ස්ට්‍රෙස්, ඩිප්රෙෂන් කියන වචන දැං ඉන්න පොඩි දරුවන් අතරත් අහන්න ලැබෙනවා. අවුරුදු නවය, දහය වයසේ දරුවනුත් මේ වචන භාවිත කරනවා. අද වෙද්දී තොරතුරු සොයා බැලීමට දරුවන්ට ලැබෙන අවකාශය පුළුල් නිසාම ඔවුන් බොහෝ දේ ගැන දැනුවත්. ඒ අතින් වැඩිහිටියන් සතු දැනුම අල්පයි කියන්නත් බැරි නැහැ. මොකද විෂාදය කියන්නේ දුක හිතෙන එකට කියලා හිතන වැඩිහිටියෝ අදටත් සමාජයේ ඉන්නවා. ඒ වගේම ප්‍රශ්න තියෙන්නේ ආතතිය ඇති වෙන්නේ වැඩිහිටියන්ට විතරයි කියලත් ඇතැමුන් සිතනවා.
නැහැ.. පුංචි සිත්වලටත් ආතතිය දැනෙනවා. විෂාදය දරුවන්ටත් ඇති විය හැකියි. වැඩි වශයෙන්ම විෂාදය දැකිය හැක්කේ නව යොවුන් වියේ දරුවන් අතරයි. නව යොවුන් වියේ දරුවන් සියයක් ගත්තොත් ඒ අතරින් 13 – 16ක් අතර දරුවන් ගණනක් විෂාදයට පත්ව සිටිනවා.
මොකද්ද මේ විෂාදය එහෙමත් නැත්නම් ඩිප්රෙෂන් කියන්නේ
බොහෝ වැඩිහිටියන් සිතනවා විෂාදය එහෙමත් නැතිනම් ඩිප්රෙෂන් කියන්නේ දුක හිතෙන එකට කියලා. ඒ වගේම ඇතැම් අය සිතනවා විෂාදය කියන්නේ යමකුගේ පෞරුෂත්ව ගුණයක් කියලා. නමුත් විෂාදය කියන්නේ මේ දෙකම නොවෙයි.
මට ටිකක් ඩිප්‍රෙස් වගේ. වැඩ කරගන්නත් බෑ කියලා කෙනෙක් කිව්වම එහෙම හිතන්න එපා උනන්දු වෙලා වැඩ කරන්න කියලා ඇතැමුන් උපදෙස් දෙන්නේ විෂාදය කියන්නේ යමෙකුගේ ගුණාංගයක් ලෙස ඔවුන් දකින නිසයි. අන්න ඒ වගේම වැඩිහිටියන් පමණක් විෂාදයට ගොදුරුවන බවට විශ්වාස කරන වැඩිහිටියන් නිසාත් මේ තත්ත්වයේදී කල්තියා හඳුනා ප්‍රතිකාර කළ හැකි තත්ත්වයෙන් ඔබ්බට ද දරුවෙකුගේ මනස ගමන් කළ හැකියි. දරුවෙක් වුවත් විෂාදයට ගොදුරු විය හැකියි යන දැනුම මව්පියන් තුළ නොමැති වීම නිසා නිකරුණේ දරුවෙකුගේ ජීවිතය නාස්ති වී යාමට හැකියි. ඒ නිසාම ඒ පිළිබඳව මව්පියන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කරණක්. මන්ද විෂාද තත්ත්වය ප්‍රතිකාරයකින් තොරව දිගින් දිගට පැවතීම තම ජීවිතයට හානි කරගැනීමේ සිතුවිලි දක්වාම වර්ධනය විය හැකි නිසයි.
දුක හිතෙන එක හෝ ගුණාංගයකුත් නෙවේ නම් විෂාදය කියන්නේ මොකද්ද?
අපේ මොළයේ ඉදිරියෙන්ම ඇති කොටස පූර්ව මෂ්තිෂ්කය, මේ පූර්ව මස්තිෂ්කයේ අපේ මනෝභාවය පවත්වා ගැනීම සඳහා වෙන් වුණු ස්නායු ජාලා කීපයක් තියනවා. මේ ස්නායු ජාලාවල නොඇඩ්රනලින්, නොරැටඩීන් හා ඩ්රොපැමින් නමින් හැඳින්වෙන ස්නායු සම්ප්‍රේෂක ක්‍රියාත්මක වෙනවා. මේ ස්නායු සම්ප්‍රේෂකවල යම් කිසි වෙනසක් ඇති වුනොත් අපිට එපා වීම, කණස්සල්ල, කම්මැලිකම, ඇඟට පණ නැති ගතිය වැනි දේ ඇති වෙන්න පුළුවන්. විෂාදය ලෙස හඳුන්වන්නේ ඒ ආකාරයට ඇති විය හැකි විවිධ සායනික ලක්ෂණ වල එකතුවකි.
