- Advertisement -

අම්මා නම් වූ අකුරු තුනෙන් ලොව සුවිශේෂීම කාන්තාව වූ ඔබ හඳුන්වන්නේ ඇයි?

-

අතීතයේදී දරුවෙක් ලැබුණු අම්මෙක් බොහොම ආදරණීයව රැක බලා ගත්තත් අද වෙද්දී ඒ අම්මා ගැන වැඩි අවධානයක් නැති ගාණයි. මොකද කාර්ය බහුල බව, රැකියා හේතුවෙන් පවුල් වලින් ඈත්ව නගරයට පැමිණ ජීවත් වීම වැනි හේතු මත ප්‍රසූතියෙන් පසුව මවකට ලැබෙන ආදරය අවධානය යම් තරමකට අඩු වෙලා වගෙයි. ඒ වගේම වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමගින් වගේම නගරාසන්න ජීවිත වෙත යොමු වීම හේතුවෙන් අතීතයේ සිදු කෙරුනු යම් යම් දේ (ප්‍රසූතියෙන් පසුව මව ඖෂධීය කොළ තැබූම්බූ ජලයෙන් නැහැවීම, දුම් ඇල්ලීම, ගුණදායී සෞම්‍ය ආහාර රටාවකට යොමු කිරීම) මගහැරී ඇති  බවක් පෙනී යනවා. එවැනි දේ මගින් මවක් ගැන ඇති ‍අවධානය ඇයට දැනෙන අතරම ඇයට ඒ මගින් විශාල මානසික තෘප්තිමත් බවක් ලැබෙනවා පමණක් නෙවෙයි මේ ආදරය තමාට හිමිවන්නේ දරුවා නිසා බව සිතෙන විට ඇයට දරුවා කෙරේ ඇති ආදරය සෙනෙහසද වැඩි විය හැකියි. අම්මාගේ නිරෝගී සෞඛ්‍යසම්පන්න බව දරුවා පමණක් නොව පවුලක්, සමාජයක් රටක් වගේම ලොව රැකගනී. ඒ නිසාම කවුරුන් කෙසේ වුවත් ඔබ, ඔබ ගැන සිතිය යුතු බව අමතක කරන්න එපා. 

ප්‍රසූතියෙන් පසු ඔබට මානසික ආතිතයක් ඇති වීමේ ඉඩකඩ වැඩියි. ඔබ සාමාන්‍ය පරිදි ගෙවූ ජීවිතය දරු පැටියාගේ පැමිණීමත් සමගම විශාල වෙනසකට ලක් වීම නිසා වගේම වටපිටාවෙන් ඇති විය හැකි යම් යම් අපහසුතා, සිත් රිදීම්, අසරණ විම් ද මේ තත්ත්වයට හේතු විය හැකියි. මවක් සැමවිටම ශක්තිමත් විය යුත්තේ එවැනි තත්ත්වයන්වලදී මානසික කඩා වැටීම වළක්වා ගැනීම සඳහාමයි. දරු පැටියා සමගම දිවි තොර කරගන්නා තත්ත්වයට කිසිසේත්ම ආදාරණීය මවක් පත්විය යුතු නැහැ. ‍මොකද දසමසක් වේදනා විඳ දරුවෙකු මෙලොවට බිහි කරන අම්මා නම් වූ ඔබට ඇති ශක්තිය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් බව ඔබ අමතක නොකළ යුතුයි. එවැනි කාර්යයක වගකීම සොබාදහම මගින් කාන්තාවටම පැවරීම තුළින්ම කාන්තාවකට සොබාදහමෙන් ලබාදී ඇති ශක්තිය සම්බන්ධව වටහා ගත හැකියි. 

