Home Blog Page 108

හොඳ පෝෂණයක් ලබා දිය යුත්තේ දුවටද පුතාටද?

“අම්මා, ඇයි මේ මට බිත්තර භාගයක්… මල්ලිට නම බිත්තරේම දීලා..”

“අනේ දුව ඕක ඒ තරම් දෙයක්ද ? තිබුනු බිත්තර දෙක හැදුවේ, පිරිමි ළමයින්ට හොඳට කන්න ඕනේ නිසා නංගිටයි ඔයාටයි භාගේ භාගේ දීලා, මල්ලිට එකක් දුන්න”

මේ ඉස්සර කාලේ ගෙවල්වල පැවතුනු තත්වයක්. අද වෙනකොට මේ තත්ත්වේ හාත්පසින්ම වෙනස් වෙලා. ඒත් ගැහැනු දරුවන්ට වඩා වැඩි පෝෂණයක් පිරිමි දරුවන්ට අවශ්‍යයි කියලා හිතන අය අදටත් අප සමාජයේ ඉන්නවා.

ගැහැනු පිරිමි භේදයකින් තොරව දරුවන්ට මනා පෝෂණයක් ලබා දීම බොහොම වැදගත් කරුණක්. නිසි පෝෂණයක් නොමැති උනොත් දරුවෙකුගේ ශාරීරික මෙන්ම මානසික සංවර්ධනය අඩාල වෙන බව ඔය දන්නා කරුණක්. දරුවන්ට නිසි පෝෂණයක් ලබා දීම යන්නෙහි අදහස වන්නේ පෝෂණීය බවින් අනුන අහාර ලබාදීමයි.  ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වනු ඇතැයි බොහෝ මව්වරුන් සිතුවද නිසි පෝෂණය සහිත ආහාර වේලක් අඩු මුදලකින් සකසා ගත හැකිය. ඔබ විශාල මුදලක් වැය කොට මිලදී ගන්නා ක්‍ෂණික ආහාරවලින් දරුවන්ට සිදුවන යහපතක් නැත.

ඔබේ දරුවාට

  • අනිවාර්යෙන්ම උදේ ආහාර වේල ලබා දෙන්න
  • ලුණු, සීනි අධික ක්‍ෂණික ආහාරවලින් දරුවා ඈත් කරන්න
  • ක්‍රියාශීලිවදවස ගෙවන්නට අවස්ථාව ලබා දෙන්න
  • උණු කර නිවා ගත් පිරිසිදු ජලය දවසකට අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමට හුරු කරන්න

පොදුවේ සැම දරුවෙක්ම නිසි පෝෂණයක් ලබා ගත යුතු වුවද නිසි පෝෂණයක් නොලැබූ ගැහැනු දරුවෙකු සංකුලතා රැසකට භාජනය වීමේ අවධානමක් පවතී. මතු දිනෙක මවක වන නව යොවුන් ගැහැනු දරුවාට නිසි පෝෂණයක් නොමැති කමින් ඇඇත. එය දාමයක් ලෙස උපදින දරුවාට බලපෑම් ඇති කරවන අතරම සමාජයටද බලපාන හේතුවක් වනු ඇත.

වැඩිවිය පැමිණි ගැහැනු දරුවෙක් මසකට වරක් ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන නිසා වැඩි වශයෙන් යකඩ,ප්‍රෝටීන සිරුරට අවශ්‍ය වේ.  අතීතයේදී මේ හා සම්බන්ධ බොහොමයක් මිත්‍යා මත පැවතුනද මස්, මාළු, බිත්තර මේ කාලයේදී ගැහැනු දරුවාට ලබාදීම අත්‍යවශ්‍යය. මේ ආකාර වූ නිසි පෝෂණය නොලැබී යාම නිසා මතු දිනක මව්පදවිය ලබන ගැහැනු දරුවන්ට පහත දක්වා ඇති සංකුලතා තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය.

  • දරු පිළිසිඳ ගැනීම් ප්‍රමාද වීම
  • ගබ්සා සිදු වීම
  • අඩු බරදරුවන් බිහිවීම
  • බිහිකළ දරුවන් රෝගී දරුවන් වීම
ඔබේ දියණිය මතු දිනෙක නිරෝගී මවක ලෙස දරුවන් බිහිකිරීමට නම් ඇයට,
  • නිසි අධ්‍යාපනය ලබා දෙන්න
  • සමීපව හිඳ නිසි මග පෙන්වන්න
  • හොඳ නරක අවබෝධ කරදෙන්න
  • සමාජය පිළිබඳව දැනුවත් බව ලබාදෙන්න
  • පෝෂණය ගැන දැනුවත් බව ලබා දෙන්න
  • නිසි වයසට එළබි පසු විවාහ කරදෙන්න. (ගැහැනු දරුවෙකු මව්පදවිය ලැබීමට සුදුසු වයස අවුරුදු 20 – 25ත් අතර කාලයයි.)
  • නිසි කලට රුබෙල්ලා එන්නත ලබා දෙන්න
  • ක්‍රියාශීලිව කාලය ගතකරන්න උපදෙස් ලබා දෙන්න
  • ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න

කනේ කැක්කුමට හේතු වෙන මේ කරුණු ගැන අම්මලා දන්නවද?

අපි සැම නිතරම එක එක ආසාදන තත්වයන් ගැන කතා කරනවා. අද කතා කරන්න යන්නෙත් බහුලව අහන්නට දකින්න ලැබෙන ඒත් වැඩි පුර කතා බහට ලක් නොවෙන තත්වයක් ගැනයි. ඒ කනේ ඇති විය හැකි ආසාදන තත්ත්ව ගැනයි. ආසාදනක් කියන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් කාණ්ඩයක් ඒ කියන්නේ වෛරස බැක්ටීරියා හෝ දිලීර නිසා ශරීරයේ අවයවයකට හෝ පද්ධතියකට සිදුවන හානිදායක තත්වයක්.

අපේ කන ප්‍රධානව කොටස් තුනක් ලෙස දැක්විය හැකියි. එනම්, පිට කන, මැද කන හා ඇතුළු කන ලෙසයි.

කන් පෙත්ත හෙවත් පිට කනෙහි ඇති විය හැකි ආසාදන

කන් පෙත්ත මත ඇතිවෙන කැසිම් සිරීම් හේතුවෙන් මෙන්ම එක් එක් විලාසිතා හේතුවෙනුත් කන් පෙත්තේ නොයෙක් ආසාදන ඇතිවිය හැකියි. මෙවැනි අවස්ථාවකදී වුවද නිසි සැලකිල්ල යොමු කොට ප්‍රතිකාර ලබා ගත යුත්තේ කන්පෙත්තේ විකුර්තිතා ඇති විය හැකි බැවිනි.

ඇතුළු කනෙහි ඇති විය හැකි අසාදන

ඇතුළු කනෙහි ඇතිවිය හැකි ආසාදනවලට මුලිකව හේතු වන්නේ බැක්ටීරියා සහ දිලිර වන අතරම ස්නායු පැපොල යන වෛරස තත්ත්වයද දැක ගත හැකි තත්වයකි.

කනෙහි ඇතුලත අසාදන ඇතිවීමට හේතු :

  • කන පිරිසිඳු කිරීමට නොයෙක් දේ ඇතුළු කිරීම
  • අපිරිසිඳු ජලය භාවිතය
  • දියවැඩියාව වැනි රෝග තත්ත්ව

කන ඇතුලත අසාදන තත්වයකදී,

  • කනෙන් දියර ගලයි
  • කන ඇසීම අඩු වෙයි
  • අධික වේදනාවක් ඇති වෙයි
මැද කනෙහි ඇතිවිය හැකි අසාදන

කුඩා දරුවන් අතර මේ තත්ත්වය බහුලව දක්නට ලැබෙන අතර වෛරස මෙන්ම බැක්ටීරියාද මේ තත්ත්වයට හේතු විය හැකිය. දිලීර හේතුවෙන් මැද කනෙහි ආසාදන ඇති වන්නේ කලාතුරකිනි.

මැද කනේ ආසාදනයකදී රෝග ලක්ෂණ :

  • කනේ වේදනාව
  • කනෙහි පිරුණු බව
  • ඇසීමේ දුර්වලතා
  • සෙම්ප්‍රතිශ්‍යාව
  • අධික උණ
  • කැරකවිල්ල
  • කනෙහි විවිධ ශබ්ද ඇතිවීම

මීට අමතරව, කුඩා දරුවන් පහත රෝග ලක්ෂණ පෙන්විය හැක.

  • නොනවත්වා හැඬීම
  • නින්ද නොයෑම
  • කන් පෙත්ත නිතරම ඇදීම
  • වමනය
  • දියර ස්වභාවයෙන් මල පිටවීම

සමහර හේතුන් මත කුඩා දරුවන්ට මැද කනේ ආසාදන ඇතිවීම වැඩි විය හැක. එනම්,

  • මව් කිරි වෙනුවට පිටිකිරි දීම
  • කිරි බෝතලයෙන් දීම හා විශේෂයෙන් දරුවා නිදන අතර කිරි බෝතලයෙන් බීම
  • ගෙදර දුම් පානය කරන අය සිටීම

එබැවින් ඉහත අවස්ථාවන් අවම කර ගැනීමෙන් ඔබගේ දරුවා මැද කනේ ආසාදන වලින් ආරක්ෂා කරගත හැක. මැද කනේ ආසාදන නිසි පරිදි ප්‍රතිකාර නොකලොත්, මොළය හා හිස් කබලේ අස්ථි දක්වා පැතිරීමේ අවධානමක් තිබේ. එමනිසා, මෙවැනි සංකුලතා වළක්වා ගැනීමට ඉක්මනින් වෛද්‍ය ප්‍රථිකාර වෙත යොමු විය යුතුය.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්.ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි

 

පවුලේ සංවාදයට බාධාවක් වූ “තාක්ෂණය” නිවසින් පිටමන් කළ අපූරු ක්‍රමය

කාලයත් සමඟ සිදුවන සියලුම විපර්යාසවලට මුහුණ දෙමින් සමාජයේ මූලිකම සහ වැදගත්ම  සංස්ථාව වන පවුල තම කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යනවා. අනිකුත් සියලුම සමාජ සංස්ථාවලට සේම මෙයට ද වෙනස් වන ලෝකයේ වෙනස් විම්වලට අනුගත විමට සිදුවන බව අප අවබෝධ කරගතයුතු වෙනවා. නමුත් එම අනුගත වීම සිදුකළ යුත්තේ පවුල නැමති සංස්ථාව ආරක්ෂා කරගැනීමට විනා බාහිර එහි වටිනාකම් දියකර හැරීමට නොවේ. වර්තමානයේ අන් සියලුම  සාධක අභිබවා තාක්ෂණය නැමති සාධකය පවුලේ සාමාජිකයන් අතර තිබෙන්නාවූ බැඳිමට සිදුකර ඇති  බලපෑම  පවුල් සබඳතා සියුම්ව අධ්‍යනය කර බැලීමේ දී පෙනී යනවා.

ලංකාවේ අතිශයින්ම දුෂ්කර පළාතක ඉපදී සරසවි වරම් ලැබ කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා විදෙස් ගත වුන වියතෙක් මට හමුවුණා. දැන් ඔහු විදේශ රටක සුපතල විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් සහ එම රටේ ස්ථිර පදිංචිකරුවේක්. ඔහුගේ බිරිඳ එම රටේම කාන්තාවක්. ඇයත් විශ්ව විද්‍යාලයේ  කතිකාචාර්යවරියක්. මේ මහාචාර්යවරයා තුළ මා දුටු එක් ලක්ෂණයක් වන්නේ ඔහු ලංකාවට මහත්සේ ඇළුම් කරන පෙරදිග දර්ශනය විශ්ව විද්‍යාලය තුළට සාර්ථකව ගෙනයාමට සමත් වූ  අයෙක් වීමයි. විදෙස් අධ්‍යාපනය නිම කර ලංකාවට පැමිණ විශ්ව විද්‍යාලයේ සේවයට එක් වන විට ඔහු එම විෂය ක්ෂ්‍රේත්‍රය සඳහා ලංකාවේ සිටි එකම මහාචාර්යවරයා වුණා. නමුත් සාමාන්‍යයන් සිදුවිය යුත්තම මෙහිදීත් සිදුවී තිබුණා. මොහුගේ සේවය ස්ථිර කොට ඔහුව රඳවාගැනීමට කිසිවෙකුත් කටයුතු නොකිරීම මත ඔහු දෙවන වරට ද මව්බිම හැරදමා යනවා. ඒ අවස්ථාවේ ඔහුව මහා ඉහලින් පිළිගත් විදේශීය විශ්ව විද්‍යාලය ඔහුට පර්යේෂණ අංශය බාරදෙනවා. එහි අවසන් වසරේ සිසුවියක් තම උපාධි නිබන්ධනයට තෝරාගන්නේ ආසියාතික රටවල කාන්තාවන් මව්පදවිය කෙරෙහි දක්වන ආකල්ප තාක්ෂණීක දියුණුව සමග වෙනස් වීම යන මාතෘකාව. මේ මහාචාර්යවරයාගෙ මග පෙන්වීම අනුව ඇය ලංකාවට පැමිණ තුන් මාසයක් පර්යේෂණයක් කරලා ආපසු ඇවිත් විශ්ව විද්‍යාලයට නිබන්ධනය බාර දෙනවා. එහි ඇය සඳහන් කරන්නේ කාලයේ වෙනසට සහ තාක්ෂණයේ වෙනසට හසු නොවුන මාතෘත්වය කෙරෙහි ලාංකික කාන්තාවන්ගේ ආකල්ප කෙරෙහි ඇය ආකර්ශනය වුණ බවයි. ලංකාවේ සංස්කෘතිය කෙරෙහි දැක්වූ අසීමිත ඇල්ම තුළ දෙදෙනා අතර ඇතිවූ සුහදතාවය මත මහාචාර්යවරයා තම සිසුවිය විවාහ කරගන්නවා. ඇය ඒ වන විට  සහාය කතිකාචාර්යවරියක්.

“ලංකාවට ගිහින් ආවට පස්සේ ක්‍රිස් බටහිර ලෝකයේ පවුල් සංස්ථාවට වෙලා තියන දේ ගැන දැඩි ලෙස විවේචනය කළා. මම ක්‍රිස් විවාහ කරගත්තේ එයා ලංකාවට සහ මට දක්වපු කැමැත්ත නිසාම නෙවේ. එයා හරි ස්වාධීන අදහස් තියන කෙනෙක්. ඒ වගේම කිසිම වෙලාවක අපි එකතු වෙලා ගත්ත තීරණයක් එයා අතින් කැඩෙන්නේ නෑ. එයා දිගටම එයාගේ ඉගනීම් කටයුතු කරගෙන ගියත් ඇත්තටම අපේ පවුල රැදිලා තියෙන්නේ එයා අතේ. මම විවාහ වෙන්න කලින් එයා මගෙන් අහපු දේ තමා අපේ පවුලේ අය ජීවත් වුණ විදිහ. අපේ පවුලේ තිබුණ බැඳීම. එයාගේ දෙමව්පියෝ තැන් දෙකක හිටියේ. එයාට පොඩි කාළේ ඉඳලාම ලොකු අනාරක්ෂිත බවක් දැනිලා තිබුණා. අපේ පවුලේ අයට තුන් වේල බත් කන්න තරම් වත්කමක් තිබුණේ නෑ. අපේ අය්යලා අක්කලා අපි ඔක්කොම හය දෙනෙක්. අපිට තිබුණේ බොහෝම සුළු ප්‍රමානෙක දේවල්. ඒත් අපේ ගෙදර ආදරේ ඉතිරෙන්න තිබුණා. තාත්තාගේ දෙවන විවාහය අපේ අම්මා. තාත්තගේ ඉස්සරලා විවාහයේ දරුවෝ දෙන්නත් එකතු වුනාම ඔක්කොම අට දෙනෙක්. අපි ඉස්කෝලේ ගියේ දාහක් අඩුපාඩු මැද. ගෙදර ඇවිත් අපි තාත්තගේ හේනට යනවා. ගෑනු ළමයි අම්මට උදව් කරනවා. අම්මගේ තිබුණ නීතිය තමා කොහේ හිටියත් පහ වෙනකොට ගෙදර ඇවිත් පොත් පාඩම් කරන්න ඕන කියන එක. අපි හේනේ ඉඳන් එන ගමන් ඇළට පැනලා නාලා වටේ තියන ගඩාගෙඩි කාලා ගෙදර ඇවිත් පොත් පාඩම් කරනවා. කළුවර වැටුණාම පාඩම් කරන්න ලාම්පු පත්තු කරන්න තරම් වත්කමක් අපට තිබුණේ නෑ. රෑට අහන්න රේඩියෝ එකක් , කියවන්න පත්තරයක් නෑ. රෑ අට වෙනකොට තාත්තා ඇවිත් දවසේ වැඩ ඉවර වෙලා ඇවිත් කාන්සියට ශ්ලෝක කියවනවා. අපි ඔක්කොම ඒවා අහගෙන පිළට වෙලා ඉන්නවා. අම්මා දුම් දාන බත් එක මැටි කොරහට අරං ඇවිත් තියලා ආපහු ගිහින් හොදි ඇතිලිය ගෙනත් සාලේ මැද පැදුරක් දාලා කුප්පි ලාම්පුව එතනට ගේනවා. මුළු ගෙදරම ඒ වෙලාවට එළියයි. අපි දහ දෙනාම කෑම කන්නේ එකම තැන එකම වෙලාවට.කන ගමන් එදා දවසේ වෙච්ච හැම දෙයක්ම අපි ඔක්කොමලා කතා වෙනවා. සමහර වෙලාවට තාත්තා හේනට දවල් පැන්න අලි ගැන කියන්න ගත්තම පොඩි අයට පැදුරේම නින්ද යනකල් කතාව දික්ගැස්සෙනවා. අම්මා ඒ වෙලාවට නින්දට යන සංඥාව දෙනවා කුප්පි ලාම්පුව නිවලා. අපි විසිරෙනවා හරියට ලාම්පුවේ එළිය විසිරිලා ගියා වගේ. මගේ බිරිඳ මේකට හරි කැමතියි. අපේ දරුවෝ තුන්දෙනා පොඩි කාලේ ඉඳන්නම එයා කිවේවේ අපි හැමෝම එකම තැනක එකම වෙලාවකට කෑම කාලා දවසේ කතා බෙදාගන්න ඕනෑ කියන එක. ඒකට අපි දෙන්නා තෝරා ගත්තා රෑ කෑම මේසේ. මොකද අපේ ජිවන රටාව එක්ක තියන විකල්පේ ඒක නිසා. මේක හරියට කෙරුණා ළමයි ටිකක් ලොකු වෙනකල්. ඒත් දැං අවුරුදු පහ හයක ඉඳන් මේ තාක්ෂණය අපේ ගෙදරට රිංගපු දවසේ ඉඳන් අපේ මේ පුරුද්ද අත ඇරුණා. මමත් ඒකට දාකය වුණා. කෑම මේසෙට කෑම තියලා මගේ බිරිඳ එක එක්කනාට දහපාරක් විතර කතා කළාම තමා එන්නේ. එක්කෝ මම වීඩියෝ සංවාදෙක නැත්තම් දුව ෆේස් බුක් එකේ. පුතාලා මොකක් හරි ඉන්ටර්නෙට් සෙල්ලමක. කෑම කන්න ආවත් දුවගේ අතේ සමහර වෙලාවට ටැබ් එක. පුතාලා කතා කරන්නේ අළුත් වීඩියෝ සෙල්ලම්වගේ දේවල් මිස තමන්ගේ ඉස්කෝලේ යාළුවෝ ගැන නෙවේ. මේකට යට නොවුණේ බිරිඳ විතරයි. ඒ වගේම ඒකේ බරපතලකම දැක්කේ එයා විතරයි. එක දවසක් මේ විදිහට රෑ කෑමට අපි එනකල් එයා පැය බාගයක් බලාගෙන හිටියා.අපි පුරුදු විදිහට අපේ වැඩ. එක පාරටම අපේ ගෙදර වයි -ෆයි සම්බන්ධතාවය විසන්ධි වුණා. අපිට වෙන වැඩක් කරගන්න බැරි නිසා හැමෝම එදා එක සැරේ කෑම කෑවා. ආපහු පැයකට පස්සේ සම්බන්ධතාව ලැබුණා නමුත් කාලෙට පස්සේ අපි ගොඩක් දේවල් කතා කළා. එකිනෙකාගේ මුහුණු බලලා කතා කළා. කොටින්ම මගේ ලොකු පුතාගේ මූනේ යන්තම් රැවුල වැවෙන්න පටන් අරං කියලා මගේ දුව විහිළු කළා. මේ වැඩේ හැමදාම කෑම කන වෙලාවට සිද්ධ වෙන්න ගත්තම අපිට සැකයක් ආවා. අපි බිරිඳගෙන් අහනකොට ඇය කිව්වා මමත් කුප්පි ලාම්පුවක් ගත්තා කියලා. අපි හැමෝම එයා දිහා බලන කොට එයා වයි -ෆයි සම්බන්ධතාව තාවකාලිකව වලක්වන නවීන උපකරණයක් අපිට පෙන්නුවා. අපි මොන ජාලයක් හරහා සම්බන්ධ වුණත් අර උපකරණේ ඊට වඩා බලසම්පන්නයි. සතියක් විතර මේකට අපි හැමෝම විරුද්ධත්වය පෑවා. කේන්ති ගත්තා. නමුත් එයා ඒ තීරණයේම හිටියා. දැං අපි හැමෝම එකට රෑ කෑම කාලා පැයක් කතා කර කර ඉන්නවා. ආපහු අපේ ගෙදර ශක්තිමත් බැඳිමක් ඇතිවේගන යනවා කියලා මට දැනෙනවා. මගේ බිරිඳ නවීන පන්නයේ කුප්පි ලාම්පුවක් ගත්තේ ඇගේ ළමා කාළයේ අමිහිරි අත්දැකීම් තමන්ගේ දරුවන්ට නොදෙන්න බව මම අවබෝධ කරගත්තා”

