දුව නිතරම කණ්නාඩිය ඉසසරහමයි..පුතාගේ හිත ජැන්ඩියට අඳින්නමයි..මොකක්ද මේ දරුවන්ට වුණේ

ඔබේ දියණිය/පුතා කෙමෙන් වැඩිවියට ළඟා වන ලකුණු පෙන්නුම් කරන බව ඔබ දිනෙන් දින නිරීක‍ෂණය කරනු ඇත. අපි එතැනින් පටන් ගනිමු. යොවුන් විය පිළිබඳව ප්‍රථමයෙන්ම දැනුවත් විය යුත්තේ මා පියන් වන ඔබයි. ඒ දැනුවත් බව හරහා දරුවන්ට ළංව ඔවුන්ගේ ජීවිතය පිළිබඳව පහදා දෙන්නට ඔබට පහසු වනු ඇත. යොවුන් විය ජීවිතයට නව ප්‍රබෝධයක් ගෙන එන කාලයයි. එනම් දරුවා කායිකවත් මානසිකවත් වර්ධනය කරා ගමන්ගන්නා කාලයයි. එනම් ළමාවිය සහ වැඩිහිටි විය අතර මැද ජීවිතයේ සුන්දරම කාලසීමාව යැයි කීමේ වරදක් නැත.

වයස අවුරුදු 10ත් 14ත් අතර කාල සීමාව, පෙර යොවුන් විය ලෙසද වයස අවුරුදු 15 – 18 ත් අතර මැද යොවුන් වියද අවුරුදු 19 – 24 තෙක් කාල සීමාව යොවුන් විය ලෙසද හැඳින්විය හැකිය. මේ කාල සීමාව තුළ ඕනෑම දරුවෙකු ඉතා සීග්‍ර ලෙස සමාජීය, මානසික සහ කායික වශයෙන් බොහෝ වෙනස්කම් පෙන්නුම් කරයි. එසේම මේ කාල සීමාව තුළ ඉතා සීග්‍රයෙන් වර්ධනය සිදුවන අතරම ගැහැණු දරුවන්ගේ වර්ධනය පිරිමි දරුවන්ට සාපේක‍ෂව වේගවත් බවක් පෙන්නුම් කරයි. පිරිමි දරුවන් වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන්නේ නව යොවුන් වියේ අවසන් කාල සීමාවේදීය.

සාමාන්‍යයෙන් පොදුවේ යොවුන් වියේ දරුවන් පෙන්නම් කරන කායික වෙනස්කම් පහත පරිදි දැක්විය හැකිය.

  • සම තෙල් සහිත වීම/බොහෝ විට කුරුලෑ ඇතිවීම
  • ශරීරයේ කෙස් වර්ධනය වීම (කිහිලි, ඉකිලිය, මුහුණේ)
  • කටහඬේ සිදුවන වෙනස්කම්
  • දහදිය දැමීම වැඩිවීම
නව යොවුන් ගැහැනු දරුවා

ගැහැනු දරුවන්ගේ නව යොවුන් විය වයස අවුරුදු 10 සම්පූර්ණ වනවාත් සමග ඇරඹේ. එතැන් පටන් මානසික/ශාරීරික/සාමාජීව වශයෙන් වෙනස්කම් රැසකට ඇය බඳුන් වේ.

යොවුන් වියට පියනගන ගැහැනු දරුවෙකුගේ සිදුවන කායික වෙනස්වීම්

  • පියයුරු වර්ධනය වීම
  • උකුල පළල වීම
  • උස සහ බර වැඩි වීම
  • යෝනි මාර්ගය සහ අවට තෙතමනයක් සහිත වීම
  • කටහඬ තියුණු වීම
  • ආර්තවය ඇතිවීම

ඔබේ දියණියගේ මෙම වෙනස්කම් තුළින් ඇය යොවුන් වියට එළැඹ ඇති බව ඔබට වටහා ගත හැකි නොවේද?

මේ කාල තුළ ගැහැනු දරුවෙකුගේ සිරුර ඉතා වේගයෙන් වර්ධනය වේ. සාමාන්‍යයෙන් වයස අවුරුදු 15 පමණ වන විට ඔවුන් සතු උපරිම උස දක්වා වර්ධනය වී ඇති බව කිව හැකිය. මේ වයස් සීමාව වන විට ගැහැණු දරුවන්ගේ උකුළු පෙදෙස වර්ධනය වී නාරි දේහයක ලක‍ෂණ පෙන්නුම් කරයි.

එසේම, මේ වයස් සීමාව වන විට ඩිම්බ කෝෂයෙන් හෝමෝන නිපදවීම ආරම්භ වන අතරම ප්‍රථමයෙන් පියයුරේ බඳ කොටස වර්ධනය වීම ආරම්භ වේ. ඉන්පසුව කෙමෙන් පියයුරුවල පටක වර්ධනය වීමත් සමගම තන පුඩුව හා ඒ අවට ප්‍රදේශයට වර්ධනය වී හොඳින් කැපී පෙනෙන සේ සැකසෙයි. මේ අවධිය තුළ ප්‍රජනක අවයව ආශ්‍රිතව රෝම වර්ධනය සිදු වේ.

මෙම වයස් සීමාවේදී සිදුවන අනෙක් වැදගත්ම දේ වනුයේ ගැහැණු දරුවාගේ ඔසප් චක්‍රය ආරම්භ වීමයි. එක් එක් දරුවාගෙන් දරුවාට වයස් සීමාව වෙනස් විය හැකිය.  පෙර සඳහන් කළ අත් යට රෝම ඇති වීම ඇරඹෙන්නේ මෙම ඔසප් චක්‍රයේ ආරම්භයත් සමගමය.

මේ සියලූ කරුණ සමග යොවුන් වයසේ ගැහැණු දරුවන් තුළ ලැජ්ජාශීලී බව/තම රුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරිම/තැන්පත් බව වැනි ලක‍ෂණ ද දැකගත හැකිය.

නව යොවුන් පිරිමි දරුවා

පිරිමි දරුවන්ගේ යොවුන් විය ඇරඹෙන්නේ වයස අවුරුදු 12 සම්පූර්ණ වීමත් සමගය. එතැන් පටන් මානසික/ශාරීරික/සාමාජීව වශයෙන් වෙනස්කම් රැසකට බඳුන් වේ.

යොවුන් වියට පියනගන පිරිමි දරුවෙකුගේ සිදුවන කායික වෙනස්වීම්

  • මස්පිඩු වර්ධනය වීම
  • උරහිස් පළල වීම
  • උස සහ බර වැඩි වීම
  • කටහඬ ගැඹුරු වීමශිෂ්ණය සහ කෝෂ වල වර්ධනයක් ඇතිවීම
  • ශුක්‍රානු පිටකිරීමට හැකිවීම
  • ලිංගික හැගීම් ඇතිවීම

යොවුන්වියට එළැඹීමත් සමගම පිරිමි දරුවෙකුගේ සිදුවන ශාරීරික වෙනස්කම් ලෙස ශරීර වර්ධනය වේගවත් වීම දැකගත හැකිය. සිරුර උසින් සහ බරින් වැඩි වේ. සාමාන්‍යයෙන් අවුරුදු 18 – 19 වයස් සීමාව වන විට උපරිම උසට ළඟා වන අතරම එය වසරකට සෙන්ටිමීටර් 10ක පමණ ප්‍රමාණයක් වේ. තවද උරහිස් පළලින් වැඩිවීම, මාංශ පේශීන් ශක්තිමත් වීම/වර්ධනය වීම ශරීර වර්ධනය යටතේ දැක ගත හැකි ප්‍රධාන ලක‍ෂණ වේ.

පිරිමි දරුවෙකුගේ පුරුෂ ප්‍රජනේන්ද්‍රියේ වර්ධනය ආකාර තුනක් යටතේ දැකගත හැකිය. එනම් වෘෂණයේ වර්ධනය/ශිෂ්ණයේ වර්ධනය/ ශිෂ්නයේ සම ඝනකමින් වැඩිවී තද පැහැයක් ඇතිවීම යන පියවර තුනයි. තවද ප්‍රජනන අවයව ආශ්‍රිතව රෝම ඇති වීම අත් යට රෝම ඇතිවීම ද දැක්විය හැකිය. පිරිමි දරුවන් යොවුන් වියට එළැමීමත් සමගම ශුක්‍ර මෝචනය සහ පිටවීම ඇරඹේ. කුරුළෑ ඇති වීම දැකිය හැකි තවත් වෙනස් කමකි.

යොවුන්වියේ දරුවන් තුළ සිදුවන මානසික සහ සමාජීය වෙනස්කම්

  • විවිධ දේ අත්හදා බැලීමට ඇති කැමැත්ත
  • අනුකරණයට ඇති කැමැත්ත
  • සමාජ සම්බන්ධතා ඇතිකරගැනීමට ඇති උනන්දුව
  • අවදානම් හැසිරීම් වලට යොමු වීම
  • වගකීම් භාර ගැනීමට ඇති කැමැත්ත
  • තමන් කරන දේ සැමවිටම නිවැරදි යැයි සිතීම
  • නිර්මාණශීලී බව
  • ආවේගශීලී බව
  • අභියෝගවලට මුහුණ දීමට ඇති කැමැත්ත
  • කල්ලි ගැසීමට ඇති උනන්දුව

මව්පියන් ලෙස ඔබ මේ කරුණු පිළිබඳව නිවැරදිව දැනුවත් වීම තුළින් දරුවන්ගේ වෙනස් වීම් වටහාගැනීමට හැකි අතරම ඔවුන් සමග ඉතා සුහදව ක්‍රියාකිරීමටත් අවස්ථාව සැලසේ.

ඒත් සමගම සංවර්ධන අවධීන් කිහිපයක්ම පසු කොට සුවිශේෂී වු අවධිය වන නව යොවුන් වියට පා නගන ඔබේ දුව/පුතාගේ දැන් වෙනදාට වඩා වෙනස්කම් රැසක් ඔබට පෙනෙනු ඇත. යොවුන් වියේ දරුවන් තම අත්දැකීම් මෙන්ම වටපිටාව තුළින් තමා ලබාගන්නා අත්දැකීම්වලට අනුව තමා පිළිබඳව වටහා ගැනීමට උත්සාහ ගන්නා පිරිසක් ලෙස නම් කිරීමේ වරදක් නැත. මෙතෙක් කල් මාපයින් යටතේ ඔවුන්ගේ අදහස්වලට අනුව සිය ජීවිතය ගෙන ගිය දරුවන් යොවුන් වියට එළැඹීමත් සමගම ස්වාධීන ජීවිතයකට අවතීර්ණ වීමට උත්සාහ දරයි. යොවුන් දරුවන් පිළිබඳව නිසි අවබෝධය මාපියන් තුළ නොපැවතීම මේ අවධියේදී දරුවන් හා දෙමාපියන් අතර මත භේද/ගැටුම් ඇති වීමට මූලික හේතුවි විය හැකිය. සැමවිටම වැඩිහිටියන් වන ඔබ සමබරව දරුවන් සමග ක්‍රියාත්මක විය යුතුය.

උදාරහණයක් වශයෙන් යොවුන් වියට පා තැබූ ඔබේ දියණිය වෙනදා මෙන් සෙල්ලම් බත් උයන්නේ නැත. ඇය ඇලූම් කරන්නේ හැඩට වැඩට ඇඳුම් අඳින්නටය. යහළුවන් සමග විනෝද වන්නටය. ඇය වැඩි වේලාවක් ඇගේ රුව දෙස බලමින් කාණ්නාඩිය ඉදිරිපිට සැරිසරන්නේ ඇයගේ ඔප වැටුණු රුව පිළිබඳිව වූ අහිංසක ආඩම්බරයකිනි. ඔබේ පුතු පියා සමග මෝටර් රථයේ පිටුපස අසුනේ ගියද දැන් ඔහු පි්‍රයකරන්නේ පියාද සමග මෝටර් රථය පදවාගෙන යාමට වියහැකිය.

මෙවැනි අවස්ථාවලදී නුවණැතිව කල්පනාකාරීව තීරණ ගැනීමේ වගකීම මව්පියන්ට පැවරෙන්නේ යොවුන් විය සමගම ඔබේ දියණිය/පුතා ශාරීරික/මානසික වෙනස්කම් රැසකට මුහුණ දී ඇති බැවිනි. මෙවැනි දේ වැදගැම්මකට නැති බවත් ඒ දේ තුළින් ලැඛෙන දෙයක් නැත යන්නද ඔබට හිතෙනු ඇත. නමුත් තරයේ සිහිතබාගත යුත්තේ මේ අවධියේදීත් දරුවන්ට මාපියන්ගේ පූර්ණ අවධානය මෙන්න සහයෝගයද අත්‍යවශ්‍ය බවයි.

යොවුන් දරුවෙකුගේ නිදහසට බාධාවක් නොවන පරිදි ඔවුන් පිළිබඳව දැනුවත් විය යුත්තේද ඔවුන්ගේම ආරක‍ෂාව උදෙසාමයි. ඒ වෙනත් පිරිස් ඔබේ යොවුන් දරුවා නොයෙකුත් වැරදි ක්‍රියාවන් වෙත පොළඹවා අද සමාජය තුළ පවතින ඉඩ කඩ බොහෝ වැඩි බැවිනි. යොවුන් වයසේ දරුදැරියන් යම් යම් දේ අදහදා බලන්නට උනන්දු වන අතරම මෙවැනි අත්හදා බැලීම් නොයෙකුත් පුද්ලයන් සමගින් වැරදි අයුරින් සිදුකිරීමට පෙළඹිය හැකියි. නමුත් මව්පියන් තරයේ සිහිතබාගත යුතු කරුණ වන්නේ යොවුන් වියේ දරුවෙකු පරිස්සමෙන් රැකබලාගන්නවා යන ක්‍රියාවේ අදහස විය යුත්තේ සෑම මොහොතකම දරුවාගේ නිදහසට බාධාකාරී ලෙස හැසිරීම නොවේ. මව්පියන්ගේ වගකීම විය යුත්තේ දරුවාට නොතේරෙන පරිදි විමසිලිමත් වීමයි. ඔබ සැමවිටම දරුවාගේ කටයුතු කෙරේ බාධාවක් වෙන්නට ගියහොත් එය ඔහුගේ/ඇයගේ ජීවිතයට විශාල බලපෑමක් වනු නියතය. එමනිසා මව්පියන් ලෙස ඔබට පැවරෙන් වගකීම වන්නේ දරුවා ඇසුරු කරන පුද්ගලයන් යන එන තැන් කරන දේවල් පිළිබඳව දැනුවත් වෙමින් අවධානයෙන් සිටීමයි. උදාහරණයක් ලෙස ඔබේ දරුවාට ෆේස් බුක් ගිණුමක් ඇත්නම් ඔබ කළ යුත්තේ දරුවා ෆේස් බුක් යන වාරයක් පසා එතැනට වී සිටගෙන බලා සිටීම නොව ඔහුගේ/ඇයගේ ගිණුමේ සිටින යාහළුවන් කවුද මොනවද කරන්නේ කුමන වයස් සීමාවන්වල අයද යන්න පිළිබඳව කෙසේ හෝ දැනුවත් බවක් ලබාගැනීමයි. සැමවිටම වැඩිහිටි ඔබ සැලකිලිමත් විය යුත්තේ දරුවාට හිරිහැරයක් නොවන පරිද්දෙන් ඔවුන්ගේ එදිනෙදා කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් අවශ්‍ය රැකවරණය සැපයීම පිළිබඳවයි.

