දරුවෙකුගේ වර්ධනයේ යම් ගැටලුවක් ඇති බව හදුනා ගන්නා මුල් කාලයේම ප්‍රතිකාර ආරම්භ කිරීම අත්‍යවශ්‍යයි. එම ප්‍රතිකාර ආරම්භ කරන කාලය මත අපිට හිමිවන ප්‍රතිඵල වෙනස් විය හැකියි. විද්‍යාත්මක සමීක්ෂණ හරහා පෙන්වා දී ඇති ආකාරයට දරුවෙකුගේ පළමු අවුරුදු පහ ඉතාමත්ම ගැටලුකාරී අවධියක් ලෙස දැක්විය හැකියි. මොකද පුංචි දරුවෙක් තම ලෝකයත් සමග ගනුදෙනු අරභන්නේත් අත්දැකීම් ඔස්සේ අලුත් අලුත් කුසලතා ඉගෙන ගන්නේත් එම කුසලතා අත්හදා බලන්නේත් මේ වයස් සීමාව තුළයි. මෙතැනදී දරුවාගේ වර්ධනයේ යම් යම් අඩුපාඩු තිබෙද යන්න පිළිබඳව හඳුනාගැනීම වෙනුවෙන් මවට/පියාට විශාල වගකීමක් පැවරෙනවා.
උදාහරණ ලෙස දරුවාගේ ප්‍රතිචාර දැක්වීමේ අඩුවක් ඔබ දකිනවා නම් මේ තත්ත්වය දරුවා තව ටිකක් ලොකු වුණාම මගහැරෙයි වැනි හේතු මත වෘත්තීමය සුදුසුකම් ඇති පුද්ගලයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ප්‍රමාද නොකල යුතුය.
එසේම ඇතැම් විට අපේ වැඩිහිටියන් පිරිමි ළමයි කතා කරන්න පරක්කු වෙනවා ගෑනු ළමයි ඉක්මනට කතා කරනවා වැනි අදහස් සේම අපල නිසා දරුවෝ කතා කරන්නේ නෑ, කොන්ඩෙ කැපුව නිසා දරුවා කතා කරන්නේ නැහැ වැනි විවිධ මතිමතාන්තරවල එල්ඹ සිටිනවා විය හැකියි. නමුත් මේ කිසිවක් විද්‍යාත්මකව සනාථ වූ ඒවා නොවේ. මෙවන් කරුණු මත දරුවාගේ වර්ධනයේ අඩු පාඩු දකිමින් නිසි උපදෙස් කරා යොමු නොවීම අනුවණකමකි. එය අපි, අපේ දරුවන්ගේ වර්ධනය වෙනුවෙන් සිදු කරන ලොකු අසාධාරණයක්. යම් හෙයකින් ඔබ අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට ඔබ විසින් හඳුනා ගන්‍නා දරුවාගේ කතාවේ, භාෂාවේ හෝ සන්නිවේදනයේ වර්ධනය අඩුවක් ඇත්නම් ඒ ගැන සිතමින් කාලය ගත කරනවාට වඩා සායනයකට යොමු වී දරුවා පරීක්ෂා කරගැනීම ඉතා වැදගත් වේ. එහිදී දරුවා පිළිබඳව පරීක්ෂා කොට තක්සේරුවක් ලබා දෙන අතරම එමගින් දරුවාගේ අඩුපාඩුවක් නැති නම් ගැටලුවක් ඇති නොවේ. නමුත් ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරනවා නම් ඔබව ඉන් ඉදිරියට අවශ්‍ය උපදෙස් වෙත යොමු වෙනු ඇත.
දරුවෙකුගේ වර්ධනයේ යම් අඩුපාඩුවක් ඇත්නම් එය කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. එසේ කල්තියා හඳුනා අවශ්‍ය උපදෙස් වෙත යොමු වීම වැදගත් වීමට ප්‍රධාන කරුණු රැසක් තිබේ.