මේ අත්දැකීම මම විස්තර කළේ පවුල තුළට ඇතුළු වෙලා තියන තාක්ෂණයේ බලපෑම කොතෙක්ද කියලා පොඩි හිතුවිල්ලක් ඇති කරවන්න. පවුලේ බැඳීම ඇති වෙන්නේ සංවාදය මත. එකිනෙකාගේ සිතුවිලි , මනෝභාවයන්, රුචි අරුචිකම් සහ අවශ්‍යතාවයන් වල ඇති වන වෙනස්කම් තේරුම් ගැනීමට සංවාදය ඉතා අවශ්‍ය දෙයක්. මෙහිදි කතා කරන්නා සහ අසන්නා යන දෙදෙනාටම ඒ සඳහා යෙදවීමට ප්‍රමාණයත් කාලයක් තිබිය යුතුය. පෙරදී මහාචාර්යවරයා පැවසුවා සේම මේ ජීවන රටාව සමග ඒ සඳහා සුදුසු වන්නේ රාත්‍රී කෑම මේසයයි. නිවසේ වාසය කරන සැවොම රාත්‍රිය වන විටවත් ආපසු නිවසට පැමිණීමේ සංස්කෘතිය මෙතෙක් අප රටේ ආරක්ෂා වී තිබීම සතුටක්. එහෙත් එය නින්ද සඳහා පමණක් පැමිණීමක් විය යුතු නැහැ.

දරුවන්ගෙන් යමක් විමසූ විට ඔවුන් රෑපවාහිනී තිරය මත දෑස් යොමා පිළිතුරු දෙනවා නම්, නැතහොත් ජංගම දුරකථනය වෙත බෙල්ල නමාගෙන පිළිතුරු දෙනවා නම් එසේත් නැතහොත් කනෙහි ගසාගෙන සිටින ශ්‍රවණ උපකරණ  ඉවත් නොකර උත්තර දෙනවා නම් ඔබේ පවුලේ සංවාදයට රතු එළිය දැල්වී ඇති බව වටහා ගන්න. එසේම පවුලේ අම්මා හෝ තාත්තා කෑම බෙදාගෙන ඉඳගන්නේ රූපවාහිනියට නම් තත්ත්වය ඊටත් වඩා භයානකයි.

පවුලේ සැම එක්ව කතා කිරීමේ වැදගත්කම පළමුව වටහා ගතයුත්තේ දෙමව්පියන් විය යුතුයි. එයට ආදර්ශය සහ අවස්ථාව සැපයීමට ඔබට උවමනාවටත් වඩා අවස්ථා තිබෙනවා. එහෙත් මතකයේ තබා ගත යුතු වැදගත්ම දෙය වන්නේ එය පවුලේ සංවාදයක් මිස කිසිදු අවස්ථාවක විවාද පිටියක් නොවිය යුතු බවයි. දරුවන් වයසින් මුහුකුරායත්ම පරම්පරා දෙක අතර පරතරය ස්වභාවිකවම වැඩි වී යනවා. එය තේරුම් ගෙන කටයුතු කරන දෙමව්පියන් සහ දරුවන් අතර ඇතිවන සංවාදය සෑම විටම පවුලේ සාමාජිකයන්ට පහසුවක් ලබා දෙනවා. එය එක්තරා ආකාරයක උත්තේජනයක්. තමන්ගේ මානසික ව්‍යාකූලතා සමනය කරගැනීමට ඉතා හොඳ පරිසරයක් සාමාජිකයන් සමගියෙන් බැඳුන පවුලක තියනවා. බොහෝ අවස්ථාවල තරුණ දරුවන්ගේ ප්‍රශ්ණ හෝ ගැටළු සංවාදයක් තුළින් පමණක් විසඳා දීමට බුද්ධිමත් දෙමව්පියන්ට හැකි වෙනවා. එය ඔබට තනිවම පාලනය කර ගැනීමට නොහැකි බව පෙනී යනවා නම් එයට විසඳුමක් ලෙස කවරාකාරයේ හෝ කුප්පි ලාම්පුවක් භාවිතා කිරීමට ඔබ උපක්‍රමශීලී වන්න. එයින් රැකෙන්නේ ඔබේ පවුලේ සමගියයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය රේණුකා තෙන්නකෝන් මහත්මිය විසින් සකසන ලද ලිපියකි

පවුලේ කෑම මේසයට පුංචි පැටියා මේ විදියට හුරු කරමු

කෑම මේසය කියන්නේ ගෙදර හැමෝම එකට එක් වෙන එක තැනක්. දවසේ වැඩ කටයුතු, හෙට දිනය ගැන වගේම අද සිදු උණු හැමදේමත් මෙතැනදී කතා බහට ලක් වෙනවා. ඉතින් දවසින් දවස වැඩෙන ඔබේ දරුවටත් මේ අත්දැකීම ලබාදීම බොහොම වැදගත්.  මතක තියාගන්න, ආහාරවල වර්ණය, හැඩය වගේම වටපිටාව දරුවන්ගේ සිත්ගන්න අයුරින් සකසුනොත් කෑම මේසයේ ඉඳ ආහාර ලබා ගැනීම දරුවන්ට විනෝදජනක අත්දැකීමක් වනු නොඅනුමානයි.

මෙන්න මේ කරුණුවලට ඔබේ අවධානය යොමු කරන්න

  • දරුවාගේ පළමු වසර සම්පුර්ණ වීමත් සමගම පවුලේ ආහාර සමග හුරු කරන්න.
  • රුපවාහිනිය බලමින් ආහාර ගැනීමෙන් මිදෙන්න.
  • දරුවා පවුලේ කතා බහට සම්බන්ධ කරගන්න
  • ආහාරවල ගුණ අගුණ කියා දෙන්න.
  • ඔබේ ආහාර වට්ටෝරුව සකස් කිරීමේදී දරුවාගේ රුචිකත්වයට මුල් තන දෙන්න.
  • කෑම මේසය පිළිබඳවද වැඩි අවධානයක් යොමු කර දරුවාගේ සිත් ඇදගන්න ආකාරයට ඔබේ නිර්මාණශිලිත්වය එක්කරන්න.
මෙන්න මේ දේවලුත් අම්මලා හිතට ගන්න

  • දරුවට තනියම ආහාර ගන්න පුරුදු කරන්න.
  • ආහාර ගැනීමට පෙර අත සේදිය යුතු බව දවසින් දවස වටහා දෙන්න.
  • දරුවාගේ පිගානට ඔහුට/ඇයට ප්‍රිය උපදවන ලෙසින් අහාර කුඩා ප්‍රමාණයක් දමන්න.
  • දරුවාගේ ආහාර කන්න වගේම ගිලින්නත් පහසු වෙන විදියට කුඩා කැබලි ආකාරයට සකසන්න.
  • ආහාර ගන්නා අතරතුරේදී වතුර බිබී කෑම කන එක පුරුද්දක් කරගන්න ඉඩ දෙන්න එපා. ආහාර ගැනීමෙන් පසුව වතුර බොන්න දෙන්න.
  • දරුවාට හැන්ද හැසිරවීමට ටිකෙන් ටික පුහුණු කරන්න.
  • ඉතා කුඩා, තද බවින් යුතු ටොෆි වැනි දේ අතුරුපස ලෙස නොදී සැමවිටම ගුණදායක පලතුරකට දරුවා හුරු කරන්න.
දරුවන්ට අහාර ගැනීම හුරු කිරීමේදී

  • ඒ සඳහා එකම වේලාවක් වෙන්කරන්න.
  • දරුවාටම ගැලපෙන උස පුටුවක් ඔබේ කෑම මේසයට ලංකර ඒ ස්ථානය දරුවට හුරු කරන්න.
  • ආහාර මුවේ පුරවා කතා කිරීම නුසුදුසු බව ආරම්භයේ සිටම දරුවාට කියා දෙන්න.
  • පිගානේ ආහාර ඉතුරු කිරීම නුසුදුසු බව ටිකෙන් ටික කියා දෙන්න.
  • දරුවා සතුටින් ආහාර ගෙන නිම වූ පසු සැවොම එක්ව දරුවා අගයන්න.

විනයගරුක දරුවෙක් නිර්මාණය කරමු

මේ දරුවන්ගේ කිසිම විනයක් නැහැ. දරුවන් ගැන අපි නිරන්තරව මේ විදිහට කථා කරනු ඇත. එහි ඇත්ත නැත්ත පැත්තක තැබුවත ඇත්තටම විනයක් ඇති දරුවෙක් ගොඩ නගා ගන්නේ කෙසේද යන්න දෙමව්පියන් විසින් දැනගත යුතු තත්වයකි. හැම දෙමව්පියෙකුගේම ඒකායන බලාපොරොත්තුව වන්නේත් තමාගේ දරුවා විනයක් සහිත දරුවෙක් සේ ගොඩ නගා ගැනීමයි එසේ නම් අපි කළ යුතු දේ කුමක්ද යන්න දෙවැනි අරමුණ වෙනු ඇත.

