කාලය විසින් හැමදේම වෙනස් කරනවා. කාලයකට පෙර පෙම්වතකු ලෙස පෙම්වතියගේ සුසුනිඳු දෑත ආදරෙන් උණුහුමට අල්ලගෙන සැහැල්ලුවෙන් ඇවිද ගිය ඔබට දැන් ජීවීතේ බොහෝම කාර්්‍යය බහුල ඇති. ඇත්තෙන්ම කිව්වොත් ඔබ දෙදෙනට දොඩමලු වන්නටවත් කාලයක් නැතිව ඇති. ඇත්ත ජීවිතේ හරිම සටනක්. ඒ සටනට නිනව්වක් නැතිව දුවන අපිට අපිවම මග හැරෙන අවස්ථාවන් බොහෝමයි. මව්පිය පදවියන්ට උරුමකම් කියන විට ,නිවසේ කාර්යාලයේ, වැඩ කටයුතු වලින් දවස ගෙවෙද්දි ආදරය අපි අතින් කොයි තරම් ගිලිහී යනවද? ඔබ දන්නවද ලංකාව තුල අනියම් සබඳතාවන් ඇති කරගැනීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව. මග තොටදී ඔබේ මුහුණු පොතෙන් මුණ ගැසුන කෙනෙකු හා ආදරය විඳින්න පුරුදු වනවාට වඩා දුරින් සිට පෙම් කරන අවදියේ ආදරය කලා සේම සැමියා බිරිඳටත් බිරිඳ සැමියාටත් ආදරය කරනවා නම් අනියම් සබඳතාවන් නිසා සුන්දර පවුල් දිවිය දෙදරා නොයනු ඇත. දික්කසාදය නම් රුදුරු ව්‍යවසනයට අප ගොදුරු කරන්නේ අපේ ජීවිත පමණක් නොව අපේම දරුවන්ගේද ජිවිතයි.
ආදරය කරන සමයේ සෑම පෙම් යුවලකගේම එකම සිහිනය තමන්ට වෙන් වූ ලොවක් තනා පවුල යන ඒකකය තුල ආදරයෙන් ජීවිතය බෙදා ගැනීමය. එහෙත් අපි නොසිතන සත්‍යයක් ඇත. දෙතැනක ජීවත් වු යුවලක් එක වහලක් යටට පිවිසි කල ගැටලු ඇතිවේ. අපි දෙන්නම එක්කෙනෙක් යැයි වචනයට කීවද පුද්ලයන් වශයෙන් අපට එක් පුද්ගලයකු විය නොහැකි බවයි මා නමි විශ්වාස කරමි. කිව යුත්තේ එකිනෙකා වෙනුවෙන් කැප කිරීම් කරමින්, දෙදෙනාගේ අදහස් උදහස් තේරුමි ගැනීමට උත්සහ කරමින්, තැනට සුදුසු නුවණ භාවිත කරමින් ආදරය පලුදුවන්නට ඇති ඉඩ කඩ අවුරාලීම විවාහයේ සාර්ථකත්වය හේතුවන බවය. විවාහ ජීවිතයත් හරියට පන් පැදුරක්ය. රටාවකට වියමන සිදු නොකලහොත් එහි සුන්දරත්වයක් නැත. පාට පොඟවා වර්ණ ගැන්වූ පන් ගස් වියමනට නැති වූ කල එහි ලස්සනක් ඉස්මතු නොවේ.
එදා සමාජයත් අද සමාජයත් ගත් කල විවාහය දෙස බලන කෝණය වෙනස්ව ඇත. පෝරූ මස්ථකයේ සිට මියෙනතුරුම දුක සැප බෙදා ඕනෑම අභියෝගයක් හමුවේ එකට හිඳින්නට චාරිත්‍රාණුකූලව මෙන්ම නිතීමය වශයෙනුත් පොරොන්දු වේ. එදා සමාජය තුල කෙතරම් බාධක පැමිණියත් විවාහය යන බන්ධනය පලුදු කර නොගන්නට ඔවුන් උත්සුක විය. දෙන්නා දෙමහල්ලන්ගේ රණ්ඩු සරුවල් බත ඉදෙන තුරු පමණක්ම විය. එහෙත් අද වන විට විවාහය වෙත පිවිසෙන්නේම බැරිවුණොත් දික්කසාද වෙනවා යන පටු හැඟීම පෙර දැරිවමය.
එවැනි මානසික මට්ටමක් ඇති වන්නට සමාජය තුලින් ලැබෙන ආකල්පත් බලාපානු ලබයි. අද බොහෝ නිවෙස් වල රන් හා වටින කාලය වැය කරන්නේ අගක් මුලක් නැති, පවුල් ප්‍රශ්න ගහනය වූ ,ඊර්ෂ්‍යාව හා වෛරය පිරුණු ඉන්දීය ටෙලි නාට්‍යහා ඉන්දීය සම්භවයෙන් යුතු සිංහල ටෙලි නාට්‍ය සඳහාය. නිවසේ වැඩිහිටියාගේ සිට බහ තෝරන දරුවා දක්වාම මෙම නාට්‍ය උන්මාදයෙන් පෙළෙයි. ඉතින් දරුවන්ගේ කුඩා මනසද කුඩා අවදියේ සිටම පෝෂණය වන්නේ මේ වැදගැම්මකට නොමැති ටෙලි සිත්තම් හරහාය. දෙමාපියන් වශයෙන් අපට වගකීමක් පැවරී ඇත. ඒ දරුවන්ට නිවැරදි මග පෙන්වීමය.
දරුවන් පෙරටු කරගෙන එවන් නිෂ්ඵල ටෙලි සිත්තමක් වෙනුවෙන් වැය කරන කාලය පවුලේ සියලුම දෙනා එක්ව පිළිසඳරක යෙදුනේ නම් එකිනෙකාගේ අදහස් හුවමාරු කරගන්නේ නම් පවුල තුල බැඳීම ශක්තිමත් වන්නා සේම තවත් කෙනෙකුට සවන් දීම මෙන්ම ගරු කිරීමද දරුවා කුඩා වියේ සිටම තම ජීවිත තුලට එක්කර ගනියි.
බොහෝ විවාහ දෙදරා යන්නට කාරණය කැත්තට පොල්ල න්‍යාය වන මම මොකටද එයාට දෙක වෙන්නේ? යන සිතුවිල්ලය. විවාහ ජීවිතයට පිවිසීමට අප දරුවන් පුරුදු පුහුණු කල යුත්තේ කුඩා අවදියේමය. තව කෙනෙකුට ඇහුම් කන් දෙන්නට, අන්නෝන්‍ය වශයෙන් උදව් කරගැනීමට, පවුල යන බැදීමෙහි ඇති වැදගත්කම හා අවස්ථානුකූලව ජීවිතයට මුහුණ දීමට හැකි දරුවකු නිර්මාණය කල හැකි නම් දික්කසාදය නැමැති රුදුරු ව්‍යවසනයට ඉදිරි පරම්පරාව ගොදුරු නොවනුඇත. එවන් සමාජක් බිහි කිරීමේ ඒ භාර දූර කාර්්‍යය පැවරී ඇත්තේ ආදරණීය දෙමාපියන්ට බව අමතක නොකරන්න.