උත්තරීතර මානව දයාවේ ප්‍රතිමූර්තිය මාතාවයි. මව් තනතුරට පත්වන හැම ගැහැණියම ලොව්තුරු බුදු මගට ඥාතීත්වය දරන්නේ ඒ නිසාවෙනි. අම්මා බුදු වේවා යැයි ප්‍රාර්ථනා කරන්නට තරම් හෙළ බොදු සංස්කෘතිය සඳහා චාරවත් වී තිබුණේ බුදු දහමින් හෙළි කළ මෙම යථාර්තය නිසාවෙනි. මවක් වීමට සිටින කතුන් හා මවක් බවට පත් වූ කතුන් ඒ දයාබර සෙනෙහෙ නිධානයේ උරුමකාරියන්ය.
මවක් වීමට පෙර පින් තිබිය යුතු බව බුදු දහමේ පිළිගන්නා කාරණයකි. පාපය මව් තනතුරට බාධා කරන බැවිනි. බෞද්ධ දර්ශනයට අනුව මවක් වීමට කරුණු තුනක් සම්පූර්ණ වී තිබිය යුතුයි. එනම්,
- මව්පිය දෙදෙනා එක්ව තිබීම
- මව සෘතු වී සිටීම
- ගන්ධබ්බයෙකු පැමිණ සිටීම.
මේ ධර්මානුකූල ඉගැන්වීමේ එන ඉහත කී කරුණු තුනෙන් එකක් හෝ සම්පූර්ණ නොවූ තැන ගැබිනි මවක් විය නොහැකි බව පැහැදිලිය. මෙහි ගන්ධබ්බයෙකුගේ පැමිණීම ලෙස හඳුන්වන්නේ කුස තුළ හටගන්නා කලලයට ප්‍රාණයක් සම්බන්ධ වීමයි. මෙම අවස්ථාව බුදු දහමේ ඉගැන්වෙන්නේ ප්රතිසන්ධි අවස්ථාව ලෙසයි.
යම් සත්වයෙක් (මිනිසා ඇතුළු)මිය යන අවස්ථාවේ ශරීරයෙන් වෙන් වී යන සිත (චුති චිත්තය) ඔහු ජීවත්ව සිටියදී කළ කී දෑ මගින් එක් රැස් වූ කර්මවලට අනුව පුනර්භවයක් සඳහා සුදුසු ස්කන්ධ හතරකට එකතු වීමේ අපේක්ෂාවෙන් පසු වෙනවා. (ස්කන්ධ හතර – රූප, වේදනා, සංඤ්ඤා, සංඛාර යනුවෙන් හැඳින්වෙන අතර විඤ්ඤාණය හෙවත් සිත සම්බන්ධ වූ විට පංචස්කන්ධය කියා හැඳින්වෙනවා) නාම + රූප එක්වීම ලෙස හඳන්වන්නේද කයට සිත එක්වීමයි. මවකගේ කුස තුල (ගර්භාෂය තුල) හටගන්නා දරු බීජයට සිතක් හෙවත් විඤ්ඤාණයක් සම්බන්ධ වීම ප්‍රති සන්ධිය නමින් හඳුන්වන අතර ගැබ් ගැනීම ලෙස ජීව විද්‍යාවේ උගන්වන්නේ එයයි.
සිද්ධාර්ථ බෝසත් කුමරා මහාමායා දේවියගේ කුසට ඇතුල් වීම ඇය සිහිනයකින් දුටු බව බුද්ධ චරිතයෙහි සඳහන් වේ. ඇය එදින පසළොස්වන දිනයක් බැවින් උපෝසථ සීලයක් සමාදන්ව සිටි බවත් සුදු ඇත් පැටවකු සුදු නෙළුම් මලක් සොඬින් ගෙන සිය යහන වටා තෙවරක් පැදකුණු කර තම කුස තුලට ඇතුල් වූ අයුරු එම සිහිනයේදී දුටු බවත් බුදු සිරිතේ දැක්වෙනවා. මේ මහ බෝසතුන් වහන්සේගේ ප්රතිසන්ධිය පිළිබඳ කතාවයි. මේ අනුව දරු ගැබක් පිහිටීම ගැන බුද්ධ දේශනා වල සුවිශේෂී කරුණු දක්නට ලැබෙනවා.