යොවුන් වියේ දරුවන් පිළිබඳව මව්වරුන් දැනුවත් කිරීමේ මෙම ලිපි පෙළ හරහා ඊළගට අපි ඔබට දැනුවත් කිරීම සඳහා කරුණු ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ “ෆේස් බුක්, නිල් චිත්‍රපට හා ඔබේ යොවුන් දරුවා” යන මාතෘකාව ඔස්සේයි.

වෛද්‍ය ජානකී විදානපතිරන, ප්‍රජා වෛද්‍ය විශේෂඥ
ජාතික ලිංගාශ්‍රිත රෝග/එඩ්ස් මර්දන වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යංශය

 

දුව පුතා කියලා වෙනසක් නැතිව දරුවන්ට හැමදේම ඉගැන්විය යුත්තේ ඇයි කියලා ඔබට හිතුනද?

දුවලා විතරක් බතක් මාඵවක් උයාගන්න දැන ගත්තම ඇති කියන ආකල්පයෙන් අපි හුඟක්ම ඈත් වෙලා. දන්නවනේ අද ලෝකයේ වැඩිපුරම ඉන්නනේ පිරිමි චෙෆ්ලා. නරකද දුව පුතා කියලා බලන්නේ නැතිව ගෙදර දොරේ වැඩ කටයුතු දරුවන්ට පුරුදු කලොත්. ඇත්තටම දරුවන්ව එයාලා පුංචි කාලේ ඉඳලම ගෙදර වැඩ කටයුතු වලට  සම්බන්ධ කරගන්න පුලුවන්. එයාලා අපිට සහයකයෝ වශයෙන් පත් කරගන්න පුලුවන්. හැබැයි ඉතින් ටිකක් කරදරකාරී සහයකයෝ. හැබැයි ඉතින් කරදරයක් වුණත් එයාලවත් අපේ නිවසේ කටයුතු වලට සම්බන්ධ කර ගැනීමෙන් ඒ පුංචි හිත් වල සතුටක් ,මටත් පුඵවන්, මම දැන් ලොකුයි කියන හැඟීමත් ඇති වෙන්නනේ නිරායාසයෙන්මයි.

“පොදයක් යනවා රෙදි ටික ගන්න ඕනී”

අමායා හනි හනිකට රෙදි ටික ගන්න දුවද්දිම වැස්ස කඩා වැටෙන්න ගත්තා. නලින්දත් හනි හනිකට අමායාට උදව් වුන නිසා යන්තම් රෙදි ටික නොතෙමී ගන්න පුඵවන් වුණා.

“අනේ උයන්න පරක්කු වුණා නලින්ද බඩගිනියිද?”

නලින්ද දෙතුන් වතාවක් කුස්සියට එබී බලද්දි අමායා කිව්වා.

“දෙන්න මොනවද ඔයාට කරලා දෙන්න ඕනී?”

“ආ එහෙනම් මේ පොල් ටික ගාන්නකෝ”

නලින්ද අමායාට දහවල් ආහාර වේල පිළියෙල කරන්න උදව් වුණා. ඒ අතර පුංචි දිනෙතුත් කුස්සිය පැත්තට ආවා

“ආ… අද තාත්තා අම්මා කරන්න ඕනී වැඩත් කරන්නේ ”

“ඒ කිව්වේ?”

“ඇයි ඉතින් උයන එක ,රෙදි හෝදන, රෙදි ගන්න එක, නමන එක ඒවා ඉතින් අම්මට අයිති වැඩනේ”

“අම්මට අයිති වැඩ… මොනවද පුතේ තව අම්මට අයිති වැඩ ?”

“උයන එක ,ගෙවල් අස්පස් කරන එක, අපේ පාඩම් වැඩ බලන එක, එතකොට අපිව බලා ගන්න එක”

“හ්ම්… ඇත්ත මේ සේරම වැඩ අම්මා කරනවා තමයි. ඒත් ඒවා අම්මටම අයිති වැඩ නෙමේ අපේ පවුල වෙනුවෙන් අම්මා කරන වැඩ. අම්මා අපේ වැඩ සේරම තනියම කරන්නේ අපිට ආදරේට. ඒත් අපි පුඵවන් අම්මට උදව් වෙන්න.”

“එතකොට තාත්තා උදව් වුණේ අපේ වැඩටද?”

“ඔව්”

අමායා තාත්තාගේත් පුතාගේත් සංවාදය අසා උන්නා මිසක් එයට පිළිතුරු බඳින්නට ගියේ නැත.

“ඇයි ඉතින් තාත්තට උදේ පාන්දරත් නැගිටලා උදව් කරන්න පුළුවන්නේ.”

“ඔව් ඒත්…”

නලින්ද අමාරුවක වැටී ගිය බව හැඟුන නිසා අමායා කටහඬ අවදිකලාය.

“තාත්තා උදේම නැගිටලා අම්මට උදව් කලා අම්මත් ඔෆිස් යන කාලේ. ගෙවල් අතු ගාලා රෙදි සෝදලා වේලෙන්න දාලා උයන්නත් උදව් වුණා.”

“ඉතින් දැන් ඇයි බැරි”

“අම්මා ගෙදරනේ පුතේ දැන් ඉන්නේ. එතකොට අම්මට ඒවා තනියම කරන්න වෙලාව තියෙනවා.කොහොම වුනත් තාත්තා ගෙදර ඉන්න වෙලාවට අම්මට උදව් කරනවනේ.”

යාන්තම් දිනෙත්ගෙ ප්‍රශ්න කිරීම නතර වුණා. ඇත්තටම දරුවො හැඩ ගැහෙන්නේ දෙමාපියන් දිහා බලලා.

“අම්මා බොන්න මොනවත් නැද්ද?”

“නැහැ හදන්න ඕනී”

“මම හදන්නද ? ”

“හා…ඒත් ඔයාට පු`ඵවන්ද?”

“පුඵවන් පුඵවන්”

දිනෙත් බොහොම සතුටින් කිව්වා.නාරං ගෙඩි දෙකක් ගෙන සෝදා කපා මිරිකා එයට වතුර ජෝගුවකුත් දමා සීනිත් දමා කලවම් කර කටපුරවලා ලුනු හැන්දක් හදද්දිම අමායා

“හෝව්… හෝව්… ඔච්චර ලුනු දාන්නෙ නැහැ ලුනු මෙන්න මෙන්න මෙහෙම චූට්ටක් තමයි දාන්න ඕනී ම්..ම්.. රසයිනේ”

“ඇත්තමද අම්මා?”

“ඔව් ”

ඇත්තටම අමායාට දැන් දැන් වැඩ පහසු කරන්න දෙන්නෙක්ම උදව්වට ඉන්නවා. අවුරුදු හතක් වුණ දිනෙතුත් එයාගේ අවුරුදු පහක් වුණ නංගියත්ය.

“අම්මට තාත්තා උදව් වෙනවා තාත්තාට අම්මා උදව් වෙනවා වගේ ඒ නිසා අපිත් ගෙදර වැඩ වලට උදව් වෙන්න ඕනී නේද අම්මා?”

“ඔව්… ඔව්… ඒක ඇත්ත”

පොල් ගාන්න, ලූණු සුද්ද කරන්න, සම්බෝලයක්, සැන්විච් එකක් ,ඔම්ලට් එකක්,  තේ කෝප්පයක් හදාගන්නත් දිනෙත්ට වගේම දිනිතිටත් පුඵවන්. හැබැයි ඉතින් මේ හැම කාර්යකදීම අමායාගේ පූර්ණ අවදානය යොමු කරන්න නම් ඇය අමතක කරන්නේ නැහැ. මොකද තවම මේ පුංචි පැටවුන්ට අනතුරු ගැන ඒ තරම්ම අවබෝධයක් නැති නිසා අනතුරක් වෙන්න ඒ හැටි වෙලාවක් ගත නොවන නිසා.

ඇත්තටම දරුවන්ට කුස්සියේ තියෙන බඩු පවා පාඩම් වශයෙන් උගන්වනවා. සමහර දරුවො නෑඹිලිය ,තාච්චියවත් අඳුනන්නෙ නැහැ.අමායට උදව් දෙන ගමන් දුවටත් පුතාටත් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරුණු කාරණා වගේ පොතට පතට අවශ්‍ය දැනුම දෙන්නත් හැකියාව ලැබෙනවා වගේම දරුවෝ ප්‍රායෝගිකව අත්දැකීම් ලබමින් ඉගෙන ගන්නා දේවල් තමන්ගේ ජීවිත වලට ආයාසයකින් තොරවම එක් කරගන්නවා.

අද අපේ උකුලෙහි නැලවෙන දුව පුතා මතු දිනයක  වගකීම් සහිත දෙමාපියන් වන දිනයට අද ඔවුන්ගේ දෙමාපියන්ගේ ජීවිත වලින් ලබා ගන්නා දෑ ඔවුන්ගේ ජීවිත වලටද ආදේශ කර ගනු ඇත.

දරුවාගේ සවන්දීමේ කුසලතා වර්ධනයට විනෝදජනක සරල ක්‍රම 19ක්

මව්කුසේ සිටින අවධියේ සිටම දරුවෙකුට ශ්‍රවන හැකියාව පවතී. මොලොවට බිහිවීමත් සමගම තම පවුල තුළින් මෙන්ම  තමා අවට සිටින වෙනත් පුද්ගලයන් හරහා සෑම දරුවෙකුම බොහෝමයක් දේ උකහා ගනී. දරුවෙකුගේ භාෂා ඥානය සංවර්ධනය වන්නේ මෙවැනි වටපිටාවක් තුළයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ භාෂා වර්ධනය සවන්දීමේ කුසලතා වර්ධනය/කථන කුසලතා වර්ධනය/පෙර කියවීමේ කුසලතා වර්ධනය සහ පෙර ලිවීමේ කුසලතා වර්ධනය යන අංශ තුන යටතේ සාකච්ඡාවට බදුන් කළ හැකිය. මෙම අංශ හතර සඳහාම සෑම දරුවෙකුහටම සිය නිවසින් ද විශාල සහයෝගයක් අවශ්‍ය වේ. එය මව්පියන් වශයෙන් අපහට පැවරෙන විශාල වගකීමකි. ඉහත දැක් වූ එක් එක් අංශ පිළිබ`දව සවිස්තරාත්මකව මව්පියන් දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වන අතරම මේ ලිපිය තුළින් මූලිකත්වය ලබදෙන්නේ දරුවෙකුගේ සවන්දීමේ කුලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් නිවසේදීම මවට සහ පියාට සිදුකළ හැකි ක්‍රියාකාරකම් පිළිබ`දව සාකච්ඡා කිරීමටයි.

දරුවෙකුගේ සවන්දීමේ කුසලතාවය වර්ධනය කිරීම තුළින්

    1. අලූත් වචන දරුවාගේ ශබ්ද කෝෂයට එක්වීම නිසා භාෂා වර්ධනය
    2. කතා කිරීමේ හැකියාව වර්ධනය වේ
    3. නිර්මාණශිලී බව
    4. මතක ශක්තිය වැඩි දියුණු වීම
    5. ඉවසීමේ ගුණය
    6. යමක් අවබෝධ කරගැනීමේ හැකියාව
    7. චිත්ත රූප මැවීමේ හැකියාව බොහෝ සෙයින් ප්‍රගුණ වේ.

වයස අවුරුදු පහට අඩු දරුවන් යනු පෙර පාසැල් වියේ දරුවන්ය. මව්පියන් ලෙස ඔබ දරුවෙකුගේ සමස්ත නිරෝගී වර්ධනය කෙරේ අවධානය යොමු කළ යුතු අතරම ඒ හා සමානම වගකීමක් පෙර පාසැල් ගුරුවරියටද පැවරේ. කෙසේ වුවද මේ තුළින් මාපියන්හට දරුවන්ගේ සවන්දීමේ කුසලතා වර්ධනය කෙරේ නිවසේදී සිදු කළ හැකි ක්‍රියාකාරකම් හඳුන්වා දීම අපගේ අරමුණයි.අවධානයෙන් සවන්දීම/අවබෝධයෙන් සවන්දීම/විනෝදාත්මක සවන්දීම ලෙස සවන්දීමේ හැකියාව දියුණු කිරීමෙහි පියවර තුනක් දැක්විය හැකිය. මෙම පියවර තුන ඔස්සේම දරුවා සංවර්ධනය කිරීමට ඔබ කැප විය යුතුමය. ඒ ඔබේ දරුවාට සාර්ථක අනාගතයක් හිමි කරදීමේ අරමුණෙනි.

දරුවන්ගේ සවන්දීමේ කුසලතා වර්ධනය කිරීමට පහත දැක්වෙන විනෝදජනක ක්‍රියාකාරකම් ඔබට යොදා ගත හැකිය.

1 කතා කිරීම හා සවන්දීම – දෛනිකව නිවසේ සිදුවන දේ පිළිබඳව දරුවා සමගද අදහස් හුවමාරු කරගන්න.

2 ශබ්ද මගින් ක්‍රීඩා – ලී කැබලි/ටින්/ඇට වර්ග/සීනු/හැඳි/සොලවන උපකරණවලින් එක් එක් හඬවල් ඇති කරගනිමින් දරුවාට ඒවා හඳුනාගන්නට අවස්ථාව ලබාදෙන්න.

3 ශබ්ද පෙට්ටි – පරිප්පු වැනි ධාන්‍ය වර්ග/වැලි/ගල් කැට/මදටිය/සියුම් ගල් කැට වැනි දේ එක් එක් එක වර්ගය බැගින් සිලින්ඩර දෙකකට දමා පිටතට නොඑන ලෙස හොඳින් වසන්න. මේ ආකාරයෙන් එක හා සමාන සිලින්ඩර යුවළ කිහිපයක් සකසා ගන්න. එවිට ඔබට එක් සිලින්ඩරයක් සොලවා ඒ හා සමාන හ`ඩ ඇති අනෙක් සිලින්ඩරය තෝරා ගැනීමට අවස්ථාව සලසා දෙන්න.

4 දුර/ළඟ ඇතිවන ශබ්ද හඳුනාගන්න අවස්ථාව සලසන්න

5 දුරකථන සංවාද – භාවිතයෙන් ඉවත් කළ දුරකතන/සෙල්ලම් දුරකතන ඇත්නම් ඒවායෙන් හෝ ප්ලාස්ටික් කේප්ප දෙකක් නූලකින් සම්බන්ධ කිරීමෙන් සාදා ගත් දුරකථනයකින් මෙම අත්දැකීම දරුවාට ලබාදිය හැකිය.

6 ඉබේ ඇතිවන එක් එක් ශබ්ද හඳුනා ගැනීමට අවස්ථාව සැලසීම – දොරක්/ජනේලයක් වැසෙන හඬ හෝ හුරුප්රුදු යම් යම් දේ බිම වැටෙන හඬවල් හඳුන් ගැනීමට දරුවාට අවස්ථාව සැලසීම.

7 කටහඬ හඳුනාගැනීම – පවුලේ සාමාජිකයන්ට සැඟවී දරුවා සමග කතාකරන්නට උපදෙස් දී කටහඬින් ඒ තැනැත්තා හඳුනා ගැනීමට අවස්ථාව ලබා දෙන්න.

8 පණිවිඩ ගෙන යෑම – පුතේ ආච්චිට කියන්න බුදුන් වඳින්න එන්න කියලා වැනි පණිවිඩ දරුවා මාර්ගයෙන් හුවමාරු කරන්න

9 නිශ්ශබ්ද ක්‍රීඩාව – විනාඩි කිහිපයක් නිහඬව හිඳින්න. ඒ අවස්ථාවේ දරුවාට ඇසුණු දේ පිළිබඳව කතා බහ කරන්න.

10 නිදහසේ කතාබහ කරන්න – පෙර පාසල තුළ මෙන්ම නිවසේදීත් සහෝදරයන් වැඩිහිටියන් යහළුවන් සමග අත්දැකීම් ඛෙදාහදාගනිමින් කතා බහ කරන්නට අවස්ථාව සලසා දෙන්න. ඒ හරහා දරුවෙකු අනෙකාට සවන්දීමට මෙන්ම ඒ වෙනුවෙන් පිළිතුරු ලබාදීමටද හුරු වේ.

11 ගයන්න, රඟන්න – දරුවා කැමති ආකාරයේ කවි, ගීත ගයන්නට වැඩිහිටි ඔබත් දරුවා සමග එක්වන්න.

12 තාලයට අනුව ගැයීම – එක වචනයක්/එක සමාන වචන පේලියක් හෝ එකම තාලයකට අනුව ගැයීමට උනන්දු කරවීමයි. උදාහරණයක් ලෙස  ”කාක්        කාක්      කාක් – කෝක්      කෝක්   කෝක්වැ” නි පද භාවිතය දැක්විය හැකිය.

13 රංගනය – දරුවාගේ සිතට කා වැදුණු නොයෙකු චරිතවලට පණ පොවන්නට දරුවාට අවස්ථාව සලසා දීම මෙහිදී ප්‍රධානව සිදුවන කාර්යයි. උදාහරණයක් ලෙස අම්මාගේ චරිතය අනුකරණය කිරීම දැක්විය හැකිය.

14 තාල අනුකරණය – එක් එක් තාලයට අත්පුඩි ගැසීම මෙහිදී සිදුකළ හැකිය. එනම් කෙටි අත්පුඩි දෙකක් හා දිග අත්පුඩියක් එක්කෝ දිග අත්පුඩි දෙකක් හා කෙටි අත්පුඩි දෙකක් ලෙස සරල ක්‍රියාකාරකමක් දරුවාට ඉගැන්විය හැකියි.

15 තාලයට අනුකූල චලනය – අත්පුඩියේ හෝ සංගීත කණ්ඩයක තාලයට දෑත් දෙපා චලනය දරුවාට හුරුකරන්න.

16 තේරවිලි – තේරවිලි කවි අසන්නට සැලැස්වීම
උදා – ගහක් උඩ ගෙඩියක් – ගෙඩියක් උඩ ගහක්

17 කතන්දර කීම – කෙටි/සරල කතන්දර මගින් දරුවෙකු ලබන තෘප්තිය අතිමහත්ය. මෙහිදී කතාන්දර කීමට දරුවාට අවස්ථාවක් සලසා දීමටද ඔබට හැකියි. එනම් පින්තූර කාඩ්පතක් ලබා දී දරුවාට හැෙ`ගන පරිදි කතාවක් ගොඩනඟන්නට අවස්ථාව සලසා දිය හැකිය.

18 සංගීත භාණ්ඩ වාදනයට ඉඩ ලබාදීම – මෙවැනි භාණ්ඩ සරල ලෙස නිවසේදීම ඉතා ආරක‍ෂාකාරී ලෙස සකසා ගැනීමට වැඩිහිටි ඔබට හැකියාව පවතී. උදාහරණ ලෙස ඉවතලන ද්‍රව්‍ය හොඳින් පිරිසිදු කිරීමෙන් පසුව සකසා ගත හැකි පොල් කටු තාලම්පට/ උණ බට ඛෙරය/ නලා/සීනු/ තාලම්පට වැනි සංගීත භාණ්ඩ දැක්විය හැකිය.

19 රූකඩ නැටවීම – මේ වන විට මේ සඳහා අවශ්‍ය බොහොමයක් ක්‍රීඩා භාණ්ඩ වෙළඳ පොලෙන් මිලදී ගත හැක. එසේ නැතිනම් රූප කපා කාඩ්බෝඩ් මත අලවා සිහින් බටයක අලවා හෝ ප්‍රයෝජනයට ගත හැකිය. මෙහෙිදී එම චරිතවලට හඬ කවමින් දරුවාට විනෝදජනක අත්දැකීමක් ලබාදීමට ඔබට හැකියි.

මේ දැක්වූයේ ඔබේ දරුවාගේ සවන්දීමේ කුසලතාවය වර්ධනය සඳහා කුඩා වියේ සිටම ඔබට නිවසේදීම සිදුකළ හැකි ක්‍රියාකාරකම් කිහිපයකි. මේ වෙනුවෙන් ඔබේ කැපවීම මතු දිනක ඔබේ දරුවා විශිෂ්ඨ පුද්ගලයෙකු කිරීමට ඔබට සහය වන බව නිසැකවම පැවසිය හැක.

පෙර පාසැල් ආචාරිනි ක්‍රිස්ටින් ෆ්‍රැන්සිස්කා සිල්වා මහත්මිය සමග සකසන ලද ලිපියකි.

දරුවාගේ ඇඳුම් සම්බන්ධයෙන් මේ වැදගත් කරුණු මවුපියන්ගේ අවධානය පිණිසයි

පිපෙන්නට වෙරදරන මල් කකුළු වැනි පුංචි දරු පැටවූ යමක් කමක් තේරෙන වයසට එනකන් මවුපියන් වන අපිට පැවරෙන්නේ ලොකු වගකීමක්. ඒ වගකීමට බොහොමයක් දේ ඇතුලත් වන අතරම ඒ දේවල් අතරින් බොහොමයක් පිළිබඳව නිතර කතා බහට ලක්වෙනවා. නමුත් මගහැරෙන කොටසකුත් තියෙනවා. ඒ අතරින් අමතක කරන්නම බැරි මාතෘකාවක් විදියට පුංචි දරුවන්ගේ ඇඳුම් පිළිබඳව දැක්විය හැකියි. අන්න ඒ නිසාම අද මේ ලිපිය වෙන්වෙන්නේ, දරුවන්ට ඇඳුම්, ,පිරිසිඳු කිරීම වැනි දේ ගැන මවුපියන් දැනුවත් කිරීමටයි.

විලිවසා ගැනීම මෙන්ම රටක සස්කෘතිය විදහාපාන අංගයක් ලෙස ඇඳුම සැලකුවද කුඩා දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් අපිට ක්රියාත්මක වන්නට සිදු වන්නේ ඉන් පිටතට ගොස්ය.

දරුවෙකුගේ ඇඳුම් පිළිබඳව අවධානය යොමු කිරිමේදී ප්රධානව සැලකිලිමත් විය යුතු කරුණු

  • දරුවා ජිවත් වෙන ප්‍රදේශයට අනුව කාලගුණ/දේශගුණය ස්වභාවය
  • ඔබ තෝරාගන්නා ඇඳුම සැකසු රෙද්දේ ස්වභාවය
  • ඇඳුමේ පැහැය/ඇඳුම අඳින අවස්ථාව
  • සුවපහසුව

උපන්දා සිට මස හය සම්පුර්ණ වන තෙක් ළදරුවන්ට මෙය අත්යවශ්යය.   එසේම උෂ්ණ අධික පෙදෙස්වල වෙසෙන දරුවන්ට දහදිය හොදින් උර ගන්නා පරිදි ඇඳුම් තොර ගතඅ යුතුය. අපේ රටේ දේශගුණයට වඩාත් සුදුසුවන්නේ කපු රෙද්දෙන් නිමවන ලද ඇඳුම්ය. තවද ඇඳුම් තොර ගැනීමේදී වයස් මට්ටම පිළිබඳවද අවදානය යොමු කල යුතු අතරම පහත දැක්වෙන්නේ, එක එක වයසට අනුව ඇඳුම් තොර ගත යුත් ආකාරයයි.

උපතේ සිට මාස 03 දක්වා

මෙම කාලසීමාව දරැවාට උණුසුම ඉතාම අවශ්ය වන අවධියකි. එයට හේතුව මව් කුසයේ උණුසුමේ හැදී වැඩුණු දරැවාට එම උණුසුමට සමාන උණුසුමක් ලැබිය යුතු බැවිනි.එම නිසා දරැවාට බොත්තම්,ලොකු පටි නැති සැහැල්ලු ඇදුම්,හොදින් උණුසුම ඇති කරන (ජර්සි)ඇදුම් අන්දවන්න. මේ සඳහා වඩා අවධානය යොමු කල යුත්තේ සවස් කාලයේ සිට පාන්දර වන තෙක් කාලසීමාවේදීයි. එම අවස්තා වලදී පරිසරය වඩාත් සීතල නම් කකුල් හා අත් වලට මේස් පැළැන්දවීමද සුදුසු වේ. නමුත් සමහර රාත්‍රීවලදී ඉතා උණුසුම් බවක් හැගී යන්නේ නම්, දරැවාට වැඩිපුර දහඩිය දමා තිබේ නම් ජර්සි ඇදුම ඉවත් කර තබන්න. උණුසුම් කිරීමට විශාල රෙදි පොරවන භාවිත කිරීම කුඩා දරැවන්ට සුදුසු නොවේ. එයට හේතුව කුඩා දරැවන් ඉතා පහසුවෙන් SUID(Sudden Unexpected Death in Infancy) තත්වයන්ට ගොදුරැ විය හැකි බැවිනි. දහවල් කාලයේදී ද පරිසර තත්වය සලකා බලා සීතල නම් පමණක් හොඳින් උණුසුම ලැබෙන ඇදුම් ඇන්දවීම සුදුසු වේ. කුඩා කල සෙම් රෝග ඇති වීමේ අවදානම වැඩි නිසා සීතලෙන් ළදරැවා ආරක්ෂා කර ගැනීම සුදුසු වේ. මේ අවධියේදී දරුවාට ඇදුම් තේරීමේදී ලා පැහැති ඇදුම් තෝරා ගැනීම උචිතය. ඉන් ප්‍රසන්න බවද ඇති වේ. තවද මෙකල ළදරුවාගේ වර්ධනය ඉතාම සීග්‍රයෙන් සිදු වන නිසාත් ඇදුම් ඉතා ඉක්මනින් ශරීරයට හිර වන නිසාත්  ලිහිල්ව හා ප්‍රමාණයෙන් වැඩි ඇදුම් මිලදී ගන්න.

මාස 03 සිට 06 දක්වා

සැහැල්ලු ඇදුම් අන්දවන්න. පරිසර තත්වය අනුව බලා උණුසුම් ඇදුම් අන්දවන්න. මේ අවධිය වන විට දරැවා කමයෙන් පරිසර තත්වයන්ට අනුගත වෙමින් සිටී. නමුත් සීතලෙන් ආරාක්ෂා කර ගත යුතු කාලයකි. මේ අවධියේදීද වර්ධනය ඉතා ඉක්මනින් සිදු වන නිසා ලිහිල්, පමාණයෙන් වැඩි ඇදුම් මිලදී ගැනීම සුදුසු වේ.

මාස 06 සිට අවුරැදු 01 

මුල් මාස 06 තරම් දරැවාගේ වර්ධනය ශීඝයෙන් සිදුවන අවධියක් නොවන නමුත් වර්ධනය හොදින් පෙන්නුම් කරන අවධියකි. ශරීරයට හිර නොවන ලෙස ඇදුම් ඇන්දවිය යුතුය. හොදින් දහඩිය උරා ගන්නා, ශරීරයට පහසු ඇදුම් තෝරා ගන්න. බඩ ගෑම, දණ ගෑම හා ඇවිදීම ද ආරම්භ වන්නේ මෙම කාලසීමාවේ නිසා එම කියාකාරීත්වයන්ට පහසු වන අන්දමේ ඇදුම් අන්දවන්න.

අවු 01 – අවු 02

දරැවන් එළිමහනේ ඇවිදීමට, කීඩා කිරීමට රැගෙන යන කාලසීමාවයි. මෙම අවධියේදී වර්ණවත් ඇදුම් තෝරා ගැනීම සුදුසුයි. දරැවන්ට වර්ණ පිළිබදවද යම් අවබෝධයක් ලබා ගැනීමට එය සුදුසු වේ. මෙය දරැවන් ඇවිදින කාලසීමාව බැවින් ඒ සදහා වඩාත් සුවපහසු ඇදුම් තෝරා ගැනීම උචිත වේ. එළිමහනේ ඇවිදින බැවින් දරැවන්ට පාවහන් පළදවන්නේනම් ඉතා හොදයි. කුඩා ගල් කැබලි, කුඩා සතුන්, කටු ආදියෙන් යටි පතුල් ආරක්ෂා කර ගැනීමටද කොකු පණු වැනි රෝග ඇති වීම වළක්වා ගැනීමටද එය ඉතා සුදුසු වේ.

අවුරුදු දෙකෙන් පසු

දරුවාගේ සිරුරර සුවපහසුව ලැබෙන පරිදි ඇඳුම් තෝරාගැනීම මෙන්ම අවස්තානුකුලව විලාසිතා තෝරාගැනීමේද වරදක් නැත. විලාසිතා තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ දරුවෙකුගේ ළමා ගතිය රැකෙන පරිදි එය තොර ගැනීමයි. අවස්තනුකුලව තෝරාගැනීමෙන් දරුවාටද ඒ පිලිබඳ අවබෝදයක් ද ලැබෙනු ඇත.

උදාහරණයක් ලෙස ගත් කල, ආගමික ස්ථානයකට යන විට සුදුසු පැහයක හොඳින් සිරුර ආවරණය වූ  ඇඳුම් ඇන්දවීම, උත්සව අවස්ථාවකදී වර්ණවත් විලාසිතාවක් දරුවට සුදුසු තොර ගැනීම, සෙල්ලම් කිරීමේදී, නිවසේදී පහසු සරල දහදිය හොඳින් උර ගන්න ඇඳුම් ඇන්දවීම.

මේ ආකාරයට වයස, අවස්ථාව පරිසර තත්වය යන කරුණු මත ඇඳුම් තොර ගැනීම ඉතා වැදගත් වේ.

ඇඳුම් සේදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

  • මල මුත්රා කල විගස සෝදා දමන්නේ නම් වඩාත් සුදුසුයි
  • කල්තබා සේදීමෙන් ඇතිල්ලිමට වුවද වැඩි වෙහෙසක් දැරිය යුතු අතරම ඉක්මනින් දිරාපත් වීම, සිදුරු ඇති වීම සිදු වේ.
  • රෙදි වේලෙන්නට දමන ස්ථානයේ ලේනුන්/කුඹීන් වැනි සතුන් සිටිදැයි අවධානයෙන් සිටින්න.
  • ගස්/ගල් මත දමා රෙදි වෙලීමෙන් වලකින්න.
  • ඉරීගිය/අවපැහැ වූ ඇඳුම් දරුවාට ඇන්දවීමෙන් වලකින්න. සැමවිටම පිරිසිඳු නැවුම් සුවඳ ඇඳුම් දරුවාට අන්දවන්න.

 

මේ ආකාරයෙන් සැලකිලිමත් වෙමින් දරුවට සුව පහසු ලෙස සිටීමට අවශ්‍ය ඇඳුම තෝරාගන්න උනන්දු වන්න. දරුවන්ගේ සතුට දෙමාපියන්ගේ එකම පැතුම නිසාම මේ පිළිබඳවද ඔබේ අවධානය යොමු කරන්න.

වෛද්‍ය S.A.U සෞම්‍යා කුමාරි ජයසිරි
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය
කැලණිය විශ්වවිද්‍යාලය
යක්කල

මොකක්ද මේ අවධාන ඌනතා සහිත අධි ක්‍රියාකාරීත්වය කියන්නේ…..?

ඔබට මේ සිංහල වචනය නුහුරු වුණත්… ඉංග්‍රීසියෙන්…hyperactive / ADHD / ADD වැනි වචනයකින් හැඳින් වුවහොත් මෙම තත්වය ගැන යම් අදහසක් ඇති….
මන්ද….අද කාලයේ සුලබ වන ළමා වියේ ආබාධ අතර වැඩියෙන්ම දකින්නට පුළුවන් රෝග තත්වයක් මෙය.

මෙම අවධාන ඌනතා සහිත අධි ක්‍රියාකාරිත්වය හෙවත් Attention Deficit Hyperactive Disorder (ADHD)නමැති ගැටලුකාරී තත්වය දරුවන් තුල විශේෂයෙන්ම දැකිය හැකි වෙනවා. පාසලක හා සමාජයේ සාමාන්‍යයෙන් දඟකාර ලෙස හැසිරෙන දරුවන් මෙම ගණයට අයත් කර නොසකලන මෙන් මුලින්ම පැවසිය යුතු වෙනවා.

නිවාස, පාසැල සහ අනෙකුත් සමාජයන්හි බොහොමයක් ක්‍රියාකාරකම් වලට ගැටළු ඇති කරගනිමින් අවධානය නොදෙමින් කලහකාරී සහ බාධාකාරී ලෙස අසාමාන්‍යව දරුවකු හැසිරේ නම් එම තත්වය අප විසින් මේ ගණයට ලා සලකන්න පෙළඹෙනවා…

මෙවැනි තත්වයක් පවතින දරුවන් හඳුනාගන්නා ආකාරය පහසු නොවුවත්, ඔවුනටම විශේෂිත වූ ලක්ෂණ මත පදනම් ව එය කළ හැකියි.
රෝග නිර්ණය කිරීමේදී අංශ තුනක් මත පදනම් වන මෙම තත්වයට අදාළ විශේෂ ලක්ෂණ කිහිපයක් මෙහි දක්වා ඇති.

එම තත්වය පුර්ව ළමා වියෙහිදීම හඳුනාගන්නට හැකියි .

අවධාන ඌනතාව 
දරුවකි මෙම ADHD තත්වයෙන් පෙලෙන විට ඔහු/ ඇය ට යමකට අවධානය දීමට සහ අවධානය පවත්වාගැනීමට ඉතා අසීරුයි .යමක් වෙත එක වරම අවධානය යොමු කරගන්න ඔවුන් හට නොහැකි වෙනවා.නිතරම ඔවුන්ගේ අවධානය එක දෙයකින් තව එකක් වෙත මාරු වී යාම සිදු වෙනවා.

මෙහිදී,
*පැහැදිලි කිරීම් හා උපදෙස් වලට අඩු අවධානයක් යොමු කිරීම
*යම් කිසි ක්‍රියාවක් ඉක්මනින් කරන්නට ඇති කැමැත්ත, එම හේතුවෙන්ම ඔවුන් වැරදීම් වැඩියෙන් කරගන්නවා.
*පහසුවෙන් අවධානය බිඳී නොසන්සුන් වීම
*උපදෙස් පිළිපැදීමට නොහැකි වීම
*ළඟ මතකයේ ගැටළු, එනම් ආසන්න මොහොතක කියූ දෙයක් මතකයේ නොපිහිටීම
*පාසල්, පෙර පාසල් යන විට සුදානම් වීමේ ගැටළු බහුලව ඇති වීම
*නිතර නිතර තමා සතු දේ නැති කරගැනීම

වැනි දේවල් සුලබව දකින්නට පුළුවන් .

අධික්‍රියාකාරිත්වය

මෙය මෙම ADHD තත්වයේදී සුලබම ලක්ෂණයයි.සැම විටම ඔවුන් සිටින්නේ කඩාපනින්න, දුවන්න, දඟලන්න සුදානමින් වගේ.ඉඳගෙන ඉන්නා විටෙක ඒ වගේම සිටගන්න විටක පවා මේ දරුවන් එක ඉරියව්වක සිටින්නේ නැහැ .

ඒ මොහොතවල් වලදී පවා ඔවුන් පා එකිනෙක පටලාගැනීම, පාද වලින් බිමට ගැසීම , අත් වේගයෙන් සෙලවීම, ඇඟිලි වලින් තට්ටු කිරීම ආදී ඔවුන්ටම ආවේනික කාර්යයන් බොහොමයක් එක දිගට කරනු ඔබ නිරීක්ෂණය කර ඇති.

මීට අමතරව ,
*ආහාර ගන්නා විට සහ පන්ති කාමරයේ නොසන්සුන් ලෙස හැසිරීම
*අනවශ්‍ය ප්‍රමාණයට / පමණ ඉක්මවා කතා කිරීම
*අධි ශක්තියෙන් යුතු වීම
*සන්සුන් ලෙස ක්‍රීඩාවක්, සෙල්ලමක් කිරීමේ අපහසුව

ආදියද නිරීක්ෂණය කල හැකි සුලබ ලක්ෂණ.

කලහකාරිබව 

මෙම ADHD දරුවන් නිතර ආරවුල් සහගත බවක් දක්වන අතර ඔවුන් ගැන සෙසු ළමයින් සහ දෙමවුපියන්ගෙන් නිතර පැමිණිලි එන්න පටන් ගන්නවා.ඔවුන් කායිකව හා වාචිකව ලබාදෙන කිසිදු උපදෙසකට ඇතැම් විට අවනත වන්නේත් නැහැ .
හුවමාරු කරගැනීම , බෙදාහදාගෙන ක්‍රීඩා සහ අධ්‍යාපන ක්‍රියාකාරකම් කිරීම මොවුන් ට නොහැකියි.පන්තිකාමරය තුළ අනවශ්‍ය ලෙස කෑගසමින් හැසිරීම, බාධා කිරීම් නිතර ඉටු කිරීම දකින්නට හැකියි.
දුක, තරහ ආදී මානසික තත්ත්ව පාලනය කරගැනීමට අපහසු බවක් දක්වන මේ දරුවන් එම තත්ත්ව වලදී ඉතා කලහකාරී ලෙස හැසිරෙන්න පටන් ගන්නවා.

මෙවන් දරුවකු හට සහය විය හැක්කේ කෙසේද..?

මෙවන් තත්වයක් පවතින විට දරුවා පමණක් නොව දෙමවුපියන්, සහෝදර සහෝදරියන්, වැඩිහිටියන්  ,ගුරුවරුන්, සෙසු සිසු සිසුවියන් ආදී සියල්ලන්ම මෙයින් පිඩාවට පත් වෙනවා. එම නිසා මෙවැනි ලක්ෂණ ” පසුව හරි යයි ” යන මතයේ සිටිමින් නොසලකා හරිම කල යුතු නැහැ.

දරුවා සම්බන්ධව වෛද්‍ය උපදෙස් නිවැරදිව ළමා  විශේෂ වෛද්‍යවරයෙක්ගෙන්  ලබා ගන්න.

වෘත්තීය චිකිත්සාවේදී මෙවැනි දරුවන් සඳහා විවිධ ආකාරයෙන් සහය සැලසීම සිදු කරනු ලබනවා.

මනා මූලික ඇගයීමකට පසු ඔවුන් හට පහත අංශ සම්බන්ධව ප්‍රතිකාර මාලාවක් ලබාදෙනවා.

1. දරුවා ගේ නිදාගන්නා කාලසීමාව සඳහා පුහුණු කිරීම (sleeping strategies )
( මෙවැනි දරුවන්ගේ නින්ද බාධාකාරී එකක්..ඔවුන් එක දිගට රාත්‍රියේත් නිදානොගන්නා නිසා අවධියෙන් සිටින විට කලබල තත්වය වැඩි වෙන්න පුළුවන් )

2. යම් යම් අවස්ථා සඳහා පෙර පුහුණුව (social stories )
මේ මගින් දරුවාට නව අවස්ථා සඳහා පෙර සුදානමක් මෙන්ම මනා සන්නිවේදන කුසලතාවක්ද සැපයෙනවා.

3. සංවේදන ගැටළු සඳහා ප්‍රතිකාර ( sensory processing)
මෙවැනි දරුවන් උදෙසාම සැකසෙන ( දරුවාටම හා ඔහුගේ සංවේදන ගැටළු වලට සැකසුන ) ප්‍රතිකාරයන් තුලින් ඔවුන්ගේ දෛනික කටයුතු සහ පරිසරය ඇති සම්බන්ධතාව ගොඩ නගා දෙනවා .

4. දෘශ්‍ය වැඩසටහන්  (visual cues)
දරුවාට වාචිකව / උපදෙස් අසා තේරුම්  ගැනීමට අපහසුවක් තිබේ නම් දෘශ්‍ය වැඩසටහනකින් එය පහසු කරදෙන්නට හැකි වෙනවා.මෙහිදී දරුවාගේ ගැටළු මුලික ඇගයීමක් තුලින් අගයා තිබිය යුතු වෙනවා.

5. දෛනික චර්යා සහ ඒවා තුළ හැසිරීම කල යුතු ආකාරය දරුවාට පුහුණු කර දීම වෘත්තිය චිකිත්සාවෙන් ඉටු කරදෙනු ලබනවා.

6. දරුවන්ගේ සුලබව දකින්නට ලැබෙන සමායෝජන හැකියාවන්ගේ ගැටළු, ශක්ති සමබර  කිරීම  ආදිය සඳහා කායික ක්‍රියාකාරකම් ද මෙහිදී ඔහු වෙත ලබාදෙනවා.

7. සෙසු පාර්ශව දැනුවත් කිරීම
දරුවා සම්බන්ධව ඔහු / ඇය හා ක්‍රියාකරන සියලුම පාර්ශවයන් මේ ගැන දැනුවත් විය යුතුයි.විශේෂයෙන්ම පාසල් ගුරුවරුන්. මෙහිදී ඒ හා සම්බන්ධව කලයුතු / නොකළ යුතු දේ ගැන අවබෝධයක් ලබා දෙනවා.මෙම ලිපිය ඔබ දැනුවත් කිරීම සඳහා සම්පාදනය වන්නක් හෙයින් මේ ක්‍රියාකාරකම් සඳහා පළපුරුදු වෘත්තීය චිකිත්සක වරයෙකුගේ සහය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. වෘත්තීය චිකිත්සාවට අමතරව මෙවැනි දරුවන් හට කථන හා භාෂා චිකිත්සාව ද යම් යම් තත්ත්ව වලදී සහය වන හෙයින් ඔබේ වෛද්‍යවරයා ඒ සේවාව වෙත යොමු කල විටෙක එම සහයද ඔබ ලබා ගත යුතු වෙනවා.

කොළඹ, ජාතික රෝහලේ භෞත චිකිත්සක සහ වෘත්තිය චිකිත්සක විද්‍යාලයේ වෘත්තීය චිකිත්සක ආචාර්ය කිත්මා වාසනා දහනායක  B.Sc (OT) මහත්මියගේ ලිපියකි.
ඔබට මේ හා සම්බන්ධව උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් පහත අංකයකට කෙටි පණිවිඩයක් යවා ඇය සමග කතා කිරීමට වෙලාවක් වෙන්කරගන්න.
0713851733 / 0771124466

සතුටින් අකුරු ලියන්නට දරුවාට සහය ලබා දියයුත්තේ මෙහෙමයි

මිට කලින් ලිපියෙන් මම කතා කලේ පොඩ්ඩන් අකුරු ලියන්න හොර වෙන්නේ ඇයි කියන දේ ගැන. මෙයට හේතු වන කරුණු කාරණා බොහොමයක් ගැන මම ඒ ලිපියෙන් ලියා ඇති. ඊට  අමතරවත් බොහෝ කාරනා මෙයට බලපානවා. කෙසේ වුවත් මේ කාරනා සලකා බලා දරුවන්හට ඒ ගැටළු වලට අදාල විසඳුම් ලබාදීමත් කලයුතු වෙනවා. දරුවාගෙන් දරුවාට මෙම ගැටළු වෙනස්. එම නිසා දරුවෙක් ලිවිම සම්බන්ධව ගැටළු සහිත වේ නම් මුලින්ම කල යුතු වන්නේ ඒ අදාල ගැටළු මොනවාද යන්න සොයා බැලීමයි. මේ සඳහා පලපුරුදු වෘත්තීය චිකිත්සක වරයෙකුගෙන් සහය ලබාගන්න.

සමහරක් දරුවන්ගේ මුලිකම ගැටලුව වන්නේ ඉරියව් සම්බන්ධ ගැටළු.මෙහිදී සම්පුර්ණ ශරීරය නියමාකාරයෙන් හසුරවා නොගැනීම මෙන්ම ලිවීමට අදාල ශරීර අවයව නිසි ලෙස භාවිත නොකිරීමත් ගැටලුවලට හේතු වෙනවා. මෙහිදී ඔබ වඩාත් සැලකිල්ලෙන් නිරීක්ෂණය කල යුතු වන්නේ දරුවා නිවැරදි ලෙස අසුන් ගෙන සිටීද යන්නයි. එලෙස අසුන් ගෙන නොමැති නම් දරුවාගේ ලිවීමේ කටයුතු වලට මුලිකවම බාධා පැමිණෙනවා.

දරුවාගේ උසත් ආසනයේ සහ මේසයේ උසත් ගලපා ගත යුතු අන්දම අදාල වෘත්තීය චිකිත්සකවරයා වෙතින් ලබාගන්න .ඉන් පසු දරුවාගේ පෑන, පැන්සල නිවැරදිව අල්ලාගැනීම සහ පොත ස්ථානගත කිරීම ගැන සැලකිලිමත් වන්න. එය නිවැරදි කල පසු බොහෝ විට සමහර ගැටළු විසඳේ.

එමෙන්ම දරුවාගේ පෑන, පැන්සල අල්ලා ගැනීමේ ගැටලුවලදී එම ලිවීම් උපකරණය දරුවාගේ අතට ගැලපෙන සේ වෙනස් කර උපාංග ලබාදීමද වෘත්තීය චිකිත්සක නිලධාරීන් මගින් ඉටු කෙරෙනවා

දරුවාගේ පෙනීම සම්බන්ධ ගැටළු ද ලිවීමේ ක්‍රියාකාරකම් සඳහා බලපායි. එම නිසා ලිවීමේ ගැටළු සහිත දරුවා පොත් දෙස මෙන්ම කලු ලෑල්ල / බෝඩ්  එක දෙස බලන අන්දම ගැන නිරීක්ෂණය කල යුතුයි.මෙහිදී පෙනීම සම්බන්ධ ගැටළුවක් වේ නම් ඒ සම්බන්ධ අක්ෂි වෛද්‍ය වරයෙකු ගෙන් ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා.

ඇතැම් විට දරුවන්ගේ ඇස්පෙනීම සඳහා උපැස් භාවිතා කලද දරුවන්ට පොත පත සහ පේළි ආදිය නිවැරදිව දකින්නට අපහසුයි.
මෙවිට මේ දරුවන්හට වඩා හොඳින් එම පේළි බලාගැනීම සඳහා හයිලයිටර් ( hi-lighter  ) හෝ ටේප් පට භාවිත කිරීම කල හැකියි.
අද පොත් සාප්පු වල විවිධාකාර එවැනි ඉගැනුම් උපකරණ පවතිනවා.

දරුවාගේ බුද්ධි මට්ටම හා සලකා බලන විට අකුරු හඳුනාගැනීමේ විවිධාකාර ගැටළු ඇතිවන්නට පුළුවන්.ඔබ මෙහිදී දරුවාට ගැලපෙන අන්දමේ විවිධාකාර ක්‍රියාකාරකම් භාවිත කරමින් එම හඳුනාගැනීම් පහසු කල යුතු වෙනවා.මේ සඳහා ඔබට වෘත්තීය චිකිත්සක මෙන්ම කථන හා භාෂා චිකිත්සක නිලධාරීන් වෙතින් ඒ සඳහා මනා උපදෙස් මාලාවක් ලබාගත හැකි වෙනවා.

හැමවිටම සරල ක්‍රියාකාරකම් , විනෝදාත්මක සහ නවමු ක්‍රියාකාරකම් භාවිත කරන්න.

දරුවාට අකුරු ස්ථාන ගත කිරීමේ ගැටළු පැවතීමද අකුරු ලිවීමේ එක ගැටළුවක්. මෙහිදී ඔබ දරුවාගේ ඇත හසුරවා ගැනීම මෙන්ම අකුර ස්ථානගත කිරීමට ගැලපෙන මට්ටමේ රූල් සහිත පොත් ආදිය භාවිතයද කල යුතු වෙනවා .සමහර අවස්ථාවල දී ඔබ අතින් අල්ලා දරුවාගේ අකුරු වල හැඩතල ගත යුතු වෙනවා .නිදහස් ලිවීම් රටාවල් වැදගත් වන්නේ මෙන්න මේ අවස්ථාවල දී එනම් වැලි මත ලිවිම, වැලි කඩදාසි මත ලිවිම මෙන්ම විශාල පත්‍ර ,කොළ මත, බිම ලිවිම ඉතාම නිදහස් හා නිසියාකාර හැඩතල සහිත අකුරක ආරම්භය වෙනවා. දරුවාගේ අත කොලය මත ඉතාම ලිහිල්ව හෝ ඉතාම තදින් පවතී නම් එයද ඔබ සැලකිය යුතු දෙයක් .ඉතා ලිහිල් ව ලිවීමේදී අකුර පැහැදිලි නොවන අතර කොලය මත පැන්සල ලිස්සා යාමද සිදු වෙනවා.නමුත් අත ඉතා තදින් ලියන විට පොත ඉරීම, අවලස්සන බව ආදිය සිදු වෙනවා.මෙවන් අවස්ථාවක දරුවා මනාව නිරීක්ෂණය කරන්න.ඇතැම් විට දරුවාගේ වෙනත් කායික මානසික තත්වයක් මිට හේතුවන්නට පුළුවන්.

දරුවා හැකි තාක් සැහැල්ලු කරන්න.ඔහු / ඇය ට සරල සැහැල්ලු වීමේ (  ralaxation) ක්‍රියාකාරකම් උගවන්නට හැකියි.එවිට ඔහු/ ඇයගේ යම් ආතතියක් ඇත්නම් එයින් මිදෙනු ඇති.

එසේ සිදු කල පසුත් මෙම ගැටලුව නිවැරදි නොවේ නම් දරුවාගේ අනෙක් ගැටලුකාරී තත්ව සොයා බැලීම ද කල යුතු වෙනවා .ඇතැම් විට ලියන පැන්සල ආදිය වෙනස් කිරීමද මින් එක උදාහරණයක්.

දරුවාගෙන් දරුවාට මෙම ගැටළු විවිධාකාර වෙන්නට පුළුවන්.එම නිසා ඔබේ දරුවාට යම් ලිවීමේ ගැටළුවක් පවතී නම් සැලකිලිමත් වන්න .එවිට දරුවා ගේ ගැටලුවලට විසඳුම් සෙවීම පහසු වේ.

කොළඹ, ජාතික රෝහලේ භෞත චිකිත්සක සහ වෘත්තිය චිකිත්සක විද්‍යාලයේ වෘත්තීය චිකිත්සක ආචාර්ය කිත්මා වාසනා දහනායක  B.Sc (OT) මහත්මියගේ ලිපියකි.
ඔබට මේ හා සම්බන්ධව උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් පහත අංකයකට කෙටි පණිවිඩයක් යවා ඇය සමග කතා කිරීමට වෙලාවක් වෙන්කරගන්න.
0713851733 / 0771124466

පොලිතීන් බෑග්, ලන්ච්ෂීට් තහනම්! දැන් ඉතින් අම්මලා මොකද කරන්නේ?

හෙට අනිද්දාට පාසල පටන් ගන්නවා. ඒ වගේම ලන්ච්ෂීට් වල එතුම් ආයේ බැහැ…දැන් ඉතින් අම්මලා මොකද කරන්නේ..ඉස්සර නම් කෙසෙල් කොලයේ, පුවක් කොලයේ වගේම නෙලුම් කොලයෙත් ආහාර දවටා ගත්තා. විහාරමහ දේවියට ගැමුණු කුමාරයා ලැබෙන්න සිටිද්දී ඇති වුනේ නෙලුම් කොලයෙන් බත් කෑමේ දොල දුකක්.වීර පුත්‍රරත්නයක් බිහිවෙන ලකුණු මේ දොල දුක සමගම නිමිති කරුවන් දැනුම් දුන්නා.

කැන්ද කොලයෙත් ආහාර දවටා ගැනීමට පුලුවන්. අපි මෙතෙක් කැන්ද කොලය යොදා ගත්තේ හැලප පිලියෙල කරන්න පමණයි. ඒත් ඔබ මහනුවර ප්‍රදේශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුම මගින් පාලනය වෙන ” සැබෑ ශ්‍රී ලාංකේය රසය ” තේමාව කර ගත් ආපනශාලාවන් වෙත පැමිණියහොත් ඔවුන්ගේ දැවටුම් අතරට කැන්ද කොලයත් එක්ව තිබෙන අපුරුව දැක බලා ගන්න පුලුවන්.

අපිටත් දැන් විකල්ප දැවටුම් සොයා ගැනීමට කාලය ඇවිත්. පමා වී හෝ විය යුතු දෙය දැන්වත් සිද්ධ වීමත් සතුටක්. මුලින් මෙහි අපහසුබවක් දැනුනත් පුරුද්ද සමග ඒ සියල්ලම මග හැරෙන්නනට ඉඩ තිබෙනවා. හැම දෙනාමට ගෙවත්තක් නැති බවත්, කොසෙල්කොල නැති බවත් ඇත්ත. ඒත් වත්ත පිටියේ කෙසෙල්ගස් තිබියදිත් තමන්ගේ පහසුවට ලන්චිෂීට් මතම යැපෙන අයත් නැතුවාම නොවේ.කෙසෙල් කොලයේ බත් එතූ විට දැනෙන්නේ අමුතුම සුවඳක්. එයින් නොදැනීම ආහාරය වෙනුවෙන් රුචිය ඇති වෙනවා.

ඒ විතරක් නොවෙයි, දන්නෝ දනිති කියන්නා වගේ කොළ පාට පැහැයේ ස්වභාවයෙන්ම අන්තර්ගත කොළ වර්ණය හෙවත් ක්ලෝරෆීල් අපේ සිරුරට ඉතාම ගුණයි. ලන්ච් ෂීට් එකට උණුවෙන් ආහාර දැමූ විට ඇති වෙන්නේ අහිතකර තත්වයක් වුනත් කෙසෙල්කොළයට උණු ආහාර දැමූවිට කිසිම අහිතකර බවක් ඇති වෙන්නේ නැහැ. කෙසෙල් කොලය අමුවෙන් නම්‍යශීලී නැහැ. ඒ නිසා අපි මේ කොළය තවාගෙන පාවිච්චියට ගැනීමේදී එහි තිබෙන පෝෂණ පදාර්ථයන් සිරුරට අවශෝෂනය පහසු වෙනවා.අද බොහොම දෙනෙක් මැසවිලි නගන බඩවැලේ තත්වය සුවකර ගැනීමට මෙහි අඩංගු ක්ලෝරෆීල් ඉතාම ගුණදායකයි.

උණ හෙම්බිරිස්සාව තරමටම පිලිකා රෝගය සුලබ වුනාම හැම දනාම ඒ ගැන නිදාන කතාව හොයන්න පටන් ගත්තා. එතකොට තමයි බොහොම දෙනාට ඇස් ඇරුනේ. මුලින් ගුණ ගී ගායනා කරනු ලැබූ ප්ලාස්ටික් සහ පොලිතින් මේ රෝගයේ ප්‍රධාන වරදකරුවා බවට පත්ව සිටියා. ඒ වෙනුවට දැන් කෙසෙල්කොලයේ ආනුභාව ගැන කතා කරන්න පටන්ගෙන තිබෙන්නේ හේතු සාධක ඇතුවයි.කෙසෙල්කොලයේ අන්තර්ගත ” එපිටැලොකාටෙචින් ගැලේට් ” සංයෝගය පිලිකාවෙන් ආරක්ෂාවට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඒත් එක්කම අද දරුණු විදිහට සමාජගතව තිබෙන වකුගඩු රෝගයටත් කෙසෙල්කොලයේ එතූ ආහාර ගුණදායකයි. හදවත් රෝග වෙනුවෙනුත් නොවෙනස්ව මේ ගුණය ලැබෙනවා. ඒ අතරම මානසික සහනශීලිබව ඇති වීමටත් ස්වභාවිකවම කෙසෙල් කොලයෙන් ලැබෙන ගුණ බොහොමයි.

ප්ලාස්ටික් පොලිතින් නොදිරන නිසා ඇති වුන සමාජ ප්‍රශ්න නිසා ‍ඩෙංගු රෝගයෙන් අපේ රටේ ජීවිත සිය ගණනක් අපට අහිමි වුනා. කෙසෙල් කොලය දිරාපත් වෙන නිසා මේ චෝදනාවන් නැහැ. කුණු කදුවල බහුලව තිබෙන්නේ නොදරන ද්‍රව්‍ය වීමත් බොහොමයක් සමාජ ගැටලුවලට හේතු වුනාදවසකට බැහැර කරන පොලිතින් ප්‍රමාණය මිලියන දෙකකට අධිකයි. ඉදිරියට මේ අන්දමින් දිරාපත් වෙන කෙසෙල් කොලයක් මුදලට ගැනීමේ හැකියාව අපට ලැබෙයි. ඒ ගැන දැනටමත් අත්හදා බැලීම් සිදු වෙනවා.

ඉදිරියේදී අපට දැවටුම් වගේම පාරිභෝගික ද්‍රව්‍ය එහා මෙහා ගෙනියන්න මලු ගොඩක් ලැබෙන්නේ නැහැ. ඉස්සර වගේ පන් හෝ රෙදි මල්ලක් අරගෙන යෑම අනිවාර්යෙන්ම විය යුතුයි. පන් හොයා ගන්න නැහැ කියමුකෝ…ඒත් රෙදි මල්ලක් පිලියෙල කර ගැනීම එතරම් අපහසුවක් නැහැ. පැච් වර්ක් ක්‍රමයට ලස්සන මල්ලක් නිර්මානය කර ගැනීම අපහසු නැහැ.

රෙදි මල්ලක වාසි

  • ශක්තිය තිබෙනවා.
  • බඩු බරක් දැරීමට හැකියාව
  • පිරිසිදු කර ගැනීමේ හැකියාව
  • අනවශ්‍ය ලෙසින් නිවසට කසල එක් නොවීම
  • පරිසරය පිරිසිදුයි.
  • මල්ල පිරිසිදු කර ගැනීමට ඇති හැකියාව නිසා නැවත නැවත භාවිතය
  • මැහුම් දන්නා අයට අලුත් ව්‍යාපාරික අවස්තාවකුත් ඇති වෙනවා.

රෙදි මල්ලකින් ඔබට තිබෙන අපහසුවක් ඇත්නම් ඒ දිනපතාම මෙය රැගෙන යෑම සහ අමතක වීම පමනයි. ඒ හැර ඇති අනෙක් සියලුම හේතු ඔබට පහසුකමක් මිස අපහසුවක් නොවෙයි.

එකපාරටම කෙසෙල්කොළ අපට කෝ….

ප්‍රායෝගිකව මෙය බොහෝ දෙනෙකුට සාධාරණයි. ඒ නිසා දරුවන්ට පාසලේ ආහාරපාන ගෙනියන්න විකල්ප දැන් අවශ්‍යයි. පාන්, බිස්කට් වැනි දේ මුද්‍රිත අකුරු නැති සුදු කොලයක දවටන්න පුලුවන්. බත් වෙනුවෙන් අනුමත ප්ලාස්ටික් හෝ උණුහුම රඳවා ගත හැකි නැවත නැවත පාවිච්චි කළ හැකි භාජන වෙත යොමු වීමට පුලුවන්.

දැන් අපි ප්ලාස්ටික් , පොලිතින් වෙතින් මිදෙන්නට අවශ්‍ය බව හොදාකාරව හදුනා ගත්තා. ගිනිපෙලෙලෙන් බැට කෑ අපි දැන් කනාමැදිරියාටත් බිය විය යුතුයි. ස්වභාවික හා කාබනික දැවටුම් අපිට අමුත්තක් නොවේ. අදින් දශක තුනකට පෙරාතුව සියළු දැවටුම් ඇසුරුම් ඉතා අපුරු ලෙසින් කාබනිකව සිද්ධ වුන රටක අපි ජීවත් වූයෙමු. නොරටින් එන දෙයට ඇති ආකර්ශනය නිසා අපේ වල අපිම කපා ගත්තෙමු. එහෙත් ආදීනව හොදාකාර වින්ද නිසා දැන් කතා දෙකක් නැත. අනවශ්‍ය විදිහට හිතට බරක් ගත යුතු නැත. ඔබටම මල්ලක් සකසා ගන්න. දරුවන් වෙනුවෙන් ආහාර ඇසුරුම් පෙට්ටියක් පිලියෙල කර ගන්න. ඔබ නොදැනම ජාතික ගැටලුවක් විසඳන දායකත්වය ඔබ අනාගත ලෝකය වෙනුවෙන් ලබා දුන් විශිෂ්ටයෙක් වෙනු ඇත.

ගෙදර තීන්ත ආලේප කරද්දී මෙන්න මේ කරුණු ගැන නොහිතුවොත් ඔබත් කරදරේ වැටෙයි

තමන් නිවසන ගෙදර දොර ඉතාම අලංකාර විදිහට ප්‍රියමනාපව තබා ගැනීමට අපි කවුරුත් කැමැතියි. ඉස්සරට වඩා දැන් ගෙදර දොර හැඩකරන තීන්ත ආලේපන බහුල නිසා පාරිභෝගිකයන් විදිහට අපි කුමක් තෝරා ගන්නවාද යන ගැටලුවට මැදි වෙනවා. මෙහිදී අපි ඇසට ප්‍රියතාවයක් ඇති කරන වර්ණ ගැන මිස ඒවායේ සංයුතිය පිලිබඳව ඇත්තටම උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ වෙනුවෙනුත් බලපාන හේතු තිබෙනවා. අපි කිසිම දිනක හිතන්නේ නැහැ මේ බිත්ති ආලේප කරන තීන්ත නිසා දරුවන් ලෙඩ දුකට නිරාවරනය වෙතැයි කියලා. ඒ නිසා වෙළදපොලේ සහ ප්‍රචාරණයන් මගින් ඔසවා තබන නිෂ්පාදන වෙනුවෙන් අපි නොදැනම ආකර්ශනයක් දක්වනවා.ඒ වුනත් ඔබ මින් ඉදිරියට තීන්ත තෝරා ගැනීමේදී මේ ගැනත් සැලකිල්ලක් දක්වන්න අවශ්‍යයි.

එහෙමනම් ඔබ තීන්ත තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද ?

අපේ නිවෙස්වල බිත්ති ආලේපන වෙනුවෙන් එනමල් සහ එමන්ෂන් යනුවෙන් තීන්ත වර්ග දෙකක් ඇති අතර අපි නොදැනම මෙම තීන්තවල ඇති ඊයම් විස රසායනයන්ට නිරාවරනය වීමෙන් ලොව පුරා මිලියන 40 ක් පමණ අනතුරට පත්ව සිටිනවා.

තීන්තවල අන්තර්ගත බැරලෝහ විදිහට සැලකෙන ඊයම් ප්‍රධානයි. ඊයම්වල අඩංගු සංයෝග අතරට ලේඩි ක්රෝමෙට් සහ ලේඩි කාබනේට් යන සංයෝග ඇතුලත් වෙනවා. බැරලෝහ ගැන කතා කිරීමේදී බොහෝ දෙනෙක් සායම්වලට නිරාවරනය වීම නිසා බැරලෝහ ශරීරගත වෙනවාය යන කරුණ දන්නේ නැහැ. ඒත් අපි තීන්ත තෝරා ගැනීමේදී උනන්දුවක් දක්වන්නේ පහත දැක්වෙන කරුණු ගැන නොවේද…?

කල් පැවැත්වම : 

තීන්ත ආලේපනයත් අද ඉතා වියදම් සහිත කටයුත්තක්. ඒ නිසා අපිට මාස හය හතකට වරක් නිවස ආලේප කිරීම අපහසු නිසා කල්පවතින තීන්ත ගැන පාරිභෝගිකයන් විදිහට උනන්දුවක් දැක්වීම සාධාරනයි.

ඉක්මනින් වියලීම :

තීන්ත තෝරා ගැනීමේදි ඉක්මනින් වියලීම ගැනත් අවධානය දැක්වීම ඉතාම වැදගත්.ඉක්මනින් වියලෙන තීන්ත ගැන බොහෝ දෙනෙක් උනන්දු වෙන්නේ නිවසේ කටයුතු වෙනුවෙන් ඇති වෙන පහසුව නිසයි. ඒත් අපි මේ තීන්තවල ඇති ඊයම් සංයෝග ගැන උනන්දු වෙන්නේ නැහැ.

මළ නොබැඳීම :

ජලයට නිරාවරන වීම නිසා ඇති වෙන මළ බැඳීම වලක්වන තීන්ත ගැන දක්වන උනන්දුව පිරිස් අද බහුලයි. පාරිභෝගිකයාගේ පැත්තෙන් එය සාධාරණ වුනත් ඊයම් සංයෝග නිසා වත් පැත්තකින් ඇති අහිතකර බව ගැනත් යම් අවධානයක් දැක්වීම වැදගත්.

තෙතමනයට ඔරොත්තු දීම :

තෙතමනයට ඔරොත්තු දෙන තීන්ත ගැන අපි උනන්දුවක් දක්වන්නේ වැසි ජලයට නිරාවරනය වීම නිසා ඇති වෙන බිත්තියේ  ආරක්ෂාව ලබා ගැනීමට අවශ්‍ය නිසයි. ඒ වුනත් මේ පහසුකම තිබුනත් එයින් සිදු වෙන බැරලෝහ පිලිබඳ නිරාවරනය ගැන අපි එතරම් අනන්දුවක් දක්වන්නේ නැහැ.

ඊයම්වලට නිරාවරනය වෙන්නේ කොහොමද…?

තීන්ත ආලේපනයන්හි මතුපිට පෘෂ්ටයෙන් පොතු ගැලවෙන ස්වභාවයක් අපිට ඇතැම්විට දක්නට ලැබෙනවා. මේවායේ තිබෙන විෂ සංයෝග පරිසරයට එක්තු වීම නිසා අපි නොදැනම සිරුරට ඇතුල් වෙනවා. මේ විස සංයෝග ශරීරගත වීමෙන් පුසව දැක ගත හැකි රෝග ලක්ෂණ මෙසේය.

  • ආහාර අරුචිය
  • නිතර ඇති වෙන උදරාබාධ
  • හිසරදය

මෙම තත්වයන් තවදුරටත් පැවැතුනහොත් රක්ත හීනතාවය සහ වර්ධනයේ ආබාධ වැනි අහිතකර තත්වයන් පවා ඇති විය හැකියි.

ලැන්කර්ෂයර් රෝහලේ විශේෂඥ වෛද්‍ය රිචඩ් ඩීසන් විසින් පෙන්වා දෙන අන්දමට නිවස අලංකාරය වෙනුවෙන් යොදා ගන්නා තීන්ත ආලේපනයන්හි සංයෝග මගින් ඇදුම , චර්මරෝග පවා ඇති වීමට ඉතා ඉහල අවදානමක් තිබෙන බවයි.

මේ වෙනුවෙන් විකල්ප …..මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ තීන්ත තෝරා ගැනීමේදී විෂ සංයෝග නැති තීන්ත තෝරා ගන්න.

  • අධික ගන්ධයක් නිකුත් නොවන තීන්ත තෝරා ගන්න.
  • ජලයෙන් බුරුසු සෝදා ගත හැකි තීන්ත තෝරා ගන්න. අපි බොහෝ විට සායම් තැවරුන බුරුසුව සෝදා ගැනීමට ටර්පන්ටයින් හෝ විවිධ ස්ප්‍රිතු වර්ග යොදා ගන්නා අතර ඒවායේ අධික ගන්ධයන්ද අපේ සෞඛ්‍යට හිතකර නොවේ.
  • තීන්ත ආලේප කරන විට ජනේල ඇර තබන්න.
  • තීන්ත හොඳින් වියැලෙන තෙක් කාමරය නැවත පාවිච්චි නොකරන්න.
  • තීන්ත ආලේප කරන විට මුඛ ආවරනයක් respirat/mask පාවිච්චි කරන්න.

-Daily mail ඇසුරින්-

විභාගේ ඉවරයි… නව යොවුන්වියේ ඉන්න මේ දරු පැටවූ ඊලගට මොකද කරන්නේ?

උසස් පෙල විභාගය දැන් අවසානයි. දරුවන් වගේම අම්මලාටත් අස්වැසිල්ලක් ලැබුනත් දැන්  තිබෙන්නේ ඉතාම සංක්‍රාන්ති කාලයක්. හොඳින් විභාගයට මුහුණ දුන් දරුවන් විශ්ව විද්‍යාලය වෙනුවෙන් සිහින මවන අතර තමන්ට විභාගය ගැන ආත්ම විශ්වාසයක් නැති දරුවන් දෙවැනි වතාවට විභාගය වෙනුවෙන් සූදානම් විය යුතුය යන චකිතයෙන් පසුවෙනවා.

මේ අතර වූ දෝලනය වෙන සංක්‍රාන්ති කාලය වෙනුවෙන් දෙමව්පියන්ගේ අවධානය දැක්වීම ඉතාම වැදගත්. විභාගය වෙනුවෙන් වෙහෙසකර කාලයක් ගෙවා අවසානයෙන් පසු දරුවන්ට යම් විවේකයක් ලැබීම අත්‍යවශ්‍යයි. මේ විවේකය තුල ඇති වෙන හැලහැප්පීම්ද බහුලයි. දරුවන්ට සතුට ලබා ගැනීමේ මාධ්‍ය එක් එක් දරුවාට සාපේක්ෂව බොහොම වෙනස්. පිරිමි දරුවන් ගේ විනෝදකාමි බව ගැහැණු දරුවන්ට වඩා  වෙනස්. ඒ තත්වය තුල ඇති වෙන අනතුරුත් බහුලයි. බොහෝ පිරිමි දරුවන් විනෝද චාරිකාවන් වෙනුවෙන් සහභාගී වී බීමත්ව දියනෑම් වැනි කටයුතු නිසා ජීවිතය පවා අහිමි කර ගන්නා තරමටම කනගාටුදායක තත්වයක්. ඒ නිසා පිරිමි දරුවන්ගේ චාරිකාවන් පිලිබඳව ඔවුන්ට දැනුවත් බවක් ලබා දීම අවශ්‍යයි.

ඔබේ දරුවා ඉතා යහපත් චරිතයක් බව සැබෑ වුනත් මෙවන් චාරිකාවන්හිදී දරුවා නොමගට යවන්නනට ඇදෙන්නටත් අවදානමක් තිබෙනවා. ඒ නිසා විභාගය අවසානයේදී විනෝද වෙන්නට සිදු වෙන සැලසුම් පිලිබඳව දෙමව්පියන්ද අවධානයෙන් සිටීම ඉතා වැදගත්.

අද ගැහැණු දරුවන්ද බොහෝ සේ විනෝදයට බරයි. ඔවුන්ද කණ්ඩායම් වශයෙන් විනෝදගමන් සූදානම් කරන ගන්නා නිසා ඒ ගැනත් මව්පියන්ගේ අවධානය දැක්වීම වැදගත්. ඔවුන් චාරිකා වෙනුවෙන් සූදානම් කර ගන්නා ස්ථාන ගැනත් දැණුවත් වීම අවශ්‍යයි. ඇතැම් තැන් විනෝදයට ගැලපෙන බව ඇත්ත වුනත් ගැහැණු දරුවන්ට තනිපංගලමේ චාරිකාවේ යෙදෙන්නනට තරම් සුදුසු ස්ථාන නොවෙයි. ඒත් වයසේ වැරැද්දදට හෝ දැරියන් ඒ ගැන නොදන්නා බව සැබෑ වුනත් දෙමාපියන් විදිහට මේ පිලිබඳව පෙර විපරම් කොට එහි ගැලපෙන හෝ නොගැලපෙන බව ඔවුන්ට තේරුම් කර දීම ඉතාම වැදගත්ය.

  • දරුවන් චාරිකාවක යෙදෙන්නේ නම් ඒ යන පිරිස ගැන අසා දැනගන්න.
  • ඔවුන්ගේ දෙමව්පියන් සමග සාකච්ඡා කරන්න.
  • ගමනට සම්බන්ධ සෑම දුවකගේම දුරකථන අංකය ලබා ගන්න.
  • යන එන ස්ථානයන්හි තිබෙන අනතුරු ස්ථාන ගැන කියා දෙන්න.
  • ඔවුන්ගේ මාර්ග සිතියම ඔබද ලබා ගන්න.
  • ගැහැණු දරුවන්ගේ චාරිකාව නම් එක් දිනකට පමණක් සීමා කිරීම වඩාත් වැදගත් වන්නේ රාත්‍රි ලැගුම් ගැනීමේදී පවා ඇති විය හැකි අප නොසිතන අන්දමේ අනතුරු බොහෝ ඇති නිසාය.
  • දරුවන්ගේ ඥාතීන්ගේ නිවෙසක වුනත් අද එතරම් ආරක්ෂාවක් ඇතැයි අපට සහතික විය නොහැකියි.
  • ඔවුන්ගේ විනෝදයට බාධා නොවන සේ අම්මා කෙනෙක්වත් මේ ගමනට සම්බන්ධ වීමට හැකි නම් වඩාත් යෝගයයි. සමවයස් දැරියන්ට යම් යම් අන්පේක්ෂිත අවස්ථාවන්හිදී මුහුණ දෙන අන්දම ගැන තිබෙන නොදැනුවත් බව වගේම එවන් අවස්ථාවකදී මේ කන්ඩායමටම විශාල ශක්තියක් වැඩිහිටි මවගෙන් ලැබෙනු ඇත.
පාඨමාලාවක් හදාරන්නේ නම්

උසස් පෙල අවසානයේ පටන් ප්‍රතිඵල එන තෙක් ඇති සංක්‍රාන්ති කාලය ඉතා හොදින් සැලසුම් කර ගැනීමට දැන් ඔබට පුලුවන්ය. ජීවිතයේ නැවත කිසිම දිනක මේ ගෙවෙන කාලය උපයා ගත නොහැකියි. ඒ නිසා අනාගතයට ගැලපෙන පාඨමාලාවක් ගැන සිතන්න. කරන අය පසු පසු යමින් පාඨමාලාවන් කරනු වෙනුවට ඔබ දැනට ඉලක්ක කර ගෙන සිටින අරමුණට ගැලපෙන අන්දමින් පාඨමාලාවක් තෝරා ගන්න.

භාෂාවක් ඉගෙණුම ඉතාම වැදගත්

මෙතෙක් විභාගය මතම යැපුන ඔබට දැන් අතිරේක භාෂාවක් ඉගෙනුම වෙනුවෙන් කාලය ලැබී ඇත. භාෂාවක් ඉගෙනීම මගින් මොළය වඩාත් තිරිහන්වෙන බව මනෝ වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසයි. අපි මෙතෙක් වැඩි අවධානයක් දක්වන ලැබුවේ ජාත්‍යන්තරයේ පිලිගැනීම ඇති ඉංග්‍රිසි භාෂාවට පමණක් වුනත්, හින්දි, ප්‍රංශ, ජර්මන් වැනි විවිධ භාෂාවන් වෙනුවෙන්ද දැන් අවශ්‍යතාවය ගොඩ නැගෙමින් පවතී. ගෝලීයකරනය තුල අද බොහෝ දරුවන් මෙම රටවල් සමග සම්බන්ධතාවයන් ‍ගොඩ නගා ගැනීමේ අනාගත ඉලක්ක ඇති නිසා මේ ලැබී තිබෙන කාලය එවන් වූ භාෂා ඉගෙණුමක් වෙනුවෙන් යොමු කල හැකිය. ඒ අතරම දෙමළ භාෂාව වෙනුවෙන් දැන් විශේෂ වටිනාකමක් ලැබී ඇත. රාජ්‍ය සේවයේ පවා දෙමළ භාෂාව වෙනුවෙන් ප්‍රවීනතාවය ලබා ගැනීම අත්‍යවශ්‍ය බැවින් මේ ලැබී ඇති කාලයේ එවන් වූ වැදගත් ‍ඉගෙණුම් අවස්ථාවක් ඔබට උපයා ගත හැක.

නිවසේ අලංකාරය වෙනුවෙන් කාලය දැන් තිබෙනවා

වසර තුනක් පමණ කාලයක් නිවසේ කටයුතු වෙනුවෙන් සම්බන්ධ නොවී තමන්ගේ ඉගෙණුම අරමුණ මතම යොමුව සිටි දරු දැරියන්ට දැන් තමන්ගේ කාමරය, නිවස සහ වටපිටාව පිරිසිදුව සහ අලංකාරව තබා ගැනීමට අවස්ථාව ලැබී ඇත. කාමරය වර්ණ ගැන්වීම, මල්පැල හෝ එලවලු පැල සිටුවීම, දැනට තිබෙන පරිසරය අලංකාර කිරීම වැනි කටයුතු වෙනුවෙන් යොමු වීම නිසා මානසිකව ලැබෙන තෘප්තිය වගේම මව්පියන්ටත් සහයෝගයක් ලබා දීමට මේ සංක්‍රාන්ති කාලය යොදා ගත හැකියි.

ඇඳුම් මැසිම, ඉවුම් පිහුම් කටයුතු

අද ගැහැණු දරුවන් එදා වගේ බාලේ පටන්ම මුලුතැන්ගෙයි කටයුතු වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට උනන්දු දෙමව්පියන්ගේ එකම ඉලක්කය දරුවාගේ අධ්‍යාපනය නිසාය. දැන් ඔවුන්ගේ ඉගෙණුම් කාර්යයයේ එක් අදියරක් අවසානය. යම් කඩඉමක නැවතී ඇත. මේ කඩඉමෙන් ජයගත් විට උසස් අධ්‍යාපනයටත් කඩඉම සිතන තරම් ජයග්‍රාහී නොවුන විට නැවත විභාගය වෙනුවෙන් සූදානම් වීම වැනි අවස්ථා දෙකක් ඇත. එහෙත් ප්‍රතිඵල එන තෙක් නැවතී සිටින මේ කාලය උපරිම ලෙසින් ප්‍රයෝජන ගත යුතුය. ඒ නිසා ආහාර පිසීම සහ තමන්ට ගැලපෙන අන්දමින් ඇදුම් මසා ගැනීම වැනි කටයුතු සඳහා මේ කාලය දරුවන්ට යොදා ගත හැකි අතර ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය දෙමව්පියන් විදිහට ඔබ ලබා දෙන්න.

අතිරේක කියවීමට කාලය දැන් වේලාව ඇත

මෙතෙක් විෂය දැණුම වෙනුවෙන්ම වූ පොත් පත්  මතම යැපුන ඔබට දැන් දැනුම සහ විනෝදය වෙනුවෙන් කියවීමට අවස්ථාව ලැබෙනු ඇත. ඒ නිසා මහජන පුස්තකාලයක සාමාජිකත්වය ලබා දී අවශ්‍ය පොත් පත් කියවා දැණුම සහ විනෝදය ලබා ගැනීමට දරුවන් පොත පත සමග සම්බන්ධ කිරීමට හොඳම කාලය දැන් එළැඹ තිබේ.

අපි නොහිතන දේවල් වලින් දරුවන්ට අනතුරු වෙන්නේ මේ විදියට

ඇත්තටම ජීවිතේට තමන් ලබන අත්දැකීම් මෙන්ම තවත් කෙනෙකු ලබන අත්දැකීම් අපේ ජීවිත වලට වටිනවා. ඉතින් පුංචි පැටවු ගැන අම්මාලා අත්දකින විවිධ අනතුරු පිළිබඳ අත්දැකීම් එක ලිපියකට ගොනු කරන්න හිතුනා.

මට මතකයි මගේ ලොකු පුතා ඉපදුනු දවස් වල ගුඩුස් නොගියොත් බබාව  මුණින් හෝ පැත්තට නිදිකරවන්න කියල උපදෙස් දුන්නා. ඒත් මගේ චූටිම පැටිය 2017 ලැබුණට පස්සෙ වෛද්‍යවරයා කිව්වේ බබාව තනියම මුනින් අතට නිදි කරවන්න එපා කියලා. නවතම සොයා ගැනීම් වලට අනුව මුනින් හෝ පැත්තට නිදිකරවීමෙන් දරුවාට අනතුරක් සිදුවීමට ඇති හැකියාව වැඩි බවත් දරුවාව නිදිකරවීමට සුදුසුම ක්‍රමය උඩු අතට බවත්ය. මන්ද යත් ගුඩුස් නොගිය විට දරුවා මුනින් අතට තබා ඇති විටක බඩ තද වී වමනය ගියහොත් නාසය තුල සිරවී දරුවාගේ හුස්ම ගැනීම ගැනීම අවහිර විය හැකිය.

අනිත් කාරණය තමයි මේ පුංචි පැටවුන් නිදන ස්ථානයේ අපේ අම්මලා දරුවා උණුසුම් කරන්න හිතාගෙන තබන පුංචි කොට්ට, ලිහිල් ඇඳ ඇතිරිලි කිසිවක් නොතබා ඉන්නත් වග බලාගත යුතුයි.  පුංචි පැටියගේ අතට අහුවෙන දේවල් ඇදගෙන ඒවා එයාලගේ මුහුණේ දමාගන්න එයාලට ඒ හැටි වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඒත් ඒවා මුහුණට වැටුනම ඉවත් කර ගන්නට නොහැකි වීමෙන් පැටවුන් හුස්ම හිරවීමට ලක්වෙලා මේ පුංචි පැටවුන් අවාසනාවන්ත ලෙස ළදරු මරණයකට ගොදුරු වන්නට පුලුවන්. මේ ගැන විශේෂයෙන්ම සඳහන් කලේ මමත් මේ අත්දැකීම ලබපු නිසයි. පැටියට මාස දෙකක් විතර වෙද්දි ඔලුවෙන් ළදරු ඇදේ ඉහළට ගිහින් පැටියා එතන තිබුන එයාගේ පුංචි කොට්ටය මුහුණට දමා ගෙන තිබුනෙ මම එතැනින් පිට වුන පුංචි මොහොතකයි. මම එන්න පමා වුණා නම් අද මමත් අවාසනාවන්ත මවක්. අදටත් අහුවෙන හැම දේම මුණටම දාගන්නවා. පැටවු ගැන හැම මොහොතෙම විපරමින් සිටිය යුතුයි. එනිසා අම්මාලා වශයෙන් අපේ තත්පර කිහිපයක අවදානය ගිලිහීම අපිට ජීවිත කාලය පුරාවටම දුකක් පමණක්ම ඉතිරි කරන පුලුවන්.

ඒ කියන කොට මතක් වුණෙ වයස අවුරුද්දක් වයසැති පුංචි දෝණියක් සදහටම ජීවිතෙන් සමුගත්තේ දෙමාපියන්ගේ සුලු අත පසු වීමකින්. ඉහළ මහළක ජීවත් වූ ඔවුන්ගේ නිවසේ උඩු මහල වටා තාප්පයක් දමා තිබුණෙ නැහැ. වෝකරයේ හිටිය පුංචි සමනලී ගමන් ගත් වේගයට ඇය උඩු මහලින් වැටී එතැනම සදහටම දෙනෙත් පියා ගත්තා.  එනිසාවෙන් අනතුරක් සිදු විය හැකි තැන් හැකිතාක් අවම කරගන්න උත්සහ කල යුතුයි.

මගේ හොඳම යෙහෙලියකගේ පුතු පැටියට වයස අවුරුද්දයි මාස 6ක් විතර ඇති. දවසක් පැටියගේ කකුලේ ඇඟිල්ලක කෙස් ගහක් පටලැවිලා තිබුනලු. ඒක ඒ තරමට ගණන් නොගත්තත් දවස් දෙකකට පස්සේ අනේ පැටියගේ ඇඟිල්ල හොඳටම ඉදිමිලා තිබුණ නිසා අම්මා ඇඟිල්ල හොඳින් විපරම් කරද්දියි මතක් වෙලා තියෙන්නේ පුතු පැටියගේ අතේ පටලැවිලා තිබුණු කෙස් ගහ. ඉතින් ඉක්මණින්ම වෛද්‍යවරයකු පෙන්නුවම ඇඟිල්ල කපන්න වෙයි කියලා. කොහොම හරි චූටියව වෙනත් විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වලා ඇඟිල්ලේ එතිලා තිබුණ කෙස් ගහ ඇඟිල්ල ඉවත්  නොකර ඉවත් කරලා. ඒ වගේම අත් දැකීමක් මුහුණු පොතේ මව්වරුන්ගේ සමුහයකත් අම්මා කෙනෙකුත් ලියලා තිබුණා. කෙස් ගහ තදින් පටලුනු පසු ලේ ගමනා ගමනයට අවහිර වීම නිසා තමයි ඇඟිල්ල ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපි නොහිතන පුංචි දෙයක් නිසාවෙන් පුංචි පැටවුන්ට නොහිතන තරමේ අනතුරු වලට මුහුණ පාන්න සිද්ධ වෙන නිසා බොහොමත්ම විමසිලිමත් වන්නට සිදු වෙනවා.

පැටවුන්ට සෙල්ලම් කරන්නට දෙන සෙල්ලම් බඩු පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනී. දරුවො ඕනෑම දෙයක් කටේ දමා ගන්න රුසියෝ. ඉතින් කුඩා කෑලී ගැලවිලා උගුරෙ හිරවෙන්න පුලුවන්. එනිසා දරුවන්ට දෙන සෙල්ලම් බඩු වල ආරක්ෂාකාරී බව පිළිබඳව කීපවතාවක්ම හිතන්න. ආ… බැටරි කෑලී දරුවන්ව තවත් භයානක තත්ත්වයක් ඇති කරනවා. සමහර දරුවො මේවා කටේ දානවා. ඒවයේ තිබෙන උග්‍ර විෂ සහිත රසායනිකයන් දරුවන්ව මරණය පවා කැන්දන් එන අවස්ථා කොතෙකුත් තිබෙනවා. එනිසා දරුවන්ට අවශ්‍ය නැති එවැනි දෑ දරුවන්ගෙන් ඈත් කර තබන්න.

පොඩ්ඩන් අකුරු ලියන්න හොර ඇයි..?

දරුවන්ට අකුරු ලියන්න ගියාම ඇතිවන සුලු ප්‍රශ්න අම්මලා තාත්තලාගෙත් මහා ප්‍රශ්න වෙන එක දැන් සුලබ කරුණක් වෙලා.අපේ වර්තමාන ප්‍රාථමික අධ්‍යාපනය කියන්නෙත් ක්‍රියාකාරකම් වලට වඩා අකුරු ලිවීම මත පදනම් වන ක්‍රියාදාමයක් නිසා මේ ගැටලුව විවිධ ආකාරයෙන් මතුවී පෙනෙනවා.

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගනුම ලබන දරුවන්ගේ ලිවීම් හැකියාවන් ඇගයීමට ලක් කල විට ඔවුන්ගේ ගැටළු ප්‍රධාන අංශ හතරක් යටතේ වර්ග කල හැකියි.

  1. අකුරු සහ වචන ලිවීමේදී අතර මැද ඉඩ තැබීම ආදියෙහි ගැටළු  (spacing)
  2. ලිවීමේදී ශරීරය නිවැරදිව තබා නොගැනීම සහ පෑන / පැන්සල නිවැරදිව අල්ලා නොගැනීම ( posture)
  3. ලිවීමේ වේගයෙහි ඇතිවන ගැටළු
  4. අකුරු නිවැරදිව ලිවීමේ නොහැකියාව

ඉහත සඳහන් කල ගැටළු සම්බන්ධ ව සලකා බැලුවිට එම ගැටළු හා සම්බන්ධ අනු ගැටළු රාශියක් අපට දැකගත හැකියි.ඉන් සමහරක් නම්,

අකුරු සහ වචන අතර ඉඩ සම්බන්ධ ගැටළු

  • අකුරු අතර , වචන අතර ප්‍රමාණවත් ඉඩ තබමින් ලිවීමේ ඇති අපහසුතාව
  • පොතක රූල් අතර ලිවීමේ නොහැකියාව
  • අකුරු එකිනෙක අතර නිවැරදි ස්ථාන සම්බන්ධතා නැති වීම  – එක අකුරක් රූලේ ඉහලින්ද අනෙක පහළින්ද ලිවිම
  • කොලයේ සීමාවන් ( margins) ගැන අවබෝධයක් නැති වීම

img1

වැරදි ශරීර ඉරියව් සහ පෑන /පැන්සල අල්ලා ගැනීමේ දුබලතා

  • නිවැරදිව අසුන් නොගැනීම
  • පුටුව, මේසය,ලියන මතුපිට සහ දරුවාගේ ශරීරය අතර නිවැරදිව ස්ථාන ගත නොවීම
  • පෑන / පැන්සල වැරදි ආකාරයන්ට ,අස්ථාවර ලෙස, බුරුල්ව අල්ලා ගැනීම
ලිවීමේ මැලි බව හෝ ලිවීමේ වේගයෙහි ඇති වන ගැටළු

  • ලිවිම සහ ඇඳීමට මැලිවීම /ප්‍රතික්ෂේප කිරීම සහ වැලකීම
  • පෑන / පැන්සල ,ලියනා කොලය මත ඉතා තදින් තද කිරීම
  • ඇතැම් විට ප්‍රමාණවත් තරම් තදින් අල්ලාගෙන නොසිටීම
  • ලිවිම සහ ඇඳීම ආදියේදී අත වෙහෙසට පත්වන බවක් දක්නට ලැබීම
  • ලිවීමේ වේගය ඉතා අඩුවීම
  • වේගයෙන් ලියන විට අකුරු වල නිවැරදි බව,පැහැදිලි හැඩය නැතිවීම
අකුරු නිවැරදිව ලිවීමට නොහැකි වීම 

  • අකුරු හඳුනා නොගැනීම
  • එකම අකුර නැවත නැවත ලිවිම
  • ලොකු අකුරු (capital) වෙනුවට කුඩා අකුරු (simple) ලොකුවට ලිවිම
  • සියලුම අකුරු එකම ප්‍රමාණයෙන් යුතු නොවීම

මීට අමතරව දරුවකුගේ අකුරු ලිවීම සහ සම්බන්ධ වන ගැටළු රාශියක් පවතී.

අවකාශය පිලිබඳ අවබෝධය මඳ වීම (spatial awareness)

අකුරු ලිවීමේදී සමහර අකුරු සඳහා අත ඉදිරියට තල්ලු විය යුතු අතර ඇතැම් අකුරු වලට අත ආපස්සට ඇදිය යුතු වේ. දරුවෙකුහට එම අවකාශය පිලිබඳ නිවැරදි අවබෝධයක් නැති නම් අකුරක් නිවැරදිව ලියන ආකාරය හා අකුර නිවැරදිව ස්ථාන ගත කිරීම සම්බන්ධව ගැටළු ඇති වේ.

දරුවකුගේ දල චාලක ක්‍රියා සහ සියුම් චාලක ක්‍රියා පමණක් අකුරු ලිවීමට බලපානු ඇතැයි කියා නොසිතිය යුතු වේ.

ඇස් පෙනීම සමබන්ධ ගැටළු

අකුරු ලිවීමේදී අකුරු හා සමගාමිව ඇසේ චලනය දිගට ඇදී නොයයි නම් එයද අකුරු ලිවීමේදී ගැටළු ඇති කරයි.අකුරේ හැඩය සහ ස්ථානගත වීමේදී ප්‍රධාන ලෙසම ගැටළු ඇතිවේ.

බොහෝ විට වචනවල අකුරු අඩුවීම, සහ ලියු වචනයේ තේරුමක් නොමැති වීම සිදුවන්නේ මේ හේතුවෙන්.

දෘශ්‍ය මතකය  ( visual memory )

දරුවාට පෙර අවස්ථාවලදී ඉගන ගත් අකුරු ආදිය ගැන යළි මතකය අවදි කර ගැනීමේ හැකියාව අකුරු ලිවීමේදී අත්‍යවශ්‍ය වේ .එම මතකය නොමැති වීම නවතා එකම අකුර හා වචන ලිවීමේදී ගැටළු ඇතිවන්නට හේතුවක් වේ.අක්ෂර වින්‍යාසය සම්බන්ධ ගැටළු ඇතිවීමටද මෙය බලපායි.

දරුවාගේ චාලක මතක හැකියාව සමග මෙම දෘශ්‍ය මතක හැකියාවද එක්ව දියුණු කල යුතු වේ.

( motor memory )

දරුවාට අකුරක් ලිවීමට අත හැසිරවිය යුතු චලන රටා ගැන මතකයක් නොවීමේ මෙහිදී සිදු වේ.දරුවාට මේ නිසා අකුරු ලිවිම හා හැඩය සම්බන්ධ බොහෝ ගැටළු ඇතිවේ.

මීළඟ සටහනෙන් දරුවාගේ අකුරු ලිවීමේ ගැටළු වලට  වෘත්තීය චිකිත්සාවෙන් සහය දිය හැකි අන්දම ලිවීමට අපේක්ෂා කරමි .

කිත්මා වාසනා දහනායක  B.Sc (OT)
වෘත්තීය චිකිත්සක ආචාර්ය
භෞත චිකිත්සක සහ වෘත්තිය චිකිත්සක විද්‍යාලය
ජාතික රෝහල, කොළඹ.
ඔබට මේ හා සම්බන්ධව උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් පහත අංකයකට කෙටි පණිවිඩයක් යවා ඇය සමග කතා කිරීමට වෙලාවක් වෙන්කරගන්න.
0713851733 / 0771124466

දෙවැනි විවාහය නිසා අසරණ වන අපේ දරුවන්

කරුණාව ,මෛත්‍රිය, උපේක්ෂාව කැටි කරගත් ඒ සිතුවිලි  සමුදායට දාරක ස්නේහය යැයි කියයි. දරුවකු මෙළොවට බිහි කළ පමණින් ගැහැණියකට මවක් වන්නටත් පිරිමියෙකුට පියෙකු වන්නටත් නොහැකිය. මන්ද කරුණාව මෛත්‍රිය ,උපේක්ෂාව කැටි කරගත් ඒ සිතුවිලි  සමුදාය කැටි නොවූ සිතෙහි දාරක ස්නේහයක ජනිත නොවන නිසාවෙන්ය.සැබෑ දෙමාපිය යුවලකගේ ලෝකය පිරී පවතින්නේ දරුවන් නමින්ය. සත්තකින්ම ඔවුන් දරුවන් නමින් පේවෙයි. එහෙත් විපරීත වූ සමාජ බැඳීම් තුල විවාහය යන බැඳීම නීතී පොතක අත්සන් තබා ඇති කර ගන්නා හුදු නීත්‍යනුකූල ගිවිසුමක් පමණක්ම වී ඇත. මේ මාතෘකාව ඔස්සේ මා මීට පෙරත් අකුරු කළෙමි. දෙදරා යන විවාහය තුල අසරණ වන්නේ ඔවුන්ගේ අභිමතයටම මෙළොවට බිහි කළ දරුවන්ය. එහෙත් අද මා අකුරු කරන්නේ දෙවන විවාහය හරහා අසරණ වන අපේ දරුවන් ගැනය.

හරේෂ් හා නිරාෂා පුංචි පුතෙකුගේ දෙමාපියන්ය. හරේෂ් පෞද්ගලික බැංකුවක ඉහළ තනතුරක් දැරු පුද්ගලයෙකි. නිරාෂා තම සිඟිත්තා සමග දවස ගත කලාය. හරේෂ්ගේ ඉලක්කය වූයේ ආයතනයෙ ඉහලම තනතුර දක්වා ගමන් කිරීමය. එහිදී ඔහුගේ පවුල ඔහු අතින් ගිලිහී යන බව ඔහුට අමතක විය. මේ අතර නිරාෂාට ඇගේ පාසල් වියේ ප්‍රේමවන්තයා හමු වූයේ නොසිතූ ලෙසය. හරේෂ්ගේ කාර්්‍යය බහුලත්වය නිරාෂාට ආශිර්වාදයක්ම විය. කාලයත් සමගම නිරාෂා පෙම්වතා සමග යන්නට ගියේ තම සිඟිති පුතුවද අත්හැර දමාය. නීත්‍යනුකූලව නිරාෂාගෙන් වෙන්වූ හරේෂ් නැවත විවාහ විය. ෂෙහාරා මුල සිටම සිඟිති පුතු ඔවුන් සමග ජීවත් වනවාට අකමැති විය. අවසානයේ පුතුට මවගෙන් මෙන්ම පියාගෙන්ද වෙන්ව අත්තම්මාගේ නිවසට යන්නට සිදු විය. පුංචි පුතුගේ දවස ගත වුනේ කල්පනාවෙන්මය. අවසානයේ ඔහු මානසිකව  ඇද වැටී විශාද තත්ත්වයට පත්විය.

මේ තවත් කතාවකි. රෂ්මී දෙදරු මවකි. ඇයගේ සැමියා හදිසි අනතුරකින් මිය ගියේ කිසිවෙකුත් අපේක්ෂා නොකල මොහොතකය. ඇය ඒවන විට විසි නම වන වියේ පසු වූ අතර දරුවන්ද කුඩා බැවින් වෙනත් විවාහයක් කර ගන්නා ලෙස සැමියාගේ පාර්ශවයෙන් මෙන්ම ඇයගේ දෙමාපියන්ද ඇවටිලි කරන්නට විය. රෂ්මීගේ කාර්්‍යලයේ සේවය කල අයේෂ් රෂ්මීට හිතවත් වුයේ ද ඔය අතර තුරය. ඔහු දරුවන්ටද ආදරය කලාය.

දුවයි පුතයි ගැන හිතන්න එපා මට පුලුවන් එයාලවත් ආදරෙන් බලා ගන්න. ඕනි නම් අපි තව දරුවෙක් හදන්නෙ නැතිව ඉමු. අයේෂ් පවසද්දි රෂ්මී සැබැවින්ම සතුටු විය. අවසන ආයේෂ් හා රෂ්මී විවාහ විය. අයේෂගේ වැඩි ආදරයට පාත්‍ර වූයේ දියණිය සෙයන්සාය. ඒ වන විට ඇය හය වැනි වියේ පසු විය. එය රෂ්මීට අස්වැසිල්ලක් විය. කාලය කෙමෙන් ගතව යද්දි දියණියගේ වෙනසක් දැනෙන්ට විය. අයේෂ් නිවසට ආ විට ඇය බියට පත් වේ. එහෙත් අයේෂ් ඇයට ආදරය කරන දිහා බලා රෂ්මී එය ගණනකට නොගත්තාය. එහෙත් දිනෙන් දින දියණියගේ වෙනස් වීම වැඩි වන්නට විය.

“මගේ පුතාට මොකක් හරිප්‍රශ්නයක්ද පැටියෝ”

සෙයන්සා නිහඬව නිසොල්මනේ උන්නාය.

“අම්මා මම අත්තම්මා එක්ක ඉන්න යන්නම්”

“ඇයි ඒ?”

“ඇයි ඒ කියලා අහන්න එපා මට බෑ ඉන්න”

මහ හඩින් දියණිය හඬා වැටෙද්දි රෂ්මී දියණියව වැළඳ ගත්තාය.

“කියන්න මගේ රත්තරන් ඔයා ඇයි අම්මායි තාත්තයි එක්ක ඉන්න බැහැ කියන්නේ”

“ඒ මගේ තාත්තා නෙමේ අම්මා. එයා ළඟදිනේ ආවේ”

“ඔව් ඒත් එයා ඔයාලට ආදරෙයිනෙ”

“ආදරෙයි ? මෙයා මට රිදෙන දේවල් කරනවනේ ඒ වගෙ දේවල් තාත්තා ආදරේට මට කවදාවත් කරලා නැහැ”

ඒ වන විටත්  පුංචි සුරංගනාවිය සුලු පියා අතින් අපයෝජනයට ලක් වී හමාරය.

මේ දිග හැරියේ දෙවැනි විවාහය නිසාවෙන් විඳ වූ දරුවන් දෙදෙනෙකුගේ ඉරණම පමණි. අද වන විට සමාජය බෙහෙවින්ම දූෂනය වී හමාරය. තම පියා අතින් දියණිය පුතු අපයෝජනයට ලක් වන සමයක පිටස්තරයකු මත විශ්වාසය රැඳවිය හැකිද යන්න පිළිබඳ සිතිය යුතුය. සුලු පියා අතින් දැඩි ලෙස පහර කෑමට ලක් වූ ආබාදිත පුංචි දියණියකගේ පොලීසියට ගොස් පැමිණිලි කල විඩියෝවක් සමාජ ජාලයක තිබී මා නෙත ගැටුනි. ඇය වචන අහුලමින් කීයා සිටියේ නැවත ඔහුව නිවසට නොඑවන ලෙසය. මව පියා අහිමි කල දරුවන්ට කාගේ පිළිසරණක්ද? දෙවැනි විවාහයක් ගැන සිතන ඔබ ඔබේ දරුවන් පිළිබඳවත් සිතා තීරණ ගන්නට  සිතට ගන්න.