නිම්මි : හානේ ධම්මි… කොච්චර දවසකින්ද?
ධම්මි : ඒකනේන්නම්.. ඉතිං ඉතිං කොහොමද? දැන් නම් බොහොම සරු පාටයි
නිම්මි : ආනේ මෙයා කියන දේවල්..
ධම්මි : මට නම් හරිම කරදරයි නිමාලි, ලැබෙන ආදායම වගේ දෙගුණයක් වියදම, හරිම අමාරුවෙන් වැඩ කරගන්නෙ
නිම්මි : ඒ මොකද ඒ, අපේ ආදායමට ගැලපෙන්නයි වියදම ලෑස්ති වෙන්න ඕනේ
ධම්මි : ආ දැන් ඔයාට අදායම් වියදම් ගැන දැනුමත් ලැබිලා වගෙයි
නිම්මි : ඔව් ධම්මි.. නැත්නම් කොහොමද දරුවන්ගේ වියදම් ගෙදර වියදම් අපි මැනේජ් කරගන්නේ. ඇත්තම කිව්වොත් මම මගේ දරුවො දෙන්නටත් අපේ වියපැහැදම් ගැන කියලා දීලයි තියෙන්නේ. ඒ වගේම ඒ දෙන්නට ඉතුරු කරන්නත් මම පුරුදු කරනවා.
ධම්මි : ආනේ … ඇත්තද? කොච්චර ෂෝක්ද? මටත් කියන්නකො ඒ පාඩම ගැන.. මගේ දුවලා දෙන්නටත් කියලා දෙන්න.
නිම්මි : අය්යෝ ඒක හරිම පහසු දෙයක් ධම්මි, මම මුලින්ම කලේ ඇතුළ පෙනෙන පුංචි භාජන තුනක් අරගෙන ආදායම, වියදම, ඉතුරුම කියලා නම් කරපු එක. ඊට පස්සේ දරුවන්ට පුරුදු කළා එයාට ලැබෙන මුදල් ආදායම කියන බෝතලයට දාන්න. එයාලට ඒකෙන් අරගෙන අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් වියදම් කරන්න අවසර දුන්නා. ඒ යන වියදම් ගැන සටහනක් එයාලා වියදම් බෝතලයට දාන්න ඕනේ. ඒ වගේම මම එයාලට දීපු ටාගට් එක තමයි ඉතුරුම් බෝතලේ එකතු වෙන ගණන දෙකට බෙදලා දෙන්නට දෙනවා කැමති දෙයක් ගන්න කියලා. ඒ විදියට තමයි එයාලා ඉතිරි කරන්න පොළඹව ගත්තේ.
ධම්මි : අනේ ඇත්තද? කොච්චර ෂෝක්ද? ඉතිං දැන් එයාලා ලොකුයි නේද?
නිම්මි : ඔව් ධම්මි, එයාලා දෙන්නම දැන් ලොකුයි. ඒ වගේම එයාලා ටිකෙන් ටික පුරුදු වුණා ඉතුරුම් බෝතලේ තියෙන මුදල් එයාලගේ බැංකු ගිණුමට දාන්න. ඇත්තටම කිව්වොත් මට දැන් එයාලගේ අනාගතය ගැන බයක් නෑ. මොකද එයාලා දන්නවා ජීවත් වෙන්න මුදල් අවශ්‍ය බව වගේම මුදල් නාස්තිය හොඳ නැති බවත්. එයාලගේ අනාගත වියදම් වෙනුවෙන් මුදල් ඉතිරි කරන්න ඕනේ කියන අදහස තියෙන නිසා ඒ දෙන්නම නාස්ති කරන්නේ නෑ. පුංචි කාලේ ඉඳලම අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් විතරක් වියදම් කරන්න දරුවන්ට පුරුදු කරන්න ඕනෙ.
ධම්මි : ඇත්ත තමයි ඔයා කියන දේ නිම්මි.. මම මගේ දරුවන්ට වියදම් ගැන කියා නොදීපු එක වැරදියි. දැන් එයාලට වියදම් ගැන තියා අනාගතය වෙනුවෙන් යම් ඉතිරියක් කරන්න ඕනෙ කියන සිතිවිල්ලවත් නෑ. ඔයා නම් හොඳට කල්පනා කරලා. මමත් අදම මේ ගැන මගේ දරුවන්ට කියලා දෙන්න ඕනේ