අංගුලිමාල කියන්නේ දරුණු මීනීමරුවෙක්. ගුරුවරයා විසින් සිතා මතාම නොමග යවන ලද අංගුලිමාල මිනිස් ජීවිත දහසකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කර අවසානයේ බුදු සසුනේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා.
දිනක් අංගුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාතයේ වඩින විට එක්තරා නිවසක කාන්තාවක් ප්‍රසූත වේදනාවෙන් කෑගසනු දුටුවා. අංගුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාතේ නොගිහින් ආපහු ජේතවනාරාමයට වැඩම කොට බුදු හාමුදුරුවන්ට මේ ගැන ප්‍රකාශ කලා. බුදුන් වහන්සේ අංගුලිමාල හාමුදුරුවන්ට දේසනා කළේ පුදුම හිතෙන කතාවක්,
ඔබ ආපහු ගිහිං ඇය ඉදිරියේ සත්‍ය ක්‍රියාවක් කරල සුවය පතන්න අංගුලිමාල හාමුදුරුවෝ විශ්මයට පත්ව විමසා සිටියා මෙහෙම,
ස්වාමීනි, මම කුමක් කියා සත්‍ය ක්‍රියා කරන්නද? එයට පිළිතුරු දුන් බුදුන් වහන්නේ ඊටත් වඩා විශ්මයජනක ප්‍රකාශයක් කළා,
ඔබ උපන්දා සිට ප්‍රාණඝාත අකුසලයක් සිදුකර නැතැයි කියා ඒ සත්‍ය බලයෙන් ඇයට සෙත් වේවායි පතන්න. තව තවත් පුදුමයට පත්ව අංගුලිමාල හාමුදුරුවෝ කියනවා මෙහෙම
ස්වාමීනී, මිනිසුන් දහසක් පමණ ඝතානය කළ මා කෙසේ නම් එවැනි සත්‍ය ක්‍රියාවක් කරන්නද?
ඒ අවස්ථාවේ තමයි මහා බලසම්පන්න අංගුලිමාල පිරිත බුදු හාමුදුරුවෝ අංගුලිමාල හාමුදුරුවන්ට වසන්නේ. එහි සඳහන් වෙන්නේ බුදු සසුනේ පැවිදි වීම අලුත් උපත්තියක් ලැබීමක් බවයි. ආර්ය ජාතියෙහි උපන්දා සිට ප්‍රාණඝාතයක් කර නොමැති බව උන්වහන්සේට විශ්වාසයි. ගැබිණි මාතාව ප්‍රසූත වේදනාවෙන් පසුවන ස්ථානයට නැවත වැඩම කළ අංගුලිමාල තෙරුන් වහන්නේ එසේ සත්‍යක්‍රියා කොට ඇය සුවපත් කළා.
බලන්න, ඒ සත්‍ය ක්රියාවේ බලය කොතරම්ද කියා අදත් මේ දේශනා පාඨය සජ්ඣායනා කොට ගර්භනී මාතාවන්ට සෙත් සදන්නට බුද්ධ පුත්‍රයන් වහන්සේලාට හැකි වී තිබෙනවා.
යකෝ ගං භගිණී අරියාය ජාතියා ජාතෝ නාාභිජානාමි
සංචිච්ච පාණං ජීවිත වෝරොසෙකා කේත සම්මේන
සොත්ථි තේ හෝතු සොත්ථි ගබ්බ සජාති
සොයුරිය මම යම් අවස්ථාවක
අර්ය ජාතියෙහි උපන්නෙමිද
එතැන් සිට දැනුවත්ව
ප්‍රාණියෙකුගේ දිවි තොර කළ බවක් නොදනිමි
ඒ සත්‍ය වචන බලයෙන්
ඔබට යහපතක්ම වේවා
දරු ගැබද සැපතක් වේවා
ගර්භනී මාතාව බෞද්ධ දර්ශනයට අනුව උතුම් පූජනීය වූ මානව සම්පතක් ලෙස සැලකේ. කවර මානසිකත්වයකින් යුතු තැනැත්තියක වුවද මව් පදවියට සූදානම් වීමේදී ඇය සතුව සුවිශේෂී ගුණධර්ම පද්ධතියක් දළුලා වැඬේ. බුද්ධ කාලීන භාරතයේ බ්‍රහ්ම නමින් හැඳින් වූ සංකල්පය උත්තරීතර වූ අර්ථයක් සමග බැඳී පැවතුනා. ඒ අනුව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂො යන සතර ගුණ බ්‍රහ්ම හැසිරීම් ලෙසින් නම් කර තිබුණේ සිව් බව විහරණ නමින් ධර්මානුකූලව හැඳින් වූ මෙම ප්‍රතිපදා හතර අනිවාර්යයෙන්ම අම්මා කෙනෙකුගේ සිත තුල පවතිනවා. දරු දුක ලෙස හඳුන්වන ආදරණීය සංකල්පය මෙම සිව් බඹ විහරණ තුලින් අර්ථවත් වෙනවා. ඒ නිසාම බුදු දහම බ්රහ්මානී මාතා පිතෝ යනුවෙන් මව් පිය යුවල මහා බ්‍රහ්ම නම් වූ උත්තරීතර සංකල්පයට සමාන කළා.
බෞද්ධ දර්ශනයට අනුව ගර්භනී සමය යනු සත්වයාගේ උත්පත්තිය මූලික ක්‍රියාදාමය සිදු වී අවසන් වන කාලයයි. පටිච්ච සමුප්පාදය නම් වූ බුදු දහමේ මූලික ඉගැන්වීමක සත්ව සංහතියේ පැවැත්ම දොළොස් ආකරය වූ ක්‍රම වේදයකට විග්රහ කරනවා.
අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණ, විඤ්ඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා සළායතනය, සළායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපදානය, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපාසායා සම්භවන්තී
මෙහි සරල අදහස විමසා බලා ගර්භනී සමයේ ඇති මූලික වැදගත්කම වටහා ගනිමු.
විද්‍යාව හෙවත් අනුවණකම නිසා කර්ම රැස්වෙයි. කර්ම වලට අනුව සකස්වන විඤ්ඤාණය හෙවත් චිත්ත පරම්පරාව කලලයක් හා සම්බන්ධ වූ විට නාම රූප පහළ වෙයි. නාම රූප යනු (සිත කය දෙකයි) මේ දෙදෙනාගේ ඒකාබද්ධය හේතු කොට හෝ සළායතන හෙවත් ඇස, කන, නාසය, දිව, ශරීරට හා සිත යන ආයතන පහළ වෙයි. ශරීරයේ සෙසු කොටස් ගැන කතා නොකර මෙම ඉන්ද්‍රියක් එය ගැන වෙන වෙනම ප්‍රකාශ වෙන්නේ ඇයි? එනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා අරමුණු යන ලෝකය සමග කරන ගනුදෙනු මෙයින් සිදුවන නිසයි.
ඉහත කී ඉන්ද්‍රියන් පහළ වීමත් සමග ස්පර්ශයද ස්පර්ශය නිසා විදීම ද, විඳීම නිසා බැඳීම ද, බැඳීම නිසා ලෝකයේ පැවැත්මද සිදුවන බව පටිච්ච සමුප්පාද ඉගැන්වීමයි. මෙයට අනුව අපට නිගමනය කළ හැකි පැහැදිලිම කරුණ වන්නේ මව් කුසින් බිහිවිමට පෙර සත්වයාගේ උපත ගර්භාෂය තුලම සිදු වී ඇති බවයි. බුදු දහමට අනුව ගර්භාෂයට පැමිණි කලලය ප්‍රාණියෙකි. ගබ්සා කිරීමද මනුස්ස ඝාතනයක් ලෙස බුදු දහම පිළිගත්තේ එබැවිනි.
අශ්ව කෙන්දක් තෙල් බදුනක ඔබා එය තෙවරක් ගසා දැමූ පසු එම ශ්ව කෙන්ද අග රැඳී ඇති තෙල් ස්වල්පයක් තරම් ප්‍රමාණය වුවද කලලයක් ලෙස පිළිගැනේ.
මේ කරුණු අනුවද ගර්භනී මාතාව කායික වශයෙන් සිය දරුවා සමග සම්බන්ධව සිටින ආකාරයටම මානසික වශයෙන්ද දරුවා සමග ගනුදෙනු කරයි. මවගේ සිතුම් පැතුම් සිය කුස තුළ වැඩෙන දරුවාට බලපාන බව බුදු දහම මෙන්ම මනෝ විද්‍යාවද සනාථ කර තිබේ.
ගර්භනී මාතාව බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුව තිසරණ සරණ ගොස් සීලයක පිහිටා ප්‍රතිපත්ති ගරුකව ජීවත් වීම සහ කරුණාව, මෛත්‍රිය මූලික කරගත් පාරිශුද්ධ චේතනා මානයෙහි රඳවාගෙන වාසය කළ විට පුණ්‍යවන්ත රූමත් බුද්ධිමත් දරුවන් බිහි වන බව බෞද්ධ සමාජය අවිවාදයෙන් පිළිගන්නා කරුණකි.
ශ්‍රී දන්ත ධාතුන් වහන්නේ වැඩ සිටින මහනුවර දළදා මාළිගාව, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රෝපණය කර ඇති අනුරාධපුර මහමෙව්නා උයනේ ශ්‍රී මහා බෝධි පරිශ්‍රය, බුදුන් වහන්නේගේ ධාතූන් වහන්සේලා, ද්රෝණායන් පමණ තැන්පත් කර ඇති ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් අභියස පුණ්‍යවන්ත වූ දෙමාපියන් හමුවන තෙක් පින්වත් ගන්ධබ්බයන් හෙවත් ප්රාණකාරයන් සැරිසරන බව ලාංකීය බොදුනුවන්ගේ විශ්වාසයයි.
එම පූජනීය ස්ථාන වලට ගොස් තිසරණය සහිත සීල සමාදානයක නිරත වී පුද පූජා පවත්වා ගැබිනි මාතාවන් පින්වත් දරු දැරියන් බිහිකරන බව පුරාණ කාලයේ සිටම පැවති විශ්වාසයකි. ඉපදෙමින් මැරෙමින් යළි ඉපදෙමින් භවයේ සැරි සැරීම අනුවණකම නිසි සිදුවන්නක් බව පිළිගන්නා බුදු දහම ඒ නිසරු ගමන නිමාකොට අමා නිවනට පත්වන තුරු සංසාර ගමන අපායාදී දුක් වලින් මුදවා ගැනීම පිණිස උත්තරීතර මනුස්ස ආත්මය ලබන ප්රාණකාරයන් ගැන දැඩි අවධානයකින් යුතු දේශනා ඉදිරිපත් කොට ඇත. ගර්භනී මාතාවන් ඒ උතුම් ක්‍රියාදාමයේදී එකම මැවුම්කාර දේවතාවියන් ලෙස බුදු දහම පිළිගනී.
කුරුණෑගල විශුද්ධායන විද්‍යාතන පිරිවෙණේ ආචාර්ය
ශ්රාස්ත්රපති වික්‍රමසිංහ අතපත්තු