ඔබේ ගෙදරින් අදම පටන් ගන්න……

ලංකාවේ  අපි අපද්‍රව්‍ය බැහැර කරන විදිහ හරිම අපූරුයි. එක ක්‍රමයක් තමයි ගෙදර විසි කරන හැමදේම එක මල්ලකට  දාලා කුණු  ගෙනියන්න එන නගර සභාවේ ලොරියට දෙන එක. වඩාත් ජනප්‍රිය අනෙක් ක්‍රමය තමයි, ‍හොඳට කුණු මල්ල බැඳලා උදේට  වැඩට යන  ගමන් කොහේ හරි තුංමං හන්දියකට හරි, පොදු තැනකට හරි විසිකරලා අත පිහගන්න එක. මේ ක්‍රම දෙකේම විපාක වර්තමානයේ අපි සියළුම දෙනා අත් විඳිනවා කියන එක ඔබ දන්නවා. ලංකාවේ ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා  වර්ධනය වුණේ මේ දේවල් වල ප්‍රතිඵලයක් විදිහට. අනාගතේ දවසක අපද්‍රව්‍ය බැහැර කරන අංගනයක් විදිහට ඔබේ නිවස ළඟ හිස් ඉඩමක් රජය විසින් තෝරා ගත්තොත් ? එදාට එය ඔබට පෞද්ගලිකව දැනෙන ප්‍රශ්ණයක් වෙනවා නේද? ඒ නිසායි  අප සියළුම දෙනා අපද්‍රව්‍ය කළමනාකරණය කියන සංකල්පයට විශේෂ අවධානයක් යොමුකළ යුත්තේ.

අපද්‍රව්‍ය කියන්නේ අපි සියළුම දෙනාගේ වගකීමක් වෙනවා වගේම අපද්‍රව්‍ය නියමිතව බැහැර කිරීම සමාජමය යුතුකමක්. දිනකට කොළඹ නගරයට ඇතුළු වන මිලියනයක් පමණ වෙන ජනතාවගේ දිවා ආහාරය දවටන සෙලෝෆේන් කොළය, තෙත කුඩය දාගන්න අරං එන සිලි බෑගය, අතර මගදී බොන ප්ලාස්ටික් වතුර බෝතලය වගේම කෝච්චි පෙට්ටියේ ආසනය පිස දැමීමට රැගෙන එන පත්තර කඩදාසිය පවා කොළඹ නගරයේ අපද්‍රව්‍ය කඳු නිර්මාණය කිරිමට දායක වෙනවා.

නාගරීකරණයට මූහුණ දෙන හැම රටකටම පොදු තත්ත්වයක් මේ ආකාරයෙන් අපද්‍රව්‍ය එකතු වීම . නමුත් එය පාරිසරික සහ සමාජමය ගැටළුවක් බවට ඒ හැම රටක්ම පත් කරගන්නේ නැහැ. එයට හේතුව එම රටවල ක්‍රමානුකූලව අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේද වගේම කසළ කළමනාකරණයත් ජාතික ප්‍රතිපත්ති වලට ඇතුළත් කරලා තිබීම. විදෙස් සංචාර වල යෙදුන  අපේ රටේ පුද්ගලයෝ එවැනි රටවල ඇති පිරිසිදුකම සහ කසල බැහැර කිරිමේ කාර්යක්ෂමතාව පිළිබඳව කොතෙක් අගය කළත් තමන්ගේ රටේ දී ඔවුන්ගෙන් බහුතරයක් ඉතාම වගකීම් විරහිතව අපද්‍රව්‍ය බැහැර කිරීම තමා ප්‍රායෝගික සත්‍යය. මෙතනදී මා විශේෂයෙන් ම අවධාරණය කරන්නේ අපද්‍රව්‍ය කළමනාකරණය ජාතික ප්‍රතිපත්තියක් හෝ නීතියක් වුන පමණින් රටක් මේ ප්‍රශ්ණයේ දී සාර්ථකත්වය ලබන්නේ නැහැ කියන කාරණය. එය  පිළිබඳව රටේ ජීවත්වෙන හැම දෙනාගේම හැඟීමක්  ඇති විය යුතුයි. අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ආකල්පමය වෙනසක්  ජනතාව තුල ඇති වෙන්න ඕනෑ. තමන්ගේ ගෙදරින් පටන් ගත්තොත් මේ වෙනස අපේ මුළු රට තුළම ඇති කරන්න පුළුවන් කියලා මා දැඩි විශ්වාසයකින් කියනවා.

ලංකාවේ  අපද්‍රව්‍ය නිර්මාණය වන ආකාරය අධ්‍යනය කළොත්  පෙනී යන කාරණය වන්නේ ඒ සඳහා වැඩිම දායකත්වයක් දක්වන්නේ සමාජයේ ඉහළයයි සම්මත ස්ථරය වන බවයි. මෙම සුළු පිරිසගේ  ක්‍රය ශක්තිය ඉහළ වීමත් , ඔවුන් සමාජමය වශයෙන් ඉතා ක්‍රියාකාරී කොටසක් වීමත් මීට හේතු වෙනවා. එහෙත් ඔවුන්ගේ අතිරික්තයන්  අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන්  සමාජයේ බහුතරය වෙත ඇති වන ඍණාත්මක බලපෑම සාධාරණීකරණය කරන්න ඔබට පුළුවන්ද? මෙහි දී ඉතාම පැහැදිළිව තවත් කාරණයක් වන්නේ මා ඉහත සඳහන් කළ  සමාජ සුළුතරයට අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ හැකියාවක් සහ දැනීමක් යන දෙකම පැවතියත් ඔවුන් ඒ වගකීම වටහාගෙන කටයුතු නොකිරීමයි. බොහෝ විට ඔවුන්ගේ නිවෙස්වල කටයුතු වලට සහාය වීම සඳහා  වැටුප් සහිත සේවකයෙක් හෝ දෙදෙනෙක් සිටිනවා. නිවැරදි උපදෙස් සහ යොමු කිරීම මගින් ඉතා පහසුවෙන් මේ නිවෙස් වල අපද්‍රව්‍ය සේවකයන් ලවා කළමනාකරණය කරගන්නට  ඒ නිවැසියන්ට හැකියාව තිබෙනවා.

පළමුව ඔබ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ඔබේ වගකීම වටහාගත යුතුයි. මේ ක්‍රියාදාමයේ පළමු පුරුක ඔබේ නිවසයි. ඒක පුද්ගල වගකීම  ඉටු කිරීම තුළින් සාමූහික නැතහොත් සමාජමය වගකීම ඉටු කරන්නට ඔබට නිතැතින්ම හැකියාව ලැබේවි. එවිට මෙම වගකීමේ අනෙක්  ජාතික කොටස්කරුවන් වන මධ්‍යම රජයත්, නගර සභාවත්,  මාධ්‍යත්  ඔවුන්ගේ  දායකත්ව ලබා දෙමින් මෙහි ඉතිරිය සපුරාවි . එදිනට මෙසේ අදහස් දක්වන මමත්, මේ ලිපිය කියවන ඔබත් අපද්‍රව්‍ය යනු සම්පතක් නැමති සංකල්පය විවාදයෙන් තොරව පිළිගනීවි.

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ බොහෝ යෝජනා ඇතත්  ඔබට ඔබේ ගෙදර තුළම ඉතා පහසුවෙන්  අනුගමනය කිරීමට හැකි වෙනස් කම් කිහිපයක් පමණක්  මේ ලිපියෙන් මා යෝජනා කරන්න කැමතියි.

මාපිය පදවියේ යුතුකම අකුරටම ඉටුකළ බව හිතුවත් ඔබට මේ දේ මගහැරුණා නේද?

අද වන විට අතීතයේදීට වඩා දරුවන් හා දෙමාපියන් අතර දුරස්ථ බව අඩු වී ඔවුනොවුන් යහළු යෙහෙළියන් මෙන් සමීපව සිටියද අත්‍යවශ්‍ය කරුණු කාරාණා පිළිබඳව සාකච්ඡා කිරීමට නම් දෙපාර්ශවයටම කාලයක් නොමැති තරම්. ආර්ථීක ගැටුම් මත අද වන විට මවත් පියාත් රැකියාවල නියුක්ත වීම මේ තත්ත්වයට මූලිකවම බලපාන හේතුවයි. දෙමාපියන්ගේ මූලික අරමුණ රැකියාවේ නියුක්ත වෙමින් උපයන මුදලෙන් දරුවන්ට අවශ්‍ය දේ උපරිමයෙන් ලබාදීමයි. දරුවන්ට පැවරෙන කාර්යය වන්නේ සිය අධ්‍යාපනය කටයුතු ඉදිරියට කරගෙන යාමයි. මෙතැනදී දෙමාපියන් සිට යුතුකම් 100%ක්ම ඉටුවන බව සිතුවද දරුවන් වෙනුවෙන් විශාල වගකිමක් ඔවුන්ට මගහැරෙන බව නොදනී. යොවුන් දරුවන් අද වන විට මුහුණ දෙන අභාග්‍ය සම්පන්න අවස්ථා හමුවේ මෙසේ මගහැරෙන කරුණ පිළිබඳව මනාව අවධාරනය වේ.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු/පෝෂණය/දරුවාගේ සුව දුක් ඇතුළු සියල්ල විමසන ඔබට මගහැරුනේ කුමක්ද?

ඔබේ යොවුන් වියට මොහොතක් සිතින් පිවිසෙන්න. දිනෙන් දින උස් මහත් වන දරුවන්ට ඔවුන්ගේම සිරුර ගැන ඇති වන්නා වූ ගැටලූ කොපමණක් තිබේද යන්න දැන් ඔබේ සිහියට නැගුණා නොවේද? ඒ හා සම්බන්ධව ඔවුන් පත්වන අපහසුතාවයන්/නොදැනුවත් දේ පිළිබඳව දැනුවත් වීමට ඔවුන් දරන උත්සාහය, කුතුහලය, අසහනය මේ සියල්ල යොවුන් දරුවෙකුගේ මනස තුළ කැකෑරෙමින් පවතින බවට ඔබට ද අත්දැකීම් නොමැති විය නොහැක. එදා සමාජය මෙන් නොව අද වන විට දරුවාට නිවසින් තමාට අවශ්‍ය තොරතුරු නොලැඛෙන කළ මිතුරන්/වෙනත් වැඩිහිටියන්/අන්තර්ජාලය හරහා හෝ දරුවන් තමා කුතුහලයෙන් පෙලෙන කරුණු පිළිබඳව දැනුවත් වීමට උත්සාහ දරයි. මෙහි අනාරක‍ෂිත බවක් පවතින බව ඔබට දැන් වැටහෙනු ඇත. එනම් ප්‍රජනන සෞඛ්‍ය/ලිංගික සෞඛ්‍ය පිළිබඳව අවශ්‍ය දැනුවත් බව ලබාගැනීමට සැරසෙන්නේ විධිමත්/විශ්වසනීය මට්ටමින් නොවේ. දරුවෙකුගේ ජීවිතයට සිටින විස්වාසවන්ත පුද්ගලයන් වන්නේ මා පියන්මය. ඉතිං මෙවැනි තත්ත්වයකදී දරුවා දැනුවත් විය යුත්තේ පාසැලේ විෂය නිර්දේශයට අනුව සිදුවන ඉගැන්වීම් හරහා සහ දරුවාගේ මාපියන්ගෙන් පමණි. මන්ද ප්‍රජනක සෞඛ්‍ය/ලිංගික අධ්‍යාපනය පිළිබඳව අවශ්‍ය තොරතුරු අනිසි මාර්ග හරහා සොයා යෑම දරුවා අවදානමකට ඇද දමන්නකි. එබැවින් විධිමත්/විශ්වසනීය මට්ටමින් තොරතුරු ලබාගැනීමට මගක් දරුවන් සතුවිය යුතුමය. ඒ නිසාම නිසි වයසට සරිලන ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබාදීම සඳහා රජය මගින් ද බොහොමයක් පියවර දියත් කරමින් සිටී. මේ හා සම්බන්ධව පාර්ලිමේන්තුවේ තුසිතා විජේනායක මන්ත්‍රීතුමියගේ ප්‍රධානත්වයෙන් පවතින කාන්තා සහ ස්ත්‍රී/පුරුෂ සමාජභාව අනුකමිටුවේ සුවිශාල කැපවීම මත චක්‍රලේක සකස් කොට වයසට සරිලන ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබාදීම සඳහා අවැසි වැඩළෙිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී.

පාසැල් විෂය නිර්දේෂයට අනුව ප්‍රජනක සෞඛ්‍ය අයත් වන්නේ විද්‍යාව විෂය මාලාවටයි. එසේම ලිංගික සෞඛ්‍ය විෂය ඇතුළත් වන්නේ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය විෂය තුළයි. නමුත් මෙම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය සිසුන්ට අවශ්‍ය නම් පමණක් තෝරාගත හැකි විෂයකි. එම විෂය තෝරාගන්නේ සිසුන්ගෙන් 40%ක කොටසක් පමණි. ඒ හේතුවෙන් 60% සිසුන් පිරිසකට ලිංගික සෞඛ්‍ය පිළිබඳව අවශ්‍ය දැනුම නොලැබී යනු ඇත. තවද පාසැල් කාල පරිච්ඡේදය තුළ මේ හා සම්බන්ධව දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමට මෙන්ම කුසලතා සංවර්ධනය වෙනුවෙන් වෙන්වී ඇති කාල සීමාව ද අවමය. මෙය සැබවින්ම ගැටලූකාරී තත්ත්වයකි. ඒ නිසාම අද වන විට සාමාන්‍ය පෙළ අවසන් කළ දරුවන්ට දින දෙකක් මේ පිළිබඳ දැනුම ලබාදීමට පියවර ගැනීමට කටයුතු කරමින් පවතී. නමුත් එය ආරම්භ විය යුතුතේ ඊට පෙර වයස් සීමාව තුළයි. ඊට අමතරව වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු වන පාසැල් දරුවන්ගේ විෂය නිර්දේශයට ද ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමට නියමිතය.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වාසි

  • දරුවන් තුළ ලිංගිකත්වය පිළිබඳ දැනුම වර්ධනය වේ
  • දරුවන්ගේ ආකල්පයමය සංවර්ධනයක් ඇති වේ
  • දරුවන් තුළ යහපත් ලිංගික සෞඛ්‍ය ප්‍රවර්ධනය කෙරෙහි කුසලතාවය වර්ධනය වේ
  • මතු දිනෙක සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසේ
  • ලිංගිකත්වය පිළිබඳව ධනාත්මක ආකාල්ප ඇති වේ
  • ලැජ්ජාව හේතුවෙන් තමාට ඇති ගැටලූ සඟවා සිටීමෙන් ඇති විය හැකි හානිදායක තත්ත්වයන් වැලකේ

ලිංගික සෞඛ්‍ය පිළිබඳ දරුවන් දැනුවත් කිරීම තුළින් ඔවුන් අනවශ්‍ය ලෙස එවැනි දේ කෙරේ යොමුවෙනු ඇතැයි ඇතැම් වැඩිහිටියන් සිතුවද දැනුවත් බව තුළින් බොහොමයක් හානිදායක තත්ත්වයන් වළක්වා ගැනීමට හැකි වී ඇති බව සමීක‍ෂණ වාර්තා මගින් ද සනාථ වී ඇත. දුර්මත ඉවත ලා දරුවන්ට අවැසි ලිංගික අධ්‍යාපනය වයසට සරිලන ආකාරයෙන් ලබාදීම වැඩිහිටියන්ගේ වගකීම් ගොන්නට අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතු අංගයකි.

දරුවන්ට ප්‍රජනක සෞඛ්‍ය පිලිබඳව නිසි දැනුවත් බවක් අවශ්‍ය වන්නේ ඇයි?

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නීතියට අනුව වයස අවුරුදු 16 සම්පූර්ණ දරුවන්ට සිය කැමැත්ත අනුව ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීමට අවසර ඇති අතරම නීතිමය විවාහයකට යොමු විය හැක්කේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසුයි. නීතියට අදාලව මෙවැනි තත්ත්වයක් තිබුණද යොවුන් වයසේදී නොදැනුවත්කම මත අනාරක‍ෂිත ලිංගික ක්‍රියාවලට යොමුවන යොවුන් දරුවන් ඒ හා සම්බන්ධව ආරක‍ෂිත ක්‍රම පිළිබඳ දැනුවත් වීම අත්‍යවශ්‍යය. මෙවැනි දරුවන් වයසට සරිලන ලිංගික අධ්‍යාපනය නොමැති හේතුවෙන් නිසි ආරක‍ෂිත ක්‍රමයක් භාවිත නොකිරීම හේතුවෙන් ගැබ්ගැනීම/ලිංගාශ්‍රිත රෝගවලට ගෙදුරු වීම මෙනම් නීතිගත නොවන ගබ්සාවලට යොමු වේ. මෙය ලිංගික සෞඛ්‍යයට අවදානම් තත්ත්වයකි. මෙහිදී ඔවුන් නිසි දැනුම ලබා සිටියේ නම් එවැනි අවදානම් තත්ත්වයකට පත් නොවනු ඇත. අද වන විට යොවුන් දරුවන් ලැජ්ජාව නිසා මේ හා සම්බන්ධ දැනුවත් බව ලබාගැනීමට මැලි කමක් දක්වයි. ඒ සමාජ සංස්කෘතික පසුබිම මතයි. නමුත් මේ පිළිබඳව දරුවන් දැනුවත් කිරීම දෙමාපියන්ගේ වගකීමක් වන්නේ මෙවැනි අවදානම් තත්ත්වයන්ගෙන් දරුවා මුදවා ගැනීමට ඇයට/ඔහුට දැනුවත් බව අවශ්‍ය නිසාය.

තවද අද වන විට සමාජ මාධ්‍යජාල හා සම්බන්ධව ඇති වන නොයෙකුත් ආකාරයේ ලිංගික ගැටලූ හේතුවෙන් යොවුන් දියණයන් සිය ජීවිතය පවා අහිමි කරගත් අවස්ථා අසන්නට ලැබුණි. මේ පිළිබඳව නිසි දැනුවත් බවක් ඔවුන් සතුව තිබිණි නම් එවැනි තත්ත්වයන් ඇති වන්නේ නැත.

එසේම නව යොවුන් වියේ දරුවන් පමණක් නොව අද වන විට විවාහක පුද්ගලයන් පවා ලිංගික සෞඛ්‍ය පිළිබඳව ඇති නොදැනුවත්කම හේතුවෙන් නොයෙකුත් ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින අවස්ථා අනන්තවත් අපට අසන්නට දකින්නට ලැබේ. විවාහ වී වසර ගණනක් ගත වුවද නිසි සබඳතාවයක් ඇති නොවන යුවළවල් කොතෙකුත් සිටින අතරම ඒ මූලිකවම ලිංගික අධ්‍යාපනය පිළිබඳව ඇති නොදැනුවත් බව නිසාමය. තවද මේ පිළිබඳව නිසි අධ්‍යාපනයක් නොමැති වීම අතවරයන්ට ලක්වීමටද මූලික හේතුවක් විය හැකිය.

එසේම එක් එක් වයස් සීමාවන්ට අනුව දරුවනට ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව අවශ්‍ය දැනුවත් බව ලබාදීමට වැඩිහිටියන් වශයෙන් ඔබ උනන්දු විය යුතුය. වයස අවුරුදු 11 සිට 14, 15 වැනි වයස් සීමාවන්හි දරුවනට ශරීරය පිළිබඳව මෙන්ම හෝමෝන වෙනස් වීම හේතුවෙන් ශාරීරිකවත් මානසිකවත් ඇති විය හැකි වෙනස්කම් පිළිබඳවත් ආර්ථව චක්‍රය, පෞද්ගලිකත්වය, පිරිසිදු බව පිළිබඳවත් යම් යම් අදහස් ඉතා සරලව වටහා දීමට ගැහැණු දරුවන් සඳහා මවකට ද පිරිමි දරුවන් සඳහා පියාට ද හැකිය. එසේම අවුරුදු 15 සිට අවුරුදු 18 දක්වා වයස් සීමාන්වල දරුවනට ද්විතියික ලිංගික වෙනස්කම් මෙන්ම ඒවා කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳවත් ඒ වෙනස්කම් හමුවේ ජීවිතයට මුහුණදීම පිළිබදවත් අවබෝධ කිරිම ඉතා වැදගත් වේ. එසේම පිරිසිදුව සිටීම/එක් එක් දේ හා බැඳුණු මිත්‍ය මත/ගැටලූකාරී තත්ත්වයන් සහ ඒවාට විසදුම්/වැරදි අවබෝධයන් මෙන්ම මේ හා සම්බන්ධ යම් යම් රෝගාබාධ පිළිබඳවත් දැනුවත් කිරීම් කළ හැකිය. පාසැලෙන් දරුවාට හිමිවන ප්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපනයට අමතරව ඒ පිළිබඳව දරුවා දැනුවත් කිරීමේ වගකීම මාපියන් සතු වන බව සිහි තබාගන්න. ඒ තුළින් අඩු වයසින් ගැබ් ගැනීම්/ලිංගික රෝග වැනි තත්ත්වයන් අවම කරගැනීමට ද අවස්ථාව සැලසේ. අද වන විට වයස අවුරුදු 18 අඩු ගැහැනු දරුවන් ගැබ් ගැනීමේ වැඩි වෙමින් පවතින බවක්ද දක්කට ලැබේ.

මා පියනි මේ, ඔබේ දැනුවත් බව හරහා  දරුවන් දැනුවත් කළ යුතු කාලයයි. Parenting.lk  වෙබ් අඩවියේ මේ සැරසෙන්නේ ධෛර්යමත් මෙන්ම මානසිකවත් ශාරීරිකවත් නිරෝගී පුරවැසියන් හෙට ලොවට දායාද කරන්නට අද දින උපරිමව කැප වන ඔබ වැනි මව්පියන්හට අවැසි දැනුවත් බව සැපයීමටයි. මෙතැන් සිට පියවරෙන් පියවර ඔබ වෙත ගෙන එන ප්‍රජනක සෞඛ්‍ය /ලිංගික අධ්‍යාපනය පිළිබඳව දැනුම ගොනු වූ ලිපි පෙළ සැබවින්ම ඔබේ යොවුන් දරුවාට නිසි දැනුවත් බව ලබාදෙන්නට ඔබට වැදගත්වනු නිසැකය. ඊළඟ ලිපිය හරහා අප ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වන්නේ යොවුන්විය පිළිබඳවයි.

වෛද්‍ය ජානකී විදානපතිරන, ප්‍රජා වෛද්‍ය විශේෂඥ
ජාතික ලිංගාශ්‍රිත රෝග/එඩ්ස් මර්දන වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යංශය

 

Smartphone එක ඔබ හිතනවාට වඩා ගොඩාක් ඔබේ දරුවාට අහිතකරයි. හේතුව මෙන්න.

මීට දශකයකට පමණ පෙර මනෝවෛද්‍ය විද්‍යාඥ සූ පාමර් (Sue Palmer) විසින් සමාජ මාධ්‍ය ජාල වල අහිතකර ප්‍රතිවිපාක ගැන අනාවැකි පල කළා. දැන් ඇය අපි හැමෝටම අලුත් අනතුරු ඇඟවීමක් කරනවා. මේ ලිපිය somedaily.org වෙබ් අඩවියට මනෝවෛද්‍ය විද්‍යාඥ සූ පාමර් විසින් ලියන ලද ලිපියක පරිවර්තනයකි.


සුපිරි වෙළඳසැලේ ගෙවීම් කවුන්ටරයට ලඟා වූ විටම මා දුටුවේ, ඒ ආසන්නයේම ඇති පැණිරස කෑම ඉල්ලා තම මවට ඇවටිලි කරන කුඩා දැරියකි.

“නැහැ, ඒවා ඔයාගේ දත් වලට නරකයි”

අම්මා එහෙම කියපු සැනින්ම අවුරුදු දෙකක් පමණ වූ මේ කුඩා දැරිය මුළු වෙළඳසැලම දෙවනත් වන හඬින් කෑ ගහලා අඬන්න ගත්තා. අම්මට දැන් හරිම ලැජ්ජයි.
ඊළඟට සිදුවෙච්ච දෙයින් මම පුදුමයට පත්වුනා. ලැජ්ජාවට පත්වෙලා සිටිය මව, කිසිම පැකිලීමකින් තොරව අත් බෑගයට ඇත පොවලා අයගේ iPad එක එලියට ගත්තා. iPad එක පුංචි දැරියගේ අතට දුන්නා විතරයි, ඇඬිල්ල නතර කරපු දැරිය ආයෙත් සුහච කීකරු විදියට නිහඬව සිටියා.
අවුරුදු තුනකට විතර උඩදී සිදුවුණ මේ සිද්ධිය, iPad එකක් දරු නැලවිලි උපකරණයක් හැටියට භාවිතා කරනවා මම දුටු පළමු අවස්ථාව. හැබැයි ඒ අවසාන අවස්ථාව නම් නෙවෙයි. දෙමව්පියන් දහස් ගණනක්, තමන්ගේ හිතේ නිදහස රැක ගන්න කිසිම පැකිලීමකින් තොරව කුඩා ළමුන්ගේ සහ නව යෞවනයන්ගේ අතට smartphones සහ tablet පරිගණක ලබා දෙනවා.

අලුත්ම සමීක්ෂණ දත්ත අනුව බ්‍රිතාන්‍යයේ කුඩා දරුවෙක් දිනකට පැය 5ත්, 6ත් අතර ප්‍රමාණයක් electronic තිරයක් දෙස බලාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට මේ දරුවෝ එක විටම තිර දෙකක් දිහා අවධානය යොමු කරනවා (TV බලන ගමන් smartphone භාවිතය). තාක්ෂනය සීග්‍රයෙන් දියුණු වීමත්, පසුගිය පරම්පරා වලට වඩා වැඩි වේගයකින් දරුවන් තාක්ෂනය හා හුරු වීමත් නිසා මේ ව්‍යසනය තේරුම් ගෙන පාලනය කිරීමට දෙමාපියන්ට ඉතා අසීරු කටයුත්තක් වෙලා තියෙනවා. Electronic තිරයක් ඉදිරි පිට මෙපමණ වෙලාවක් ගත කිරීම නිසා, නව පරම්පරාවේ දරුවන් විද්‍යාගාර පරීක්ෂණයකට යොදා ගන්නා මීයන් පිරිසක් බවට පත්වෙලා තියෙනවා. මොකද, මේ හැසිරීම් වල අතුරු ප්‍රතිපල ගැන තාමත් කිසිම කෙනෙක් දන්නේ නැති නිසා. 2010දී iPad වෙළඳපොළට පැමිණීමටත් පෙර සිටම, ව්‍යායාම වලින් තොර රටාව නිසා දරුවන්ගේ ඇතිවන දුබලතා ගැන වෛද්‍යවරු අනතුරු ඇඟවීම් කර තිබුනා.

තවත් පර්යේෂකයන් කිහිප දෙනෙක් සමග මා කල සමීක්ෂණයකදී හෙළි වුනේ, “අවධාන ඌනතාවය” (attention deficit) සහ “අධි ක්‍රියාකාරීත්වය” (hyperactivity) යන සංකුලතා සඳහා නිර්දේශ කරන රිටාලින් (Ritalin) නම් ඖෂධයේ අලෙවිය වසර දහයක් ඇතුලත හතර ගුණයකින් පමණ වැඩි වී ඇති බවයි.අපේ පර්යේෂණ වලින් තවදුරටත් හෙළිවූයේ, දීර්ගකාලීනව electronic තිර හා කාලය ගතකිරීම, ස්ථුලතාවය, නින්ද පිලිබඳ ප්‍රශ්න, අධි ක්‍රියාකාරීත්වය, දුර්වල සමාජ සම්බන්ධතා සහ විශාදය වැනි තත්වයන් කෙරෙහි සෘජු ලෙසම බලපාන බවයි.

අපේ පර්යේෂණයෙන් තවදුරටත් හෙලිවුයේ දරුවන්ගෙන් 10% පමණ නින්දට යාමට පෙර iPad එකක් හෝ smartphone එකක් සමග කාලය ගතකරන බවයි (පරිවර්තකයාගේ සටහන: ලංකාවේදී නම් smartphones බහුලව යොදාගන්නේ කුඩා දරුවන්ට කෑම කවීමේදී සහ, දෙමාපියන්ට නිදහසේ TV බැලීමට අවශ්‍ය වූ විටදීයි).

බොහෝ දෙනෙක් නොදන්නා කරුණ නම්, iPad සහ iPhone වෙළඳපොළට එවන Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් කිසිම දිනෙක තමන්ගේ දරුවන්ට කුඩා අවදියේදී iPhone හෝ iPad භාවිතා කිරීමට ඉඩ ලබා නොදුන් බවයි. අනෙක් දෙමාපියන්ගේ සුබ සිද්ධිය සඳහා ඔහු මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබුනානම් කොපමණ අගනේදැයි මට හිතෙනවා.

තිරය සමග කාලය ගතකිරීමෙන් සිදුවන මේ සංකුලතා වලට අමතරව, මේ හේතුවෙන් ඔවුන්ට අහිමි වන “නියම ක්‍රීඩා” කිරීමේ අවස්තාව ගැනත් හිතන්න ඕනා.Smartphones වල කාලය ගත කරන මේ දරුවන්ට, හිරු එළියේ ඇඟ වෙහෙසෙන ක්‍රීඩාවක් කිරීමට කිසිම උනන්දුවක් ඇතිවෙන්නේ නැහැ. මෙවැනි ඇඟ වෙහෙසෙන නියම ක්‍රීඩා යනු දරුවන්ට අනිවාර්යෙන්ම ලැබිය යුතු දෙයක් හැටියටයි වෛද්‍යවරු දකින්නේ. එය නින්ද හා ආහාර සේම මනුෂ්‍ය ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් ලෙසයි ඔවුන් පවසන්නේ.

සමාජ සම්බන්ධතා සහ චිත්ත රූප ගොඩනැගීමේ ස්නායු ක්‍රියාකාරීත්වය කුඩා කාලයේම හරි ස්ථාපනය නොවුනොත්, වැඩිහිටි වූ පසු එකී ක්‍රියාකාරකම් සංවර්ධනය කර ගැනීම කෙනෙකුට අපහසු වෙනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස, තමාගේ වටා ඇති ලෝකය ගැන නිවැරදි චිත්ත රූප ගොඩනගා ගැනීමට නොහැකි, ඒ නිසාම සමාජ සම්බන්ධතා වලදී අතිශය පසුගාමී අනාගත පරම්පරාක්වක් බිහිවීම නොවැලක්විය හැකි කාරණාවක් බවට පත්වෙනවා.

එලි පහලියට බැස ක්‍රීඩා කිරීම, “රඟ දැක්වීමේ ක්‍රීඩා” (pretend play – උදාහරණ ලෙස සෙල්ලම් ගෙවල් කිරීම, හොරා පොලිස් ක්‍රීඩාව) වැනි දේවල් දරුවන්ගේ මානසික වර්ධනයට ඉතාමත් අත්‍යාවශ්‍ය දේවල් ලෙස සැලකෙනවා. මෙවන් ක්‍රීඩා තුලින්, ප්‍රශ්න නිරාකරණය කරගැනීමේ හැකියාව, ගැටුම් මග හැරීමේ හැකියාව, අන් අයගේ සිතැඟි හඳුනාගැනීමේ හැකියාව වැනි අතිශය වැදගත් සමාජ හැකියාවන් දරුවන් තුල වර්ධනය වෙනවා.

ඇමෙරිකානු ළමාරෝග වෛද්‍ය සංගමය පවසන පරිදි වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට electronic තිර කිසි සේත් ලබාදිය නොයුතුයි. ඉන් අනතුරුව, උපරිමය දිනකට පැය දෙකකට යටත්ව දරුවෙකුට තිරයක් සමග ගතකිරීමට දීම සුදුසුයි (TV, Laptop, tablet, smartphone ඇතුළු සියලු තිර සඳහා එකතුව).

(මේ ලිපිය ඔබට උපකාරී වුවා නම් තවත් කෙනෙකුගේ යහපත සඳහා Facebook මගින් මේ ලිපිය share කිරීමට කාරුණික වන්න)

 

 කතුවරිය ගැන


ලිපියේ කතෘ මනෝවෛද්‍ය විද්‍යාඥ සූ පාමර්, පොත්, රුපවාහිනී වැඩසටහන්, සහ වෙනත් ප්‍රකාශන 200කට වඩා අධික ප්‍රමාණයකට දායකවූ ළමා මනෝවිද්‍යාව පිලිබඳ විශේෂග්‍ය වරියකි.

මේ ලිපිය somedaily.org වෙබ් අඩවියට මනෝවෛද්‍ය විද්‍යාඥ සූ පාමර් විසින් ලියන ලද ලිපියක පරිවර්තනයකි.

                

පුතාගේ ඇහි පිලල්මේ ලොකු ගෙඩියක්, ඇහැ ඉදිමිලා, රතු වෙලා …

මේ මොකද්ද මේ ලෙඩේ … ?

“ඊයේ පුංචි ගෙඩියක් ඇස් පිල්ලමේ තිබුණා.. ඒත් කවුද හිතුවේ අද උදේ වෙද්දි මෙහෙම වෙයි කියලා.”මේ අපි කාටත් හිතෙන විදිය. ඇත්තටම මෙවැනි තත්ත්වයක් ගැන මේ ඔබේ පළමු අත්දැකීම නම් වරදක් කියන්නත් බැහැ. ඒත් මේ තත්ත්වයට අවශ්‍ය ක‍ෂණික පියවර ගන්න නම් මව්වරුන් දැනුවත්ව සිටීම හරිම වැදගත් වෙනවා. මොකද අපි මේ ඔබට තොරතුරු ගෙනෙන්නට යන්නේ Periorbital Cellulitis නම් වූ තරමක් භයානක, නිසි අවධානය යටතේ ඖෂධ මගින් සුව කළ හැකි තත්ත්වය පිළිබදවයි.

මොකදද්ද මේ Periorbital Cellulitis කියන්නේ?

ඇස් පිය සහ පටක අතර ඇතිවන තරමක භයානක ආසාදනයක් වන Periorbital Cellulitis තත්ත්වය නිසි අවස්ථාවේදී හඳුනා අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර වෙත යොමු වුවහොත් ඉතා හොඳින් පාලනය කළ හැකි තත්ත්වයකි. මෙය සාමාන්‍යයෙන් හටගන්නේ එක් ඇසක වන අතරම බොහෝවිට අනෙක් ඇසට ගමන්ගන්නා අවස්ථා නැති තරම්ය. මේ තත්ත්වය සාමාන්‍යයෙන් දැකගත හැකි වන්නේ වයස අවුරුදු 10ට අඩු දරුවන් අතරය.

Periorbital Cellulitis ඇති වීමට හේතු :

ඇස වටා කැසීමෙන් හෝ හිස කෙස්වල උකුණන් සිටීම නිසා හටගන්නා කැසීම හේතුවෙන් ඇති වන තුවාලද වෙනත් කුඩා කෘමි සතෙකුගේ සපාකෑමක් වැනි තත්ත්වයන් හේතුවෙන් මෙසේ බැක්ටීරියා ආසාදනයන් ඇති විය හැකිය. එසේම කෝටර දාහය/ නාසාරන්ධ‍්‍ර ඉදිමීම (sinusitis), ඇසට සිදු වූ කුඩා තුවාල හෝ සැත්කම්, අපිරිසිදුකම වැනි සාධක ද Periorbital Cellulitis තත්ත්වය ඇති වීමට බලපෑ හැකිය.

මෙහිදී මූලිකවම ක්‍රියාත්මක වන බැක්ටීරියාවන් වන්නේ Staphylococcus හෝ Streptococcus වර්ගයේ බැක්ටීරියාවන්ය. ඊට අමතරව  Haem  ophilus influenzae බැක්ටීරියාව නිසා ද ඇතැම් අවස්ථාවල මේ තත්ත්වය ඇති වූ බව සොයාගෙන ඇත.

Periorbital Cellulitis තත්ත්වයේදී පෙන්නුම් කරන ලක‍ෂණ 

  • ඇස වටා හෝ ඇසෙහි සුදු පැහැ කොටසේ රතුවීම
  • ඇස වටා ඉදිමුම
  • ඇතැම් දරුවන්ට උණ ඇති විය හැකි අතරම ඇතැම් දරුවන්ට උණ ඇති වීමක් නොවේ
  • ඇස ඉතා මෘදු බවින් යුක්තය
  • සාමාන්‍යයෙන් පෙනීමේ දුර්වලතාවයක් හෝ ඇසේ වේදනාව නොමැති අතරම වැඩිපුරම ඇත්තේ අපහසුතාවයයි
Periorbital Cellulitis තත්ත්වයට ප්‍රතිකාර කෙරන්නේ කොයි ආකාරයෙන්ද?

මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඉතාම වැදගත් වන්නේ මුල් අවධියේදීම හඳුනා ගැනීමට හැකි වීම හේතුවෙන් ඉක්මනින් ප්‍රතිකාර ඇරඹිය හැකි නිසාය.

ඔබගේ දරුවාගේ රෝගි තත්වය අනුව වෛද්‍යවරයා ප්‍රතිජීවක නියම කරනු ඇත. එහිදී දරුවාට ප්‍රතිජීවක ඖෂධ වර්ග පානය කිරිමට හෝ ඇතැම් අවස්ථාවලදී එන්නත් මාලාවක් ඔස්සේ පැය 48ක් ඇතුළත ප්‍රතිජීවක ඖෂධ එන්නත් කිරීම සිදුකරයි. අවශ්‍ය වුව හොත් විශේෂ්‍ය අක්ෂි වෛද්‍යවරයකු වෙතද යොමු කරනු ඇත.

කලාතුරකින් මෙම Periorbital Cellulitis තත්ත්වය Orbital Cellulitis තෙක් වර්ධනය වන අවස්ථා ද දැක ගත හැකි අතරම එය තරමක භයානක තත්ත්වයකි. මුල් අවධියේදීම රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර නොලැබී යාම හේතුවෙන් මේ තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. මෙම දෙවනි තත්ත්වයේදී ඇස වටා ඇති පටක ආසාදනයට ලක්වීමක් ඇති වන අතරම එමගින් දෘෂ්‍ය ආබාධ පමණක් නොව ඇතැම්විට දරුවාගේ ජීවිතය පවා අවධානමට ලක්විය හැකිය. ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ එබැවිනි.

මෙම රෝග ලක‍ෂණ ඇත්නම් ඉක්මනින්ම වෛද්‍යවරයා වෙත යොමුවන්න

  • ඇස රත් පැහැ වී/ඉදිමී තිබීම
  • වේදනාවකින් යුක්ත වීම
  • ඉහත ලක‍ෂණ ඇතුළු උණ ඇතිවීම
  • ඇස පිටතට නෙරා ඒමට හෝ අසි පිය ඇලී වැසීමට ආසන්නව තිබීම
  • පෙනීමේ යම් යම් වෙනස්කම්

Orbital Cellulitis තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර නොලැබුණහොත් දෘෂ්‍යභාධ, මෙනෙන්ජයිටීස් මෙන්ම ස්නායු ආශ්‍රිත ආබාධ ද ඇති විය හැකිය. නමුත් නියමිත ප්‍රතිකාර සමගින් මේ තත්ත්වයන් වුවද වළක්වා ගැනීමට හැකියාව පවතී. ඒ නිසා හැමවිටම දරුවාගේ රෝග ලක‍ෂණ පිළිබඳව අවධානයෙන් සිටින්න.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී , වෛද්‍ය එම්. එන් ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ

ප්‍රතිජීවක යනු බැක්ටීරියාවන් මගින් ඇති කරන රෝග නිවාරණය කරනු ලබන වටිනා ඖෂධයකි. ප්‍රතිජීවක නිවැරදිව භාවිත නොකළහොත් බැක්ටීරියාවන් තවදුරටත් ශරීරයේ පවතින්නට ක්‍රම සොයාගන්නා අතරම ප්‍රතිජීවක ඖෂධ නිවැරදිව භාවිත කිරීමෙන් එහි නිසි ක්‍රියාවලිය රැකගත හැක.

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී ඔබ නොකළ යුතු දේ


  • වෛද්‍යවරයාගේ නියම කිරීමකින් තොරව ප්‍රතිජීවත ඖෂධ ලබා ගැනීමෙන් වළකින්න
  • පෙර අවස්ථාවකදී වැළඳුණු රෝගයකට භාවිත කළ ප්‍රතිජීවක ඖෂධ, වෛද්‍ය නිර්දේෂයකින් තොරව නැවත එවැනිම රෝග තත්ත්වයකදී වුවද භාවිතයෙන් වළකින්න
  • මීට පෙර වැළඳි රෝගයකට වෛද්‍යවරයා නිර්දේශ කළ ඛෙහෙත් වට්ටෝරුවේ ඇති ප්‍රතිජීවක ඖෂධ නැවත මිලදී ගෙන භාවිත කිරීමෙන් වළකින්න
  • වෙනත් පුද්ලගයෙකුට නිර්දේශ කළ ප්‍රතිජීවත ඖෂධ ඔබ භාවිත කිරීමෙන් වළකින්න
  • වෛද්‍ය උපදෙස්වලින් තොරව ප්‍රතිජීවක භාවිතයට කිසිවෙකුට අනුබල දීමෙන් වළකින්න

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී ඔබ කළ යුතු දේ


  • ඔබ සඳහා වෛද්‍යවරයෙක් ප්‍රතිජීවක ඖෂද නිර්දේශ කළේ නම් පමණක් ඒවා භාවිත කරන්න
  • ඔබ සඳහා ප්‍රතිජීවක ඖෂධ නිර්දේෂ කොට ඇත්දැයි ඖෂධවේදියාගෙන් අසා දැනගන්න
  • ඔබගේ වෛද්‍යවරයා හෝ ඕෟෂධවේදියා ලබාදුන් උපදෙස්වලටම අනුව ප්‍රතිජීවක ඖෂධ වට්ටෝරුව සම්පූර්ණයෙන් භාවිත කරන්න
  • ඔබ සඳහා නිර්දේශිත ප්‍රතිජීවක ඖෂධ වට්ටෝරුව නිවරුදිව සම්පූර්ණ කිරීමට නොහැකි වේ නම් ඒ බව ඔබගේ වෛද්‍යවරයාට හෝ ඖෂද වේදියාට දැනුම් දෙන්න

නිවැරදි ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන වගකිව යුතු පුරවැසියන් වන්නට අප ඔබට ආරාධනා කරමු !!!

කැලුම් ගිමේන්ද්ර ජයසුරිය
ඖෂධ ගුණාත්මක තත්ව පිළිබඳ කළමනාකරු (B.pharm/Ind, MBA/SL)
ආසිරි ඖෂධ සේවා සමූහය

මොකද්ද මේ Hand-foot and Mouth Disease කියන්නේ…

Hand-foot and Mouth Disease, සිංහලෙන් අත්-පා-මුඛ රෝගය ලෙස හැඳින්වෙන රෝග තත්ත්වය එන්ටෙරෝ වෛරස (Enterovirus) මගින් ඇති වේ. මෙම රෝගය අත් පා මුඛ රෝග ලෙස නම් කර ඇත්තේ එම ස්ථානවල බහුලව මේ තත්ත්වය හටගන්නා නිසාය. සාමාන්‍යයෙන් මෙම වෛරස ආසාදනය දක්නට ලැඛෙන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතරය. වැඩිහිටිවියට පත්වීමත් සමගම වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය සිරුර තුළ සැකසුනත්, කලාතුරකින් වැඩිහිටියන් අතර ද අත් පා මුඛ රෝගය හට ගත හැක.

අත් පා මුඛ රෝග තත්ත්වය ඇති කරන වෛරසයේ බීජෞසන සමය දින 3 – 7ක් අතර කාලයකි. රෝගය බෝ වීම සිදුවන්නේ රෝගී දරුවෙකුගේ මලපහ/කෙල/සෙම්/සොටු මෙන්ම හටගන්නා බිබිලි පිපිරී පිටතට එන ශ්‍රාවයන් නිරෝගී දරුවෙකුගේ තැවරීමෙනි.

අත් පා මුඛ රෝගය වැළදුණු දරුවෙකු පෙන්නුම් කරන රෝග ලක‍ෂණ වන්නේ :


  • තද උණ
  • සම මත අවර්ණ වතුර බිබිලි ඇති වීම
  • උගුරේ ආසාදන
  • කෑම අරුචිය
  • දරුවා අලසව/අප්‍රාණිකව කාලය ගත කිරීම

මෙම රෝගි ලක්ෂණ සියල්ල එකවර පෙන්නුම් නොකෙරෙන අතර, සමහර අවස්ථා වලදී රෝග ලක්ෂණ නොපෙන්වූවත්, එම දරුවාගෙන් තවත් දරුවකුට රෝගය බෝ විය හැක.

දරුවාගේ සිරුරේ දණහිස/වැලමිට/තට්ටම/පිට මෙන්ම උගුර/මුඛය වැනි ස්ථානවල සාමාන්‍යයෙන් මෙම බිබිලි හටගන්නා අතර ඇතැම් විට ඒ බිබිලි මතුවීමට පෙර කුඩා රත්පැහැ බිබිලි සමූහයක් හටගන්නා අවස්ථාද දැකගත හැකිය. මෙසේ ඇති වන බිබිලි තරමක් විශාල වී වතුර බිබිලි බවට පත්වන අතරම දින පහක් හයක අවෑමෙන් පිපිරී ගොස් ඒ මත කබොල්ලක් හටගනී. මෙම බිබිලි වේදනාකාරි නිසා, දරුවාට ආහාරපාන ගැනීමේ අපහසුතා ඇති විය හැක. කෙසේ වුවද ඕනෑම වෛරස රෝගයක් සිරුරෙන්ම ඉවත් යන තුරු කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ උණ සහ සිරුරේ වේදනාව අවම කිරීම සඳහා දරුවාගේ බරට සරිලන පැරසිටමෝල් මාත්‍රාව වෛද්‍ය උපදෙස් අනුව ලබාදීමයි.

අත් පා මුඛ රෝගයෙන් පෙලෙන දරුවෙකු : 


  • විජලනයෙන් රැකගැනීම සඳහා සාන්ද්‍ර බවින් අඩු සහ ආම්ලික නොවන දියර වර්ග ලබාදෙන්න
  • සැමවිටම මද උණුසුම් ජලය පානයට ලබාදෙන්න
  • උගුර සෝදා පිටතට දැමීමට හැකියාව පවතින දරුවෙකු නම් මද උණුසුම් ජලයට ලූණු ස්වල්පයක් එක්කර උගුර සේදීමට ලබාදෙන්න.
  • බිබිලි පිපිරී තුවාල ඇතිවීම නිසා වෙනත් ආසාදන මතුවිය හැකිබැවින් සැමවිටම දරුවා පිරිසිදුව තබාගන්න. ඒ සඳහා මද උණුසුම් ජලයෙන් පිරිසිදු කර තෙත මාත්තු කරන්න. වෛද්‍ය උපදෙස් මත ලබා දෙන ආලේපනයක් ගැල්වීමේ වරදක් නැත.

මව්පියනි,

මෙවැනි බෝවන රෝගයක් හටගත් ඕනෑම අවස්ථාවක ඔබ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව විටින් විට අපි ඔබව දැනුවත් කර ඇත්තෙමු. මෙම රෝගය ඉතා ඉක්මනින් බෝ වන බැවින්, එසේ වීම වැලැක්වීමට

  • දරුවා රෝගය සුව වන තුර පෙරපාසැල්/පාසැල්/දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින්න
  • දරුවා පොදු ස්ථානවලට රැගෙන යාමෙන් වළකින්න
  • දරුවාගේ මලපහ ක්‍රමවත් ආකාරයකට බැහැර කිරීමට වගබලාගන්න
  • කිවිසීමේදී ලේන්සුවක් ආධාරයෙන් මුව වසා ගැනීමට දරුවාට කියාදෙන්න.
  • සෙල්ලම් බඩු වැනි දරුවන් නිතර පාවිච්චි කරන භාණ්ඩ රෝගි හා නිරෝගි දරුවන් අතර වෙන් කර තබන්න.
  • නිවසේ අනෙක් දරුවන් වෙන්කොට තැබිය හැකිනම් ඒ පිළිබඳව සැලකිලිමත්වන්න.
  • නිරෝගි දරුවන්ට නිතරම අත් සේදීමට පුරුදු කරන්න.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී , වෛද්‍ය එම්. එන් ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

දරුවන්ට නිසි පෝෂණයක් ලබා දෙන්න අපේ හෙළ සහළින් බැරිද?

අද වනවිට කාර්ය බහුල ජීවන රටාවකට හුරුව සිටින අපි වැරදි ආහාර රටා මෙන්ම කෘතිම ආහාර ජීවිතයට එක්කර ගනිමින් බෝ නොවන රෝග රාශියකට ඇරයුම් කරමින් සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2002 වාර්තාවට අනුව ශීඝ්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතුව පාරම්පරික ආහාර රටාවෙන් ඉවත් වීමයි. අන්තර්ජාලය ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව ලෝකයේ රටවල් 100කට අධික ප්‍රමාණයක් සහල් වගාකරයි. එසේම ලෝක ජනගහනයෙන් භාගයක පමණ කොටසකගේ ප්‍රධාන ආහාරය බත්ය. සංවර්ධනය වෙමින් පවතින රටවල 27% දෛනික ශක්ති අවශ්‍යතාව ද, 20% දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයද, 3% දෛනික මේද අවශ්‍යතාවය ද සහල් මගින් සැපයේ.

ශ්‍රී ලංකාවටම ආවේණික වූ පාරම්පරික සහල් වර්ග 2000ක් පමණ තිබී ඇති අතරම අදවන විටත් පෝෂණයෙන් ඉහළ දේශීය සහල් වර්ග මිලදී ගැනීමට තිබියදීත් මේ අලූතින්ම අපේ ජීවිතවලට එක් වූ ගැටලූව වී ඇත්තේ වෙළඳ පොළේ ඇති ප්ලාස්ටික් සහල් පිළිබඳව ආන්දෝලනයයි. පෝෂණයෙන් ඉහළ වස විසෙන් තොර දේශීය සහල් වර්ග රැසක් අප රටේ තිබියදීත් දෙමාපියන් දරුවන්හට මෙවැනි කෟතිම සහල්වලින් සකසන බත් ලබා දී බලාපොරොත්තුවන්නේ කෙබඳු පෝෂණයක්ද යන්න ගැටලූවකි. හෙල සහලේ පෝෂණය මෙන්ම ඖෂධ ගුණය පිළිබඳව ඇති නොදැනුවත්කම මෙවැනි ප්ලාස්ටිකක් සහල් වැනි දේට අප රට තුළ මේ ආකාරයෙන් වැජඹෙන්නට අවස්ථාව උදා කර දී ඇතැයි සිතීමේ වරදක් නැත.

සැමවිටම දරුවෙකුට ලබා දිය යුතු වන්නේ පෝෂණයෙන් පිරි ක්‍රියාකාරී ආහාරයි. ඒ හරහා බෝ නොවන රෝග ඇති වීමේ අවදානම අවම කරනවා සේම කෘත්‍රිම ආහාර වර්ග නිසා මිනිසුන්ට මුහුණ දෙන්නට සිදුවන සංකූලතාවයන්ගෙන් මිදීමට ද හැකිවේ.

ක්‍රියාකාරී ආහාර යනු මොනවාදැයි ඔබ දන්නවාද?


ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට, මේදය, ඛනිජ ලවණ සහ විටමින් වැනි පෝෂක සමගින් සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවිය හැකි ආකාරයේ රසායනික සංයෝග අඩංගු ආහාර වර්ගයි. පෝෂණ ගුණයෙන් අනුන කි්‍රයාකාරී ආහාර අනුභව කිරීම රෝග තත්ත්්වයන් පාලනය කිරීමට මෙන්ම මැඩපවත්වා ගැනීමට ලබා දෙන්නේ විශාල සහයෝගයකි. අපගේ දේශීය සහල් ප්‍රභේද පෝෂණ ගුණයෙන් වැඩි ක්‍රියාකාරී සංඝටකයන්ගෙන් සමන්විතය.

දේශීය සහල් වර්ග කිහිපයක් හා ඒවාගේ පෝෂණ ගුණය


සහල් පෝෂණ ගුනය
සුවදැල් ශරීරය වර්ධනයකරයි
මා වී දියවැඩියාව පාලනයට සුදුසුයි
කුරුලූතූඩ මුත්රා රෝග පාලනයට සුදූසුයි/කාය ශක්තිය වඩවයි
මඩතවාළු දියවැඩියාව පාලනයට සුදූසුයි/වාත පිත සෙම් සඳහා සුදූසුය
කලූහීනටි කාය ශක්තිය වඩවයි,ශරීරගත විෂ මර්දනය කරයි
හැටදා වී මලබද්ධය පාලනයට සුදූසුයි
පොක්කාල දියවැඩියාව පාලනයට සුදූසුයි,ස්නායු/ සමේ රෝග සඳහා සුදූසුයි

පිළිකාව යනු වයස් භේදයකින් තොරව වැළෙඳන රෝගයකි.  ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් මගින් පිළිකා රෝගයට පිළිතුරක් ඇති බව ඔබ දන්නවාද? සුදුහීනටි, ගොඩහීනටි, මසුරන් සහ දික් වී යන සහල් ප්‍රභේද මගින් පියයුරු පිළිකා, ආමාෂ පිළිකා, ආහාර මාර්ගය ආශි්‍රත පිළිකා, පෙනහලූ පිළිකා සහ ගර්භාෂ පිළිකා යන පිළිකා රෝග පාලනය සහ මැඩපවත්වීම සඳහා යෝග්‍ය වේ.

එසේම ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති සංයෝග ආහාර මගින් ලබාදීම බෝ නොවන රෝග තත්ත්වයන් පාලනයට යෝග්‍ය වේ. අධ්‍යයනය කළ සහල් වර්ගවලින් සුදුු හීනටි, ගොඩ හීනටි, මසුරන් සහ දික් වී යන සහල් වර්ගවල මෙම ගුණ ඉතා ඉහළ ලෙස ඇත. ඒ අනුව පෙනීයන්නේ අප අපේ දේශීය පාරම්පරික සහල් පරිභෝජනයට නැඹුරුවන්නේ නම් බෝ නොවන රෝගවලින් පමණක් නොව නොරටින් ගෙන්වන කෘතිම සහල්වලට රැවටී රෝගාතුර වීමේ අවදානම ද වළක්වා ගත හැකිය.

දරුවන්හට බත් කැඳ/කොළ කැඳ සකස්කරදීමේදී වුවද මෙවැනි සාමාන්‍ය සුදු සහල් වෙනුවට පෝෂණීය සහල් වර්ග යොදාගත හැකියි. නිරෝගී දරු පරපුරක් වෙනුවෙන් සිහින දකින මව්වරුනි හැමවිටම ඔබේ දරුවාට අපට හුරුපුරුදු දේශීය ආහාර සමගින් පෝෂණය ලබාදෙන්නට සැලකිලිමත් වන්න

-යක්කල, ගම්පහ ආයුර්වේද විද්‍යායතනයේ ආයුර්වේද වෛද්‍ය නිලීකා සමන්වීර මහත්මිය සමග සකසන ලද ලිපියකි.-

ඔබේ ආහාර වේලේ මේද ප්‍රමාණය මධ්‍යස්ථ විය යුතුතේ ඇයි?

සෑම පුද්ගලයෙකුම ලබාගන්නා ආහාරයෙහි මේදය අන්තර්ගත විය යුතු අතර, එමගින් ශරීරයේ විවිධ ක්‍රියාකාරකම් රාශියක් ඉටු කෙරේ. එහෙත් මේද වර්ග වැඩිපුර භාවිතය නිසා රෝග සෑදීමේ අවදානම ඉහළ යයි. මේදය බහුලව ආහාරයට ගනු ලබන්නේ තෙල්, මේද තැවරුම්, තෙල් සහිත ඇට වර්ග හා පොල්කිරි වශයෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මේද ප්‍රභවය පොල්ය. එහෙත් නාගරික සමාජයේ කිරි, කිරි නිෂ්පාදන හා මස් වැනි සත්ත්ව ආහාර මගින ද ආහාරයට මේදය එකතු වේ.

ඔබේ ආහාර වේලේ මේද ප්‍රමාණය මධ්‍යස්ථ විය යුතුතේ ඇයි?


සෞඛ්‍යමත් දිවිපෙවෙතක් උදෙසා මේදය ප්‍රමාණවත් ලෙස ආහාරයෙහි අන්තර්ගත විය යුතුය. මේදය මගින් ශරීරයට ශක්තිය (මේද ග්‍රෑම් එකකින් කි.කැලරි 9 ක්) ලැබේ. ආහාරයෙහි අඩංගු සමහර මේද අම්ල ශරීරයේ පැවැත්මට අවශ්‍ය වන අතර, ඒවා ‘අත්‍යවශ්‍ය මේද අම්ල‘ නමින් හඳුන්වයි. විටමින් ඒ, ඩී, ඊ, කේ වැනි මේදයේ දියවන විටමින් වර්ග ශරීරයට උරා ගැනීමටද මේදය අඩංගු ආහාර අත්‍යවශ්‍ය වේ. සමහර මේද ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන අතර, එමගින් පිලිකා වර්ග හා බොහොමයක් නිධන්ගත රෝග ඇති වීමේ අවදානම අඩුකරයි. මේදය මගින් ආහාරයට මෘදු ස්වභාවයත්, රසයත්, සුවඳත් එකතු කරන අතර, ආහාර රුචියද වැඩි කරයි. ගර්භණී සමයේදී හා කිරි දෙන අවදියේදී ප්‍රමාණවත් ලෙස ආහාරයේ මේදය අඩංගු වීම ඉතා වැදගත්ය. ආහාර පිළියෙල කිරීමේදී ස්වල්ප ප්‍රමාණයක් තෙල් එකතු කරගැනීම මගින් ආහාරයෙන් ලැඛෙන ශක්ති ප්‍රමාණය වැඩිකර ගැනීමට හැකිය. එමනිසා ප්‍රෝටීන් කැලරි මන්දපෝෂණයෙන් පෙලෙන අය සඳහා ආහාරයට තෙල් එකතු කර ගැනීම සුදුසුය. කෙසේ වෙතත් අධික මේද පරිභෝජනය නිසා අධිබර තත්ත්ව, රුධිරවාහිනි අවහිරතා රෝග, දියවැඩියාව සහ සමහර පිළිකා ඇති වීමේ ප්‍රවණතාව ඉහළ යයි. මේදය සෑදී ඇති ප්‍රධාන සංඝටකය වනුයේ මේද අම්ලයි. ආහාරවල විවිධාකාර මේද අම්ල විවිධ අයුරින් අන්තර්ගත වේ. එක් එක් කාණ්ඩයට අයත් මේද අම්ල මගින් ශරීරයට යහපත් මෙන්ම අයහපත් බලපෑම් ඇති කරයි.

සංතෘප්ත මේද

ශරීරයට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් 10% කට වඩා අඩු ප්‍රමාණයක් මෙම කාණ්ඩයට අයත් මේද අම්ල මගින් ලබාගත යුතුය. මෙම මේද කාණ්ඩය මගින් රුධිරයේ ඇති හෘදයට අහිතකර කොලෙස්ටරෝල් (එල්.ඩී.එල්) ප්‍රමාණය ඉහළ නංවන අතර, එමගින් හෘද රෝග හා අංශභාග වැනි තත්ත්ව ඇති වීමේ අවදානම ඉහළ යයි.

සංතෘප්ත මේදය අඩංගු ආහාර ලෙස කිරි, කිරි නිෂ්පාදන, මස්, මස් ආශ්‍රිත නිෂ්පාදන, පොල්, පොල්කිරි, පොල්තෙල් ආදිය ගත හැක. හෘද රෝගවලින් පෙළෙන අය හා හෘදරෝග සෑදීමේ අවදානම ඇති අය සංතෘප්ත මේදය අඩංගු ආහාර භාවිතය සීමා කළ යුතුය.

ඒක අසංතෘප්ත මේදය

මෙම වර්ගයට අයත් මේදය මගින් රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය (එච්.ඩී.එල්) ඉහළ දමන අතර, හෘදරෝග වැළඳීමේ ප්‍රවණතාව අඩු කරයි. ඒක අසංතෘප්ත මේදය අඩංගු ආහාර ලෙස කජු, රටකජු, කොට්ටං, තල, තෙල් සහිත ඇට වර්ග සහ එළවළු තෙල් (කැනෝලා, ඔලිව්, සූරියකාන්ත සහ තලතෙල්) හා අලිගැට පේර ගත හැකිය.

බහු අසංතෘප්ත මේද අම්ල

ඔමේගා 3 හා 6 ලෙස බහු අසංතෘප්ත මේද අම්ල වර්ග දෙකකි. මේවා ශරීරයට අත්‍යවශ්‍ය වන නමුදු ශරීරය තුළ නිපදවා ගැනීමට නොහැකිය. මෙමගින් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන අතර, හෘදරෝග ඇති වීමේ ප්‍රවණතාවද අඩු කරයි. ළදරු කාලයේ විකසනයට මෙන්ම ස්නායු, හෘද, වකුගඩු, රුධිරවාහිණී හා ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා මෙම මේද අම්ල අත්‍යවශ්‍ය වේ. ඔමේගා 3 හා 6 මේද අම්ල නිවැරදි අනුපාතයකින් යුතුව ආහාරයට ගැනීම වැදගත්ය. ඔමේගා 3 මේදය අඩංගු ප්‍රභවයන් වන්නේ මේදය සහිත මාළුන් (උදා – බලයා, හුරුල්ලා, සාලයා, කුම්බලාවා, බෝල්ලා සහ සැමන්) සෝයා තෙල්, කැනෝලා තෙල් හා මද වශයෙන් තද කොළ පැහැ පලා වර්ග වලය. ඔමේගා 3 මේද අම්ලයේ ව්‍යුත්පන්නයක් වන ඩී.එච්.ඒ ළදරුවාගේ මොළය හා ස්නායූ පද්ධතිය වර්ධනයට වැදගත් වන අතර එය දරුවාට අවශ්‍ය ප්‍රමාණයට මව්කිරිවල අන්තර්ගත වේ. ඔමේගා 6 මේද අම්ලය අඩංගු ආහාර ලෙස බිත්තර, මස්, කුකුළු මස්, වට්ටක්කා ඇට, තල, බඩ ඉරිගු තෙල්, සෝයා තෙල් හා සූරියකාන්ත තෙල් ගත හැකිය. ඔමේගා 3 මේද අම්ලය විවිධ ආසාදිත රෝග වළක්වා ගැනීමට උපකාරී වන අතර ඇදුම, ආතරයිටිස්, දියවැඩියාව, චර්ම රෝග සහ ප්‍රතිශක්ති විකෘතිතා වැනි තත්ත්වද පාලනය කරයි.

ට්‍රාන්ස් මේදය

අසංතෘප්ත මේද අම්ල අධික උෂ්ණත්වයට රත් කිරීමේදී ට්‍රාන්ස් මේදය ඇතිවේ. ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර පරිභෝජනය නිසා හෘදරෝග සහ අංශභාග වැනි රෝග තත්ත්ව ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යයි. පාම් (Palm) තෙල් ඇතුළු අනෙකුත් අසංතෘප්ත තෙල් වර්ග යොදා ගෙන ගැඹුරු තෙලේ ආහාර බැ`ද ගැනීම නිසා මෙම අහිතකර ට්‍රාන්ස් මේදය ඇතිවේ. එම නිසා එළවළු තෙල් වර්ග ආහාර ගැඹුරු තෙලේ බැද ගැනීම සඳහා සුදුසු නොවේ. එමෙන්ම අසංතෘප්ත තෙල් එක් වරක් භාවිත කළ පසු නැවත නැවත භාවිතයට ගැනීමෙන් ට්‍රාන්ස් තෙල් මට්ටමට ඉහළ යන නිසා නැවත භාවිතයට සුදුසු නොවේ. පොල්තෙල්වල ඇත්තේ සංතෘප්ත තෙල් වර්ගයක් වන බැවින්, එය ගැඹුරු තෙලේ බැදීමට මෙන්ම භාවිත කළ තෙල් නැවත පාවිච්චියට සුදුසුය. පොල්තෙල් භාවිතය මගින් ට්‍රාන්ස් තෙල් ඇතිවීමේ අවදානම අඩුවේ. පේස්ට්‍රි වැනි බේකිරි නිෂ්පාදනවලද, පැටිස්, කට්ලට්ස්, රෝල්ස් වැනි ගැඹුරු තෙලේ බදින ලද ආහාරවලද, මාජරින් වර්ගවලද, කේක් බිස්කට් සහ චොකලට්වලද සැඟවුණු ට්‍රාන්ස් මේදය අන්තර්ගත වේ. ට්‍රාන්ස් මේදය මගින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් හා හෘද රෝග ඇති වීමේ අවදානම ඉහළ නංවන බැවින් මෙවැනි ආහාර භාවිතය සීමා කළ යුතුය.

කොලෙස්ටරෝල්

මෙය සත්ව ආහාරවල (මස්, සොසේජස්, බේකන්, බිත්තර, සම්පූර්ණ යොදය සහිත කිරි, බටර්, චීස් සහ සත්ව අක්මා) පමණක් දක්නට ලැඛෙන මේද සංඝටකයකි. කොලෙස්ටරෝල් සෛල පටලවල අත්‍යවශ්‍ය සංඝටකයක් වන අතර හෝමෝන හා පිත් අම්ලය නිපදවීමටද වැදගත් වේ. මිනිසා විසින් ශරීරීයේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයට ගැලපෙන පරිදි අවශ්‍ය ප්‍රමාණයට කොලෙස්ටරෝල් නිපදවයි. ආහාර මගින් ශරීරයට එකතු වන අමතර කොලෙස්ටරෝල් ප්‍රමාණය රුධිරවාහිණීවල තැන්පත් වීම නිසා රුධිරවාහිණී අවහිරතා රෝග ඇති විය හැක.

වයස අවුරුදු දෙකේ සිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා මේදය භාවිත කිරීම සඳහා නිර්දේශයන්


  • දිනකට ශරීරයට අවශ්‍ය මුළු ශක්ති ප්‍රමාණයෙන් 15%-30% අතර ප්‍රමාණයක් ලබාගත යුත්තේ මේදයෙනි.
  • සංතෘප්ත මේද ආහාර මගින් ලබාගන්නා ශක්තිය, දිනකට අවශ්‍ය ශක්තියෙන් 10% නොඉක්මවිය යුතුය.
  • බහු අසංතෘප්ත මේදයද ශරීරයට අවශ්‍ය වේ. ඔමේගා 3 සහ 6 මේද අම්ල දෙවර්ගයම ශරීරීයට අත්‍යවශ්‍ය බහු අසංතෘප්ත මේද වර්ග දෙකකි. මෙම මේද අම්ල දෙවර්ගයම නිවැරදි අනුපාතයකින් යුතුව ආහාරයට ගැනීම ඉතා වැදගත් වේ. එමෙන්ම කළලයේ නිසි වර්ධනයට මෙන්ම මිනිස් සිරුරේ ස්නායු, රුධිර වාහිනී, බහිස්ශ්‍රාවීය සහ ප්‍රතිශක්ති පද්ධතිවල මනා වර්ධනය හා ක්‍රියාකාරීත්වය සඳහා මෙම මේද අම්ල අත්‍යවශ්‍ය වෙයි. බහු අසංතෘප්ත (ඔමේගා 3 සහ 6) මේදය මගින් ලබාගන්නා ශක්තිය, දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් 6%-11% පමණ විය යුතුය.
  • ට්‍රාන්ස් මේදය මගින් සපයන මේදය දෛනික ශක්ති අවශ්‍යතාවයෙන් 1% නොඉක්මවිය යුතුය.
  • මේදයෙන් ලබාගන්නා ශක්තියෙන් ඉතිරි කොටස් ලබාගත යුත්තේ ඒක අසංතෘප්ත මේදය මගිනි.
  • ආහාර මගින් දිනකට ලබාගන්නා කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලි ග්‍රෑම් 300 වඩා අඩු විය යුතුය.
  • බහු අසංතෘප්ත හා සංතෘප්ත මේදය පරිභෝජනය දළ වශයෙන් සමාන විය යුතුය.
  • ආහාරයේ අඩංගු බහු අසංතෘප්ත ඔමේගා 6 සහ බහු අසංතෘප්ත ඔමේගා 3 අතර අනුපාතය 4:1 විය යුතුය.

නිවැරදි ලෙස මේදය භාවිත කිරීම සඳහා ප්‍රායෝගික නිර්දේශයන්


  • ඔබගේ ආහාරය සඳහා මේදය එකතු කරගැනීමේද පහත ආකාරයට හුරු පුරුදු වීම, නිරෝගී දිවිපෙවෙතකට උපකාරී වෙයි. ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලෙහි ප්‍රධාන මේද ප්‍රභවය පොල්ය. මෙය පොල් කිරි හා පොල් තෙල් ලෙසද භාවිත කෙෙරේ. ළමයින්, යොවුන්වියේ පසුවන අය, ගර්භණී මාතාවන් හා කිරිදෙන මව්වරුන්ගේ ආහාරයට පොල් හා පොල් කිරි අඩංගු කිරීමෙන් ශක්තිජනකභාවය වැඩිවේ. පස් දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් භාවිත කිරීම ප්‍රමාණවත්ය.
  • කජු, රටකජු, කොට්ටන්, වට්ටක්කා ඇට, තල හෝ අලි ගැට පේර භාවිතය මගින් දිනකට අවශ්‍ය අසංතෘප්ත මේද ප්‍රමාණය ලබාගත හැකිය.
  • ඔබගේ ආහාර වේලෙහි විශේෂයෙන් තෙල් සහිත මාළු වන බලයා, සාඩින්, හුරුල්ලා සහ මැකරල් වැනි මාළු අඩංගු කර ගැනීම සුදුසුය.
  • ඔලිව් තෙල්, කැනෝලා තෙල්, සූරියකාන්ත තෙල් හා බඩඉරිඟු තෙල් අසංතෘප්ත තෙල් බහුල තෙල් වර්ග වේ. මෙම අසංතෘප්ත තෙල් වර්ග යොදාගෙන නිපදවන මේද තැවරුම්වල ශරීරයට අත්‍යවශ්‍ය වන ඔමේගා 3 සහ 6 මේද අම්ල අඩංගු වේ. එබැවින් මෙම මේද තැවරුම් බටර්වලට වඩා ගුණදායකය.
  • මේද තැවරුම් තෝරාගැනීමට පෙර හැම විටම එහි ඇති ට්‍රාන්ස් මේදයේ ප්‍රතිශතය, ලේබලය කියවා දැනගන්න. 1% වඩා අඩු ට්‍රාන්ස් මේදය අඩංගු නිෂ්පාදන පමණක් භාවිතයට සුදුසු වේ.
  • කිරිවල සංතෘප්ත මේදය බහුලව ඇති බැවින්, වැඩිහිටි අයට, අවුරුදු 2 වැඩි අධි බරැති ළමුන්ට හා හෘද රෝග වැළඳීමේ අවදානමින් සිටින අයට මේදය අඩු හෝ මේදය රහිත කිරි හෝ කිරි ආහාර ( මේදය අඩු යෝගට්) යෝග්‍ය වේ.
  • කේක්, ප්‍රේස්ට්‍රි, රෝල්ස්, බිස්කට් හා කට්ලට් වැනි කෙටි ආහාරවලද, ගැඹුරු තෙලෙහි බදින ලද ක‍ෂණික ආහාරවලද ට්‍රාන්ස් මේදය අඩංගු විය හැකි බැවින් එම ආහාර භාවිතයද සීමා කළ යුතුය.
  • කුකුළු මස් පිස ගැනීමේදී මස්වල අඩංගු සම සහ අනෙකුත් මේද කොටස් ඉවත් කළ යුතුය.
  • සෝසේජස්, මීට් බෝල්ස්, හැම්, බේකන් වැනි පිරිසැකසුම් කරන ලද මාංශමය ආහාර භාවිතය සීමා කළ යුතුය.
  • ආහාර තෙම්පරාදු කර ගැනීම සඳහා තෙල් ස්වල්ප ප්‍රමාණයක් යොදා ගත යුතුය. (අසංතෘප්ත තෙල් වර්ගයක් නම් වඩාත් යෝග්‍ය වේ)
  • ගැඹුරු තෙලේ බදින ලද ආහාර භාවිතය සීමා කළ යුතුය. පොල් තෙල් හැර අනෙකුත් තෙල් වර්ග භාවිත කර ගැඹුරු තෙලේ බැදගැනීම සිදුකරන්නේ නම් එම තෙල් නැවත නැවත භාවිතයට සුදුසු නොවේ.
  • නොඇලෙන බඳුන්  (Nonstick) භාවිතය මගින් තෙල් භාවිතය සීමා කළ හැක.
  • ඇසුරුම් කරන ලද ආහාර මිලදී ගැනීමේදී ලේබලයේ අන්තර්ගත පෝෂක පිළිබඳ තොරතුරු කියවන්න. සංතෘප්ත මේදය අධික හෝ ට්‍රාන්ස් මේදය අධික ආහාර මිලදී ගැනීමෙන් වළකින්න.
  • තෙල් ශක්තිජනක ආහාර ළදරුවන් සහ ළමයින් සඳහා අතිරේක ආහාර ලෙස යොදා ගත හැකි අතර, දිනකට අවශ්‍ය මේද ප්‍රමාණය නොඉක්මවන ලෙස ලබා දිය යුතුය.
– සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ ප්‍රකාශනයක් ඇසුරෙනි –

 

Lifebuoy – ‘#ආරක්ෂාචාරය’

රෝග සාදන විෂබීජ වලින් ආරක්ෂාවීම පුරුද්දක් කරගමු


විෂබීජ වලින් ආරක්ෂාව ලබාදෙන ජනප්‍රිය සබන් වර්ගයක් වන ලයිෆ්බෝයි විසින් මෑතකදී ‘ආරක්ෂාචාරය’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කරන ලදි. ලොව පුරා බිලියනයක ජනතාවකගේ දෑත් සේදීමේ පුරුදු වෙනස් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස මෙම වැඩසටහන දියත් කර තිබේ.

‘ආරක්ෂාව’ සහ ‘චාරය’ (හැසිරීම/පුරුද්ද) යන වචන දෙක එක්වී සැදී ඇති ‘ආරක්ෂාචාරය’ යන වදනේ අරුත වන්නේ ‘ආරක්ෂාව පුරුද්දක් කර ගැනීම යන්නයි’. විෂබීජ වලින් ආරක්ෂා කරන සබන් වර්ගයක් යොදාගෙන නිතිපතා දෑත් සේදීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ පුරුද්දක් ලෙස දෑත් සේදීමට ඔවුන් යොමුකරවීම මෙම වැඩසටහනේ පරමාර්ථය වී ඇත.

අපට දිනපතා ආරක්ෂාචාරය අනුගමනය කළ හැක්කේ කෙසේද ?


  1. කෑමට පෙර දෑත් සේදීම මගින් රෝග ඇතිකරන විෂබීජ බොහොමයක් ඉවත් වී යයි.
  2. වැසිකිළි යාමෙන් පසුව විෂබීජ වලින් ආරක්ෂා කරන සබන් යොදා දෑත් සේදීම මගින් විෂබීජ පැතිරීම අවම වේ.
  3. ස්නානය කිරීමේදී විෂබීජ වලින් ආරක්ෂා කරන සබන් වර්ගයක් භාවිතා කිරීමෙන් ආරක්ෂාචාරය පිළිපැදිය හැක.
  4. එළිමහනේ සෙල්ලම් කිරීමෙන් පසුව දෑත් සේදීම සිදුකළ යුතු ය.
  5. ආහාර පිසීමෙන් හා පිරිසිදු කිරීමෙන් අනතුරුව දෑත් සේදීම සුදුසු වේ.
  6. ජනාකීර්ණ ස්ථාන වල රැඳී සිටීමෙන් පසුව සහ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමෙන් පසුව දෑත් සේදීම වැදගත් ය.

නිතර දෑත් සේදීම මගින් වෛරස් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුර රිදීම, පාචනය, දහදිය බිබිලි ඇතිවීම, ශ්වසන ආසාදන, ඇස් ලෙඩ සහ කුරුලෑ වැනි බොහෝ රෝග තත්ත්වයන් ඇතිකරන විෂබීජ වලින් ආරක්ෂා විය හැක. 2015 වසරේ ශ්‍රී ලංකා වාර්ෂික සෞඛ්‍ය වාර්තාවට අනුව මෙරට වයස අවුරුදු 1 ත් 5 ත් අතර දරුවන් අතරින් 9.3% ක් පමණ මිය යනුයේ ශ්වසන මාර්ගය ආශ්‍රිත ආසාදන වලිනි. ලයිෆ්බෝයි යොදා දෑත් සේදීම මගින් ලෙඩරෝග සාදන විෂබීජ ආසාදනය වීමේ ඉඩකඩ බෙහෙවින් අවම වේ. මෙම වැඩසටහන මගින් ලයිෆ්බෝයි උත්සාහ කරනුයේ මෙම වැදගත් කරුණ අවබෝධ කරවා දෙමින්, දරුවන් පුරුද්දක් ලෙස දෑත් සේදීමට යොමු කරවමින්, ඔවුන්ට නීරෝගී ජීවිතයක් සඳහා මගපෙන්වීමට ය.

සාමාන්‍ය සබන් වර්ග හෝ ළදරු සබන් වර්ග මගින් ශරීරය පිරිසිදු කළ හැකි බව බොහෝ දෙනෙකු විශ්වාස කළඳ, විෂබීජ වලින් ආරක්ෂා කරන සබන් වර්ගයක් මගින් ලෙඩරෝග සාදන විෂබීජ වලින් ආරක්ෂා කිරීම වඩා කාර්යක්ෂමව සිදුකෙරේ. . .

ලයිෆ්බෝයි පිළිබඳව


ලොව ප්‍රමුඛතම සෞඛ්‍යාරක්ෂිත සබන් වර්ගය වන ලයිෆ්බෝයි පහසුවෙන් ලබාගත හැකි සනීපාරක්ෂක නිෂ්පාදන (සබන්) වෙළඳපොළට රැගෙන එමින්, සෞඛ්‍ය සම්පන්න සනීපාරක්ෂක පුරුදු ප්‍රචලිත කරමින්, ලොව තුළ සැබෑ වෙනසක් ඇතිකිරීමට උත්සාහ කරමින් සිටී. 2010 වසරේ සිට ලයිෆ්බෝයි රටවල් 16 ක මිලියන 183 ක පමණ ජනතාවකගේ දෑත් සේදීමේ පුරුදු වෙනස් කර ඇත.

වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර www.lifebuoy.com වෙත පිවිසෙන්න.

කුණුවලට වගකියන ජීවිතවලට වටිනාකමක් දෙමු

කුණු ගේන්නෝ ….  සෑම සතියකම බදාදා දහවල වන විට මේ හඬ කොයි වෙලේ ඇහෙයිදෝ මම බලා සිටින්නෙමි. මන්ද කුණු ලොරිය සාමාන්‍යයෙන් එන දිනය බදාදාය. මේ දිනය එක් එක් සතිවලදී වෙනස් වන නිසාම මාගේ නිවස පිහිටි මාවතේ සැවොම සඳුදා දිනයේම පියන් තදින් වසා කුණු බැරල් ගේට්ටුව අයිනේ තබන්නට මෑතක සිට පුරුදු වී ඇත. කසල වර්ගීකරණය යටතේ කුණු රැගෙන යාමට සිදුව ඇති නිසා ඔවුන් ඇතැම් සතිවල දින දෙකක් පැමිනෙනු ඇත. නිශ්චිත දිනයක් නැති වුවද සතිය ඇතුළත කුණු බරින් අපව නිදහස් කරන්නට කුණු ලොරිය අනිවාර්යෙන්ම පැමිණෙනු ඇත. තාප්පවලින් වට වූ කුඩා බිම් කොටසක වෙසෙන අපට එය සැබවින්ම සුබ දසුනකි. කුඩා දරුවන් වෙසෙන නිවසක දිනකට එකතු වෙන කුණු ප්‍රමාණය කෙතරම්ද යන්න මෙය කියවන ඔබත් අත්දැකීමෙන්ම දන්නා නිසාම ඒ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය වන්නේ නැත.

මේ පසුගිය මාසයේ එක් බදාදා දිනයකි.

දියණියගේ අසනීප තත්ත්වය මත මා මේ පවසන දිනයේ මට කුණු බැරල් එක තියන්නට අමතක විය. ඇය සමග ඇඳට වී සිටි මට එක්වරම ඇසුණේ, කුණු ගේන්නෝ… යැයි කෑගසන සුපුරුදු හඬමය. මම ඇඳෙන් පැන්න ආකාරය මටවත් මකන නැත. ඒ කුණු දෙන්න බැරි වුණොත් තවත් මේ සතියේ එක්කාසු වූ කුණුවලට අනෙක් සතියේ කුණුත් එක්කාසු වූ පසු මුහුණ දීමට සිදුවන තත්ත්වය දන්නා නිසාය.

“පොඩ්ඩක් ඉන්නෝ….”

“ගේන්න ගේන්න නෝනා… මොකද අද බැරල් එක තියන්න අමතක වුණාද?”

ගේට්ටු පියන ඇර කුණු බැරල් එක එළියට තැබූ මම නැවත ගේ දෙසට හැරෙද්දීම දුටුවේ ලා දුඹුරු පැහැති ප්ලාස්ටික් වැනි ආවරණයකින් ඒ පුද්ගලයාගේ දකුණු අත මැණික් කටුවේ සිට වැලමිට තෙක් ඔතා ඇති ආකාරයයි. මා නැවත ඔහු දෙසට හැරිණි.

“මොකද අතට වුණේ….

අනේ නෝනා වීදුරු කටුවකට කැපුණානේ….

මොනවා කරන්න ගිහින්ද ඔච්චරටම කැපුණේ….

කුණු අස්කරද්දි බිඳිච්ච බෝතලයක් තිබිලා… දැක්කෙ නෑනේ නෝනා…

අය්යෝ…ඇයි ඔයාලා වෙනම නෙවෙයිද වීදුරු කටු දාගන්නේ

අපි නම් වෙනම තමයි දැන්නෙ නෝනා… දාන්න කියලා තියෙන්නෙත් වෙනම

ඒත් මිනිස්සු බෝතල් කටුත් එහෙමම දානවා…මොනවා කරන්නද නෝනා…”

කුණු ලොරිය පසුපස කොටසේ උඩ රැඳී සිටින අනෙක් සගයාට නිවෙස්වල ගේට්ටුව ඉස්සර ඇති කුණු වම් අතින් විසිකරන ඔහු ගැන සැබවින්ම මට ඇති වූයේ අනුකම්පාවකි. ඩෙංගු ගැන සතර අතේ කතා බහට ලක්වේ. වටපිටාවේ පිරිසිඳු බව රැකගන්නට උනන්දු වේ. අපේ ගෙවත්තෙන් පිටකරන කුණු ගෙන යන්නට මොවුන් නොහිටින්නට ඩෙංගු මදුරුවන් බෝ වෙන්නේ අපේ ගේට්ටුව ඉදිරිපිට නොවේදැයි මට සිතුණි. සමහර දිනවල නියමිත රාජකාරිය ඔවුන් මගහරින අවස්ථා ද නැතිවාම නොවේ. ඔවුන්ගෙන් වැරදි සිදුනොවනවාද නොවේත නමුත් ඒත් මිනිසුන්ම කොටසක් නොවේද යන්න මට සිතුණි. මොවුන් ගැනත් සිතන්නට අපට බැරි ඇයි දැයි මට සිතුණි.

උසස් අධ්‍යාපනය තෙක් උගත් අපි, විසි කරන කුණු එක්කාසු කරන ඔවුන් උගත්කමින් අඩු පිරිසක් නිසා එවැනි රැකියාවක නිරත වුණත් ඔවුන්ගෙන් ඉටුවන මෙහෙය විස්තර කළ නොහැකි තරම් වටිනා බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. “කුණු ගේන්නෝ…” යැයි කෑ ගසන ඔවුන්ගේ හඬට ලොකු වටිනාකමක් ඇත්තේ එබැවිනි.  ඔවුන්ගේ  ජීවිතවලටද ඇත්තේ අපේ ජීවිතවලට ඇති වටිනාකමම නොවේද? ඔවුන්ට දුකක් කරදරයක් වූ විට හඩා වැටෙන්නේ තැවෙන්නේ අපි වැනිම බිරින්වදෑවරුන් නොවේද?  ඔවුන්ගේ දරුවන්ට අපේ දරුවන්ට අපි මෙන්ම ඔවුන්ගේ පියා වටින්නේ නොවේද? මේ ජවිතය තුළ උගත්කම, මුල මුදල්, තරාතිරම අනුව මිනිසුන් වර්ග කළ හැකි වුවත් ජීවිතයක වටිනාකම මත මිනිසුන් වර්ග කළ නොහැකිය.

ඒ කුණු අදින එකා.. ඌට මොනවා වුණාම මොකද? මේ අපේ හැඟීම නොවිය යුතුය.

අපි සිතිය යුත්තේ මෙතැන් සිටයි. අපි විසිකරන කුණු එකතු කොට නියමිත තැන්වලට ගෙනියන ඔවුන් සැබවින්ම කරනුයේ පැසුසුමට ලක්විය යුතු රැකියාවකි. “කුණුකාරයා” ඔහුට අයත් විය යුතු ලේබලය නොවේ. අපි ඔවුන්ට සැලකිය යුතු වන්නේ ඔහු කරන මෙහෙයට කෘතඥ වෙමිනි. සැබවින්ම අපිට මෙවැනි අනතුරක් සිදුවුවහොත් පෞද්ගලික රෝහලක හොඳම වෛද්‍යවරයා වෙත යොමු වී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත්තද මොවුන්ට එවැනි පහසුකම් හෝ හැකියාවක් නොමැත. අන්න ඒ නිසාම අපගේ අතින් ඔවුන්ට සිදුවිය හැකි අනතුරු අවම වන ලෙස කටයුතු කිරීම අපගේ අනිවාර්ය යුතුකමක් බව සිහිතබාගත යුතුය.

කරුණාකර ඔබේ නිවසේ එකතුවන, වීදුරු කටු/කටු සිහිත ගස්වල අතු කැබලි/කැඩුණු පොල්කටු කැබලි/බිදුණු පෝසිසේන් පිඟන් කැබලි/යකඩ ඇණ වැනි ඇනතුරු සිදුවිය හැකි යැයි ඔබට සිතෙන සියලූ දේ වෙන් කර කුණු ලොරියට ලබා දෙන්නට සැලකිලිමත් වන්න. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සියල්ල ඔබට එවැනි ස්ථානයකට ලබාදිය හැකියි. ”කුණුකාරයා” ලෙසින් සමාජගත වූ නාමයේ හිමිකරුවන් වුවද කුණු ඉවත් කරන මිනිසුනගෙන් ඉටුවන මිල කළ නොහැකි සේවාව අගයන්නට නිතැතින්ම අපට සිදුවනු ඇත. ඔවුන්ගේ ජීවිතයටත් වටිනාකමක් ඇති බව අනිවාර්යෙන්ම පිළිගත යුතු කරුණක්ද වේ. අවුරුද්දට ජනවාරි පළමුදාට ඔවුන් සෑම නිවසකින්ම යමත් බලාපොරොත්තු වන බව සැබෑය. ජීවන වියදම පියවා ගැනීමටවත් නොහැකිව දිවි ගෙවන එවැනි මිනිසුන් කොටසක් එසේ බලාපොරොත්තු නොවුණහොත් එය අසාමාන්‍ය යැයිද මට සිතේ. “කුණු අදිනවට උන්ට පඩි ගෙවනවනේ…” මෙය මා බොහෝ සෙයින් අසා ඇත්තකි. එය සැබෑවකි. ඔවුන්ට අමතර සහයෝගයක් ලබාදීම ඔබට අනිවාර්ය කරුණක් නොවේ. ඒත් කුණු කසල ලොරියට දැමීමට පෙර සමාජයේ තවත් පිරිසකගේ ජීවිතවල වටිනාකම වෙනුවෙන් අප සතුව විශාල වගකීමක් ඇති බව සිහිතබා ගැනීම අපි, අපිටම අනිවාර්ය කරගනිමු.

බද්ධ දරු උපත් ගැන ඔබ අසා නැති අරුම පුදුම කතා

බද්ධ දරුවන්ගේ උපත පිලිබඳ ඉතිහාසය ඉතා දිගු අතීතතයකට අයිතියි.මුලින්ම බද්ධ දරුවන් ගැන තොරතුරු අහන්නට ලැබිලා තියෙන්නේ 1811 වසරේ චොන්ග් සහ එන්ග් බන්කර් යන දෙදරුවන් ගැන. ඒ තායිලන්තය හෙවත් එදා සියම යනුවෙන් හැඳින්වුන ප්‍රදේශයෙන්.මේ දරුවන් බද්ධ වෙලා හිටියේ ඔවුන්ගේ ශරීරයේ කඳ ප්‍රදේශයෙන් වූ අතර මේ දෙදෙනාගේ වෙන් කිරීම වෛද්‍ය ඉතිහාසයටත් එක් වුනා.මෙම ඉතිහාසගත ශල්‍ය කර්මය සිදු කරනු ලැබුවේ පී. ටී. බර්මන් නැමැති වෛද්‍යවරයා විසින්.  ඒ නිසාම මෙම සංසිද්ධිය ” සියැම්ස්  ට්වින් “ Siamese twins.  යනුවෙන් ඉතිහාසයට එක්වුනා. ඔවුන්ගේ නාමය මොනතරම් දුරට ඉතිහාසයට එක්වූවාද යත් කැරොලිනා ප්‍රදේශයේ විල්සන් පුස්තකාලයේ මේ පිලිබඳව සමරුවක් පවා තබා තිබෙනවා.

Chang-eng-bunker-PD

ඔහියෝ ප්‍රදේහයේ උපත ලද  බද්ධ දරුවන් වූ ජේම්ස් එඩ්වඩ් හා ජෝන් නෙල්සන් යන දෙදරුවන් 1957 වසරේ වෙන් කරනු ලැබුවේ බෙර්ට්රස් කැට් ශල්‍ය වෛද්‍යවරයා විසින්.

1987 වසරේ බෙන් කාර්සන් විසින් හිසෙන් බද්ධව තිබුන දරුවන් දෙදෙනෙක් වෙන් කරනු ලැබුවා.

2000 වසරේ ගංගා සහ යමුනා යන සහෝදරියන් දෙදෙනා බද්ධව උපත ලද අතර ඔවුන් 2001 වසරේ වෙන් කරනු ලැබුවේ සිංග් චුම්ප්මොන් සහ කීත් හෝග් යන වෛද්‍යවරුන් දෙපොල විසිනුයි. මෙම ශල්‍ය කර්මය වෙනුවෙන් පැය 197 ක කාලයක් ගත වුනා. එහෙත් ඔවුන් දෙදෙනාට දිගු කාලයක් ජීවත් වෙන්න වාසනාව නම් ලැබුනේ නැහැ. යමුනා 2009 වසරේ මියගියේ ඇවිදගත් නොහැකි තත්වයේ සිටියදීමයි.

LadanLalehBijaniඉරානයේ ලැන්ඩන් සහ ලෙහ්ලා බිජානි වයස අවුරුදු 34 ක් වෙන තෙක්ම බද්ධ දරුවන් විදිහට ජීවත් වුණා. 1974 වසරේජනවාරි 17 වැනි දින උපන්  මේ රූමතියන් දෙදෙනා වෙනුවෙන් වෙන් කිරීමේ ශල්‍ය කර්මය අවදානම් බව වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබුනත් 2003 වසරේදී ඔවුන් දෙදෙනාට ස්වාධීන ජීවිතයක් ලබා දීම සඳහා වෙන් කිරීමේ ශල්‍යකර්මය සිදු වුනා. රූපන තාක්ෂණ බාවිතා කළත් ප්‍රධාන රුධිරවාහිනී හඳුනාගෙන තිබුනේ නැහැ. මේ නිසා 2003 වසරේ ජුලි තුන්වැනි දින සහෝදරියන් දෙදෙනා ඉතාම අවාසනාවන්ත විදිහට ජීවිතයෙන් සමු ගත්තා.

ඇමරිකා එක්සත් ජනපදයේ කැරොලිනා වල උපත ලද ඊවා සහ එරිකා සැන්ඩොරල් යන දෙරුවන් බද්ධව සිටියේ එකම ආහාර ජිරණ පද්ධතියක්. ගර්භාෂයක් , අක්මාව, මුත්‍රාශය සහ පාද තුනක් සහිතවයි. මෙම දෙදෙනා වෙන් කලොත් එක් අයෙක් හෝ දෙදෙනාම මියයන සම්භාව්‍යතාවය 30% ක්ව තිබුනා. 2016 වසරේ දෙසැම්බර් 6 වැනි දින ස්ටැන්ෆර්ඩ් පාර්කර්ඩ් රෝහලේදී මෙම දෙදෙනා ශල්‍ය කර්මයක් මගින් වෙන් කරනු ලැබුවා. පැය 18 ක කාලයක් තුල සිදු කරන ලද ශල්‍යකර්මය සාර්ථක වුන නිසා දැන් මේ දෙදෙනා නිවසේ සිට ස්වාධීන ජීවිතයට මුල පුරා සිටිනවා. රෝහලේ සිට නිවසට එන දිනයේ ඉතා උත්සවාකාරයෙන් ඔවුන් දෙදෙනා පිලිගැනීමට කටයුතු සලසා තිබුනා.

erica sadoral

දැන් ඔවුන්ගේ තුන්වන පාදය ඉවත් කරල තිබෙනවා. මේ දෙදෙනාගේ උකුලු අස්ථිවල කොටස් අඩු බැවින් දෙදෙනාටම වාඩි වී සිටින්න පුලුවන්ව ඇත්තේ කෙටි කාලයක් විතරයි. දැනට රෝද පුටුවේ වාඩි වී සිටින මේ සහෝදරියන් දෙදනා වෙනුවෙන් කෘතිම පාදයක් බද්ධ කිරීමට අනාගතයේදී කටයුතු සූදානම්ව තිබෙනවා.

අපි පරිහරනය කරන ආහාර ඇසුරුම් සහ සෞඛ්‍ය ගැටලු

ප්ලාස්ටික් සහ පොලිතින් අපේ එදිනෙදා කටයුතු වෙනුවෙන් භාවිතාය බොහොම කැමැත්තෙන් වැළඳ ගත්තත් , කල් ගෙවෙන විට මේ පරිහරනය පහසු වුත්, සැහැල්ලු සහ වියහියදම පිරිමහින ඇසුරුම් සහ උයන පිහින භාජන ගැන චෝදනාවන් ගොඩ නැගෙන්නට වුණා.පොලිතින් ප්ලාස්ටික් පිලිකාකාරකයි යන බරපතල චෝදනාව සහ අපේ ඉවුම් , පිහුම් සහ ආහාර පිලිගැන්වීම වෙනුවෙන් භාවිතා කරන භාජන මොනතරම් ආරක්ෂිතද… ? මේ ගැන දැනුවත් කිරීමේ අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා විසින්…

ප්ලාස්ටික් භාජන රත්කිරීම සුදුසු නැහැ. ප්ලාස්ටික් භාජන නිපදවීමේදී කරනු ලබන fillers” stabilizers සහ plasticizers වැනි සංයෝග එකතු කරනවා. ප්ලාස්ටික් රත් කරන විට වගේම  හිරු එලියට නිරාවරණය වීම සහ උණුසුමට පත් වීම වැනි අවස්ථාවන්හිදී මෙම සංයෝග ආහාර සමග එකතු වෙනවා.

ජලය ගෙන යන බෝතල්වල  ජලය සමග ප්ලාස්ටික් මිශ්‍ර නොවන ස්ථරයක් තිබුනත් කාලයක් යන විට ස්ථරය ක්ෂය වී ප්ලාස්ටික් සහ ජලය එකට එකතු වීම සිද්ධ වෙනවා. මේ ගැන බොහෝ දෙනා හිතන්නේ නැහැ. අපි නිතරම දකිනවා පාර තොට සේවය කරන උදවිය ආපනශාලාවලින් තේ රැගෙන යන්නෙත් ප්ලාස්ටික් බෝතල්වලට. වේලාවේ හැටියට පහසුව තකා මේ විදිහට කටයුතු කළත් එය සෞඛ්‍යට ඉතාම අහිතකරයි.

උණුසුම් ජලය බෝතල්වලට දැමීම හෝ ජලය සහිත බෝතල් උණුසුම් කිරීමට භාජනයක තැබුවහොත් ඉතා පහසුවෙන් මෙම ස්ථරය පලුදු වී අහිතකර රසායනයන් ජලය සමග මිශ්‍ර වීම සිදු වෙනවා.

ඒ වගේම ප්ලාස්ටික් පැණි බීම බෝතල් දිවා කාලයේදී හිරු එළියට නිරාවරනය වෙලා උණුහුමට පත් වෙනවා. මේ රත්වීමෙන් ප්ලාස්ටික්වල අන්තර්ගත BPA හෙවත් Bisphenyl – A පිළිකා කාරක සංයෝගය සිරුරට ඇතුල් වෙන නිසා ලෙඩ රෝග වෙනුවෙන් නිරාවරනය වෙන අවදානම ඉතාම ඉහල මට්මකට පත් වෙනවා. Bisphenyl – A යනු ඉතා කුඩා ප්‍රමාණයෙන් පවා පිලිකා ඇති කරන පිලිකා කාරකයක්. දියුණු රටවල නැවත භාවිතා කරනු ලබන බෝතල්වල BPA රහිත (BPA –Free ) බවට සහතිකයක් තිබුනත් අපේ රටේ BPA –Free යනුවෙන් සහතික කළ ජලබෝතල් විරලය.

නිවසේ හෝ ආපනශාලාවල ආහාර පිලියෙල කිරීමට සුදුසුම වෙන්නේ මල නොබැඳෙන  වානේ  භාජනයි.

ඇලුමිනියම් ආහාර සකස් කිරීමේදී ඉතාම නුසුදුසුයි. අම්ලතාවය ඉහළ තක්කාලි, දෙහි, සියඹලා වැනි දේ කාලයක් මෙම ඇලුමිනියම් භාජන වල පිසින විට නොදැනම ඇලුමිනියම් ශරීරයට එකතු වෙනවා. අපේ සිරුරට ඇළුමිනියම් එතරම් අවශ්‍ය නැහැ. එය විෂ සහිතයි.

නොන්ස්ටික්  (non-stick ) හෙවත් නොඇලෙන සුළු වෙනුවෙන් තිබෙන ඇගයීම වුනත් අපේ පාවිච්චියේදී අහිතකර විදිහට බලපාන්න පුළුවන්. මෙම නොඇලෙන සුළු බව සකස් වෙන්නේ ඒ වෙනුවෙන් යොදා ගෙන තිබෙන ටෙෆ්ලොන් Teflon නිසයි. එහෙත් මේ ටෙෆ්ලොන් Teflon කොටස සීරී ගියාම සාමාන්‍ය ඇලුමිනියම් භාජනයක පිසිනවාට සමානයි. ප්‍රමිතියෙන් හොඳ නොඇලෙන භාජන මිළෙන් ඉහළ වුනත් ඒවායේ කල්පැවැත්ම නිසා අහිතකර බලපෑම් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා භාජන මිළට ගැනීමේදී කල් පවතින ප්‍රමිතියෙන් යුක්ත පිසින භාජන වෙනුවෙන් යොමු වුනොත් ආහාර පිසීමේ ආරක්ෂිත බව ගැන සහතිකයක් ගොඩ නගා ගන්න පුලුවන්.

මැටි භාජන වෙනුවෙනුත් චෝදනා තිබෙනවා.

ගෑස් උඳුන්වල රත් වෙන විට

  • දහනය වෙන තාපය ඉහලයි.
  • ප්‍රවාහනය අපහසුයි.
  • කැඩෙන බිඳෙන බව ඉහලයි.
  • හැසිරවීම අපහසුයි.
  • පිරිසිදු කිරීමේ ගැටළු.

මේ සියල්ල අතරින් සෞඛ්‍යමය ලෙසින් ඇති වෙන ප්‍රධාන අවදානමක් තිබෙනවා. මෙම භාජන සකස් කිරීමට යොදා ගන්නා මැටිවල ඇති සියුම් සිදුරු අතරින් ක්ෂුද්‍ර ජීවින්ට ඇතුළු වෙන්න පුලුවන්. පිරිසිදු කිරීමේදී මේ ක්ෂුද්‍ර ජීවින් සියල්ලම ඉවත් වෙන්නේ නැහැ. ඒ නිසා හැටි භාජන  යොදා ගෙන වුනත් පිසින ආහාර නුසුදුසු තත්වයෙන් තිබෙන්න පුලුවන්.

අපි බුෆේ ආහාර වලදී මැටි භාජනවල අසුරා තිබෙන විට බොහොම කැමැත්තක් දක්වනවා. ඒත් මේ ආහාර වලින් ඇති විය හැකි අතුරු අන්තරාවන් ඉහලයි. මේ මැටි භාජන රත් කරන්නේ කුඩා තාපයකින්. ඒ නිසා ක්ෂුද්‍ර ජීවින් විනාශ වීම ගැන සහතික වෙන්න බැහැ. නිරන්තරව පාවිච්චිය නිසාත් පිරිසිදු කිරිමේදී ඇති වෙන අඩුපාඩු නිසාත් බුෆේ ක්‍රමයේදී මැටි භාජන වෙනුවෙනුත් සුබවාදීව හිතන්න බැහැ. සාමාන්‍ය නිවසක වගේම ව්‍යාපාරික කටයුතුවලදිත් මැටි භාජන හසුරුවන සහ ප්‍රවාහනයේ ඇති වෙන කැඩෙන බිඳෙන අවස්ථාවනුත් ඉහලයි. මේ සියල්ල ගැන හිතන විට  මළ නොබැදෙන හෙවත් Stainless භාජන බුෆේ ක්‍රමයට ඉතාම යෝග්‍ය වෙනවා.