- Advertisement -

බබා ලැබෙන්න එන්නත් කලින් ඉදලම ෆෝලික් ඇසිඩ් එක ගන්න ඕනෙමද?

-

දරු පිළිසිද ගැනීමක් පතන නව යුවලකට තමන්ට එක්වීමට පෙරුම් පුරන දරුවාගේ යහපත උදෙසා ගත යුතු තවත් වැදගත් පියවරක් අද වෛද්‍ය ලෝකය තුළ තහවුරු වී ඇත. දරු පිළසිද ගැනීමක් සිදුවනුයේ කවර මොහොතකදැයි කීමට කිසිවෙකුට නොහැක. සාමාන්‍යයෙන් මාසික ආර්තවය නතර වී ඇති බව දැණුන දින සිට දින 14 ට පෙර සිදුවන්නට ඇතැයි අනුමාන කළ හැක. මේ නිසා දරුවාගේ ස්නායු නාල අඩුලූහුඩුකම් (Neural tube defects) ඇති වීම වළක්වාලීමේ සූදානම් පියවරක් ලෙස දරු පිළිසිද ගැනීමට පෙර සිටත්, ඒ වෙනුවෙන් උත්සාහ කරන කාලය තුළත් ගැබ් ගැනීමෙන් පසුවත් ෆෝලික් අම්ලය දිනපතා ගැනීම කාන්තා ඔබේ ජීවිතයට එක්කර ගත යුතු පුරුද්දක් බදුය. 

මොකද්ද මේ ෆෝලික් අම්ල විටමිනය කියන්නේ

- Advertisement -

විටමින් B කාණ්ඩයට අයත් ප‍්‍රමුඛ විටමින් හතෙන් එකක් ලෙස ෆෝලික් අම්ලය සැලකෙයි. න්‍යෂ්ටික අම්ල ජෛව සංසේලෂණය සදහා ෆෝලික් අම්ලය අත්‍යවශ්‍ය බැවින් ශරීරයේ සෑම සෛලයකම සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වය සදහා අවශ්‍ය මූලිකාංගයක් බවට පත්වී ඇත. එසේම රතු ෙසෙල මේරීම හා ඒවායේ සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වය සදහාද ෆෝලික් අම්ලය අත්‍යාවශ්‍ය වේ. ටෙට‍්‍රා හයිඩ්‍රො, ෆෝලික් අම්ලයේ සහ එන්සයිමයක් ලෙසද ක‍්‍රියා කරයි.

ගර්භණී සමයේ මුල සති හතරක කාලය තුළ කුස තුළ වර්ධනය වන දරුවාට සුවිශේෂ වූ කාල පරිච්ජේදයකි. මොළය, සුසුම්නාව හා හිස් කබල වර්ධනය සිදුවන්නේ මෙම සමයේදී වීම ඊට හේතුවයි. ආර්තවය නැවතී ඇති බව දැනගන්නා විට කුස තුළ වැඩෙන දරුවාට අඩුම තරමින් සති 2 ක් වත් ගෙවී අවසන්ය. මේ නිසා පිළිසිදීමකට ලක් වන තුරු නොසිට ඒ අපේක්‍ෂා කරන දා සිට ෆෝලික් අම්ලය ගැනීම දරුවා සදහා කරන ආයෝජනයක් බදුය. ගැබ් ගැනීමෙන් සති 12 ක් පමණ යනතුරුවත් ෆෝලික් අම්ලය ගතහොත් 70% ක පමණ ස්නායු ආබාධ වළක්වා ගත හැක. ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් රාශියකම සිය ප‍්‍රජනන වයසේ පසුවන කාන්තාවන් බොහෝ දෙනෙකු තුළ ඉතා ඉහළ මට්ටමක ෆෝලික් අම්ල විටමිනයේ ඌනතාවයක් ඇති බව හෙලි වී ඇත. කුඩා ළමුන්ද මේ අතර අවදානමට ලක්වී සිටිති. 

ස්නායු නාල ආබාධ යනු,

දරුවාගේ මධ්‍ය ස්නායු පද්ධතිය ගර්භණී කාලයේ මුල් මාසයේදී වර්ධනය ආරම්භ වේ. පළමුව ස්නායු ඵලක (Neural plate) ලෙස නිර්මාණය වී පසුව ඒවා නලයක් ලෙස වර්ධනය වේ. ස්නායු ආබාධයක් යනු සාමාන්‍යයෙන් ස්නායු නාලයේ විවෘත වීම් සති 6 කදී පමණ වැසී යන නමුත් මෙම අවස්ථාවේදී මෙම ස්නායු රජ්ජුවේ විවෘත වීම් එසේ වැසී නොයයි. පැහැදිලිව ඇතිවන ස්නායු නාල නිර්මාණයේ අඩුලූහුඩුකම් ලෙස පැහැදිලි වනුයේ මොළයේ හා සුසුම්නාවේ දුස්රූපණ තත්ත්වයන් මතුවීමයි. මේ හේතුව නිසා spina bifida, anencephaly (encephalocele) තත්ත්ව ප‍්‍රතිඵල වේ. 

Spina Bifia යනු සරල වශයෙන් දැක්වුවහොත් ස්නායු රජ්ජුව හා කශේරුකාවේ අසම්පූර්ණ වර්ධනයකි. මෙලෙස උපත ලබන දරුවන් අතරින් 7% ක් පමණ එතරම් ආබාධිත තත්ත්වයකින් තොරව සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ලැබුණද ඉන් වැඩිදෙනෙකුට 

  • මානසික ඌණ වර්ධනය
  • අපස්මාරය
  • අන්ධභාවය
  • මුත‍්‍රා ආසාධන
  • චලනයේ ගැටලු

ආදී සංකූලතා පැවතීමටත් රෝද පුටුවකට, ඇදකට, තොටිල්ලකට සීමා වූ ජීවිත ගත කරන්නට සිදුවීමටත් හැක.

anencephaly (encephalocele) යනු මොළයේ ප‍්‍රධාන කොටස් වල හිස්කබලේ අසම්පූර්ණ වර්ධනයකි. මෙහිදී නොවැඩුණු හිස්කබල හරහා මොළයේ පටක හිස්කබලේ විවෘත වීම් තුලින් පිටතට නෙරා ඒමයි. 

ගර්භනීභාවයට සති 16 – 19 ක් වන කාලයේ සිදු කරන මවගේ රුධිරය තුල පවත්නා ෆෝටෝ ප්‍රෝටීන මට්ටම මැනීම හා අල්ට‍්‍රා සවුන්ඩ් ස්කෑනින් පරීක්‍ෂණ මගින් පූර්ව ප‍්‍රසව සමයේදී මෙම තත්ත්වය හදුනාගත හැක. උපද්‍රව්‍යමය පත් පූර්ව කළලයක් සොයා ගත්තද ලංකාවේ නීතිය මගින් ගබ්සාවක් කරගැනීමට ඉඩ සලසා නැත. මේ නිසා පූර්ව ප‍්‍රසව සමයේදී එම ආබාධිත කළල සොයා ගැනීමට වඩා ඇති වීම වළක්වා ගත යුතුය. 

ස්නායු ආබාධ ඇති වීමේ අධි අවදානම් සහිත මව්වරුන් වන්නේ,

  • සහකරු හෝ සහකාරිය ලේ ඥාතීන් වීම
  • දියවැඩියාව, අපස්මාරය, අක්මා රෝග හෝ ප‍්‍රදාහිත ආන්ත‍්‍රික රෝග ඇතිවීම
  • ආමාශයේ ශල්‍යකර්ම කර තිබීම
  • අධික ලෙස මත්පැන් පානය
  • පෙර ගර්භණී අවස්ථාවල මල දරු උපත් සිදුවීම
  • වකුගඩු රෝග හා ඒ සදහා පරිතාන කාන්දු පෙරීම (Peritoneal dialysis), රුධිර කාන්දු පෙරීම (Haema dialysis) සිදුකරන කාන්තාවන්.
  • දෑකැති හැඩ රක්තහීනතාවය ඇති ස්ත‍්‍රීන්
  • පොතු කබර (Psorisis), සන්ධි රෝග, ඇදුම ආදී තත්ත්ව සහිත වීම. 

දැනට ස්නායු ආබාධ ඇති වීමේ අධි අවදානම් සහිත මව්වරුන් 5mg වැනි අධි මාත‍්‍රාවක් ගත යුතු බවට වෛදවරුන් උපදෙස් ලබාදේ. 

ෆෝලික් අම්ලය ලැබෙන ආහාර

පෝෂණවත් ආහාර වේලක් තුලින් දෛනිකව ෆෝලික් අම්ලය ලබාගත හැකි බව පිළිගැනෙයි. පළා වර්ග හා කොළ පැහැති එළවළු, යෝගට්, තෙල් රහිත මස්, බිත්තර, මාළු, පිරිප්පු, කව්පි වැනි පියළි ඇට වර්ග, තිරිඟු, දොඩම් පවුලේ පළතුරු, අලිගැට පේර, යීස්ට්, පැපොල්, කෙසෙල්, තක්කාලි, සුදු සහල්, බෝංචි ආදියේ බහුලව පවතී. එසේම සාමාන්‍ය ප‍්‍රමාණයේ බිත්තර කහමදයක් තුළ ෆෝලික් අම්ලය 75mg (මයික්‍රෝ ග‍්‍රෑම්) පමණ අඩංගු වන බව පැවසේ. මාළු, පරිප්පු, කව්පි, මැල්ලුම් අඩංගු ආහාර වේලක් ගෙන අතුරුපසට යෝගට් එකක් ගැනීමෙන් ෆෝලික් අම්ලය අවශ්‍යතාවය ඉන් සපුරා ගත හැක. 

ආහාර බොහෝ වේලාවක් පිසීම නිසා මෙම සංවේදී විටමිනය විනාශ වී යා හැක. මේ නිසා මැල්ලූම් හෝ එළවළු බොහෝ වේලා ලිප මත තබා නොගත යුතුය. ඉහත දැක්වූයේ ගර්භනී නොවන සමයේ සාමාන්‍ය අයෙකුගේ ෆෝලික් අම්ලය අවශ්‍යතාවයකි. එහෙත් පර්යේෂණ මගින් සනාථ කර ඇත්තේ දරු පිළිසිඳීමත් සමග මෙම අවශ්‍යතාවය තවත් 400mgකින් ඉහළ යන බවයි. එසේ නම් ස්නායු නාල දුස්සරූපණය වැළැක්වීම සඳහා 600mg ප‍්‍රමාණයක් ෆෝලික් අම්ලය පෙති ගත යුතු වේ. 

මේ නිසා දරු පිළිසිඳ ගැනීමකට පෙර ෆෝලික් අම්ලය පෙති නොගත් කාන්තාවක් ඒ බව දැනගත් වහාම ෆෝලික් අම්ල පෙති ගැනීම ආරම්භ කර ගර්භනීභාවයේ සති 12 දක්වා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.

ගර්භනී කාලයේ Multivitamin මගින්ද මෙම ෆෝලික් අම්ල අවශ්‍යතාවය සම්පුර්ණ කරගත හැක. ෆෝලික් අම්ලයය අඩංගු Multivitamin අහිතකර නොවූවද මිල අධික නිසා සාමාන්‍ය ෆෝලික් අම්ලය ප‍්‍රමාණවත් වේ. නමුත් මතක තබාගත යුතු කරුණ වන්නේ විටමින් A අඩංගු Multivitamin භාවිත නොකළ යුතුය. එසේම පීකුදු හෝ ඔමේගා 3 නොගත යුතුය. විටමින් A අධික මාත‍්‍රාව ගැනීම ගර්භනී සම‍යේ මුල් මාස තුන තුළ ගැටළු ඇති කරයි. එසේම ඔබ ගර්භනී වීමට බලාපොරොත්තුවෙන් සිටින එහෙත් ෆෝලික් අම්ලය ගැනීම අතපසු වූ අයෙක් නම් ගැබ් ගැනීම මාස 3 – 4 ක් ප‍්‍රමාද කර ෆෝලික් අම්ලය ලබාගෙන ගැබ් ගැනීමක් පිළීබඳව සිතීම වඩාත් සුදුසුය. 

නිසි අයුරින් ෆෝලික් අම්ලය ලබාගත් මවකට දරුවාට ඇති විය හැකි විදිලිත තොල හා තල්ල (hair lip & cleft palate), නොමේරූ දරු උපත් ඇතිවීම, බර අඩු දරු උපත් ඇතිවීම, ගබ්සාවන් ඇති වීම, ගැබ තුල වර්ධනය දුර්වල වීම වැනි තත්ත්වයන්ගෙන් ආරක්‍ෂා විය හැකියි. 

එසේම ෆෝලික් අම්ලය මගින් මවට, ගර්භනී සම‍යේ සංකූලතා එනම් දෙවන, තුන්වන මාසයේ ඇති විය හැකි පූර්ව එක්ලැම්ප්ෂියාව (ගර්භ වලිප්පුව) සඳහා අවදානම, හෘද රෝග, අඝාත රෝග, ඇතැම් පිළිකා වර්ග, Alzheimer රෝගය ආදී ස්නායු රෝග වලින් වැළකීමට අවස්ථාව උදාවේ. 

එසේම ෆෝලික් අම්ලය පිරිමින්ගේ සරුභාවය සඳහා ද බලපායි. පිරිමියෙකුගේ ශරීරයේ සෑම තත්ත්පරයකදීම අලුත් ශූක‍්‍රාණු 1500 ක් පමණ නිපදවයි. මෙහිදී ශුක‍්‍රාණු සෛල ඇති වීමට දින 30 පමණ ගත වේ. එහිදී සෛල  බෙදීම හා DNA නිෂ්පාදනයට ෆෝලික් අම්ලය අවශ්‍ය වේ. 

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
 පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article