Home Blog

බබා කථා කරන්න පරක්කුයි..

දරුවෙක් වචන උච්චාරනයේ ආරම්භය එක් එක් දරුවාට සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවනි.සෑම දරුවෙක්ම එකම වයසකදී වචන උච්චාරණය කිරීමට පටන ගන්නේ නැහැ. සමහර අවස්ථාවලදී  ඔබේ වයසේ දරුවෙක් ඉතා හොදින්  වචන උච්චාරණය කරද්දී ඔබේ දරුවා වචන උච්චාරනයේ ප්රමාදයක් තිබෙනවා නම් ඔබ ඒ ගැන කලබල වෙනවා ඇති.

දරුවන්ට වචන උච්චාරණය කරන වයසක් තිබෙනවාද…?

සාමාන්යයෙන් දරුවෙකුට මාස 12 ක් 15 ක් පමණ වෙන විට බබා, මමා, පපා වගේ අකුරු දෙකේ වචන කියන්න උත්සාහ ගන්නවා. එතැනින් පසුව අවුරුදු දෙකක් ගතවෙද්දී වචන දෙකක් ගලපලා වාක්යක් ගොතා ගෙන  කියන්න පුළුවන් වෙන්න ඕන. ඒවගේම දරුවාගේ වයස අවුරුදු 4-5 වගේ සම්පූර්ණ වෙද්දී වචන කිහිපයක් කතා කරමින් කතාවක් කියන්න උත්සහ ගන්න තත්ත්වයට එනවා මේ වයස පරාසයේදී දරුවාගේ වචන උච්චාරනයේ ප්රමාදයක් තිබෙනවා නම් දෙමව්පියන් විදිහට ඔබ සැලකිලිමත් වීම වැදගත් 

දරුවාගේ කථන හැකියාව වර්ධනය වෙන්නේ කොහොම…?

දරුවෙක් කතා කරන්න වඩාත් පොළඹවන හේතු තිබෙනවා. පවුලක දරුවන් කීප දෛනක් සිටින විට වැඩිමහල් දරුවන් සමග හැදෙන වැඩෙන විට දරුවාගේ කථන හැකියාව ඇති වෙනවා. කථන හැකියාව ඇති වෙන්නත් යම් උත්තේජනයක් අවශ්යයි.

අද දවසේ බොහෝ දෙමව්පියන් කාර්ය බහුලයි කියමින් දරුවා සමග කථා කිරීමට වේලාවක් නැහැ. ගෙදර සියලු වැඩ කරගෙන ළමයත් බලාගෙන ඉන්නවා නම්, එයාට ළමයා එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. එතකොට ඒ අම්මලා කරන්නේ රූපවාහිනියක් හරි ටැබ් එකක් තියෙනවා නම් ඒකේ නර්සරි රයිම් එකක් දාලා දීලා තමාගේ වැඩ කරගෙන යනවා. හැබැයි ඒකෙන් ළමයෙකුගේ කථන හැකියාවක් බලාපොරොත්තු වෙන්න බැහැ.දරුවෙකුගේ කථන හැකියාව උත්තේජනය වීමට නම් දෙපැත්තෙන්ම සන්නිවේදනය අවශ්ය වෙනවා.

සමහර විට දරුවා කථා කළත් මව්පියන්ගේ පැත්තෙන් ප්රතිචාර නැති වෙනවා. එහෙම වුනාම දරුවා ඇහුම්කන් දුන්නත් අදහස් ප්රකාශ කිරීමට උත්සාහ කරන්නේ නැහැ.

මොළයේ වර්ධනය…

උපතේ පටන්ම දරුවෙකුගේ වර්ධනයේ විවිධ අවස්ථාවන් තිබෙනවා. දණගානවා..ඇවිදිනවා..ඒ වගේම කතා කිරීමට පටන් ගනන්වා. මේ සිදුවීම් සමග මොළයේ වර්ධනය සම්බන්ධතාවයක් දක්වනවා. ඒ විතරක් නොවෙයි, දරුවා උපත ලබන විට මොළයට ඔක්සිජන් සැපයුම ප්රමාණවත් නොවුනොත් යම් යම් ආබාධ ඇති වෙනවා. කථනයේ ඇති වෙන ප්රමාදයටත් මොලයේ වර්ධනය බලපෑමට ඉඩ තිබෙනවා.

ශ්රවණ ආබාධ..

දරුවෙකුට ශ්රවණය පිළිබඳ ගැටලු ඇති විට කථනයේ ගැටලු ඇති වීමට පුලුවනි. සමහර විට ජානමය හේතු නිසා දරුවන් බිහිරි වෙන අවස්ථාවන් තිබෙනවා. මව්පියන් දෙදෙනාම බිහිරි වුනොත් දරුවා බිහිරි වීමේ අවදානමක් තිබෙනවා. ඒත් බොහොම අවමයි. මේ හැරුන විට බාල කාලයේදී මොළයේ  උන රෝග ඇති වීමෙන් ශ්රවණ ස්නායුවට සිදු වෙන ආබාධ නිසා කථන ආබාධ ඇති වීමට පුලුවන්.

තිර සහිත උපකරණ 

මුලින් සඳහන් කළ අන්දමට දරුවෙකුට කථන හැකියාවන් දියුනු වීමට නම් අන්තර් සන්නිවේදනයක් අවශ්යයි. ඒත් අද දවසේ ටැබ්, ජංගම දුරකථන වැනි විද්යුත් උපාංඟ  භාවිතයට පෙළඹීම නිසා දරුවා පවුලේ සාමාජිකයන් සමග හෝ කථා බහ කිරීම අඩුයි. ඔවුන් නිතරම ගනු දෙනු කරන්නේ මුලින් සඳහන් කළ විද්යුත් උපාංඟ  සමගයි.අද විද්යාත්මක අධ්යනයන් මගින් පෙන්වා දෙන අන්දමට මේ විදිහට විද්යුත් උපාංග සමග ගණුදෙණු කරන දරුවාගේ කථනය වෙනුවෙන් දිව හුරු වෙන්නේ නැහැඅමෙරිකාව සහ බ්රිතාන්යයේ ළමා රෝග විශේෂඥවරුන්ගේ සංගමය මගින් අවුරුදු දෙකට වඩා අඩු දරුවන්ගේ  තිර කාලය (Screen Time) පැය බින්දුවක් විදිහට සදහන් කරනවා.  පවුලේ අය එක්ක කරන වීඩියෝ කෝල් එකක් හෝ  දෙමව්පියන්ගේ අධීක්ෂණය සහිතව ලබාදෙන සුළු වෙලාවකට පමණක් සීමා කිරීම වැදගත්.

ඔටිසම් රෝගී තත්ත්වය 

දරුවෙක් කථා කිරීමේ ප්රමාදයක් ඇති විට එය ‘‘ ඔටිසම් ““ රෝග තත්වය නිසාද කියන සැකය මව්පියන්ට ඇති වෙනවා. නමුත් කථන ප්රමාදය ඔටිසම් රෝගී තත්වයේ එක් රෝග ලක්ෂණයක් පමණයි.ඔටිසම් දරුවන්ගේ තවත් රෝග ලක්ෂණ තිබෙනවා.

  • ඇසට ඇස බලන්නේ නැහැ,
  • තවත් අය සමග  ගැවසෙන්න කැමති නැහැ,
  • තනියෙන් ඉන්න කැමතියි. 
  • ඇස්වලින්වත් සම්බන්ධයක් තියා ගන්න කැමති නැහැ.
  • එකම දේ නැවත නැවත  කිරීම

නමුත් දරුවා කතා කිරීමේ පමාවක් තියෙනවා නම්, සම වයසේ දරුවන් සමග බලන විට ළමයි එක්ක බලනකොට ලොකු පමාවක් තියෙනවා කියලා සුදුසුකම් ලත් ළමා රෝග විශේෂඥවරයෙකුට පෙන්වන්න. වෛද්ය පරීක්ෂන මගින් දරුවාගේ සැබෑ රෝගී තත්ත්වය ගැන විනිශ්චයකට පැමිණීමට පුලුවන්..

ද්විභාෂා ප්රගුණ කිරීමට උත්සාහ දැරීම 

දරුවෙකු එක් භාෂාවක් ප්රගුණ කිරීමට පෙර ඒ දරුවාට තවත් භාෂාවක් හුරු කිරීමට යාම ද කථන හැකියාව අවම වීමට බලපාන ප්රධාන ගැටලුවක් .තමන්ගේ ළමයට ඉක්මනින් ඉංග්රීසියෙන් කතා කරන්න උගන්වන්න. නිවසේ ඉන්න වෙලාවට මව්පියන් ඉංග්රීසියෙන් කතා කරනවා. දවසේ පැය හත අටක් දරුවා ඉංග්රීසි කතා කරන්න බැරි මිත්තණිය එක්ක හරි, නිවසේ වැඩට සිටින සේවිකාව එක්ක ඉන්නකොට ඒ ළමයා කතා කරන්නේ සිංහලෙන්.

අම්මලා සිංහලෙන් කතා කරන්නේ නැති හින්දා ළමයි දෙමළ භාෂාවෙන් කතා කරනවා. මොකද ඒ ළමයි බලාගන්න ඉන්න පුද්ගලයෝ හොඳට ගනුදෙනු කරන්නේ දෙමළ භාෂාවෙන් නිසා ඔවුන් ළමයට ඒවා කියලා දෙනවා. උදාහරණයක් විදිහට ගත් විට, දවසේ වැඩි කාලයක් පුටුවට, ළමයා ‘පුටුව’ කියලා, අම්මා හවස ගෙදර ඇවිල්ල කියනවා ‘චෙයාර්’ කියලා. ඒ ළමයා කල්පනා කරනවා මේකට මම පුටුව ද නැත්නම් චෙයාර් ද කියන්න ඕන කියලා. ඔය දෙකටම වඩා හොදයි මම කතා නොකර ඉන්න එක ඒ වගේ ළමයි තුළ දකින්න ලැබෙන ලක්ෂණයක්.

“අපි ඒකට කියනවා ‘බයිලින්ගුවල් කන්ෆියුෂන්’ හෙවත් භාෂා දෙකක් අතර ඝට්ටනයක් ළමයගේ මොළයේ ඇති වෙනවා, ගෙදර හැමෝම හැම වෙලාවෙම ඉංග්රීසි කතා කරන්න ඕන. එක භාෂාවක් ප්රගුණ කර ගත්තට පස්සේ තමයි දෙවන භාෂාව උගන්වන්න ඕන. නැත්නම් ඒ ළමයා එක භාෂාවක් හෝ කතා නොකර සිටින්න ඉඩ තියෙනවා

මේ අන්දමින් බලන විට දරුවෙකුගේ කථන ප්රමාදයක් තිබෙනවා නම් ඒ සදහා බලපාන විවිධ හේතු තිබෙනවා. ඒ නිසා දරුවෙකුගේ කථනය පිලිබ ප්රමාදයක් තිබෙනවා නම් ඒ සදහා සුදුසුකම් ලත් වෛද්යවරයෙකු වෙත යොමු විමත් වැදගත්.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මහාචාර්ය මනෝරි ගමගේ

ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්ය

දකුණු කොළඔ ශික්ෂණ රෝහල

Screen Time නිසා දරුවා මානසික අසමතුලිතතාවයට පත් වෙනවා.

දරුවන්ගේ මානසික වර්ධනය ගැනදෙමව්පියන් බොහොම උනන්දුයි. දරුවන්ගේ ඉගෙණුම් කටයුතු තුල  ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීම ගැන දෙමව්පියන් නිරන්තරව වෙහෙසෙනවා. නමුත් අද වෙන විට දරුවන්ගේ මානසික සමතුලිතතාවය බිඳ වැටෙන තත්වය නිසා බොහෝ  දෙමව්පියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීමේ ප්‍රවනතාවයක් ඇති වී තිබෙනවා. ඒ ගැන සඳහන් කරන විට අද වෙන විට දරුවන් අතර ඉගෙනුම් දුර්වලතාවයන් පමණක් නොව  දැඩි ලෙසින් ආවේගශීලී දරුවන් ගැන දෙමව්පියන් නිතරම පසුතැවිල්ලට පත් වී සිටිනවා. 

දරුවෙක් නලවා ගනීමට එහෙම නැත්නම් බත් ටික කවන්න මව්පියන් සෑහෙන අරගලයක යෙදෙනවා. එවැනි අවස්ථාවක දරුවා අතට ජංගම දුරකථනයක වීඩියෝවක් හෝ වෙනත් යමක් දරුවාට බලන්න දීමෙන් තාවකාලිකව ඒ ප්‍රශ්නයට මව්පියන් විසින් විසඳුම් ලබා ගන්නවා. නමුත්…විද්‍යුත් තිර සමග දරුවාට ගනු දෙනු කිරීමට ඔබෙන් අවසරය ලැබෙනවා නම් ඒ ගැන මීට පසුව දෙවතාවක් සිතන්නත් අවශ්‍යයි.ඔබගේ අද දවසේ පහසුව මුල් කර ගෙන දරුවන්ට මෙම තාක්ෂණික මෙවලම් සමග සිත් සේ හැසිරෙන්නට ඉඩ දුන්නත් එහි වන්දිය අනාගතයේදී ඔබට වගේම ඔබේ දරුවාටත් විඳින්නට වෙන බවත් කනගාටුවෙන් වුනත් සඳහන් කිරීම වැදගත්.

දරුවන්ගේ මානසික වර්ධනයට

දරුවන්ගේ මානසික සමතුලිතතාවය බිඳ වැටෙන තත්වයක් දැන් බිහිවෙමින් පවතිනවා. මානසික සමතුලිතතාවය බිඳ වැටීමට බලපාන ප්‍රධාන කරුණු කීපයක් ගැන ලෝකයේ අවධානය යොමු වී තිබෙනවා.

ඇමරිකාවේ ළමා  රෝග විශේෂඥ සංගමය සඳහන් කරන අන්දමට දරුවන් ජංගම දුරකථනය..ටැබ්ලොයිඩ් එක… රූපවාහිනිය එහෙම නැත්නම් පරිගණකය සමග ගණුදෙණු කිරීමට ලබා දිය යුතු කාලය ගැන නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.  අපි එය Screen time යනුවෙන් හඳුන්වනවා.

අවුරුදු දෙකට අඩු දරුවන්ට කිසිසේත්ම සුදුසු නැහැ.

අවු 2- 8 දක්වා දිනකට උපරිම පැය 2 යි.

අවුරු 8- 13 දක්වා දිය හැකි උපරිම කාලසීමාව පැය 4 යි.

පනින රිලවුන්ට ඉනිමං තැබීමක් වුණා…

දරුවන් තිරය සමග ගණුදෙණු කිරීම  පැනවූ තහංචි ගැන දෙමව්පියන් විසින් යම් වගකීමකින් කටයුතු කිරීමට වෙමින් සිටි යුගයක කොවිඩ් වසංගතය නිසා ඒ පරිසරය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වුණා. දරුවන් ජංගම දුරකථනය ඉල්ලමින් මව්පියන් සමග අරගල කළ යුගය අන්තිමට නිමා වුණා. කොවිඩ් කාලයේදී ඇති වුන මාර්ගගත අධ්‍යාපනය නිසා දරුවාට ජංගම දුරකථනය ලබා දීමට අකමැත්තෙන් වුනත් දෙමව්පියන්ට සිදු වුණා.

අධ්‍යාපනයේදී පනයේදී නැතුවම බැහැ කියමු…

පසුගිය කාලවකවානුවේදී පැවැති පරිසරය තුළ මාර්ගගත අධ්‍යාපනයට විද්‍යුත්  තිරයක් සමග සම්බන්ධ වීම අත්‍යවශ්‍ය වුන බැව් ඇත්ත. ඒ වගේම අධ්‍යාපනය වෙනුවෙන් එය කළ හැකි අනිවාර්ය දෙයක් බැව් ඇත්ත. නමුත් එතැනින් ඔබබ්ට ගොස් දරුවන් මේ මාධ්‍ය සමග රැඳී සිටින පරිසරයක් නිර්මානය වීමට දෙමව්පියන් විසින් ඉඩ තැබිය යුතු නැහැ.

අපේ දරුවා හරිම ආවේගශීලීයි..

අනේ මන්දා අපේ පරම්පරාවේ කිසිම කෙනෙකුට නැති ආවේග අපේ දරුවන්ට තියෙන්නේ..සමහර විට ඔබම දරුවන් මුල් කර ගෙන මේ විදිහට සඳහන් කරන්නත් ඇති. ඇත්තටම අද දවසේ දෙමව්පියන් විදිහට ඔබේ අතීතය ගබිං කණ්න් සොයා ගිය … මුහුදු වෙරලේ සෙල්ලම් කළ  ..ඇලේ දොලේ පැන පිහිනා ගිය සුන්දර අතීතයක් ඔබට තිබුනා. පරිසරය සමග ඔබ බෙහෙවින් බද්ධව සිටියා. පාසල් ඇරී නිවසට පැමිණි පසුව ඔබ එළිමහනේ සෙල්ලම් කලා. කන්ඩායමක් විදිහට ක්‍රීඩා  කළා. මේ වගේ අහිංසක ක්‍රියාකාරකම් වලින් ඔබ විනෝදය උපයා ගත්තා. සතුටු වුණා.

ඒත් අද දවසේ

නමුත් අද දවසේ දරුවන් වෙනුවෙන් සෙල්ලම්  කිරීමට කාලයක් සහ පරිසරයක් නැති බැව් ඇත්ත. ඒ නිසාම රූපවාහිනිය එහෙම නැත්නම් ජංගම දුරකථනය සමග දරුවන් ගණුදෙණු කිරීම ඔබත් බොහොම සාධාරණ විදිහට දකිනවා ඇති. නමුත් මේ මාධ්‍ය මගින් දරුවාගේ මොළයට ලැබෙන උත්තේජය එතරම් සුන්දර නැහැ. ඒ නිසා දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය  වෙනස් වෙනවා. මේ අන්දමින් තිරය ඔස්සේ ලැබෙන විකෘති වූ උත්තේජනය නිසා ඉගෙනීමේ අපහසුතාවයන්, අධි ක්‍රියාකාරී දරුවන් සහ ඔටිසම් වැනි දරුවන් අපට හමු වෙනවා.

එදා ගහ කොළ සතා සිවුපාවා සමග ගැටෙමින් ඔබගේ ළමා කාලයේ ලබා ගත් ඒ සුන්දර වින්දනය අද දරුවන්ට නැහැ. ආවේගශීලීත්වය, වෛරය, ද්වේශය වැනි භාවාත්මක සිතුවිලි කුපිත කරවන දර්ශන අනුව දරුවාගේ මානසිකත්වයත් හැඩ ගැසෙනවා. ඒ නිසාම ආදරය, කරුණාව, දයාව සහ මෘදු බව වැනි සුන්දර සිතුවිළි දරුවාගේ හදවතේ වගා වෙන්නේ නැහැ. ඒ නිසාම එදා දවසේ දරුවෙකු තුලින් අප නොදුටු ආවේගශීලිත්වය, දරුණු සිතුවිලි. සහජීවනයක් නොමැති වීම, ඉගෙනුම් කටයුතුවල ඇති මන්දගාමී බව සහ ඔටිසම් වැනි තත්වයන් දකින්න ලැබෙනවා.

විලාසිතාවක් බවට පත් වීම

ඒ නිසා දරුවන් පරිසරය හා සම්බන්ධ කරන්න. ඔවුන්ට නිදහසේ දුවන්න…පනින්න…කුරුල්ලන්ගේ නාදය ඇසෙන්න ඉඩක් ලබා දෙන්න. මේ ස්වභාවික උත්තේජනය නිසා දරුවන්ගේ මනසේ ඇති වෙන සන්සුන්බව ඔවුන්ගේ ජීවිතයට බෙහෙවින්ම වැදගත්. වයස අවුරුදු අවු 2- 8 දක්වා වූ දරුවෙක් තිරය සමග කටයුතු කිරීමේ උපරිම කාලය දිනකට පැය 2 කට සීමා විය යුතු වුනත් මෙවැනි කටයුතු නිසා ඒ කාලය අනවශ්‍ය අන්දමින් දීර්ඝ වෙන රටාවක් නිර්මානය වී තිබෙනවා. ඒ නිසා මාර්ගගත අධයාපනයේදී වුනත් තිරය සමග කටයුතු කරන කාලසීමාවන් ගැන නිර්නායකයන් ගොඩ නැගීම ගැන අධ්‍යාපන විද්‍යාඥයින්ගේ  අවධානය දැන් යොමු වීමට කාලය එළැඹ ඇති බැව් කිව යුතුයි.

 

අලුත උපන් දරුවෙකුගේ උපන් බර අඩුවීම ගැටලුවක්ද?

සොදුරු පැතුමන් ඉටු වී කිරිකැටියා බිහිවුනාම අම්මෙක්ට තාත්තෙක්ට තියන සන්තෝශය කියලා නිමක් නෑ. වචන වලට පෙරලගන්න බැරි ඒ සුන්දර අත්දැකීම සමගින් දහසක් ප්‍රශ්න හා ගැටලු අම්මට හා තාත්තට එනවා. ඒ අතර මව්කිරි තමයි ප්‍රධාන වෙන්නෙ. ගර්භණී කාලයේදී සැහැල්ලුවට හිතුවට බබා ලැබුනට පස්සෙ ඒ අත්දැකීම ලබන කොට තමයි එකේ අමාරුකම දැනෙන්නෙ. ඒත් මේ අභියෝගය ජයගැනීමයි අපේ හැම අම්මා කෙනෙක්ගෙම අභිප්‍රාය.

බබාගේ උපත් බරට අනුව බර වැඩිවීම පවත්වාගෙන යාම ඔබටත් අභියෝගයක් වුණාද?

අලුත උපන් බබාගේ උපත් බරට අනුව දරුවාගෙ බර වැඩිවීම පවත්වාගෙන යාම ඇතැම් මව්වරුන්ට ගැටලුවක් වෙනවා. ඒ ඇතැම් විට දින කීපයක් යනකොට දරුවගෙ බර අඩු වෙන නිසයි. මේක සාමාන්‍ය දෙයක්ද? බැලු බැල්මට හිතෙන්නෙ ඉපදෙන කොට පෙකණිවැල හරහා ලැබුණු පෝෂණ සම්බන්ධතාවය නතර වුණාට දැන් ඊට වඩා අපිට දැනෙන තරමටම හා පෙනෙන තරමටම මව්කිරි දෙනවනෙ බබාට. එහෙම පෝෂණයක් ලබා දෙද්දිත් බර අඩුවෙන්නෙ ඇයි කියලා අම්මාට හිතෙන්න බැරි නැහැ.

ඒක ඇත්තටම හිතුනට බර වැඩි නොවෙන්න විදියක් නෑ කියලා ඒකටත් විශේෂිත වූ කාරණා තියනවා. හැබැයි එහෙමයි කියලා ලොකු ප්‍රමාණයක් බර අඩු වෙන්න බැහැ.

බබාගේ බර ඇත්තටම අඩුවෙනවාද? එහෙම වෙන්නෙ ඇයි? කොපමණ ප්‍රතිශතයකින් අඩු විය හැකිද?

ඔව් ඇත්තටම බර අඩුවෙන්න පුලුවන්. හැබැයි ශරීර බරෙන් 10% වඩා අඩු ප්‍රමාණයක්. ඒක සාමාන්‍යයි. ඒක සාමාන්‍ය නම් ඇයි එහෙම වෙන්නෙ කියන එකටත් හේතුවක් තියෙන්න ඕනනෙ. මේවා තමයි ඒකට හේතු.

බබාගේ ගැටලු

බබා උපන් විගස මවගේ කිරි හොයනවා. එයා කිරි හෙව්වම අම්මා උත්සහ කරනවා කිරි දෙන්න. මේ මව්කිරි දීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන අම්මගෙ වගේම දරුවගෙත් යම් යම් හේතු මේ මව්කිරි ලබාදීමෙ කටයුත්තෙදි ගැටලු සහගත වෙන්න පුලුවන්.

අම්මගෙ ගැටලු

ප්‍රසූතිය සදහා අම්මා හුගක් වෙහෙසිලා. ඒ අමාරුවත් එක්කම දරුවා බිහිකරන්න පහසු වෙන්න අම්මගෙ යටිබඩ ප්‍රදේශයේ කැපුමක් කරලා ඒකට මැහුම් දාලා

ඒ අතරෙම දරුවා ලැබුණම හිතට සංන්තෝශයක් වගේම බයක් සාංකාවක් එක්කම වගකීම් වැඩිවෙලා. 

මෙන්ම මේ වගේ කරුණු නිසා අම්මා ලබන අත්දැකීම් එක්ක අම්මට මව්කිරි දීමේ කටයුත්තට නිවැරදි හා නිසි ලෙස සම්බන්ධ වීමට ගතවන කාලය වගේම  අම්මට රෝහලේදී හෝ නිවසේදී ලැබෙන සහයෝගය හා දැනුවත් වීමත් මේකට හේතුවක් වනවා. මේ කරුණු කීපයම එකවරම ගලපා ගැනීම අපහසු හෙයින් මව්කිරි ලබාදීමේ ක්‍රියාවලිය හා නිවැරදිව එකතුවෙන්න අම්මට ගතවන කාලය අනුවත් දරුවගෙ බර වැඩිවීම තීරණය වෙනවා. ඒ වගේම නිරන්තරයෙන් විවේචනයට බදුන් වෙන හෝ සහයෝගය එකමුතුව නොමැති පවුල් ඒකක අතුලෙත් අම්මට නොලැබෙන සහයෝගය හෝ අගය කිරීම නිසා පහසු ලෙස මව්කිරි දීම පවත්වාගැනීම අපහසු වීම නිසා දරුවාට ලැබෙන කිරි ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම නිසාත් බර වැඩිවීම අඩු වෙන්න පුලුවන්. ඒ වගේම මවට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම නිසාත් එහෙම වෙන්න පුලුවන්. ප්‍රසූතියෙන් පසු මවට වැඩිහිටියන්ගෙන් එල්ලවන බලපෑම ආහාර තහංචි හා ඇවතුම් පැවතුම් තහංචි නිසා මවට ඇතිවන මානසික පීඩනය හේතුවෙන් කිරි නිශ්පාදනයට වගේම කිරි දීමටත් ඒක බලපෑමක් වෙන්න පුලුවන්.

කොහොමත් දරු උපත සිදුවී පැය භාගයක් ඇතුලත මව්කිරි පටන් ගැනීම මගින් මව්කිරි නිශ්පාදනය උත්තේජනය වීම වගේම කිරි ස්‍රාවය වීමත් හොදින් වෙන්න පුලුවන්. ඒ සදහා මව්වරුන්ට අවස්ථාව සැලසීම වගේම දැනුවත් කර තිබීම හා උනන්දු කිරීම මගින් යහපත් මව්දරු සම්බන්ධතාවයකට ඉඩහසර ලැබීම මගින් මේ ගැටලුව අවම කරගන්න පුලුවන්.

ඒ වගේම දරුවා මව්කුස තුලදී එයාගෙ සියලු පෝශණය වැදෑමහ මගින් සිදුවුනත්…දැන් එයාට කිරි උරාබීලා පෝෂණය සලස්සගන්න සිද්ධ වෙනවා. ඒ වගේම එයා හිටි පරිසරයෙන් දැන් සිටින පරිසරයට හැඩගැසීමටත් දරුවාට සිද්ධ වෙනවා. දරුවාගේ ආමාශය කුඩායි, ඒ ආමාශයට කිරි අල්ලන ප්‍රමාණයත් අඩුයි. ඒ වගේම ඒ ලබාගන්නා ආහාර දිරවීමේ යාන්ත්‍රණයක් පටන් ගන්නත් ඕනෙ. එතකොට මේ ක්‍රියාවලි සියල්ල එකවර සිදුවීමේදී යම්කිසි ගැටලු ඇතිවිය හැකියි. එසේ හෙයින් මුල් දිනවල දරුවා ලබාගන්න කිරි ප්‍රමාණය අඩුවෙන්න පුලුවන්.

වර්ධනයට බලපෑ හැකි දරුවාගේ තිබිය හැකි වෙනත් රෝග තත්ත්ව

  • දරුවා අඩුබර දරුවෙකු වීම
  • හෘද රෝගී මෙන්ම ආහාර මාර්ග පද්ධතියේ ක්‍රියාකාරිත්වය යටිබඩ ගැටලු
  • විදලිත තල්ල වැනි මුඛය ආශ්‍රිතව ඇතිවන විකෘතිතා
  • ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසා එන්සයිම ක්‍රියාකාරිත්වයෙ ඇතිවිය හැකි ගැටලු

දරුවාගේ වර්ධනයට බලපෑ හැකි මවගේ තිබිය හැකි ගැටලු

  • මව්කිරි යාන්ත්‍රණය උත්තේජනය වුවද මව්කිරි දීම සදහා මව්දරු සම්බන්ධතාව ස්ථාපිත කරගැනීමට මව ලබන පුරුදු පුහුණුව නිවැරදි නොවීම කිසා දරුවාට ලැබෙන කිරි ප්‍රමාණය අඩු මෙන්ම වෙනස් වීම
  • මවගේ නොදැනුවත්කම මගින් පියවුරු මාරුකරමින් දිගටම කිරි ලබාදීම නිසා මුල්කිරි පමණක් පෙවීම හේතුවෙන් අවශ්‍ය පෝශණය නොලැබීම
  • කිරි ලබාදීමේදී පැය 2.5 ත් 3 අතර පරතරය තබාගනිමින් මෙන්ම එක කිරි වේලක් සදහා විනාඩි 20 කාලයක් ගත කිරීම මගින් සම්පූර්ණ කිරි ප්‍රමාණය ලැබුන හොත් බර වැඩිවීමද ප්‍රමාණවත් පරිදි සිදුවන අතරම එසේ නොවුනහොත් කාලපරතරයන් හා වරකට දෙන කාල සීමාව පිලිබදව නිරන්තර මව්වරු දැනුවත් නොවීම මත මුල් දින 10 තුලදී බර වැඩිවීම හොදින් පවත්වාගැනීමට නොහැකි විය හැක.

කෙසේ වුවද සාමාන්‍ය පරිදි බලපාන කරුණු වලදී බර අඩුවීම මුල් දින 10 තුලදී සිදුවන හේතු අවම කිරීම අපහසු හෙයින් හා මුල්දින වලදී පවතින මවගේ අපහසුතා මෙන්ම දරුවා මව්කිරි වලට ස්ථාපිත කර ගැනීමේ ගැටලු, මවට අත්දැකීම් ලබාගන්නා තුරු ලෙසින් සලකා බැලූ කල මුල් දින වල බර අඩුවීමක් සිදුවීම අසාමාන්‍ය නොවන බව වැටහෙනු ඇත. එහෙත් මෙම ක්‍රියාවලිය මුල් දින 10 තුලදී සිදුවිය යුත්තෙ උපන් බරින් 10% ක් දක්වා පමණක් විය යුතු අතරම එයද දින 14 වන විට උපත්බරම නැවත ලගාවිය යුතුවනවා. එසේ නොවන්නේ නම් හෝ මුල්දින 10 තුල බර වැඩිවීම 10% ඉක්මවා යන්නේ නම් වෛද්‍ය උපදෙස් මත එය විමසා බැලීමත් අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමවේද වෙත යොමු කිරීමත් අත්‍යවශ්‍ය වනවා.

අත්දැකීම් හෝ ඉන්ද්‍රීය ක්‍රියාකාරිත්වයේ දුර්වලතා මත හෝ එය නිවැරදි කලයුතු තත්ත්වයක් වන හෙයින් දරුවාගෙ බර අඩුවීම  පිලිබදව විමසිල්ලෙන් කටයුතු කිරීමත් ගර්භණී කාලය තුල මව්වරු දැනුවත් කිරීමට මව්කිරි සැසිවලට මව්වරු සහභාගී කරවාගැනීමත් නිවැරදි හා ප්‍රායෝගික ලෙසින් දැනුම ලබාදීමත් මගින් මෙවැනි ගැටලු නිවැරදි ලෙසින් නිරවුල් කරගැනීමට හැකිවනවා ඇති.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

දරුවා වෙනුවෙන් කිරි එරෙන අම්මලාගේ පෝෂණයට කෘතිම ආහාර පාන අවශ්‍යමද?

සෑම ක්ෂීරපායී ජිවී කොට්ඨාසයකම ආරම්භ ආහාරය මව්කිරි. ඒ සෑම ක්ෂීරපායී සත්ත්වයකුගේම සැකස්ම සැකසී ඇති අන්දමයි. දරුවෙකු හෝ ක්ෂීරපායී සත්ත්වයකු ගැබ්ගත් මොහොතේ පටන් ගර්භාෂයේ සිටින ඒ සත්ත්වයාගෙ පෝෂණය මවගේ රුධිරය මගින් ලැබෙන පෝෂණය මගින් සැපයෙනවා. ඒ වැදෑමහ එක් කෙළවරක් මවගේ ගර්භාෂ තුලත් අනෙක් කෙලවර දරුවාගෙ පෙකණියත් අතර සම්බන්ධ වීමෙන්. මෙය මවගේ ගර්භාෂයට සම්බන්ද වී මවගේ රුධිර නාළ මගින් රැගෙන එන කොටස් රැගෙන පෙකෙනි වැල හරහා දරුවාට රැගෙන ගොස් ගර්භාශය තුලදී දරුවා පෝශණය කරනු ලබනවා. එසේ සැකසී නිවැරදි නිසි පෝශණය මගින් නිරෝගී දරුවෙකු මෙලොවට බිහිවනවා. බිහිවන ඒ දරුවාට එතන් පටන් ජීවය පවත්වා ගැනීමට පෝශණය සලසාලන්නෙ මවගේ ස්තන ග්‍රන්ථි තුල නිශ්පාදනය වන මව්කිරි මගින්. ගර්බනී වූ අවස්ථාවේ පටන් ස්තන ග්‍රන්ථි තුල මව්කිරි නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වන්නෙ ඒ නිසයි.

මව්කිරි ස්තන ග්‍රන්ථි තුල නිෂ්පාදන වූවාට මේ සදහා ප්‍රධාන බලපෑම වන්නෙ ගර්භනී වීමත් සමග මවගෙ ශරීරය තුළ සිදුවන හෝමෝනමය ක්‍රියාවලියයි. එසේ හෙයින් මව්කිරි නිෂ්පාදනය, කිරි ස්‍රාවය වීම යනාදී මේ ක්‍රියාවලි දෙකම පාලනය කරනු ලබන්නෙ ඔක්සිටෝසීන් හා ප්‍රෝලැක්ටීන් නම් හෝමෝන දෙවර්ගයයි. මේ හෝමෝන උත්තේජනය නිසා මව්කිරි නිෂ්පාදනය වීමත් ස්‍රාවය වීමත් සිදුවනවා. මේ හෝමෝන උත්තේජනයෙ ඊලග වැදගත් පියවර වන්නෙ උපන් දරුවා කිරි උරා බීමයි. මේ ක්‍රියාවලිය සිදුවූ වහාම මොළයට ලැබෙන පණිවුඩයක් මගින් කිරි නිෂ්පාදනය කිරීමේ හා ස්‍රාවය වීමේ ක්‍රියාවලිය සිදුවෙනවා. මව්දරු සම්භන්දතාව නිවැරදි හා සාර්ථක නම් මේ ක්‍රියාවලිය හොදින් සිදුවනවා. එවිට මව්කිරි යාන්ත්‍රණය සාර්ථක ලෙස සිදුවනවා. ඒ නිසා මෙහිදී වැදගත් වන්නෙ මව්කිරි දීම සදහා මවතුල ඇති සූදානම, ක්‍රියාත්මක වීම හා එය නිවැරදි ලෙස සිදුවීමයි. ඒ මගින් ප්‍රශස්ථ මට්ටමට මව්කිරි ලබාදීමේ ක්‍රියාවලිය සිදුකිරීමේ හැකියාව ලැබෙනවා. ඒ සදහා බාහිර බලපැම් ලෙස මවගේ පෝශණය, මානසික මට්ටම වගේම සමාජීය උදව් වගේම මවගේ අධිශ්ඨානශීලී බවද හේතුවනවා.

මවක් මානසිකව ශක්තිමත් වන්නට ඒ මවට හොද මානසික පෝශණයක් වගේම ක්‍රියාශීලීව වැඩකිරීමට හැකි දැනුමත් උනන්දුවත් වගේම කුසලතාවයත් අත්‍යවශ්‍ය වනවා. මේ සදහා පූර්ව ගර්භනී සමය තුල ලැබෙන දැනුම යහපත් සමාජීය ප්‍රතිචාර මගින් මවගේ මව්කිරි දීමේ අධිශ්ඨානය නංවාලන්නටත් එයට හොදින් මුහුණ දීමටත් හැකියාව ලැබෙනවා. එසේ ශක්තිය ලබාදීමේදී පවුලේ අයගෙන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් වගේම සමාජීය වශයෙන් අසල්වැසි හිතමිතුරන් වෙතින් ලැබෙන පිළිගැනීම, උනන්දුව අගය කිරීම වගේම ඇය පිලිබදව දක්වන යහපත් ආකල්ප ඇයට ශක්තියක්.

මේ ශක්තිය ලැබීමට ඇයගේ මව්කිරි යාන්ත්‍රණය පවත්වාගන්නට ඇයට මහගු පිටුවහලක් වනවා. එසේ වුවද පෝශණය පමණක් මීට කෙලින්ම බලනොපාන නමුදු මවට යහපත් අයුරින් ජීවිතයට මුහුණ දීමට නම් ඇය කායිකව හොද පෝශණයකින් සිටිය යුතුයි. එසේ හෙයින් ගර්භණී කාලය තුලදී වගේම කිරිදෙන කාලය තුලත් ඇගේ පෝශණය පිලිබදව සැලකිලිමත් වීම වැදගත්. සාමාන්‍ය ජීවිතයට අමතරව ඇයට අවශ්‍ය වන අමතර පෝශණය සදහා ආහාර තුලින් සුවිශේෂී මැදිහත් වීමක් ඇයට ලබාදිය යුතුයි. එසේ හෙයින් ඇයට අමතර ශක්තියක් සදහා අවශ්‍ය ආහාර මෙන්ම පේෂී අස්ථි ශක්තිමත් කරමින් හොද රුධිර සැපයුමක් පවත්වාගැනීමට අවශ්‍ය කරන වර්ධක ආහාර මෙන්ම විටමින් කැල්සියම් යකඩ වැනි පෝශක අඩංගු ආහාරත් ඇයගේ ආහාරයට නිරතුරුවම එක්කර ගත යුතුයි. මෙම ක්ෂුද්‍ර පෝශක හා ලවණ විටමින් අඩංගු ආහාර අපේ ආහාර සංස්කෘතිය තුල බොහොමයක් ස්වාභාවිකවම තිබෙනවා. ඒ අපේ ආහාර විවිධත්වය තුල අපි ආහාරයට ගන්නා විවිධ ආහාර වර්ග තුල මේ පෝශක කොටස් අඩංගුව තිබෙනවා. එසේ හෙයින් ස්වාභාවිකවම අපි ලබාගන්නා ආහාර තුලින් කිරි මවගේ පෝශණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙ හැකියාව තිබෙනවා. ඒ ආහාර කාන්ඩ පිලිබදව මූලික අවබෝධයකින් පසුවීම තුලින් එම ආහාර ආහාරයට එක්කර ගැනීමෙ හැකියාව අපිට ලැබෙනවා.

එසේ හෙයින් පරිසරය තුලින් අපට ලබාගත හැකි බොහෝ ආහාර මගින් ආහාරයට අවැසි විවිධ පෝශක කොටස් අපට ලබාගත හැකිවනවා. යම්සේද ඒ මගින් අපේ පෝශණ අවශ්‍යතා පිරිමසා ගැනීමටද අපිට හැකියාව ලැබෙනවා.

ආහාරයේ විවිධත්වය ඇතිකර ගැනීමට විවිධ ආහාර අවශ්‍ය වන්නෙ යම්සේද විවිධ පෝෂක කොටස් සදහා විවිධ ආහාර කාණ්ඩ ලබාගැනීමට පෙළබීම වඩා වැදගත්. එසේ වුවද ස්වාභාවිකව ලබාගත හැකි ආහාර පිලිබදව විමසිලිමත් වීම වඩා වැදගත්.

ආහාර කාන්ඩ තුල වඩාත් සුවිශේෂී පෝෂක කොටස් හැටියට ප්‍රෝටීන වගේම කැල්සියම් වැනි ලවණත් හේතුවක් වනවා. ඒවා බොහෝවිට අඩංගුව ඇත්තෙ සත්ත්ව ආහාර තුල වීමත් විශේෂත්වයක්. එසේ හෙයින් අවශ්‍ය කරන ප්‍රෝටීන් හා කැල්සියම් බහුල ලෙස අඩංගු ආහාර ලෙස මාලු, කිරි ආහාර ආදිය හැදින්විය හැකියි. එසේම මාලු අතර වඩාත්ම සුදුසු වන්නෙ පොඩි කෙදි සහිත මාලු. ඒ වගේම කිරි ආහාර තුලද බහුලව ප්‍රෝටීන් හා කැල්සියම් අඩංගුව තිබෙනවා. එසේ හෙයින් කිරි මවක් සදහා කිරි ආහාර ලබාදීම සුදුසු වෙනවා. එසේ වුවද කිරි ආහාර ස්වාභාවිකව අපිට නැවුම් දියර කිරිලෙස ලබාගත හැකිනම් එය වඩාත් සුදුසු වනවා. එය ස්වාභාවික මෙන්ම නැවුම් බවින් යුක්ත නිසා එහි ඇති පෝෂණ ගුණයද ඉහළයි. මේ බව තේරුම් ගැනීම වඩාත් වැදගත්. ගර්භණී බාවය සදහා හෝ කිරිදෙන මව සදහා  යැයි සුවිශේෂී කිරිපිටි වර්ගවලට වඩා පෝශණ ගුණය සැරැකි ස්වාභාවික නැවුම් දියර කිරි ලබා ගැනීම වැදගත් වන්නෙ එය ප්‍රායෝගික ලෙස මෙන්ම ස්වාභාවික ලෙසද අපිට පෝශණ ගුණය ලැබෙන නිසයි.

ඒ වෙනුවෙන් සැකසූ යැයි සම්මත දේවල් ලබාගැනීම මානසිකව බලපාන කරුණක් පමණක් වන හෙයින් එම මිත්‍යාවෙන් මිදී ස්වාභාවික ආහාර එකතුකර ගැනීම වඩාත් වැදගත්.

යහපත් දිවි පැවැත්මකට පෝෂණීය ආහාර වැදගත් වන බව සත්‍ය වුවද එම ආහාර ස්වාභාවික වස විසෙන් තොර වීමත් සෞඛ්‍යට බලපානු ලබනවා. එසේ ආහාර තෝරාගැනීමේදී එම කරුණු ගැනත් සැලකිලිමත් වීම වටිනවා.

සුවිශේෂී කාලපරිච්ඡේදයක සිටින අයකු වුවද ස්වාභාවික සමබල ආහාරයක් වැදගත් වන්නෙ යම්සේද එය ලබාදීම වැදගත් වනවා සේම කායික පෝෂණය පිලිබදව සැලකිලිමත් වීම මානසික පෝෂණයටද හේතුවක් වනවා. එසේ හෙයින් මවගේ මානසික යහපැවැත්ම උදෙසා ගනුලබම තීරණවලදී මවට සාපේක්ෂ ලෙඩ තීරණ ගැනීම වැදගත් වන්නෙ ඒ සියල්ල ඇයට බලපෑම් එල්ලකල හැකි බැවිනි. සියලු පෝෂණයන් සපිරි ආහාර ලබාදී කායික පෝෂණය පවත්වා ගනිමින් කටයුතු කෙරෙමින් සිටින අවස්ථාවක හෝමෝන ක්‍රියාවලියක් නිසා සිදුවන මව්කිරි යාන්ත්‍රණය සදහා වෙනත් ආදේශක ආහාරවලට බලපෑම් එල්ල කල නොහැකි නිසා එවැනි ඒ වෙනුවෙන්ම සැකසූ ආහාර යැයි ලේබල් ගහගත් ආහාර මවට නොලැබිම මගින් මව්කිරි යාන්ත්‍රණයට බලපෑමක් එල්ල නොවේ. එසේ හෙයින් පූර්ව ගර්භණී සමයේ පටන් මේවා පිලිබදව මව්වරු දැනුවත් කිරීමත් මව්වරු දැනුවත් වීම මගින් අනවශ්‍ය මිත්‍යාවන් වලින් මිදී දිවිය ගතකිරීමට මව්වරුනට හැකිවනවා.

ජීවය පවත්වා ගැනීමටත් කායික මානසික යහපැවැත්ම උදෙසා පෝශණය විසින් කෙරෙන කාර්යභාරය තේරුම්ගෙන ආහාරයේ අවශ්‍යතාවය තේරුම්ගෙන කටයුතු කිරීම මගින් අත්‍යවශ්‍ය පෝශක කොටස් අඩංගු ආහාරයේ ගුණාත්මක භාවය තේරුම්ගැනීමටත්…ඒවායෙ අවශ්‍යතා පිලිබදව සැලකිලිමත් වීමත් ජීවිතයට මහත් තේරුමක් අත්කර දෙනවා.

සුවිශේෂී අවස්ථාවන් වලදී අන් අවස්ථාවලට වඩා සංවේදීව කටයුතු කිරීමත් සැමදෙනාම එකමුතුව කටයුතු කිරීමෙ වැදගත්කමක් ඇති හෙයින් ඒ ඒ අවස්ථාවලට ගැලපෙන අයුරින් මැදිහත්ව කටයුතු කිරීමට අප උනන්දු විය යුතු අතරම ඒ ඒ අවස්ථාවලට ගැලපෙනවා යැයි සැකසූ ආහාර ගැනීමට වඩා ස්වාභාවික ආහාරයට හුරුවීම වැදගත් වනවා සේම ඒවා ජීවිත පුරුදු බවට පත්කර ගැනීමත් වඩාත් වටිනාකමක් ගෙන දෙනවා.

එසේ හෙයින් මේ කරුණු සලකා බැලීමේදී ගම්‍ය වන්නෙ ස්වාභාවික ආහාර සපිරි අපි විසින් කෘතිම ආහාරයන්ට මුල්තැනක් නොදී අපේ ආහාර සකස්කර ගැනීමට උනන්දු වීම…ජිවිතයේ සෑම කාලයකදීම වැදගත්වන බවයි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

ගැහැණු දරුවන් වැඩි වියට පත්වන්න සුදුසුම වයස කුමක්ද?

ගැහැණු හෝ පිරිමි දරුවන් ඕනෑම අයකුගේ ජීවිතය තුළ සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලියක් ලෙස මල්වර වීම හැදින්විය හැකිය. ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයටම පොදු කාරණාවක් වන මල්වර වීම එනම් වැඩිවියට පත්වීම විශේෂිත ලෙස සළකනු ලබන්නෙ ගැහැණු දරුවන් සම්බන්ධයෙන් වීම සුවිශේෂි කරුණකි. 

උපන් දරුවෙකු ඇවිදීම, බඩ ගෑම ආදී ලෙසින් සුවිශේෂී වූ අවධි පසුකරමින් ගමන් ගන්නා මගේ ළදරු වියෙන් ළමා වියට පියමන් වී ඉන් යොවුන් වියට පිවිසෙන විට දෙමාපියන්ගෙ මිලග බලාපොරොත්තුව දරුවන්ගේ මල්වර වීමයි. ගැහැනු දරුවෙකුගේ මල්වර වීම හෙවත් වැඩිවියට පත්වීම ලෙස හදුන්වන්නෙ පළමු ඔසප් වීමෙ දිනයයි.

සෑම දරුවෙකුගේම ජීවිතයේ මුල් අවධිය ළදරු අවධිය ලෙසත් අවුරුදු 1 – 5 අතර කාලය පෙර පාසල් වලින් 5 සම්පූර්ණ වූ පසු ළමාවියටත් එළබෙනු ලබන අතර අවුරුදු 10 – 19ත් අතර කාලය නව යොවුන් විය ලෙසින් හදුන්වනු ලබනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව වයස අවුරුදු 1019ත් අතර කාලය යොවුන් විය ලෙස හදුන්වනු ලබනවා.

පුද්ගලයකුගේ ජීවන චක්‍රය තුළ ළදරු වියේදී සීඝ්‍ර වර්ධනයක් පෙන්වන්නේ යම් සේද යෞවන අවධියද සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනු ලබන කාල සීමාවක් වනවා. යොවුන් වියේ ආරම්භය ලෙස එනම් යෞවනෝදයට පත්වීම එනම් මල්වර වීම නව යොවුන් වියේ වැදගත් සංධිස්ථානයක් මෙන්ම පරිවර්තන කාලසීමාවක් බවටද පත්ව තිබෙනවා. මෙම මල්වර වීමද හඳුනා ගනු ලබන්නෙ පලමු ඔසප්වීම  සිදුවන නිසයි. මෙය මගින් දරුවන්ට කායිකව මානසිකව හා සමාජයීයව ඇතිවන වෙනස්වීම මගින් දරුවන්ගෙ මෙම කාලසීමාව හදුනාගත හැකිවනවා.

දරුවකුගේ වැඩිවියට පැමිණීමට එම දරුවාගෙ පෝශණ තත්ත්වයද බලපෑමක් ඇතිකරනු ලබනවා සේම දෙමාපිය ආරය මගින් රැගෙන ආ ජානමය ලක්ශණ හේතුකොට ගෙනද වැඩිවියට පත්වනු ලබන කාලය තීරණය කරනු ලබනවා. මව්පිය උරුමය මගින් ලැබූ ජානමය සාධක අනුව දරුවාගෙ වැඩිහිටියන්ගෙ පරම්පරා තුල වැඩිවිය පත්වීමට ලක්වූ වයස් මෙම දරුවාටද ඒ ලෙසින් පිහිටීමට හේතුව වනුයේ එය ජානමය වශයෙන් සිදුවන බලපෑම නිසයි. එමෙන්ම දරුවාගෙ ශරීරය තුල සිදුවන හෝමෝන ක්‍රියාවලින්ද මේ සදහා බලපානු ලබනවා. මොළයේ පිටියුටරි ග්‍රන්ථිය මගින් ස්‍රාවය කරනු ලබන හෝමෝන මගින් දරුවාගෙ ප්‍රජනන පද්ධතිය හා සම්භන්ද හෝමෝන ස්‍රාවය කිරීමට කරනු ලබන බලපෑම හේතුවෙන්ද දරුවන් යෞවනෝදයට පත්වනවා. මේ සදහා හදුනා ගතහැකි මූලික ලක්ෂණ වශයෙන් ද්වීතීක ලිංගික ලක්ශණ පහලවීමද දැකිය හැකියි.

නවයොවුන් වියේ ආරම්භයේ පළමු ලිංගික ලක්ශණ ඇතිවීම ලෙස ඩිම්බකෝශ හා ගර්භාශයේ වර්ධනය සිදුවනවා. එසේම මේ ක්‍රියාවලිය සමගම එයට බාහිරව පෙන්නුම් කරනු ලබන ලක්ෂණ ලෙසින්  ද්වීතියික ලිංගික ලක්ෂණ පහළ වෙන්නට ගන්නවා. මේ ලක්ෂණ පහළ වීම මගින් යෞවනෝදයට පත්වීමේ පෙරනිමිති පහළ කෙරෙනවා. එම ලක්ෂණ බාහිරට පෙන්නුම් කිරීම මගින් වැඩිවියට පත්වන වයස හදුනාගත හැකිවනවා.

එම ලක්ෂණ ලෙසට, 

  • ගැහැණු දරුවන්ගෙ සිරුරේ හැඩය වෙනස් වීම
  • උසින් බරින් වැඩිවීම
  • පියවුරු විශාල වීම
  • උකුල් පලල් වීම
  • කටහඩ මිහිරි වීම
  • ලිංගේන්ද්‍රියන් සහ අත් යට රෝම ඇතිවීම දැක්විය හැකියි.

මෙම ලක්ශණ ද්වීතික ලිංගික ලක්ශණ ලෙස හදුන්වනු ලබන අතර එම ලක්ශණ මගින් මල්වරවීමට ආසන්න බව පෙන්නුම් කරනු ලබන හෙයින් දෙමාපිය වැඩිහිටියන් මේ කාලසීමාව තුලදී වැඩි උනන්දුවකින් හා උවමනාවකින් මේ දෙස විමිසිලිමත් වෙනවා. සාමාන්‍යයෙන් මේ කාලය දරුවන්ගේ ජීවිතයේ අවුරුදු 11 – 12 වන කාලයක් වනවා. බොහෝ දරුවන් මේ වයස් වලදී වැඩිවියට පත්වෙනවා. 

නමුත් තවත් කොටසකගේ මෙම කාල සීමාව මීට වඩා පසුව සිදුවනවා. වසය අවුරුදු 16 – 17 දීත් වැඩිවියට පත්වූයේ නැත්තම් එය ප්‍රමාද වීමක් ලෙස හදුනාගනු ලබන අතරම ඒ පිළිබදව සැලකිලිමත්ව සොයාබැලීමේදී පවුල් ආරය විසින් ලැබුණු ජානමය ලක්ශණයක් ලෙස හෝ පිටියුටරි ග්‍රන්තියේ ක්‍රියාකාරිත්වයේ ගැටලුවක් ලෙසද මෙය හඳුනාගත හැකිවෙනවා. මෙය සාමාන්‍යයෙන් හඳුනාගත හැක්කෙ එනම් මල්වරවීම ප්‍රමාද බව හදුනාගත හැක්කෙ වයස අවුරුදු 14 වනවිටදීයි. එනම් ද්වීතික ලිංගික ලක්ශණ පහලව නොතිබීම මගිනුයි. එමෙන්ම දරුවන්ට කුඩා කල සිටම මුහුණ දීමට සිදුව ඇති ආතති තත්ත්වයන් හෝ හෝමෝන ක්‍රියාවලි වල දුර්වලතා හෝ වෙනස්කම් පිලිබිබු කරනු ලබන මුහුණේ රෝම වර්ධනය වීම, තද හිසරදය, මත්පැන් සදහා ඇබ්බැහි වීම මෙන්ම උදරාබාධ පැවතීම හේතුවෙන්ද විය හැකියි.

එසේම අන්තරාසර්ග පද්ධතියෙ දුර්වලතා හෝ ගැටලු නිසා ශරීරය තුල ක්‍රියාත්මක වන දුර්වල හෝමෝන ක්‍රියාකාරිත්වයද මේ සදහා තදින්ම බලපානු ලබනවා.

මෙවැනි තත්ත්වයකදී මෙය හදුනා ගැනීම සදහා සායනික පරීක්ශණ සදහා යොමුකිරීම වැදගත්වන හෙයින් ඒ සදහා දරුවන් යොමු කිරීම කලයුතු වනවා.එහිදී දරුවාගෙ උස,බර,මෙන්ම උසට සරිලන බර බැලීමත්,රුධිර පරීක්ෂාව මගින් රුධිරයේ හිමොග්ලොබින් එනම් HB බැලීමත් TSH නම් හෝමෝන බලපෑම බැලීමත් සිදු කරයි.මේ මගින් පෝශණ අවශ්‍යතා නොසැපිරීම හෝ හෝමෝන ක්‍රියාවලිවල බලපෑම හදුනාගැනීම සිදුකරනු ලබයි.

එමෙන්ම දීර්ඝ කාලිනව රෝගයකින් පෙලෙන දරුවන්ටද වැඩිවියට පත්වීම ප්‍රමාද වීමේ ප්‍රවණතාවක් පවතී. එමෙන්ම Turner syndrome නම් රෝගී තත්ත්වයේදී දරුවාගෙ ඩිම්බකෝෂ ක්‍රියාකාරීත්වය නිසියාකාරව සිදුනොවීම හේතුකොට ගෙන මල්වර වීම ප්‍රමාද විය හැකි වනවා මෙන්ම කලාතුරකින් හදුනාගත හැකි මොලයේ ගැටිත්තක් එනම් පිළිකාවක් වැනි තත්ත්වයකදීද මෙසේ ප්‍රමාද විය හැකියි.

මෙසේ වැඩිවියට පත්වීම ප්‍රමාද වීමට හේතුව පෝෂණය අඩුකම හෝ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයක් හේතුකොටගෙන නම් මල්වර වීම ප්‍රමාද වීම පසුව බලපෑම් ඇති නොකරන නමුදු ඩිම්බකෝෂ වල හෝ හෝමෝනමය ගැටලුවක් නිසා තම අනාගත දිවියේ ගැටලු ඇතිවිය හැකියි. මෙවන් අවස්ථාවලදී ස්ත්‍රී හෝමෝන ලබාදීම මගින් ඔසප් සිදුවීම සදහා හෝ ආර්තවය සදහා බලපෑම ඇතිකල හැකිවුවද අනාගතයේ ගැබ් ගැනීමෙ ක්‍රියාවලිය සිදුවීම සදහා එමගින් බලපෑමක් ඇතිකල හැකියි.

දරුවෙකු වැඩිවියට පත්වීම ප්‍රමාද වූ විට එය ඉක්මන් කරවාගැනීමට ඖෂධ නොමැති අතර කුඩා කල සිටම දරුවාගෙ පෝශණය පිලිබදව සැලකිලිමත් වී නිසි පෝශණයක් හා උසට සරිලන බරක් පවත්වාගැනීම සිදුකල යුතුවන අතරම රෝගී තත්ත්වයන් සදහා නිසි ප්‍රතිකාර ලබාදීමත් මගින් දරුවාගෙ වර්ධන අවදීන් නිසිපරිදි ක්‍රියාත්මක වීමට හැකි ලෙස කටයුතු කිරීමද වැදගත් වේ. එමෙන්ම ප්‍රමාද වේ නම් කල් ඇතුව ඒ සදහා වෛද්‍ය උපදෙස් සදහා යොමුකිරීම වැදගත් වේ.

මීට අමතරව සමහර දරුවන් අඩු වයසෙන් වැඩිවියට පත්වීමද දැකිය හැකිවනවා. මෙයට අධිපෝෂණයට බලපෑ හැකි අතරම  ආරේ එනම් පරම්පරාගත ලක්ශණයක් වියහැකි අතරම තවත් සමහර විටක දරුවාගෙ යම්කිසි රෝගී තත්ත්වයක් නිසාද මෙය විය හැකි හෙයින් මෙවන් දරුවන් වෛද්‍ය උපදෙස් වෙත රැගෙන යාම වැදගත් වනවා.

මෙය දරුවාගෙ අනාගතයට බලපාන අන්දම පිලිබදව වැඩිදුරටත් සොයාබැලීම වැදගත්වන්නෙ දරුවා යම් රෝගී තත්ත්වයකින් පෙලෙන්නෙ නම් විශේෂඥ වෛද්‍යවරයකුගෙ උපදෙස් මත රෝග විනිශ්චය සිදුකරවාගෙන ඒ සදහා නිසි ප්‍රතිකාර ලබාදීම දරුවාගෙ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමටද එය වැදගත් වන හෙයිනි. ඊට අමතරව මෙසේ අඩු වයසින් වැඩිවියට පැමිණීම නිසා දරුවාට පීඩනයක් දරන්නට සිදුවන හෙයින් ඒ පිළිබදව සිතා බැලීම වැදගත් වෙනවා. මෙසේ අඩු වයසකදී මල්වර වීම තුලින් දරුවා සම වයසේ අයට වඩා උස මහතින් වැඩිවීම, මාසිකව සිදුවන ඔසප් වීම ආදී කරුණු වලදී දරුවා එය දරාගන්නා අන්දම පිළිබදව වැඩිහිටි මැදිහත්වීම අවශ්‍ය වනවා.

මෙසේ සෑම ගැහැණු දරුවෙකුටම තම ජීවිතකාලය තුලදී  මුහුණ දීමට සිදුවන සුවිශේෂී සංසිද්ධියක් ලෙස මල්වරවීම හැදින්විය හැකිවනවා සේම එය එම ගැහැණු දරුවාගෙ මුලු ජීවිත කාලයටම බලපාන සිදුවීමක්. මෙය මොළයේ පිටියුටරි ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය මගින් ඩිම්බ කෝෂවල ක්‍රියාකාරිත්වය පටන් ගැනීම සමගම ආරම්භ වී ඒ සමගම සිදුවන ස්ත්‍රී හෝමෝන මගින් (ඊස්ට්‍රජන්,ප්‍රොජෙස්ටරෝන්) ශරීරය තුල ඇති කරනු ලබන වෙනස්වීම් සේම එම ක්‍රියාවලිවල බලපෑම හරහා දරුවාගේ සිතුම් පැතුම් පවා විපර්යාසයකට පත්වීම සිදුවේ. මෙය දරුවාට විඳ දරාගැනීමට හැකිවන කාල සීමාවකදී සිදුවීම මගින් දරුවා යහපත් ලෙස විඳ දරාගන්නවා සේම ඒ පිලිබදව අවබෝධයකින් මැදිහත්ව කටයුතු කිරීම වැඩිහිටි සැමගේද මනා වගකීමක් වනවා.

එසේම මේ ක්‍රියාවලියේ ඊලග ප්‍රතිපලය එම දරුවාගෙ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය දරුවෙකු බිහිකිරීමට හැකි තත්‍ත්වයට පරිනත වීමයි. දරුවන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය එහි ක්‍රියාකාරිත්වය පිලිබදව මෙන්ම දරුවෙකු පිලිසිද ගැනීම යන කරුණු පිළිබදවද දරුවන් දැනුවත් කිරීම වැදගත් වනවා සේම අනාගත ජයග්‍රහණ වෙනුවෙන් ජීවිතය ජයගන්නා අන්දම පෙන්වා දී නිසි මග පෙන්වීමද වැදගත් වනවා.

කෙසේ වුවද දරුවන් හා මව්වරු අතර පවත්වා ගන්න යහපත් සම්බන්ධතා මගින් දරුවන්ගේ ජීවිතවල මේ සුවිශේෂී සන්ධිස්ථානයන් වලදී ඒවාට හොදින් මුහුණ දීමටත් වඩා සාර්ථක ජීවිතයක් වෙත යාමෙ මගහසර හෙලි කර ගැනීමටත් දරුවන්ට ලැබෙන ශක්තිය අතිමහත් බැවින් සමස්ථ සමාජය විසින්ම දරුවන්ගේ වටිනාකම හදුනාගෙන කටයුතු කිරීමද වැදගත් වනවා. එසේ හෙයින් සෑම දරුවෙකුටම සතුටින් ජීවිතය ජයගැනීමටත් ජීවිතය සාර්ථක හා යහපත් ලෙසින් විද ගැනීමටත් ධෛර්ය ශක්තිය ලබාදීම එකසේ වැදගත් වනවා.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

යොවුන් දරුවන් වයසින් වැඩි විරුද්ධ පාර්ශවයට යොමු වෙන්නේ ඇයි?

අද වන විට අපේ සමාජය තුළ වාර්තා වන සිදු විම් ගත් කළ ඇස් කන් අදහා ගත ‍නොහැකි තත්ත්වයක් ඇති ව ඇති බව කාටත් නොරහසකි. අපේ පුංචි දරුවන්ට තම ජීවිතය අහිමි වන්නේ කිසිවෙකුත් නොසිතූ ආකාරයටයි. ඒ කෙසේ වෙතත් මෙහි මූලිකම හේතුව වැඩිහිටියන් දරුවන් පිළිබඳව හරිහැටි දැනුවත් නොවීමද යන්න ද සැක සැක සහිතය. දරුවන් තුළ ඇති වන ආශාවන් ඔවුන්ට නිවසින් ලැබිය යුතු ආදාරය කරුණාව දයාව ගැන වැඩිහිටියන් නොදැනුවත් වීම මේ සිදුවීම් වලට හේතු වනවාද යන්න පිළිබඳව අප සිතා බැලිය යුතුමය. විශේෂයෙන්ම නව යොවුන් වියේ දරුවන්ගේ ජීවිත යම් අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවාද යන්න සිතෙන මුත් යම් යම් අතවර වලට හැම දරුවෙක්ම ගොදුරු වනවාද යන්න ගැටලුවක්ව පවතී. ඒ කෙසේ වෙතත් දරුවන්ගේ වයස් සීමාවන් හා බැදුණු ඔවුන්ගේ ගති පැවතුම් පිළිබඳව වැඩිහිටි අපි දැනුවත් වීම ඉතාම වැදගත් වනු ඇත. 

මහාචාර්යතුමනි, මේ නව යොවුන් විය කියන්නේ කුමන වයස් සීමාවද?

අපේ රටේ පවතින නීතියට අනුව වයස අවුරුදු 18 ට අඩු දරුවන් අපි ළමයින් ලෙස හඳුන්වනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක වලට අනුව දරුවෙක් ලෙස හදුන්වන්නේ උපතේ සිට අවුරුදු 10 දක්වා වයස් කාණ්ඩයයි. නව යොවුන් විය ලෙස වයස අවුරුදු 1019 දක්වා දරුවන් අයත් වෙනවා. මේ නව යොවුන් විය නැවත කොටස් තුනකට වෙන් වෙනවා.

  • වයස අවුරුදු 10 සිට 13 දක්වා වයස් සීමාව – පූර්ව නවයොවුන් විය
  • වයස අවුරුදු 13 සිට 16 දක්වා වයස් සීමාව – මැද යොවුන් විය
  • වයස අවුරුදු 16 සිට 19 දක්වා වයස් සීමාව – අවසාන නව යොවුන් විය 

මහාචාර්යතුමනි, සෑම දරුවෙක්ම වැඩිහිටියෙකුගේ ගොදුරක් බවට පත් විය හැකිද?

අද වන විට වැඩිහිටි පුද්ගලයන් අතින් දූෂණයට ලක් වීම වැනි අපේ දරුවන් මුහුණ දෙන පීඩාකාරී ගැටලු සම්බන්ධව සිද්ධීන් විශාල ප්‍රමාණයක් සායනවලදී අපට අසන්නට ලැබෙනවා. මේ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී දකින දෙයක් තමයි ගුරුවරු සහ දෙමව්පියෝ හිතනවා මේක හැම දරුවෙකුටම වෙන්න පුළුවන් දෙයක් කියලා. ඒ නිසා ඔවුන් මවට/පියාට/ගුරුවරයාට දරුවාට අවශ්‍ය ආරක්ෂාව ලබා නොදුන් බවට චෝදනා කර ගන්නවා. නමුත් මේ තත්ත්වය එතැනින් එහාට ගිය තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් වයස අවුරුදු 13 සිට 16 දක්වා වයස් සීමාවේ එනම් මැද යොවුන් විය තර්ක විතර්ක ඉදිරිපත් කරමින් නීති රීති කඩා බිඳ දමමින් යන, යම් තාක් දුරකට ඉක්මනින් කෝප ගැන්වෙන වයස් සීමාව විදියට අපි හඳුන්වනවා. මේ ආකාරයට 2.5%5% අතර ප්‍රමාණයක් ආවේගශීලී ගති ලක්ෂණ පවතින දරුවෝ සිටින අතරම බොහෝ විට මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වලට මුහුණ දෙන්නෙ එවැනි දරුවන්. මොකද මේ දරුවන් යමක් පිළිබඳව සිතා බලා කටයුතු කිරීමට තරම් ඉවසිලිවන්ත නැහැ. උදාහරණයක් විදියට යම් කෙටි පණිවිඩයකට පිළිතුරු දීමට වුවත් ඔවුන් සුළු වෙලාවක් හෝ කල්පනාකාරී වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ආවේගශීලී දරුවන් අනාරක්ෂිත විය හැකියි.

මහාචාර්යතුමනි, එවැනි ආවේගශීලී දරුවන් කවුද?

ආවේගශීලි දරුවන් අතරත් තවත් කොටස් කිහිපයක් දැකිය හැකියි.

  • අඩු අවධානය ඇති දරුවන් – පාසැල් වැඩ කටයුතු කෙරේ වැඩි අවධානයක් නැති ආවේගශීලි වෙන දරුවන්
  • බෝඩර්ලයින් පෞරුෂත්ව ඌනතාවය ඇති දරුවන් – මෙවැනි දරුවන් කෝපගැනුවුණු විට අත කපා ගනිමින් තමාටම හානි කර ගැනීම, එක්වර ආදාර සබඳතා කිහිපයක් පැවැත් වීම වැනි ලක්ෂණ ඇති දරුවන්
  • කිසිදු ලක්ෂණයකින් තොරව ආවේගශීලි ගති ලක්ශණ මතුවෙන දරුවන්

මේ දරුවන්ට ඖෂධ ප්‍රතිකාර ලබාදිය යුතුද?

හැම දරුවෙක්ටම ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නැහැ. පාසලේ මනෝ උපදේශක ගුරුවරියව හමුවීම එවැනි තත්ත්වයකදී අපි මූලිකව කළ යුතුයි. 

මහාචාර්යතුමනී, වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියන තැන ඉඳලාද මන්දා අද වන විට අපේ ගැහැනු දරුවන් විඩිහිටි පිරිමි පුද්ගලයන් සමග සබඳතා පවත්වන ප්‍රවණතාවයේ වැඩි වීමක් පෙනී යනවා. එයට විශේෂ හේතුවක් තිබෙනවාද?

නව යොවු වියේ පසුවන දැරිවියන් තිදෙන‍නෙක් ගැබ් ගත් අවස්ථා එකම සතියක් තුළ සායනවලදී මට හමුවෙලා තියෙනවා. ඒ තත්ත්වයන් හරිම කණගාටුදායකයි. නමුත් එසේ මට හමුවුණු ඒ දැරිවියන් තිදෙනාම මේ සබඳතාවයන් ගොඩ නාගා ගෙන තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේයි. වසය අවුරුදු 28 පමණ වන තරුණයන් සමගයි. ඒ දැරියන් තුන් දෙනාම ඔවුන් සම්බන්ධය පටන් ගත්තේ වැඩිහිටියෙක් සමග බව දැන සිටියා.

මේ තත්ත්වයට මූලික හේතු ලෙස, 

  • පියා සමග මනා චිත්තවේග සම්බන්ධයක් නොමැති වීම

ඉහත දැක්වූ උදාහරණයට අයන් දියණියන් තිදෙනාගේම පියා නිවසේ රැදෙන්නේ ඉතා අඩුවෙන්. පියා සමග මනා චිත්තවේග සම්බන්ධයක් ගොඩ නඟා ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලැබී නැහැ. ඒ නිසා තාත්තා කියන හැඟීම ඔවුන්ගේ යටි හිතේ තැන්පත් වෙලා නෑ. අන්න එතකොට මෙවැනි දරුවන් එන අවදානම ගැන නොසිතා හදිසි තීරණ වෙත යොමු විය හැකියි.

  • මවගේ ප්‍රතිචාරය 

මවගේ ප්‍රතිචාරය මතත් දරුවෙකු මෙවැනි කරදරයන්ට ගොදුරු විය හැකියි. උදාහරණයක් ලෙස පෙම්වතා සමග කෑමකට, චිත්‍රපටයක් නැරඹීමට යන අවස්ථාවකදී රෑ වීම නිසා ගෙදර නිවසට පැමිණීමට බිය විය හැකියි. මව කෑ කෝ ගසන, පහර දෙන අයෙක් නම් දරුවෙක් ඔවුන්ගේ දේ මවගෙන් වසන් කිරීමට පෙළඹිය හැකියි. මව හා දියණිය අතර මනා සබඳතාවයක් ඇත්නම් මෙවැනි ගැටලු දුරදිය නොගොස් ඉතා ඉක්මනින් විසදී යනු ඇත. 

  • සමකාලීනයන්ගේ උත්තේජනය

සමකාලීනයන් අතර මෙවැනි වැඩි වයස් සම්බන්ධතා  අහන්න දකින්න ලැබීම නිසා මෙය සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිබෙනවා. සායනවලදි සමහර දරුවෝ කියනවා අපේ පන්තියේ තවත් ගොඩ දෙනෙක්ට මේ වගේ සම්බන්ධකම් තියෙන බව. අන්න ඒ ආකාරයට සමකාලීනයන්ගෙන් ලැබෙන උත්තේජනයත් මේ තත්ත්වයන්ට බලපානවා. 

මහාචාර්යතුමනි, මේ කුඩා වයසේදී මේ දරුවන් මෙවැනි සම්බන්ධතා වෙත යොමු වන්නේ කොහොමද?

මේ විදියට අපයෝජනයට ලක්වුනු දියණියන් සමග කතාකරද්දි අහන්න ලැබෙන දෙයක් තමයි අන්තර්ජාලය බොහෝ සෙයින් මෙවැනි ගැටලුවලට හේතු වෙලා තියෙන බව. උදාහරණ විදියට වට්ස් ඇප් මැසේජස් එකකින් වෙන්න පුළුවන්. මේ දරුවන්ට මේක ආරම්භයේදී වෙනසක් දැනුනත් ඒ හරහා ‍යම් දුරක් ගොස් සිටින නිසා ඇතැම් විට ඔවුන් ඒ ගැන සැලකිල්ලක් දක්වලා නැහැ.

දෙමාපියන් මෙවැනි දරුවන් සායන වෙත රැගෙන ඒමට මැලිකමක් දක්වන්නේ නැතිද?

ඇත්තටම මෙතන දරුවන් බොහොම අසරණ තත්ත්වයට පත්වන අවස්ථාවක්. දරුවන්ගේ ජිවිතයේ යම් ගැටලුකාරී අවස්ථාවක අමුත්තක් අවදානමක් පෙනෙන අවස්ථාවක ඒ දේ සම්බන්ධව කාත කරලා විසඳ ගත හැකි වටපිටාවක් දරුවාට ගොඩ නගා තිබීම දෙමව්පියන්ගේ කාර්යභාරයක්. මේ දේ ආරම්භ කළ යුතු වන්නේ දරුවාට වයස අවුරුදු 3, 4 කාලේදීමයි. කුඩා කාලයේදී දරුවා නාවද්දිම අවයව පිළිබඳව ඔවුන්ට දැනුමක් ලබා දිය යුතුයි. ප්‍රාථමික අධ්‍යාපනයට යොමු වෙද්දිම දරුවට සුදුසු හා නුසුදුසු ස්පර්ශය මොනවාද යන්න අවබෝධ කළ යුතුයි. එවිට දරුවා සහ දෙමාපියන් අතර පරතරය අවම වෙනවා. නව යොවුන් වියේදී ඇති වන මෙවැනි ගැටලු මව/පියා සමග කතා කිරීමට දරුවාට මගක් විවර වෙනවා. දෙමාපියන් දරුවන් සමග මේ ආකාරයට මනා චිත්තවේග බැදීමක් ඇති කරගැනීම තුලින් මෙවැනි තත්ත්වයන් වලක්වා ගත හැකියි. එසේ නොවුණු විට තමයි දරුවන් පාසැලේ ගුරුවරියට හොඳම යෙහෙළියට හෝ මේ ගැටලු ගැන පවසන්නේ. එතැනින් ඇතැම් විට විසදුමක් ලැබෙන්නත් පුළුවන්. පවතින තත්ත්වයට වඩා ගැටලුව උග්‍ර වීමටත් ඉඩ කඩ තිබෙනවා. 

මහාචාර්යතුමනි, මේ තත්ත්වය අවබෝධ කරවීමට දරුවන් අතරට මෙය ගෙන යා හැක්කේ කෙසේද?

  • පළමු ක්‍රමය

පළමුව ශිෂ්‍ය නායකයන් සහ පන්තියේ සිටින ජනප්‍රිය දරුවන් හරහා මෙය අනෙක් සිසුන් වෙත රැගෙන යායුතුයි. ඒ වගේම සතියකට වරක් දරුවන් සමග අඩුම තරමේ පැය  භාගයක කාලයත්වත් පරිපූර්ණ ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය/ කේන්තිය/ ඉවසීම/නවයොවුන් වියේ ගැටලු ගැන ගුරුවරු සකච්ඡා කිරීම ඉතාම වැදගත්. උදාහරණයක් විදියට පාසලේ ක්‍රිකට් කණ්ඩායමෙ නායකයා උදෑසන රැස්වීමේ විනාඩි 5 ඉවසීම ගැන කතා කලොත් දරුවො මේවා අහන් ඉන්නවා. 

  • දෙවන ක්‍රමය

පාසලේදී දරුවෙකුගේ අසාමාන්‍ය හැසිරීමක්/ආවේගශීලී ගති ලක්ෂණ ගුරුවරයෙක් පාසැලේදී දකිනවා නම් මේ පිළිබදව රජයේ වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරලා, මානසික උපදේශකයෙක් එක්ක කතා කරලා එහෙම නැත්තම් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 1926 කියන අංකයට කතා කරලා පුහුණු හෙද නිලධාදාරිනියකගේ උපදෙස් ලබා ගැනීම (පැය 24 පුරා ඔවුන්ගේ සේවය ලබා දෙනු ඇත) කළ හැකියි. 

  • තුන්වන ක්‍රමය

දරුවන් දවස පුරා කරන්නේ මොනවාද කියා දැනගත යුතුයි. උදාහරණයක් විදියට සායනවලදී අම්මලාගෙන් දරුවාගේ යාළුවන් තිදෙනෙක්ගේ නම් ඇහුවත් ඇතැම් අම්මලා දන්නේ නැහැ. දෙමව්පියන් අනිවාර්යෙන්ම දරුවන් ආශ්‍රය කරන යහළුවන්ගේ නම් ඔවුන් කාගේ කවුද ගති ගුණ පිළිබඳව දැනුවත් විය යුතුමයි. 

ළමා යොවුන් මනස පිළිබඳ මහචාර්ය, විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

 

නව යොවුන් දරුවන්ගේ වේගවත් වර්ධනය උදෙසා අත්‍යවශ්‍ය පෝෂණ අවශ්‍යතා

නව යොවුන් විය කියන්නේ සිරුරේ හෝමෝන වෙනස්කම් සිදු වෙමින් දරුවන් ඉතා සීග්‍රව වර්ධනය වන කාල සීමාවක් බව අප හොඳින් දන්නා කරුණක්. ඒ කෙසේ වෙතත් මේ කාල සීමාව තුළ දරුවන් ආහාර ගැනීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැති බවට මව්වරුන් බොහෝ දෙනෙක් පවසනවා. වයස් සීමාව කොහොම වුණත් බහුතරයක් දරුවන්ට කඩෙන් කෑම එකක් ගෙනත් දුන්නොත් නම් ප්‍රතික්ෂේප කිරීමකින් තොරව බඩ පිරෙන් තුරුම ඒ කෑම එක කන්න හැකියාව තිබෙනවා. අන්න ඒ නිසාම මව්පියන් දරුවන් ආහාර ගන්න මැලි වෙද්දී කඩෙන් හෝ ගෙනැත් ඔවුන්ගේ කුස පුරවන්න උනන්දු වෙනවා. එය එතරම්ම සුදුසු ක්‍රමයක් නොවන බව ඔබ මම අප හැමදෙනාම දන්නා කරුණක්. 

මේ කරුණු මෙසේ සිදු වද්දී යොවුන් දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳව මව්පියන් ලෙස අප දැනුවත් විය යුතු වන්නේ මේ වයස වර්ධනයට පමණක් නොව  ඉගෙනීමට ක්‍රීඩාවට අවශ්‍ය පෝෂණ අවශ්‍යතා සැපිරිය යුතු වයස් සීමාවක් නිසාමය. නව යොවුන් වියේ දරුවන්ට ඔවුන්ගේ වර්ධනය ඉතා වේගයෙන් සිදුවන නිසා දරුවන්ට හෝ වැඩිහිටියන්ට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වේ. ස්ත්‍රී පුරුෂ භාවය, ක්‍රියාකාරකම් මට්ටම සහ පුද්ගල පරිවෘත්තීය වැනි සාධක මත පදනම්ව නිශ්චිත කැලරි අවශ්‍යතා වෙනස් වේ.

නව යොවුන් දරුවෙකුගේ ආහාරවේලක අනිවාර්යෙන්ම අන්තර්ගත විය යුතු පෝෂක මොනවාද? 

  • සර්ව පෝෂක

නව යොවුන් දරුවෙකුගේ ආහාර වේලට අනිවාර්යෙන්ම කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේද ඇතුළත් විය යුතුය. කාබෝහයිඩ්රේට ශක්තිය සපයයි, සම්පූර්ණ ධාන්‍ය, පළතුරු සහ එළවළු මේ සදහා හොඳ මූලාශ්‍ර වේ. වර්ධනයට සහ අලුත්වැඩියාවට ප්‍රෝටීන අත්‍යවශ්‍ය වන අතර මස් වර්ග, මාළු, රනිල කුලයට අයත් බෝග සහ කිරි නිෂ්පාදන දරුවාට ලබා දිය යුතුමය. එසේම ඇට වර්ග, අලිගැටපේර සහ ඔලිව් තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න මේද මොළයේ වර්ධනයට වැදගත් වේ.

  • කැල්සියම් සහ විටමින් D

මෙම පෝෂ්‍ය පදාර්ථ යොවුන් වියේදී අස්ථි සෞඛ්‍යයට ඉතා වැදගත් වේ. කැල්සියම් හොඳ ප්‍රභවයන් වන්නේ කිරි නිෂ්පාදන, කොළ පැහැ ආහාර වර්ගයි. විටමින් D හිරු එළියට නිරාවරණය වීමෙන් සහ මේද මාළු සහ කිරි නිෂ්පාදන වැනි ආහාර ප්‍රභවයන්ගෙන් ලබා ගත හැකිය.

  • යකඩ

රතු රුධිර සෛල නිෂ්පාදනය සඳහා යකඩ අවශ්‍ය වේ. නව යොවුන් වියේ, විශේෂයෙන් ගැහැනු දරුවන් අතර ඔසප් වීම ආරම්භ වීමත් සමග යකඩ ඌනතාවයේ වැඩි අවදානමක් ඇත. යකඩ බහුල ආහාරවලට මස් වර්ග, මාළු, රනිල කුලයට අයත් බෝග, ධාන්‍ය වර්ග සහ නිවිති වැනි පලා වර්ග අයත් වේ.

  • විටමින් B12

විටමින් B12 මොළයේ ක්‍රියාකාරිත්වයට සහ රතු රුධිර සෛල සෑදීමට වැදගත් වේ. එය මස්, මාළු, බිත්තර, කිරි වැනි සත්ව නිෂ්පාදන වල දක්නට ලැබේ. නිර්මාංශිකයින්ට සහ සත්ත්ව ආහාර වලින් තොර අයට ප්‍රමාණවත් ලෙස මේවා ලබාගැනීමට නම් ඇතැම් විට ආහාර අතිරේක කිරීමට හෝ පරිභෝජනය කිරීමට අවශ්‍ය විය හැකිය.

  • අත්‍යවශ්‍ය විටමින්/ඛනිජ ලවණ/ප්‍රතිඔක්සිකාරක

පලතුරු සහ එළවළු මේ සදහා ප්‍රයෝජනවත් වනු ඇත.ඒ නිසාම විවිධ වර්ණවත් පලතුරු සහ එළවළු පරිභෝජනය කිරීමට යෞවනයන් දිරිමත් කළ යුතුය.

  • ජලය

සමස්ත සෞඛ්‍ය සහ නිසි කායික ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. දවස පුරා ජලය පානය කිරීමට සහ සීනි සහිත බීම සීමා කිරීමට යෞවනයන් දිරිමත් කළ යුතුය‍.

යොවුන් දරුවන්ගේ පෝෂණය හා සම්බන්ධව මෙසේ සාකච්ඡා කිරීමේදී අප වැඩි වශයෙන් සහ විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ යොවුන් ගැහැනු දරුවන්ගේ ඔසප් සමයේ පෝෂණය සම්බන්ධවයි. එය එසේ විය යුත්තේ ඔසප් වීමේදී ගැහැනු දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා කෙරෙහි බලපෑම් කළ හැකි විවිධ ශාරීරික හා හෝමෝන වෙනස්කම් ඇති විය හැකි නිසාය. 

ඔසප් සමයේ ඔබේ දියණියගේ පෝෂණ අවශ්‍යතා සපුරාලිය යුත්තේ කෙසේද?

  • යකඩ

ඔසප් වීමේදී රුධිරය පිටවීම නිසා සිරුරේ යකඩ ඌනතාවය ඇති වීමේ අවදානම වැඩි බව අප මින් පෙරත් සදහන් කළා. මේ නිසා ආහාර වේලට යකඩ බහුල ආහාර ඇතුළත් කිරීම ඉතා වැදගත් වේ. හොඳ යකඩ ප්‍රභවයන් අතර රත් පැහැ මස් වර්ග/මාළ් වර්ග, රනිල කුලයට අයත් බෝග, ධාන්‍ය වර්ග සහ කොළ පැහැති එළවළු ඇතුළත් වීම ඉතාම වැදගත් වනු ඇත.

  • කැල්සියම්

සමහර ගැහැනු දරුවන්ට ඔසප් චක්‍රය තුළ කැල්සියම් අඩු වීම දක්නට ලැබිය හැකි අතර එය දරුවාගේ අස්ථි සෞඛ්‍යයට බලපායි. කිරි නිෂ්පාදන (නිර්මාංෂ ගැහැනු දරුවන් සඳහා ශාක පදනම් වූ සෝයා කිරි වැනි වර්ග) කොළ පැහැති එළවළ/පලා වර්ග මෙන්ම කුඩා කටු සහිත මාළු වර්ග වැනි කැල්සියම් බහුල ආහාර පරිභෝජනය ප්‍රමාණවත් කැල්සියම් මට්ටමක් පවත්වා ගැනීමට උපකාරී වේ.

  • මැග්නීසියම්

මැග්නීසියම්, මාංශ පේශි කැක්කුම සමනය කිරීමට සහ ඔසප් වීම හා සම්බන්ධ අසාමාන්‍ය මනෝභාවයන් අඩු කිරීමට වැදගත් වනු ඇත. රනිල කුලයට අයත් බෝග සහ කොළ පැහැති එළවළු සහ පලතුරු මගින් මැග්නීසියම් අවශ්‍යතාවය ඉටු කරගත හැක.

  • විටමින් B12

විටමින් B12 මොළයේ ක්‍රියාකාරිත්වයට සහ රතු රුධිර සෛල සෑදීමට වැදගත් වේ. එය මස්, මාළු, බිත්තර, කිරි වැනි සත්ව නිෂ්පාදන වල දක්නට ලැබේ. නිර්මාංශිකයින්ට සහ සත්ත්ව ආහාර වලින් තොර අයට ප්‍රමාණවත් ලෙස මේවා ලබාගැනීමට නම් ඇතැම් විට ආහාර අතිරේක කිරීමට හෝ පරිභෝජනය කිරීමට අවශ්‍ය විය හැකිය.

  • ඔමේගා-3 මේද අම්ල

ඔමේගා-3 මේද අම්ල ඔසප් සමයේ ඇති වන රෝග ලක්ෂණ අවම කිරීමට උපකාරී වේ. මේද මාළු (සැමන් සහ සාඩින් වැනි), හණ ඇට, චියා බීජ සහ walnuts ඔමේගා-3 මේද අම්ල ලබා ගත හැකි මූලාශ්‍ර වේ.

  • ජලය

ඔසප් වීමේදී සජලනය වීම වැදගත් වේ. ඕනෑ තරම් ජලය පානය කිරීම සහ පලතුරු සහ එළවළු වැනි සජලනය කරන ආහාර පරිභෝජනය කිරීම ප්‍රශස්ත සජලනය මට්ටම් පවත්වා ගැනීමට උපකාරී වේ. එසේම පෙර කී පරිදිම සමස්ත සෞඛ්‍ය සහ නිසි කායික ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. දවස පුරා ජලය පානය කිරීම මෙන්ම සීනි සහිත බීම පානය අවම කළ යුතුමය.

  • සමබර ආහාර වේලක්

නව යොවුන් දරුවෙකුගේ ආහාර වේලට අනිවාර්යෙන්ම කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේද ඇතුළත් විය යුතු බව ඉහත කරුණකදීත් අප සඳහන් කළා. ඒ සඳහා කාබෝහයිඩ්රේට, ප්‍රෝටීන,යකඩ ඇතුළු සියලු පෝෂක මෙන්ම විටමින හා ඛනිජ ලවණ, ජලය ඇතුළු සෞඛ්‍ය සම්පන්න මේද ඇතුළත් සමබර ආහාර වේලක් ගැනීම සමස්ත සෞඛ්‍යයට සහ ඔසප් කාලය තුළ ශරීරයේ අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය වේ.

නව යොවුන් වියේ දරුවන්ට පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ඇතුළත් මනා සමබර සහ විවිධත්වයෙන් යුතු ආහාර වේලක් තිබීම වැදගත් වේ. යෞවනයෙකුගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳව මව්පියන් වන ඔබට නිසි දැනුවත් බවක් අවශ්‍ය නම් ඒ හා සම්බන්ධ සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු හෝ ලියාපදිංචි පෝෂණවේදියෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට පසුබට නොවන්න. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

හෙද  විද්‍යාවෙිදි(ගෞරව)

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන්  සභාව,  වෘත්තිය  පුහුණු  අධිකාරිය, ජාතික ආධුනිකත්ව මණ්ඩලය)

බාහිරදේශක සහ ලේඛිකා

ඔබේ දරුවා රැකගන්න, ඔබත් මේ ලිපිය කියවන්න

පසුගිය කාලය පුරා දිගින් දිගටම යොවුන් දරුවන්ට මුහුණ දිමට සිදු වූ යම් යම් අවාසනාවන්ත සිදු වීම් හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව වැඩිහිටියන් වශයෙන් අපහට නිසි අවබෝධයක් තිබිය යුතුය යන්න වැටහෙන්නට ඇති. සෑම දරුවෙක්ම එක ආකාරයක නොවන බව අපි දන්නා කරුණක්. දරුවන් දහ දෙනෙක් ගත්තොත් යම් ප්‍රශ්නයක් දැනෙන විදිය, එයට මුහුණ දෙන ආකාරය, විසදීමට උත්සාහ ගන්නා අකාරය ඒ වගේම ඒ ගැටලුවට සංවේදී වන ආකාරය එකිනෙකාගෙන් එකිනෙකාට සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අන්න ඒ නිසාම අපි අපේ දරුවන් ගැන නිසි අවධානය වගේම ඔවුන්ට අවශ්‍ය නිසි රැකවරණය සැපයිම අත්‍යවශ්‍ය වෙනවා. එය වැඩිහිටියන් වශයෙනුත් සමාජයක් වශයෙනුත් අපට පැවරෙන අතහල නොහැකි වගකිමක් ලෙස හැඳින්විය හැකියි. 

තම නව යොවුන් වියේ පසුවන දියණිය ප්‍රේම සබඳතාවයක පැටලී ඇතිද යන්න දෙමාපියන්ට බොහෝ අවස්ථා ලැබෙනවා. ඒ දරුවාගේ හැසිරීම, අධ්‍යාපන කටයුතු කෙරේ ඇති කැමත්ත අවම වීම, නිවැසියන් නොරිස්සීම වැනි කරුණු අනුව විශේෂයෙන් මවකට දරුවාගේ වෙනස්කම් හඳුනා ගත හැකි විය යුතුමයි. තම ආදරය සෙනෙහස මැද වසර ගණනක් පුරා ඇති දැඩි වෙන දරුවාගේ මෙවැනි වෙනස්කම් මවට/පියාට වැටහිය යුතුයි. එය එසේ නොවීම සැබවින්ම අද වන විට දරුවන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බැරෑරුම් තත්ත්වයක් දක්වා දුර දිග ලොස් ඇති බව පෙනී යනවා.

ඇත්තටම දරුවෝ කියන්නේ කවුද? මේ දරුවන් සම්බන්ධව අපේ රට තුළ නීතියක් නැතිද?

අපේ රටේ නීතියට අනුවත් ජ්‍යාත්‍යන්තර නීතියට අනුවත් අවුරුදු 18 අඩු වයස් සීමාව අපි දරුවන් ලෙස හඳුන්වනවා. අපේ රටේ නීතියට අනුව වයස අවුරුදු 16 අඩු විශේෂයෙන්ම ගැහැණු දරුවන් සමග ඔවුන්ගෙ කැමත්ත ඇතුව/නැතුව කිසිදු ආකාරයකින් ලිංගික සම්බන්ධතා පැවැත්වීම සිදු කළ නොහැකියි. නමුත්  අවුරුදු 16 වැඩි දරුවෙකුට (1992 අංක 22 දරණ දණ්ඩ නීතී සංග්‍රහයේ සංශෝධිත පනත) ලිංගික හැසිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතිමුත් විවාහ වීමට කිසිම අයිතියක් නොමැත. එසේ පවතින නීති මාලාවන්ට අනුව ගත් කළ වයස අවුරුදු 16 වැඩි දරුවෙකුගේ කැමැත්ත නොමැතිව බලහත්කාරකමක් ලෙස මෙය සිදුවනවානම් අනිවාර්යයෙන්ම එය අපරාධ වරදක් ලෙස හැදින්විය හැකියි. 

විශේෂයෙන්ම අද වන විට වයස අවුරුදු 16 අඩු ස්ත්‍රී දූෂණ වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රේම සම්බන්ධතා මත සිදු වන දූෂණ විදියට හැඳින්වීමේ වරදක් නැහැ. බොහෝ විට එවැනි අවස්ථාවකදී දෙදෙනාගේම කැමැත්තෙන් එය සිදු වුවත්අපේ රටේ නිතියට අනුව ගත් කළ ඒ වයස් සීමාව තුළ දී සිදුවන ලිංගික සම්බන්ධයක් ස්ත්‍රී දූෂණයක් ලෙස හැදින්වෙනවා. 

දරුවන්ට සිදු වන අපරාධ ලෙස සඳහන් වෙන්නේ මෙවැනි ලිංගික අපයෝජන තත්ත්වයන් විතරද?

කිසිසේත්ම නැහැ. ලිංගික අපයෝජනයන්ට අමතරව දරුවන්ට පහර දීම, තුවාල සිදුකිරීම, පිලිස්සීම, දරුවන් කම්කරු රැකියාවල යෙදවීම, අධ්‍යාපනය ලබා නොදීම, මෙහෙකාර සේවයේ යෙදවීම වැනි දරුවන්ට සිදු වන සියලු අකටයුතුකම් දරුවන්ට සිදුවන අපරාධ ඝනයට එකතු වෙනවා. ඒ ඒ අපරාදවලදී ඒ ඒ ආයතන වෙත දරුවන් යොමු කිරීම සිදු වෙනවා. ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව, ජාතික ළමා රක්ෂණ අධිකාරිය වැනි ආයතන වෙත මෙවැනි ගැටලු යොමු වනවා. 

රට තුළ දරුවන්ට සිදු වන මෙවැනි අපරාධ සියල්ලක්ම මේ ආයතන වෙත වාර්තා වෙනවාද?

නැහැ.. එය කණගාටුදායක තත්ත්වයක්. මේ ආයතන සතුව පවතින්නේ ඒ ආයතන වෙන වාර්ථා වන දත්ත හා තොරතුරු පමණයි. 

ශ්‍රී ලංකාව වැනි රටක දරුවන්ට මෙවැනි අවාසනාවන්ත අත්දැකීම් මුහුණ දීමට සිදුව තිබෙන්නේ ඇයි?

බොහොමයක් අවස්ථා වලදී දරුවන්ට ඇති වන ගැටලු සම්බන්ධව ඇති පැමිණිලිවල අසන්නට ලැබෙන්නේ සයිබර් අවකාශය මූලික කරගෙන මේ යොවුන් දරුවන් බොහොමයක් අපරාධයට ගොදුරු වන බවයි. මෙවැන වයසක දරුවන් එවැනි තත්ත්වයට පත් වීමට තරම් සයිබර් අවකාශයට නිරාවරණය වෙනවා ද යන්න ගැටලුව ඇතැමෙක්ට පැන නැගිය හැකැයි.  

කොවිඩ් වසංගතය හමුවේ මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් දරුවන් අන්තර්ජාලය සමග බොහෝ සෙයින් සම්බන්ධ වූවා. අධ්‍යාපනයට අමතරව දරුවන් වෙනත් කාර්යයන් සඳහාත් අන්තර්ජාලය භාවිතයට හුරු වූවා. මූලිකව ඔවුන් අධ්‍යාපනයට වැදගත් කරුණු සෙවීමට අන්තර්ජාලයට පිවිසුණත් කාලයත් සමග ඔවුන් එහි ගොදුරු බවට පත් වූවා යැයි කීම නිවැරදයි. ටිකිටොක්, වට්ස් ඇප්, මැසෙන්ජර් වැනි ඇප් හරහා දරුවන් බොහොම විනෝදයෙන් නොදැනුවත්වම අවාධානයට ලක්වූවා. එහි රසය විඳින්න විඳින්න දරුවන් සූක්ෂම ලෙස අන්තර්ජාලය භාවිතයට හුරු වූවා. නිසි අයුරික් පරිපූර්ණ ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනයක් නොමැති අපේ රටේ දරුවන් අන්තර්ජාල පරිශීලනය හරහා ඇති විට තම ජීවිතය පවා අවදානමට ලක්වන තත්ත්වයට පත් වනවා. අපේ යොවුන් දරුවන්ට පරිපූර්ණ ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබා දිය යුතුමයි.

දෙමාපියන් තමන්ගේ දරුවන් ඕනෑවටත් වඩා විශ්වාස කිරීම මෙතැනදී එක් ගැටලුවක් නේද?

කිසිම මවක/පියෙක් තමන්ගේ දුව/පුතා වරදක් කරාවී යන තැන සිටින්නේ නැහැ. ඒ දරුවන් කෙරේ තියෙන ආදරය විශ්වාසය නිසාමයි. නමුත් මේ නව යොවුන් වියේ දරුවන් පිළිබඳ මනා අවධානයක් තිබීම ඉතාම වැදගත් වන්නේ ඔවුන් ඉතා ඉක්මනින් යම් යම් දේ වෙත යොමු වීමට වැඩි ප්‍රවණතාවයක් ඇති වයස් සිමාවක පසු වන නිසයි. අදාහරණ විදියට ගත්තොත් නව යොවුන් පිරිම දරුවන් සිටිනවා දුම්වැටි/මත් පැන්/මත්ද්‍රව්‍ය වෙත යෙමු වුණු. නම්තු මව/පියාට ඒ පිළිබඳව කිසිම අදහසක් හෝ දැනුවත් බවක් නැහැ. නමුත් යම් සිදුවීමකී මේ තත්ත්වය දරුණු අතට හැරෙන් අවස්ථාවකදී මව/පියා මේ පිළිබඳව දැනුවත් වෙනවා. ඒ අවස්ථාව ඇතිම් විට බොහෝ සෙයින් ප්‍රමාද විය හැකියි. 

දරුවන් මෙවැනි අනළුශ්‍ය දේ වෙත යොමු වීමට හේතු විදියට දැක්විය හැක්කෝ මොනවාද?

ඇත්තටම බොහොමයක් දරුවන් කියන දෙයක් තමයි අධ්‍යාපනයටම පමණක් ඔවුන් හිර වෙලා සිටින බව. බාහිර ක්‍රියාකාරකම්/ගමන් බිමන්/විනෝද චාරිකා/දෙමාපියන් සමග තම අදහස් හුවමාරු කරගැනීමට අවස්ථා/යහළුවන් සමග සෙල්ලම් කරන අවස්ථා අද වෙද්දී දරුවන්ට අහිමි වෙලා. සමස්ත සමාජයක් ලෙස ගත්තත් බාල/වැඩිහිටි භේදයකින් තොරව ජීවිතයේ සතුට රැදෙන ක්‍රියාකාරකම් අහිමි  වෙලා. එය වැඩිහිටියන් ලෙස අප කළමාකරණය කරගත්තත් දරුවන් ලෙස ඔවුන් වෙනත් වෙනත් දේ කොරේ යොමු වීමට මෙවැනි අහිමි වීම් හේතුවක් වෙන බව කිව යුතුමයි. 

දරුවන්ට සිදුවන අකටයුතුකම් දැනුම් දිය හැකි ආයතන මොනවාද?

ළගම ඇති පොලිස් ස්ථානය, ළමා හා කාන්‍තා කාර්යාංශය, ජාතික ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන් වුණු ආයතනයි. ඒ වගේම යම් මානසික ගැටලුවක් ඇත්නම් 1926 අංකය අමතා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය හා සම්බන්ධ වී  (පැය 24 පුරා ඕනෑම වේලාවක) පුහුණු හෙද නිලධාදාරිනියකගේ උපදෙස් ලබාගත හැකියි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

හෙද  විද්‍යාවෙිදි(ගෞරව)

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන්  සභාව,  වෘත්තිය  පුහුණු  අධිකාරිය, ජාතික ආධුනිකත්ව මණ්ඩලය)

බාහිරදේශක සහ ලේඛිකා

 

 

 

 


                

ලිස්ටීරියාව ගැන ඔබ නොදන්නවා නම් අනිවාර්යෙන්ම කියවන්න

යම් යම් කාල සීමා තුල වරින් වර කියවෙන විවිධ රෝග තත්ත්ව මතුවීම බොහෝවිට පවතින කාලගුණයට හෝ පවත්නා යම් යම් අවස්ථාවන් හා සම්බන්ධ වෙන බව අප දන්නවා. ඒ වගෙ අහබු ලෙස අපිට අහන්න ලැබුණු තවත් රෝගී තත්ත්වයක් තමයි ලිස්ටීරියාව. ලිස්ටීරියාව කියන්නෙ ආහාර හා සම්බන්ධ වූ රෝගී තත්ත්වයක් වගේම වසංගතයක් ලෙස පැතිරිය හැකි නමුත් දුර්ලභ රෝග තත්ත්වයක්.

ලිස්ටීරියාව ඇති වන්නේ කොහොමද?

සාමාන්‍ය ස්වාභාවික පරිසරය තුල දක්නට හැකි විශබීජයක් වන ලිස්ටීරියා මොනොසමජිනස් නම් වූ බැක්ටීරියාව මේ රෝගයට හේතුවයි.

ලිස්ටීරියාව ඇති කරන බැක්ටීරියාව ශරීරයට ඇතුළු විය හැක්කේ කෙසේද?

  • පස තුල මෙන්ම පරිසරය තුළ ඇති අමුවෙන් ගන්නා ආහාර (එළවළු, පළතුරු, සලාද වර්ග) මගින්
  • කුණු වූ හෝ නරක් වූ එළවලු/පළතුරු මගින්
  • නොපිසූ මස් මගින්
  • ජීවානුහරණය නොකල කිරි එනම් පැස්ටීකරණය නොකළ කිරි මගින්
  • බැක්ටීරියා මගින් ආසාදනය වූ ආහාර පාරිභෝජනය කිරීම මගින්

ආහාර සෞඛ්‍ය හා සොයා බැලීමේදී

  • සෑම ආහාරයක්ම නැවුම්ව හා පිරිසිදුව පැවතීම
  • ආහාර නිවැරදි සහ පිරිසිදු ලෙස ගබඩා කිරීම
  • පිරිසිදු ලෙස ආහාර සකස් කිරීම

සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට ආහාරය නිශ්පාදනයේ සිට එය සකස් කරගන්නා අවස්ථාව දක්වා වගේම එය ආහාරයට ගන්නා තෙක්ද නිවැරදි සෞඛ්‍ය පිලිවෙත් සිදුවිය යුතුයි. එසේ නොවන අවස්ථාවලදී ආහාර සුරක්ෂිතතාවය බිද වැටෙන අතරම  ආහාරය මගින් ඇති කළ හැකි පෝෂණයට දූෂණය මගින් සිදු වූ ප්‍රතික්‍රියාව ඉස්මතු මන අතරම ලිස්ටීරියා යනු එවැනි අවස්ථාවක ප්‍රතිඵලයකි. 

මෑත කාලය තුල ලංකාවේ දක්නට ලැබුණු මේ රෝගී තත්ත්වයට මූලික හේතුවක් ලෙස කිරි ආහාර හැඳින්වූවා. කිරි අමුවෙන් ආහාරයට ගන්නවා වගේම කිරි ගබඩා කිරීම ශීතකරණය තුල සිදුවුවද ඒවා නියමිත ක්‍රම අනුව සැකසීම සිදු නොවීම එයට හේතුවයි. කිරි කල්තබා ගැනීමේදී පැස්ටීකරණය කළ යුතු අතරම එසේ පැස්ටීකරණය කළ කිරි නියමිත උෂ්ණත්වයේදී විෂබීජහරණයට ලක් කළ ඇසුරුම්වල ගබඩා කරන හෙයින් විෂ වීමක් සිදු නොවුණද එසේ නොකරන ලද කිරිවල මෙම බැක්ටීරියාව පැවතුනහොත් ඒ මගින් මෙම රෝග තත්‍ත්වය ඇතිවීම වැළැක්විය නොහැකියි. එසේ හෙයින් නිවැරදි හා නිසි ලෙස සකස් කිරීමෙන් පසු කිරි ආහාරයට ගතයුතු වනවා මෙන්ම මස් වර්ග ද එසේ නිවැරදි හා නිසි ලෙස පිසීම සිදුකල යුතුයි. එසේම අමුවෙන් ආහාරයට ගන්නා වෙනත් එළවලු පළතුරු ද පලා වර්ග ද ආහාරයට පෙර පිරිසුදු කිරීම නිසි ලෙස කල යුතුයි. මෙම ආහාරයන් ශීතකරණය තුල ගබඩා කිරීමේදී අවශ්‍ය උෂ්ණත්වයට අනුව වෙන් වෙන් ලෙස තැබීම වැදගත්. එසේ නොවන විට ආසාදිත වූ ආහාර මගින් අනෙකුත් ආහාරද දූෂණයට ලක් විය හැකියි.සාමාන්‍යයෙන් ආහාර පාන හරහා පැතිරෙන බොහෝමයක් ලෙඩ රෝග මගින් පීඩාවට පත්වන්නේත් ආහාර ජීරණ පද්ධතියමයි.

ආසාදිත පුද්ගලයෙකු පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?

  • තද උදර වේදනාව
  • පාචනය
  • හිසේ කැක්කුම
  • අධික උණ

මෙම රෝග ලක්ෂණ මගින් තවත් සංකූලතා ඇති විය හැකිය.  එනම් පාචනය ශරීරය වියළීම හේතුවෙන් විජලනයට පත් වී ශරීරයේ අතිවන ලවණ ඌනතා නිසා ඇතිවන මස්පිඩු වේදනාව, කොන්දේ කැක්කුම ආදී සාමාන්‍ය උණකදී ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ ද ඇති විය හැකිය.

විෂබීජය ශරීරගත වූ පසුව පළමු සතිය තුළම රෝග ලක්ශණ පෙන්විය හැකි වුවද ඇතැම් විට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා මසකින් පමණ පසුව වුවත් රෝග ලක්ෂණ මතු විය හැකි වීම අවදානම් තත්ත්වයකි. 

එමෙන්ම වෛරස් මගින් ඇති වන රෝගවලට වඩා බරපතල වන්නෙ මෙවන් බැක්ටීරියාවන් නිපදවන ධූලක ඉතාමත් විෂ සහිත වීමයි. එසේ හෙයින් බරපතල අර්බුදකාරි තත්ත්වයන් මෙන්ම මාරාන්තික තත්ත්වයන් පවා එවන් ධූලකවලට ඇති කිරීමේ හැකියාව පවතී. සාමාන්‍ය පාචනයකදී ශරීරයෙන් පිටවන ලවණ හා තරල ප්‍රමාණය අඩු වී විජලනයට පත්වීම සිදුවුවද මෙහිදී සිදු විය හැකි බරපතල තත්ත්වය වන්නේ වන්නෙ බැක්ටීරියා මගින් සාදන ධුලකවල විෂ හේතුවෙන් රෝගී තත්ත්වය උත්සන්න වීමයි. අනෙක් අවදානම වන්නේ මෙය දුලබ රෝග තත්ත්වයක් නිසා අනුමාන කිරීම සිදුවන අවස්ථා අවම විය හැකි බැවින් හඳුනා ගැනීමට ප්‍රමාද වීමයි. බොහෝ බැක්ටීරියා ක්‍රියාකාරිත්වයේදී සිදුවන්නෙ ඒ මගින් පිටකරනු ලබන විෂ මගින් නිපදවන ධූලක මාරන්තික වීමයි.එසේ හෙයින් මෙවන් තත්ත්වයන් ඇත්වීම දුලබ වුවද ප්‍රතිපලය භයානක විය හැකිවනවා.

ලිස්ටීරියා ආසානය අවදානම් විය හැක්කේ කාටද?

    • ගර්භණී මව්වරුන් – මවට මෙන්ම කලලයට ද දැඩි බලපෑම් ඇති විය හැකි අතරම ගබ්සාවට ලක්වීම, නොමේරු දරු උපත්, කුස තුල සිටින දරුවා ද රෝගයට ගොදුරු වීම නිසා අස්ථි පද්ධතියටද බලපෑම් එල්ල වීම සිදු විය හැකියි. 
    • ළදරුවන් – සන්ධි දුර්වල වීම මගින් ඇති වන ආතරයිටීස් වැනි තත්ත්වයන් ඇති වීම 
  • වයෝවෘද්ධ එනම් වයස් ගතවූවන් 
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග ඇති පුද්ගලයන් – විශබීජ ශරීර ගත වූ විට ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීම අසීරු හෙයින් බරපතල තත්ත්වයන් ඇති වීමේ අවදානම ඉහළයි

සෑමවිටම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යන්න

ඔබට රෝගය බෝවි ඇතැයි සැකයක් ඇත්නම් හෝ රෝගියෙකු සමීපව කටයුතු කළේ නම් රෝග ලක්ෂණ නොමැති වුවද විමසිලිමත් වීම වැදගත් වෙන්න (ඇතැමුන්ට රෝග ලක්ෂණ රහිතව ද ආසාදනය වීමට හැකි බැවිනි.)

වෛද්‍යවරයා විසින් නියම කරන ප්‍රතිජීවක ඖෂධ නිසි උපදෙස් පිළිපදිමින් ලබා ගන්න. අනෙකුත් රෝග ලක්ෂණ සඳහා ලබා දෙන වේදනා නාෂක, ලවණ වර්ග හෝ විටමින් අඩංගු ඖෂධ ලබා ගත යුත්තේ ද වෛද්‍යවරයා විසින් ලබා දුනු උපදෙස් අනුව බව අමතක නොකරන්න

ඖෂධ භාවිතයේදී නියමිත ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත කාල පරාසයන් තුලදී රෝගියාට ලබාදීම වැදගත් වනවා. ප්‍රතිජීවක ඖෂධ ලබාගන්න ඕනෑම තත්ත්වයකදී එම ඖෂධයේ නියමිත මාත්‍රාව, නියමිත වේලාවට ලබාදීම මගින් ධූලකයේ විශ ක්‍රමයෙන් බාලකර නිශේධනය කිරීමට හැකියාව ලැබෙනවා. එසේ නොවුනු විට එම ප්‍රතිජීවක ඖෂධය මගින් විෂ බීජට එරෙහිව ඇති කරන්නා වූ ප්‍රතිරෝධය හේතුවෙන් ඖෂධ ලබාදීම නිෂපල වන්නෙ රෝගයට බරපතල ලෙස ඇති වන ප්‍රතිරෝධය හේතුවෙනි. මෙය සමස්ථ සමාජයට බරපතල තර්ජනයක් එල්ලවිය හැකි අවස්ථාවක් හෙයින් ඕනෑම අවස්ථාවක ප්‍රතිජීවක ඖෂධ ලබාදීමේදී නියමිත ඖෂධය නියමිත මාත්‍රාවෙන් නියමිත කාල පරාසයක් තුළ අත්‍යවශ්‍ය වේල් ගනන රෝගියාට ලබාදීම සදහා කැපවීම උනන්දුව ඇතිකර ගැනීම සහ දැනුම වර්ධනය කර ගැනීම සමස්ථ සමාජයටම බලපැවැත්වෙන ගැටලුවක් නිරාකරණය කර ගැනීමට වගකීමක් වනවා.

මෙම රෝගය බොහෝදුරට සෑම විටම රෝග ලක්ෂණ ඇති නොකරන මුත් රෝගය ඇති වූ විට ඒ නිසා ඇතිවන මරණ අනුපාතය ඉහළ හෙයින් සැලකිලිමත් වීම වැදගත් වනවා.

බොහෝ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්ව වලදී ඇතිවන පාචන තත්ත්වයන් නිසා විජලනයට ලක්වීම හේතුවෙන් ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවුවද මෙම රෝග තත්ත්වයේදී ඉන් ඔබ්බට ගිය විට විශ වීම නිසා එනම් යෙජස්ටීමියා තත්ත්වයට පත්ව බරපතල වීම සිදුවන හෙයින් විශබීජ ශරීර ගතවීම් වලදී සැළකිලිමත් වීම වැදගත්.

බොහෝ විට මෙවන් වූ බැක්ටීරියා ආසාදන රුධිර පරීක්ෂණ මගින් හදුනාගත යුතුවන හෙයින් ආහාර විශවීම් ලක්ශණ පෙන්වන සෑම විටකම ඒ සදහා වූ රසායනාගාර පරීක්ෂණ සිදුකිරීම වැදගත් වන්නෙ එම විශබීජය හදුනාගෙන ඊට ගැලපෙන ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වන බැවිනි.

ආහාර සෞඛ්‍ය සම්භන්දයෙන් සෑමදෙනාගේම අවධානය යොමුවිය යුත්තෙ දැනුම ලබාගැනීම මගින් බොහෝ තත්ත්වයන්ට නිවැරදි ලෙස මුහුණු දීමට එය අවස්ථාවක් වන හෙයිනි.

ආහාර සුරක්ෂිතතාවය යන්නෙන්ද අදහස් වන්නේ යම් ආහාරයක් නිශ්පාදනයේ සිට අස්වනු නෙලීම, එය ප්‍රවාහනය, ගබඩා කිරීම එය පාරිභෝජනය යන දාමයේ සියලුම අවස්ථාවන් සදහා නිවැරදි වූ සෞඛ්‍ය  පුරුදු ඇතිකර ගැනීමයි. එසේ හෙයින් ආහාර නිශ්පාදන කාර්යයේ සිට ආහාර පරිභෝජනය දක්වා දිවෙන ගමන් මගේ සියලු තත්ත්වයන් සොයා බැලීමත් නිවැරදි ලෙස නිවැරදි දර්ශක හෝ තත්ත්වයන් හදුනාගැනීමට හැකිවෙන දැනුම වැඩිකර ගැනීමත් සමස්ථ ප්‍රජාවේම වගකීමක්. එසේ හෙයින් නිශ්පාදිත දිනය හා කල් ඉකුත්වන දිනයද ඇතුලුව ඒ අතර කාලය තුලදී ආහාරයෙ ගුණාත්මක භාවයට සිදුවන සියලු තර්ජන හදුනාගැනීමට හැකි ලෙස දැනුම ගොඩනගා ගැනීම සැමගේම වගකීමක්. එසේම නිශ්පාදිත ආහාරයක අඩංගු දේවල් නියමිත ප්‍රමිතියෙන් අඩංගු වී ඇතිද ඒවායෙ ප්‍රමිතියට හානි නොවන ලෙස ගබඩාකර ඇතිද යන්නත් ආහාරයක් මිලදී ගැනීමට හෝ පාරිභෝජනයට පෙර විමසිලිමත් වීම වැදගත්.

එසේ හෙයින් ආහාර ගබඩාකිරීමේදී පිසූ ආහාර හා නොපිසූ ආහාර එකට ගබඩා කර ඇතිද යන්න පවා විමසිලිමත් වීම වැදගත්. එසේම ආපනශාලා වල ආහාර සුරක්ෂිතතාවය කෙසේ පවතීද යන්න පිළිබද විමසිලිමත් වීම කුසගින්නට ආහාර ලබා ගැනීමට පෙර වැදගත්. එසේම ආපනශාලා තුල ආහාර පිසීමෙ ක්‍රියාවලියේ නිරත පුද්ගලයන්ගෙ නිරෝගී තාව මෙන්ම ඔවුන්ගෙ නිවැරදි සෞඛ්‍ය පිලිවෙත් පිළිබදව විමසිලිමත් වීම තමන්ගෙ සෞඛ්‍ය ආරක්ශා කරගැනීමට එක ලෙස වැදගත් වෙනවා.

ඒවා සොයා බැලීමෙන් නොනැවතී, නිවැරදි කලයුතු තැන් නිවැරදි කිරීම සදහා අවශ්‍ය කරන මහජන සහය පැමිණිලි සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට හො සෞඛ්‍ය වෛද්‍ය නිළදාරීන් වෙත යොමු කිරීමද ඒවා පිළිබද ක්‍රියාත්මක වීම පිළිබඳව නැවත පසුවිපරම් කර බැලීම මගින් නිවැරදි ආහාර සුරක්ෂිතතාවයක් ඇතිවීම සමස්ථ ප්‍රජාවටම මහගු සේවාවක් සැලසීමක් වනවා.

සියලු කරුණු සලකා බැලීමේදී ආහාර සෞඛ්‍ය යන්න බඩගින්නට ආහාර ලබාගැනීමට පමණක් සීමා නොවන බවත් ආහාරයේ ඇති සියලුම තත්‍ත්ව ආහාර මාර්ග පද්ධතිය ලෙඩ නොකරන ගුණාත්මක පෝෂණයක් සපයා සියලු ඉන්ද්‍රියන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට හැකි තත්ත්වයක් වෙත රැගෙන යන්නක් බවත් හුදෙක් එය කායික පෝශණයට පමණක් වෙන්වූවන් නොවන බවත් පැහැදිලියි. එසේ හෙයින් සෞඛ්‍ය යන්න නිවැරදි ලෙස අර්ථ දැක්වෙන කායික මානසික සමාජීය හා ආධ්‍යාත්මික යහපැවැත්ම යන වාක්‍ය කණ්ඩයට නිවැරදි වූ අර්ථයක් ලැබෙනුයේ මූලිකවම ශරීරයෙ වර්ධනයට, ශක්තිය සැපයීම හා ආරක්ශාවට හේතුකාරක වන නිවැරදි වූ ආහාර රටාවකට අපි හුරුවීම තුලින් බව වැටෙහෙනු ඇති. එසෙ හෙයින් ජීවයේ පැවැත්මට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන්ගෙ සුපිරිසිදු බව තවදුරටත් ආරක්ශා වන අයුරින් කටයුතු කිරීම මිනිස් ජීවිතයන්ට මහත් ආලෝකයක් උදාකරනු ඇති.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

දරුවන්ට කොණ්ඩය අහිමි වන්නේ ආරය නිසා විතරද?

ඕනෑම ජීවියකුගේ වර්ධනය හා සංවර්ධන යන දෙකටම බලපෑමක් කරන්න ආරයට හා පරිසරයට පුලුවන්. සමහර ආරේ ගති පරිසරයෙන් වෙනස් කරන්න පුලුවන්. ඒත්.. සමහර දේවල් ජානගත වෙලා තියෙන කොට පරම්පරා ගති ලක්ෂණ හැටියට පෙන්නුම් කරනවා. ඒ දේවල් දිහා බලලා කල්පනා කරනවා මේ වගේ ලක්ෂණ අපේ පරම්පරාවෙ අයට තිබුණද කියලත්. ඉතින් ඒ වගෙ සමහර විට වෙනස් කල හැකි දේවල් සමහර විට වෙනස් කල නොහැකි දේවල් ලෙසින් හඳුනාගන්නත් පුලුවන්. ඉතින් මේ අපි කතා කරන්න හදන්නෙත් ඒ වගේ දරුවන් තුළ දක්නට ලැබෙන කොණ්ඩය සම්බන්ධ ගැටලුවක් පිළිබදවයි.

දරුවෙක් උපදිනකොටම සමහර විට ඝනට වැඩුණු කලු පාට කොන්ඩයක් තියෙන්නත් පුලුවන්. සමහර විට ලා පාටට සියුම් කොණ්ඩයක් තියෙන්නත් පුලුවන්. සමහර විට තැනින් තැන කොණ්ඩ ගස් කීපයක් තියෙන්නත් පුලුවන්. ඒත් මේ හැම අවස්ථාවක්ම මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරු උනත්..අනුමාන වශයෙන් හිතන්න පුලුවන් දේවල් ගැන පිළිබඳව අපේ අවධානය යොමු කරමු.

දරුවෙකුගේ හිසකේ නැති වීමට බලපෑ හැකි පාරිසරික සාධක

  • ගැබිනි සමයේ මවගේ පෝෂණය

දරුවෙකු පිළිසිද ගත් දිනයේ ඉදන් මුල් තුන් මාසය පුරාවටම සිද්ධවෙන්නෙ සෛල බෙදෙමින් අඟ පසඟ ඒ කියන්නෙ ඉන්ද්‍රීය පද්ධතිය විකසනය වීම. මේ සංසිද්ධිය සිද්ධ වෙන්න හැම ඉන්ද්‍රියක්ම විකසනය වෙමින් වගේම ඒවායෙ කෘත්‍යයන්ට අදාළ ස්නායු සම්බන්ධතාත් ශක්තිමත් කරමින්. මේ නිසා තමා අපි කියන්නෙ කාන්තාවක් ගර්භනී වෙන්න පෙරාතුව ඉදලා ෆෝලික් ඇසිඩ් කියන මහානුභාව සම්පන්න විටමිනය ගන්න කියලා. ඒකෙ තේරුම තමයි කලල විකසනයේදී අවයව නිර්මාණය වෙමින් ඒවායෙ කෘත්‍යට අදාල ස්නායු සම්බන්ධතා සංවර්ධනයට ලොකු බලපෑමක් කරන්නෙ ෆෝලික් අම්ලය වීම. එහෙම නොවුනට දරුවගෙ මූලික නිර්මාණයේදී යම් යම් අඩුපාඩුකම් සිද්ධවෙන්න පුලුවන්. ඒකෙ ප්‍රතිපලය දරුවාගෙ ස්නායුගත ආබාධ ඇතිවීම. ඔන්න ඔය වගේ තමයි අම්මගෙ පෝශණය කුස පිලිසිද ගත් දරුවට පිලිසිඳගත් දවසෙ ඉදන් බලපාන්නෙ. මේකෙන් අපිට තේරෙනවා මව්කුස තුල සිටින දරුවට මවගේ පෝශණය බලපානවා කියලා.

මේ නිසා දරුවන්ගෙ ඉන්ද්‍රීය පද්ධතිය විකසනයට වගේම ඒවායෙ ක්‍රියාකාරිත්වය නිවැරදිව සිද්ධ වෙන්න නම් ගර්භනී කාලය තුල මවගේ පෝෂණය පිළිබඳව සැලකිල්ලක් දක්වන්න ඕනෙ. ඒ කියන්නෙ ගර්භණී මවගේ පෝෂණය පිළිබදව සොයා බැලීම සමාජ වගකීමක්. ඒ නිසා සියලු පෝෂකාංග අඩංගු ආහාර වේල් නිවැරදි ආහාර රටාවක් වගේම හොඳ සෞඛ්‍ය පුරුදුවලින් සමන්විත ගර්භණී සමයක් සෑම මවකටම හිමිවිය යුතුයි. එගෙම උනාම දරුවාගෙ අස්ථි පද්ධතිය වගේම හිසකෙස්, නිය ආදියෙ වර්ධනයත් සම්පූර්ණ වෙනවා. මේ නිසා සමහර දරුවන්ගෙ කොණ්ඩය ඇතිවීමට ගර්භණී මවගේ පෝශණය බලපානවා කියලා අපිට තේරුම් ගන්න පුලුවන්. මේ තත්ත්වය අපිට දරුවකුගෙ වර්ධනයට අවශ්‍ය පරිසරය සැකසීම තුලින් කල හැක්කක්.

පෝශණය පිළිබඳව සලකා බැලීමේදී හිසකෙස් සදහා ප්‍රෝටීන, යකඩ වගේම සින්ක් පොස්පරස් වගේ ලවණමය දේවලුත් අවශ්‍ය වනවා. මේවගේ දේවල් ඖෂධ වලින් ලබාදීමට වඩා සුදුසු වන්නේ ආහාරවලින් ලබාදීම. ඒ නිසා විටමින් ලවණ අඩංගු වන නැවුම් එළවලු පළතුරු පලාවර්ග ආහාරයට එක්කර ගැනීම වගේම ශරීරයට අහිතකර හෝ අහිතකර මට්ටම් වලින් ලවණ අඩංගු කර ඇති ක්ෂණික ආහාර වලින් ඈත්වීම ඉතාම වැදගත්.

  • තයිරොක්සීන් කියන හෝමෝනයේ බලපෑම 

ඒ වගේම තයිරොක්සීන් කියන හෝමෝනයේ බලපෑමක් එල්ල වෙන්න පුලුවන්. ජීව ක්‍රියාවලි බොහොමයකට බලපෑම් එල්ල කරන හෝර්මෝනයක් තයිරොක්සීන්. මේ හෝමෝනයේ ඌණතාවය නිසා සෑම ඉන්ද්‍රියකම ක්‍රියාකාරිත්වය අඩපණ වෙන්න පුලුවන්. අපි බොහෝ සෙයින් මේ හෝමෝනය සම්බන්ධව හිතන්නෙ වර්ධනය අඩුවීම, මළබද්ධය, ක්‍රියාශීලීත්වයේ ගැටලු ගැන විතරයි. එහෙත් දරුවන්ගේ කොණ්ඩය වැඩීම සම්බන්ධව මෙය බලපෑමක් වෙන්න පුලුවන්.

  • ප්‍රතිශක්තියේ ඌණතා 

කෙනෙකුට ප්‍රතිශක්තියේ ඌණතාවක් ඇතිවුවහොත් කොණ්ඩය නැති විය හැකියි. නමුත් ප්‍රතිශක්තිය නැවත ඇතිකර ගැනීමෙන් (ඖෂධ හෝ පෝෂණය මගින්) එම තත්ත්වය මගහැර ගත හැකියි.

  • ආතතිය

දරුවන්ට ඇතිවන ආතති තත්ත්වයන් නිසාත් හිසකෙස් වලට බලපෑම් එල්ලවිය හැකියි. එසේ වන්නෙ අවුරුදු 3 – 5 අතර දරුවටන්ටයි. දෙමාපිය අඩදබර හෝ අසමගි කම, ලගම නෑයෙකුගෙ වියෝවක් වැනි හේතුවක් නිසා එසේ වෙන්න පුලුවන්. 

  • ඇතැම් රෝග තත්ත්ව

පිළිකා වැනි රෝග තත්ත්වයන් වලදී ඒවාට කරනු ලබන ප්‍රතිකාර විධිවල අතුරු ආබාධයක් ලෙසයි.

  • දිලීර රෝග 

දීර්ඝකාලීනව හිසේ පවතින දිලීර ආසාදන වලදීද හිසකෙස් ගැලවී යා හැකියි. මේ දිලීර නැතහොත් පුස් වර්ග සම මත ක්‍රියාත්මක වීම නිසා සමේ පෝෂණය බිද වැටෙන අතර ඒ ඒ තැන්වල කොණ්ඩය ගැලවී යයි. මේ සඳහා සමේ රෝග වෛද්‍යවරයකු මගින් නිට්ටාවටම සුවවන තුරු ප්‍රතිකාර ලබාගත යුතු අතරම නිවැරදි ලෙස එම ප්‍රතිකාර කිරීම වැදගත්. මෙවැනි පුස් වර්ග නිසා හිසේ තැනින් තැන කෙස් ගුලි වී පසුව හිසකෙස් ගැලවී යා හැකි අතරම එම ස්තාන වල සම තද ගතියක් ගන්නා අතර කෙස් නැති වී යාමද සිදුවිය හැකියි. එසේම සමේ පවතින රෝගී තත්ත්වයන් දීර්ඝ කාලින ලෙස තිබීමටද ඉඩ නොදිය යුතුයි.

එසේම මෙවැනි දිලීර හෙවත් පුස්වර්ග නිවසේ කෙනෙකුට ඇත්නම් පනාව, හිස පිහදමන තුවා ආදිය මගින් අන් අයටද එය බෝවිය හැකියි. එසේ හෙයින් මෙවැනි රෝග තත්ත්වයන් වලට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වනවා.

මේවා අවලක්ශණ ලෙස පෙනීම පෞරුෂයටද බලපෑමක් එල්ල කල හැකි මෙන්ම දරුවෙකුගෙ අභිමානයටද එය පහරක් විය හැකි හෙයින් මෙවන් තත්ත්වයන් හදුනාගෙන ප්‍රතිකාර ලබාදීම වඩාත් වැදගත් වනවා.

ඉහත අවස්‍ථා සියල්ලම පාරිසරික බලපෑම් හෙයින් ඒවා වෙනස් කිරීමෙ හැකියාවක් තිබෙනවා. එසේ හෙයින් අවශ්‍ය පරිදි මැදිහත්වීම් සිදුකර නිවැරදි කිරීම් සිදුකර රෝගී තත්ත්වයන්,හෝමෝන බැලපෑම් අවම කරගැනීමට ඉඩ සැලසෙන නිසා කාලයත් සමග හිසෙහි කොණ්ඩය වැවීම සිදුවනවා.

දරුවෙකුගේ හිසකේ සැති වීමට බලපෑ හැකි ජානමය සාධක

ආරයෙ ගති ලක්ෂණයක් එනම් පරම්පරාගත ගති ලක්ෂණයක් නිසා කොණ්ඩය වැවීමට බාධාවක් ඇති වුවහොත් එය නිරාකරණය කරගැනීම තරමක් අපහසු විය හැකියි. එහෙත් එය පරම්පරා ලක්ෂණයක් ලෙස හදුනා ගැනීම අපහසු වන්නෙ…අපි දන්නෙ අතීත පරම්පරා දෙකකට හෝ තුනකට වඩා එපිට යන්නක් බැවිනි. එසේ පරම්පරාගත නිලීනව පැවතී යම් අවස්ථාවක ප්‍රමුඛ වීම සිදුවූ විට මෙසේ සිදුවිය හැකියි. එසේ හෙයින් පරම්පරාගත ලන්ෂණ ඉස්මතුවීමක් සිදුවිය හැකි බව අපිට තේරුම් ගැනීමට සිදුවේ.

කෙසේ වුවද ශරීරයේ සෑම අවයවයකටම නැතහොත් ඉන්ද්‍රියකටම එහි ක්‍රියාකාරිත්වය සඳහා බලපාන මූලික පසුබිම සැකසෙන්නෙ ක්‍රියාකාරිත්වය හා බැදි මූලික පෝෂක කොටස් නියමිත පරිදි නොලැබීම හේතුවෙන් බැවින්…සෑම විටම අත්‍යවශ්‍ය වූ පෝශක කොටස් ජීවිතයේ සියලු කාලයන් හීදී සියලු වයස් සීමාවන් හීදි ගැලපෙන හා අවශ්‍ය ප්‍රමාණ වලින් ලැබීම සියලු ඉන්ද්‍රියන්ගෙ නිවැරදි ක්‍රියාකාරිත්වය හේතුවක් වන බව අප පැහැදිලි කරගත යුතු සේම  ඒහා සම්බන්ධව නිවැරදි දැනුමින් සන්නද්ධ වීමද අප විසින් කරගත යුතුයි.

එසේ අත්‍යවශ්‍ය පෝෂක ලැබෙද්දී ද යම් යම් අඩුපාඩු දක්නට වේනම්.. ඊලගට සොයා බැලිය යුතු කාරණට වනුයෙ ලැබෙන පෝශක කොටස් උරාගැනීමෙ යාන්ත්‍රණයේ ගැටලු පවතීද  යන්න බවයි. එවන් වූ අවස්ථාවන් පවා ඇතිවිය හැකි හෙයින් ඒවා පිලිබදව සොයාබැලීමත් වෛද්‍ය උපදෙස් ලබා කරුණු පැහැදිලි කර ගැනීමත් අවශ්‍ය වූ ප්‍රතිකාර උපදෙස් ලබා කරුණු පැහැදිලි කර ගැනීමත් අවශ්‍ය වූ සත්කාරක සේවාවන් වෙත යොමුවීමෙ වැදගත්කමත් තේරුම් ගත යුතුයි.

අවසාන වශයෙන්….දරුවන්ට කොණ්ඩය අහිමි වන්නෙ ආරයේ ලක්ශණ නිසා මෙන්ම ගැබිනි සමයේ මවගේ පෝශණ ඌණතා නිසා යන කරුණු දෙක වගේම දීර්ඝ කාලිනව ඇතිවන දිලීර ආසාදනද හේතුවන බව හදුනාගත හැකියි. එසේම මවට පෝශණ ඌනතා මෙන්ම ලැබෙන පෝශණය උරා ගැනීමෙ අපහසුතාද මීට හේතුවිය හැකි බවද පැහැදිලියි. එසේම ප්‍රතිශක්තියේ ඇතිවන දුර්වලතාවලට අමතරව හෝමොන වල ඇති ගැටලු විශේෂයෙන් තයිරොක්සීන් හෝමෝනයේ බලපෑමද මීට හේතුවක් විය හැකිබව පැහැදිලි වේ.

මෙසේ හදුනාගත හැකි අවස්ථාවන් සදහා හැකි පරිදි මැදිහත් වීම් සිදුකිරීමටද වෛද්‍ය උපදෙස් අනුව තත්ත්වය පැහැදිලි කරවාගෙන වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිකාර විධි මගින් පිළියම් සෙවීමට හැකිදැයි උනන්දු වීම තුලින් මෙවන් ගැටලුකාරී තත්ත්වයන්ට ඔබට සහනයක් ගෙනේවි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල