මොකද්ද මේ Hand-foot and Mouth Disease කියන්නේ…

Hand-foot and Mouth Disease, සිංහලෙන් අත්-පා-මුඛ රෝගය ලෙස හැඳින්වෙන රෝග තත්ත්වය එන්ටෙරෝ වෛරස (Enterovirus) මගින් ඇති වේ. මෙම රෝගය අත් පා මුඛ රෝග ලෙස නම් කර ඇත්තේ එම ස්ථානවල බහුලව මේ තත්ත්වය හටගන්නා නිසාය. සාමාන්‍යයෙන් මෙම වෛරස ආසාදනය දක්නට ලැඛෙන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතරය. වැඩිහිටිවියට පත්වීමත් සමගම වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය සිරුර තුළ සැකසුනත්, කලාතුරකින් වැඩිහිටියන් අතර ද අත් පා මුඛ රෝගය හට ගත හැක.

අත් පා මුඛ රෝග තත්ත්වය ඇති කරන වෛරසයේ බීජෞසන සමය දින 3 – 7ක් අතර කාලයකි. රෝගය බෝ වීම සිදුවන්නේ රෝගී දරුවෙකුගේ මලපහ/කෙල/සෙම්/සොටු මෙන්ම හටගන්නා බිබිලි පිපිරී පිටතට එන ශ්‍රාවයන් නිරෝගී දරුවෙකුගේ තැවරීමෙනි.

අත් පා මුඛ රෝගය වැළදුණු දරුවෙකු පෙන්නුම් කරන රෝග ලක‍ෂණ වන්නේ :


  • තද උණ
  • සම මත අවර්ණ වතුර බිබිලි ඇති වීම
  • උගුරේ ආසාදන
  • කෑම අරුචිය
  • දරුවා අලසව/අප්‍රාණිකව කාලය ගත කිරීම

මෙම රෝගි ලක්ෂණ සියල්ල එකවර පෙන්නුම් නොකෙරෙන අතර, සමහර අවස්ථා වලදී රෝග ලක්ෂණ නොපෙන්වූවත්, එම දරුවාගෙන් තවත් දරුවකුට රෝගය බෝ විය හැක.

දරුවාගේ සිරුරේ දණහිස/වැලමිට/තට්ටම/පිට මෙන්ම උගුර/මුඛය වැනි ස්ථානවල සාමාන්‍යයෙන් මෙම බිබිලි හටගන්නා අතර ඇතැම් විට ඒ බිබිලි මතුවීමට පෙර කුඩා රත්පැහැ බිබිලි සමූහයක් හටගන්නා අවස්ථාද දැකගත හැකිය. මෙසේ ඇති වන බිබිලි තරමක් විශාල වී වතුර බිබිලි බවට පත්වන අතරම දින පහක් හයක අවෑමෙන් පිපිරී ගොස් ඒ මත කබොල්ලක් හටගනී. මෙම බිබිලි වේදනාකාරි නිසා, දරුවාට ආහාරපාන ගැනීමේ අපහසුතා ඇති විය හැක. කෙසේ වුවද ඕනෑම වෛරස රෝගයක් සිරුරෙන්ම ඉවත් යන තුරු කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ උණ සහ සිරුරේ වේදනාව අවම කිරීම සඳහා දරුවාගේ බරට සරිලන පැරසිටමෝල් මාත්‍රාව වෛද්‍ය උපදෙස් අනුව ලබාදීමයි.

අත් පා මුඛ රෝගයෙන් පෙලෙන දරුවෙකු : 


  • විජලනයෙන් රැකගැනීම සඳහා සාන්ද්‍ර බවින් අඩු සහ ආම්ලික නොවන දියර වර්ග ලබාදෙන්න
  • සැමවිටම මද උණුසුම් ජලය පානයට ලබාදෙන්න
  • උගුර සෝදා පිටතට දැමීමට හැකියාව පවතින දරුවෙකු නම් මද උණුසුම් ජලයට ලූණු ස්වල්පයක් එක්කර උගුර සේදීමට ලබාදෙන්න.
  • බිබිලි පිපිරී තුවාල ඇතිවීම නිසා වෙනත් ආසාදන මතුවිය හැකිබැවින් සැමවිටම දරුවා පිරිසිදුව තබාගන්න. ඒ සඳහා මද උණුසුම් ජලයෙන් පිරිසිදු කර තෙත මාත්තු කරන්න. වෛද්‍ය උපදෙස් මත ලබා දෙන ආලේපනයක් ගැල්වීමේ වරදක් නැත.

මව්පියනි,

මෙවැනි බෝවන රෝගයක් හටගත් ඕනෑම අවස්ථාවක ඔබ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව විටින් විට අපි ඔබව දැනුවත් කර ඇත්තෙමු. මෙම රෝගය ඉතා ඉක්මනින් බෝ වන බැවින්, එසේ වීම වැලැක්වීමට

  • දරුවා රෝගය සුව වන තුර පෙරපාසැල්/පාසැල්/දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින්න
  • දරුවා පොදු ස්ථානවලට රැගෙන යාමෙන් වළකින්න
  • දරුවාගේ මලපහ ක්‍රමවත් ආකාරයකට බැහැර කිරීමට වගබලාගන්න
  • කිවිසීමේදී ලේන්සුවක් ආධාරයෙන් මුව වසා ගැනීමට දරුවාට කියාදෙන්න.
  • සෙල්ලම් බඩු වැනි දරුවන් නිතර පාවිච්චි කරන භාණ්ඩ රෝගි හා නිරෝගි දරුවන් අතර වෙන් කර තබන්න.
  • නිවසේ අනෙක් දරුවන් වෙන්කොට තැබිය හැකිනම් ඒ පිළිබඳව සැලකිලිමත්වන්න.
  • නිරෝගි දරුවන්ට නිතරම අත් සේදීමට පුරුදු කරන්න.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී , වෛද්‍ය එම්. එන් ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

දරුවන්ට නිසි පෝෂණයක් ලබා දෙන්න අපේ හෙළ සහළින් බැරිද?

අද වනවිට කාර්ය බහුල ජීවන රටාවකට හුරුව සිටින අපි වැරදි ආහාර රටා මෙන්ම කෘතිම ආහාර ජීවිතයට එක්කර ගනිමින් බෝ නොවන රෝග රාශියකට ඇරයුම් කරමින් සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2002 වාර්තාවට අනුව ශීඝ්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතුව පාරම්පරික ආහාර රටාවෙන් ඉවත් වීමයි. අන්තර්ජාලය ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව ලෝකයේ රටවල් 100කට අධික ප්‍රමාණයක් සහල් වගාකරයි. එසේම ලෝක ජනගහනයෙන් භාගයක පමණ කොටසකගේ ප්‍රධාන ආහාරය බත්ය. සංවර්ධනය වෙමින් පවතින රටවල 27% දෛනික ශක්ති අවශ්‍යතාව ද, 20% දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයද, 3% දෛනික මේද අවශ්‍යතාවය ද සහල් මගින් සැපයේ.

ශ්‍රී ලංකාවටම ආවේණික වූ පාරම්පරික සහල් වර්ග 2000ක් පමණ තිබී ඇති අතරම අදවන විටත් පෝෂණයෙන් ඉහළ දේශීය සහල් වර්ග මිලදී ගැනීමට තිබියදීත් මේ අලූතින්ම අපේ ජීවිතවලට එක් වූ ගැටලූව වී ඇත්තේ වෙළඳ පොළේ ඇති ප්ලාස්ටික් සහල් පිළිබඳව ආන්දෝලනයයි. පෝෂණයෙන් ඉහළ වස විසෙන් තොර දේශීය සහල් වර්ග රැසක් අප රටේ තිබියදීත් දෙමාපියන් දරුවන්හට මෙවැනි කෟතිම සහල්වලින් සකසන බත් ලබා දී බලාපොරොත්තුවන්නේ කෙබඳු පෝෂණයක්ද යන්න ගැටලූවකි. හෙල සහලේ පෝෂණය මෙන්ම ඖෂධ ගුණය පිළිබඳව ඇති නොදැනුවත්කම මෙවැනි ප්ලාස්ටිකක් සහල් වැනි දේට අප රට තුළ මේ ආකාරයෙන් වැජඹෙන්නට අවස්ථාව උදා කර දී ඇතැයි සිතීමේ වරදක් නැත.

සැමවිටම දරුවෙකුට ලබා දිය යුතු වන්නේ පෝෂණයෙන් පිරි ක්‍රියාකාරී ආහාරයි. ඒ හරහා බෝ නොවන රෝග ඇති වීමේ අවදානම අවම කරනවා සේම කෘත්‍රිම ආහාර වර්ග නිසා මිනිසුන්ට මුහුණ දෙන්නට සිදුවන සංකූලතාවයන්ගෙන් මිදීමට ද හැකිවේ.

ක්‍රියාකාරී ආහාර යනු මොනවාදැයි ඔබ දන්නවාද?


ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට, මේදය, ඛනිජ ලවණ සහ විටමින් වැනි පෝෂක සමගින් සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවිය හැකි ආකාරයේ රසායනික සංයෝග අඩංගු ආහාර වර්ගයි. පෝෂණ ගුණයෙන් අනුන කි්‍රයාකාරී ආහාර අනුභව කිරීම රෝග තත්ත්්වයන් පාලනය කිරීමට මෙන්ම මැඩපවත්වා ගැනීමට ලබා දෙන්නේ විශාල සහයෝගයකි. අපගේ දේශීය සහල් ප්‍රභේද පෝෂණ ගුණයෙන් වැඩි ක්‍රියාකාරී සංඝටකයන්ගෙන් සමන්විතය.

දේශීය සහල් වර්ග කිහිපයක් හා ඒවාගේ පෝෂණ ගුණය


සහල් පෝෂණ ගුනය
සුවදැල් ශරීරය වර්ධනයකරයි
මා වී දියවැඩියාව පාලනයට සුදුසුයි
කුරුලූතූඩ මුත්රා රෝග පාලනයට සුදූසුයි/කාය ශක්තිය වඩවයි
මඩතවාළු දියවැඩියාව පාලනයට සුදූසුයි/වාත පිත සෙම් සඳහා සුදූසුය
කලූහීනටි කාය ශක්තිය වඩවයි,ශරීරගත විෂ මර්දනය කරයි
හැටදා වී මලබද්ධය පාලනයට සුදූසුයි
පොක්කාල දියවැඩියාව පාලනයට සුදූසුයි,ස්නායු/ සමේ රෝග සඳහා සුදූසුයි

පිළිකාව යනු වයස් භේදයකින් තොරව වැළෙඳන රෝගයකි.  ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් මගින් පිළිකා රෝගයට පිළිතුරක් ඇති බව ඔබ දන්නවාද? සුදුහීනටි, ගොඩහීනටි, මසුරන් සහ දික් වී යන සහල් ප්‍රභේද මගින් පියයුරු පිළිකා, ආමාෂ පිළිකා, ආහාර මාර්ගය ආශි්‍රත පිළිකා, පෙනහලූ පිළිකා සහ ගර්භාෂ පිළිකා යන පිළිකා රෝග පාලනය සහ මැඩපවත්වීම සඳහා යෝග්‍ය වේ.

එසේම ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති සංයෝග ආහාර මගින් ලබාදීම බෝ නොවන රෝග තත්ත්වයන් පාලනයට යෝග්‍ය වේ. අධ්‍යයනය කළ සහල් වර්ගවලින් සුදුු හීනටි, ගොඩ හීනටි, මසුරන් සහ දික් වී යන සහල් වර්ගවල මෙම ගුණ ඉතා ඉහළ ලෙස ඇත. ඒ අනුව පෙනීයන්නේ අප අපේ දේශීය පාරම්පරික සහල් පරිභෝජනයට නැඹුරුවන්නේ නම් බෝ නොවන රෝගවලින් පමණක් නොව නොරටින් ගෙන්වන කෘතිම සහල්වලට රැවටී රෝගාතුර වීමේ අවදානම ද වළක්වා ගත හැකිය.

දරුවන්හට බත් කැඳ/කොළ කැඳ සකස්කරදීමේදී වුවද මෙවැනි සාමාන්‍ය සුදු සහල් වෙනුවට පෝෂණීය සහල් වර්ග යොදාගත හැකියි. නිරෝගී දරු පරපුරක් වෙනුවෙන් සිහින දකින මව්වරුනි හැමවිටම ඔබේ දරුවාට අපට හුරුපුරුදු දේශීය ආහාර සමගින් පෝෂණය ලබාදෙන්නට සැලකිලිමත් වන්න

-යක්කල, ගම්පහ ආයුර්වේද විද්‍යායතනයේ ආයුර්වේද වෛද්‍ය නිලීකා සමන්වීර මහත්මිය සමග සකසන ලද ලිපියකි.-

ඔබේ ආහාර වේලේ මේද ප්‍රමාණය මධ්‍යස්ථ විය යුතුතේ ඇයි?

සෑම පුද්ගලයෙකුම ලබාගන්නා ආහාරයෙහි මේදය අන්තර්ගත විය යුතු අතර, එමගින් ශරීරයේ විවිධ ක්‍රියාකාරකම් රාශියක් ඉටු කෙරේ. එහෙත් මේද වර්ග වැඩිපුර භාවිතය නිසා රෝග සෑදීමේ අවදානම ඉහළ යයි. මේදය බහුලව ආහාරයට ගනු ලබන්නේ තෙල්, මේද තැවරුම්, තෙල් සහිත ඇට වර්ග හා පොල්කිරි වශයෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මේද ප්‍රභවය පොල්ය. එහෙත් නාගරික සමාජයේ කිරි, කිරි නිෂ්පාදන හා මස් වැනි සත්ත්ව ආහාර මගින ද ආහාරයට මේදය එකතු වේ.

ඔබේ ආහාර වේලේ මේද ප්‍රමාණය මධ්‍යස්ථ විය යුතුතේ ඇයි?


සෞඛ්‍යමත් දිවිපෙවෙතක් උදෙසා මේදය ප්‍රමාණවත් ලෙස ආහාරයෙහි අන්තර්ගත විය යුතුය. මේදය මගින් ශරීරයට ශක්තිය (මේද ග්‍රෑම් එකකින් කි.කැලරි 9 ක්) ලැබේ. ආහාරයෙහි අඩංගු සමහර මේද අම්ල ශරීරයේ පැවැත්මට අවශ්‍ය වන අතර, ඒවා ‘අත්‍යවශ්‍ය මේද අම්ල‘ නමින් හඳුන්වයි. විටමින් ඒ, ඩී, ඊ, කේ වැනි මේදයේ දියවන විටමින් වර්ග ශරීරයට උරා ගැනීමටද මේදය අඩංගු ආහාර අත්‍යවශ්‍ය වේ. සමහර මේද ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන අතර, එමගින් පිලිකා වර්ග හා බොහොමයක් නිධන්ගත රෝග ඇති වීමේ අවදානම අඩුකරයි. මේදය මගින් ආහාරයට මෘදු ස්වභාවයත්, රසයත්, සුවඳත් එකතු කරන අතර, ආහාර රුචියද වැඩි කරයි. ගර්භණී සමයේදී හා කිරි දෙන අවදියේදී ප්‍රමාණවත් ලෙස ආහාරයේ මේදය අඩංගු වීම ඉතා වැදගත්ය. ආහාර පිළියෙල කිරීමේදී ස්වල්ප ප්‍රමාණයක් තෙල් එකතු කරගැනීම මගින් ආහාරයෙන් ලැඛෙන ශක්ති ප්‍රමාණය වැඩිකර ගැනීමට හැකිය. එමනිසා ප්‍රෝටීන් කැලරි මන්දපෝෂණයෙන් පෙලෙන අය සඳහා ආහාරයට තෙල් එකතු කර ගැනීම සුදුසුය. කෙසේ වෙතත් අධික මේද පරිභෝජනය නිසා අධිබර තත්ත්ව, රුධිරවාහිනි අවහිරතා රෝග, දියවැඩියාව සහ සමහර පිළිකා ඇති වීමේ ප්‍රවණතාව ඉහළ යයි. මේදය සෑදී ඇති ප්‍රධාන සංඝටකය වනුයේ මේද අම්ලයි. ආහාරවල විවිධාකාර මේද අම්ල විවිධ අයුරින් අන්තර්ගත වේ. එක් එක් කාණ්ඩයට අයත් මේද අම්ල මගින් ශරීරයට යහපත් මෙන්ම අයහපත් බලපෑම් ඇති කරයි.

සංතෘප්ත මේද

ශරීරයට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් 10% කට වඩා අඩු ප්‍රමාණයක් මෙම කාණ්ඩයට අයත් මේද අම්ල මගින් ලබාගත යුතුය. මෙම මේද කාණ්ඩය මගින් රුධිරයේ ඇති හෘදයට අහිතකර කොලෙස්ටරෝල් (එල්.ඩී.එල්) ප්‍රමාණය ඉහළ නංවන අතර, එමගින් හෘද රෝග හා අංශභාග වැනි තත්ත්ව ඇති වීමේ අවදානම ඉහළ යයි.

සංතෘප්ත මේදය අඩංගු ආහාර ලෙස කිරි, කිරි නිෂ්පාදන, මස්, මස් ආශ්‍රිත නිෂ්පාදන, පොල්, පොල්කිරි, පොල්තෙල් ආදිය ගත හැක. හෘද රෝගවලින් පෙළෙන අය හා හෘදරෝග සෑදීමේ අවදානම ඇති අය සංතෘප්ත මේදය අඩංගු ආහාර භාවිතය සීමා කළ යුතුය.

ඒක අසංතෘප්ත මේදය

මෙම වර්ගයට අයත් මේදය මගින් රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය (එච්.ඩී.එල්) ඉහළ දමන අතර, හෘදරෝග වැළඳීමේ ප්‍රවණතාව අඩු කරයි. ඒක අසංතෘප්ත මේදය අඩංගු ආහාර ලෙස කජු, රටකජු, කොට්ටං, තල, තෙල් සහිත ඇට වර්ග සහ එළවළු තෙල් (කැනෝලා, ඔලිව්, සූරියකාන්ත සහ තලතෙල්) හා අලිගැට පේර ගත හැකිය.

බහු අසංතෘප්ත මේද අම්ල

ඔමේගා 3 හා 6 ලෙස බහු අසංතෘප්ත මේද අම්ල වර්ග දෙකකි. මේවා ශරීරයට අත්‍යවශ්‍ය වන නමුදු ශරීරය තුළ නිපදවා ගැනීමට නොහැකිය. මෙමගින් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන අතර, හෘදරෝග ඇති වීමේ ප්‍රවණතාවද අඩු කරයි. ළදරු කාලයේ විකසනයට මෙන්ම ස්නායු, හෘද, වකුගඩු, රුධිරවාහිණී හා ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා මෙම මේද අම්ල අත්‍යවශ්‍ය වේ. ඔමේගා 3 හා 6 මේද අම්ල නිවැරදි අනුපාතයකින් යුතුව ආහාරයට ගැනීම වැදගත්ය. ඔමේගා 3 මේදය අඩංගු ප්‍රභවයන් වන්නේ මේදය සහිත මාළුන් (උදා – බලයා, හුරුල්ලා, සාලයා, කුම්බලාවා, බෝල්ලා සහ සැමන්) සෝයා තෙල්, කැනෝලා තෙල් හා මද වශයෙන් තද කොළ පැහැ පලා වර්ග වලය. ඔමේගා 3 මේද අම්ලයේ ව්‍යුත්පන්නයක් වන ඩී.එච්.ඒ ළදරුවාගේ මොළය හා ස්නායූ පද්ධතිය වර්ධනයට වැදගත් වන අතර එය දරුවාට අවශ්‍ය ප්‍රමාණයට මව්කිරිවල අන්තර්ගත වේ. ඔමේගා 6 මේද අම්ලය අඩංගු ආහාර ලෙස බිත්තර, මස්, කුකුළු මස්, වට්ටක්කා ඇට, තල, බඩ ඉරිගු තෙල්, සෝයා තෙල් හා සූරියකාන්ත තෙල් ගත හැකිය. ඔමේගා 3 මේද අම්ලය විවිධ ආසාදිත රෝග වළක්වා ගැනීමට උපකාරී වන අතර ඇදුම, ආතරයිටිස්, දියවැඩියාව, චර්ම රෝග සහ ප්‍රතිශක්ති විකෘතිතා වැනි තත්ත්වද පාලනය කරයි.

ට්‍රාන්ස් මේදය

අසංතෘප්ත මේද අම්ල අධික උෂ්ණත්වයට රත් කිරීමේදී ට්‍රාන්ස් මේදය ඇතිවේ. ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර පරිභෝජනය නිසා හෘදරෝග සහ අංශභාග වැනි රෝග තත්ත්ව ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යයි. පාම් (Palm) තෙල් ඇතුළු අනෙකුත් අසංතෘප්ත තෙල් වර්ග යොදා ගෙන ගැඹුරු තෙලේ ආහාර බැ`ද ගැනීම නිසා මෙම අහිතකර ට්‍රාන්ස් මේදය ඇතිවේ. එම නිසා එළවළු තෙල් වර්ග ආහාර ගැඹුරු තෙලේ බැද ගැනීම සඳහා සුදුසු නොවේ. එමෙන්ම අසංතෘප්ත තෙල් එක් වරක් භාවිත කළ පසු නැවත නැවත භාවිතයට ගැනීමෙන් ට්‍රාන්ස් තෙල් මට්ටමට ඉහළ යන නිසා නැවත භාවිතයට සුදුසු නොවේ. පොල්තෙල්වල ඇත්තේ සංතෘප්ත තෙල් වර්ගයක් වන බැවින්, එය ගැඹුරු තෙලේ බැදීමට මෙන්ම භාවිත කළ තෙල් නැවත පාවිච්චියට සුදුසුය. පොල්තෙල් භාවිතය මගින් ට්‍රාන්ස් තෙල් ඇතිවීමේ අවදානම අඩුවේ. පේස්ට්‍රි වැනි බේකිරි නිෂ්පාදනවලද, පැටිස්, කට්ලට්ස්, රෝල්ස් වැනි ගැඹුරු තෙලේ බදින ලද ආහාරවලද, මාජරින් වර්ගවලද, කේක් බිස්කට් සහ චොකලට්වලද සැඟවුණු ට්‍රාන්ස් මේදය අන්තර්ගත වේ. ට්‍රාන්ස් මේදය මගින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් හා හෘද රෝග ඇති වීමේ අවදානම ඉහළ නංවන බැවින් මෙවැනි ආහාර භාවිතය සීමා කළ යුතුය.

කොලෙස්ටරෝල්

මෙය සත්ව ආහාරවල (මස්, සොසේජස්, බේකන්, බිත්තර, සම්පූර්ණ යොදය සහිත කිරි, බටර්, චීස් සහ සත්ව අක්මා) පමණක් දක්නට ලැඛෙන මේද සංඝටකයකි. කොලෙස්ටරෝල් සෛල පටලවල අත්‍යවශ්‍ය සංඝටකයක් වන අතර හෝමෝන හා පිත් අම්ලය නිපදවීමටද වැදගත් වේ. මිනිසා විසින් ශරීරීයේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයට ගැලපෙන පරිදි අවශ්‍ය ප්‍රමාණයට කොලෙස්ටරෝල් නිපදවයි. ආහාර මගින් ශරීරයට එකතු වන අමතර කොලෙස්ටරෝල් ප්‍රමාණය රුධිරවාහිණීවල තැන්පත් වීම නිසා රුධිරවාහිණී අවහිරතා රෝග ඇති විය හැක.

වයස අවුරුදු දෙකේ සිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා මේදය භාවිත කිරීම සඳහා නිර්දේශයන්


  • දිනකට ශරීරයට අවශ්‍ය මුළු ශක්ති ප්‍රමාණයෙන් 15%-30% අතර ප්‍රමාණයක් ලබාගත යුත්තේ මේදයෙනි.
  • සංතෘප්ත මේද ආහාර මගින් ලබාගන්නා ශක්තිය, දිනකට අවශ්‍ය ශක්තියෙන් 10% නොඉක්මවිය යුතුය.
  • බහු අසංතෘප්ත මේදයද ශරීරයට අවශ්‍ය වේ. ඔමේගා 3 සහ 6 මේද අම්ල දෙවර්ගයම ශරීරීයට අත්‍යවශ්‍ය බහු අසංතෘප්ත මේද වර්ග දෙකකි. මෙම මේද අම්ල දෙවර්ගයම නිවැරදි අනුපාතයකින් යුතුව ආහාරයට ගැනීම ඉතා වැදගත් වේ. එමෙන්ම කළලයේ නිසි වර්ධනයට මෙන්ම මිනිස් සිරුරේ ස්නායු, රුධිර වාහිනී, බහිස්ශ්‍රාවීය සහ ප්‍රතිශක්ති පද්ධතිවල මනා වර්ධනය හා ක්‍රියාකාරීත්වය සඳහා මෙම මේද අම්ල අත්‍යවශ්‍ය වෙයි. බහු අසංතෘප්ත (ඔමේගා 3 සහ 6) මේදය මගින් ලබාගන්නා ශක්තිය, දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් 6%-11% පමණ විය යුතුය.
  • ට්‍රාන්ස් මේදය මගින් සපයන මේදය දෛනික ශක්ති අවශ්‍යතාවයෙන් 1% නොඉක්මවිය යුතුය.
  • මේදයෙන් ලබාගන්නා ශක්තියෙන් ඉතිරි කොටස් ලබාගත යුත්තේ ඒක අසංතෘප්ත මේදය මගිනි.
  • ආහාර මගින් දිනකට ලබාගන්නා කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලි ග්‍රෑම් 300 වඩා අඩු විය යුතුය.
  • බහු අසංතෘප්ත හා සංතෘප්ත මේදය පරිභෝජනය දළ වශයෙන් සමාන විය යුතුය.
  • ආහාරයේ අඩංගු බහු අසංතෘප්ත ඔමේගා 6 සහ බහු අසංතෘප්ත ඔමේගා 3 අතර අනුපාතය 4:1 විය යුතුය.

නිවැරදි ලෙස මේදය භාවිත කිරීම සඳහා ප්‍රායෝගික නිර්දේශයන්


  • ඔබගේ ආහාරය සඳහා මේදය එකතු කරගැනීමේද පහත ආකාරයට හුරු පුරුදු වීම, නිරෝගී දිවිපෙවෙතකට උපකාරී වෙයි. ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලෙහි ප්‍රධාන මේද ප්‍රභවය පොල්ය. මෙය පොල් කිරි හා පොල් තෙල් ලෙසද භාවිත කෙෙරේ. ළමයින්, යොවුන්වියේ පසුවන අය, ගර්භණී මාතාවන් හා කිරිදෙන මව්වරුන්ගේ ආහාරයට පොල් හා පොල් කිරි අඩංගු කිරීමෙන් ශක්තිජනකභාවය වැඩිවේ. පස් දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් භාවිත කිරීම ප්‍රමාණවත්ය.
  • කජු, රටකජු, කොට්ටන්, වට්ටක්කා ඇට, තල හෝ අලි ගැට පේර භාවිතය මගින් දිනකට අවශ්‍ය අසංතෘප්ත මේද ප්‍රමාණය ලබාගත හැකිය.
  • ඔබගේ ආහාර වේලෙහි විශේෂයෙන් තෙල් සහිත මාළු වන බලයා, සාඩින්, හුරුල්ලා සහ මැකරල් වැනි මාළු අඩංගු කර ගැනීම සුදුසුය.
  • ඔලිව් තෙල්, කැනෝලා තෙල්, සූරියකාන්ත තෙල් හා බඩඉරිඟු තෙල් අසංතෘප්ත තෙල් බහුල තෙල් වර්ග වේ. මෙම අසංතෘප්ත තෙල් වර්ග යොදාගෙන නිපදවන මේද තැවරුම්වල ශරීරයට අත්‍යවශ්‍ය වන ඔමේගා 3 සහ 6 මේද අම්ල අඩංගු වේ. එබැවින් මෙම මේද තැවරුම් බටර්වලට වඩා ගුණදායකය.
  • මේද තැවරුම් තෝරාගැනීමට පෙර හැම විටම එහි ඇති ට්‍රාන්ස් මේදයේ ප්‍රතිශතය, ලේබලය කියවා දැනගන්න. 1% වඩා අඩු ට්‍රාන්ස් මේදය අඩංගු නිෂ්පාදන පමණක් භාවිතයට සුදුසු වේ.
  • කිරිවල සංතෘප්ත මේදය බහුලව ඇති බැවින්, වැඩිහිටි අයට, අවුරුදු 2 වැඩි අධි බරැති ළමුන්ට හා හෘද රෝග වැළඳීමේ අවදානමින් සිටින අයට මේදය අඩු හෝ මේදය රහිත කිරි හෝ කිරි ආහාර ( මේදය අඩු යෝගට්) යෝග්‍ය වේ.
  • කේක්, ප්‍රේස්ට්‍රි, රෝල්ස්, බිස්කට් හා කට්ලට් වැනි කෙටි ආහාරවලද, ගැඹුරු තෙලෙහි බදින ලද ක‍ෂණික ආහාරවලද ට්‍රාන්ස් මේදය අඩංගු විය හැකි බැවින් එම ආහාර භාවිතයද සීමා කළ යුතුය.
  • කුකුළු මස් පිස ගැනීමේදී මස්වල අඩංගු සම සහ අනෙකුත් මේද කොටස් ඉවත් කළ යුතුය.
  • සෝසේජස්, මීට් බෝල්ස්, හැම්, බේකන් වැනි පිරිසැකසුම් කරන ලද මාංශමය ආහාර භාවිතය සීමා කළ යුතුය.
  • ආහාර තෙම්පරාදු කර ගැනීම සඳහා තෙල් ස්වල්ප ප්‍රමාණයක් යොදා ගත යුතුය. (අසංතෘප්ත තෙල් වර්ගයක් නම් වඩාත් යෝග්‍ය වේ)
  • ගැඹුරු තෙලේ බදින ලද ආහාර භාවිතය සීමා කළ යුතුය. පොල් තෙල් හැර අනෙකුත් තෙල් වර්ග භාවිත කර ගැඹුරු තෙලේ බැදගැනීම සිදුකරන්නේ නම් එම තෙල් නැවත නැවත භාවිතයට සුදුසු නොවේ.
  • නොඇලෙන බඳුන්  (Nonstick) භාවිතය මගින් තෙල් භාවිතය සීමා කළ හැක.
  • ඇසුරුම් කරන ලද ආහාර මිලදී ගැනීමේදී ලේබලයේ අන්තර්ගත පෝෂක පිළිබඳ තොරතුරු කියවන්න. සංතෘප්ත මේදය අධික හෝ ට්‍රාන්ස් මේදය අධික ආහාර මිලදී ගැනීමෙන් වළකින්න.
  • තෙල් ශක්තිජනක ආහාර ළදරුවන් සහ ළමයින් සඳහා අතිරේක ආහාර ලෙස යොදා ගත හැකි අතර, දිනකට අවශ්‍ය මේද ප්‍රමාණය නොඉක්මවන ලෙස ලබා දිය යුතුය.
– සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ ප්‍රකාශනයක් ඇසුරෙනි –

 

කුණුවලට වගකියන ජීවිතවලට වටිනාකමක් දෙමු

කුණු ගේන්නෝ ….  සෑම සතියකම බදාදා දහවල වන විට මේ හඬ කොයි වෙලේ ඇහෙයිදෝ මම බලා සිටින්නෙමි. මන්ද කුණු ලොරිය සාමාන්‍යයෙන් එන දිනය බදාදාය. මේ දිනය එක් එක් සතිවලදී වෙනස් වන නිසාම මාගේ නිවස පිහිටි මාවතේ සැවොම සඳුදා දිනයේම පියන් තදින් වසා කුණු බැරල් ගේට්ටුව අයිනේ තබන්නට මෑතක සිට පුරුදු වී ඇත. කසල වර්ගීකරණය යටතේ කුණු රැගෙන යාමට සිදුව ඇති නිසා ඔවුන් ඇතැම් සතිවල දින දෙකක් පැමිනෙනු ඇත. නිශ්චිත දිනයක් නැති වුවද සතිය ඇතුළත කුණු බරින් අපව නිදහස් කරන්නට කුණු ලොරිය අනිවාර්යෙන්ම පැමිණෙනු ඇත. තාප්පවලින් වට වූ කුඩා බිම් කොටසක වෙසෙන අපට එය සැබවින්ම සුබ දසුනකි. කුඩා දරුවන් වෙසෙන නිවසක දිනකට එකතු වෙන කුණු ප්‍රමාණය කෙතරම්ද යන්න මෙය කියවන ඔබත් අත්දැකීමෙන්ම දන්නා නිසාම ඒ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය වන්නේ නැත.

මේ පසුගිය මාසයේ එක් බදාදා දිනයකි.

දියණියගේ අසනීප තත්ත්වය මත මා මේ පවසන දිනයේ මට කුණු බැරල් එක තියන්නට අමතක විය. ඇය සමග ඇඳට වී සිටි මට එක්වරම ඇසුණේ, කුණු ගේන්නෝ… යැයි කෑගසන සුපුරුදු හඬමය. මම ඇඳෙන් පැන්න ආකාරය මටවත් මකන නැත. ඒ කුණු දෙන්න බැරි වුණොත් තවත් මේ සතියේ එක්කාසු වූ කුණුවලට අනෙක් සතියේ කුණුත් එක්කාසු වූ පසු මුහුණ දීමට සිදුවන තත්ත්වය දන්නා නිසාය.

“පොඩ්ඩක් ඉන්නෝ….”

“ගේන්න ගේන්න නෝනා… මොකද අද බැරල් එක තියන්න අමතක වුණාද?”

ගේට්ටු පියන ඇර කුණු බැරල් එක එළියට තැබූ මම නැවත ගේ දෙසට හැරෙද්දීම දුටුවේ ලා දුඹුරු පැහැති ප්ලාස්ටික් වැනි ආවරණයකින් ඒ පුද්ගලයාගේ දකුණු අත මැණික් කටුවේ සිට වැලමිට තෙක් ඔතා ඇති ආකාරයයි. මා නැවත ඔහු දෙසට හැරිණි.

“මොකද අතට වුණේ….

අනේ නෝනා වීදුරු කටුවකට කැපුණානේ….

මොනවා කරන්න ගිහින්ද ඔච්චරටම කැපුණේ….

කුණු අස්කරද්දි බිඳිච්ච බෝතලයක් තිබිලා… දැක්කෙ නෑනේ නෝනා…

අය්යෝ…ඇයි ඔයාලා වෙනම නෙවෙයිද වීදුරු කටු දාගන්නේ

අපි නම් වෙනම තමයි දැන්නෙ නෝනා… දාන්න කියලා තියෙන්නෙත් වෙනම

ඒත් මිනිස්සු බෝතල් කටුත් එහෙමම දානවා…මොනවා කරන්නද නෝනා…”

කුණු ලොරිය පසුපස කොටසේ උඩ රැඳී සිටින අනෙක් සගයාට නිවෙස්වල ගේට්ටුව ඉස්සර ඇති කුණු වම් අතින් විසිකරන ඔහු ගැන සැබවින්ම මට ඇති වූයේ අනුකම්පාවකි. ඩෙංගු ගැන සතර අතේ කතා බහට ලක්වේ. වටපිටාවේ පිරිසිඳු බව රැකගන්නට උනන්දු වේ. අපේ ගෙවත්තෙන් පිටකරන කුණු ගෙන යන්නට මොවුන් නොහිටින්නට ඩෙංගු මදුරුවන් බෝ වෙන්නේ අපේ ගේට්ටුව ඉදිරිපිට නොවේදැයි මට සිතුණි. සමහර දිනවල නියමිත රාජකාරිය ඔවුන් මගහරින අවස්ථා ද නැතිවාම නොවේ. ඔවුන්ගෙන් වැරදි සිදුනොවනවාද නොවේත නමුත් ඒත් මිනිසුන්ම කොටසක් නොවේද යන්න මට සිතුණි. මොවුන් ගැනත් සිතන්නට අපට බැරි ඇයි දැයි මට සිතුණි.

උසස් අධ්‍යාපනය තෙක් උගත් අපි, විසි කරන කුණු එක්කාසු කරන ඔවුන් උගත්කමින් අඩු පිරිසක් නිසා එවැනි රැකියාවක නිරත වුණත් ඔවුන්ගෙන් ඉටුවන මෙහෙය විස්තර කළ නොහැකි තරම් වටිනා බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. “කුණු ගේන්නෝ…” යැයි කෑ ගසන ඔවුන්ගේ හඬට ලොකු වටිනාකමක් ඇත්තේ එබැවිනි.  ඔවුන්ගේ  ජීවිතවලටද ඇත්තේ අපේ ජීවිතවලට ඇති වටිනාකමම නොවේද? ඔවුන්ට දුකක් කරදරයක් වූ විට හඩා වැටෙන්නේ තැවෙන්නේ අපි වැනිම බිරින්වදෑවරුන් නොවේද?  ඔවුන්ගේ දරුවන්ට අපේ දරුවන්ට අපි මෙන්ම ඔවුන්ගේ පියා වටින්නේ නොවේද? මේ ජවිතය තුළ උගත්කම, මුල මුදල්, තරාතිරම අනුව මිනිසුන් වර්ග කළ හැකි වුවත් ජීවිතයක වටිනාකම මත මිනිසුන් වර්ග කළ නොහැකිය.

ඒ කුණු අදින එකා.. ඌට මොනවා වුණාම මොකද? මේ අපේ හැඟීම නොවිය යුතුය.

අපි සිතිය යුත්තේ මෙතැන් සිටයි. අපි විසිකරන කුණු එකතු කොට නියමිත තැන්වලට ගෙනියන ඔවුන් සැබවින්ම කරනුයේ පැසුසුමට ලක්විය යුතු රැකියාවකි. “කුණුකාරයා” ඔහුට අයත් විය යුතු ලේබලය නොවේ. අපි ඔවුන්ට සැලකිය යුතු වන්නේ ඔහු කරන මෙහෙයට කෘතඥ වෙමිනි. සැබවින්ම අපිට මෙවැනි අනතුරක් සිදුවුවහොත් පෞද්ගලික රෝහලක හොඳම වෛද්‍යවරයා වෙත යොමු වී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත්තද මොවුන්ට එවැනි පහසුකම් හෝ හැකියාවක් නොමැත. අන්න ඒ නිසාම අපගේ අතින් ඔවුන්ට සිදුවිය හැකි අනතුරු අවම වන ලෙස කටයුතු කිරීම අපගේ අනිවාර්ය යුතුකමක් බව සිහිතබාගත යුතුය.

කරුණාකර ඔබේ නිවසේ එකතුවන, වීදුරු කටු/කටු සිහිත ගස්වල අතු කැබලි/කැඩුණු පොල්කටු කැබලි/බිදුණු පෝසිසේන් පිඟන් කැබලි/යකඩ ඇණ වැනි ඇනතුරු සිදුවිය හැකි යැයි ඔබට සිතෙන සියලූ දේ වෙන් කර කුණු ලොරියට ලබා දෙන්නට සැලකිලිමත් වන්න. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සියල්ල ඔබට එවැනි ස්ථානයකට ලබාදිය හැකියි. ”කුණුකාරයා” ලෙසින් සමාජගත වූ නාමයේ හිමිකරුවන් වුවද කුණු ඉවත් කරන මිනිසුනගෙන් ඉටුවන මිල කළ නොහැකි සේවාව අගයන්නට නිතැතින්ම අපට සිදුවනු ඇත. ඔවුන්ගේ ජීවිතයටත් වටිනාකමක් ඇති බව අනිවාර්යෙන්ම පිළිගත යුතු කරුණක්ද වේ. අවුරුද්දට ජනවාරි පළමුදාට ඔවුන් සෑම නිවසකින්ම යමත් බලාපොරොත්තු වන බව සැබෑය. ජීවන වියදම පියවා ගැනීමටවත් නොහැකිව දිවි ගෙවන එවැනි මිනිසුන් කොටසක් එසේ බලාපොරොත්තු නොවුණහොත් එය අසාමාන්‍ය යැයිද මට සිතේ. “කුණු අදිනවට උන්ට පඩි ගෙවනවනේ…” මෙය මා බොහෝ සෙයින් අසා ඇත්තකි. එය සැබෑවකි. ඔවුන්ට අමතර සහයෝගයක් ලබාදීම ඔබට අනිවාර්ය කරුණක් නොවේ. ඒත් කුණු කසල ලොරියට දැමීමට පෙර සමාජයේ තවත් පිරිසකගේ ජීවිතවල වටිනාකම වෙනුවෙන් අප සතුව විශාල වගකීමක් ඇති බව සිහිතබා ගැනීම අපි, අපිටම අනිවාර්ය කරගනිමු.

බද්ධ දරු උපත් ගැන ඔබ අසා නැති අරුම පුදුම කතා

බද්ධ දරුවන්ගේ උපත පිලිබඳ ඉතිහාසය ඉතා දිගු අතීතතයකට අයිතියි.මුලින්ම බද්ධ දරුවන් ගැන තොරතුරු අහන්නට ලැබිලා තියෙන්නේ 1811 වසරේ චොන්ග් සහ එන්ග් බන්කර් යන දෙදරුවන් ගැන. ඒ තායිලන්තය හෙවත් එදා සියම යනුවෙන් හැඳින්වුන ප්‍රදේශයෙන්.මේ දරුවන් බද්ධ වෙලා හිටියේ ඔවුන්ගේ ශරීරයේ කඳ ප්‍රදේශයෙන් වූ අතර මේ දෙදෙනාගේ වෙන් කිරීම වෛද්‍ය ඉතිහාසයටත් එක් වුනා.මෙම ඉතිහාසගත ශල්‍ය කර්මය සිදු කරනු ලැබුවේ පී. ටී. බර්මන් නැමැති වෛද්‍යවරයා විසින්.  ඒ නිසාම මෙම සංසිද්ධිය ” සියැම්ස්  ට්වින් “ Siamese twins.  යනුවෙන් ඉතිහාසයට එක්වුනා. ඔවුන්ගේ නාමය මොනතරම් දුරට ඉතිහාසයට එක්වූවාද යත් කැරොලිනා ප්‍රදේශයේ විල්සන් පුස්තකාලයේ මේ පිලිබඳව සමරුවක් පවා තබා තිබෙනවා.

Chang-eng-bunker-PD

ඔහියෝ ප්‍රදේහයේ උපත ලද  බද්ධ දරුවන් වූ ජේම්ස් එඩ්වඩ් හා ජෝන් නෙල්සන් යන දෙදරුවන් 1957 වසරේ වෙන් කරනු ලැබුවේ බෙර්ට්රස් කැට් ශල්‍ය වෛද්‍යවරයා විසින්.

1987 වසරේ බෙන් කාර්සන් විසින් හිසෙන් බද්ධව තිබුන දරුවන් දෙදෙනෙක් වෙන් කරනු ලැබුවා.

2000 වසරේ ගංගා සහ යමුනා යන සහෝදරියන් දෙදෙනා බද්ධව උපත ලද අතර ඔවුන් 2001 වසරේ වෙන් කරනු ලැබුවේ සිංග් චුම්ප්මොන් සහ කීත් හෝග් යන වෛද්‍යවරුන් දෙපොල විසිනුයි. මෙම ශල්‍ය කර්මය වෙනුවෙන් පැය 197 ක කාලයක් ගත වුනා. එහෙත් ඔවුන් දෙදෙනාට දිගු කාලයක් ජීවත් වෙන්න වාසනාව නම් ලැබුනේ නැහැ. යමුනා 2009 වසරේ මියගියේ ඇවිදගත් නොහැකි තත්වයේ සිටියදීමයි.

LadanLalehBijaniඉරානයේ ලැන්ඩන් සහ ලෙහ්ලා බිජානි වයස අවුරුදු 34 ක් වෙන තෙක්ම බද්ධ දරුවන් විදිහට ජීවත් වුණා. 1974 වසරේජනවාරි 17 වැනි දින උපන්  මේ රූමතියන් දෙදෙනා වෙනුවෙන් වෙන් කිරීමේ ශල්‍ය කර්මය අවදානම් බව වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබුනත් 2003 වසරේදී ඔවුන් දෙදෙනාට ස්වාධීන ජීවිතයක් ලබා දීම සඳහා වෙන් කිරීමේ ශල්‍යකර්මය සිදු වුනා. රූපන තාක්ෂණ බාවිතා කළත් ප්‍රධාන රුධිරවාහිනී හඳුනාගෙන තිබුනේ නැහැ. මේ නිසා 2003 වසරේ ජුලි තුන්වැනි දින සහෝදරියන් දෙදෙනා ඉතාම අවාසනාවන්ත විදිහට ජීවිතයෙන් සමු ගත්තා.

ඇමරිකා එක්සත් ජනපදයේ කැරොලිනා වල උපත ලද ඊවා සහ එරිකා සැන්ඩොරල් යන දෙරුවන් බද්ධව සිටියේ එකම ආහාර ජිරණ පද්ධතියක්. ගර්භාෂයක් , අක්මාව, මුත්‍රාශය සහ පාද තුනක් සහිතවයි. මෙම දෙදෙනා වෙන් කලොත් එක් අයෙක් හෝ දෙදෙනාම මියයන සම්භාව්‍යතාවය 30% ක්ව තිබුනා. 2016 වසරේ දෙසැම්බර් 6 වැනි දින ස්ටැන්ෆර්ඩ් පාර්කර්ඩ් රෝහලේදී මෙම දෙදෙනා ශල්‍ය කර්මයක් මගින් වෙන් කරනු ලැබුවා. පැය 18 ක කාලයක් තුල සිදු කරන ලද ශල්‍යකර්මය සාර්ථක වුන නිසා දැන් මේ දෙදෙනා නිවසේ සිට ස්වාධීන ජීවිතයට මුල පුරා සිටිනවා. රෝහලේ සිට නිවසට එන දිනයේ ඉතා උත්සවාකාරයෙන් ඔවුන් දෙදෙනා පිලිගැනීමට කටයුතු සලසා තිබුනා.

erica sadoral

දැන් ඔවුන්ගේ තුන්වන පාදය ඉවත් කරල තිබෙනවා. මේ දෙදෙනාගේ උකුලු අස්ථිවල කොටස් අඩු බැවින් දෙදෙනාටම වාඩි වී සිටින්න පුලුවන්ව ඇත්තේ කෙටි කාලයක් විතරයි. දැනට රෝද පුටුවේ වාඩි වී සිටින මේ සහෝදරියන් දෙදනා වෙනුවෙන් කෘතිම පාදයක් බද්ධ කිරීමට අනාගතයේදී කටයුතු සූදානම්ව තිබෙනවා.

අපි පරිහරනය කරන ආහාර ඇසුරුම් සහ සෞඛ්‍ය ගැටලු

ප්ලාස්ටික් සහ පොලිතින් අපේ එදිනෙදා කටයුතු වෙනුවෙන් භාවිතාය බොහොම කැමැත්තෙන් වැළඳ ගත්තත් , කල් ගෙවෙන විට මේ පරිහරනය පහසු වුත්, සැහැල්ලු සහ වියහියදම පිරිමහින ඇසුරුම් සහ උයන පිහින භාජන ගැන චෝදනාවන් ගොඩ නැගෙන්නට වුණා.පොලිතින් ප්ලාස්ටික් පිලිකාකාරකයි යන බරපතල චෝදනාව සහ අපේ ඉවුම් , පිහුම් සහ ආහාර පිලිගැන්වීම වෙනුවෙන් භාවිතා කරන භාජන මොනතරම් ආරක්ෂිතද… ? මේ ගැන දැනුවත් කිරීමේ අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා විසින්…

ප්ලාස්ටික් භාජන රත්කිරීම සුදුසු නැහැ. ප්ලාස්ටික් භාජන නිපදවීමේදී කරනු ලබන fillers” stabilizers සහ plasticizers වැනි සංයෝග එකතු කරනවා. ප්ලාස්ටික් රත් කරන විට වගේම  හිරු එලියට නිරාවරණය වීම සහ උණුසුමට පත් වීම වැනි අවස්ථාවන්හිදී මෙම සංයෝග ආහාර සමග එකතු වෙනවා.

ජලය ගෙන යන බෝතල්වල  ජලය සමග ප්ලාස්ටික් මිශ්‍ර නොවන ස්ථරයක් තිබුනත් කාලයක් යන විට ස්ථරය ක්ෂය වී ප්ලාස්ටික් සහ ජලය එකට එකතු වීම සිද්ධ වෙනවා. මේ ගැන බොහෝ දෙනා හිතන්නේ නැහැ. අපි නිතරම දකිනවා පාර තොට සේවය කරන උදවිය ආපනශාලාවලින් තේ රැගෙන යන්නෙත් ප්ලාස්ටික් බෝතල්වලට. වේලාවේ හැටියට පහසුව තකා මේ විදිහට කටයුතු කළත් එය සෞඛ්‍යට ඉතාම අහිතකරයි.

උණුසුම් ජලය බෝතල්වලට දැමීම හෝ ජලය සහිත බෝතල් උණුසුම් කිරීමට භාජනයක තැබුවහොත් ඉතා පහසුවෙන් මෙම ස්ථරය පලුදු වී අහිතකර රසායනයන් ජලය සමග මිශ්‍ර වීම සිදු වෙනවා.

ඒ වගේම ප්ලාස්ටික් පැණි බීම බෝතල් දිවා කාලයේදී හිරු එළියට නිරාවරනය වෙලා උණුහුමට පත් වෙනවා. මේ රත්වීමෙන් ප්ලාස්ටික්වල අන්තර්ගත BPA හෙවත් Bisphenyl – A පිළිකා කාරක සංයෝගය සිරුරට ඇතුල් වෙන නිසා ලෙඩ රෝග වෙනුවෙන් නිරාවරනය වෙන අවදානම ඉතාම ඉහල මට්මකට පත් වෙනවා. Bisphenyl – A යනු ඉතා කුඩා ප්‍රමාණයෙන් පවා පිලිකා ඇති කරන පිලිකා කාරකයක්. දියුණු රටවල නැවත භාවිතා කරනු ලබන බෝතල්වල BPA රහිත (BPA –Free ) බවට සහතිකයක් තිබුනත් අපේ රටේ BPA –Free යනුවෙන් සහතික කළ ජලබෝතල් විරලය.

නිවසේ හෝ ආපනශාලාවල ආහාර පිලියෙල කිරීමට සුදුසුම වෙන්නේ මල නොබැඳෙන  වානේ  භාජනයි.

ඇලුමිනියම් ආහාර සකස් කිරීමේදී ඉතාම නුසුදුසුයි. අම්ලතාවය ඉහළ තක්කාලි, දෙහි, සියඹලා වැනි දේ කාලයක් මෙම ඇලුමිනියම් භාජන වල පිසින විට නොදැනම ඇලුමිනියම් ශරීරයට එකතු වෙනවා. අපේ සිරුරට ඇළුමිනියම් එතරම් අවශ්‍ය නැහැ. එය විෂ සහිතයි.

නොන්ස්ටික්  (non-stick ) හෙවත් නොඇලෙන සුළු වෙනුවෙන් තිබෙන ඇගයීම වුනත් අපේ පාවිච්චියේදී අහිතකර විදිහට බලපාන්න පුළුවන්. මෙම නොඇලෙන සුළු බව සකස් වෙන්නේ ඒ වෙනුවෙන් යොදා ගෙන තිබෙන ටෙෆ්ලොන් Teflon නිසයි. එහෙත් මේ ටෙෆ්ලොන් Teflon කොටස සීරී ගියාම සාමාන්‍ය ඇලුමිනියම් භාජනයක පිසිනවාට සමානයි. ප්‍රමිතියෙන් හොඳ නොඇලෙන භාජන මිළෙන් ඉහළ වුනත් ඒවායේ කල්පැවැත්ම නිසා අහිතකර බලපෑම් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා භාජන මිළට ගැනීමේදී කල් පවතින ප්‍රමිතියෙන් යුක්ත පිසින භාජන වෙනුවෙන් යොමු වුනොත් ආහාර පිසීමේ ආරක්ෂිත බව ගැන සහතිකයක් ගොඩ නගා ගන්න පුලුවන්.

මැටි භාජන වෙනුවෙනුත් චෝදනා තිබෙනවා.

ගෑස් උඳුන්වල රත් වෙන විට

  • දහනය වෙන තාපය ඉහලයි.
  • ප්‍රවාහනය අපහසුයි.
  • කැඩෙන බිඳෙන බව ඉහලයි.
  • හැසිරවීම අපහසුයි.
  • පිරිසිදු කිරීමේ ගැටළු.

මේ සියල්ල අතරින් සෞඛ්‍යමය ලෙසින් ඇති වෙන ප්‍රධාන අවදානමක් තිබෙනවා. මෙම භාජන සකස් කිරීමට යොදා ගන්නා මැටිවල ඇති සියුම් සිදුරු අතරින් ක්ෂුද්‍ර ජීවින්ට ඇතුළු වෙන්න පුලුවන්. පිරිසිදු කිරීමේදී මේ ක්ෂුද්‍ර ජීවින් සියල්ලම ඉවත් වෙන්නේ නැහැ. ඒ නිසා හැටි භාජන  යොදා ගෙන වුනත් පිසින ආහාර නුසුදුසු තත්වයෙන් තිබෙන්න පුලුවන්.

අපි බුෆේ ආහාර වලදී මැටි භාජනවල අසුරා තිබෙන විට බොහොම කැමැත්තක් දක්වනවා. ඒත් මේ ආහාර වලින් ඇති විය හැකි අතුරු අන්තරාවන් ඉහලයි. මේ මැටි භාජන රත් කරන්නේ කුඩා තාපයකින්. ඒ නිසා ක්ෂුද්‍ර ජීවින් විනාශ වීම ගැන සහතික වෙන්න බැහැ. නිරන්තරව පාවිච්චිය නිසාත් පිරිසිදු කිරිමේදී ඇති වෙන අඩුපාඩු නිසාත් බුෆේ ක්‍රමයේදී මැටි භාජන වෙනුවෙනුත් සුබවාදීව හිතන්න බැහැ. සාමාන්‍ය නිවසක වගේම ව්‍යාපාරික කටයුතුවලදිත් මැටි භාජන හසුරුවන සහ ප්‍රවාහනයේ ඇති වෙන කැඩෙන බිඳෙන අවස්ථාවනුත් ඉහලයි. මේ සියල්ල ගැන හිතන විට  මළ නොබැදෙන හෙවත් Stainless භාජන බුෆේ ක්‍රමයට ඉතාම යෝග්‍ය වෙනවා.

දරුවන් ස්වාධීනව ජීවිතයට මුහුණ දෙන්න පුරුදු කරන්නෙ මේ විදියට

මම නම් දරුවන්ගේ වැඩ කටයුතු වලට කිසිම උදව්වක් දෙන්නේ නැහැ….අපි උදව් දෙන්න ගියොත් දරුවෝ කිසිම දවසක ස්වාධීනව ජීවිතය ගොඩ නගා ගන්නේ නැහැ…..එක් අයෙක් එහෙම කියද්දී තවත් කෙනෙක් මේ විදිහට කියනවා….

මං නම් අනේ හරියට උදව් කරනවා. දරුවන්ට ඉතින් අපේ උදව් නැතුව කවුරු උදව් කරන්නද…ඒ තවත් අම්මා කෙනෙකුගේ අදහසයි…

මම හැම දේටම නම් උදව් දෙන්නේ නැහැ…ඒත් බැරි දෙයකට නම් ටිකක් උදව් වෙනවා.

මේ අදහස් අතර ඔබ නවතින්නේ එහෙම නැත්නම් ඔබ දරුවන්ට දක්වන ප්‍රතිචාරය කොහොමද….

දරුවන් කියන්නේ බොහොම අවධානයෙන් වගේම ආරක්ෂාව සහ ආදරය සමග ගොඩ නගා ගත යුතු පිරිසක්. අපි හිතන විදිහට ඔවුන් පාලනය කිරීමට හැකි වුනත් ඒ තත්වය හැම විටම සාධාරණ නැහැ. ඒ නිසා දරුවන් වෙනුවෙන් ඔබ අනුගමනය කරන පිලිවෙත් ගැන විවිධ අධ්‍යනයන් සිදු වෙනවා. ඒ අනුව දරුවන්ට අපි සලකන්නේ කොහොමද යන්න ගැන අලුත් අත්දැකීම් බෙදා හදා ගත හැකියි.ජෙසිකා ලේහෝ කැමැති ගත් කතුවරිය පෙන්වා දෙන්නේ දරුවන් සතුටින් තබන්නට යැයි ඔබ ඔවුන් වෙනුවෙන් සීමාව ඉක්මවා කටයුතු නොකළ යුතු බවයි.

ඉස්සර කාලයේ මව්පියන් මේ අදහස ඉහලින්ම පිලිගත්තා. ඔවුන් නිතරම කියනු ලැබුවේ  දරුවන් කියන කියන විදිහට හැසිරුනොත් ඔවුන් යම් දිනක ඉර හඳ ඉල්ලා සිටියොත් එයත් ලබා දෙන්නනට සිදු වෙන බවයි. අද දෙමව්පියන් මේ තත්වයට මුහුණ දී සිටිනවා.

බොහෝ දරුවන්ට තමන්ගේ නොහැකියාවන් නොපෙන්වා මව්පියන් කටයුතු කරනවා. ඒ විතරක් නොවෙයි, බාල වයසේදී දරුවාගේ ඉගෙණුම් කාර්යන්හිදීත් දරුවාට වඩා පංතියේ වැඩ කටයුතු කරන්නේ දෙමව්පියන් විසිනුයි. ඒ නිසා ඇති වෙන අහිතකර තත්වය ගැන දෙමව්පියන්ට අවබෝධයක්ද නැහැ. අද පහ වසර ශීෂ්‍යත්වය අම්මලාගේ විභාගය ලෙසින් හඳුන්වන්නේද ඒ නිසාම බව ඔබට දැන් සිහියට නැගේවි.

මේ කාලයේදී දරුවාට ස්වාධීනව හැසිරෙන්න අවස්ථාවක් නැහැ. ඔවුන්ගේ තර්ක බුද්ධිය අවදි වෙන්නෙත් නැහැ. සමාජය දුවන රැල්ලට දරුවන්ද සමග යන ගමන නිසා දරුවාට  මෙම අභියෝග්‍යතාවය ගැන වැටහීමක් ලැබෙන්නෙත් නැහැ. අපේ රටේ එක් සිද්ධියක් මේ විදිහට පෙන්වන්න පුලුවනි. ඒ සිද්ධිය ඉතාම හොඳින් ජෙසිකා ලේහෝගේ ඉදිරිපත් කිරීම් සමග ගැලපෙනවා.

ඇය කියන්නේ පාසල් වියේ දරුවන් අඩු ලකුණු ගත් විට ඒ ගැන වඩාත් කම්පාවට පත් වෙන දෙමව්පියන් දරුවන් බලහත්කාරයෙන්ම අධ්‍යාපනයට යොමු කිරීම එතරම් ප්‍රඥගෝචර නොවන කටයුත්තක් බවයි. තමන්ගේ නොහැකියාවන් තුළ ඒවා අවබෝධ කර ගෙන දරුවන්ට ඉදිරියට යන්නට මග සලසා දීම වැදගත්. මේ නිසා තමාගේ නොහැකියාවන් ගන අවබෝධයක් ලබා දීම ඉතාම වැදගත්.

දරුවන් නොවැටී සිටිනවාද…එසේත් නැත්නම් වැටි වැටී නැගී සිටනවාද යන්න මුල් කර ගෙන මනෝවිද්‍යාඥ වෙන්ඩ් ග්‍රෝන්ලික්ස් විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. එහිදී මව්වරුන් සහ දරුවන් කණ්ඩායමක් තෝරා ගෙන මේ දෙපිරසම කාමරයක රදවා ගෙන ඔවුන්ගේ ක්‍රියාවන් වීඩියෝගත කරනු ලැබුවා. යම් යමි ක්‍රියකාරකම් ඉදිරියේ දරුවන් පාලනය කරන සහ සහය දෙන මව්වරුන් හදුනා ගෙන එම හැසිරීම ඉදිරියේ දරුවන්ගේ ප්‍රතිචාර අධ්‍යනය කරනු ලැබුවා. එහිදී වඩාත් පැහැදිලිව පෙනී ගියේ මව්වරුන් විසින් පාලනය කරන ලද දරුවන්ට වඩා  සහය දක්වන ලද දරුවන් යම් සතුටුදායක මට්ටමක සිටි බවයි.

ඇතැම් දරුවන් තමන්ගේ අසීරු ඉලක්කය වෙනුවෙන් කිසිවෙකුගේ හෝ සහය නොලැබෙන බව දැන දැනම අසහනයෙන් පසු වෙන බවත් මනෝවිදයාඥයන්ගේ අදහසයි. ඒ නිසා ඔවුන්ට තනිවම නැගිටන්න යැයි ලබා දෙන උපදෙස් වෙනුවට යම් විදිහකින් අවධානයක් ලබා දෙන්නේ නම් ඉතා වැදගත්. දරුවන්ට කළ නොහැකි දෙයට සහය දෙන්න. එය කළ නොහැක්කක්  බව දරුවාටද ඒත්තු යා යුතුය. එවිට ඔහු වෙනුවෙන් සහය ලබා දෙන්න. එසේ නැතුව නෑ..මං උදව් දන්නේ නැහැ….යන ස්ථාවරයේ සිටීම එතරම් සුබවාදී නැත. ඒ වගේම ඔය වැඩේ ඔයාට කරන්න බැහැ. මං කරල දෙනකම් ඉන්න යැයි දරුවාගේ සහභගිත්වයට සීමාවන් පැනවුනේ නම් දරුවා එතැනින් ඉදිරියටත් තවත් අයෙක් මත රැදෙනවා මිස ස්වාධීනව ඉදිරියට යන හැකියාව ගොඩ නගා ගන්නේද නැත.

දරුවන් තනිව නැගිටිය යුතු බව ඇත්ත. ඒත් ඒ වෙනුවෙන් අත්වාරුවක් අවශ්‍ය වෙනවා. මව්පියන් නැවතිය යුත්තේ එතැනය. අනවශ්‍ය විදිහට දරුවන්ගේ සියලු කටයුතු තමාගේ වගකීමක් ලෙසින් සලකන විට දරුවන් කිසිම දිනක ස්වාධීන ජීවිතයට හුරු නොවනු ඇත. ඒ නිසා නොවැටී සිටින්නට නොව වැටි වැටි නැගිට සිටින්නට හැකියාව ඇති දරුවන් සමාජයට දායාද වන්නේ නම් ඔබ සැබෑම වාසනාවන්ත දෙමව්පියන් වන්‍නෝය.

විභාගයට සුදානම් වෙන දරුවාට අම්මාගෙන් උපදෙස් 4ක්

විභාගයට තවත් ඇත්තේ සති කිහිපයක් පමනයි. මේ කෙටි කාලයෙන් වුනත් එකම අරමුණක් ඇතුව ඉලක්කයක් ගොඩ නගා ගෙන අවධානයෙන් සහ උනන්දුවෙන් කටයුතු කලොත් විභාගය ජය ගැනීම එතරම් අපහසුවක් නොවෙයි. එහෙම නම් මේ පුංචි කාලය තුළ ඔබ විභාග ඉලක්කය වෙනුවෙන් සූදානම් වෙන්නේ කොහොමද ? ….

පෙර සූදානම


විභාගයට නම් පෙර සූදානම ඉතාම වැදගත්. විභාගය වෙනුවෙන් ඔබේ විශ්වාසය ගොඩ නැගෙන්නේ එවිටයි. සූදානමක් නැතුව විභාගයට මුහුණ දීම තුළ එතරම් සාර්ථකත්වයක් ඇති නොවන්නේ ඔබට ආත්ම විශ්වාසයක් නොමැති නිසයි. මේ නිසා විෂය නිර්දේශය ඉතාම හොදින් අධ්‍යනය කර ගෙන සූදානම් ශරීරයෙන් විභාගයට පිටත් වෙන්න.

විභාගය කියන්නේ ඔබට අවශ්‍ය විදිහට පිලිතුරු සපයන්න පුලුවන් අවස්ථාවක් නොවෙයි. සමස්ත විෂය නිර්දේශයම ආවරන වෙන විදිහට ලබා දෙන ප්‍රශ්න පත්‍රයට ඔබ පැය තුනක කාලයකින් පිලිතුරු ලබා දීම අවශ්‍යයි. ඒ නිසා මම අහවල් මාතෘකාවෙන් ලැබෙන ප්‍රශ්න අතහරිනවා. අහවල් මාතෘකාවෙන් ලැබෙන ප්‍රශ්නවලට පමණක් පිලිතුරු ලියනවා යැයි පූර්ව නිගමන ගොඩ නගා ගන්න එපා. ඔබේ රුචිය අනුව එම අවස්ථාවේදී ප්‍රශ්න තෝරා ගන්න. එසේ නැතුව ඔබ යම් රාමුවක් තුළ සිටියොත් හදිසියේවත් ඔබ බලාපොරොත්තු වුන විදිහට ප්‍රශ්න පත්‍රය නොතිබුන විට ඔබේ බලාපොරොත්තු ලත් තැනම ලොප් වෙනවා. ඒ නිසා පෙර සූදානම තුළ ගොඩ නැගෙන ආත්ම විශ්වාසය විබාගය ජය ගැනීමට අවශ්‍ය ශක්තිය සපයනු ඇත.

අපහසු තැන් වෙනුවෙන් උපකාර ලබා ගැනීම


විභාගය වෙනුවෙන් නිර්දේශිත විෂය නිර්දේශයේ ඔබට යම් යම් ගැටළු සහගත තැන් ඇත්තේ  නම් ඒ වෙනුවෙන් උදව් උපකාර ලබා ගැනීම ඉතාම අවශ්‍ය වේ. මේ වෙනුවෙන් පුද්ගලිකව ගුරුවරයෙක් වෙත හෝ උපකාරක පංතියක් වෙතට ගොස් හෝ මෙම අපහසුතාවයන් ඇති පාඩම් කොටස් කිරවුල් කර ගැනීම අවශ්‍ය වේ.

සිතියමක් ගොඩනගාගන්න


පාඩම් සටහන් තමන්ට වඩාත් පහසුවෙන් ධාරනය කර ගත හැකි සිතියමක් ගොඩ නගා ගන්නමෙතෙක් ඔබ විසින් කරන ලද විෂය කරුණු වඩාත් පහසුවෙන් මතකයට නැගෙන අන්දමින් ගොඩ නගා ගැනීම අවශ්‍ය වේ. මෙය හදුන්වන්නේ “මයින්ඩ් මැප්” යනුවෙන්ය. විෂය කරුණු ඉතා පහසුවෙන්  මතකයට නැගෙන සේ කරුණු පෙල ගසා ගන්න. ඒවා කෙටි සටහනක් අන්දමින් හෝ කරුණු හයිලයිට් කරමින් හෝ සකසා ගත හැකිය. එය ඔබ උගත් දෙය සාරාංශ කර ගැනීමක් වන අතර ඉතාම ඉක්මනින් අවශ්‍ය කරුණු මතකයේ පෙලගස්වා ගැනීමකි.

කෙටි විවේකයබොහෝ දරුවන් පාඩම් කිරීමේදී විභාගය ආසන්න වෙත්ම දැඩි සේ වෙහෙසට පත් වෙනු ඇත. නින්දක්, ආහාරයක් වා නොලබමින් මහත් සේ වෙහෙසීම නිසා විභාග දිනයන්හිදී ශාරිරිකවත් දුර්වලතාවයන්ට පත් වේ. ඒ නිසාම දක්ෂතාවයන් තිබුනද පැය තුනක කාලයේදී දැනුම ඉදිරිපත් කිරීමේදී ඇති වෙන දුෂ්කරතාවය නිසා ප්‍රතිඵල අතින් අසාර්ථකත්වයට පත් වීම අද බොහෝ දරුවන්ට බලපාන තත්වයකි. මේ නිසා පාඩම් කටයුතු කරන කාලයේදී කෙටි විවේක ලබා ගැනීම වැදගත් වේ. පැය දෙකකට වරක් විනාඩි පහළොවක හෝ කෙටි විරාමයක් ලබා ගන්න. මෙම කෙටි විවේකයේදී,

  • හිතේ නැගෙන අනවශ්‍ය දේ බැහැර කරන්න.
  • ගීතයක් හෝ වෙනත් විනෝදාත්මක ආශ්වාදයක් ලැබෙන යමක් කරන්න.
  • උණුසුම් පානයක් හෝ වෙනත් ආහාරයක් ලබා ගන්න.
  • අද අධ්‍යාපන විද්‍යාඥයන් පවා පෙන්වා දෙන අන්දමට එක දිගටම විවේකයක් නොමැතිව පාඩම් කටයුතුවල යෙදීමෙන් මතකයේ ධාරනය කර ගැනීම එතරම් සාර්ථක නැත. අර්ල් මිලර් නම් වූ මනෝ විද්‍යාඥයා සඳහන් කරන අන්දමට එකම කාර්යක දිගටම නිරත විට ඇති වෙන ආතතිය නිසා ඇඩ්රනිල් ශ්‍රාවය වැඩි වෙනවා. එය මහත් සේ වෙහෙසකර තත්වයක් ලෙසින් ඔබට දැනෙනු ඇත. එහෙත් කෙටියෙන් හෝ විවේක ගන්නා විට “ඩොල්මින්” වැඩි වශයෙන් ශ්‍රාවය වෙන අතර එය මානසික සතුට වෙනුවෙන් බලපාන තත්වයක්. වෙහෙසක් සේ කටයුතු කරනවාට වඩා සැහැල්ලු මනසකින් කටයුතු කිරීම ඉතාම වැදගත්.

තාක්ෂණික මෙවලම් ඈත් කරන්න


සන්නිවේදන තාක්ෂණය අද සැම දෙනාගේම අවශ්‍යතාවය බවට පත්ව ඇත. සන්නිවේදනය වෙනුවෙන් පමණක් නොව ඉගෙණුම් කාර්යය සඳහාද මෙවැනි මෙවලම් අත්‍යවශ්‍ය වී තිබේ. එහෙත් මේ කෙටි කාලයේදී ඉගෙණුම් අරමුණු හැර වෙනත් කටයුතු වලදී මේවා භාවිතයෙන් දුරස්ථ වීම ඉතා වැදගත් වේ. අද ඇතැම් දරුවන් විභාග ආසන්නයේදී ෆේස් බුක් ගිණුම් පවා අත්හිටවන්නේ දුර දක්නා නුවනින් කටයුතු කරන නිසාය. මේ නිසා ඉදිරියේ ඇති කෙටි කාලයේදී ඉගෙණුම් අරමුණ වෙනුවෙන්ම අවධානය ලබා දීම ඉතා වැදගත් වේ.

අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමෙන් ඇත්තටම පලක් නැත. ඒ නිසා කළ යුතු එකම දෙය වන්නේ විභාගයට ඇති කාලරාමුව තුළ උපරිම ලෙසින් කටයුතු කොට විභාග ඉලක්කය ජය ගැනීමයි.

දුක වේදනාව හමුවේ දරුවෙකුට හඬන්නට ඉඩ දිය යුත්තේ මේ නිසයි

පුංචි දරුවන් අවමගුල් නිවසෙකදී පුංචි දරුවන් කිසිම වගක් විභාගයක් නැතුව ඉන්නවා දැක්කම අපි කවුරුත් ඔවුන්ට අනුකම්පා කරන්නේ අනේ හයක් හතරක් තේරෙන්නේ නැහැ නේද කියලයි. ඒත් ඔවුන්ගේ හිතේ කොනක මේ දුක හංඟා ගෙන ඉන්නවා විතරක් නොවෙයි, ඒ තත්වය අනාගතයේදි ඔවුන්ගේ පෞරෂය වෙනුවෙන් බලපාන බවත් අමතක කරන්න හොඳ නැහැ.

පසුගිය දිනක ඇමරිකාවේ “නිව්ස්වීක්” සඟරාව සමග සම්මුඛ සාකච්චාවකට සහභාගී වුන හැරී කුමරු ගේ සටහනක් අනුව මවගේ වෙන්වීම ඔහුගේ හිතට මොනතරම් අත්දැකීමක් වුනාද කියල ඔහුගේ වචන වලින්ම සඳහන් කරල තිබෙනවා. ඉතා කුඩා කාලයේදීම ලෝකයක් ආදරය කළ තම මෑණියන්ගේ අහිමි වීමේ පශ්චත්තාපයෙන් ඔහු මානසික අවපීඩන තත්වයට පත්ව ඇත. ඒ ගැන ඔහු අදටත් කතා කරන්නේ දැඩි කම්පනයෙන්ය.

මගේ අම්මා නැති වුන මොහොතේ මට ඒ අවමගුල් පෙරහැරේ ගමන් කරන්න සිද්ධ වුණා. දරුවෙක් විදිහට මම මුහුණ දුන් අවාසනාවන්තම සිද්ධිය එයයි. ලෝකයක් බලා සිටියදී අම්මාගේ දේහය පිටුපසින් මම ඇවිදගෙන ගිය කම්පනය තවමත් මගේ සිතේ දෝංකාර දෙනවා.හැරී කුමරු එම අනුවේදනීය අවස්තාව සිහිපත් කරන්නේ එසේය. මම කියන්නේ මම විතරක් නොවෙයි, ලෝකයේ කිසිම දරුවෙකුට මේ වගේ දරුවෙක් මේ වගේ තත්වයකට පත් විය යුතු නැහැ.

මේ නිසා දුක වේදනාව ඉදිරියේ දරුවන්ට අඬන්න ඉඩ දීම ඉතාම වැදගත්. එහෙම නැත්නම් මේ දුක් වේදනාවන් හිතේ හිර කර ගෙන ඉඳල පසු කාලයකදී වෙනත් මානසික රෝග විදිහට ඉස්මතු වෙනවා. සමීප කෙනෙක් පවුලෙන් ඈත් වුනාම දරුවාට තනි වෙන්න ඉඩ දිය යුතු නැහැ.ඇඟිලි පහ එක සමාන නැහැ කියන්නා වගේ සමහර දරුවන්ට මේ තත්වය දරා ගැනීම අපහසුයි. ඒ නිසා ඔවුන් හුදෙකලාව ඉන්න බලනවා. සමහර දරුවන් මේ සියල්ල ඉදිරියේ ශක්තිමත්ව ඉන්න අවස්ථාවන් විතරක් නොවෙයි , ඒ සියල්ල දරා ගෙන ඉදිරියට ගිය අවස්ථාවනුත් තිබෙනවා. මේ නිසා නිතරම දරුවන්ට ද     දුක දිනා ජයගත් පුද්ගලයන්ගේ චරිතාපදාන පිලිබඳව හදවතට සමීප වන සේ කියා දීම ඉතා වැදගත්.මේ අන්දමට ජීවිතයේ අත්වැල කඩා වැටුනේ මට පමණක් නොවේය යන සිතුවිල්ලෙන් දරුවා පෝෂණය කිරීම ඉතා වැදගත් වෙනවා.

බාල කාලයේ අම්මාගේ සෙනහස දරුවන්ට මොන තරම් අවශ්‍යද යන්න සතුන්ගේ හැසිරීම් රටාවන්ගෙන් පවා පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා. මී පැටවන්ට තමන්ගේ අම්මාගේ උත්තේජනය නොලැබුන විට මේ මීයන් ලොකු වුනාම පවා අනතුරකින් බේරෙන්න පවා නොදන්නා බව එම අධ්‍යනයන් මගින් හඳුනා ගෙන තිබෙනවා. ඒ විතරක් නොවෙයි මෙම සතුන්ගේ  ඇස් ඇරීමත් ප්‍රමාද වෙනවා. බලු පැටවුන්ට අවශ්‍ය උණුසුම නොලද විට වේදනාව නොදන්නා බවත් චිම්පන්සි පැටවුන්ට මව් සෙනෙහස නොලද විට අනතුරකට මුහුණ දුන් විට බේරෙන්න මග නොදන්නා බවත් දැන් හදුනා ගෙන තිබෙනවා. ඒ නිසාම දරුවන්ට අම්මාගේ සෙනහස ඉතාම අවශ්‍ය දෙයක්.

ඒත් ජීවිතය අපිට අවශ්‍ය විදිහට හසුරුවන්න බැහැ.අනපේක්ෂිත සිදුවීම් ඉදිරියේ ශක්තිමත් වීම අවශ්‍යයි. ඒ නිසා දරුවන්ටත් ජීවිතයේ මෙම වෙනස්වීම් ඉදිරියේ ශක්තිමත්ව මුහුණ දෙන්නේ කොහොමද බව කියා දීම ඉතාම වැදගත්. එහෙම නැති වුනොත් දරුවන්ට යම් යම් සිදුවීම් ඉදිරියේ හිත කඩා වැටෙන තත්වයට පත් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ කායික ශක්තිය වගේම මානසික ශක්තියත් හොඳින් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

නාන කාමරයෙන් හෙලිවන ඔබේ ජීවිතයේ අපි නොදුටු පැත්ත

අපි කවුරුත් අපේ පෞද්ගලික පිරිසිදුකම ගැන දක්වන්නේ ලොකු උනන්දුවක්. ආවාට ගියාට නිවසින් පිටතට නොබහින්න හැමකෙනෙක්ම වගේ වගබලාගන්නවා. ඇත්තටම දකින කෙනෙකුට ප්‍රියමනාප දසුනක් වීමත් අපි ලබපු භාග්‍යයක් විදියට සලකන්න පුළුවන්. අපිත් එක්ක අපි ගෙනියන කෑමක් බෙදා හදාගන්න වුණත් තවත් කෙනෙක් කැමැත්තක් දක්වන්නේ අපේ බාහිර පිරිසිදුකමත් එක්ක. ඒත් අපේ ඒ හිතවතෙක්/හිතවතියක් නිවසට ආවොත් අපේ පෙනුම තුළින් අපි පිළිබඳව ඔවුන්ගේ හිතේ ඇති වූ ආකල්පයට යම් වෙනසක් ඇති කරන්න අපේ නිවසේ නානා කාමරයට පුළුවන් වෙයි කියලා ඔබට හිතිලා නැතිද?

නිරාෂාත් අචලත් දුවලගේ පෙර පාසැල නිසා හිතවත් වුණු මව්වරුන් දෙදෙනෙක්. ඔවුන් හැමදාකම දරුවන් පෙර පාසැලට ඇරලවලා කොහෙට හරි වෙලා කතා කර කර ඉන්න පුරුදු වෙලා හිටියා. ඔය අතරෙදි තමයි දවසක් දුවලට කොන්සර්ට් ප්‍රැක්ටිසස් නිසා දවල් වෙනකන් ඉන්න වෙන බව දැනගන්න වුණේ. ඉතිං නිරාෂාගේ ගෙදරට වඩා ළඟින් අචලාගේ ගෙදර තිබුණු නිසා අවලා යෝජනා කළා එහේ ගිහින් එමු කියලා. නිරාෂාත් බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වුණා. වෙනදට එයාලා කන්න ගේන කෑම එකත් නොකාම ත්‍රී වීලර් එකක නැගලා අචලාගේ ගෙදරට ගියා.

අචලා පෙනුමෙන් බොහොම සුන්දරයි. ගෙට ගොඩවෙද්දිම නිරාෂාට පෙනුනේ අචලාගේ කෑම මේසය. කුණු ගොඩ වගේ. අද ගෙවල් අස්කරන්න බැරි වුණා. හැමදාම මම ඇවිත් තමයි අස්කරන්නේ. ගණන් ගන්න එපා හොඳේ. ඇයට සිනහවකින් පිළිතුරු දුන් නිරාෂා අසුන්ගත්තා. නිරාෂට ඒ ගෙදර ඉන්න ලොකු අපහසුවක් දැණුනා. ඒත් ඒක නොපෙන්වා ඇය සිටියා. දරුවන් ගන්න වෙලාව හරි ගිය නිසා නිරාශා තමාට මුහුණ ටිකක් සෝදාගැනීමට නානා කාමරයට යාමට අවශ්‍ය බව දැන්වූවා.

“අයියෝ එන්න එන්න…” කියලා අචලා නානකාමරයේ දොර විවෘත කළා.

ඇතුළට ගිහින් දොර වහගනිපු නිරාශට දැණුනේ හරිම පිළිකුළක්. අචලා ඉන්න විදියට මේ තරම් අපිරිසිදු ඇති කියලා හිතණේ නෑ. දැන්නම් මට එයා දෙන තේ එකක්වත් බොන්න පිළිකුළක් දැනෙනවා.

දන්නවද ඇයි නිරාෂට එහෙම හිතුණේ කියලා,

  • ඒ නාන කාමරයේ බිම හැමතැනම වතුර
  • බිත්තියට අල්ලපු සුදු පාට ටයිල් කහපාට වෙලා
  • කොමඩ් එක පතුලෙ කහට බැඳිලා
  • වොෂ් බේසින් එකේ පාට මොකද්ද කියලා හිතාගන්න බැරි තරමට කිලිටි වෙලා
  • බිම අල්ලලා තියෙන ටයිල් අවර්ණ වෙලා, ටයිල් අතර දාර කලූ පාට වෙලා
  • සබන් පෙටිටියේ සබන් කෑල්ල යට දිය වුණු සබන් නිසා සෙවල තට්ටුවක් හැදිලා
  • සබන් කෑල්ලේ හිසකේ කොට ඇලවිලා
  • දත් බුරුසු දාන බඳුනේ යට වතුර/කුණු පිරිලා
  • ආවරණය ඉවත් කරලා වොෂ් බේසින් එක උඩ තියපු දත් බුරුසුවේ කෙඳි දෙපැත්තට වක් වෙලා
  • ෂැම්පු බෝතලේ වටේ ෂැම්පු බේරිලා, ඒ විතරක් නෙවෙයි කොණ්ඩ ගසුත් ඒ වටේට ඇලවිලා
  • ගලි එක උඩ මාස ගාණක් එකුතු වුණු කොණ්ඩ ගස් ඉවත් කරලා නෑ
  • අත හෝදගන්නවත් වතුර කරාමයක් අල්ලන්න බෑ, ඒවා ලිස්සනාව විතරක් නෙවෙයි කිලිටියි
  • කන්නාඩියෙන් මූණ බැලූවම දත් මදිද්දි විසි වූ දත් බෙහෙත් බිංදු බිංදු වේලිලා

තමන්ගේ අවශ්‍යතාවය අමතක කරලා නිරාෂා ඉක්මණින් පිටතට ආවා. ඒ එද්දි අචලා දොඩම් යුෂ වීදුරුවක් අරගෙන ආවා. නිරාෂාට ඒක බොන්න කොයි විදියටවත් හිත හදාගන්න අපහසු වුණා. ඇය එය අතට ගත්තත් එක උගුරක්වත් බිව්වේ නෑ. ඇයට එය ගැන දැණුනේ අපුලක් නිසා. නමුත් මේ පිළිබඳව අචලාට උපදෙසක් ලබාදිය යුතු බව නිරාශා තරයේම සිතා ගත්තා.

ඔබත් හිතන්න මෙවැනි නානා කාමරයක් තුළ තම අවශ්‍යතා ඉටුකරගත හැකි නම් ඔබේ පෞද්ගලික පිරිසිදු බවට ලකුණු දිය හැකිද යන්න. නාන කාමරය යනු විෂබීජ බොහොමයක් රැඳුණු ස්ථානයකි. ඉහත දැක්වූ ලක‍ෂණ සහිතව ඔබ ඔබේ නාන කාමරය භාවිත කරන්නේ නම් සැබවින්ම එය ඔබටද ඇති කරන්නේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයකි. මන්ද අද වන විට බොහොමයක් නිවෙස්වල නාන කාමරයේ වාතය පිටතට ගමන්කර පිරිසිදු වාතය ගෙන්වා ගැනීමට යොදන වාත කවුලූ නැති අවස්ථා බහුලය. කිසිසේත්ම හිරු එලිය හෝ පිරිසිදු වාතය ඇතුළු වීමක් දැකිය නොහැක. ඒ නිසා සියලූ දූෂිත වාතය ගමන්කරන්නේද නිවස තුළටමය. ඉතිං මෙවැනි අපිරිසිදු තත්ත්වයක් පවතින විට එය නිවසේ වෙසෙන පොඩි දරුවන්ටද අයහපත්ය. එසේම මෙවැනි අත්දැකීම් ලබන දරුවාට අපිරිසිදුකම පිළිබඳව ලොකු අත්දැකීමක් නොලැබේ. ඔහු/ඇය ඒ පිළිබඳව පිළිකුළක් නොදක්වයි.

නිරාෂගෙයි අචලාගෙයි කතාවට අනුව දැන් ඔබට දැනෙනවාද අපේ පෞද්ගලික පිරිසිදුකම මනින එක සාධකයක් ලෙස අපේ නිවසේ නාන කාමරය නම් කරන්න පුළුවන් බව. ඉතිං ඔබත් මේ හා සම්බන්ධව අත්දැකීම් තියෙනවා නම් ඔබේ අදහස්/අත්දැකීම් අපිත් එක්ක බොදාගන්න.

ත්‍රිවිලරේ තනියම මාව යවන්න අම්මාට බය හිතුනා නම්, අදටත් මම අම්මා ලග

දරුවෙක් කියන්නේ මව්පියන්ගේ මුළු ජීවිත කාලය පුරාම පැවරෙන මග අරින්නම බැරි විශාල වගකීමක්. ඒ වගකීමෙන් යම්තාක් දුරකට මව්පියන්ට සුළු නිදහසක් හෝ ලැඛෙන්නේ දරුවන්ට දැනුම් තේරුම් ඇති වයසකට එළැඹි පසුව පමණි. පුංචි අහිංසක දරු පැටව් ජීවිතය ගෙවන්නේ දෙමාපියන්ගේ මගපෙන්වීම යටතේ. එයාලට අවදානමක සේයාවක්වත් දැනෙන්න තරම් දැනුමක් අත්දැකීමක් නෑ. අන්න ඒ නිසාය අපි මුලදිත් කිව්වේ මව්පියන්ට දරුවන් ගැන තියෙන වගකීමෙන් මිදෙන්න ඔවුන්ට යමක් කමක් තේරෙන වයසට එනතාක් අපහසුයි කියලා. අපේ රටේ නීතියට අනුව දරුවෙකු වැඩිහිටියෙකු ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසුව වුවත් දැන් දැන් අසන දකින සිදුවෙන දේ හරහා මව්පියන් තම දරුවන්ට වගකීම් පවරන්නේ ඔවුන්ගේ පුංචිකම ගැනවත් නොසිතාය කියන දේ තමයි අපට වැටහෙන්නේ. අද සමාජය තුළ බොහෝ අවස්ථාවලදී අසන්නට දකින්නට ලැඛෙන යම් යම් සිදුවීම් අනුව මව්පියන් තම වගකීම අකුරටම ඉටුකරනවාද යන්නත් සැකයක්.

මව්පියන්ට දරුවෙකුගේ වගකීම කරුණු රාශියක් ඔස්සේ පැවරෙනවා. ඒ අතරින් දරුවෙකුට අවශ්‍ය ආරක්ෂාව  සැපයීම ද ප්‍රධානයි. අද වෙන කොට පුංචි දරුවන්ට එයාලගේ වගකීම එයාලටම බාරදීලා නිදහස් වෙන මව්පියන් නිසා දරුවන් අනාරක‍ෂිත වන අවස්ථා වැඩියි. ඒ හේතුවෙන් මහමගදී දරුවන් අනතුරට ලක්වන අවස්ථා බොහොමයක් තිඛෙනවා. ඒ අනාරක‍ෂිත වාහාන හේතුවෙන්. මෝටර් සයිකල්, පාපැදි වගේම ත්‍රී රෝද රථ අනාරක‍ෂිත වාහන වන අතරම අද ලිපිය හරහා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ වැඩිහිටියෙකුගේ සහයක් නොමැතිව ත්‍රිරෝද රථවල පිටුපස අසුනේ තනිව ගමන්ගන්නා දරුවන් ලක්විය හැකි අවදානම් අවස්ථා පිළිබඳවයි.

කතාවටත් කියන්නේ අපි කොයිතරම් කල්පනාකාරීව සුපරික‍ෂාකාරීව ගියත් වැඩක් නෑ, වෙන කෙනෙක්ගේ නොසැලකිලිමත්කම නිසා අපිටත් අනතුරු වෙන්න පුළුවන් කියන එක. ඇත්තම තමයි, නොසැලකිලිමත් එක් රියැදුරෙක් නිසා සැලකිල්ලෙන් රිය පදවන අනෙක් වාහනවලටත් අනතුරු සිදු වූ අවස්ථා ඕනෑ තරම් අපට වාර්තා වෙලා තියෙනවා. ඉතිං මෙබදු වටපිටාවක ඔබේ දරුවා අවදානමට ලක්කරන්නට මව්පියන් වන ඔබට පුළුවන්ද? සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථයක පිටුපස අසුනේ තනිව ගමන් කිරීමට නම් අවම වශයෙන් දරුවෙකුගේ වයස අවුරුදු දොළහක්වත් විය යුතුය.

හිතන්න,….

  • අසුනේ හොඳින් අසුන්ගත් පසු දරුවාගේ දෙපා රථයේ බිම නිසි ලෙස තබා ගත හැකි ආකාරයේ උසකින් යුක්තද?
  • අසුනේ හොඳින් අසුන්ගත් පසු දරුවාගේ දෑත් ඉදිරියේ ඇති ඇලූමිනියම් දණ්ඩ (බාර්) අල්ලා ගැනීමට තරම් දිගුද?
  • දරුවා මෙවැනි ගමනකදී කෙතරම් අනාරක‍ෂිත ද යන්න මෙන්ම මෙහි අවදානම මව්පියන් නොදකිනවා නම් හය හතර නොදත් දරුවෙකුට එය කෙසේ වටහාගත හැකි වෙයිද?
දැඩිව සිතට ගන්න

පාසැල හෝ අමතර පන්තිය අවසන් වී ත්‍රි රෝද රථයේ එන දරුවෙකු කුසගින්නෙන් මෙන්ම නිදිමතෙන් සිටින බව කවුරුත් දන්නා කරුණකි. එක් වරම යමෙක් පාර පැණීමකදී, අතුරු පාරකින් වාහනයක් පාරට දැමීමකදී හෝ වෙනත් හේතුවක් මත ක‍ෂණිකව තිරංග තද කිරීමට රියදුරාට අනිවාර්යෙන්ම සිදුවන අතර ඒ අවස්ථාවේදී ඉදිරියට විසි වී බාර් එකේ හිස වැදී තුවාල විය හැකියි. නැතිනම් දත් වැදී කැඩී යා හැකියි. එසේත් නැති නම් ඉවතට විසි වී මහපාරට ඇද වැටීමට වුවද ඉඩ ඇත. එසේ විසි වන දරුවෙකු කුමන ඉරණමකට බදුන් වේද යන්න කිව නොහැක. පිටුපසින් එන වාහනයක දරුවාගේ සිරුර මතින් ගමන් කිරීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට හෝ මිය යාමට හැක. ඉතා වේගයෙන් හිස පොලවේ වැදීම හේතුවෙන් දරුවා සදාකාලිකව අකර්මන්‍ය තත්ත්වයට පත් විය හැකිය. එසේ නැතිනම් හිස දැඩිව වැදීම හේතුවෙන් මිය යා හැකිය. මේ අපිට නිතර අසන්නට දකින්නට ලැඛෙන අවාසනාවන්ත සිදුවීම්ය. මෙවැනි සිදුවීමකදී ජීවිත හානියක් සිදු නොවුණද ඒ සිදුවීමේ අමිහිරි මතකය සදාකාලිකව දරුවාගේ ජීවිතයට බලපෑම් කළ හැකිය.

එසේම දරුවා අනතුරකට බඳුන් නොවී රැගෙන යාමේ වගකීම ත්‍රි රෝද රථයේ රියදුරුට පැවරිය නොහැක. ඔහු කෙතරම් විශ්වාසවන්ත අවංක අයෙකු වුවද ඊලඟ මොහොතේ සිදුවන්නේ කුමක්ද යන්න අප කිසිවෙකුටත් කිව නොහැක. මන්ද රිය පැදවීම යනු සම්පූර්ණ නිදහස් මගක තමා පමණක් තනිව නිදහසේ යාමක් නොවන නිසාය. ඉදිරියට එන හෝ පසු කර යන වාහන පදවන්නන් ඔහුට පාලනය කළ නොහැකි නිසාවෙනි. ත්‍රි රෝද රථ සඳහා ද ආසන පටි හඳුන්වා දුන්නද මෙතෙක් එවැනි ත්‍රිරෝද රථ දැකගත හැකි වූයේ ඉතා සුළු සංඛ්‍යාවක් පමණි. මෙවැනි අනතුරු ලංකරගන්නේ ඔබේ නොසැලකිලිමත් බව, අලස කම මෙන්ම වගකීම් විරහිත බව නිසා නොවේද? ඔබේ හය හතර නොදත් අහිංසක දරුවාගේ ආරක‍ෂාව පිළිබඳව නිසි අවදානය යොමුකරමින් දිනෙන් දින වාර්තා වන මෙවැනි අනතුරු වළක්වා ගැනීමට අද සිටම සැලකිලිමත් වීම මාපියන් වන ඔබේ වගකීමයි.

ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා සමග සකසන ලද ලිපියකි.

 

මල් කැකුළු පූදින්නට පෙර මිලිනව යන්නට ඉඩ නොතබන්න ….

ඈත ආකාසේ පායන දේදුන්නක් දිගේ සුරංගනා ලෝකයට යන්න, කුරුල්ලෙක්ගෙන් පිහාටු ඉල්ලගෙන ඈත ආකාසේ පියාසර කරන්නට පෙරුම් පුරන, මල් වල පාට තවරන අමුත්තා සොයන , ආකාසෙන් මහ වැසි ඇද හැලෙන විට සුරංගනාවන්ට නාඬා ඉන්න ගී ගයන පුංචි හිත් තියෙන දරු පැටවුන් සිත් කොයි තරම් නම් නිර්ව්‍යාජද , අවිහිංසකද? දරුවන් මල් වලට උපමා කර ඇත්තේ ඔවුන්ගේ  ඒ අවිහිංසකත්වය, සුන්දරත්වය හා නිර්ව්‍යාජත්වය නිසාවෙන්මය. දෙමාපියන්ගේ ඒකායන අරමුණ පැහැබර, සුරක්ෂිත අනාගතයක් තම දරුවන්ට ලබා දීමය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම  අන්තර්ජාලය ඔස්සේ අසන්නට දකින ලැබෙන පුවත් හරහා කියැවෙන්නෙ පූදින්නට පෙරම මල් පොහොට්ටු තලා පෙලා දැමු පුවත්ය. මිනිසුන් අතර හිඳින නොමිනිසුන් පිළිබඳ පුංචි පැටවුන්ට අවබෝධයක් නැත. වර්තමානයේ සාහසික මිනිසුන්ගේ දෑත් වලින් මේ අවිහිංසක මල් කැකුළු වල ජීවිතය තීරණය කරන අවස්ථා අපට අසන්නට දකින්නට සිදුවීම අපගේත් අවාසනාවය. ආදරණීය දෙමාපියනි දරුවා සුරක්ෂිත කිරීම ඔබගේ යුතුකම සේම වගකීම බවද සිහියෙහි තබා ගන්න.

තාක්ෂණික දියුණුවත් සමගම සමාජ බැඳීම් වල වටිනාකමක් නොදැනෙන නොහැඟෙන පරිදි මිනිසුන්ද යාන්ත්‍රීකරණය වී ඇත. පියා තමන්ගේම දියණිය, පුතු නොහඳුනන , පුතු මව, තම සහෝදරිය නොහඳුනන සීයා මිනිපිරිය ,මුණුපුරා නොහඳුන සමාජයක පිටස්තරයන් කෙරෙහි කෙසේ නම් විශ්වාසය තබන්නද? දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේදී 95% පමණ සිදුව ඇත්තේ දෙමාපියන් හොඳින් දන්නා හඳුනන පුද්ගලයන් අතින්ම බව ඔබ දන්නවාද? තම හිතවත්ම ඥාතීන් අතින් , සමීපව ආශ්‍රය කරන පියාගේ හෝ මවගේ මිතුරන් හෝ මිතුරියන් අතින් , දරුවා බලා ගැනීමට පැමිණෙන සේවක සේවිකාවගෙන් තමන්ගේ දරුවා අපයෝජනයට ලක් විය හැකිය. ලිංගික වශයෙන් තවත් කෙනෙකු හිංසනයට පත් කරන තැනැත්තා හෝ තැනැත්තිය මානසික රෝගියෙක්ය. එනිසාම වයස, අදාල පුද්ගයා සමග ඇති ඥාතීත්වය පිළිබඳ හැඟීමක් ඔවුන් වෙත නැත.

සමීපතයන් අතින්ම පහසුවෙන් දරුවන් අපයෝජනයට ලක් වන්නෙ ඇයි?

පවුලේ සමීපතයන් දරුවන් සුරතල් කිරීම, ඔවුන්ට ආදරය කිරීම, ඔවුන් සමඟ තනිවම කාලය ගත කිරීමට වැනි කාරණා පිළිබඳ දෙමපියන් කිසි විටකත් සැකයක් පහළ නොවීම ප්‍රධාන හේතුවයි. ලිංගික අපයෝජනය පිළිබඳ කිසිත් නොදන්නා දරුවන්ව පහසුවෙන් එම කාර්යයන්ට අවනත කරගෙන ඇබිබැහි කරගැනීමට ඔවුන් සූක්ෂමය.

දරුවා ලිංගිකව අපයෝජනයට ලක්ව ඇති බව දැන ගන්නනේ කෙසේද?

  • සතුටින් සැහැල්ලුවෙන් දවස ගත කල ඔබේ දරුවා අසතුටින් බියෙන් පසු වීම
  • නිතරම කල්පනා කිරීම
  • වෙනදා චකිතයකින් තොරව දොඩමළු  වූ පුද්ගලයන් සමග දොඩළුම වීම ප්‍රතික්ෂේප කිරිම
  • දරුවාගේ ලිංගික ප්‍රදේශ වේදනා සහගත බව පැවසීම
  • දරුවාගේ ශරීරයෙ සීරීම් තැලීම් ලකුණු දක්නට ලැබීම
දරුවන්ට තම පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීමක් ඇත

ළදරුවෙකුට මාස 6 දී පමණ ප්‍රථම වරට තම පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීමක් ජනිත වීම සිදු වේ. ළදරුවා රැක බලා ගන්නා කෙනා තමන් අසල නැති විට ඔවුන් හඬාවැටෙන්නේ මෙම  හැඟීම ජනිත වන නිසාවෙන්ය.එසේම සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම්, පිඟන් කෝප්ප තමන්ට වෙන් කරගන්න ඔවුන් දිනෙන් දින උත්සුක වේ. සෑම මනුෂ්‍යයෙකුටම පෞද්ගලිකත්වයක් ඇත. තමන්ගේ ශරීරයේ හිමිකාරිත්වය පිළිබඳ සියළුම වගකීම් හිමිවන්නේ තමන්ටමය. මෙය පෞද්ගලිකත්වය බව වටහා ගන්නට තරම් කුඩා දරුවන්ට අවබෝධයක් නැත. එනිසා ඒ බව වටහා දීමේ වගකීම පැවරෙන්නේ දෙමාපියන්ටය.

දරුවාට කියාදෙන්න …

සාමාන්‍යයෙන් වයස අවු. 2 ක් 2 ½ පමණ වන විට දරුවන්ට යමක් අවබෝධ කරවීමේ හැකියාව පවතී. බොහෝ විට දරුවන් සමග කාලය ගත කරන්නේ මවය. එනිසා දරුවාට  දරුවාගේ ශරීරයේ වටිනාකම කියා දෙන්නට මවට හැකිය. මේ සඳහා සුදුසු වෙලාව ලෙස දරුවා නෑවීම, ඇඟ සේදීම වැනි කාර්යයක් කරන අවස්ථා තෝරාගන්න.

“පුතේ මේ ඇඟ අයිති ඔයාට විතරමයි. අම්මා තාත්තා ආච්චි අම්මා ඇරෙන්න ඔයාගේ ඇඟ අත ගාන්න කිසිම කෙනෙකුට ඉඩ දෙන්න එපා. අපි ඇඳුම් අඳින්නේ ලැජ්ජ නිසානේ. ඒක නිසා ඔයාගේ ඇඳුම් කාටවත්ම ගලවන්න දෙන්න එපා. ඉතිං කවුරු හරි ඔයාගේ ඇඳුම් අයින් කරන්නේ ඔයාට රිද්දන්න වෙන්නත් පුළුවන්. පුතාගේ මේ චූ දාන පැත්ත කක්කි දාන පැත්ත කාටත්ම අල්ලන්න දෙන්න එපා. එහෙම ඇල්ලුවොත් මගෙ පැටියා අම්මට කියන්න. නරක මාමාමලා ,නැන්දලා ,අයියලා ,අක්කලා පුංචි ළමයින්ව බය කරලා නරක වැඩ කරනවා. ඒක නිසා කිසිම වෙලාවක එයාලට බයේ එයාලා කරන නරක දේවල් අම්මට කියන්නෙ නැතිව ඉන්න එපා. ඔයාව බලාගන්න අම්ම ඉන්න නිසා කාටත්ම බය වෙන්න එපා.”

මේ ආකාරයට සරලව දරුවාට තම ස්වයං ආරක්‍ෂාව පිළිබඳ වැටහීමක් වගේම මවගේ රැකවරණය පිළබඳව විශ්වාසයත් ඇති කරවන්න. සතියකට වරක්වත් දරුවන්ට මේ සරල පැහැදිලි කිරීම සිදු කිරීම තුලින් දරුවන්ට තම ආරක්‍ෂාව පිළිබඳ හැඟීමක් ඇති වනු ඇත.

මේ ගැනත් සිතන්න…

  • ඇතැම් විට දරුවා අපයෝජනයට ලක් කරන තැනැත්තා දරුවාට ඉතා කුළුපගුය.පවුලට වඩාත් හිතවතුන් වුවද ඔවුන්ගෙන් දරුවාට අතවරයක් සිදු විය හැකි බැවින් ඔවුන් සමග දරුවා තනි නොකරන්නත් නිරන්තරයෙන්ම ඔබේ අවධානය යොමු කරන්නත් අමතක නොකරන්න.
  • දෙමාපියන් වශයෙන් දරුවන්ට බෙහෙවින් ලං විය යුතුය. කුඩා කළ පුංචි පැටවුන් අතොරක් නැතිව ගිරවුන් සේ කියවයි. ඔවුන්ට ඇහුම් කන් නොදුන්නහොත් තව දුරටත් ඔවුන් ඔබ හා දොඩම`ඵ වීම ප්‍රතික්ෂේප කරනු ඇත. එනිසා සෑම විටම දරුවාට ඇහුම්කන් දෙමින් දරුවා සමග ඉතාමත් සමීප සබඳතාවක් ගොඩනගා ගැනීම ඔබට ඉතා වාසිදායකය. මන්ද ඔවුන් වයසින් මුහුකුරා යන විටද ඔවුන්ගේ දවසේ සිදු වූ සියළු තොරතුරු එකී මෙකී නොකී සෑම දෙයක්ම ඔබ හමුවේ සුහදශීලීව ප්‍රකාශයට පත් කරන නිසාවෙන්ය. දරුවන් දෙමාපියන්ට විවෘත හා සුහදශීලී වීම තුලින් දරුවාට ලිංගික අපයෝජනය සිදු වීමට පෙර මවට හෝ පියාට ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක්  ගත හැකි නිසා තම දරුවා බේරා ගැනීමටත් හැකියාව ලැබේ.
  • දරුවන් අපයෝජනයට ලක් කරන පුද්ගලයන් දරුවා බියට පත් කිරීම තුලින් බිය නිසාම දරුවා ඒ පිළිබඳ කිසිවෙකුටත් ප්‍රකාශ කිරීමට මැලිවේ. දරුවාට මරණීය තර්ජන හෝ දෙමාපියන්ට මරණීය තර්ජන කර පුංචි සිත් බියවද්දා තම මනදොල සපුරාගැනීමට කාමාතුරයින් සූක්‍ෂමය. තමන්ට කවරෙකුගෙන් හෝ හිංසනයක් වේ නම් වහාම තමන්ට පවසන ලෙසත් එසේ තර්ජනය කිරීමෙන් දරුවාට  හිංසනයක් කළ හැක්කේ දරුවන් නිවසේ වැඩිහිටියන් දැනුවත් නොකළහොත් පමණක් බවත් දරුවාට ප්‍රත්‍යක්‍ෂ කිරීම ඉතා වැදගත්.
  • කිසි විටකත් නාඳුනන පුද්ගලයන් සමඟ කතාබහ නොකරන ලෙසත් ඔවුන් දෙන යම් යම් දේවල් නොගන්නා ලෙසත් ඔවුන් සමග යන්නට කතා කළ හොත් නොයන ලෙසටත් දරුවා කල්තියාම දැනුවත් කර තබන්න.
  • ලිංගික අපයෝජනය, හිංසනය පිළිබඳ දරුවන්ට අවබෝධයක් නොමැත. එහෙයින් ඇතැම් විට දරුවන් දෙමාපියන්ගෙන් බැනුම් ඇසීමට සිදුවේයැයි සිතා හෝ මේවා සාමාන්‍ය දේවල් යැයි හෝ සිතා සිටීම තුලින් දරුවා දීර්ඝ කාලීනව අපයෝජනයට භාජනය වීමට ඉඩකඩ පවතී.
  • නිවසට පැමිණෙන නෑදෑ හිතුවතුන් පිළිබඳ ඔබ ඉතා අවධානයෙන් සිටිය යුතුය. ඔබ කාමාතුරයා සැක නොකරන තරමට ඔහුට මල් කැකුළු තලා පෙලා දමන්නට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සහ කරනු ඇත. දරුවන් තමන්ගේ උකුල මත තබාගෙන සුරතල් කරන ගමන් දරුවාගේ ශරීරය ස්පර්ශ කරමින් තෘප්තියක් ලබාගන්නා ඇතැම් කාමාතුරයන් දරුවාට එය සාමාන්‍ය දෙයක් බව ඒත්තු ගන්වමින් දරුවා එම කාර්යයන් සඳහා නැඹුරු කරගැනීමට ද හැකිය.
  • කුඩා පාසල් දරුවන් ගුරුවරුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන් අපයෝජනයට ලක් වූ තත්ත්වයන් බොහෝමයක්  මෑත කාලය තුල වාර්තා විය. එහිදී දරුවන්ට ඇසැබි දර්ශන පෙන්වා දරුවන් ලවා තම ලිංගික ප්‍රදේශ ස්පර්ශ කරවා ගැනීම, දරුවන්ගේ ලිංගික ප්‍රදේශ ස්පර්ශ කරමින් වින්දනයක් ලබා ගැනීම ආදී ලෙස මෙන්ම දරුවන්ව සංසර්ගය සඳහා යොදා ගැනීමත් සිදු වූ බව මාධ්‍ය මඟින් ප්‍රචාරයට පත්විය. වයස අවු. 16 අඩු දරුවන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික ක්‍රියාකරකම් වල යෙදෙනවා නම් එය නීතිය හඳුන්වන්නේ දූෂණයක් ලෙසටය.
  • දරුවන් දරුවන් අතරද ලිංගික අපයෝජනයන් සිදු විය හැකියි. බොහෝ පාසල් වල පිළිලයක් සේ සම ලිංගිකත්වය ව්‍යාප්තව ඇත. දරුවා ආශ්‍රය කරන යහළු යෙහෙළියන් පිළිබඳ, දරුවාගේ හැසීරීම් පිළිබඳ මනා අවබෝධයකින් පසු වීම ඔබ අතින් සිදු විය යුතුය. දරුවාට තෑගි බෝග ලබාදෙන පුද්ගලයන් පිළිබඳ පුළුල් අවධානයෙන් සිටිය යුතුය. විරුද්ධ ලිංගිකයන් අතින් මෙන්ම සම ලිංගිකයන් අතින් ද දරුවාට ලිංගික හිරිහැර හෝ අපයෝජන සිදු විය හැකි බව තරයේ සිහි තබා ගන්න.
  • බොහෝ විට මවත් පියාත් රැකියාවක නිරත වන විට දරුවා ගෘහ සේවිකාවකගේ රැකවරණයට පත් කරයි. ඇතැම් සේවිකාවන් අත දරුවන්ගෙන් පවා වින්දනයක් ලබා ගනියි.  එනිසා තම දරුවාගේ සුරක්ෂිතබාවය තහවුරු කරන්න.
  • අනවශ්‍ය ලෙස යම් කෙනෙකු දරුවාගේ ලිංගික ප්‍රදේශ ස්පර්ශ කරන විට දරුවාට එය එපා කියා ප්‍රතික්ෂේප කරන්නටත් නැතහොත් කෑ ගසා අවටින් උදව් ලබා ගන්නටත් දැනුවත් කොට තිබීම ඉතා වැදගත්ය. දරුවාට උපක්‍රමශීලීව කටයුතු කරන්නට කියාදීමත් දරුවාට ළමා අපයෝජනයෙන් මිදී යාමට මහඟු අත්වැලකි. නමුත් මෙවැනි උපක්‍රමශීලී කටයුතු කරන්නට වයස අවු.12 පමණවත් විය යුතුය.
  • බස් රථ වල ගමන් කිරීමේදී දරුවා නාඳුන ළඟින් හිඳුවා ගන්නට ඉඩනොතබන්න.එසේම  දරුවා තනි නොකරන්නත් වග බලා ගන්න.

වැඩිහිටියන් දරුවන්ට සලසන රැකවරණය තුල යම් හිඩසැක් මතු වූ සැනින් දරුවන්ට විය හැකි හානිය අතිමහත්ය.මල් කැකුළු තැලී පොඩීවී ගිය පසු හඬා දොඩා පලක් නැත. මල් කැකුළු  තැලී පොඩීවී යන්නට මත්තෙන් නිරන්තරයෙන්ම දෑස් මෙන් රැක බලා ගත යුතුය. එහි පූර්ණ වගකීම පැවරෙන්නේ දෙමාපියන් වන අපටමය.