දරු උපතක් කියන්නේ යුවලකගේ ජීවිතයේ මිහිරිතම අත්දැකීමක්. මේ අත්දැකීමත් එක්ක හිතට දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න බැහැ. ඒ වගේම තමයි ඒ සංතෝෂයන් එක්කම හිතට දැනෙන බය, දුක, වේදනාව. එහෙම වෙන්නේ කුඩා දරුවව තේරුම් ගන්න ටික කාලයක් ගත වෙන නිසා. ඒ නිසා ඒව දැක අඳුනගෙන පිළිතුරු හොයාගන්නකම් දෙමාපියන් හරියට නොසන්සුන් වෙනවා. ඒ වගේ අත්විඳිය හැකි එක ගැටළුවක් තමයි බබාගේ හමේ මතුවෙන බිබිලි හෝ ලප.
බිබිලි හෝ ලප වර්ග කීපයක් තියෙන්න පුළුවන්. ඒ වගේම දරුවා ඉපදිලා දින දෙකේ තුනේ ඉදන්ම ඇති වෙන්න පුළුවන්. ඒ හින්ද මේ පිළිබඳව අධ්‍යයනය කරන එක දැනුවත් වෙන එක වගේම ඒවට කළ යුතු දේ පිළිබඳවත් සොයා බලන එක වැදගත්.
කුසෙහි ඉන්න බිළිඳා ඉන්නේ හරිම ආරක්‍ෂිත පරිසරයක. පරිසරය ඉතාම සිනිඳු සමක් දරුවට තියෙන්නේ. ඒකට ආරක්‍ෂාවක් හැටියට දරුව ඉන්න පැස ගැබ් තරලයෙන් පිරිලා තියෙන්නේ. මේ දරුව හරියට මාළුවෙක් වගේ. මේ ජලජ පරිසරය තුල ඉන්නේ. මේ ලෝකෙට ආවට පස්සේ එයාගේ පරිසරය වෙනස් වෙනවා. ඒ වගේම පරිසරයේ උෂ්ණත්වයත් එයාට බලපානවා. ඒ එක්කම එයාගේ පෙනග් පෙනහළු ශ්වසනයත් පටන් ගන්නවා. එතකොට එයා මේ පරිසරයට හැඩ ගැහෙන්න ඕනා. ඒ හැඩ ගැසීම් වලට ඔරොත්තු දෙන්න යම් යම් වෙනස්කම් ඇති වෙනවා. එයින් එකක් තමවි මේ දරුවගේ ඇගේ මතුවන රතු බිබිලි. මේක ජනවහරේ නැතිනම් අපේ ආච්චිලා අත්තම්මලා කියන්නේ රතගාය කියලා. මේක හරිම ස්වභාවික සිද්ධියක්. ඒ වුනාට ඒක දකින්නේ ඉපදිලා දින දෙක තුනකදි නිසා එයාලා හරියට කලබල වෙනවා. ඒ වුනත් මේක ඇත්තටම සිද්ධ වෙන්නේ පරිසරයට අනුවර්තනය වීමක්. බිබිලි ටිකක් පිටදාලා හම ගොරෝස් කරන එකත් සමේ ක්‍ෂෙත්‍රඵලය වැඩි කරන එකත් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මේ වගේම දින කීපයකින් මේක අඩුවෙලා යනවා. පරිසර අනුවර්තනයට ඉඩදීලා දරුවා නෑවීමත් සම වියලිව තැබීමත් පමණක් මීට සෑහෙනවා.
එහෙත් දින කීපයකදී අඩු වෙන්නෙත් නැත්නම් ක්‍රමයෙන් බිබිලි වැඩිවෙනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම තමයි කළ යුත්තේ.
මේ එන බිබිලි වලට අමතරව කිහිල්ල, ඉකිලි ප්‍රදේශය ආශ්‍රිතව සැරව එන බිබිලි කීපයක් මතුවෙන්න පුළුවන්. ඒකත් බිය විය යුතු නැහැ. නෑවීම දිගටම කිරීමත්, ගලායන සේ ජලය ඇඟට වත් කර සේදීමත් මඟින් මේවා පහව යන්න පුළුවන්. ඒ වුනත් මේ සැරව බිබිලි ක්‍රමයෙන් වැඩිවෙනවා නම් එයත් වෛද්‍ය උපදෙස් ලැබිය යුතු හේතුවක්.
දරුවන් මව්කුස සිටින කාලයේ ගර්භාෂ තරලය හේතු කොටගෙන පිටි දියකලා සේ උකු තරලයක් ඇඟ පුරා තැවරී තිබෙනවා. මේවා උපන් විගස සියල්ලම එකවර ඉවත් කෙරෙන්නේ නැහැ. එසේ කෙරෙනුයේ එම ගර්භ තරලය දරුවාගේ උෂ්ණත්වය තරමක් දුරට ආරක්‍ෂාවට හේතුවක් නිසයි. එහෙත් පසුව මේවා ඉවත් නොකර සිටීමෙන් තෙත ගතිය හේතු කොටගෙන ඒවායේ බැක්ටීරියා වර්ධනය වීමක් සිදුවිය හැකියි. බොහෝ විට එසේ වන්නේ ඉකිලි, කිහිලි, බෙල්ල ආදී නැමෙන ස්ථාන වල. මේ නිසා ඒවා පිරිසිදු කිරීමත් වියළිව තැබීමත් මඟින් ආසාදනයට ලක්වීම වළක්වා ගැනීමටත් බිබිලි මතුවීම අඩු කර ගැනීමටත් එය හේතුවක් විය හැකියි.
සමහර මව්වරුනට ප්‍රසූතියට පෙර වතුර බෑගය බිඳී යාම සිදුවී වතුර පිටවීම සිදුවිය හැකියි. මෙවන් අවස්ථා වලදීද දරුවාට ආසාදන ඇති වීමට ඉඩකඩ ඇති හෙයින් බොහෝ විට දරුවා ඉපදීමට පෙර මවට ප්‍රතිජීවක දෙන අවස්ථා දකින්නට ලැබෙනවා මෙන්ම මෙවන් තත්ත්වයට පත්වන දරුවන්ට ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය වෙනවා.
රතුපාට බිබිලි වල මැද කහපාට සැරව තිත් මෙන් දක්නට ලැබේ නම් ඒවා ආසාදිත බිබිලි ලෙස හඳුනා ගත හැකිය. රතු පාට පමණක් වන බිබිලි සමේ ආරක්ෂාව පිනිස වන අතරම සැරව පිරී ඇති විට එය ආසාදනයක්ද යන්න සැක හැර දැන ගත යුතුය. මන්ද සැරව බිබිලි එකක් දෙකක් පමණක් නම් එය සුව වී යාමට හැකි අතර දිගටම තැබීමෙන් ක්‍රම ක්‍රමයෙන් මතුවන සැරව බිබිලි ප්‍රමාණය වැඩි වේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම අවශ්‍ය වන අතර එවැනි අවස්ථාවලදී බොහෝ විට ප්‍රතිජීවක අඩංගු ක්‍රීම් වර්ග සමට ආලේප කිරීමට ලබාදෙයි. ආසාදිත තත්ත්වය වැඩි වේ නම් හෝ ඒ සමඟම උණ ඇති වේ නම් දරුවාටද ප්‍රතිජීවක ඖෂධ ද ලබාදීමට සිදුවන අවස්ථා ඇත.
තවද අලුත උපන් දරුවා නිවසට රැගෙන ආ පසු නිවැසියන් වගේම දරුවා බැලීමට පැමිණෙන අය වඩාගැනීම, අතපත ගෑම හේතු කොටගෙන බැක්ටීරියා වැනි විෂබීජ දරුවාට සම්ප්‍රේෂණය වීම නිසා සම මත සැරව බිබිලි ඇති විය හැකියි. මෙසේ ඇතිවන සැරව බිබිලි සඳහා ද වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා සේම කුඩා දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේදී සීමිත පිරිසක් පමණක් එනම් අම්මා, තාත්තා, ආච්චි ආදී ලෙසින් කීපදෙනෙකු පමණක් ඒ සඳහා මුහුවීමත් අන් අය විසින් නිවැසියන්ට අවශ්‍ය උදව් ලබාදීම තුලින් අලුත උපන් ළදරුවා ආරක්ෂා කර ගැනීමට මග පෑදෙනු ඇත.
මෙවැනි ස්වභාවික සංසිද්ධි වගේම මැසි මදුරුවන් නිසාත් දරුවාගේ සමේ ලප හෝ බිබිලි ඇති විය හැකියි. එසේ හෙයින් දරුවා සිටින කාමරයට ආහාර ගෙනයාම, දූවිලි මඟින් හෝ අපවිත්‍ර වීම සිදු නොවීමට වගබලා ගත යුතුය. හොඳින් වාතාශ්‍රය, හිරු එළිය ලැබෙන කාමරයක දරුවා තබාගැනීම දරුවාගේ ඉන්‍ද්‍රීය සංවර්ධනයටද හිතකර වෙනවා මෙන්ම කූඹි, මැස්සන් ආදී කෘමි සතුන් එම කාමරයට පැමිණීම වළක්වා ගැනීමටත් පුළුවන්.
කූඹින් දෂ්ඨ කිරීමෙන් මෙන්ම මදුරුවන් ද්ෂඨ කිරීමෙන් ද දරුවාගේ සිරුර තුල බිබිලි/ලප ඇති විය හැකියි. එවන් අවස්ථා අවම කිරීම කළ යුතුවා සේම ඇඳ ඇතිරිලි පිරිසිදුව තබාගැනීමටත් දාඩිය දැමූ ඇඳුම් එම කාමරය තුල තබා නොගැනීමටත් වග බලා ගත යුතු වනවා සේම මදුරුවන් සඳහා දැලක් භාවිත කිරීමත් කළ යුතුයි. එමෙන්ම දරුවාගේ ඉවත් කරන නැපි පියන සහිත භාජනයකට දැමීමත් හැකි ඉක්මණින් සෝදා පිරිසිදු කිරීමත් මඟින් කාමරයේ මෙන්ම දරුවාගේ ඇඳුම් වලද පවිත්‍රතාවය ආරක්‍ෂා වන අතර එමඟින් දරුවා වෙත ආසාදන පැතිරීම වළක්වා ගත හැකියි.
උපතින් පසු ඇති විය හැකි මෙවන් වූ බිබිලි වර්ග මෙන්ම සමහර දරුවන් තුල වෙනස් වූ උපන් ලප ද පැවතිය හැකියි. ඒවා ස්වභාවික වන අතරම තදින් පිහිටන ඇතැම් ලප වැඩෙන විට එයට සම මත පැතිරී විසිරී යන අවස්ථාද දක්නට ලැබෙනවා.
මෙසේ දරුවන්ගේ සම තුල ඇති වන බිබිලි ඇති වීමට සාමාන්‍ය හා ස්වභාවික සංසිද්ධි හේතු කොටගෙන මෙන්ම බාහිර පරිසරය තුලින් ඇති කරන යම් යම් තත්ත්වයන්ද බලපාන බව පැහැදිලියි. එසේ හෙයින් එවැනි අභියෝග සඳහා හොඳින් මුහුණදීමට අවශ්‍ය වූ දැනුමින් සන්නද්ධ වීම තුලින් මෙම අභියෝග පහසුවෙන් ජයගත හැකි වේ.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල