- Advertisement -

දරුවාට තමන් ඉදිරියේ තිබෙන දෙයින් සෑහීමට පත් වෙන මන්තරය කියා දෙන්න

-

අපේ දරුවන් නිතරම තමන්ට නැති දේ ගැන පසුතැවෙනවා මිසක්, තමන්ට ඇති දේ ගැන සෑහීමට පත් වෙන්නේ නැහැ. අතීතයේදී නම් බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට දැනමුතුකම් දුන්නේ ‘‘ ලද දෙයින් සැනසෙන්න ““…කියලා වුනත් අද ඒ වගේ අවවාද දරුවන්ට ලැබෙන්නෙත් නැහැ. ඒ විතරක් නොවෙයි, දරුවන්ගේ මව්පියන් වුනත් ලද දෙයින් සැනසෙන්න කියන අවවාදය දරුවන්ට ලබා දෙන්න තරම් සුදුසුකම් සපුරා නැහැ.

ඉතින්..ඔබ මේ කථාව අහලා තියෙනවාද..?

- Advertisement -

සපත්තුවක් නැතුව හඩන දරුවෙකුට කකුලක් නැති මිනිසෙකු දුටුවාලු. දරුවා එහිදී හැඬීම නවතා මේ විදිහට හිතුවාලු… සපත්තුවක් නැති වුනත් මට කකුලක් තියෙනවා…නමුත්..කොච්චර ලස්සන සපත්තු තිබුනත් මට කකුලක් නැති වුනා නම් දරුවාට හිතුනාලු…එතැනදී දරුවා යථාර්ථය තේරුම් ගත්තා.

ඉතින් ඔබේ දරුවා වෙතින්ද මේ වගේ ගති ලක්ෂණ නිරන්රතව මතු වෙනවා ඇති.

සමහර විට කුඩා කාලයේ පටන්ම ඔබේ දරුවා ලද දෙයින් සෑහීමට පත් නොවෙන චරිතයක් වෙන්නත් ඇති. එය දරුවා බාල කාලයේ සාධාරණ සිතුවිල්ලක් විදිහට හිතුවත් දරුවා සමග මේ සිතුවිලි වර්ධනය වීම එතරම් සුබවාදී නැහැ. දැන් ඔබට ඒ ඇයි කියලා හිතුනාද…?

නිතරම අසතුටින්…

ලද දෙයින් සෑහීමට පත් නොවන දරුවාව විතරක් නොවෙයි, ඕනෑම පුද්ගලයෙක් නිතරම නොසතුටින් පසු වෙන බව අමතක කරන්න එපා. කිසිම දවසක ඔවුන්ගේ හිතේ සතුටක් නැහැ. දරුවන්ගේ මෙවැනි සෘන සිතුවිලි ඔවුන්ගේ ආකල්ප සංවර්ධනයට පවා අහිතකර අන්දමින් බලපාන්න පුළුවනි.

හීනමානය…

තමන් පිළිබඳව සෑහීමකට පත් නොවන දරුවා නිතරම පසුවෙන්නේ හීනමානයෙන්. අනිත් හැම දෙනෙක්ම මට වඩා ඉහලින් සිටිනවා. ඔවුන්ගේ භෞතික සම්පත් මට ඇති දෙයට වඩා ඉස්තරම්. අපි කොටින්ම මේ විදිහට හිතමු. දරුවාට තමාගේ චෙස් පුවරුව , එහෙම නැත්නම් බැට් එක ගැන වුනත් සෑහීමක් නොවුන විට ඔවුන් සමාජයේ විවිධ  අවස්ථාවන්ට සම්බන්ධ වීම පවා ප්‍රතික්ෂෙපකරනවා.

මගේ චෙස් බෝඩ් එක තත්වයෙන් අඩුයි. …ඒ නිසා මම සම්බන්ධ වෙන්නේ නැහැ. මේ අන්දමින් අනුන් උපමා කර ගෙන තමන්ගේ අවස්ථාවන් අහිමි කර ගැනීම නිසා දරුවා නිතරම පසු වෙන්නේ හීනමානයෙන්. ඒ නිසා ඔවුන්ට ඇති අවස්ථාවන් පවා තමා විසින්ම අහිමි කර ගැනීමට පවා සිදු වෙනවා.

ආත්ම විශ්වාසයක් නැහැ…

දරුවන්ගේ හිතේ ගොඩ නැගෙන මේ හීනමානය නිසාම ඔවුන්ගේ හිතේ ආත්ම විශ්වාසයක් නැති වෙනවා. අනේ මට ඒ දෙය කරන්න බැහැ. මම ඒ තරඟයට සුදුසු නැහැ. මේ විදිහට තමා මුල් කර ගෙන ඇති වෙන අවිහ්වාසය නිසා දරුවාට සමාජයේ ඉදිරියට යෑමට තිබෙන අපේක්ෂාවන් පවා නැති වෙනවා. ඒ නිසාම දරුවාගේ හිතේ නිතරම ඇති වෙන්නේ අපේක්ෂාභංගත්වයක්.

මේ විදිහට චරිත ස්වභාවයන් ගොඩ නැගෙන්නේ ඇයි…?

දරුවන් තුලින් මෙවැනි චරිත ලක්ෂණ ගොඩ නැගෙනන්ත් බලපාන හේතු තිබෙනවා. සමහර දෙමව්පියන්ද මේ ගැන වග කිව යුතුයි. ඔවුන් දරුවන්ගේ බාල කාලයේදී සෙසු දරුවන්ට වඩා තමන්ගේ දරුවා ඔසවා තබන්නට  වෑයම් කරනවා. බාල කාලයේදී එය අපහසුවක් නැහැ. මකන කෑල්ල  වුනත් ඉස්තරම් වර්ගයෙන් මිළට අරගෙන දෙන්න ඔවුන් උත්සාහ කරනවා. ඒ නිසා දරුවාගේ මානසිකත්වයත් හොදම දෙය මුල් කර ගෙන ගොඩ නැගෙනවා. දෙමව්පියන් ආදරයට මේ දෙය කළත් එයින් දරුවාගේ ති පැවැතුම් අනාගතයේදි ඔවුන්ටම කරදරයක් බවට පත් වෙනවා.

අවම පහසුකම් තුලින් උපරිම ඵලදායිතාවයක් ලබා ගන්න.

මේ නිසා නිතරම දරුවන්ට අවම පහසුකම් වෙතින් උපරිම ඵලදායිතාවයක් ගොඩ නගා ගැනීමට උනන්දු කරන්න. අතීතයේදී දරුවන් තමන්ගේ පැන්සල අතින් ලියන්න තරම් නොහැකි තත්වයට පත් වූ විට එහි පිටුපසට පෑන් බටයක් සවි කර ගන්නා. තමන්ගේ සම්පත්වලින් උපරිම ප්‍රෙයා්ජන  ලබා ගැනීමට දෙමව්පියන් දරුවන් හුරු කළේ ඒ විදිහටයි. මකනය වුනත් දෙකට කපලා එයින් එක් වතාවකට එක් කෑල්ලක් දුන්නා. අනිත් කොටස දුන්නේ මුල් කොටසින් මකන්න බැරි තරම් ගෙවී ගිය විටයි.නමුත් අද පංතියක දරුවන් තුළ මකනයේ, පැන්සල් කටරයේ පවා තියෙන්නේ විවිධත්වයක්, ඒ අරුමෝසම් ලෝකය තුළ දරුවන් අතර තරගයක් ගොඩ නැගෙනවා. නමුත් දරුවන්ට නිතරම අවම පහසුකම් තුලින් ඉදිරියට යැමේ කතාන්දරය කියා දෙන්න. එය සමාජයෙන් කොන් විමක් නොවෙයි.  අනාගතයේදී තමන්ගේ ජීවිතයේ ස්ථාවරත්වය වෙනුවෙන් ආයේජනයක් බැව් කියා දෙන්න.

නැති දේ ගැන ලතැවෙන්න එපා…

අද දවසේ දරුවන් බොහෝ විට නැති දේ ගැන ලතැවෙනවා. පවතින ආර්ථික අර්බුදය ඉදිරියේ අපි දැන් නැති දේ ගැන ලතැවෙනවාට වඩා විකල්ප සම්පත් ඔස්සේ ඉදිරියට යා යුතු යුගයක් බව අමතක කරක්ක එපා. දරුවන් වෙනුවෙන් වූ ආහාරපාන පවා හිගතාවයක් පවතින විට ඒ වෙනුවෙන් විකල්ප සොයා ගන්න ජපන් ජාතිකයන්ගේ දියුණුවට බලපා තිබෙන්නේ මේ ක්‍රමවේදයයි. ඔවුන් විවිධ උපකරණ පවා නැති අවස්ථාවන්හිදී ඒ ගැන ලතැවෙමින් තමන්ගේ කාර්යය අතපසු කරන්නේ නැහැ. විකල්ප සොයා ගෙන අවස්ථාවට ගැලපෙන පරිදි තමන්ගේ කාර්යය නිම කරනවා. උදාහරණයක් විදිහට අපි මේ විදිහට හිතමු. පංති කාමරයේ කුනු අදින ‘‘ ඩස්ට් පෑන් ““ එක කැඩිලා නම් ඊට විකල්පය අතු නොගා සිටීම නොවෙයි. කාඩ්බෝඩ් දෙකක් සොයා ගෙන අතුගාන ලද කුණු ඉවත් කිරීම නොවේද..? කුණු දමන කූඩය බිඳී ඇත්නම් පරණ තීන්ත බාල්දියක් හෝ කුනු දැමීමට ගැලපෙන කාඩ්බෝඩ් පෙට්ටියක් හෝ සොයා ගෙන හිස්තැන පිරවීම හැර අනේ කුනු දාන්න බාස්කට් එක නැතැයි මැසවිලි නැගීම නොවේ.

පසුගාමී වීම

නිතරම මේ අන්දමින් මට නැහැ…මට බැහැ.. මම කලුයි..මම කොටයි… එහෙම නැත්නම් මම උසයි යනුවෙන් තමා මුල් කර ගෙන විවිධ මානයන් ගොඩ නගා ගෙන පසුතැවිලි වීම නිසා දරුවාගේ පෞරෂය පවා බිදවැටෙනන්ට පුළුවනි. ඒ නිසා නැපෝලියන් බොනපාට් කී ලෙසින් නැහැ..බැහැ යන වචන දරුවන්ගේ ශබ්ද කෝෂයෙන් ඉවත් විය යුතුයි. එපමණක් නොව…අනිත් අයට සාපේක්ෂ කරමින් තමා නුසුදුස්සෙක්ය යන සිතුවිලි වෙතින් දරුවා දුරස් කිරීම ඉතාම වැදගත්.

ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබ නිතරම දරුවාට තමන් ඉදිරියේ තිබෙන දෙයින් සෑහීමට පත් වෙන මන්තරය කියා දෙන්න එය ඔවුන්ගේ අනාගතයට ලබා දෙන ජීව හුස්මක් තරම් ප්‍රබල වෙනු ඇත.

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article