සියදිවි නසාගැනීමට පෙළඹිය හැකියි. 

පළමුව සියදිවි නසා ගැනීමේ සිතුවිල්ල මුහුදේ රළ මෙන් එනවා.. යනවා.. කාලයත් සමගම ඒ සිතිවිලි වේගවත්ව නිතර නිතර ඇති වෙනවා. ගැටලුවට විස්දුමක් නොමැති නම් සියදිවි නසා ගැනීම සඳහා සැලසුම්ක් නිර්මාණය කෙරෙනවා. මෙවැති තත්ත්වයකදී හිතවතුන්ට නෑදෑයන්ට දුරකතන ඇමතුමක් ලබා දී ඔයාට මගෙන් වරදක් වුණා මට සමාවෙන්න… එසේත් නැති නම් තමා සතු යමක් වෙනත් අයෙකුට පැවරීම, තම සිතුවිලි කොළයක ලිවීම, අද වන විට මුහුණු පොත මත ලිවීම වැනි දේ දැකිය හැකියි. එවැන්නත් අපේ සමීපතමයෙකුගෙන් දුටුවහොත් සැලකිලිමත් වීඹ ඉතා වැදගත්.

ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය 

90 දශකයේ වගා ණය මුදල් ගෙවා ගත නොහැකිව පලිබෝධ නාශක පානය කර ජීවිත අහිමි කරගත් පිරිස ඔබට මතක ඇති. ඒ වෙනුවෙන් හානිය අවම වන පරිදි පලිබෝධ නාශක නිෂ්පාදනය කොට ඒ තත්ත්වය අවම කිරීම සිදු කෙ‍රුණා. ඒ නිසා රෝහල් වෙත ඇතුළු කොට ඔවුන් බේරා ගැනීමට අවස්ථාව උදා වුණා. එවැනි සාධක කීපයක් ඉවත් වූ පසු 90 දශකයට සාපේක්ෂව සියසදිවි නසාගැනීමේ ප්‍රතිශතය අඩු වී තිබුණත් අද වන විටත් ලොව තුළ සියදිවි නසා ගැනීමේ ලැයිස්තුවේ ඉහළින්ම ශ්‍රී ලංකාව තිබෙනවා. එය හොඳ සාධකයක් නොවෙයි. සාමාන්‍යයෙන් සියදිවි නසා ගැනීමක් හරහා ජීවිතය නතර වන අය ගත්තම වැඩිම ප්‍රතිශතය පුරුෂ පාර්ශවය වන අතර ශරීරය කපා ගැනීම සූරා ගැනීම වැනි ක්‍රියාවලින් වැඩි පිරිසක් සිටින්නේ කාන්තාවන්ය. අනිත් රටවලට සාපේක්ෂව ගත් කළ ජීවිතය කෙලවර කරගන්නා කාන්තාවන් ගත් කළ අපේ රටේ කාන්තාවන් ප්‍රතිශතය ඉහළ අයක් ගනී. ඒ සඳහා බොහෝ විට සමාජ විද්‍යාත්මක කරුණු හේතු‍ වේ. අද වන විට කාන්තාවෝ බහුතරයක් බුද්ධිමත් වන අතරම සරසවි අධ්‍යාපනය ලබන පිරිසගෙන් 60% පමණ ප්‍රතිශතයක් කාන්තාවන් වෙනවා. අපේ සමාජය කාන්තාවට සමතැන දෙන බව පැවසුවත් එකම සුදුසුකම් තියෙන ගැහැණු පිරිමින්හට ආයතනවල ලැබෙන උසස්වීම් වෙනස් වන ආකාරය අපි කොතෙකුත් දැක තිබෙනවා. පීතෘ මූලික සමාජයක කාන්තාවකට ලැබිය යුතු දේ නොලැබීම සියදිවි නසා ගැනීම් දක්වා යාමට හේතු විය හැකියි.

සාමාන්‍යයෙන් අපේ රටේ කාන්තාවන්ට සාපේක්ෂව පිරිමිගේ ආවේගශීලී බව වැඩියි. කුඩා දේටත් විශාල ප්‍රතිචාර දැක්වයි. මත්පැන් භාවිත කිරීමත් සමගම තව තවත් ආවේගශීලීව සියදිවි නසා ගැනීමට වුවත් පෙළඹිය හැකියි. ඒ වගේම ඇතැම් මත්ද්‍රව්‍ය හේතුවෙන් අනිසි සැකය, කිසිවෙක් නැති තැනත් කතා කරනවා වගේ ඇසීම වැනි මනෝ සංකූලතා ඇති විය හැකියි. සමහර මත්ද්‍රව්‍ය නිසා අයෙකුගේ මුළු ජීවිතයම මත්ද්‍රව්‍ය වටා ගෙතී අනික් කිසිවක් කෙරේ අවධානයක් නොමැති විය හැකියි. එහිදී මත්දුව්‍ය ගැනීමට නොහැකි වුවහොත් විශාල ගැටලුවක් විය හැකියි. 

අපේ රටේ කාන්තාවන් වැඩි කොටසක් මුහුණ දෙන තත්ත්වයක් ලෙස දිගුකාලීනව ගෘහස්ත ප්‍රචන්ඩත්වයට ලක්වීඹ දැක්විය හැකියි. දරුවන් වෙනුවෙන් ඉවසලා විශාල පීඩනයකින් කාලය ගත කළත් එය පුපුරා යන මොහොතකදී දරුවන්ද සමග මවක් ගඟට පනී වැනි පුවත් අපට අසන්නට දකින්නට ලැබනු ඇත. 

අන්න ඒ නිසාම තවකෙකුගේ ජීවිතය අපිට තීරණය කළ නොහැකියි. එයට අර්ථදැක්වීම් දිය නොහැකියි. ඒ නිසාම හැකි නම් ගැටලුවකදී අයෙකුට හොඳ සවන් දෙන්නෙකු ලෙසින් පිහිට වන්න. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස

රාගම ශික්ෂණ   රෝහල

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article