අතීතයේදී දරුවන්ගේ අත්වල ජංගම දුරකතන දකින්න නොලැබුණත් අද වෙද්දී දුරකතනයක් අතේ නැති දරුවෙක් දකින්න ලැබෙන්නෙත් අහම්බෙන්. ඒත් ඒ තත්ත්වය සාධාරණීකරණය කරන්නට මෙන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය පෙරට ඇවිත් තිබෙනවා. ඒ කොහොම වුණත් විද්‍යුත් තිරය දරුවෙකු වෙනුවෙන් ලබා දෙනවා නම් දෙමාපියන් ලෙස අප වෙත විශාල වගකීමක් පැවරෙන බව අමතක නොකළ යුතුමයි. දුරකතනය, පරිගණකය වගේම රූපවාහිනියත් දරුවාට භාවිතයට දිය යුතු සීමාව වැඩිහිටි අප විසින් දැන සිටීම ඉතා වැදගත්.
ඇතැම් දෙමාපියන් පවසන පරිදි දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය නිසා දුරකතනයක් අරන් දුන්නත් දැන් දැන් දරුවා එයින් මුදවා ගැනීමට ඔවුන් අසමත් වී සිටිනවා. ඒ වෙනුවෙන් හේතු ලෙස ඇතැම් දෙමාපියන් ඔවුන් සතු තාක්ෂණික දැනුම මදකම වැනි හේතු ඉදිරිපත් කරන අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා. නමුත් මෙතැනදී දෙමාපියන් විසින් දරුවෙකුගේ මනෝමීය කුසලතා අවබෝධ කරගෙන නිවසේ පරිසරය එයට අනුව හැඩ ගැස්ස වීම සිදු කළා නම් එවැනි තත්ත්වයන් නිවෙස් තුළ ඇති වීමට තිබෙන ප්‍රවණතාවය ඉතා අවමයි. අපි අවශ්‍යතාවයට අනුව විද්‍යුත් තිරය භාවිත කළ යුතු ආකාරය, එය භාවිත කිරීමට සුදුසු කාල සීමාව දරුවාට අවබෝධ කරවීම ඉතාම වැදගත් වෙනවා.
හැම දරුවෙක්ම විද්‍යුත් තිරය භාවිතයේදී අයහපත් පැත්තට යොමු වෙනවාද?
කිසිසේත්ම නැහැ. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය හරහා ලොව දරුවෝ ඕනෑ තරම් කුසලතා ලබාගන්නවා. උදාහරණයක් විදියට තමන්ගේ රටේ පහසුකම් නැති විෂය මාලා වෙනත් රටකට ගොස් අධ්‍යයනය කරන්න අපි හැමෝටම ආර්ථික හැකියාව නොමැති වෙන්න පුළුවන්. නමුත් ලොව වටා ඇති දැනුම මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ලබාගෙන තමන්ගේ ඉලක්ක සපුරා ගන්නා දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. කොහොම වුණත් විද්‍යුත් තිර භාවිතයේදී අයහපත් පැත්තට යොමු වෙන්න ප්‍රවණතාවය යැඩි පිරිසක් සිටිනවා. ඔවුන් විද්‍යුත් තිරය අසීමාන්තිකව ඇබ්බැහි වීම නිසා ගැටලුවලට මුහුණ දෙනවා. එවැනි දරුවෝ කාණ්ඩ කිහිපයක් සිටිනවා.
- ආවේගශීලී පෞරුෂයක් ඇති දරුවෝ – දරුවෙකුට පුංචි කාලේ ඉඳලම සම්මා සතිය වැඩීමට ආනාපානසති භාවනාව හුරු කරලා, මාංෂ පේශී සැහැල්ලු කිරීමේ ක්‍රම හුරු කරලා නව යොවුන් වියට එළැඹීමට පෙර සිටම ඔවුන් වෙනස් කළ හැකි නම් නව යොවුන් වියට එළැඹෙන ඒ දරුවන් ආවේගශීලී පෞරුෂයන් ඇති දරුවන් බවට පත්වන්නේ නැහැ. එය දරුවෙක් විද්‍යුත් තිරවලට ඇබ්බැහි වීම අඩු කරන්න සමත් වෙනවා.
