- Advertisement -

අලුත් අවුරුද්දේ අලුත් පංතියේ වැඩ මෙහෙම පටන් ගනිමු

-

අලුත් අවුරුද්දක් සමග අපේ කාලය සහ වයස ගෙවෙනවා වගේම පුංචි දරුවන්ගෙත් පංතියෙන් පංතියට උසස් වීම සාමාන්‍ය විදිහටම සිද්ධ වෙනවා. අලුත් පංතියට පිවිසි දරුවන්ගේ වැරැදි අඩුපාඩු නිවරැදි කර ගන්න දැන් හොඳම අවස්ථාව ඇවිත් බොහෝ මව්පියන්ගේ ක්‍රියා කලාපය හරියට අශ්වයා ගියාට පසුව ඉස්තාලය වහනවා වගෙයි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වූ  සූදානම ගොඩ නැගන්නේ කඩඉම් විභාගයකට ආසන්න වුනාමයි. ඒත් මුල පටන්ම සූදානමක් නැති දරුවාට විභාගය වෙනුවෙන් ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීම එතරම් පහසු නැහැ. අම්මා තාත්තා දරුවාගේ නොහැකියාව හදුනාගන්නෙත් එතකොටයි. එතැන් පටන් අම්මා තාත්තා වගේම දරුවාත් පීඩාවට පත් වෙනවා වගේම දරුවා වෙනුවෙන් රටේ තිබෙන විශේෂණ පදත් මදි වෙන තරමටම අපහාස බොහොමයි.

ඒත්…වැරැදුන තැනදී පසුතැවිලි වෙනවාට වඩා දරුවාට වැරදෙන්නේ ඇයි යන තැන දෙමව්පියන් නැවතුනොත් මේ අසහනකාරී වාතාවරනයෙන් ‍දරුවන් සහ මව්පියන්ගේ පීඩනයට නැවතීමේ තිත තබන්න පුළුවන්. අලුත් අවුරුදදේ හාපුරා කියල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබා දෙන සම්මාදම ඔබටත් ආරම්භ කරන්න දැන් කාලය ඇවිත්.

- Advertisement -
අලුත් පංතියේ පරිසරය ගැන දැනගන්න

පරිසර සාධක දරුවන්ගේ අධ්‍යාපනයට බෙහෙවින්ම බලපානවා. ඉගෙණුම වෙනුවෙන් වූ හිතකර පරිසර සාධක නොමැති තැනදි දරුවන්ගේ පසුගාමි බවක් ඇති වෙනවා. එදා අධ්‍යාපනය වෙනුවෙන් තිබුන ගස් කොළං යට බංකු තබා ගෙන හීල් සුලං සමග අකුරු කියවපු කාලය අද දරුවන්ට නැහැ. ඒ වෙනුවෙන් තිබෙන්නේ කොන්ක්‍රිට් බිත්ති වලින් වටවුන පංති කාමර පමණයි. මේ පංතියේ වුනත් තිබෙන උණුහුම, ශබ්ද වැනි පරිසර සාධක දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බාධාකාරී විය හැකියි. ඒ නිසා අලුත් පංතියට ගිය දරුවාගෙන් ඔබට මේ ගැන අසා දැන ගත හැකියි. වාරය ආරම්භයේදීම දරුවාට තිබෙන බාධාවන් ගැන දැනගත් විට දෙමව්පිය හමුවේදී ඒ ගැන සදහන් කිරීමෙන් දරුවාගේ අධ්‍යාපනයට ගැලපෙන පරිසර තත්වයන් ගොඩ නගා දීමට දායක වීම අපහසුවක් නැහැ.

පංතිභාර ගුරුවරයා හදුනාගන්න

අලුත් පංතියකට ගිය දරුවාගේ අධ්‍යාපන කටයුතු ගැන දැනගැනීමට ඔහුගේ ගුරුභවතුන්ගේ සහයෝගය ඔබට ඉතා අවශ්‍ය වේ. ප්‍රාථමික වයසේ දරුවන්ගේ පණිවිඩ සන්නිවේදනය ඇතැම් අවස්ථාවල ඉතා දුර්වල මට්ටමක පවතී. එවන් අවස්ථාවන්හිදි පංතිභාර ගුරුවරයා සමග දෙම්පියන්ගේ සම්බන්ධතාවයක් ඇත්තේ නම් අදාල තොරතුරු ඉතා පහසුවෙන් දැන ගැනීමට හැකියාව ලැබේ. මෙය ගුරුවරුන්ගේ පුද්ගලික ජීවිතයට බාධාවක් වන ලෙසින් අනවශ්‍ය කරදරයක් නොවන පරිදි ඔබේ දරුවාගේ ඉගෙණුම් කාර්යට  අදාල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පමණක් සීමා කර ගන්න.

දරුවාගේ විෂය නිර්දේශය හඳුනා ගන්න

දරුවාගේ අධ්‍යාපනයේ සියලු කටයුතු පාසලට පමණක් පවරා මව්පියන් නිශ්ශබ්ද විය යුතු නැත. ඒ වෙනුවෙන් මව්පියන්ගේද නොමද සහයෝගය ලබා දීම ඉතා වැදගත් වේ. මේ තත්වය වඩාත් බලපාන්නේ ප්‍රාථමික පංතිවල ඉගෙණුම ලබන දරුවන් සඳහාය. ඔවුන්ට අවශ්‍යතාවයන් ගැන සන්නිවේදනය ලබා දීමේ දුර්වලතාවයන් පවතී. මේ නිසා දරුවාගේ විෂය නිර්දේශය ගැන දෙමව්පියන්ද දැණුවත්ම සිටීම ඉතා වැදගත්ය. මේ වෙනුවෙන් අදාල විෂය නිර්දේශ දැන් ජාතික අධ්‍යාපන ආයතනය වෙතින් ලබා ගැනීමේ පහසුකම් පවතී. විෂය නිර්දේශය ගැන මව්පියන්ද දැණුවත්ව සිටින විට දරුවාගේ පනිවිඩයට අදාල සංකල්ප මව්පියන්ට ඉතාම පහසුවෙන් වටහා ගැනීමට අවස්ථාව ලැබේ. ප්‍රාථමික පරිසර පාඩම් වෙනුවෙන් විවිධ ඉගෙනුම් උපකරණ තැනීමට ඇති අවස්තාවන්හිදී දරුවා නිවසට ගෙනෙන්නේ අමුතුම පනිවිඩයකි. අද දරුවන්ට පරිසරය ගැන ඇති නොදැනුවත්කමත් ඊට හේතුවක්ව ඇත. එහෙත්…විෂය නිර්දේශය මව්පියන් සතුව ඇති විට දරුවා කියන පටලැවිලි කතාව මව්පියන්ට බේරුම් කර ගැනීම අපහසු නැත. එපමණක් නොව දරුවාගේ පාඩමට අදාල ඉගෙණුම් උපකරණ ආදිය පහසුවෙන් සපයා දෙන නිසා දරුවා පංතියේදී පසුගාමී නොවන තැනට ඉතා පහසුවෙන් යොමු කර ගැනීමේ වාසනාව මව්පියන් විසින් උපයා ගනු ඇත.

අපහසුතාවයන් හදුනා ගන්න

අලුත් පංතියක අලුත් වාරයක් ආරම්භයේ පටන්ම දරුවාට තිබෙන අධ්‍යාපන දුෂ්කරතාවයන් ගැන අවධානයෙන් සිටින විට නියපොත්තෙන් කැඩිය හැකි දෙය පොරවෙන් කඩන තැනට කිසිම දිනක පත්වන්නේ නැත. නිතරම දරුවාගෙන් ඔවුන්ට ඇති දුෂ්කරතාවයන් ගැන විමසා සිටින්න. අදාල පාඩම් ගැන ඇති පැමිණිලිවලට විසඳුම් වෙනුවෙන් ඒ සඳහා උපකාර වීම ඉතා වැදගත්ය. මුල් පාඩම් වෙතින් දරුවා මග හැරුන විට පසුව ඇති පාඩම් ඔවුන්ට වඩාත් දුෂ්කර වෙනු ඇත. එවිට අධ්‍යාපනය යනු ඉතා කටුක අත්දැකීමක්ය යන තැනට දරුවා පත්වුවහොත් ඔහු එතැනින් ගොඩ ගැනීම එතරම් පහසු නැත. මේ නිසා අලුත් වාරයේ ආරම්භයේ පටන්ම ඔවුන්ට තිබෙන අධ්‍යාපන දුෂ්කරතාවයන් ගැන විමසිමෙන් සහ අවධානයෙන් සිටිමට මව්පියන් වශයෙන් ඔබගේ දායකත්වය ලබා දීම ඉතා වැදගත් වේ.

පංතියේ වැඩකටයුතු වෙනුවෙන් දක්වන අවධානය

දරුවන් තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ස්වොත්සාහයෙන් කටයුතු කිරීම සාමාන්‍ය තත්වයක් නොවේ. අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන්ට ලබා දෙන උත්තේජන විසින් එය මෙහෙයවනු ලැබේ. මේ නිසා අපි වියදම් කරනවා…පොත් පත් අරගෙන දෙනවා…අපිට හැකි උපරිම සැප ලබා දෙනවා යන සිතුවිල්ලෙන් නතර විය යුතු නැත. දරුවා දක්වන උනන්දුව ගැන තක්සේරුවක් මව්පියන්ටද තිබීම ඉතා වැදගත් වේ. පංතියේ වැඩ කටයුතු වෙනුවෙන් දක්වන උනන්දුව, පොත් පත් පෙන්වීම, ගෙදර වැඩ සම්පූර්ණ කිරීම යන සියල්ලම වෙනුවෙන් මව්පියන්ගේ පසුවිපරම ඉතා වැදගත් වේ.

ධනාත්මකව සිතන්නට සැලසීම

බොහෝ දරුවන්ගේ මානසික පසුබැස්මට බලපාන්නේ දෙමව්පියන්ගේ ක්‍රියාකලාපයන්ය.තමාගේ දරුවා අදක්ෂයෙක් වුනත් ඒ වෙනුවට ඔහුට හැකියාවක් තිබෙන බව ඒත්තු ගන්වන්න.අලුත් වාරය ආරම්භයේදී ඒ සඳහා පරිසරය මැනවින් සකසා ගත හැකිය.

අලුත් පංතියේදී පුතා හොඳට වැඩ කරනවා…දැන් ඔයාට හොඳට වැඩ පුලුවන් යනුවෙන් ධනාත්මකව සිතන්නට දරුවාට ඉඩ දෙන්න. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කිව්වාට ඇතැම් දරුවන් බාල කාලයේ ඉතා දුර්වලයන් වුනත් පසු කලෙක ඔවුන් අති විශිෂ්ට හැකියාවන් පෙන්වා ඇත.තෝමස් අල්වා එඩිසන් පසු කලෙක විද්‍යාඥයෙකු වුනත් පංතියේ ඉතා කරදරකාරී දරුවෙක් වි. දිනක් ඔහුගේ ගුරුවරයා මවට ලිපියක් එවා තිබුනේ ඔබේ බල්ලා ගෙදර බැඳගනින්…කියාය. එහෙත් අම්මා පුංචි එඩිසන්ට ඒ බව කීවේ නැත සර් මොකද කියලා තියෙන්නේ පුතා විමසූ විට අම්මා කිව්වේ පුත් බොහොම දක්ෂ නිසා ගෙදරට ගුරුවරයෙක් ගෙන්වා උගන්වන්න යැයි ගුරුතුමා දන්වා එවු බවයි.මව‍ විසින් පුතුට ලබා දුන් ධනාත්මකබව නිසාම ඔහු පසුව ලෝකයට එක් වූයේ විද්‍යාඥයෙකු ලෙසින්ය.

ආශිර්වාද ලබා දෙන්න

අලුත් වසරේ අලුත් පංතියට යන දරුවාට ඔබ කුමන ආගමක වුනත් අදාල ආගමික සෙත් හාන්ති සමග ආශිර්වාද ලබා දෙන්න. එය නව වසරේ දරුවා වෙනුවෙන් ගොඩ නගන ප්‍රබල ආත්ම ශක්තියයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article