පවුලේ කෑම මේසයට පුංචි පැටියා මේ විදියට හුරු කරමු

කෑම මේසය කියන්නේ ගෙදර හැමෝම එකට එක් වෙන එක තැනක්. දවසේ වැඩ කටයුතු, හෙට දිනය ගැන වගේම අද සිදු උණු හැමදේමත් මෙතැනදී කතා බහට ලක් වෙනවා. ඉතින් දවසින් දවස වැඩෙන ඔබේ දරුවටත් මේ අත්දැකීම ලබාදීම බොහොම වැදගත්.  මතක තියාගන්න, ආහාරවල වර්ණය, හැඩය වගේම වටපිටාව දරුවන්ගේ සිත්ගන්න අයුරින් සකසුනොත් කෑම මේසයේ ඉඳ ආහාර ලබා ගැනීම දරුවන්ට විනෝදජනක අත්දැකීමක් වනු නොඅනුමානයි.

මෙන්න මේ කරුණුවලට ඔබේ අවධානය යොමු කරන්න

  • දරුවාගේ පළමු වසර සම්පුර්ණ වීමත් සමගම පවුලේ ආහාර සමග හුරු කරන්න.
  • රුපවාහිනිය බලමින් ආහාර ගැනීමෙන් මිදෙන්න.
  • දරුවා පවුලේ කතා බහට සම්බන්ධ කරගන්න
  • ආහාරවල ගුණ අගුණ කියා දෙන්න.
  • ඔබේ ආහාර වට්ටෝරුව සකස් කිරීමේදී දරුවාගේ රුචිකත්වයට මුල් තන දෙන්න.
  • කෑම මේසය පිළිබඳවද වැඩි අවධානයක් යොමු කර දරුවාගේ සිත් ඇදගන්න ආකාරයට ඔබේ නිර්මාණශිලිත්වය එක්කරන්න.
මෙන්න මේ දේවලුත් අම්මලා හිතට ගන්න

  • දරුවට තනියම ආහාර ගන්න පුරුදු කරන්න.
  • ආහාර ගැනීමට පෙර අත සේදිය යුතු බව දවසින් දවස වටහා දෙන්න.
  • දරුවාගේ පිගානට ඔහුට/ඇයට ප්‍රිය උපදවන ලෙසින් අහාර කුඩා ප්‍රමාණයක් දමන්න.
  • දරුවාගේ ආහාර කන්න වගේම ගිලින්නත් පහසු වෙන විදියට කුඩා කැබලි ආකාරයට සකසන්න.
  • ආහාර ගන්නා අතරතුරේදී වතුර බිබී කෑම කන එක පුරුද්දක් කරගන්න ඉඩ දෙන්න එපා. ආහාර ගැනීමෙන් පසුව වතුර බොන්න දෙන්න.
  • දරුවාට හැන්ද හැසිරවීමට ටිකෙන් ටික පුහුණු කරන්න.
  • ඉතා කුඩා, තද බවින් යුතු ටොෆි වැනි දේ අතුරුපස ලෙස නොදී සැමවිටම ගුණදායක පලතුරකට දරුවා හුරු කරන්න.
දරුවන්ට අහාර ගැනීම හුරු කිරීමේදී

  • ඒ සඳහා එකම වේලාවක් වෙන්කරන්න.
  • දරුවාටම ගැලපෙන උස පුටුවක් ඔබේ කෑම මේසයට ලංකර ඒ ස්ථානය දරුවට හුරු කරන්න.
  • ආහාර මුවේ පුරවා කතා කිරීම නුසුදුසු බව ආරම්භයේ සිටම දරුවාට කියා දෙන්න.
  • පිගානේ ආහාර ඉතුරු කිරීම නුසුදුසු බව ටිකෙන් ටික කියා දෙන්න.
  • දරුවා සතුටින් ආහාර ගෙන නිම වූ පසු සැවොම එක්ව දරුවා අගයන්න.

විනයගරුක දරුවෙක් නිර්මාණය කරමු

මේ දරුවන්ගේ කිසිම විනයක් නැහැ. දරුවන් ගැන අපි නිරන්තරව මේ විදිහට කථා කරනු ඇත. එහි ඇත්ත නැත්ත පැත්තක තැබුවත ඇත්තටම විනයක් ඇති දරුවෙක් ගොඩ නගා ගන්නේ කෙසේද යන්න දෙමව්පියන් විසින් දැනගත යුතු තත්වයකි. හැම දෙමව්පියෙකුගේම ඒකායන බලාපොරොත්තුව වන්නේත් තමාගේ දරුවා විනයක් සහිත දරුවෙක් සේ ගොඩ නගා ගැනීමයි එසේ නම් අපි කළ යුතු දේ කුමක්ද යන්න දෙවැනි අරමුණ වෙනු ඇත.

අවවාදයට වඩා ආදර්ශය වැදගත්

අනේ දරුවෝ විනයක් ඇතුව හැදෙන්න යනුවෙන් කියනවාට වඩා දෙමව්පියන් විදිහට ඔබේ විනය ඉතා වැදගත්. එයින් දරුවා තුළ නොදැනීම විනය ගොඩ නැගෙනු ඇත. බාලේ පටන්ම දරුවා අත්දැකීම් ලබා ගන්නේ දෙමව්පියන්ගෙන් නිසා ඔබ නිතරම ඔවුන්ට ආදර්ශමත් වෙන්න. දරුවගේ මනසේ නිදන්ගත වෙන දෙමව්පියන්ගේ හැසිරීම් රටාව ඔවුන්ගේ විනය වෙනුවෙන් විශාල බලපෑමක් ඇති කිරීමට සමත්ව ඇත. කකුලුවා හරහට යමින් පැටවුන්ට කෙලින් යන්නනට කීම නිරර්ථක උත්සාහයක් බැව් දන්නා ඔබ දරුවන්ට ආදර්ශමත් දෙමව්පියන් වෙන්න. එවිට ඔබේ දරුවාගේ විනය ගොඩ නගා ගැනීම එතරම් අපහසුවක් නොවේ.

නිවස දරුවාට ප්‍රියමනාප තැනක් කරන්න

අවිනීතව හැසිරෙන බොහෝ දරුවන්ගේ පසුබිම ගැන විමසා බලන විට පෙනී යන කරුණක් වන්නේ ඔවුන්ට නිවස එතරම් ප්‍රිය මනාප තැනක් නොවීමයි. විනය විරෝධී බොහෝ  පුද්ගලයන් බාල කාලයේදී තම නිවසේ පරිසරය බෙහෙවින්ම අප්‍රසන්නව ගෙවා ඇත. එම තොරතුරු ඇතැම් පුද්ගලයන්ගේ චරිතාපදාන මගින් පවා හෙලිවී තිබේ. බොහෝ විට දුෂ්කරතාවයන් නිසා තමා ලද පීඩනය සමාජයෙන් පිපිරෙන තැනටම මේ තත්වය දරුණු වී ඇත. දරුවන්ගේ විනය ගොඩ නගන මූලික පරිසරය නිවසෙන් ඇති වෙන  නිසා ඒ ගැන උනන්දු වෙන්න. නිවසෙන් ලබන ශික්ෂනය බාහිර ලෝකය සමග ගණුදෙණු කරන විට ඉතා වැදගත් බැවින් නිවස තුළ දරුවාට ලබා දෙන ශික්ෂනය සමග එය දරුවාට ප්‍රියමනාප පරිදි ගොඩ නගන්න.

වෙනසක් ඇති කරන්න

දරුවාගේ ජීවිතයට වෙනස අවශ්‍ය බව හිතන්න. එකාකාර ජීවන රටාවකට අනුව පාසල සහ නිවසට සීමා නොවී බාහිර පරිසරය සමග එක් වීමට කටයුතු සලසා දෙන්න. තවත් අ‍ය සමග ගණුදෙණු කළ යුත්තේ කෙසේදැයි ඔහු එවිට ඉගෙනගනු ඇත. ළිං මැඞියන් සේ සීමිත වපසරියක සිටින දරුවා  පරිසරය සමග ගනුදෙණු ආකාරය නොදන්නා නිසා විනය ගරුක හැසිරීම යනු ඔහුට ආගන්තුකය.

දරුවාට ලබා දෙන අවවාද ධනාත්මක වීම

දරුවන්ට අවවාද ලබා දෙන විට ඒවා ධනාත්මක වීමත් ඉතා වැදගත්. අවවාද නිසා දරුවා මහත් සේ වෙහෙසට පීඩාවට පත් වේ නම් එයින් ඔහුගේ හැසිරීම යහපත් සේ ගොඩ නගා ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. කරන කියන හැම දෙයටම එකාකරව ලබා දෙන එපා යන වචනය නිසා ඔවුන් කළ යුතු සහ නොකළ යුතු දෙය අතර වනසක් දකින්නේ නැත. මේ නිසා විනයගරුක හැසිරීමක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය නම් දරුවා වෙනුවෙන් ලබා දෙන අවවාද ඔහුගේ මනසට අවශෝෂනය වන පරිදි ධනාත්මක ලෙසින් ලබා දීම ඉතා වැදගත්ය. කළයක් මුනින් නවා දිය පුරවන්නා සේ අවවාද ලබා දීමට වඩා ඔහුගේ ජීවිතයේ විනය ඇති වෙන සේ අවවාද මගින් ජීවිතයට ආලෝකයක් ලබා දීම ඉතා වැදගත් වේ.

හොඳ සහ නරක අතර වෙනස පැහැදිලිව කියාදෙන්න

දරුවා යහපත් ක්‍රියාවක් කල විට එය අගය කරන්න. වරදක් කළ විට එහි වැරැද්ද පෙන්වා දෙන්න.හොඳ සහ නරක අතර වෙනස පැහැදිලිව කියාදෙන්න.  “හිටියොත් හොඳට හැදී… දෙවියොත් නමට වඳී ” කියන්නා සේ ජීවිතය ගොඩ නගා ගැනීමේ වැදගත්කම කියා දෙන්න. වැරැදි අවම වන සේ කටයුතු කිරීම විනයගරුක දරුවාගේ ලක්ෂනය බැව් ඔවුන්ට ඉතාම පැහැදිලිව කියා දෙන්න.

කාලසටහනක් අනුව වැඩ කිරීමට කියා දෙන්න

අද සාමාන්‍ය ව්‍යවහාරයේ පවා පවතන සංකල්පය වන්නේ වේලාවට වැඩ කිරීමට අපි පුරුදු නැති බවයි. එය විනයක් නොවේ. විනයක් ඇති තැනැත්තා කිසිම නිතරම වේලාවට කටයුතු තිරීමට පුරුදුව සිටින නිසා ඔහු තුළින් නොදැනීම විනයක් දකින්නට ඇත.ඒ නිසා දරුවාටත් බාල කාලයේ පටන් වේලාවට කටයුතු කිරීමට උපදෙස් දෙන්න. කාලසටහනකට අනුව වැඩ කිරීමට හුරුව ලබා දෙන්න. කලට වේලාවට වැඩ කිරීම නිසා තමාගේ පුද්ගලික ජීවිතයටත් විශාල ආලෝකයක් ලැබෙන බැව් දරුවන්ට පෙන්වා දෙන්න. කලට වේලාවට වැඩ කිරීමට නොහැකි තැනැත්තා වෙනුවෙන් සමාජයේ ඇගයීමක් නොලැබෙන බව දරුවාට ඒත්තු යන සේ කියා දෙන්න. විනය එතැනින්ම ගොඩ නැගෙනු ඇත.

සාධාරණ සීමාවන් පනවන්න

බොහෝ මව්පියන් නිතරම තම දරුවාට හැම දෙයටම එපා කීමට පුරුදුව සිටිති. එයින් දරුවාට ඇති වෙන්නේ මානසික පසුගාමීත්වයකි. ඒ නිසා ඔවුන් දෙමව්පියන් එපා කියන දේ වෙනුවෙන් එතරම් සැලකිල්ලක් නොදක්වන තත්වයට පත් වීම නිසා දරුවාගේ විනය පිලිබඳ ගැටළු ඇති වීමේ ප්‍රවනාතාවයක් නොදැනීම ඇති වේ. ඊට හේතුව වන්නේ කම්මලේ බල්ලා හෙණ හඩටත් බියක්   නොදක්වන්නා සේ ඔබ නිතරම දරුවාට අසාධාරණ සීමාවන් පනවන නිසා ඔවුන් ඔබේ අවවාද නොරුස්සන තත්වයට පත් වීමයි.

පවුලක නීති අවම වීම

නිවස දරුවාට ස්වාධීන වීම ඉතා වැදගත්. නිරන්තරව පනවන නීති රීති නිසා දරුවාගේ මානසිකත්වය බෙහෙවින් අවුල් සහගත තත්වයට පත් වන නිසා ඔවුන් විනය යනු කුමක්දැයි නිසි පරිදි වටහා ගැනීමට අපොහොසත් චරිත බවට පත් වෙනු ඇත.

විනය සමාජයේ පැවැත්මට අවශ්‍ය ගුණාංගයක්. අද බොහෝ වැඩිහිටියන් වෙතින් පවා විනයක් නොදක්නා තැනට පත්ව ඇත. ඒ හැම විටෙකම අපි ඔවුන්ගේ බාල කාලයට නොඑසේනම් මව්පියන්ට චෝදනා නගනු ඇත. යම් දවසක ඔබේ දරුවාත් මේ තත්වයට පත්වීම ඔබ කිසිම ලෙසකින් අපේක්ෂා නොකරනු ඇත.ඔබගේ එකම අපේක්ෂාව විනයගරුක දරුවෙක් සමාජය වෙනුවෙන් නිර්මානය කිරීමයි. එසේනම් දරුවාගේ බාලකාලයේ පටන්ම ඒ වෙනුවෙන් ඔබේ කටයුතු ආරම්භ කළ යුතුය. එවිට සමාජයට ඔබේ දරුවා ආශිර්වාදයක් වෙනු ඇත.

අගුණයි කියනවාට වඩා අගුණ ඇයි කියල දැනගත්තොත් නරකද….?

පාර තොට දිගේ දරුවන් කැටුව යන අම්මාවරුන්ට ඔවුන්ගේ ඇස ගැටෙන ආහාරවලින් බේරා ගැනීම එතරම් පහසු කාර්යක් නොවෙයි.”අනේ ළමයෝ ඕවා අගුණයි” කිව්වත් දරුවන් ඒ ගැන තැකීමක් නැහැ. ඒකත් ඉතින් සාධාරණයි. ඊට හේතුව දරුවන්ට මේවායේ තිබෙන බරපතල බව තේරෙන්නෙත් නැහැ. ඒ වගේම සමහර අවස්ථාවලදී දෙමව්පියන්ට වුනත් මේවා නරකයි කියන්නේ ඇයි කියන බවට හේතුඵල සම්බන්ධතාවයකින් යුක්ත දැණුමක් ඇත්තේත් නැහැ. ඒ නිසා ඇත්තටම ආහාර මුල් කර ගෙන මේ වගේ නුසුදුසුකසම් ගොඩ නැගී තිබෙන්නේ ඇයි…ඒ වෙනුවෙන් කතා බහට සම්බන්ධ වුනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර හා තාක්ෂණ අංශයේ මහාචාර්ය සහ  ශ්‍රි ලංකා පෝෂණ සංගමයේ සංස්කාරක ටෙරන්ස් මදුජිත් මහතා.

ආහාර වෙනුවෙන් ප්‍රියතාවයක් ඇති කරන වර්ණ

අපිට ආහාරයක් දැක්ක ගමන් කන්න හිතෙන්නේ ඒ වෙනුවෙන් යොදා ගෙන තිබෙන වර්ණ වෙතින් ලැබෙන ආකර්ශනය නිසයි. ලෝකයේ හැම රටකම පාහේ ආහාර වෙනුවෙන් වර්ණ එකතු කළත් ඒවායේ පාලනයක් සිද්ධ වෙනවා. අපේ ලංකාවේත් 1980 ආහාර පනත මගින් ශ්‍රි ලංකාවේ ආහාර වෙනුවෙන් රෙගුලාසි පනවා ගෙන තිබෙනවා. 2011 ජනවාරි මාසයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව  ශ්‍රි ලංකාවේ භාවිතයට සුදුසු වර්ණක දහයක් මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්දේශ කර තිබෙනවා.

රතු Carmoisine car
Ponceau 4 R
Erythrosine
Allura Red
කහ Sunset yellow FcF
Tatrazine
නිල් Indigotine
Indigo carmine
Brilliant blue fcF
කොළ Fast Green

අනුමත වර්ණවලින් වුනත් ඇති වෙන බලපෑම නිසා ආහාර වෙනුවෙන් වඩාත්ම ගැලපෙන්නේ ස්වභාවික වර්ණක කිව්වාට වරදක් නැහැ.

ස්වභාවික වර්ණක යොදාගන්නේ කොහොමද…?

කහ ප්‍රතිපිලිකා වගේම ප්‍රති දැවිලිවලට ගුණ දායකයි. ඒ වගේම ගෙදර දොර ආහාර පිළියෙල කරන විට පොල් ටොෆි සහ ආස්මී වැනි ආහාර වෙනුවෙන් බීට් යුෂ යොදා ගන්නවා. හකුරු සහ සීනි කැරමල් කර ගෙනත් දුඹුරු පැහැය ලබා ගැනීමට පුලුවනි. ඒ හැරුනාම කොචිනිල් යොදා ගැනීමත් සිදු වුණා.

අද වෙළදපොලේ තිබෙන ආකර්ශණීය වර්ණ ගැන සැලකිල්ලක් දැක්වීමට අම්මලා උනන්දු වීම ඉතාම වැදගත් නේද..?

ඔව්..ඇස් කඩාගෙන යන වර්ණක ඉතාම අහිතකරයි. බුන්දි, දෝසි, පැනිවලලු වල තිබෙන වර්ණක සෞඛ්‍යයට අහිතකරයි. සමහර විට රෙදි පිලි වෙනුවෙන් යොදන ඩයි වර්ග පවා යොදා ගෙන තිබෙනවා.

  • ඔබ තෝරා ගත් වර්ණය අදාල ලේබලයේ සඳහන් වර්ණකයද බලන්න, පැණි බීම, රසකැවිලි, බයිට්ස් වැනි ආහාර සීමා කරන්න.
  • නිතරම ලා වර්ණ තෝරා ගන්න.
  • ස්වභාවික වර්ණ වෙනුවෙන් යොමු වෙන්න.
නිසි විදිහට වියලා නොගත් විටත් ඇති වෙන ගැටළු තිබෙනවා..

ආහාර නිසි විදිහට වියලා නොගත් විට ඇති වෙන පුස් සහ දිලීර මගින් විෂ දූලක ඇති වෙනවා. සමහර විට අපි පුස් ඉවත් කරල එහෙම නැත්නම් නැවත බැදලා හෝ වියලා ආහාරයට ගන්නවා වුනත් එය සුදුසු නැහැ. මිරිස්, පොල්, රටකජු , බඩඉරිගු වැනි ආහාර නිසි විදිහට වියලා නොගත් විට ඇති වෙන විෂධූලක ( Aflatoxin )  අක්මාව, සහ වකුගඩු ආශ්‍රිත පිලිකාවන්ට හේතු වෙනවා.

ශීතකරණයෙන් විදුලිය පිරිමැසුවා වගේ නොවෙයි…

ආහාර ගබඩා කිරීමේදී ප්‍රශස්ත උෂ්ණත්වයේ ගබඩා කිරීම ඉතාම වැදගත්. ශීතකරණයක නම් සෙන්ටිග්‍රේඩ් අංශක 4 සහ අධිශීතකරණයක නම් සෙන්ටිග්‍රේඩ් – 18 ක ගබඩා කළ යුතුයි. බොහෝ දෙනා ශීතකරණයේ පාලකය සීරුමාරුකරනවා. එහෙම නැත්නම් විදුලිය පිරිමැසීම වෙනුවෙන් රාත්‍රියට ක්‍රියාවිරහිත කරනවා. ඒ වුනත් මේ තත්වය එතරම් සුදුසු නැහැ. අපිට ආහාරයේ සෞඛ්‍යාරක්ෂිත බව වෙනුවෙන් පිලිගැනීමක් ඇති කිරීමට අපහසුයි.

එකම තෙල් යොදා ගෙන බැදුම් කිරීමත් අවදානම්..

එකම තෙල් නැවත නැවත නැවත යොදා ගැනීම අහිතකර බව අපි දැන සිටියත් ලාබය වෙනුවෙන් සුලු පරිමාණ ව්‍යාපාරිකයන් මේ කටයුත්ත දිගින් දිගටම සිදු කරනවා. පසුගිය දිනවල විශාල ආන්දෝලනයක් ඇති වුන සිද්ධියක් තිබුණා. කුඩා පරිමාණ නිෂ්පාදකයින් මඤ්ඤොක්කා වැනි ආහාර පිළියෙල කරන විට ප්ලාස්ටික් බෝතල් යොදා ගන්නා බවට. මෙවැනි තත්වයන් නිසා ඇති වෙන ආහාරවලට එකතු වෙන අහිතකර විෂ රසායනයන් නිසා පසුකාලීනව බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුලුවන්.

එතකොට අපි ගෙදරදී ඉතිරි වෙන බැදුම් තෙල් වෙනුවෙන් මොකද කරන්නේ…

වාරයක් බැද්දාට පස්සේ එහි තිබෙන ආහාර කැබලි ඉවත් කරල වීදුරු බෝතලයක කට ආසන්නයට පුරවා හොදින් වසා වියලි සිසිල් ස්ථානයක තබන්න. එය නැවත එක්වරක් එම සතිය තුළ ගැනීමට පුලුවන්. ඊට වඩා පාවිච්චි නොකළ යුතුයි.

බෝතල් ජලයත් අහිතකරයි..

ගමන් බිමන් යන විට අපි පුරුදු වලා ඉන්නේ කඩපිලෙන් බෝතල් ජලය මිළට ගන්න. ඒත් මේවායේ ඊකෝලි බැක්ටීරියාවන් තිබුන අවස්ථා බොහෝ විට වාර්තා වී තිබෙනවා.ජල සාම්පලවලින් සත්ව සහ මිනිස් අසූචි තිබුන බවට වාර්තා වුණා. ඒ නිසා බෝතල් ජලය ගැන අපිට තහවරු වීමට බැහැ.

වතුර ටිකක් උණුකරගෙන නවලා බෝතලයක අරගෙන යන්න නම් ඉතින් බැරි කමක් අපිට නැහැ..ඒ වුනත් අපේ අම්මලා බලන්නේ පහසුව විතරයි.

සුළං වැදුන අල වර්ගත් සුදුසු නැහැ

විශේෂයෙන් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමේදී මේ ගැන සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.

තක්කාලි සහ හාල්මැස්සන් එකට පිසීමත් අගුණබවට චෝදනාවන් තිබෙනවා..

තක්කාලි ගුණදායක පළතුරක්. එහි අඩංගු ස්වභාවික “ලයිකොපින්” රසායනය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. පිසිනවාට වඩා අමුවෙන් ඉතාම ගුණයි. ඒත් කෘමිනාශක බහුලව යොදන නිසා අමුවෙන් ආහාරයට ගන්නවා නම් අමුගෙඩි ගෙනත් සෝදා දින කීපයක් විවෘත පරිසරයක තැබීමෙන් විෂ රසායනයන් යම් දුරකට අඩු වෙනවා.ඒ වගේම තක්කාලිවල තිබෙන ඔක්සිලින් හාල්මැස්සන්ගේ අන්තර්ගත කැල්සියම් සමග සංයෝග වුනාම කැල්සියම් ඔක්සිලේට් නිපදවන නිසා වකුගඩුගල් හැදෙන ප්‍රවනතාවයක් තිබෙනවා.

කංකුන් කොහිල අල සහ නෙලුම් අල ගැනත් අවදානමක්

මෙම පලා සහ අලවර්ග වැඩෙන්නේ මඩ වගුරු සහිත තැන්වලයි. ඒවායේ බැරලෝහ වැඩියි.පසේ තිබෙන රසදිය , කැන්ඩියම් මේ වගාවන්ට අවශෝෂණය වෙන නිසා සහතික වීමට බැහැ. ඒ නිසා තමන්ගේ නිවසේ ‍මදුරුවන් බෝ නොවන සේ දියකඩක මේවා වගා කර ගැනීම ආරක්ෂිතයි.

Madhujith-150x150

ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ සහ ශ්‍රී ලංකා පෝෂණවේදින්ගේ සංගමයේ සංස්කාරක මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සමග සකසන ලද ලිපියකි.

 

දරුවාටත් මොහොතක් සවන් දෙන්න

දහසකුත් එකක් වැඩ රාජකාරී ඔස්සේ දරුවා විසින් තොරතෝංචියක් නැතුව කියන කතා බහ අසා සිටීම දෙමව්පියන් විදිහට ඔබට කරදරයක් විදිහට හිතෙනවා ඇති. ජීවිතයේ බොහෝ වගකීම් යුතුකම් වෙනුවෙන් යොමුව සිටින ඔබට මේ කතාන්දර අසා සිටීමට තරම් මානසික නිදහසක්ද නැතුවා විය හැකියි. එහෙත් දරුවා ඔබ සමග කියන දේ වෙනුවෙන් සවන්දීම ඔබට අපහසු වුනත් ඒ වෙනුවෙන් කිසියම් කාලවේලාවක් ලබා දීම ඉතාම වැදගත් වෙනවා.

දරුවන්ට එදිනෙදා භාවිතා කරන වචන ගැන කියා දෙන්න

දරුවා බොහෝ දේ වෙනුවෙන් ඔවුන්ටම ආවේනික ශබ්ද කෝෂයක් ගොඩ නගා ගෙන ඇත. තමාට ඇහෙන දේ තුලින් ඔහු මේ ශබ්ද කෝෂය ගොඩ නගා ගත්තද  ඇතැම් දේ වෙනුවෙන් නමක් තබන්නනට දරුවාට ඒ ගැන වැටහීමක් නොවන්නනට පුලුවනි. මේ නිසා ආගන්තුක වස්තුන් වෙනුවෙන් දරුවාට හදුන්වාදී ඒවායේ නම් පිලිබඳව යම් වැටහීමක් ලබා දීමට නම් දරුවාගේ සංවාද වෙනුවෙන් සවන්දීම ඉතාම වැදගත් කටයුත්තක්.

දරුවා සමග සාකච්ඡාවේ යෙදෙන්න

නිවසට පැමිණෙන ඔබ දරුවා සමග කතා බහ කිරීම ඉතාම වැදගත් වෙනවා. අතීතයේදී තොටිල්ලේ සිටින දරුවාට වුනත් “උක්කුං” ,යනුවෙන් හෝ නිවසට එන අමුත්තන් පවා ආමන්ත්‍රනය කරනු ලැබුවා. අද කුඩා දරුවන් වෙනුවෙන් ඒ තරම් පිලිගැනීමක් නැහැ. මව්පියන්ගේ පහසුව වෙනුවෙන් තොටිලි වැටේ ආරක්ෂිතව තබා ගැනීම විනා දරුවා සමජයට හදුන්වා දීමට අද දවසේ මව්පියන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ නිසා නිතරම ඔබ දරුවා සමග සංවාදයන් ගොඩ නගන්නනට උත්සාහ ගන්න. එය දරුවාගේ මානසික සංවර්ධනයට වඩාත් හිතකර තත්වයක් වන්නේ තමා සමග කථා බහට යම් යම් අය එකතු වීම නිසා දරුවා හුදෙකලා වීම නොදැනීම මග හැරෙනු ඇත.

දරුවා කියන දේ වෙනුවෙන් උනන්දු වෙන්න

දරුවා විසින් කරන කතා බහ තුළ ඔබට කිසිම වටිනාකමක් නැති විය හැකිය. ඇතැම් විටෙක මේවාට පිලිතුරු ලබා දිය නොහැකි ප්‍රශ්න විය හැකියි. එදා දරුවන් බොහෝ ප්‍රශ්න පරිසරය ඇසුරෙන් නැගූහ. වළාකුලු යන්නේ කොහැටද……? වැස්ස එන්නේ කොහොමද….? කුරුල්ලෝ රෑට නිදන්නේ කොහේද….? එදවස දරුවන්ට තිබුන ගැටලු මේවාය. ඒත් අද කුරුල්ලෙක් , ගහක් , කොළක් මලක් නොදකින දරුවාට මෙවන් ප්‍රහ්න නැතුවා විය හැකියි. ඒත් අද දවසට ගැලපෙන ප්‍රශ්න තිබිය හැකියි. ඒ වෙනුවෙන් පිලිතුරු දීමට ඔබ සූදානමින් සිටීමත් ඉතා වැදගත්. යම් හෙයකින් දරුවාගේ විමසීම් ඔබ නොතකා හරින්නේ නම් එයින් පෙනී යන්නේ ඔබ දරුවා වෙනුවෙන් හොද සවන් දෙන්නෙක් නොවන බවයි.

දරුවාගෙන්ද ප්‍රශ්න කරන්න

දරුවා වෙනුවෙන් ඔබ හොද සවන් දෙන්නෙක් බැව් තේරුම් යන්නේ  ඔහුගේ සංවාදය වෙනුවෙන් මව්පියන්ද සම්බන්ධ වීමෙන්ය. ඒ නිසා නිතරම ඔබත් දරුවාගෙන් ප්‍රශ්න කරන්න. එවිට තමාගේ සංවාදයට මව්පියන්ගේ දායකත්වය ලැබෙන බැව් පමණක් නොව ඔවුන් ඉතා හොදින් දරුවාට සවන් දුන් බැව් ඔවුන්ට තේරුම් ගනු ඇත. මේ නිසා ඔබත් දරුවාගෙන් යම් යම් ප්‍රශ්න විමසන්න. එවිට තමාගේ සංවාදයේ හොදම හවුල් කරුවා තමාගේම දෙමව්පියන් බැව් දරුවා විසින් තේරුම් ගනු ඇත.

දරුවන් කියන දේ අපහැදිලි වුනොත්…

දරුවන්ගේ සිතුවිලි විටෙක ඔබට තේරුම් ගත හැකි සේ පැවසීම අපහසු අවස්ථාවන් ඇත. තේරෙන භාෂාවෙන් කියන්න…මොකක්ද කියන්නේ කියල මට තේරෙන්නේ නැහැ…මේ විදිහට ඔබේ ප්‍රකාශ සාජු ලෙසින්ම චෝදනා සේ දරුවා වෙත එල්ල වුනොත් එයින් දරුවාට ඇති වෙන්නේ මහත් වූ වෙහෙසකි. තමාගේ අදහස් මව්පියන්ට පැවසීම අවශ්‍ය වුනත් ඒවා තේරුම් ගැනීමට නොහැකිව චෝදනා ලබන විට ඇති වෙන්නේ දැඩි අපහසුතාවයකි. ඒ නිසා නිතරම අපැහැදිලි දෙය සීරුවෙන් පැහැදිලි කර ගනු විනා දරුවන්ට  චෝදනා නොකළ යුතුය.

මටත් ශක්තියක් තිබෙනවා

යම් ලෙසකින් දරුවා තතන තතනා කියන දේ මව්පියන් අසීරුවෙන් වුනත් තේරුම් ගන්නවා නම් දරුවාගේ හිතට කිසියම් ශක්තියක් ලැබෙනු ඇත. මා කියන දේ තේරුම් ගෙන ඒ වෙනුවෙන් කටයුතු කිරීමට මව්පියන් සූදානම් බැව් එහිදී ඒත්තු යන ඇත. මේ නිසා දරුවාගේ හිතේ ගොඩ නැගෙන ශක්තිය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්ද වඩාත් වැදගත් වෙනු ඇත.

කිසිම විටෙක සමච්චල් නොකරන්න

දරුවන්ගේ වාග් කෝෂය ඉතා සීමිතය. මේ නිසා ඔවුන් හිතට එන දේ ඒ අන්දමින්ම ප්‍රකාශ කරනු ඇති. එවන් අවස්ථාවලදී සමච්චල් කිරීම හෝ දොස් නැගීම එතරම් හො  කටයුත්තක් නොවේ. “මම කී දවසක් කියල තියෙනවාද….?” මේ අන්දමින් නැගෙන දෝසාරෝපනයන් කිසිම දිනක එල්ල කරන්න එපා. වේලාවේ හැටියට ඔහුට සවන් දෙන්න. දරුවා කරදරකාරයෙක් යැයි නොසිතන්න.

තරහ මුහුණත් එපා

එකම දේ පුන පුනා අසන විට දෙමව්පියන්ටත් එක්තරා විදිහකට කෝපයක් ඇති වෙනවා ඒත් ඔබ එසේ කෝප ගැනීමෙන් දරුවා අසරණ වෙන නිසා ඉවසීමෙන් ඔවුන්ට සවන් දෙන්න. ඔබ දරුවාගේ සංවාද නොරිසි බව තේරුම් ගිය විට ඔවුන් සියල්ලම හිතේ දරාගෙන සිටිනු ඇත. ඒ නිසා අනාගතයේචිත් දරුවන් සහ දෙමව්පියන් අතර ඇති වෙන සංවාදය ඉතාම සීමිතව වචන දෙක තුනකට සීමා වීමට තරම් තත්වය නරක අතට හැරෙන්නට පුලුවන්.

පාචනය මාරාන්තිකයි… දරුවන් රැකගන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින ආසියාතික රටවල බහුලව දැකිය හැකි රෝග තත්ත්ව අතරට වැටෙන පාචනය පිළිබඳව මව්වරුන් නිසි දැනුවත් බවක් ලැබිය යුතු වන්නේ, පාචන තත්ත්වයට ගොදුරු වන වැඩි පිරිසක් කුඩා දරුවන් නිසාය.

පාචන රෝගය බෝ වෙන්නේ,

පාචනය එහෙමත් නැතිනම් අතීසාරය බහුල වශයෙන් වෛරස හේතුවෙන්ද ඇතැම්විට බැක්ටීරියා හේතුවෙන්ද ඇති විය හැකියි. රොටා වෛරසය සහ ශිගෙල්ලා බැක්ටීරියාව පාචනය තත්ත්වයට හේතු වන විෂබීජ වේ. මෙම රෝගකාරක වෛරස හෝ බැක්ටීරියා බොහෝවිට සිරුරට ඇතුළු වන්නේ අප ලබාගන්නා අපිරිසිදු වූ ආහාර පාන හරහායි.

රෝග ලක්ෂණ : 
  • තද උණ
  • දියර ස්වභාවයෙන් බඩඑළිය යෑම
  • මලපහ සමග රුධිරය පිටවීම
  • වමනය

පාචනය, අතීසාර තත්වයේදී මලපහ සමග ජලය ඉවත්වීම නිසා සිරුරේ ඇති ජල ප්‍රතිශතය පහත බැසීම හේතුවෙන් ඉතා ඉක්මනින් රෝගියා විජලනයට පත්වීම සිදු විය හැකියි. මෙම රෝගයේ අවදානම් තත්ත්වය එයයි. මන්ද මේ හේතුවෙන් සිරුරේ පැවතිය යුතු ලවණ සාන්ද්‍රනයේද වෙනස්කම් සිදුවේ.

රෝගියා විජලනයට ලක්ව ඇති බව හඳුනා ගත හැක්කේ,

  • රෝගී දරුවාට නිතර නිතර පිපාසය දැනෙයි.
  • මුත්‍රා පිටවන වාර ගණන අඩුවේ.
  • දිව, තොල් වියළි ස්වභාවයක් ගනී.
  • සම වියළීම සහ ඇදෙන සුලු බවක් පෙන්නුම් කරයි.
  • දරුවාගේ ක්‍රියාකාරිත්වය අඩු වීම හා මලානික බව.

මෙවැනි තත්වයකදී දරුවාට ලබා දිය හැකි සුදුසුම පානය වන්නේ ජීවනී දියරයයි. අද වන විට දරුවන් වඩාත් ප්‍රිය කරන ආකාරයේ රසයන්ගෙන් යුතුව සැකසී ඇති නිසාම ජීවනී දරුවන්ට ලබා දීම පහසුය. ජීවනී දියරයට අමතරව බත් කැඳ, දොඩම් යුෂ, තැඹිලි වතුර ආදිය ලබා දිය හැකි අතරම ප්‍රෝ බයෝටික් අඩංගු යෝගට් ලබාදීමද වඩාත් සුදුසුය.

මේ සියල්ල නිවැරදි ආකාරයෙන් ලබාදීම ඉතා වැදගත් වන අතරම ප්‍රමාණ පිළිබඳව දැනුවත් වීමට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වනු ඇත. දෙමාපියන් වන අපි නිවසේ රඳවාගෙන දිගින් දිගටම දරුවාට ප්‍රතිකාර කිරීම නුදුසුදු විය හැක්කේ දරුවා අවදානම් විජලන තත්ත්වයට ලක්වුවහොත් හඳුනා ගැනීමට අවැසි දැනුම දෙමාපියන් වන අප සතුව නොතිබිය හැකි බැවිනි. ඒ නිසාම දරුවා වෛද්‍යවරයෙකුගේ පරීක්ෂණයට ලක්වීම වඩාත් සුදුසුය.

මාරාන්තික විය හැකි පාචනය තත්ත්වයෙන් වැළකීමට නම්,

  • පිරිසිදු ජිවන පිළිවෙත් අනුගමනය කරන්න.
  • සනිපාරක්‍ෂක වැසිකිලි භාවිත කරන්න.
  • ආහාර පිසීමට/කෑමට පෙර මෙන්ම වැසිකිලි භාවිතයෙන් පසු සබන් යොදා දෙඅත් සෝදන්න.
  • ආහාර මැස්සන් වැනි කෘමි සතුන්ගෙන් අපවිත්‍රවීමට ඉඩ නොතබන්න.
  • උතුරවා නිවාගත් පිරිසිදු ජලය පමණක් පානය කිරීමට වග බලාගන්න.
  • නොපිසින ලද පලා වර්ග එළවළු වර්ග ආහාරයට ගන්නේ නම් ඒවා හොදින් සෝදා ලුණු මිශ්‍ර ජලයේ මද වෙලාවක් බහා තබා ආහාරයට ගන්නට පුරුදු වෙන්න.
  • වැසි සමයේදී හොඳින් පිසින ලද ආහාර ගැනීමට සැලකිලිමත් වෙන්න.
  • මාර්ග දෙපස ඇති වෙළද සල් වලින් පිසන ලද ආහාර මිල දී ගැනීමෙන් වලකින්න.
  • ළදරුවන්ට මාස හය සම්පූර්ණ වන තෙක් මව්කිරි පමණක් ලබාදෙන්න.
– වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්.ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි –

දෙවෙනි දරු පැටියා ලැබුනම වැඩිමල් දරුවාට සැලකිය යුත්තේ මෙහෙමයි

පවුලකට අලුත් සාමාජිකයෙක් එක්වීම නිසා වැඩිමහල් දරුවා බෙහෙවින් මානසික පසුබෑමකට පත් වෙන අවස්ථාවන් තිබෙනවා. දරුවන්ගේ පැත්තෙන් එය ඉතාම සාධාරන සහ සාමාන්‍ය සිදුවීමක්…ඇත්තටම කියනවා නම් කවුද අකමැති ආදරය ලබන්න. ඒ වුනත් අලුත් දරුවෙක් පවුලට එකතු වුනාම වැඩිහිටියන් වුනත් කියන්නේ පුංචි කමට නොවෙයි ඉරිසියාව…තමන්ගේ සහෝදරයා හෝ සහෝදරියටවත් ආදරයක් නැති හැටි ….ඔබ දරුවාට මේ විදිහට චෝදනා නගනවා නම් එය ඇත්තටම වැරදියි.

අලුත් දරුවෙක් එකතු වුනාම වැඩිමහල් දරුවා අවතැන් වෙනවාද…?

මේ ගැන හොදින්ම දන්නේ වැඩිහිටියන්. එක්තරා අතකින් ඔවුන්ද සාධාරනයි. දරු ප්‍රසුතියෙන් පසුව අම්මාගේ ලෝකය අලුත්. ඇය කායික මෙන්ම මානසික ලෙසින්ද යම් වෙනස්වීමකට පත්ව සිටිනවා. ඒ නිසා නිතරම පවුලේ සෙසු උදවිය හෝ වැඩිමහල් දරුවා සමග කාලය ගෙවන්නට උත්සාහ ගත යුතුයි. එහෙම නැති වුනොත්

“ඉස්සර මට තිබුන ආදරය දැන් නැතැයි” යන ආත්මානුකම්පාවෙන් ඔහුගේ හිත වේදනාවට පත් වීම අරුමයක් නොවේ. මේ තත්වය එතැනින් නවතින්නේ නැහැ. දැන් මට කාත් කවුරුවත්ම නැහැ යන ආත්මීය හෝකයෙන් ඔහුගේ හිත පිරෙනවා. ඒ සියල්ලටම හේතුව අලුතින් පවුලට එක් වුන නංගී හෝ මල්ලී බව තේරුම් යන නිසාම එතැන් පටන්ම බාල දරුවාට වෛර කිරීමට පටන් ගන්නවා. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ ඉතාම කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාම වැදගත්.

ඉතින් පොඩි එකාට නොසලකා ඉන්නයැ…

ඒක ඇත්ත… ඒ වුනත් ඔබ වැඩිමහල් දරුවාගේ හිත කියවීමටත් පුරුදු වෙන්න. ඔහු හෝ ඇය වැඩිහිටියෙක් මෙන් හිතන්නේ පතන්නේ නැහැ. ඒ නිසා අලුත් සාමාජිකයෙක් එක් වෙන බව කල් තබාම දැනුම් දෙන්න. එයින් ඇති වෙන වාසි කියා දෙන්න.

  • දැන් ඔයාටම නංගියෙක් හෝ මල්ලියෙක් ඉන්නවා.
  • පුතාට තනියක් නැහැ.
  • ලොකු වුනාම උදව් කරාවි.
  • නංගිට හෝ මල්ලිට ආදරයෙන් ඉන්න ඕන..එතකොට අපි ඔයාටත් ගොඩාක් ආදරෙයි.

මේ අන්දමින් අලුත් සාමාජිකයා පැමිනෙන පනිවිඩය සමග එයින් ලැබෙන වාසි ගැන කියා දෙන්න. එවිට වැඩිමහල් දරුවාගේ හිතේ කිසියම් වගකීම් සහගත බවක් ඇති වෙනු ඇත.

අම්මයි තාත්තයි ගොඩක් ආදරෙයි

දෙමව්පියන්ගේ ආදරයට සීමාවක් නැහැ. ඒක ඇත්ත වුනත් ඒ බව වැඩිමහල් දරුවාගේ හිතට දැනෙන සේ පෙන්වන්න. ඉස්සරට වඩා ඔහු ගැන අවධානය දෙන්න. ඊට හේතුව දැන් ඔහු අවධානය ගැනීම වෙනුවෙන් විවිධ විදිහට කටයුතු කරනු ඇති. ඒවාට උරන නොවන්න. අපි ඔයාට ගොඩාක් ආදරෙයි…යන්න ඒත්තු ගන්වන්න.

මල්ලිට නංගිට අපි උදව් වෙන්න එපායැ..

දැන් ඔයා ලොකුයි අපිට පොඩි එකා ගැන බලන්න ඕන..අලි බබාලා හුරතල් කරන්න බැහැයි කියමින් කිසිදු දිනක වැඩිමහල් දරුවා ප්‍රතික්ෂෙප නොකරන්න. ඔයත් පුංචි කාලයේ මේ වගේ හිටියේ. අම්මයි තාත්තයි හුගක් මහන්සි වෙලා තමායි පුතා හෝ දුව ලොකු කර ගත්තේ …දැන් ඉතින් අපි නංගිට/ මල්ලිටත් එහෙම උදව් වෙන්න එපැයැ නේද…? යනුවෙන් ඔහුට මේ කටයුතු සාධාරන කර දෙන්න.

වැඩිමහල් දරුවාගෙන්ද උදව් ගන්න

බොහෝ මව්පියන් බාල දරුවාගේ බිහිවීම සමග වැඩිමහල් දරුවා බෙහෙවින් පසුපසට දමන්නේ ඔහු කරදකාරයෙක් ලෙසින් සිතමින්ය. ඒත් ඔබ යම් යම් දෙයට ඔවුන් සහභාගී කරගන්න. ඇතැම් අවස්ථාවන්හිදී බාලදරුවාගේ රෙදි වෙනුවෙන් විෂබීජනාශක දියර ඉසින විට වැඩිමහල් දරුවාද තමාගේ ඇදුම් වෙනුවෙන්ද ඒ ලෙසින් කරන ලෙස ඉල්ලා සිටිනු ඇති. එවිට ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂෙප කොනොට එහෙම නම් පුතා ගිහින් මේ රෙදි ටික ගෙට දාන්නකෝ…ලෙසින් උදව් ඉල්ලා සිටින්න. එවිට තමාටත් නිවසේ තැනැක් ඇති බැව් ඔහු තේරුම් ගනු ඇත.

වැඩිමහල් දරුවාගේ දිනචරියාව වෙනස් නොකරන්න

වැඩිමහල් දරුවාගේ දිනචරියාව බාල දරුවා නිසා වෙනස් වෙන බව දැනුනොත් එයින් ඔහු වඩාත් අප්‍රසාදය ගොඩ නගා ගන්නේ බාල දරුවා සමගය. “මට මේ නිවසේ තිබුන නිදහස, අයිතිය මල්ලි/ නංගි නිසා නැති වුනා..” යැයි සිතීම පෙරලා වෛරයක් බවට පත් වනු ඇත ඒ නිසා නිතරම වැඩිමහල් දරුවාගේ දිනචරියාව වෙනස් කිරීමට උත්සාහ නොකරන්න. බොහෝ දෙමව්පියන් “කෑ ගහන්න එපා… මල්ලි ඇහැරෙයි…ඉක්මනට කන්න…මල්ලි නැගිටියි….දැන් සෙල්ලම් කරන්න එපා මල්ලි නිදාගන්න ලෑස්තියි..” මේ අන්දමින් වාරන පැනවීමට නොයන්න.දරුවන් එය රුස්සන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ පෙරදා පැවැති නිදහසයි..ස්වාධීනත්වයයි. ඒ නිසා ඔබ නිතරම සීමාවන් පනවන්න එපා.

පවුලක් ලස්සන වෙන්න නංගියෙක් මල්ලියෙක් එපායැ…

දරුවන්ට නිතරම තවත් කුඩා දරුවන් ගැන පෙන්වා දෙන්න. දරුවන්ගේ එකතුව වඩාත් අලංකාර බැව් කියන්න. බෝනික්කන් සමග පවා සෙල්ලම් කරන විට තවත් බෝනික්කන් පවුලේ සාමාජිකයන් විදිහට පෙන්වා දෙන්න. එවිට තමා පමණක් නොව මෙම පවුලට තවත් සාමාජිකයන්ගේ පැමිනීම අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් ඉඩ දීම අවශ්‍ය බවත් තේරුම් ගනු ඇත. එවිට නංගියෙක් /මල්ලියෙක් ලද විටක වැඩිමහල් දරුවාද පෙරසේම සතුටින් ජීවිතය ගත කරනු ඇත.

දරුවාටත් සැලසුමක් ඇතුව වැඩ කටයුතු කිරීමට පුරුදු කරන්න

ඔබ දුටුගැමුණු කුමාරයාගේ කථාන්දර බොහෝ අසා ඇති. එයින් එක් කතාවක කියැවෙන්නේ දුටුගැමුණු කුමාරයා කොත්මලේ ප්‍රදේශයේ සිටින විට දිනක් මහලු අත්තම්මා කෙනෙකුගේ නිවසට ගියේ අධික මහන්සිය සහ කුසගිනි දැනුන මොහොතකය. ඒ බව දැන ගත් මහලු අත්තම්මා මේ දුටුගැමුණු කුමාරයා බව නොදැන උණු බත් පිගානක් බෙදා දී ඇත. කුසගින්න නිසා තැනක් නොතැනක් නැතුව බත් පිගානෙන් බත් කන කුමාරයා දැක අත්තම්මා මෙසේ කීවාය..පුතා හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේ කිසිම සැලසුමක් පිලිවෙලක් නැහැ…කී විට ගැමුණු කුමාරාටත් තේරුම් ගියේ තමාගේ සැලසුම දුර්වල බවයි. එතැනින් නික්ම ගිය කුමාරයා පූර්ව සැලසුම් සහිතව කටයුතු කර යුද්ධය ජයගත් අතර ඒ අත්තම්මා වෙනුවෙන් කොත්මලේ ප්‍රදේශයෙන් “අපරැක්ක” යනුවෙන් ගම්වරයක්ද ප්‍රධානය කරන ලදී. මේ සිදුවීම අපටත් අපගේ දරුවන්ටත් සාධාරනය. ඒ නිසා සැලසුමක් ඇතුව කටයුතු කිරීමට දරුවන් බාල කාලයේ පටන්ම පුරුදු කිරීම ඉතාම වැදගත් වෙනවා.

සැලසුම කියන්නේ බර වචනයක්…

වචනය එහෙම වුනත් බාල කාලයේ පටන්ම පිලිවෙලකට වැඩ කටයුතු කලොත් සැලසුම එතරම් අපූරු දෙයක් නොවෙයි…ඒ නිසා කුඩා කාලයේ පටන් ම දරුවන්ට සංවිධානාත්මකව කටයුතු කිරීමට පුරුදු කරන්න. මෙය ඔහුගේ එදිනෙදා වැඩ කටයුතු තුලින් ආරම්භ කරන්න.

සංවිධානය

දරුවන් සෙල්ලම් කරන විට ඔහුගේ ක්‍රිඩා උපකරණ සමීප කර ගැනීමට කියා දෙන්න. ක්‍රිඩාවට පෙරාතුවම අවශ්‍ය දේ එක් රැස් කර ගත් විට එතැනින් ඔබ්බට සෙල්ලම සම්බන්ධ කර ගැනීමට ඔවුන්ට අපහසුතාවයක් නැත. යම් කටයුත්තක් කිරීමට පෙරාතුව අනිවාර්යෙන්ම විය යුත්තේ එයයි. එම පුරුද්ද දරුවාට බාල කාලයේ පටන්ම ගොඩ නැගීමට මව්පියන් උත්සාහ ගත යුතුයි.

එම කාර්යයයේ නිතර වීම

බොහෝ දරුවන්ට තිබෙන ගැටළු අතරින් එකම කාර්යක් වෙනුවෙන් අවධානය දැක්වීමට තිබෙන අපහසුතාවය නිසා ඔවුන්ගේ කටයුතු අවුල් සහගත වෙනු ඇත. එය දරුවන්ගේ සාමාන්‍ය හැසිරීම් රටාව වුනත් මේ පුරුදු ඔවුන් සමග ඉදිරි අනාගතයටත් බලපාන බැවින් නිතරම දරුවන්ට එක් අවස්තාවක එක් දෙයක් වෙනුවෙන් අවධානය දැක්වීමට කියා දෙන්න. හිත අනවශ්‍ය ලෙසින් විසිරී ගිය විට එකදු කාර්යක්වත් සාර්ථක නොවන බව කියා දෙන්න. මේ සංවිධානාත්මක බව ගොඩ නැගීම දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන්ද වඩාත් ප්‍රායෝගික ලෙසින් සම්බන්ධ කර ගැනීමට හැකියාව ඇත. ඇතැම් දරුවන් පංති කාමරයේදී වඩාත් දෝෂාරෝපනයට ලක් වෙන්නේ පාඩම වෙනුවෙන් අවධානය නොදැක්වීම සම්බන්ධවයි. ඒ වෙනුවෙන් වූ හුරුව නිවසේදීම දෙමව්පියන්ට ගොඩ නැගීමට හැකියාව ඇත.

වැඩ අවසාන වූ පසුව ක්‍රිඩාව හෝ පාසලේ වැඩ කටයුතු අවසාන වූ පසුව සියල්ල අස් කර තැබීමට උපදෙස් දෙන්න. සෙල්ලම සමග උපකරණ සියල්ල සී සීකඩ දමා නොයන සේ ඔහු හුරු කරන්න. එසේ අස් නොකරන පුරුද්ද නිසා තමාගේ උපකරණ නාස්ති වීමට , නැති වීමට තිබෙන අවස්තාවන් ගැන කියා දෙන්න. ඒ නිසා කටයුතු අවසානයේදී නිසි තැන තබන්නනට පුරුදු කිරීම දරුවාගේ සංවිධානය සහ සැලසුම් සහගතබව ගොඩ නැගීමට වඩාත් හේතු වේ.

පුරුදු ගොඩ නැගීම පහසු නැහැ

ඇත්තටම දරුවන්ට සංවිධානය සහ සැලසුම වැනි පුරුදු ‍ඇති කිරීම වඩාත් හොද වුනත් මේවා ගොඩ නැගීම පහසු නැහැ. ඒ වගේම එක් රැයකින් කරන්න පුලුවන් දෙයකුත් නොවෙයි. ඒ නිසා ඔබ මුලින්ම දරුවා කරන කටයුතු වෙනුවෙන් ආශාවක් ඇති කරන්න.

සමහර විට අමාරු කාර්යක් නම්

දරුවන්ගේ වයසට අනුව ඔවුන්ට කළ හැකි මට්ටමක් තිබෙනවා. ඒ නිසා ඇතැම් දේ ඔවුන්ට ආරම්භ කරන ලද ශක්තියෙන්ම ඉදිරියට යා නොහැකි නිසා ඔවුන් අතරමගදී අත්හැර දැමීමට පෙළඹෙනු ඇත. එවන් අවස්ථාවලදී ඔබේ සහයෝගය ලබා දෙන්න. අසීරු තැන් ඔබ තේරුම් ගෙන ඒ වෙනුවෙන් අවශ්‍ය ධෛර්ය ලබා දීමට උනන්දු වෙන්න.

සූදානම පටිය, බැජ් , වැනි දේ රාත්‍රියේ සොයා තැබීමෙන් උදේ කාලය ඉතිරි වෙන බව පැහැදිලිව පහදා දෙන්න. බොහෝ නිවෙස්වලින් උදේට ඇසෙන මේ ගෝරනාඩුව ඔබටත් හුරු ඇති…”මගේ මේස් එකක් නැහැ…” “මගේ රිබන් එක කෝ…” මෙවැනි සුලු දෙයින් බොහෝ කාලයක් වැය වෙන නිසා පසුදින උදය වෙනුවෙන් පෙර සූදානම ඉතා වටිනා බැව් කියා දෙන්න.වචනයට වුවත් කියන අවදානමට වඩා සූදානම වැදගත් බැව් දරුවාටත් කියා දෙන්න.

සැලසුමක් වැරදුන විට උදව්වට සිටින බව කියන්න

දරුවා විසින් ගොඩ නගන සැලසුම යම් හෙයකින් වැරදෙන්නට පුලුවන් වුනත් වැරදුන පසුව දොස් නැගීමට නොයන්න. වැරදුන තැනින් ඔබ ඔහුට යා යුතු මග කියන්න. දරුවාගේ සැලසුම තුල ඇති දෝෂ අඩුපාඩු වෙතොත් එය නිවරැදි කරන්න. නොවැටී ඉදිරියට ගිය කෙනෙක් නැත හැම ජයග්‍රහනයක්ම සිදුව ඇත්තේ වැටි වැටී නැගී සිටීම සහ සැලසුමක් සහිතව තම කටයුතු කිරීම නිසා බැව් දරුවන්ටත් කියා දෙන්න. එවිට දරුවා තුලින්ද සාර්ථක සැලසුමක් නැවත නිර්මානය වෙනු ඇත.

දරුවෙක් ප්‍රබන්ධ පොතක් කියැව්වාට ආවේශ වෙන්න එපා…

දරුවන් පමණක් නොවෙයි වැඩිහිටි අපි වුනත් යමක් කියවන්න කැමැති මව්භාෂාවෙන්. ඉක්මනින් තේරුම් ගැනීමට පහසු නිසා අපේ තීරණයන් ඒ විදිහට හැඩ ගැසුනත් අපි ලෝකය සමග ගණුදෙණු කරනවා නම් ඉංග්‍රිසි භාෂාව අමතක කරල බැහැ. ඒ නිසා පුංචි කාලයේ පටන්ම දරුවන්ට ඉංග්‍රිසි භාෂාවෙන් පොත් පත් කියවීමට අවස්ථාව ලබා දීම ඉතාම වැදගත්.පොත පත කියවීම මගින් අපට ලැබෙන ප්‍රයෝජන බොහොමයක් තිබෙනවා.

දරුවන් ප්‍රබන්ධ පොතක් කියවන විට දෙමව්පියන් ආවේශ වෙන්නේ “ඔය නවකතා පොත් කියවලා වැඩක්ද….” ඉස්කෝලේ පොතක් පතක් බලා ගන්න කියල වුනත් පසුගිය දිනක ඇට්ලන්ටා විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද මෙම වාර්තාව කියැව්වොත් දරුවන් ප්‍රබන්ධ සාහිත්‍යය වෙත යොමු වීම වරදක් නැති බව ඔබටත් තේරුම් යාවි.

ඇට්ලන්ටාහි එමෝර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ග්‍රෙගරි බර්නින්  විසින්  සිදු කරන ලද මෙම අධ්‍යනයේදී  ඔහු මුලින්ම දරුවන්ගේ මොළයේ එම්. ආර්. අයි ස්කෑන් ඡායාරූපයක් ලබා ගත්තා. එයින් පෙනී ගියේ මෙම දරුවන්ගේ මොළයේ බොහෝ කොටස් අක්‍රියව පවතින බවයි. එයින් පසුව ඔහු තමා විසින් තෝරා ගත් “ලාස්ට් ඩේස් ඔෆ් පොම්පේ” නවකතාවේ පරිච්ඡේද නවය දින නවයක් පුරා දරුවන්ට කියැවීමට ඉඩ ලබා දුන්නා. ඒ අතරම ඔහු විසින් නැවත නැවත ලබා ගත් ස්කෑන් ඡායාරූප මගින් පෙනී ගියේ මුලදී ක්‍රියාකාරිත්වයක් නොදක්වන ලද භාෂාව වෙනුවෙන් වූ මොළයේ කලාපය මෙම ප්‍රබන්ධ පොත් පත් කියවන විට ඉතා හොදින් ප්‍රතිචාර දක්වන බවයි.

කියවිම, ලිවීම, සවන්දීම, කථනය වැනි චතුර්විධ කුසලතාවයන්ගෙන් සම්පූර්ණ වීමට නම් පොත් පත් කියවීමට යොමු වීම ඉතා වැදගත් වෙනවා. වෙනත් භාෂාවන් ඉගෙන ගැනීම දරුවන්ගේ මොළය පිලිබඳ වර්ධනයටත් හේතු වෙන බව පර්යේෂණයන් මගින් සනාථව තිබෙනවා. දරුවන් කියවන්න අකමැති වුනත් ඉංග්‍රිසි භාෂාවෙන් පොත් පත් කියවන්නේ හුරු කරන්නේ කොහොමද….?

දරුවන්ට ගැලපෙන ඉංග්‍රිසි පොත් මොනවාද?…

20 වන සියවසේ ළමා කතා ලෝකයේ රැජින ලෙසින් සැලකෙන “ඉනිඩ් බ්ලයිටන්” ගේ පොත් දරුවන්ට ඉතාම ගැලපෙන පොත් පත් විදිහට සැලකෙනවා. ඇය පුහුණු ගුරුවරියක ලෙසින් සේවය කළ අතර එම කාලයේදී පටන් ඇය “ටීචර්ස් වර්ල්ඩ්” සඟරාවට ලිපි ලේඛන රචනා කළාය. ඇගේ මුල්ම කෘතිය වූයේ ළමා කවි පොතකි. අභිරහස් කථා රචනයේදී ඉනිඩ් බ්ලයිටන් දැක්වූයේ අපූර්ව කුසලතාවයකි. දරුවන් කුතුහලය දනවන කථාන්දර වෙනුවෙන් දක්වනු ලබන්නේ විශේෂ ලැදියාවකි. මේ නිසා දරුවන් වෙනුවෙන් ඉංග්‍රිසි පොත් පත් තෝරා දෙන විට ඔබ ඉනිඩ් බ්ලයිටන්ගේ පොත් පත් අරගෙන දීමට උනන්දු වෙන්න.ලෝකය පුරා දරුවන්ගේ හිත් ඇද ගත් “ද ටේල් ඔෆ් ද පීටර් රැබිට්”  කෘතිය රචනා කරනු ලැබුවේ “බ්‍රියට්‍රිස් පෝටර්” විසින්ය. පින්තූර රැසක් සහිත මෙම පොත දරුවන්ගේ හිතට බෙහෙවින් සමීප වුණා. ඉංග්‍රිසි පොත් පත් කියවන මුල් කාලයේදී දරුවන්ට පින්තූර සහිත පොත් පත් ලබා දීම ඉතා වැදගත් වෙන්නේ නුහුරු භාෂාවක් තේරුම් ගැනීමේදී පින්තූර මගින් විශාල පිටුවහලක් ලැබෙන නිසාය.

20 වන සියවසේ ළමා කථා ලෝකයේ රජ්ජුරුවෝ විදිහට සැලකෙන “රෝල් ඩාලිං” නෝර්වේජියානු ජාතිකයෙකි. ඔහුගේ මුල්ම කෘතිය වූයේ  “ද ග්‍රිම්ලයින්ස් ” කෘතියයි. ග්‍රිම්ලයින් 1961 වසරේ රචිත ” ජේම්ස් ඇන්ඩ් පීච් ” කෘතියෙනි නතුරුව රචිත ” ද චොකලට් ෆැක්ටරි ” ළමා කෘතිය සියවසේ හොඳම ළමා කෘතිය බවට පත් විය.1966 වසරේ රචිත ” මැටිල්ඩා ” ළමා නවකතාවට බ්‍රිතාන්‍යයෙන්  සම්මාන ලැබුණි. ” චාලි ඇන්ඩ් චොකලට් ෆැක්ටරි ” කෘතිය ලෝකයේ වැඩිම භාෂා ගනනකට පරිවර්තය වුන කෘතිය ලෙස සැලකේ.ලොන්න බැරියේ එමිල් ළමා නවකතාව රචනා කරමින් ජගත් කීර්තියට පත් ” ඇස්ට්‍රිඩ් ලොන්ග්‍රින් ” ස්විඩනයේ ජාතික වස්තුවක් බවට පත් ලේඛිකාවකි.දරුවන්ගේ මනස කියවන ලේකිකාවක ලෙසින් ප්‍රකට ඇයගේ කෘති දරුවන් වෙනුවෙන් ඉතාම ගැලපෙන ළමා කතා රචනා කරන ලද ලේඛිකාවකි.

“එස්රා ජැක් කිට්ස්” දක්ෂ චිත්‍ර ශිල්පියෙක් මෙන්ම ගත්කතුවරයක් වන නිසාම ඔහු දරුවන්ගේ ලෝකය වඩාත් ග්‍රහණය කර ගත් අයෙකි.  මේ නිසා දරුවන් වෙනුවෙන් ළමා කථා ලිවීමට ඔහු දක්වනු ලැබුවේ අපුර්ව හැකියාවකි. ඒ නිසාම දරුවන් වෙනුවෙන් පොත් තෝරා ගැනීමේදී එස්රා ජැක් කිට්ස්ගේ කෘති වෙනුවෙන් දෙමව්පියන් විදිහට ඔබ උනන්දුවක් දැක්වීම වැදගත්.

“ජේ. කේ. රෝලිං” විසින් “හැරී පෝටර්” කථා මාලාව ජගත් කීර්තියට පත් වුනත් ඇතැම් රටවල් විසින් මෙම ඉන්ද්‍රජාලික තත්වයන් දරුවන්ගේ මනසට යොමු කිරීම එතරම් අගය කරන්නේ නැහැ. ඒ නිසා දරුවන් වෙනුවෙන් පොත් පත් තෝරා ගැනීමේදී ආදර්ශයක් ලබා ගත හැකි පොත් පත් තෝරා ගැනීම ඉතාම වැදගත්.

එංගලන්තයේ උපත ලද “ඩික් කිං ස්මිත්” විසින් රචිත ළමා කාති අතරින් වඩාත් ප්‍රකට කෘතිය ලෙස සැලකෙන්නේ “ද ෂීප් පිග්” කෘතියයි. ඔහුගේ බොහෝ නවකතාවන් වෙනුවෙන් පාදක වී තිබෙන්නේ සත්ව චරිත වීමත් විශේෂයි. දරුවන් අතර ජීවත් වෙන චරිත යොදා ගැනීමෙන් දරුවන් තුල කියවන රුචිය ගොඩ නැගීම පහසුයි.

ඉංග්‍රිසි කියවීම මුල් කාලයේදී සමහර විට දරුවාට අපහසු විය හැකියි. මේ නිසා සිංහල පරිවර්තනය ලබා දීම මගින් මෙම කථාව් අදහස සිතට ගත් විට ඉංග්‍රිසි පොත කියවා ගැනීම එතරම් අපහසු නැහැ. ඒ වගේම දරුවාට ගැලපෙන ශබ්දකෝෂයක් ලබා දෙන්න. එය පරිශීලනය කිරීමෙන් ගැටළු සහිත වදන් තේරුම් ගැනීම පහසු වෙනු ඇත.

බාලවියේ පසුවෙන දරුවන්ට ඉංග්‍රිසි පොත් කියවීම හුරු කිරීම සඳහා ඔබ කළ යුතු එකම දෙය වන්නේ ඇසට ආකර්ශනීය වන පොත් පත් ලබා දීමයි.

උදේ ආහාරය වැදගත් ඇයි…?

උදේ ආහාරය රජෙක් වගේ ගන්න කියන වාක්‍ය මොනතරම් ගායනා කළත් බොහෝ දෙනෙක් උදේ ආහාරය මග හරිනවා. වෙලාවක් නැතැයි යන සම්ප්‍රදායික වගන්තිය ඔස්සේ තමන්ගේ නිදහසට කරුනු කිව්වත් දරුවන්ට උදේ ආහාරය ලබා දීම ඉතාම වැදගත්. ඔබ දැන් මෙහෙම කියාවි…

අපි දරුවාට උදේ පාසල් යන්න ඉස්සර ලොකු කිරි වීදුරුවක් දෙනවා…

උදේ ආහාරයට අඩුම තරමින් ආහාර කාණ්ඩ තුනක්වත් එකතු විය යුතුයි. ඒ අතරට ධාන්‍ය, එළවළු සහ පළතුරු වගේම මස් , මාළු වැනි දේ ඇතුලත් වීම වැදගත්. කිරි වලින් ලැබෙන්නේ එක් ආහාර ඛණ්ඩයක් විතරයි. පාසල් යන දරුවන්ගේ වර්ධණය ඉතාම සිඝ්‍රයෙන් සිද්ධ වෙන නිසා ඔවුන්ට අවශ්‍ය පෝෂනය ලබා දීමට උදේ ආහාරය ගැන සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.

ශ්‍රිලංකාවේ සංඛ්‍යා ලේඛන ( බී.බී.සී. ) මගින් පෙන්වා දෙන අන්දමට පාසල් 10, 162 ක ඉගෙනුම ලබන දරුවන් අතරින් හතලිස් එක්ලක්ෂ හතලිස් තුන්දහස්  තිහක් පමණ දරුවන් උදේ ආහාරය මග හරිනවා.

ඇත්තටම අපි උදේ ආහාරය ලබා ගත යුත්තේ ඇයි….?

  • හදවතට ගුණයි

ජීවිතය ජීවත් කරන්නේ හදවතයි. අද යාන්තම් වයස අවුරුදු තිහක් පමණ වෙන විට හදවත ආශ්‍රිත රෝගාබාධ ගැන අපිට නිරන්තරව ඇසෙනවා. හදවත ආරක්ෂා කර ගැනීමට පහසු මගක් ඔබ තවමත් නොදන්නවා ඇති. ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය “ලිෂ් චර්චිල්” ස හන් කරන ( ඩේලි මේල් ) හෘදය වස්තුවේ කිරීටක ධමණීන් ආශ්‍රිත රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලැබීමට උදේ ආහාරය නිසි පරිදි ලබා ගැනීම ඉතාම වැදගත්.

  • දියවැඩියා රෝග තත්වයට හේතු වෙනවා

දියවැඩියා රෝග තත්වය අද ප අතර ඉතාම සුලබයි. මෙය නිහඬ මාරයෙක් විදිහට හැදින්වෙනවා. ඒ වුනත් උදේ ආහාරය නිසි පරිදි ලබා ගන්නා දරුවන් දියවැඩියා රෝග තතවයෙන් ආරක්ෂා කර ගැනීම ඉතාම පහසු බව හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය අංශය මගින් පවත්වන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දී තිබේ. මෙම අධ්‍යනය වෙනුවෙන් පුද්ගලයන් 48,289 ක් දෙනා තෝරා ගත් අතර එම පිරිස අතරින් දියවැඩියා රෝග තත්වයට පත් පිරිස උදේ ආහාරය වෙනුවෙන් එතරම් සැලකිල්ලක් නොදක්වන පිරිසක් වීම මේ තත්වයට හේතු විය.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ උදේ ආහාරය ගැන වඩාත් සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.

  • සිරුරේ බර

පුද්ගලයෙකුගේ නීරෝගීතාවය වෙනුවෙන් උසට සරිලන විදිහට බර තිබීම ඉතාම වැදගත්. අද දරුවන් අතර මේ තත්වය දකිනන් ලැබෙන්නේම නැහැ. තරබාරුව ඔවුන් වෙනුවෙන් වූ රෝගාබාධයන්ට මග කියනවා. ඒත් උදේ ආහාරය ලබා ගන්නවා නම් අනවශ්‍ය තරබාරුවෙන් මිදෙන්න එතරම් අපහසුවක් නැහැ. රාත්‍රි ආහාරය ගැනීමෙන් පසුව නින්දට යන නිසා අනවශ්‍ය විදිහට සිරුරට කැලරි ගබඩා වුනත් උදේ ආහාරයේදී ඇති වෙන ක්‍රියාශීලීත්වය නිසා බයක් නැතුව ආහාර ගත හැකියි. අපි ඒ ගැන නොතකා හොදම ආහාරය රාත්‍රිය වෙනුවෙන් ලබා ගෙන නින්දට යන නිසා ආහර දහනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා රාත්‍රි ආහාරය නොව දරුවන් වෙනුවෙන් වඩාත් පෝෂ්‍යදායී ලෙසින් උදේ ආහාරය ලබා දෙන්න.

  • පිලිකාවට මගක්

පිලිකාව යන වචනයත් අපි අහන්න කැමැති නැහැ. ඒ නිසා හැකි තරම් පිලිකාවෙන් මිදෙන්න අපි ජීවිතය හැඩ ගසා ගත යුතුයි.ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණායතනයක් ( වෙබ් මෙඩ් ) මගින් සිදු කරන ලද අධ්‍යනයක් අනුව පෙන්වා දෙන්නේ උදෑසන ආහාර මග හැරීම නිසා ඇති වෙන තරබාරුව පසුකාලයකදී නොදැනීම පිලිකාව ඇති වීමට බලපාන බවයි. උදේ ආහාරයේදී පිටි බහුල ආහාර ගැනීම නිසා එළවලු ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන  “බිටා කැරොටින” අඩු වීමත් ‍දරුවන්ගේ රෝග තත්වයන්ට බලපාන බව මෙම අධ්‍යනයන් මගින් හඳුනාගෙන තිබෙනවා.

උදේ ආහාරය නොගන්නා දරුවන්ගේ ලක්ෂණ

  • ගණිතය සහ මතකය පිලිබදව ඇති ගැටළු.
  • ප්‍රශ්න විසඳීමේ හැකියාවක් නැහැ.
  • තරග විභාග වලින් අඩු ලකුණු.
  • දරුවාගේ උස අඩුවීම.

අම්මලා දරුවන් රජුන් කරන්න දුක් මහන්සි ගන්න බව සැබෑව. ඒ වගේම මේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය පෝෂණය ලබා දීමත් ඊට සමගාමීව යා යුතු නිසා උදේ ආහාරය ගැන සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.

පැපොල රෝගය ගැන ඔබ නොදත් දේ ප්‍රශ්නෝත්තර ලිපියකින්,මේ දැන්ම කියවන්න

  1. වෛද්‍යතුමනි, පැපොල රෝගය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න

පැපොළ රෝගය ඇති වන්නේ හර්පීස් පවුලට අයත් වැරිසෙල්ලා නම් වූ වෛරසය හේතුවෙන්. රෝගය වැළඳුන අයෙකු සමග කිට්ටු සබඳතාවයක් පැවැත්වීම නිසා ශ්වසන පද්ධතිය ආශ්‍රිත බිඳීති මගින් පැපොළ රෝගය බෝ විය හැකියි.

  1. සම මත ඇති වන බිබිලි කැඩී යාම නිසා පිටවන ද්‍රවය තැරවීමෙන් රෝගය බෝ වීමක් සිදු වෙනවාද?

ඔව්… එම ශ්‍රාවය නිරෝගී අයෙකුගේ සමමත තැවරීමෙන් රෝගය බෝ විය හැකියි.

  1. පැපොළ රෝගියෙකු පෙන්නුම් කරන රෝග ලක‍ෂණ මොනවාද?

උණ/හිසේ වේදනාව/බාහුවල හෝ සිරුරේ කුඩා රතු පැහැ බිබිලි ඇති වීම මේ රෝගයේ මූලික ලක‍ෂණ ලෙස දැක්විය හැකියි.

  1. ඒ රත් පැහැ බිබිලි දිනෙන් දින විශාල වෙනවා නේද?

ඔව්… රත් පැහැ බිබිලි ක්‍රමයෙන් වතුර බිබිල බවට පත්ව දින කිහිපයකින් සැරව බිබිලි බවට පත්වෙනවා. අවසානයේදී ඒ මත කබොල්ලක් හටගනී. එසේම නැවත නැවතත් අලූත් බිබිලි හටගන්නවා. කෙසේවුවද කුඩා දරුවන්ගේ නම් බිබිලි වැඩි ප්‍රමාණයක් ඇති වන්නේ නැහැ.

  1. උණ/හිසේ වේදනාව වැනි රෝග ලක‍ෂණ නොමැතිව බිබිලි ඇති වීමෙන් පමණක් මෙම රෝගය ආරම්භ වෙන අවස්ථා තියෙනවා නේද?

ඇතැම් විට එවැනි අවස්ථාත් නැත්තේම නැ, එක් එක්කෙනාගේ සිරුරේ දරාගැනීමේ හැකියාව මට එසේ සිදුවිය හැකියි.

  1. මෙම බිබිලි පිට දැමීම සිදුවන්නේ වෛරසය ශරීරගත වී කොපමණ කාලයකින්ද?

වැරිසෙල්ලා වෛරසයේ බීජෞසන සමය දින 7 – 21 පමණ වෙනවා. සාමාන්‍යයක් ලෙස ගතහොත් මෙය දින 10-14 පමණ වුවද විය හැකියි. මෙහිදී මෙම රෝග ලක‍ෂණ පෙන්නුම් කරන්නේ වෛරසය සිරුරට ඇතුළු වී දින 7 -21 ත් අතර කාලයේදී එනම් බීජෞසන සමය අවසන් වූ පසුවයි.

  1. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෝගය තවත් අයෙකුට බෝවෙන්නේ රෝගියාගේ දෙවන සතිය ඇතුළත බවද?

රෝගය වැළදී නැති අයෙකුට රෝගය බෝ වීමේ අවදානම පවතින්නේ දින 7කින් හෝ දින 21කින්. ස්වභාවිකව හෝ එන්නත් ලබාදීමෙන් සිරුර තුළ ප්‍රතිශක්තිය ගොඩනැගුණු අයෙකු රෝගී අයෙකුට ඇප උපස්ථාන කරමින් හෝ රෝගියා අසල ගැවසුණු විට දින 21ක් ගෙවී යන තුරු රෝගය බෝ වේද නැද්ද යන්න සැක සහිත වුවත් දින 21කට පසුව රෝගය බෝවීමේ අවදානමක් නැහැ. එසේම පැපොළ රෝගය එක්වරක් ඇති වූ පසු කාලයක් ගත වී කලාතුරකින් සුළු මට්ටමින් හෝ නැවත ඇති වන අවස්ථාද තියෙනවා.

  1. හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන්න. හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ඇති වෙන්නේ රෝගියෙකුගෙන් බෝවීම නිසාද නැතිනම් සිරුරේ ඉතිරි වූ වැරිසෙල්ලා වෛරසය සිරුරේ ප්‍රතිශක්තිකරණය අවම වූ අවස්ථාවක හිස එසවීම හේතුවෙන්ද?

මේ තත්වය ඇති වෙන්නේ බෝවීමක් නිසා නොවෙයි. සිරුරේ ඉතිරි වූ වෛරසය ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවක හිස එසවීම නිසයි.

පැපොල රෝගය බොහෝ දෙනෙක් හඳුන්වන්නේ දෙයියන්ගේ ලෙඩ කියලා. ඒ නිසා බොහොමයක් දෙනා විශ්වාස කරනවා මස් මාලූ බිත්තර ආහාරයට ගැනීම නුසුදුසුයි කියලා. මෙහි ඇති සත්‍ය අසත්‍ය බව මොකද්ද? පරිස්සම් විය යුතු වන්නේ කෙසේද?

මස් මාළු කෑමේ ගැටලුවක් නැහැ. පැපොළ රෝගියෙකුට විවේකය අත්‍යවශ්‍ය බව මතක තබාගත යුතුයි. දිරවීමට පහසු පෝෂ්‍යදායී ආහාර වර්ග මෙන්ම දියර වර්ග වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.

  1. පැපොළ රෝගය වැළඳුණහොත් රෝගය බරපතල විය හැක්කේ කෙබදු පිරිසකටද?

ගැබිනි මව්වරුන්ට, මසක් සම්පූර්ණ නොවූ බිළිදුන්ට, ප්‍රතිශක්ති ඌනතාවයන් ඇති රෝගීන්ට, වකුගඩු බද්ධ කළ අයට, අවුරුදු පනහ ඉක්මවූ වැඩිහිටියන්ට, හෘද සහ දියවැඩියා රෝගීන් වගේම පිළිකා සහ ඒඩ්ස් රෝගීන් යන අයටයි. මෙවැනි අවදානම් අයෙකුට පැපොළ රෝගය ඇති වුවොත් මොළයේ ආසාදන, සුෂුම්නාවේ, පෙනහලු හා හෘදය වස්තුවේ ආසාදන වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකි වගේම ජීවිතයට අවදානමක් ද ඇති වූ අවස්ථාත් වාර්තා වී තිඛෙනවා.

  1. ගැබිනි මවකට පැපොළ ඇති වුණොත් ?

දරුප්‍රසූතියට දින පහකට පෙර එහෙමත් නැතිනම් ප්‍රසූතියෙන් දින දෙකකට පසු මවට පැපෝල රෝගය වැලඳුනහොත් අලූත උපන් ළදරුවාට පැපොළ රෝගය වැළඳීමේ වැඩි අවදානම තියෙනවා. එසේම, ගැබිනි මුල් සමයේ, මවට පැපොල ඇතිවීම නිසා කලලයේ යම් යම් විකෘතිතා ඇති විය හැකියි. ඒ නිසා ගැබිනි මවකට මේ තත්ත්වය ඇති වුවහොත් හෝ පැපොල රෝගියකු කිට්ටුව ආශ්‍රය කලහොත් වෛද්‍ය උපදෙස් කරා වහාම යොමු විය යුතුයි.

  1. රෝගය ඇති වූ පුද්ගලයෙක් ස්නානය කළ යුත්තේ කීවෙනි දිනයේ සිටද?

රෝගියාට උණ නැතිනම් ස්නානය කල හැක. තවද, ස්නානය කිරීමේදි සමේ ඇති වූ බිබිලි බැක්ටීරියා ආසාදනය වී, පැසවීමට ඇති ඉඩකඩ අවම කරගත හැක.

  1. දින හතක් පුරා එක දිගට ස්නානය කළ යුතු යැයි පවසන්නේ ඇයි?

ඉහත කී පරිදි, පැපොල රෝගියාට උණ නැතිනම් ස්නානය කිරීම හොඳයි. පැපොල නිසා ඇති වූ සමේ කැළැල් පසුව බැක්ටීරියා ආසාදනය වී, පැසවීමට ඇති ඉඩකඩ අවම කරගැනීමට මෙසේ කියනවා විය හැක.

  1. පැපොල රෝගය වැළැක්වීම සඳහා පෞද්ගලික අංශයෙන් එන්නතක් ලබා දෙනවා. එය මගින් ජීවිත කාලය පුරාටම රැකවරණය ලැඛෙනවද?

ඔව්. මාත්‍රා දෙකක් වශයෙන් ලබා දෙන නිසා ජීවිත කාලය පුරාම ආරක‍ෂාව ලබා ගත හැක. එය වැඩිහිටියන්ට ලබාදෙන්නේ පළමු මාත්‍රාවෙන් සති 4ක් හෝ 6ක් ඇතුළත දෙවනි මාත්‍රාව ලෙස මාත්‍රා දෙකක් වශයෙනි. අවුරුද්දට වැඩි දරුවන්ට පළමු මාත්‍රාව ලබාදී වසරකට පසුව දෙවන මාත්‍රාව ලෙස මාත්‍රා දෙකක් ලබාදෙනවා. නමුත් යම් යම් තත්ත්ව මත සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව අවම වූ අවස්ථාවලදී ඇතැම්විට රෝගය ඇතිවීමට හැකියාව පවතී.

  1. පැපොළ රෝගය වැළදුණු අයෙක් එන්නත ලබාගත යුතුද?

නැත. කලින් පැපොල වැළදුණු අයෙකුට ඒ සම්බන්ධයෙන් ප්‍රතිශක්තිය ලැබී ඇති නිසා, එන්නතින් ප්‍රයෝජනයක් නොලැබේ. එහෙත්, පැපොළ රෝගය වැළදුණු අයෙක් කිට්ටුව ආශ්‍රය කලහොත්, දින තුනක් ඇතුලත එන්නත ලබා ගත හොත්, පැපොළ වැලඳීමේ ඉඩකඩ අවම කරගැනීමට හැක.

  1. ගැබිනි මව්වරුන්ට පැපොළ එන්නත ලබාදීම සුදුසුද?

කිසිසේත්ම සුදුසු නොවේ. කාන්තාවන් විවාහයට පෙර හෝ ගර්භණී වීමට මාස තුනකට පෙර පැපොළ සඳහා එන්නත ලබාගැනීමට සැලකිලිමත් විය යුතුයි.

  1. පැපොළ එන්නතේ අතුරු ආබාධ තත්ත්වයන් මොනවාද?

පැපොළ එන්නත අතුරු ආබාධ අවම එන්නතකි. කෙසේ වෙතත්, එන්නත දුන් ස්ථානයේ වේදනාව, උණ හෝ කලාතුරකින් සමේ බිබිලි ඇති වී රෝගය ඉතා සුළු වශයෙන් පෙන්විය හැක.

  1. පැපොළ එන්නත ලබාගත් අයෙකුගේ යම්තම් බිබිලි ඇති වී රෝගය ඉතා සුළු වශයෙන් පෙන්විය හැකි බව ඔබ පැවසූවා. එවිට නිවසේ සිටින මීට වසර ගණනකට පෙර පැපොළ රෝගය වැළදුණු අයෙකුට එය බෝවීමෙන් හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ඇති විය හැකිද?

නැත. හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ඇති වෙන්නේ බෝවීමක් නිසා නොවෙයි. තමාගේ සිරුරේ ඉතිරි වූ වෛරසය ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවක හිස එසවීම නිසයි. එහෙත්, පැපොළ එන්නත ලබාගත් අයෙකුගේ බිබිලි ඇති වුවොත්, කලාතුරකින් එමගින් පැපොළ වෙනත් කෙනෙකුට බෝ විය හැක. එසේම පැපොළ එන්නත ලබාගත් අයෙකුට ඉතා කලාතුරකින් ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවක හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ඇති විය හැක.

  1. කුඩා දරුවන්ට පැපොළ රෝගය සඳහා එන්නත ලබාදීම ඇරඹෙන්නේ වයස අවුරුදු කීයේදීද?

ඉස්සර මෙම එන්නත ලබාදුන්නේ එක් මාත්‍රාවක් විදියටයි. ඒත් දැන් මාත්‍රා දෙකක් ලෙස ලබාදෙනවා. අවුරුද්දකට වැඩි දරුවන්ට පැපොළ එන්නත ලබාදෙනවා.

  1. ඉස්සර එක් මාත්‍රාවක් ලබාදුන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් නැවත මෙම මාත්‍රා දෙකේ එන්නත ලබාදිය යුතුද?

ඔව්. කලින් එක් මාත්‍රාවක් ලබා දුනි නම්, සති 4-8 කට පසු තවත් එක් මාත්‍රාවක් ලබා දිය යුතුය. එසේ කියන්නේ එක් මාත්‍රාවකින් 80% ක පැපොළ රෝගයෙන් රැකවරණය (effectiveness) ලැබෙන අතර, මාත්‍රා දෙකකින් එය 95% දක්වා වැඩි වේ.

21. පැපොළ රෝගය සඳහා ළදරුවන්ට ලබාදෙන මුඛ එන්නත පිළිබඳව දැනවත් කරන්න. එය ළදරුවන්ට ලබාදීමේ කිසිදු අතුරු ආබාධයක් නැතිද?

පැපොල රෝගය සඳහා මුඛ එන්නත් නොමැත.

22. බොහෝ වැඩිහිටියන් පවසන්නේ මෙය හැදෙන එක හොඳයි කියාය. එහි සත්‍ය අසත්‍ය බව කුමක්ද?

පැපොළ රෝගයේ දරුණු බව පිළිබඳව සැළකිලිමත් වීම අනිවාර්යයි. එසේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම රාජකාරී කටයුතු ඇතුළු එදිනෙදා ජීවිතයේ බොහොමයක් වැදගත් අවස්ථා මෙවැනි රෝග තත්ත්වයක් මත අඩාල කරගැනීමට වඩා ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම නුවණට හුරුය. පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතට මෙම එන්නත ඇතුළත් නොවුණද අද වන විට පෞද්ගලික අංශයෙන් නිසි වෛද්‍ය උපදෙස් මත පැපොළ එන්නත ලබාගැනීමට ඔබට හැකියාව තිබේ.

23. පැපොළ රෝගය වැළදුණු රෝගීන් සඳහා ඖෂධ වර්ගයක් මේ වන විට ලබා දෙනවා. ඒ පිළිබඳ කෙටි හැඳීන්වීමක් කරන්න

ඒසයික්ලොවිර් (Aciclovir) නම් ඖෂධ වර්ගය පැපොල රෝගි ලක්ෂණ ඇති වී, පැය 24ක් ඇතුලත ගත යුතුය. එමගින් උණ, බිබිලි හට ගැනීම හා අනෙක් රෝගි ලක්ෂණවල දින වකවානුව අඩු කරගත හැක.

24.සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ වෛරස සඳහා ඖෂධ නොමැති බවයි. පැපොළ ඇති වන්නේ වෛරසයකින්. ඉතිං ඒකට දෙන මේ ඖෂධය කුමක්ද?

වෛරස සඳහා ඇති ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉතා සීමිතයි. ඒසයික්ලොවිර් (Aciclovir) ඖෂධය මගින් කරන්නේ පැපොල සුව කිරීම නොව, රෝග ලක්ෂණවල දින වකවානුව අඩු කිරීම පමණයි.

25. එමගින් සිදු කෙරෙන්නේ වෛරසය විනාශ කරන එකද?

එමගින් සිදු කෙරෙන්නේ වෛරසය සිරුරේ සෛල තුල බෝ වීම වැලැක්වීමයි.

  1. එය නියමිත කාල පරතරයක් තුළ ලබාගන්නට වෛද්‍ය උපදෙස් ලබාදෙන්නේ ඇයි? එසේ ලබානොගතහොත් වන්නේ කුමක්ද?

මෙම ඖෂධය සිරුරේ පටක වල රැඳී තිබෙන්නේ පැය 2-3 ක කාලයකි. එම නිසා  උපදෙස් වෛද්‍ය අනුව නියමිත කාල පරතරයක් තුල එය ගත යුතුය. තවද, එම ඖෂධයේ වැඩිම ක්‍රියාකාරිත්වය ලැබෙන්නේ රෝග ලක්ෂණ හට ගෙන පැය 24ක් ඇතුලත පටන් ගත හොත් පමණි.

  1. ඒ ඖෂධය මගින් රෝගය යටපත් කරන නිසා නැවත රෝගය ඇති වීමේ හැකියාවක් ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. මේ මතය නිවැරදිද?

නැහැ. එහෙත් ඉතිරි වූ වෛරස මගින් පසුව හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවක ඇති කරවිය හැක. මෙය වෛරසයේ ස්වභාවයයි.

