බබා ලැබුණට පස්සේ බිරිඳ ඉන්නේ එපාවෙලා වගේ ද? තරහෙන් ද?

දරු උපතක් සිදුවීම යන්න සාමාන්‍ය සංසිද්ධියක් වුනත් එයට මුහුණ දෙන මව ලබන්නා වූ අත්දැකීම් වගේම මුහුණ දීමට සිදුවන සිදුවීම් ගත් කළ එය තරමක් දුරට අභියෝගාත්මක කාල සීමාවකි. මවකට එම අභියෝගයට මුහුණ දීමට ඇති ශක්තිය මත එම තත්ත්වයන් හමුවේ ගැටලු පැන නැගීමට බෝහෝ  ඉඩකඩ ඇත. එවන් වූ අවස්ථාවක පසු ප්‍රසව ආතතිය ඇති විය හැකි අතරම මෙය ඇති වී නැති වී යන්නටත් අර්බුදයක් කරා ගමන්කිරීමටත් අවස්ථාව තිබේ.  

දරු ප්‍රසූතියට මුහුණ දෙන මවට පවුලෙන් ලැබෙන රැකවරණය, ආදරය වගේම සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෙතින් ලැබෙන සහාය සංරක්ෂණයත් හරිම වැදගත්. අම්මාට දරු ප්‍රසූතිය සඳහා දරන්නට වෙන වෙර වෑයම වගේම අපහසුතාවය විඳ දරාගන්නත් අලුත් අමුත්තා එක්ක ගනුදෙනු කරන්න හුරුවීමත් මේ සියලු අලුත් වගකීම් සම්භාරය මැද්දේ පුරුදු ලෙසින් නිවසේ මවක, ගෘහණියක ලෙසින් කරන්නට ලැබෙන සුපුරුදු කටයුතුත් පැවරෙන නිසාම පසු ප්‍රසව සමයේදී මවකට පැවරෙන වගකීම් සම්භාරය මෙන්ම මවට දැනෙන පීඩනය වැඩි වේ. නිවැසියන්ගේ සහයෝගය මගින් මවකට මේ ආතතිය යම්තාක් දුරකට පහව යා හැකි වුවත් යම් හෙයකින් දරාගැනීමේ සීමාව ඉක්මවා ගියහොත් එය මවට, දරුවාට බලපාන අන්දම ගැටලුකාරීය. මෙසේ හෙයින් මවකට ඇතිවිය හැකි ලක්ෂණ වගේම ඒ නිසා ඇතිවන ගැටලු හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. 

මේ වන විට ලංකාව තුළ මවුවරුන්ගේ පසු ප්‍රසව සමය තුළ මානසික තත්වයේ වෙනස්වීම් වලට හා එම නිසා ඇතිවන රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ ප්‍රමාණය වැඩි වීමක් දක්නට ලැබෙන අතරම එය හඳුනා ගැනීම පිළිබඳව දැන සිටීම මගින් මව්වරුන් ගේ ජීවිත අවදානම වළක්වා ගැනීමටත් දරුවන්ගේ පෝෂණය, ආරක්ෂාව සහ රැකවරණය සුරක්ෂිත කිරීමටත් හැකි වෙනවා. මවුවරුන්ගෙන් 50% කට පමණ පසු ප්‍රසව විෂාදය නම් වූ මානසික තත්ත්වය ඇතිවීම දැකිය හැකියි‍. 

පසු ප්‍රසව සමයේ මුල් සති දෙක තුළ ඇති වන අතර පසු ප්‍රසව විෂාදය තාවකාලික වේ. මෙවැනි තත්ත්වයකට පත්වූ මව්වරුන් තුළ හැඬීම, නුරුස්නා සුළු බව හා මානසික අවපීඩන තත්ත්වය ඇති වන අතරම මෙම රෝග ලක්ෂණ ඉක්මනින් පහව යයි. මේ සඳහා වැදගත් වන්නේ මව්වරුන්ට තම ස්වාමිපුරුෂයාගෙන් නිවැසියන්ගෙන් හා පවුලේ අයගෙන් දැඩි ආදරය, රැකවරණය, සහයෝගය හා කරුණාව ලැබීමයි. එවිට බොහෝ විට මේ තත්ත්වය පහව යයි. නවා මෙම තත්ත්වය postpartum blues ලෙසින් හැදින් වෙනවා මෙය සති දෙකකට වඩා පැවතුනොත් එය පසු  ප්‍රසව විශාදය හෝ පසු ප්‍රසව සයිකෝසියාව තත්ත්වයට පත්විය හැකි අතර මෙවන් තත්ත්වයකට පත්වුවහොත් මවට දරුවාට මෙන්ම පවුලේ අයට ද අපහසුතාවයට පත් වීමද සිදුවෙනවා. 

පසු ප්‍රසව සමය තුළ ඇතිවිය හැකි මානසික රෝග, මානසික වික්ෂිප්ත භාවය ප්‍රසූතියෙන් පසු මවුවරුන්ගෙන් 50% පමණ ඇති වේ.‍ ඒ අතරින් පසු ප්‍රසව විශාදය 10% – 15% පමණ ද පසු ප්‍රසව සයිකෝසියාව 0.1% – 0.2% පමණ ද දැකිය හැක. මේ තත්ත්වයන් දෙක හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මාතෘ මරණ පවා සිදුව ඇති හෙයින් පසු ප්‍රසව මානසික රෝග පිළිබඳ සෑම දෙනාගේම දැනුවත් වීම වැදගත් වේ.

පසු ප්‍රසව විශාදය තත්ත්වය නිසා මව්වරුන් සියදිවි හානි කර ගන්නා තත්ත්වයට පත් විය හැකි හෙයින් පවුල් ඒකකය තුළ මේ තත්ත්වයන් පිළිබඳ දැනුම නගා සිටුවීම වැදගත් වේ. පසු ප්‍රසව වික්ෂිප්ත භාවයේදී මවගේ හැඬීම, පවුලේ අය පිළිබඳ නුරුස්නා ස්වභාවය වැනි ලක්ෂණ මවක් පෙන්නුම් කරන අතරම මවට ඇති වගකීම් සමුදාය හා අලුත් ජීවිතයට මුහුණ දීමට සිදුවීම තුළින් සිතට ඇතිවන ආතතිය නිසා මේ තත්ත්වය ඇති වේ. පවුලේ සියලු දෙනාගේ අවධානය මගින් මග හරවා ගත හැකි වන අතරම රෝග ලක්ෂණ සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

පසු ප්‍රසව විශාදය ‍

මෙය බරපතළ තත්ත්වයක් විය හැකි අතරම රෝග ලක්ෂණ දැකිය හැක්කේ ප්‍රසූතියෙන් සති හයක් ඇතුළයි. මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර අත්‍යවශ්‍ය වේ. මේ තත්ත්වයේදී මවට, දරුවාට හා පවුලේ සියලු දෙනාටම අපහසුතාවයට මුහුණ දීමට සිදුවේ. 

රෝග ලක්ෂණ

  • නිරන්තර කලකිරීම
  • විඩාවට පත්වීම 
  • දුර්වල යයි සිතීම
  • අවධානය අඩු වීම
  • නිතර නිතර තරහ යෑම
  • ආහාර රුචිය වෙනස්වීම්
  • නින්ද නොයාම 

මේවා මවගේ හැසිරීම් රටාව තුළින් හඳුනාගත යුතු අතරම මේ ගැටලු නිසා ඇතිවන තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම තුළින් පීඩා අවම කරගත හැකිවේ. ප්‍රසූතියට මුහුණ දීම සාමාන්‍ය පරිදි සිදු වුවද දරු ප්‍රසූතියෙන් පසුව මවට ඇතිවිය හැකි මෙම තත්ත්වයේදී මවට, දරුවා පිළිබඳව හෝ සතුටින් සිටීමට නොහැකි වේ. මෙවැනි මව්වරු දරුවා බලා ගැනීම, සුරතල් කිරීම, සමහර විට මව් කිරි දීම පවා ප්‍රතික්ෂේප කළ හැකිය.එවැනි තත්ත්වයකදී එවැනි මවකට විශේෂ රැකවරණය මෙන්ම වෛද්‍ය උපදෙස් ලබා දීම කළ යුතු අතර ඖෂධීය ප්‍රතිකාර වල දී සෘජුව මැදිහත් වීමෙන් වෙලාවට ඖෂධ ලබාදීම කළ යුතු වේ.

පසු ප්‍රසව විෂාදය හේතුවෙන්

  • හිස පීරීම, පිළිවෙකට සිටීම පවා මගහැරී තමා ගැන පවා කිසිදු සැලකිල්ලක් නොදැක්වීම‍
  • අවධානය අඩුවීම නිසා දරුවා නොසලකා හැරීම
  • අමතක වීම
  • තීරණ වලට එළඹීමේ නොහැකියාව
  • තරහා ඇති වීම

වැනි තත්ත්වයන් ඇති විය හැකි බැවින් දරුවාට මවුකිරි දීම හා රැක බලා ගැනීම සම්බන්ධව ස්වාමි පුරුෂයාට මෙන්ම පවුලේ අයට විශාල වගකීමක් පැවරේ. 

එසේම තම ස්වාමිපුරුෂයා සමඟ පවා තරහ ඇති විය හැකි අතරම තමන් ආදරය කරන හා තමන්ට ආදරය කරන අයට පවා බැන වදින්නට/දඬුවම් කිරීමට පෙළඹිය හැකියි. මෙහිදී තමන්ගේ දරුවාට පවා මෙලෙස කළ හැකි බැවින් සුරක්ෂිත රැකවරණයක් අත්‍යවශ්‍ය වේ.

නින්ද සම්බන්ධව ගැටළු ඇති වීමේ හැකියාවක් ඇති හෙයින් වැඩිපුර නිදා ගැනීම හෝ නිදි නොමැතිව සිටීම දැකිය හැකි අතරම නිවසේ අනෙක් අයටද නිදි වර්ජිතව සිටීමට පවා සිදුවිය හැක.

ආහාර පිළිබඳ අවධානය අඩු/වැඩි විය හැකිය. ඇතැම් විට පාලනයකින් තොරව ආහාර ගැනීම දැකිය හැකි අතර එවිට පවතින අනෙකුත් දියවැඩියා, අධික රුධිර පීඩනය, කොලොස්ට්‍රෝල් වැනි රෝග තත්ත්වයන් වැඩි වීමට ඉඩ ඇත. තවද ආහාර ගැනීම අඩු වීම නිසා දුර්වල වී වෙහෙසට පත් විය හැකියි. එමෙන්ම බර අඩුවීමක් ද සිදුවිය හැකි නිසා මවගේ පෝෂණය සම්බන්ධව පවුලේ අයට වැඩි වගකීමක් දරා ගැනීමට සිදු වේ. 

මෙම රෝග ලක්ෂණ දිගින් දිගට පැවතීම නිසා මව තුළ ඇති ආත්ම ශක්තිය බිඳ වැටේ. මෙසේ හෙයින් දරුවන් හදා වඩා ගැනීම, දරුවන්ගේ අනාගතය ගැන පවුලේ කටයුතු සිදු කිරීම ආදිය බිඳ වැටේ. එසේම තමන් වරදකාරියක ලෙස සිතන හැඟීමක් ද ඇති විය හැකියි. එසේම මෙවන් ලෙස අධික ලෙස චිත්ත පීඩාවට පත්වන මවුවරු තමන්ගේ ජීවිතය හානි කර ගැනීමට පවා පෙළඹිය හැකි වන අතරම දරුවාගේ ජීවිතයද අනතුරේ හෙළීමට හැකියි.

මෙසේ හෙයින් ගර්භනී කාලය තුළ තුල දහසක් විඳ දරාගැනීම් මැද ලබාගත් කිරි සිහිනය බොඳ නොවන්නට මවක් පිළිබඳ දක්වන ආදරය කරුණාව මෙන්ම සහයෝගය එකඟතා මනාව සැලසුම් කළ යුතුය. පසු ප්‍රසව සමයේ ඇති විය හැකි තත්වයන් පිළිබඳව ද හොඳින් දැන ගත් කරුණු වටහා ගෙන කටයුතු කිරීම ඉතාමත් ප්‍රයෝජනවත් වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here