හොනලුලු විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යන වාර්තාවක් අපුරු හදුනා ගැනීමක් තිබුනා. අද බොහෝ විවාහයක්ගේ පවුල් සංස්ථාවන් තුළ ඔවුනොවුන් ඉන්නේ දැඩි කලකිරීමෙන්ලු. ඊට හේතුව විදිහට පෙන්වා දී තිබුනේ නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් සහකරුගේ සහයෝගය නොලැබීම බව ඒ අධ්‍යනයේ පෙන්වා දී තිබුනා. ඒ ඔස්සේ තව දුරටත් අධ්‍යනය මෙහෙවන ලද පර්යේෂකයන්ට පෙනී ගියේ මේ අන්දමින් තම නිවසේ කටයුතුවලට සහයෝගයක් නොදක්වන ලද පිරිස් බොහොමයක් බාල කාලයේදී තම නිවසේ වැඩකටයුතු වෙනුවෙන් කිසිම සහයෝගයක් නොදැක්වූ පිරිසක් වූ බවයි.
මේ වාර්තාව කියවන ලද ස්පාඤ්ඤයේ එක් විදුහල්පතිවරයෙක් මේ තත්වයට විසදුම් එතැනින් පටන් ගත්තා. ඔහු තම විදුහලේ පිරිමි දරුවන් වෙනුවෙන් විෂය මාලා අධ්‍යනයට අමතරව ඉවුම් පිහුම්, ගෙදර දොර අතු ගෑම, රෙදි පිලි සේදීම වැනි කටයුතු වෙනුවෙනුත් අවස්ථාවක් ලැබෙන විදිහට පංතියේ කාලසටහන සැලසුම් කරනු ලැබුවා.
ඇත්තටම අද බොහෝ පවුල්වල මේ තත්වය ඇති නොවෙනවාම නොවෙයි. ඉස්සර කාලයේ නම් අම්මා කියන චරිතය නිවසේ වැඩ කටයුතු වෙනුවෙන්ම සීමා වුනත් අද ඊට වඩා බොහොම විශාල භුමිකාවක ඇය සිටිනවා. ඒ නිසා කායික වශයෙනුත් විශාල වෙහෙසක් දරන්න සිදු වීම සාමාන්‍යයි.
මේ වගේ වාතාවරණයකදී නිවසේ මවට බිරිඳට පවුලේ අය ගෙන් සහයෝගයක් ලැබෙනවා නම් විශාල ශක්තියක්. එවිට ඇයට තමන්ගේ වැඩ කොටස කර ගෙන යෑමේදී වෙහෙසක් දැනෙන්නෙත් නැහැ. වචනයටත් අපි කියනවානේ…උදව් නොකලත් කමක් නෑ…අඩුම ගනනේ වචනයෙන්වත් සහයෝගයක් නැහැනේ…මේ වගේ බොහොම දුක්බර කතා අපටත් හොදට හුරුපුරුදුයි.
අන්න ඒ වගේ තත්වයක් ඇති වෙලා පවුලේ සාමය , සමගිය බිඳ වැටෙන්න නොදී ආරක්ෂා කර ගැනීමට නම් පිරිමි දරුවන්ටත් බාල කාලයේ පටන්ම නිවසේ වැඩකටයුතු පුරුදු පුහුනු කිරීම වරදක් නැහැ. එහෙම වුනාම අම්මාට වැඩ බහුල වුනාම , අසනීපයක් හැදුනාම එහෙමත් නැත්නම් ගමනක් ගිය වෙලාවක පවුලේ පුතාට පුලුවන් වෙනවා බතට මාළුවක් හදා ගන්න….තේඑකක් හදාගෙන බොන්න…
- ඉතින් මේ වැඩ උගන්නන්නේ කොහොමද….?
