- Advertisement -

දරුවන්ගේ භාෂා සංවර්ධනය ගැන හිතන අම්මලාට

-

පුංචි පැටියා බහ තෝරනකම් අම්මලාට ඉතින් පුංචි බියක් හිතේ තියෙනවා. මේ නිසා ඉස්සර කාලයේ දරුවාගේ උපන් කොන්ඩය වුනත්හරියට වචන උච්චාරනයෙන් කතා කරන තෙක් කපන්නේ නැහැ. ළමා මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන විදිහට දරුවෙක් මාස දෙකක කාලයේ පටන් තමන්ට ඇහෙන වචනවලට කන්දී ගෙන ඉන්නවා. ඒ වුනත් ඇහෙන දෙයට ප්‍රතිචාර දැක්වීම සිද්ධ වෙන්නේ මාස තුනක් පමණ ගෙවුනාමයි. දරුවාට ආමන්ත්‍රණය කරන විට අත පය ගසමින් සතුට ප්‍රකාශ කරන අන්දම ගැන අපේ අම්මලාට හොඳින්ම අත්දැකීම් ඇති. ඒ වගේ සතුටක් අම්මලාට තවත් නැහැ. ඔය විදිහට තොටිල්ලේ ඉන්න පැටියා මාස නවයක් පමණ වෙද්දී ලා…කා…ආ.. වැනි වචනවල ශබ්ද නගනවා. සමහර දරුවන් නම් මාස දහයක් විතර වෙද්දී තා..ත්තා…එහෙම  නැත්නම් අ…ම්…මා…යන උච්චාරනයන්ටත් හුරු වෙනවා.

මේ කාලයේදී අම්මලා දරුවන් සමග ඔවුන්ගේ කතාවට උදව් වෙන්න ඕන. සමහර අවස්ථාවලදී දරුවාට තමන්ගේ වචනවලින් කියන දේ අම්මාට හෝ තාත්තාට නොතේරෙන විට පුදුම විදිහට කේන්ති යනවා. ඒ නිසා දරුවාගේ ශබ්දකෝෂයටත් අපි හුරු වෙන්න ඕන. අවුරුදු එකහමාරක පමණ වෙන විට දරුවාට වාක්‍ය කොටස් කියන්න පුලුවන්. ඒ අතරින් ඔවුන්ට ආවේනික වචනත් තියෙනවා. බත් වෙනුවට බයියං… බල්ලා වෙනුවට බව්වා… විදිහට ආමන්ත්‍රණය කරනවා. සමහර ආමන්ත්‍රණ අම්මාටත් ‍නොතේරෙන තරම් අපභ්‍රංහ වෙන්නත් පුලුවන්. ඒත් අපි දරුවා තේරුම් ගන්නවා වගේම මේ වචනත් තේරුම් ගන්න ඕන.

- Advertisement -

දරුවාගේ මොලයේ සංවර්ධනය සමගම භාෂාමය හැකියාවත් වැඩිදියුණු වෙනවා. මේ නිසා භාෂාව වැඩිදියුනු වෙන විදිහට දරුවාගේ පරිසරය සකස් කර දීම ඉතාම වැදගත්. පුංචි රූප පොත්වලින් ලස්සන පින්තූර පෙන්න අතර විවිධ සත්ව, මල්, වැනි දේ හඳුන්වා දෙන්න පුලුවන්. එහෙම නැති වුනොත් දරුවාගේ භාෂාමය හැකියාව දියුණු වෙන්නේ නැහැ.සෙල්ලම් කරද්දී ඔවුන්ගේ සංවාද බොහොමයි. බෝනික්කෙක්, එමෙ නැත්නම් පුංචි සෙල්ලම් සතෙක් සමග දරුවා සෙල්ලම් කරන්නේ හරියට සජීවි කෙනෙක් සමග වගෙයි. ඒ නිසා ලොකු සංවාද දෙදෙනා අතර ගණුදෙනු වෙනවා. ඔබ ටිකක් මේ සංවාදවලට ඇහුම්කන් දී ගෙන හිටියා නම් ඔවුන්ගේ සංවාද මොන තරම් සුන්දර කියලා තේරේවි.

