සතුටින් අකුරු ලියන්නට දරුවාට සහය ලබා දියයුත්තේ මෙහෙමයි

මිට කලින් ලිපියෙන් මම කතා කලේ පොඩ්ඩන් අකුරු ලියන්න හොර වෙන්නේ ඇයි කියන දේ ගැන. මෙයට හේතු වන කරුණු කාරණා බොහොමයක් ගැන මම ඒ ලිපියෙන් ලියා ඇති. ඊට  අමතරවත් බොහෝ කාරනා මෙයට බලපානවා. කෙසේ වුවත් මේ කාරනා සලකා බලා දරුවන්හට ඒ ගැටළු වලට අදාල විසඳුම් ලබාදීමත් කලයුතු වෙනවා. දරුවාගෙන් දරුවාට මෙම ගැටළු වෙනස්. එම නිසා දරුවෙක් ලිවිම සම්බන්ධව ගැටළු සහිත වේ නම් මුලින්ම කල යුතු වන්නේ ඒ අදාල ගැටළු මොනවාද යන්න සොයා බැලීමයි. මේ සඳහා පලපුරුදු වෘත්තීය චිකිත්සක වරයෙකුගෙන් සහය ලබාගන්න.

සමහරක් දරුවන්ගේ මුලිකම ගැටලුව වන්නේ ඉරියව් සම්බන්ධ ගැටළු.මෙහිදී සම්පුර්ණ ශරීරය නියමාකාරයෙන් හසුරවා නොගැනීම මෙන්ම ලිවීමට අදාල ශරීර අවයව නිසි ලෙස භාවිත නොකිරීමත් ගැටලුවලට හේතු වෙනවා. මෙහිදී ඔබ වඩාත් සැලකිල්ලෙන් නිරීක්ෂණය කල යුතු වන්නේ දරුවා නිවැරදි ලෙස අසුන් ගෙන සිටීද යන්නයි. එලෙස අසුන් ගෙන නොමැති නම් දරුවාගේ ලිවීමේ කටයුතු වලට මුලිකවම බාධා පැමිණෙනවා.

දරුවාගේ උසත් ආසනයේ සහ මේසයේ උසත් ගලපා ගත යුතු අන්දම අදාල වෘත්තීය චිකිත්සකවරයා වෙතින් ලබාගන්න .ඉන් පසු දරුවාගේ පෑන, පැන්සල නිවැරදිව අල්ලාගැනීම සහ පොත ස්ථානගත කිරීම ගැන සැලකිලිමත් වන්න. එය නිවැරදි කල පසු බොහෝ විට සමහර ගැටළු විසඳේ.

එමෙන්ම දරුවාගේ පෑන, පැන්සල අල්ලා ගැනීමේ ගැටලුවලදී එම ලිවීම් උපකරණය දරුවාගේ අතට ගැලපෙන සේ වෙනස් කර උපාංග ලබාදීමද වෘත්තීය චිකිත්සක නිලධාරීන් මගින් ඉටු කෙරෙනවා

දරුවාගේ පෙනීම සම්බන්ධ ගැටළු ද ලිවීමේ ක්‍රියාකාරකම් සඳහා බලපායි. එම නිසා ලිවීමේ ගැටළු සහිත දරුවා පොත් දෙස මෙන්ම කලු ලෑල්ල / බෝඩ්  එක දෙස බලන අන්දම ගැන නිරීක්ෂණය කල යුතුයි.මෙහිදී පෙනීම සම්බන්ධ ගැටළුවක් වේ නම් ඒ සම්බන්ධ අක්ෂි වෛද්‍ය වරයෙකු ගෙන් ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා.

ඇතැම් විට දරුවන්ගේ ඇස්පෙනීම සඳහා උපැස් භාවිතා කලද දරුවන්ට පොත පත සහ පේළි ආදිය නිවැරදිව දකින්නට අපහසුයි.
මෙවිට මේ දරුවන්හට වඩා හොඳින් එම පේළි බලාගැනීම සඳහා හයිලයිටර් ( hi-lighter  ) හෝ ටේප් පට භාවිත කිරීම කල හැකියි.
අද පොත් සාප්පු වල විවිධාකාර එවැනි ඉගැනුම් උපකරණ පවතිනවා.

දරුවාගේ බුද්ධි මට්ටම හා සලකා බලන විට අකුරු හඳුනාගැනීමේ විවිධාකාර ගැටළු ඇතිවන්නට පුළුවන්.ඔබ මෙහිදී දරුවාට ගැලපෙන අන්දමේ විවිධාකාර ක්‍රියාකාරකම් භාවිත කරමින් එම හඳුනාගැනීම් පහසු කල යුතු වෙනවා.මේ සඳහා ඔබට වෘත්තීය චිකිත්සක මෙන්ම කථන හා භාෂා චිකිත්සක නිලධාරීන් වෙතින් ඒ සඳහා මනා උපදෙස් මාලාවක් ලබාගත හැකි වෙනවා.

හැමවිටම සරල ක්‍රියාකාරකම් , විනෝදාත්මක සහ නවමු ක්‍රියාකාරකම් භාවිත කරන්න.

දරුවාට අකුරු ස්ථාන ගත කිරීමේ ගැටළු පැවතීමද අකුරු ලිවීමේ එක ගැටළුවක්. මෙහිදී ඔබ දරුවාගේ ඇත හසුරවා ගැනීම මෙන්ම අකුර ස්ථානගත කිරීමට ගැලපෙන මට්ටමේ රූල් සහිත පොත් ආදිය භාවිතයද කල යුතු වෙනවා .සමහර අවස්ථාවල දී ඔබ අතින් අල්ලා දරුවාගේ අකුරු වල හැඩතල ගත යුතු වෙනවා .නිදහස් ලිවීම් රටාවල් වැදගත් වන්නේ මෙන්න මේ අවස්ථාවල දී එනම් වැලි මත ලිවිම, වැලි කඩදාසි මත ලිවිම මෙන්ම විශාල පත්‍ර ,කොළ මත, බිම ලිවිම ඉතාම නිදහස් හා නිසියාකාර හැඩතල සහිත අකුරක ආරම්භය වෙනවා. දරුවාගේ අත කොලය මත ඉතාම ලිහිල්ව හෝ ඉතාම තදින් පවතී නම් එයද ඔබ සැලකිය යුතු දෙයක් .ඉතා ලිහිල් ව ලිවීමේදී අකුර පැහැදිලි නොවන අතර කොලය මත පැන්සල ලිස්සා යාමද සිදු වෙනවා.නමුත් අත ඉතා තදින් ලියන විට පොත ඉරීම, අවලස්සන බව ආදිය සිදු වෙනවා.මෙවන් අවස්ථාවක දරුවා මනාව නිරීක්ෂණය කරන්න.ඇතැම් විට දරුවාගේ වෙනත් කායික මානසික තත්වයක් මිට හේතුවන්නට පුළුවන්.

දරුවා හැකි තාක් සැහැල්ලු කරන්න.ඔහු / ඇය ට සරල සැහැල්ලු වීමේ (  ralaxation) ක්‍රියාකාරකම් උගවන්නට හැකියි.එවිට ඔහු/ ඇයගේ යම් ආතතියක් ඇත්නම් එයින් මිදෙනු ඇති.

එසේ සිදු කල පසුත් මෙම ගැටලුව නිවැරදි නොවේ නම් දරුවාගේ අනෙක් ගැටලුකාරී තත්ව සොයා බැලීම ද කල යුතු වෙනවා .ඇතැම් විට ලියන පැන්සල ආදිය වෙනස් කිරීමද මින් එක උදාහරණයක්.

දරුවාගෙන් දරුවාට මෙම ගැටළු විවිධාකාර වෙන්නට පුළුවන්.එම නිසා ඔබේ දරුවාට යම් ලිවීමේ ගැටළුවක් පවතී නම් සැලකිලිමත් වන්න .එවිට දරුවා ගේ ගැටලුවලට විසඳුම් සෙවීම පහසු වේ.

කොළඹ, ජාතික රෝහලේ භෞත චිකිත්සක සහ වෘත්තිය චිකිත්සක විද්‍යාලයේ වෘත්තීය චිකිත්සක ආචාර්ය කිත්මා වාසනා දහනායක  B.Sc (OT) මහත්මියගේ ලිපියකි.
ඔබට මේ හා සම්බන්ධව උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් පහත අංකයකට කෙටි පණිවිඩයක් යවා ඇය සමග කතා කිරීමට වෙලාවක් වෙන්කරගන්න.
0713851733 / 0771124466

පොලිතීන් බෑග්, ලන්ච්ෂීට් තහනම්! දැන් ඉතින් අම්මලා මොකද කරන්නේ?

හෙට අනිද්දාට පාසල පටන් ගන්නවා. ඒ වගේම ලන්ච්ෂීට් වල එතුම් ආයේ බැහැ…දැන් ඉතින් අම්මලා මොකද කරන්නේ..ඉස්සර නම් කෙසෙල් කොලයේ, පුවක් කොලයේ වගේම නෙලුම් කොලයෙත් ආහාර දවටා ගත්තා. විහාරමහ දේවියට ගැමුණු කුමාරයා ලැබෙන්න සිටිද්දී ඇති වුනේ නෙලුම් කොලයෙන් බත් කෑමේ දොල දුකක්.වීර පුත්‍රරත්නයක් බිහිවෙන ලකුණු මේ දොල දුක සමගම නිමිති කරුවන් දැනුම් දුන්නා.

කැන්ද කොලයෙත් ආහාර දවටා ගැනීමට පුලුවන්. අපි මෙතෙක් කැන්ද කොලය යොදා ගත්තේ හැලප පිලියෙල කරන්න පමණයි. ඒත් ඔබ මහනුවර ප්‍රදේශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුම මගින් පාලනය වෙන ” සැබෑ ශ්‍රී ලාංකේය රසය ” තේමාව කර ගත් ආපනශාලාවන් වෙත පැමිණියහොත් ඔවුන්ගේ දැවටුම් අතරට කැන්ද කොලයත් එක්ව තිබෙන අපුරුව දැක බලා ගන්න පුලුවන්.

අපිටත් දැන් විකල්ප දැවටුම් සොයා ගැනීමට කාලය ඇවිත්. පමා වී හෝ විය යුතු දෙය දැන්වත් සිද්ධ වීමත් සතුටක්. මුලින් මෙහි අපහසුබවක් දැනුනත් පුරුද්ද සමග ඒ සියල්ලම මග හැරෙන්නනට ඉඩ තිබෙනවා. හැම දෙනාමට ගෙවත්තක් නැති බවත්, කොසෙල්කොල නැති බවත් ඇත්ත. ඒත් වත්ත පිටියේ කෙසෙල්ගස් තිබියදිත් තමන්ගේ පහසුවට ලන්චිෂීට් මතම යැපෙන අයත් නැතුවාම නොවේ.කෙසෙල් කොලයේ බත් එතූ විට දැනෙන්නේ අමුතුම සුවඳක්. එයින් නොදැනීම ආහාරය වෙනුවෙන් රුචිය ඇති වෙනවා.

ඒ විතරක් නොවෙයි, දන්නෝ දනිති කියන්නා වගේ කොළ පාට පැහැයේ ස්වභාවයෙන්ම අන්තර්ගත කොළ වර්ණය හෙවත් ක්ලෝරෆීල් අපේ සිරුරට ඉතාම ගුණයි. ලන්ච් ෂීට් එකට උණුවෙන් ආහාර දැමූ විට ඇති වෙන්නේ අහිතකර තත්වයක් වුනත් කෙසෙල්කොළයට උණු ආහාර දැමූවිට කිසිම අහිතකර බවක් ඇති වෙන්නේ නැහැ. කෙසෙල් කොලය අමුවෙන් නම්‍යශීලී නැහැ. ඒ නිසා අපි මේ කොළය තවාගෙන පාවිච්චියට ගැනීමේදී එහි තිබෙන පෝෂණ පදාර්ථයන් සිරුරට අවශෝෂනය පහසු වෙනවා.අද බොහොම දෙනෙක් මැසවිලි නගන බඩවැලේ තත්වය සුවකර ගැනීමට මෙහි අඩංගු ක්ලෝරෆීල් ඉතාම ගුණදායකයි.

උණ හෙම්බිරිස්සාව තරමටම පිලිකා රෝගය සුලබ වුනාම හැම දනාම ඒ ගැන නිදාන කතාව හොයන්න පටන් ගත්තා. එතකොට තමයි බොහොම දෙනාට ඇස් ඇරුනේ. මුලින් ගුණ ගී ගායනා කරනු ලැබූ ප්ලාස්ටික් සහ පොලිතින් මේ රෝගයේ ප්‍රධාන වරදකරුවා බවට පත්ව සිටියා. ඒ වෙනුවට දැන් කෙසෙල්කොලයේ ආනුභාව ගැන කතා කරන්න පටන්ගෙන තිබෙන්නේ හේතු සාධක ඇතුවයි.කෙසෙල්කොලයේ අන්තර්ගත ” එපිටැලොකාටෙචින් ගැලේට් ” සංයෝගය පිලිකාවෙන් ආරක්ෂාවට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඒත් එක්කම අද දරුණු විදිහට සමාජගතව තිබෙන වකුගඩු රෝගයටත් කෙසෙල්කොලයේ එතූ ආහාර ගුණදායකයි. හදවත් රෝග වෙනුවෙනුත් නොවෙනස්ව මේ ගුණය ලැබෙනවා. ඒ අතරම මානසික සහනශීලිබව ඇති වීමටත් ස්වභාවිකවම කෙසෙල් කොලයෙන් ලැබෙන ගුණ බොහොමයි.

ප්ලාස්ටික් පොලිතින් නොදිරන නිසා ඇති වුන සමාජ ප්‍රශ්න නිසා ‍ඩෙංගු රෝගයෙන් අපේ රටේ ජීවිත සිය ගණනක් අපට අහිමි වුනා. කෙසෙල් කොලය දිරාපත් වෙන නිසා මේ චෝදනාවන් නැහැ. කුණු කදුවල බහුලව තිබෙන්නේ නොදරන ද්‍රව්‍ය වීමත් බොහොමයක් සමාජ ගැටලුවලට හේතු වුනාදවසකට බැහැර කරන පොලිතින් ප්‍රමාණය මිලියන දෙකකට අධිකයි. ඉදිරියට මේ අන්දමින් දිරාපත් වෙන කෙසෙල් කොලයක් මුදලට ගැනීමේ හැකියාව අපට ලැබෙයි. ඒ ගැන දැනටමත් අත්හදා බැලීම් සිදු වෙනවා.

ඉදිරියේදී අපට දැවටුම් වගේම පාරිභෝගික ද්‍රව්‍ය එහා මෙහා ගෙනියන්න මලු ගොඩක් ලැබෙන්නේ නැහැ. ඉස්සර වගේ පන් හෝ රෙදි මල්ලක් අරගෙන යෑම අනිවාර්යෙන්ම විය යුතුයි. පන් හොයා ගන්න නැහැ කියමුකෝ…ඒත් රෙදි මල්ලක් පිලියෙල කර ගැනීම එතරම් අපහසුවක් නැහැ. පැච් වර්ක් ක්‍රමයට ලස්සන මල්ලක් නිර්මානය කර ගැනීම අපහසු නැහැ.

රෙදි මල්ලක වාසි

  • ශක්තිය තිබෙනවා.
  • බඩු බරක් දැරීමට හැකියාව
  • පිරිසිදු කර ගැනීමේ හැකියාව
  • අනවශ්‍ය ලෙසින් නිවසට කසල එක් නොවීම
  • පරිසරය පිරිසිදුයි.
  • මල්ල පිරිසිදු කර ගැනීමට ඇති හැකියාව නිසා නැවත නැවත භාවිතය
  • මැහුම් දන්නා අයට අලුත් ව්‍යාපාරික අවස්තාවකුත් ඇති වෙනවා.

රෙදි මල්ලකින් ඔබට තිබෙන අපහසුවක් ඇත්නම් ඒ දිනපතාම මෙය රැගෙන යෑම සහ අමතක වීම පමනයි. ඒ හැර ඇති අනෙක් සියලුම හේතු ඔබට පහසුකමක් මිස අපහසුවක් නොවෙයි.

එකපාරටම කෙසෙල්කොළ අපට කෝ….

ප්‍රායෝගිකව මෙය බොහෝ දෙනෙකුට සාධාරණයි. ඒ නිසා දරුවන්ට පාසලේ ආහාරපාන ගෙනියන්න විකල්ප දැන් අවශ්‍යයි. පාන්, බිස්කට් වැනි දේ මුද්‍රිත අකුරු නැති සුදු කොලයක දවටන්න පුලුවන්. බත් වෙනුවෙන් අනුමත ප්ලාස්ටික් හෝ උණුහුම රඳවා ගත හැකි නැවත නැවත පාවිච්චි කළ හැකි භාජන වෙත යොමු වීමට පුලුවන්.

දැන් අපි ප්ලාස්ටික් , පොලිතින් වෙතින් මිදෙන්නට අවශ්‍ය බව හොදාකාරව හදුනා ගත්තා. ගිනිපෙලෙලෙන් බැට කෑ අපි දැන් කනාමැදිරියාටත් බිය විය යුතුයි. ස්වභාවික හා කාබනික දැවටුම් අපිට අමුත්තක් නොවේ. අදින් දශක තුනකට පෙරාතුව සියළු දැවටුම් ඇසුරුම් ඉතා අපුරු ලෙසින් කාබනිකව සිද්ධ වුන රටක අපි ජීවත් වූයෙමු. නොරටින් එන දෙයට ඇති ආකර්ශනය නිසා අපේ වල අපිම කපා ගත්තෙමු. එහෙත් ආදීනව හොදාකාර වින්ද නිසා දැන් කතා දෙකක් නැත. අනවශ්‍ය විදිහට හිතට බරක් ගත යුතු නැත. ඔබටම මල්ලක් සකසා ගන්න. දරුවන් වෙනුවෙන් ආහාර ඇසුරුම් පෙට්ටියක් පිලියෙල කර ගන්න. ඔබ නොදැනම ජාතික ගැටලුවක් විසඳන දායකත්වය ඔබ අනාගත ලෝකය වෙනුවෙන් ලබා දුන් විශිෂ්ටයෙක් වෙනු ඇත.

ගෙදර තීන්ත ආලේප කරද්දී මෙන්න මේ කරුණු ගැන නොහිතුවොත් ඔබත් කරදරේ වැටෙයි

තමන් නිවසන ගෙදර දොර ඉතාම අලංකාර විදිහට ප්‍රියමනාපව තබා ගැනීමට අපි කවුරුත් කැමැතියි. ඉස්සරට වඩා දැන් ගෙදර දොර හැඩකරන තීන්ත ආලේපන බහුල නිසා පාරිභෝගිකයන් විදිහට අපි කුමක් තෝරා ගන්නවාද යන ගැටලුවට මැදි වෙනවා. මෙහිදී අපි ඇසට ප්‍රියතාවයක් ඇති කරන වර්ණ ගැන මිස ඒවායේ සංයුතිය පිලිබඳව ඇත්තටම උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ වෙනුවෙනුත් බලපාන හේතු තිබෙනවා. අපි කිසිම දිනක හිතන්නේ නැහැ මේ බිත්ති ආලේප කරන තීන්ත නිසා දරුවන් ලෙඩ දුකට නිරාවරනය වෙතැයි කියලා. ඒ නිසා වෙළදපොලේ සහ ප්‍රචාරණයන් මගින් ඔසවා තබන නිෂ්පාදන වෙනුවෙන් අපි නොදැනම ආකර්ශනයක් දක්වනවා.ඒ වුනත් ඔබ මින් ඉදිරියට තීන්ත තෝරා ගැනීමේදී මේ ගැනත් සැලකිල්ලක් දක්වන්න අවශ්‍යයි.

එහෙමනම් ඔබ තීන්ත තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද ?

අපේ නිවෙස්වල බිත්ති ආලේපන වෙනුවෙන් එනමල් සහ එමන්ෂන් යනුවෙන් තීන්ත වර්ග දෙකක් ඇති අතර අපි නොදැනම මෙම තීන්තවල ඇති ඊයම් විස රසායනයන්ට නිරාවරනය වීමෙන් ලොව පුරා මිලියන 40 ක් පමණ අනතුරට පත්ව සිටිනවා.

තීන්තවල අන්තර්ගත බැරලෝහ විදිහට සැලකෙන ඊයම් ප්‍රධානයි. ඊයම්වල අඩංගු සංයෝග අතරට ලේඩි ක්රෝමෙට් සහ ලේඩි කාබනේට් යන සංයෝග ඇතුලත් වෙනවා. බැරලෝහ ගැන කතා කිරීමේදී බොහෝ දෙනෙක් සායම්වලට නිරාවරනය වීම නිසා බැරලෝහ ශරීරගත වෙනවාය යන කරුණ දන්නේ නැහැ. ඒත් අපි තීන්ත තෝරා ගැනීමේදී උනන්දුවක් දක්වන්නේ පහත දැක්වෙන කරුණු ගැන නොවේද…?

කල් පැවැත්වම : 

තීන්ත ආලේපනයත් අද ඉතා වියදම් සහිත කටයුත්තක්. ඒ නිසා අපිට මාස හය හතකට වරක් නිවස ආලේප කිරීම අපහසු නිසා කල්පවතින තීන්ත ගැන පාරිභෝගිකයන් විදිහට උනන්දුවක් දැක්වීම සාධාරනයි.

ඉක්මනින් වියලීම :

තීන්ත තෝරා ගැනීමේදි ඉක්මනින් වියලීම ගැනත් අවධානය දැක්වීම ඉතාම වැදගත්.ඉක්මනින් වියලෙන තීන්ත ගැන බොහෝ දෙනෙක් උනන්දු වෙන්නේ නිවසේ කටයුතු වෙනුවෙන් ඇති වෙන පහසුව නිසයි. ඒත් අපි මේ තීන්තවල ඇති ඊයම් සංයෝග ගැන උනන්දු වෙන්නේ නැහැ.

මළ නොබැඳීම :

ජලයට නිරාවරන වීම නිසා ඇති වෙන මළ බැඳීම වලක්වන තීන්ත ගැන දක්වන උනන්දුව පිරිස් අද බහුලයි. පාරිභෝගිකයාගේ පැත්තෙන් එය සාධාරණ වුනත් ඊයම් සංයෝග නිසා වත් පැත්තකින් ඇති අහිතකර බව ගැනත් යම් අවධානයක් දැක්වීම වැදගත්.

තෙතමනයට ඔරොත්තු දීම :

තෙතමනයට ඔරොත්තු දෙන තීන්ත ගැන අපි උනන්දුවක් දක්වන්නේ වැසි ජලයට නිරාවරනය වීම නිසා ඇති වෙන බිත්තියේ  ආරක්ෂාව ලබා ගැනීමට අවශ්‍ය නිසයි. ඒ වුනත් මේ පහසුකම තිබුනත් එයින් සිදු වෙන බැරලෝහ පිලිබඳ නිරාවරනය ගැන අපි එතරම් අනන්දුවක් දක්වන්නේ නැහැ.

ඊයම්වලට නිරාවරනය වෙන්නේ කොහොමද…?

තීන්ත ආලේපනයන්හි මතුපිට පෘෂ්ටයෙන් පොතු ගැලවෙන ස්වභාවයක් අපිට ඇතැම්විට දක්නට ලැබෙනවා. මේවායේ තිබෙන විෂ සංයෝග පරිසරයට එක්තු වීම නිසා අපි නොදැනම සිරුරට ඇතුල් වෙනවා. මේ විස සංයෝග ශරීරගත වීමෙන් පුසව දැක ගත හැකි රෝග ලක්ෂණ මෙසේය.

  • ආහාර අරුචිය
  • නිතර ඇති වෙන උදරාබාධ
  • හිසරදය

මෙම තත්වයන් තවදුරටත් පැවැතුනහොත් රක්ත හීනතාවය සහ වර්ධනයේ ආබාධ වැනි අහිතකර තත්වයන් පවා ඇති විය හැකියි.

ලැන්කර්ෂයර් රෝහලේ විශේෂඥ වෛද්‍ය රිචඩ් ඩීසන් විසින් පෙන්වා දෙන අන්දමට නිවස අලංකාරය වෙනුවෙන් යොදා ගන්නා තීන්ත ආලේපනයන්හි සංයෝග මගින් ඇදුම , චර්මරෝග පවා ඇති වීමට ඉතා ඉහල අවදානමක් තිබෙන බවයි.

මේ වෙනුවෙන් විකල්ප …..මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ තීන්ත තෝරා ගැනීමේදී විෂ සංයෝග නැති තීන්ත තෝරා ගන්න.

  • අධික ගන්ධයක් නිකුත් නොවන තීන්ත තෝරා ගන්න.
  • ජලයෙන් බුරුසු සෝදා ගත හැකි තීන්ත තෝරා ගන්න. අපි බොහෝ විට සායම් තැවරුන බුරුසුව සෝදා ගැනීමට ටර්පන්ටයින් හෝ විවිධ ස්ප්‍රිතු වර්ග යොදා ගන්නා අතර ඒවායේ අධික ගන්ධයන්ද අපේ සෞඛ්‍යට හිතකර නොවේ.
  • තීන්ත ආලේප කරන විට ජනේල ඇර තබන්න.
  • තීන්ත හොඳින් වියැලෙන තෙක් කාමරය නැවත පාවිච්චි නොකරන්න.
  • තීන්ත ආලේප කරන විට මුඛ ආවරනයක් respirat/mask පාවිච්චි කරන්න.

-Daily mail ඇසුරින්-

විභාගේ ඉවරයි… නව යොවුන්වියේ ඉන්න මේ දරු පැටවූ ඊලගට මොකද කරන්නේ?

උසස් පෙල විභාගය දැන් අවසානයි. දරුවන් වගේම අම්මලාටත් අස්වැසිල්ලක් ලැබුනත් දැන්  තිබෙන්නේ ඉතාම සංක්‍රාන්ති කාලයක්. හොඳින් විභාගයට මුහුණ දුන් දරුවන් විශ්ව විද්‍යාලය වෙනුවෙන් සිහින මවන අතර තමන්ට විභාගය ගැන ආත්ම විශ්වාසයක් නැති දරුවන් දෙවැනි වතාවට විභාගය වෙනුවෙන් සූදානම් විය යුතුය යන චකිතයෙන් පසුවෙනවා.

මේ අතර වූ දෝලනය වෙන සංක්‍රාන්ති කාලය වෙනුවෙන් දෙමව්පියන්ගේ අවධානය දැක්වීම ඉතාම වැදගත්. විභාගය වෙනුවෙන් වෙහෙසකර කාලයක් ගෙවා අවසානයෙන් පසු දරුවන්ට යම් විවේකයක් ලැබීම අත්‍යවශ්‍යයි. මේ විවේකය තුල ඇති වෙන හැලහැප්පීම්ද බහුලයි. දරුවන්ට සතුට ලබා ගැනීමේ මාධ්‍ය එක් එක් දරුවාට සාපේක්ෂව බොහොම වෙනස්. පිරිමි දරුවන් ගේ විනෝදකාමි බව ගැහැණු දරුවන්ට වඩා  වෙනස්. ඒ තත්වය තුල ඇති වෙන අනතුරුත් බහුලයි. බොහෝ පිරිමි දරුවන් විනෝද චාරිකාවන් වෙනුවෙන් සහභාගී වී බීමත්ව දියනෑම් වැනි කටයුතු නිසා ජීවිතය පවා අහිමි කර ගන්නා තරමටම කනගාටුදායක තත්වයක්. ඒ නිසා පිරිමි දරුවන්ගේ චාරිකාවන් පිලිබඳව ඔවුන්ට දැනුවත් බවක් ලබා දීම අවශ්‍යයි.

ඔබේ දරුවා ඉතා යහපත් චරිතයක් බව සැබෑ වුනත් මෙවන් චාරිකාවන්හිදී දරුවා නොමගට යවන්නනට ඇදෙන්නටත් අවදානමක් තිබෙනවා. ඒ නිසා විභාගය අවසානයේදී විනෝද වෙන්නට සිදු වෙන සැලසුම් පිලිබඳව දෙමව්පියන්ද අවධානයෙන් සිටීම ඉතා වැදගත්.

අද ගැහැණු දරුවන්ද බොහෝ සේ විනෝදයට බරයි. ඔවුන්ද කණ්ඩායම් වශයෙන් විනෝදගමන් සූදානම් කරන ගන්නා නිසා ඒ ගැනත් මව්පියන්ගේ අවධානය දැක්වීම වැදගත්. ඔවුන් චාරිකා වෙනුවෙන් සූදානම් කර ගන්නා ස්ථාන ගැනත් දැණුවත් වීම අවශ්‍යයි. ඇතැම් තැන් විනෝදයට ගැලපෙන බව ඇත්ත වුනත් ගැහැණු දරුවන්ට තනිපංගලමේ චාරිකාවේ යෙදෙන්නනට තරම් සුදුසු ස්ථාන නොවෙයි. ඒත් වයසේ වැරැද්දදට හෝ දැරියන් ඒ ගැන නොදන්නා බව සැබෑ වුනත් දෙමාපියන් විදිහට මේ පිලිබඳව පෙර විපරම් කොට එහි ගැලපෙන හෝ නොගැලපෙන බව ඔවුන්ට තේරුම් කර දීම ඉතාම වැදගත්ය.

  • දරුවන් චාරිකාවක යෙදෙන්නේ නම් ඒ යන පිරිස ගැන අසා දැනගන්න.
  • ඔවුන්ගේ දෙමව්පියන් සමග සාකච්ඡා කරන්න.
  • ගමනට සම්බන්ධ සෑම දුවකගේම දුරකථන අංකය ලබා ගන්න.
  • යන එන ස්ථානයන්හි තිබෙන අනතුරු ස්ථාන ගැන කියා දෙන්න.
  • ඔවුන්ගේ මාර්ග සිතියම ඔබද ලබා ගන්න.
  • ගැහැණු දරුවන්ගේ චාරිකාව නම් එක් දිනකට පමණක් සීමා කිරීම වඩාත් වැදගත් වන්නේ රාත්‍රි ලැගුම් ගැනීමේදී පවා ඇති විය හැකි අප නොසිතන අන්දමේ අනතුරු බොහෝ ඇති නිසාය.
  • දරුවන්ගේ ඥාතීන්ගේ නිවෙසක වුනත් අද එතරම් ආරක්ෂාවක් ඇතැයි අපට සහතික විය නොහැකියි.
  • ඔවුන්ගේ විනෝදයට බාධා නොවන සේ අම්මා කෙනෙක්වත් මේ ගමනට සම්බන්ධ වීමට හැකි නම් වඩාත් යෝගයයි. සමවයස් දැරියන්ට යම් යම් අන්පේක්ෂිත අවස්ථාවන්හිදී මුහුණ දෙන අන්දම ගැන තිබෙන නොදැනුවත් බව වගේම එවන් අවස්ථාවකදී මේ කන්ඩායමටම විශාල ශක්තියක් වැඩිහිටි මවගෙන් ලැබෙනු ඇත.
පාඨමාලාවක් හදාරන්නේ නම්

උසස් පෙල අවසානයේ පටන් ප්‍රතිඵල එන තෙක් ඇති සංක්‍රාන්ති කාලය ඉතා හොදින් සැලසුම් කර ගැනීමට දැන් ඔබට පුලුවන්ය. ජීවිතයේ නැවත කිසිම දිනක මේ ගෙවෙන කාලය උපයා ගත නොහැකියි. ඒ නිසා අනාගතයට ගැලපෙන පාඨමාලාවක් ගැන සිතන්න. කරන අය පසු පසු යමින් පාඨමාලාවන් කරනු වෙනුවට ඔබ දැනට ඉලක්ක කර ගෙන සිටින අරමුණට ගැලපෙන අන්දමින් පාඨමාලාවක් තෝරා ගන්න.

භාෂාවක් ඉගෙණුම ඉතාම වැදගත්

මෙතෙක් විභාගය මතම යැපුන ඔබට දැන් අතිරේක භාෂාවක් ඉගෙනුම වෙනුවෙන් කාලය ලැබී ඇත. භාෂාවක් ඉගෙනීම මගින් මොළය වඩාත් තිරිහන්වෙන බව මනෝ වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසයි. අපි මෙතෙක් වැඩි අවධානයක් දක්වන ලැබුවේ ජාත්‍යන්තරයේ පිලිගැනීම ඇති ඉංග්‍රිසි භාෂාවට පමණක් වුනත්, හින්දි, ප්‍රංශ, ජර්මන් වැනි විවිධ භාෂාවන් වෙනුවෙන්ද දැන් අවශ්‍යතාවය ගොඩ නැගෙමින් පවතී. ගෝලීයකරනය තුල අද බොහෝ දරුවන් මෙම රටවල් සමග සම්බන්ධතාවයන් ‍ගොඩ නගා ගැනීමේ අනාගත ඉලක්ක ඇති නිසා මේ ලැබී තිබෙන කාලය එවන් වූ භාෂා ඉගෙණුමක් වෙනුවෙන් යොමු කල හැකිය. ඒ අතරම දෙමළ භාෂාව වෙනුවෙන් දැන් විශේෂ වටිනාකමක් ලැබී ඇත. රාජ්‍ය සේවයේ පවා දෙමළ භාෂාව වෙනුවෙන් ප්‍රවීනතාවය ලබා ගැනීම අත්‍යවශ්‍ය බැවින් මේ ලැබී ඇති කාලයේ එවන් වූ වැදගත් ‍ඉගෙණුම් අවස්ථාවක් ඔබට උපයා ගත හැක.

නිවසේ අලංකාරය වෙනුවෙන් කාලය දැන් තිබෙනවා

වසර තුනක් පමණ කාලයක් නිවසේ කටයුතු වෙනුවෙන් සම්බන්ධ නොවී තමන්ගේ ඉගෙණුම අරමුණ මතම යොමුව සිටි දරු දැරියන්ට දැන් තමන්ගේ කාමරය, නිවස සහ වටපිටාව පිරිසිදුව සහ අලංකාරව තබා ගැනීමට අවස්ථාව ලැබී ඇත. කාමරය වර්ණ ගැන්වීම, මල්පැල හෝ එලවලු පැල සිටුවීම, දැනට තිබෙන පරිසරය අලංකාර කිරීම වැනි කටයුතු වෙනුවෙන් යොමු වීම නිසා මානසිකව ලැබෙන තෘප්තිය වගේම මව්පියන්ටත් සහයෝගයක් ලබා දීමට මේ සංක්‍රාන්ති කාලය යොදා ගත හැකියි.

ඇඳුම් මැසිම, ඉවුම් පිහුම් කටයුතු

අද ගැහැණු දරුවන් එදා වගේ බාලේ පටන්ම මුලුතැන්ගෙයි කටයුතු වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට උනන්දු දෙමව්පියන්ගේ එකම ඉලක්කය දරුවාගේ අධ්‍යාපනය නිසාය. දැන් ඔවුන්ගේ ඉගෙණුම් කාර්යයයේ එක් අදියරක් අවසානය. යම් කඩඉමක නැවතී ඇත. මේ කඩඉමෙන් ජයගත් විට උසස් අධ්‍යාපනයටත් කඩඉම සිතන තරම් ජයග්‍රාහී නොවුන විට නැවත විභාගය වෙනුවෙන් සූදානම් වීම වැනි අවස්ථා දෙකක් ඇත. එහෙත් ප්‍රතිඵල එන තෙක් නැවතී සිටින මේ කාලය උපරිම ලෙසින් ප්‍රයෝජන ගත යුතුය. ඒ නිසා ආහාර පිසීම සහ තමන්ට ගැලපෙන අන්දමින් ඇදුම් මසා ගැනීම වැනි කටයුතු සඳහා මේ කාලය දරුවන්ට යොදා ගත හැකි අතර ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය දෙමව්පියන් විදිහට ඔබ ලබා දෙන්න.

අතිරේක කියවීමට කාලය දැන් වේලාව ඇත

මෙතෙක් විෂය දැණුම වෙනුවෙන්ම වූ පොත් පත්  මතම යැපුන ඔබට දැන් දැනුම සහ විනෝදය වෙනුවෙන් කියවීමට අවස්ථාව ලැබෙනු ඇත. ඒ නිසා මහජන පුස්තකාලයක සාමාජිකත්වය ලබා දී අවශ්‍ය පොත් පත් කියවා දැණුම සහ විනෝදය ලබා ගැනීමට දරුවන් පොත පත සමග සම්බන්ධ කිරීමට හොඳම කාලය දැන් එළැඹ තිබේ.

අපි නොහිතන දේවල් වලින් දරුවන්ට අනතුරු වෙන්නේ මේ විදියට

ඇත්තටම ජීවිතේට තමන් ලබන අත්දැකීම් මෙන්ම තවත් කෙනෙකු ලබන අත්දැකීම් අපේ ජීවිත වලට වටිනවා. ඉතින් පුංචි පැටවු ගැන අම්මාලා අත්දකින විවිධ අනතුරු පිළිබඳ අත්දැකීම් එක ලිපියකට ගොනු කරන්න හිතුනා.

මට මතකයි මගේ ලොකු පුතා ඉපදුනු දවස් වල ගුඩුස් නොගියොත් බබාව  මුණින් හෝ පැත්තට නිදිකරවන්න කියල උපදෙස් දුන්නා. ඒත් මගේ චූටිම පැටිය 2017 ලැබුණට පස්සෙ වෛද්‍යවරයා කිව්වේ බබාව තනියම මුනින් අතට නිදි කරවන්න එපා කියලා. නවතම සොයා ගැනීම් වලට අනුව මුනින් හෝ පැත්තට නිදිකරවීමෙන් දරුවාට අනතුරක් සිදුවීමට ඇති හැකියාව වැඩි බවත් දරුවාව නිදිකරවීමට සුදුසුම ක්‍රමය උඩු අතට බවත්ය. මන්ද යත් ගුඩුස් නොගිය විට දරුවා මුනින් අතට තබා ඇති විටක බඩ තද වී වමනය ගියහොත් නාසය තුල සිරවී දරුවාගේ හුස්ම ගැනීම ගැනීම අවහිර විය හැකිය.

අනිත් කාරණය තමයි මේ පුංචි පැටවුන් නිදන ස්ථානයේ අපේ අම්මලා දරුවා උණුසුම් කරන්න හිතාගෙන තබන පුංචි කොට්ට, ලිහිල් ඇඳ ඇතිරිලි කිසිවක් නොතබා ඉන්නත් වග බලාගත යුතුයි.  පුංචි පැටියගේ අතට අහුවෙන දේවල් ඇදගෙන ඒවා එයාලගේ මුහුණේ දමාගන්න එයාලට ඒ හැටි වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඒත් ඒවා මුහුණට වැටුනම ඉවත් කර ගන්නට නොහැකි වීමෙන් පැටවුන් හුස්ම හිරවීමට ලක්වෙලා මේ පුංචි පැටවුන් අවාසනාවන්ත ලෙස ළදරු මරණයකට ගොදුරු වන්නට පුලුවන්. මේ ගැන විශේෂයෙන්ම සඳහන් කලේ මමත් මේ අත්දැකීම ලබපු නිසයි. පැටියට මාස දෙකක් විතර වෙද්දි ඔලුවෙන් ළදරු ඇදේ ඉහළට ගිහින් පැටියා එතන තිබුන එයාගේ පුංචි කොට්ටය මුහුණට දමා ගෙන තිබුනෙ මම එතැනින් පිට වුන පුංචි මොහොතකයි. මම එන්න පමා වුණා නම් අද මමත් අවාසනාවන්ත මවක්. අදටත් අහුවෙන හැම දේම මුණටම දාගන්නවා. පැටවු ගැන හැම මොහොතෙම විපරමින් සිටිය යුතුයි. එනිසා අම්මාලා වශයෙන් අපේ තත්පර කිහිපයක අවදානය ගිලිහීම අපිට ජීවිත කාලය පුරාවටම දුකක් පමණක්ම ඉතිරි කරන පුලුවන්.

ඒ කියන කොට මතක් වුණෙ වයස අවුරුද්දක් වයසැති පුංචි දෝණියක් සදහටම ජීවිතෙන් සමුගත්තේ දෙමාපියන්ගේ සුලු අත පසු වීමකින්. ඉහළ මහළක ජීවත් වූ ඔවුන්ගේ නිවසේ උඩු මහල වටා තාප්පයක් දමා තිබුණෙ නැහැ. වෝකරයේ හිටිය පුංචි සමනලී ගමන් ගත් වේගයට ඇය උඩු මහලින් වැටී එතැනම සදහටම දෙනෙත් පියා ගත්තා.  එනිසාවෙන් අනතුරක් සිදු විය හැකි තැන් හැකිතාක් අවම කරගන්න උත්සහ කල යුතුයි.

මගේ හොඳම යෙහෙලියකගේ පුතු පැටියට වයස අවුරුද්දයි මාස 6ක් විතර ඇති. දවසක් පැටියගේ කකුලේ ඇඟිල්ලක කෙස් ගහක් පටලැවිලා තිබුනලු. ඒක ඒ තරමට ගණන් නොගත්තත් දවස් දෙකකට පස්සේ අනේ පැටියගේ ඇඟිල්ල හොඳටම ඉදිමිලා තිබුණ නිසා අම්මා ඇඟිල්ල හොඳින් විපරම් කරද්දියි මතක් වෙලා තියෙන්නේ පුතු පැටියගේ අතේ පටලැවිලා තිබුණු කෙස් ගහ. ඉතින් ඉක්මණින්ම වෛද්‍යවරයකු පෙන්නුවම ඇඟිල්ල කපන්න වෙයි කියලා. කොහොම හරි චූටියව වෙනත් විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වලා ඇඟිල්ලේ එතිලා තිබුණ කෙස් ගහ ඇඟිල්ල ඉවත්  නොකර ඉවත් කරලා. ඒ වගේම අත් දැකීමක් මුහුණු පොතේ මව්වරුන්ගේ සමුහයකත් අම්මා කෙනෙකුත් ලියලා තිබුණා. කෙස් ගහ තදින් පටලුනු පසු ලේ ගමනා ගමනයට අවහිර වීම නිසා තමයි ඇඟිල්ල ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපි නොහිතන පුංචි දෙයක් නිසාවෙන් පුංචි පැටවුන්ට නොහිතන තරමේ අනතුරු වලට මුහුණ පාන්න සිද්ධ වෙන නිසා බොහොමත්ම විමසිලිමත් වන්නට සිදු වෙනවා.

පැටවුන්ට සෙල්ලම් කරන්නට දෙන සෙල්ලම් බඩු පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනී. දරුවො ඕනෑම දෙයක් කටේ දමා ගන්න රුසියෝ. ඉතින් කුඩා කෑලී ගැලවිලා උගුරෙ හිරවෙන්න පුලුවන්. එනිසා දරුවන්ට දෙන සෙල්ලම් බඩු වල ආරක්ෂාකාරී බව පිළිබඳව කීපවතාවක්ම හිතන්න. ආ… බැටරි කෑලී දරුවන්ව තවත් භයානක තත්ත්වයක් ඇති කරනවා. සමහර දරුවො මේවා කටේ දානවා. ඒවයේ තිබෙන උග්‍ර විෂ සහිත රසායනිකයන් දරුවන්ව මරණය පවා කැන්දන් එන අවස්ථා කොතෙකුත් තිබෙනවා. එනිසා දරුවන්ට අවශ්‍ය නැති එවැනි දෑ දරුවන්ගෙන් ඈත් කර තබන්න.

පොඩ්ඩන් අකුරු ලියන්න හොර ඇයි..?

දරුවන්ට අකුරු ලියන්න ගියාම ඇතිවන සුලු ප්‍රශ්න අම්මලා තාත්තලාගෙත් මහා ප්‍රශ්න වෙන එක දැන් සුලබ කරුණක් වෙලා.අපේ වර්තමාන ප්‍රාථමික අධ්‍යාපනය කියන්නෙත් ක්‍රියාකාරකම් වලට වඩා අකුරු ලිවීම මත පදනම් වන ක්‍රියාදාමයක් නිසා මේ ගැටලුව විවිධ ආකාරයෙන් මතුවී පෙනෙනවා.

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගනුම ලබන දරුවන්ගේ ලිවීම් හැකියාවන් ඇගයීමට ලක් කල විට ඔවුන්ගේ ගැටළු ප්‍රධාන අංශ හතරක් යටතේ වර්ග කල හැකියි.

  1. අකුරු සහ වචන ලිවීමේදී අතර මැද ඉඩ තැබීම ආදියෙහි ගැටළු  (spacing)
  2. ලිවීමේදී ශරීරය නිවැරදිව තබා නොගැනීම සහ පෑන / පැන්සල නිවැරදිව අල්ලා නොගැනීම ( posture)
  3. ලිවීමේ වේගයෙහි ඇතිවන ගැටළු
  4. අකුරු නිවැරදිව ලිවීමේ නොහැකියාව

ඉහත සඳහන් කල ගැටළු සම්බන්ධ ව සලකා බැලුවිට එම ගැටළු හා සම්බන්ධ අනු ගැටළු රාශියක් අපට දැකගත හැකියි.ඉන් සමහරක් නම්,

අකුරු සහ වචන අතර ඉඩ සම්බන්ධ ගැටළු

  • අකුරු අතර , වචන අතර ප්‍රමාණවත් ඉඩ තබමින් ලිවීමේ ඇති අපහසුතාව
  • පොතක රූල් අතර ලිවීමේ නොහැකියාව
  • අකුරු එකිනෙක අතර නිවැරදි ස්ථාන සම්බන්ධතා නැති වීම  – එක අකුරක් රූලේ ඉහලින්ද අනෙක පහළින්ද ලිවිම
  • කොලයේ සීමාවන් ( margins) ගැන අවබෝධයක් නැති වීම

img1

වැරදි ශරීර ඉරියව් සහ පෑන /පැන්සල අල්ලා ගැනීමේ දුබලතා

  • නිවැරදිව අසුන් නොගැනීම
  • පුටුව, මේසය,ලියන මතුපිට සහ දරුවාගේ ශරීරය අතර නිවැරදිව ස්ථාන ගත නොවීම
  • පෑන / පැන්සල වැරදි ආකාරයන්ට ,අස්ථාවර ලෙස, බුරුල්ව අල්ලා ගැනීම
ලිවීමේ මැලි බව හෝ ලිවීමේ වේගයෙහි ඇති වන ගැටළු

  • ලිවිම සහ ඇඳීමට මැලිවීම /ප්‍රතික්ෂේප කිරීම සහ වැලකීම
  • පෑන / පැන්සල ,ලියනා කොලය මත ඉතා තදින් තද කිරීම
  • ඇතැම් විට ප්‍රමාණවත් තරම් තදින් අල්ලාගෙන නොසිටීම
  • ලිවිම සහ ඇඳීම ආදියේදී අත වෙහෙසට පත්වන බවක් දක්නට ලැබීම
  • ලිවීමේ වේගය ඉතා අඩුවීම
  • වේගයෙන් ලියන විට අකුරු වල නිවැරදි බව,පැහැදිලි හැඩය නැතිවීම
අකුරු නිවැරදිව ලිවීමට නොහැකි වීම 

  • අකුරු හඳුනා නොගැනීම
  • එකම අකුර නැවත නැවත ලිවිම
  • ලොකු අකුරු (capital) වෙනුවට කුඩා අකුරු (simple) ලොකුවට ලිවිම
  • සියලුම අකුරු එකම ප්‍රමාණයෙන් යුතු නොවීම

මීට අමතරව දරුවකුගේ අකුරු ලිවීම සහ සම්බන්ධ වන ගැටළු රාශියක් පවතී.

අවකාශය පිලිබඳ අවබෝධය මඳ වීම (spatial awareness)

අකුරු ලිවීමේදී සමහර අකුරු සඳහා අත ඉදිරියට තල්ලු විය යුතු අතර ඇතැම් අකුරු වලට අත ආපස්සට ඇදිය යුතු වේ. දරුවෙකුහට එම අවකාශය පිලිබඳ නිවැරදි අවබෝධයක් නැති නම් අකුරක් නිවැරදිව ලියන ආකාරය හා අකුර නිවැරදිව ස්ථාන ගත කිරීම සම්බන්ධව ගැටළු ඇති වේ.

දරුවකුගේ දල චාලක ක්‍රියා සහ සියුම් චාලක ක්‍රියා පමණක් අකුරු ලිවීමට බලපානු ඇතැයි කියා නොසිතිය යුතු වේ.

ඇස් පෙනීම සමබන්ධ ගැටළු

අකුරු ලිවීමේදී අකුරු හා සමගාමිව ඇසේ චලනය දිගට ඇදී නොයයි නම් එයද අකුරු ලිවීමේදී ගැටළු ඇති කරයි.අකුරේ හැඩය සහ ස්ථානගත වීමේදී ප්‍රධාන ලෙසම ගැටළු ඇතිවේ.

බොහෝ විට වචනවල අකුරු අඩුවීම, සහ ලියු වචනයේ තේරුමක් නොමැති වීම සිදුවන්නේ මේ හේතුවෙන්.

දෘශ්‍ය මතකය  ( visual memory )

දරුවාට පෙර අවස්ථාවලදී ඉගන ගත් අකුරු ආදිය ගැන යළි මතකය අවදි කර ගැනීමේ හැකියාව අකුරු ලිවීමේදී අත්‍යවශ්‍ය වේ .එම මතකය නොමැති වීම නවතා එකම අකුර හා වචන ලිවීමේදී ගැටළු ඇතිවන්නට හේතුවක් වේ.අක්ෂර වින්‍යාසය සම්බන්ධ ගැටළු ඇතිවීමටද මෙය බලපායි.

දරුවාගේ චාලක මතක හැකියාව සමග මෙම දෘශ්‍ය මතක හැකියාවද එක්ව දියුණු කල යුතු වේ.

( motor memory )

දරුවාට අකුරක් ලිවීමට අත හැසිරවිය යුතු චලන රටා ගැන මතකයක් නොවීමේ මෙහිදී සිදු වේ.දරුවාට මේ නිසා අකුරු ලිවිම හා හැඩය සම්බන්ධ බොහෝ ගැටළු ඇතිවේ.

මීළඟ සටහනෙන් දරුවාගේ අකුරු ලිවීමේ ගැටළු වලට  වෘත්තීය චිකිත්සාවෙන් සහය දිය හැකි අන්දම ලිවීමට අපේක්ෂා කරමි .

කිත්මා වාසනා දහනායක  B.Sc (OT)
වෘත්තීය චිකිත්සක ආචාර්ය
භෞත චිකිත්සක සහ වෘත්තිය චිකිත්සක විද්‍යාලය
ජාතික රෝහල, කොළඹ.
ඔබට මේ හා සම්බන්ධව උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් පහත අංකයකට කෙටි පණිවිඩයක් යවා ඇය සමග කතා කිරීමට වෙලාවක් වෙන්කරගන්න.
0713851733 / 0771124466

දෙවැනි විවාහය නිසා අසරණ වන අපේ දරුවන්

කරුණාව ,මෛත්‍රිය, උපේක්ෂාව කැටි කරගත් ඒ සිතුවිලි  සමුදායට දාරක ස්නේහය යැයි කියයි. දරුවකු මෙළොවට බිහි කළ පමණින් ගැහැණියකට මවක් වන්නටත් පිරිමියෙකුට පියෙකු වන්නටත් නොහැකිය. මන්ද කරුණාව මෛත්‍රිය ,උපේක්ෂාව කැටි කරගත් ඒ සිතුවිලි  සමුදාය කැටි නොවූ සිතෙහි දාරක ස්නේහයක ජනිත නොවන නිසාවෙන්ය.සැබෑ දෙමාපිය යුවලකගේ ලෝකය පිරී පවතින්නේ දරුවන් නමින්ය. සත්තකින්ම ඔවුන් දරුවන් නමින් පේවෙයි. එහෙත් විපරීත වූ සමාජ බැඳීම් තුල විවාහය යන බැඳීම නීතී පොතක අත්සන් තබා ඇති කර ගන්නා හුදු නීත්‍යනුකූල ගිවිසුමක් පමණක්ම වී ඇත. මේ මාතෘකාව ඔස්සේ මා මීට පෙරත් අකුරු කළෙමි. දෙදරා යන විවාහය තුල අසරණ වන්නේ ඔවුන්ගේ අභිමතයටම මෙළොවට බිහි කළ දරුවන්ය. එහෙත් අද මා අකුරු කරන්නේ දෙවන විවාහය හරහා අසරණ වන අපේ දරුවන් ගැනය.

හරේෂ් හා නිරාෂා පුංචි පුතෙකුගේ දෙමාපියන්ය. හරේෂ් පෞද්ගලික බැංකුවක ඉහළ තනතුරක් දැරු පුද්ගලයෙකි. නිරාෂා තම සිඟිත්තා සමග දවස ගත කලාය. හරේෂ්ගේ ඉලක්කය වූයේ ආයතනයෙ ඉහලම තනතුර දක්වා ගමන් කිරීමය. එහිදී ඔහුගේ පවුල ඔහු අතින් ගිලිහී යන බව ඔහුට අමතක විය. මේ අතර නිරාෂාට ඇගේ පාසල් වියේ ප්‍රේමවන්තයා හමු වූයේ නොසිතූ ලෙසය. හරේෂ්ගේ කාර්්‍යය බහුලත්වය නිරාෂාට ආශිර්වාදයක්ම විය. කාලයත් සමගම නිරාෂා පෙම්වතා සමග යන්නට ගියේ තම සිඟිති පුතුවද අත්හැර දමාය. නීත්‍යනුකූලව නිරාෂාගෙන් වෙන්වූ හරේෂ් නැවත විවාහ විය. ෂෙහාරා මුල සිටම සිඟිති පුතු ඔවුන් සමග ජීවත් වනවාට අකමැති විය. අවසානයේ පුතුට මවගෙන් මෙන්ම පියාගෙන්ද වෙන්ව අත්තම්මාගේ නිවසට යන්නට සිදු විය. පුංචි පුතුගේ දවස ගත වුනේ කල්පනාවෙන්මය. අවසානයේ ඔහු මානසිකව  ඇද වැටී විශාද තත්ත්වයට පත්විය.

මේ තවත් කතාවකි. රෂ්මී දෙදරු මවකි. ඇයගේ සැමියා හදිසි අනතුරකින් මිය ගියේ කිසිවෙකුත් අපේක්ෂා නොකල මොහොතකය. ඇය ඒවන විට විසි නම වන වියේ පසු වූ අතර දරුවන්ද කුඩා බැවින් වෙනත් විවාහයක් කර ගන්නා ලෙස සැමියාගේ පාර්ශවයෙන් මෙන්ම ඇයගේ දෙමාපියන්ද ඇවටිලි කරන්නට විය. රෂ්මීගේ කාර්්‍යලයේ සේවය කල අයේෂ් රෂ්මීට හිතවත් වුයේ ද ඔය අතර තුරය. ඔහු දරුවන්ටද ආදරය කලාය.

දුවයි පුතයි ගැන හිතන්න එපා මට පුලුවන් එයාලවත් ආදරෙන් බලා ගන්න. ඕනි නම් අපි තව දරුවෙක් හදන්නෙ නැතිව ඉමු. අයේෂ් පවසද්දි රෂ්මී සැබැවින්ම සතුටු විය. අවසන ආයේෂ් හා රෂ්මී විවාහ විය. අයේෂගේ වැඩි ආදරයට පාත්‍ර වූයේ දියණිය සෙයන්සාය. ඒ වන විට ඇය හය වැනි වියේ පසු විය. එය රෂ්මීට අස්වැසිල්ලක් විය. කාලය කෙමෙන් ගතව යද්දි දියණියගේ වෙනසක් දැනෙන්ට විය. අයේෂ් නිවසට ආ විට ඇය බියට පත් වේ. එහෙත් අයේෂ් ඇයට ආදරය කරන දිහා බලා රෂ්මී එය ගණනකට නොගත්තාය. එහෙත් දිනෙන් දින දියණියගේ වෙනස් වීම වැඩි වන්නට විය.

“මගේ පුතාට මොකක් හරිප්‍රශ්නයක්ද පැටියෝ”

සෙයන්සා නිහඬව නිසොල්මනේ උන්නාය.

“අම්මා මම අත්තම්මා එක්ක ඉන්න යන්නම්”

“ඇයි ඒ?”

“ඇයි ඒ කියලා අහන්න එපා මට බෑ ඉන්න”

මහ හඩින් දියණිය හඬා වැටෙද්දි රෂ්මී දියණියව වැළඳ ගත්තාය.

“කියන්න මගේ රත්තරන් ඔයා ඇයි අම්මායි තාත්තයි එක්ක ඉන්න බැහැ කියන්නේ”

“ඒ මගේ තාත්තා නෙමේ අම්මා. එයා ළඟදිනේ ආවේ”

“ඔව් ඒත් එයා ඔයාලට ආදරෙයිනෙ”

“ආදරෙයි ? මෙයා මට රිදෙන දේවල් කරනවනේ ඒ වගෙ දේවල් තාත්තා ආදරේට මට කවදාවත් කරලා නැහැ”

ඒ වන විටත්  පුංචි සුරංගනාවිය සුලු පියා අතින් අපයෝජනයට ලක් වී හමාරය.

මේ දිග හැරියේ දෙවැනි විවාහය නිසාවෙන් විඳ වූ දරුවන් දෙදෙනෙකුගේ ඉරණම පමණි. අද වන විට සමාජය බෙහෙවින්ම දූෂනය වී හමාරය. තම පියා අතින් දියණිය පුතු අපයෝජනයට ලක් වන සමයක පිටස්තරයකු මත විශ්වාසය රැඳවිය හැකිද යන්න පිළිබඳ සිතිය යුතුය. සුලු පියා අතින් දැඩි ලෙස පහර කෑමට ලක් වූ ආබාදිත පුංචි දියණියකගේ පොලීසියට ගොස් පැමිණිලි කල විඩියෝවක් සමාජ ජාලයක තිබී මා නෙත ගැටුනි. ඇය වචන අහුලමින් කීයා සිටියේ නැවත ඔහුව නිවසට නොඑවන ලෙසය. මව පියා අහිමි කල දරුවන්ට කාගේ පිළිසරණක්ද? දෙවැනි විවාහයක් ගැන සිතන ඔබ ඔබේ දරුවන් පිළිබඳවත් සිතා තීරණ ගන්නට  සිතට ගන්න.

 

මිනිසුන්ගේ කුණුකම කියන කුණු ප්‍රශ්නේ හෙටටත් ඉතුරු කරනවද?

මිනිසා කියන්නේ ලොව බුද්ධිමත්ම සත්වයා බව මම මෙන්ම ඔබද අසා ඇතුවාට සැකයක් නැත. එහෙත් එම කාරණයේදී  සමස්ථ මිනිසුන් කුලකය තුල සත්වයන්ටත් වඩා බුද්ධිය හීන ආත්මාර්ථය පමණක්ම ඇති කුහකත්වයෙන් පිරි මිනිස් කොට්ටාශයක්ද ඇති බව පිළිගත යුතුමය. එවන් පසුබිමක් තුල පුංචිම පුංචි මදුරුවකුට මේ කියන බුද්ධිමත්ම තමන්ට වඩා බෙහෙවින්ම විශාල සත්වයකුගේ ඉරණම තීරණය කරන්නට ඉඩ කඩ සැලසුවේත් බුද්ධිමත්ම සත්වයන් වන මිනිසුන්මය. තවමත් ඩෙංගු වසංගතයේ උණුසුම එසේමය. රජය මාධ්‍ය මගින් ද ජනතාව දැනුවත් කරන්නට කටයුතු කරමින් සිටියි. එසේ දැනුවත් කිරීම් සිදු කලද බීරී අලීන් කොටසක් නිසාවෙන් තව දුරටත් ඩෙංගු අවදානමින් මිදෙන්නට නොහැකි වී ඇත.ඩෙංගු යැයි රජයට දොස් පවරමින් සිටින ඔබ ඔබේ ගෙවත්තේම ඩෙංගුබෝ වන තැන් විනාශ කරන්න. ඒ පිළිබඳ මා අටුවාටිකා පැවසිය යුතුනැතැයි මා සිතමි.

“ආ …ඒත් පොඩ්ඩක් ඉන්න…ඔබේ නිවස ඉදිරියෙන් ගලා යන කානුව පිරිසිඳු කරන්නේ කවුද?”

“ආපෝ නගර සභාවෙන් ”

“නරකද අපිම සුද්ද කරගත්තොත්”

“චී… හැමෝගෙම ජරාව මෙතනින් යනවා අපි මොකටද අනුන්ගේ ජරාව අල්ලන්නේ”

ඇත්ත… ඇත්ත හැමෝගෙම බැහැර කරන වතුර ඔබේ නිවස අසල කානුවෙන්ද ගලා යනවා. එහෙමයි කියලා එතැන වතුර රැස් වුණාම ඒ වතුර කාගෙද කියලා මදුරුවන්ට නම් වැඩක් නැහැ. මෙපමණ පරිසරය පිරිසිදු කරගන්නට දැනුවත් කරන යුගයකත් තමන්ගෙම ගේ ඉදිරියෙන් ගලා යන කානුවේ පොලිතින් නිසා කොල නිසා ජලය ගලා අවහිර වෙලා තියෙද්දිත් ඒ ගැන වගක් නැතිව ඉන්න ඔබටත් මම අදම කානු පිරිසිඳු ගන්න ආරාධනා කරනවා. අපි හැමෝම තනි තනිවම අපේ වගකීම නිසි ලෙස ඉටු කරනවා නම් ඩෙංගු පරද්දන්න අමාරු නැහැ.

අනිත් කාරණය තමයි අපි අපේම කුණු ටික කාගෙම හරි ඇඟේ ගහලා පැත්තකට වෙන්න උත්සහා කිරීම.අප ගමන් ගන්නා අතුරු පාර පිරිසිඳුය. එහෙත් පසු ගිය දිනක  පාර පුරාම කුණු විසිර, ඉඳුල් ,පොලිතින් ,පරණ පාසල් බෑග් කැඩුණු සපත්තු පාර පුරාම සීසීකඩව දුඟඳක්ද පැතිර තිබුණි. පාරේ අඩිය තියන්නටවත් තැනක් නැත. මට දැනුනේ තරහවක් මෙන්ම දුකකි.

“අම්මා ඊ… පාලේ කුණු අපි යන්නේ කෝමද?”

මගේ තුන් හැවිදිරි පුතා විමසීය.

“අපි අයිනෙන් යමු පුතේ”

“ඇයි අම්මා මේ කුණු කවුද දැම්මේ ?”

“නරක මිනිස්සු දාලා ගිහිල්ලා පුතේ. හොඳ මිනිස්සු තමන්ගේ කුණු පාරේ දාන්නේ නැහැ. පාර කැත වෙනවා,ගඳ වෙනවා. ඒක නිසා අපි කොළ කෑල්ලක්වත් බිම නොදා ඉන්න පුරුදු වෙන්න ඕනී.”

පුතා ළදරු පාසලට ඇරලවූ මා යුහුසුලුව අර කුණු ගොඩ වෙත ගියේ කුණු අයිතිකාරයා ගැන හෝඩුවාවක් සොයන්නටය. ඇත්තටම ඒ කුණු ගොඩෙහි අයිතිකරු මුදල් යහමින් ඇති පුද්ගලයකු බව මට කිව හැක්කේ ඒ කුණු ගොඩෙහි තිබූ කුණු වලින්මය. එහෙත් ඔහුගේ කුණු සුපිරි වුවද ඔහු නම් මහා තකතීරූ, මෝඩ සමාජය ගැන කිසිඳු තැකීමක් නැති ආත්මාර්ථකාමී පුද්ගලයෙක් බව කියා පෑවේ ඔහුගේම කුනුය. හ්ම්… මගේ උත්සහයද සාර්ථක නොවුනේ නම සඳහන් කිසිඳු කොළ කැබැල්ලක්වත් සොයා ගන්නට නොහැකි වූ නිසාවෙන්ය.

කුණුලොරිය පැමිණියේ පෙර දිනය. නගර සභා කුණු ලොරියෙන් කසල වෙන් වෙන් වශයෙන් බැහැර කරන්නට කියා කලින් දැනුම් දීඇත. වෙන් වශයෙන් නැති කසල ලොරියෙන් භාර ගන්නනේ නැත. මේ සුපිරි පුද්ගලයාගේ සුපිරි කුණුද එසේ වර්ග නොකිරිම නිසා භාර නොගන්නට ඇත. එනිසා මේ පාරේ පාලු ස්ථානයේ දමා යන්නට ඇත. දවස් දෙකකට පමණ පසු නගර සභාවේ සේවකයකු විසින් එම කුණු පුලුස්සා දමා කුණු දැමීම තහනම් බවත් දඩුවම් ලැබිය හැකි වරදක් බවත් දක්වන පෝස්ටරයක් ඇලවනු ද මා දුටුවෙමි. ඊට පෙරද අනවසරයෙන් කුණු දැමීම තහනම් යැයි එතැනම දැන්වීමක් දමා තිබුනද කුණු දමා ගොස් තිබුණි.

අපේ කුණු අපටම හිසරදයක් වන තැන අනුන්ට අපේ කුණු දමා ඇඟ බේරා ගතහැකිද? අපේ කුණු වලටත් රජය වගකිව යුතු යැයි සිතන්නට අප පුරුදුව ඇත. කසල ගැටලුවට විසඳුමක් ලෙස වෙන් වෙන්ව කසල ගෙන යෑම ආරම්භ වී බොහෝ කාලයකි. එහෙත් තවමත් අපේ පුද්ගලයන් එයට අනුගත කරවා ගැනීම අපහසු වී  ඇත.

“අපිට රටේම මිනිස්සු හදන්න පුලුවනැයි”

ඔව් අපිට රටේම මිනිස්සු හදන්න නොහැකිය. එහෙත් තනි තනිව අපි හැදුනොත් රටම හැදිය හැකිය. අදම ඔබේ කසල කළමණාකරණය නිවසින් අරඹන්න. දිරන නොදිරන දෑ වෙන් වෙන්ව බැහැර කරන්න. නිවසේ අනිත් අයත් කසල බැහැර කරන බඳුන් පිළිබඳව දැනුවත් කරන්න. නැත්නම් එම භාජන නම් කර තබන්න. කෙතරම් උගත් වුවත් බුද්ධිමත් වුවත් අනුන්ට වදක් ලෙස ජීවත් වන්නේ නම් කවර හොඳක්ද? පරිසරය පිරිසිඳුව තබා ගැනීමට කුඩා කල සිටම අපේ දරුවන්ට කියා දිය යුතුය. මග තොටේ ටොපි කොළ ,යෝගට් කෝප්ප, කිරි පැකට් එමට ඇත. ඒ ඔබ විසින්ම බැහැර කල ඒවාය. දරුවන්ට ඒවා මග තොටේ දමා යන්නට ඉඩ නොදෙන්න. නිසි ලෙස එය කුණු කූඩයකට දමන්නට නොහැකි නම් නිවස ගෙන ගොස් ඉවත දමන්නට පුරුදු කරන්න. යහපත් සමාජක් තැනීමේ මූලිකම අඩිතාලම අපේ නිවසින්ම පටන් ගනිමු. එවිට සුන්දර මව් බිමක අසිරිය විඳිය හැකි වනු ඇත.

බාලගිරි අද නොවේ හෙටයි

“බාලගිරි අද නොවේ හෙට ” බිලිදු දරුවන් සිටින නිවෙස්වල කාමරයේ දොර උලුවස්සේ මේ පාඨය එල්ලා තිබෙනු ඔබත් දැක ඇති. බාල කාලයේදී මේ ගැන ඇසූ විට අපේ ආච්චි අම්මා කියා දුන් හේතුඵල සම්බන්ධතාවය සමහර විට වෛද්‍ය විද්‍යාත්මකව නොගැලපුනත් තවමත් මේ කියමන එල්ලා තබන්න නම් අම්මලාට අමතක නැහැ.

එදා ඇය කියා දුන්නේ ගිරි යක්ෂණියගේ කාණ්ඩ කීපයක් සිටිනවා. ඒ  ගිරි, හේමගිරි, නීලගිරි, අවරගිරි, උදාගිරි, රෑසිගිරි යනුවෙනුයි. මේ යක්ෂ කාන්ඩයන්ගේ බැල්ම දරුවන්ට ලැබෙන විට එය බාලගිරි”  දෝෂය යනුවෙන් හැදින්වෙනවා. අවට පරිසරයේ සැරි සරන මේ අමනුෂ්‍ය කාන්ඩයන්ට බිලිදු දරුවන්ගේ  සෙම, සොටු, මල, මුත්‍රා ආදියේ ගන්ධය දැනෙන විට ඒ වෙනුවෙන් ඉව කරමින් බැල්ම හෙලීම බාලගිරි විදිහටයි එදා ඇය හදුන්වා දුන්නේ.මේ බැල්ම ලද විට ළදරුවා දිවා රාත්‍රිය නොබලා යටිගිරියෙන් කෑ ගසමින් හඩන අතර වෛද්‍යවරුන් වෙත රැගෙන ගියත් කිසිම රෝග තත්වයක් හදුනා ගැනීමට ලැබෙන්නේ නැහැ.හේමගිරි යක්ෂණියගේ බලපෑම ලද විට දරුවා හඬන්නේ උදය, මධ්‍යම හා  සන්ධ්‍යා කාලයටයි.දරුවාගේ මුහුණත් මේ හැඬිමේදි විරූප තත්වයක් ගැකනනවා. ඇස් උඩ දල්වා ගෙන නොනවත්තාම දරුවා හඬන තත්වය නවත්වන්න ලෙහෙසි පහසු නැහැ. මාස දෙකක් පමණ වෙන තෙක්ම හේමගිරි යක්ෂණියගේ බලපෑම තිබෙනවා.

වචනයේ හැටියටම නීලගිරි යක්ෂණිය නිල්පාටයි. ඇය විරූපි ලක්ෂණ ඇත්තියක්. මේ යක්ෂණියගේ බැල්ම ලද දරුවාට නිතර නිතර උණ ගැනෙනවා. රතුපැහැදති පුංචි බිබිලි සිරුරේ දක්නට ලැබෙනවා. කිරි වමනය, කිරි පණු රෝග,වාතය පිටවීම, දහඩිය දැමීම වැනි රෝග ලක්ෂණ ගැනෙන්නේ නිලගිරි යක්ෂනියගේ ගිණුමටයි. ඒ වගේම ඇය කිරි දෙන අම්මාගේ කිරි ගල්ගැසීම සහ කිරි තිබුනත් දරුවා කිරි නොබොන චෝදනාවන්ගේ වැරදිකාරිය විදිහට සැලකෙනවා. මේ තත්වය දරුවාට මාස හතරක් වැනි  කාලයක පවතිනවා.

උදාගිරි යක්ෂනියගේ බලපෑම නිසා ඇති වෙන රෝගාබාධ විදිහට එදා සැලකුනේ දරුවාට අධික ලෙස දහඩිය දැමීම, නිතර මල බුරුල් විම, දෙපයේ බිබිලි ඇති වීම වැනි රෝග ඇති වෙනවා.

රෑසිගිරි යක්ෂණියගේ බැල්ම ලද දරුවා පියා නුරුස්සන අතර මව සමග ඉතා සතුටින් කාලය ගෙවනවා.අඩ නින්දෙන් අවදි වෙනවා. උඩබලාගෙන අඩන්න පටන් ගන්නවා.මේ අදහස් වෛද්‍ය විද්‍යාව ඉදිරියේ නම් නිෂ්ප්‍රභ වෙනවා. ඔවුන් පෙන්වා දෙන අන්දමට දරුවන්ගේ ඇඬීමට හේතු තිබෙනවා. ඔවුන්ට කුසගිනි දැනුනාම එය ප්‍රකාශ කරන්න බැහැ. බඩපිරී නිසා ඇති වෙන අපහසුතාවය තවත් හේතුවක්. ඒ වගේම ව්‍යායාම නැති නිසා බඩ පිපෙන තත්වය දරුවාට දරන්න අපහසුයි. කිරි දීමෙන් පසුව ගුඩුස් හැරීමට දැන් මව දැණුවත් කරන්නෙත් ඒ නිසයි.

අද වගේ දරුවාගේ රෙදි මැදීමක් එදා සිද්ධ වුනේ නැහැ. මේවායේ තිබෙන රැලි සහිත තත්වය දරුවාගේ සමට අපහසුයි. ඒ රැලි ගැටෙන විටත් හමට ඇති වුන වේදනාවත් හඩන්නට හේතුවක් වෙන්නැති. එලිය පහලියේ මල් වැටවල් මත දරුවාගේ රෙදි වනන විටත් විවිධ කෘමි සතුන් මේ රෙදිවලට ඇතුලු විය හැකියි. අපට නොපෙනෙන කෘමින් දරුවාට දෂ්ට කරන්නත් ඉඩ තිබෙනවා. ඒ වෙනුවෙනුත් අතීතයේ විකල්ප තිබුනා. කිසිම දවසක දරුවාගේ රෙදි සන්ධ්‍යා වෙන්න පෙරාතුව ගෙට ගත්තේ රෙදි වලට අමනුෂ්‍ය දෝෂ ඇති වෙයි කියන චකිතය නිසයි. අමනුෂ්‍ය දෝෂ වලටත් වඩා  ඉර අවරට යන්න කලින් නොගතහොත් රෙදිවලින් විවිධ කෘමි සතුන් ගෙට එන්නත් පුලුවනි. ඒ සියල්ල ඔවුන් සලකා ගෙන ගොම්මන් කාලයට පෙර රෙදි ගෙට ගත්තා.

දරුවාගේ කිරි සුවඳට විවිධ සර්පයන් ගෙට ඇදෙන්නත් ඉඩ තිබෙන බව දැන ගත් මව්පියන් නිතරම දරුවා පිරිසිදුව තබා ගත්තා. එයින් දරුවාගේ සිරුරට මහත් සැප පහසුවක් දැනුනා.

“බාලගිරි අද නොවෙයි හෙට …” කිව්වාම මේ යක්ෂයා හෙට පැමිණෙන අදහසින් පිටව යන අතර නැවත එම දිනය උදා නොවන බවට අතීතයේ පැවැති විශ්වාසය වුණා.වචනයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරි දරුවාට ඇති වෙන සියලු ශාරිරික හා මානසික අසීරුතාවයන් බාලගිරි යක්ෂනියගේ ගිණුමට තවමත් නම් බැර වෙනවා.

සෙල්ෆි ඡායාරූපයේ අවදානම ගැනත් දරුවන්ට කියා දෙන්න

සෙල්‍ෆි හෙවත් තමන්ගේ ඡායාරූපය තමන් විසින්ම ලබා ගැනීමට ඇති හැකියාව මෑතක පටන් දුරකථන තාක්ෂණය සමග අපට ලැබුන තවත් පහසුකමක්.සෙල්ෆි සංකල්පයට මූලික අත්තිවාරම  ඇති වුනේ 1839 වසරේදී බව ඔබ දන්නවාද…? දිනක් ඇමරිකානු ජාතික ඡායාරූප ශිල්පි “රොබට් කොර්නේලියස්”පිලඩෙල්පියාවේ සාප්පු සවාරියේ යෙදෙන විට තමාගේම ඡායාරූපයක් ගත්තා. කොඩැක් කැමරාව වෙළඳ පොලට හදුන්වා දීම සමග මේ තාක්ෂනය තව දුරටත් සංවර්ධනය වුණා. තරුණ වයසේ අයෙකු විසින් ලබා ගත් සෙල්‍ෆිය ලෙසින් සැලකෙන්නේ 1914 වසරේදී රුසියාවේ ඇනස්ටාසියා නිකොලියාවිනා ආදිපාදවරිය විසින් වීදුරුවක් ඉදිරිපිටදී තමාගේ ඡායාරූපය ලබා ගත් අවස්ථාවයි. ඇය තමාගේ මිතුරියට මෙම ඡායාරූපය යවනු ලැබුවේ මේ සටහන සමගයි.  “මේ ඡායාරූපය මම වීදුරුවක් ඉදිරිපිටදී ගත්තා…එතකොට අත වේවලන හින්දා ටිකක් අමාරු වැඩක්..”ලෝකයේ ජනප්‍රිය චරිත ලෙස සැලකෙන ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන්  සෙල්ෆි ඡායාරූප වෙනුවෙන් උනන්දුවක් දක්වා සිටි පුද්ගලයන් අතරට එක් වෙනවා.

කැලිෆෝනියාව් පර්යේෂකයන් විසින් පවත්වන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ  සෙල්ෆි ඡායාරූප ගැනීමේදී අපේ සතුට වෙනුවෙන් වූ මොලයේ කලාපය උත්තේජනය වෙන බවයි. පුද්ගලයන් දෙපිරසක් තෝරා ගෙන සාමාන්‍ය ඡායාරූප සහ සෙල්‍ෆි ඡායාරූප ගැනීමේදි ඔවුන්ගේ මොලයේ ප්‍රතිචාර පිලිබඳව ලබා ගත් ස්කෑන් ඡායාරූප අධ්‍යනය කරනු ලැබුවා. එහිදී පෙනී ගියේ සෙල්‍ෆි ඡායාරූප ගන්නා අයගේ මොළයේ සතුට කලාපය සෙසු ඡායාරූප ගත් පිරිසට වඩා උත්තේජනය වී තිබුන බවයි.

අපිට සෙල්‍ෆි මරණ ගැනත් ඒ සමගම කතා බහ කරන්න සිදු වී තිබෙනවා. මේ තත්වය නිසා අපේ මානසිකත්වය තුළ ඇති වෙන යොමු වීම මොනතරම් ප්‍රබලද කියනවා නම් ඒ වෙනුවෙන්ම ඇති වෙන ඇබ්බැහි වීම නිසා ජීවිතය පවා අවදානම් තත්වයට පත් වන තෙක් අපිට තේරුම් ගැනීම අපහසුයි. ඒ නිසාම මෙම ඇබ්බැහි වීම යනුවෙන් හැදින්වීමට පවා සිදු වී ඇතැයි මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් සඳහන් කරනවා. ඒ නිසාම අද සෙල්ෆි මරණ පාලනය සඳහා ඒ ගැන දැණුවත් කිරීම අවශ්‍ය බව බොහෝ දෙනා අවිවාදයෙන්ම පිලිගන්නවා.නෙල්සන් මැන්ඩෙලා ජනනායකයාගේ අවමංගල්‍ය පෙරහැරේ යන අතරදි සෙල්‍ෆි ගැනමට උනන්දු වුන බොහෝ රාජ්‍ය නායකයන් සමාජයේ දෝෂ දර්ශනයට පත් වුනේ ආචාර ධර්ම ගැන නොසිතා කටයුතු කළ නිසයි.

ඒත් ඉවක් බවක් නැතුව සෙල්‍ෆි ලබා ගැනීම නිසා  රෝගාබාධයන්ට ගොදුරු වීමට අති අවදානම ගැන ඇමරිකාවේ නිව්යෝක් විශ්ව විද්‍යාලයේ ලැන්ගන් මධ්‍යස්ථානයේ  පේශි හා කොඳුඇට පෙල රෝග පුනරුත්තාපන වෛද්‍ය චාල්ස් කිම් සඳහන් කරනවා. ඔහු විසින් සිදු කරන ලද අධ්‍යනයකට අනුව ස්මාර්ට් දුරකථන සමග වඩාත් ක්‍රියාකාරීව මෙම ඡායාරූප ගැනීම නිසා වැලමිට ආශ්‍රිත මාංශපේශි ආසාදනයට පත් වෙනවා. කාලයක් පුරා මේ තත්වය සිදු වීම නිසා වැලමිට ආශ්‍රිතව ඇති වෙන බරපතල වේදනාවට ඔවුන් නොදැනම මුහුණ දෙනවා. ජංගම දුරකථන මගින් කෙටි පණිවිඩ යැවීම, ක්‍රිඩාවන් වගේම ට්විට් කිරීමත් මේ තත්වයට හේතු වෙන බව වෛද්‍ය කිම් සඳහන් කරනවා.ඔහු මෙම රෝග තත්වය හඳුන්වන්නේ “සෙල්ෆි එල්බෝ”  නමින්. මේ රෝග තත්වයෙන් මිදීමට ඇති විකල්පය ගැනත් සඳහන් කිරීමට ඔහු අමතක කළේ නැහැ. සෙල්ෆි ගැනීමේදී යෂ්ටියක් සහිත කැමරාවක් භාවිතා කලොත් මේ අපහසුතාවයෙන් මිදෙන්නත් හැකි බව ඔහු පෙන්වා දෙනවා.

ඒ වගේම සෙල්ෆි මගින් ඇති වුන අනතුරු ගැනත් ලෝකයේ පුරාම වාර්තා වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යනයකට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ රියදුරන්ගෙන් 4 % ක් පමණ අනතුරට පත් වෙන්නේ රිය පදවන අතරවාරයේ සෙල්ෆි ඡායාරූප ගැනීමෙන් බව වාර්තා වෙනවා.ඉන්දියාවේ 2016 වසරේ ජනවාරි මාසයේ පමණක් සෙල්ෆි මරණ 27 ක් වාර්තා වී තිබෙනවා. මේ නිසාම ඉන්දියාව විසින් කුම්භමේලා උත්සවයේදී සෙල්‍ෆි ඡායාරූප ගැනීම තහනම් කරනු ලැබුවා.යෝධ වොල්රසෙකු සමග ලබා ගත් සෙල්‍ෆි ඡායාරූපයක් තම මුහුණුපොතේ ජනප්‍රියත්වයට පත් වුන නිසා චීනයේ “ජියා ලී චුන්” ගේ දෙවැනි අපේක්ෂාව වුනේ ලියෝනි ප්‍රාන්තයේ සත්තු වත්තේ මෙවැනිම ඡායාරූපයක් වොල්රසා සිප ගැනීම සමග ලබා ගැනීමටයි. එහෙත් සැනින් ඔහුගේ ආශාව අවසාන විය.වොල්රසාගේ ගොදුරක් බවට පත් ජියා ලී ගේ ජීවිතය ඔහුට අහිමි විය.

ඉන්දියාවේ හමුදා සෙබලුන් දෙදෙනෙකුට අවශ්‍ය වුනේ සක්‍රිය ග්‍රෙනේඩ් බෝම්බයක් සමග ඡායාරූපයක් ලබා ගැනීමටයි. බෝම්බයට අනුකම්පාවක් නැත. අනපේක්ෂිත ලෙස බෝම්බය පිපිරී ගොස් දෙදෙනාම මරණයට පත් විය.මුහුණුපොත් වෙනුවෙන් ඉතා ආකර්ශණීය සෙල්ෆියක් එක් කරන අරමුනෙන් රුමේනියානු තරුණියක් වහලයක් මතට නැග ඡායාරූපය ගැනීමට තැත් කළේ ඉහලින් ඇදුන අධිවෝල්ටියතාවයේ විදුලි රැහැන ගැන නොදැනය.

ඉන්දියාවේ විසූ රමන්දීප් සිංගේ වයස අවුරුදු 15 කි. ඔහු පිස්තෝලයක් අතැතිව තම පියා සමග සෙල්‍ෆි  ඡායාරූපයක් ගැනීමට සූදානම් වූයේය. වරදින්න වෙලාවක් අවශ්‍ය නැත රමන්දීප් කැමරාව වෙනුවට ක්‍රියාත්මක කරනු ලැබුවේ පිස්තෝලයයි. අවාසනාවන්ත ලෙස ඔහු ජීවිතයට සමු දුන්නේය.

ජපන් ජාතික හිදෙකෝ මිද්ට අවශ්‍ය වුනේ ඉන්දියාවේ ටජ් මහල ඉදිරියේ සිට සෙල්‍ෆි ඡායාරූපයක් ගැනීමටය. රුසියානු  ඡායාරූප ශිල්පිනයක වූ ඇය ශාන්ත පිට්ස්බර්ග් පාලමේ සිට සෙල්‍ෆි ඡායාරූපයක් ගැනීමට ගත් උත්සාහය නොදැනම අසාර්ථක විය. සමබරතාවය ලිහිල්ව ගිය ඇය ඊලඟට අල්ලා ගත්තේ අධි වෝල්ටීයතාවයේ විදුලි රැහැනකි.සෙල්ෆි ඡයාරූප වෙනුවෙන් අද ඇති ආකර්ශණය සමග අනතුරු පිලිබඳ වාර්තාවන්ද ඉහල යමින් පවතී. මේ නිසා ඔබේ තරුණ දරුවන් තුල මේ වෙනුවෙන් තිබෙන උනන්දුව සමග එහි අවදානම ගැනත් සඳහන් කිරීම ඉතා වැදගත් වේ.

මිනිස් සිරුරට නිසි පිරිසිදු ජලයේ වැදගත්කම කියන වටිනා කරුණු 5ක්

වතුර කියන්නේ අපේ ජීවිතයේම කොටසක් කියලා හැඳින්වුවොත් ඒකේ වරදක් නෑ. හැම ජීවියෙක්ටම වගේ ගහට කොළට පවා වතුර අත්‍යවශ්‍ය දෙයක්. වතුර නැති වුණාම ගස් වැල් වේලිලා යනවා වගේම අපේ ශරීරයත් වතුර නැතිවුණොත් ලෙඩ වෙනවා. අපේ සිරුරේ 60%ක ප්‍රමාණයක පමණ ජලය බව පෙර ලිපියක් හරහාත් අපි ඔබව දැනුවත් කළා. ජලය කියන්නේ බලසම්පන්න පානයක් කියන්නේ ඇයි කියලා මේ ලිපියේ අවසානයේදී ඔබට තේරුම් යාවි.

  1. ආහාර ජීරණයට උපකාරී වේ

ආහාර පිසීමේදී වගේම අපි අනුභව කරන ආහාර ජීරණය සඳහාත් ජලය වැදගත් වෙනවා. අපේ සිරුරේ ඇති ජල ප්‍රමාණය අවම වීම හේතුවෙන් මලබද්ධය ඇතුළු බොහොමයක් රෝග තත්ත්වයන් ඇති වීමට හේතු විය හැකිය.

  1. සංසරණය වැඩි දියුණු කරයි

නිසි ජල පරිමාව සිරුරට නොලැබුණහොත් රුධිර සංසරණය වෙනස් වීමේ අවදානමක් පවතිී. එසේ රුධිර සංසරණය දුර්වල වීම හේතුවෙන් විඩාව, හිසරදය මෙන්ම ඇඟපත වේදනාව වැනි තත්ත්වයන් ඇති වීමෙන් ඔබව අපහසුතාවයට පත්වේ.

  1. සිරුරේ උෂ්ණත්වය නියමිත අගයේ පවත්වා ගනී

සිරුරේ උෂ්ණත්වය නිසි අගයේ පවත්වා ගැනීම සඳහාද ජලය හරහා මහඟු සේවාවක් ඉටුවේ. ශාරීරික ක්‍රියාකාරකම්වලදී අධික වෙහෙස නිසා සිරුරෙන් ඉතා ඉක්මනින් ජලය පිටවන අතරම සිරුරේ නිසි උෂ්ණත්වය පවත්වා ගැනීමට නම් අප ඒ සඳහා අවශ්‍ය ජල අවශ්‍යතාවය සැපිරිය යුතුය. එසේ නොවුණහොත් ඔබ විජලනයට ලක් විය හැකිය. සිරුරේ සජලන ස්වභාවය පවත්වා ගැනීමට ජලය නිසි පරිමාවෙන් භාවිත කිරීම වැදගත් වේ

  1. සිරුරට අහිතකර දේ ඉවත් කරයි.

වකුගඩුවල ප්‍රධාන කාර්යය වන්නේ අපේ සිරුරට අනවශ්‍ය දේ ඉවත් කිරීමයි. එහිදී වකුගඩුවල නිසි ක්‍රියාකාරීත්වය සඳහා අවැසි ජල පරිමාව ලබාදීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අපගේ ඒකායන අරමුණක් විය යුතුය. එසේ නොවුණහොත් වකුගඩු ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන්ට ගොදුරු වීමට ඔබට සිදුවනු ඇත.

  1. සමේ යහ පැවැත්මට උපකාරී වේ

සමෙහි තෙතමනය රඳවා ගනිමින් වියළීමට ලක්විම වළක්වා ගැනීමට නිසි ප්‍රමාණයෙන් පිරිසිදු ජලය පානය කිරීම ඉතා වැදගත් වේ. එසේම කෑමට පෙර වතුර වීදුරුවක් පානය කරන්නට ඔබට හැකි නම් එය වඩාත් ප්‍රයෝජනවත් වේ. එසේම නිසි ජල පරිමාව ලබාගැනීම හේතුවෙන් සිරුරේබර පාලනය කරගැනීමේ හැකියාවද ඔබ සතුය.

සැමදා සැමට පිරිසිදු ජලය ලබාදෙන්නට වෙහෙසෙන පියුරිට් (Pureit) මගින් සිදු කළ පරීකෂණය සහ සිදුවන දේ පහත වීඩියෝවෙන් ඔබත් නරඹන්න.

Pureit අනුග්‍රාහකත්වයෙන් පලකරන ලද ලිපියකි.

 

නිමල්ට වතුර පෙවෙනවා අඩුයිලු … මෙන්න බලන්න ඩොක්ටර් නිමල්ට කියපු දේ..

නිමල් ඩොක්ටර් ළඟට ගියේ දින ගානක් තිස්සේ තිබුණු පුංචි පුංචි අපහසුතාවයන්ට ඛෙහෙත් ටිකක් ගන්න. ඩොක්ටර් දිගින් දිගටම නිමල්ගෙන් වතුර බොන එක ගැන ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

ඩොක්ටර් : නිමල් හොඳට  වතුර බොනවද?

නිමල් : වතුර නම් පෙවෙනවා අඩුයි ඩොක්ටර්

ඩොක්ටර් : නිමල්, වතුර පෙවෙන්නේ ගඟක මූදක වැටුණොතින් විතරයි. අපේ නිරෝගි පැවැත්මට ඕනෙ කරන පිරිසිදු වතුර අපි උනන්දු වෙලා තමයි ලබාගන්න ඕනේ. දැන් දැන් බොහොම දෙනෙක් මේ වතුර ගැන දක්වන අවධානය නම් හරිම අඩු වෙලා. මෙහෙම ගියොත් හැමෝම ලෙඩ්ඩු වෙයි.

තමන් ඉන්න තැන හොඳ පිරිසිදු වතුර එකක් තියාගන්න අමතක කරන්න එපා.

නිමල් : හොඳයි ඩොක්ටර්.

ඩොක්ටර් : නිමල් දන්නවද ඇයි මම පිරිසිදු වතුර කියලම කිව්වේ කියලා. මොකද අපේ ගොඩ දෙනෙක් දැන් පුරුදු වෙලා ඉන්නේ ටැප් එකෙන් වතුර බොන්න. ක්ලෝරීන් දාලා පිරිසිදු කළා කියලත් ටැප් එකෙන් එන වතුර 100% පිරිසිදු නෑ. ඒ වගේම දැන් මිනිස්සු මිනරල් වෝටර් බොට්ල්ස් ගන්න එක ස්ටයිල් එකක් කරගෙන. ඒ ඉතිං නොදැනුවත්කම තමයි.  ඉතිං ගොඩ දෙනෙක් අපිරිසිදු වතුර බොන්න ප්‍රධානතම හේතුව මේ නොදැනුවත්කම තමයි.

පොත පතේ සඳහන් වෙන පරිදි මිනිස් සිරුරට ජලය නොමැතිව ගත කළ හැකිකේ දින තුනක් හතරක් වැනි සුළු කාලයකි. එසේම රුධිරයේ ප්‍රධානතම සංඝටකයක් වන ජලය මගින් සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය නිසි ලෙස සිදුකිරීමට විශාල සහයෝගයක් ලැබේ. එසේම සිරුරේ උෂ්ණත්වය පාලනය කරගැනීමටත් මොළයේ නිසි ක්‍රියාකාරීත්වයටත් නාසය/ඇස් සහ මුඛයේ පටලවල තෙතමනය රඳවා ගැනීමට/නිසි ලෙස මුත්‍රා පෙරීමේ කාර්යයට/හෝමෝනවල ක්‍රියාකාරිත්වයට ජලය අත්‍යවශ්‍ය වේ. ඉතිං ජලය මගඅරින්න අපි කාටවත් බෑ. මන්ද අපේ සිරුරේ සජීවී බව රැකගන්නට ජලය අත්‍යවශ්‍ය වන බැවිනි.

දිනකට ඔබට අවශ්‍ය වතුර ප්‍රමාණය ලබාගත්තද ජලයේ පවිත්‍රතාවය ගැන අවධානය යොමුකරන්න ඔබට අමතක විය හැකියි. අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් පාචනය/කොළරාව වැනි රෝග තත්ත්වයන්ට මුහුණ දීමට අපට සිදුවෙනවා. ඒ නිසාම පිරිසිදු ජලය භාවිතය කෙරේ මූලික අවධානය යොමු කිරීම ඉතාම වැදගත් කරුණක් බව දැන් ඔබට වැටහෙනු ඇත.

අපි බොහෝ දෙනෙකු සිතා සිටින්නේ උතුරවා නිවාගත් පමණින් සම්පූර්ණයෙන්ම පිරිසිදු ජලය අපට හිමිවන බවයි. ඒ වගේම බෝතල් කළ/පිරිපහදු කළ/පෙරා ගත් ජලය පිරිසිදු බවින් උසස් තත්ත්වයේ පවතින බවත් ඒවායෙන් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් හිමි නොවන බවත් සාමානයයෙන් අපි විශ්වාස කරනවා. නමුත් ඒ ජලයේ ඕනෑ තරම් අපවිත්‍ර ද්‍රව්‍ය ඇත්දැයි සිතන්නට කාලය දැන් උදාවී ඇති බව මතකයේ රඳවා ගන්න. උණු කර නිවා ගත් පමණින් ඔබට මෙන්ම ඔබේ දරුවන්ට පානය සඳහා භාවිත කරන වතුර වීදුරුව උපරිම පිරිසිදු බවින් යුක්ත යැයි සිතා සිටීම ලෙඩ රෝග රැසක් ඔබ වෙත කැන්දා එන තත්ත්වයක් බව තරයේ සිතට ගන්න. සැමවිටම ඔබේ පානීය ජල අවශ්‍යතාවය සඳහා උපරිම පිරිසිදු තත්ත්වයේ ජලය ලබාගැනීමට නම් ඔබේ නිවසසේ භාවිත කරනු ලබන වතුර ෆිල්ටරයේ තත්ත්වයද ඉතාම වැදගත් බව සිහිතබාගන්න. සැමවිටම තත්ත්වයෙන් උසස් සෞඛ්‍යයට හිතකර තත්ත්වයේ ෆිල්ටරයක් තෝරාගන්න.

සැමදා සැමට පිරිසිදු ජලය ලබාදෙන්නට වෙහෙසෙන පියුරිට් (Pureit) මගින් සිදු කළ පරීකෂණය සහ සිදුවන දේ පහත වීඩියෝවෙන් ඔබත් නරඹන්න.

Pureit අනුග්‍රාහකත්වයෙන් පලකරන ලද ලිපියකි.