අවවාදයට වඩා ආදර්ශය වැදගත්

අනේ දරුවෝ විනයක් ඇතුව හැදෙන්න යනුවෙන් කියනවාට වඩා දෙමව්පියන් විදිහට ඔබේ විනය ඉතා වැදගත්. එයින් දරුවා තුළ නොදැනීම විනය ගොඩ නැගෙනු ඇත. බාලේ පටන්ම දරුවා අත්දැකීම් ලබා ගන්නේ දෙමව්පියන්ගෙන් නිසා ඔබ නිතරම ඔවුන්ට ආදර්ශමත් වෙන්න. දරුවගේ මනසේ නිදන්ගත වෙන දෙමව්පියන්ගේ හැසිරීම් රටාව ඔවුන්ගේ විනය වෙනුවෙන් විශාල බලපෑමක් ඇති කිරීමට සමත්ව ඇත. කකුලුවා හරහට යමින් පැටවුන්ට කෙලින් යන්නනට කීම නිරර්ථක උත්සාහයක් බැව් දන්නා ඔබ දරුවන්ට ආදර්ශමත් දෙමව්පියන් වෙන්න. එවිට ඔබේ දරුවාගේ විනය ගොඩ නගා ගැනීම එතරම් අපහසුවක් නොවේ.

නිවස දරුවාට ප්‍රියමනාප තැනක් කරන්න

අවිනීතව හැසිරෙන බොහෝ දරුවන්ගේ පසුබිම ගැන විමසා බලන විට පෙනී යන කරුණක් වන්නේ ඔවුන්ට නිවස එතරම් ප්‍රිය මනාප තැනක් නොවීමයි. විනය විරෝධී බොහෝ  පුද්ගලයන් බාල කාලයේදී තම නිවසේ පරිසරය බෙහෙවින්ම අප්‍රසන්නව ගෙවා ඇත. එම තොරතුරු ඇතැම් පුද්ගලයන්ගේ චරිතාපදාන මගින් පවා හෙලිවී තිබේ. බොහෝ විට දුෂ්කරතාවයන් නිසා තමා ලද පීඩනය සමාජයෙන් පිපිරෙන තැනටම මේ තත්වය දරුණු වී ඇත. දරුවන්ගේ විනය ගොඩ නගන මූලික පරිසරය නිවසෙන් ඇති වෙන  නිසා ඒ ගැන උනන්දු වෙන්න. නිවසෙන් ලබන ශික්ෂනය බාහිර ලෝකය සමග ගණුදෙණු කරන විට ඉතා වැදගත් බැවින් නිවස තුළ දරුවාට ලබා දෙන ශික්ෂනය සමග එය දරුවාට ප්‍රියමනාප පරිදි ගොඩ නගන්න.

වෙනසක් ඇති කරන්න

දරුවාගේ ජීවිතයට වෙනස අවශ්‍ය බව හිතන්න. එකාකාර ජීවන රටාවකට අනුව පාසල සහ නිවසට සීමා නොවී බාහිර පරිසරය සමග එක් වීමට කටයුතු සලසා දෙන්න. තවත් අ‍ය සමග ගණුදෙණු කළ යුත්තේ කෙසේදැයි ඔහු එවිට ඉගෙනගනු ඇත. ළිං මැඞියන් සේ සීමිත වපසරියක සිටින දරුවා  පරිසරය සමග ගනුදෙණු ආකාරය නොදන්නා නිසා විනය ගරුක හැසිරීම යනු ඔහුට ආගන්තුකය.

දරුවාට ලබා දෙන අවවාද ධනාත්මක වීම

දරුවන්ට අවවාද ලබා දෙන විට ඒවා ධනාත්මක වීමත් ඉතා වැදගත්. අවවාද නිසා දරුවා මහත් සේ වෙහෙසට පීඩාවට පත් වේ නම් එයින් ඔහුගේ හැසිරීම යහපත් සේ ගොඩ නගා ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. කරන කියන හැම දෙයටම එකාකරව ලබා දෙන එපා යන වචනය නිසා ඔවුන් කළ යුතු සහ නොකළ යුතු දෙය අතර වනසක් දකින්නේ නැත. මේ නිසා විනයගරුක හැසිරීමක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය නම් දරුවා වෙනුවෙන් ලබා දෙන අවවාද ඔහුගේ මනසට අවශෝෂනය වන පරිදි ධනාත්මක ලෙසින් ලබා දීම ඉතා වැදගත්ය. කළයක් මුනින් නවා දිය පුරවන්නා සේ අවවාද ලබා දීමට වඩා ඔහුගේ ජීවිතයේ විනය ඇති වෙන සේ අවවාද මගින් ජීවිතයට ආලෝකයක් ලබා දීම ඉතා වැදගත් වේ.

හොඳ සහ නරක අතර වෙනස පැහැදිලිව කියාදෙන්න

දරුවා යහපත් ක්‍රියාවක් කල විට එය අගය කරන්න. වරදක් කළ විට එහි වැරැද්ද පෙන්වා දෙන්න.හොඳ සහ නරක අතර වෙනස පැහැදිලිව කියාදෙන්න.  “හිටියොත් හොඳට හැදී… දෙවියොත් නමට වඳී ” කියන්නා සේ ජීවිතය ගොඩ නගා ගැනීමේ වැදගත්කම කියා දෙන්න. වැරැදි අවම වන සේ කටයුතු කිරීම විනයගරුක දරුවාගේ ලක්ෂනය බැව් ඔවුන්ට ඉතාම පැහැදිලිව කියා දෙන්න.

කාලසටහනක් අනුව වැඩ කිරීමට කියා දෙන්න

අද සාමාන්‍ය ව්‍යවහාරයේ පවා පවතන සංකල්පය වන්නේ වේලාවට වැඩ කිරීමට අපි පුරුදු නැති බවයි. එය විනයක් නොවේ. විනයක් ඇති තැනැත්තා කිසිම නිතරම වේලාවට කටයුතු තිරීමට පුරුදුව සිටින නිසා ඔහු තුළින් නොදැනීම විනයක් දකින්නට ඇත.ඒ නිසා දරුවාටත් බාල කාලයේ පටන් වේලාවට කටයුතු කිරීමට උපදෙස් දෙන්න. කාලසටහනකට අනුව වැඩ කිරීමට හුරුව ලබා දෙන්න. කලට වේලාවට වැඩ කිරීම නිසා තමාගේ පුද්ගලික ජීවිතයටත් විශාල ආලෝකයක් ලැබෙන බැව් දරුවන්ට පෙන්වා දෙන්න. කලට වේලාවට වැඩ කිරීමට නොහැකි තැනැත්තා වෙනුවෙන් සමාජයේ ඇගයීමක් නොලැබෙන බව දරුවාට ඒත්තු යන සේ කියා දෙන්න. විනය එතැනින්ම ගොඩ නැගෙනු ඇත.

සාධාරණ සීමාවන් පනවන්න

බොහෝ මව්පියන් නිතරම තම දරුවාට හැම දෙයටම එපා කීමට පුරුදුව සිටිති. එයින් දරුවාට ඇති වෙන්නේ මානසික පසුගාමීත්වයකි. ඒ නිසා ඔවුන් දෙමව්පියන් එපා කියන දේ වෙනුවෙන් එතරම් සැලකිල්ලක් නොදක්වන තත්වයට පත් වීම නිසා දරුවාගේ විනය පිලිබඳ ගැටළු ඇති වීමේ ප්‍රවනාතාවයක් නොදැනීම ඇති වේ. ඊට හේතුව වන්නේ කම්මලේ බල්ලා හෙණ හඩටත් බියක්   නොදක්වන්නා සේ ඔබ නිතරම දරුවාට අසාධාරණ සීමාවන් පනවන නිසා ඔවුන් ඔබේ අවවාද නොරුස්සන තත්වයට පත් වීමයි.

පවුලක නීති අවම වීම

නිවස දරුවාට ස්වාධීන වීම ඉතා වැදගත්. නිරන්තරව පනවන නීති රීති නිසා දරුවාගේ මානසිකත්වය බෙහෙවින් අවුල් සහගත තත්වයට පත් වන නිසා ඔවුන් විනය යනු කුමක්දැයි නිසි පරිදි වටහා ගැනීමට අපොහොසත් චරිත බවට පත් වෙනු ඇත.

විනය සමාජයේ පැවැත්මට අවශ්‍ය ගුණාංගයක්. අද බොහෝ වැඩිහිටියන් වෙතින් පවා විනයක් නොදක්නා තැනට පත්ව ඇත. ඒ හැම විටෙකම අපි ඔවුන්ගේ බාල කාලයට නොඑසේනම් මව්පියන්ට චෝදනා නගනු ඇත. යම් දවසක ඔබේ දරුවාත් මේ තත්වයට පත්වීම ඔබ කිසිම ලෙසකින් අපේක්ෂා නොකරනු ඇත.ඔබගේ එකම අපේක්ෂාව විනයගරුක දරුවෙක් සමාජය වෙනුවෙන් නිර්මානය කිරීමයි. එසේනම් දරුවාගේ බාලකාලයේ පටන්ම ඒ වෙනුවෙන් ඔබේ කටයුතු ආරම්භ කළ යුතුය. එවිට සමාජයට ඔබේ දරුවා ආශිර්වාදයක් වෙනු ඇත.

අගුණයි කියනවාට වඩා අගුණ ඇයි කියල දැනගත්තොත් නරකද….?

පාර තොට දිගේ දරුවන් කැටුව යන අම්මාවරුන්ට ඔවුන්ගේ ඇස ගැටෙන ආහාරවලින් බේරා ගැනීම එතරම් පහසු කාර්යක් නොවෙයි.”අනේ ළමයෝ ඕවා අගුණයි” කිව්වත් දරුවන් ඒ ගැන තැකීමක් නැහැ. ඒකත් ඉතින් සාධාරණයි. ඊට හේතුව දරුවන්ට මේවායේ තිබෙන බරපතල බව තේරෙන්නෙත් නැහැ. ඒ වගේම සමහර අවස්ථාවලදී දෙමව්පියන්ට වුනත් මේවා නරකයි කියන්නේ ඇයි කියන බවට හේතුඵල සම්බන්ධතාවයකින් යුක්ත දැණුමක් ඇත්තේත් නැහැ. ඒ නිසා ඇත්තටම ආහාර මුල් කර ගෙන මේ වගේ නුසුදුසුකසම් ගොඩ නැගී තිබෙන්නේ ඇයි…ඒ වෙනුවෙන් කතා බහට සම්බන්ධ වුනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර හා තාක්ෂණ අංශයේ මහාචාර්ය සහ  ශ්‍රි ලංකා පෝෂණ සංගමයේ සංස්කාරක ටෙරන්ස් මදුජිත් මහතා.

ආහාර වෙනුවෙන් ප්‍රියතාවයක් ඇති කරන වර්ණ

අපිට ආහාරයක් දැක්ක ගමන් කන්න හිතෙන්නේ ඒ වෙනුවෙන් යොදා ගෙන තිබෙන වර්ණ වෙතින් ලැබෙන ආකර්ශනය නිසයි. ලෝකයේ හැම රටකම පාහේ ආහාර වෙනුවෙන් වර්ණ එකතු කළත් ඒවායේ පාලනයක් සිද්ධ වෙනවා. අපේ ලංකාවේත් 1980 ආහාර පනත මගින් ශ්‍රි ලංකාවේ ආහාර වෙනුවෙන් රෙගුලාසි පනවා ගෙන තිබෙනවා. 2011 ජනවාරි මාසයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව  ශ්‍රි ලංකාවේ භාවිතයට සුදුසු වර්ණක දහයක් මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්දේශ කර තිබෙනවා.

රතු Carmoisine car
Ponceau 4 R
Erythrosine
Allura Red
කහ Sunset yellow FcF
Tatrazine
නිල් Indigotine
Indigo carmine
Brilliant blue fcF
කොළ Fast Green

අනුමත වර්ණවලින් වුනත් ඇති වෙන බලපෑම නිසා ආහාර වෙනුවෙන් වඩාත්ම ගැලපෙන්නේ ස්වභාවික වර්ණක කිව්වාට වරදක් නැහැ.

ස්වභාවික වර්ණක යොදාගන්නේ කොහොමද…?

කහ ප්‍රතිපිලිකා වගේම ප්‍රති දැවිලිවලට ගුණ දායකයි. ඒ වගේම ගෙදර දොර ආහාර පිළියෙල කරන විට පොල් ටොෆි සහ ආස්මී වැනි ආහාර වෙනුවෙන් බීට් යුෂ යොදා ගන්නවා. හකුරු සහ සීනි කැරමල් කර ගෙනත් දුඹුරු පැහැය ලබා ගැනීමට පුලුවනි. ඒ හැරුනාම කොචිනිල් යොදා ගැනීමත් සිදු වුණා.

අද වෙළදපොලේ තිබෙන ආකර්ශණීය වර්ණ ගැන සැලකිල්ලක් දැක්වීමට අම්මලා උනන්දු වීම ඉතාම වැදගත් නේද..?

ඔව්..ඇස් කඩාගෙන යන වර්ණක ඉතාම අහිතකරයි. බුන්දි, දෝසි, පැනිවලලු වල තිබෙන වර්ණක සෞඛ්‍යයට අහිතකරයි. සමහර විට රෙදි පිලි වෙනුවෙන් යොදන ඩයි වර්ග පවා යොදා ගෙන තිබෙනවා.

  • ඔබ තෝරා ගත් වර්ණය අදාල ලේබලයේ සඳහන් වර්ණකයද බලන්න, පැණි බීම, රසකැවිලි, බයිට්ස් වැනි ආහාර සීමා කරන්න.
  • නිතරම ලා වර්ණ තෝරා ගන්න.
  • ස්වභාවික වර්ණ වෙනුවෙන් යොමු වෙන්න.
නිසි විදිහට වියලා නොගත් විටත් ඇති වෙන ගැටළු තිබෙනවා..

ආහාර නිසි විදිහට වියලා නොගත් විට ඇති වෙන පුස් සහ දිලීර මගින් විෂ දූලක ඇති වෙනවා. සමහර විට අපි පුස් ඉවත් කරල එහෙම නැත්නම් නැවත බැදලා හෝ වියලා ආහාරයට ගන්නවා වුනත් එය සුදුසු නැහැ. මිරිස්, පොල්, රටකජු , බඩඉරිගු වැනි ආහාර නිසි විදිහට වියලා නොගත් විට ඇති වෙන විෂධූලක ( Aflatoxin )  අක්මාව, සහ වකුගඩු ආශ්‍රිත පිලිකාවන්ට හේතු වෙනවා.

ශීතකරණයෙන් විදුලිය පිරිමැසුවා වගේ නොවෙයි…

ආහාර ගබඩා කිරීමේදී ප්‍රශස්ත උෂ්ණත්වයේ ගබඩා කිරීම ඉතාම වැදගත්. ශීතකරණයක නම් සෙන්ටිග්‍රේඩ් අංශක 4 සහ අධිශීතකරණයක නම් සෙන්ටිග්‍රේඩ් – 18 ක ගබඩා කළ යුතුයි. බොහෝ දෙනා ශීතකරණයේ පාලකය සීරුමාරුකරනවා. එහෙම නැත්නම් විදුලිය පිරිමැසීම වෙනුවෙන් රාත්‍රියට ක්‍රියාවිරහිත කරනවා. ඒ වුනත් මේ තත්වය එතරම් සුදුසු නැහැ. අපිට ආහාරයේ සෞඛ්‍යාරක්ෂිත බව වෙනුවෙන් පිලිගැනීමක් ඇති කිරීමට අපහසුයි.

එකම තෙල් යොදා ගෙන බැදුම් කිරීමත් අවදානම්..

එකම තෙල් නැවත නැවත නැවත යොදා ගැනීම අහිතකර බව අපි දැන සිටියත් ලාබය වෙනුවෙන් සුලු පරිමාණ ව්‍යාපාරිකයන් මේ කටයුත්ත දිගින් දිගටම සිදු කරනවා. පසුගිය දිනවල විශාල ආන්දෝලනයක් ඇති වුන සිද්ධියක් තිබුණා. කුඩා පරිමාණ නිෂ්පාදකයින් මඤ්ඤොක්කා වැනි ආහාර පිළියෙල කරන විට ප්ලාස්ටික් බෝතල් යොදා ගන්නා බවට. මෙවැනි තත්වයන් නිසා ඇති වෙන ආහාරවලට එකතු වෙන අහිතකර විෂ රසායනයන් නිසා පසුකාලීනව බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුලුවන්.

එතකොට අපි ගෙදරදී ඉතිරි වෙන බැදුම් තෙල් වෙනුවෙන් මොකද කරන්නේ…

වාරයක් බැද්දාට පස්සේ එහි තිබෙන ආහාර කැබලි ඉවත් කරල වීදුරු බෝතලයක කට ආසන්නයට පුරවා හොදින් වසා වියලි සිසිල් ස්ථානයක තබන්න. එය නැවත එක්වරක් එම සතිය තුළ ගැනීමට පුලුවන්. ඊට වඩා පාවිච්චි නොකළ යුතුයි.

බෝතල් ජලයත් අහිතකරයි..

ගමන් බිමන් යන විට අපි පුරුදු වලා ඉන්නේ කඩපිලෙන් බෝතල් ජලය මිළට ගන්න. ඒත් මේවායේ ඊකෝලි බැක්ටීරියාවන් තිබුන අවස්ථා බොහෝ විට වාර්තා වී තිබෙනවා.ජල සාම්පලවලින් සත්ව සහ මිනිස් අසූචි තිබුන බවට වාර්තා වුණා. ඒ නිසා බෝතල් ජලය ගැන අපිට තහවරු වීමට බැහැ.

වතුර ටිකක් උණුකරගෙන නවලා බෝතලයක අරගෙන යන්න නම් ඉතින් බැරි කමක් අපිට නැහැ..ඒ වුනත් අපේ අම්මලා බලන්නේ පහසුව විතරයි.

සුළං වැදුන අල වර්ගත් සුදුසු නැහැ

විශේෂයෙන් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමේදී මේ ගැන සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.

තක්කාලි සහ හාල්මැස්සන් එකට පිසීමත් අගුණබවට චෝදනාවන් තිබෙනවා..

තක්කාලි ගුණදායක පළතුරක්. එහි අඩංගු ස්වභාවික “ලයිකොපින්” රසායනය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. පිසිනවාට වඩා අමුවෙන් ඉතාම ගුණයි. ඒත් කෘමිනාශක බහුලව යොදන නිසා අමුවෙන් ආහාරයට ගන්නවා නම් අමුගෙඩි ගෙනත් සෝදා දින කීපයක් විවෘත පරිසරයක තැබීමෙන් විෂ රසායනයන් යම් දුරකට අඩු වෙනවා.ඒ වගේම තක්කාලිවල තිබෙන ඔක්සිලින් හාල්මැස්සන්ගේ අන්තර්ගත කැල්සියම් සමග සංයෝග වුනාම කැල්සියම් ඔක්සිලේට් නිපදවන නිසා වකුගඩුගල් හැදෙන ප්‍රවනතාවයක් තිබෙනවා.

කංකුන් කොහිල අල සහ නෙලුම් අල ගැනත් අවදානමක්

මෙම පලා සහ අලවර්ග වැඩෙන්නේ මඩ වගුරු සහිත තැන්වලයි. ඒවායේ බැරලෝහ වැඩියි.පසේ තිබෙන රසදිය , කැන්ඩියම් මේ වගාවන්ට අවශෝෂණය වෙන නිසා සහතික වීමට බැහැ. ඒ නිසා තමන්ගේ නිවසේ ‍මදුරුවන් බෝ නොවන සේ දියකඩක මේවා වගා කර ගැනීම ආරක්ෂිතයි.

Madhujith-150x150

ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ සහ ශ්‍රී ලංකා පෝෂණවේදින්ගේ සංගමයේ සංස්කාරක මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සමග සකසන ලද ලිපියකි.

 

දරුවාටත් මොහොතක් සවන් දෙන්න

දහසකුත් එකක් වැඩ රාජකාරී ඔස්සේ දරුවා විසින් තොරතෝංචියක් නැතුව කියන කතා බහ අසා සිටීම දෙමව්පියන් විදිහට ඔබට කරදරයක් විදිහට හිතෙනවා ඇති. ජීවිතයේ බොහෝ වගකීම් යුතුකම් වෙනුවෙන් යොමුව සිටින ඔබට මේ කතාන්දර අසා සිටීමට තරම් මානසික නිදහසක්ද නැතුවා විය හැකියි. එහෙත් දරුවා ඔබ සමග කියන දේ වෙනුවෙන් සවන්දීම ඔබට අපහසු වුනත් ඒ වෙනුවෙන් කිසියම් කාලවේලාවක් ලබා දීම ඉතාම වැදගත් වෙනවා.

