- Advertisement -

බබාගේ බර ඔබේ හිතටත් බරක්ද?

-

මට අද වගේ මතකයි පුංචි පැටියාගේ බර කිරන්න මුලින්ම සායනයට ගිය දවස. දරුවාගේ බර රේඛාව ලකුණු කරලා බර හොඳයි කියලා ඇහෙන එක තරම් සතුටක් එතැන කිසිම අම්මා කෙනෙක්ට තිබුණේ නැහැ. ඒත් පුංචි පැටියාගේ බර අඩු හෝ වැඩි බව සඳහන් වුනු අම්මලා එතැනින් පිටවුණේ හිතේ ලොකු බරක් පටවගෙන. ඒ දරුවන්ට අමතර ආහාර පටන් අරගත් මුල් කාලයේ බව මට එක අම්මා කෙනෙක් පැවසුවා. ඉතිං ඊලඟ මාසේ ඉඳලා පැටියට අමතර ආහාර පටන් ගන්න මගේ හිතටත් පුංචි බරක් දැනෙන් පටන් ගත්තා. ‍මොකද මේ වෙනකං අම්මා කුක්කු ටික ආසාවෙන් බීපු මගේ පැටියාගේ බරේ ගැටලුවක් ඇති වුනේ නැහැ. 

වෛද්‍යතුමනි, අමතර ආහාර පටන් ගනිද්දි පුංචි පැටියාගේ බර අඩු වෙයිද? 

- Advertisement -

දරුවෙකුගේ නිරෝගී වර්ධනයට බලපාන්නේ බර වැඩි වීම පමණක් නෙවෙයි. බොහෝ දෙනෙක් කැමති බෝල වගේ ඉන්න බබාලට. ඒත් එතැන නිරෝගී බව ගැන ගැටලු ඇති වෙන්න පුළුවන්. දරුවෙක් බෝලේ වගේ වීම අවශ්‍ය නැහැ. දරුවෙක්ගේ බර සම්බන්ධව කතා කිරීමේදී වැදගත් වෙන්නේ නිසි බර ක්‍රමානුකූලව පවත්වාගෙන යෑමයි. එසේ ක්‍රමානුකූලව බර වැඩි වන දරුවෙකුගේ බර වෙනස් වීම අමතර ආහාර ආරම්භයත් සමග සිදු වූවක් නම් එතැන එම ආහාර රටාවේ දෝෂයක් මත එය සිදු වූවා විය හැකියි. 

වෛද්‍යතුමනි, එහෙම නොවෙන්න නම් කළ යුත්තේ මොනවාද?

මුල සිටම දරුවාගේ ආහාර වේල සකස් කිරීමේදී වැඩි අවධානයක් ලබා දීම ඉතාම වැදගත්. දියර ගතිය අවම වන ආකාරයට මත් ගාගත් බත් තලපය දරුවාට ලබා දිය යුතුයි. ඒ කියන්නේ උකුගතියෙන් යුතුව ආහාර වේල ලබා දිය යුතුයි. මේ පුංචි පැටියට තියෙන්නේ ඉතාම කුඩා ආමාශයක් බව අපි කවුරුත් දන්නවා. එහි පරිමාව තේ හැඳි හතරක පහක ප්‍රමාණයක් විය හැකියි. මේ පුංචි ආමාශය මව්කිරෙන් පමනක් පිරෙද්දී මුල් මාස හයේ දරුවාගේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂක අවශ්‍යතා මව්කිරෙහි තියෙන නිසාම එය දියරයක් වීමේ ගැටලුවක් නැහැ. නමුත් අමතර ආහාර ලාබා දීමේදී දියර ගතිය වැඩි වීමෙන් පැටියාගේ කුස ඉක්මනින් පිරෙන නිසා අවශ්‍ය පෝෂණය ලබා දීම අපහසු විය හැකියි. එයින් සිදු වන්නේ හොඳින් පවත්වාගෙන ආ පැටියාගේ බර අඩු වීම නිසා වර්ධනය පහළ වැටිමත් පුංචි පැටියා විවිධ රෝග වලට ගොදුරු වීමේත් අවදානමක් ඇති වීමයි. අන්න ඒ නිසාම දියරම ස්වභාවය වැඩි කැඳ, පලතුරු යුෂ වගේම නුසුදුසු ආහාර වෙත පුංචි පැටියා හුරු කරවීම කිසිසේත්ම නොකළ යුතුයි. පුංචි පැටියාගේ මුල්ම කෑම වේල සකස් කරන අකාරය පැටියාගේ සෞඛ්‍ය හා සංවර්ධන සටහන් පොතේ පැහැදිලිව දක්වා තිබෙනවා. බොහොමයක් මව්වරුන්ට ගැටලු ඇති වන්නේ මෙම පොත හරිහැටි පරිශීලනය නොකරන නිසා බව අමතක කරන්න එපා.