ජීවිතයේ මුල් අවුරුදු 3 ඇතුළත දරුවාගේ මොළයේ සෛල වර්ධනය ඉතාමත්ම සීග්‍රව සිදු වේ. මේ කාලය තුළ සාමාන්‍යයෙන් ඕනෑම දරුවෙක් විවිධ විවිධ කුසලතා අත්හදා බලයි. මේ අවස්ථාව වන විට දරුවාගේ යම් අඩුපාඩුවක්, වර්ධනයේ අඩාල වීමක් කල් තියා හඳුනා ගෙන තිබේ නම් දරුවා සිදුකරන ක්‍රියාකරකම් සමග වර්ධනයේ අඩුපාඩු ඇති කොටස්වලටත් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රියාකාරකම් ලබා දීම කළ හැකියි. එසේ වර්ධන ඌනතාවයක් ඇති කොටස් සඳහාත් ක්‍රියාත්මක වීමට සැලැස් වූ විට දරුවාගේ බර ද වයසට සාපේක්ෂව දරුවාගේ කුසලතා වර්ධනය ද සිදු වෙනවා සේම ඊට සමාන්තරව දරුවාගේ ප්‍රමාද වන කුසලතා සංවර්ධනය කරගැනීමටත් සහය විය හැකියි. දරුවෙක්ගේ ජීවිතයේ මුල් අවුරුදු පහ තුළ මෙසේ අවධානය යොමු කිරීම මගින් පසුකාලීනව මුහුණ දීමට සිදු විය හැකි බොහෝමයක් අභියෝගකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට දරුවාට අවස්ථාව උදා වේ.
දරුවන් සම්බන්ධව මව්පියන්ගේ තවත් පැමිණිල්ලක් වන්නේ පාසැලට ගිය පසු අධ්‍යාපන කටයුතු කෙරේ හරි අවධානයක් යොමු නොකිරීම, පාඩම් අමතක වීම, අකුරු නිවැරදිව පිළිවෙළට නොලිවීම යන කරුණුයි. මෙවැනි ගැටලු ඇති වෙන්නේ කුඩා වියේදී දරුවාගේ වර්ධනයේ ඌනතා දැක්කත් නිවැරදිව ඒ තත්ත්වයන් හඳුනා නොගැනීම සහ අවශ්‍ය විශේෂඥ උපදෙස් ලබා නොගත් නිසයි. දරුවාගේ පාසල් අධ්‍යාපන කාලයේදී දරුවා ඉගෙනීමේ ගැටලු පෙන්නුම් කරනවා නම් වඩා හොඳ දරුවා පෙන්නුම් කරන යම් යම් අපහසුතා සඳහා වූ සාර්ථක චිකිත්සක ප්‍රතිකාර ක්‍රම කුඩා වයසේදීම ආරම්භ කිරීම කළ යුතුය.
සමහර අම්මල තාත්තලගේ අදහස දෙමාපියන් කුඩා වියේ කතාව ප්‍රමාද වූවා නම් දරුවාද ප්‍රමාද වන බවයි. දරුවාගේ කතනය ප්‍රමාද වුවත්, අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට ඔවුන් යොමු නොවන්නේ ඒ නිසයි. නමුත් සිහිතබා ගත යුතු වැදගත්ම දේ වන්නේ මව්පියන්ගේ කුඩා වියේ කථන ප්‍රමාදය දරුවාගේ කථන ප්‍රමාදයට හේතු විය නොහැකි බවයි. ඔබේ දරුවාගේ කථන කුසලතාවන් දරුවාගේ වයසේ අනෙක් දරුවන් ට සාපේක්ෂව අඩු නම් ඒ සඳහා කල්තියා හඳුනාගැනීම ඉතා වැදගත් බව සිහි තබා ගන්න.
ඔබේ දරුවා,
- වයස අවුරුද්දක් වෙද්දිත් (අඩුම තරමේ එක වචනයක්වත්) කතා කරන්නෙ නැත්නම්
- වයස අවුරුදු එකහමාරක් වන විටත් වචන මාලව වර්ධනය නොවේ නම්
- වයස අවුරුදු දෙක වෙද්දී අඩුම තරමේ වචන දෙකක වාක්‍ය කතා නොකරයි නම්
- වයස අවුරුදු තුනක් වෙද්දී අඩුම වචන තුනක් එකතු කර වාක්‍ය සාදන්නේ නැත්නම්
- වයස අවුරුදු හතරක් වෙද්දි වචන හතරකට වඩා වැඩි වාක්‍ය (කතන්දර කීම, අදහස් දැක්වීම වැනි) කතා නොකරයි නම්
- වයස අවුරුදු පහ වෙද්දී යම් සිද්ධියක් (පාසලේ/පෙර පාසලේ සිදු වන දේ) විස්තර කළ නොහැකි නම්
දරුවාගේ කතාවේ, භාෂාවේ වර්ධන ගැටලුවක් ඇති බව පැහැදිලියි. එවැනි අවස්ථාවක තව තවත් කාලය ගත නොකොට පූර්ව මැදිහත්වීමේ වැඩසටහනකට (Early Intervention Program) යොමු වීම ඉතා වැදගත් වේ.