නිවසේ වැඩට පිරිමි දරුවන් දායක කර ගැනීමේ පුංචි තහංචි අප විසින්ම පනවා ගෙන තිබෙනවා. ඇයි ඉතින් පිරිමි දරුවන්ට ලොකු වටිනාකමක් ලබා දීලා තිබෙනවානේ. ඒ නිසා නිවසේ වැඩකටයුතු වෙනුවෙන් සින්න වෙන්නේ ගැහැණු දරුවන් විතරයි. අප අතර ඇති මේ අදහස ඇත්තටම වැරදියි. ගැහැණු වුනත්, පිරිමි වුනත් තමන්ට උවමනා දෙයක් පිලියෙල කරගන්න, නිවස පිලිවෙලකට තබා ගන්න හුරු පුරුදු කිරීම වරදක් නොවෙයි.
- සැමියාගේ වැරදිවලට බනින්නේ කාටද…?
අම්මාට ගෙදර වැඩ වැඩි වුනාම කේන්ති යනවත් වැඩියි. ඒ අතරේ තාත්තාගේ අපිලිවෙල නිසා තවත් වැඩ වැඩි වෙනවා. තේ බීලා කෝප්පය එක තැනක…ඇඳේ රෙදි බිමටත් වැටිලා..කලබල උදෑසනකදී මේවා දැක්කාම ඉතින් කේන්ති යෑම සාධාරණයි. ඒ කේන්තියට ඉතිං පවුල් ගහත් බදා ගන්නවා.
එච්චරයි පුතෙක් හදලා තියෙන්නේ…රටේ ඉන්න අපි පව් ගෙවන්න ඕන…මේ වගේ කළකිරීමෙන් කතා කරන අම්මලා අපි අතර සුලබයි.
- පුතාගෙන් වැඩ ගන්නවාට අම්මා කැමැතිත් නැහැ…
තවත් ලස්සන කතන්දරයක් තිබෙනවා.තමන්ගේ පුතා බිරිදට උදව් පදව් කරනවාට අම්මා කැමැති නැහැ. ඒ වුනාට දුවට උදව්වක් නොකරන බෑනා ගැන බොහොම දොස් නගන අවස්ථාවන් තිබෙනවා. දුව වුනත්, ලේලි වුනත් මේ දෙන්නාම කාන්තාවෝ…සමහර විට දෙන්නාම අම්මලා..දෙන්නාම රැකියාවක් කරනවා ඇති. එහෙම වෙලාවක දුවට එයාගේ සැමියාගෙන් උදව් නැති වුනාම අම්මාට දැනෙන දුක ලේලිට තමන්ගේ පුතා උදව් නොකරන විටත් දැනෙනවා නම් නේද වඩාත් හොඳ…
- මතුපිටට නොපෙනෙන මානසික ගැටුමක්..
හොනලුලු සරසවියේ පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමටම පවුලක ගැටුමට මුල පුරන මේ සිදුවීම් පැහැදිලිව පෙනේනේ නැහැ. ඒවා හිත යට පැසවලා නොදැනීම පුපුරා හැලෙන්නේ පවුල් සංස්ථාවටම වින කරමින්. ඉතිං තමන්ගේ පුතාගේ අනාගත විවාහ සංස්ථාව ආරක්ෂා කර ගැනීමට නම් අම්මලා මේ විදිහට කටයුතු කරනවා නම් අගෙයි.
- පුතාටත් යම් යම් ගෘහ කටයුතු කියා දෙන්න.
- උයන පිහන වේලාවට ඔහුගේ සහයෝගය ලබා ගන්න.
- නිවස පිරිසිදුව තබා ගන්න , තමන්ගේ රෙදි සෝදා ගැනීමට බාල කාලයේ පටන්ම වගකීම ලබා දෙන්න.
- නිවසක් වුනාම හැම කටයුත්තක්ම හැම දෙනාගේම මිසක ගැහැණු, පිරිමි විදිහට නිවසේ කටයුතු විහේෂීතකරණයක් නොකරන්න.
එහෙම වුනොත් ඔබේ පුතා අනාගතයේදී පවුලට ලැදියාවක් ඇති, පවුල තුළ සහයෝගයෙන් කටයුතු කරන සාර්ථක පියෙක්, සැමියෙක් බවට පත් වේවි.