දරුවන්ට එදිනෙදා භාවිතා කරන වචන ගැන කියා දෙන්න

දරුවා බොහෝ දේ වෙනුවෙන් ඔවුන්ටම ආවේනික ශබ්ද කෝෂයක් ගොඩ නගා ගෙන ඇත. තමාට ඇහෙන දේ තුලින් ඔහු මේ ශබ්ද කෝෂය ගොඩ නගා ගත්තද  ඇතැම් දේ වෙනුවෙන් නමක් තබන්නනට දරුවාට ඒ ගැන වැටහීමක් නොවන්නනට පුලුවනි. මේ නිසා ආගන්තුක වස්තුන් වෙනුවෙන් දරුවාට හදුන්වාදී ඒවායේ නම් පිලිබඳව යම් වැටහීමක් ලබා දීමට නම් දරුවාගේ සංවාද වෙනුවෙන් සවන්දීම ඉතාම වැදගත් කටයුත්තක්.

දරුවා සමග සාකච්ඡාවේ යෙදෙන්න

නිවසට පැමිණෙන ඔබ දරුවා සමග කතා බහ කිරීම ඉතාම වැදගත් වෙනවා. අතීතයේදී තොටිල්ලේ සිටින දරුවාට වුනත් “උක්කුං” ,යනුවෙන් හෝ නිවසට එන අමුත්තන් පවා ආමන්ත්‍රනය කරනු ලැබුවා. අද කුඩා දරුවන් වෙනුවෙන් ඒ තරම් පිලිගැනීමක් නැහැ. මව්පියන්ගේ පහසුව වෙනුවෙන් තොටිලි වැටේ ආරක්ෂිතව තබා ගැනීම විනා දරුවා සමජයට හදුන්වා දීමට අද දවසේ මව්පියන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ නිසා නිතරම ඔබ දරුවා සමග සංවාදයන් ගොඩ නගන්නනට උත්සාහ ගන්න. එය දරුවාගේ මානසික සංවර්ධනයට වඩාත් හිතකර තත්වයක් වන්නේ තමා සමග කථා බහට යම් යම් අය එකතු වීම නිසා දරුවා හුදෙකලා වීම නොදැනීම මග හැරෙනු ඇත.

දරුවා කියන දේ වෙනුවෙන් උනන්දු වෙන්න

දරුවා විසින් කරන කතා බහ තුළ ඔබට කිසිම වටිනාකමක් නැති විය හැකිය. ඇතැම් විටෙක මේවාට පිලිතුරු ලබා දිය නොහැකි ප්‍රශ්න විය හැකියි. එදා දරුවන් බොහෝ ප්‍රශ්න පරිසරය ඇසුරෙන් නැගූහ. වළාකුලු යන්නේ කොහැටද……? වැස්ස එන්නේ කොහොමද….? කුරුල්ලෝ රෑට නිදන්නේ කොහේද….? එදවස දරුවන්ට තිබුන ගැටලු මේවාය. ඒත් අද කුරුල්ලෙක් , ගහක් , කොළක් මලක් නොදකින දරුවාට මෙවන් ප්‍රහ්න නැතුවා විය හැකියි. ඒත් අද දවසට ගැලපෙන ප්‍රශ්න තිබිය හැකියි. ඒ වෙනුවෙන් පිලිතුරු දීමට ඔබ සූදානමින් සිටීමත් ඉතා වැදගත්. යම් හෙයකින් දරුවාගේ විමසීම් ඔබ නොතකා හරින්නේ නම් එයින් පෙනී යන්නේ ඔබ දරුවා වෙනුවෙන් හොද සවන් දෙන්නෙක් නොවන බවයි.

දරුවාගෙන්ද ප්‍රශ්න කරන්න

දරුවා වෙනුවෙන් ඔබ හොද සවන් දෙන්නෙක් බැව් තේරුම් යන්නේ  ඔහුගේ සංවාදය වෙනුවෙන් මව්පියන්ද සම්බන්ධ වීමෙන්ය. ඒ නිසා නිතරම ඔබත් දරුවාගෙන් ප්‍රශ්න කරන්න. එවිට තමාගේ සංවාදයට මව්පියන්ගේ දායකත්වය ලැබෙන බැව් පමණක් නොව ඔවුන් ඉතා හොදින් දරුවාට සවන් දුන් බැව් ඔවුන්ට තේරුම් ගනු ඇත. මේ නිසා ඔබත් දරුවාගෙන් යම් යම් ප්‍රශ්න විමසන්න. එවිට තමාගේ සංවාදයේ හොදම හවුල් කරුවා තමාගේම දෙමව්පියන් බැව් දරුවා විසින් තේරුම් ගනු ඇත.

දරුවන් කියන දේ අපහැදිලි වුනොත්…

දරුවන්ගේ සිතුවිලි විටෙක ඔබට තේරුම් ගත හැකි සේ පැවසීම අපහසු අවස්ථාවන් ඇත. තේරෙන භාෂාවෙන් කියන්න…මොකක්ද කියන්නේ කියල මට තේරෙන්නේ නැහැ…මේ විදිහට ඔබේ ප්‍රකාශ සාජු ලෙසින්ම චෝදනා සේ දරුවා වෙත එල්ල වුනොත් එයින් දරුවාට ඇති වෙන්නේ මහත් වූ වෙහෙසකි. තමාගේ අදහස් මව්පියන්ට පැවසීම අවශ්‍ය වුනත් ඒවා තේරුම් ගැනීමට නොහැකිව චෝදනා ලබන විට ඇති වෙන්නේ දැඩි අපහසුතාවයකි. ඒ නිසා නිතරම අපැහැදිලි දෙය සීරුවෙන් පැහැදිලි කර ගනු විනා දරුවන්ට  චෝදනා නොකළ යුතුය.

මටත් ශක්තියක් තිබෙනවා

යම් ලෙසකින් දරුවා තතන තතනා කියන දේ මව්පියන් අසීරුවෙන් වුනත් තේරුම් ගන්නවා නම් දරුවාගේ හිතට කිසියම් ශක්තියක් ලැබෙනු ඇත. මා කියන දේ තේරුම් ගෙන ඒ වෙනුවෙන් කටයුතු කිරීමට මව්පියන් සූදානම් බැව් එහිදී ඒත්තු යන ඇත. මේ නිසා දරුවාගේ හිතේ ගොඩ නැගෙන ශක්තිය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්ද වඩාත් වැදගත් වෙනු ඇත.

කිසිම විටෙක සමච්චල් නොකරන්න

දරුවන්ගේ වාග් කෝෂය ඉතා සීමිතය. මේ නිසා ඔවුන් හිතට එන දේ ඒ අන්දමින්ම ප්‍රකාශ කරනු ඇති. එවන් අවස්ථාවලදී සමච්චල් කිරීම හෝ දොස් නැගීම එතරම් හො  කටයුත්තක් නොවේ. “මම කී දවසක් කියල තියෙනවාද….?” මේ අන්දමින් නැගෙන දෝසාරෝපනයන් කිසිම දිනක එල්ල කරන්න එපා. වේලාවේ හැටියට ඔහුට සවන් දෙන්න. දරුවා කරදරකාරයෙක් යැයි නොසිතන්න.

තරහ මුහුණත් එපා

එකම දේ පුන පුනා අසන විට දෙමව්පියන්ටත් එක්තරා විදිහකට කෝපයක් ඇති වෙනවා ඒත් ඔබ එසේ කෝප ගැනීමෙන් දරුවා අසරණ වෙන නිසා ඉවසීමෙන් ඔවුන්ට සවන් දෙන්න. ඔබ දරුවාගේ සංවාද නොරිසි බව තේරුම් ගිය විට ඔවුන් සියල්ලම හිතේ දරාගෙන සිටිනු ඇත. ඒ නිසා අනාගතයේචිත් දරුවන් සහ දෙමව්පියන් අතර ඇති වෙන සංවාදය ඉතාම සීමිතව වචන දෙක තුනකට සීමා වීමට තරම් තත්වය නරක අතට හැරෙන්නට පුලුවන්.

පාචනය මාරාන්තිකයි… දරුවන් රැකගන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින ආසියාතික රටවල බහුලව දැකිය හැකි රෝග තත්ත්ව අතරට වැටෙන පාචනය පිළිබඳව මව්වරුන් නිසි දැනුවත් බවක් ලැබිය යුතු වන්නේ, පාචන තත්ත්වයට ගොදුරු වන වැඩි පිරිසක් කුඩා දරුවන් නිසාය.

පාචන රෝගය බෝ වෙන්නේ,

පාචනය එහෙමත් නැතිනම් අතීසාරය බහුල වශයෙන් වෛරස හේතුවෙන්ද ඇතැම්විට බැක්ටීරියා හේතුවෙන්ද ඇති විය හැකියි. රොටා වෛරසය සහ ශිගෙල්ලා බැක්ටීරියාව පාචනය තත්ත්වයට හේතු වන විෂබීජ වේ. මෙම රෝගකාරක වෛරස හෝ බැක්ටීරියා බොහෝවිට සිරුරට ඇතුළු වන්නේ අප ලබාගන්නා අපිරිසිදු වූ ආහාර පාන හරහායි.

රෝග ලක්ෂණ : 
  • තද උණ
  • දියර ස්වභාවයෙන් බඩඑළිය යෑම
  • මලපහ සමග රුධිරය පිටවීම
  • වමනය

පාචනය, අතීසාර තත්වයේදී මලපහ සමග ජලය ඉවත්වීම නිසා සිරුරේ ඇති ජල ප්‍රතිශතය පහත බැසීම හේතුවෙන් ඉතා ඉක්මනින් රෝගියා විජලනයට පත්වීම සිදු විය හැකියි. මෙම රෝගයේ අවදානම් තත්ත්වය එයයි. මන්ද මේ හේතුවෙන් සිරුරේ පැවතිය යුතු ලවණ සාන්ද්‍රනයේද වෙනස්කම් සිදුවේ.

රෝගියා විජලනයට ලක්ව ඇති බව හඳුනා ගත හැක්කේ,

  • රෝගී දරුවාට නිතර නිතර පිපාසය දැනෙයි.
  • මුත්‍රා පිටවන වාර ගණන අඩුවේ.
  • දිව, තොල් වියළි ස්වභාවයක් ගනී.
  • සම වියළීම සහ ඇදෙන සුලු බවක් පෙන්නුම් කරයි.
  • දරුවාගේ ක්‍රියාකාරිත්වය අඩු වීම හා මලානික බව.

මෙවැනි තත්වයකදී දරුවාට ලබා දිය හැකි සුදුසුම පානය වන්නේ ජීවනී දියරයයි. අද වන විට දරුවන් වඩාත් ප්‍රිය කරන ආකාරයේ රසයන්ගෙන් යුතුව සැකසී ඇති නිසාම ජීවනී දරුවන්ට ලබා දීම පහසුය. ජීවනී දියරයට අමතරව බත් කැඳ, දොඩම් යුෂ, තැඹිලි වතුර ආදිය ලබා දිය හැකි අතරම ප්‍රෝ බයෝටික් අඩංගු යෝගට් ලබාදීමද වඩාත් සුදුසුය.

මේ සියල්ල නිවැරදි ආකාරයෙන් ලබාදීම ඉතා වැදගත් වන අතරම ප්‍රමාණ පිළිබඳව දැනුවත් වීමට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වනු ඇත. දෙමාපියන් වන අපි නිවසේ රඳවාගෙන දිගින් දිගටම දරුවාට ප්‍රතිකාර කිරීම නුදුසුදු විය හැක්කේ දරුවා අවදානම් විජලන තත්ත්වයට ලක්වුවහොත් හඳුනා ගැනීමට අවැසි දැනුම දෙමාපියන් වන අප සතුව නොතිබිය හැකි බැවිනි. ඒ නිසාම දරුවා වෛද්‍යවරයෙකුගේ පරීක්ෂණයට ලක්වීම වඩාත් සුදුසුය.

මාරාන්තික විය හැකි පාචනය තත්ත්වයෙන් වැළකීමට නම්,

  • පිරිසිදු ජිවන පිළිවෙත් අනුගමනය කරන්න.
  • සනිපාරක්‍ෂක වැසිකිලි භාවිත කරන්න.
  • ආහාර පිසීමට/කෑමට පෙර මෙන්ම වැසිකිලි භාවිතයෙන් පසු සබන් යොදා දෙඅත් සෝදන්න.
  • ආහාර මැස්සන් වැනි කෘමි සතුන්ගෙන් අපවිත්‍රවීමට ඉඩ නොතබන්න.
  • උතුරවා නිවාගත් පිරිසිදු ජලය පමණක් පානය කිරීමට වග බලාගන්න.
  • නොපිසින ලද පලා වර්ග එළවළු වර්ග ආහාරයට ගන්නේ නම් ඒවා හොදින් සෝදා ලුණු මිශ්‍ර ජලයේ මද වෙලාවක් බහා තබා ආහාරයට ගන්නට පුරුදු වෙන්න.
  • වැසි සමයේදී හොඳින් පිසින ලද ආහාර ගැනීමට සැලකිලිමත් වෙන්න.
  • මාර්ග දෙපස ඇති වෙළද සල් වලින් පිසන ලද ආහාර මිල දී ගැනීමෙන් වලකින්න.
  • ළදරුවන්ට මාස හය සම්පූර්ණ වන තෙක් මව්කිරි පමණක් ලබාදෙන්න.
– වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්.ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි –

දෙවෙනි දරු පැටියා ලැබුනම වැඩිමල් දරුවාට සැලකිය යුත්තේ මෙහෙමයි

පවුලකට අලුත් සාමාජිකයෙක් එක්වීම නිසා වැඩිමහල් දරුවා බෙහෙවින් මානසික පසුබෑමකට පත් වෙන අවස්ථාවන් තිබෙනවා. දරුවන්ගේ පැත්තෙන් එය ඉතාම සාධාරන සහ සාමාන්‍ය සිදුවීමක්…ඇත්තටම කියනවා නම් කවුද අකමැති ආදරය ලබන්න. ඒ වුනත් අලුත් දරුවෙක් පවුලට එකතු වුනාම වැඩිහිටියන් වුනත් කියන්නේ පුංචි කමට නොවෙයි ඉරිසියාව…තමන්ගේ සහෝදරයා හෝ සහෝදරියටවත් ආදරයක් නැති හැටි ….ඔබ දරුවාට මේ විදිහට චෝදනා නගනවා නම් එය ඇත්තටම වැරදියි.

අලුත් දරුවෙක් එකතු වුනාම වැඩිමහල් දරුවා අවතැන් වෙනවාද…?

මේ ගැන හොදින්ම දන්නේ වැඩිහිටියන්. එක්තරා අතකින් ඔවුන්ද සාධාරනයි. දරු ප්‍රසුතියෙන් පසුව අම්මාගේ ලෝකය අලුත්. ඇය කායික මෙන්ම මානසික ලෙසින්ද යම් වෙනස්වීමකට පත්ව සිටිනවා. ඒ නිසා නිතරම පවුලේ සෙසු උදවිය හෝ වැඩිමහල් දරුවා සමග කාලය ගෙවන්නට උත්සාහ ගත යුතුයි. එහෙම නැති වුනොත්

“ඉස්සර මට තිබුන ආදරය දැන් නැතැයි” යන ආත්මානුකම්පාවෙන් ඔහුගේ හිත වේදනාවට පත් වීම අරුමයක් නොවේ. මේ තත්වය එතැනින් නවතින්නේ නැහැ. දැන් මට කාත් කවුරුවත්ම නැහැ යන ආත්මීය හෝකයෙන් ඔහුගේ හිත පිරෙනවා. ඒ සියල්ලටම හේතුව අලුතින් පවුලට එක් වුන නංගී හෝ මල්ලී බව තේරුම් යන නිසාම එතැන් පටන්ම බාල දරුවාට වෛර කිරීමට පටන් ගන්නවා. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ ඉතාම කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාම වැදගත්.

ඉතින් පොඩි එකාට නොසලකා ඉන්නයැ…

ඒක ඇත්ත… ඒ වුනත් ඔබ වැඩිමහල් දරුවාගේ හිත කියවීමටත් පුරුදු වෙන්න. ඔහු හෝ ඇය වැඩිහිටියෙක් මෙන් හිතන්නේ පතන්නේ නැහැ. ඒ නිසා අලුත් සාමාජිකයෙක් එක් වෙන බව කල් තබාම දැනුම් දෙන්න. එයින් ඇති වෙන වාසි කියා දෙන්න.

  • දැන් ඔයාටම නංගියෙක් හෝ මල්ලියෙක් ඉන්නවා.
  • පුතාට තනියක් නැහැ.
  • ලොකු වුනාම උදව් කරාවි.
  • නංගිට හෝ මල්ලිට ආදරයෙන් ඉන්න ඕන..එතකොට අපි ඔයාටත් ගොඩාක් ආදරෙයි.

මේ අන්දමින් අලුත් සාමාජිකයා පැමිනෙන පනිවිඩය සමග එයින් ලැබෙන වාසි ගැන කියා දෙන්න. එවිට වැඩිමහල් දරුවාගේ හිතේ කිසියම් වගකීම් සහගත බවක් ඇති වෙනු ඇත.

අම්මයි තාත්තයි ගොඩක් ආදරෙයි

දෙමව්පියන්ගේ ආදරයට සීමාවක් නැහැ. ඒක ඇත්ත වුනත් ඒ බව වැඩිමහල් දරුවාගේ හිතට දැනෙන සේ පෙන්වන්න. ඉස්සරට වඩා ඔහු ගැන අවධානය දෙන්න. ඊට හේතුව දැන් ඔහු අවධානය ගැනීම වෙනුවෙන් විවිධ විදිහට කටයුතු කරනු ඇති. ඒවාට උරන නොවන්න. අපි ඔයාට ගොඩාක් ආදරෙයි…යන්න ඒත්තු ගන්වන්න.

මල්ලිට නංගිට අපි උදව් වෙන්න එපායැ..

දැන් ඔයා ලොකුයි අපිට පොඩි එකා ගැන බලන්න ඕන..අලි බබාලා හුරතල් කරන්න බැහැයි කියමින් කිසිදු දිනක වැඩිමහල් දරුවා ප්‍රතික්ෂෙප නොකරන්න. ඔයත් පුංචි කාලයේ මේ වගේ හිටියේ. අම්මයි තාත්තයි හුගක් මහන්සි වෙලා තමායි පුතා හෝ දුව ලොකු කර ගත්තේ …දැන් ඉතින් අපි නංගිට/ මල්ලිටත් එහෙම උදව් වෙන්න එපැයැ නේද…? යනුවෙන් ඔහුට මේ කටයුතු සාධාරන කර දෙන්න.

වැඩිමහල් දරුවාගෙන්ද උදව් ගන්න

බොහෝ මව්පියන් බාල දරුවාගේ බිහිවීම සමග වැඩිමහල් දරුවා බෙහෙවින් පසුපසට දමන්නේ ඔහු කරදකාරයෙක් ලෙසින් සිතමින්ය. ඒත් ඔබ යම් යම් දෙයට ඔවුන් සහභාගී කරගන්න. ඇතැම් අවස්ථාවන්හිදී බාලදරුවාගේ රෙදි වෙනුවෙන් විෂබීජනාශක දියර ඉසින විට වැඩිමහල් දරුවාද තමාගේ ඇදුම් වෙනුවෙන්ද ඒ ලෙසින් කරන ලෙස ඉල්ලා සිටිනු ඇති. එවිට ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂෙප කොනොට එහෙම නම් පුතා ගිහින් මේ රෙදි ටික ගෙට දාන්නකෝ…ලෙසින් උදව් ඉල්ලා සිටින්න. එවිට තමාටත් නිවසේ තැනැක් ඇති බැව් ඔහු තේරුම් ගනු ඇත.