සාමාන්‍යයෙන් දරුවෙකුගේ වර්ධනය දෙස විමසිලිමත්ව බැලුවහොත් අපට ප්‍රධාන කොටස් හතරක් ඔස්සේ එම වර්ධනය සිදුවන බව අඳුනා ගත හැකියි.
- භෞතික සංවර්ධනය
- සමාජ සංවර්ධනය
- ප්‍රජා සංවර්ධනය
- සන්නිවේදන සංවර්ධනය
ඇතැම් මව්පියන් ඉහත කොටස් හතර තුළ යම් කොටසක අඩුවක් දුටුවහොත් අනිත් කොටස්වල අඩුපාඩුවක් නොමැති නිසා සැලකිලිමත් විය යුතු නැති බව සිතියි. ඇතැම් දෙමාපියන් කුඩා වියේදීම දරුවාගේ ගැටලුවක් දුටුවත් දරුවා දුව පැන සෙල්ලම් කරමින් සමාජය හා ගැටෙමින් යහළුවන් හා එක්වෙමින් සාමාන්‍ය පරිදි සිටි නිසා වැඩි අවදානයක් යොමු නොකරයි. නමුත් දරුවාගේ යම් අඩුපාඩුවක් දුටු විගස පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබා ගැනී වෙත යොමු වීම ඉතා වදගත් වේ.
පූර්ව මැදිහත්වීමේ වැඩසටහනකට (Early Intervention Program) සම්බන්ධ වීම මගින් දරුවා ඒ අවස්ථාවේදි සංවර්ධනය කරන කාරණාවටත් වඩා දරුවන්ට අනාගතයේ දී ඇති විය හැකි ප්‍රශ්න වලට ඉතාමත් සාර්ථක විසඳුම් ලබා දිය හැකියි. මෙවැනි වැඩසටහනකට දරුවෙක් නිවැරදිව සම්බන්ධ වී නැත්නම් ඒ හේතුවෙන් ඇති විය හැකි පෞරුෂත්ව ගැටලු, සබඳතා අතර ගැටලු, ඉගෙනුම් ගැටලු, සමාජ ජීවිතය පවත්වා ගැනීමට නොහැකි විය හැකියි. මව්පියන් ලෙස අප බලාපොරොත්තු වන්නේ අපේ දරුවන්ගේ සතුටයි. මගේ දරුවාට මෙහෙම ප්‍රශ්නයක් නෑ .. මගේ දරුවාට කිසිම ආබාදයක් නෑ… යන මතයේ සිටීම මව්පියන් වන ඔබේ අදහස නොවිය යුතු අතර කෙසේ හෝ හරි දරුවාට උදව් කළ යුතු බව සිතට ගත යුතුය. දරුවාට යම් ආබාධයක් ඇති බව පිළිගැනීමට මව්පියන් අකමැති වීම පුදුමයක් නොවේ. නමුත් දරුවාගේ ගැටලුවක් ඇති බව ඔබ දුටුවහොත් ඒ කෙරේ අවධානය යොමු කර අවශ්‍ය චිකිත්සක ප්‍රතිකාර වෙත යොමු කිරීම මිස එය කල් දැමීම කිසිසේතම නොකළ යුතුය.