අවුරුදු තුනක් පමණ වෙද්දී දරුවන් රිද්මානුකූල කතාවන්ට කැමැත්තක් දක්වනවා. ඒ නිසා ගී, කවි, ගායනාවන්ටත් ප්‍රිය කරනවා. ඔවුන්ට රිද්මානුකූලව ගායනා හැකියාවන් ප්‍රබුද්ධ කිරීමට මේ කාලය ඉතා හොදින් ගැලපෙනවා. ඉස්සර කාලයේ අම්මලා දරුවන්ට කියා දුන්න පුංචි කවි කීපයක් මේ…

පුංචි බලු රාලේ
මා ගෙදර නැති වේලේ
මගේ පොඩි බෝලේ
අරන් පෙරල පෙරලා හිටියේ මුදුලේ…
චුට්ටං බට්ටිච්චා
දං ගෙඩියක් දැක්කා
පුංචි හොටෙන් ඇන්නා
ඩිංග ඩිංග කෑවා
බණ්ඩි ගෙඩිය ආවා
අම්මා ළගට දිව්වා…

 

මෙවැනි සුන්දර කවි ඇසීමට දරුවන් ඉතාම ප්‍රියයි.

සමහර කවි සමග ක්‍රියාකාරකම්ද සම්බන්ධව තිබෙනවා. එවැනි කවි ගීත නිසා දරුවාගේ නර්තන හැකියාවත් ඇති වෙනවා. රිද්මයකට සිරුර චලනය කරන්න පුරුදු පුහුණු වෙනවා වගේම මානසිකවත් සතුටක් ලබා ගැනීම නිසා ඇති වෙන සතුට අනාගතයේදී දරුවාගේ පෞරෂ වර්ධනයටත් හේතු වෙනවා.

ඉස්සර කාලයේ නම් මේ සේරම දේ අම්මා, අත්තම්මා සහ සීයාගෙන් ඉෂ්ට වුනත් අද පවුල විසිරිලා නිසා මේ සම්පත් ඇත්තේ නැහැ. ඒ නිසා හැම දෙයම ළදරු පාසලෙන් එහෙම නැත්නම් දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන් ඉෂ්ට කර ගැනීමට සිදු වෙලා. ඒ වුනත් තමන්ට ඉඩ ලැබෙන හැම අවස්ථාවකම දරුවා සමග කතා කිරීම වැදගත්. ඔවුන් පරිසරයට සම්බන්ධ කරමින් කතා බහ කරන්න. බිලිදු දරුවන් පරිසරයට ඉතාම ලැදියි. ඉස්සර කාලයේ දරුවන් පරිසරයේ ගහ කොළ දකිද්දී මලපහ පවා කොළ පැහැයෙන් යුක්ත වෙන බවට අතීතයේ වැඩිහිටියන් අතර විශ්වාසයක් තිබුණා. ඒ තරමටම දරුවා පරිසරයට ආමන්ත්‍රනය කරන්න කැමැතියි.

දරුවාගේ භාෂාමය සංවර්ධනය ඉතාම හොදින් ගොඩ නැගෙන්නේ මව් භාෂාව මුල් කර ගෙනයි.දෙවැනි භාෂාවක් ඉගෙනීමට නම් ටිකක් ඉවසා සිටීම අවශ්‍යයි. ඉංග්‍රිසි භාෂාව දරුවන් උගත යුතු බව ඇත්ත. ඒත් මේ ගැන එතරම් කලබයක් ඇති කර ගන්න එපා. පරිසරයේ දරුවා දකින බල්ලා පූසා වෙනුවෙන් ඩෝග්, කැට් වැනි වචන කියාදීම නරක නැහැ. good morning උදේට කියන්න. රාත්‍රියට good night වැනි ආහිර්වාද වෙනුවෙන් දැනුවත් කිරීම වරදක් නැහැ. එහෙම නැතුව අනවශ්‍ය විදිහට ඉංග්‍රිසියට හුරු කිරීමට වීර්ය ගන්න එපා. ඔබ මේ වචන කියන විට දරුවා ඒ අනුකරණය අනුව ඉගෙන ගැනීමට උත්සාහ දරාවි. එතෙක් ඉවසා සිටින්න.මුලින් නිදහසේ තමන්ගේ මව් භාෂාව හුරු වීමට නිදහස දෙන්න.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article