වෛද්‍යතුමනි, මේ පුංචි පැටවුන්ට උකු ආහාරයක් ගිලීම අපහසු නැද්ද?

ඔව්.. මේ අදහස් බොහෝ විට දරුවන්ගේ ආච්චිලාගේ අදහස් කිව්වොත් හරි. ඒත් අද වෙද්දී වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්කම වගේ බොහෝ දේ වෙනස් වී නව සොයාගැනීම් එක්ක ඉදිරියට යනවා. බබා ලැබුණු කාලේ වගේම බබාට කෑම පටන්ගන්න කාලේ වෙනකොටත් අත්තම්මලාගේ නෑදෑයන්ගේ අදහස් බොහොමයකට අම්මාට අවනත වෙන්න සිද්ධ වෙනවා තමයි. ඒත් නිවැරදිම ක්‍රමය දරුවාගේ පොතේ සඳහන් වෙනවා වගේම දරුවාගේ වෛද්‍යවරයාගෙන් හෝ ප්‍රදේශයේ පවුල් සේඛ්‍ය සේවා නිලධාරී මහත්මිය ගෙනුත් ඔබට දැනගන්නට හැකියි. 

අමතර ආහාර පටන් ගැන්මේදීම පැටියට කිසිසේත්ම කැබලි සහිත ආහාර දෙන්නේ නැහැ. මත්ගා ගත් බත් තලපය කැබලි රහිත උකු ආහාරයක් වන අතරම එයට මව්කිරි මිශ්‍ර කිරීමෙන් මුදු බවක් එක්කරගන්නවා. බෙරි බත ගොට්ටකට දමා හැන්දෙන් පොඩි කර යටට එකතු වන කොටස මුල් කාලයේදී දරුවාට ලබා දිම සුදුසුයි. එවිට එහි කැබලි රැදෙන්නේ නැහැ.  පුංචි පැටියෙක්ට එය ගිලින්න කිසිම අපහසුවක් නැහැ. ඒ වගේම හොඳින් ජීරණය විමත් සිදු වෙනවා. 

ඒ වගේම තමයි පැටියට පලතුරු දීමේ දී එය පළතුරු ලෙසම ලබාදෙනවා මිස, යුෂ වශයෙන් ලබා දෙන්න එපා. ඇතැම් මව්වරු රසවත් කිරීම උදෙසා අපි එපා කිව්වත් ලුණු, සීනී, ජලය එකතු කරනවා. එය ආදරයට කළත් පුංචි පැටියාට ඔබෙන් සිදුවන නරකක් බව මතක තබා ගන්න.

කිරි බොන කාලේ වගේ නෙවෙයි, සායනයේදී කියා දුන් පරිදි කෑම දුන්නත් කෑම පටන් ගත්තා විතරයි බබාගේ බර, සටහනේ පහළට ගියා. ඒ ඇයි?

දින 180 එහෙමත් නැතිනම් මාස 6 සම්පූර්ණ දරු පැටියට කෑම පටන් ගෙන සතියක් පමණ ගත වන විටත් ඔබ දරුවාට ලබා දුන්නේ මුල් දිනයේ ආරම්භ කළ ආහාරයම නම් එතැන යම් ගැටලුවක් පවතිනවා. මොකද දරුවාගේ ආහාරයට අවශ්‍ය මේද සහිත ආහාර පැටියාගේ කෑම වේල අරඹා සතියකින් පමණ ආරම්භ කළ යුතුයි. නැතිනම් බර වැඩි වීම සදහා අවශ්‍ය මේද කොටස් (තෙල්/බටර්) පැටියාට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඊලඟට සත්ත්වයම ආහාර (හාල් මැස්සන් කුඩු) එකතු කරන්න ඕනෙ. එතකොට පැටියාගේ වර්ධනයට අවශ්‍ය යකඩ ලැබෙනවා වගේම ඒ යකඩ හොඳින් අවශෝෂණය සදහා සී විටමින අඩංගු දෑ දරුවාට ලබා දීමත් වැදගත්. ඒ ආකාරයට දරුවාගේ ආහාර වේලේ පෝෂණය වැඩි දියුණු කළ යුතුයි. එවිට දරුවාට නිසි පෝෂණය හිමි වන අතරම වර්ධනය හොදින් සිදු වේ. 

වෛද්‍යතුමනි, පුංචි පැටියාගේ කෑම එක බ්ලෙන්ඩ් කිරීම සුදුසුද?

ගොඩක් මව්වරු මේ දෙය කරනවා. ඒකෙන් වෙන්නේ මේ පුංචි පැටව් කන්නේ මොනවද කියලා හැඟීමක්වත් නැතිව කෑම ගැනීම. පුංචි පැටවුන්ට ආහාර ලබා දීමේදී ඔවුන්ගේ සංවර්ධනය වෙනුවෙන් කළ හැකි ක්‍රියාකාරකම් බොහොමයක් තියෙනවා. බ්ලෙන්ඩ් කරලා කැම එක කොහොම හරි දරුවාට ගිල්ලුවා නම් හරි කියන මතයේ ඔබ සිටිනවා නම් එය මේ මොහොතේ සිටම වෙනස් කරගන්න. දරුවෙක්ට ආහාර ලබා දෙනවා කියන්නේ වටිනා අත්දැකීම් ගොන්නක් බෙදාහදා ගැනීමක්. නිසි කාලයට ලබා දෙන ආහාර වෙනස් කරනවා සේම නිසි කාලයට අනුව අදාල අත්දැකීම සිත්ගන්නා සුලු ආකාරයෙන් ලබා දෙන්නත් මව්පියන් සැලකිලිමත් විය යුත්යි. 

පුංචි පැටියෙක්ට ආහාර ලබා දීමේදී සැලකිලිමත් විය යුතු තවත් කරුණු මොනවාද?

ඔබේ පුංචි පැටියා මාස හයක් පුරාම සොබා දහමේ ආශ්චර්යයක් ලෙස දරුවා වෙනුවෙන් මවගේ පියයුරු වල ඉතා ආරක්ෂාකාරීව පිරිසිදුව නිපදවුණු මව්කිරෙන් පෝෂණය වුණා. එය 100%ක් උසස් තත්ත්වයේ පිරිසිදු පෝෂණයක් බව අවිවාදයෙන් පිළිගත හැකි කරුණක්. නමුත් අමතර ආහාර ආරම්භය කියන්නේ ඉන් හාත්පසින්ම වෙනස් කාර්යයක්. මෙය අප ලබා දෙන්නේ පිටතින් සකස් කර. ඒ සඳහා යොදාගන්නා ජලය, භාජන, ආහාරය සකස් කරන්නාගේ පිරිසිදු බව යන සියලු කරුණු ගැන මෙහෙිදී සැලකිලිමත් විය යුතුයි. ආරක්ශිතව ආහාරය සකස් කර එය දරුවාට ලබා දෙන තුරු නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකලොත් පුංචි පැටියා රෝගී විය හැකියි. බබාට ඉතාම දරුණු ලෙඩරෝග වැලදිලා දරුවගෙ ජීවිතේ පවා අවදානමකට ලක් විය හැකියි. 

පුංචි පැටියන්ගේ බර වැඩි වෙන්නත් පුළුවන්ද? එයට හේතු මොනවද? එහෙම දරුවෙක්ගෙ බර අඩු කරගන්නෙ කොහොමද?

අපේ රටේ බර වැඩි පුංචි පැටව් සිටින්නේ සුළු සංඛ්‍යාවක්. බර අඩු වීම වගේම බර වැඩි වීමත් දරුවාගේ බර සටහන් කරන ප්‍රස්ථාරයෙන් දැක ගත හැකියි. මෙසේ බර වැඩි වී ඇත්තේ මුල් මාස හය වයස් සීමාවේ සිටින මව්කිරි පමණක් ආහාරයට ගන්නා පැටියෙක් නම් එවැනි දරුවෙකුගේ බර අඩු කරන්නට අපට කළ හැකි විශේෂ කිසිවක් නැහැ. මොකද ඒ වයස් සිමාවේ පුංචි පැටියෙක්ට පැටියාගේ අවශ්‍යතාවය, ඉල්ලිම මත මව්කිරි ලබා දිය යුතුයි. නමුත් අමතර ආහාර පටන් ගත්ත පැටියෙක්ට නම් යෝගට්, චීස්, බටර්, තෙල් වැනි ආහාර වර්ග වගේම කෘතිම ආහාර ලබා නොදීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම පුංචි පැටියාට කෑම දෙනකොට මේදමය කොටස් එකතු කිරීම ටිකක් අඩුකිරීම සුදුසු වුවත් සම්පූර්ණයෙන්ම නතර නොකළ යුතුයි. සෑම දරුවෙක්ටම හැකි තරම් ඔබේ නිවසේ සකස් කරගත්ත ස්වාභාවික වස විසෙන් තොර අහාර වේලක් ලබා දෙන්න. ඒ වගේම දරුවාගේ ක්‍රියාකාරකම් වැඩි කරන්න. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article