පුංචි පුතා ඉකෝලේ යන පළමු දවසේ, අම්මලාට ඔවදන් 5ක්

දරුවෙක් කුස පිළිසි  ගත් දිනයේ පටන් දෙම්විපියන්ගේ ඉදිරි ඉලක්කය වන්නේ තමාගේ දරුවා ජනප්‍රිය පාසලකට යොමු කිරීමයි. ඒ වෙනුවෙන් පිඹුරුපත් හදන දෙමව්පියන්ට ඒ හා සමානවම බලපාන තවත් සිද්ධියක් තිබෙනවා. අම්මාගේ තුරුලෙන් මිදී ළදරු පාසලට හෝ් දිනපතා පාසලට යන දරුවා මුහුණ දෙන ආගන්තුක පරිසරයේදී ඔවුන්ගේ හැසිරීම කෙසේ විය යුතුය යන බැරූරුම් ප්‍රශ්නය දෙමව්පියන්ට ඉතිරි වෙනවා. එසේ නම් ළදරු පාසලට එහෙම නැත්නම් දිනපතා පාසලට යන දරුවා වෙනුවෙන් ඔබ කළ යුත්තේ කුමක්ද…?

අලුත් පරිසරයට හුරුකිරීම

ඔබ බොහෝ විට දරුවන්ට කියන්නේ ඉස්කෝලේ ගියාම තේරෙයි…ගෙදර වගේ නෙවෛයි කෝටු පාර වදියි..මේ විදිහට පාසල මුල් කර ගෙන දරුවාගේ හිතේ තිබෙන අසුබවාදී සංකල්ප නිසා ඔවුන් පාසල යනු රන්දේවාලයක් නොව වධකාගාරයක්ය යන සිතුවිල්ලේ පසු වෙනු ඇත. ඒ නිසා පාසල ගැන විවිධ නරක සිතුවම් මැවීම එතරම් සතුටුදායක කටයුත්තක් නොවේ. අලුත් පරිසරය දරුවාට තේරුම් ගැනීහට ඉඩ දෙන්න.

අඩන්න එපා නොව…. අඩන්නේ ඇයි යන්න සොයා බලන්න

පාසලට යෑමට නොහැකි යැයි දරුවා අඩන විට තරවටු නොකොට ඉතාම සුහදව කටයුතු කරන්න. මුල් කාලයේදී මේ අන්දමින් දරුවා බියක් හෝ තැතිගැන්මක් දක්වනවා නම් ඒ වෙනුවෙන් වූ හේතුවක් තිබිය හැකියි. අපිට නොපෙනෙන නොදකින මෙම මානසිකත්වය දරුවාට ඉතාම දරුණු ලෙසින් බලපෑමට ඉඩ ඇති නිසා දරුවාගෙන් ඒ ගැන විමසා සිටින්න.සමහර විට පංතියේ දරුවන්ගෙන් ඔහුට හිරිහැර විය හැකියි. එසේත් නැත්නම් පංතියේ අකුරු ලියන මැගී බෝඩ් එක හෝ කළු ලෑල්ල නොපෙනෙන අවස්ථාවන් විය හැකියි. ඇස් පෙනුම පිලිබඳ  ගැටළු නිසා ඇති වෙන මෙම දුෂ්කරතාවයන් ඔහු පිට කරන්නේ කඳුළුවලින් විය හැකියි. ඒ නිසා කදුළු පෙරනවා යැයි  බැනවදින්නේ නැතුව දරුවා කඳුලු පෙරන්නේ ඇයි යන්නට අවධානය ලබා දෙන්න.

කෝපය පාලනය කරන්න

දෙමව්පිය තුරුලේ සිටි දරුවා ආගන්තුක පරිසරයේදී ඉතාම ආවේගශීලි ලෙසින් හැසිරීමට ඉඩ තිබේ.සමහර දරුවන් මව්පියන්ට පවා පහර දෙනු ඇත. ගුරුතුමියගේ අත හපාකන තරමටම දරුණු දරුවන් සිටිති. මේ සියල්ලටම පසුබිම් හේතුවක් ඇත. ඔබ මුලින්ම ඒ ගැන විමසා සිටින්න. තරහ ගත් විට දරුවන් අවලස්සන විය හැකි බව ඔහු සන්සුන්ව සිටින විට කියා දෙන්න.ආවේගශීලිව හැසිරෙන විට ඔබත් දරුවාට සාමනව ආවේගශීලි වීම එතරම් නුණට හුරු දෙයක් නොවේ.

දරුවාගේ වචන ගැනත් සැලකිලිමත් වෙන්න

ඇතැම් දරුවන් නිවසේ භාවිතයක් ‍නොමැති වුනත් පාසලේදී පරුෂ වචන භාවිතයට පුරුදුව සිටිති. සමහර විට සමවයස් කණ්ඩායම් වෙතින් මෙම ආභාෂය ලබා ඇත. එසේත් නැත්නම් මීට පෙරාතුව ළදරු පාසලේද ලබා ගත් හුරුවක් විය හැකියි. ඒ අන්දමින් නොගැලපෙන වචන භාවිතය නුසුදුසු බව කියා දෙන්න.

පාසල ගැන ධනාත්මකව කියා දෙන්න

පාසල යනු දරුවාට ඉතාම ප්‍රියමනාප තැනක් බවට සිතුවිලි ඇති කරන්න. උගත මනා ශිල්පය මතු රැකෙන බව කියා දීමට තරම් ඔවුන්ගේ මුහුකුරා නොගියත් අද දරුවා පවා දුකක් නොමැතිව සිටින්නේ මව්පියන් ඉගෙණුම නිසා ලත් ප්‍රතිඵල මත බව කියා දෙන්න. හැමදාම පාසල් යන විට දරුවාට ඉදිරියේ ලැබෙන දේ ගැන සුබවාදිව කියා දෙන්න.

බබාට සෙල්ලම් බඩු ගද්දී මේ ගැනත් හිතන්න…

දරුවෙක් වෙනුවෙන් සෙල්ලම් බඩුවක් මිළට ගැනීමට වෙළඳපොලට යන අපිට ඒ ගැන හිතන්න බොහෝ දේවල් තිබෙනවා. මෙහිදී අපේ හිතට මුලින්ම නැගෙන පැනය වන්නේ අපි මිලට ගන්නා සෙල්ලම් බඩුවට දරුවා කැමැති වෙයිද යන්නයි. ඒත් එය එක් ප්‍රශ්නයක් පමණයි. ඒ වගේම සෙල්ලම් බඩු මිළට ගන්නා විට හිතන්න තවත් බොහෝ දේ තිබෙනවා.

මෙම සෙල්ලම් බඩුව ආරක්ෂා සහිතද…?

දරුවන්ට ලබා දෙන සෙල්ලම් බඩු නිසා ඔවුන්ගේ සෞඛ්‍යයට සහ ජීවිතයට අවදානමක් ඇති වෙනවා නම් අපි ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත් .බැටරි සහිත සෙල්ලම් බඩු දරුවාට දිය යුතුම නැහැ. එක් පවුලක දරුවෙක් තමාගේ පාවහන් යුගලයේ තිබුන ශබ්ද නගා එලිය දැල්වෙන උපාංගයේ තිබූ කුඩා බැටරියක් ගිලීම නිසා දරුණු අන්දමින් රෝගාතුර වුණා. තවත් එක් වාර්තාවකට අනුව සෙල්ලම් ටෙලිෆෝනයේ තිබුන බොත්තමක් ගලවා ගෙන නහයේ දමා ගැනීම නිසා අවසානායේදී ශල්‍ය කර්මයකට පවා භාජනය කිරීමට සිදු වුණා.  ‍ඒ වගේම ලෝම සහිත සෙල්ලම් වලසුන් වැනි දේ දරුවන්ගේ ශ්වසන ආබාධයන්ට හේතු වෙනවා . මේ නිසා නිතරම දරුවන්ට සෙල්ලම් බඩු මිළට ගන්නා විට එහි ඇති විපාක  සහ අනතුරු ගැන සලකා බලන්න.

කල්පැවැත්ම…

දරුවෙක් වෙනුවෙන් මිළට ගන්නා සෙල්ලම් බඩු සදාකාලික ලෙසින් පැවැත්මක් නැතැත් එය දරුවාට නිදහසේ පාවිච්චි කළ හැකි අන්දමින් නිර්මානය වී තිබීම ඉතාම වැදගත්. හා..හා..කැඩෙයි…බි‍‍ඳෙයි කියනවාට වඩා ඉතාම නිදහසේ හැසිරවිය හැකි සේ ලී වැනි දෙයකින් මෙම නිර්මානයන් නිමාවී තිබේ නම් වඩාත් යෝග්‍යයි.

සෙල්ලම් බඩුවේ ක්‍රියාකාරිත්වය

ඔබ දරුවාට ලබා දෙන සෙල්ලම් බඩුව ඔහුට ක්‍රියාකිරීමට හැකි වන සේ නිර්මානය වී තිබේදැයි බලන්න.වැඩිහිටියෙකුටවත්  එම සෙල්ලම් බඩුව ක්‍රියාකරන ආකාරය තෝරා බේරා ගැනීම අපහසු නම් දරුවා මෙම සෙල්ලම් බඩුවෙන් අපහසුතාවයට පත් වෙනු මිසක තෘප්තියක් නොලබනු ඇත. අපේ අපේක්ෂාව වන්නේ කිසියම් වැය බරක් දරා දරුවාගේ සිතට සතුටක් ඇති වෙන සේ ක්‍රිඩා භාණ්ඩයක් ලබා දීම නම් එම අරමුණ මෙතැනදී ඉටු වන්නේද යන්න සැක සහිතය.

දරුවාගේ නිර්මාන ශක්තිය වර්ධනය වීමට උපකාර වෙනවාද…?

කුඩා කාලයේ දරුවාට ලබා දෙන ක්‍රීඩා උපකරණ මගින් ඔවුන්ගේ නිර්මානශිලිත්වය වර්ධනය වන්නේද යන්න ගැනත් අපි සිතීම වැදගත්. මනෝවිද්‍යාඥයින් විසින් පෙන්වා දෙන අන්දමට දරුවෙක් වෙනුවෙන් සෙල්ලම් බඩු තෝරා ගැනීමේදී ඔබට මෙම උපකරණ ගැනත් අවස්ථාව ලබා දෙන්න.

කායික වර්ධනය වෙනුවෙන්

  • ඉදල්, කොසු, වතු උපකරණ, බෝල, මුහුදේ සෙල්ලම් කරන උපාංග ආදිය

ඇස්, කන්, රස, සුවඳ  උත්තේජනය වෙනුවෙන්

  • සංගීත භාණ්ඩ, සබන් බුබුළු, ජිග්සෝ ප්‍රහේලිකා, පින්තූර ප්‍රහේලිකා, වතුරර සහ වැලි සමග සෙල්ලම් කරන උපකරණ

නිර්මාන ශක්තිය වෙනුවෙන්..

  • මැටි, ක්ලේ, පාටපැන්සල්, පැස්ටල්

සමාජ සම්බන්ධතාවයන් වෙනුවෙන්

  • බෝනික්කන්, ඇදුම්, තේ සාදන උපකරණ සහ සෙලල්ම් බත් පිසින උපකරණ

ගවේෂනාත්මක හැකියාවන් වර්ධනය වෙනුවෙන්

  • ගලවා නැවත සවි කරන, අදින සහ තල්ලු කරන ක්‍රිඩා භාණ්ඩ

ඥානාත්මක කාර්යයන් වර්ධනයට

  • පොත් පත්, පින්තූර කාඩ් සහ කථාන්දර කාඩ්පත් සහ විවිධ පත්‍රිකාවන්
දරුවන්ගේ සෙල්ලම් වෙනුවෙන් වැඩිහිටියන්ගේ සහභාගීත්වය කෙසේ විය යුතුද…?

දරුවන් සෙලල්ම් කරන විට ඔබ කිසිම දිනක ඔවුන්ට බාධාවක් නොවන්න. සෙල්ලම් කරන දරුවන්ට ස්වාධීනව සෙල්ලම් කිරීමට ඉඩ සලසා දීම ඉතාම වැදගත්. කේමබ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ( ඩේලි මේල්) “ඩේවිඩ් වයිට් බ්‍රෙඩ්” සඳහන් කරන අන්දමට දරුවන්ගේ ළමා ලෝකය ඉතාම සුන්දරයි. බොහොම විසිතුරුයි. විසිතුරු ලෝකයේ මැවෙන නිර්මානශීලි අදහස් වෙනුවෙන් අපි මැදිහත් විය යුතු නැහැ. වැඩිහිටියන් මැදිහත් වුනාම දරුවන්ගේ නිර්මානශිලිත්වය ප්‍රදර්ශනය වෙන්නේ නැහැ.දරුවන් සෙල්ලම් කරන විට ඔබ ඔවුන්ගේ දෙබස් අසා සිටින්න. ඔවුන් මොන තරම් නිර්මානශීලීද යන්න ඔබටත් සිතෙනු ඇති. එහෙත් ඔබ ඔවුන්ට මැදිහත් වුනොත් කිසිම ලෙසකින් මේ විවෘත අදහස් ඔවුන් වෙතින් පිලිඹිමු නොවනු ඇත.

අපේ වැඩිහිටියන් දරුවන්ගේ සෙල්ලම් වෙනුවෙන් බාධා පමුණුවන්නේ ඔවුන්ට අනතුරක් වෙතැයි යන බිය නිසා බව ඇත්ත.සරුංගල් කාලයට විදුලි සැර වැදිලා..ඔන්චිල්ලාවේ ලණුව පැටලිලා..මේ විදිහට වෙන අනතුරු ගැනත් අවධානයෙන් සිටීම වැදගත්. එහෙම නැතුව සෙල්ලම් කඩයක්..වැලි බත් ඉවීම..වැනි කටයුතු දැක්කාම මහ අපරාධයක් විදිහට කෑ ගැසීම වැරදියි. ඉස්සර කාලයේ අද වගේ වෛවාරන දේ නොතිබුනත් දරුවන් සෙල්ලම් බත් පිසින විට අම්මා තමන්ගේ මුලුතැන්ගෙයින් පොල්කුඩු, කැපෙන එලවළු ලබා දුන්නා. පොල්පිත්තෙන් ගොනුන් කපා දෙන්න, පැපොල් බටෙන් නලා හදන්න, කුරුම්බා ඇට්ටියෙන් මැෂින් හදන්න වගේකටයුතු වලින් දරුවන්ගේ සෙල්ලමට අප්පච්චි සහය දුන්නා මිස ඒවාට සෘජු විදිහට මැදිහත් වුනේ නැහැ.එලිමහන් පරිසරයක ඉතාම නිදහසේ දර්ශණීය පරිසරයක සෙල්ලම් කරන විට දරුවන් අනාගතයේදී තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය හැකියාව ගොඩ නගා ගන්නා බව මෙම අධ්‍යනයේ සහය කර්තෘ කොලරාඩෝ මානසික සහ ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්ය “යුකෝ මුනකාටා” සඳහන්  (ඩේලිමේල්) කර සිටිනවා.

මේ ඔබේ දරුවා ගැන විය හැකියි.. පොඩ්ඩක් කියවලා බලන්න

පුංචි දරුවන්ට මොනවා කියලා තේරෙනවද? අම්මලා දෙන එක අඳිනවා, අම්මා දෙන එක කනවා, නැත්නම් ඉතුරු කරගෙන යනවා.  පිරිසිදු අපිරිසිදු කියන දේ ගැන ඒ හැටී දැනීමක් පුංචි දරුවෙකුට නැ. එයාල ප්‍රතික්ෂේප කරන්නේ එයාලා අකමැති දේවල්.

මල් වගේ ලස්සනට සැරසිලා පෙර පාසැලේ විනෝද චාරිකාව යන්න මගේ දියණියගේ පෙර පාසැලේ පුංචි දරුවෝ ටික බොහොම සැප පහසු වාහනයකට ගොඩ උණා. හැම දරුවෙක්ගේම අම්මා හරි තාත්තා හරි අනිවාර්යෙන්ම ඒ ගමනට සහභාගී විය යුතුව තිබුණා. ඉතිං මගේ දුවත් එක්ක මටත් විනෝද චාරිකාවට යන්න සිද්ධ උණා. අනේ පොඩි දුරක් යද්දී මේ පැටවූ එක්කෙනා දෙන්නා දෙමාපියන්ගේ උකුළුවල නින්දට වැටුණා. විනෝද චාරිකාව වැඩි දුරකට නොවුනත් පුංචි දරුවෝ ඉතිං එහෙමනේ. අම්මලා තාත්තලා හිනා වෙන්න ගත්තා “මෙන්න කට්ටිය ට්‍රිප් යන හැටි” කියලා.

ඔහොම ගිහින් උදේ කෑමවලට බොහොම ලස්සන තැනක වාහනය නැවැත්තුවා. ඒ උද්‍යානයේ තිබුණු බැංකු වල වාඩි වෙලා අම්මලා තාත්තලට තුරුළු වෙලා, නිදි ගැට කඩ කදම වගේ දරුවෝ ටික අම්මලාගේ බල කිරීමට කෑම කන්න කටවල් ඇරියා. ඔය අතරේ පුංචි දුවක් අඩන්න පටන් ගත්තා. පොඩ්ඩක් හොයලා බැලුවමයි දැන ගත්තේ, එයා අම්මව ඕනේ කියලා තමයි මේ තාත්තා එක්ක පොරේ. මොකක් හරි හේතුවක් උඩ  අම්මට එන්න බැරිව වෙන්න ඇති දරුවා තාත්ත එක්ක එවල තියෙන්නෙ. කොහොම හරි ඒ තාත්තාගෙන් දරුවාව අරගෙන කෑම පෙට්ටියත් එක්කම මගේ දුව ළගට එක්කගෙන ආවේ අඩන දරුවා යාළුවා ළඟ සතුටින් කෑම එක කාවි කියන සිතුවිල්ල ඇතිව.

ඒ පුංචි දුවගේ කෑම පෙට්ටිය ඇරලා මම පියන පැත්තකට තියද්දීම දැකපු දේ ඇත්තටම මගේ හිතට ගෙනාවේ හරි කලකිරීමක්. මේ පුංචි දරුවාගේ කෑම පෙට්ටි පියන වටේටම කළු පාටට කුණු එකතු උණු තීරුවක් මම දැක්කා. ඉතිං මොනවා කරන්නද? මම ඒක එහෙමම තියලා දරුවාගේ අම්මා හදලා එවපු සැන්විච් එකක් අරගෙන කවන්න ලෑස්ති උණා, මේ පුංචි දරුවා එකපාරටම ආයේ අඩන්න ගත්තා. ඒ ඇයි කිවම එය කිවේ “මට එපා ආන්ටි, අම්මා ඒකට දයියා දාලා. මට කන්න බැ” කියලා.

පාන් පෙති දෙක ඇරලා බැලුවමයි මමත් දැක්කේ, ඒ සැන්විච් එක ඇතුලේ අමුමිරිස් ගොඩක්. ඒ මදිවට ගම්මිරිසුත් දාලා.

අපේ දරුවන්ට පොඩ්ඩ පොඩ්ඩ සැර ජාති කන්න පුරුදු කරන්න ඕනේ. ඒත් හැම අම්මා කෙනෙක්ම දන්නවා තමන්ගේ දරුවට කන්න පුළුවන් කොයි ප්‍රමනෙක සැරක්ද කියන එක. ගෙදරදී මේ වගේ දුන්නත් ගමනක් බිමනක් පිටස්තර පිරිසක් එක්ක යද්දී අම්මටත් සහභාගී වෙන්න බැරි නම් පුංචිම පුංචි අපහසුවක්වත් දරුවට නොවෙන විදියට සැලසුම් කරන එක අම්මලා විදියට අපේ වගකීමක්. ඉතිං මගේ දුවගේ කෑම එකෙන්ම මම ඒ දරුවටත් කැව්වා. එයා බොහොම සතුටෙන් කෑම කෑවා.

ඊළගට ඒ දරුවාගේ වතුර බෝතලේ. බෝතලේ ස්ට්‍රෝ එකේ ඇතුළු පැත්තෙන් බබා බොන තැන කළුම කළු පාටයි. මම දන්නේ නැ එහෙම වෙන්නේ කොහොමද කියන්න නම්. බෝතල් මුඩියෙත් දාරවල කළු පාටට කුණු බැඳිලා. අනේ ඒත් ඒ දරුවා ඒක අරගෙන බිව්වා. ඒ විතරක් නෙවෙයි, කෑම පෙට්ටිය ඔතපු සර්වියට් එකේ, ඇලිළා වේලුනු බත් ඇටත් තිබුණා.

මේ හැමදේම ඉවර වෙලා අපි ආයෙත් ගමන ආරම්භ කළා. ඔන්න ඉතිං මේ දරුවා එයාගේ තාත්ත ළඟ යනවට වඩා එයාගේ යාළුවා උණු මගේ දුව ළඟ යන්න කැමති උණා. ඉතිං දෙන්නම බොහොම සතුටින් හිනා වේවි ගමන පටන් ගත්තා. ඔන්න ටික දුරක් යද්දී ආයෙම දෙන්නට නිදි මතයි. සීට් එකේ මැද්දට ඇවිත් දෙන්නාගේ ඔළු දෙක දෙපැත්තෙන් උකුලට තියාගත්ත මම අත්දෙකෙන් දෙන්නව අල්ලාගෙන ජලෙලෙන් එලිය බලාගෙන මේ අහිංසක දරුවා ගැන කල්පනා කළා. හිතට ආපු දුකත් එක්කම ඒ අම්මා මොන තත්වයේ ඉන්නවද කියලා අපි දන්නේ නැනේ කියන සිතුවිල්ල නැවත මාව ඒ දරුවා ලෙස බලන්නට යොමු කළා. ඒ සුරතලියගේ මුහුණට වැටී තිබුණු කෙස් රොදක් ඇඟිල්ලෙන් කන පිටිපස්සට කල මා දුටුවේ ඇයගේ පුංචි කන් පෙත්තයි. ඇගේ කන්පෙත්තේ කුණු පිරී කළු පහ ගැන්විලා. මාස ගණනකින් ඇගේ කන් පෙති පිරිසිදු කර නැත.

ඇත්තටම අපි අම්මලා විදියට හැමනිතරම හිතේ තියාගන්න ඕනේ එක දෙයක් තියෙනවා. දරුවෝ මේ ලෝකෙට එන්නේ, අපේ බලාපොරොත්තුවක් ඉටු කරන්න. ඒ අපේ කැඳවීමෙන්. මහමෙරක් තරම් දුක් දොම්නස් පිරුණු මේ ලෝකෙට ඔවුන්ව කැඳවන්නේ අපේ ඒ බලාපොරොත්තුව. අන්න ඒ නිසාවත් දරුවන්ට අපෙන් විය යුතු දේ අකුරටම ඉටු කළ යුතුයි. මේ පුංචි නොදරුවන් සමාජයේ අනුකම්පාව  භාජනය වීමට ඉඩ නොදිය යුතුයි. ඒ නැතත් පිරිසිදුකම දරුවෙකුට අත්‍යවශ්‍ය සාධකයක් බව තරයේ සිහිතබා ගත යුතුයි.

අලුත් අවුරුද්දක් ඇවිත්

කැලැන්ඩරයේ කොළ ගිලිහී තවත් අලුත් අවුරුද්දක් ලබන විට ඒ ගැන දෙයාකාරයකින් හිතන අය ඉන්නවා. සමහර අය කියන්නේ ඔව් ඉතින් …අවුරුද්දක් කියන්නේ අපේ වයස ගෙවෙන එකනේ..තවත් අය හිතන්නේ අවුරුද්දක් ගෙවුනා..තව අවුරුද්දක් ආවා..ඒක සාමාන්‍ය දෙයක් …ඒත් අලුත් අවුරුද්දට අපි අලුත් විදිහට අපේ ජීවිතය හැඩගසා ගන්න උවමනායි.. මේ කථාන්දර දෙකම ඇත්ත. ඒ වුනත් අනේ ඉතින් අපි මැරෙන මිනිස්සු නේද කියල සෘන විදිහට හිතනවාට වඩා ජීවත්ව ඉන්නා තෙක් හොදින් ඉන්න පුලුවන් නම් මොනතරම් අගෙයිද.. ඒ තැනට පත් වෙන්න අපිට බැරි කමක් නැහැ. කෙනෙකුට එහෙම හිතන්න අපහසු වුනත් ඔන්න එළැඹෙන වසරේදීවත් මේ ගැන හිතන්න…

ගෙවුන වසර ආවර්ජනය කරන්න

වසරක් ගෙවුන විට ඔබ නැවත ගෙවුන වසර ගැන ආපසු හැරී බලන්න. බොහොම දෙනෙක් කියන්නේ අතීතය ගැන හිතල වැඩක් නැහැ කියල වුනත් අපි මෙතැනදී ගතවුන කාලය ගැන හිතන්නේ වෙන කිසිම දෙයක් නිසා නොවෙයි..අනාගතය අපිට අවශ්‍ය විදිහට හැඩගසා ගැනීමට බව අමතක කරන්න එපා…සමහර විට ගතවුන වසරේදී ඔබේ ඉටු නොවුන බලාපොරොත්තු ඇති. ඒ නිසා ලබන්නා වූ වසර තුළ ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගන්න.

සැලසුම් සහගත වෙන්න

සැලසුමක් නැතුව අපිට කිසිම දෙයක් කරන්න බැහැ අවුරුද්දක් කියන්නේ අසුරු සැනින් ගෙවෙන කාලයක්. මේ කෙටි කාලයට අනුව ඔබේ අපේක්ෂාවන් ගලපා ගැනීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඔබ සැලසුම කාලරාමුව සමග ගලපන්න.උදාහරණයක් විදිහට පවුලේ දරුවෙක් විභාගයට සූදානම් වෙන බව හිතන්න. ඒ වෙනුවෙන් වූ කාලය ගැන දැනටමත් ඔබ දන්නවා ඒ නිසා දරුවාට අවශ්‍ය අතිරේක පංති, පොත් පත්, පසුගිය විබාග ප්‍රශ්න පත්‍ර ආදිය ලබා දිය යුතු කාලය ගැන සැලසුම් ගොඩ නගනන්. දෙසැම්බර් මාසයේ විභාගය ලියන දරුවාට අවශ්‍ය පොත් පත් නොවැම්බර් අවසානයේදී නොව ජනවාරියේදී ලබා දෙන්න. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ලබා දිය යුත්තේ ජනවාරියේදී නොව නොවැම්බර් මාසයේදී බව හිතන්න. මේ අන්දමින් කාලයට අනුව ඔබේ අවශ්‍යතාවයන් ගලපා දෙන්න.

සමාජශීලිත්වය

රටේ ලෝකයේ ජීවත්වෙන විට ඔබ මාවත් මගේ පවුලත් රැකුනොත්යන සංකල්පයෙන් මිදෙන්න. අසල්වැසියාගේ මෙන්ම නෑ හිතමිතුරන්ගේ දාන, මගුල් වැනි දේ ගැන දැනටමත් දැණුම් දීමක් ලැබී තිබෙන්නනට පුලුවන්. ඊට අමතරව අවමංගල්‍යන් ගැන අනපේක්ෂිතවත් පණිවිඩ ලැබේවි. මේ සියල්ලටම ඔබ සහභාගී වීම අවශ්‍ය වෙනවා. අනේ නිවාඩු තිබුනේ නැහැ…කියනවාට වඩා වසර මුලදීම ඔබේ දිනපොතේ මේ ගැන සටහන් තබා ගන්න. එවිට කිසිම ගැටළුවක් නැතුව ඔබට මේ අවස්තාවන් වෙනුවෙන් සහබාගී වීමට පුලුවන්කම ලැබෙනවා විතරක් නොවෙයි, සුහදතාවය ගොඩ නනගා ගැනීමටත් අපහසුවක් නැහැ.

විනෝදංශයක් වෙනුවෙන් කාලය යොදවන්න

බොහෝ දෙනා කියන්නේ ජීවිතය හරිම වෙහෙසකර බවයි. මේ වෙහෙසකර සිතුවිලි නිසා ඔබ නොදැනීම සිරුරෙන් වෙහෙසකර හෝර්මෝන නිදහස් වීමත් සමග විවිධ ශාරිරික හා මානසික රෝගාබාධයන්ට ගොදුරු වීමට තිබෙන ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා ජීවිතයට මොනයම් හෝ විනෝදාංශයක් තෝරා ගන්න. ඒ වෙනුවෙන් මුදල් වැය වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය වන්නේ ඔබ කරන දෙය විනෝදයක් විදිහට සිතීම පමණයි. බොහෝ උදවිය මල් වැවීම, සතුන් ඇති කිරීම, ඉවුම් පිහුම්, අත්කම් වැනි කටයුතුවල යෙදෙන්නේ විනෝදාංශයක් විිහටයි. මේ නිසා නිවස ලස්සනට , පිලිවෙලට තබා ගැනීමට වගේම අතිරේක ආදායමක් ලැබීමටත් පුලුවනි.

නිවාඩුවක් වෙනුවෙන් කාලය තෝරා ගන්න

මව් දෙමව්පියන් විදිහට ඔබට වගේම පවුලේ දරු මල්ලන්ටත් නිවාඩුවක් අවහ්‍ය වෙනවා. අද කාලයේ ජීවිතය හරිම එකාකාරයි. මේ රටාවෙන් අපි මදකට හෝ මිදෙන්න අවශ්‍යි. අපේ ජීවිතය අලුත් වෙන්නේ එවිටයි. මේ නිසාම ඔබ කෙසේ හෝ නිවාඩුවක් වෙනුවෙන් කාලය තෝරා ගන්න. අපි පුරුදුව ඉන්නේ වැඩ..වැඩ දින.තුන්සිය  හැටපහත් මදි…එහෙම නැත්නම් අනේ අපිට හුස්ම ගනන්වත් වෙලාවක් නැහැ කියන කටපාඩම් වුන වාක්‍ය කීපයක් පමණයි. එයින් මිදී නිවාඩුවක් වෙනුවෙන් කාලය තෝරා ගන්න.අඩුම වශයෙන් මුහුදු රැළ බලන්න, සත්තු වත්තට හෝ යෑමට දිනයක් ඉදිරි කැලැන්ඩරයෙන් අදම වෙන් කර ගන්න. දරුවන්ගේ අතිරේක පංති, ඔබේ කාර්යාලයේ වැඩ කටයුතු වැනි දේ සමග මනා ගැලපීමකින් පසුව මේ දිනයන් කල් තබාම වෙන් කර ගත හැකියි.

ව්‍යායාමවලත් යෙදෙන්න

අපි මේ දවසේ කරන වැඩ කටයුතු හොදටෝම ඇති කිව්වත් අපි අද දවසේ කරන වැඩකටයුතු වලින් සිරුරට කිසිම ව්‍යායාමයක් ලැබෙන්නේ නැහැ.සිරුරෙන් දහඩිය වැටෙන කටයුතු වලින් සිදු වෙන යහපත් රුධිර සංසරණය නිසා මොළයට ඉතා හොදින් ඔක්සිජන් ලැබෙනවා.එය මානසික සෞඛ්‍යයට හේතුනක්. අද බොහෝ දෙනාට තිබෙන්නේ හිතේ ලෙඩ. හිත ගිලන් වුන අයට වඩාත් හොඳ මානසික ‍සෞඛ්‍යක්ලබා ගැනීමට ව්‍යායාම වඩාත් ඵලදායක විදිහට යොදා ගැනීමට පුලුවන්.

ආගමික කටයුතුවලටත් යොමු වෙන්න

ඉස්සර කාලයේ උදවිය සඳහන් කල අන්දමටම ආගමික කටයුතුවල නිරත වුනාම මෙලොව පරලොව දෙලොව වැඩ සිද්ධ වෙනවා. අද බොහෝ දෙනාගේ සිතුවිලි ඉතාම අයහපත් විදිහට ක්‍රියා කරන්නේ ආගමික කටයුතුවල නිරත නොවන නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා ඔබ කුමන ආගමක වුනත් තම ආගමට අදාලව වත් පිළිවෙත්වල යෙදෙන්න. ප්‍රායෝගිකව විවිධ ආගමික කටයුතුවල දරුවන් සමග සම්බන්ධ කරන්න.

කනස්සල්ලෙන් මිදෙන්න

අපි කිසිම කෙනෙකුට අවශ්‍ය සියලුම දේ ජීවිතයේදී ලැබෙන්නේ නැත.නොලැබුන දෙයට වඩා ලැබුන දේ ගැන තෘප්තිමත් වෙන්න..මිරිවැඩි සගලක් ඉල්ලා ඇඬුවෙමි….පා යුග නැති ඔහු දකින තුරා යනුවෙන් නොලැබෙන දෙයට වඩා තමාගේ තරමට තමා ලද දේ ගැන සෑහීමෙන් හිතන්න. අනුන් කරන දෙය නොව ඔබට හැකි දේ කරන්න. එවිට කනස්සලක් කිසිම දවසක ඇති නොවෙන්නට තම් ඔබේ ජීවිතය වාසනාවන්ත වේ.

සුබවාදීව සිතන්න

වසරක් ගෙවී තවත් වසරක් එලැඹීම අපට වලක්වා ගත නොහැකියි. ඒ නිසා අනේ අපේ ජීවිතය එන්න එන්නම කෙටි වෙනවා යැයි නොසිතන්න. එය අපිට පාලනය කළ නොහැකි හේතුවකි. ඒත් ඉන්නා කෙටි කාලය ඉතාම ඵලදායක ලෙසින් යොදවා ගැනීම එතරම් අපහසු නැත.නැපෝලියන් බොනපාට් සදහන් කළ අන්දමට නැහැ…බැහැ…යන්න ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න. ඔව්..එය මට කළ හැකියි…සිතන්න. සිතුවිල්ල පමණක් ප්‍රමාණවත් වන්නේත් නැත. ඒ අනුව යමින් කටයුතු කරන්න එළැඹෙන හැම දවසක්ම ඉතාම හොදින් ගෙවුන බවට සහතිකයක් ඇත්තේ නම් ඔබ ජීවිතය දිනුවා වෙනු ඇත.

වරද කාගේද? අලුත් අවුරුද්දේ දෙපැත්තෙන්ම හිතමු…

එදා 2017 අන්තිම දවස. ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනිදා. මොන විදියට අලුත් අවුරුදු ආවත් අපේ දරුවන්ට ලෙඩ දුක් ඇති වෙන එක ඉතින් නතර වෙන්න හාස්කමක් වෙන්නම ඕනේ. මොකද නහය බුරුල් නොවුණු දවස් ගාන අතේ ඇඟිලිවලින් ගණන් කරන්න පුළුවන්. එහෙම තමයි, පුංචි ළමයි දුවලා පැනලා සෙල්ලම් කරනවා. මඩ දූවිලි අත පත ගානවා. ඉතින් ඔයාලටත් මගේ මේ අත්දැකීමට අනන්තවත් මුහුණ දෙන්න සිද්ධ වෙලා ඇති. ඒත් මේ මම කියන්න යන්නේ පුංචි දරුවෝ ගැන නම් නෙවෙයි. පුංචි දරුවෝ අපිට ඕනේ තැනට අරගෙන එන්න අපේ හැසිරීම ගති පැවතුම් වෙනස් වෙන්න ඕනේ විදිය ගැනයි.

ඔන්න ඉතිං මම අර මුලින්ම සඳහන් කරපු දවසේ, මම සුපිරි වෙළඳ සැලකට ගොඩ වැදුණා, මොකද දුවට ලැබුණු වෛද්‍ය උපදේශය අනුව ඔහු සඳහන් කළ වෙළඳ නාමය යටතේම අවශ්‍ය ඖෂධ ලබාගත යුතුව තිබුණ වගේම තවත් දේවල් කිහිපයක් මට මිලදී ගැනීමට අවශ්‍ය වුනු නිසා. වෙළඳ සැලට ඇතුළු වෙන තැන ඉඳලම සෙනඟ පිරිලා හිටියේ හරියට එදායින් පස්සේ ලෝකේ හැම වෙළඳ සැලක්ම වහලා දානවා කියලා ප්‍රචාරයක් ගිය ගානට. කොහොමින් කොහොම හරි මගේ බඩු ටිකත් අරගෙන මමත් බිල ගෙවන්න පෝලිමට එකතු වුණා.

මෙතන තිබුණු කැෂියර් කූඩුවේ පහෙන් එකක් වහලා. මෙච්චර සෙනඟ ඉන්න වෙලාවක ඒ වගේ වීම ගැන හිතෙන් බැන බැන ඔහේ බලාගෙන හිටිය මම එක පාරටම දැක්කේ, ඒ කැෂියර් කුඩුවටත් තරුණයෙක් පැමිණ මගේ ඉදිරියේ සිටි මැදි වයසේ පිරිමි පුද්ගලයෙකුට එතනට එන ලෙස හිසෙන් ඉඟි කිරීමයි. ඒත් එක්කම කඩි ගුලක් මෙන් ඇවිස්සුනු මගේ පෝලිමේ හිටි අය ඒ කැෂියර් කූඩුවට මාරු වුණා. මා සමග මගේ පිටු පසින් හිටි එක් පිරිමියෙක් අලුත් කැෂියර් කුඩුවේ ඉදිරියෙන් තැනක් ලැබුණු නිසාදෝ මම දිහා බැලුවේ “ඔයා පිටිපස්සේ, ඔයාගේ පිටිපස්සේ හිටිය මම මෙන්න ඊළගට බිල ගෙවනවා” වැනි ජයග්‍රාහී බවක් මුහුණට මවාගෙනද කියලත් මට හිතුණා.

වෙන්න පුළුවන්, පෝලිමේ ඉස්සරහ හම්බවෙන එක, බස් එකේ කෝච්චියේ සීට් එකක් අල්ල ගන්න එක ජිවිතේ ලබන්න පුළුවන් ලොකු ජයග්‍රහණ කියලා හිතලා සතුටු වෙන මිනිස්සු ඕනේ තරම් මට මුණගැහිල තියෙනවා. ඉතිං මේකත් ඒ වගේ නේද කියලා හිත යටින් හිනා වේවි මම පිටි පස්සට හැරුනේ කිසිම හේතුවකට නම් නෙවෙයි. ඒත් දරුවෙකුත් කුසේ දරාගෙන බඩු කිහිපයක් අර අතේ එල්ල ගන්න තියෙන බෑග් එකේ දාගෙන ඔසවාගෙන බිල ගෙවන පෝලිමේ කෙලවරේම හිටිය කාන්තාව ළඟ මගේ ඇසුත් හිතත් නැවතුණා. මම ඇයට මා සිටි ස්ථානය ප්‍රදානය කොට අගේ ස්ථානයට මාරු වෙන්නට තත්පර දහයක්වත් ගත වෙන්න නැතිව ඇති. ඒත් සිද්ධිය දැක දැකත් මගේ ඉදිරියේ සිටි කාන්තාවන් හෝ පිරිමින් කිසිවෙකුත් ඇයට ඉන් එහා ඉදිරියට යන්නට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. හිටි තැනින් තවත් පස්සට වැටුණු මම අර ජයග්‍රාහී පුද්ගලයා තම බිල ගෙවා පිටව යන ආකාරය බලාගෙන හිටියා. එකකට එකක් නොගැලපෙන සිතිවිලි ගොඩක් අස්සේ මට හිතුණා අර දරුවා ලැබෙන්න ඉන්න අම්මා, “බඩු නොදැම්මත් අතට බරක් දැනෙන ඒ යකඩ මල්ල” තෝර ගත්තේ ඇයි කියලා. ට්‍රොලියක් ගත්තා නම් ඇයට එය පහසුවක් වන බවත් ගැබිනි මවක් නිසා බඩු දෙක තුනක් දාන්න ට්‍රොලිය ගැනීම සම්බන්ධයෙන් කිසිවෙකුත් කිසිවක් නොසිතයි නේද කියලත් මට හිතුණේ අපේ බොහෝ දෙනෙක් “මිනිස්සු අරෙහෙම හිතයි මෙහෙම හිතයි” කියලා තමන්ගේ අවශ්‍යතාවලට දෙවෙනි තැන දෙන නිසයි. ඒ වගේම දරුවා ලැබෙන්න ආසන්නයේ සිටින බව පෙන්වන ඇගේ කුස දැක්කම “මේ බඩු ටික ගෙනියන්න එන්න ගෙදර වෙන කෙනෙක් හිටියෙම නැද්ද ?” කියලත් මට හිතුණා. ඒත් අයගේ සැමියා නිවසින් දුර බැහැර රැකියාවක නිරත වෙනවාද කියලා අපි දන්නෙත් නැනේ. මම මගේ හිතින් ඇය සිටින තත්ත්වයට අගේ වටපිටාවෙන් නොලැබුණු සහයෝගය සාධාරණීකරණය කළා.

මේ අපේ සමාජය, ඒ අම්මගේ කුසේ උපදින්න ඉන්න අපේ අනාගතය… ඉතිං අපට යුතුකමක් නැද්ද?

ඔව්…. අනිවාර්යෙන්ම අපේ අනාගතය වෙනුවෙන් අපිට යුතුකම් කොටසක් තියෙනවා. හිතන්න, ඒ ඔබේ බිරිඳ, දුව, නැගණිය කියලා. කවමදාකවත් ඇයට මේ ආකාරයෙන් පෝලිමේ ඉන්න ඔබ ඉඩ තියනවද? නැහැ. කිසිම විටෙක ඔබ ඇය දෙස නොබලා ඉන්නේ නැහැ. මිනිස්සු විදියටත් ආයතන විදියටත් අපේ සමාජ මෙන්න මේ තැනවලදී පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ නේද? වෙළඳ සැලෙන් ඒ මවට ඉක්මනින් බිල ගෙවන්න අවස්ථාව ලබා දුන්නා නම් ඒක අපේ මේ සමාජයටත් හොඳ පාඩමක් වෙනවා. ගැබිනි කාන්තාවක් විතරක් නෙවෙයි, අබාධ ඇති අය, වැඩිහිටි අය අපට සමාජයේ අනන්තවත් මුණ ගැහෙනවා. ඉතිං ඒ වගේ අය වෙනුවෙන් සමාජය යමක් කළ යුතුයි කියලයි මගේ අදහස.

ඒත් මේ සම්බන්ධයෙන් හිතන්න තවත් පැත්තක් තියෙනවා. බලන්න ඔබ මොනවද මේ ගැන හිතන්නේ.

පොඩ්ඩක් හිතන්න, මාතර කොළඹ බස් රථයකට දෙහිවල, රත්මලාන හරියෙන් මාතරට යන ගැබිනි කාත්නාවක්, දරුවෙක් වඩා ගත්ත අම්ම කෙනෙක්, අබාධිත හෝ වයසක පුද්ගලයෙක්  ගොඩ වුනොත් මොකද කරන්නේ, සීට් එක දෙන කෙනා මාතරටම හිටගෙන යන්න ඕනෙද? මෙන්න මෙතැනදී සාධාරණ ගැටළුවක් මතු වෙනවා. කොටුවේ බස් නැවතුම්පොලටම ගිහින් කෙනෙක් සීට් එකක වාඩි වෙන්නේ එයාගේ ගමන පහසු කරගන්න ඕනේ නිසා. ඒත් මගදී මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා කියන්නේ ඒ තරම් සාධාරණ කාරණයක් විදියට දකින්නත් අමාරුයි.

අන්න එතැනදී නම් අපි කොයි තත්ත්වයේ හිටියත් කල්පනා කරන්න ඕනේ, සමාජයට යුතුකම් අනිවාර්ය කරන්න අපිට බැහැ. සමහර විට ගැබිනි මවක් බස් රථයට නැග්ගම සීට් එක නොදෙන්න නොයෙක් හේතු කෙනෙක්ට තියෙන්න පුළුවන්. මම මේ කියන්න යන්නේ, මම අත්දැකපු දෙයක්.

ඉස්සර දවසක අම්බලන්ගොඩ දක්වා යන බස් රථයකට ගැබිනි කාන්තාවක් එක්ක තවත් කාන්තාවක් ගොඩ උණා. ඉතිං ඉස්සරහම හිටි මැදි වයසේ කාන්තවක් ලහි ලහියේ නැගිටලා සීට් එක දුන්නා. මේ ගැබිනි කාන්තාව ස්තුති කරලා අසුන් ගත්තා. ඇය රත්මලානෙන් බහිද්දී සීට් එක පරිත්‍යාග කළ කාන්තාවට නැවත සීට් එක ලැබුනේ නැ. සීට් එක ලැබුනේ ගැබිනි කාන්තාව එක්ක නැගපු අනිත් කාන්තාවට. ගැබිනි කාන්තාව පොඩි දුරකට බස් එකට ගොඩ උනාට ඇය සමග පැමිණි කාන්තාව ගමනාන්තය දක්වාම ගමන් කළා. හැබැයි ඇයට අර කාන්තාවගේ අසුනේ වැඩි දුර යන්න උනේ නැ. කොන්දොස්තර මහත්තයා ගෝරනාඩු කරන්න පටන් ගත්තා. “බලන්න මේ ඇන්ටි මනුස්සකමට අරයට සීට් එක දුන්නා, දැක්කනේ එයා කර කැත වැඩේ. ඔයත් නිකන් ලැජ්ජ නැතිව වාඩි වෙලා යනවා. පවුනෙ මේ  ඇන්ටි” කියලා කියවන්න පටන් ගත්තා.

මෙන්න මේ වගේ අත්දැකීම් එක්ක මිනිස්සු වෙනස් වෙලා ඇති කියල හිතන්නත් බැරි නැ. ඒත් අපි කවුරුත් මිනිස්සු, කරදරයකදී අපහසුතවයකදී අනෙකාට පිහිට වෙන එක අපේ පුරුද්දක්. ඒත් අනිවාර්ය යුතුකම් විදියට ඒ දේවල් ගන්න එක අනුමත කරන්න බැහැ. “බඩ නිසා මෙයාට සීට් එකක් අනිවාර්යෙන්ම ලැබෙනවා” කියන ඒ සිතුවිල්ල අද වෙනකොට දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ට සමාජයෙන් ලැබිය යුතු ගරු බුහුමන් වලට මග අවුරලාද කියලත් මට හිතෙනවා.

අම්මට වැඩට යන්න නැනී කෙනෙක් නැතිව බෑ…. ඒත්….?

අද වෙනකොට අපේ අම්මලා බොහොම කාර්ය බහුලයි. මොකද රැකියාව, ගෙදර වැඩ කටයුතු, ඒ වගේම දරුවන්ගේ වැඩ කටයුතු එක්ක වෙනත් දෙයක් කරන්න නම් වෙලාවක් නැති ගානයි. ගෙදර ආච්චි, සීයා හිටියත් විදුලි වේගෙන් එහෙට මෙහෙට දුව පනින මේ පුංචි පුංචි විසේකරයන්ව බලාගන්න තරම් ශක්තියක් ඔවුන්ට දැන් නැ. ඉතිං ආච්චි සීයාගේ අධීක්ෂණය යටතේ අම්මා ඔෆිස් ගිහින් එනකන් දරුවාගේ වැඩ කටයුතු ටික කරගෙන ඉන්න සහයිකාවක් හිටියොත් කාටත් ලේසියි. ඒත් සමහ නිවෙස්වල දරුවයි සහයිකවයි පමණයි දහවල් කාලයේ නිවසේ රැදෙන්නේ. අන්න ඒ නිසාම ඔබේ නිවසට සහයිකාවක් තොරගනිද්දී ඔබ මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් විය යුතුමයි.

ඔබේ සහායිකාව ලෙස ශක්තිමත් නිරෝගී කාන්තාවක් තෝරාගන්න

ඔබ තෝරාගන්න කාන්තාව ශාරීරිකවත් මානසිකවත් උසස් තත්ත්වයක සිටීම බොහොම වටිනවා. ඇය ගැන හොදින් සොයා බැලීම වැදගත් වන්නේ ඇයගේ හැසිරීම, ඇය ඇගේ වගකීම ඉටු කරන ආකාරය දරුවාගේ ශාරීරික හා මානසික සංවර්ධනයට බෙහෙවින්ම බලපාන නිසයි. ඒ නිසා දරුවා සමග සිටින්නට තෝරාගන්නා කාන්තාව උසස් මානසික මට්ටමක සිටීම වැඩ වැදගත් වේ. පසු ගිය කාලයේ එහෙන් මෙහෙන් අසන්නට දකින්නට ලැබුණු භයානක පුවත් ඔබේ මතකයේ ඇති, දරුවාට හිරි හැරයක් කරදරයක් නොවන ආකාරයේ කාන්තාවක් තෝරාගැනීම ඔබේ වගකීමක් බව සිහි තබාගන්න.

අවධානයඑසේම සහයිකාව දද, කුෂ්ඨ, අළුහම් වැනි  සමේ රෝගවලින් තොර අයෙක්ද යන්න සැක හැර දැනගන්න. එසේම වලිප්පුව, හදවත් රෝග, අධි රුධිර පීඩනය, ඇදුම හෝ දියවැඩියාව වැනි තත්ත්වයන්ගෙන් පෙලෙයි නම් වෛද්‍ය උපදෙස් අනුව නිසි කලට ප්‍රතිකාරවෙත යොමුකරන්න.

ඒ විතරක් නෙවෙයි, ඔබේ සහයිකාවට හොඳ පෙනීමක් මෙන්ම ඇසිමක්ද තිබීම අත්‍යවශ්‍යයි. දරුවාට කෑම කවද්දී ඉවත්කළ යුතු දේ ඇය දැකිය යුතුයි. ඒ වගේම දරුවා ඇහැරී හඩද්දී හෝ වෙනත් අවස්ථාවකදී දරුවාගේ හඬ ඇයට ඇසිය යුතුයි.

ඔබේ සහායිකාව සිය පිරිසිදුකම පිළිබඳව අවධානය යොමු කරනවාදැයි සොයා බලන්න

දවස මුළුල්ලේ ඇය ඔබේ දරුවා අසල රැඳී සිටින නිසා ඇය පිරිසිදුව සිටීද යන්න පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුය. ඇය උදැසන අවධි වූ පසු හොඳින් දත් මැද පිරිසිදු වී දරුවා වෙත පැමිණිය යුතු බව මුල සිටම ඇයට කිව යුතුය. ඇගේ නිය පෙළ,  ඇඳුම් පිරිසිදු ඒවාද යන්න සොයා බැලිය යුතුය. වැසිකිලි යාමෙන් පසු, දරුවාට ආහාර කැවීමට පෙර සබන් යොදා අත් සේදීමට ඇයට උපදෙස් දිය යුතු අතරම ඒවා ඒ ආකාරයෙන්ම සිදුවෙනවදැයි සොයා බැලිය යුතුය.

ඔබේ සහායිකාව දරුවා වෙත පූර්ණ අවධානය යොමු කරනවා දැයි සොයාබලන්න

අහලා තියෙනවනේ කතාවටත් කියනවා ළමයින්ට අලින්ටයි නලියන්නමයි හිත කියලා. පුංචි දරුවෝ පොඩ්ඩක් විතර දඟ වැඩ කරනවා. එහෙම නැතිව බෑනේ. ඉතින් අපිට තියෙන්නේ කෑ කෝ ගහල දරුවා මෙල්ල කරන එක නම් නෙවෙයි. දරුවාව පරිස්සම් කරගන්න එක. ඉතින් ඒකට දරුවා බලාගන්න කාන්තාවට හොඳ ඉවසීමක් වගේම වැඩි අවධානයක් තියෙන්නම ඕනේ. දරුවෙක් බලා ගන්නවා කියන්නේ ලොකු වගකීමක් කියන්නේ ඒක නිසයි. ඒ වගේම බිම තියෙන පුංචි පුංචි දේවල් අරගෙන කටේ ඔබා ගන්නත් දරුවෝ හරිම දක්ෂයි. ඉතිං අවධානය වගේම හොඳ පෙනීමකුත් ඔබේ සහයිකාවට තිබීම වැදගත්.

මෙන්න මේ උපදෙස් ඔබේ සහයිකාවට ලබාදෙන්න,

  • වෙනත් අයෙක් නිවසේ නැතිනම් දරුවා නෑවීම නොකරන්න
  • කෑම කැවීමට පෙර අත් හොඳින් පිරිසිඳු කරගන්න
  • කෑම හොඳින් පොඩිකර කෑමට පහසු ආකාරයට දරුවාට ලබාදෙන්න
  • බිය ගන්වා දරුවා කැවීමෙන්/නිදි කිරීමෙන් වලකින්න
  • ඇය ආහාර ගන්නා විට ඇගේ පිගානෙන් දරුවට කැවීම පුරුද්දක් නොකරගන්න
  • සැමවිටම දරුවාට උණුකර නිවාගත් පිරිසිදු ජලය පමණක් ලබාදෙන්න
  • දරුවාගේ කවන පොවන භාජන හොඳින් පිරිසිදු කර තම්බා පාවිච්ච්යට ගන්න
  • හැම නිතරම දොරවල් අගුළුලා ආරක්ෂිතව සිටින ලෙස උපදෙස් දෙන්න
මෙන්න මේ කරුණු දෙමාපියන්ගේ අවධානය පිණිසයි

ඔබ නිවසට පැමිණීමට පෙර දරුවා බලා ගන්නවාට අමතරව ඇයට නිවසේ වැඩ කටයුතුත් පවරනවා නම් ඔබ ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. වඩාත් උචිත වන්නේ ඔබ නිවසේ නැති කාලය තුළ සහායිකාවට වෙනත් කාර්යයන් පැවරීමෙන් වැළකීමයි. මන්ද ඇය ඇයගේ වැඩ කොටස අවසන් කිරීමේ අරමුණෙන් දරුවා පසෙකලා ඒවා කිරීමට යාමෙන් යම් යම් අනතුරුවලට මුහුණ දීමට දරුවාට සිදු විය හැකියි. ඒ නිසාම දරුවා ළඟ/දුරක තබා වෙනත් කටයුතුවල නිරතවීමෙන් වලකින ලෙසත් දරුවා උඳුන අසලට ගෙන යාමෙන් වලකින ලෙසත් ඇයට උපදෙස් දෙන්න. ඔබ නිවසට පැමිණෙන තුරු ඇයට වෙන රාජකාරි පැවරීමෙන් වැලකීම මෙහිදී වඩාත් උචිත් බව සිහි තබාගන්න.

නොදන්වා වෙනදා නිවසට පැමිණෙන වෙලාවට පෙර පැමිණ ඇය දරුවා සමග කටයුතු කරන ආකාරය පිළිබඳව සොයා බලන්නත් ඔබට පුළුවන්. ඒ වගේම නිවාස තුළ කැමරා පද්ධතියක් සවි කරන්නත් ඔබට පුළුවන්. තාක්ෂණයේ දියුණුවත් සමගින් අද වනවිට පැමිණ ඇති බොහොමයක් උපකරණ ඔබට සහය වනු ඇති. අන්තර්ජාලය හරහා නිවසේ සිදුවන දේ පරික්ෂා කිරීමට හැකි උපකරණ අද වන විට නිපද වී ඇති අතරම ඔබ ආර්ථික අතින් ශක්තිමත් නම් එවැනි ක්‍රමයක් භාවිත කිරීමටද ඔබට හැකියි.

කෙසේ වුවද අද සමාජය තුළ අහන්නට දකින්නට ලැබෙන දේවල්වලට අනුව දරුවෙකු තනිව සහයිකාවකට පමණක් දමා යාම අනුමත කළ නොහැක. දිවා කාලය පුරා දරුවාට සිදුවන දේ පැවසීමට තරම් කුඩා දරුවෙකුට හපන්කම් නැත. ඒ නිසා, විශ්වසනීය පවුලේ හිතවත් අයෙක්ද නිවසේ සිටීම වඩා උචිතය.

දරුවෙකුගේ බුද්ධි වර්ධන ඌනතාවය හඳුනාගන්න අම්මලාට කරුණු ටිකක්

දරුවන් සියයක් ගතහොත් ඒ අතරින් 1% – 5% ත් අතර ප්‍රමාණයක් මේ කොටසට අයත් වන අතරම ඔවුන්ගේ එම තත්ත්වය වටහා ගැනීමට මව්වරුන්ට නොහැකි වන්නේ ඒ සම්බන්ධයෙන් ඔවුන් සතුව කිසිදු දැනුවත් බවක් නොමැති බැවිනි. දරුවන්ගේ බුද්ධි වර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී තම කාර්යයන් පිළිබඳව කිසිදු අවබෝධයක් නැති දරුවන් අසාමාන්‍ය ලෙස එනම් තද බල ලෙස බුද්ධි ඌනතාවයෙන් පෙලෙන දරුවන් ලෙස නම් කළ හැකි අතරම පෙනුමෙන් සහ චර්යාවන්ගෙන් ඔවුන්ගේ තත්ත්වය හඳුනා ගැනීම අපහසු නොවේ. නමුත් සාමාන්‍ය එනම් තද බල නොවන බුද්ධි ඌනතාවයක් ඇති දරුවන් එසේ හඳුනා ගැනීම අපහසුය.

අලුත උපන් බිළිදෙකු හිස ඔසවා ගැනීම/මුනින් අතට පෙරලීම/බඩගෑම/දණගෑම/අල්ලාගෙන ඇවිදීම ආදී චලන රටා මුල් ළමා වියේදී පෙන්නුම් කරන අතරම දරුවෙකුගේ බුද්ධි වර්ධනයේ අඩු වීමක් ඇත්නම් මෙම චලන රටාවන් පෙන්නුම් කළ යුතු නියමිත කාල සීමාවේදී පෙන්නුම් නොකරයි. අන්න ඒ නිසාම සැමවිටම ළදරුවන්ගේ චලන රටාවන් පිළිබඳව නිසි අවධානය යොමු කර ප්‍රතිකාර වෙත යොමු වීමට මව්වරුන් දැනුවත් විය යුතුය. නොදැනුවත්කම හේතුවෙන් මෙවැනි කරුණු සම්බන්ධයෙන් මව්පියන් අවධානය යොමු නොකරන අතරම ඔවුන්ගේ අවධානය යොමු වන්නේ දරුවාගේ කථන ප්‍රමාදය ඇති වූ විටය. එවිට නිසි අවස්ථාවට ඔබ එළැඹෙන්නේ ප්‍රමාද වීය.

අපි ඇස්, කන් සහ නාසය මෙන්ම සම මගින් ලබාගන්නා උත්තේජනවලට ප්‍රතිචාර දැක්වීම ඇතුලූ මිනිස් සිරුරේ සියලූම ක්‍රියාවන් පාලනය වන්නේ මොළයේ ඇති නියුරෝන සෛල මගින් අවශ්‍ය අවස්ථාව සඳහා ප්‍රතිචාර දක්වන අතරම එම නියුරෝන සෛල නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් එනම් නියුරෝන සෛලවලට හානි වීම නිසා ප්‍රතිචාර දැක්වීමට බාධා ගෙන එයි.

මොළයේ නියුරෝන සෛල විනාෂ විය හැකි අවස්ථා

දරුවා මව් කුස තුළ සිටියදී නියුරෝන සෛල විනාෂ විය හැකි අවස්ථා වන්නේ මවට ඇතිවිය හැකි දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් කළලයට සපයන පෝෂණය හා ඔක්සිජන් අඩුවීම/කලලයට මුල් මාස තුන ඇතුළත් මව වෛරස් උණ, පැපොල, සරම්ප හෝ රුඛෙල්ලා වැනි රෝගවලට ගොදුරු වීම/ ගැබිනි මවගේ පෝෂණ තත්ත්වය පහළ මට්ටමක් වීම/මව මධ්‍යසාර ගැනීම/ ප්‍රසූතියේදී සිදුවන අනතුරු වැනි කරුණුය.

මෙලොවට බිහි වූ පසු නියුරෝන සෛල විනාෂ විය හැකි අවස්ථා ලෙස පළමු මාස තුන ඇතුළත නිතර නිතර රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම/හිසට තදබල පහරක් වැදීම නිසා මොළයට හානි සිදු වීම/දැඩි මානසික ආතතියකට ලක් වීම/සිරුරේ හෝමෝන අසමතුලිතතා වැනි අවස්ථා දැක් විය හැකිය.

ජානවල බලපෑම මත පවුලට ආවේනික වු මානසික සංවර්ධන ගැටලු දරුවාට උරුම විය හැකිය. (ලේ නෑයන් අතර විවාහ)

මෙවැනි තත්ත්වයන්හිදී ඒ පිළිබඳව අවබෝධ කරගත් පසු දරුවා කථන චිකිත්සක සහ චලන රටා  චිකිත්සක ප්‍රතිකාර වෙත යොමු කරයි.

දරුවන්ගේ මෙවැනි තත්ත්ව පිළිබඳව මුලින්ම හඳුනා ගත හැකි වන්නේ මවටයි. මව්වරුන් ලෙස ඔබ නිසි වයසත් සමග දරුවාගේ ක්‍රියාකාරකම් දෙස අවධානයෙන් සිටින්න. එසේම පහත කරුණු පිළිබඳව ඔබේ අවදානය යොමු කිරීම වැදගත් වනු ඇත.

  • ඉගෙන ගන්නා වයසේ දරුවන් නම් එක තැන වැඩි වෙලාවක් නොසිටීම.
  • අවධානය සෑම විටම ගිලිහී යන තත්ත්වයක් තිබීම.
  • ඉතා කළබලකාරී වීම හෝ වඩාත් නිශ්ශබ්ද වීම.
  • අන් අයට හිරිහැර කිරීම.
  • ඉගෙන ගන්නා වයසේ දරුවෙකු නම් අකුරු හඳුනා නොගැනීම ආදිය සිදුවිය හැක.

ඔබ මවක් වශයෙන් ඔබේ දරුවා වෙත පූර්ණ අවධානය යොමු කළ යුත්තේ එහෙයිනි.

කොළඹ, වසංගත රෝග අංශයේ ජේෂ්ඨ ලේකකාධිකාරී  ප්‍රජා වෛද්‍ය සමීර සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි.

 

දියණියගේ පෞද්ගලිකතත්වයට ගරු කරන්න,හැම තාත්තෙක්ම මේ ලිපිය කියවන්න

විහාර මහා දෙවි උද්‍යානයට ඇතුළු වුනේ සැමියා මාව රැගෙන යාමට එනතුරුය. අසුන් ගන්නට බංකුවක් නැති තරමටම උද්‍යානය පිරී ඇත. ඈතට වෙන්නට තිබූ එක් දිගු බැංකුවක එක පැත්තක ගැහැණු දරුවෙක් පමණක් වාඩි වී සිටි නිසා අනෙක් පසින් මම අසුන් ගත්තෙමි. මද වේලාවක් ගතවෙද්දී ඒ තරුණියගේ නොසන්සුන් බවක් මට තේරුම් යන්නට විය. අද සමාජයේ අහන්න දකින්නට ලැබෙන දේවල් නිසාම ඇයව මග හරින්නට මට හිත දුන්නේම නැත.

මම ඇයගෙන් වෙලාව විමසුවේ මගේ ඔරලෝසුවේ වෙලාව නැවතී ඇතැයි මුසාවක් පවසමින්. ඇය මා දෙස මහා කරදරකරියක දෙස බලන්නාක් මෙන් එයට පිළිතුරු දුනි. විනාඩි දෙක තුනක් ගතවත්ම ඇය හඬා වැටෙන්නට වුයෙන් මම තව ටිකක් ඇයට සමීප විය. එතැන් පටන් ඇයගේ හිත නොසන්සුන් කළ පීඩනය ඇයත් සමග බෙදා ගන්නට හැකි විය. මේ ඇගේ කතාවයි.

ඇය උසස් පෙළ හමාර කරන්නට ආසන්නයේ සිටි නව යෞවනියක්. සිත් ඇද බැඳ ගන්නා රූ සපුවක් හිමිව තිබූ ඇයට දිගු කෙස් කලබකුත් ලැබී තිබුනේ රූපය ගැන කිසිදු අඩුපාඩුවක් කිසිවෙකුට කිව නොහැකි වන්නට විය හැකියි. පිටතින් වූ ඒ සුන්දරත්වය ඇයගේ  සිත තුළ නොවුයේ ඇයි දැයි මම ඔබට කියන්නම්. නව යොවුන් විය පිළිබඳව වෛද්‍ය සාකච්ජා ඇසුරෙන් බොහොමක් දැනුවත් කිරීම් අප වෙබ් අඩවිය හරහා සිදු කෙරුණු බව ඔබට මතක ඇති.

මේ වරුනිගේ කතාව,

“අනේ මට නම් ජිවිතේ එපා වෙලා, මගේ දුක කියන්නවත් කෙනෙක් නැ මට, මම දැන් හිරකාරයෙක් ගානයි.”

“වරුනි, ඇයි එහෙම කියන්නේ, ඔය තාම දරුවෙක්… මෙච්චර ඉක්මනට ජිවිතේ එපා වෙන්නේ කොහොමද දරුවෙකුට, අඩන්නේ, තැවෙන්නේ නැතිව මට කියන්න ඔයාට වුනේ මොකද්ද කියලා, මම ඔයාට උදවු කරන්නම්.”

“අපෝ මට නම් ගෙදර යන්න බැ…. මට නම් ගෙදර යන්න කියන්නත් එපා. එහෙම කියන අයට මම කැමතිම නැ.”

“ඉතිං කියන්න ඔයාට උනේ මොකද්ද කියලා.”

“මම මේ පර A/L කරනවා. මම විභාගේ ෆේල් වෙනවා අනිවාර්යෙන්ම. එතකොට මට පුළුවන් අම්මලාව මට්ටු කරන්නත්.”

“හරි හරි මේ හැම දේම ඔයාට කරන්න පුළුවන්, අපි ඉස්සෙල්ල බලමු ඔයාට මොකද උනේ කියලා.”

“මාත් වැරදියි තමයි. ඒත් ඇයි එයාලා මගේ කිසිම ආසාවක් ගැන නොහිතන්නේ,”

“දැන්වත් කියන්න දරුවෝ උණු දේ, මම පොරොන්දු වෙනවා ඔයාට උදවු කරන්න”

“ආන්ටි, මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා”

“ඉතිං”

“එයා හරිම හොඳයි”

“ඔව් ඉතිං”

“මට එයාව නැති කරගන්න හිතෙන්නේ නැ, එයා මට හරිම ආදරෙයි.. මට කවමදාකවත් ඒ වගේ කෙනෙක් මුණගැහෙන එකක් නැ…”

“ඉතින්…”

“අපේ අම්මලා පිස්සුවෙන් වගේ මේ සිද්ධිය දැන ගනිපු වෙලේ ඉඳල හැසිරෙන්නේ,”

“ඉතින් දරුවෝ …දෙමාපියෝ එහෙම තමයි… දරුවන්ට දැනුම් තේරුම් එන කාලේ වෙනකන් එයාල ඔයාලව පරිස්සම් කරන්න ඕනේ. කරදරයක් උනාට පස්සේ ඔයාගේ ජිවිතේ තේරුමක් නැති වෙනවා නේද කියන බයෙන් තමයි එයාල ඔයාව පරිස්සම් කරන්න දගලන්නේ”

“නැ නැ …”

“අම්මයි තාත්තයි මට නිදහසේ බාත්රුම් යන්නවත් ඉඩක් තියන්නේ නැ…”

“බාත්රුම් යන්නවත් නිදහසක් නැ…”

“මට යාළුවෙක් ආශ්‍රය කරන්න නැ”

“පන්තියකට යන්න නැ, යන යන තැන අම්මා හරි තාත්තා හරි එනවා. ඒක මට කමක් නැ… කොහොමත් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මාව මුණ ගැහෙන්න මේ දවස්වල එන්නේ නැ මට ගෙදරින් තියෙන ප්‍රශ්න වැඩි වෙන නිසා.”

“ඒත් අද උදේ උණු දෙයින් අම්මයි තාත්තයි දෙන්නම ගැන මට මහා කලකිරීමක් ඇති උනා. මට එයාලා ගැනත් දුකයි.. ඊට වැඩ මට මම ගැන දුකයි..”

“ඇයි? අද උදේ විශේෂයෙන් මොකද්ද උනේ,,”

“මුකුත් හිතන්න එපා ආන්ටි, මම මෙහෙම කීවට,  මම ඔයා දන්නෙත් නැ, ඒත් මම ඔයාට මේ සේරම කියන්නේ මට මාවම කන්ට්‍රෝල් නැ කියලා දැනෙන්න ගත්ත නිසා.”

“ඔයා මාව විශ්වාස කරන්න, මම ඔයාගේ හිත හයිය කරගන්න උදවු කරනවා අනිවාර්යෙන්ම…”

“ආන්ටි, අද මට පිරියඩ්ස් හදුණා, ඒ මම ක්ලාස් එන්න ලෑස්ති වුනාට පස්සේ, මම අල්මාරියෙන් පෑඩ් එකක් අරගෙන හංගගෙන වගේ බාත්රුම් එකට යන්න ගියා. ඒක අපේ තාත්තා දැක්කා, ඉතින් එයා … ඔහොම ඉන්නවා, ඔහොම ඉන්නවා මොකද්ද උඹ ඔය හංගන් යන්නේ ? ” කියා කියා මගේ පස්සෙන් ආවා. ඒ කතාවට අම්මත් එකතු වෙලා කැගහුවා…”

“මම අතේ තිබුණු පෑඩ් එක ඒ දෙන්න ඉන්න පැත්තට විසිකරලා දාලා ගෙදරින් එලියට දුවගෙන ආපු ගමන තමයි මේ… මට දැන් හරිම ලැජ්ජයි… මම කැමති නැ තාත්තා මේක දැන ගත්තට… මට මැරෙන්නමයි හිතෙන්නේ ”

“නැ දුව… ඔයා ඔහොම හිතන්න එපා. ඉන්න මම ඔයාට පැහැදිලි කරන්න… ගෑනු ළමයෙකුට පිරියඩ්ස් හැදෙන බව මේ ලෝකේ හැම පිරිමියෙක්ම දන්නවා. ඔයාගේ තාත්තත් ඒ ගැන දන්නවා. අපි පුරුදු වෙලා ඉන්නේ ඒ දේවල් රහසිගතව කරගන්න උනත්, අම්මලාට ඔයා ගැන පොඩි සැකයක් තියෙන නිසා එයාල පුංචි දේ ගැනත් වැඩි අවධානයක් යොමු කරනවා.. ඉතින් මෙතැනදී උනෙත් ඒකම නේද? වුනු දේ දැනගත්තට පස්සේ අම්මට තාත්තට උනත් ලැජ්ජාවක් දුකක් ඇති වෙන්න ඇති…”

මෙන්න මේ වගේ බොහොමයක් දේ කතා කිරීමෙන් පසුව ඇයගේ අවශ්‍යතාවය වෙනුවෙනුත් උදවු දී  අගේ හිත යම්  මට්ටමකින් යථා තත්වයකට ගෙන ඒමට හැකි වීම මට සතුටක්… ඇය මා වෙතින් නික්ම ගියා… ඇය නිවසට ගියාද කොහේ ගියාද කියා මා අදටත් දන්නේ නැ, ඒත් ඇය සියදිවි නසා නොගන්නට ඇතැයි මා විශ්වාස කරන්නේ, එසේ උනා නම් මුහුණු පොතේ පිටු අගේ රුවෙන් වැසී යන බැවිනි.

මව්පියනි,

හිතන්නට යමක් ඇති බව ඔබට හිතෙන්නේ නැතිද? අපේ යොවුන් විය අපිට අමතක කල හැකිද? මේ වයසේ දරුවන්ගේ හැඟීම් වටහා ගන්නට අපිට නොහැකි වන්නේ කෙසේද? තාඩන පීඩන මැද දරුවෙක් පාලනය කීරීම කොයිතරම් නම් දුරට සාර්ථකද යන්න පිළිබඳව ඔබම සිතා බලන්න. නව යොවුන් වියේ දරුවන්ගේ පෞද්ගලිකත්වය දෙමාපියන් ඉදිරියේ මේසා විවෘත කිරීමට ඔවුන්ට හැකියාවක් තිබේද? ඥාන්විතව දරුවන් යහමගට ගැනීම පිළිබඳව දෙමාපියන් වන අපි කොයිතරම් නම අවබෝධාත්මක විය යුතුද යන්න සිතා බලන්නට කාලය එළැඹ ඇති බවක් සිතේ.

සත්‍යය සිදුවීමක් ඇසුරෙනි….

කසළ කළමනාකරණය දරුවන්ට පුරුදු කරන වටිනා ක්‍රම 6ක්

කසල කලමනාකරණය සහ බැහැර කිරීම පිළිබඳව සමාජයේ වැඩිම අවධානයක් යොමු වී ඇති කාලයක් ලෙස විශේෂයෙන්ම මේ වසර සඳහන් කරන්න පුළුවන්. මේ වැඩපිළිවලෙහි ඉදිරි කටයුතු සිදුවන්නේ අද කුඩා දරුවෙක්ව සිටින ඔබගේ දරුවා අතින්. කසල කළමනාකරණය වගේම එය නිවැරදිව බැහැර කිරීමේ විනය ඔහුට හෝ ඇයට ලබා දෙන්න ට පුළුවන් නම් එය අනාගතයේ ඔවුන් පත්වන අසීරුතාවයන්ගෙන් මුදවාගන්නට දෙමව්පියන් වන ඔබට  හැකියාව ලැබේවි.

දරුවන්  සරල දිවි පැවැත්මක් ඇති අය බැවින් කසල කළමනාකරණයේ සංකීර් ණ සංකල්ප හෝ එහි බලපෑම තේරුම් ගැනීමට තරම් ඔහුට හැකියාවක් නැහැ. නමුත් එම සංකල්ප සරලව ඔවුන්ගේ මතකයේ ස්ථිරව තැන්පත් කිරීමට ඔබගේ කුඩා ක්‍රියාකාරකමක් සමත් වේවි.

වගකීම පවරන්න

අපේ එදිනදා සෑම ක්‍රියාකාරකමකින්ම කසල නිර්මාණය වන බව දරුවා දැන සිටියත් එය බැහැර කිරීමේ ක්‍රමවේදයක් ගැන ඔවුන් සිත කරදර කරගන්නේ නැහැ. ඒ එය වැඩිහිටියන් විසින් සිදු කිරිමට උත්සාහ දරණ නිසායි. නිවසේ දී කරන අත්වැඩකදී හෝ වෙනත් කටයුත්තක දී එකතු වන කසළ නිවැරදිව වෙන් කර ඉවත දැමීමට ඔවුන්ට සහාය වන්න. ඒ සඳහා නිවෙසේ ඇති සම්මත වර්ණ සහිත බඳුන් හඳුන්වා දෙන්න. එම බඳුන් වල දැමිය යුතු කසල වර්ගය සඳහන් කිරීම ඔවුන්ට පහසුවක් වේවි. තමන් නිර්මාණය කළ කසල නිවැරදිව බැහැර කිරීම තමන්ගේ වගකීමක් බව ඔවුන් කෙටි කලක් තුලදීම අවබෝධ කරගනීවි.

පාසලට කුඩා බෑගයක් යවන්න

කොළඹ  ප්‍රදේශයේ පාසල් වල ඇතිවී තිබෙන නව ප්‍රවණතාවය වන්නේ පාසලේ මෙතෙක් තිබූ කසල බඳුන් ඉවත් කිරීමයි. එවිට එම දරුවන්ට තමන් විසින් පාසල් ක්‍රියාකාරකම්වලදී  නිර්මාණය වුණු කසල ආපසු නිවසට ගෙන ඒමට සිදුවෙනවා. බොහෝ දරුවන් ඒ සියල්ල ආපසු පාසල් බෑගයට දමා ගන්නවා මිස එය බැහැර කිරීමේ ක්‍රමයක් ගැන සිතන්නේ නැහැ. සති අන්තයේ පාසල් බෑගය සකසද්දී  එහි ඇති කැපුණු කඩදාසි, පොලිතීන් බෑග්, පැන්සල් කුඩු සහ අත්කම් නිර් මාණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබෙණු දක්කට පුළුවන්. මෙයට හොඳම විසඳුම වන්නේ දරුවාට ඒ සඳහා පරිසර හිතකාමී කුඩා බෑගයක් ලබා දීමයි. එය සම්මත වර්ණ අනුව කොටස් තුනකට බෙදුණු බෑගයක් නම් ඔබ දරුවාට කසල වෙන්කර බැහැර කිරීමේ මූලික සංකල්පය අවබෝධ කර ගැනීමේ අවස්ථාව ලබා දී අවසන්.

නිවාස සැලසුම් පෙන්වන්න

නවීන නිවාස ඉදිකිරීමේ දී සහ ගෘහ උද්‍යාන සකස් කිරීමේ දී  කසල බැහැර කිරීමට තැනක් අනිවාර්යයෙන් වෙන්කිරීමේ ප්‍රවණතාවයක් තිබේ. එහෙත් එය මූලික සැලැස්මේ ඇති බැවින් එයින් නිවසට හෝ උද්‍යානයට අලංකාරයක් ලබා දෙනවා විනා අනවශ්‍ය ඉඩකඩ නාස්තියක් වෙන්නේ නැහැ. එවන් සැලසුම් කෙරෙහි දරුවාගේ අවධානය යොමු කරවන්න. ඔවුන් අනාගතයේ තමන්ගේ නිවාස ගොඩනැගීමේ දී හෝ අන් අය සඳහා නිවාස සැලසුම් කිරීමේ දී ඔබ ලබාදුන් මාර්ගෝපදේශය කිසිදා අමතක නොකරනු ඇත.

පරිසර තරඟ වලට දරුවා සහභාගී කරන්න

පාසල් මගින් හෝ විවිධ පරිසර සංවිධාන මගින් පැවැත්වෙන තරඟ, ප්‍රදර්ශණ සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා දරුවන් යොමු කිරීම ඉතා වැදගත්. මෙහිදී දරුවාට පරිසරයට ඇළුම් කරන තමන්ගේ සමවයස් කරුවන් හමුවනවා පමණක් නොවේ ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් ද හමුවෙනවා. දරුවන්ට ක්‍රියාකාරකම් ඇසුරින් ඉගන ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් ඉන් ලැබෙනවා. කසළ කළමනාකරණය පිළිබඳව දරුවන්ගේ නිර්මාණ දුටුවොත් එයි ඇති නව අදහස් පිළිබඳව ඔබත් විමතියට පත්වේවි. අනාගතයේ දිනක කසළ කළමණාකරණය පිළිබඳ දරුවා නිර්මාණශීලි වීමේ අභිමානය නිසැකව විඳගැනීමට ඔබට  හැකියාව ලැබේවි.

ප්‍රායෝගික උදාහරණ දෙන්න 

ඔබේ ගෙදර කුණු එකතුවෙන තැනක් තිබේ නම් එය දරුවාට දෙන්නේ ඉතා වැරදි ආදර්ශයක්. නමුත් එය අවස්ථාවක් කරගනිමින් දරුවා සමග එකතු වී එය නිවසේ පරිශ්‍රයෙන් ක්‍රමාණුකූලව බැහැර කරන්න‍. එය ප්‍රසන්න නොවන අත්දැකීමක් බැවින් දරුවා එය ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. නමුත් එය බලාසිටින්නට ඔහුට පුළුවන්. එහිදි දිරාපත් වන කසළ, එසේම දිරාපත් නොවන කසළ මොනවාද යන්න ඔහුට පෙනේවි. සියළුම වර්ගයේ කසල අක්‍රමවත් ආකාරයට බැහැර කිරීම නිසා ඔබ සියල්ලන්ම විඳින අපහසුතාව ඔබ මෙන්ම ඔහුත් වටහා ගනීවි.

ඔබගේ  ගෙවත්තේ ඉඩ පහසුකම් තිබේ නම් කොම්පෝස්ට් වලක් හෝ බඳුනක් දැනටමත් එහි තිබෙනවා වෙන්නට පුළුවන්.‍ එයින් පොහොර ලබා ගෙන කුඩා මිරිස් පැළයක් හෝ මල් පැලයක් දරුවා අතින් සිටුවා ඔහු එම ජාතික වගකීමේ කොටස්කරුවෙකු කරගන්න.

ඉවත දමන දේ තුළින් නිර්මාණ කරවන්න

පාසලේ අත්වැඩ සඳහා නිර් මාණ කරවීමේ දී හැකිතාක් දුරට ඉවත ලන දේ පාවිච්චි කිරිමට දරුවාට දිරි දෙන්න. මේ සඳහා අදහස් අන්තර් ජාලය තුළින් ද ලබා ගැනීමට පුලුවන. වෙළඳ සැලෙන් මිලදී ගන්නා බොත්තම්, ස්ටිකර් වැනි දේ යොදවා කරන නිර්මාණ වලට වඩා ඉතා නැවුම් අත්දැකිම් එක් කරගන්නට ඔබේ දරුවාට ඉඩ ලබා දෙන්න. එයින් දරුවා නව නිර්මාණ අදහස් එකතු කරගන්නවා සේම කසල විධීමත් යමක් සඳහා යොදවා  බැහැර කරන ප්‍රමාණය අවම කරගත් බවත් වටහා දෙන්න.

මේ ක්‍රියාකාරකම් සියල්ල ඔබට එදිනෙදා ජීවිතය තුළ කළහැකි දේවල්. අවශ්‍ය වන්නේ ඔබේ කැමත්ත සහ අවධානය පමණයි. එහෙත් එමගින් ඔබ දරුවාට ලබා දෙන විනය ඔහු සිය ජීවිතය ගොඩනැගීමේ දී අඩිතාලමක් කරගන්නා බව නිසැකයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය රේණුකා තෙන්නකෝන් මහත්මිය විසින් සකසන ලද ලිපියකි

 

හොඳ පෝෂණයක් ලබා දිය යුත්තේ දුවටද පුතාටද?

“අම්මා, ඇයි මේ මට බිත්තර භාගයක්… මල්ලිට නම බිත්තරේම දීලා..”

“අනේ දුව ඕක ඒ තරම් දෙයක්ද ? තිබුනු බිත්තර දෙක හැදුවේ, පිරිමි ළමයින්ට හොඳට කන්න ඕනේ නිසා නංගිටයි ඔයාටයි භාගේ භාගේ දීලා, මල්ලිට එකක් දුන්න”

මේ ඉස්සර කාලේ ගෙවල්වල පැවතුනු තත්වයක්. අද වෙනකොට මේ තත්ත්වේ හාත්පසින්ම වෙනස් වෙලා. ඒත් ගැහැනු දරුවන්ට වඩා වැඩි පෝෂණයක් පිරිමි දරුවන්ට අවශ්‍යයි කියලා හිතන අය අදටත් අප සමාජයේ ඉන්නවා.

ගැහැනු පිරිමි භේදයකින් තොරව දරුවන්ට මනා පෝෂණයක් ලබා දීම බොහොම වැදගත් කරුණක්. නිසි පෝෂණයක් නොමැති උනොත් දරුවෙකුගේ ශාරීරික මෙන්ම මානසික සංවර්ධනය අඩාල වෙන බව ඔය දන්නා කරුණක්. දරුවන්ට නිසි පෝෂණයක් ලබා දීම යන්නෙහි අදහස වන්නේ පෝෂණීය බවින් අනුන අහාර ලබාදීමයි.  ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වනු ඇතැයි බොහෝ මව්වරුන් සිතුවද නිසි පෝෂණය සහිත ආහාර වේලක් අඩු මුදලකින් සකසා ගත හැකිය. ඔබ විශාල මුදලක් වැය කොට මිලදී ගන්නා ක්‍ෂණික ආහාරවලින් දරුවන්ට සිදුවන යහපතක් නැත.

ඔබේ දරුවාට

  • අනිවාර්යෙන්ම උදේ ආහාර වේල ලබා දෙන්න
  • ලුණු, සීනි අධික ක්‍ෂණික ආහාරවලින් දරුවා ඈත් කරන්න
  • ක්‍රියාශීලිවදවස ගෙවන්නට අවස්ථාව ලබා දෙන්න
  • උණු කර නිවා ගත් පිරිසිදු ජලය දවසකට අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමට හුරු කරන්න

පොදුවේ සැම දරුවෙක්ම නිසි පෝෂණයක් ලබා ගත යුතු වුවද නිසි පෝෂණයක් නොලැබූ ගැහැනු දරුවෙකු සංකුලතා රැසකට භාජනය වීමේ අවධානමක් පවතී. මතු දිනෙක මවක වන නව යොවුන් ගැහැනු දරුවාට නිසි පෝෂණයක් නොමැති කමින් ඇඇත. එය දාමයක් ලෙස උපදින දරුවාට බලපෑම් ඇති කරවන අතරම සමාජයටද බලපාන හේතුවක් වනු ඇත.

වැඩිවිය පැමිණි ගැහැනු දරුවෙක් මසකට වරක් ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන නිසා වැඩි වශයෙන් යකඩ,ප්‍රෝටීන සිරුරට අවශ්‍ය වේ.  අතීතයේදී මේ හා සම්බන්ධ බොහොමයක් මිත්‍යා මත පැවතුනද මස්, මාළු, බිත්තර මේ කාලයේදී ගැහැනු දරුවාට ලබාදීම අත්‍යවශ්‍යය. මේ ආකාර වූ නිසි පෝෂණය නොලැබී යාම නිසා මතු දිනක මව්පදවිය ලබන ගැහැනු දරුවන්ට පහත දක්වා ඇති සංකුලතා තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය.

  • දරු පිළිසිඳ ගැනීම් ප්‍රමාද වීම
  • ගබ්සා සිදු වීම
  • අඩු බරදරුවන් බිහිවීම
  • බිහිකළ දරුවන් රෝගී දරුවන් වීම
ඔබේ දියණිය මතු දිනෙක නිරෝගී මවක ලෙස දරුවන් බිහිකිරීමට නම් ඇයට,
  • නිසි අධ්‍යාපනය ලබා දෙන්න
  • සමීපව හිඳ නිසි මග පෙන්වන්න
  • හොඳ නරක අවබෝධ කරදෙන්න
  • සමාජය පිළිබඳව දැනුවත් බව ලබාදෙන්න
  • පෝෂණය ගැන දැනුවත් බව ලබා දෙන්න
  • නිසි වයසට එළබි පසු විවාහ කරදෙන්න. (ගැහැනු දරුවෙකු මව්පදවිය ලැබීමට සුදුසු වයස අවුරුදු 20 – 25ත් අතර කාලයයි.)
  • නිසි කලට රුබෙල්ලා එන්නත ලබා දෙන්න
  • ක්‍රියාශීලිව කාලය ගතකරන්න උපදෙස් ලබා දෙන්න
  • ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න

කනේ කැක්කුමට හේතු වෙන මේ කරුණු ගැන අම්මලා දන්නවද?

අපි සැම නිතරම එක එක ආසාදන තත්වයන් ගැන කතා කරනවා. අද කතා කරන්න යන්නෙත් බහුලව අහන්නට දකින්න ලැබෙන ඒත් වැඩි පුර කතා බහට ලක් නොවෙන තත්වයක් ගැනයි. ඒ කනේ ඇති විය හැකි ආසාදන තත්ත්ව ගැනයි. ආසාදනක් කියන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් කාණ්ඩයක් ඒ කියන්නේ වෛරස බැක්ටීරියා හෝ දිලීර නිසා ශරීරයේ අවයවයකට හෝ පද්ධතියකට සිදුවන හානිදායක තත්වයක්.

අපේ කන ප්‍රධානව කොටස් තුනක් ලෙස දැක්විය හැකියි. එනම්, පිට කන, මැද කන හා ඇතුළු කන ලෙසයි.

කන් පෙත්ත හෙවත් පිට කනෙහි ඇති විය හැකි ආසාදන

කන් පෙත්ත මත ඇතිවෙන කැසිම් සිරීම් හේතුවෙන් මෙන්ම එක් එක් විලාසිතා හේතුවෙනුත් කන් පෙත්තේ නොයෙක් ආසාදන ඇතිවිය හැකියි. මෙවැනි අවස්ථාවකදී වුවද නිසි සැලකිල්ල යොමු කොට ප්‍රතිකාර ලබා ගත යුත්තේ කන්පෙත්තේ විකුර්තිතා ඇති විය හැකි බැවිනි.

ඇතුළු කනෙහි ඇති විය හැකි අසාදන

ඇතුළු කනෙහි ඇතිවිය හැකි ආසාදනවලට මුලිකව හේතු වන්නේ බැක්ටීරියා සහ දිලිර වන අතරම ස්නායු පැපොල යන වෛරස තත්ත්වයද දැක ගත හැකි තත්වයකි.

කනෙහි ඇතුලත අසාදන ඇතිවීමට හේතු :

  • කන පිරිසිඳු කිරීමට නොයෙක් දේ ඇතුළු කිරීම
  • අපිරිසිඳු ජලය භාවිතය
  • දියවැඩියාව වැනි රෝග තත්ත්ව

කන ඇතුලත අසාදන තත්වයකදී,

  • කනෙන් දියර ගලයි
  • කන ඇසීම අඩු වෙයි
  • අධික වේදනාවක් ඇති වෙයි
මැද කනෙහි ඇතිවිය හැකි අසාදන

කුඩා දරුවන් අතර මේ තත්ත්වය බහුලව දක්නට ලැබෙන අතර වෛරස මෙන්ම බැක්ටීරියාද මේ තත්ත්වයට හේතු විය හැකිය. දිලීර හේතුවෙන් මැද කනෙහි ආසාදන ඇති වන්නේ කලාතුරකිනි.

මැද කනේ ආසාදනයකදී රෝග ලක්ෂණ :

  • කනේ වේදනාව
  • කනෙහි පිරුණු බව
  • ඇසීමේ දුර්වලතා
  • සෙම්ප්‍රතිශ්‍යාව
  • අධික උණ
  • කැරකවිල්ල
  • කනෙහි විවිධ ශබ්ද ඇතිවීම

මීට අමතරව, කුඩා දරුවන් පහත රෝග ලක්ෂණ පෙන්විය හැක.

  • නොනවත්වා හැඬීම
  • නින්ද නොයෑම
  • කන් පෙත්ත නිතරම ඇදීම
  • වමනය
  • දියර ස්වභාවයෙන් මල පිටවීම

සමහර හේතුන් මත කුඩා දරුවන්ට මැද කනේ ආසාදන ඇතිවීම වැඩි විය හැක. එනම්,

  • මව් කිරි වෙනුවට පිටිකිරි දීම
  • කිරි බෝතලයෙන් දීම හා විශේෂයෙන් දරුවා නිදන අතර කිරි බෝතලයෙන් බීම
  • ගෙදර දුම් පානය කරන අය සිටීම

එබැවින් ඉහත අවස්ථාවන් අවම කර ගැනීමෙන් ඔබගේ දරුවා මැද කනේ ආසාදන වලින් ආරක්ෂා කරගත හැක. මැද කනේ ආසාදන නිසි පරිදි ප්‍රතිකාර නොකලොත්, මොළය හා හිස් කබලේ අස්ථි දක්වා පැතිරීමේ අවධානමක් තිබේ. එමනිසා, මෙවැනි සංකුලතා වළක්වා ගැනීමට ඉක්මනින් වෛද්‍ය ප්‍රථිකාර වෙත යොමු විය යුතුය.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්.ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි

 

පවුලේ සංවාදයට බාධාවක් වූ “තාක්ෂණය” නිවසින් පිටමන් කළ අපූරු ක්‍රමය

කාලයත් සමඟ සිදුවන සියලුම විපර්යාසවලට මුහුණ දෙමින් සමාජයේ මූලිකම සහ වැදගත්ම  සංස්ථාව වන පවුල තම කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යනවා. අනිකුත් සියලුම සමාජ සංස්ථාවලට සේම මෙයට ද වෙනස් වන ලෝකයේ වෙනස් විම්වලට අනුගත විමට සිදුවන බව අප අවබෝධ කරගතයුතු වෙනවා. නමුත් එම අනුගත වීම සිදුකළ යුත්තේ පවුල නැමති සංස්ථාව ආරක්ෂා කරගැනීමට විනා බාහිර එහි වටිනාකම් දියකර හැරීමට නොවේ. වර්තමානයේ අන් සියලුම  සාධක අභිබවා තාක්ෂණය නැමති සාධකය පවුලේ සාමාජිකයන් අතර තිබෙන්නාවූ බැඳිමට සිදුකර ඇති  බලපෑම  පවුල් සබඳතා සියුම්ව අධ්‍යනය කර බැලීමේ දී පෙනී යනවා.

ලංකාවේ අතිශයින්ම දුෂ්කර පළාතක ඉපදී සරසවි වරම් ලැබ කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා විදෙස් ගත වුන වියතෙක් මට හමුවුණා. දැන් ඔහු විදේශ රටක සුපතල විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් සහ එම රටේ ස්ථිර පදිංචිකරුවේක්. ඔහුගේ බිරිඳ එම රටේම කාන්තාවක්. ඇයත් විශ්ව විද්‍යාලයේ  කතිකාචාර්යවරියක්. මේ මහාචාර්යවරයා තුළ මා දුටු එක් ලක්ෂණයක් වන්නේ ඔහු ලංකාවට මහත්සේ ඇළුම් කරන පෙරදිග දර්ශනය විශ්ව විද්‍යාලය තුළට සාර්ථකව ගෙනයාමට සමත් වූ  අයෙක් වීමයි. විදෙස් අධ්‍යාපනය නිම කර ලංකාවට පැමිණ විශ්ව විද්‍යාලයේ සේවයට එක් වන විට ඔහු එම විෂය ක්ෂ්‍රේත්‍රය සඳහා ලංකාවේ සිටි එකම මහාචාර්යවරයා වුණා. නමුත් සාමාන්‍යයන් සිදුවිය යුත්තම මෙහිදීත් සිදුවී තිබුණා. මොහුගේ සේවය ස්ථිර කොට ඔහුව රඳවාගැනීමට කිසිවෙකුත් කටයුතු නොකිරීම මත ඔහු දෙවන වරට ද මව්බිම හැරදමා යනවා. ඒ අවස්ථාවේ ඔහුව මහා ඉහලින් පිළිගත් විදේශීය විශ්ව විද්‍යාලය ඔහුට පර්යේෂණ අංශය බාරදෙනවා. එහි අවසන් වසරේ සිසුවියක් තම උපාධි නිබන්ධනයට තෝරාගන්නේ ආසියාතික රටවල කාන්තාවන් මව්පදවිය කෙරෙහි දක්වන ආකල්ප තාක්ෂණීක දියුණුව සමග වෙනස් වීම යන මාතෘකාව. මේ මහාචාර්යවරයාගෙ මග පෙන්වීම අනුව ඇය ලංකාවට පැමිණ තුන් මාසයක් පර්යේෂණයක් කරලා ආපසු ඇවිත් විශ්ව විද්‍යාලයට නිබන්ධනය බාර දෙනවා. එහි ඇය සඳහන් කරන්නේ කාලයේ වෙනසට සහ තාක්ෂණයේ වෙනසට හසු නොවුන මාතෘත්වය කෙරෙහි ලාංකික කාන්තාවන්ගේ ආකල්ප කෙරෙහි ඇය ආකර්ශනය වුණ බවයි. ලංකාවේ සංස්කෘතිය කෙරෙහි දැක්වූ අසීමිත ඇල්ම තුළ දෙදෙනා අතර ඇතිවූ සුහදතාවය මත මහාචාර්යවරයා තම සිසුවිය විවාහ කරගන්නවා. ඇය ඒ වන විට  සහාය කතිකාචාර්යවරියක්.

“ලංකාවට ගිහින් ආවට පස්සේ ක්‍රිස් බටහිර ලෝකයේ පවුල් සංස්ථාවට වෙලා තියන දේ ගැන දැඩි ලෙස විවේචනය කළා. මම ක්‍රිස් විවාහ කරගත්තේ එයා ලංකාවට සහ මට දක්වපු කැමැත්ත නිසාම නෙවේ. එයා හරි ස්වාධීන අදහස් තියන කෙනෙක්. ඒ වගේම කිසිම වෙලාවක අපි එකතු වෙලා ගත්ත තීරණයක් එයා අතින් කැඩෙන්නේ නෑ. එයා දිගටම එයාගේ ඉගනීම් කටයුතු කරගෙන ගියත් ඇත්තටම අපේ පවුල රැදිලා තියෙන්නේ එයා අතේ. මම විවාහ වෙන්න කලින් එයා මගෙන් අහපු දේ තමා අපේ පවුලේ අය ජීවත් වුණ විදිහ. අපේ පවුලේ තිබුණ බැඳීම. එයාගේ දෙමව්පියෝ තැන් දෙකක හිටියේ. එයාට පොඩි කාළේ ඉඳලාම ලොකු අනාරක්ෂිත බවක් දැනිලා තිබුණා. අපේ පවුලේ අයට තුන් වේල බත් කන්න තරම් වත්කමක් තිබුණේ නෑ. අපේ අය්යලා අක්කලා අපි ඔක්කොම හය දෙනෙක්. අපිට තිබුණේ බොහෝම සුළු ප්‍රමානෙක දේවල්. ඒත් අපේ ගෙදර ආදරේ ඉතිරෙන්න තිබුණා. තාත්තාගේ දෙවන විවාහය අපේ අම්මා. තාත්තගේ ඉස්සරලා විවාහයේ දරුවෝ දෙන්නත් එකතු වුනාම ඔක්කොම අට දෙනෙක්. අපි ඉස්කෝලේ ගියේ දාහක් අඩුපාඩු මැද. ගෙදර ඇවිත් අපි තාත්තගේ හේනට යනවා. ගෑනු ළමයි අම්මට උදව් කරනවා. අම්මගේ තිබුණ නීතිය තමා කොහේ හිටියත් පහ වෙනකොට ගෙදර ඇවිත් පොත් පාඩම් කරන්න ඕන කියන එක. අපි හේනේ ඉඳන් එන ගමන් ඇළට පැනලා නාලා වටේ තියන ගඩාගෙඩි කාලා ගෙදර ඇවිත් පොත් පාඩම් කරනවා. කළුවර වැටුණාම පාඩම් කරන්න ලාම්පු පත්තු කරන්න තරම් වත්කමක් අපට තිබුණේ නෑ. රෑට අහන්න රේඩියෝ එකක් , කියවන්න පත්තරයක් නෑ. රෑ අට වෙනකොට තාත්තා ඇවිත් දවසේ වැඩ ඉවර වෙලා ඇවිත් කාන්සියට ශ්ලෝක කියවනවා. අපි ඔක්කොම ඒවා අහගෙන පිළට වෙලා ඉන්නවා. අම්මා දුම් දාන බත් එක මැටි කොරහට අරං ඇවිත් තියලා ආපහු ගිහින් හොදි ඇතිලිය ගෙනත් සාලේ මැද පැදුරක් දාලා කුප්පි ලාම්පුව එතනට ගේනවා. මුළු ගෙදරම ඒ වෙලාවට එළියයි. අපි දහ දෙනාම කෑම කන්නේ එකම තැන එකම වෙලාවට.කන ගමන් එදා දවසේ වෙච්ච හැම දෙයක්ම අපි ඔක්කොමලා කතා වෙනවා. සමහර වෙලාවට තාත්තා හේනට දවල් පැන්න අලි ගැන කියන්න ගත්තම පොඩි අයට පැදුරේම නින්ද යනකල් කතාව දික්ගැස්සෙනවා. අම්මා ඒ වෙලාවට නින්දට යන සංඥාව දෙනවා කුප්පි ලාම්පුව නිවලා. අපි විසිරෙනවා හරියට ලාම්පුවේ එළිය විසිරිලා ගියා වගේ. මගේ බිරිඳ මේකට හරි කැමතියි. අපේ දරුවෝ තුන්දෙනා පොඩි කාලේ ඉඳන්නම එයා කිවේවේ අපි හැමෝම එකම තැනක එකම වෙලාවකට කෑම කාලා දවසේ කතා බෙදාගන්න ඕනෑ කියන එක. ඒකට අපි දෙන්නා තෝරා ගත්තා රෑ කෑම මේසේ. මොකද අපේ ජිවන රටාව එක්ක තියන විකල්පේ ඒක නිසා. මේක හරියට කෙරුණා ළමයි ටිකක් ලොකු වෙනකල්. ඒත් දැං අවුරුදු පහ හයක ඉඳන් මේ තාක්ෂණය අපේ ගෙදරට රිංගපු දවසේ ඉඳන් අපේ මේ පුරුද්ද අත ඇරුණා. මමත් ඒකට දාකය වුණා. කෑම මේසෙට කෑම තියලා මගේ බිරිඳ එක එක්කනාට දහපාරක් විතර කතා කළාම තමා එන්නේ. එක්කෝ මම වීඩියෝ සංවාදෙක නැත්තම් දුව ෆේස් බුක් එකේ. පුතාලා මොකක් හරි ඉන්ටර්නෙට් සෙල්ලමක. කෑම කන්න ආවත් දුවගේ අතේ සමහර වෙලාවට ටැබ් එක. පුතාලා කතා කරන්නේ අළුත් වීඩියෝ සෙල්ලම්වගේ දේවල් මිස තමන්ගේ ඉස්කෝලේ යාළුවෝ ගැන නෙවේ. මේකට යට නොවුණේ බිරිඳ විතරයි. ඒ වගේම ඒකේ බරපතලකම දැක්කේ එයා විතරයි. එක දවසක් මේ විදිහට රෑ කෑමට අපි එනකල් එයා පැය බාගයක් බලාගෙන හිටියා.අපි පුරුදු විදිහට අපේ වැඩ. එක පාරටම අපේ ගෙදර වයි -ෆයි සම්බන්ධතාවය විසන්ධි වුණා. අපිට වෙන වැඩක් කරගන්න බැරි නිසා හැමෝම එදා එක සැරේ කෑම කෑවා. ආපහු පැයකට පස්සේ සම්බන්ධතාව ලැබුණා නමුත් කාලෙට පස්සේ අපි ගොඩක් දේවල් කතා කළා. එකිනෙකාගේ මුහුණු බලලා කතා කළා. කොටින්ම මගේ ලොකු පුතාගේ මූනේ යන්තම් රැවුල වැවෙන්න පටන් අරං කියලා මගේ දුව විහිළු කළා. මේ වැඩේ හැමදාම කෑම කන වෙලාවට සිද්ධ වෙන්න ගත්තම අපිට සැකයක් ආවා. අපි බිරිඳගෙන් අහනකොට ඇය කිව්වා මමත් කුප්පි ලාම්පුවක් ගත්තා කියලා. අපි හැමෝම එයා දිහා බලන කොට එයා වයි -ෆයි සම්බන්ධතාව තාවකාලිකව වලක්වන නවීන උපකරණයක් අපිට පෙන්නුවා. අපි මොන ජාලයක් හරහා සම්බන්ධ වුණත් අර උපකරණේ ඊට වඩා බලසම්පන්නයි. සතියක් විතර මේකට අපි හැමෝම විරුද්ධත්වය පෑවා. කේන්ති ගත්තා. නමුත් එයා ඒ තීරණයේම හිටියා. දැං අපි හැමෝම එකට රෑ කෑම කාලා පැයක් කතා කර කර ඉන්නවා. ආපහු අපේ ගෙදර ශක්තිමත් බැඳිමක් ඇතිවේගන යනවා කියලා මට දැනෙනවා. මගේ බිරිඳ නවීන පන්නයේ කුප්පි ලාම්පුවක් ගත්තේ ඇගේ ළමා කාළයේ අමිහිරි අත්දැකීම් තමන්ගේ දරුවන්ට නොදෙන්න බව මම අවබෝධ කරගත්තා”

මේ අත්දැකීම මම විස්තර කළේ පවුල තුළට ඇතුළු වෙලා තියන තාක්ෂණයේ බලපෑම කොතෙක්ද කියලා පොඩි හිතුවිල්ලක් ඇති කරවන්න. පවුලේ බැඳීම ඇති වෙන්නේ සංවාදය මත. එකිනෙකාගේ සිතුවිලි , මනෝභාවයන්, රුචි අරුචිකම් සහ අවශ්‍යතාවයන් වල ඇති වන වෙනස්කම් තේරුම් ගැනීමට සංවාදය ඉතා අවශ්‍ය දෙයක්. මෙහිදි කතා කරන්නා සහ අසන්නා යන දෙදෙනාටම ඒ සඳහා යෙදවීමට ප්‍රමාණයත් කාලයක් තිබිය යුතුය. පෙරදී මහාචාර්යවරයා පැවසුවා සේම මේ ජීවන රටාව සමග ඒ සඳහා සුදුසු වන්නේ රාත්‍රී කෑම මේසයයි. නිවසේ වාසය කරන සැවොම රාත්‍රිය වන විටවත් ආපසු නිවසට පැමිණීමේ සංස්කෘතිය මෙතෙක් අප රටේ ආරක්ෂා වී තිබීම සතුටක්. එහෙත් එය නින්ද සඳහා පමණක් පැමිණීමක් විය යුතු නැහැ.

දරුවන්ගෙන් යමක් විමසූ විට ඔවුන් රෑපවාහිනී තිරය මත දෑස් යොමා පිළිතුරු දෙනවා නම්, නැතහොත් ජංගම දුරකථනය වෙත බෙල්ල නමාගෙන පිළිතුරු දෙනවා නම් එසේත් නැතහොත් කනෙහි ගසාගෙන සිටින ශ්‍රවණ උපකරණ  ඉවත් නොකර උත්තර දෙනවා නම් ඔබේ පවුලේ සංවාදයට රතු එළිය දැල්වී ඇති බව වටහා ගන්න. එසේම පවුලේ අම්මා හෝ තාත්තා කෑම බෙදාගෙන ඉඳගන්නේ රූපවාහිනියට නම් තත්ත්වය ඊටත් වඩා භයානකයි.

පවුලේ සැම එක්ව කතා කිරීමේ වැදගත්කම පළමුව වටහා ගතයුත්තේ දෙමව්පියන් විය යුතුයි. එයට ආදර්ශය සහ අවස්ථාව සැපයීමට ඔබට උවමනාවටත් වඩා අවස්ථා තිබෙනවා. එහෙත් මතකයේ තබා ගත යුතු වැදගත්ම දෙය වන්නේ එය පවුලේ සංවාදයක් මිස කිසිදු අවස්ථාවක විවාද පිටියක් නොවිය යුතු බවයි. දරුවන් වයසින් මුහුකුරායත්ම පරම්පරා දෙක අතර පරතරය ස්වභාවිකවම වැඩි වී යනවා. එය තේරුම් ගෙන කටයුතු කරන දෙමව්පියන් සහ දරුවන් අතර ඇතිවන සංවාදය සෑම විටම පවුලේ සාමාජිකයන්ට පහසුවක් ලබා දෙනවා. එය එක්තරා ආකාරයක උත්තේජනයක්. තමන්ගේ මානසික ව්‍යාකූලතා සමනය කරගැනීමට ඉතා හොඳ පරිසරයක් සාමාජිකයන් සමගියෙන් බැඳුන පවුලක තියනවා. බොහෝ අවස්ථාවල තරුණ දරුවන්ගේ ප්‍රශ්ණ හෝ ගැටළු සංවාදයක් තුළින් පමණක් විසඳා දීමට බුද්ධිමත් දෙමව්පියන්ට හැකි වෙනවා. එය ඔබට තනිවම පාලනය කර ගැනීමට නොහැකි බව පෙනී යනවා නම් එයට විසඳුමක් ලෙස කවරාකාරයේ හෝ කුප්පි ලාම්පුවක් භාවිතා කිරීමට ඔබ උපක්‍රමශීලී වන්න. එයින් රැකෙන්නේ ඔබේ පවුලේ සමගියයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය රේණුකා තෙන්නකෝන් මහත්මිය විසින් සකසන ලද ලිපියකි