- අඩු අවධානය ඇති දරුවෝ – සාමාන්‍යයෙන් එක් දරුවෙක් පොතක් විනාඩි 20ක් කියවද්දි තවත් දරුවෙක්ට විනාඩි දහයක්වත් එහි රැඳී සිටීම අපහසු විය හැකියි. ඒ දරුවාට පිපාසය, කුසගින්න, නිදිමත වැනි අවශ්‍යතා ඇති විය හැකියි. සාමාන්‍යයෙන් පොතක් කියවද්දි අවම වශයෙන් විනාඩි 10ක්වත් අවධානය තිබිය යුතුයි. නමුත් වීඩියෝ ක්‍රීඩාවක යෙදීමේදී එතරම් කාලයක් අවශ්‍ය වන්නේ නැහැ. අන්න ඒ නිසා අඩු අවධාන ඇති දරුවන් විද්‍යුත් තිරය දෙසට යොමු වීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසාම දෙමාපියන් දරුවන්ගේ එවැනි තත්ත්ව හඳුනා කුඩා වියේදීම අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.
- නිවසේ සීමා මායිම් නැති කම – උදාහරණයක් විදියට මව විසින් සකසා ඇති ආහාරය යම් දරුවෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඇතැම් මව්වරු ඉන්නවා දරුවා ඉල්ලන දේ හදලා දෙන. අන්න එතැනදී සිදු වෙන දේ අප හඳුන්වන්නේ සීමා මියිම් නැති දෙමාපියකරණය කියලා. එවැනි අත්දැකීම් සහිත නිවෙස්වල දරුවන් විද්‍යුත් තිරවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය වැඩියි. එය දෙමාපියන් අතින් සිදුවන වරදක්. අපි එය නිවැරදි කරගත යුතුමයි.
- ඔරොත්තු දීමේ හැකියාව අඩු දරුවන් – ඉක්මනින් සිත රිදව ගන්නා, ඉක්මනින් කම්මැලි දැනෙන මානසික තත්ත්වයක සිටින දරුවෙක් විද්‍යුත් තිරය වෙත යොමු වෙන්නේ එවැනි හැඟීම් හමුවේ තමාට ඔරොත්තු දීමට ඇති හැකියාව අවම නිසයි. සින්දුවක් අහන්න, පරිසරය විඳින්න, ඇවිදින්න පුහුණුවක් නොමැති නම් ඔරොත්තු දීමේ නොහැකියාවත් එක්කම එවැනි දරුවෝ විද්‍යුත් තිර වෙත යොමු වෙන්න උත්සාහ කරනවා. අන්න ඒ නිසයි දරුවෙකුගේ මනෝමීය කුසලතා හඳුනාගෙන ඒවාට ගැලපෙන පරිදි නිවසේ පරිසරය වෙනස් කළ යුතුයි.
විශාදය තත්ත්වයේ සිටින නව යොවුන්විය දරුවන් – අද වෙද්දී දරුවන් සිය දෙනෙක් ගත්තොත් දහතුනත් දාසයක් අතර ප්‍රමාණයක් විශාදයට පත් වෙලා. ඒ දරුවෝ ජීවත් වෙන්නේ හරිම හිස් බවකින්, එපා වුණු ස්වභාවයකින්. මේ එපා වීම/හිස් බව පුරවගන්න එවැනි දරුවෝ විද්‍යුත් තිරවලට යොමු වීමේ ඉඩ කඩ වැඩියි. දරුවෙකුගේ හැසිරීම මත වෛද්‍ය උපදෙස් වෙත යොමු වීමෙන් මේ තත්ත්වයන් වළක්වා ගැනීමට මව්පියන්ට හැකියාව ලැබෙනවා.
