දහසතුත් එකක් බලාපොරොත්තු මැද කුස තුළ වැඩෙන දරුවා දෝතට ගන්න පෙරුම් පුරන මාපිය යුවළකට මෙවැනි පුවතක් දරා ගත නොහැකි බව සැබෑවකි. නමුත් යථාර්ථයට මුහුණ දීමට අපි කාටත් සිදු වේ. ඒ නිසාම ඒ පිළිබඳව දැනුවත් වීම වැදගත්ය
මල දරු උපතක් යනු
කුස තුළ බිළිඳා මිය ගොස් බිහිවීමේ තත්ත්වයයි. එනම් සති 28 පසු හෝ ග්‍රෑම් 500ට වැඩි දරුවෙකු කුස තුළ මිය යාමයි. සාමාන්‍යයෙන් මළ දරු උපත් ප්‍රතිශතයක් ලෙස ගතහොත් 1%ක් පමණ වේ. උදරය ක්‍රමානුකූලව වර්ධනය නොවීම මෙන්ම භ්රෑණ චලන නොදැනීම කලලය මිය ගොස් ඇති බවට සැක කළ හැකි තත්ත්ව වුවත් වෛද්‍යවරයෙකු සමගින් එය තහවුරු කරගත යුතුය.
මළ දරු උපත් ඇති වීමට හේතු
- කලලයේ අසාමාන්‍යතා
- මවගේ යම් යම් සංකූලතා සහ ජානමය ගැටලු
- වැදැමහේ ගැටලු
- මවට ඇති වූ අසාදන තත්ත්ව (ඩෙංගු උණ/ උණ)
- මවගේ රුධිරයේ ඇති ගැටලු
- ගර්භාෂයේ යම් යම් ගැටලු
- ජාන එක්වීම නිසා අහඹු ලෙස ඇති විය හැකි ගැටලු
- වැදැමහ හරහා කලලයට රුධිරය ගමන් කිරීමේ ගැටලු (නිෂ්චිත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි මව්වරුන්ට මේ හේතුව ඉදිරිපත් කළත් එයට මෙතෙක් 100% සනාථ වූ කරුණක් නොවේ)
මළ දරු උපතක් තහවුරු වූ විගස
- මවට, පියාට/ඥාතීන්ට දැනුම් දේ. (සැවොම කල්පනාකාරීව, සන්සුන්ව අවස්ථාවට මුහුණ දිය යුතුයි)
- මෙය සිදු වූයේ මවගේ රෝග තත්ත්වයක් මත ද යන්න සොයා බැලේ
- කලලයේ මිය යාම මවගේ ජීවිතයට අවදානමක් ද යන්න සොයා බැලේ
මළ දරු උපත සිදු වූ හේතුව සොයා බැලීමට
- මවගේ රුධිර සාම්පල පරීකෂාව
- වැදැමහ පරීකෂණ සඳහා යොමු කිරීම
- බිළිඳු සිරුර මරණ පරීකෂණයට යොමු කිරීම
ප්‍රසූතියෙන් සති 6ත් 12ත් අතර කාලය තුළ මෙවැනි මව්වරුන් නැවත රුධිර පරීකෂාවට යොමුකරයි. තවද ළදරු මරණ පරීකෂණයේ මෙන්ම වැදැමහ පරීක්ෂණයේ වාර්තාව මගින් ආසන්නතම තත්ත්වය පිළිබඳව දැනුවත් වී මේ සඳහා බලපෑ හේතුව (30%ක ප්‍රතිශතයක් පමණි) සොයා ගත හැකිය.
ප්‍රසූතිය
සාමාන්‍ය ප්‍රසූතියට මෙහිදී මූලිකත්වය ලබා දෙන අතරම ( සිසේරියන් සැත්කම යොදා ගන්නේ මවට යම් හානිදායක තත්ත්වයක් හෝ ඇය දැඩි මානසික ආතතියකට පත්ව සිටිනවා නම් පමණි. එය ඉතා කලාතුරකින් සිදුවන තතත්වයකි) මෙවැනි මවකට අධික මානසික ආතතිය හේතුවෙන් වේදනාව අධිකව දැනෙන්නට ඉඩ ඇති නිසා නිරෝගී දරු උපතකදී මෙන් නොව (නිරෝගී දරු උපතකදී ප්‍රබල වේදනා නාශක භාවිත නොකරන්නේ ළදරුවාට බලපැමක් ඇති වේය යන බිය නිසාය) මලදරු උපතකදී උපරිම මට්ටමේ වේදනා නාශක ලබාදෙමින් මවට දැනෙන වේදනාව අවම කිරීමට උත්සාහ කරයි. ප්‍රසූතියෙන් පසුව මෙවැනි මව්වරුන් සාමාන්‍ය මව්වරුන් සහ ළදරුවන්ගෙන් වෙන්කර තබාගනී.
මෙහිදී,
- අවම කාලයක් ඇතුළත ප්‍රසූතිය සිදු කරයි.
මවගේ මානසිකත්වය මෙන්ම ප්‍රමාද වීම නිසා කලලය දිය වී අවශොෂණය වුවහොත් මරණ පරීකෂණය මගින් මළදරු උපතට හේතු වූ කරුණු සොයා ගත නොහැකි වන නිසාය.
- මිය ගිය කලලය හේතුවෙන් මවට හානිදායක තත්ත්වයක් ඇති වේය යන බිය නිසාය.
ළදරු මරණ පරීකෂණය
ජීවිතයෙන් සමුගත් පුංචි දරුවෙක් සම්බන්ධයෙන් ගත් කළ මේ කටයුත්ත එතරම් සුදුසුද යන්න ඔබටත් සිතෙන්නට පුළුවන්. නමුත් යම් මව්පිය යුවළක් මරණ පරීක්ෂණයට විරුද්ධ වීමෙන් ඊළඟ ගැබ් ගැනීමේදීත් ඇති විය හැකි ගැටලුකාරී තත්ත්වයන් හඳුනා අවම කරගැනීමට ඇති අවස්ථාව මගහරවා ගනියි. විශේෂිත පුහුණුව ලත් පිරිස් අතින් බිළිඳෙකුට ලබාදිය යුතු ගෞරවය රැකෙන සේ සිදු කෙරෙන මෙවැනි පරීක්ෂණයකදී ඉදිරියේදී මෙවැනි අවධානමකට ලක්වීම වළක්වා ගැනීමට අවස්ථාව උදා විය හැකියි.
මූලිකව බිළිඳාගේ සිරුර පිටතින් පරීක්ෂා කෙරෙන අතරම ඉන්පසුව සැත්කමක ආකාරයෙන් සිරුර තුළ වෙනස්කම් පවතීද යන්න පරීක්ෂා කෙරෙන අතරම අභ්‍යන්තර අවයවවල පටක පරීක්ෂණ සඳහා යොමු කිරීමත් සිදු කෙරේ. සැත්කමින් පසුව සැත්කමක කිසිදු ලකුණක් නොමැති වන ලෙස ළදරු සිරුර සකස් කෙරේ.
දරු ප්‍රසූතියෙන් පසුව
- මවට වේදනා නාශක ඇතුළු අවශ්‍ය ඖෂධ වර්ග ලබාදේ
- කිරි එරීම නතර කිරීමට ඖෂධ ලබාදේ
- බිළිඳු සිරුර මරණ පරීකෂණය (මවගේ කැමත්ත මත) වෙත යොමු කරයි.
- වැදැමහ ද පරීකෂණ සඳහා යොමු කරයි
- අවශ්‍යතාවය මත මව/පියාගේ උපදේශන වැඩසටහන් වෙත යොමු කරයි
නැවත ගැබ් ගැනීමට පෙර
- මව කායිකවත් මානසිකවත් නිසි තත්ත්වයේ සිටිය යුතුය
- පෙර ප්‍රසූතියේ සියලු වෛද්‍ය වාර්තා සමග වෛද්‍යවරයෙකු මුණ ගැසීම වැදගත් වේ
- පූර්ව ගර්භණී සායන වෙත යොමු විය යුතුය
- ෆෝලික් ඇසිඩ් 5mg ලබා ගත යුතුය.
ප්‍රසූතියෙන් පසු නිවසට පැමිණෙන මෙවැනි මවක් කිසිදු විටෙක අපහසුතාවයට,වේදනාවට පත් නොකර අවධානය, ආදරය උපරිමයෙන් ලබාදෙමින් ඇය හා එක්ව මේ දුක්බර අවස්ථාවට මුහුණ දීමට තරම් සැමියා ඇතුළු නිවැසියන්ද කාරුණික විය යුතුය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ ජාතික රෝහලේ සහ ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ, ලංකා එන්ඩොමෙට්‍රියෝසිස් සංගමයේ ලේකම් වෛද්‍ය චන්දන ජයසුන්දර මහතාගේ ලිපියකි.