විෂාදය ඇති වීමට හේතු
- විෂාදය නම් වූ මනෝ රෝග තත්ත්වය
- ශාරීරික රෝග පීඩා නිසා (තෛරොයිඩ් ග්රන්ථායේ නිපදවෙන තෛරොයිඩ් හෝමෝනයේ අසමතුලිතතා)
විෂාදය ඇති අයෙක් සිටිනවා නම් අපි කිසිසේත්ම ඒ තැනැත්තාව හෝ දරුවාව කොන් නොකළ යුතුයි. සිරුරේ සීනි මට්ටම වෙනස් වූ විට අපිට දියවැඩියාව හැදෙනවා වගේම තමයි මොළයේ ස්නායු සම්ප්‍රේෂක වෙනස් වුණාම අපිට විෂාදය ඇති විය හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තරුණ දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට විෂාදය ඇති විය හැකි බවයි.
විෂාදය ඇති අයෙක් වැඩිපුරම පෙන්නුම් කරන ලක්ෂණ
- දිගු කාලයක් පවතින එපාවීම
- කම්මැලි ස්භාවය
- අවධානය පවත්වා ගැනීමට ඇති නොහැකියාව (නින්ද අලසකම නිසා අධ්‍යයන කටයුතුවල ඇණහිටීම)
- නින්ද වැඩිවීම/අඩුවීම (ඇතැමුන්ට රාත්‍රී නින්ද නොයෑම/ඇතැමුන්ට දවල්ට නිදිමත ඇති වීම)
නව යොවු වියේ දරුවෙකු විෂාදයට ගොදුරු වූ විට එය හඳුනා ගැනීම අපහසුද?
සාමාන්‍යයෙන් මැදිවියේ අයෙකු විෂාදයට ගොදුරු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ මනෝභාවය අඩු වීම නිසා මුහුණේ වෙනස්කම්, හැසිරීමේ වෙනස්කම් මත ඔහුගේ තත්ත්වය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකි වුවත් යෞවනයන්ගේ ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකියි. යෞවනයෙක් විෂාදයට පත්ව සිටිනවා නම් ඔහුගේ/ඇයගේ මනෝ ස්වභාවය වේගයෙන් වෙනස්ව වෙන නිසා එක් එක් මොහොතේ ඔහු/ඇය එක් එක් වෙනස්කම් පෙන්නුම් කරනවා. එක් අවස්ථාවක සිංදුවක් අහල හිනා වෙනවා, තවත් අවස්ථාවක පුංචි දේකටත් තරහ ගන්නවා වැනි වෙනස් වීම් ඔවුන් තුළින් දැකිය හැකියි. මෙසේ ඉක්මනින් ඇති වන වෙනස් මනෝභාවයන් නිසා තරුණ දරුවන්ගේ විශාදය මැදිවියේ අයෙක්ගේ විෂාදය හඳුනා ගැනීම තරම් පහසු නැහැ. අන්න ඒ නිසා තමයි දරුවෙකුට විෂාදය කියලා වෛද්‍යවරු මව්පියන්ට පැවසුවාම ඔවුන් දරුවට විෂාදය කියලා ඩොක්ටර් කොහොමද කියන්නේ එයා මේ දැනුත් හරි සතුටෙන්නේ හිටියේ කියලා කියන්නේ.
අයෙකුගේ මනෝස්වභායේ වෙනස් වීම සමස්තයක් හැටියට පහත වැටීමේදී විෂාදය හඳුනා ගත හැකියි. මෙතැනදී දෙමාපියන් වෙත විශාල වගකීමක් පැවරෙනවා. මෙවැනි තත්ත්වයකදී සාර්ථක ලෙස දරුවා එයින් මුදුවා ගැනීමට නම් දරුවාගේ නිවස තුළ පාසැල තුළ ආතතිය අවම කරන වටපිටාවක් ඇති කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මව්පිය හිතවතුන් දරුවා වටහා ගනිමින් දරුවාට ඉතා සමීපව කටයුතු කළ යුතුයි.
පසුගිය කාලය අප කාටත් ව්‍යාකූලත්වයෙන් පිරුණු කාලසීමාවක් වුණා. එවැනි වටපිටාවන් තුළත් දරුවන් සතුටෙන් තබන්නට හැකි නම් දරුවන්ගේ මානසික ව්‍යාකූල තත්ත්වයක් අවම කරන්න පහසු වෙනවා. දරුවන් පසුගිය වසර කිහිපය තුළ නිවෙස්වලටම කොටු වුනත් ඔවුන් සතුටෙන් තබන්න නිවසේදීම කළ හැකි බොහෝ දේ තිබෙනවා. එවැනි ක්‍රියාකාරකම් මගින් මානසික දරුවෙකු ආතතියට ලක්වීඹ අවම කරගත හැකියි.
