Home Blog Page 114

සෙල්ෆි ඡායාරූපයේ අවදානම ගැනත් දරුවන්ට කියා දෙන්න

සෙල්‍ෆි හෙවත් තමන්ගේ ඡායාරූපය තමන් විසින්ම ලබා ගැනීමට ඇති හැකියාව මෑතක පටන් දුරකථන තාක්ෂණය සමග අපට ලැබුන තවත් පහසුකමක්.සෙල්ෆි සංකල්පයට මූලික අත්තිවාරම  ඇති වුනේ 1839 වසරේදී බව ඔබ දන්නවාද…? දිනක් ඇමරිකානු ජාතික ඡායාරූප ශිල්පි “රොබට් කොර්නේලියස්”පිලඩෙල්පියාවේ සාප්පු සවාරියේ යෙදෙන විට තමාගේම ඡායාරූපයක් ගත්තා. කොඩැක් කැමරාව වෙළඳ පොලට හදුන්වා දීම සමග මේ තාක්ෂනය තව දුරටත් සංවර්ධනය වුණා. තරුණ වයසේ අයෙකු විසින් ලබා ගත් සෙල්‍ෆිය ලෙසින් සැලකෙන්නේ 1914 වසරේදී රුසියාවේ ඇනස්ටාසියා නිකොලියාවිනා ආදිපාදවරිය විසින් වීදුරුවක් ඉදිරිපිටදී තමාගේ ඡායාරූපය ලබා ගත් අවස්ථාවයි. ඇය තමාගේ මිතුරියට මෙම ඡායාරූපය යවනු ලැබුවේ මේ සටහන සමගයි.  “මේ ඡායාරූපය මම වීදුරුවක් ඉදිරිපිටදී ගත්තා…එතකොට අත වේවලන හින්දා ටිකක් අමාරු වැඩක්..”ලෝකයේ ජනප්‍රිය චරිත ලෙස සැලකෙන ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන්  සෙල්ෆි ඡායාරූප වෙනුවෙන් උනන්දුවක් දක්වා සිටි පුද්ගලයන් අතරට එක් වෙනවා.

කැලිෆෝනියාව් පර්යේෂකයන් විසින් පවත්වන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ  සෙල්ෆි ඡායාරූප ගැනීමේදී අපේ සතුට වෙනුවෙන් වූ මොලයේ කලාපය උත්තේජනය වෙන බවයි. පුද්ගලයන් දෙපිරසක් තෝරා ගෙන සාමාන්‍ය ඡායාරූප සහ සෙල්‍ෆි ඡායාරූප ගැනීමේදි ඔවුන්ගේ මොලයේ ප්‍රතිචාර පිලිබඳව ලබා ගත් ස්කෑන් ඡායාරූප අධ්‍යනය කරනු ලැබුවා. එහිදී පෙනී ගියේ සෙල්‍ෆි ඡායාරූප ගන්නා අයගේ මොළයේ සතුට කලාපය සෙසු ඡායාරූප ගත් පිරිසට වඩා උත්තේජනය වී තිබුන බවයි.

අපිට සෙල්‍ෆි මරණ ගැනත් ඒ සමගම කතා බහ කරන්න සිදු වී තිබෙනවා. මේ තත්වය නිසා අපේ මානසිකත්වය තුළ ඇති වෙන යොමු වීම මොනතරම් ප්‍රබලද කියනවා නම් ඒ වෙනුවෙන්ම ඇති වෙන ඇබ්බැහි වීම නිසා ජීවිතය පවා අවදානම් තත්වයට පත් වන තෙක් අපිට තේරුම් ගැනීම අපහසුයි. ඒ නිසාම මෙම ඇබ්බැහි වීම යනුවෙන් හැදින්වීමට පවා සිදු වී ඇතැයි මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් සඳහන් කරනවා. ඒ නිසාම අද සෙල්ෆි මරණ පාලනය සඳහා ඒ ගැන දැණුවත් කිරීම අවශ්‍ය බව බොහෝ දෙනා අවිවාදයෙන්ම පිලිගන්නවා.නෙල්සන් මැන්ඩෙලා ජනනායකයාගේ අවමංගල්‍ය පෙරහැරේ යන අතරදි සෙල්‍ෆි ගැනමට උනන්දු වුන බොහෝ රාජ්‍ය නායකයන් සමාජයේ දෝෂ දර්ශනයට පත් වුනේ ආචාර ධර්ම ගැන නොසිතා කටයුතු කළ නිසයි.

ඒත් ඉවක් බවක් නැතුව සෙල්‍ෆි ලබා ගැනීම නිසා  රෝගාබාධයන්ට ගොදුරු වීමට අති අවදානම ගැන ඇමරිකාවේ නිව්යෝක් විශ්ව විද්‍යාලයේ ලැන්ගන් මධ්‍යස්ථානයේ  පේශි හා කොඳුඇට පෙල රෝග පුනරුත්තාපන වෛද්‍ය චාල්ස් කිම් සඳහන් කරනවා. ඔහු විසින් සිදු කරන ලද අධ්‍යනයකට අනුව ස්මාර්ට් දුරකථන සමග වඩාත් ක්‍රියාකාරීව මෙම ඡායාරූප ගැනීම නිසා වැලමිට ආශ්‍රිත මාංශපේශි ආසාදනයට පත් වෙනවා. කාලයක් පුරා මේ තත්වය සිදු වීම නිසා වැලමිට ආශ්‍රිතව ඇති වෙන බරපතල වේදනාවට ඔවුන් නොදැනම මුහුණ දෙනවා. ජංගම දුරකථන මගින් කෙටි පණිවිඩ යැවීම, ක්‍රිඩාවන් වගේම ට්විට් කිරීමත් මේ තත්වයට හේතු වෙන බව වෛද්‍ය කිම් සඳහන් කරනවා.ඔහු මෙම රෝග තත්වය හඳුන්වන්නේ “සෙල්ෆි එල්බෝ”  නමින්. මේ රෝග තත්වයෙන් මිදීමට ඇති විකල්පය ගැනත් සඳහන් කිරීමට ඔහු අමතක කළේ නැහැ. සෙල්ෆි ගැනීමේදී යෂ්ටියක් සහිත කැමරාවක් භාවිතා කලොත් මේ අපහසුතාවයෙන් මිදෙන්නත් හැකි බව ඔහු පෙන්වා දෙනවා.

ඒ වගේම සෙල්ෆි මගින් ඇති වුන අනතුරු ගැනත් ලෝකයේ පුරාම වාර්තා වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යනයකට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ රියදුරන්ගෙන් 4 % ක් පමණ අනතුරට පත් වෙන්නේ රිය පදවන අතරවාරයේ සෙල්ෆි ඡායාරූප ගැනීමෙන් බව වාර්තා වෙනවා.ඉන්දියාවේ 2016 වසරේ ජනවාරි මාසයේ පමණක් සෙල්ෆි මරණ 27 ක් වාර්තා වී තිබෙනවා. මේ නිසාම ඉන්දියාව විසින් කුම්භමේලා උත්සවයේදී සෙල්‍ෆි ඡායාරූප ගැනීම තහනම් කරනු ලැබුවා.යෝධ වොල්රසෙකු සමග ලබා ගත් සෙල්‍ෆි ඡායාරූපයක් තම මුහුණුපොතේ ජනප්‍රියත්වයට පත් වුන නිසා චීනයේ “ජියා ලී චුන්” ගේ දෙවැනි අපේක්ෂාව වුනේ ලියෝනි ප්‍රාන්තයේ සත්තු වත්තේ මෙවැනිම ඡායාරූපයක් වොල්රසා සිප ගැනීම සමග ලබා ගැනීමටයි. එහෙත් සැනින් ඔහුගේ ආශාව අවසාන විය.වොල්රසාගේ ගොදුරක් බවට පත් ජියා ලී ගේ ජීවිතය ඔහුට අහිමි විය.

ඉන්දියාවේ හමුදා සෙබලුන් දෙදෙනෙකුට අවශ්‍ය වුනේ සක්‍රිය ග්‍රෙනේඩ් බෝම්බයක් සමග ඡායාරූපයක් ලබා ගැනීමටයි. බෝම්බයට අනුකම්පාවක් නැත. අනපේක්ෂිත ලෙස බෝම්බය පිපිරී ගොස් දෙදෙනාම මරණයට පත් විය.මුහුණුපොත් වෙනුවෙන් ඉතා ආකර්ශණීය සෙල්ෆියක් එක් කරන අරමුනෙන් රුමේනියානු තරුණියක් වහලයක් මතට නැග ඡායාරූපය ගැනීමට තැත් කළේ ඉහලින් ඇදුන අධිවෝල්ටියතාවයේ විදුලි රැහැන ගැන නොදැනය.

ඉන්දියාවේ විසූ රමන්දීප් සිංගේ වයස අවුරුදු 15 කි. ඔහු පිස්තෝලයක් අතැතිව තම පියා සමග සෙල්‍ෆි  ඡායාරූපයක් ගැනීමට සූදානම් වූයේය. වරදින්න වෙලාවක් අවශ්‍ය නැත රමන්දීප් කැමරාව වෙනුවට ක්‍රියාත්මක කරනු ලැබුවේ පිස්තෝලයයි. අවාසනාවන්ත ලෙස ඔහු ජීවිතයට සමු දුන්නේය.

