- Advertisement -

සාර්ථක මා පිය යුවළක් වන්නට ඔබටත් අවශ්‍ය ද?

ආදරණීය කිරි කැටියා මෙලොව එළිය දකින තෙක් අම්මා ඇඟිලි ගනිනවා වගේම මවගේ සෙවනැල්ල සේ ලඟ රැදෙමින් මවගේ සියලු දුක සැප බෙදාගනිමින් පියා සිටින්නේ ද දරුවාගේ මුහුණ දැකීමට ඉමහත් ආසාවකිනි. දරු පිළිසිදීම දැනගත් මොහොතේ සිට පිය පදවිය පිළිබඳ දැනුනු හැඟීම් එදින සිට දිනෙන් දින මව් කුස තුල වැඩෙන බිළිඳා, ඒ සමඟ මව අත්දකින කටුක අත්දැකීම් දෑසින් දකිමින් ඇගේ අවශ්‍යතා ඉටු කරමින් පියෙකු ලෙසින් පෙරුම් පුරන්නේ දරුවා සමඟින් නව ජීවිතයකට එකතු වෙන්නයි. මව් කුස තුලදී දරුවාගේ වර්ධනය වන හා ක්‍රියාත්මක වන පංච ඉන්ද්‍රියයන් හරහා පියාගේ මේ කැපවීම, ආදරය, සෙනෙහස දරුවාට දැනෙන්නට පටන් ගන්නවා. දරුවා තුල මේ පිළිබඳ මතකයන් ගබඩා වී තිබෙනවා. එසේ හෙයින් පියා දරුවාට සමීප වීම, සුරතල් කිරීම, රැකබලා ගැනීම තුලින් දරුවා පියා සමඟ ඉතා ඉක්මණින් සබඳතා ගොඩනඟා ගැනීමට හේතුවක් වෙනවා. 

එසේම ප්‍රසූතිය සමඟ මව පත්වන අපහසුතා වගේම බැරෑරුම් වගකීම් සම්භාරය හමුවේ අසරණ වන මවට තිබෙන එකම සහනය මේ තත්ත්වය තේරුම්ගත් ස්වාමිපුරුෂයෙකු ලැබීමයි. එසේ සහනදායී වටපිටාවක් තුල මවකට තම දරුවා පෝෂණය කිරීම, රැකබලාගැනීම සඳහා ලැබෙන සහය සහනයක්ම වෙයි. මෙසේ හෙයින් මව දරු සබඳතා ශක්තිමත් වීම වගේම දරුවාගේ අවශ්‍යතා සියල්ලද ඉටුවේ. එවිට දරුවාගේ කායික අවශ්‍යතා ශක්තිමත් වනවා මෙන්ම මානසික බැඳීමද යහපත් ලෙස ඉටු වේ. එවන් වටපිටාවකදී දරුවාගේ අවශ්‍යතා යහපත් ලෙස ලැබෙන හෙයින් තෘප්තිමත් වන දරුවා සුවෙන් නිරෝගී ලෙස වැඩේ. ඒ සමඟම මව ලබන සහනදායී වට පිටාව හේතුවෙන් පවුලේ බැඳීම් ද යහපත් වේ. 

- Advertisement -

ශක්තිමත් බැඳීම් සහිත පවුල් පරිසරයක් තුලදී අලුත උපන් දරුවා රැකබලා ගැනීමේ කටයුත්ත මව මෙන්ම පියා අතින්ද සිදු වේ. මෙසේ වන විට මව පවසන අවශ්‍යතා මෙන්ම දරුවා ඉඟි මඟින් පවසන අවශ්‍යතා හඳුනා ගැනීමට මවට මෙන්ම පියාටද හැකි වේ. මෙවන් අවශ්‍යතා හඳුනා ගැනීමට පියාට අවස්ථාව ලැබෙනුයේ පියා දරුවාගේ කටයුතු සඳහා සක්‍රීයව දක්වන දායකත්වය නිසයි. 

අලුත උපන් දරුවා මව පියා අතර නිදාගැනීම වඩාත් සුදුසු වේ. එවිට දරුවාගේ ක්‍රියාකාරකම් අවශ්‍යතා සම්බන්ධව මවට මෙන්ම පියාටද වැටහීමක් ලැබේ. එසේම දරුවාගේ නින්ද, නින්දට ඇති බාධක හඳුනා ගැනීමටද ඒ ඒ අවශ්‍යතා වලදී දක්වන ප්‍රතිකාර පිළිබඳව අවබෝධ කර ගැනීමටද මෙය අවස්ථාවක් වේ. එසේම එම අවශ්‍යතා සඳහා දරුවාට පහසුකම් සැලසීමටද පියාට අවස්ථාව ලැබේ. එමෙන්ම පහසුකම් සැලසීමට අවශ්‍ය පසුබිම සැකසීමටද දැනුමක් පියාට ලැබේ. ඒ අනුව පියාට වෙහෙසකර අවස්ථාවකදී වුවද විවේකය ලබාගැනීමට පෙර මේ පිළිබඳව සොයා බලා පෙර සූදානමක් සකස් කර මවට අවශ්‍ය සහාය ලබාදීමේ අවස්ථාව මින් උදාවේ. 

පූර්ව මුල් ළමා වියේ සත්කාරය පටන් ගැනෙනුයේ ගර්භනී සමයේ සිටයි. මෙසේ පටන් ගන්නා මේ සත්කාරය එනම් මොළයේ සංවර්ධන ක්‍රියාවලි සිදුවන සමය, ප්‍රමූඛ ලෙස කුස තුල සිටින සමයේ සිට මුල් අවුරුදු තුන දක්වා හෙයින් දරුවාගේ ප්‍රශස්ත සංවර්ධනයට මූලික ලෙසම දායකත්වය සැකසිය යුතු කාල සීමාවේදී පියා සමීපයේ සිටීම දරුවාට අත්දැකීම් ලබාගැනීමටද තීව්‍ර අවස්ථාවක් වේ. 

මව සමඟ මව් ඇකයේ මෙන්ම පියාගේ තුරුලද දරුවාට සලසන උණුසුම මෙන්ම ප්‍රතිචාරාත්මකව දක්වන ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව මින් උදාවේ. මෙසේ පියාගේ උණුසුමට හුරුවීම සමඟ මවගේ කටයුතු සඳහා මවට ලැබෙන අස්වැසිල්ලද අතිමහත්ය. එපමණක්ද නොව මව හා පියා අතරින් දරුවාට හඳුනාගත හැකි කටහඬ, පැහැය, හැඩය ආදී ලෙසින් වූ වෙනස් දේ හඳුනා ගැනීමේ කුසලතාවයන් වර්ධනයටද මෙය අවස්ථාවක් වේ. 

මෙසේ වුවද අධික ලෙස තෙහෙට්ටු වී හෝ අපහසුතා ඇති අවස්ථා වලදී දරුවාගේ ආරක්‍ෂාව පිළිබඳව සැලකිලිමත් වීම සිදු වී යුතුමයි. මොකද අධික නිදිමත නිසා දරුවාගේ අවශ්‍යතා නොදැනීම හෝ එයට සම්බන්ධ වීමට නොහැකි අවස්ථා වලදී ඒ පිළිබඳව පූර්ව දැනුවත් වීමක් සමඟ දරුවා තබාගැනීම වඩාත් සුදුසු වේ. තවද දරුවාගේ මනෝ සමාජීය සංවර්ධනය සඳහා ගීත ගායනය, කතා කීම, කවි කීම ආදී ලෙසින් වූ වැදගත් සිදු වීම් වෙනුවෙන් පියාටද මැදිහත් වීමට අවස්ථාවක් උදාවීම මනෝ සමාජීය සංවර්ධනය වැඩි කිරීමට හේතුවක් වේ. 

දරුවා ස්පර්ශය, චලනය ආදී ලෙසින් ක්‍රියාවකට දක්වන ප්‍රතිචාර හරහා පංච ඉන්ද්‍රියයන් උත්තේජනයට අවස්ථා සැලෙසන හෙයින් ඒ සඳහා දරුවෙකුට මවගේ රැකවරණයටද පියා සමීපයේ සිටීම ද ඉතා වැදගත් වේ. එසේම මවගේ රැකවරණය තුලින් මව ලබන සහනය, සැනසිල්ල, ආදරය මෙන්ම සහය දැක්වීම මඟින් මවට ලැබෙන අස්වැසිල්ල දරුවාගේ වර්ධනය තීව්‍ර කරයි. 

එසේම පවුලක මව, පියා අතර ඇති යහපත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දරුවාගේ සමස්ත ජීවිතයටම බලපෑම් එල්ල කරන අතරම අභියෝග හමුවේ මුහුණ දීමට ඇති ශක්තිය වඩවාලීමටද පවුලක ඇති යහපැවැත්ම හේතු වේ. දරුවෙකුට එහි මූලික අඩිතාලම ව‍ැටෙන්නේ සිය පවුල් පරිසරය තුලිනි. මව පියා අවශ්‍ය සීමවිටම දරුවාට මව පියා දකින්නට ලැබේ නම් දරුවාට එයම ආදරණීය බැඳීමකි. ශක්තියකි. මේ ශක්තිය වඩවාලන්නට හැකි අවස්ථා අප මඟ හැරිය යුතු නොවේ. ඒ සඳහා උපරිම අවස්ථා ඇති කිරීම අප සැමගේ වගකීම වේ. 

මෙසේ හෙයින් අළුත උපන් දරුවා සඳහා දෙමාපිය රැකවරණය දරුවාට දැනෙන ලෙස ලබාදීමට හැකි අවස්ථා උපරිම ලෙස රඳවාලන ජීවිතයක් දරුවාට උරුම කල හැකි  අප කෙතරම් වාසනාවන්තද? එසේම ඒ වාසනා මහිමය දරුවාගේද මුළු ජීවිතයටම දැනෙන ආශිර්වාදයක් ද වනු නිසැකය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article