තවත් ලිපි කියවන්න

අලුත් බබාගේ හමේ මතුවන බිබිලි ගැන බයෙන්ද?

 දරු උපතක් කියන්නේ යුවලකගේ ජීවිතයේ මිහිරිතම අත්දැකීමක්. මේ අත්දැකීමත් එක්ක හිතට දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න බැහැ. ඒ වගේම තමයි ඒ සංතෝෂයන් එක්කම හිතට දැනෙන බය, දුක, වේදනාව. එහෙම වෙන්නේ කුඩා දරුවව තේරුම් ගන්න ටික කාලයක් ගත වෙන නිසා. ඒ නිසා ඒව දැක අඳුනගෙන පිළිතුරු හොයාගන්නකම් දෙමාපියන් හරියට නොසන්සුන් වෙනවා. ඒ වගේ අත්විඳිය හැකි එක ගැටළුවක් තමයි බබාගේ හමේ මතුවෙන බිබිලි හෝ ලප.  බිබිලි හෝ ලප වර්ග කීපයක් තියෙන්න පුළුවන්. ඒ වගේම දරුවා ඉපදිලා දින දෙකේ තුනේ ඉදන්ම ඇති වෙන්න පුළුවන්. ඒ හින්ද මේ පිළිබඳව අධ්‍යයනය කරන එක දැනුවත් වෙන එක වගේම ඒවට කළ යුතු දේ පිළිබඳවත් සොයා බලන එක වැදගත්.  කුසෙහි ඉන්න බිළිඳා ඉන්නේ හරිම ආරක්‍ෂිත පරිසරයක. පරිසරය ඉතාම සිනිඳු සමක් දරුවට තියෙන්නේ. ඒකට ආරක්‍ෂාවක් හැටියට දරුව ඉන්න පැස ගැබ් තරලයෙන් පිරිලා තියෙන්නේ. මේ දරුව හරියට මාළුවෙක් වගේ. මේ ජලජ පරිසරය තුල ඉන්නේ. මේ ලෝකෙට ආවට පස්සේ එයාගේ පරිසරය වෙනස් වෙනවා. ඒ වගේම පරිසරයේ උෂ්ණත්වයත් එයාට බලපානවා. ඒ එක්කම එයාගේ පෙනග් පෙනහළු ශ්වසනයත් පටන් ගන්නවා. එතකොට එයා මේ පරිසරයට හැඩ ගැහෙන්න ඕනා. ඒ හැඩ ගැසීම් වලට ඔරොත්තු දෙන්න යම් යම් වෙනස්කම් ඇති වෙනවා. එයින් එකක් තමවි මේ දරුවගේ ඇගේ මතුවන රතු බිබිලි. මේක ජනවහරේ නැතිනම් අපේ ආච්චිලා අත්තම්මලා කියන්නේ රතගාය කියලා. මේක හරිම ස්වභාවික සිද්ධියක්. ඒ වුනාට ඒක දකින්නේ ඉපදිලා දින දෙක තුනකදි නිසා එයාලා හරියට කලබල වෙනවා. ඒ වුනත් මේක ඇත්තටම සිද්ධ වෙන්නේ පරිසරයට අනුවර්තනය වීමක්. බිබිලි ටිකක් පිටදාලා හම ගොරෝස් කරන එකත් සමේ ක්‍ෂෙත්‍රඵලය වැඩි කරන එකත් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මේ වගේම දින කීපයකින් මේක අඩුවෙලා යනවා. පරිසර අනුවර්තනයට ඉඩදීලා දරුවා නෑවීමත් සම වියලිව තැබීමත් පමණක් මීට සෑහෙනවා.  එහෙත් දින කීපයකදී අඩු වෙන්නෙත් නැත්නම් ක්‍රමයෙන් බිබිලි වැඩිවෙනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම තමයි කළ යුත්තේ.  මේ එන බිබිලි වලට අමතරව කිහිල්ල, ඉකිලි ප්‍රදේශය ආශ්‍රිතව සැරව එන බිබිලි කීපයක් මතුවෙන්න පුළුවන්. ඒකත් බිය විය යුතු නැහැ. නෑවීම දිගටම කිරීමත්, ගලායන සේ ජලය ඇඟට වත් කර සේදීමත් මඟින් මේවා පහව යන්න පුළුවන්. ඒ වුනත් මේ සැරව බිබිලි ක්‍රමයෙන් වැඩිවෙනවා නම් එයත් වෛද්‍ය උපදෙස් ලැබිය යුතු හේතුවක්.  දරුවන් මව්කුස සිටින කාලයේ ගර්භාෂ තරලය හේතු කොටගෙන පිටි දියකලා සේ උකු තරලයක් ඇඟ පුරා තැවරී තිබෙනවා. මේවා උපන් විගස සියල්ලම එකවර ඉවත් කෙරෙන්නේ නැහැ. එසේ කෙරෙනුයේ එම ගර්භ තරලය දරුවාගේ උෂ්ණත්වය තරමක් දුරට ආරක්‍ෂාවට හේතුවක් නිසයි. එහෙත් පසුව මේවා ඉවත් නොකර සිටීමෙන් තෙත ගතිය හේතු කොටගෙන ඒවායේ බැක්ටීරියා වර්ධනය වීමක් සිදුවිය හැකියි. බොහෝ විට එසේ වන්නේ ඉකිලි, කිහිලි, බෙල්ල ආදී නැමෙන ස්ථාන වල. මේ නිසා ඒවා පිරිසිදු කිරීමත් වියළිව තැබීමත් මඟින් ආසාදනයට ලක්වීම වළක්වා ගැනීමටත් බිබිලි මතුවීම අඩු කර ගැනීමටත් එය හේතුවක් විය හැකියි.  සමහර මව්වරුනට ප්‍රසූතියට පෙර වතුර බෑගය බිඳී යාම සිදුවී වතුර පිටවීම සිදුවිය හැකියි. මෙවන් අවස්ථා වලදීද දරුවාට ආසාදන ඇති වීමට ඉඩකඩ ඇති හෙයින් බොහෝ විට දරුවා ඉපදීමට පෙර මවට ප්‍රතිජීවක දෙන අවස්ථා දකින්නට ලැබෙනවා මෙන්ම මෙවන් තත්ත්වයට පත්වන දරුවන්ට ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය වෙනවා.  රතුපාට බිබිලි වල මැද කහපාට සැරව තිත් මෙන් දක්නට ලැබේ නම් ඒවා ආසාදිත බිබිලි ලෙස හඳුනා ගත හැකිය. රතු පාට පමණක් වන බිබිලි සමේ ආරක්ෂාව පිනිස වන අතරම සැරව පිරී ඇති විට එය ආසාදනයක්ද යන්න සැක හැර දැන ගත යුතුය. මන්ද සැරව බිබිලි එකක් දෙකක් පමණක් නම් එය සුව වී යාමට හැකි අතර දිගටම තැබීමෙන් ක්‍රම ක්‍රමයෙන් මතුවන සැරව බිබිලි ප්‍රමාණය වැඩි වේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම අවශ්‍ය වන අතර එවැනි අවස්ථාවලදී බොහෝ විට ප්‍රතිජීවක අඩංගු ක්‍රීම් වර්ග සමට ආලේප කිරීමට ලබාදෙයි. ආසාදිත තත්ත්වය වැඩි වේ නම් හෝ ඒ සමඟම උණ ඇති වේ නම් දරුවාටද ප්‍රතිජීවක ඖෂධ ද ලබාදීමට සිදුවන අවස්ථා ඇත.  තවද අලුත උපන් දරුවා නිවසට රැගෙන ආ පසු නිවැසියන් වගේම දරුවා බැලීමට පැමිණෙන අය වඩාගැනීම, අතපත ගෑම හේතු කොටගෙන බැක්ටීරියා වැනි විෂබීජ දරුවාට සම්ප්‍රේෂණය වීම නිසා සම මත සැරව බිබිලි ඇති විය හැකියි. මෙසේ ඇතිවන සැරව බිබිලි සඳහා ද වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා සේම කුඩා දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේදී සීමිත පිරිසක් පමණක් එනම් අම්මා, තාත්තා, ආච්චි ආදී ලෙසින් කීපදෙනෙකු පමණක් ඒ සඳහා මුහුවීමත් අන් අය විසින් නිවැසියන්ට අවශ්‍ය උදව් ලබාදීම තුලින් අලුත උපන් ළදරුවා ආරක්ෂා කර ගැනීමට මග පෑදෙනු ඇත.  මෙවැනි ස්වභාවික සංසිද්ධි වගේම මැසි මදුරුවන් නිසාත් දරුවාගේ සමේ ලප හෝ බිබිලි ඇති විය හැකියි. එසේ හෙයින් දරුවා සිටින කාමරයට ආහාර ගෙනයාම, දූවිලි මඟින් හෝ අපවිත්‍ර වීම සිදු නොවීමට වගබලා ගත යුතුය. හොඳින් වාතාශ්‍රය, හිරු එළිය ලැබෙන කාමරයක දරුවා තබාගැනීම දරුවාගේ ඉන්‍ද්‍රීය සංවර්ධනයටද හිතකර වෙනවා මෙන්ම කූඹි, මැස්සන් ආදී කෘමි සතුන් එම කාමරයට පැමිණීම වළක්වා ගැනීමටත් පුළුවන්.  කූඹින් දෂ්ඨ කිරීමෙන් මෙන්ම මදුරුවන් ද්ෂඨ කිරීමෙන් ද දරුවාගේ සිරුර තුල බිබිලි/ලප ඇති විය හැකියි. එවන් අවස්ථා අවම කිරීම කළ යුතුවා සේම ඇඳ ඇතිරිලි පිරිසිදුව තබාගැනීමටත් දාඩිය දැමූ ඇඳුම් එම කාමරය තුල තබා නොගැනීමටත් වග බලා ගත යුතු වනවා සේම මදුරුවන් සඳහා දැලක් භාවිත කිරීමත් කළ යුතුයි. එමෙන්ම දරුවාගේ ඉවත් කරන නැපි පියන සහිත භාජනයකට දැමීමත් හැකි ඉක්මණින් සෝදා පිරිසිදු කිරීමත් මඟින් කාමරයේ මෙන්ම දරුවාගේ ඇඳුම් වලද පවිත්‍රතාවය ආරක්‍ෂා වන අතර එමඟින් දරුවා වෙත ආසාදන පැතිරීම වළක්වා ගත හැකියි.  උපතින් පසු ඇති විය හැකි මෙවන් වූ බිබිලි වර්ග මෙන්ම සමහර දරුවන් තුල වෙනස් වූ උපන් ලප ද පැවතිය හැකියි. ඒවා ස්වභාවික වන අතරම තදින් පිහිටන ඇතැම් ලප වැඩෙන විට එයට සම මත පැතිරී විසිරී යන අවස්ථාද දක්නට ලැබෙනවා.  මෙසේ දරුවන්ගේ සම තුල ඇති වන බිබිලි ඇති වීමට සාමාන්‍ය හා ස්වභාවික සංසිද්ධි හේතු කොටගෙන මෙන්ම බාහිර පරිසරය තුලින් ඇති කරන යම් යම් තත්ත්වයන්ද බලපාන බව පැහැදිලියි. එසේ හෙයින් එවැනි අභියෝග සඳහා හොඳින් මුහුණදීමට අවශ්‍ය වූ දැනුමින් සන්නද්ධ වීම තුලින් මෙම අභියෝග පහසුවෙන් ජයගත හැකි වේ. 
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බුලත්සිංහල    

දරුවන්ට නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැළ‍ෙඳන්නේ ඇයි?

සෙම්ප්‍රතිශ්‍යාව කියන්නේ අප නිතරම අත්දකින රෝගීතාවයක්. එය වැඩිහිටියන් අතර වගේම දරුවන් අතරත් බහුලව දක්නට ලැබෙන තත්ත්වයක්. නමුත් වැඩිහිටියන්ට වඩා හතර පස් ගුණයටත් වැඩි වාර ගණනකදී දරුවන් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු විය හැකියි. මෙසේ නිතර අත්දකින, නිතර වැළඳෙන මේ සෙම්ප්‍රතිශ්‍යාව වෛරස් මඟින් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති කරන රෝගී තත්ත්වයක්. මෙය බිඳිති ආසාදනයක්. එනම් රෝගියාගේ මුඛයෙන් හෝ නාසයෙන් පිටවන බිඳිති නිරෝගී පුද්ගලයෙකු වෙතට යාමෙන් බෝවෙන රෝග තත්ත්වයක්. මෙසේ කැස්ස, කිවිසුම් යාම වැනි අවස්ථා වලදී පිටවන කෙළ/සෙම බිඳිති පරිසරයට මුසු වන අතරම පරිසරයේ ගැටෙන කෙනෙකුගේ අත් වල තැවරී මුහුණ, මුඛය හෝ ඇස් මත ගැටීමෙන් මේ රෝගී තත්ත්වය ඇති වනවා. කුඩා දරුවන් තුල මෙය බහුලව දක්නට ලැබෙන්නේ එම දරුවන් සෑම තැනකම අතපත ගෑම වගේම ඒ අත් වලින් මුහුණ ඇල්ලීමත් සිදු කරන නිසයි.  සෙම්ප්‍රතිශ්‍යාවේ මූලික රෝග ලක්‍ෂණ 
  • කැස්ස
  • උගුරේ වේදනාව
  • කිවිසුම් යාම
  • හොටු දියර ගැලීම
  • උණ 
සාමාන්‍යයෙන් වෛරස් මඟින් ඇති කරන රෝග බොහෝමයක් ශරීරය තුල ඇති වී එය විසින්ම සාදාගන්නා ප්‍රතිශක්තිය මඟින් දින 7 – 10 අතර දී ඉබේම සුව වුවත් ඇති වන රෝග ලක්‍ෂණවලට අනුව තත්ත්වය පිළිබඳව අවබෝධ කරගත යුතුය. බොහෝවිට වෛරස් රෝග සඳහා ඖෂධ අනවශ්‍ය වුවද ඇති වන අපහසුතා සැලකිල්ලට ගෙන ප්‍රතිශක්තිය වර්ධනයට අවශ්‍ය ලෙස ආහාර හෝ සුළු ඖෂධ ලබාදීම වැදගත් වේ. එසේම මෙවන් තත්ත්ව ඇති වීමට පරිසරයේ පවත්නා සීතල දේශගුණය, තෙත් දේශගුණය, අධික උෂ්ණත්වය, සමහර ආහාර වර්ග මෙන්ම පරිසරයේ නොයෙකුත් දූවිලි අංශු අසාත්මික වීමද හේතු විය හැකියි. මෙසේ හෙයින් මේ තත්ත්වය ඇති වීමට හේතුව වටහා ගැනීම මඟින් ආසාත්මිකතා ඇති කරවන දෙයින් දරුවන් ඈත් කිරීම මඟින්ද මෙය වළක්වා ගත හැකිය. 
  • ශීතල දේශගුණයකදී උණුසුම් ඇඳුම් භාවිතය
  • ආසාත්මික ආහාර වලින් වැළකීම
  • පරිසරයේ දූවිලි තත්ත්ව වලින් වැළකීමට උනන්දු වීම
  • (පරිසරයේ දූවිලි ලෙස බල්ලන්, බළලුන් වැනි සතුන්ගේ ලොම්, කුරුලු පිහාටු වර්ග, සමහර සත්ව අපද්‍රව්‍ය, මල් රේණු මෙන්ම පුයර වර්ග, ඩයි වර්ග, කොලොන් වර්ග)
  • එසේ හෙයින් මෙවන් තත්ත්ව අවබෝධ කොටගෙන ඒවායින් දරුවා ඈත් කර තබාගැනීම වැදගත්. එසේම නිවස තුල අධික ලෙස බඩු මුට්ටු ගොඩ ගසා දැමීම, පිරිසිදු කිරීමට අපහසු වීම මඟින් දූවිලි රැඳී තිබිය හැකියි. එසේ හෙයින් නිවාස තුල දිනපතා උපකරණ එහා මෙහා කරමින් දූවිලි පිසදා පිරිසිදු කිරීමට හැකිවන සේ අවම හා අත්‍යවශ්‍යම භාණ්ඩ පමණක් තබාගැනීම වැදගත්. 
එසේම ඇඳ රෙඳි, පොරෝනා, කොට්ට, මෙට්ට, මදුරු දැල් ආදිය ද දොර ජනෙල් පිරිසිදු කිරීම මඟින් දූවිලි හා ගැටීම අවම කර ගත හැකියි. එසේම නිවාස තුල වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ ජනෙල් දොරවල් විවෘතව තබාගැනීමත් වැදගත්. නිතර සෙම්ප්‍රතිශ්‍යාව ඇති දරුවන්ගේ ඇඳ රෙඳි පොරෝන් ආදිය දිනකට වරක් වත් වනසේ පිරිසිදු කරගත යුතුය. එසේම සියලුම පිළිවෙත් කිරීමේදී පෙර හා පසු දෑත් හොඳින් සබන් යොදා නිසි පරිදි සේදීමෙන් මුඛ ආවරණ භාවිතයෙන්, සෙම සොටු පිසදැමීමේදී භාවිත කරන ටිෂූ නිවැරදි ලෙස බැහැර කිරීමත්, ලේන්සු දිනපතා පිරිසිදු කිරීමත් වැදගත්. එසේම රෝගියෙකු සිටින විට අන් අය සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමත් රෝගියාටද අනිවාරයයෙන් මුව ආවරණ පැළඳීමට උපදෙස් ලබාදීමත් වැදගත්. එසේම සෙනග ගැවසෙන ස්ථාන වලදී මෙවන් රෝග බෝවීම සීඝ්‍ර වන හෙයින් නිරෝගී අය මෙන්ම රෝගී අයද එවන් ස්ථාන වල නොගැවසීම ඉතා වැදගත්. එපමණක් ද නොව පාසැල් හා පෙර පාසල් තුලදී රෝගී වූ දරුවන් සිටිනවා නම් සුව වන තුරු ගෙදර රඳවා විවේකය ලබාදීමට කටයුතු කළ යුතුමයි.  රෝගී වූවන් වෙන් කර තබාගැනීමෙන් හා උපකරණ පොදුවේ භාවිත නොකිරීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව වළක්වා ගැනීමට ඇති හැකියාව වැඩි කරයි. රෝගී වූවන් සඳහා සරල හා පහසු ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීමද වැදගත්. එහිදී මූලික ලක්‍ෂණ පහළ වන අවස්ථාවේදීම, 
  • මඳ උණුසුම් ලුණු වතුරින් උගුර සේදීම (යම්තම් ලුණු සානද්‍රණයක් සකසා ගන්න) 
  • උණුසුම් රෙදි කැබැල්ලකින් නලල, නහය අවට තැවීම
  • හුමාලය ඇල්ලීම (උණුසුම මඟින් කෝටරකවල සිරවී ඇති සෙම ඉවත් කිරීම පහසු වේ) 
  • නලල අවට සම්භාහනය කිරීම
  • පිරිසිදු බව මෙන්ම සනීපාරක්‍ෂක ක්‍රමවේද පාවිච්චිය
  • පෝෂණීය ආහාර වේල් උණුසුම් ලෙසින් ලබාදීම
  • උණුසුම් පාන වර්ග ලබාදීම. 
  • විටමින් අඩංගු ආහාර වර්ග ලබාදීම (විශේෂයෙන් විටමින් C හා විටමින් A අඩංගු ඇඹුල් රස හා කහ පැහැති එළවළු හා පළතුරු, පලා වර්ග)
  • ස්වභාවිකව ආහාරයෙන් ලබාගන්නා විටමින්, රෝග සඳහා ප්‍රතිශක්තිය ඇති කිරීමට වැදගත් වේ. 
  • ඉඟුරු කොත්තමල්ලි පානය (අත් බෙහෙත් ලෙස කොත්තමල්ලි බැඳ, ඉඟුරු සමඟ තම්බා ගන්න)
  • හැකිතාක් විවේකය ලබාදෙන්න. 
  • උණුසුම් බව රැකෙන පරිසරයක/මව් ඇකය, සුදුසු පරිසරයකි. 
  • වේදනා නාශක ඖෂධ නියමිත මාත්‍රාව ලබාදෙන්න (ඇඟපත වේදනාව සහ උණ සඳහා) 
එමෙන්ම නිතර සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන දරුවන් මේ හේතුවෙන් ඇදුම තත්ත්වයටද පත්වීමට ඉඩක් ඇති හෙයින් සැලකිලිමත් වීමත් ඔවුන්ගේ පරිසරය දූවිලි වලින් තොරව සකස් කරදීමත් වැදගත් වේ. විශේෂයෙන් කොට්ට මෙට්ට ආශ්‍රිතව දූවිලි අවස්ථාවන් අවම කිරීම. පුළුන් කොට්ට භාවිතා කරන විට ආවරණ (කොට්ට උර) දෙකක් වත් දමා පාවිච්චියට ගැනීමත් ඒවා තද අව්වට නිරාවරණය කොට දූවිලිහරණය කර දැමීමත් වැදගත් මෙන්ම පුරුද්දකට යා නොදන ලෙස මූලික ප්‍රතිකාර හා සෞඛ්‍ය පිළිවෙත් මඟින් සෑදෙන වාර ගණන අඩුකර සමනය කර ගැනීම කළ යුතුයි.  මේ අයුරින් ශරීරය තුල ප්‍රතිශක්තිය වඩවන ක්‍රමවේද, සෞඛ්‍ය පිළිවෙත් හා සමනක ප්‍රතිකර්ම මඟින් නිතර වැළඳීම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමම මින් ඇති වන කායික හා මානසික අපහසුතා වළක්වා ගැනීමටත් හේතුවක් වන අතරම නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කුඩා කල සිට පුරුදු පුහුණු කිරීමට මඟ විවර කිරීම තුලින් සමාජීය වශයෙන්ද මෙවන් වූ බෝ වන රෝග පාලනයට හේතුවක් වේ.   
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බුලත්සිංහල    

මුත්‍රා ආසාදන දරුවන්ටත් ඇති වෙනවා ද?

පුංචි දරුවන්ගේ වෙනස් වීම් හඩා වැටීම් සමහර අවස්ථාවලදී රෝග තත්ත්ව හේතුවෙන් විය හැකි බව හැම අම්මා කෙනෙක්ම දන්නා කරුණකි. ඇතැම් විට දරුවාට තමාට ඇති විය හැකි අපහසුතාවය කුමක්ද කියාත් කීමට නොහැකි විය හැකිය. මව්පියන් දරුවාගේ අපහසුතා හඳුනා වෛද්‍ය උපදෙස් පැතීමට පෙළඹෙන්නේ එවැනි අවස්ථාවලදීය. දරුවන් අතර සුලබව ඇති වන රෝග තත්ත්වයක් වන මුත්‍රා  ආසාධනයකදී වුවද දරුවාට නිවැරදිව තම අපහසුතාවය පැහැදිලි කළ නොහැකි විය හැකියි. ඒ නිසාම මේ ලිපිය තුළින් දරුවන්ට ඇති විය හැකි මුත්‍රා ආසාදන පිළිබඳව අපි දැනුවත් වෙමු. මුත්‍රා ආසාදන ගත් කල එය,
  • ඉහළ මුත්‍රා ආසාධන (වකුගඩු වල හෝ මුත්‍රා වාහිනී වල වේ)
  • පහළ මුත්‍රා ආසාධන (මුත්‍රාශයේ ඇති වේ) ලෙස කොටස් දෙකක් දැක්විය හැකිය. 
දරුවන්ට මුත්‍රා ආසාදන ඇති වීමට බල පෑ හැකි හේතූ බොහෝ විට මුත්‍රා ආසාධනවලට හේතූ වන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ සිටින බැක්ටීරියාවන් මුත්‍රා මාර්ගයට ඇතුළු වීමයි. මෙය ආකාර කිහිපයකින් සිදු වේ. 
  • මල පිටවූ පසු ජලය ප්‍රමාණවත් ලෙස යොදා පිරිසිදු නොකිරීම හෝ තෙත් කඩදාසි වලින් මල පිස දැමීමේදී මුත්‍රා මාර්ගයේ තැවරීම. 
  • ළදරුවන්ගේ නැපි මාරු කිරීමේදී මල පහ කොටස් මුත්‍රා මාර්ගය පෙදෙස් තැවරීම. 
  • මුත්‍රාශය හොඳින් හිස් නොවීම (මුත්‍රාශය හිස් කිරීමේ ගැටළු ඇති අවස්ථාවලදී ) 
මුත්‍රාශය හොඳින් හිස් නොවීමට බලපෑ හැකි හේතු 
  • මළ බද්ධය – මළ ද්‍රව්‍ය පිරීම හේතුවෙන් මහන්තක ඉදිමී එමඟින් මුත්‍රාශයට පීඩනයක් යෙදෙන නිසා මුත්‍රාශය සාමාන්‍ය ලෙස හිස් නොවේ. 
  • මුත්‍රා පිටකර හැරීම හොඳින් සිදු නොවීම (Dysfunctional Elimination Syndrome) –. සමහර දරුවන් මුත්‍රා පිට කිරීම අතර මැද නතර කරයි. 
  • මුත්‍රාශයේ ඇති මුත්‍රා වාහිනී හරහා වකුගඩු වලට ගමන් කිරීම (Vesicoureteral Reflux) – මෙය සුලබ තත්ත්වයක් නොවේ. යි. 
මුත්‍රා ආසාදනයකදී දරුවෙකු පෙන්නුම් කරන ලක්‍ෂණ 
  • අධික උණ
  • ශරීරයේ අප්‍රාණික බව
  • නොරිස්සුම් ස්වභාවය
  • ආහාර අරුචිය 
  • බර වැඩි වීම නිසි ලෙස සිදු නොවීම
  • කුඩා ළදරුවන්ගේ සම හා ඇස් කහ පැහැවීම
මීට අමතරව මුත්‍රා ආසාධන වලදී ඇති වන විශේෂ ලක්‍ෂණ ලෙස,
  • මුත්‍රා පිට කිරීමේදී වේදනාව/දැවිල්ල
  • නිතර නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම
  • මුත්‍රා පිට කිරීම නැවතීම
  • සාමාන්‍ය වැසිකිලි පුරුදු වෙනස් වීම
  • පිට කොන්දේ වේදනාව
  • මුත්‍රා වල ගන්ධයක් දැනීම
  • මුත්‍රා සමඟ රුධිරය පිටවීම
  • මුත්‍රා අපහැදිලි ස්වභාවයක් ගැනීම
දරුවාට මුත්‍රා ආසාදනයක් වැලදී ඇති බව සක හැර දැනගන්නේ කෙසේද?
  • මුත්‍රා සම්පූර්ණ වාර්තාව (Urine Full Report)
  • මුත්‍රා වගා කිරීම හා සංවේදීතා පර්යේෂණය (Urine Culture & ABST)
මුත්‍රා ආසාදන තත්ත්වයකදී ප්‍රතිකාර ලෙස ප්‍රතිජෛවක ඖෂධ ලබා දීම සිදු කෙරේ.  දරුවන් මෙන්ම වැඩිහිටයන් අතරත් මුත්‍රා ආසාදන වළක්වා ගැනීම සඳහා,
  • පිරිසිදු ජලය නිසි පරිදි පානයට දරුවන් හුරු කොට සැමවිටම දරුවන් හොඳින් සජලනය කල යුතුය.
  • ක්‍රමානුකූලව මුත්‍රා බහිස්‍රාවය කරවීම වැදගත් වේ. (ක්‍රමානුකූලව මුත්‍රා පහ නොකිරීමෙන් මුත්‍රාශය තුල මුත්‍රා රැඳීමෙන් බැක්ටීරියා වර්ධනය පහසු කරවයි. ඉන් මුත්‍රා ආසාධන ඇති වේ) 
  • බැක්ටීරියා වර්ධනය වැඩි කරවීමට හේතු විය හැකි නිසා කෘත්‍රිම යට ඇඳුම් (නයිලෝන් වැනි) භාවිත කිරීමෙන් වැළකී  බුරුල් පහසු කපු යට ඇඳුම් භාවිතය සුදුසු වේ. 
  • සුවඳ සහිත සබන් භාවිතයෙන් වැළකීම. 
  • මළ බද්ධය ඇති වීම වැළැක්වීම. 
මුත්‍රා ආසාධන ඇති කරන ක්‍ෂුද්‍ර ජීවීන් සාමාන්‍යයෙන් මුත්‍රාවල කිසිදු ක්‍ෂුද්‍ර ජීවියෙකු නොසිටී. සාමාන්‍යයෙන් මුත්‍රා ආසාධන ඇති වන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් මුත්‍රා මාර්ගය හරහා ඇතුළු වී ඉන්පසු එහි හොඳින් වර්ධනය වීම නිසයි. Escherichia Coli (E-Colin) බැක්ටීරියාව (බොහෝ විට දරුවන්ගේ මුත්‍රා ආසාදනවලදී දැකිය හැක්කේ මෙම බැක්ටීරියාවයි) මඟින් මෙම ආසාධන ඇති කරන අතර සාමාන්‍යයෙන් මොවුන් ආහාර ජීර්ණ පද්ධතියේ ජීවත් වේ. මුත්‍රා ආසාධන ඇති කරවන ජීවීන් ලෙස  
  • Escherichia Coli (E-Colin) 
  • Klebsiella
  • Proteus
  • Enterobacter
  • Citrobacter
  • Staphylococcus Saprophyticus
  • Enterococcus දැක්විය හැකි අතරම ඉහත ජීවීන් දරුවාගේ ආහාර මාර්ගය, ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව හෝ සමේ ජීවත් වේ. 
මුත්‍රා ආසාධනයකදී කුඩා දරුවෙකු රෝහල් ගත විය යුතු වන අවස්ථා මොනවාද?
  • අධික උණ 
  • කොන්දේ වේදනාව 
  • දරුවා විජලනයට ලක්වීම
  • මුඛ ප්‍රතිජෛවක ඖෂධ වලින් පාලනය කළ නොහැකි වීම
 
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
වෛද්‍ය එම්. එන්. ජයවර්ධන මහත්මිය අපේක්ෂා රෝහල , මහරගම.      
                

අලුත උපන් දරුවාගේ උපත් බර අඩු වීම ගැටලුවක් ද?

දහසක් පැතුම් මැද්දේ වේදනා විඳ මොලොවට බිහි කළ දරු පැටියා රැගෙන නිවසට එන ඕනෑම මවකට ගැටලු රාශියක් ඇති විය හැකියි. ඒ අතරින් මව්කිරි දීම අම්මා මෙන්ම කිරි කැටියාටත් අලුත් අත්දැකීමක් නිසා මවත් දරුවාත් අපහසුතාවයට පත් වීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ කෙසේ වෙතත් අවසානයේ දරුවාගේ බර වැඩි වීම අත්‍යවශ්‍යම කරුණයි. දරුවාගේ බර වැඩිවීමක් දක්නට නොලැබුණහොත් මවට දැනෙන්නේ වරදාකාරී හැඟීමක් වුවත් එය මවගේ වරදක් නොවන බව ස්ථිරවම කිව හැකිය.  අලුත උපන් නිරෝගී දරුවෙකුගේ උපත් බර 3kg – 3.5kg අතර ප‍්‍රමාණයක් වන අතරම සාමාන්‍යයෙන් උපත් බර 2.5kg ට වඩා වැඩි වීම හොඳ බර ප්‍රමාණයක් ලෙස සැලකෙනවා. එසේම උපත් බර 2.5kg ට වඩා අඩු වුවහොත්  උපත් බර අඩු දරුවෙකු ලෙස සැලකෙනවා. එයට හේතු විය හැක්කේ නොමේරූ ළදරුවෙක් වීම, නියමිත දිනට පෙර ඉපදීම, මවගේ රෝග තත්ත්ව වැනි හේතු නිසා විය හැකිය. බොහෝ විට ගර්භයට සති 37 සම්පූර්ණ වීමට පෙර ඉපදුණු දරුවන් එනම් ප‍්‍රාග් පරිනත දරුවන් වගේම ගර්භාෂය තුල වැඩීම බාල වූ දරුවනුත් උපත් බර අඩු දරුවන් විය හැකියි. ළදරුවෙකුගේ උපත් බර අඩු වීමට හේතු 
  • අම්මගේ වයස 20 ට අඩු හෝ 35 ට වැඩි වීම
  • මාතෘ මන්ද පෝෂණය
  • මවගේ රෝග තත්ත්ව
  • නිවුන් දරුවන්
  • මවගේ දුම් පානය/මත්ද්‍රව්‍ය භාවිතය
  • පියා දුම්පානය හෝ දුම්පානය කරන තැන්වල ගැවසීම
  • ගර්භාෂයේ විකෘතිතා
  • භ‍්‍රෑණ විකෘතිතා 
  • මවගේ අධික සිත් තැවුල 
එවැනි යම් හේතුවක් මත දරුවෙකුගේ උපත් බර අඩු වුවත් උපතින් පසු දරුවාට ලැබෙන නිසි පෝෂණය හේතුවෙන් උපත් බරට අනුපාතිකව දරුවාගේ බර වැඩි වීම සිදු වේ.  උපතින් පසු මුල් දින කිහිපයේදී බොහොමයක් ළදරුවන්ගේ බර උපත් බරට වඩා අඩු විය හැකි වුවත් දින 14 ක පමණ කාලයක් ගතව යද්දී උපත් බර ඉක්මාවා යා හැකියි. මුල් දින වල බර අඩු වීම උපත් බරින් 10% ක් වැනි ප්‍රතිශතයක් විය හැකි අතර එය ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් පහළ බසී නම් එය සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර එවිට දරුවාගේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි ඔබට ක‍ටයුතු කිරීමට සිදු වනු ඇත.  හොඳ උපත් බරක් ඇතිව ඉපදෙන දරුවන්ගෙන් උපත් බර අඩු වීම මුල් දින වලදී අඩු වෙන්නේ ඇයි? එයට බලපාන මූලිකම හේතුව වන්නේ දරුවාට ලැබෙන තරල ප‍්‍රමාණය අඩු වීමයි. උපතින් පසු මිකෝනියම් පිට වීමත් මුත‍්‍රා පිටවීමත් සිදු වන අතර ඒ පිටවීමට සරිලන ලෙසින් සිරුරට තරල ප‍්‍රමාණයක් නොලැබේ. මුල් දිනවල මව්කිරි වලින් ලැබෙන කොලස්ට‍්‍රම් ප‍්‍රමාණවත් අවශ්‍ය සියලු පෝෂක අඩංගු පෝෂකයක් වුවත් එය ලැබෙන්නේ කුඩා වුනාට ප‍්‍රමාණයකිනි. මව‍කගේ පියයුරේ සාමාන්‍ය ලෙස කිරි නිෂ්පාදනයට දින තුනක පමණ කාලයක් ගත වේ.  දරුවා ඉපදී මුල් පැය ½ හෝ පැය ඇතුලත මව්කිරි ආරම්භ කිරීමෙන් කිරි නිෂ්පාදනයට ප‍්‍රබල උත්තේජනයක් සැපයිය හැකියි. එසේම දරුවාට කිරි ලබාදීම සඳහා මවට හුරු වීමටත් යම් කාලයක් ගත වන අතරම මවට පමණක් නොව දරුවාටද මේ අත්දැකීඹ නිසි ලෙස විඳගැනීමට දින දෙක තුනක් ගත වේ. පළමු දරුවා බිහි කළ මවකට එක්වරම මව්කිරි දීමට හුරු විය නොහැකි විය හැකි නිසාම මෙවැනි කරුණු හේතුවෙන් මුල් දින කිහිපය තුළ මව්කිරි ලබාදීමේදී යම් යම් ගැටළු ඇති විය හැකියි.  ඒවගේම ප‍්‍රසූතියෙන් පසු මවගේ වේදනා, අපහසුතා වගේම ඇය ලැබූ අත්දැකීමත් හේතුවෙන් ඇති වූ තත්ත්වයන් ද මව්කිරි නිෂ්පාදනයට බලපෑමක් ඇති කළ හැකි අතරම මවට මෙන්ම ළදරුවාටත් මෙලොවට බිහිවී පෙකෙණි වැල හරහා මව සමග කිබූ සම්බන්ධය නතර වීමත් සමගම අවශ්‍ය පෝෂණය ලබා ගැනීම වෙනුවෙන් වෙහෙස වීමට සිදු වීම නිසා යම් යම් ගැටලු ඇති විය හැකියි.  මෙසේ මුල් දින කිහිපයේ ඇති විය හැකි මේ සියලු කරුණු ගත් කළ ඒවා හේතුවෙන් ළදරුවාගේ උපත් බරින් 10% ක බර අඩු වීමක් ඇති වීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. නමුත් මවගේ කැපවීම, දැනුවත් වීම හේතුවෙන් ළදරුවාට මව්කිරි ලබාදීමේ ක‍්‍රමවේදය සාර්ථක වීම මත වගේම දරුවා ඊට එකතුවන අන්දම අනුව දින 14 වන විට දරුවාගේ උපත් බරට වඩා වැඩි වීමක් දැකිය හැකියි. මෙම සිද්ධිය පරිසරය, ලබන අත්දැකීම් මත සිදුවන සංසිද්ධියක් හෙයින් එය ස්වභාවික තත්ත්වයකි. මේ නිසා මුල් දින 10 තුලදී 10% කින් බර අඩු වීම පිළිබඳව මව්වරු කනස්සල්ලට හෝ බියට පත් විය යුතු නොවේ.  එහෙත් මෙසේ අඩු වන උපත් බර අඩුවීමේ ප්‍රතිශතය 10% ඉක්මවා යන්නේ නම් එය පැහැදිලිවම යම් ගැටළුවක් වන අතරම එය හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. එහිදී දරුවාගේ පාර්ශවයට මෙන්ම මවගේ පාර්ශවයටද යම් ගැටලු තිබිය හැකිය. දරුවගේ
  • කිරි උරා බීම‍
  • කිරි උරා බීමට දරුවා ගත කරන කාලය
  • දරුවාට කිරි දීමට මව ස්ථාපිත කර ගන්නා අන්දම
  • පියයුර හා මුඛය සම්බන්ධ වීම නිවැරදිව සිදු නොවීම 
මවගේ 
  • ධෛර්ය
  • ආත්ම විශ්වාසය
  • මවට ඇති වන බිය/වේදනාව
  • කනස්සල්ල 
මීට අමතරව නොමේරූ දරුවකු නම් කිරි උරා බීමට අපහසු විය හැකියි. එසේම දරුවා තුල ඇති රෝග හැම විශේෂයෙන් හෘද රෝග, තල්ල/මුඛය ආශ‍්‍රිත විකෘතිතා මෙන්ම ආහාර මාර්ග පද්ධතිය/ජීර්ණ ක්‍රියාවලිය සම්බන්ධ ගැටළු නිසාවෙන්ද බලාපොරොත්තු වන බර වැඩි වීම අපේක්‍ෂා කල නොහැකියි.  මෙවන් විටකදී පුහුණු සෞඛ්‍ය සේවිකාවකගේ, විශේෂයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සේවය ලබාගැනීම තුලින් මවට පහසුවෙන් මෙම තත්ත්වයට මුහුණ දීමට හැකි වෙනවා මෙන්ම එය නිරාකරණය කරගැනීමටද අවස්ථාව ලැබෙනු ඇත.   මේ නිසා ඉපදී මුල් දින කීහිපය තුල උපත් බරට වඩා බර අඩු වීම විය හැකි නිසා එය අවබෝධ කරගැනීමත් ඒ අනුව අවශ්‍ය කරන දැනුමින් පරිපූර්ණ වීමත් කුසලතා වර්ධනය කර ගැනීමත් මගින් සියලු කටයුතු ජයගත හැකියි. එසේ හෙයින් උපන්දා සිට දරුවාට අවශ්‍ය පමණට කිරි සැපයීමට උනන්දු වීම මගින් දරුවාගේ වර්ධන ගැටළු අවම කරගැනීමටත් මවගේ කනස්සල්ල නැති කර ගැනීමටත් හැකි වනු නොඅනුමානයි. 
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බුලත්සිංහල    

පැප් පරීක්ෂාව සිදු කරන නිවැරදි ආකාරය ගැන ඔබ දැනුවත්ද?

කාන්තාවක තම ජීවිතයේ අවස්ථාවන් ගණනාවක් පසු කරන අතර මේ විවිධ වූ අවස්ථාවන් වලදී සුන්දර එමෙන්ම ක්‍රියාශිලීව සැහැල්ලු ජීවිතයක් විටෙක ගත කරනු ලබයි. ඒ බිළිඳියකව ඉපිද දෙමාපිය තුරුලේ ඇති දැඩි වී, සුන්දර ළමා කාලයක් සැහැල්ලුවෙන් චමත්කාර ලෙස අත්විඳිමිනි. මේ කාලය අවසානයේ යෞවනත්වයට පා තබන්නේ ශරීරය තුල සිදුවන හෝමෝන වෙනසත් සමඟිනි. මේ කාල වකවානුව තුලදී නැවතත් මේ දැරිය ඉක්මන් ශාරීරික වර්ධනයක් පෙන්වන අතරම පියයුරු විශාල වීම, උකුල පලල් වීම ආදිය මෙන්ම ලිංගික ප්‍රදේශ වල, කිහිල වල රෝම වැඩෙන්නට පටන් ගනී. මෙසේ සිදුවන්නේ ශරීරය තුල සිදුවන හෝමෝන ක්‍රියාත්මක වීම නිසයි. මේ යෞවනත්වය කෙලවර වන්නේ බොහෝ දැරියන්ගේ විවාහ දිවියත් සමඟිනි.  විවාහ දිවිය සමඟින් ආරම්භ කරන ලිංගික ජීවිතය තම වර්ගයාගේ පැවැත්ම උදෙසා කැප කිරීමට ඇයට සිදු වේ. මේ ලිංගික ජීවිතය ආරම්භ කිරීමත් සමඟම ඇයට හියුමන් පැපිලෝමා නම් වෛරසය ආසාදනය විය හැකි අතරම එය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයකි. මේ වෛරසය ගැබ්ගෙල පිළිකා ඇති කිරීමට හේතුවක් වේ. මෙසේ පැවසූ විට සෑම කාන්තාවකටම එසේ සිදුවිය හැකිද යන ගැටලුව ඔබටත් පැනනගිනු නොඅනුමානය. සෑම අයෙකුටම එම වෛරසය සම්ප්‍රේෂණය විය හැකි වුවත් එක් එක් පුද්ගලයාගේ ශරීරයේ පවතින ප්‍රතිශක්තිය අනුව ගැබ් ගෙල පිළිකාව කෙතරම් දුරට ඇතිවේද යන්න තීරණය වේ. මේ නිසා විවාහ වූ සෑම කාන්තාවක්ම/ලිංගික සංසර්ගය පටන් ගෙන ඇති සෑම කාන්තාවක්ම ලිංගිකව සක්‍රීයව වසර 5 කදී හියුමන් පැපියුලෝමා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කරගත යුතුයි.  පැප් පරීක්ෂණය සිදු කරගන්නේ කෙසේද? කොතැනින්ද? මේ පරීක්‍ෂණය කර ගැනීමට සුදුසුම තැන ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පැවැත්වෙන සුවනාරී සායනයි. එසේත් නොමැති නම් ප්‍රසව හා නාරී වේදීය වෛද්‍යවරයෙකු සිටින රෝහලක පවත්වනු ලබන නාරිවේදීය සායනයයි. ඒ වගේම පුද්ගලික රෝහල් වලදීත් මේ පරීක්‍ෂණය කරගත හැකියි. මේ පරීක්‍ෂණය පිළිබඳව ඔබට අවශ්‍ය විස්තර ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියගෙන් එහෙමත් නැත්නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකතුමා, හෙද සොයුරිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාගෙන් දැනගත හැකියි.  පැප් පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද? කුඩා උපකරණයක් ආධාරයෙන් ගැබ්ගෙල ප්‍රදේශයෙන් ලබා ගන්නා ස්‍රාව කොටස් වීදුරු කදාවක් මත හිරකර රසායනාගාරය වෙත යවා මෙම ස්‍රාවයේ පූර්ව පිළිකා සෛල හෝ පිළිකා සෛල ඇති දැයි පරීක්‍ෂා කිරීම සිදු කරන අතර මේ අවස්ථාවේදීම ගැබ්ගෙල හෝ යෝනි මාර්ගය අවට ඇති ඉන්නන් ආදිය ද නිරීක්ෂණය වුවහොත් (ඒවාද පිළිකා බවට පත්විය හැකි හෙයින්) ඒ සඳහාද අවශ්‍ය වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු කෙරේ.  මෙම පරීක්‍ෂණ ලිංගික ජීවිතය පටන් ගෙන ඇති සෑම කාන්තාවක්ම සෑම වසර 5 කට වරක් සිදු කරවා ගැනීම මඟින් පූර්ව පිලිකා ලක්‍ෂණ හඳුනා ගැනීමට හැකිවීම තුලින් එය පිළිකාවක් බවට පත්වීමට පෙර ප්‍රතිකාර ලබාදී සුව කරගැනීමට හැකි වේ. එසේම පැතිරීමට පෙර හඳුනා ප්‍රතිකාර ලබාදීම තුලින් ජීවිතය යහපත් ලෙසින් ගෙවීමට තමාගේ සම්පූර්ණ ආයු කාලයම භුක්ති විඳීමටත් හැකි වීම තුලින් ඇගේ ආදරණීයයන්ගේ ජීවිතයට ලැබෙන ආලෝකය සැමදා හිමිවනු ඇත.  මෙම පරීක්‍ෂණය යෝනි මාර්ගය තුලින් සිදු කරන්නක් හෙයින් ඔසප් පවතින විට සිදු කල නොහැකි නිසා ඔසප් වාර දෙකක් අතර කාලයතුළ සිදු කළ යුතුය.  පැප් පරීක්ෂණය සිදු කිරීමේදී අදාල කාන්තාව ඇඳක උඩුබැලි අතට වැතිරී පාද ඇද මට්ටමට නවා (මෙය ශ්‍රෝණිය ආශ්‍රිත ශල්‍යකර්ම/ සාමාන්‍ය දරු ප්‍රසූතිය සඳහා සිටින අයුරින්) සිටිය යුතුය. ඉන්පසු ස්පැකියුලම් (Speculum) නම් උපකරණය යෝනි මාර්ගය තුලට ඇතුළු කොට ගැබ් ගෙල පැහැදලිව නිරීක්ෂණය කරන අතරම සැහැල්ලු ප්ලාස්ටික් හෝ ලී වලින් සාදන ලද කතුරක් ආකාරයේ කුඩා උපකරණයක් උපයෝගී කරගෙන ගැබ් ගෙලින් ස්‍රාවය ගෙන ඒවා වීදුරු කදාවක (වීදුරු තහඩුවක) මත තබා එය ඇල්කොහොල් භාජනයක බහා වෛද්‍ය රසායනගාරය වෙත යවනු ලබයි. එම රසායනාගාරයේදී අන්වීක්‍ෂ පරීක්‍ෂණ මඟින් මෙම ගැබ්ගෙල ස්‍රාව තුල ඇති සෛල අතර ඇති අසාමාන්‍ය සෛල වේ නම් ඒවා හඳුනා ගැනීම සිදු කෙරේ. ඒ අනුව එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල
  • CIN – I සුළු පෙර පිළිකා අවධිය
  • CIN – II සාමාන්‍ය පෙර පිළිකා අවධිය
  • CIN – III තීව්‍ර පෙර පිළිකා අවධිය
  • Normal Smear/Negative for Intraepithelial lesion or malignancy ලෙස ලැබිය හැකිය. 
ගැබ් ගෙල පිළිකාවකදී එහි ආරම්භය ගැබ් ගෙල මූලික කරගෙන ඇති වේ. ගැබ් ගෙල ඇති ස්ථම්බික අපිච්ඡද සෛල හා යෝනි මාර්ගයේ ඇති ශල්කමය අපිච්ඡදය හමුවන ස්ථානයේ පිළිකාව ආරම්භ වීම සිදු වේ. ගැබ්ගෙල බාහිර විවරය මතුපිට ස්ථරයේ සෛල විභාජනය අසාමාන්‍ය වීම නිසා අසාමාන්‍ය සෛල ඇති වේ. මෙසේ ඇතිවෙන අසාමාන්‍ය සෛල වසර 5 – 15 අතර කාලයකදී කිසිම ප්‍රතිකාරයක් හෝ නොමැතිව නොදැනීම සාමාන්‍ය තත්ත්වයට පත්වන අතරම අසාමාන්‍ය සෛල පිළිකා බවට පත් විය හැකිය. පැප් පරීක්‍ෂණයේදී අපි හඳුනා ගන්නේ එම සාමාන්‍ය සෛල සහිත පෙර පිළිකා අවධීන්ය. මෙම අවස්ථාවන් හඳුනා ගැනීම තුලින් ප්‍රතිකාර ලබාදී එම සෛල පිළිකා බවට පත්වීම වළක්වා ගැනීමට හැකි හෙයින් රෝග ලක්‍ෂණ කිසිත් නොපෙන්වන අය මේ පරීක්‍ෂණ සඳහා නියමිත කාල පරතරය ඇතිව යොමු වීම මඟින් ගැබ් ගෙල පිළිකා ඇති වීම පහසුවෙන් වළක්වා ගත හැකි වේ.  මෙම අසාමාන්‍ය සෛල 1 අවස්ථාව – 2 අවස්ථාව – 3 අවස්ථාව – ලෙසින් පැතිරී ගොස් පිළිකාව ඇති වීමටත් සාමාන්‍ය සෛල – 1 අවස්ථාව – 2 අවස්ථාව – 3 අවස්ථාව – 1 අවස්ථාව – සාමාන්‍ය සෛල ලෙස ආපසු පත්වීමටත් හැකියාව තිබේ.  ගැබ් ගෙල පිළිකාව වෙනත් පරීක්‍ෂණ මඟින් හඳුනා ගත නොහැකි අතර එය හඳුනා ගැනීමට හැකි එකම පරීක්‍ෂණය පැප් පරීක්‍ෂණය වේ.  ගැබ් ගෙල පිළිකා සඳහා අවධානම් කවුද?
  • අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූවන්
  • බහු පුරුෂ සේවනයේ හෝ බහු ස්ත්‍රී සේවනයේ යොදවන පිරිස්
  • සක්‍රීයව හෝ අක්‍රීයව දුම්පානයේ යෙදෙන්නන්
  • ලිංගිකව බෝවන රෝග ඇති වූ අය
  • විවිධ රෝග සඳහා ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ භාවිත කරන්නන්
පැප් පරීක්‍ෂණය සඳහා වයසක් තිබේද? ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන් වයස් බේදයකින් තොරව පළමු ලිංගික එක්වීමේ සිට වසර 5 කට පසු සෑම වසර 5 කට වරක් පැප් පරීක්ෂාව කරගත යුතුයි. ලංකාවේ සෑම විවාහක කාන්තාවකම/ලිංගිකව සක්‍රීය සෑම කාන්තාවක්ම වයස අවුරුදු 35 දී හා 45 දී පැප් පරීක්‍ෂණය කර ගැනීමට උනන්දු විය යුතු අතර වෙනත් රටවල නම් මෙම වයස් සීමාව ඒ රටවල පවත්නා සමාජ සම්බන්ධතා මත වෙනස් වේ.  මීට අමතරව වයස අවුරුදු 33 පමණ වන විට කාන්තාවන් තුල හෝමෝන මට්ටම අඩුවීමට පටන් ගනී. ඔවුන්ගේ ශරීර පාලනය කරනු ලබන මෙම ස්ත්‍රී හෝමෝන අඩුවන විට ඔවුන්ගේ ශරීර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඈත් වීමට උත්සහ දරයි. එසේ හෙයින් මේ තත්ත්වය බෝ නොවන රෝග ඇතිවීමේ සම්භාවිතාව ඉහළ දමයි. එසේ හෙයින් මෙම හෝමෝන අඩුවීමට පටන් ගන්නා වයස ඉලක්ක කරගෙන පරීක්ෂණය සඳහා වයස් සීමාවක් වෙන් කරගෙන ඇත.  අප රටේ නිදහස් සෞඛ්‍ය මගින් නොමිලේ මේ සියළු පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා අති පසුබිමක එම පහසුකම් නොලබා නොසොයා සිට රෝගි වීම, රෝගි වී ජීවිතයෙන් වන්දි ගෙවීම නිසා එම තත්ත්වයන් මඟින් බැට කන්නේ අනාගත දරු පරපුර බව අප අමතක නොකළ යුතුයි.  දරුවනට සියළු සැප පහසුකම් සැලැස්වීමට සැදි පැහැදී සිටින අම්මාවරුන් පහසුවෙන් වළක්වා ගත හැකි මෙවන් රෝගී තත්ත්වයන්ගෙන් මිදීමට උත්සහ ගන්නේ නම් දරුවනට මව්වරු අහිමි කරවන, ස්වාමිපුරුෂයනට බිරින්දෑවරුන් අහිමි කරවන, මහලු දෙමාපියනට දිරිය දෙන දියණියක් අහිමි කරවන තත්ත්වයන් නැති කිරීමටත් ඔවුන්ගේ අනාගතයට සැමදා අත්වැලක් වී ජීවිත සටන ජය ගන්නට හැකි වටපිටාවක් සැකසීමටත් හැතියාව ලැබෙනු ඇත.  ඔබේ ජීවිතයේ වටිනාකම හඳුනා දැයේ දරුවනට යහපත් හෙටක් තනන්නට ඔබේ කැදැල්ල සැමදා සතුටින් සොම්නසින් තබන්නට වහ වහා සුවනාරි සායනය වෙතට ගොස් ඔබේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කරවාගන්න. ගැබ්ගෙල පිළිකා වළකාගන්නට හැකි වෙනත් කිසිදු පරීක්‍ෂණයක් නැත. ඇත්තේ පැප් පරීක්‍ෂාවම පමණි.   
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බුලත්සිංහල    

ජීවිතය නැති කරගන්න තරම් කෙනෙකුට ශක්තිය ලැබෙන්නේ කාගේ වරදින්ද?

සියදිවි නසා ගැනීමට තරම් කෙනෙකුගේ සිත ශක්තිමත් වන්නේ කෙසේද යන්න ගැටලුවක්. එය ඉතාම සංකීර්ණ මාතෘකාවක්. අපි සැමවිටම සිතන්නේ අපේ ජීවිත ස්ථිර බවයි. අපට අවශ්‍ය පරිදි එය පාලනය කළ හැකි බවයි. සතුටින් සිටිනතාක් අපිට දැනෙන මේ සිතුවිලි සමුදාය ගැටලුකාරී තත්ත්වයක් හමුවේ බොහෝ සෙයින් වෙනස් වේ. මන්ද ඒ ඇති වන ගැටලු හමුවේ ඕනෑම අයෙක් මානසික පීඩනයට ලක් විය හැකියි පමණක් නොවෙයි ජීවිතය තොර කරගැනීමට වුවත් අයෙකු‍ට සිතිය හැකියි. එය මනුෂ්‍ය ස්වභාවයයි. මෙවැනි අවස්ථාවකදී එවැනි අයෙකුගේ මුළු ජීවිත කතාවම දන්නා ලෙස සමාජය විසින් ඔහුගේ ගැටලුව තීරණය කිරීම සුදුසු නොවේ. ඒ එක් එක් පුද්ගලයාට තමාටම ආවේණික වූ ජීවිත කතාවක් ඇති නිසයි.  සියදිවි නසා ගැනීම පිළිබඳ අර්ථ කථනයක් සැපයීමේදී එය කොටස් 3ක් යටතේ සාකච්ඡා කළ හැකියි. 
  1. සියදිවි නසා ගැනීමේ සිතුවිල්ල ඇති වීම – මේ තත්ත්වය ඕනෑම විටෙක ඇති විය හැකියි. විශේෂයෙන්ම ‍යොවුන් වියේ, නව යොවුන් වියේ දරුවන්ට මේ තත්ත්වය ඇති විය හැකියි. උදාහරණයක් විදියට ඇතැම් යොවුන් දරුවන් තම ප්‍රේම සබඳතා බිඳ වැටීම හේතුවෙන් තමාට සියදිවි නසා ගැනීමට සිතෙන බව පැවසිය හැකියි. නමුත් ඒ වෙනුවෙන් ඒ දරුවා සැලසුමක් සකස් කොට නැති නම් එය මානසික රෝග තත්ත්වයක් නොවේ. 
  2. ගැටලු හමුවේ තම සිරුරට හානි කරගැනීම – තමාට යම් ගැටලුවක් පීඩනයක් ඇති වූ විට අත පය කපා ගැනීම, සූරා ගැනීම 
  3. සියදිවි නසා ගැනීම – බොහෝ විට මේ තත්ත්වයට පත් වන්නේ මානසික රෝග තත්ත්වය කිසයි.
යමෙක් කාලයක් යම් ගැටලුවකින් පීඩාවිඳිමින් සිටීම ගැන සමීපතමයන් නොදැනුවත් වන්නේ කෙසේද කිය ඔබට සිතෙනු ඇත. සාමාන්‍යයෙන් යමෙක් හිතවත් අයෙක් තමාට ගැටලුවක් ඇති බව පැවසුවහොත් අපි ඒ පිළිබඳව ඒ පුද්ගලයාට කරන උදව්වක් ලෙස එයට සවන් දීමට පෙලඹෙනවා. ඒත් එක්වරම තමාට සියදිවි නසා ගැනීමට හිතෙන බව පැවසුවොත් ඕනෑම අයෙක් කලබලයට පත් වෙනවා. එයට හේතුව ජීවත් වීම හොඳ දෙයක් ලෙස අප සිතන නිසාත් එයින් පිටස්තර යමක් පැවසූ විට එය අපි පිළිගැනීමට ඇති අකමැත්ත නිසයි. එවැනි අවස්ථාවක බොහෝ දෙනා ප්‍රතිචාර දක්වන්නේ ඔයාට පිස්සුද? ඔහොම කියන්න එපා. අම්මලා කොච්චර මහන්සි වෙලාද ඔයාව මේ තත්ත්වෙට ගෙනල්ලා කියෙන්නේ. ඔය සිත්විල්ල අයින් කරගන්න ලෙසටයි. අපි එක මොහොතකට අදාල පුද්ගලයාගේ ජීවිතය, මුහුණ දී ඇති ගැටලු සුළු කොට තැකීමට පෙළඹෙනවා. නමුත් අපිට කිසිම පුද්ගලයෙකුගේ ජීවිත කතාව පිළිබඳව නිශ්චිත තීරණය කිරීමට නොහැකියි. මෙවැනි පුද්ගලයෙකු හමුවේ පළමුවෙන්ම අප කළ යුත්තේ අදාල පුද්ගලයාට හොඳ සවන් දෙන්නෙකු වීමයි. එවිට ඒ පුද්ගලයාගේ හිතේ තෙරපෙන හැඟීම් මුදා හැරීමට අවස්ථාව හිමි වෙනවා. එයාගේ පීඩනය යම්තාක් දුරකට හෝ පහව යන අතරම මනසට යම් සුවයක් සැලසෙනවා. එසේ නොවන්නට ඒ පුද්ගලයා සිතන්නේ තම ගැටලුවලට ඇති එකම විසදුම ජීවිතයෙන් පලා යෑම බවයි. නමුත් අපි ලබාදෙන්නේ උපදේශනයක් නොවිය යුතුයි. එනම් ගැටලුවලට විසදුම් ලබාදීම නොකළ යුතුයි. ඒ අපි මේ වන විටත් දන්නේ අදාල පුද්ගලයාගේ ජීවියෙන් යම් කොටසක් නිසා එසේ අපට ඔහුගේ/ඇයගේ ගැටලුවලට විසදුම් ලබා නොදිය හැකි බවයි. මේ සියල්ලට පෙර ඔබ අතින් සිදු විය යුත්තේ සවන් දීමයි. ඉන් පසුව අපි එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙමු. මම ඔයාට මෙන්ම මේ ටිකට සහය වෙන්නම් යනුවෙන් අදාල පුද්ගලයාට සහය වීමට තමාත් සිටින බව හැඟවීම තුළින් තමා තනි වී නොමැති බව ඔහුට/ඇයට දැනෙනවා.  ඒ වගේම මෙහි අනෙක් පැත්ත පිළිබඳව කතා කළොත් අපි ඉතා පීඩාකාරී තත්ත්වයකදී ඒ තත්ත්වය ගැන කතා කිරීමට අයෙක් තෝරාගත යුත්තේ කෙසේද යන්න ඉතා වැදගත් කරුණකි. ඒ ගැටලු පැන නගින හැම අවස්ථාවකදීම වෛද්‍යවරු වෙත යන්න අපි පෙළඹෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි අපට හිතවත් යමෙක් සමග අපේ ගැටලු පැවසීමට පෙළ‍ඹිය හැකියි. අප තෝරාගන්නා එම පුද්ගලයා දිගු කාලීනව සමීපව ඇසුරු කරන තමා පිළිබඳ හොඳින් දන්නා අයෙන් නම් එය ඉතා වැදගත්.  අපි තෝරා ගන්නා පුද්ගලයා, 
  • මනෝමීය පරණත බවකින් යුත් අයෙක් විය යුතුයි
  • ගැටලුව ඇති පුද්ගලයාට වඩා කලබලයට පත් නොවිය යුතුයි
  • ඔහු/ඇය හොඳ සවන්දෙන්නෙක් විය යුතුයි
  • තම මතයේම එල්බ තම අදහස්ම ත්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන්නෙක් නොවිය යුතුයි. 
  • සමබර පුද්ගලයෙකු විය යුතුයි. 
  • පුද්ගලික රහස්‍යබාවය රුකිය යුතුයි.
  • ප්‍රායෝගිකව විසදුමක් දැකිය හැකි අයෙක් විය යුතියි.
යම් හෙයකින් යමෙකුට එවැනි පුද්ගලයෙකු‍ නොමැති නම් 1926 හරහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය අමතන්න. මානසික සුවතාව වෙනුවෙන් දවසේ පැය විසිහතරම ක්‍රියාත්මක සේවාවක් එම ආයතනය මගින් ලබාදෙනවා.  සියදිවි නසා ගැනීමට තීරණය කර ඇති අයෙකු පෙන්නුම් කරන ලක්ෂණ යම් පුද්ගලයෙක් බොහොම සතුටෙන් විනෝදයෙන් කාලය ගත කරමින් තම කාර්යයන් වල නිරත වී සිට කාලයක සිට ඒ දේවල් වෙනස් කරමින් සිනහව, කතාබහ අඩු වී යම් කැපී පෙනෙන වෙනස්කම් පෙන්වයි නම් ඇතැම් විට ඔහු/ඇය යම් ගැටලුවක් නිසා පීඩාවට පත්ව සිටිනවා විය හැකියි. ඇතැම් විට යමෙක් තම ගැටලුව යහළුවන් අතරේ බෙදා ගනිමින් එය විසඳා ගැනීමට උත්සාහ කරයි. ඇතමෙක් එය සඟවා ගනීමින් විඳවමින් සිටිනවා විය හැකියි.  තම සාමාන්‍ය පැවැත්මේ වෙනස් කම් සමග එවැනි පුද්ගලයක් තවත් ලක්ෂණ පෙන්නුම් කරයි.
  • නින්දේ ඇති වෙනස්කම් – නින්ද තදබලව අවශ්‍ය වුවත් නින්ද නොයෑම/විටින් විට නින්දට බාධා ඇති වීම
  • ආහාර රටාව – ආහාර අරුචිය වගේම ආහාර ලබා ගත්තත් සිරුරේ පෘෂ්ඨිමත් බවක් නොමැතිවීම/කෙට්ටු වීම. 
  • තරහා යෑම
මේ තත්ත්ව‍යන් සමග දිගින් දිගටම පැවතීමක් තම ගැටලුවට විසදුමක් නොමැති වීම ‍නිසා සියදිවි නසාගැනීමට පෙළඹිය හැකියි.  පළමුව සියදිවි නසා ගැනීමේ සිතුවිල්ල මුහුදේ රළ මෙන් එනවා.. යනවා.. කාලයත් සමගම ඒ සිතිවිලි වේගවත්ව නිතර නිතර ඇති වෙනවා. ගැටලුවට විස්දුමක් නොමැති නම් සියදිවි නසා ගැනීම සඳහා සැලසුම්ක් නිර්මාණය කෙරෙනවා. මෙවැති තත්ත්වයකදී හිතවතුන්ට නෑදෑයන්ට දුරකතන ඇමතුමක් ලබා දී ඔයාට මගෙන් වරදක් වුණා මට සමාවෙන්න… එසේත් නැති නම් තමා සතු යමක් වෙනත් අයෙකුට පැවරීම, තම සිතුවිලි කොළයක ලිවීම, අද වන විට මුහුණු පොත මත ලිවීම වැනි දේ දැකිය හැකියි. එවැන්නත් අපේ සමීපතමයෙකුගෙන් දුටුවහොත් සැලකිලිමත් වීඹ ඉතා වැදගත්. ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය  90 දශකයේ වගා ණය මුදල් ගෙවා ගත නොහැකිව පලිබෝධ නාශක පානය කර ජීවිත අහිමි කරගත් පිරිස ඔබට මතක ඇති. ඒ වෙනුවෙන් හානිය අවම වන පරිදි පලිබෝධ නාශක නිෂ්පාදනය කොට ඒ තත්ත්වය අවම කිරීම සිදු කෙ‍රුණා. ඒ නිසා රෝහල් වෙත ඇතුළු කොට ඔවුන් බේරා ගැනීමට අවස්ථාව උදා වුණා. එවැනි සාධක කීපයක් ඉවත් වූ පසු 90 දශකයට සාපේක්ෂව සියසදිවි නසාගැනීමේ ප්‍රතිශතය අඩු වී තිබුණත් අද වන විටත් ලොව තුළ සියදිවි නසා ගැනීමේ ලැයිස්තුවේ ඉහළින්ම ශ්‍රී ලංකාව තිබෙනවා. එය හොඳ සාධකයක් නොවෙයි. සාමාන්‍යයෙන් සියදිවි නසා ගැනීමක් හරහා ජීවිතය නතර වන අය ගත්තම වැඩිම ප්‍රතිශතය පුරුෂ පාර්ශවය වන අතර ශරීරය කපා ගැනීම සූරා ගැනීම වැනි ක්‍රියාවලින් වැඩි පිරිසක් සිටින්නේ කාන්තාවන්ය. අනිත් රටවලට සාපේක්ෂව ගත් කළ ජීවිතය කෙලවර කරගන්නා කාන්තාවන් ගත් කළ අපේ රටේ කාන්තාවන් ප්‍රතිශතය ඉහළ අයක් ගනී. ඒ සඳහා බොහෝ විට සමාජ විද්‍යාත්මක කරුණු හේතු‍ වේ. අද වන විට කාන්තාවෝ බහුතරයක් බුද්ධිමත් වන අතරම සරසවි අධ්‍යාපනය ලබන පිරිසගෙන් 60% පමණ ප්‍රතිශතයක් කාන්තාවන් වෙනවා. අපේ සමාජය කාන්තාවට සමතැන දෙන බව පැවසුවත් එකම සුදුසුකම් තියෙන ගැහැණු පිරිමින්හට ආයතනවල ලැබෙන උසස්වීම් වෙනස් වන ආකාරය අපි කොතෙකුත් දැක තිබෙනවා. පීතෘ මූලික සමාජයක කාන්තාවකට ලැබිය යුතු දේ නොලැබීම සියදිවි නසා ගැනීම් දක්වා යාමට හේතු විය හැකියි. සාමාන්‍යයෙන් අපේ රටේ කාන්තාවන්ට සාපේක්ෂව පිරිමිගේ ආවේගශීලී බව වැඩියි. කුඩා දේටත් විශාල ප්‍රතිචාර දැක්වයි. මත්පැන් භාවිත කිරීමත් සමගම තව තවත් ආවේගශීලීව සියදිවි නසා ගැනීමට වුවත් පෙළඹිය හැකියි. ඒ වගේම ඇතැම් මත්ද්‍රව්‍ය හේතුවෙන් අනිසි සැකය, කිසිවෙක් නැති තැනත් කතා කරනවා වගේ ඇසීම වැනි මනෝ සංකූලතා ඇති විය හැකියි. සමහර මත්ද්‍රව්‍ය නිසා අයෙකුගේ මුළු ජීවිතයම මත්ද්‍රව්‍ය වටා ගෙතී අනික් කිසිවක් කෙරේ අවධානයක් නොමැති විය හැකියි. එහිදී මත්දුව්‍ය ගැනීමට නොහැකි වුවහොත් විශාල ගැටලුවක් විය හැකියි.  අපේ රටේ කාන්තාවන් වැඩි කොටසක් මුහුණ දෙන තත්ත්වයක් ලෙස දිගුකාලීනව ගෘහස්ත ප්‍රචන්ඩත්වයට ලක්වීඹ දැක්විය හැකියි. දරුවන් වෙනුවෙන් ඉවසලා විශාල පීඩනයකින් කාලය ගත කළත් එය පුපුරා යන මොහොතකදී දරුවන්ද සමග මවක් ගඟට පනී වැනි පුවත් අපට අසන්නට දකින්නට ලැබනු ඇත.  අන්න ඒ නිසාම තවකෙකුගේ ජීවිතය අපිට තීරණය කළ නොහැකියි. එයට අර්ථදැක්වීම් දිය නොහැකියි. ඒ නිසාම හැකි නම් ගැටලුවකදී අයෙකුට හොඳ සවන් දෙන්නෙකු ලෙසින් පිහිට වන්න.   
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස රාගම ශික්ෂණ   රෝහල      
                

බබා බයයි…

බිය කියන්නේ අපේ එදිනෙදා මුහුණ දෙන ජීවිතයේ  සුලබ චිත්තවේගයක්. මේ තත්වය අපේ ජෛව රසායනික ක්‍රියාවලිය  සමග වගේම එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස්. වගේම ඇතැම් අවස්ථාවලදී බිය අපේ ජීවිතයේ පැවැත්මට හිතකර විදිහටත් බලපානවා. සමාජයේ නීතිය කැඩුවොත් ලැබෙන  දඩුවමට අපි බිය නිසාම සමාජ නීති රීතිවලට අනුගතව ජීවත් වෙනවා. ඒ වගේම තවත් පිරිසක් ‘‘යක්කුන්ට බිය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ‘‘ යන ස්ථාවරයේ පිහිටා ගෙන වැරදි හැසිරීම් වෙනුවෙන් යොමු වෙනවා. ඒ නිසාම අපි මේ අන්තවාදී හැසිරීමෙන් මිදෙන්න අවශ්‍ය වගේම අපේ දරුවන්ටත් ‘‘ බිය “ කියන සංකල්පය සමග ජීවිතය පවත්වා ගෙන යෑමට උදව් කිරීම ඉතාම වැදගත්.  දරුවන්ගේ බිය සාධාරණයි… පුංචි දරුවන්ට බිය ඇති වීමට අපට වගේ සාධාරණ හේතු අවශ්‍ය නැහැ. සමහර දරුවන් අලුත් මුහුණක් දුටු විට පවා බියක් දක්වනවා.දරුවාගේ මනසේ අලුත් පුද්ගලයෙක් යන චිත්ත රූපය මැවෙන නිසාම ආගන්තුක පුද්ගලයා සමග ගණුදෙණු කිරීමට බියක් දැක්වීම සාමාන්‍යයි. ඒ අතර තවත් දරුවෙක් කිසිම චකිතයක් බියක් නැතුව ඕනෑම පුද්ගලයෙක් සමග ගණුදෙණු කිරීමට උනන්දුවක් දක්වනවා. බිය නිසා දරුවා ආරක්ෂා වෙනවා… බිය නිසා  දරුවා ආරක්ෂා වෙන බව මේ වෙන විට විද්‍යාඥයින් පවා පිලිගෙන තිබෙනවා.කොටින්ම එය ස්වභාව ධර්මයෙන් දරුවාට ලැබුන තෑග්ගක්.සමහර අවස්ථාවලදී බිය නිසාම දරුවා ආරක්ෂා වෙනවා. ගින්දර නිසා පිච්චෙන බව දන්නා දරුවා එයට අත තබන්නේ නැහැ. ඔහු බුද්ධිමත්ව ඒ බව තේරුම් ගනන්වා. නමුත් ඒ වයසේම තවත් දරුවෙක් කිසිම බියක් නැතුව ගින්දරට අත දමා පිලිස්සීම් තුවාල සිදු කර ගනිති. ඒ ගින්දර දැවෙන බවට අවබෝධයක් ඔහුගේ සිතේ නැති නිසාය. සමාජයේ බිය විය යුතු තැන් කියා දෙන්න.. පසුගිය ඇසළ පෙරහැර කාලයේදී වයස අවුරුදු පිරිමි දරුවෙකු එක්තරා පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගිය සිදුවීමක් ගැන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අප දුටු බව මතක ඇති. එවැනි ආගන්තුක පුද්ගලයන් ගැන බිය සැක ඇතුව ජීවත් වීමෙන් දරුවාගේ ආරක්ෂාව සැලසෙන බව ඔවුන්ට කියා දෙන්න. ආගන්තුක හැම දෙනාම අප සිතන තරම් සුදු චරිත නොවන  නිසා සමාජය කියවන දැණුම තුළ ඉදිරිය ඇති කර ගන්නා චරිත ගැනත් දරුවා දැණුවත් කරන්න. දොස් නගන්න හෝ සමච්චල් කරන්න එපා… විටෙක ඔබේ දරුවා අනවශ්‍ය දෙයට බියක් දක්වන්න පුළුවනි. දරුවන්ගේ බය සාමාන්‍යයි. කළුවරට, ගොරවන ශබ්දයට අපිත් කුඩා කාලයේ බිය වුනත් වයස සමග ඒවා අපේ ජීවිතයෙන් ඉබේම මගහැරෙනවා.ඒ නිසා දරුවා බියක් දක්වන විට ඒ ගැන දුවම් කිරීම හෝ බැන වැදීම සුදුසු නැහැ.  බ්ලෙන්ඩරයේ ශබ්දයට බියකින් පීඩා විදින මා මිතුරියෙකුගේ දරුවෙක් මෙන්ම වැසිකිලියේ වතුර  flush  කරන ශබ්දයට බියක් දක්වන දරුවන් මා දැක ඇත. එය අපට බියක් ඇති නොවන කරුණක් වුනත් දරුවා බියකින් පසු වන්නේ නම් ඒ ගැන දොස් නගන්න එපා. මේක විකාරයක් යැයි කියමින් බය නැති කිරීමට යැයි සිතා දරුවාට ඒ ශබ්ද බලහත්කාරයෙන් අසන්නට සලස්වන්නත් එපා. කාලයත් සමග දරුවාගේ බිය සිතෙන් දුරු වීම සාමාන්‍ය තත්වයක්. හේතු ඵල සම්බන්ධතාවය අනුව කියා දෙන්න.. දරුවාට බිය විය යුතු යම් යම් සිදුවීම් ගැන හේතු ඵල සම්බන්ධතාවයක් ඇතුව කියා දෙන්න. ගඟ දිය ගැඹුරු විට  ඇති වෙන අනතුරු ගැන මනසට ඒත්තු යන අන්දමින් කියා දෙන්න. ඒ වගේම සෑම දෙයක් වෙනුවෙන්ම අනවශ්‍ය අන්දමින් බිය ඇති කරන්න එපා. සමහර දෙමව්පියන් තමන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීමට කැරපොත්තා, මකුළුවා , ඇනකොන්ඩා වැනි සතුන් ගැන කියමින් දරුවා බියට පත් කළත් එය එතරම් තාර්තික නැත. එවිට දරුවා අවදානම් සහිත ක්‍රියාවක් නොකරන්නේ එහි අවදානම ගැන සලකා ගෙන නොව සතා මුල් කර ගත් බිය නිසාය. ඒ නිසා දරුවන් සතුන්ට, විවිධ පුද්ගලයන්ට බිය ගැන්වීමට වඩා අදාල අවදානමේ තරම කියා දීම ඉතා වැදගත්. දරුවාගේ එකම ආරක්ෂකයා ඔබයි… දරුවාට සිටින එකම ආරක්ෂකයා දෙමව්පියන්. ඒ බව අමතක කරන්න එපා. නමුත් සමහර අවස්ථාවලදී ඔබ දරුවාට ‘‘පොලිස් අන්කල්ට කියනවා. ‘‘ නැත්නම් ‘‘ඩොක්ටර් අන්කල්ට කියලා කටුවෙන් ඉන්ජක්ෂන් ගහනවා ‘‘යැයි බිය වද්දන්න එපා.බත් නොකන විට ඔබ දරුවාට සේලයින් කටුව ගහනවා…එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් ගහනවා යැයි බිය වද්දන අවස්ථා ඇත. නමුත් එවැනි බිය වැද්දීම් නිසා දරුවාගේ මනස තුළ ඇති වෙන බියජනක සංකල්ප සමහර විට ඔවුන් වයසින් වැඩුනත් හිතෙන් දුරස් නොවන තරමටම ප්‍රබල විය හැකියි. ඒ නිසා දරුවා නිතරම සැකයෙන් ජීවත් වීමට පටන් ගනී. වෛද්‍යවරයා යනු බියජනක චරිතයක් ලෙසින් දෙමව්පියන්ගේ අර්ථ ගැන්වීම නිසා දරුවාගේ හිතේ ඇති වෙන බිය මානසික ලෙසින්ද අයහපත් අන්දමින් බලපෑමට ඉඩ තිබේ. දකින දේ ගැන ඇති වෙන බිය සාමාන්‍යයි… එදිනෙදා ජීවිතයේදී වැස්සට, කලුවරට, සතුන්ට හෝ ගින්දරට දරුවා බියක් දක්වන්නේ නම් එය ඉතාම සාමාන්‍යයි. කළුවර තැනකින් ඉවත් වීමට දරුවා දනී. ගොරවන විට නිවස ඇතුලට වී මව්පියන්ට තුරුල්ව සිටි. එහෙත්…දරුවා නොදකින හෝ නූපන් අනාගතයක් ගැන බියක් දක්වනවා නම් එය යම් අන්දමක ගැටළුවක් විය හැකියි. සමහර විට ඔබ නොදකින රාස්සයෙක් ගැන දරුවා කියනවා නම්…හෙට දවසක අම්මා තාත්තා නැති වුනොත් යැයි අසුබවාදී සිතුවිලි නිසා හිතේ බියක් ඇති කර ගෙන ඇත්නම් එය එතරම් සුදුසු තත්වයක් නොවේ.සමහර විට දරුවා නරඹන ලද චිත්‍රපටයක සිතින්.(Delusions)  මවා ගත් බියකරු රාස්සයෙක් විය හැකියි. එසේත් නැත්නම් දරුවා දුටු බියකරු සිදුවීමක යම් චරිතයක් විසින් දරුවාගේ හිතට වධ දෙන මානසික තත්වයක් ඇති වීමට පුලුවනි. එවැනි අවස්ථාවකදී දරුවාට මානසික ලෙසින් සුවපත් බවක් ඇති වීමට කටයුතු කිරීමත් ඉතාම වැදගත්. සෘණ සිතුවිලි ගැන කියන්න එපා… දරුවන්ගේ සිත් බොහොම මුදු මෙලෙක නිසා ඔවුන්ගේ සිත් තුළට අසුබ සිතුවිලි එසේත් නැත්නම් සෘන ආකල්ප ඇති කරන්න එපා. පාරේ සිඟමන් යදින පුද්ගලයෙක් දුටු විට ඔන්න ඉගෙන ගන්නේ නැතුව ඉන්න ඔයාටත් මේ වගේ පාරේ බස්ටෑන්ඩ් එකක තමා ඉන්න වෙන්නේ. අම්මා..තාත්තා මැරිලා ගියාම කන්න දෙන්නේ කවුද..? මේ අන්දමින්  දරුවාගේ හිතට මවන විවිධ සංකල්ප නිසා (Hallucinate) ඔහුගේ හිත පීඩාකාරි සිතුවිලිවලින් හෙම්බත් වෙනු ඇත. ඒ නිසාම දරුවා නිතරම නූපන් අනාගතය මුල් කර ගත් බියකින් පසු වීමත් බරපතල මානසික ගැටලුවක් බවට පත් විය හැක.ඒ නිසා දරුවාගේ බිය තුළ යම් අසාමාන්‍ය බවක් ඇත්නම් ඒ ගැනත් නොසලකා සිටින්න එපා. මානසික උපදේශනයෙන් දරුවා නැවත යතා තත්වයට පත් කර ගැනීමට දැන් ඒනෑ තරම් අවස්ථා තිබෙන නිසා මිථ්‍යාවන් ලුහු බැදීම වෙනුවට සුදුසුකම් ලත් මානසික උපදේශනයන් වෙත යොමු කිරීම ඉතා වැදගත්.    

සතිමත් බව වැඩීමේ ප්‍රයෝජන මොනවාද?

සතිමත් බවේ අරමුණ වන්නේ පුද්ගලයාගේ ඇතුළාන්තයේ ඇති ශාරීරික, මානසික සහ භාවාත්මක ශක්තිය අවධි කිරීමයි. ඒ අවදි කිරීම තුළින් ප්‍රතිලාභ රැසක් පුද්ගලයාට හිමි වනු ඇත. වර්තමානයේ පවතින ප්‍රීතිමත් බව අපි අපේ ශරීරයට දැනෙන්නට හැරිය යුතුයි. ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් අපේ සිත අපේ සිහිය මේ වර්තමාන මොහොතේ පවතින වාර ගණන, කාලය දීර්ඝ වන විට සතුට අපේ සිත තුළ ප්‍රීතිය පවතින කාලය ද  වැඩි වේ. සතිමත් බව මගින් සමස්ත වශයෙන්ම යහපත් බවක් පුද්ගලයාට හිමි වනු ඇත.  සතිමත් බව වැඩීම මගින් කායිකව අපිට හිමිවන ප්‍රතිලාභ පර්යේෂන මගින් සනාථ වූ ආකාරයට සතිමත් බව වැඩීම මගින් පුද්ගලයෙකුට කායිකව හිමිවන ප්‍රයෝජන පහත පරිදි වේ.
  • හෘද රෝගවලට ඇති අවදානම සහ හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩු වේ
  • අධිරුධිර පීඩනය ඇති වීම අවම කරයි
  • නින්දට ඇතිවෙන බාධා නැති කරයි
  • ආම්ලිකතාවය (ගැස්ට්‍රයිටීස්) නිසා ශරීරයට ඇතිවන වේදනාවන් පහ කරයි‍
  • දිගුකල් පවත්නා වේදනා ඇති පුද්ගලයන් (පිළිකා රෝගීන් වැනි) වෙත සහනය සලසයි
  • ඇබ්බැහි වීම් වලින් ගලවා ගනී
  • ආහාර රටා වල ඇති අක්‍රමිකතා හැඩගස්වා ගැනීමට සහය වේ
  • මානසික ආතතිය/ සාංකාව හේතුවෙන් ඇතිවන සංකූලතාවලට සහනය සලසයි 
සතිමත් බව වැඩීම මගින් සමාජමය වශයෙන් අපට හිමිවන ප්‍රතිලාභ  ශාරීරිකව හා මානසිකව ලැබෙන ප්‍රතිලාභ තනි තනි පුද්ගලයාට පමණක් හිමි වන අතර අප ලොව පුරා පතුරවන්නේ සමාජ ප්‍රතිලාභයි. සතිමත් බව තමන්ට තමන් ගැන ඉතා හොඳ අවබෝධයක් ලබා ගැනීමට සහය වේ. උදාහරණ ලෙස පංචේන්ද්‍රියන් තුළින් අපිට දැනෙන ආකාරය, යමක් දැනුනේ කොහොමද, ඒ සිතුවිල්ල තමා යටපත් කරගත්තේ කොහොමද කියන දේ අපිට අවබෝධ වෙන අතරම ඒ හරහා තමාට තමා හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේ දේ පුරුදු පුහුණු වීමේදී තමන් ගැන දැනගන්නා අතරම එය අනික් පුද්ගලයා පිළිබඳව දැනීමටත් ප්‍රයෝජනවත් වනු ඇත. එවිිට තමා තමා දෙස බලන අයුරින්ම අනෙක් පුද්ගලයා දෙස බලන්නටත් පුරුදු පුහුණු වනු ඇත.  ඔබ මට දැනෙනවා, මටත් මාව දැනෙනවා. එහෙමනම් වචනයක් පාවිච්චි කිරීමේදී පවා සැලකිලිමත් වනු ඇත. අපි මේ සමාජය තුළ කටයුතු කරන විට ගනුදෙනු කරන විට හොඳ මගපෙන්වීමක් සතිමත් බව තුළින් හිමි වෙනවා. සතිමත් බව පිළිබඳව අපි සිදු කරන ප්‍රායෝගික අභ්‍යාස තුළින් එක අරමුණක සිත රඳවා ගැනීමට පුරුදු පුහුණු විය හැකියි. සතිමත් බව ඉගෙනීමේ යෙදෙන දරුවන්ට අවධානය රඳවා ගැනීමට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු ඇත. දරුවෙක් විභාගයකට මුහුණ දෙනවා නම් ඔහුගේ/ඇයගේ සිත කැළඹිලා නම්  සිත එක තැනකට ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත.  සතිමත් බව ජීවිතයට ළං කරගත හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම්  මේ සඳහා වන සරල ක්‍රියාකාරකම් කිහිපයක් පහතින් දක්වා ඇත. Mind full Jar මෙය කුඩා බෝතලයක් වන අතරම එයට දිලිසෙන කුඩු වර්ගයක් දමා ඇත. මෙය අපෙ සිත එගඟ කර ගැනීමට සිදුකරන සරලම ක්‍රියාකරකමකි. මේ බෝතලය හොඳින් සොලවන්න. එවිට එය ඔබේ සිත මෙන් කැලඹී නැවත සන්සුන් වනු ඇත. මෙය ඉතා සරල ක්‍රියාරකමක් වුවත් මෙහි ඇති ප්‍රයෝජන ඉතා වැදගත් වනු ඇත. සෙලවීමෙන් කැළඹුණු මේ දිලිසෙන කොටස් දෙස බලා සිටීමෙන් වර්තමාන මොහොතේ තත්ත්පර ගණනකට හෝ සිත පවත්වා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. එය තප්පර ගානක්/ විනාඩි ගානක් දක්වා වැඩි විය හැකියි. මෙය ඉකා සරල ක්‍රියාකාරකමක් වුවත් මෙමගින් තත්පර ගානකට හෝ සිත එක් තැනක රඳවා ගැනීමට මූලික පුහුණුවක් ලබා දෙනවා. එය ප්‍රීතිමත් ජීවිතයකට බොහෝ‍ සෙයින් වැදගත් වනු ඇත. ඔබේ හිත යම් කැළඹීමකට පත් වූ අවස්ථාවක එය ඔබට පාලනය කර ගත නොහැකි අවස්ථාවක එසේත් නොමැති නම් විනාශකාරී හැඟීමක් ඇති වූ විට මේ දෙස බලා සිටීමෙන් විනාශකාරී හැඟීම් ඔබේ මනසෙන් ඉවත් වන තුරුම එසේ ඉවත් වී ඔබට මානසිකව සුවයක් දැානන තුරුම නැවත නැවත එය සිදු කිරීමට ඔබට හැකියි‍.  සතිමත්ව සවන්දීම මෙය ඉතාම සරලව ඔබ ඉන්න ඕනම තැනක ප්‍රායෝගිකව සිදු කළ හැකි ක්‍රියාකාරකමකි. ඔබ පහසුවෙන් හිඳ ගනිමින් දෑස් පියා ඔබේ වටපිටාවට අවධානය යොමු කරන්න‍. ඔබ ඉන්නේ එළිමහනක නම් සුළඟට ගස් සෙලවෙන හඬ, යමක් වැටෙන හඬ, යන එන වාහන  ශබ්ද වෙත අවධානය යොමු කරන්න. ඔබ මේ ශබ්ද පෙර අසා තිබුණත් සිතා මතා අවධානය යොමු කොට අසා නොමැති විය හැකියි. මෙවැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී වර්තමාන මොහොතේ මේ ශබ්දවලට ඔබ සවන් දිය යුත්තේ විනිශ්චයකින් තොරවයි. උදාහරණයක් ලෙස ඒ ඇහුණේ කාගේ වාහනයේ හඬද වැනි ලෙස විනිශ්චය කිරීම සුදුසු නැත. එවිට ඒ ඔස්සේ ඔබේ සිත දිගින් දිගටම ගමන් කරන අතරම වර්තමාන මොහොතේ සිත පවත්වා ගැනීමට ඔබට අපහසු වනු ඇත. වර්තමාන මොහොතෙන් ඔබේ සිත ගිලිහෙන වාරයක් ගානේ ඔබ නැවත පැමිණ ක්‍රියාකාරකම ආරම්භ කරන්න. විනාඩි පහකින් පමණ ආරම්භ කොට ක්‍රමක්‍රමයෙන් දිනකට වරක් විනාඩි දහයක/පහලොවක සිට විනාඩි තිහක් දක්වා කාලය වැඩි කිරීමට ඔබට හැකියි. මේ ක්‍රියාකාරකම වෙනුවෙන් විශේෂ සූදානමක් අවශ්‍ය නොව අතර කෑම පිසීමේදී, ස්නානය කිරීමේදී වුවද සිදු කළ හැකිය. සතිමත්ව ආහාර ගැනීම යමක් වටහා ගැනීමට අපේ පංචේන්ද්‍රියන් උදව් වේ. අපි කරන ඕනම දෙයකට පංචෙන්ද්‍රිය එක්තැන් කළොත් එය අපිට හොඳින් දැනෙනවා. අනෙක් අවස්ථාවලදී පංචේන්ද්‍රිය ගත් විට රස දැනීම එකතු කළ නොහැකි වුවත් ආහාර ගැනීමේදී එයද එක් කළ හැකි වීම නිසා එය සතිය වැඩීමට ඉතා හොඳ අවස්ථාවක් ලෙස දැක්විය හැකියි. උදාහරණයක් ලෙස ටොෆියක් ගත්තොත් එහිදී පංච ඉන්ද්‍රිය භාවිත කරන්නේ කෙසේද ?ටොෆිය ඔතා ඇති කොළය දෙස බැලූ විට එහි සඳහන් දේ අපිට පෙනේ. අපේ ඇස ක්‍රියාත්මකයි. එය පොඩි කළ විට එහි හඬ ඇසේ. අපේ කන ක්‍රියාත්මකයි. ටොෆිය ස්පර්ශ කිරීමේදී එහි සුමුදු බව, හැඩය අපට දැනෙනවා. එහි සුවඳ බැලීම නිසා රැචිය ඇති වෙනවා. මේ ක්‍රියාකාරකමේදී පංච ඉන්ද්‍රියන් භාවිත වන බව පැහැදිලි වනු ඇත. මොළයට පණිවිඩයක් දෙන කොට මේ පංචේන්ද්‍රියන් සියල්ලම හරියට අරගෙන මොළයට පණිවිඩයක් දුන්නම තමයි මේකේ රසය කියන දේ හරියටම අපි ගන්නෙ.  සාමාන්‍යයෙන් වැඩිපුර ආහාර ගැනීමේ පුරුද්ද (Over Eating Habits) පාලනය සඳහා යොදා ගැනෙන්නේත් මේ ක්‍රමයයි. ආහාර වැඩිපුර ලබාගන්න පුද්ගලයන් බොහෝ විට ආහාර ගන්නේ එක්කෝ රූපවාහිනිය නරඹමින්. නැතිනම් වෙන කල්පනාවක. ඒ නිසා ඔවුන් දන්නේ නැහැ ඔවුන් කොයිතරම් ප්‍රමාණයක් ආහාර ගත්තාද යන බව. ‍ඇතැම් විට තමා ආහාරඑයට ගත්තේ මොනවාද කියාත් නොදන්නවා විය හැකියි. නමුත් ඉහත ක්‍රමය අනුගමනය කොට ආහාර වේල සඳහා සකසා ඇති දේ බලා ආහාර බෙදාගෙන,  සුවඳ විඳ හොඳින් අනා ටිකෙන් ටික රස විඳින්න. එවිට අපේ මොළයට පණිවිඩය ලැබෙනවා කුස පිරුණු බවට,  එය මානසික කාරණයක්. පිඟන් දෙකක් ආහාරයට ගෙන ඔබේ කුස නොපිරුණත් මේ ක්‍රමයට ආහාර ගැනීමේදී ඉතා ඉක්මනින් පිරෙනවා. එය සිදුවන්නේ ඔබේ මොළයට නිවැරදිව මෙන්ම පැහැදිලිව පණිවිඩය ගමන් කළ නිසයි. අන්න ඒ නිසාම මොළය සමග සිදුකරන ගනුදෙනුව ඉතා පැහැදිලිව සිදුකළ යුතුයි. ඒ සඳහා අපිට පංච ඉන්ද්‍රියයන් බොහෝ සෙයින් වැදගත් වේ.  
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
රේණුකා තෙන්නකෝන් මහත්මිය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය        
                

දරුවන්ගේ ශාරිරික සහ මානසික ගැටළු

දරුවන් ගැන කථා  කිරීමේදී අප විසින් මතක තබා ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. එනම් දරුවා කියන්නේ  කුඩා කරන ලද වැඩිහිටියෙක් නම් නොවෙයි. ඒ වගේම යුනෙස්කෝ නිර්වචනයට අනුව දරුවා කියන්නේ වයස අවුරුදු 18 ට අඩු සාමාජිකයෙක් බව ඇත්ත. ඔවුන් මව්පියන්ගේ ආහාර මගින් පෝෂණය වෙන සමාජයේ වගකීමක් නොලද පිරිසක් වුනත් මනෝවිද්‍යාඥයන්ගේ පිලිගැනීමට අනුව ළමා වයස සහ තරුණ වයසට පිවිසෙන කාලය සැබැවින්ම කුනාටු සමයක්. ඉතින් මේ කුනාටු කාලයේදී දරුවන් නිසි ලෙසින් රැක බලා නොගතහොත් අනාගතයේදී ඔවුන් මුහුණ දෙන ශාරිරික සහ මානසික අර්බුදයන්හි වැඩි බරක් වැඩිහිටියන් විසින්ද බාර ගැනීමට සිදු වෙනවා. දරුවන් මුහුණ දෙන ශාරිරික සෞඛ්‍ය ගැටලු… අද පවතින තරඟකාරී අධ්‍යාපනය නිසා දරුවන්ට අතිරේක පංති වෙනුවෙන් සහභාගී වීම අනිවාර්යෙන්ම විය යුත්තක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම ඔවුන් සොයන්නේ හොඳම පංතිය. හොඳම පංතිය තිබෙන්නේ ආසන්න නගරයේ. ඒ වෙනුවෙන් කිලෝමීටර් ගණනාවක දුරක් ගෙවාගෙන යන්නත් සිදු වෙනවා. එහෙම නැත්නම් නේවාසිකව ඉගෙන ගැනීම වැනි විකල්පයක් සොයා ගැනීමට සිදු වෙනවා. ඉතින් මේ වගේ දුරක් ගෙවා ගෙන යන දරුවා පංතියට යෑමට පාන්දරින් පිටත් වෙන විට අම්මාට ඔවුන් වෙනුවෙන් හොඳ පෝෂ්‍යදායී ආහාරයක් සකස් කරන්න අවස්ථාවක් නැති බව කියනවා. නමුත් එය එතරම් සාධාරණ නැහැ. දරුවා වෙනුවෙන් කැප වෙන මවක් නම් පෙරදා රාත්‍රියේ වුනත් පහසුවෙන් සකස් කර ගත හැකි එළවළුවක් , පලා මැල්ලුමක් පසුදාට සකස් කිරීමට පහසු වෙන සේ සූදානම් කරන්න පුළුවන්. අතීතයේ ශිතකරණ නොතිබුන යුගයක වුනත් අම්මා කියන චරිතය රාත්‍රියේ පරිප්පු ව්‍යංජනයක් සකස් කරලා එය ලිප අසල තබා පසුවදාට පොල් සම්බෝලයක් සහ කරවල බැදුමක් සමග දරුවාගේ බත් මුල වැරැද්දුවේ නැහැ.අදටත් මේ විදිහට පහසු ක්‍රම ගලපා ගන්න පුළුවනි. උදේ ආහාරය වැදගත්… සාමාන්‍යයෙන් අපි දන්නවා උදේ ආහාරය රජෙක් වගේ ගත යුතුයි. නමුත් අද දරුවන්ගේ වරදින්නේම උදේ ආාහරය නිසා ඔවුන් මුල් කර ගත් සෞඛ්‍ය ගැටලු බොහොමයක් තිබෙනවා. විටමින් සහ අයඩින් ඌනතාවයන් නිසා දරුවන්ගේ බුද්ධි වර්ධනය, උස පිලිබඳ ගැටලු වගේම ධාරණය පිලිබඳ ප්‍රශ්නත් ඇති වෙනවා. ඒ වගේම වැඩි වේලාවක් නිරාහරව සිටීම නිසා මිග්රේන් හිසරදය, ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්වයන් අද නව යොවුන් දරුවන් අතර ඉතා බහුලයි. ගැහැනු දරුවන් අනාගත මව්වරුන් බවට පත් වීමේදී පවා අද ඔවුන් මුහුණ දෙන පෝෂණ ගැටලු බලපානවා.ඒ නිසා දරුවාගේ පෝෂණය වෙනුවෙන් අම්මා කෙනෙකුගෙන් වැඩි දායකත්වයක් ලැබීම වැදගත්. අපේ දරුවා ගුණ දෙයක් කන්නේ නැහැ.. ඔව් ඒක ඇත්ත. නමුත් ගුණදායක එළවලු, පලා වැනි දේ දරුවා නොකනවා නම් එය වෙනස් විදිහකින් පිලියෙළ කරන්න පුළුවනි. පලා මැල්ලුම  එපා කියනවා නම් නිවසේ සිටින දිනයකදී කොළ කැඳ කෝප්පයක් සකස් කර දෙන්න අපහසුවක් නැහැ. ඒ වගේම වර්ණවත් එළවලු යොදා ගෙන රසවත් සහ අලංකාර බතක් සකස් කරන්න පුළුවනි. පාසල් යන දරුවාට වුනත් කැරට්, බෝංචි, බිත්තර  සහ ගොටුකොල ටිකක් ලියා ගෙන වර්ණවත් අන්දමින් බතක් සකස් කර දුන්නොත් එයින් යම් පෝෂණයක් දරුවාට ලැබෙනවා. සොසේජස් බනිස් එකකින් හෝ පැටිස් එකකින් වේල සපුරන දරුවා මේ අන්දමේ රසවත් සහ ලස්සන බත් කටක් දෙකකින් වුනත් යම් අන්දමකින් කුස පුරවා ගැනීම වගේම පෝෂනයත් ලබා ගැනීමට සමත් වෙනවා. වතුර පානය කිරීම… පාසල් යන වයසේ දරුවන් ජලය පානය කිරීමේ ඇති ගැටලුව පිටුපසින් තිබෙන්නේ ඉතාම ශෝකාකූල තත්වයක්. ඔවුන් ජලය පානය කිරීමට සමානුපාතිකව මුත්‍රා පිට වීම සාමාන්‍ය සිදුවීමක්. ඒ නිසා කිසිසේත්ම දිනකට අවශ්‍ය ජලය ලීටර් දෙකක ප්‍රමාණය දරුවන්ට සපුරන්න බැහැ. ප්‍රවාහනයේ වැඩි වේලාවක් නිරත වීම, වැසිකිලි ගැටලු නිසා ඔවුන් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය වලක්වා ගැනීමට ජලය පානය කිරීමෙන් වලකිනවා. නමුත් මේ අවස්ථාවන්හිදී ඇති වෙන පිපාසය කෘතිම සහ පැනි බීම මගින් සපුරා ගැනීම තත්වය තව දුරටත් නරක අතට පත් කරනවා කිව්වොත් නිවරැදියි. සිරුරට අවශ්‍ය ජලය නොලැබෙන නිසා මුත්‍රා ආසාදන, වකුගඩු ගල් ඇති වීමේ අවදානම ඔවුන්ගේ තරුණ කාලයේදීම ඇති වෙන බවත් අමතක කරන්න එපා. ඒ නිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමට අවස්ථාවක් නොලැබෙන නිසා දරුවන් නිවසේ සිටින දවසට වුනත් ජලය වගේම මුත්‍රා කාරකයන් ලෙස සැලකෙන තැඹිලි, බාර්ලි රනවරා, බෙලි මල් වැනි දියර වර්ග පානය කිරීම වැදගත්. ළමා වයසේ දියවැඩියාව… මෑතකදී මගෙන් ප්‍රතිකාර ගැනීමට වයස අවුරුදු 13 ක දියණියක් ඇගේ මව සමග පැමිනියා. දියණිය තරබාරු බව බැලු බැල්මට පෙනුනා.රෝග විස්තර සහ රුධිර පරීක්ෂනයකින් පසුව ඇය ළමා අවධියේ දියවැඩියා රෝග තත්වය හෙවත් ඔහචැ 2 දියවැඩියා රෝග තත්වයෙන් පසු වෙන බව තහවුරු වුණා. දියණියගේ හැසිරීම ගැන අසන විට ඇගේ මව කියා සිටියේ නිතරම පොත් කියවීම ඇගේ විනෝදංශය බවයි. පොත් කියවීම ඇත්තටම දරුවන්ට හොඳයි. නමුත් මේ දියණිය ඇගේ මල්ලි සමග හෝ නිවසේ සිටින බලු පැටියා සමගවත් සෙල්ලම් කිරීමක් නැහැ. පොත් කියවීම ඇගේ ජීවිතය බවට පත් වී  තිබුනා. පුටුවෙන් ඇඳට…ඇඳෙන් පුටුවට.. මේ වගේම අද අපේ බොහෝ දරුවන් විභාග නිසාම ජීවිතයේ ක්‍රියාශීලිත්වයක් නැහැ. අතීතයේ දරුවන් ළමා කාලයේදී කණ්ඩායම් විදිහට සෙල්ලම් කලා..ඇළ දොළ පිහිනුවා. නමුත් ඔවුන් අතරිනුත් අනන්තවත් වෛද්‍යවරුන්…ඉංජිනේරුවන් සහ පරිපාලන ක්ෂෙත්‍රයේ ඉහළ තනතුරුවල නිළධාරීන් බිහි වුණා. සෙල්ලම් කිරීම නිසා දරුවන්ගේ ශාරිරික ක්‍රියාශීලිත්වය ඇති වෙනවා. මොළයට හොඳින් ඔක්සිජන් පරිවහනය වෙනවා.එය ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් වගේම ශාරිරික නිරෝගිතාවයටත් වැදගත්. ඉස්සරකාලයේ අධි රුධිර පීඩනය, දියවැඩියාව,  රුධිරගත අහිතකර කොලස්ටරෝල් වැනි ලෙඩ රෝග වාර්තා වුනේ වයස අවුරුදු 40 ඉක්ම වූ පිරිස වෙතින් වුනත් අද මේ රෝග දරුවන් අතරත් දකින්න ලැබෙනවා. ඒ නිසාම අනාගත දිනකදී දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ගේ අවමංගල්‍යට සහභාගී වීමට සිදු වෙන තරම් අවාසනාවන්ත දිනයක් උදා වෙන බවටත් සෞඛ්‍ය වෘත්තිකයන් අනාවැකි පළ කරනවා. ඉතින් අපි මේ අනාවැකි සැබෑ නොවන්න කටයුතු කිරීම වැදගත්. දරුවන්ට සෙල්ලමට ඉඩ දෙන්න, විභාගය ජීවිතය නොවන බව කියා දෙන්න. මානසික ගැටුම්… කුනාටු සමයත් දරුවන්ට ඇති වෙන මානසික ගැටුම් ගැන වැඩිහිටියන් සැලකීමක් ඇත්තේම නැහැ. තරුණ වසසේ දියණිවරුන් නිතරම තමා සෙසු ගැහැණු දරුවන් සමග සංසන්දනය කරනවා. එයින් පසුව මම කළුයි..මිටියි..කොණ්ඩය ලස්සන නැහැ. මුහුණේ කුරුලෑ තියෙනවා. මගේ යාලුවෝ ලස්සනයි. වැනි සිතුවිලි මත  තමන් ගැන අවතක්සේරුවක් ඇති කර ගන්නවා. පිරිමි දරුවන් තමන්ගේ රැවුල, මාංශ පේශි වැනි ශාරිරික ලක්ෂණ මුල් කර ගෙන  විවිධ මානසික ගැටුම් ගොඩ නගා ගන්නවා. ඒ අතර දෙමව්පියන් විසිනුත් සසංන්දය මුල් කර ගෙන දරුවන්ට පීඩනයක් ලබා දෙනවා. අහවල් දරුවා විශිෂ්ඨ සම්මාන තුනක් අරගෙන මුල් වතාවෙම වෛද්‍ය පීඨයට ගියා. ඔයා තුන් වතාවක් කරලත් යාන්තමින් පාස් වුනා විතරයි. විභාග මානසිකත්වය දරුවන්ට දැරීම පහසු නැහැ. අපේ රටේ හැම වසරකදීම උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමෙන් සතියක් දෙකක් ගෙවෙන විට දරුවන් සිය දිවි හානි කර ගැනීම් වාර්තා වෙන රහස පිටුපස තිබෙන හේතුව දැන් ඔබටත් තේරුම් යනවා ඇති. හොඳ සවන් දෙන්නෙක් අවශ්‍යයි… අපේ දරුවන් අතර ඇති වෙන පාසල් ප්‍රේමය ගැන සඳහන් කලොත්…එක් දවසක් මගේ පංතියේදී පුංචි පිරිමි දරුවෙක් මගේ බෙල්ල බදා ගෙන “ සර් මට බයයි..මාව බේරා ගන්න කිව්වා.මම පුංචි පුතා ළඟට අරගෙන ආදරයෙන් විස්තර ඇහුවා. ගැහැනු ළමයෙක් ආදරය ප්‍රකාශ කරපු ලියුමක් පුතාට දීලා. ඔහුට මෙය දරා ගන්න බැහැ.නමුත් ඔහු මේ විස්තරය අම්මාටත් කියා තිබුනා. දරුවා ඉල්ලන්ගේ චිත්තවේග ආරක්ෂාවක්. මේ වගේ අවස්ථාවලදී ඔහුගේ චිත්තවේග සුරකින්න කෙනෙක් නොසිටියොත් තත්වය දරුණු වෙනවා. සිය දිවි හානි කර ගත්තාට පසුව පශ්චාත් මරන පරීක්ෂනය අවශ්‍ය නැහැ… මෑත කාලයේදී තරුණ හෙවත් ගැටවර වයසේ දරුවන් අතර සිය දිවි හානි කර ගැනීම් අවාසනාවන්ත විදිහට ඉහළ ගියා. දරුවන්ට ප්‍රශ්න නැහැ කියල අපි හිතුවට ඔවුන්ටත් ප්‍රශ්න තියෙනවා. වරද ඇත්තේ දරුවන්ට ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. දරුවෙක් සිය දිවි හානි කර ගැනීමෙන් පසුව සම වයස් කණ්ඩායම් මුහුණු පොතේ සටහන් තබනවා.වැඩිහිටියන් දරුවාගේ මරණයට හේතු සාධාරණ කරනවා. එහෙම නැත්නම් දරුවන්ට දොස් නගනවා.නමුත් අපේ පශ්චාත් මරණ පරීක්ෂන හෝ වැලපීම් කිසිම ප්‍රතිඵලයක් නැහැ. නමුත් අපි අවදි විය යුතුයි. තවත් තරුණ දරුවෙක් මේ තත්වයට පත් නොවන්නට කටයුතු කිරීම වැඩිහිටියන්ගේ වගකීම විදිහට සලකන්න ඕන.  
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
වෛද්‍ය කිත්සිරි දිසානායක        
                

අලුත් බබා කහ පැහැයට (Neonatal jaundice ) හැරුනොත්….?

දරුවෙක් මව් කුසයේ පිලිසිඳ ගත් අවස්ථාවේදී කළළය මගින් ඔක්සිජන් පරිවහනයට භාවිතා කළ  කළල හිමොග්ලෝබින් (fetal haemoglobin)  දරුවා උපත ලැබීමෙන් පසුව වැඩිහිටි හිමොග්ලෝබින් (adult haemoglobin බවට පත් වෙනවා. වැඩිහිටි හිමොග්ලෝබින් නිපදවා ගැනීමේදී  ඉවත් කරන කළල හිමෝග්ලෝබින් බිඳී ‘‘බිලිරුබින් “ නැමැති රසායනය ළදරුවාගේ රුධිරයට මුදා හැරෙනවා. නමුත් මේ නව ජන්ම ළදරුවාගේ අක්මාව මේ අවස්ථාව වෙන විට හොඳින් වර්ධනය වී නැති නිසා සමහර අවස්ථාවලදී බිලිරුබින් රුධිරයට එක් වී නව ජන්ම පැටියා කහ පැහැ ගැනීමට පුළුවනි. වෛද්‍ය විද්‍යාවේදී එවැනි තත්වයක් Neonatal jaundice යනුවෙන් හැඳින්වෙනවා.  දරුවා කහ පැහැයට හැරුනොත් අවදානමක් තිබෙනවාද….? දරුවා උපත ලබා  පළමු පැය 24 ක් තුළ මේ තත්වය ඇති වෙන්න පුළුවනි. ළදරුවාගේ රුධිරයේ ඇති ‘‘ බිලිරුබින් “  රසායන සංයුතිය ඉහළ යෑම නිසා සම සහ ඇසේ සුදු ඉඟිරියාව කහ පැහැයට හැරෙනවා. මේ විදිහට කහ පැහැයට හැරුනත් ඒ වෙනුවෙන් පැහැදිළි හේතුවක් හඳුනා ගැනීමට නොහැකි අවස්ථාවන්ද තිබෙනවා. එවැනි අවස්ථාවන් අපි ‘‘ ව්‍යාධි ජනක නොවන කහ පැහැ ගැන්වීම ‘‘  (physiological jaundice) යනුවෙන් හඳුන්වනවා.  අවදානමක් ඇති තත්වයන් ගැන සඳහන් කළොත්…? මම මුලින් සඳහන් කලේ අපට පැහැදිලි හේතුවක් හදුනා ගැනීමට නොහැකි අවදානම් නොවන තත්වයක්. ඒ වුනත් සමහර අවස්ථාවලදී ළදරුවා කහ පැහැ ගැනීමට බලපාන ලද හේතුවක් පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා. අපි වෛද්‍ය විද්‍යාවේදී ඒ තත්වය ව්‍යාධි ජනක කහ පැහැ ගැන්වීම (pathalogical jaundice)  යනුවෙන් හදුන්වනවා.  ව්‍යාධි ජනක කහ පැහැ ගැන්වීමට බලපාන හේතු තිබෙනවාද..?මේ තත්වය ඇති වීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.
  • රතු රුධිර සෛල බිඳ වැටීම(Haemolytic jaundice)
  • අක්මාව සහ පිත්ත ප්‍රනාල ආශ්‍රිත ගැටලු සහ ආසාදන
  • පරිවෘත්තීය ගැටළු
  • තයිරොක්සින් හෝර්මෝන ඌනතාවය
මෙතැනදී රතු සෛල බිඳ වැටීම (Haemolytic jaundice) නිසා දරුවා කහ පැහැ ගැනීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.
  • දෑකැති රතු සෛල රෝගය (Sickel cell disease )
  • Hereditary spherocytosis රෝග තත්වය
  • G6PD එන්සයිමය හිග වීම
  • රුධිර ගණ නොගැලපීම නිසා රතු රුධිර සෛල බිඳ වැටෙන haemolytic disease of newborn).
  • තත්වයක් ඇති වීම
මේ විදිහට රතු රුධිර සෛල බිඳ වැටීම නිසා ඇති වෙන කහ පැහැ ගැනීමේ තත්වයට වගේම රතු රුධිර සෛල බිඳ වැටීමකින් තොරවත්දරුවා කහ පැහැ ගැනීමට පුළුවනි.අපි ඒ තත්වය (Non haemolytic jaundice) යනුවෙන් හදුන්වනවා.   රතු රුධිර සෛල බිඳ වැටීමකින් තොරව (Non haemolytic jaundice) ළදරුවා කහ පැහැ ගැනීමට බලපාන හේතු මොනවාද…?   මේ තත්වය ඇති වීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.
  • මව්කිරි දීමේදී ඇති වෙන ගැටළු
  • Forceps සහ vaccum උපත් වලදී ඇති වෙන රුධිරය එකතු විම්.(cephalhaematoma).
  • මුත්‍රා සහ බැක්ටීරියා ආසාදන
  • තයිරොක්සින් හෝර්මෝනයේ අඩු පාඩු(Hypothyroidism)
  • පරිවෘත්තිය එන්සයිම ආශ්‍රිත ගැටළු
  • අක්මාව සහ පිත්ත ප්‍රනාල ආශ්‍රිත ගැටළු(Crigler Najjar syndrome)
  අලුත උපන් ළදරුවා කහ පැහැයට හැරෙනවා වගේම මෙවැනි රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවනි.
  • සම සහ ඇසේ සුදු කොටස කහ පැහැයට හැරීම.
  • අසාමාන්‍ය ලෙස නිදා ගැනීම.
  • මව්කිරි ප්‍රතික්ෂෙප කිරීම.
  • මළ වල වර්ණය අඩු වීම(pale colour).
  • මුත්‍රා තද කහ පැහැ ගැනීම
ළදරුවා කහ පැහැයට හැරීම Neonatal jaundice නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටලු මොනවාද..? ඔව්…නව ජන්ම ළදරුවාගේ බිලිරුබින් රසායනය රුධිරයට දිගුකාලයක් පුරා එකතු වීම නිසා ඒවා මොලයේ තැන්පත් වී Kernicterus රෝග තත්වය ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම ළදරුවාට වලිප්පු (seizers) තත්වය ඇති වීමටත් යම් අවදානමක් තිබෙනවා. රෝග තත්වය හදුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ මොනවාද…? ළදරුවාගේ රැධිරයේ ඇති බිලිරුබින් ප්‍රමාණය මැනීමෙන් ලබා ගත් (Serum bilirubin Direct and Indirect ) වාර්තාව අනුව ප්‍රතිකාර සිදු වෙනවා.ප්‍රතිකාර ආරම්භ කිරීමට දරුවාගේ වයස, රෝගී ස්වභාවය සහ බිලිරුබින් මට්ටම අනුව ප්‍රතිකාර විධි තීරණය වෙනවා. ලබා දෙන ප්‍රතිකාර ගැන සදහන් කළොත්…? ළදරුවාගේ දෑස ආවරණය කරලා නිල් පැහැති විශේෂ ආලෝකයක් වෙනුවෙන් දරුවා නිරාවරණය කරනවා. ඒ අනුව ළදරුවාගේ රුධිරයේ බිලිරැබින් ප්‍රමාණය යම් මට්ටමකින් ඉවත් කරන්න පුලුවනි. සමහර විට නව ජන්ම ළදරුවාගේ රුධිරයේ බිලිරුබින් මට්ටම ඉතාම ඉහල නම් ක්‍රමානුකූලන ළදරුවාගේ රුධිරය ඉවත් කොට ගැලපෙන දායකයෙකුගේ රුධිරය පාරවියලනය (Exchange transfusion ) කරනවා. හදිසියේවත් නව ජන්ම ළදරුවෙක් කහ පැහැයට හැරුනොත් ඔබ විසින් ලබා මව්පියන්ට ලබා දෙන අවවාදය..? අද වෛද්‍ය විද්‍යාව වගේම ප්‍රතිකාර ක්‍රම ඉතාම දියුනුයි.ඒ නිසා හදිසියේවත් අලුත උපන් ළදරුවා කහ පැහැයට හැරුනොත් ප්‍රමාද වෙන්න එපා. හැකි ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමු වෙන්න.එහෙම වුනොත් දරුවාගේ ජීවිතය වගේම අනාගතයේ ඇති විය හැකි සංකුලතාවයන් පවා අවම කර ගන්න පුළුවනි. නිතරම දෙමව්පියන්ගේ ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන නිසා දරුවන් සම්බන්ධව ඇති වෙන රෝග තත්වයන් නොසලකා සිටින්න එපා.  
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිළධාරී තරංග හේරත්  කෑගල්ල මහ රෝහල    

කෙටි සටහන් හදන හුරුව දරුවන්ට ගොඩ නගමු.

මවක් ගෘහණියක් විදිහට ඔබේ මුලුතැන්ගයි මේසයේ වේල්  තුනටම උයන පිහින කළමනා ගොඩ වී තිබුනොත් මනසට වෙහෙසක් දැනෙනවා ඇති. දරුවන්ට වුනත් ඔවුන්ගේ සම්පූර්ණ විභාග විෂය නිර්දේශයම තමන්ගේ ඇස ඉදිරියේ ගොඩ වී තිබෙන විට දැනෙන්නේ මානසික අපහසුතාවයක්. ඒ නිසා දරුවන්ටත් තමන්ගේ විෂය නිර්දේශය කෙටි සටහන් ක්‍රමයෙන් සකස් කර ගැනීමේ රටාව අනුගමනය කිරීම ඉතාම වැදගත්. කෙටි සටහනක් කියන්නේ…. කෙටි සටහනක් කියන්නේ  සම්පූර්ණ පාඩම කුඩා කොලයක කුඩා අකුරින් නැවත සටහන් කිරීමක් නම් නොවෙයි. සමහර දරුවන් තුළ කෙටි සටහනක් සකස් කර ගැනීමේ පිලිවෙල ගැනත් දැණුවත් බවක් නැහැ. ඒ නිසා කෙටි සටහනක් ගොඩ නගා ගැනීමට පෙරාතුව සම්පූර්ණ පාඩම හොදින් කියවා එහි අන්තර්ගතය ගැන පැහැදිලි දැණුමක් දරුවා තුළ ඇති වීම වැදගත්. ඒ නිසා කෙටි සටහනක් කියන්නේ සම්පූර්ණ පාඩමේ හොඳම සාරය කිව්වොත් වරදක් නැහැ.එහෙමනම් කෙටි සටහනක තිබිය යුතු ගුණාංග මොනවාද…? සරල බව කෙටි සටහන නිතරම සරල වීම වැදගත්.සම්පූර්ණ පාඩමක ඇති පිටු ගණනාවක තොරතුරු ප්‍රමුඛතාවය අනුව පෙළ ගසා ගන්න.වැදගත් කරුණු වෙනුවෙන් වර්ණ යොදා ගෙන ඒවා ඉස්මතු වෙන සේ සටහන ගොඩ නගන්න. සමහර විට මතක තබා ගැනීමේ පහසුව වෙනුවෙන් විවිධ ක්‍රම ශිල්ප යොදා ගැනීමේ හැකියාවත් තිබෙනවා. අංක ගණිතයේදී සුලු කිරීමේදී දැක්විය යුතු ප්‍රමුඛතාවය පෙන්වීම වෙනුවෙන් යොදා ගන්නා ‘‘ Bodmas ” මුලින්ම වරහන් දෙවැනුව ‘‘ න් “ වැනි පහසු ක්‍රම අනුගමනය කිරීමටත් අවස්ථාවන් තිබෙනවා. පැහැදිළි බව කෙටි සටහන පිලියෙළ කිරීමේදී පැහැදිළිව සකස් කර ගන්න. මුල් පාඩමෙන් ලබා ගත් සාරය නිසා එය නැවත කියවීමේදී පැහැදිළිව අවබෝධ කර ගත හැකි අන්දමින් සකස් කර ගැනීම ඉතාම වැදගත්.පැහැදිළි සටහනක් කියවන විටත් මනසට ඇති වෙන නිරවුල් බව අදාල අධ්‍යන කාර්ය කර ගෙන යැමේදී උත්තේජනයක් ලබා දෙනු ඇත. විෂය ආවරණය වීම දිගු පාඩමක් කියවන විට බොහෝ වැදගත් කරුණු මග හැරෙනන්නට තිබෙන අවස්ථාව කෙටි සටහනක් පිළියෙළ කිරීමේදී ඉබේටම විසදෙනු ඇත. විභාගයක් ආසන්නේයීදී දිගු පාඩමක් කියවන විට ඇති වෙන වෙහෙස නිසාම වැදගත් කරුණු මග හැරෙනන්ට ඉඩ තිබෙනවා. නමුත් කෙටි සටහනක් පිළියෙළ කරන්නේ විභාගය ආසන්නයේදී නොවේ. එවැනි කාලයක තිබෙන විවේකී බව නිසා සම්පූර්ණ පාඩමට අදාලව කෙටි සටහන පිළියෙළ වෙන නිසා විෂය නිර්දේශය ආවරනය වන පරිද්දෙන් කෙටි සටහන සකස් කිරීමේ විවේකී මනසක් තිබීම සාමාන්‍ය තත්වයක්. එය සම්පූර්ණ විෂය නිර්දේශයට අනුව සකස් කර ගැනීමේ පහසුව ලැබේ. ප්‍රශ්න වලටත් පිලිතුරු ලැබෙනවා… කෙටි සටහනක් පිළියෙළ කිරීමේදී අදාල ගැටලුවලටත් විසඳුම් ලබා ගනිමින් ඉදිරියට යෑමේ හැකියාව ලැබෙනවා. වෙහෙසකර මානසිකත්වයකින් පාඩමක් කියවනවාට වඩා කෙටි සටහනක් පිළියෙළ කරන විට අදාල පාඩමේ ගැටලුවලට පිලිතුරු ලබා දෙමින් ඉදිරියට යෑමේ හැකියාව ඇති වෙනවා. තර්ක ගොඩ නැගෙනවා.. කෙටි සටහනක් සකස් කර විට ඇති වෙන තර්ක සඳහාත් වැඩි අවධානයක් යොමු කිරීම තවත් වාසියක්.එවැනි තර්ක වෙනුවෙන් කරුණු ගවේශනය කිරීමටත් යොමු වීමේ ප්‍රවනතාවයන් නොදැනීම ඇති වෙනවා.එවැනි අවස්ථාවන්හිදී වෙනත් විෂය කරුණු පවා සම්බන්ධ කර ගෙන තමන්ගේ දැණුම සංවර්ධනය කර ගැනීමේ හැකියාවන්ටත් අවස්ථාව සැලසෙනවා. උදාහරණයක් වශයෙන් ප්‍රායෝගික තාක්ෂන කුසලතා විෂයකදී ආහාර සංරක්ෂන හෝ පසු අස්වනු තාක්ෂනය පිළිබඳව ලබන තාක්ෂණික දැනුමට විද්‍යාව පාඩමේ ඇති රසායනික විද්‍යාව වැනි විෂයකින් ලැබෙන දැණුමත් ඉතාම පහසුවෙන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. පුනරීක්ෂනය… කෙටි සටහනක් නිසා නිරන්තරව විෂය කරුණු පිලිබඳව ලැබෙන පුනරීක්ෂනය විභාගය වෙනුවෙන් වූ මනා සූදානමක් වෙනවා. අදාල පාඩම කියවනවාට වඩා කෙටි සටහනකින් ලැබෙන සාරවත් සාරංශය මනා ලෙසින් කරුණු ගොණු කර ගෙන පුනරීක්ෂනයක යෙදෙන වාසිය පහසුවෙන්ම ලබා ගත හැකියි. ස්මරණයට අද කාලයේ බොහෝ දරුවන්ට විෂය කරුණු මතක තබා ගැනීමේ ඇති ගැටලුව නිසාම අධ්‍යාපනය පවා අප්‍රසන්න වීමට ඇති අවස්ථාවට ඉතාම හොඳ විකල්ප විසදුමක් ලෙසින්  කෙටි සටහන් සකස් කර ගෙන තමන්ගේ විෂය දැණුම සමග ඉදිරියට යන රටාව වටහා දෙන්න. කෙටි සටහනක් නිරන්තරව කියවන විට ධාරණය පහසු වෙනවා. ඉගෙණුම රසවත් සාමාන්‍ය කියමනට පවා ඉගෙනීම කටු අත්තකි..එහ ප්‍රතිඵල මල් ඉත්තකි..කිව්වත් බොහෝ දරුවන් කටු අත්තක පිපෙන මල් නෙලා ගැනීමට එතරම් උත්සාහයක් දකවන්නේ නැහැ. ඒ නිසාම ඉගෙණුම ඔවුන්ගෙන් ගිලිහී යන අවස්ථාවන් පවා නැතුවාම නොවේ. නමුත් දෙමව්පියන් සහ ගුරුවරුන් විසින් දරුවන්ට කෙටි සටහන් සකස් කර ගෙන ඒවා ඉගෙනුම් කාර්යන් සදහා යොදා ගැනීමට ඇති හැකියාව ගැන ලබා දෙන දැණුවත් බව නිසාම දරුවාට ඉගෙනුම යනු රසවත් අත්දැකීමක් බවට පත් ටවන දිනයක් උදා වෙනු ඇත. විභාගයට අමුතු සූදානමක් අවශ්‍ය නැත.. අපේ අධ්‍යාපනය තුළ දරුවාගේ දැණුම මනින ඒකකය ලෙසින් විභාගය නිර්ණායකයක් ලෙසින් සැලකෙන නිසාම දරුවන්ට විභාග මානසිකත්යෙන් තෙරව ජීවත් විය නොහැකි බව ඇත්ත. නමුත්…විභාගය මානසික වධයක් ලෙසින් සැලකේනනේ දරුවා ඒ වෙනුවෙන් සූදානමක් නොමැති විටෙක බැව් රහසක් නොවේ.විෂය නිර්දේශය දන්නා දරුවා විභාගයට අනිවාර්යෙන් සූදානම් විය යුතුය. එය විභාග කාලසටහන ලැබෙන තෙක් සිටිය යුතු අවස්ථාවක් නොවේ. ඒ නිසා කෙටි සටහන් ක්‍රමය උපයෝගී කර ගෙන ඉගෙනුම් කාර්යෙහි යෙදෙන දරුවාට විබාගය යනු අමුතු සූදානමක් විය යුතු අවස්ථාවක් නොවේ. ඔවුන් දැනටමත් තමන්ගේ විෂය නිර්දේශය හොදින් දැන හදුනා ගෙන ඒ අනුව දැණුමෙන් සන්නද්ධව සිටින පිරිසක් බවට පත් වී අවසානය. එසේ නම් අද පාසල් අධ්‍යාපන ආරම්භ කරන ඔබේ දරුවා තව වසර කීපයකින් විභාග ඉලක්ක කර ගත් දිනයක් වෙනුවෙන් මුහුණ දෙනු ඇත. ඒ දිනය දරුවාට වෙහෙසක් නොවන්නට නම් පූර්ව සූදානම ඉතාම වැදගත් බව රහසක් නොවේ. ඒ නිසා දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියේදී කෙටි සටහන් භාවිතයට මගින්  උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට තිබෙන අවස්ථාවන් ගැන ඔවුන්ට කියා දෙන්න.    

චර්යාබාධ ගැටලු හා කලහාකාරී හැසිරීම් රටා දරුවෙක් උපතින්ම රැගෙන එනවාද?

දරුවෙකුගේ චර්යාබාධ ‍හා සමාජ විරෝධි චර්යාත්මක ගැටලු කෙරෙහි බලපාන ජීව විද්‍යාත්මක සාධක, පාරිසරික සාධකයන්ටත් වඩා දීර්ඝ කාලීනව මෙන්ම ස්ථිර ලෙස බලපවත්වනු ලබන ප්‍රබලතම සාධකයක් ලෙස හැඳින්විය හැකියි.  දරුවන්ගේ චර්යාබාධ සඳහා බලපාන ජීව විද්‍යාත්මක සාධක
  • මොළයට සිදුවන හානි සහ ව්‍යුහාත්මක අසාමාන්‍යතාවයන්
  • ස්නායු සම්ප්‍රේෂණ නියමයන් අසමතුලිත බව
  • ස්නායු ක්‍රියාවලියේ දුබලතා
  • ජානමය සාධක
මොළයට සිදුවන හානි සහ ව්‍යූහාත්මක අසාමාන්‍යතාවයන් සමාජ විරෝධි හෝ චර්යාත්මක ගැටළු සඳහා කම්පනයන් හේතුවෙන් මොළයට සිදුවන හානි මෙන්ම මොළයේ ව්‍යුහාත්මක අසාමාන්‍යතා සහ කෘත්‍යයන් මූලික භූමිකාවක් සිදුකරන අතර මොළයේ ලලාට ඛණ්ඩිකාව (Frontal Lobe) තුල සිදුවන ක්‍රියාකාරිත්වය මෙහිදී වැදගත් වේ. මූලික වශයෙන් විධායක ක්‍රියාකාරිත්වයන් පිළිබඳ වගකීම, උසස් මට්ටමේ ක්‍රියාවලීන් මෙන්ම මෙම කලාපය පුද්ගලයකුගේ විනිශ්චයන්, චිත්තවේග පාලනයන්, සැලසුම් පවත්වා ගැනීම් ආදිය සම්බන්ධව වගකීම දරනු ලබයි. මේ අනුව පුද්ගලයකුගේ මෙම ලලාට ඛණ්ඩිකා කලාපයට උපන් අවස්ථාවේදි සිදුවන හානි හෝ ලලාට ඛණ්ඩිකාවේ ව්‍යුහාත්මක අසාමාන්‍යතා උපතින්ම ඇතිවීම හෝ සමාජ විරෝධි හැසිරීම් සඳහා වන මූලික රෝගී ලක්‍ෂණ කෙරෙහි සම්බන්ධ වන බව පෙන්වා දෙයි. ලලාට ඛණ්ඩිකාව ඉරීම හෝ තුවාල වීම සෘජුවම පුද්ගලයෙකුගේ ආවේගික හා චිත්තවේගික ක්‍රියාවලීන් සඳහා සම්බන්ධ වන අතර මෙය සමාජ විරෝධි කලහකාරී හැසිරීම්වලට බලපාන බව කියවේ. එමෙන්ම ඇමිග්ඩලා ප්‍රදේශය චිත්තවේග, හැඟීම්, භාවයන් සහ එම භාවමය ප්‍රතිචාරයන් සඳහා විශේෂිත කලාපය වන බව පෙන්වා දෙන අතරම මෙම ප්‍රදේශය හීනවීම හෝ ඇමිග්ඩලා කලාපයට හානි වීම උද්වේගකර කලහකාරී හැසිරීම් මෙන්ම දුබල භාවමය නියාමනයන් සහ සදාචාරාත්මක ප්‍රතීයමානයන් කෙරෙහි සතිය අවම වීම කෙරෙහි ද බලපාන  බවට විෂයානුබද්ධ විශේෂඥ වෛද්‍යවරුන් කරුණු අනාවරණය කරයි.  ස්නායු සම්ප්‍රේෂණ නියමයන් අසමතුලිත බව චර්යාබාධ කෙරෙහි ඇති ජීව විද්‍යාත්මක බලපෑම් පිළිබඳව විමර්ශනයේ දී ස්නායු සම්ප්‍රේෂණ වෛද්‍යවරුන් විසින් ඉතා වැදගත් සාධක කීපයක් පෙන්වා දෙනු ලබෙන ආකාරය පිළිබඳව  මෙන්ම චර්යාත්මක ගැටළු සහ සමාජ විරෝධි හැසිරීම් කෙරෙහි ස්නායු සම්ප්‍රේෂණ අසමබර වීම බලපාන ආකාරය ද පෙන්වා දී ඇත. ස්නායු සම්ප්‍රේෂණ අතර සෙරටොනින් ස්නායු සම්ප්‍රේෂණය මෙහිලා ප්‍රධාන භූමිකාව නියෝජනය කරයි. මොළයේ සෙරටොනින් ක්‍රියාකාරිත්වයේ දෝෂ චර්යාබාධ හැසිරීම් සඳහා හේතුකාරක වේ. සෙරටොනින් සම්ප්‍රේෂණය අවම වීම උද්වේගකර හැසිරීම්, චිත්තවේග ගමන් කිරීම්, කඩාකප්පල්කාරී වීම  යන සියලු චර්යාත්මක ගැටළු කෙරෙහි බලපායි. මස්තිෂ්ක සුෂුම්නා ගමන් පථයේ සෙරටොනින් පරිවෘතිය අවම වීම කලහකාරී සමාජ විරෝධි හැසිරීම් කෙරෙහි බලපායි. සෙරටොනික් නියුරෝ සම්ප්‍රේෂණයේ බලපෑම පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් සිදු කළ අධ්‍යයනවලට අනුව වයස අවුරුදු 15ක අපරාධකරුවෙකු ලෙස සිරගත වූ චර්යාබාධ රෝගයෙන් යුත් යෞවනයාගේ රසායනික ද්‍රව්‍ය හා සාමාන්‍යය යෞවනයින් 10 දෙනෙකුගේ ස්නායු රසායනයන් සමඟ සංසන්දනය කිරීමෙන් සෙරටොනික් නිෂ්පාදන ක්‍රියාවලිය හා ඇමයිනෝ ඇසිඩ් යන රසායනික ඉතා ඉහළ අගයකින් වෙනස් වී ඇති ආකාරය දැකගන්නට ලැබුණි. මෙම ඇමයිනෝ අම්ල ක්‍රියාකාරිත්වයේ ඉහළ අගය තුලින් සෙරටොනික් පරිවෘත්තිය ක්‍රියාවලිය ඉහළ දමන අතර මෙසේ සෙරටොනික් පරිවෘත්තිය ක්‍රියාවලිය අසමතුලිත වීම තුලින් කලහකාරී හා අපරාධ චර්යා තුල නියැලීමට අවශ්‍ය ඉන්ධන හා පසුබිම සලසා දෙයි‍. මෙම පර්යේෂනවලට අනුව අපරාධ හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් ප්‍රකට කරන්නන්ගේ නියුරෝ සම්ප්‍රේෂණ ක්‍රියාවලිය මුළුමනින්ම අසාමාන්‍ය බව සනාථ කර ඇත. ජානමය සාධක මේ සම්බන්ධව සිදු කළ විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ ජානමය බලපෑම ළමා කාලයේ චර්යාබාධවල ලක්‍ෂණයක් වන දැඩි හැඟීම් (Callus emotion) නොමැති ස්වභාවය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති බවයි. මෙම රෝගී තත්වයෙන් පෙළෙන්නන් දඬුවම් කෙරෙහි දක්වන්නේ ද අසංවේදී මානසික තත්ත්වයකි. මේ පිළිබඳව තවදුරටත් පෙන්වා දෙන පරිදි මෙම යෞවනයින්ගේ ප්‍රමාණවත් නොවන චිත්තවේගී හැසිරීම් ප්‍රතිචාර දැක්වීමේ කුසලතාවය නිසි පරිදි වර්ධනය නොවීමට ඔවුන් සමාජානුයෝජනය වීමේදී සිදුවන දුබලතා හේතුවන වන බව ද අවධාරණය වේ. සමාජානුයෝජන සහ ධනාත්මක අත්දැකීම්වල ඇති හිඟකම චිත්තවේගී ප්‍රතිචාරාත්මක චිත්තවේග නිවැරදිව හසුරුවා ගැනීමේ කුසලතාවය වර්ධනය නොවීමට හේතුවක් වේමෙවැනි හැසිරීම් සහිත ළමුන්ගේ චිත්තවේග කළමනාකරණය කිරීමට නොහැකි ගැටළුවේ ප්‍රතිඵලය වන්නේ ඔවුන්ගේ පාලනය කරගත නොහැකි, කළමනාකරණය කරගත නොහැකි කෝපය ආවේග තුල සහ සමාජ විරෝධි ක්‍රියා තුලට ඇතුල්වීමයි. පූර්ව යොවුන්විය එනම් අවුරුදු 6 13 අතර ළමුන් 166 පර්යේෂණයට ලක්කරමින් ඔවුන්ගේ දුෂ්කෘත්‍යයන් සඳහා බලපානු ලබන හේතු සම්බන්ධව සිදුකරන ලද ගවේෂණයකදී වයස, ලිංග භේදය, ජාන විකාශන විද්‍යාව, ජන වර්ගය, සමාජ ආර්ථික මට්ටම, බුද්ධි මට්ටම් වැනි සාධක අනුව චර්යාබාධ රෝගීත්වය පිළිබඳ ලැබෙන ලක්‍ෂණ තොරතුරු විවිධාකාර බව වටහා ගත් අතරම ඒ අනුව චර්යාබාධ අවධානම් සාධක මෙන්ම හේතු විද්‍යාව පිළිබඳව කරනු ලබන ගවේෂණ ඉතා සංකීර්ණ විවිධ බැරූරුම් ස්වරූපයක් ගනියි. මව්පිය සබඳතාවය දුබල චර්යාබාධ සහිත යෞවනයින්ගේ ප්‍රතිවිරුද්ධ චිත්තවේග ප්‍රතිචාර (Opposing emotional responses) ප්‍රදර්ශනය වන බව ප්‍රකට වන අතර මේ සඳහා ස්නායු විද්‍යානුකූල මනෝ විද්‍යාත්මක චර්යාත්මක සාධක බලපානු ලබයs. චිත්තවේග ප්‍රතිචාර කෙරෙහි බලපානු ලබන සාධක පිළිබඳව කතා කිරීමේදී චර්යාබාධ ගැටළු සඳහා මොළයේ සුවිශේෂ කලාප තුල සිදුවන වෙනස්කම් පිළිබඳව ස්නායු මනෝ විද්‍යාඥයින්ගේ කරුණු අනාවරණය කර ඇත. FMRI ස්කෑන් පරීක්ෂණය (Functional magnetic resonance imaging) මගින් චර්යාබාධ ගැටළු ප්‍රකට වන ළමුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හඳුනා ගෙන ඇත.  මෙම පර්යේෂණ වාර්තාවට අනුව මෙම ස්කෑන් පර්යේෂණ සඳහා වයස අවුරුදු 10 -16 අතර චර්යාබාධ සහිත යෞවනයින් තෝරාගෙන ඇති අතර මෙහිදි අවධානය යොමුකර ඇත්තේ දැඩි හැඟීම් රහිත (CU Trails) ගති ස්වභාවය ඇති චර්යා ගැටළු පෙන්වන යෞවනයින් කෙරෙහිය. මෙම දැඩි හැඟීම් රහිත වූවන්ගේ මොළයේ ඇමිග්ඩලා ප්‍රදේශය භීතිය හා සම්බන්ධ ගැටළු උත්තේජනයට දුබල ප්‍රතිචාර දක්වා ඇත. එමෙන්ම තවත් පර්යේෂණයක් තුලින් භීතියට දනවන උත්තේජනයකදී ජීව විද්‍යාත්මක ප්‍රතිචාරය මැන බැලීම සිදුව ඇති අතර දඬුවම් පිළිබඳව අවස්ථා මැවීමේදී ඔවුන්ට ඒ පිළිබඳව ඇති බියජනක බව පිළිබඳව ද සංවේදීතාවය කෙබඳුදැයි නිරීක්‍ෂණය කිරීම සිදුකර ඇත. මේ අනුව Chronic CD සහ CU Trail ගැටළු ඇති ඇති සහ නැති අය ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල පෙන්වා ඇත. ඉහළ මට්ටමේ CU Trail සහිත චර්යා ගැටළු ඇති යෞවනයින් දඬුවම් කෙරෙහි දක්වා ඇති භිය හා සංවේදිතාවය දුබල බව වාර්තා වේ. CU Trail වැඩි ළමුන් බිය ගැන්වීමේ ප්‍රතීක ක්‍රියාවලිය දුබල බවත් සංවේදිතාවය දුබල බවත් මෙම පර්යේෂණය මගින් පෙන්වා දෙයි. පිරිමි දරුවන් වීම සමාජ විරෝධි හැසිරීම් තුල නිරතවන්නන්ගෙන් බහුතරය පිරිමි දරුවන් බවට සනාථ කර ඇත. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙම පිරිමි දරුවන් තුළ ක්‍රියාකාරී වන ටෙස්ටෙස්රෝන් හෝමෝනය, ආබාධ තුල ප්‍රබල භූමිකාවක් සිදුකරන බවයි. පිරිමින්ගේ කලහකාරිත්වය තුල නිසඟවම අධිකව ක්‍රියාත්මක වන ටෙස්ටෙස්රෝන් කාන්තාවන් තුළ ඔසප් සමය තුල අධිකව ක්‍රියාකාරී වේ. කාන්තාවන් විසින් සිදුකරනු ලබන අපරාධාත්මක චර්යාවලින් බහුතරයක් ඔසප් සමය තුල ක්‍රියාත්මක වන බව පර්යේෂණ වාර්තාවලින් පෙන්වා දෙයි. මේ අනුව කලහකාරී තත්වය සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම ටෙස්ටෙස්ටරෝන් මගින් සපයනු ලබන බව ජීව විද්‍යාඥයින්ගේ පිළිගැනීමයි. ස්නායු පිරිසැකසුම් අසාමාන්‍යතාවය  චර්යාබාධ යෞවනයාගේ ගැටළුව සඳහා හේතු වන තවත් ජීව විද්‍යාත්මක සාධකයක් ලෙසට  ස්නායු පිරිසැකසුම් අසාමාන්‍යතාවය (Neural Processing Abnormalities) හේතුවන ආකාරය ද විද්‍යාඥයින් පෙන්වා දෙනු ලැබේ. චර්යාබාධ, යෞවනයාගේ කලහකාරී හැසිරීම් අතර ප්‍රභලව ප්‍රදර්ශනය කරනු ලබන චිත්තවේගික ප්‍රතිචාරාත්මක හැසිරීම් ලෙස අන් අයට විරුද්ධව පහරදීම්, ප්‍රචණ්ඩකාරී බව, බැන වැදීම් වැනි චර්යාවන් බහුලය. මෙවැනි අවස්ථාවල නිරන්තරව නියැලීම සමග සහකම්පනයේ ඌණතාවය හේතුකාරක වේ. පර්යේෂණාත්මක අනාවරණවලට අනුව යෞවනයින්ගේ මොළයේ ස්නායු සැකසුම් තුල සහකම්පනය සම්බන්ධ මොළයේ කලාප සෙසු පාලිත කණ්ඩායම් සමග සංසන්දනයේදී වෙනස් ප්‍රතිචාරයන් දක්වා ඇත. මේ සඳහා කලහකාරී චර්යාබාධ ඇති යොවුන් දරුවන් අට දෙනෙකු සහ සාමාන්‍ය දරුවන් අට දෙනෙකුගේ මොළයේ FMR ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ඇති මොවුන්ගේ සහකම්පන ප්‍රතිචාර පරීක්ෂා කිරීමේදී චර්යාබාධ සහිත යෞවනයින්ගේ මොළයේ ස්වයං නියාමන සිද්ධාන්තයන් සහ සාදාචාර තර්කන ක්‍රියාවලියන් මෙන්ම ප්‍රජානන වැනි ක්‍රියාවන් සඳහා ද හේතු කාරක වන Cingulate Cortex සහ Orbital Frontal Cortex වැනි මොළයේ කලාප ක්‍රියාකාරී නොවී පැවති අතර පාලිත කණ්ඩායමේ මෙකී අදාළ කලාප ක්‍රියාකාරිත්වය ප්‍රදර්ශනය කර ඇත. මෙම පර්යේෂණය තුලින් දොම්නස් සහගත තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම ලෙස සිදුවෙන සහකම්පන ප්‍රතිචාරයන් චර්යාබාධ යෞවනයා තුළ අඩු බවට නිගමනය වී ඇත. ජානමය සාධක  සමාජ විරෝධි ක්‍රියාවන් සඳහා ආරමය බලපෑම පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ බොහොමයකි. ඒ මගින් සමාජ විරෝධි චර්යාවන්වල නිරත වන රෝගීන්ගෙන් 65%ක ප්‍රතිශතයකට එම ස්වභාවය සඳහා ආරමය බලපෑම් ඇති බව හඳුනාගෙන ඇත. චර්යාත්මක අක්‍රමිකතා සහ සමාජ විරෝධි හැසිරීම් කෙරෙහි බලපානු ලබන සාධක ඉතා විවාදාත්මක මෙන්ම සංකීර්ණ බවට පත්ව ඇත. මේ අතර චර්යාබාධ සඳහා හේතු විද්‍යාව තුල මෙම ජානමය සහ පාරිසරික සාධක පිළිබඳව ඇති මතවාද ප්‍රබල වේ. බොහෝ පර්යේෂකයින්ගේ මතය වන්නේ ජානමය මෙන්ම පාරිසරික සාධක යන දෙකම රෝගීන් කෙරෙහි බලපාන බවයි. බොහෝ පර්යේෂකයන් දක්වන අදහස්වලට අනුව  ඇතැම් අය තුළ ජානමය හෝ ආරමය බලපෑමක් කිසිසේත් නොමැතිමුත් පාරිසරික සාධක මත පමණක්ම සමාජ විරෝධි චර්යා කෙරෙහි ඔවුන් යොමුව ඇත. එනම් චර්යාබාධ සඳහා ජීව විද්‍යාත්මක බලපෑමක් නොමැතිව උත්පත්තිය ලද දරුවෙකු වුවද පසුව සෘණාත්මක පාරිසරික බලපෑම් මත වර්ධනය වීමේදී එනම් ආතති ජනක පසුබිමක් තුළ හැදී වැඩීමේදී ඔහු හෝ ඇය තුල ජීව විද්‍යාත්මක අසමතුලිතතා වර්ධනය වීමට ඉඩ ඇති බවයි. නිදහසුන් ලෙස ස්නායු සම්ප්‍රේෂණ අසමබර වීමටත් (Neuro Chemical Imbalance) ස්නායු සැකසුම් අසාමාන්‍ය වීමටත් සෘණාත්මක ආතති ජනක පරිසරය තුළ කුඩා කල සිටම දීර්ඝ කාලීනව දරුවකු හැදී වැඩේ නම් ජීව විද්‍යාත්මක අසාමාන්‍යතා ඇතිවීම කෙරෙහි බලපෑමක් සිදුවිය හැකි බවයි.  බොහෝ මනෝ විද්‍යාඥයින් දරණ අදහසට අනුව ජීව විද්‍යාත්මක සාධක මත පමණක්ම නිසා හෝ පූර්ණ වශයෙන්ම පාරිසරික සාධක පමණක්ම නිසා හෝ දරුවන් තුළ චර්යාබාධ/කලහකාරී හැසිරීම් රටා ඇති විය නොහැක. ජීව විද්‍යාත්මකව උපතින්ම ගැටලු ඇති දරුවෙකු සුදුසු පරිසර සාධක යටතේ ඇති දැඩි වීමේදී චර්යාමය ආබාධ ඇති වන ප්‍රවණතාවය අවම බවත් ජීව විද්‍යාත්මකව අංග සම්පූර්ණව උපත ලද දරුවෙක් නුසුදුසු වටපිටාවක එනම් නුසුදුසු පරිසර සාධක සහිතව ඇති දැඩි වන්නේ නම් එම දරුවා චර්යාබාධ මෙන්ම කලහකාරී හැසිරීම් රටා පෙන්නුම් කිරීමට ඇති ප්‍රවණතාවය වැඩි බවයි.  
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ආචාර්යය කුමුදු ඒකනායක නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක   Dr. Kumudu Ekanayaka Creative Psychotherapist and Psychological Counselor