මෑතකදී මගේ සායනයට වයස අවුරුදු හයක දැරියක් පැමිණි අතර ඇය ගැන පාසැලෙන් පැමිණිලි කොට තිබුණේ ඇයව පන්ති කාමරය තුළ රඳවා ගැනිම අපහසු බවයි. මා වෙත පැමිණි මේ දරුවාගේ තත්ත්වය මා වටහා ගත් අතරම එය මව්පියන් නිරීක්ෂණය කර නැතිද යන්න විමසූ විට දැරියගේ මව කියා සිටියේ ඇයට වෙනසක් දැනුනු බවත් දරුවාගේ පියා හෝ නිවසේ වෙනත් අයෙක් හෝ එය විශ්වාස නොකළ බවත්ය. එසේම එය ඇය විසින් සිතින් මවා ගත්තක් මිස දරුවාට කිසිදු ගැටලුවක් නොමැති බව ඔවුන් පවසා තිබුණි. නිවැසියන්ගේ මතය වී තිබුණේ දරුවාගේ පියා කතා කරන්නට ප්‍රමාද වූ නිසා දරුවාගේ තත්ත්වය ද එයම බවත් එය ඉදිරියේදී නිවැරදි වන බවත්ය. දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යම් ගැටලුවක් ඇති වුවහොත් එහි සැක හැර ගැනීමට හෝ වෛද්‍ය උපදෙස් පැතීම ඇතැම් විට අපේ වැරදි වැටහීම් ඉවත් කරගෙන නිවැරදි මගට අවතීර්ණ වීමට හේතුවක් විය හැකිය. එසේ නොවීම මත අද වන විට ඒ දැරියට පන්ති කාමරය තුළ ඉගෙනීමට ඇති අවස්ථාව ද ගැටලුකාරී තත්ත්වයකට පත් කොට ගෙන ඇත. මෙවැනි සිදුවීම්වලින් අසරණ වන්නේ මව/පියා හෝ නිවසේ වෙනත් අය නොවේ. ඔබේ ආදරණීය දරුවායි.
ඔබේ දරුවාගේ ගැටලුවක් ඔබ දකිනවා නම් හෝ කිසිවෙකු පවසනවා නම් එය සුදුසුකම් ලත් විශේෂඥයෙකු සමගින් සකච්ඡා කරන්න. ඒ පිළිබඳව නිවැරදි තක්සේරුවක් ලබාගන්න. දරුවාගේ වර්ධනයේ යම් ගැටලුවක් පවතී නම් චිකිත්සක ප්‍රතිකාර වෙත යොමු වෙන්න. ඒ හරහා දරුවාගේ ජීවිතය සාර්ථක කරගන්නට ඔබට ලොකු අත්වැලක් සපයන්නට හැකි වෙනවා පමණක් නොව දරුවා දියුණුවට පත් කිරීමටත් විශාල සහයෝගයක් වනු ඇත.
යම් හෙයකින් ඔබේ හෝ ඔබ ආශ්‍රය කරන ඔබේ වටපිටාවේ යම් දරුවෙක් කතාව, භාෂාව සම්බන්ධව යම් ගැටලුකාරී තත්ත්වයකින් පසුවනවා නම් නොපැකිලිව ඒ පිළිබඳව දරුවාගේ වැඩිහිටියන් දැනුවත් කරන්න. එමගින් දරුවා ළඟම පිහිටි රෝහල වෙත ගෙන ගොස් තක්සේරුකරණයකට ලක් කොට ඇති දුර්වලතාවය හඳුනා අවශ්‍ය චිකිත්සක ප්‍රතිකාර ආරම්භ කරනු ඇත. එය ඕනෑම දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් වැඩිහිටි අපගේ යුතුකමක් බව අමතක නොකරන්න.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ආචාර්ය නිමීර සී වීරරත්න (PhD, UoC)
කථන-භාෂා ව්‍යාධිවේදී (SLMC, MAHC),
කථිකාචාර්ය,
ඇමරිකානු NLP මණ්ඩලයේ සහතික ලත් ස්නායු භාෂාමය වැඩසටහන්කරණය (NLP) පිළිබඳ වෘත්තීයවේදී,
සහතික ලත් අධිවේගී ඉගෙනුම් පුහුණුකරු,
සහතික ලත් පෞරුෂ සංවර්ධන පුහුණුකරු,
සහතික ලත් මෘදු කුසලතා පුහුණුකරු,
ප්‍රධාන විධායක නිලධාරී, සම-නිර්මාතෘ,
ද බ්‍රිජ් ජාත්‍යන්තර ආයතනය,
කොළඹ 7