- Advertisement -

යම් හෙයකින් සිත් තැවුල් කළකිරීම් වැනි හැඟීම් හේතුවෙන් දෛනික වැඩකටයුතුවල පසු බෑමක් ඇති බව දැනෙනවා නම් කේන්ති යන කෝප ගැන්වෙන අවස්ථා වැඩි නම් ඔබ වැඩි අවධානයක් ඔබ වෙත යොමු කළ යුතුයි. ශාරීරික අපහසුතා නොයෙක් පරීක්ෂණ සඳහා යොමු වී අප මැන බලනා සේම ඔබට, ඔබේ මානසික තත්ත්වය ගැනත් මැන බැලීමට හැකියාව තිබෙනවා. ඒ එඩින්බරෝ පසුප්‍රසව විශාදි මාපකය හරහායි. මෙය ප්‍රශ්න දහයකින් සැකසුණු ප්‍රශ්නාවලියක් වන අතරම එහි පිළිතුරු හතරක් ලබා දී තිබෙනවා. අදාල ගැටලු සඳහා ඔබ තෝරන පිළිතුර අනුව ඔබේ මානසික සුවතාවය පිළිබඳ තක්සේරුවක් ඔබටම ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. ප්‍රසූතියෙන් පසු සෑම මවකටම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍යසේවා නිළදාරිනියගෙන් මෙය ලබා ගත හැකි අතරම ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුද යන්න ගැන ඔබටම අවබෝධයක් ලබා ගත හැකියි. ගැටලුවක අන්තයට ගොස් පවුලේත් දරු පැටියාගේත් ඔබගේත් ජීවිතය සතුට සැනසුම අහිමි කරගන්නවාට වඩා ශක්තිමක් ගැහැණියක ලෙස ජිවිතයට මුහුණ දිමට ඔබට ලබා දී ඇති මේ අවස්ථා ප්‍රයෝජනයට ගැනීම ඉතාම වැදගත් බව සිහිතබා ගන්න. ඔබේ පසු ප්‍රසව සමය දරුවා සමග සතුටින් ගත කරන්නට ඔබේ මනසට සහය විය යුත්තේ ඔබම බව අමතක නොකරන්න. අම්මා යන අකුරු තුනෙන් ලොව ශක්තිමත්ම ගැහැණිය වන ඔබ හදුන්වන්නේ ඒ නිසයි. 

ගැබිනි සමයේ ඔබට වටපිටාවෙන් හිමි වුණු ආදර සැලකිල්ල ජීවිතයේ කිසිදු දිනක අමතක නොවන අත්දැකිමක්. ආදරණීය කතා බහ, රසවත් ආහාර, ගරු සැලකිලි මේ දේවල් දරුවෙක් කුස දරා සිටින සමයේ ‍කාන්තාවකට හිමිවෙන වරප්‍රසාද කිව්වොත් නිවැරදියි. ඒත් ප්‍රසූතියත් සමගම ඇතැම් විට මේ තත්ත්වයන් වෙනස් විය හැකියි. එවිට බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ ඔබ විසින් දායාද කළ මිල කළ නොහැකි වස්තුව වන දරු පැටියා වෙනුවෙන් විය හැකියි. ඒ අපේ වටපිටාව එදා සිට අද දක්වා පැවත එන ක්‍රමයයි. නමුත් ඔබ ගැබිනියකව සිටින කාලය තුළ ඔබට ලබා දුන් සැලකිලි සත්කාර ප්‍රසූතියෙන් පසුවත් හිමි වනවා නම් කෙතරම් වටිනවාද යන්න ඔබ‍ට අනේක වාරයක් සිතෙනවා ඇත. ආහාර සකසා ගැනීමට නොහැකිව සිටින ඔබට පෝෂණීය ආහාර වේලක්, පිරිසිදු කර ගැනීමට නොහැකි සිටින දරුවාගේ රෙදි බේසමෙන් කොටසක් හෝ සෝදා පිරිසිදු කර දීමට අයෙක් හවස් වන විට දරුවාගේ රෙදි ටික ඇතුළට ගන්නට කෙනෙක් සිටිනවා නම් එය කොතරම් වටිනවාද යන්න වචනයෙන් විස්තර කළ නොහැක. නමුත් අද වන විට කාර්යයබහුල ජීවන රටාවත් සමග හැම අයෙක්ම තම තමන්ගේ රාජකාරි සමග හිර වී ඇති නිසා කිසිවෙකු කෙරේ අමනාප වීම සාධාරන ද නොවෙනු ඇත. එසේ නැතිනම් යමෙකුට එවැනි සිතුවිල්ලක් ඇති නොවනවා විය හැකිය. ඒ කෙසේ වුවත් ශක්තිමත් කාන්තාවක ලෙස ඔබ ඔබේ දරු පැටියාගේ කාර්යයන් අකුරටම ඉටු කරන බව ස්ථිරය. එය ඔබේ වගකීම මෙන්ම යුතුකම බව මවක් කිසි විටෙක අමතක නොකරනු ඇත. ඒ උපතින්ම සවිමත් බව රැගෙන මොලොවට බිහි වූ කාන්තාවකගේ කාරුනික බවයි. අම්මා යන අකුරු තුනෙන් ජීවිතය නම් වූ අකුරු හතර උපරිමයෙන් වටහා ගත හැකි ලොව එකම ගැහැණිය වන ඔබ හඳුන්වන්නේ ඒ නිසයි. 