වැඩිමහල් දරුවාගේ දිනචරියාව වෙනස් නොකරන්න

වැඩිමහල් දරුවාගේ දිනචරියාව බාල දරුවා නිසා වෙනස් වෙන බව දැනුනොත් එයින් ඔහු වඩාත් අප්‍රසාදය ගොඩ නගා ගන්නේ බාල දරුවා සමගය. “මට මේ නිවසේ තිබුන නිදහස, අයිතිය මල්ලි/ නංගි නිසා නැති වුනා..” යැයි සිතීම පෙරලා වෛරයක් බවට පත් වනු ඇත ඒ නිසා නිතරම වැඩිමහල් දරුවාගේ දිනචරියාව වෙනස් කිරීමට උත්සාහ නොකරන්න. බොහෝ දෙමව්පියන් “කෑ ගහන්න එපා… මල්ලි ඇහැරෙයි…ඉක්මනට කන්න…මල්ලි නැගිටියි….දැන් සෙල්ලම් කරන්න එපා මල්ලි නිදාගන්න ලෑස්තියි..” මේ අන්දමින් වාරන පැනවීමට නොයන්න.දරුවන් එය රුස්සන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ පෙරදා පැවැති නිදහසයි..ස්වාධීනත්වයයි. ඒ නිසා ඔබ නිතරම සීමාවන් පනවන්න එපා.

පවුලක් ලස්සන වෙන්න නංගියෙක් මල්ලියෙක් එපායැ…

දරුවන්ට නිතරම තවත් කුඩා දරුවන් ගැන පෙන්වා දෙන්න. දරුවන්ගේ එකතුව වඩාත් අලංකාර බැව් කියන්න. බෝනික්කන් සමග පවා සෙල්ලම් කරන විට තවත් බෝනික්කන් පවුලේ සාමාජිකයන් විදිහට පෙන්වා දෙන්න. එවිට තමා පමණක් නොව මෙම පවුලට තවත් සාමාජිකයන්ගේ පැමිනීම අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් ඉඩ දීම අවශ්‍ය බවත් තේරුම් ගනු ඇත. එවිට නංගියෙක් /මල්ලියෙක් ලද විටක වැඩිමහල් දරුවාද පෙරසේම සතුටින් ජීවිතය ගත කරනු ඇත.

දරුවාටත් සැලසුමක් ඇතුව වැඩ කටයුතු කිරීමට පුරුදු කරන්න

ඔබ දුටුගැමුණු කුමාරයාගේ කථාන්දර බොහෝ අසා ඇති. එයින් එක් කතාවක කියැවෙන්නේ දුටුගැමුණු කුමාරයා කොත්මලේ ප්‍රදේශයේ සිටින විට දිනක් මහලු අත්තම්මා කෙනෙකුගේ නිවසට ගියේ අධික මහන්සිය සහ කුසගිනි දැනුන මොහොතකය. ඒ බව දැන ගත් මහලු අත්තම්මා මේ දුටුගැමුණු කුමාරයා බව නොදැන උණු බත් පිගානක් බෙදා දී ඇත. කුසගින්න නිසා තැනක් නොතැනක් නැතුව බත් පිගානෙන් බත් කන කුමාරයා දැක අත්තම්මා මෙසේ කීවාය..පුතා හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේ කිසිම සැලසුමක් පිලිවෙලක් නැහැ…කී විට ගැමුණු කුමාරාටත් තේරුම් ගියේ තමාගේ සැලසුම දුර්වල බවයි. එතැනින් නික්ම ගිය කුමාරයා පූර්ව සැලසුම් සහිතව කටයුතු කර යුද්ධය ජයගත් අතර ඒ අත්තම්මා වෙනුවෙන් කොත්මලේ ප්‍රදේශයෙන් “අපරැක්ක” යනුවෙන් ගම්වරයක්ද ප්‍රධානය කරන ලදී. මේ සිදුවීම අපටත් අපගේ දරුවන්ටත් සාධාරනය. ඒ නිසා සැලසුමක් ඇතුව කටයුතු කිරීමට දරුවන් බාල කාලයේ පටන්ම පුරුදු කිරීම ඉතාම වැදගත් වෙනවා.

සැලසුම කියන්නේ බර වචනයක්…

වචනය එහෙම වුනත් බාල කාලයේ පටන්ම පිලිවෙලකට වැඩ කටයුතු කලොත් සැලසුම එතරම් අපූරු දෙයක් නොවෙයි…ඒ නිසා කුඩා කාලයේ පටන් ම දරුවන්ට සංවිධානාත්මකව කටයුතු කිරීමට පුරුදු කරන්න. මෙය ඔහුගේ එදිනෙදා වැඩ කටයුතු තුලින් ආරම්භ කරන්න.

සංවිධානය

දරුවන් සෙල්ලම් කරන විට ඔහුගේ ක්‍රිඩා උපකරණ සමීප කර ගැනීමට කියා දෙන්න. ක්‍රිඩාවට පෙරාතුවම අවශ්‍ය දේ එක් රැස් කර ගත් විට එතැනින් ඔබ්බට සෙල්ලම සම්බන්ධ කර ගැනීමට ඔවුන්ට අපහසුතාවයක් නැත. යම් කටයුත්තක් කිරීමට පෙරාතුව අනිවාර්යෙන්ම විය යුත්තේ එයයි. එම පුරුද්ද දරුවාට බාල කාලයේ පටන්ම ගොඩ නැගීමට මව්පියන් උත්සාහ ගත යුතුයි.

එම කාර්යයයේ නිතර වීම

බොහෝ දරුවන්ට තිබෙන ගැටළු අතරින් එකම කාර්යක් වෙනුවෙන් අවධානය දැක්වීමට තිබෙන අපහසුතාවය නිසා ඔවුන්ගේ කටයුතු අවුල් සහගත වෙනු ඇත. එය දරුවන්ගේ සාමාන්‍ය හැසිරීම් රටාව වුනත් මේ පුරුදු ඔවුන් සමග ඉදිරි අනාගතයටත් බලපාන බැවින් නිතරම දරුවන්ට එක් අවස්තාවක එක් දෙයක් වෙනුවෙන් අවධානය දැක්වීමට කියා දෙන්න. හිත අනවශ්‍ය ලෙසින් විසිරී ගිය විට එකදු කාර්යක්වත් සාර්ථක නොවන බව කියා දෙන්න. මේ සංවිධානාත්මක බව ගොඩ නැගීම දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන්ද වඩාත් ප්‍රායෝගික ලෙසින් සම්බන්ධ කර ගැනීමට හැකියාව ඇත. ඇතැම් දරුවන් පංති කාමරයේදී වඩාත් දෝෂාරෝපනයට ලක් වෙන්නේ පාඩම වෙනුවෙන් අවධානය නොදැක්වීම සම්බන්ධවයි. ඒ වෙනුවෙන් වූ හුරුව නිවසේදීම දෙමව්පියන්ට ගොඩ නැගීමට හැකියාව ඇත.

වැඩ අවසාන වූ පසුව ක්‍රිඩාව හෝ පාසලේ වැඩ කටයුතු අවසාන වූ පසුව සියල්ල අස් කර තැබීමට උපදෙස් දෙන්න. සෙල්ලම සමග උපකරණ සියල්ල සී සීකඩ දමා නොයන සේ ඔහු හුරු කරන්න. එසේ අස් නොකරන පුරුද්ද නිසා තමාගේ උපකරණ නාස්ති වීමට , නැති වීමට තිබෙන අවස්තාවන් ගැන කියා දෙන්න. ඒ නිසා කටයුතු අවසානයේදී නිසි තැන තබන්නනට පුරුදු කිරීම දරුවාගේ සංවිධානය සහ සැලසුම් සහගතබව ගොඩ නැගීමට වඩාත් හේතු වේ.

පුරුදු ගොඩ නැගීම පහසු නැහැ

ඇත්තටම දරුවන්ට සංවිධානය සහ සැලසුම වැනි පුරුදු ‍ඇති කිරීම වඩාත් හොද වුනත් මේවා ගොඩ නැගීම පහසු නැහැ. ඒ වගේම එක් රැයකින් කරන්න පුලුවන් දෙයකුත් නොවෙයි. ඒ නිසා ඔබ මුලින්ම දරුවා කරන කටයුතු වෙනුවෙන් ආශාවක් ඇති කරන්න.

සමහර විට අමාරු කාර්යක් නම්

දරුවන්ගේ වයසට අනුව ඔවුන්ට කළ හැකි මට්ටමක් තිබෙනවා. ඒ නිසා ඇතැම් දේ ඔවුන්ට ආරම්භ කරන ලද ශක්තියෙන්ම ඉදිරියට යා නොහැකි නිසා ඔවුන් අතරමගදී අත්හැර දැමීමට පෙළඹෙනු ඇත. එවන් අවස්ථාවලදී ඔබේ සහයෝගය ලබා දෙන්න. අසීරු තැන් ඔබ තේරුම් ගෙන ඒ වෙනුවෙන් අවශ්‍ය ධෛර්ය ලබා දීමට උනන්දු වෙන්න.

සූදානම පටිය, බැජ් , වැනි දේ රාත්‍රියේ සොයා තැබීමෙන් උදේ කාලය ඉතිරි වෙන බව පැහැදිලිව පහදා දෙන්න. බොහෝ නිවෙස්වලින් උදේට ඇසෙන මේ ගෝරනාඩුව ඔබටත් හුරු ඇති…”මගේ මේස් එකක් නැහැ…” “මගේ රිබන් එක කෝ…” මෙවැනි සුලු දෙයින් බොහෝ කාලයක් වැය වෙන නිසා පසුදින උදය වෙනුවෙන් පෙර සූදානම ඉතා වටිනා බැව් කියා දෙන්න.වචනයට වුවත් කියන අවදානමට වඩා සූදානම වැදගත් බැව් දරුවාටත් කියා දෙන්න.

සැලසුමක් වැරදුන විට උදව්වට සිටින බව කියන්න

දරුවා විසින් ගොඩ නගන සැලසුම යම් හෙයකින් වැරදෙන්නට පුලුවන් වුනත් වැරදුන පසුව දොස් නැගීමට නොයන්න. වැරදුන තැනින් ඔබ ඔහුට යා යුතු මග කියන්න. දරුවාගේ සැලසුම තුල ඇති දෝෂ අඩුපාඩු වෙතොත් එය නිවරැදි කරන්න. නොවැටී ඉදිරියට ගිය කෙනෙක් නැත හැම ජයග්‍රහනයක්ම සිදුව ඇත්තේ වැටි වැටී නැගී සිටීම සහ සැලසුමක් සහිතව තම කටයුතු කිරීම නිසා බැව් දරුවන්ටත් කියා දෙන්න. එවිට දරුවා තුලින්ද සාර්ථක සැලසුමක් නැවත නිර්මානය වෙනු ඇත.