ලිපියේ පෙර සඳහන් කළ පරිදිම රුධිර ගත සීනි මට්ටම වෙනස් වූ විට දියවැඩියාව ඇති වනවා සේම අපි එයට කිසිදු පැකිලීමකින් තොරව ප්‍රතිකාර වෙත යොමු වෙනවා. විෂාදය කියන්නෙත් මොළයේ ස්නායු සම්ප්‍රේෂක වෙනස් වීමෙන් ඇති වෙන තත්ත්වයක්. මෙය ලැජ්ජා වීමට හෝ සැඟවීමට කරුණක් නොවෙයි. මොළය කියන්නෙත් අපේ සිරුරේම කොටසක්. මොළය රෝගී වීම කොන්වීමට හෝ ලැජ්ජාවට පත්වීමට කරුණක් නොවන බව අපේ වැඩිහිටියන් වටහා ගත යුතුයි. නැතිනම් ඉතා ලස්සන යොවුන් ජීවිත අපිට අහිමි වී යා හැකියි. විෂාදය තත්ත්වයේ අදුරු පැත්ත ලෙස මෙන්න මේ විදියට දෙමාපියන් දරුවාගේ තත්ත්වය පිළිනොගැනීම, සඟවාගෙන සිටීම වැනි කරුණු දැක්විය හැකියි.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 18 දක්වා දරුවන්ට ප්‍රතිකාර ලබාදීමේදී මාපිය එකතාවය අවශ්‍ය නිසා මව්පියන් නොදැනුවත්කමින් හෝ දරුවාට ඖෂධ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම අභාග්‍යසම්පන්න තත්ත්වයක්. අන්න ඒ නිසාම තමන්ගේ දරුවාගේ ජීවිතයේ වටිනාකම හඳුනා එය තව තවත් වර්ධනය කිරීමට මෙවැනි තත්ත්වයකදී දරුවාට සහය වීම දෙමාපිය වගකීමක් මෙන්ම යුතුකමක් බව අමතක නොකළ යුතුය. සමාජය, වටපිටාව කුමන දේ පැවසුවත් දෙමාපියන්ට ඇති වටිනාම සම්පත තම දරුවන්ය. ඒ නිසාම වටපිටාවට බියෙන් තම දරුවාගේ අපහසුතා සඟවාගෙන සිට දරුවාගේ ජීවිතය අවදානමට ලක් කිරීම කිසිසේත්ම කළ යුතුතක් නොවේ. එසේම අපි සැම විටම අපේ දරුවන් සතුටෙන් තැබීමට උනන්දු විය යුතුමය.
දරුවන් සතුටින් තබන්න නිවස තුළදී දෙමාපියන් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?
- සත්‍ය වසන් කරන්න එපා
දරුවන් දෙමාපියන් සතු ආර්ථික තත්ත්වය වටහා ගැනීම ඉතාම වැදගත්. අපි අපේ දරුවාට යමක් ගෙන එන්නට පොරොන්දු වුවත් එය මිලදී ගැනීමට අපිට හැකියාව නොමැති නම් අපි එය නොසඟවා දරුවාට පැහැදිලි කළ යුතුයි. මුදල් අපහසුතා ඇති අවස්ථාවකදී එය පහදා දීම ඊළඟ සතියේ අරන් දෙන්නම් යැයි පවසමින් බොරු කීමට වඩා උචිතය. දරුවා බොරුවට රැවටී සතියක් සතුටින් සිටීමට වඩා එය අහිමි වීම නිසා ඇති වෙන වේදනාව දරුවාට සුදුසුය. අන්න ඒ නිසා සත්‍ය වසන් නොකොට දරුවාට පහදා දෙන්න.
- ප්රචණ්ඩත්වය දරුවන් ඉදිරියට ගෙන එන්න එපා
අඹුසැමියන් අතර ඇති වන යම් යම් ගැටුම් දරුවන් ඉදිරියේ දිගහැරීම අනිවාර්යෙන්ම නතර කරන්න. කිසිසේත්ම ප්රචණ්ඩත්වය දරුවන් ඉදිරියට ගේන්න එපා. එය දරුවන්ගේ මානසික සුවතාවයට විශාල පහරක් බව සිහි තබාගන්න.
- පාසැල වෙත යැවීම නතර කරන්න එපා
කොපමණ බාධක ඇතත් දරුවාව පාසැල වෙත යවන්න. යම් අඩුපාඩුවක් ඇත්නම් පාසැල ඒ සම්බන්ධව දැනුවත් කර දරුවා පාසැලට යැවීමට ඔබට හැකියි.
- ආගම දහමින් ඈත් වෙන්න එපා
එසේම තමා අදහන ආගම වෙනුවෙන් දවසේ යම් කාලයක් වෙන් කරන්න. උදාහරණයක් ලෙස ඔබ බෞද්ධයෙකු නම් ළඟ ඇති පන්සලට ගොස් දරුවා සමග බුදුන් වැඳ සිත සන්සුන් කර ගැනීමට උනන්දු වන්න.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
වෛද්‍ය සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලදී.