හරිම තිබහයි… කියලා ටැප් එකෙන් වතුර බොන එක ඔබටත් පුරුද්දක් වෙලාද?

අපි නොහිතන දේවල් ගොඩක් තියෙනවා. ඒත් ඒ බොහොමයක් දේවල් අපේ නොදැනුවත්කම නිසාමයි. ටැප් එකෙන් වීදුරුව පුරවගෙන එහෙමත් නැතිනම් ටැප් එකට අත තියලා වතුර බොන අය අපි ඕනේ තරම් දැකලා තියෙනවා. මේ තිබහට එහෙමත් නැත්නම් හදිස්සියටත් වෙන්න පුළුවන්. ඉතිං ඔබ හිතන්නේ ටැප් එකෙන් එන වතුර ඇත්තටම පිරිසිදුයි කියලද? එහෙම නම් අදම ඔබත් මේ පුංචි පරීක‍ෂණය සිදුකරලා බලන්න. ඇත්ත නැත්ත ඔබටම වටහා ගන්න පුළුවන්.

පිරිසිදු සුදු පැහැ රෙදි කැබැල්ලක් ගෙන ඔබේ ටැප් එකේ ගැට ගසන්න. දින දෙක තුනක් භාවිතයෙන් පසුව එහි වර්ණය වෙනස් වන ආකාරය ඔබටම දැකගත හැකියි. ඉතිං දැන් ඔබට වැටහෙනවා නේද? පෙරහන සවිකිරීමට පෙර ඔබ පානය කළ ජලයේ අන්තර්ගතව තිබූ සියලූ අපද්‍රව්‍ය ඔබේ සිරුරට ඇතුළු වෙන්නට ඇති බව. ජලය නැතිව අපට ජීවත් විය නොහැකියි. නමුත් ජලයේ පිරිසිදු බව අපගේ නිරෝගී පැවැත්මට අවැසයි.

ජලය සිරුරට අත්‍යවශ්‍ය පමණින්ම ඔබ එහි පවිත්‍රාතාවය පිළිබඳව සැලකිලිමත් නොවන්නේද?

ඔබ දන්නවාද? වෛරස, බැක්ටීරියා, පරපෝෂිතයින්, කෘමිනාෂක, නොයෙක් අපද්‍රව්‍ය මෙන්ම යම් යම් රසායනික ද්‍රව්‍යයන් හරහාද ජලය අපවිත්‍රව පැවතිය හැකිය. ඒ නිසාම ඔබ පානයට ගන්නා ජලයේ සෑම බිඳුවක් පාසාම පවිත්‍රතාවය පැවතීම ඉතාමක් වැදගත් බව අමතක නොකරන්න.

ජලය පිරිසිදු කිරීම මගින්

  • රෝග කාරක අපද්‍රව්‍ය විනාශ වේ
  • ජලයේ පවතින කඨිනතාවය (කිවුල් ගතිය) අවම වේ
  • රසායනික අපද්‍රව්‍ය ඉවත් වේ
දන්නවද? පිරිසිදු ජලය අපිට නැතිවම බෑ ….

මිනිස් සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය නිසි පරිදි පැවැත්ම උදෙසා ජලයේ වැදගත්කම අති මහත්ය. ඒ නිසාම ජලය අත්‍යවශ්‍ය සාධකයකි. අපේ සිරුරේ බරින් 60%ක පමණ ප්‍රමාණයක් පවතින්නේ ජලයයි. සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුහට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය වීදුරු හත අටක් වේ. ඝර්ම කලාපීය රටක් වන අප රටේ වෙසෙන මිනිසුන්ගේ සිරුරෙන් පිටවන ජල ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි ප්‍රමාණයකි. ඒ නිසාම අදාල පුද්ගලයාගේ ශරීරයේ බර අනුව අවශ්‍ය නිසි ජල පරිමාව ලබාගැනීම ඉතා වැදගත් වේ.

පිරිසිදු ජලය මගින් විජලනයෙන් රැකගනී/ආහාර ජීරණය/සිරුරේ උෂ්ණත්වය නිසි අගයේ පවත්වා ගැනීම/මුත්‍රා සහ දහඩිය වශයෙන් අනවශ්‍ය දේ සිරුරින් බැහැර කිරීම/මලබද්ධය වැළැක්වීම වැනි ප්‍රතිපල මෙන්ම සිරුරට ගුනදායකය.

සැමවිටම පිරිසිදු ජලය වීදුරුවක් මගින් සෞඛ්‍ය සම්පන්න දිවියකට හිමිවන ප්‍රතිලාභ ඔබත් අත්කරගන්න.

සැමදා සැමට පිරිසිදු ජලය ලබාදෙන්නට වෙහෙසෙන පියුරිට් (Pureit) මගින් සිදු කළ පරීක‍ෂණය සහ සිදුවන දේ පහත වීඩියෝවෙන් ඔබත් නරඹන්න.

Pureit අනුග්‍රාහකත්වයෙන් පලකරන ලද ලිපියකි.

දරුවා නිදි කරවන නිවැරදිම ඉරියව්ව ගැන දැනගන්න අවශ්‍යද?

දරුවකු යනු අපේ රටේ ඉදිරි අනාගතයි. මෙවන් මහගු වු දරු සම්පත සුරක්ෂිතව හා ආදරණීයව රැකබලා ගැනීම අප කාගේත් යුතුකම මෙන්ම වගකීමක්ද වන බව නොරහසකි. නින්ද යනු ළදරු වියේදී ඉතා වැදගත් වන සාදක අතුරින් එකකි. ඔබගේ නිවසේත් ළදරුවෙකු සිටී නම් ඔහුගේ හෝ ඇයගේ නිදන ඉරියව්ව පිළිබඳව දැන සිටීම ඉතා වැදගත් වේ. ආරක්ෂාකාරී නිදන ඉරියව් මොනවාද යන ගැටලුව වර්තමානය වන විට බොහෝ මව්වරුන් පිළිතුරු සොයමින් සිටින අවස්ථාවකි.

අද වන විට අවුරුදු 01 ට අඩු ළදරුවන්ගේ හදිසි මරණ ඇති වීමේ හේතුවක් ලෙස ආරක්ෂාකාරී නොවන නිදන ඉරියව් අනුගමනය කිරීම හේතුවක් වී ඇත. මෙම අවස්ථාවන් SUDI (Sudden unexpected Death in Infancy) සහ SIDS (Sudden Infant Death Syndrome)  ලෙස හදුන්වනු ලැබේ. මෙම තත්ත්ව උදා වීමට පහත හේතූ බලපානු ලැබේ.

  • දරුවා මුනින් අතට හෝ පැත්තකට ඇලව නිදි කිරිම
  • ඉතා මෘදු වූ මෙට්ට, ඇතිරිලි, සෝෆා, කොට්ට යනාදියේ දරුවන් නිදි කරවීම
  • දරුවාගේ මුහුණ හෝ හිස ඇතිරිලි වලින් වසා තැබීම
  • මෙම හේතුව නිසා දරුවට හුස්ම ගැනීමට අපහසු වීම හ උණුසුම වැඩිවීම සිදු විය හැක

ඉහත සදහන් කරන ලද අවදානම් තත්ත්ව නිසා දරුවකුගේ ආරක්ෂාකාරී සහ ආරක්ෂාකාරී නොවන නිදන ඉරියව් පිළිබද අවබෝධයෙන් සිටීම ඉතා වැදගත් වේ. එම ඉරියව් පහත පරිදි වේ.

උඩුබැලි අතට නිදීම හෙවත් පිටුපස මෙට්ටයෙහි ස්පර්ශ වන පරිදි නිදීම. (sleep on back)

sleep on back

 

 

 

 

මෙම ඉරියව්ව් SIDS අවස්ථාවලින් දරුවා මුදවා ගත හැකි වඩාත් සුදුසුම නිදන ඉරියව්ව වේ. මෙම ඉරියව්ව් අනුගමනය කිරිමේදී ශ්වසන මාර්ගය ඉතා හොදින් විවෘතව පවතී. ඇමරික එක්සත් ජනපදයේ ජාතික ළමා හා මානව සංවර්ධන ආයතනය (NICHD – National Institute of Child Health and Human Development) මගින්ද උඩුබැලි අතට නිදීම ආරක්ෂාකාරී ඉරියව්ව ලෙස නම් කර ඇත.

නමුත් දිර්ඝකාලීනව මෙලෙස උඩුබැලි අතට එනම් මෙට්ටයට පිටදී නිදීමෙන් ඇති වන අවාසිය වන්නේ පැතලි හෝ හැඩය විකෘති වූ හිස සහ හිස්කබලේ පිටුපස පැතලි බව ඇති වීමයි. නමුත් මෙම තත්ත්වය දරුවාට අවුරුද්දක්  පමණ වන විට කාලයත් සමගම අඩු වී යන අතර ඉතා කලාතුරකින් ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයට පත් වේ. සරල උපක්‍රම කිහිපයක් මගින් මෙම තත්ත්ව වළක්වා ගත හැකි බැවින් මෙම තත්ත්ව පිළිබද බිය විය යුතු නොවේ.

  • දරුවා අවදි වූ විගස මදක් මුනින් අතට තැබීම
  • පැතිලි වී ඇති පැත්තට විරුද්ධ දෙසට හිස හරවා තැබීම.
  • නිදාගන්න අවස්ථාව හැරුණු කොට අනෙක් අවස්ථාවන් වලදී උඩුබැලි අතට තැබීම අඩු කිරීම.
  • හිස හරවා තබන දිශාව මොහොතින් මොහොත වෙනස් කිරීම.
මුනින් අතට නිදීම හෙවත් උදරය මෙට්ටයෙහි ස්පර්ශ වන පරිදි නිදීම. (Sleep on stomach)

Sleep on stomach

මෙම ඉරියව්ව හේතු ගණනාවක් නිසා අනුගමනය නොකළ යුතු ඉරියව්වක් බවට සනාථ කර ඇත.

  • මෙයින් ළදරුවාගේ හනු පෙදෙසට ඇති කරන පීඩනය වැඩි වන අතර ශ්වසන මාර්ගය අවහිර වීම හ එම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවේ.
  • ඇතිරිලි වලට ඉතා ළගින් මුහුණ තිබීම නිසා එකම වාතය ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සිදු වේ.
  • ඉතා මෘදු මෙට්ට් මත මුනින් අතට නිදීමෙන් ළදරුවෙකුගේ හුස්ම හිරවීම පවා සිදූ විය හැක.
  • ළදරුවා මෙට්ටය මත ඇති විෂබීජ ද ආශ්වාස ප්‍රාශ්වාස කරයි.

ඉතා කලාතුරකින් වෛද්‍යමය හේතු මත දරුවා මුනින් අතට තැබීමට වෛද්‍යවරුන් උපදෙස් දෙනු ලැබේ. වෛද්‍ය වෘතිකයන් සුළු පිරිසක් දරුවාගේ උදර අම්ලොද්ගාර හා ඉහල ශ්වසන මාර්ග විකෘති තත්වයන් වලදී මුනින් අතට නිදීම ගුණ දෙන බවට විශ්වාස කරයි. නමුත් බොහෝ වෛද්‍යවරුන් මෙම ඉරියව්වේ ඇති අවදානම නිසා එම ඉරියව්ව අනුමත නොකරයි.

පැත්තකට හරවා නිදි කරවීම  

side_sleep

අනාරක්ෂිත ඉරියව්වක් වන අතර එමගින් ළදරුවන්ට ඉතා ඉක්මනින් මුනින් අතට හැරීමට හැකි විම හේතුව වේ. එම නිසා SIDS වැනි තත්ත්ව ඇති වීම වැළක්විය නොහැක. මෙම හේතුවෙන් පැත්තකට හැරී නිදීමද නුසුදුසු වේ.

නින්ද සහ ඉරියව් පිළිබද සලකා බැලීමේදී මව්කිරි පෙවීමෙන් පසු හෝ බෝතලේ කිරී පෙවීමෙන් පසු දරුවා මදක් ඉහලට ඔසවා උරහිසෙහි හිස හොව තබා ගැනීමෙන් වැඩිපුර පෙවී ඇති කිරී ඉවත් වීම, හොදින් උගුරට යාම සිදුවේ. ඉන් පසුව දරුවා මදක් මුනින් අතට තබා ඉන් පසුව උඩුබැලි අතට නිදි කරවීම ඉතා සුදුසු වේ. මෙලෙස නිදි කරවන ඉරියව් පිලිබදව සලකා බැලීම ඉතාම වටී.

  • ඉතා මෘදු මෙට්ට, කොට්ට, සෝෆා භාවිත නොකරන්න
  • දරුවා නිදන ස්ථානය අවට ඇති සෙල්ලම් බඩු ඉවත් කරන්න
  • දරුවාගේ මුහුණ හෝ හිස වැසෙන පරිදි ඇතිරිලි නොදමන්න. පරිසරය සිසිල් නම් උණුසුම් ඇදුම් අන්දවා දරුවා නිදි කරවන්න
  • අධික උණුසුම ඇති වන පරිදි ඇතිරිලි, ඇදුම් භාවිත නොකරන්න. කාමරයේ උෂ්ණත්වය පිලිබදව සලක බලන්න
  • දරුවා නිදන ඇද අසල විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන්න. සුළං සැර නිසා දරුවාට හුස්ම ගැනීමට අපහසු වන බැවිනි. කාමරය උණුසුම් නම් පමණක් ඇදේ පැත්තකින් දුරට වන්නට විදුලි පංකාවක් ක්‍රියාත්මක කරන්න. වතුර බේසමක් ඇද අසල තබන්න. (ශරීරයේ ජලය උර ගැනීමෙන් දරුවා විජලනය වන බැවිනි)

මේ අනුව දරුවා නිදන ඉරියව්ව පිලිබදව නිතර අවදානයෙන් පසු වීම අනාගතයේ පසුතැවීමට හේතු කාරණා ගෙන නොදේ.

doctor-sawmya

වෛද්‍ය S.A.U සෞම්‍යා කුමාරි ජයසිරි
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය 
කැලණිය විශ්වවිද්‍යාලය ,යක්කල

 

දරුවාට ෆ්‍රෙන්ච් ප්‍රයිස් දීමට පෙර ටිකක් හිතන්න

අපේ පුතාට පොටේටෝ චිප්ස් තිබුනොත් ආයේ මොකුත් ඕන නැහැ.බොහෝ මව්පියන් මේ විදිහට කියනු ඔබටත් ඇසී තිබේ. ඒ වගේම අද සුපිරි අවන්හල්වල ඇති බොජුන්පතේ අර්තාපල් තීරු අනිවාරයෙන්ම අවශ්‍ය අංගයක් වී තිබෙන්නේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුම වෙනුවෙන් මේ අතිරේක තිබීම අවශ්‍ය නිසයි.

ඒත් මේ ගැන තිබෙන අලුත්ම ආරංචිය ඔබ අසා තිබෙනවාද….අයිස්වතුරේ පොඟවාගෙන ගැඹුරු තෙලෙන් බදින ලද අලපෙති තීරු මගින් අපේ සිරුරට ලැබෙන කැලරි ශක්තිය ඉතාම අධිකයි. මේ වගේ ආහාර ඉඳහිට ගත්තාට අගුණයක් නැති වුනත් බොහෝ දෙනෙක් නිතරම ආහාරයට ගනන්වා. ඔබ වුනත් දරුවන්ගේ ඉල්ලීම අනුව වෙළඳපොලෙන් මිලට ගනන්වා වගේම ඔබටත් කාලවේලාව තිබෙන විට අලපෙති තීරු බැද දෙන්න උනන්දුවක් දක්වනවා ඇති.

එහෙත් දැන් මේ අධ්‍යන වාර්තාව ගැනත් ඔබට හිතන්න වෙනවා.වොෂිංටන් විශ්ව විද්‍යාලයේ ස්ථුලතා මධ්‍යස්ථානය මගින් මේ පිලිබඳව අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ෆ්‍රෙන්ච් ප්‍රයිස් යනුවෙන් හැඳින්වෙන අල පෙති තීරු මගින් සිරුරට ඇතුලුවෙන පෝෂණ ප්‍රභවයන් මේ විදිහට පෙන්වා දුන්නා.

මේදය ග්‍රෑම් 24ක් සහ කාබොහයිඩ්ඩ්‍රේට ග්‍රෑම් 65 ක් ප්‍රෙන්ච් ප්‍රයිස් මගින් සිරුරට එකතු වෙනවා. එයින් ලැබෙන විපාක විදිහට මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සිරුරේ බර ඉහල යන අතර කොලස්ටරෝල් සහ අධි රුධිර පීඩනයට ගොදුරු වෙන අවදානම ඉතාම ඉහලින් පවතිනවා.

තවත් බරපතලම තත්වය මේ විදිහට පෙන්වා දෙන්න පුලුවන්. අපි සාමාන්‍යයෙන් දිනකට ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය තේ හැන්දකට සීමා වුනත් මේ අල පෙති හෙවත් ප්‍රෙන්ච් ප්‍රයිස් රස ගැන්වීමට අධික විදිහට ලුණු යොදා ගන්නවා. පර්යේෂකයන්ගේ ගණනයට අනුව මෙම අලපෙති තීරුවල අන්තර්ගත සෝඩ්යම් ප්‍රමාණය මිලිග්‍රෑම් 600 ක් පමණ වෙනවා. නිතර නිතරම මේ අහිතකර විදිහට සිරුරට ඇතුලු වෙන ලුණු සිරුරේ තැන්පත්ව පසුකාලීනව අක්මා සහ වකුගුඩු රෝග වැළඳිමට තිබෙන අවදානම ඉතාම ඉහලයි.

ගැබිණි කාලයේදී බොහෝ දෙනාට ඇති වෙන ආහාර අරුචිය ඉදිරියේ වෙනස් විදිහක ආහාර වෙනුවෙන් යොමු වෙන අවස්ථාවන් තිබෙනවා. මේ වෙලාවට අලපෙති හෙවත් ප්‍රෙන්ච් ප්‍රයිස් ආහාරයට ගත්තත් දෙවතාවක් ඒ ගැන හිතනවා නම් යහපති කියල දැන් සඳහන් කරන්න වෙනවා. ඊට හේතුව අර්තාපල් බදින්නේ අධික උෂ්ණත්වය නිසා කලලයේ යම් යම් විකෘතිතාවයන් ඇති වීමට බොහොම ලොකු අවදානමක් ඇති වෙන බව මෙම අධ්‍යන වාර්තාව මගින් පෙන්වා දෙනවා.ප්‍රෙන්ච් ප්‍රයිස් මුල් කරගෙන මේ විදිහට චෝදනා නැගුනත් අර්තාපල් වලින් ලබා ගත හැකි ගුණ නැතුවාම නොවේ.

අර්තාපල්වල අඩංගු විටමිනි බී 6 මගින් එන්සයිම ක්‍රියාකාරී කරන අතර ස්නායු පද්ධතියේ උත්තේජනයක් ගෙඩ නගනු ඇත. මේ නිසා මානසික පීඩනයට වඩාත් හොඳ ආහාරයක් විදිහට අර්තාපල් වෙනුවෙන් වඩාත් සාර්ථක

හෘදරෝගවලට ආරක්ෂාව

අර්තාපල් බී 6 සංයෝගයෙන් යුක්ත නිසා එයින් ලැබෙන Methylation  සායනයෙන් හෘදරෝග අවදානම අවම කරන බවත් දැන් පිලිගෙන තිබෙනවා. මේ සංයෝගය වෙනස් වූ විට ධමණීන්ගේ අවහිරතාවයන් ඇති වෙනවා පමණක් නොව මේද පැල්ලම් ගොඩ නැගී හදවතට ලැබෙන රුධිර සැපයුම වෙනස්ව හෘදයාබාධ තත්වය දක්වා තත්වය අහිතකර විදිහට බලපාන්න පුලුවන්. මේ නිසා අර්තාපල්වල හෝමෝසිස්ටයින් homocysteine මට්ටම පාලනය කිරීමේ හැකියාව තිබෙනවා.

homocysteine යනුවෙන් හැඳින්වෙන ඇමයිනෝ අම්ලය අඩු ඝනත්ව ලිපොප්‍රෝටින යනුවෙන් හැදින්වෙන අහිතකර කොලස්ටරෝල් තත්වයටත් ඩා භයානකයි.

සිරුරට අවශ්‍ය තන්තු ලැබෙනවා

තන්තු බහුල ආහාර මගින් මලබද්ධය මග හැරෙන අතර කොලස්ටරෝල් මට්ටම පාලනය වේ. බඩවැල් ආශ්‍රිත පිලිකා තත්වයන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීමට තන්තු විශාල පිටුවහලක් වෙනවා. සාමාන්‍ය අර්තාපල් අලයකින් තන්තු ග්‍රෑම් තුනක් ලබා ගන්න පුලුවන්. මේවායේ තන්තු බහුලව තිබෙන්නේ පිට පොත්ත ආශ්‍රිතව නිසා පොත්ත සමග ආහාරයට ගැනීම වඩාත් හිතකරයි.

අර්තාපල් යොදා ගෙන පිලියෙල කරන ආහාර

සුප් පිළියෙල කරන විට අර්තාපල් යොදා ගත් විට එහි රසය වගේම ගොරෝසු බව ඇති වෙනවා.

පැටිස්, කට්ලට්, රෝල්ස්, මසල තෝස,සැන්ඩ්විච් වගේම වෙනත් පිරවුම් සහිත ආහාර වෙනුවෙන් යොදා ගත හැකියි.

අර්තාපල් අල තම්බාගෙන දියකිරිවලට මිරිස්, ලුනු. රතුළූෑනු, රම්පෙ, කරපිංචා, උම්මලකඩ ආදිය දමා ලිප තබා එය පැසුන විට මිටිකිරි එක් කර ගෙන පිසින්න. මෙය පාන්, ඉදිආප්ප වෙනුවෙන් ඉතා ගැලපෙන හොදි විශේෂයකි.

තම්බා කැට කපා ගත් අර්තාපල් ලුණු සහ ගම්මිරිස් අනා පැයක් පමණ තබන්න. තෙල් ලිප තබා එයට රම්පෙ, කරපිංචා , බොම්බයි ළූණු එක් කර තෙම්පරාදු කර ගෙන කැබැලි මිරිස් එක් කර ගෙන රස විදින්න.

අනාගතය ජයගන්න, දරුවන්ට අවැසි පන්නරය නිවසෙන්ම ලබාදෙන්න

දරුවන්ට කන්න දෙනවා නම් බොන්න දෙනවා නම්…උගන්වනවා නම් වෙන මොනවාද තව දෙන්න කියන්නේ…මව්පියන් විදිහට ඔබ මෙහෙම හිතුවත් ඔවුන්ගේ අනාගතයට අවශ්‍ය පන්නරයත් නිවසේදීම ලබා දීම ඉතා වැදගත්. අද දරුවා හෙට රටේද නායකයා වන බව ඔබ දන්නා නිසාම මතු දවසේ මව්පියන් විදිහට ජීවිතයට මුහුන දීමට අවශ්‍ය පන්නරයත් ඔබගෙන්ම ලැබෙනවා නම් වඩාත් ගැලපෙන දරුවෙක් සමාජයට දායාද කළා වෙනවා…එහෙම නම් ඔබ දරුවාට මේ හැඩගැස්මත් බාලකාලයේ පටන්ම ගොඩ නගන්න.

ගෙදර කටයුතු කලමනාකාරණය කරන්න

අද මව්පියන් නිවසේ කටයුතු නිසා බොහොම හෙම්බත් වෙනවා. මගේ දරුවන් ය යන සංකල්පය නිසා අද මේ විදිහට නිවසේ කටයුතු ඔබ වෙතින් සිද්ධ වුනත් හෙට දවසේ ඔබේ දරුවාටත් තනිවම ගෙදර දොර පාලනය කර ගැනීම අවශ්‍යයි. ඒ නිසා බාල කාලයේ පටන්ම නිවසේ පාලන කටයුතු ගැන දරුවාට හුරු කරන්න. එවිට ඔවුන්ගේ අනාගත කැදැල්ල නොදැනම සිරි විමනක් බවට පත් වෙනු ඇත.

ඉවුම් පිහුම්

පිරිමි දරුවන්ට වුනත් ඉවුම් පිහුම් කටයුතු ගැන දැණුමක් තිබුනොත් වරදක් වෙන්නේ නැහැ. බිරිඳට අසනීපයක් හැදුන විට, ගමනක් බිමනක් ගිය විට පිරිමියෙක් වුනත් ආහාර පාන සකසා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. එහෙම නැති වුන දාට ” පුලුස්සා ගත් රොටිය කරවිය බිරින්දෑ නෑගම් ගොහිං…”  යනුවෙන් මැසවිලි නගන්න වේවි.

මුදල් පාලනය

සල්ලි දෙවියන්ගේ මල්ලිටත් වඩා වටින්නේ අද මුදල නොමැතිව කිසිම කටයුත්තක් ඉටු කර ගැනීම නොහැකි නිසාය. ගෘහ පාලනයේදී මුදල් සකසුරුවෙමෙන් පාවිච්චියට දැන ගැනීම ඉතා වැදගත්.ලැබෙන ආදායම ගැන සලකා බලා ඒ සීමාවේ සිටිනවා වෙනුවට තමාට නොහැකි අන්දමින් වැය බර ගොඩ නගා ගැනීම නොවිය යුතු දෙයක්. අද ඇතැම් කාන්තාවන් නිසා පවුලම ආර්ථික වශයෙන් පිරිහීමට පත් වෙනවා. ඇතැම් සැමියන් බිරින්දෑවරුන්ට චෝදනා නගන්නේ කොච්චර හම්බ කළත් මකර කටට දානවා වගේ…එයින් පෙනෙන්නේ සැමියා හරිහම්බ කරන ලද දෙය මනා වූ සකසුරුවමෙන් පවත්වා ගැනීමට අපොහොසත් කාන්තා චරිතයක් ගැනයි.

ඒ වගේම ඇතැම් සැමියන්ටත් මුදලක් දුටුවොත් එය අවසාන කරන තෙක් ඉවසීමක් නැත. කුමක් හෝ වැය ශීර්ෂයක් ඒ වෙනුවෙන් ගොඩ නගනු ඇත. මේ නිසා පිරිමි දරුවන්ටත් මුදල් පාලනය ගැන දෙමව්පියන් විසින් ලබා දෙන දැණුවත්බව ඔවුන්ගේ අනාගතයට ඉතා වැදගත් වේ.

කාලය

කාලය අපට නවත්වා ගත නොහැක.කාලය රන් හා සමාන කළත් අද එයට දෙන නිර්වචනය වන්නේ කාලය රත්රන්වලටත් වඩා වටිනා බවයි. අද දවසේ ගෙවෙන තත්පර අපි ආරක්ෂා නොකල විට හෙට අපට අපතේ යන්නේ පැයඅවුරුදු ගණන්ය.මේ නිසා දරුවන්ට කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට දැණුවත් කරන්න. අද කල යුතු දෙය හෙටට කල් දැමීම යනු කාලයේ නිසි කලමනාකරණයක් නොවුන විට ඇති වෙන ගැටලු බව ඔවුන්ට පහදා දෙන්න. කාලය කා දමන්නා කාලකන්නියා වුනත් දරුවන්ට එසේ ආමන්ත්‍රනය නොකොට කාලය නිසි පරිදි හසුරුවා ගැනීමට අවශ්‍ය පදනම ඔවුන්ට සලසා දෙන්න. එවිට ඔවුන්ගේ අනාගතයත් ඒ අනුව ගොඩ නගා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ.

ආගම හා සංස්කෘතිය

සංස්කෘතිය කන්නද….එසේත් නැත්නම් හණමිටි අදහස්…ඒත් නැත්නම් ලෝකයේ තාලයට අපි අවනත විය යුතුය කිව්වත් අද අපේ දරුවන්ගේ හර වටිනාකම් බොහොමයක් ගිලිහී තිබෙන්නේ සංස්කෘතියෙන් ලබන ශික්ෂනය ඔවුන්ට නොමැති වූ නිසාය. නම අගට උපාධි සමත්ව අකුරු අමුණා ගත් පමනින් දරුවා නිසි තැනට පත් වුවාය යන තෘප්තියට පත්විය නොහැක. ආගම දහම සහ සංස්කෘතික වටිනාකම් ඔවුන්ට පහදා දිය යුතුය.

අද මහමග දමා යන දෙමව්පියන්ගේ දරුවන් උගත්කමින් ඉහලය. සමාජ වටිනාකම් යැයි තක්සේරුකරන මිනුම් වලින් යුක්ත වුනත් වියපත් දෙමව්පියන්ට සැලකිය යුතුය යන සංකල්ප ඔවුන්ගේ හිතේ නොමැති වීම යුගයේ අවාසනාවක් වී ඇත. එබැවින් දරුවා බාල කාලයේ පටන්ම ආගම, අපේ වටිනාකම් යන රාමුව තුළ හික්මවා ගෙන අනාගතයට දායාද කරන්න.

ලිංගික අධ්‍යාපනය

ලිංගිකත්වය දරුවන් සමග කතා නොකල යුත්තක්ය යන සංකල්පයෙන් ඔබ ඉවත් වන්න. පිරිමි සහ ගැහැණු දරුවන්ගේ ශාරිරික වෙනස්වීම් සමග ඇති වෙන අතුරු ලක්ෂණ ගැන ඔවුන්ට පහදා දෙන්න.

එක්තරා ජාත්‍යන්තර සංවිධානයක් ආරම්භ වීමට මුල් වුන නිමිත්තක් ඇත. දරුවන්ට තමාගේ සිතුවිලි කතා බහ නොකිරීමට තහංචි පැනවීම නිසා ඔවුන් ඉතා අසරණ වූහ. මේ නිසා තමන්ගේ  දුක බෙදා ගැනීම වෙනුවෙන් එක්තරා ජාත්‍යන්තර ආයතනයක් ආරම්භ කරනු ලැබුවේ මෙම සිදුවීම නිසාය. එම සිදුවීම මෙයයි.

එංගලන්තයේ එක් දැරියක් වැඩිවියට පත්වීමෙන් පසුව මාසිකව ඔසප් සිදු වෙන බව දැනගෙන සිටියේ නැත . ඒ නිසා ඔසප්වීම ආරම්භය වීම නිසා ඇය බියට පත්ව සිය දිවි නසා ගත්තාය. ඇත්තටම මේ සිද්ධිය සාමාන්‍ය තත්වයක් බව ඇය දැන සිටියා නම් මෙම අවාසනාවන්ත මරණය කිසිදු විටෙක සිදු නොවනු ඇත.

සතුට ලබා දෙන්න

දරුවන් සතුට අගය කරන සතුට අවශ්‍ය පිරිසකි. බාලකාලයේදී සතුටින් පිරුන ජීවිතය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය පෞරෂය ගොඩ නගනු ඇත. ඒ නිසා ඔබට හැකි මට්ටමින් දරුවාට සතුට ලැබෙන දේ ඉටු කර දෙන්න. ඔවුන්ගේ සතුට ඔබට නොවැදගත් වුනත් එයින් සැකසෙන්නේ දරුවාගේ අනාගතයට අවශ්‍ය පෞරෂයයි. ඒ නිසා ඔවුන් විසින් ඉදිරිපත් කරන, ඔවුන්ගේ සතුට සදන කටයුතු එක්වරම ප්‍රතික්ෂෙප නොකොට දෙවතාවක් ඒ ගැන හිතන්න.

පරිසරයට ආදරය කරන දරුවන්

අද පරිසරයට ආදරය නොකරන පරම්පරාවක් බිහිවීම නිසා එයින් බැට කන්නන් බවට අප පත්ව ඇත. ගහ කොල සතා සිවුපාවාට ආදරය කරන, ඇල දොල ජලතලා විනාශ නොකරන,ඒවායේ සුන්දරත්වය විදින , සුරකින පරම්පාවක් අද යුගයේ අවශ්‍යතාවය බවට පත්ව ඇත. ඒ නිසා ගහ කොල ගැන ඔවුන්ට කියා දෙන්න. පරිසරයේ සුන්දරත්වය වින්දනය කරන ඉව ලබා දෙන්න. වලාකුලක, තරුකැටයක, කන්දක, මලක ඇති සුන්දරත්වය ඉදිරියේ ඔවුන්ගේ දෙනෙත් විවර කරන්න. හැන්දෑවට අහසේ පායා ගෙන එන හඳ දෙස දරුවා සමග බලන්න. කොන්ක්‍රිට් පරිසරයක වුනත් අහස පෙනන කොතැන හෝ කවුලුවක් ඇත. එයින් අහසේ විසිතුර පෙන්වන්න. අපි ඉන්නේ ෆැලට්ස්වල බව සැබෑ වුනත් නගරයේ තිබෙන උද්‍යානයකට හෝ දරුවන් කැටුව යන්න.

ඔබ දරුවාට නියම අන්දමින් යුතුකම් ඉටු කරන්නේ නම් ඒ ලැයිස්තුවටම මෙම කරුණු කීපයත් එක් කරන්න. අනාගතයේ ඔබේ දරුවා ඔබට වගේම රටට වැඩදායක චරිතයක් වෙනු ඇත. ඔබේ දරුවාගේ සුවඳ හමා යා යුත්තේ  ලෝකයටයි.

සුන්දර ළමා ලෝකයක් ගොඩනගන්න සෙල්ලම අවශ්‍ය වෙන්නේ මේ නිසයි

දරුවන්ට කන්න අදින්න උගන්වන්න අම්මා තාත්තා දරණ ධෛර්ය ඔවුන්ට සෙල්ලම් කරන්න නම් ලැබෙන්නේම නැහැ. සෙල්ලම කියන්නේ දරුවන්ගේ ඉගෙණුම කඩාකප්පල් කරන ඇබ්බැහියක් විදිහට හිතුවත් අපේ ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරදයි. ඒ විතරක් නොවෙයි…සෙල්ලම් කරන විට අම්මා තාත්තාට අවශ්‍ය විදිහට දරුවන් හැසිරවීම වගේම ඒ මැද්දට අම්මා තාත්තා සම්බන්ධ වීමත් එතරම් හොඳ නැති බවයි දැන් අනාවරණය කර ගෙන තිබෙනවා.කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ දරුවන්ගේ ළමා ලෝකය බොහොම සුන්දරයි. සෙල්ලම් කරන විට අපූරු නිර්මානශීලී සිතුවිලි මැවෙනවා. ඒ නිසා සෙල්ලම් කරන විට අපි මැද්දට ඇවිත් මේ විදිහට කරන්න… යනුවෙන් විධාන පැනවීම එතරම් ගැලපෙන දෙයක් නොවන බව මෙම අධ්‍යනයේ ප්‍රධාණී ඩේවිඩ් වටිය්බෙඩ් සඳහන් කරනවා.

වැලි සෙල්ලම් බත් උයන දරුවා මැද්දට ඇවිත් ඔවුන්ගේ සැලසුම කඩා ඉහිරුවා දමන්න නරකයි.එය නිදහසේ ඉදිරියට කරගෙන යන්න ඉඩ දීම අවශ්‍යයි. ඕක ගන්න එපා…ඕවා අතගාන්න එපා යනුවෙන් නිහේධනයන් ලබා දම ඉතාම නරකයි. ඉස්සරකාලයේ නම් දරුවන්ගේ සෙල්ලමට අවශ්‍ය හැම දෙයක්ම පරිසරයෙන් ලැබුණා. සෙල්ලම් කඩයක් දැම්මත්, වැලි බත් ඉව්වත් ඒ වෙනුවෙන් අවශ්‍ය හැම අමුද්‍රව්‍යක්ම පරිසරයෙන් ලබා ගත්තා. අද දරුවන්ට ඒ වාසනාව නැති හින්දා ඔවුන් ගෙදර පාවිච්චි කරන උපකරණ වෙනුවෙන් යොමු වෙනවා. ඒ වෙලාවට අම්මා ආවේශ වෙන්නේ දරුණු අපරාධයක් කළ විදිහටයි.

දැන් ඔබ කියාවි හරි අපූරුයි ගෙදර තියෙන වටිනා කියන දෙය විනාශ වුනොත් කියලා…ඒ වුනත් ඔබ දරුවාට සෙල්ලමට අවශ්‍ය උපකරණ සපයා දීම වැදගත්. වැලි අතගාලා කෝම්පිට්ටු හදනවිට අම්මලා බය වෙන්නේ වැලි අතගාලා විෂබීජවලට නිරාවරනය වෙයි…කුෂ්ට ඇති වෙයි…මේ විදිහට සාධාරණ බිය සැක ඇති වුනත් මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන විදිහට කෝම්පිට්ටු සැදීම බොහොම වැදගත් සෙල්ලමක්. එයින් දරුවාගේ නිර්මානශීලි චින්තනය අවදි වෙනවා. ඒ වගේම කෝම්පිට්ටු ඉදීයෝ…කෝම්පිට්ටු ඉදීයෝ…රෑට බතට අපට කන්න කෝම්පිට්ටු ඉදීයෝ…කියමින් කරන මේ සෙල්ලමෙන් ලැබෙන වටිනාකම් බොහොමයි.

දරුවා වැලි අතගාන නිසා හසුරු කුසලතාවයන් සංවර්ධනය වෙනවා

යම් පදවැලක් ගායනා කරන නිසා ගායනීය හැකියාවන් වගා වෙනවා.පොල්කටුවට තට්ටු කිරීම නිසා රිද්මානුකූල සංකල්ප ගොඩ නැගෙනවා.සෙල්ලම අධ්‍යාපනයට බාධාවක්ය යන සංකල්ප ගොඩ නගා ගෙන මව්පියන්ගේ මැදිහත් වීමෙන් ඒ සඳහා දරුවාට ලබා දී තිබුන කාලය හැම විටම සීමා කරනවා. ඒ වුනාට අනාගත අධ්‍යාපනයට අවශ්‍ය පෞරෂය ගොඩ නැගෙන්නේ සෙල්ලම තුලින් බව අමතක කරන්න හොඳ නැහැ.

අධ්‍යාපනය වෙනුවෙන් නිර්මානශීලීත්වය අවශ්‍යයි.දරුවන් පුංචි වුනත් ඔවුන්ටත් තර්ක බුද්ධියක් තිබෙනවා. මේ සංකල්ප හිතේ තිබුනාට ඒවා අවදි වෙන්නේ සෙල්ලම තුලින් බව අමතක කළ යුතු නැහැ. ඉස්සරවෙලා තාත්තට බත් බෙදන්න….නංගිට ටිකක් බෙදන්න…එයා පුංචියි…එයාට කැඳ ටිකක් හදන්න…මේ විදිහට ඉතාම තර්කානුකූල සිතුවිලි සෙල්ලම තුලින් නොදැනම වගා වෙනවා.

දරුවන්ගේ සෙල්ලමට අම්මා තාත්තා මැදිහත් නොවුනාම ඔවුන්ගේ ස්වාධීනත්වය නොදැනම ඇති වෙනවා. දෙමව්පියන්ගේ මැදිහත්වීම සිදු වුනොත්එයින් වෙන්නේ දරුවාගේ ස්වාධීනත්වය බිද වැටීම පමණයි.ඔබ මැදිහත් වෙනවා නම් එසේ මැදිහත් විය යුත්තේ මේ සෙල්ලමේ කොටස් කාරයෙක් විදිහට පමණයි. දරුවන් සෙල්ලම් කඩයක් දාගෙන සිටින විට ඔබට එහි ගණුදෙණුකරුවෙක් විදිහට මැදිහත් වෙන්න බාධාවක් නැහැ.

දරුවන් වයසෙන් පුංචි වුනත් ස්වාධීනත්වය පිලිබඳව බොහොම පොහොසත්. සෙල්ලම් කරද්දී අහගෙන හිටියොත් ඔවුන්ගේ දෙබස් හරිම රසවත්.දරුවන් එහිදී පණ දෙන්නේ වැඩිහිටියන්ගේ චරිතයටයි. අපි නොදකින දේවල් ඔවුන්ගෙන් වැඩිහිටි අපට දැක ගන්න ලුලුවන්.

එලිමහන් කි්‍රඩාවන් නිසා පරිසරය සමග දරුවන් සම්බන්ධතාවය ගොඩ නගා ගැනෙනවා.මේ නිසා ඔවුන්ගේ මානසිකත්වය යහපත් වෙන බව කොලරාඩෝ සරසවියේ මානසික සහ ස්නායු විද්‍යාව පිලිබඳ මහාචාර්ය යුකෝ මොනකාටා සඳහන් කරනවා.

අම්මා තාත්තා දරුවන්ගේ සෙල්ලමට අතරමැදියෙක් වෙලා සෙල්ලම කඩා කප්පල් කිරීම හොඳ නැති වුනත් දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලෙන් සිටීම වැදගත්. අද අහන්නනට ලැබෙන අනතුරු ඉදිරියේ මව්පියන් දරුවන් සෙල්ලම් කරන විට අවධානය දැක්වීම ඉතාම වැදගත්. ඔන්චිලි පදින විට, සරුංගල් අරින විට වගේම නොදැන වස විස ආහාරයට ගැනීම වැනි අවදානම් ඉදිරියේ දරුවාට ආරක්ෂාව දීමට යම් අවධානයකින් ඔවුන් දෙස බලා සිටීම මිස සෙල්ලම් ලෝකයේදී අවශ්‍ය නිදහස දරුවන්ටම ලබා දීම ඉතාම වැදගත්.

එක මේසේ එකට එක්ව කෑම කද්දී ලැබෙන වාසි මෙන්න

අතීතයේදී නිවසේ මුලින්ම බත්පත බෙදුවේ පවුලේ අප්පච්චිටයි. එයින් පසුව පිරිමි දරුවන්ට. සාමාන්‍යයෙන් අම්මා ඇත්නම් කාලා නැත්නම් හිත හදා ගන්නා චරිතයක්. දරුවන්ගේ බඩ කට පිරුනානම් එයින් තෘප්තියට පත් වෙනවා. ඒත් සමාජ විද්‍යාඥයන්ගේ පෙන්වා දීමට අනුව පවුලේ හැම දනාම එකතුව එකම වේලාවක ආහාර ගන්නවා නම් වඩාත් හිතකර බව පෙන්වා දෙනවා. ඔවුන් ඒ ගැන කියන්නෙත් නිකම්ම නොව කරුණු කාරණා ඇතුවයි.

අද පවුල කියන්නේ ඇත්තටම විතැන් වුන ඒකකයක්. පිරිමි දරුවන්ට අන්තර්ජාලය එහෙම නැත්නම් පරිගණකය නිසා කන්න බොන්න වෙලාවක් නැහැ. අම්මා කුස්සියටම සීමා වෙලා. අමතර පංති යන ගැහැණු දරුවෝ රාත්‍රියට ආහාරයක් ඇත්තේම නැහැ. මේ හැම දෙයකටම විසඳුමක් විදිහට පවුගේ හැම දෙනාම එක්ව එකට ආහාර ගත්තොත්….

අපතේ ආහාර යෑම වැලකෙනවා

පවුලේ එක් එක් අය එක් එක් වේලාවට බත් බෙදන විට ප්‍රමාණය ගැන තක්සේරු කරන්න බැහැ. අනේ මදි වුනොත් යන අදහස නිසා පමණ ඉක්මවා බෙදන නිසා අපතේ යෑම ඉහලයි. එක මේසයකදී තමන්ට අවශ්‍ය බත් ප්‍රමාණය බෙදා ගැනීමට ලැබෙන අවස්ථාව නිසා අපතේ යෑම් මගහරවා ගන්න ඉතාම පහසුයි.

ආහාර ප්‍රමාණය ගැන දැනගන්න

අද බොහෝ ගෘහනියන්ට තමන්ගේ පවුලට අවශ්‍ය විදිහට ආහාර පිලියෙල කරන ප්‍රමාණ ගැන දැණුවත් බක් නැහැ.. ඒත් පවුලේ අය එකට ආහාර ගන්නා විට මේ දැණුවත් බව ලැබෙනවා. හාල් හුණ්ඩු දෙකක් පවුලේ හතර දෙනාට සීමා වෙනවා නම් නිවසට පැමිනෙන අමුත්තන් එන විට අනේ හාල් කොච්චරක් ගන්න වෙයිද….යන චකිතය අවශ්‍ය නැහැ. එළවළු ගැන වුනත් එහෙමයි. එළවළු දෙසිය පණහ කී දෙනෙකුට ප්‍රමාණවත්ද….මේ දේවල් ගැන නිසි විදිහට දැන ගන්න ලැබෙන්නේ පවුලේ අය එකම මේසයක ආහාර අනුභව කළොත් පමණයි.

සුහද කතා බහ

අද කාර්යබහුලත්වය නිසා හැම දෙනාම තම තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හුදෙකලා වෙලා. ඒත් පවුලේ උදවිය එක්ව එකම වේලාවක ආහාර ගන්නවා නම් දවසේ තොරතුරු ගැන කතා බහ නොදැනීම සිදු වෙනවා. දරුවන්ගේ මානසික පීඩනයටත් වැඩියෙන්ම බලපාන්නේ මානසික හුදෙකලාව බව දැන් බොහෝ මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඔවුන්ට තමන්ගේ අදහස් අම්මාට තාත්තාට ඉදිරිපත් කරන්න වෙලාවක් උපයා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අම්මාට තාත්තාට වුනත් තමන්ගේ ගැටළු සහ උවමනාවන් ඉදිරිපත් කරන්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේම නැහැ. ඒත් ආහාර වෙනුවෙන් එකම මේසයක වාඩි වුනාම එකිනෙකා අතර ඇති වෙන කතා බහ මගින් ඔවුන්ගේ පවුලේ අදහස් උදහස් ඉබේටම හුවමාරු වෙනවා. මේ නිසා දරුවන් ගැන දෙමව්පියන් වගේම දෙමව්පියන් ගැන දරුවන් තුළත් අදහස් සන්නිවේදනය ඉතාම සරල සහ පහසු විදිහට සිද්ධ වෙනවා.

එකිනෙකාගේ රුචි අරුචිකම් තේරුම් ගත හැකියි

අද අම්මා බත් උයනවා. දරුවන් කනවාද නොකනවාද දන්නෙත් නැහැ. අම්මා උයන පිහන වැඩ කටයුතු අවසානයේදී රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙන්නේ පැය දෙක තුනක් එතැන රැ‍ඳෙනඅදහසින්. මම දවසම මහන්සි වෙලා විවේකයක් ගන්නේ මේ ටික වෙලාව විතරයි…අම්මා තමා වෙනුවෙන් සාධාරණත්වය ගොඩ නගන්නේ ඒ විදිහටයි. එයින් පසුව මුලුතැන්ගෙය අස්පස් කරන්න යන ඇය බත් විසි කර ඇති අන්දම දුටුවාම බත් ඉවත දමා තිබෙන විදිහට අම්මාට කේන්ති ඇති වෙනවා. ඒත් මේවා විසි කරන්නේ ඇයි කියල හිතන්න අවස්ථාවක් නැහැ. ඒ වුනත් එක මේසයක හැම දෙනාම එකවර ආහාර ගන්නවා නම් මම කැමැති ගොටුකොල සලාදයට…මම කැමැති මැල්ලුමට…මම කැඳට යනුවෙන් එක් එක් අයගේ රුචි අරුචිකම් ගැන අදහස් හුවමාරු වෙනවා. මේ නිසා එකම මේසයක ආහාර ගැනීම නිසා සන්නිවේදනය ගොඩ නගා ගැනීම බොහොම පහසුයි.

ආහාර ගැනීමේ සිරිත් ගොඩ නගන්න

එකම මේසයක ආහාර ගන්නා විට දරුවන්ගේ ආහාර අනුභවය පිලිබඳව සිරිත් ගොඩ නගන්න පහසුම භූමිකාවක් නිර්මානය වෙනවා. ඉදුල් අතින් හැන්ද වීදුරුව අල්ලන්න එපා යන න්‍යායාත්මක අවවාදයන්ට වඩා මේසයේදී ප්‍රායෝගිකව මේ ගැන ලබා දෙන පුහුණුව ඉතා වැදගත්. වතුර බොන විට ශබ්ද නගා බොන්න එපා…තලු ගසමින් ආහාර විකන්න එපා…මේ ගැන අවවාද ඉතාම සාර්ථක ලෙසින් ලබා දීමට කෑම මේසය ඔබට ඉතාම හොඳ පුටුවහලක් වේවි.

අම්මාට ආහාර පිසින්න උනන්දුව ඇති වෙනවා

අම්මා කෙනෙක් නිතරම ආහාර පිළියෙල කරන්නේ තමන්ගේ දරුවන් මුල් කර ගෙනයි. අම්මාගේ සතුට දරුවන් හොදින් ආහාර ගැනීම ගැන බලා සතුටු වීමයි. ඒ සතුටුින්ම ඇය කුසට වඩා හිත පුරවා ගන්නවා.එකම මේසයක ආහාර ගන්නා විට ඒ දෙස බලා සිටින අම්මාට තම දරුවන් වෙනුවෙන් තව තවත් රසට සහ ගුණයට ආහාර පිසින උනන්දුව ඇති වෙනවා. ඒ සිතුවිල්ල බොහොම සාධාරණයි. ඇය තමන්ගේ දවසම කැප කරන්නේ දරුවන් වෙනුවෙන් හොඳ දෙයක් ලබා දීමටයි. මේ හොඳ දෙය ඇයට හොඳ වුනාට දරුවන් දක්වන ප්‍රතිචාර දැනෙන්නේ කෑම මේසයේදියි. අම්මේ පොලොස් ඇඹුලක් හදන්න…මම හරිම ආසයි…අම්මේ කොස් මැල්ලුමක්…මේ විදිහට දරුවන්ගෙන් ලැබෙන ඉල්ලීම් නිසා අම්මාටත් ආහාර පිලියෙල කරන්න කිසියම් උත්තේජනයක් ලැබෙනවා. එහෙම නැතුව ඇය උයන පිහින දෙය වෙනුවෙන් කිසිම කෙනෙක් ප්‍රියතාවයක් හෝ උනන්දුවක් නොදක්වන විට ආහාර පිසිම අම්මාටත් උදාසීන කටයුත්තක් බවට පත් වෙනවා.

අද හැම දෙනොම කාර්ය බහුලබව ඇත්ත. ඒත් දවසේ අඩුම වශයෙන් කැදැල්ලට එන කුරුල්ලන් වගේ පවුලේ සියලු දෙනාම නිවසට එකතු වෙනවා. එවන් අවස්ථාවකදී හැම දෙනාම එකම මේසයක , එකම වේලාවක අආහාර ගන්නවා යනු ඇත්තටම පවුල යන සංකල්පය ගොඩ නගා ගැනීමට ඉතාම හොඳ තෝතැන්නක් ඔබටත් නොදැනීම කෑම මේසයේදී නිර්මානය වෙනවා.

දරුවාගේ හිස වැදුණොත් කරන්න ඕනේ දේ දන්නවද?

පුංචි දරුවෙක් වැටුණම අම්මලා හරියට කලබල වෙනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය අපි වැඩිපුරම දකින්නේ ඒ අවස්ථාවේදී දරුවාගේ හිස වැදුණොත් තමයි. ඇත්තටම එහි අවදනමක් නැත්තේ නෑ. මොකද මිනිස් සිරුරේ ප්‍රධාන පාලක මැදිරි ලෙස හඳුන්වන්න පුළුවන් අපේ මොළයට හිස වැදීම හේතුවෙන් හානි විය හැකි අවස්ථාත් තිඛෙන නිසා. නමුත් මෙවැනි දරුණු තත්ත්වයක් ඇති වීමට නම් දරුණු ලෙස හිස වැදීමක් විය යුතුයි. කෙසේ වුවද මේ පිළිබඳව මව්පියන් දැනුවත් වීම වඩාත් වැදගත් වෙනවා.

සාමාන්‍ය හිස වැදීමකදී,

එතරම් උස් නොවූ ස්ථානයකින් දරුවා ඇද වැටීමකට ලක්වී හිසේ වැදුණු ස්ථානය තඩිස්සි වන්නේ හිස තදින් වැදීමකදී හිස වටා සමෙහි ඇති රුධිර නාලිකාවලට හානි වීමෙන් රුධිරය සම මතුපිටට එකතු වීම නිසා හිස් කබලත් සමත් අතර ඉදිමුමක් ඇති වීමෙනි. මේ තත්ත්වය එතරම් භයානක තත්ත්වයක් නොවන අතරම දිනකින් දෙකකින් මගහැරී යයි. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවන අතරම ඇතැම් මව්වරුන් අයිස් තබා  තැවීම, බටර් ගැල්වීම වැනි දේට පුරුදුව සිටී.

දරුණු හිස වැදීමකදී, එනම් ඉතා ඉහළ ස්ථානයකින් ඇද වැටීමකදී,

  • මොළය ආවරණය වී ඇති ඩූරා පටලයත් මොළයත් අතර රුධිර වහනයක් ඇති වුවහොත් එය පෙර සඳහන් කළ පරිදිම භයානක තත්ත්වයකි.
  • මොළය තුළ සිදුවන තෙරපුමක් නිසා පහළට තද වීම හේතුවෙන් කුඩා මොළය නම් වූ කොටස සුශුම්නාවට තද වීමෙන් දරුවා ජීවිත අවදානමකට පවා ලක්විය හැකිය.
  • හිස වැදුණු පසු තඩිස්සි වීමකින් තොරව හිස් කබල ඇතුළතින් පිපිරීමට ලක් විය හැකිය.
  • හිස අභ්‍යන්තරයේ තඩිස්සි වීම් ඇති විය හැකිය

හිස වැදීමකින් පසුව දවසක් පැය 24ක් නිරෝගීව සිටි දරුවෙකු,

  • වේගයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම
  • හෘද ස්පන්දනය වේගවත් වීම
  • හිසේ වේදනාවක් ගැන විටින් විට පැවසීම
  • ඇවිදින ආකාරයේ වෙනසක් පෙන්වීම
  • ඇඬිම
  • වමනය/ක්ලාන්ත ගතිය/වලිප්පු තත්ත්වය
  • නාසයෙන්/කටින්/කනින් අවර්ණ දියරයක් ශ්‍රාවය වීම

අංශභාග තත්ත්වය වැනි ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඒවා අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවන අවස්ථාවකදී පෙන්නුම් කරන ලක්ෂණ බැවින් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු වේ.

ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවෙකු රෝහල්ගත කළ විගස අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇත්දැයි නිශ්චිතවම හඳුනා ගැනීමට ස්කෑන් පරික්ෂණ සිදු කර, අවශ්‍ය වුවහොත්, ශල්‍යකර්මයකට යොමු කර රුධිර කැට ඉවත් කරයි. මෙවැනි තත්ත්වයකදී රුධිර වහනය හේතුවෙන් ස්නායු තෙරපුමට ලක් වී ස්නායූවලට හානි සිදු විය හැකිය.

  • රුධිර කැටිය සිර වන පැත්තට විරුද්ධ පස දෑත් දෙපා අප්‍රාණික වීම
  • කථනය හා සම්බන්ධ ස්නායූවලට හානි වීම හේතුවෙන් ගොතය ඇති වීම
  • රුධිර වහනයක් හිස පිටුපසින් සිදුවුණි නම් දෟෂ්‍යාබාධ ඇති වීම
  • දීර්ඝ කාලීනව ආබාධිත තත්ත්වයට පත් වීම

තදින් හිස වැදුණු දරුවෙකු රෝහල් ගත කරන තෙක් ලබාදිය යුතු ප්‍රථමාධාර,

සාමාන්‍ය හිස වැදීමකදී :
  • පිරිසිදු රෙදි කඩකට අයිස් දමා ගෙඩි ගැසුණු පෙදෙස විනාඩි 20 පමණ වරින් වර තැවිය හැකිය. අවශ්‍ය නම් පැය දෙක තුනකට පසු නැවත අයිස් තබන්න.
හිස වැදීමකින් පසු:
  • පැයක් දෙකක් ගත වන තුරු නිදි කරවීමෙන් වළකින්න
  • වමනය/ක්ලාන්තය ඇත්නම් වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න
හිස පැලී තුවාල වී ඇත්නම් :
  • පිරිසිදු රෙදි කැබැල්ලකින් ආවරණය කරන්න
  • අයිස් තබා හෝ රුධිර වහනය අවම කරන්න
  • තුවාල තුළ ගල් කැබලි/වීදුරු කටු ඇත්නම් ඒවා ඉවත් කිරීමට යාමෙන් වළකින්න
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යා අංශයේ ජ්යෙෂ්ඨ ලේඛකාධිකාරී , වෛද්‍ය එම්. එන් ජයවර්ධන හා සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පුහුණු වෛද්‍ය මහේෂ් කුඹුකගේ යන වෛද්‍යවරුන් සමග සකසන ලද ලිපියකි.

 

ඔබේ ගෙදරින් අදම පටන් ගන්න……

ලංකාවේ  අපි අපද්‍රව්‍ය බැහැර කරන විදිහ හරිම අපූරුයි. එක ක්‍රමයක් තමයි ගෙදර විසි කරන හැමදේම එක මල්ලකට  දාලා කුණු  ගෙනියන්න එන නගර සභාවේ ලොරියට දෙන එක. වඩාත් ජනප්‍රිය අනෙක් ක්‍රමය තමයි, ‍හොඳට කුණු මල්ල බැඳලා උදේට  වැඩට යන  ගමන් කොහේ හරි තුංමං හන්දියකට හරි, පොදු තැනකට හරි විසිකරලා අත පිහගන්න එක. මේ ක්‍රම දෙකේම විපාක වර්තමානයේ අපි සියළුම දෙනා අත් විඳිනවා කියන එක ඔබ දන්නවා. ලංකාවේ ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා  වර්ධනය වුණේ මේ දේවල් වල ප්‍රතිඵලයක් විදිහට. අනාගතේ දවසක අපද්‍රව්‍ය බැහැර කරන අංගනයක් විදිහට ඔබේ නිවස ළඟ හිස් ඉඩමක් රජය විසින් තෝරා ගත්තොත් ? එදාට එය ඔබට පෞද්ගලිකව දැනෙන ප්‍රශ්ණයක් වෙනවා නේද? ඒ නිසායි  අප සියළුම දෙනා අපද්‍රව්‍ය කළමනාකරණය කියන සංකල්පයට විශේෂ අවධානයක් යොමුකළ යුත්තේ.

අපද්‍රව්‍ය කියන්නේ අපි සියළුම දෙනාගේ වගකීමක් වෙනවා වගේම අපද්‍රව්‍ය නියමිතව බැහැර කිරීම සමාජමය යුතුකමක්. දිනකට කොළඹ නගරයට ඇතුළු වන මිලියනයක් පමණ වෙන ජනතාවගේ දිවා ආහාරය දවටන සෙලෝෆේන් කොළය, තෙත කුඩය දාගන්න අරං එන සිලි බෑගය, අතර මගදී බොන ප්ලාස්ටික් වතුර බෝතලය වගේම කෝච්චි පෙට්ටියේ ආසනය පිස දැමීමට රැගෙන එන පත්තර කඩදාසිය පවා කොළඹ නගරයේ අපද්‍රව්‍ය කඳු නිර්මාණය කිරිමට දායක වෙනවා.

නාගරීකරණයට මූහුණ දෙන හැම රටකටම පොදු තත්ත්වයක් මේ ආකාරයෙන් අපද්‍රව්‍ය එකතු වීම . නමුත් එය පාරිසරික සහ සමාජමය ගැටළුවක් බවට ඒ හැම රටක්ම පත් කරගන්නේ නැහැ. එයට හේතුව එම රටවල ක්‍රමානුකූලව අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේද වගේම කසළ කළමනාකරණයත් ජාතික ප්‍රතිපත්ති වලට ඇතුළත් කරලා තිබීම. විදෙස් සංචාර වල යෙදුන  අපේ රටේ පුද්ගලයෝ එවැනි රටවල ඇති පිරිසිදුකම සහ කසල බැහැර කිරිමේ කාර්යක්ෂමතාව පිළිබඳව කොතෙක් අගය කළත් තමන්ගේ රටේ දී ඔවුන්ගෙන් බහුතරයක් ඉතාම වගකීම් විරහිතව අපද්‍රව්‍ය බැහැර කිරීම තමා ප්‍රායෝගික සත්‍යය. මෙතනදී මා විශේෂයෙන් ම අවධාරණය කරන්නේ අපද්‍රව්‍ය කළමනාකරණය ජාතික ප්‍රතිපත්තියක් හෝ නීතියක් වුන පමණින් රටක් මේ ප්‍රශ්ණයේ දී සාර්ථකත්වය ලබන්නේ නැහැ කියන කාරණය. එය  පිළිබඳව රටේ ජීවත්වෙන හැම දෙනාගේම හැඟීමක්  ඇති විය යුතුයි. අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ආකල්පමය වෙනසක්  ජනතාව තුල ඇති වෙන්න ඕනෑ. තමන්ගේ ගෙදරින් පටන් ගත්තොත් මේ වෙනස අපේ මුළු රට තුළම ඇති කරන්න පුළුවන් කියලා මා දැඩි විශ්වාසයකින් කියනවා.

ලංකාවේ  අපද්‍රව්‍ය නිර්මාණය වන ආකාරය අධ්‍යනය කළොත්  පෙනී යන කාරණය වන්නේ ඒ සඳහා වැඩිම දායකත්වයක් දක්වන්නේ සමාජයේ ඉහළයයි සම්මත ස්ථරය වන බවයි. මෙම සුළු පිරිසගේ  ක්‍රය ශක්තිය ඉහළ වීමත් , ඔවුන් සමාජමය වශයෙන් ඉතා ක්‍රියාකාරී කොටසක් වීමත් මීට හේතු වෙනවා. එහෙත් ඔවුන්ගේ අතිරික්තයන්  අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන්  සමාජයේ බහුතරය වෙත ඇති වන ඍණාත්මක බලපෑම සාධාරණීකරණය කරන්න ඔබට පුළුවන්ද? මෙහි දී ඉතාම පැහැදිළිව තවත් කාරණයක් වන්නේ මා ඉහත සඳහන් කළ  සමාජ සුළුතරයට අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ හැකියාවක් සහ දැනීමක් යන දෙකම පැවතියත් ඔවුන් ඒ වගකීම වටහාගෙන කටයුතු නොකිරීමයි. බොහෝ විට ඔවුන්ගේ නිවෙස්වල කටයුතු වලට සහාය වීම සඳහා  වැටුප් සහිත සේවකයෙක් හෝ දෙදෙනෙක් සිටිනවා. නිවැරදි උපදෙස් සහ යොමු කිරීම මගින් ඉතා පහසුවෙන් මේ නිවෙස් වල අපද්‍රව්‍ය සේවකයන් ලවා කළමනාකරණය කරගන්නට  ඒ නිවැසියන්ට හැකියාව තිබෙනවා.