අද වෙද්දි අවුරුදු පහට අඩු දරුවන් අතේ පවා දුරකථනයක්
- සාමාන්‍යයෙන් වෛද්‍ය උපදෙස වෙන්නේ අවුරුදු දෙකට අඩු දරුවෙක් ඇහැරිලා ඉන්නවා නම් නිවසේ රූපවාහිනිය පවා ක්‍රියාත්මක කරන්න එපා කියලයි. මොකද ඒ වයසේදී දරුවාගේ මොළය ඉතා සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ ස්නායු ජාලා වේගයෙන් වර්ධනය වෙනවා. මේ නිසා විද්‍යුත් තිරයක් වැනි සාමාන්‍ය පරිසරයේ නොමැති දෙයක් නිසා ඇති වෙන අධික උත්තේජනයෙන් දරුවාට විවිධ මනෝ සංකූලතා ඇති විය හැකියි. වයස අවුරුදු 2 – 5 අතර දරුවන්ට සාමාන්‍යයෙන් පැයක පමණ සුදුසු පරිදි විද්‍යුත් තිරය ලබා දිය හැකි වුවත් ඒ පසුගිය කාලය තුළ ඇති වූ වාතාවරණය වැනි තත්ත්ව මත පෙර පාසැලට ගොස් ගුරුවරිය සහ යාහළුවන් සමග ක්‍රියාකාරකම් සිදුකිරීමට අවස්ථාව අහිමි වුවහොත් පමණයි. මොකද එවැනි තත්ත්වයකදී දරුවෙකුට අධ්‍යාපනය ලබා දීම අවශ්‍ය නිසා අධ්‍යාපනය සම්බන්ධව විද්‍යුත් තිර කාලය ලබාදීමට සිදු වෙනවා. ඒ කාලයට අමතරව එවැනි තත්ත්වයකදී වුවත් දරුවෙකුට විද්‍යුත් තිරය ලබා දිය හැක්කේ පැයක පමණ කාලයක්ම පමණයි.
- දරුවන්ට කෑම කවන්න ගොඩක් අම්මලාට අද දුරකතනය/ටැබ් එක නැතිව බැහැ
අපි ආහාර ගනිද්දී සම්මා සතිය, ඒ කියන්නේ වර්තමාන මොහොතේ සිත පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. අපි යම් දෙයක් කරද්දී ඒක සාර්ථක කරගන්න නම් අවධානය ඒ කාර්යයේ යෙදවීම අත්‍යවශ්‍ය බව ඔබ අපි කවුරුත් දන්නවා. කෑම කද්දී වුණත් ඒ දෙය ඒ වගේම තමයි. ඒත් කෑම කවද්දී දරුවගේ අවධානය වෙන දෙයකට යොමු කරවලා බඩ පිරවීම අම්මාගේ අරමුණ වුවත් එය දරුවට යම් යම් ගැටලු ඇති කළ හැකියි. කෑම ගැන අවධානයකින් තොරව ආහාර ගනිද්දී දරුවා කෑම කෑවට එයාගේ කුස පිරිලද කියන එක ගැන දරුවාට අවබෝධයක් නොමැති වෙනවා. මොකද අවධානය නැතිකම නිසා දරුවාගේ මොළයට බඩ පිරුණු බවට සංඥාව ගමන් කරන්නේ නිවැරදි වෙලාවේ නෙවෙයි. දරුවාගේ කුස පිරුණු නිවැරදි වෙලාව සහ මොළයට පණිවිඩය ලැබී ආහාර ගැනීම නතර කරන වෙලාව අතර කාල පරතරය තුළ දරුවාට අනවශ්‍ය ආහාර ප්‍රමාණයක් උදරයට ගොස් අවසන්. ඒ කියන්නේ අපි දරුවාට ලබාදුන් ආහාර ප්‍රමාණය වැඩියි. අම්මට සතුටු වුණත් දරුවා බොඩක් කෑම කෑවා කියලා එය ඉතා අහිතකර තත්ත්වයක්. දරුවන්ට විද්‍යුත් තිර පෙන්නලා කෑම කවන එකෙන් වෙන්නේ දරුවන් ලොකු වෙනකොට එමගින් අනවශ්‍ය ලෙස තරබාරු බව, අධික කොලෙස්ටරෝල් තත්ත්වය, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග අවදානම ඉහළ යෑමයි. දරුවන්ට පමණක් නොවෙයි මේ තත්ත්වය වැඩිහිටියන්ට වුවත් බලපෑ හැකියි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
වෛද්‍ය සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලදී.