- Advertisement -

අම්මාගේ කෑම බීම කිරි බොන පැටියට බලපාන්නේ කොහොමද?

-

කිරි සිහිනය සැබෑවු හැම අම්මෙකුගේම ඊලඟ බලාපොරොත්තුව මව්කිරි වලින් දරුවා පෝෂණය කිරීමයි. මේ සඳහා හැම අම්ම කෙනෙක්ම ගැබ්ගත් දා සිටම කල්පනාකාරී වෙනවා පමණක් නොව ඒ වෙනුවෙන් පූර්ව සූදානමකුත් වෙනවා. ඒ වගේම උපන් විගස ළදරුවාට කිරි ලබා දිය හැකි නම් මව්කිරි යාන්ත්‍රණය උත්තේජනය වනවා පමණක් නොව ඒ මඟින් දරුවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරන්න වගේම අම්මගේ ශරීරයේ විශේෂයෙන් ගර්භාෂය හැකිලීමත් නිසි පරිදි සිදු වනවා. 

මෙසේ කිරි යාන්ත්‍රණය ශක්තිමත් වීමට මවගේ මානසික නිරෝගීතාව ඉතා වැදගත් වන අතරම එසේ මවගේ මානසික නිරෝගීතාවය ඇති වෙන්නේ ඇයගේ මූලික අවශ්‍යතාවයන් නිසි පරිදි ඉෂ්ඨ වුවහොත් පමණි. ඒ මූලික අවශ්‍යතා අතරේ ආහාර, ජලය වගේම අනෙකුත් මූලික අවශ්‍යතා ද ඇතුලත් වේ. මේ මූලික අවශ්‍යතා සපිරෙනවා නම් මව කායිකව මෙන්ම මානසිකවද සන්තෘෂ්ඨීයට පත් වන අතරම එය මව්කිරි හොඳින් එරීමට උත්තේජනයක් සපයයි. 

- Advertisement -

මෙසේ කායික අවශ්‍යතා වල මූලික කරුණ ආහාර හා ජලයයි. ආහාර සෑම කෙනෙකුටම අත්‍යවශ්‍යයි. මව්කිරි දෙන මවකටත් එසේම නිසි පෝෂණයක් සහිත ආහාර අවශ්‍යයි. මෙතනදි විය යුත්තේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි පරිදි සිදුවීමත් ඒ මඟින් මවට අවශ්‍ය පෝෂණ කොටස් සැපයීමත්ය. ඒ සඳහා කිරි මවකට සමබල ආහාර වේලක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ආහාරයේ මේ තියෙන ගුණාත්මකභාවය මඟින් මවගේ පෝෂණ අවස්ථා නිසි ලෙස සපිරෙද්දි මවගේ කායික නිරෝගීතාවය වගේම මානසික නිරෝගීතාවයටත් එය හේතුවක් වෙනවා. මේ කරුණ මත මවගේ සංතෘෂ්ටිය ඉහළ නැංවීම නිසා මව්කිරි යාන්ත්‍රණය හොඳින් ශක්තිමත්ව සිදු වේ. දරුවගේ පෝෂණය නංවන්නට හේතුවන ප්‍රභලම හේතුවත් එයමයි. ඒ වගේම මවගේ ශරීරයේ පවතින නිරෝගීතාවය මව්කිරි ලාබාදීමටත් මහඟු රුකුලක් වනු ඇත. 

අම්මගේ පෝෂණ තත්ත්වය ඉහළ යාම නිසා දරුවාගේ පෝෂණ තත්ත්වයත් ඉහළ යන හෙයින් මව විසින් ලබාගන්නා ආහාරයේ ඉහළ පෝෂණ අගය දරුවාගේ පෝෂණයට මුසු වනු ඇත. එසේම විටමින් අවශ්‍යතා වගේම කැල්සියම් වැනි ඛනිජ ලවණ අවශ්‍යතා දරුවාගේ අස්ථි පද්ධතිය ශක්තිමත් කරන්නා සේම කෙස්, නිය, දත් වල නිරෝගීතාවයට ද  බලපායි. මේ නිසා මවගේ ශරීරය තුල එවැනි ලවණ ප්‍රමාණවත්ව පැවතීම මව්කිරි වල ගුණාත්මකතාවයට හේතු වේ. දරු ප්‍රසූතිය සිදුවෙලා මුල් සති දෙක තුල මවට විටමින් A අධි මාත්‍රාව ලබාදෙන්නේ ද ඒ නිසයි. මේ ලබාදෙන විටමින් A මව්කිරි හරහා දරුවා වෙතට යැවෙන නිසා දරුවාට එහි බලපෑම ලැබෙන අතරම මව්කිරි දෙන කාලය තුල මවට යකඩ විටමින් ලබාදීම තුලින් ද සිදුවන්නේත් මේ ක්‍රියාවලියයි. මවගේ පෝෂණ අවශ්‍යතා නිවැරදි කිරීම තුලින් දරුවාගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ වන බව දැන් එබට වැටහෙනවා ඇති.  

පොලොස්, කරවිල, පලා වර්ග, පළතුරු මගින් මවට අවශ්‍ය ඛනිජ කොටස් වැඩිපුර ලබාදිය හැකි අතරම රතුපාට මාළු, කරවල මගින් මවට අවශ්‍ය යකඩ කොටස් ලැබේ. එමගින් මවගේ රතු රුධිර සෛල නිෂ්පාදනයට රුකුලක් සැලයේ. එය මවගේ යහපත් පැවැත්මට බොහෝසෙයින් උපකාරී වේ. 

කෙඳි සහිත ආහාර මඟින් එනම් රළුව සපයන ආහාර මඟින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය වගේම පරිවෘත්තීය ක්‍රියාත් යහපත් ලෙසින් සිද්ධ වීම මවට පෝෂණ කොටස් වලින් වගේම ලැබෙන තවත් සහයකි. පරිවෘත්තීය ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම මව අසහනයට පත් කරනව ක්‍රියාවක් වන අතරම එහි ප්‍රතිඵලය මවට මානසික සහනයක් නොමැති වීමයි. ඒ වගේම මල බද්ධය වැනි තත්ත්වයක් ඇති වුවහොත් එයද මවගේ ගර්භාෂය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීමට බලපාන අතරම මව අධික රුධිර වහන තත්ත්වයට වුවද පත් විය හැක. එවැනි තත්ත්වයක් මවගේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි අතරම එවිට දරුවාව නිසි පරිදි පෝෂණය කරීමටද මවට අපහසු විය හැකියි. 

මවගේ ශාරීරික ක්‍රියාවලි සඳහා බලපාන සෑම පෝෂණ කොටසක්ම ඍජුව දරුවාටත් බලපාන අතරම මවට ඌනතා සිදුවෙන සෑම දෙයකම ඊලඟ බලපෑම සිදුවන්නේ දරුවාටයි. ඒ වගේම තමයි මවට ආසාත්මික ආහාර නිසා ඇතිවන තත්ත්වයන් වලදී මවගේ සෞඛ්‍ය දරුවාට දැඩි ලෙස බලපෑම් එල්ල කරනවා සේම මවට දෙන සමහර සැර ඖෂධයන් දරුවටත් බලපෑ හැකියි. 

මව්කිරි වල වැඩිපුර ඇත්තේ ජලයයි. මේ සඳහා මවගේ ශරීරයේ තරල ප්‍රමාණයත් මව්කිරි සඳහා බලපායි. මව විජලනයට පත් වුනොත් මව්කිරි නිෂපාදනයට එය බලපෑ හැකි නිසා මව හොඳින් ජලය පානය කළ යුතුයි. ඒ වගේම ලවණ අඩංගු පලතුරු යුෂ පානය වඩාත් හිතකර වන්නේ ඒ හරහා මවට ලැබෙන විටමින් හා ලවණ දරුවාට ලැබෙන නිසා පමණක් නොව පැඟිරි රසය ආහාර රුචිය ඇති කරවන්නක් නිසාත් මවට ආහාර රුචිය වැඩි කරන්නත් ඒ පලතුරු සාන්ද්‍රණ මඟින් දරුවාට ලවණ හා විටමින් හොඳින් ලැබීමටත් ඒක හේතුවක් වන නිසාය. 

නමුත් තේ, කෝපි, බීම මව්කිරි වලට අහිතකරයි. කෝපි වල කැෆේන් මඟින් මව්කිරි නිෂ්පාදනය අඩු කළ හැකියි පමණක් නොව ඒවා උත්තේජක නිසා දරුවාට අයහපත් උත්තේජන ඇති විය හැකියි. නින්ද පමාවීම නිසා දරුවා නොසන්සුන් වීමට ද හැකියි. ඒ වගේම විජලනයට පත්වීමටද හැකියි. මෙසේ හෙයින් අනවශ්‍ය ලෙස තේ, කෝපි පානය වගේම අධික ලෙස චොකලට් භාවිතය කිරි දෙන මවකට නුසුදුසුය. 

එසේම මත්පැන් පානය කරන්නේ නම් එයද බරපතල අහිතකර තත්ත්වයක් ඇති කල හැකියි. අපේ මව්වරු අතර කලාතුරකින් දැකිය හැකි පුරුද්දක් වන මෙය සහමුලින්ම වලකා ගත යුතුය. කුඩා කල සිටම ලබාදෙන වැරදි උත්තේජන හා වැරදි ආහාර සංස්කෘතිය දරුවාට ඒ මොහොතේ පමණක් නොව දීර්ඝකාලීන ලෙසට බලපෑම් ඇති කල හැකි තත්ත්වයන් නිර්මාණය කල හැකිය. 

ආයුර්වේදයේ සඳහන් පරිදි පොලොස්, කරවිල, මුරුංගා කොල, සාරණ, නිවිති, කිරි අගුණ වැනි පලා එළවළු ද කෙඳි සහිත කොස් වැනි ආහාරද පියලි වර්ගද වැව් මාළුද කිරි දෙන මව්වරුන් සඳහා ගුණදායක ලෙසින් සැලකේ. ඒ මේ ආහාර වල පෝෂණ ගුණය වගේම රළුවද බහුලව අඩංගු නිසයි. නිවුඩු සහිත සිංහල හාල, මාළු වර්ග වගේම පලතුරු වර්ග මඟින් ප්‍රමාණාත්මක වගේම ගුණාත්මකව කිරි මවට සැපයෙන පෝෂණය මවගේ ශක්තිය වඩාලමින් එය දරුවාගේ ජීවතයට පෝෂණීය අත්වැලක් සපයනු නිසැකය. 

මෙසේ හෙයින් ආසාත්මිකතා ඇති කරන ආහාර හා උත්තේජක පාන/ආහාර මගහැර අනෙකුත් වස විසෙන් තොර ආහාර රටාවකට හුරු වීම මඟින් දරුවාට ලැබෙන මව්කිරි බලාපොරොත්තු වන ප්‍රශස්ත පෝෂණය හා වර්ධනය සපයාදීමට සෑම මවකටම හැකි වනු ඇත.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article