පළමුව ඔබ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ඔබේ වගකීම වටහාගත යුතුයි. මේ ක්‍රියාදාමයේ පළමු පුරුක ඔබේ නිවසයි. ඒක පුද්ගල වගකීම  ඉටු කිරීම තුළින් සාමූහික නැතහොත් සමාජමය වගකීම ඉටු කරන්නට ඔබට නිතැතින්ම හැකියාව ලැබේවි. එවිට මෙම වගකීමේ අනෙක්  ජාතික කොටස්කරුවන් වන මධ්‍යම රජයත්, නගර සභාවත්,  මාධ්‍යත්  ඔවුන්ගේ  දායකත්ව ලබා දෙමින් මෙහි ඉතිරිය සපුරාවි . එදිනට මෙසේ අදහස් දක්වන මමත්, මේ ලිපිය කියවන ඔබත් අපද්‍රව්‍ය යනු සම්පතක් නැමති සංකල්පය විවාදයෙන් තොරව පිළිගනීවි.

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ බොහෝ යෝජනා ඇතත්  ඔබට ඔබේ ගෙදර තුළම ඉතා පහසුවෙන්  අනුගමනය කිරීමට හැකි වෙනස් කම් කිහිපයක් පමණක්  මේ ලිපියෙන් මා යෝජනා කරන්න කැමතියි.

මාපිය පදවියේ යුතුකම අකුරටම ඉටුකළ බව හිතුවත් ඔබට මේ දේ මගහැරුණා නේද?

අද වන විට අතීතයේදීට වඩා දරුවන් හා දෙමාපියන් අතර දුරස්ථ බව අඩු වී ඔවුනොවුන් යහළු යෙහෙළියන් මෙන් සමීපව සිටියද අත්‍යවශ්‍ය කරුණු කාරාණා පිළිබඳව සාකච්ඡා කිරීමට නම් දෙපාර්ශවයටම කාලයක් නොමැති තරම්. ආර්ථීක ගැටුම් මත අද වන විට මවත් පියාත් රැකියාවල නියුක්ත වීම මේ තත්ත්වයට මූලිකවම බලපාන හේතුවයි. දෙමාපියන්ගේ මූලික අරමුණ රැකියාවේ නියුක්ත වෙමින් උපයන මුදලෙන් දරුවන්ට අවශ්‍ය දේ උපරිමයෙන් ලබාදීමයි. දරුවන්ට පැවරෙන කාර්යය වන්නේ සිය අධ්‍යාපනය කටයුතු ඉදිරියට කරගෙන යාමයි. මෙතැනදී දෙමාපියන් සිට යුතුකම් 100%ක්ම ඉටුවන බව සිතුවද දරුවන් වෙනුවෙන් විශාල වගකිමක් ඔවුන්ට මගහැරෙන බව නොදනී. යොවුන් දරුවන් අද වන විට මුහුණ දෙන අභාග්‍ය සම්පන්න අවස්ථා හමුවේ මෙසේ මගහැරෙන කරුණ පිළිබඳව මනාව අවධාරනය වේ.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු/පෝෂණය/දරුවාගේ සුව දුක් ඇතුළු සියල්ල විමසන ඔබට මගහැරුනේ කුමක්ද?

ඔබේ යොවුන් වියට මොහොතක් සිතින් පිවිසෙන්න. දිනෙන් දින උස් මහත් වන දරුවන්ට ඔවුන්ගේම සිරුර ගැන ඇති වන්නා වූ ගැටලූ කොපමණක් තිබේද යන්න දැන් ඔබේ සිහියට නැගුණා නොවේද? ඒ හා සම්බන්ධව ඔවුන් පත්වන අපහසුතාවයන්/නොදැනුවත් දේ පිළිබඳව දැනුවත් වීමට ඔවුන් දරන උත්සාහය, කුතුහලය, අසහනය මේ සියල්ල යොවුන් දරුවෙකුගේ මනස තුළ කැකෑරෙමින් පවතින බවට ඔබට ද අත්දැකීම් නොමැති විය නොහැක. එදා සමාජය මෙන් නොව අද වන විට දරුවාට නිවසින් තමාට අවශ්‍ය තොරතුරු නොලැඛෙන කළ මිතුරන්/වෙනත් වැඩිහිටියන්/අන්තර්ජාලය හරහා හෝ දරුවන් තමා කුතුහලයෙන් පෙලෙන කරුණු පිළිබඳව දැනුවත් වීමට උත්සාහ දරයි. මෙහි අනාරක‍ෂිත බවක් පවතින බව ඔබට දැන් වැටහෙනු ඇත. එනම් ප්‍රජනන සෞඛ්‍ය/ලිංගික සෞඛ්‍ය පිළිබඳව අවශ්‍ය දැනුවත් බව ලබාගැනීමට සැරසෙන්නේ විධිමත්/විශ්වසනීය මට්ටමින් නොවේ. දරුවෙකුගේ ජීවිතයට සිටින විස්වාසවන්ත පුද්ගලයන් වන්නේ මා පියන්මය. ඉතිං මෙවැනි තත්ත්වයකදී දරුවා දැනුවත් විය යුත්තේ පාසැලේ විෂය නිර්දේශයට අනුව සිදුවන ඉගැන්වීම් හරහා සහ දරුවාගේ මාපියන්ගෙන් පමණි. මන්ද ප්‍රජනක සෞඛ්‍ය/ලිංගික අධ්‍යාපනය පිළිබඳව අවශ්‍ය තොරතුරු අනිසි මාර්ග හරහා සොයා යෑම දරුවා අවදානමකට ඇද දමන්නකි. එබැවින් විධිමත්/විශ්වසනීය මට්ටමින් තොරතුරු ලබාගැනීමට මගක් දරුවන් සතුවිය යුතුමය. ඒ නිසාම නිසි වයසට සරිලන ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබාදීම සඳහා රජය මගින් ද බොහොමයක් පියවර දියත් කරමින් සිටී. මේ හා සම්බන්ධව පාර්ලිමේන්තුවේ තුසිතා විජේනායක මන්ත්‍රීතුමියගේ ප්‍රධානත්වයෙන් පවතින කාන්තා සහ ස්ත්‍රී/පුරුෂ සමාජභාව අනුකමිටුවේ සුවිශාල කැපවීම මත චක්‍රලේක සකස් කොට වයසට සරිලන ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබාදීම සඳහා අවැසි වැඩළෙිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී.

පාසැල් විෂය නිර්දේෂයට අනුව ප්‍රජනක සෞඛ්‍ය අයත් වන්නේ විද්‍යාව විෂය මාලාවටයි. එසේම ලිංගික සෞඛ්‍ය විෂය ඇතුළත් වන්නේ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය විෂය තුළයි. නමුත් මෙම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය සිසුන්ට අවශ්‍ය නම් පමණක් තෝරාගත හැකි විෂයකි. එම විෂය තෝරාගන්නේ සිසුන්ගෙන් 40%ක කොටසක් පමණි. ඒ හේතුවෙන් 60% සිසුන් පිරිසකට ලිංගික සෞඛ්‍ය පිළිබඳව අවශ්‍ය දැනුම නොලැබී යනු ඇත. තවද පාසැල් කාල පරිච්ඡේදය තුළ මේ හා සම්බන්ධව දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමට මෙන්ම කුසලතා සංවර්ධනය වෙනුවෙන් වෙන්වී ඇති කාල සීමාව ද අවමය. මෙය සැබවින්ම ගැටලූකාරී තත්ත්වයකි. ඒ නිසාම අද වන විට සාමාන්‍ය පෙළ අවසන් කළ දරුවන්ට දින දෙකක් මේ පිළිබඳ දැනුම ලබාදීමට පියවර ගැනීමට කටයුතු කරමින් පවතී. නමුත් එය ආරම්භ විය යුතුතේ ඊට පෙර වයස් සීමාව තුළයි. ඊට අමතරව වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු වන පාසැල් දරුවන්ගේ විෂය නිර්දේශයට ද ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමට නියමිතය.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වාසි

  • දරුවන් තුළ ලිංගිකත්වය පිළිබඳ දැනුම වර්ධනය වේ
  • දරුවන්ගේ ආකල්පයමය සංවර්ධනයක් ඇති වේ
  • දරුවන් තුළ යහපත් ලිංගික සෞඛ්‍ය ප්‍රවර්ධනය කෙරෙහි කුසලතාවය වර්ධනය වේ
  • මතු දිනෙක සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසේ
  • ලිංගිකත්වය පිළිබඳව ධනාත්මක ආකාල්ප ඇති වේ
  • ලැජ්ජාව හේතුවෙන් තමාට ඇති ගැටලූ සඟවා සිටීමෙන් ඇති විය හැකි හානිදායක තත්ත්වයන් වැලකේ

ලිංගික සෞඛ්‍ය පිළිබඳ දරුවන් දැනුවත් කිරීම තුළින් ඔවුන් අනවශ්‍ය ලෙස එවැනි දේ කෙරේ යොමුවෙනු ඇතැයි ඇතැම් වැඩිහිටියන් සිතුවද දැනුවත් බව තුළින් බොහොමයක් හානිදායක තත්ත්වයන් වළක්වා ගැනීමට හැකි වී ඇති බව සමීක‍ෂණ වාර්තා මගින් ද සනාථ වී ඇත. දුර්මත ඉවත ලා දරුවන්ට අවැසි ලිංගික අධ්‍යාපනය වයසට සරිලන ආකාරයෙන් ලබාදීම වැඩිහිටියන්ගේ වගකීම් ගොන්නට අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතු අංගයකි.

දරුවන්ට ප්‍රජනක සෞඛ්‍ය පිලිබඳව නිසි දැනුවත් බවක් අවශ්‍ය වන්නේ ඇයි?

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නීතියට අනුව වයස අවුරුදු 16 සම්පූර්ණ දරුවන්ට සිය කැමැත්ත අනුව ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීමට අවසර ඇති අතරම නීතිමය විවාහයකට යොමු විය හැක්කේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසුයි. නීතියට අදාලව මෙවැනි තත්ත්වයක් තිබුණද යොවුන් වයසේදී නොදැනුවත්කම මත අනාරක‍ෂිත ලිංගික ක්‍රියාවලට යොමුවන යොවුන් දරුවන් ඒ හා සම්බන්ධව ආරක‍ෂිත ක්‍රම පිළිබඳ දැනුවත් වීම අත්‍යවශ්‍යය. මෙවැනි දරුවන් වයසට සරිලන ලිංගික අධ්‍යාපනය නොමැති හේතුවෙන් නිසි ආරක‍ෂිත ක්‍රමයක් භාවිත නොකිරීම හේතුවෙන් ගැබ්ගැනීම/ලිංගාශ්‍රිත රෝගවලට ගෙදුරු වීම මෙනම් නීතිගත නොවන ගබ්සාවලට යොමු වේ. මෙය ලිංගික සෞඛ්‍යයට අවදානම් තත්ත්වයකි. මෙහිදී ඔවුන් නිසි දැනුම ලබා සිටියේ නම් එවැනි අවදානම් තත්ත්වයකට පත් නොවනු ඇත. අද වන විට යොවුන් දරුවන් ලැජ්ජාව නිසා මේ හා සම්බන්ධ දැනුවත් බව ලබාගැනීමට මැලි කමක් දක්වයි. ඒ සමාජ සංස්කෘතික පසුබිම මතයි. නමුත් මේ පිළිබඳව දරුවන් දැනුවත් කිරීම දෙමාපියන්ගේ වගකීමක් වන්නේ මෙවැනි අවදානම් තත්ත්වයන්ගෙන් දරුවා මුදවා ගැනීමට ඇයට/ඔහුට දැනුවත් බව අවශ්‍ය නිසාය.

තවද අද වන විට සමාජ මාධ්‍යජාල හා සම්බන්ධව ඇති වන නොයෙකුත් ආකාරයේ ලිංගික ගැටලූ හේතුවෙන් යොවුන් දියණයන් සිය ජීවිතය පවා අහිමි කරගත් අවස්ථා අසන්නට ලැබුණි. මේ පිළිබඳව නිසි දැනුවත් බවක් ඔවුන් සතුව තිබිණි නම් එවැනි තත්ත්වයන් ඇති වන්නේ නැත.

එසේම නව යොවුන් වියේ දරුවන් පමණක් නොව අද වන විට විවාහක පුද්ගලයන් පවා ලිංගික සෞඛ්‍ය පිළිබඳව ඇති නොදැනුවත්කම හේතුවෙන් නොයෙකුත් ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින අවස්ථා අනන්තවත් අපට අසන්නට දකින්නට ලැබේ. විවාහ වී වසර ගණනක් ගත වුවද නිසි සබඳතාවයක් ඇති නොවන යුවළවල් කොතෙකුත් සිටින අතරම ඒ මූලිකවම ලිංගික අධ්‍යාපනය පිළිබඳව ඇති නොදැනුවත් බව නිසාමය. තවද මේ පිළිබඳව නිසි අධ්‍යාපනයක් නොමැති වීම අතවරයන්ට ලක්වීමටද මූලික හේතුවක් විය හැකිය.

එසේම එක් එක් වයස් සීමාවන්ට අනුව දරුවනට ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව අවශ්‍ය දැනුවත් බව ලබාදීමට වැඩිහිටියන් වශයෙන් ඔබ උනන්දු විය යුතුය. වයස අවුරුදු 11 සිට 14, 15 වැනි වයස් සීමාවන්හි දරුවනට ශරීරය පිළිබඳව මෙන්ම හෝමෝන වෙනස් වීම හේතුවෙන් ශාරීරිකවත් මානසිකවත් ඇති විය හැකි වෙනස්කම් පිළිබඳවත් ආර්ථව චක්‍රය, පෞද්ගලිකත්වය, පිරිසිදු බව පිළිබඳවත් යම් යම් අදහස් ඉතා සරලව වටහා දීමට ගැහැණු දරුවන් සඳහා මවකට ද පිරිමි දරුවන් සඳහා පියාට ද හැකිය. එසේම අවුරුදු 15 සිට අවුරුදු 18 දක්වා වයස් සීමාන්වල දරුවනට ද්විතියික ලිංගික වෙනස්කම් මෙන්ම ඒවා කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳවත් ඒ වෙනස්කම් හමුවේ ජීවිතයට මුහුණදීම පිළිබදවත් අවබෝධ කිරිම ඉතා වැදගත් වේ. එසේම පිරිසිදුව සිටීම/එක් එක් දේ හා බැඳුණු මිත්‍ය මත/ගැටලූකාරී තත්ත්වයන් සහ ඒවාට විසදුම්/වැරදි අවබෝධයන් මෙන්ම මේ හා සම්බන්ධ යම් යම් රෝගාබාධ පිළිබඳවත් දැනුවත් කිරීම් කළ හැකිය. පාසැලෙන් දරුවාට හිමිවන ප්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපනයට අමතරව ඒ පිළිබඳව දරුවා දැනුවත් කිරීමේ වගකීම මාපියන් සතු වන බව සිහි තබාගන්න. ඒ තුළින් අඩු වයසින් ගැබ් ගැනීම්/ලිංගික රෝග වැනි තත්ත්වයන් අවම කරගැනීමට ද අවස්ථාව සැලසේ. අද වන විට වයස අවුරුදු 18 අඩු ගැහැනු දරුවන් ගැබ් ගැනීමේ වැඩි වෙමින් පවතින බවක්ද දක්කට ලැබේ.

මා පියනි මේ, ඔබේ දැනුවත් බව හරහා  දරුවන් දැනුවත් කළ යුතු කාලයයි. Parenting.lk  වෙබ් අඩවියේ මේ සැරසෙන්නේ ධෛර්යමත් මෙන්ම මානසිකවත් ශාරීරිකවත් නිරෝගී පුරවැසියන් හෙට ලොවට දායාද කරන්නට අද දින උපරිමව කැප වන ඔබ වැනි මව්පියන්හට අවැසි දැනුවත් බව සැපයීමටයි. මෙතැන් සිට පියවරෙන් පියවර ඔබ වෙත ගෙන එන ප්‍රජනක සෞඛ්‍ය /ලිංගික අධ්‍යාපනය පිළිබඳව දැනුම ගොනු වූ ලිපි පෙළ සැබවින්ම ඔබේ යොවුන් දරුවාට නිසි දැනුවත් බව ලබාදෙන්නට ඔබට වැදගත්වනු නිසැකය. ඊළඟ ලිපිය හරහා අප ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වන්නේ යොවුන්විය පිළිබඳවයි.

වෛද්‍ය ජානකී විදානපතිරන, ප්‍රජා වෛද්‍ය විශේෂඥ
ජාතික ලිංගාශ්‍රිත රෝග/එඩ්ස් මර්දන වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යංශය

 

Smartphone එක ඔබ හිතනවාට වඩා ගොඩාක් ඔබේ දරුවාට අහිතකරයි. හේතුව මෙන්න.

මීට දශකයකට පමණ පෙර මනෝවෛද්‍ය විද්‍යාඥ සූ පාමර් (Sue Palmer) විසින් සමාජ මාධ්‍ය ජාල වල අහිතකර ප්‍රතිවිපාක ගැන අනාවැකි පල කළා. දැන් ඇය අපි හැමෝටම අලුත් අනතුරු ඇඟවීමක් කරනවා. මේ ලිපිය somedaily.org වෙබ් අඩවියට මනෝවෛද්‍ය විද්‍යාඥ සූ පාමර් විසින් ලියන ලද ලිපියක පරිවර්තනයකි.


සුපිරි වෙළඳසැලේ ගෙවීම් කවුන්ටරයට ලඟා වූ විටම මා දුටුවේ, ඒ ආසන්නයේම ඇති පැණිරස කෑම ඉල්ලා තම මවට ඇවටිලි කරන කුඩා දැරියකි.

“නැහැ, ඒවා ඔයාගේ දත් වලට නරකයි”

අම්මා එහෙම කියපු සැනින්ම අවුරුදු දෙකක් පමණ වූ මේ කුඩා දැරිය මුළු වෙළඳසැලම දෙවනත් වන හඬින් කෑ ගහලා අඬන්න ගත්තා. අම්මට දැන් හරිම ලැජ්ජයි.
ඊළඟට සිදුවෙච්ච දෙයින් මම පුදුමයට පත්වුනා. ලැජ්ජාවට පත්වෙලා සිටිය මව, කිසිම පැකිලීමකින් තොරව අත් බෑගයට ඇත පොවලා අයගේ iPad එක එලියට ගත්තා. iPad එක පුංචි දැරියගේ අතට දුන්නා විතරයි, ඇඬිල්ල නතර කරපු දැරිය ආයෙත් සුහච කීකරු විදියට නිහඬව සිටියා.
අවුරුදු තුනකට විතර උඩදී සිදුවුණ මේ සිද්ධිය, iPad එකක් දරු නැලවිලි උපකරණයක් හැටියට භාවිතා කරනවා මම දුටු පළමු අවස්ථාව. හැබැයි ඒ අවසාන අවස්ථාව නම් නෙවෙයි. දෙමව්පියන් දහස් ගණනක්, තමන්ගේ හිතේ නිදහස රැක ගන්න කිසිම පැකිලීමකින් තොරව කුඩා ළමුන්ගේ සහ නව යෞවනයන්ගේ අතට smartphones සහ tablet පරිගණක ලබා දෙනවා.

අලුත්ම සමීක්ෂණ දත්ත අනුව බ්‍රිතාන්‍යයේ කුඩා දරුවෙක් දිනකට පැය 5ත්, 6ත් අතර ප්‍රමාණයක් electronic තිරයක් දෙස බලාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට මේ දරුවෝ එක විටම තිර දෙකක් දිහා අවධානය යොමු කරනවා (TV බලන ගමන් smartphone භාවිතය). තාක්ෂනය සීග්‍රයෙන් දියුණු වීමත්, පසුගිය පරම්පරා වලට වඩා වැඩි වේගයකින් දරුවන් තාක්ෂනය හා හුරු වීමත් නිසා මේ ව්‍යසනය තේරුම් ගෙන පාලනය කිරීමට දෙමාපියන්ට ඉතා අසීරු කටයුත්තක් වෙලා තියෙනවා. Electronic තිරයක් ඉදිරි පිට මෙපමණ වෙලාවක් ගත කිරීම නිසා, නව පරම්පරාවේ දරුවන් විද්‍යාගාර පරීක්ෂණයකට යොදා ගන්නා මීයන් පිරිසක් බවට පත්වෙලා තියෙනවා. මොකද, මේ හැසිරීම් වල අතුරු ප්‍රතිපල ගැන තාමත් කිසිම කෙනෙක් දන්නේ නැති නිසා. 2010දී iPad වෙළඳපොළට පැමිණීමටත් පෙර සිටම, ව්‍යායාම වලින් තොර රටාව නිසා දරුවන්ගේ ඇතිවන දුබලතා ගැන වෛද්‍යවරු අනතුරු ඇඟවීම් කර තිබුනා.

තවත් පර්යේෂකයන් කිහිප දෙනෙක් සමග මා කල සමීක්ෂණයකදී හෙළි වුනේ, “අවධාන ඌනතාවය” (attention deficit) සහ “අධි ක්‍රියාකාරීත්වය” (hyperactivity) යන සංකුලතා සඳහා නිර්දේශ කරන රිටාලින් (Ritalin) නම් ඖෂධයේ අලෙවිය වසර දහයක් ඇතුලත හතර ගුණයකින් පමණ වැඩි වී ඇති බවයි.අපේ පර්යේෂණ වලින් තවදුරටත් හෙළිවූයේ, දීර්ගකාලීනව electronic තිර හා කාලය ගතකිරීම, ස්ථුලතාවය, නින්ද පිලිබඳ ප්‍රශ්න, අධි ක්‍රියාකාරීත්වය, දුර්වල සමාජ සම්බන්ධතා සහ විශාදය වැනි තත්වයන් කෙරෙහි සෘජු ලෙසම බලපාන බවයි.

අපේ පර්යේෂණයෙන් තවදුරටත් හෙලිවුයේ දරුවන්ගෙන් 10% පමණ නින්දට යාමට පෙර iPad එකක් හෝ smartphone එකක් සමග කාලය ගතකරන බවයි (පරිවර්තකයාගේ සටහන: ලංකාවේදී නම් smartphones බහුලව යොදාගන්නේ කුඩා දරුවන්ට කෑම කවීමේදී සහ, දෙමාපියන්ට නිදහසේ TV බැලීමට අවශ්‍ය වූ විටදීයි).

බොහෝ දෙනෙක් නොදන්නා කරුණ නම්, iPad සහ iPhone වෙළඳපොළට එවන Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් කිසිම දිනෙක තමන්ගේ දරුවන්ට කුඩා අවදියේදී iPhone හෝ iPad භාවිතා කිරීමට ඉඩ ලබා නොදුන් බවයි. අනෙක් දෙමාපියන්ගේ සුබ සිද්ධිය සඳහා ඔහු මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබුනානම් කොපමණ අගනේදැයි මට හිතෙනවා.

තිරය සමග කාලය ගතකිරීමෙන් සිදුවන මේ සංකුලතා වලට අමතරව, මේ හේතුවෙන් ඔවුන්ට අහිමි වන “නියම ක්‍රීඩා” කිරීමේ අවස්තාව ගැනත් හිතන්න ඕනා.Smartphones වල කාලය ගත කරන මේ දරුවන්ට, හිරු එළියේ ඇඟ වෙහෙසෙන ක්‍රීඩාවක් කිරීමට කිසිම උනන්දුවක් ඇතිවෙන්නේ නැහැ. මෙවැනි ඇඟ වෙහෙසෙන නියම ක්‍රීඩා යනු දරුවන්ට අනිවාර්යෙන්ම ලැබිය යුතු දෙයක් හැටියටයි වෛද්‍යවරු දකින්නේ. එය නින්ද හා ආහාර සේම මනුෂ්‍ය ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් ලෙසයි ඔවුන් පවසන්නේ.

සමාජ සම්බන්ධතා සහ චිත්ත රූප ගොඩනැගීමේ ස්නායු ක්‍රියාකාරීත්වය කුඩා කාලයේම හරි ස්ථාපනය නොවුනොත්, වැඩිහිටි වූ පසු එකී ක්‍රියාකාරකම් සංවර්ධනය කර ගැනීම කෙනෙකුට අපහසු වෙනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස, තමාගේ වටා ඇති ලෝකය ගැන නිවැරදි චිත්ත රූප ගොඩනගා ගැනීමට නොහැකි, ඒ නිසාම සමාජ සම්බන්ධතා වලදී අතිශය පසුගාමී අනාගත පරම්පරාක්වක් බිහිවීම නොවැලක්විය හැකි කාරණාවක් බවට පත්වෙනවා.

එලි පහලියට බැස ක්‍රීඩා කිරීම, “රඟ දැක්වීමේ ක්‍රීඩා” (pretend play – උදාහරණ ලෙස සෙල්ලම් ගෙවල් කිරීම, හොරා පොලිස් ක්‍රීඩාව) වැනි දේවල් දරුවන්ගේ මානසික වර්ධනයට ඉතාමත් අත්‍යාවශ්‍ය දේවල් ලෙස සැලකෙනවා. මෙවන් ක්‍රීඩා තුලින්, ප්‍රශ්න නිරාකරණය කරගැනීමේ හැකියාව, ගැටුම් මග හැරීමේ හැකියාව, අන් අයගේ සිතැඟි හඳුනාගැනීමේ හැකියාව වැනි අතිශය වැදගත් සමාජ හැකියාවන් දරුවන් තුල වර්ධනය වෙනවා.

ඇමෙරිකානු ළමාරෝග වෛද්‍ය සංගමය පවසන පරිදි වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට electronic තිර කිසි සේත් ලබාදිය නොයුතුයි. ඉන් අනතුරුව, උපරිමය දිනකට පැය දෙකකට යටත්ව දරුවෙකුට තිරයක් සමග ගතකිරීමට දීම සුදුසුයි (TV, Laptop, tablet, smartphone ඇතුළු සියලු තිර සඳහා එකතුව).

(මේ ලිපිය ඔබට උපකාරී වුවා නම් තවත් කෙනෙකුගේ යහපත සඳහා Facebook මගින් මේ ලිපිය share කිරීමට කාරුණික වන්න)

 

 කතුවරිය ගැන


ලිපියේ කතෘ මනෝවෛද්‍ය විද්‍යාඥ සූ පාමර්, පොත්, රුපවාහිනී වැඩසටහන්, සහ වෙනත් ප්‍රකාශන 200කට වඩා අධික ප්‍රමාණයකට දායකවූ ළමා මනෝවිද්‍යාව පිලිබඳ විශේෂග්‍ය වරියකි.

මේ ලිපිය somedaily.org වෙබ් අඩවියට මනෝවෛද්‍ය විද්‍යාඥ සූ පාමර් විසින් ලියන ලද ලිපියක පරිවර්තනයකි.

                

පුතාගේ ඇහි පිලල්මේ ලොකු ගෙඩියක්, ඇහැ ඉදිමිලා, රතු වෙලා …

මේ මොකද්ද මේ ලෙඩේ … ?

“ඊයේ පුංචි ගෙඩියක් ඇස් පිල්ලමේ තිබුණා.. ඒත් කවුද හිතුවේ අද උදේ වෙද්දි මෙහෙම වෙයි කියලා.”මේ අපි කාටත් හිතෙන විදිය. ඇත්තටම මෙවැනි තත්ත්වයක් ගැන මේ ඔබේ පළමු අත්දැකීම නම් වරදක් කියන්නත් බැහැ. ඒත් මේ තත්ත්වයට අවශ්‍ය ක‍ෂණික පියවර ගන්න නම් මව්වරුන් දැනුවත්ව සිටීම හරිම වැදගත් වෙනවා. මොකද අපි මේ ඔබට තොරතුරු ගෙනෙන්නට යන්නේ Periorbital Cellulitis නම් වූ තරමක් භයානක, නිසි අවධානය යටතේ ඖෂධ මගින් සුව කළ හැකි තත්ත්වය පිළිබදවයි.

මොකදද්ද මේ Periorbital Cellulitis කියන්නේ?

ඇස් පිය සහ පටක අතර ඇතිවන තරමක භයානක ආසාදනයක් වන Periorbital Cellulitis තත්ත්වය නිසි අවස්ථාවේදී හඳුනා අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර වෙත යොමු වුවහොත් ඉතා හොඳින් පාලනය කළ හැකි තත්ත්වයකි. මෙය සාමාන්‍යයෙන් හටගන්නේ එක් ඇසක වන අතරම බොහෝවිට අනෙක් ඇසට ගමන්ගන්නා අවස්ථා නැති තරම්ය. මේ තත්ත්වය සාමාන්‍යයෙන් දැකගත හැකි වන්නේ වයස අවුරුදු 10ට අඩු දරුවන් අතරය.

Periorbital Cellulitis ඇති වීමට හේතු :

ඇස වටා කැසීමෙන් හෝ හිස කෙස්වල උකුණන් සිටීම නිසා හටගන්නා කැසීම හේතුවෙන් ඇති වන තුවාලද වෙනත් කුඩා කෘමි සතෙකුගේ සපාකෑමක් වැනි තත්ත්වයන් හේතුවෙන් මෙසේ බැක්ටීරියා ආසාදනයන් ඇති විය හැකිය. එසේම කෝටර දාහය/ නාසාරන්ධ‍්‍ර ඉදිමීම (sinusitis), ඇසට සිදු වූ කුඩා තුවාල හෝ සැත්කම්, අපිරිසිදුකම වැනි සාධක ද Periorbital Cellulitis තත්ත්වය ඇති වීමට බලපෑ හැකිය.

මෙහිදී මූලිකවම ක්‍රියාත්මක වන බැක්ටීරියාවන් වන්නේ Staphylococcus හෝ Streptococcus වර්ගයේ බැක්ටීරියාවන්ය. ඊට අමතරව  Haem  ophilus influenzae බැක්ටීරියාව නිසා ද ඇතැම් අවස්ථාවල මේ තත්ත්වය ඇති වූ බව සොයාගෙන ඇත.

Periorbital Cellulitis තත්ත්වයේදී පෙන්නුම් කරන ලක‍ෂණ 

  • ඇස වටා හෝ ඇසෙහි සුදු පැහැ කොටසේ රතුවීම
  • ඇස වටා ඉදිමුම
  • ඇතැම් දරුවන්ට උණ ඇති විය හැකි අතරම ඇතැම් දරුවන්ට උණ ඇති වීමක් නොවේ
  • ඇස ඉතා මෘදු බවින් යුක්තය
  • සාමාන්‍යයෙන් පෙනීමේ දුර්වලතාවයක් හෝ ඇසේ වේදනාව නොමැති අතරම වැඩිපුරම ඇත්තේ අපහසුතාවයයි
Periorbital Cellulitis තත්ත්වයට ප්‍රතිකාර කෙරන්නේ කොයි ආකාරයෙන්ද?

මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඉතාම වැදගත් වන්නේ මුල් අවධියේදීම හඳුනා ගැනීමට හැකි වීම හේතුවෙන් ඉක්මනින් ප්‍රතිකාර ඇරඹිය හැකි නිසාය.

ඔබගේ දරුවාගේ රෝගි තත්වය අනුව වෛද්‍යවරයා ප්‍රතිජීවක නියම කරනු ඇත. එහිදී දරුවාට ප්‍රතිජීවක ඖෂධ වර්ග පානය කිරිමට හෝ ඇතැම් අවස්ථාවලදී එන්නත් මාලාවක් ඔස්සේ පැය 48ක් ඇතුළත ප්‍රතිජීවක ඖෂධ එන්නත් කිරීම සිදුකරයි. අවශ්‍ය වුව හොත් විශේෂ්‍ය අක්ෂි වෛද්‍යවරයකු වෙතද යොමු කරනු ඇත.

කලාතුරකින් මෙම Periorbital Cellulitis තත්ත්වය Orbital Cellulitis තෙක් වර්ධනය වන අවස්ථා ද දැක ගත හැකි අතරම එය තරමක භයානක තත්ත්වයකි. මුල් අවධියේදීම රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර නොලැබී යාම හේතුවෙන් මේ තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. මෙම දෙවනි තත්ත්වයේදී ඇස වටා ඇති පටක ආසාදනයට ලක්වීමක් ඇති වන අතරම එමගින් දෘෂ්‍ය ආබාධ පමණක් නොව ඇතැම්විට දරුවාගේ ජීවිතය පවා අවධානමට ලක්විය හැකිය. ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ එබැවිනි.

මෙම රෝග ලක‍ෂණ ඇත්නම් ඉක්මනින්ම වෛද්‍යවරයා වෙත යොමුවන්න

  • ඇස රත් පැහැ වී/ඉදිමී තිබීම
  • වේදනාවකින් යුක්ත වීම
  • ඉහත ලක‍ෂණ ඇතුළු උණ ඇතිවීම
  • ඇස පිටතට නෙරා ඒමට හෝ අසි පිය ඇලී වැසීමට ආසන්නව තිබීම
  • පෙනීමේ යම් යම් වෙනස්කම්

Orbital Cellulitis තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර නොලැබුණහොත් දෘෂ්‍යභාධ, මෙනෙන්ජයිටීස් මෙන්ම ස්නායු ආශ්‍රිත ආබාධ ද ඇති විය හැකිය. නමුත් නියමිත ප්‍රතිකාර සමගින් මේ තත්ත්වයන් වුවද වළක්වා ගැනීමට හැකියාව පවතී. ඒ නිසා හැමවිටම දරුවාගේ රෝග ලක‍ෂණ පිළිබඳව අවධානයෙන් සිටින්න.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී , වෛද්‍ය එම්. එන් ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ

ප්‍රතිජීවක යනු බැක්ටීරියාවන් මගින් ඇති කරන රෝග නිවාරණය කරනු ලබන වටිනා ඖෂධයකි. ප්‍රතිජීවක නිවැරදිව භාවිත නොකළහොත් බැක්ටීරියාවන් තවදුරටත් ශරීරයේ පවතින්නට ක්‍රම සොයාගන්නා අතරම ප්‍රතිජීවක ඖෂධ නිවැරදිව භාවිත කිරීමෙන් එහි නිසි ක්‍රියාවලිය රැකගත හැක.

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී ඔබ නොකළ යුතු දේ


  • වෛද්‍යවරයාගේ නියම කිරීමකින් තොරව ප්‍රතිජීවත ඖෂධ ලබා ගැනීමෙන් වළකින්න
  • පෙර අවස්ථාවකදී වැළඳුණු රෝගයකට භාවිත කළ ප්‍රතිජීවක ඖෂධ, වෛද්‍ය නිර්දේෂයකින් තොරව නැවත එවැනිම රෝග තත්ත්වයකදී වුවද භාවිතයෙන් වළකින්න
  • මීට පෙර වැළඳි රෝගයකට වෛද්‍යවරයා නිර්දේශ කළ ඛෙහෙත් වට්ටෝරුවේ ඇති ප්‍රතිජීවක ඖෂධ නැවත මිලදී ගෙන භාවිත කිරීමෙන් වළකින්න
  • වෙනත් පුද්ලගයෙකුට නිර්දේශ කළ ප්‍රතිජීවත ඖෂධ ඔබ භාවිත කිරීමෙන් වළකින්න
  • වෛද්‍ය උපදෙස්වලින් තොරව ප්‍රතිජීවක භාවිතයට කිසිවෙකුට අනුබල දීමෙන් වළකින්න

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී ඔබ කළ යුතු දේ


  • ඔබ සඳහා වෛද්‍යවරයෙක් ප්‍රතිජීවක ඖෂද නිර්දේශ කළේ නම් පමණක් ඒවා භාවිත කරන්න
  • ඔබ සඳහා ප්‍රතිජීවක ඖෂධ නිර්දේෂ කොට ඇත්දැයි ඖෂධවේදියාගෙන් අසා දැනගන්න
  • ඔබගේ වෛද්‍යවරයා හෝ ඕෟෂධවේදියා ලබාදුන් උපදෙස්වලටම අනුව ප්‍රතිජීවක ඖෂධ වට්ටෝරුව සම්පූර්ණයෙන් භාවිත කරන්න
  • ඔබ සඳහා නිර්දේශිත ප්‍රතිජීවක ඖෂධ වට්ටෝරුව නිවරුදිව සම්පූර්ණ කිරීමට නොහැකි වේ නම් ඒ බව ඔබගේ වෛද්‍යවරයාට හෝ ඖෂද වේදියාට දැනුම් දෙන්න

නිවැරදි ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන වගකිව යුතු පුරවැසියන් වන්නට අප ඔබට ආරාධනා කරමු !!!

කැලුම් ගිමේන්ද්ර ජයසුරිය
ඖෂධ ගුණාත්මක තත්ව පිළිබඳ කළමනාකරු (B.pharm/Ind, MBA/SL)
ආසිරි ඖෂධ සේවා සමූහය