පුංචි දරුවෝ මල් වගේ කියලා අපිට හිතුනට එහෙම නොහිතෙන පිරිසකුත් අපේ සමාජයේ ඉන්නවා. අන්න ඒ නිසයි පුංචි මල් කකැළු පරවෙලා යන්න පටන් අරන් තියෙන්නේ. පසුගිය කාලය පුරාම දරුවන්ට අපයෝජනය ලක් කිරීම, අපයෝජනය කර මරා දැමීම් වාර්තා වුණා ඔබට මතක ඇති. අද වෙද්දී අන්න ඒ විදියට ළමා අපයෝජන අහන්න ලැබෙන අවස්ථා වැඩි වෙලා. ගැහැනු පිරිමි භේදයකින් තොරව අපේ දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත් වෙලා, අපයෝජනයට ලක් වෙනවා. ඒ කෙසේ වෙතත් ඇතැම් දරුවන්ට තමා අපයෝජනයට ලක් වෙනවාද යන්න පිළිබඳවවත් දැනීමක් නැහැ. ඔවුන් ඒ බව දැනගන්නේ තමන් වැඩිහිටි වූ විටයි. තමන්ට සිදුවෙන දෙයක් අඩු තරමේ ගෙදර ඇවිත් අම්මා තාත්තා සමග කියන්නවත් දරුවෙක් ඒ දෙය නුසුදුසු දෙයක් බව දන්නේ නැහැ. මෙවැනි වටපිටාවක දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමව්පියන්ට ලොකු වගකීමක් පැවරෙනවා. ඒ වෙනුවෙන් දෙමාපියන් කළ යුත්තේ මොනවාද කියා සිතා ගත නොහැකි වුවත් දරුවන් අනාරක්ෂිත වෙන්න ඉඩ දී බලා සිටින්නත් නොහැකියි. මෙතැනදී දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම පිළිබඳව දෙමාපියන් උනන්දු විය යුතුයි.
දරුවන්ට ලිංගික අධ්‍යාපනය අවශ්‍ය ද? එය දරුවන්ට ලබා දිය යුතුද ?
ලිංගික අධ්‍යාපනය කියන්නේ වඩාත් පුළුල් පරාසයක් තුල පැතිරුණු බොහොමයක් පැතිකඩ ඇති විෂයක්. දරුවෙකුට නිවැරදි දැනුම ලබාදීමට වගේම දරුවාගේ ආරක්ෂාවටත් ලිංගික දැනුම ලබාදීම බොහොම වැදගත්.
දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ කොහොමද?
අපේ ඇතැම් වැඩිහිටියෝ ලිංගික අධ්‍යාපනය කියන වචනයටත් බයයි. ඒ විෂය අදාල වැඩිහිටියන්ට පමණක් බව සිතමින් ඔවුන් කටයුතු කරනවා. ඒත් තමන්ගේ පවුලේ සාරධර්ම වලට අනුව තමන් විශ්වාස කරන සංස්කෘතියට අනුව අපට පුළුවන් දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න.
ලිංගික දැනුම සම්බන්ධව දරුවෙකුට අවබෝධ කළ යුත්තේ මොනවාද?
වෛද්‍ය විද්‍යාත්මකව ගත්තොත් ලිංගික අධ්‍යාපනය කුඩා වියේදීම දරුවාට ලබා දිය යුතුයි. දරුවාගේ වර්ධනයත් එක්ක අවුරුදු දෙක වෙද්දි තම ශරීරය අවයව හඳුනා ගන්නවා. ඒ අවස්ථාවේ සිට තමන්ගේ ශරීර අවයව, ලිංගික අවයව හඳුනා ගැනීම සිදු වෙනවා. වයස අවුරුදු තුන පමණ වෙද්දි තමන් ගැහැනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියා දරුවාට අවබෝධ වෙනවා. සමාජ සම්මුතිවලට අනුකූලව අවුරුදු හතර, පහ වෙද්දි නංගි/මල්ලි කෙනෙක් ලැබුණොත් බබා ලැබෙන්නේ කොහොමද කියන ගැටලුව දරුවෙක්ට ඇති වෙනවා.
මෙන්ම මේ විදියට දරුවෙක් නව යොවු වියට ළඟා වන විට ශරීරයේ වෙනස්කම්, හැගීම්, හැසිරීම් රටා ගැන දරුවෝ දැනුවත් වෙනවා. ඒ දැනුවත් වීමට නම් කුඩා වියේ සිටම දරුවෙක් තම ශරීරය හඳුනාගැනීම, පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම ගැන අවබෝධයක් ලබා සිටිය යුතුයි.
ලිංගික අධ්‍යාපනය දරුවෙකුට ලබා දීම ආරම්භ කරන්නේ කෙසේද?
දරුවෙකුට ලිංගික අධ්‍යාපනය ලබාදෙන පළමු ගුරුවරුන් වන්නේ දෙමාපියන්. අන්න ඒ නිසාම මූලිකවම දෙමව්පියෝ දැනුවත් විය යුතුයි.
ලිංගික අධ්‍යාපනය දරුවෙකුට ලබා දීමේදී මව්පියන් සැලකිලිමත් විය යුතු කරුණු
- දරුවාගේ වයස
- සිතුම් පැතුම්
- තේරුම් ගැනීමේ හැකියාව
- දරුවා කුතුහලයෙන් සිටිනවාද යන්න
- විවිධ වර්ධන අවධි වලදී දරුවට ඇති දැනුම
- දරුවාට වටහා ගත හැකි පරාසය කුමක්ද
- තමාට දරුවා සමග මේ ගැන කතා කළ හැකිද යන විශ්වාසය
මේ සඳහා විශේෂයෙන්ම දෙමාපියන් සහ දරුවන් අතර මනා සම්බන්ධයක් ගොඩ නැඟී තිබිය යුතු වන අතරම කුඩා වියේ සිටම අවශ්‍ය කරුණු පියවරෙන් පියවර දරුවා වෙත ලැබා දී තිබිය යුතුයි. එසේ නොමැතිව යොවුන් වියේ සිටින දරුවා සමග එක්වරම ලිංගික සංසර්ගය සම්බන්ධව කතා කළ නොහැකි බව දෙමාපියන් වටහා ගත යුතුයි.
ඒ වගේම දෙමාපියන්ගේ තවත් වැදගත් වගකීමක් වන්නේ ආදර්ශමත්ව ජීවත් වීමයි. එහිදී,
- සම්බන්ධතා රැකගන්නා ආකාරය
- අන්‍යෝන්‍ය අවබෝධය සාර්ථක සම්බන්ධතාවයකට වැදගත් වන ආකාරය
- දෙදෙනකු අතර ඇති විශ්වසනීය සම්බන්ධයේ වැදගත්කම
- සුහදශීලී සම්බන්ධයක වටිනාකම වැනි කරුණු ආදර්ශයෙන්ම ඔබට පෙන්විය හැකියි.
මෙවැනි වටපිටාවක් තුළ දරුවාට ඇති ගැටලු අනුව පිළිතුරු ලබා දෙන්න ඔබට හැකියි. උදාහරණයක් ලෙස අපි අවුරුදු පහක දරුවෙක් ගනිමු.
අම්මා බබෙක් ලැබෙන්නේ කොහොමද?
ඔබ කලබල නොවී දරුවාගේ වයසට අනුව එය පහදා දෙන්න. මේ දරුවා ඔබෙන් අහන්නේ දරුවෙක් ලැබෙන්න පවත්වන සංසර්ග සම්බන්ධතාවය ගැන නොවෙයි. මේ වයසේ දරුවෙක්ගේ කුතුහලය බබා කොතැනදී ඉන්නේ? එන්නෙ කොහොමද? යන ගැටලුවන අතරම එය දරුවාගේ වයසට සරිලන ලෙස ඔබට අවබෝධ කරවිය හැකියි.
පෙර පාසැල් වයසේ දී නංගි හෝ මල්ලි ලැබෙද්දී ඒ ගැන දරුවන් විමසනවා. කිසිවිටෙක දරුවාට බොරු නොකියා සරලව අවබෝධ කරවන්න. එතකොට අපිට පුළුවන් ඇයි එකපාරටම එහෙම ඇහුවේ.. පුතා/දුවගෙන් කවුරු හරි බබා ගැන ඇහුවද? කියලා දරුවාගෙන් අහන්න. ඒ අහලා දරුවාට තියෙන ගැටලුව අනුව වයසක සරිලන පිළිතුරු ලබා දෙන්න. අපි අපේ දරුවාට බොරු කිව්වොත් දරුවා එය දැන ගන්නවා. ඉන්පසුව අපිට හොර රහසේ වෙනත් මාර්ගවලින් තොරතුරු සොයා යෑමට පටන් ගන්නා අතරම එය අවදානම් තත්ත්වයක් බව සිහි තබා ගන්න.
වයස අවුරුදු තුනත් පහත් අතර දරුවන්ට සිරුරේ පෞද්ගලික කොටස් ගැන කියා දිය යුතුයි. එසේම,
- කකුල් අතර, පපු පෙදෙස, පිටුපස පෙදෙස කිසිවෙකුට ස්පර්ෂ කිරීමට ඉඩ නොදෙන ලෙසත්
- තමාට අපහසුවක් දැනෙන ආකාරයේ ස්පර්ෂයක් ඇති වුවහොත් එය ප්‍රතික්ෂේප කරන ලෙසත්
- අම්මා/තාත්තාට කිසිවක් නොකියන ලෙස පැවසුවොත් ඔවුන් අනිවාර්යෙන්ම දැනුවත් කරන ලෙසත් දරුවාට පවසන්න
- පෞද්ගලිකත්වය රැක ගැනීමට දරුවාට හුරු කරන්න.
නව යොවුන් දරුවන්ට වෙනුවෙන් ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී වැදගත් වන කරුණු මොනවාද?
අපේ දරුවන් නව යොවුන් වියට පා නගද්දීම දරුවෙක්ට කතා කළ යුතු එකම මාතෘකාව ලිංගික සංසර්ගය නොවෙයි. ඉන් එහා තවත් බොහෝ දේ මේ ලිංගික අධ්‍යාපනය යටතේ දරුවෙකුට ලබා දිය හැකියි. මේ සියලු කරුණු පිළිබඳව දරුවෙකු දැනුවත් කිරීම දරුවාගේ ජීවිතය සාර්ථක කරවීමට මනා සේ සහය වනු ඇත.
- තමන්ගේ සිරුරේ සිදු වන වෙනස්කම්
- සාර්ථක සම්බන්ධයක් පවත්වා ගන්නා ආකාරය
- අන්‍යෝන්‍ය ගරුත්වය ආරක්ෂා කිරීම
- නිවැරදි/හොඳ තීරණ ගැනීම
- යමෙකුගේ අනාරක්ෂිත ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම
- අන්තර්ජාලය/සමාජ මාධ්‍ය ජාලා ආරක්ෂිතව භාවිතය (උදාහරණයක් ලෙස අවුරුදු 14, 15 පසු වන විට විරුද්ධ ලිංගිකයෙක් සමග ඇති වන සම්බන්ධයකදී ඡායාරූප/වීඩියෝ එවන ලෙස ඉල්ලීම් කර ඒවා යොදා ගනිමින් තම අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරන අවස්ථාවලින් ආරක්ෂා වීම දැක්විය හැකියි)
කෙසේ වුවද වයස අවුරුදු 12, 13 කාල සීමාවේදී පාසැල් විෂය නිර්දේශයට අනුව විද්‍යාත්මක පසුබිමක් යටතේ ලිංගික සංසර්ගය, ගැබ් ගැනීම, ප්‍රසූතිය හා සම්බන්ධව යම් අවබෝධයක් ලබා දුන්නද එය වටහා ගැනීමට ඇතැම් විට දරුවන්ට අපහසු විය හැකියි.
ලිංගික අධ්‍යාපයට හිමි වීම තුළින් සමාජයක් වශයෙන් අපට හිමි වන වාසි මොනවාද?
- අඩු වයස් ගැබ් ගැනීම් අවම වීම
- නිකරුණේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීම
- දරුවන් අපයෝජකයන්ට ගොදුරු වීමට ඇති අවස්ථා අවම වීම
- ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා වීමට හැකි වීම
අන්න ඒ නිසාම දෙමාපියන් දරුවන් සමග විවෘත වීම ඉතාම වැදගත් වේ. විවෘතව කතා නොකරන මේ මාතෘකාව සම්බන්ධව දරුවන් සමග විවෘතව කතා කිරීමට තරම් දෙමාපියන් තුළ විශ්වාසයක් තිබිය යුතුය. ශක්තියක් තිබිය යුතුය. එසේ නොවන විට දරුවා යහළුවන්/අන්තර්ජාලය/පිටස්තර වැඩිහිටියන් යන අනාරක්ෂිත ක්‍රම හරහා දැනුම සොයන්නට වෙහෙසෙන අතරම අපයෝජකයන් වෙත නොදැනුවත්වම ගොදුරු වීමට ඇති ඉඩකඩද වැඩිය. තමාගේ සිරුරේ ස්වභාවික ක්‍රියාවලින් පිළිබඳ දැනුවත් වීමට දරුවන්ට තිබෙන අයිතිය අප සුරක්ෂිත කළ යුතුයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂ්‍ඥ වෛද්‍ය, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්ය දුලංගි දහනායක මහත්මිය
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂ්‍ඥ වෛද්‍ය, දුලංගි දහනායක මහත්මිය
රිජ්වේ ආර්යා ළමා රෝහල
කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්ය