මව් පදවිය ඔබේ ජීවිතයට ආභරණයක් වුවත් ඔබේ පෞද්ගලික සුන්දරත්වය අත් හැර දමන්න ඔබට කිසිසේත්ම අවස්ථාවක් නැහැ. ගැබිනි සමයේ ඔබ ලබා ගත් විටමින් පෝෂක වර්ග ශාරීරික ව්‍යායාම් වැනි දේ දෛනික ජීවන රටාවෙන් ඉවත් කිරීම කිසිසේත්ම සිදු නොකළ යුතු බව ඔබ තරයේ මතක තබා ගත යුතුයි. ගැබිනි සමයේ දරුවා වෙනුවෙන් බව සිතා වමනය/ඔක්කාරය ඇතුළු බොහොමයක් අපහසුතා හමුවේ ගිල දැමූ විටමින් පෙති ප්‍රසූතියෙන් පසුව ඔබට අත්හැරෙන්නේ ඔබ, ඔබ ගැන ඇති අවධානය අඩු වූ නිසා බව පැහැදිලියි. දරුවා සිනාසෙන කාලය වන විට මවකගේ කොණ්ඩය ගැලවෙන බවට පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන කතාවේ අර්ථයට හේතුව වන්නේ ද අම්මාගේ සිරුරෙන් ඉවත් වෙන පෝෂක කොටස් නැවත නොලැබීම මත ඇති වන ඌනතා තත්ත්වයන්ය. ඔබ, ඔබේ දරුවා කිරෙන් පමණක් පෝෂණය කරන මුල් මාස හයක අවධිය තවදුරටත් ඔබව නිරෝගීව සුන්දරව රැකගන්නත් පෝෂණය අත්‍යවශ්‍යයි. විටමින් වර්ග පමණක් නොව ඔබේ ආහාර වේල් මගහැර ගැනීම ද නොකළ යුතුම දෙයක්. දරුවා ඔබට මැණිකක්. ඒත් ඔබට මගහැරෙන ඔබේ ආහාර වේල/පෝෂණය වක්‍රාකාරව ඒ මැණිකේ දිස්නයටද බලපාන බව ඔබ සිතිය යුතුයි. 

ඒ වගේම මවක් ලෙස ඔබ, ඔබේ පිරිසිදුකම වෙනුවෙනුත් කාලයක් යෙදවිය යුතුයි. ස්නානය, ඇඟපත දේසීම, දත් මැදීම යන කාරණා ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයි. මවක් ඉතා ප්‍රසන්නව තමාව අන්‍යයන්ට ඉදිරිපත් කළ යුතුයි. ඔබ සැවිටම දරු පැටියාට, ඔබේ සැමියාට, අනෙක් නිවැසියන්ට සුබ දසුනක්ම විය යුතුයි. ඒ ඔබේ ආඩම්බරය බව අමතක නොකළ යුතුයි. ප්‍රසූතිය සිදු වූ ස්ථානය සැර සබන්/සේදුම්කාරක, තද උණුසුම් ජලය යොදා සේදීම හෝ තදින් අතුල්ලා සේදීම කිසිසේත්ම නුසුදුසු බවත් එම ස්ථාන මෘදු සබන් වර්ගයක් වයාදා මද උණුසුම් වතුරෙන් පිරිසිදු කල යුතු බවත් ඔබ දන්නවා. ඒ වගේම ඒ ස්ථාන ඉතා පිරිසිදුව වියළිව පවත්වා ගැනීමත් ඉතාම වැදගත්. නා පිරිසිදු වී විෂබීජවලින් තොර ප්‍රබෝධමත්ව දරු පැටියා ළඟට යන ඔබට හොදින් කිරි එරීම නිසා දරුවාගේ පෝෂණය ගැනවුවත් සතුටු විය හැකියි.

නින්ද වගේම විවේකයත් ඔබට අත්‍යවශ්‍ය බව අමතක නොකරන්න. ඔබ, ඔබ ගැන සිතන තරමටම එහි ප්‍රතිලාභ දරුවාට ඊටත් වැඩියෙන් හිමිවන බව සිහිතබාගන්න. නින්ද සහ විවේකය ඔබේ දව්කිරි යාන්ත්‍රණයට බොහෝ සෙයින් ඉවහල් වනවා. ඒ වගේම ඔබේ මානසික සුවතාවය පවත්වා ගැනීමටත් මේ කරුණු දෙක බොහෝ සෙයින් ඉවහල් වෙනවා. 

ගැබිනි මවක් නෙතට සිතට සුබ ලකුණක් වනවා සේම කිරිකැටියෙකු අතදරා සිටින සුන්දර, පිරිසුදු දැකුම්කලු මවක් මුළු ලොවටම සුබ දසුනක් වනු නිසැකය. මේ කාල සීමාව යම්තාක් දුරට දුෂුකර වුවත් ඔබ, ඔබව අත නොහරින්න. ඔබ, ඔබව බලාගන්න අම්මා යන අකුරු තුනෙන් ලොව සුන්දරම ප්‍රසන්නම ගැහැණිය වන ඔබ හඳුන්වන්නේ ඒ නිසයි. අම්මා ලොව සුවිශේෂිම ආදරණිය චරිතය වන්නේ ද මේ නිසයි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article