ජපන් ජාතික හිදෙකෝ මිද්ට අවශ්‍ය වුනේ ඉන්දියාවේ ටජ් මහල ඉදිරියේ සිට සෙල්‍ෆි ඡායාරූපයක් ගැනීමටය. රුසියානු  ඡායාරූප ශිල්පිනයක වූ ඇය ශාන්ත පිට්ස්බර්ග් පාලමේ සිට සෙල්‍ෆි ඡායාරූපයක් ගැනීමට ගත් උත්සාහය නොදැනම අසාර්ථක විය. සමබරතාවය ලිහිල්ව ගිය ඇය ඊලඟට අල්ලා ගත්තේ අධි වෝල්ටීයතාවයේ විදුලි රැහැනකි.සෙල්ෆි ඡයාරූප වෙනුවෙන් අද ඇති ආකර්ශණය සමග අනතුරු පිලිබඳ වාර්තාවන්ද ඉහල යමින් පවතී. මේ නිසා ඔබේ තරුණ දරුවන් තුල මේ වෙනුවෙන් තිබෙන උනන්දුව සමග එහි අවදානම ගැනත් සඳහන් කිරීම ඉතා වැදගත් වේ.

මිනිස් සිරුරට නිසි පිරිසිදු ජලයේ වැදගත්කම කියන වටිනා කරුණු 5ක්

වතුර කියන්නේ අපේ ජීවිතයේම කොටසක් කියලා හැඳින්වුවොත් ඒකේ වරදක් නෑ. හැම ජීවියෙක්ටම වගේ ගහට කොළට පවා වතුර අත්‍යවශ්‍ය දෙයක්. වතුර නැති වුණාම ගස් වැල් වේලිලා යනවා වගේම අපේ ශරීරයත් වතුර නැතිවුණොත් ලෙඩ වෙනවා. අපේ සිරුරේ 60%ක ප්‍රමාණයක පමණ ජලය බව පෙර ලිපියක් හරහාත් අපි ඔබව දැනුවත් කළා. ජලය කියන්නේ බලසම්පන්න පානයක් කියන්නේ ඇයි කියලා මේ ලිපියේ අවසානයේදී ඔබට තේරුම් යාවි.

  1. ආහාර ජීරණයට උපකාරී වේ

ආහාර පිසීමේදී වගේම අපි අනුභව කරන ආහාර ජීරණය සඳහාත් ජලය වැදගත් වෙනවා. අපේ සිරුරේ ඇති ජල ප්‍රමාණය අවම වීම හේතුවෙන් මලබද්ධය ඇතුළු බොහොමයක් රෝග තත්ත්වයන් ඇති වීමට හේතු විය හැකිය.

  1. සංසරණය වැඩි දියුණු කරයි

නිසි ජල පරිමාව සිරුරට නොලැබුණහොත් රුධිර සංසරණය වෙනස් වීමේ අවදානමක් පවතිී. එසේ රුධිර සංසරණය දුර්වල වීම හේතුවෙන් විඩාව, හිසරදය මෙන්ම ඇඟපත වේදනාව වැනි තත්ත්වයන් ඇති වීමෙන් ඔබව අපහසුතාවයට පත්වේ.

  1. සිරුරේ උෂ්ණත්වය නියමිත අගයේ පවත්වා ගනී

සිරුරේ උෂ්ණත්වය නිසි අගයේ පවත්වා ගැනීම සඳහාද ජලය හරහා මහඟු සේවාවක් ඉටුවේ. ශාරීරික ක්‍රියාකාරකම්වලදී අධික වෙහෙස නිසා සිරුරෙන් ඉතා ඉක්මනින් ජලය පිටවන අතරම සිරුරේ නිසි උෂ්ණත්වය පවත්වා ගැනීමට නම් අප ඒ සඳහා අවශ්‍ය ජල අවශ්‍යතාවය සැපිරිය යුතුය. එසේ නොවුණහොත් ඔබ විජලනයට ලක් විය හැකිය. සිරුරේ සජලන ස්වභාවය පවත්වා ගැනීමට ජලය නිසි පරිමාවෙන් භාවිත කිරීම වැදගත් වේ

  1. සිරුරට අහිතකර දේ ඉවත් කරයි.

වකුගඩුවල ප්‍රධාන කාර්යය වන්නේ අපේ සිරුරට අනවශ්‍ය දේ ඉවත් කිරීමයි. එහිදී වකුගඩුවල නිසි ක්‍රියාකාරීත්වය සඳහා අවැසි ජල පරිමාව ලබාදීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අපගේ ඒකායන අරමුණක් විය යුතුය. එසේ නොවුණහොත් වකුගඩු ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන්ට ගොදුරු වීමට ඔබට සිදුවනු ඇත.

  1. සමේ යහ පැවැත්මට උපකාරී වේ

සමෙහි තෙතමනය රඳවා ගනිමින් වියළීමට ලක්විම වළක්වා ගැනීමට නිසි ප්‍රමාණයෙන් පිරිසිදු ජලය පානය කිරීම ඉතා වැදගත් වේ. එසේම කෑමට පෙර වතුර වීදුරුවක් පානය කරන්නට ඔබට හැකි නම් එය වඩාත් ප්‍රයෝජනවත් වේ. එසේම නිසි ජල පරිමාව ලබාගැනීම හේතුවෙන් සිරුරේබර පාලනය කරගැනීමේ හැකියාවද ඔබ සතුය.

සැමදා සැමට පිරිසිදු ජලය ලබාදෙන්නට වෙහෙසෙන පියුරිට් (Pureit) මගින් සිදු කළ පරීකෂණය සහ සිදුවන දේ පහත වීඩියෝවෙන් ඔබත් නරඹන්න.

Pureit අනුග්‍රාහකත්වයෙන් පලකරන ලද ලිපියකි.

 

නිමල්ට වතුර පෙවෙනවා අඩුයිලු … මෙන්න බලන්න ඩොක්ටර් නිමල්ට කියපු දේ..

නිමල් ඩොක්ටර් ළඟට ගියේ දින ගානක් තිස්සේ තිබුණු පුංචි පුංචි අපහසුතාවයන්ට ඛෙහෙත් ටිකක් ගන්න. ඩොක්ටර් දිගින් දිගටම නිමල්ගෙන් වතුර බොන එක ගැන ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

ඩොක්ටර් : නිමල් හොඳට  වතුර බොනවද?

නිමල් : වතුර නම් පෙවෙනවා අඩුයි ඩොක්ටර්

ඩොක්ටර් : නිමල්, වතුර පෙවෙන්නේ ගඟක මූදක වැටුණොතින් විතරයි. අපේ නිරෝගි පැවැත්මට ඕනෙ කරන පිරිසිදු වතුර අපි උනන්දු වෙලා තමයි ලබාගන්න ඕනේ. දැන් දැන් බොහොම දෙනෙක් මේ වතුර ගැන දක්වන අවධානය නම් හරිම අඩු වෙලා. මෙහෙම ගියොත් හැමෝම ලෙඩ්ඩු වෙයි.

තමන් ඉන්න තැන හොඳ පිරිසිදු වතුර එකක් තියාගන්න අමතක කරන්න එපා.

නිමල් : හොඳයි ඩොක්ටර්.

ඩොක්ටර් : නිමල් දන්නවද ඇයි මම පිරිසිදු වතුර කියලම කිව්වේ කියලා. මොකද අපේ ගොඩ දෙනෙක් දැන් පුරුදු වෙලා ඉන්නේ ටැප් එකෙන් වතුර බොන්න. ක්ලෝරීන් දාලා පිරිසිදු කළා කියලත් ටැප් එකෙන් එන වතුර 100% පිරිසිදු නෑ. ඒ වගේම දැන් මිනිස්සු මිනරල් වෝටර් බොට්ල්ස් ගන්න එක ස්ටයිල් එකක් කරගෙන. ඒ ඉතිං නොදැනුවත්කම තමයි.  ඉතිං ගොඩ දෙනෙක් අපිරිසිදු වතුර බොන්න ප්‍රධානතම හේතුව මේ නොදැනුවත්කම තමයි.

පොත පතේ සඳහන් වෙන පරිදි මිනිස් සිරුරට ජලය නොමැතිව ගත කළ හැකිකේ දින තුනක් හතරක් වැනි සුළු කාලයකි. එසේම රුධිරයේ ප්‍රධානතම සංඝටකයක් වන ජලය මගින් සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය නිසි ලෙස සිදුකිරීමට විශාල සහයෝගයක් ලැබේ. එසේම සිරුරේ උෂ්ණත්වය පාලනය කරගැනීමටත් මොළයේ නිසි ක්‍රියාකාරීත්වයටත් නාසය/ඇස් සහ මුඛයේ පටලවල තෙතමනය රඳවා ගැනීමට/නිසි ලෙස මුත්‍රා පෙරීමේ කාර්යයට/හෝමෝනවල ක්‍රියාකාරිත්වයට ජලය අත්‍යවශ්‍ය වේ. ඉතිං ජලය මගඅරින්න අපි කාටවත් බෑ. මන්ද අපේ සිරුරේ සජීවී බව රැකගන්නට ජලය අත්‍යවශ්‍ය වන බැවිනි.

දිනකට ඔබට අවශ්‍ය වතුර ප්‍රමාණය ලබාගත්තද ජලයේ පවිත්‍රතාවය ගැන අවධානය යොමුකරන්න ඔබට අමතක විය හැකියි. අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් පාචනය/කොළරාව වැනි රෝග තත්ත්වයන්ට මුහුණ දීමට අපට සිදුවෙනවා. ඒ නිසාම පිරිසිදු ජලය භාවිතය කෙරේ මූලික අවධානය යොමු කිරීම ඉතාම වැදගත් කරුණක් බව දැන් ඔබට වැටහෙනු ඇත.

