- Advertisement -

මුල් ළමා විය සත්කාරය හා සංවර්ධනය

-

දරුවකු කුස පිළිසිඳි දිනයේ පටන් සෛල ගොනු බෙදෙමින් කලලය වැඩෙමින් සංකීර්ණ වූ සෛල ගොනුවක් ලෙසින් මිනිස් ජීවියෙකුගේ වැඩීම ආරම්භ වේ. මේ වර්ධනය ඇරඹී සති පහක් පමණ අවසන් විට මේ කලලයේ ස්නායු පද්ධතිය වර්ධනය ආරම්භ වේ. එසේම සති නවයක් පමණ වන විට අත්, පා, කන්, නාසය ආදී ඉන්‍ද්‍රියන් හඳුනා ගැනීමට හැකි පමණ වර්ධනය වී ඇත. මෙසේ විවිධ ඉන්‍ද්‍රියන් වැඩීම ආරම්භ වීම සමගින් එම ඉන්‍ද්‍රියන් මගින් ලබාගන්නා සංවේදනවල වර්ධනය ද ආරම්භ වේ.

මෙසේ හෙයින් කුස පිළිසිඳි කලලයේ ඉන්‍ද්‍රියන් සංවේදනවලට ප‍්‍රතිචාර දක්වන හෙයින් මේ කාලයේ සිටම පංච ඉන්‍ද්‍රියන් උත්තේජනය ආරම්භ කල හැකිය. මේ නිසා ගර්භනී මවක් ශ‍්‍රවණයට ගෝචර වූ ශබ්ද ඇසීම, නෙතට ප‍්‍රිය උපදවන දසුන් දැකීම, මිහිරි සුගන්ධයන් ආඝ‍්‍රාණය, දිවට ප‍්‍රණීත රස දැනීම තුලින් මෙන්ම සෙනෙහෙවන්ත ස්පර්ශයන් තුලින් ප‍්‍රබෝධනය වන ඉන්‍ද්‍රියන්ගේ විඳ දරා ගැනීම කුස තුල සිටින දරුවාද ග‍්‍රහණය කරගනියි. මෙසේ යහපත් මා පිය දරු සබඳතාවක් ගොඩනැඟීම ජීවිත කාලය පුරාවට විහිදුණු සෙනෙහෙවත් අත් වැලක් වේ. මෙසේ කුස තුළ වැඩෙන දරුවෙකු මෙලොව එළිය දුටු දිනයේ සිටද මේ පංච ඉන්‍ද්‍රියන් ප‍්‍රබෝධනයට අවස්ථාව ලැබීම තුලින් සංවර්ධනයේ කඩ ඉම් පසුකර යන්නේ සෙනෙහසින් හා වේගයෙනි. 

- Advertisement -

කුඩා කල සිට දෙමාපිය දරු සබඳතාව හොඳින් ඔපවත් වීම සඳහා දරුවන් හා දෙමාපියන් අතර ශක්තිමත් බැඳීමක් මනාව තැනිය යුතුයි. මේ සඳහා දරුවන්ගේ සියලු අවශ්‍යතා පරිපූර්ණ වීමට නම් ආහාර, ඇඳුම් පැළඳුම්වලට එහා ගොස් සියලු කටයුතු වලදී දරුවන් හා එකට බැඳුණු ජීවිතයකට හුරු වීම තුලින් සහජීවනය හුරු පුරුදු වන්නාසේම වඩාත් ප‍්‍රතිඵලදායී දිවි පෙවෙතකට දරුවා පමණක් නොව පවුලම අවතීර්ණ වීමේ හැකියාව ලැබේ. 

දරුවා සමග කතා කිරීම, දරුවාට දැනෙන ලෙස ආදරය කිරීම දරුවා තුල මව හා පවුලේ අය කෙරෙහි බැඳීමක් එකමුතුවක් ගොඩනැගීමට සමත් වේ. කුඩා කල සිටම දරු නැලවිල්ලෙන් නැලවීමම දරුවා තුල සෞන්දර්යය හැඟීම් ඇති කිරීමට හේතුවක් වේ. වැඩෙන දරුවා සමගම ඔහුගේ ක‍්‍රියාකාරකම් දෙස විමසිල්ලෙන් බලා සිට ඊට අනුබල දැක්වීම, උදව් කිරීම හා අගය කිරීම තුලින් වඩාත් ඉදිරි පියවරයන් සඳහා දරුවා යොමු වීම නිරන්තරයෙන් සිදු වේ. 

මාස 3 දී පමණ දරුවාට යමක් අල්ලන්නට හැකියාව ලැබනවා සේම දෑතේ ක‍්‍රියාකාරීත්වය සංකීර්ණ ක‍්‍රියාවලි දක්වා ක‍්‍රමයෙන් ක‍්‍රියාත්මක වන්නේ දරුවාට ක‍්‍රියාකාරකම් සඳහා ලැබෙන අවස්ථාව අනුවයි. දෑතට දැනෙන ස්පර්ශය තුලින් මෙන්ම ඇසට පෙනෙන හැඩය, පැහැය වගේම අත් විඳින සියලු අත්දැකීම් මොළය තුල ගබඩා වන හෙයින් නැවත නැවත එම ක‍්‍රියාකාරකම්වලදී ඒවා මතකයට ඒමක් සිදුවන බැවින් ඒවා සඳහා ලබාදෙන අත්දැකීම් සංවර්ධන ක‍්‍රියාවලි සඳහා ලැබෙන උත්තේජනයන් වනු නොඅනුමානයි. 

නිවස තුලදී මෙන්ම එළිමහනේදීත් දරුවාට දකින්නට ලැබෙන දේ කතා කිරීමට නොහැකි වුවත් මතක තබාගැනීමට හැකිවනවා. එසේම නිරන්තර අවධානයට ලක්වන දේ දරුවා විමසිලිමත්ව ගවේෂණය කරන බවත් ඔබට නිරීක්‍ෂණය කළ හැකියි. ගස්වල සෙලවීම, සුලඟ, මල්, කුරුල්ලන්, හඳ ආදී දේ පිළිබඳව දරුවන්ට කුඩා කල සිටම හඳුනාගැනීමට සැලැස්වීම, එම වචන දරුවාට ඇසෙන සේ පැවසීම නිරන්තර සිදුවන විට වචනය ඇසුණු තැනින් එහි රූපය සෙවීමට දරුවා පෙළඹෙන්නේ ඔහුගේ මොළයේ සංවර්ධනය හොඳින් සිදුවන නිසයි. 

දරුවා සමග කරන සෑම ක‍්‍රියාකාරකමක් කතා කරමින් කිරීම මගින් වැඩි වචන ප‍්‍රමාණයක් දරුවාට ඉගෙනීමට ලැබෙනවා.

  • ස්නානයේදී 

නානවිට, වතුර ශබ්දය, ගලායන විට ඇඟට වැටෙන විට දැනෙන සංවේදන හරහා දරුවා ඒ පිළිබඳ අධ්‍යයනය කරනවා. එසේම සබන් පෙණ, සබන් සුවඳ, සබන් සමග සම මත ඇතිවන ලිස්සීම පවා දරුවාට අත්දැකීම් ගෙන දෙනවා. වසර දෙකක් තුනක් පමණ වන විට මේ ක‍්‍රියාවලිය ඉතාමත් ප‍්‍රීතිමත් අත්දැකීමක් වනවා. නාන තැන අනුව අවශ්‍ය උපකරණ රැස් කිරීම, ඒවා රඳවා තබන තැන් පිළිබඳ අවබෝධය තුලින් ක‍්‍රියාත්මක වීමට දරුවාට හැකියාව ලැබෙනවා. ඒ අනුව නෑමට පාවිච්චි කරන උපකරණ එක් රැස් කිරීමට ඉඩ හසර ලබාදීම කළ යුතුයි. එසේම ජලය සමග ක‍්‍රීඩා කිරීමටත් පාවෙන ගිලෙන දේ හඳුනා ගැනීමටත් මේ සමග අවකාශ ලැබෙනවා. භාජන වලට වතුර පිරවීම ආදියට ආරක්‍ෂාවන් මැද දරුවාට ඉඩ ලබාදීම කළ යුතුයි.

  • ආහාර ගැනීමේදී

දරුවාට ආහාර ලබා දෙන විට ආහාර වර්ග හඳුනා ගැනීමට ඒවායේ පාට, රස පිළිබඳව දරුවා සමග කතා කරන්න. ඊට පෙර කෑම පිළියෙල කරන අවස්ථාවේදී පවා දරුවා සමග කතා කරමින් එය කරන්න. ඔබ කරන සියලු දේ දරුවා නිරීක්‍ෂණය කරමින් ඉගෙන ගන්නා නිසා දරුවාට ඒ සඳහා උදව් කරන්න. කැරට් අලයක් කපන්නට ගත්තේ නම් ශුද්ධ කිරීමට පෙර එය දරුවාට පෙන්වන්න. නම කියන්න. එය ශුද්ධ කල පසුත් ඒ ගැන කියන්න. එහි පාට ගැන කියන්න. එය හොඳින් සේදිය යුතු බවත් ඊට පසු කපන බවත් කියමින් කරන්න. කපන හැඩය පිළිබඳව පවා දරුවා සමග කතා කිරීමෙන් හැඩතල පිළිබඳව දරුවාට අදහසක් ඇති වේ. එසේම අල්ලා බලන්නටත් අවස්ථාවක් දෙන්න. උයන විට ඒ ගැනත් ඒ සඳහා යොදා ගන්නා අනිත් දේවල් ගැනත් දරුවා සමග කතා කරමින් කරන්න. මේ ලෙසින් වෑංජන සඳහා ගන්නා ආහාර ද්‍රව්‍ය පිළිබඳව අදහසක් දරුවාට ඇති කරගත හැකියි. එසේම ආහාර කවන විටත් එම ආහාරය පිළියෙල කිරීමට පෙර තත්ත්වය නැවත මතකයට නැගීමටත් එහි රසය පිළිබඳව කතා කරමින් කෑම කැවීමත් දරුවාගේ බුද්ධි වර්ධනයට ඉඩ හසර ලැබේ. 

  • වෙළඳ පොලට ගිය විට

මේ අයුරින් වෙළඳපලට ගිය විටද දරුවා සහභාගි කරවා ගැනීමෙන් එළවළු, පළතුරු, පලා ආදී ලෙසින් ද්‍රව්‍ය හඳුනා ගැනීමටත් හොඳ නරක ලෙස තේරීමටත්, මුදල් හදල්, කිරුම් මිනුම් ආදී සෑම දෙමක්ම දරුවාට ඉගෙනීමට ඇති අවස්ථාවන් වේ. එසේම නිවසට ගෙනා එළවළු වර්ග කිරීමටත්, ඒවා ඇසිරීමටත් දරුවාට ඉඩ ප‍්‍රස්ථා ලබාදීම තුලින් ඒවායේ දිග, කොට, මහත, ගෙඩි, කරල්, ලපටි, මෝරපු, ඉදුනු ආදී ලෙසින් ගණිත ක‍්‍රියාකාරකම් සඳහා වැදගත් වන  තේරීමේ ක‍්‍රියාකාරකම් දරුවාට නිරන්තර ලැබීම තුලින් මොළයේ සංවර්ධන ක‍්‍රියාවලී මෙන්ම තර්කන හැකියාවද වැඩි දියුණු වේ. 

  • බෝගයක් රෝපණය කිරීමේදී‍

දරුවාට ඇටයක් පැල කිරීමට අවස්ථාව ලබාදීම එය පැලවෙන පියවරයන් අධ්‍යයනයට අවස්ථාව ලබාදීම, මල් ඵල හටගන්නා අන්දම ඉගෙනීමට අවශ්‍ය පොහොර, ජලය පිළිබඳ අවබෝධය ලබාගැනීමට ඉඩදෙන්න. ගසක් පැලවීමේ සිට එය වර්ධනය වන අන්දම පිළිබඳව කාල පරාසයන් පවා ඒ තුලින් දරුවා උගනීවි. 

ඉහත දැක්වූ ක්‍රියාකාරකම් ඇතුළුව දෛනික ජීවිතයේ සියලු අවස්ථාවන් දරුවාට ඉගෙනුම් අවස්ථාවන් කිරීම තුලින් දරුවා‍ගේ අත්දැකීම් සපිරි අනාගතය බුද්ධිමත්, ශක්තිමත් වනු නොඅනුමානයි. මේ සඳහා ඉඩහසර ලබාදීම ඔබට කරදරයක් සේ පෙනනුද සැබෑ ඉගෙනුම් ක‍්‍රියාවලිය සිදුවන්නේ දෑතේ ක‍්‍රියාකාරකම්, දෑසේ පෙනීමෙන්, කනට ඇසීමෙන්, දිවෙන් රස බැලීමෙන්, නාසයට දැනෙන ගඳ සුවඳ තුලින් හා ස්පර්ශය තුලින් දැනෙන සංවේදන මත පාදක කරගෙන හෙයින් දරුවාට මේ පංච ඉන්‍ද්‍රියන්උත්තේජනය වන අයුරින් ඉගෙනුම් අවස්ථාවන් ලබාදම ඔබේත්, මගේත් යුතුකම හා වගකීමයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article