රෝස පදුරේ නම් ආයෙ ආයේ මල් පිපේවි.. ඒත් අපේ පුංචි පැටවුගේ හිත් ….?
”අනේ අර බලන්නකෝ… ඊයේ ? වැස්සට මම අලූතින්ම ගෙනාපු සුදු රෝස පඳුරේ මල් පොට්ටු ටික බිම හැලිලා. මම බලාගෙන හිටියේ මල් ටික ලස්සනට පිපෙනකම්. අපරාදේ……මට තිබුණේ මල් පෝච්චිය ගෙයි ඇතුළෙන් අරන් තියන්න.”
එහෙම දෙයක් වුණොත් ඔබත් මේ විදියට පසුතැවෙනවා නේද? මේ තදින් වහින කාලේ, ඔබ ඔය තරම්ම ආදරය කරන රෝස මල් පෝච්චිය වැස්සට අහුවෙන තැනක තියුවේ ඇයි? පස්සේ පසුතැවෙනවට වඩා කලින් කල්පනා කරා නම් රෝස පඳුරේ ලස්සනට රෝස මල් පිපෙන හැටි බලන්න තිබුණා නේද? ඒත් දැන් මොනවා කරන්නද?
රෝස පඳුර ඒ විදියට හිතින් අතහැරියත් ඒ බිමට වැටිලා විනාශ වුණු රෝස මල් පොට්ටුව ඔබේ පුංචි දරු පැටියා වුණොත් ඔබට මේ සිද්ධිය හිතින් අත්හරින්නට පුළුවන්ද? කොහොමත්ම බැහැ නේද? රෝස පදුරේ ආයෙ ආයේ මල් පිපුණත් පුංචි දරුවෙක්ට ආයෙ ආයෙ පිපෙන්න බැහැ. මේ වගකීම පූර්ණව පැවරෙන්නේ අම්මාට. සුමුදු, පිවිතුරු, සුවඳවත්, ලස්සන පුංචි පැටවුන්නේ ජීවිත අකාරුණික ලෙස අහිමිව යන මේ යුගයේ ඔබේ දරුපැටියා පිළිබඳව කොයිතරම් සැළකිලිමත් විය යුතුද යන්න ඔබට අපහැදිලි විය නොහැකියි.
ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවන බොහොමයක් හැලහැප්පීම් හමුවේ ධෛර්යවන්තව හිතන්න පතන්න හැකියාව දෙමාපියන් වන අපිට තියෙනවා. ඇත්තටම ඒ අපේ පුංචි දරුවෝ නිසා. මොකද අපි දන්නවා අපි නැති වුණොත් ඒ පුංචි පැටව් කොයිතරම් නම් අසරණද කියලා. හරියට කෑම එක අරගෙන කන්න නොතේරෙන, තමන්ගේ ඇඟපත හොඳට පවිත්‍ර කරගන්න නොතේරෙන, කිසිම අයෙක්ව අවිශ්වාස නොකරන මේ පුංචි දරුවෝ ගැන අපට තියෙන වගකීම මෙතකැයි කියන්න නම් අමාරුයි. අන්න ඒ නිසාමයි එයාලට අපිව අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ අවශ්‍යතාවය සියයට දෙසියක් සම්පූර්ණ කිරීමේ වගකීම වගේම යුතුකම දෙමාපියන් වශයෙන් අපට පැවරෙනවා.
අවධානයෙන් ඉන්න, ඔබේ නොදරුවා සමීප වන්නේ කාටද යන වග. ඔවුන්ට යම් යම් දේ ගෙනැවිත් දෙන්නේ කවුරුන්ද යන වග. ඒ කුමක් සඳහාද? එසේ කරන්නට ඒ පුද්ගලයා දරුවාට ඇති විශේෂ හිතවත්කම කුමක්ද? ඔහු දරුවාට තෑගිබෝග ලබා දිය යුතු අයෙක්ද? මේ කරුණු පිළබඳව දරුවාට වටහා ගත නොහැකි වුවත් දෙමාපියන් වන ඔබට වටහා ගත හැකියි. අසැල්වැසි නිවසේ අය්යාගෙන් ලැබෙන පුංචි බෝනික්කා ඔබට කියන්නේ දරුවාගේ ජීවිතයට ඇති විය හැකි අනතුරක අවදානම විය හැකියි. දරුවා පවසන බොහෝමයක් වචන අතරේ ඒ අවදානම ඔබට හඳුනා ගත හැකිය. වැදගත් වන්නේ ඔබේ පූර්ණ අවධානය පමණි.
ඉතිං ඔබට පුළුවන් නේද දැනුවත් වන්න, කිසිම අවස්ථාවකදී නොදන්නා පිටස්තරයෙකු අතින් දරුවෙකුට යම් හිරිහැරයක් වන අවස්ථා අවම වන අතරම සැමවිටම එවැන්නක් සිදුවිය හැක්කේ ඔබේ පවුලට සමීපතමයෙකු අතින් හෝ පවුලේ අයෙකු අතින් යන බව. කිසිදු විටෙක ඒ සඳහා අවස්ථාවක් ලබානොදීමට ඔබ වග බලා ගත යුතුය. ගැහැණු පිරිමි භේදයකින් තොරව මේ පිළිබඳව වැඩිහිටියන්ගේ අවධානය යොමු විය යුතුය. ඇතැම් විට තලා පෙලා පීඩාවට පත්ව මිලිනව යන මල් කැකුළු මෙන්ම තාඩනයට පීඩාවට පත්වෙමින් අසහනයෙන් ජීවිතයට මුහුණ දෙන පුංචි පැටවුනුත් මේ රට තුළ කොයිතරම් නම් ඇතිද? අද සිටිම සැළකිලිමත්වන්න, දරුවා කාලය ගතකරන්නේ කා සමගින්ද? ඔවුන් සමග දරුවා සිදුකරන්නේ මොනවාද යන්න වග. නිවසේම අය පිළිබඳව සැක කරමින් ජීවත් වන්නේ කොයි ලෙසකින්ද යන්න ඔබට සිතිය හැකියි. නමුත් ඔබේ සිත තුළ පුංචි සැකයක් රඳවා ගැනීම දරුවාගේ ආරක්ෂාවට බෙහෙවින් උපකාරී විය හැකිය යන්න මගේ අදහසයි.
මල් පෙතිවන් සිනඳු පුංචි දරුවන්ගේ අඟපසඟ කෙරේ ලොබ බඳින්නට තරම් අසහනකාරී සාහසිකයන් වෙසෙන මේ සමාජය තුළ දරුවන් ලොවට නොපෙන්වා සඟවාගෙන ඇති දැඩි කරන්නට ඇති නම් කියා මට සිතෙන වාර අනන්තය. ඇස් දෙක වාගේ නොව ඇස් දෙකටත් වඩා වැඩියෙන් රැකගත යුතු දෙයක් වේ නම් ඒ අපේ දරුපැටවුන්ය.