අපි බොහෝ දෙනෙකු සිතා සිටින්නේ උතුරවා නිවාගත් පමණින් සම්පූර්ණයෙන්ම පිරිසිදු ජලය අපට හිමිවන බවයි. ඒ වගේම බෝතල් කළ/පිරිපහදු කළ/පෙරා ගත් ජලය පිරිසිදු බවින් උසස් තත්ත්වයේ පවතින බවත් ඒවායෙන් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් හිමි නොවන බවත් සාමානයයෙන් අපි විශ්වාස කරනවා. නමුත් ඒ ජලයේ ඕනෑ තරම් අපවිත්‍ර ද්‍රව්‍ය ඇත්දැයි සිතන්නට කාලය දැන් උදාවී ඇති බව මතකයේ රඳවා ගන්න. උණු කර නිවා ගත් පමණින් ඔබට මෙන්ම ඔබේ දරුවන්ට පානය සඳහා භාවිත කරන වතුර වීදුරුව උපරිම පිරිසිදු බවින් යුක්ත යැයි සිතා සිටීම ලෙඩ රෝග රැසක් ඔබ වෙත කැන්දා එන තත්ත්වයක් බව තරයේ සිතට ගන්න. සැමවිටම ඔබේ පානීය ජල අවශ්‍යතාවය සඳහා උපරිම පිරිසිදු තත්ත්වයේ ජලය ලබාගැනීමට නම් ඔබේ නිවසසේ භාවිත කරනු ලබන වතුර ෆිල්ටරයේ තත්ත්වයද ඉතාම වැදගත් බව සිහිතබාගන්න. සැමවිටම තත්ත්වයෙන් උසස් සෞඛ්‍යයට හිතකර තත්ත්වයේ ෆිල්ටරයක් තෝරාගන්න.

සැමදා සැමට පිරිසිදු ජලය ලබාදෙන්නට වෙහෙසෙන පියුරිට් (Pureit) මගින් සිදු කළ පරීකෂණය සහ සිදුවන දේ පහත වීඩියෝවෙන් ඔබත් නරඹන්න.

Pureit අනුග්‍රාහකත්වයෙන් පලකරන ලද ලිපියකි.

හරිම තිබහයි… කියලා ටැප් එකෙන් වතුර බොන එක ඔබටත් පුරුද්දක් වෙලාද?

අපි නොහිතන දේවල් ගොඩක් තියෙනවා. ඒත් ඒ බොහොමයක් දේවල් අපේ නොදැනුවත්කම නිසාමයි. ටැප් එකෙන් වීදුරුව පුරවගෙන එහෙමත් නැතිනම් ටැප් එකට අත තියලා වතුර බොන අය අපි ඕනේ තරම් දැකලා තියෙනවා. මේ තිබහට එහෙමත් නැත්නම් හදිස්සියටත් වෙන්න පුළුවන්. ඉතිං ඔබ හිතන්නේ ටැප් එකෙන් එන වතුර ඇත්තටම පිරිසිදුයි කියලද? එහෙම නම් අදම ඔබත් මේ පුංචි පරීක‍ෂණය සිදුකරලා බලන්න. ඇත්ත නැත්ත ඔබටම වටහා ගන්න පුළුවන්.

පිරිසිදු සුදු පැහැ රෙදි කැබැල්ලක් ගෙන ඔබේ ටැප් එකේ ගැට ගසන්න. දින දෙක තුනක් භාවිතයෙන් පසුව එහි වර්ණය වෙනස් වන ආකාරය ඔබටම දැකගත හැකියි. ඉතිං දැන් ඔබට වැටහෙනවා නේද? පෙරහන සවිකිරීමට පෙර ඔබ පානය කළ ජලයේ අන්තර්ගතව තිබූ සියලූ අපද්‍රව්‍ය ඔබේ සිරුරට ඇතුළු වෙන්නට ඇති බව. ජලය නැතිව අපට ජීවත් විය නොහැකියි. නමුත් ජලයේ පිරිසිදු බව අපගේ නිරෝගී පැවැත්මට අවැසයි.

ජලය සිරුරට අත්‍යවශ්‍ය පමණින්ම ඔබ එහි පවිත්‍රාතාවය පිළිබඳව සැලකිලිමත් නොවන්නේද?

ඔබ දන්නවාද? වෛරස, බැක්ටීරියා, පරපෝෂිතයින්, කෘමිනාෂක, නොයෙක් අපද්‍රව්‍ය මෙන්ම යම් යම් රසායනික ද්‍රව්‍යයන් හරහාද ජලය අපවිත්‍රව පැවතිය හැකිය. ඒ නිසාම ඔබ පානයට ගන්නා ජලයේ සෑම බිඳුවක් පාසාම පවිත්‍රතාවය පැවතීම ඉතාමක් වැදගත් බව අමතක නොකරන්න.

ජලය පිරිසිදු කිරීම මගින්

  • රෝග කාරක අපද්‍රව්‍ය විනාශ වේ
  • ජලයේ පවතින කඨිනතාවය (කිවුල් ගතිය) අවම වේ
  • රසායනික අපද්‍රව්‍ය ඉවත් වේ
දන්නවද? පිරිසිදු ජලය අපිට නැතිවම බෑ ….

මිනිස් සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය නිසි පරිදි පැවැත්ම උදෙසා ජලයේ වැදගත්කම අති මහත්ය. ඒ නිසාම ජලය අත්‍යවශ්‍ය සාධකයකි. අපේ සිරුරේ බරින් 60%ක පමණ ප්‍රමාණයක් පවතින්නේ ජලයයි. සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුහට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය වීදුරු හත අටක් වේ. ඝර්ම කලාපීය රටක් වන අප රටේ වෙසෙන මිනිසුන්ගේ සිරුරෙන් පිටවන ජල ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි ප්‍රමාණයකි. ඒ නිසාම අදාල පුද්ගලයාගේ ශරීරයේ බර අනුව අවශ්‍ය නිසි ජල පරිමාව ලබාගැනීම ඉතා වැදගත් වේ.

පිරිසිදු ජලය මගින් විජලනයෙන් රැකගනී/ආහාර ජීරණය/සිරුරේ උෂ්ණත්වය නිසි අගයේ පවත්වා ගැනීම/මුත්‍රා සහ දහඩිය වශයෙන් අනවශ්‍ය දේ සිරුරින් බැහැර කිරීම/මලබද්ධය වැළැක්වීම වැනි ප්‍රතිපල මෙන්ම සිරුරට ගුනදායකය.

සැමවිටම පිරිසිදු ජලය වීදුරුවක් මගින් සෞඛ්‍ය සම්පන්න දිවියකට හිමිවන ප්‍රතිලාභ ඔබත් අත්කරගන්න.

සැමදා සැමට පිරිසිදු ජලය ලබාදෙන්නට වෙහෙසෙන පියුරිට් (Pureit) මගින් සිදු කළ පරීක‍ෂණය සහ සිදුවන දේ පහත වීඩියෝවෙන් ඔබත් නරඹන්න.

Pureit අනුග්‍රාහකත්වයෙන් පලකරන ලද ලිපියකි.

දරුවා නිදි කරවන නිවැරදිම ඉරියව්ව ගැන දැනගන්න අවශ්‍යද?

දරුවකු යනු අපේ රටේ ඉදිරි අනාගතයි. මෙවන් මහගු වු දරු සම්පත සුරක්ෂිතව හා ආදරණීයව රැකබලා ගැනීම අප කාගේත් යුතුකම මෙන්ම වගකීමක්ද වන බව නොරහසකි. නින්ද යනු ළදරු වියේදී ඉතා වැදගත් වන සාදක අතුරින් එකකි. ඔබගේ නිවසේත් ළදරුවෙකු සිටී නම් ඔහුගේ හෝ ඇයගේ නිදන ඉරියව්ව පිළිබඳව දැන සිටීම ඉතා වැදගත් වේ. ආරක්ෂාකාරී නිදන ඉරියව් මොනවාද යන ගැටලුව වර්තමානය වන විට බොහෝ මව්වරුන් පිළිතුරු සොයමින් සිටින අවස්ථාවකි.

අද වන විට අවුරුදු 01 ට අඩු ළදරුවන්ගේ හදිසි මරණ ඇති වීමේ හේතුවක් ලෙස ආරක්ෂාකාරී නොවන නිදන ඉරියව් අනුගමනය කිරීම හේතුවක් වී ඇත. මෙම අවස්ථාවන් SUDI (Sudden unexpected Death in Infancy) සහ SIDS (Sudden Infant Death Syndrome)  ලෙස හදුන්වනු ලැබේ. මෙම තත්ත්ව උදා වීමට පහත හේතූ බලපානු ලැබේ.

  • දරුවා මුනින් අතට හෝ පැත්තකට ඇලව නිදි කිරිම
  • ඉතා මෘදු වූ මෙට්ට, ඇතිරිලි, සෝෆා, කොට්ට යනාදියේ දරුවන් නිදි කරවීම
  • දරුවාගේ මුහුණ හෝ හිස ඇතිරිලි වලින් වසා තැබීම
  • මෙම හේතුව නිසා දරුවට හුස්ම ගැනීමට අපහසු වීම හ උණුසුම වැඩිවීම සිදු විය හැක

ඉහත සදහන් කරන ලද අවදානම් තත්ත්ව නිසා දරුවකුගේ ආරක්ෂාකාරී සහ ආරක්ෂාකාරී නොවන නිදන ඉරියව් පිළිබද අවබෝධයෙන් සිටීම ඉතා වැදගත් වේ. එම ඉරියව් පහත පරිදි වේ.

උඩුබැලි අතට නිදීම හෙවත් පිටුපස මෙට්ටයෙහි ස්පර්ශ වන පරිදි නිදීම. (sleep on back)

sleep on back

 

 

 

 

මෙම ඉරියව්ව් SIDS අවස්ථාවලින් දරුවා මුදවා ගත හැකි වඩාත් සුදුසුම නිදන ඉරියව්ව වේ. මෙම ඉරියව්ව් අනුගමනය කිරිමේදී ශ්වසන මාර්ගය ඉතා හොදින් විවෘතව පවතී. ඇමරික එක්සත් ජනපදයේ ජාතික ළමා හා මානව සංවර්ධන ආයතනය (NICHD – National Institute of Child Health and Human Development) මගින්ද උඩුබැලි අතට නිදීම ආරක්ෂාකාරී ඉරියව්ව ලෙස නම් කර ඇත.

නමුත් දිර්ඝකාලීනව මෙලෙස උඩුබැලි අතට එනම් මෙට්ටයට පිටදී නිදීමෙන් ඇති වන අවාසිය වන්නේ පැතලි හෝ හැඩය විකෘති වූ හිස සහ හිස්කබලේ පිටුපස පැතලි බව ඇති වීමයි. නමුත් මෙම තත්ත්වය දරුවාට අවුරුද්දක්  පමණ වන විට කාලයත් සමගම අඩු වී යන අතර ඉතා කලාතුරකින් ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයට පත් වේ. සරල උපක්‍රම කිහිපයක් මගින් මෙම තත්ත්ව වළක්වා ගත හැකි බැවින් මෙම තත්ත්ව පිළිබද බිය විය යුතු නොවේ.

  • දරුවා අවදි වූ විගස මදක් මුනින් අතට තැබීම
  • පැතිලි වී ඇති පැත්තට විරුද්ධ දෙසට හිස හරවා තැබීම.
  • නිදාගන්න අවස්ථාව හැරුණු කොට අනෙක් අවස්ථාවන් වලදී උඩුබැලි අතට තැබීම අඩු කිරීම.
  • හිස හරවා තබන දිශාව මොහොතින් මොහොත වෙනස් කිරීම.
මුනින් අතට නිදීම හෙවත් උදරය මෙට්ටයෙහි ස්පර්ශ වන පරිදි නිදීම. (Sleep on stomach)

Sleep on stomach

මෙම ඉරියව්ව හේතු ගණනාවක් නිසා අනුගමනය නොකළ යුතු ඉරියව්වක් බවට සනාථ කර ඇත.

  • මෙයින් ළදරුවාගේ හනු පෙදෙසට ඇති කරන පීඩනය වැඩි වන අතර ශ්වසන මාර්ගය අවහිර වීම හ එම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවේ.
  • ඇතිරිලි වලට ඉතා ළගින් මුහුණ තිබීම නිසා එකම වාතය ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සිදු වේ.
  • ඉතා මෘදු මෙට්ට් මත මුනින් අතට නිදීමෙන් ළදරුවෙකුගේ හුස්ම හිරවීම පවා සිදූ විය හැක.
  • ළදරුවා මෙට්ටය මත ඇති විෂබීජ ද ආශ්වාස ප්‍රාශ්වාස කරයි.

ඉතා කලාතුරකින් වෛද්‍යමය හේතු මත දරුවා මුනින් අතට තැබීමට වෛද්‍යවරුන් උපදෙස් දෙනු ලැබේ. වෛද්‍ය වෘතිකයන් සුළු පිරිසක් දරුවාගේ උදර අම්ලොද්ගාර හා ඉහල ශ්වසන මාර්ග විකෘති තත්වයන් වලදී මුනින් අතට නිදීම ගුණ දෙන බවට විශ්වාස කරයි. නමුත් බොහෝ වෛද්‍යවරුන් මෙම ඉරියව්වේ ඇති අවදානම නිසා එම ඉරියව්ව අනුමත නොකරයි.

පැත්තකට හරවා නිදි කරවීම  

side_sleep

අනාරක්ෂිත ඉරියව්වක් වන අතර එමගින් ළදරුවන්ට ඉතා ඉක්මනින් මුනින් අතට හැරීමට හැකි විම හේතුව වේ. එම නිසා SIDS වැනි තත්ත්ව ඇති වීම වැළක්විය නොහැක. මෙම හේතුවෙන් පැත්තකට හැරී නිදීමද නුසුදුසු වේ.

නින්ද සහ ඉරියව් පිළිබද සලකා බැලීමේදී මව්කිරි පෙවීමෙන් පසු හෝ බෝතලේ කිරී පෙවීමෙන් පසු දරුවා මදක් ඉහලට ඔසවා උරහිසෙහි හිස හොව තබා ගැනීමෙන් වැඩිපුර පෙවී ඇති කිරී ඉවත් වීම, හොදින් උගුරට යාම සිදුවේ. ඉන් පසුව දරුවා මදක් මුනින් අතට තබා ඉන් පසුව උඩුබැලි අතට නිදි කරවීම ඉතා සුදුසු වේ. මෙලෙස නිදි කරවන ඉරියව් පිලිබදව සලකා බැලීම ඉතාම වටී.

  • ඉතා මෘදු මෙට්ට, කොට්ට, සෝෆා භාවිත නොකරන්න
  • දරුවා නිදන ස්ථානය අවට ඇති සෙල්ලම් බඩු ඉවත් කරන්න
  • දරුවාගේ මුහුණ හෝ හිස වැසෙන පරිදි ඇතිරිලි නොදමන්න. පරිසරය සිසිල් නම් උණුසුම් ඇදුම් අන්දවා දරුවා නිදි කරවන්න
  • අධික උණුසුම ඇති වන පරිදි ඇතිරිලි, ඇදුම් භාවිත නොකරන්න. කාමරයේ උෂ්ණත්වය පිලිබදව සලක බලන්න
  • දරුවා නිදන ඇද අසල විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන්න. සුළං සැර නිසා දරුවාට හුස්ම ගැනීමට අපහසු වන බැවිනි. කාමරය උණුසුම් නම් පමණක් ඇදේ පැත්තකින් දුරට වන්නට විදුලි පංකාවක් ක්‍රියාත්මක කරන්න. වතුර බේසමක් ඇද අසල තබන්න. (ශරීරයේ ජලය උර ගැනීමෙන් දරුවා විජලනය වන බැවිනි)

මේ අනුව දරුවා නිදන ඉරියව්ව පිලිබදව නිතර අවදානයෙන් පසු වීම අනාගතයේ පසුතැවීමට හේතු කාරණා ගෙන නොදේ.

doctor-sawmya

වෛද්‍ය S.A.U සෞම්‍යා කුමාරි ජයසිරි
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය 
කැලණිය විශ්වවිද්‍යාලය ,යක්කල

 

දරුවාට ෆ්‍රෙන්ච් ප්‍රයිස් දීමට පෙර ටිකක් හිතන්න

අපේ පුතාට පොටේටෝ චිප්ස් තිබුනොත් ආයේ මොකුත් ඕන නැහැ.බොහෝ මව්පියන් මේ විදිහට කියනු ඔබටත් ඇසී තිබේ. ඒ වගේම අද සුපිරි අවන්හල්වල ඇති බොජුන්පතේ අර්තාපල් තීරු අනිවාරයෙන්ම අවශ්‍ය අංගයක් වී තිබෙන්නේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුම වෙනුවෙන් මේ අතිරේක තිබීම අවශ්‍ය නිසයි.

ඒත් මේ ගැන තිබෙන අලුත්ම ආරංචිය ඔබ අසා තිබෙනවාද….අයිස්වතුරේ පොඟවාගෙන ගැඹුරු තෙලෙන් බදින ලද අලපෙති තීරු මගින් අපේ සිරුරට ලැබෙන කැලරි ශක්තිය ඉතාම අධිකයි. මේ වගේ ආහාර ඉඳහිට ගත්තාට අගුණයක් නැති වුනත් බොහෝ දෙනෙක් නිතරම ආහාරයට ගනන්වා. ඔබ වුනත් දරුවන්ගේ ඉල්ලීම අනුව වෙළඳපොලෙන් මිලට ගනන්වා වගේම ඔබටත් කාලවේලාව තිබෙන විට අලපෙති තීරු බැද දෙන්න උනන්දුවක් දක්වනවා ඇති.

එහෙත් දැන් මේ අධ්‍යන වාර්තාව ගැනත් ඔබට හිතන්න වෙනවා.වොෂිංටන් විශ්ව විද්‍යාලයේ ස්ථුලතා මධ්‍යස්ථානය මගින් මේ පිලිබඳව අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ෆ්‍රෙන්ච් ප්‍රයිස් යනුවෙන් හැඳින්වෙන අල පෙති තීරු මගින් සිරුරට ඇතුලුවෙන පෝෂණ ප්‍රභවයන් මේ විදිහට පෙන්වා දුන්නා.

මේදය ග්‍රෑම් 24ක් සහ කාබොහයිඩ්ඩ්‍රේට ග්‍රෑම් 65 ක් ප්‍රෙන්ච් ප්‍රයිස් මගින් සිරුරට එකතු වෙනවා. එයින් ලැබෙන විපාක විදිහට මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සිරුරේ බර ඉහල යන අතර කොලස්ටරෝල් සහ අධි රුධිර පීඩනයට ගොදුරු වෙන අවදානම ඉතාම ඉහලින් පවතිනවා.

තවත් බරපතලම තත්වය මේ විදිහට පෙන්වා දෙන්න පුලුවන්. අපි සාමාන්‍යයෙන් දිනකට ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය තේ හැන්දකට සීමා වුනත් මේ අල පෙති හෙවත් ප්‍රෙන්ච් ප්‍රයිස් රස ගැන්වීමට අධික විදිහට ලුණු යොදා ගන්නවා. පර්යේෂකයන්ගේ ගණනයට අනුව මෙම අලපෙති තීරුවල අන්තර්ගත සෝඩ්යම් ප්‍රමාණය මිලිග්‍රෑම් 600 ක් පමණ වෙනවා. නිතර නිතරම මේ අහිතකර විදිහට සිරුරට ඇතුලු වෙන ලුණු සිරුරේ තැන්පත්ව පසුකාලීනව අක්මා සහ වකුගුඩු රෝග වැළඳිමට තිබෙන අවදානම ඉතාම ඉහලයි.

ගැබිණි කාලයේදී බොහෝ දෙනාට ඇති වෙන ආහාර අරුචිය ඉදිරියේ වෙනස් විදිහක ආහාර වෙනුවෙන් යොමු වෙන අවස්ථාවන් තිබෙනවා. මේ වෙලාවට අලපෙති හෙවත් ප්‍රෙන්ච් ප්‍රයිස් ආහාරයට ගත්තත් දෙවතාවක් ඒ ගැන හිතනවා නම් යහපති කියල දැන් සඳහන් කරන්න වෙනවා. ඊට හේතුව අර්තාපල් බදින්නේ අධික උෂ්ණත්වය නිසා කලලයේ යම් යම් විකෘතිතාවයන් ඇති වීමට බොහොම ලොකු අවදානමක් ඇති වෙන බව මෙම අධ්‍යන වාර්තාව මගින් පෙන්වා දෙනවා.ප්‍රෙන්ච් ප්‍රයිස් මුල් කරගෙන මේ විදිහට චෝදනා නැගුනත් අර්තාපල් වලින් ලබා ගත හැකි ගුණ නැතුවාම නොවේ.

අර්තාපල්වල අඩංගු විටමිනි බී 6 මගින් එන්සයිම ක්‍රියාකාරී කරන අතර ස්නායු පද්ධතියේ උත්තේජනයක් ගෙඩ නගනු ඇත. මේ නිසා මානසික පීඩනයට වඩාත් හොඳ ආහාරයක් විදිහට අර්තාපල් වෙනුවෙන් වඩාත් සාර්ථක

හෘදරෝගවලට ආරක්ෂාව

අර්තාපල් බී 6 සංයෝගයෙන් යුක්ත නිසා එයින් ලැබෙන Methylation  සායනයෙන් හෘදරෝග අවදානම අවම කරන බවත් දැන් පිලිගෙන තිබෙනවා. මේ සංයෝගය වෙනස් වූ විට ධමණීන්ගේ අවහිරතාවයන් ඇති වෙනවා පමණක් නොව මේද පැල්ලම් ගොඩ නැගී හදවතට ලැබෙන රුධිර සැපයුම වෙනස්ව හෘදයාබාධ තත්වය දක්වා තත්වය අහිතකර විදිහට බලපාන්න පුලුවන්. මේ නිසා අර්තාපල්වල හෝමෝසිස්ටයින් homocysteine මට්ටම පාලනය කිරීමේ හැකියාව තිබෙනවා.

homocysteine යනුවෙන් හැඳින්වෙන ඇමයිනෝ අම්ලය අඩු ඝනත්ව ලිපොප්‍රෝටින යනුවෙන් හැදින්වෙන අහිතකර කොලස්ටරෝල් තත්වයටත් ඩා භයානකයි.

සිරුරට අවශ්‍ය තන්තු ලැබෙනවා

තන්තු බහුල ආහාර මගින් මලබද්ධය මග හැරෙන අතර කොලස්ටරෝල් මට්ටම පාලනය වේ. බඩවැල් ආශ්‍රිත පිලිකා තත්වයන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීමට තන්තු විශාල පිටුවහලක් වෙනවා. සාමාන්‍ය අර්තාපල් අලයකින් තන්තු ග්‍රෑම් තුනක් ලබා ගන්න පුලුවන්. මේවායේ තන්තු බහුලව තිබෙන්නේ පිට පොත්ත ආශ්‍රිතව නිසා පොත්ත සමග ආහාරයට ගැනීම වඩාත් හිතකරයි.

අර්තාපල් යොදා ගෙන පිලියෙල කරන ආහාර

සුප් පිළියෙල කරන විට අර්තාපල් යොදා ගත් විට එහි රසය වගේම ගොරෝසු බව ඇති වෙනවා.

පැටිස්, කට්ලට්, රෝල්ස්, මසල තෝස,සැන්ඩ්විච් වගේම වෙනත් පිරවුම් සහිත ආහාර වෙනුවෙන් යොදා ගත හැකියි.

අර්තාපල් අල තම්බාගෙන දියකිරිවලට මිරිස්, ලුනු. රතුළූෑනු, රම්පෙ, කරපිංචා, උම්මලකඩ ආදිය දමා ලිප තබා එය පැසුන විට මිටිකිරි එක් කර ගෙන පිසින්න. මෙය පාන්, ඉදිආප්ප වෙනුවෙන් ඉතා ගැලපෙන හොදි විශේෂයකි.

තම්බා කැට කපා ගත් අර්තාපල් ලුණු සහ ගම්මිරිස් අනා පැයක් පමණ තබන්න. තෙල් ලිප තබා එයට රම්පෙ, කරපිංචා , බොම්බයි ළූණු එක් කර තෙම්පරාදු කර ගෙන කැබැලි මිරිස් එක් කර ගෙන රස විදින්න.

අනාගතය ජයගන්න, දරුවන්ට අවැසි පන්නරය නිවසෙන්ම ලබාදෙන්න

දරුවන්ට කන්න දෙනවා නම් බොන්න දෙනවා නම්…උගන්වනවා නම් වෙන මොනවාද තව දෙන්න කියන්නේ…මව්පියන් විදිහට ඔබ මෙහෙම හිතුවත් ඔවුන්ගේ අනාගතයට අවශ්‍ය පන්නරයත් නිවසේදීම ලබා දීම ඉතා වැදගත්. අද දරුවා හෙට රටේද නායකයා වන බව ඔබ දන්නා නිසාම මතු දවසේ මව්පියන් විදිහට ජීවිතයට මුහුන දීමට අවශ්‍ය පන්නරයත් ඔබගෙන්ම ලැබෙනවා නම් වඩාත් ගැලපෙන දරුවෙක් සමාජයට දායාද කළා වෙනවා…එහෙම නම් ඔබ දරුවාට මේ හැඩගැස්මත් බාලකාලයේ පටන්ම ගොඩ නගන්න.

ගෙදර කටයුතු කලමනාකාරණය කරන්න

අද මව්පියන් නිවසේ කටයුතු නිසා බොහොම හෙම්බත් වෙනවා. මගේ දරුවන් ය යන සංකල්පය නිසා අද මේ විදිහට නිවසේ කටයුතු ඔබ වෙතින් සිද්ධ වුනත් හෙට දවසේ ඔබේ දරුවාටත් තනිවම ගෙදර දොර පාලනය කර ගැනීම අවශ්‍යයි. ඒ නිසා බාල කාලයේ පටන්ම නිවසේ පාලන කටයුතු ගැන දරුවාට හුරු කරන්න. එවිට ඔවුන්ගේ අනාගත කැදැල්ල නොදැනම සිරි විමනක් බවට පත් වෙනු ඇත.

ඉවුම් පිහුම්

පිරිමි දරුවන්ට වුනත් ඉවුම් පිහුම් කටයුතු ගැන දැණුමක් තිබුනොත් වරදක් වෙන්නේ නැහැ. බිරිඳට අසනීපයක් හැදුන විට, ගමනක් බිමනක් ගිය විට පිරිමියෙක් වුනත් ආහාර පාන සකසා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. එහෙම නැති වුන දාට ” පුලුස්සා ගත් රොටිය කරවිය බිරින්දෑ නෑගම් ගොහිං…”  යනුවෙන් මැසවිලි නගන්න වේවි.

මුදල් පාලනය

සල්ලි දෙවියන්ගේ මල්ලිටත් වඩා වටින්නේ අද මුදල නොමැතිව කිසිම කටයුත්තක් ඉටු කර ගැනීම නොහැකි නිසාය. ගෘහ පාලනයේදී මුදල් සකසුරුවෙමෙන් පාවිච්චියට දැන ගැනීම ඉතා වැදගත්.ලැබෙන ආදායම ගැන සලකා බලා ඒ සීමාවේ සිටිනවා වෙනුවට තමාට නොහැකි අන්දමින් වැය බර ගොඩ නගා ගැනීම නොවිය යුතු දෙයක්. අද ඇතැම් කාන්තාවන් නිසා පවුලම ආර්ථික වශයෙන් පිරිහීමට පත් වෙනවා. ඇතැම් සැමියන් බිරින්දෑවරුන්ට චෝදනා නගන්නේ කොච්චර හම්බ කළත් මකර කටට දානවා වගේ…එයින් පෙනෙන්නේ සැමියා හරිහම්බ කරන ලද දෙය මනා වූ සකසුරුවමෙන් පවත්වා ගැනීමට අපොහොසත් කාන්තා චරිතයක් ගැනයි.

ඒ වගේම ඇතැම් සැමියන්ටත් මුදලක් දුටුවොත් එය අවසාන කරන තෙක් ඉවසීමක් නැත. කුමක් හෝ වැය ශීර්ෂයක් ඒ වෙනුවෙන් ගොඩ නගනු ඇත. මේ නිසා පිරිමි දරුවන්ටත් මුදල් පාලනය ගැන දෙමව්පියන් විසින් ලබා දෙන දැණුවත්බව ඔවුන්ගේ අනාගතයට ඉතා වැදගත් වේ.

කාලය

කාලය අපට නවත්වා ගත නොහැක.කාලය රන් හා සමාන කළත් අද එයට දෙන නිර්වචනය වන්නේ කාලය රත්රන්වලටත් වඩා වටිනා බවයි. අද දවසේ ගෙවෙන තත්පර අපි ආරක්ෂා නොකල විට හෙට අපට අපතේ යන්නේ පැයඅවුරුදු ගණන්ය.මේ නිසා දරුවන්ට කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට දැණුවත් කරන්න. අද කල යුතු දෙය හෙටට කල් දැමීම යනු කාලයේ නිසි කලමනාකරණයක් නොවුන විට ඇති වෙන ගැටලු බව ඔවුන්ට පහදා දෙන්න. කාලය කා දමන්නා කාලකන්නියා වුනත් දරුවන්ට එසේ ආමන්ත්‍රනය නොකොට කාලය නිසි පරිදි හසුරුවා ගැනීමට අවශ්‍ය පදනම ඔවුන්ට සලසා දෙන්න. එවිට ඔවුන්ගේ අනාගතයත් ඒ අනුව ගොඩ නගා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ.

ආගම හා සංස්කෘතිය

සංස්කෘතිය කන්නද….එසේත් නැත්නම් හණමිටි අදහස්…ඒත් නැත්නම් ලෝකයේ තාලයට අපි අවනත විය යුතුය කිව්වත් අද අපේ දරුවන්ගේ හර වටිනාකම් බොහොමයක් ගිලිහී තිබෙන්නේ සංස්කෘතියෙන් ලබන ශික්ෂනය ඔවුන්ට නොමැති වූ නිසාය. නම අගට උපාධි සමත්ව අකුරු අමුණා ගත් පමනින් දරුවා නිසි තැනට පත් වුවාය යන තෘප්තියට පත්විය නොහැක. ආගම දහම සහ සංස්කෘතික වටිනාකම් ඔවුන්ට පහදා දිය යුතුය.

අද මහමග දමා යන දෙමව්පියන්ගේ දරුවන් උගත්කමින් ඉහලය. සමාජ වටිනාකම් යැයි තක්සේරුකරන මිනුම් වලින් යුක්ත වුනත් වියපත් දෙමව්පියන්ට සැලකිය යුතුය යන සංකල්ප ඔවුන්ගේ හිතේ නොමැති වීම යුගයේ අවාසනාවක් වී ඇත. එබැවින් දරුවා බාල කාලයේ පටන්ම ආගම, අපේ වටිනාකම් යන රාමුව තුළ හික්මවා ගෙන අනාගතයට දායාද කරන්න.

ලිංගික අධ්‍යාපනය

ලිංගිකත්වය දරුවන් සමග කතා නොකල යුත්තක්ය යන සංකල්පයෙන් ඔබ ඉවත් වන්න. පිරිමි සහ ගැහැණු දරුවන්ගේ ශාරිරික වෙනස්වීම් සමග ඇති වෙන අතුරු ලක්ෂණ ගැන ඔවුන්ට පහදා දෙන්න.

එක්තරා ජාත්‍යන්තර සංවිධානයක් ආරම්භ වීමට මුල් වුන නිමිත්තක් ඇත. දරුවන්ට තමාගේ සිතුවිලි කතා බහ නොකිරීමට තහංචි පැනවීම නිසා ඔවුන් ඉතා අසරණ වූහ. මේ නිසා තමන්ගේ  දුක බෙදා ගැනීම වෙනුවෙන් එක්තරා ජාත්‍යන්තර ආයතනයක් ආරම්භ කරනු ලැබුවේ මෙම සිදුවීම නිසාය. එම සිදුවීම මෙයයි.

එංගලන්තයේ එක් දැරියක් වැඩිවියට පත්වීමෙන් පසුව මාසිකව ඔසප් සිදු වෙන බව දැනගෙන සිටියේ නැත . ඒ නිසා ඔසප්වීම ආරම්භය වීම නිසා ඇය බියට පත්ව සිය දිවි නසා ගත්තාය. ඇත්තටම මේ සිද්ධිය සාමාන්‍ය තත්වයක් බව ඇය දැන සිටියා නම් මෙම අවාසනාවන්ත මරණය කිසිදු විටෙක සිදු නොවනු ඇත.

සතුට ලබා දෙන්න

දරුවන් සතුට අගය කරන සතුට අවශ්‍ය පිරිසකි. බාලකාලයේදී සතුටින් පිරුන ජීවිතය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය පෞරෂය ගොඩ නගනු ඇත. ඒ නිසා ඔබට හැකි මට්ටමින් දරුවාට සතුට ලැබෙන දේ ඉටු කර දෙන්න. ඔවුන්ගේ සතුට ඔබට නොවැදගත් වුනත් එයින් සැකසෙන්නේ දරුවාගේ අනාගතයට අවශ්‍ය පෞරෂයයි. ඒ නිසා ඔවුන් විසින් ඉදිරිපත් කරන, ඔවුන්ගේ සතුට සදන කටයුතු එක්වරම ප්‍රතික්ෂෙප නොකොට දෙවතාවක් ඒ ගැන හිතන්න.

පරිසරයට ආදරය කරන දරුවන්

අද පරිසරයට ආදරය නොකරන පරම්පරාවක් බිහිවීම නිසා එයින් බැට කන්නන් බවට අප පත්ව ඇත. ගහ කොල සතා සිවුපාවාට ආදරය කරන, ඇල දොල ජලතලා විනාශ නොකරන,ඒවායේ සුන්දරත්වය විදින , සුරකින පරම්පාවක් අද යුගයේ අවශ්‍යතාවය බවට පත්ව ඇත. ඒ නිසා ගහ කොල ගැන ඔවුන්ට කියා දෙන්න. පරිසරයේ සුන්දරත්වය වින්දනය කරන ඉව ලබා දෙන්න. වලාකුලක, තරුකැටයක, කන්දක, මලක ඇති සුන්දරත්වය ඉදිරියේ ඔවුන්ගේ දෙනෙත් විවර කරන්න. හැන්දෑවට අහසේ පායා ගෙන එන හඳ දෙස දරුවා සමග බලන්න. කොන්ක්‍රිට් පරිසරයක වුනත් අහස පෙනන කොතැන හෝ කවුලුවක් ඇත. එයින් අහසේ විසිතුර පෙන්වන්න. අපි ඉන්නේ ෆැලට්ස්වල බව සැබෑ වුනත් නගරයේ තිබෙන උද්‍යානයකට හෝ දරුවන් කැටුව යන්න.

ඔබ දරුවාට නියම අන්දමින් යුතුකම් ඉටු කරන්නේ නම් ඒ ලැයිස්තුවටම මෙම කරුණු කීපයත් එක් කරන්න. අනාගතයේ ඔබේ දරුවා ඔබට වගේම රටට වැඩදායක චරිතයක් වෙනු ඇත. ඔබේ දරුවාගේ සුවඳ හමා යා යුත්තේ  ලෝකයටයි.

සුන්දර ළමා ලෝකයක් ගොඩනගන්න සෙල්ලම අවශ්‍ය වෙන්නේ මේ නිසයි

දරුවන්ට කන්න අදින්න උගන්වන්න අම්මා තාත්තා දරණ ධෛර්ය ඔවුන්ට සෙල්ලම් කරන්න නම් ලැබෙන්නේම නැහැ. සෙල්ලම කියන්නේ දරුවන්ගේ ඉගෙණුම කඩාකප්පල් කරන ඇබ්බැහියක් විදිහට හිතුවත් අපේ ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරදයි. ඒ විතරක් නොවෙයි…සෙල්ලම් කරන විට අම්මා තාත්තාට අවශ්‍ය විදිහට දරුවන් හැසිරවීම වගේම ඒ මැද්දට අම්මා තාත්තා සම්බන්ධ වීමත් එතරම් හොඳ නැති බවයි දැන් අනාවරණය කර ගෙන තිබෙනවා.කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ දරුවන්ගේ ළමා ලෝකය බොහොම සුන්දරයි. සෙල්ලම් කරන විට අපූරු නිර්මානශීලී සිතුවිලි මැවෙනවා. ඒ නිසා සෙල්ලම් කරන විට අපි මැද්දට ඇවිත් මේ විදිහට කරන්න… යනුවෙන් විධාන පැනවීම එතරම් ගැලපෙන දෙයක් නොවන බව මෙම අධ්‍යනයේ ප්‍රධාණී ඩේවිඩ් වටිය්බෙඩ් සඳහන් කරනවා.

වැලි සෙල්ලම් බත් උයන දරුවා මැද්දට ඇවිත් ඔවුන්ගේ සැලසුම කඩා ඉහිරුවා දමන්න නරකයි.එය නිදහසේ ඉදිරියට කරගෙන යන්න ඉඩ දීම අවශ්‍යයි. ඕක ගන්න එපා…ඕවා අතගාන්න එපා යනුවෙන් නිහේධනයන් ලබා දම ඉතාම නරකයි. ඉස්සරකාලයේ නම් දරුවන්ගේ සෙල්ලමට අවශ්‍ය හැම දෙයක්ම පරිසරයෙන් ලැබුණා. සෙල්ලම් කඩයක් දැම්මත්, වැලි බත් ඉව්වත් ඒ වෙනුවෙන් අවශ්‍ය හැම අමුද්‍රව්‍යක්ම පරිසරයෙන් ලබා ගත්තා. අද දරුවන්ට ඒ වාසනාව නැති හින්දා ඔවුන් ගෙදර පාවිච්චි කරන උපකරණ වෙනුවෙන් යොමු වෙනවා. ඒ වෙලාවට අම්මා ආවේශ වෙන්නේ දරුණු අපරාධයක් කළ විදිහටයි.

දැන් ඔබ කියාවි හරි අපූරුයි ගෙදර තියෙන වටිනා කියන දෙය විනාශ වුනොත් කියලා…ඒ වුනත් ඔබ දරුවාට සෙල්ලමට අවශ්‍ය උපකරණ සපයා දීම වැදගත්. වැලි අතගාලා කෝම්පිට්ටු හදනවිට අම්මලා බය වෙන්නේ වැලි අතගාලා විෂබීජවලට නිරාවරනය වෙයි…කුෂ්ට ඇති වෙයි…මේ විදිහට සාධාරණ බිය සැක ඇති වුනත් මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන විදිහට කෝම්පිට්ටු සැදීම බොහොම වැදගත් සෙල්ලමක්. එයින් දරුවාගේ නිර්මානශීලි චින්තනය අවදි වෙනවා. ඒ වගේම කෝම්පිට්ටු ඉදීයෝ…කෝම්පිට්ටු ඉදීයෝ…රෑට බතට අපට කන්න කෝම්පිට්ටු ඉදීයෝ…කියමින් කරන මේ සෙල්ලමෙන් ලැබෙන වටිනාකම් බොහොමයි.

දරුවා වැලි අතගාන නිසා හසුරු කුසලතාවයන් සංවර්ධනය වෙනවා

යම් පදවැලක් ගායනා කරන නිසා ගායනීය හැකියාවන් වගා වෙනවා.පොල්කටුවට තට්ටු කිරීම නිසා රිද්මානුකූල සංකල්ප ගොඩ නැගෙනවා.සෙල්ලම අධ්‍යාපනයට බාධාවක්ය යන සංකල්ප ගොඩ නගා ගෙන මව්පියන්ගේ මැදිහත් වීමෙන් ඒ සඳහා දරුවාට ලබා දී තිබුන කාලය හැම විටම සීමා කරනවා. ඒ වුනාට අනාගත අධ්‍යාපනයට අවශ්‍ය පෞරෂය ගොඩ නැගෙන්නේ සෙල්ලම තුලින් බව අමතක කරන්න හොඳ නැහැ.

අධ්‍යාපනය වෙනුවෙන් නිර්මානශීලීත්වය අවශ්‍යයි.දරුවන් පුංචි වුනත් ඔවුන්ටත් තර්ක බුද්ධියක් තිබෙනවා. මේ සංකල්ප හිතේ තිබුනාට ඒවා අවදි වෙන්නේ සෙල්ලම තුලින් බව අමතක කළ යුතු නැහැ. ඉස්සරවෙලා තාත්තට බත් බෙදන්න….නංගිට ටිකක් බෙදන්න…එයා පුංචියි…එයාට කැඳ ටිකක් හදන්න…මේ විදිහට ඉතාම තර්කානුකූල සිතුවිලි සෙල්ලම තුලින් නොදැනම වගා වෙනවා.

දරුවන්ගේ සෙල්ලමට අම්මා තාත්තා මැදිහත් නොවුනාම ඔවුන්ගේ ස්වාධීනත්වය නොදැනම ඇති වෙනවා. දෙමව්පියන්ගේ මැදිහත්වීම සිදු වුනොත්එයින් වෙන්නේ දරුවාගේ ස්වාධීනත්වය බිද වැටීම පමණයි.ඔබ මැදිහත් වෙනවා නම් එසේ මැදිහත් විය යුත්තේ මේ සෙල්ලමේ කොටස් කාරයෙක් විදිහට පමණයි. දරුවන් සෙල්ලම් කඩයක් දාගෙන සිටින විට ඔබට එහි ගණුදෙණුකරුවෙක් විදිහට මැදිහත් වෙන්න බාධාවක් නැහැ.

දරුවන් වයසෙන් පුංචි වුනත් ස්වාධීනත්වය පිලිබඳව බොහොම පොහොසත්. සෙල්ලම් කරද්දී අහගෙන හිටියොත් ඔවුන්ගේ දෙබස් හරිම රසවත්.දරුවන් එහිදී පණ දෙන්නේ වැඩිහිටියන්ගේ චරිතයටයි. අපි නොදකින දේවල් ඔවුන්ගෙන් වැඩිහිටි අපට දැක ගන්න ලුලුවන්.

එලිමහන් කි්‍රඩාවන් නිසා පරිසරය සමග දරුවන් සම්බන්ධතාවය ගොඩ නගා ගැනෙනවා.මේ නිසා ඔවුන්ගේ මානසිකත්වය යහපත් වෙන බව කොලරාඩෝ සරසවියේ මානසික සහ ස්නායු විද්‍යාව පිලිබඳ මහාචාර්ය යුකෝ මොනකාටා සඳහන් කරනවා.

අම්මා තාත්තා දරුවන්ගේ සෙල්ලමට අතරමැදියෙක් වෙලා සෙල්ලම කඩා කප්පල් කිරීම හොඳ නැති වුනත් දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලෙන් සිටීම වැදගත්. අද අහන්නනට ලැබෙන අනතුරු ඉදිරියේ මව්පියන් දරුවන් සෙල්ලම් කරන විට අවධානය දැක්වීම ඉතාම වැදගත්. ඔන්චිලි පදින විට, සරුංගල් අරින විට වගේම නොදැන වස විස ආහාරයට ගැනීම වැනි අවදානම් ඉදිරියේ දරුවාට ආරක්ෂාව දීමට යම් අවධානයකින් ඔවුන් දෙස බලා සිටීම මිස සෙල්ලම් ලෝකයේදී අවශ්‍ය නිදහස දරුවන්ටම ලබා දීම ඉතාම වැදගත්.

එක මේසේ එකට එක්ව කෑම කද්දී ලැබෙන වාසි මෙන්න

අතීතයේදී නිවසේ මුලින්ම බත්පත බෙදුවේ පවුලේ අප්පච්චිටයි. එයින් පසුව පිරිමි දරුවන්ට. සාමාන්‍යයෙන් අම්මා ඇත්නම් කාලා නැත්නම් හිත හදා ගන්නා චරිතයක්. දරුවන්ගේ බඩ කට පිරුනානම් එයින් තෘප්තියට පත් වෙනවා. ඒත් සමාජ විද්‍යාඥයන්ගේ පෙන්වා දීමට අනුව පවුලේ හැම දනාම එකතුව එකම වේලාවක ආහාර ගන්නවා නම් වඩාත් හිතකර බව පෙන්වා දෙනවා. ඔවුන් ඒ ගැන කියන්නෙත් නිකම්ම නොව කරුණු කාරණා ඇතුවයි.

අද පවුල කියන්නේ ඇත්තටම විතැන් වුන ඒකකයක්. පිරිමි දරුවන්ට අන්තර්ජාලය එහෙම නැත්නම් පරිගණකය නිසා කන්න බොන්න වෙලාවක් නැහැ. අම්මා කුස්සියටම සීමා වෙලා. අමතර පංති යන ගැහැණු දරුවෝ රාත්‍රියට ආහාරයක් ඇත්තේම නැහැ. මේ හැම දෙයකටම විසඳුමක් විදිහට පවුගේ හැම දෙනාම එක්ව එකට ආහාර ගත්තොත්….

අපතේ ආහාර යෑම වැලකෙනවා

පවුලේ එක් එක් අය එක් එක් වේලාවට බත් බෙදන විට ප්‍රමාණය ගැන තක්සේරු කරන්න බැහැ. අනේ මදි වුනොත් යන අදහස නිසා පමණ ඉක්මවා බෙදන නිසා අපතේ යෑම ඉහලයි. එක මේසයකදී තමන්ට අවශ්‍ය බත් ප්‍රමාණය බෙදා ගැනීමට ලැබෙන අවස්ථාව නිසා අපතේ යෑම් මගහරවා ගන්න ඉතාම පහසුයි.

ආහාර ප්‍රමාණය ගැන දැනගන්න

අද බොහෝ ගෘහනියන්ට තමන්ගේ පවුලට අවශ්‍ය විදිහට ආහාර පිලියෙල කරන ප්‍රමාණ ගැන දැණුවත් බක් නැහැ.. ඒත් පවුලේ අය එකට ආහාර ගන්නා විට මේ දැණුවත් බව ලැබෙනවා. හාල් හුණ්ඩු දෙකක් පවුලේ හතර දෙනාට සීමා වෙනවා නම් නිවසට පැමිනෙන අමුත්තන් එන විට අනේ හාල් කොච්චරක් ගන්න වෙයිද….යන චකිතය අවශ්‍ය නැහැ. එළවළු ගැන වුනත් එහෙමයි. එළවළු දෙසිය පණහ කී දෙනෙකුට ප්‍රමාණවත්ද….මේ දේවල් ගැන නිසි විදිහට දැන ගන්න ලැබෙන්නේ පවුලේ අය එකම මේසයක ආහාර අනුභව කළොත් පමණයි.

සුහද කතා බහ

අද කාර්යබහුලත්වය නිසා හැම දෙනාම තම තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හුදෙකලා වෙලා. ඒත් පවුලේ උදවිය එක්ව එකම වේලාවක ආහාර ගන්නවා නම් දවසේ තොරතුරු ගැන කතා බහ නොදැනීම සිදු වෙනවා. දරුවන්ගේ මානසික පීඩනයටත් වැඩියෙන්ම බලපාන්නේ මානසික හුදෙකලාව බව දැන් බොහෝ මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඔවුන්ට තමන්ගේ අදහස් අම්මාට තාත්තාට ඉදිරිපත් කරන්න වෙලාවක් උපයා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අම්මාට තාත්තාට වුනත් තමන්ගේ ගැටළු සහ උවමනාවන් ඉදිරිපත් කරන්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේම නැහැ. ඒත් ආහාර වෙනුවෙන් එකම මේසයක වාඩි වුනාම එකිනෙකා අතර ඇති වෙන කතා බහ මගින් ඔවුන්ගේ පවුලේ අදහස් උදහස් ඉබේටම හුවමාරු වෙනවා. මේ නිසා දරුවන් ගැන දෙමව්පියන් වගේම දෙමව්පියන් ගැන දරුවන් තුළත් අදහස් සන්නිවේදනය ඉතාම සරල සහ පහසු විදිහට සිද්ධ වෙනවා.

එකිනෙකාගේ රුචි අරුචිකම් තේරුම් ගත හැකියි

අද අම්මා බත් උයනවා. දරුවන් කනවාද නොකනවාද දන්නෙත් නැහැ. අම්මා උයන පිහන වැඩ කටයුතු අවසානයේදී රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙන්නේ පැය දෙක තුනක් එතැන රැ‍ඳෙනඅදහසින්. මම දවසම මහන්සි වෙලා විවේකයක් ගන්නේ මේ ටික වෙලාව විතරයි…අම්මා තමා වෙනුවෙන් සාධාරණත්වය ගොඩ නගන්නේ ඒ විදිහටයි. එයින් පසුව මුලුතැන්ගෙය අස්පස් කරන්න යන ඇය බත් විසි කර ඇති අන්දම දුටුවාම බත් ඉවත දමා තිබෙන විදිහට අම්මාට කේන්ති ඇති වෙනවා. ඒත් මේවා විසි කරන්නේ ඇයි කියල හිතන්න අවස්ථාවක් නැහැ. ඒ වුනත් එක මේසයක හැම දෙනාම එකවර ආහාර ගන්නවා නම් මම කැමැති ගොටුකොල සලාදයට…මම කැමැති මැල්ලුමට…මම කැඳට යනුවෙන් එක් එක් අයගේ රුචි අරුචිකම් ගැන අදහස් හුවමාරු වෙනවා. මේ නිසා එකම මේසයක ආහාර ගැනීම නිසා සන්නිවේදනය ගොඩ නගා ගැනීම බොහොම පහසුයි.

ආහාර ගැනීමේ සිරිත් ගොඩ නගන්න

එකම මේසයක ආහාර ගන්නා විට දරුවන්ගේ ආහාර අනුභවය පිලිබඳව සිරිත් ගොඩ නගන්න පහසුම භූමිකාවක් නිර්මානය වෙනවා. ඉදුල් අතින් හැන්ද වීදුරුව අල්ලන්න එපා යන න්‍යායාත්මක අවවාදයන්ට වඩා මේසයේදී ප්‍රායෝගිකව මේ ගැන ලබා දෙන පුහුණුව ඉතා වැදගත්. වතුර බොන විට ශබ්ද නගා බොන්න එපා…තලු ගසමින් ආහාර විකන්න එපා…මේ ගැන අවවාද ඉතාම සාර්ථක ලෙසින් ලබා දීමට කෑම මේසය ඔබට ඉතාම හොඳ පුටුවහලක් වේවි.

අම්මාට ආහාර පිසින්න උනන්දුව ඇති වෙනවා

අම්මා කෙනෙක් නිතරම ආහාර පිළියෙල කරන්නේ තමන්ගේ දරුවන් මුල් කර ගෙනයි. අම්මාගේ සතුට දරුවන් හොදින් ආහාර ගැනීම ගැන බලා සතුටු වීමයි. ඒ සතුටුින්ම ඇය කුසට වඩා හිත පුරවා ගන්නවා.එකම මේසයක ආහාර ගන්නා විට ඒ දෙස බලා සිටින අම්මාට තම දරුවන් වෙනුවෙන් තව තවත් රසට සහ ගුණයට ආහාර පිසින උනන්දුව ඇති වෙනවා. ඒ සිතුවිල්ල බොහොම සාධාරණයි. ඇය තමන්ගේ දවසම කැප කරන්නේ දරුවන් වෙනුවෙන් හොඳ දෙයක් ලබා දීමටයි. මේ හොඳ දෙය ඇයට හොඳ වුනාට දරුවන් දක්වන ප්‍රතිචාර දැනෙන්නේ කෑම මේසයේදියි. අම්මේ පොලොස් ඇඹුලක් හදන්න…මම හරිම ආසයි…අම්මේ කොස් මැල්ලුමක්…මේ විදිහට දරුවන්ගෙන් ලැබෙන ඉල්ලීම් නිසා අම්මාටත් ආහාර පිලියෙල කරන්න කිසියම් උත්තේජනයක් ලැබෙනවා. එහෙම නැතුව ඇය උයන පිහින දෙය වෙනුවෙන් කිසිම කෙනෙක් ප්‍රියතාවයක් හෝ උනන්දුවක් නොදක්වන විට ආහාර පිසිම අම්මාටත් උදාසීන කටයුත්තක් බවට පත් වෙනවා.

අද හැම දෙනොම කාර්ය බහුලබව ඇත්ත. ඒත් දවසේ අඩුම වශයෙන් කැදැල්ලට එන කුරුල්ලන් වගේ පවුලේ සියලු දෙනාම නිවසට එකතු වෙනවා. එවන් අවස්ථාවකදී හැම දෙනාම එකම මේසයක , එකම වේලාවක අආහාර ගන්නවා යනු ඇත්තටම පවුල යන සංකල්පය ගොඩ නගා ගැනීමට ඉතාම හොඳ තෝතැන්නක් ඔබටත් නොදැනීම කෑම මේසයේදී නිර්මානය වෙනවා.

දරුවාගේ හිස වැදුණොත් කරන්න ඕනේ දේ දන්නවද?

පුංචි දරුවෙක් වැටුණම අම්මලා හරියට කලබල වෙනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය අපි වැඩිපුරම දකින්නේ ඒ අවස්ථාවේදී දරුවාගේ හිස වැදුණොත් තමයි. ඇත්තටම එහි අවදනමක් නැත්තේ නෑ. මොකද මිනිස් සිරුරේ ප්‍රධාන පාලක මැදිරි ලෙස හඳුන්වන්න පුළුවන් අපේ මොළයට හිස වැදීම හේතුවෙන් හානි විය හැකි අවස්ථාත් තිඛෙන නිසා. නමුත් මෙවැනි දරුණු තත්ත්වයක් ඇති වීමට නම් දරුණු ලෙස හිස වැදීමක් විය යුතුයි. කෙසේ වුවද මේ පිළිබඳව මව්පියන් දැනුවත් වීම වඩාත් වැදගත් වෙනවා.

සාමාන්‍ය හිස වැදීමකදී,

එතරම් උස් නොවූ ස්ථානයකින් දරුවා ඇද වැටීමකට ලක්වී හිසේ වැදුණු ස්ථානය තඩිස්සි වන්නේ හිස තදින් වැදීමකදී හිස වටා සමෙහි ඇති රුධිර නාලිකාවලට හානි වීමෙන් රුධිරය සම මතුපිටට එකතු වීම නිසා හිස් කබලත් සමත් අතර ඉදිමුමක් ඇති වීමෙනි. මේ තත්ත්වය එතරම් භයානක තත්ත්වයක් නොවන අතරම දිනකින් දෙකකින් මගහැරී යයි. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවන අතරම ඇතැම් මව්වරුන් අයිස් තබා  තැවීම, බටර් ගැල්වීම වැනි දේට පුරුදුව සිටී.

දරුණු හිස වැදීමකදී, එනම් ඉතා ඉහළ ස්ථානයකින් ඇද වැටීමකදී,

  • මොළය ආවරණය වී ඇති ඩූරා පටලයත් මොළයත් අතර රුධිර වහනයක් ඇති වුවහොත් එය පෙර සඳහන් කළ පරිදිම භයානක තත්ත්වයකි.
  • මොළය තුළ සිදුවන තෙරපුමක් නිසා පහළට තද වීම හේතුවෙන් කුඩා මොළය නම් වූ කොටස සුශුම්නාවට තද වීමෙන් දරුවා ජීවිත අවදානමකට පවා ලක්විය හැකිය.
  • හිස වැදුණු පසු තඩිස්සි වීමකින් තොරව හිස් කබල ඇතුළතින් පිපිරීමට ලක් විය හැකිය.
  • හිස අභ්‍යන්තරයේ තඩිස්සි වීම් ඇති විය හැකිය

හිස වැදීමකින් පසුව දවසක් පැය 24ක් නිරෝගීව සිටි දරුවෙකු,

  • වේගයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම
  • හෘද ස්පන්දනය වේගවත් වීම
  • හිසේ වේදනාවක් ගැන විටින් විට පැවසීම
  • ඇවිදින ආකාරයේ වෙනසක් පෙන්වීම
  • ඇඬිම
  • වමනය/ක්ලාන්ත ගතිය/වලිප්පු තත්ත්වය
  • නාසයෙන්/කටින්/කනින් අවර්ණ දියරයක් ශ්‍රාවය වීම

අංශභාග තත්ත්වය වැනි ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඒවා අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවන අවස්ථාවකදී පෙන්නුම් කරන ලක්ෂණ බැවින් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු වේ.

ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවෙකු රෝහල්ගත කළ විගස අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇත්දැයි නිශ්චිතවම හඳුනා ගැනීමට ස්කෑන් පරික්ෂණ සිදු කර, අවශ්‍ය වුවහොත්, ශල්‍යකර්මයකට යොමු කර රුධිර කැට ඉවත් කරයි. මෙවැනි තත්ත්වයකදී රුධිර වහනය හේතුවෙන් ස්නායු තෙරපුමට ලක් වී ස්නායූවලට හානි සිදු විය හැකිය.

  • රුධිර කැටිය සිර වන පැත්තට විරුද්ධ පස දෑත් දෙපා අප්‍රාණික වීම
  • කථනය හා සම්බන්ධ ස්නායූවලට හානි වීම හේතුවෙන් ගොතය ඇති වීම
  • රුධිර වහනයක් හිස පිටුපසින් සිදුවුණි නම් දෟෂ්‍යාබාධ ඇති වීම
  • දීර්ඝ කාලීනව ආබාධිත තත්ත්වයට පත් වීම

තදින් හිස වැදුණු දරුවෙකු රෝහල් ගත කරන තෙක් ලබාදිය යුතු ප්‍රථමාධාර,

සාමාන්‍ය හිස වැදීමකදී :
  • පිරිසිදු රෙදි කඩකට අයිස් දමා ගෙඩි ගැසුණු පෙදෙස විනාඩි 20 පමණ වරින් වර තැවිය හැකිය. අවශ්‍ය නම් පැය දෙක තුනකට පසු නැවත අයිස් තබන්න.
හිස වැදීමකින් පසු:
  • පැයක් දෙකක් ගත වන තුරු නිදි කරවීමෙන් වළකින්න
  • වමනය/ක්ලාන්තය ඇත්නම් වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න
හිස පැලී තුවාල වී ඇත්නම් :
  • පිරිසිදු රෙදි කැබැල්ලකින් ආවරණය කරන්න
  • අයිස් තබා හෝ රුධිර වහනය අවම කරන්න
  • තුවාල තුළ ගල් කැබලි/වීදුරු කටු ඇත්නම් ඒවා ඉවත් කිරීමට යාමෙන් වළකින්න
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යා අංශයේ ජ්යෙෂ්ඨ ලේඛකාධිකාරී , වෛද්‍ය එම්. එන් ජයවර්ධන හා සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පුහුණු වෛද්‍ය මහේෂ් කුඹුකගේ යන වෛද්‍යවරුන් සමග සකසන ලද ලිපියකි.