අපේ ජීවිත කාලය තුළ විවිධ භූමිකා රඟපාන්නට අපිට සිදුවෙනවා. උදාහරණයක් ලෙස ගත් කළ ගැහැනු දරුවෙකු ලෙස මෙලොවට බිහිවන ඇය වයසින් වැඩෙත්ම වැඩිවියට පත්වෙලා පෙම්වතියක්, බිරිඳක් බවට පත්ව මවක් අත්තම්මා කෙනෙක් දක්වා විවිධ භූමිකා ඔස්සේ ජීවිතය ඉදිරියට ගෙන යනවා. එපමණක් නොවෙයි, රැකියාවේදීත් විවිධ නිලතල දරමින් ඉදිරියට ගමන් කරනවා. නමුත් මේ භූමිකා හෝ නිලතල අප තුළ අප කියලා කෙනෙක් සිටිනවා. අයෙක් ඒ පුද්ගලයාගේ වෘත්තියෙන් හෝ හැසිරෙන ආකාරයෙන් මැනිය නොහැකියි. ඇතැම් අවස්ථාවලදී අපේ ජීවිත තුල ගැටලු ඇති වෙන්නට හේතු වන්නේ මෙසේ අප රඟ දක්වන එක් එක් භූමිකා අදාල නොවන තැන්වලදී රඟදැක්වීම හේතුවෙන් විය හැකියි. ඇතැම් විට අපේ ජීවිතේ ගොඩක් ගැටළුවට මුල අපේ රාජකාරිය, ගෙදර ගෙනයාම හෝ ගෙදර, රාජකාරි ස්ථානයට ගෙනයාම නිසා විය හැකිය. මේ හේතුව නිසා ඇතැම් විට අපේ සබඳතා බිඳ වැටෙන්න පවා ඉඩකඩ වැඩියි. අන්න ඒ නිසාම තමාට අදාල භූමිකාව අදාල ස්ථානය තුළ පමණක් පවත්වාගෙන යාමට මව්පියන් ලෙස අප උනන්දු විය යුතුමය.
ජීවිතය තුළ භූමිකා රංගනය කියන්නේ මොකද්ද ?
භූමිකාවක් කියලා කියන්නේ චරිතයකට අදාල කාර්යභාරය. නැතිනම් චරිතයට අදාළ වගකීම. මවගේ චරිතයක් නම් ඊට අදාළ සිතුම් පැතුම් රටාවක්, වචන රටාවක්, හැසිරීමක් තියෙනවා. ඔබ ආයතනයක ප්‍රධානියෙක් නම් ඒ ප්‍රධානියකුට ඒ භූමිකාව තුළ ඒ නායකත්වය තුළ ඔබට අදාල භූමිකාවක් තියෙනවා. ඒ භූමිකාව තුළ ඔබ ආයතනය තුල ඔබ අන් අය පාලනය කරනවා වෙන්න පුළුවන්. ඒ සඳහා යම්කිසි හැසිරීම් රටාවක් ඔබට තිබිය හැකියි. ඒ තුළ ඔබ යම්කිසි නීති පද්ධතියක් අනුව සිටිනාව විය හැකියි.
උදාහරණයක් ලෙස ඔබ ගුරුවරියක් නම් ඒ භූමිකාවට අනන්‍ය වූ හැසිරීම් රටාවක් ඔබට තිබෙනවා. ඒ වගේම ඔබ මවක්. නිවසේදී මවගේ චරිතය තුළ ඔබට ආවේණික හැසිරීම් රටාවක් තියෙනවා. අන්න ඒ ආකාරයෙන් භූමිකාවක් කියන්නේ හැමතිස්සෙම චරිතයකට අදාළ කාර්යභාරය ලෙස හැඳින්වීම නිවැරදියි. ඔබට චරිතයකට අදාල දෙබස්, වචන මාලාවක් වගේම අදාළ හැසිරිමකුත් ඇති නිසා ඔබ වෘත්තිය ජීවිතයේදීත් මවක ලෙස නිවසේ ගතකරන ජීවිතයේදී වෙනස්කම් පවතිනවා. මෙසේ විවිධ විවිධ අවස්ථාවලදී විවිධ ස්ථානයන් ට අනුව සමාජ සාරධර්ම සමග අපිට අනන්‍ය වූ හැසිරීම් රටාවක් වගේම සංවාද ඇතුළු සියල්ල නියම වී තිබෙනවා. ඒ ආකාරයෙන් භූමිකා විශාල සංඛ්‍යාවක් එක් දිනක් තුළ අපි රඟපානවා. නමුත් මේ භූමිකා රංගනයේ අසමතුලිතතා ඇති වූවොත් එය අපේ සියලුම කාර්යයන් අසමතුලිත කරන්නට හේතු විය හැකි බව අමතක නොකළ යුතුයි.
දෙමාපියන් තම රැකියාවේ භූමිකාව නිවසට රැගෙන ආවොත් පවුල තුළ ඇති වන්නේ කුමන ආකාරයේ තත්වයක්ද?
සමාජයේ තියෙන කුඩාම ඒකකය පවුල. උදාහරණයක් විදියට පියා, පොලිස් නිලධාරියෙක් මව, ගුරුවරියක් දරුවන් පාසල් අධ්‍යාපනය ලබන පවුලක් අපි ගනිමු. මේ නිවසේ මව නිවසට ආ පසුවත් ගුරුවරියම නම් පියා නිවසට ආ පසුවත් පොලිස් නිලධාරියාම නම් ඒ පවුල තුළ බැඳීම්වලට විශාල හානියක් සිදුවෙනවා. සැමවිටම ඔබ රඟපාන භූමිකාව තුල ඔබ ගනුදෙනු කරන්නේ කුමන පුද්ගලයන් සමග ද යන්න ඉතා වැදගත් වේ.
පොලිස් නිලධාරියෙකුට අනන්‍ය වූ ඒ ස්ථානය සහ ඒ පද්ධතිය තුළ ඒ ප්‍රපංච ලෝකය තුළ ඔහුට ආවේණික හැසිරීම් රටාවක්, ආවේණික විනය පද්ධතියක්, මේ සියල්ල ඔහුට දීර්ඝ කාලීනව පුහුණු කරනවා.ඔවුන් කතා කරන විලාසය/ හැසිරීම් රටාව වෙනස්. ඒ තුළ විධානාත්මක ස්වරූපයක් තිබිය හැකියි. ඒ ඔහුගේ රාජකාරිය වෙනුවෙන් ඔහු පුහුණුව ලැබූ ආකාරය නිසයි. ඔහුගේ චරිතය තුළ ඔහු එක්තරා ආකාරයකට ඔහුගේ චරිතය සකස් කරගත යුතුයි. ඒ පුහුණුවත් සමග ඇතැම්විට ඔහුගේ කතා විලාසය/හැසිරීම යම්තාක් දුරට විදානාත්මක ස්වරූපයක් ගන්නවා විය හැකියි. මේ තත්ත්වය මත ඇතැම් විට ඔහුගේ උණුසුම් සබඳතාවය ඔහුගෙන් ගිලිහී ගොස් විය හැකියි. මේ ආකාරයට පොලිස් නිලධාරියෙක් නිවසට පැමිණීමේදී දරුවන්ට තම පියා වගේම බිරිඳට ආදරණීය සැමියා අහිමි වෙනවා. මවගේ පැත්තෙන් ගත්තත් නිවස තුළදීත් ඇය රඟ දක්වන්නේ තම වෘත්තියේ චරිතයම නම් මේ තත්ත්වයම උත්දගත වෙනවා. එයට හේතුව එක් භූමිකාවකින් අනෙක් භූමිකාවට හරියාකාරව පරිවර්තනය/මාරු නොවීමයි.
මව/පියා කියන්නේ වැඩිහිටියන්. මේ චරිතවලට හරියාකාරව මාරු වෙන්න ඔවුන්ට බැරිද?
උදාහරණ විදියට පෙර උදාහරණයම ගත්තොත් පොලිස් නිලධාරියෙක් වීමට ඔහු එය දීර්ඝකාලීනව පුහුණුවක් ලබනවා. ඒ පුහුණුව නිසා ඔහුගේ මනස ඒ ක්‍රියාවලියකට වැඩසටහන්ගත වී අවසන්. අන්න ඒ නිසා ඔහුගේ චරිතය මාරු වුවත් ඔහු ඒ අවස්ථාවට රැගෙන යන්නේත් ඒ හැසිරීම් රටාවම විය හැකියි. ඒත් නිවසට එන ඔහු තුළ රැකියාවේ හැසිරීම් රටාව/ අණදෙන ස්වරූපය/ සැර පරුෂ ස්වභාවය පවතිනවා නම් නිවස තුළ දරුවන්ට බිරිඳට එය කිසිසේත්ම සුදුසු නැති බව අපි කලින්ත් පැවසුවා. අන්න ඒ නිසාම වැඩිහිටියන් ලෙස සිතමින් මම දැන් යන්නේ මගේ ගෙදර, මම ඒ ගෙදර දයාබර සැමියා/පියා කියන සිතුවිල්ල සතිය පිහිටුවා ගනිමින් පියාගේ /සැමියාගේ භූමිකාවට මාරු විය යුතුයි. ඒ ආකාරයට ඔබ පියාගේ/සැමියාගේ චරිතයට අනුගත නොවුණොත් පවුල තුළ ගැටලු බොහෝමයක් නිර්මාණය විය හැකියි. තාත්තා ගෙදර එනවට දරුවන් අකමැති වෙන්නේ මෙවැනි ගැටලුවල ප්‍රතිඵලයක් විදියටයි. ඇතැම් අවස්ථාවල ඒ අකමැත්ත ලෙඩ රෝග ඇතිවීම/ පාසැල් යෑම ප්‍රතික්ෂේප කිරීම වැනි තත්ත්වයන් තෙක් වර්ධනය විය හැකියි. අන්න ඒ නිසාම මව්පියන් ලෙස අප නිවස තුළ හැසිරීම අපේ දරුවන්ගේ සුවැති මනසට ඉතා වැදගත් බව සිහිතබාගත යුතුයි.
බිරිඳ ආයතනික ප්‍රධානියෙක්ගේ. ඉතිං එයා ගෙදර ඇවිත් මට අණ කරනවා. ගැහැනුකම/අම්මාකම එයා ළඟ නැහැ. එයත් පිරිමියා වෙන්න යනවා……. මේ තම බිරිඳ ගැන සැමියෙක්ගේ පැමිණිල්ලක්. මෙතැනදී වෙන්නේ කුමක්ද?
මේ ගැටලුව මව/පියා කියන දෙදෙනාටම පොදුයි. කාන්තාවගේ තියෙන අනන්‍ය වූ ලක්ෂණ වලට තමා පිරිමියෙක් ආදරේ කරන්නේ. ඒ ඇයගේ උණුසුම් බව, ලද බොළඳ බව, සැහැල්ලු බවට විය හැකියි. ඒත් අපි යම් යම් තලවල, යම් යම් ඉහළ නිලවල ජීවිතයේ යම් යම් සංවර්ධනයන් ඔස්සේ ඇය ඉදිරියට යද්දී යනකොට ඇයගේ මෙන්න මේ උණුසුම් බව, ලද බොළඳ බව, සැහැල්ලු බව ගිලිහී යන්න ඉඩ තියෙනවා. කාන්තාවක් සමාජයේ යම් නිලතල දරද්දී අදාල භූමිකාව තුළ ඇයට අනන්‍ය වූ චරිත ලක්ෂණ තියෙනවා. නමුත් වෘත්තීය භූමිකාව ඇඟට කා වැදුනම ජීවිතය තුළ තමාට, තමාව අහිමි වෙනවා. ගැහැනියකගේ ඇති උණුසුම්, ලද බොළඳ බව, සැහැල්ලු බව කියන මේ සුන්දර කාරණා අහිමි වෙනවා. පෙර සිටිය ඇයට වඩා අද සිටින ඇය බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ඇය, ඇයගේ රැකියාවට අදාල මේ භූමිකාවේ අංග තමන්ගේ පෞරුෂයටම අයිති ලක්ෂණය ලෙස සිතනවා. මෙය දිගින් දිගටම පැවතුණොත් එය අනන්‍යතා රෝගයක් ලෙස හැඳින්විය හැකියි.
තමාට තමාව අහිමි වීම තුළ දරුවන්ටමව/සැමියාට බිරිඳ අහිමි වෙනවා නේද?
තමාට තමාව අහිමි වෙන්න හේතුව මනෝවිද්‍යාත්මක සාධකයක්. පෙර සඳහන් කළ ආකාරයට දීර්ඝ කාලීනව අපි අදාල භූමිකාව තුළ ජීවත් වීමේදී සමස්ත විඥ්ඥාණික මනස සහ මොලය කියන දෙකම එයට හැඩගැහෙනවා. එයට හේතු දෙකක් දැක්විය හැකියි.
- මොලයේ ස්නායු පද්ධතිය එකම දෙයකට අනුව සැලසුම්ගත වීම
- යටි සිත එකම දෙයකට අනුව සැලසුම්ගත වීම
සරලවම කිව්වොත් භූමික රංගනය කියන්නේ යම්තාක් දුරකට භයානක තත්ත්වයක්. ඒ භූමිකාව ඍණාත්මක නම් ඔවුන් නිතර කටයුතු කරන්නේ කේන්තිය, අණ දීම වැනි දේ සමග නම් එහි ඇතිතේ සෘණාත්මක පසුබිමක්. එහි කිසිදු ධනාත්මක කම්පනයක් නැති නිසා හැම මොහොතකම කේන්තියෙන් අනිත් අයව පාලනය කිරීමට යාම නිසා අදාල පුද්ගලයාගේ මනුෂ්‍ය ස්වභාවය යටපත් විය හැකියි. මේ යටපත් වීම සමග ඔවුන් සැමවිටම කටයුතු කරන්නේ ආතති හෝමෝන සමගයි. ඔබ රඟපාන භූමිකා වල කිසියම් ආතතියක් ඇත්නම් ඒ ආතතිය සමග කණස්සල්ලක්, වෛරය, නොසන්සුන් බව මිශ්‍ර වෙලා නම් මේ භූමිකාව තුළ නිරන්තරයෙන් හිඳීම තුළ ඔබ මානසිකව අසමතුලිත වෙනවා. එය ඔබේ පවුලේ දරුවන්ට සැමියාට බිරිඳට ඔබ කරන අසාධාරණයක් පමණක් නොව ඔවුන්ට ඔබේ ආදාරයට රැකවරණය උණුසුම ලැබීමට ඇති අයිතිය අහිමි කරවීමක් වන නිසාම ඔබ දරුවන් බිරිඳ සැමියා වෙත පැමිණීමේදී ඔබ කුමන රැකියාවේ නිරත වුවත් පියා/මව/සැමියා/බිරිඳ නම් වූ ආදරණීය චරිතයට ආරෝපණය වීමට අමතක නොකරන්න.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ආචාර්යය කුමුදු ඒකනායක
නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක
Dr. Kumudu Ekanayaka
Creative Psychotherapist and Psychological Counselor