  1. පැපොල රෝගය වැළදී, මේ ඖෂධ භාවිත කළ අයෙක් එන්නත ලබාගත යුතුද?

එසේ කිරීම අනවශ්‍යයි. පැපොල රෝගය වැලඳීමෙන්, නැවත එය බෝ නොවන ප්‍රතිශක්තියක් රෝගියාට ලැබේ. එන්නතින් ලබා දෙන්නෙත් එයමයි.

29. මේ ඖෂධය ලබාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

මෙම ඖෂධය සිරුරෙන් ඉවත් කරන්නේ වකුගඩු මගින්. එමනිසා වකුගඩුවල සංකුලතා තිබෙන රෝගින්, ඒ පිළිබඳව වෛද්‍යවරයාට දැනුම් දිය යුතුය.

30. පැපොල වැලදුණු අයෙක් නැවත සුපුරුදු දිවියට අවතීර්ණ විය යුතු වන්නේ?

බිබිලි වියලී ගොස් අලුත් බිබිලි නැත්නම්, එම රෝගියාගෙන් තවත් අයකුට පැපොල බෝ වීමේ අවදානම ඉතා අඩුය. එමනිසා සුපුරුදු දිවි පෙවෙතට එවිට අවතීර්ණ විය හැකිය.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්.ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ආහාර වේල පිළිබඳව ඇති අඩු අවධානය නීරක්තියට අතවැනීමක් විය හැකියි

අද වන විට බාල මහලූ කා අතරත් නිරන්තර අසන්නට ලැඛෙන තත්ත්වයක් ලෙස රක්තහීනතාවය (නීරක්තිය) දැක්විය හැකියි. දරුවෙකු යම්හෙයකින් මෙම රක්තහීනතාවය තත්ත්වයට ගොදුරු වෙයිද එම දරුවාගේ වර්ධනය අඩාල වීමට එය මූලික හේතුවත් බවට පත්වනු ඇත. රක්තහීනතාවය යනු රුධිරයේ ඇති හිමොග්ලොබින් සාන්ද්‍රණය පහත බැසීම නිසා ඇති වන තත්ත්වයයි. මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නම් පුද්ගලයාගේ වයසට අනුව පැවතිය යුතු රුධිරගත හිමෝගලොබින් ප්‍රමාණය ඒ ආකාරයෙන්ම පවත්වා ගත යුතුමය.

රක්තහීනතාවය හෙවත් නීරක්තිය ඇති වීමට හේතු කිහිපයක්ම බලපෑ හැකි අතරම මූලිකම හේතු ලෙස දැක්විය හැකිකේ එදිනෙදා ලබාගන්නා ආහාර වේලේ අන්තර්ගත විය යුතු නියමිත යකඩ පරිමාව නොමැති වීමේ තත්ත්වයයි.මේ හේතු මත සාමාන්‍යයෙන් අලූත උපන් දරුවන්, පෙර පාසල්/ප්‍රාථමික අංශවල දරුවන් මෙන්ම වැඩි වියටපත් ගැහුණු දරුවන් සහ ගැබිනි මව්වරුන් ද මේ තත්ත්වයට ගොදුරු විය හැකියි.

සාමාන්‍යයෙන් වයස අනුව ඕනෑම පුද්ගලයෙකුගේ හිමොග්ලොබ්න් සාන්ද්‍රණය පැවතිය යුතු ප්‍රමාණයන් මෙසේය. අලූත උපන් බිලිඳකු මාස හය සම්පූර්ණ කරන තෙක් එම බිළිදාගේ රුධිරගත හිමොග්ලොබින් සාන්ද්‍රණය 11.1 -12.6 g/dl ද මාස හය සිට අවුරුදු දෙක දක්වා 10.5 –  12.0 g/dl ද වයස අවුරුදු දෙක සිට හය දක්වා 12.5 –  11.5 g/dl ද අවුරුදු 6 සිට 12 දක්වා 11.5 – 13.5 g/dl ද අවුරුදු 12 සිට 18 දක්වා වූ පිරිමි ළමුන්ගේ 13. 00 – 14.5 g/dl ද අවුරුදු 12 සිට 18 දක්වා ගැහැණු ළමුන්ගේ 12.00 –  14.0 g/dl ද රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණයක් අන්තර්ගත විය යුතුය.

ඔබේ දරුවා මෙම ලක‍ෂණ පෙන්නුම් කරනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පමා නොවන්න

  • අලස බව
  • අධික නිදිමත ස්වභාවය
  • අප්‍රාණිකක ස්වභාවයක් පෙන්නුම් කිරීම
  • විඩාබර බව
  • ස්වසන අපහසුතා ඇති වීම
  • තොල්, ඇසි පිය යට සාමාන්‍ය රෝස පැහැය නැතිව සුදුමැලි බවකින් යුතු වීම
  • ක්ලාන්තය
නීරක්තියට බලපෑ හැකි වෙනත් හේතු?

ආහාරවල අන්තර්ගත නියමිත යකඩ ප්‍රමාණය නොමැති වීම රක්තහීනතාවය හෙවත් නීරක්තිය ඇති වීමට මූලිකම හේතුව බව ලිපියේ ඉහළින් අපි සඳහන් කළා. ඊට අමතරව තවත් හේතු සාධක කිහිපයක්ම මේ තත්ත්වයට හේතු විය හැකියි.

  • ඇසට නොපෙනෙන ආකාරයෙන් අපගේ සිරුරෙන් සිදුවන රුධිර වහනයන් (මුත්‍රා, මලපහ සමග/දත් මුල්වලින් රුධිරය පිටවීම/වැඩිවිය පැමිණි ගැහැණු දරුවන්ගේ මාසික ඔසප් චක්‍රය) ද මෙම රක්තහීනතාවය හෙවත් නීරක්තිය තත්ත්වයට හේතු විය හැකියි.
  • කලාතුරකින් දැකිය හැකි ඇටමිදුළුවල රතු රුධිරානු නිසියාකාරව නිපද නොවීමමේ තත්ත්වය නිසාද රක්තහීනතාවය හෙවත් නීරක්තිය ඇති විය හැකියි.
  • ජානමය හේතු ඇතැම් ආසාදන තත්ත්වයන් හා සමහර ඖෂධ වර්ග ද මේ තත්ත්වයට බලපෑ හැකිය
  • පණු රෝග තත්ත්ව විශේෂයෙන්ම කොකු පණු රෝගය නිසා මේ තත්ත්වය ඇති විය හැකියි.
  • තැලසීමියා/ලියුකේමියා තත්ත්වයන්මට ගොදුරු වූ දරුවන් රක්තහීනතාවය තත්ත්වයට ගොදුරු වීම දැකිය හැකිය. සුළු තැලිසීමියා තත්ත්වයට මුහුණ දෙන දරුවන්ට වැඩි අවදානමකට ලක්විමට සිදු විය හැකිය. ඔවුන්ට වෛද්‍යවරුන් නියම කරනු ලබන කාල සීමාවන්වලදී රුධිර පාරවිලයනය කිරීමට සිදුවනු ඇත.
  • කිරිදෙන මව්වරුන් ද රක්තහීනතාවය තත්ත්වයට ගොදුරු විය හැකිය. ඒ මාස හයක් සම්පූර්ණ වන තුරු දරුවෙකු පෝෂණය වන්නේ මව්කිරෙන් පමණක් නිසාය.
රක්තහීනතාවය හෙවත් නීරක්තියන් මිදීමට

  • යකඩ අඩංගු ආහාර ආහාර වේලට එක්කරගන්න

උදා : රතු පැහැති මස්/මාළු, පීකුදු (මස් මාංශ හරහා ලැඛෙන යකඩ ඉකමනින් සිරුරට අවශෝෂණය වේ), සෝයා බෝංචි, කතුරුමුරුංගා/මුරුංගා වැනි කොළ පැහැ පළා වර්ග

සිරුරට හොඳීන් යකඩ අවශෝෂණය වීමට විටමින් සී අත්‍යවශ්‍යය. ඒ නිසාම ආහාර පිසීමේදී විටමින් සී අඩංගු දෙහි, නාරන්, සියඹලා, ගොරකා එකතු කිරීමට සැලකිලිමත් වෙන්න. විටමින් ක‍ බහුල පළතුරු ආහාරයට ගන්න.

  • විටමින් බී12 සහ ෆෝලික් ඇසිඩ් අඩංගු ආහාර සිරුරට අවැසි ප්‍රමාණය ලබාගන්න

උදා : සත්ව ආහාර, යෝගට්, කිරි, මී කිරිවලින් ලබාගත හැකිය

  • තේ, කෝපි වැනි කැෆේන් අන්තර්ගත පානයන් යකඩ අවොශා්ෂණයට බාධා ඇති කරන බැවිනි ආහාර වේලෙන් පසු එවැනි පානවර්ග ලබාගැනීමෙන් වළකින්න
කොළඹ, වසංගත රෝග අංශයේ ජේෂ්ඨ ලේකකාධිකාරී ප්‍රජා වෛද්‍ය සමීර සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි.

 

දරුණු උණසන්නිපාතය ගැන මේ තොරතුරු ඔබ දන්නවාද?

අවම මට්ටමේ සිට උපරිම මට්ටම දක්වා උත්සන්න විය හැකි වර්ගයේ රෝගයක් වන උණසන්නිපාතය පිළිබඳව මේ දිනවලත් කනින් කොනින් ඇහෙන්නට පටන් අරගෙන. අතීතයේදී නම් මේ රෝග තත්ත්වය නිසා බොහෝ දෙනෙක් මිය ගියා. අතීතයේදී මාරාන්තික රෝග තත්ත්වයක් ලෙස හැඳින් වූ උණසන්නිපාතය, අද වන විට අවශ්‍ය ප්‍රතිජිවක ඖෂධ සොයා ගැනීමත් සමගම (බිලිඳුන්ට සහ වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්ට අසාධ්‍ය තත්වයක් විය හැකි වුවත්) මාරාන්තික රෝග ගොන්නෙන් ඉවත් වුවා. මේ රෝග තතත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම තුලින් සංකුලතා අවම කර ගනිමින් රෝගය සුව කර ගැනීමට ඔබට හැකියි.

සංවර්ධනය වෙමින් පවතින රටවල බහුලව දැකිය හැකි මෙම රෝග තත්ත්වය සැල්මොනෙලා ටයිෆි (Salmonella Typhi) යන බැක්ටීරියාව මගින් උදරයේ ඇතිවන අසාධන තත්ත්වයකි. එසේම සැල්මොනෙලා පැරා ටයිෆි (Para Typhi) බැක්ටීරියාව නිසා ද මෙම තත්ත්වයේ තවත් ප්‍රභේදයක් වන පැරා ටයිෆොයිඩ් උණ නම් වූ තත්ත්වය ද ඇතිවිය හැකියි.

උණසන්නිපාතය ඇතිවෙන්නේ මෙහෙමයි….

රෝගී අයෙකුගේ මලපහ නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පරිසරයට මුදා හැරෙන සැල්මොනෙලා ටයිෆි නම් වූ බැක්ටීරියාව මගින් අපවිත්‍ර වූ ආහාර සහ ජලය මගින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට ඇතුළු විය හැකිය. මීට අමතරව, රෝගී අයෙකු පිළියෙල කල ආහාර පාන අනුභව කිරීමෙන්ද උණසන්නිපාතය ඇතිවිය හැක.

උණසන්නිපාත රෝගියෙකු පෙන්නුම් කරන රෝග ලක්ෂණ

  • ෆැරන්හයිට් අංශක 100 ට වැඩි තද උණ/මස්පිඬු වේදනාව/හිසේ වේදනාව/කැස්ස
  • උදරයේ වේදනාව/ දියර ස්වභාවයෙන් මල පිටවීම/වමනය
  • කෑම අරුචිය
උණසන්නිපාත තත්ත්වය සඳහා වූ ප්‍රතිකාර

දිගින් දිගටම බඩ බුරුල් වීම/වමනය/උණ පවතීනම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ. වෛද්‍ය උපදෙස් අනුව අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සිදු කෙරේ. ෆැරන්හයිට් අංශක 100ට වැඩි උණ තත්වයෙන් පෙලේ නම් බරට නියමිත පැරසිටමෝල් මාත්‍රාව ලබාදෙන්නට වෛද්‍යවරයා උපදෙස් ලබාදෙන අතර හැකි සැමවිටම දරුවා විජලනයට ලක්වීම වලක්වා ගැනීම සඳහා වැඩිපුර දියර වර්ග ලබාදෙන්න (බත් කැඳ/තැඹිලි වතුර/ජිවනි/වතුර/දොඩම් යුෂ). එය ප්‍රමාණවත් නොවේ නම් ඒ  බව වෛද්‍යවරයාට වැටහෙන අතර විජලනය තත්ත්වය වලක්වා ගැනීමට සේලයින් ලබා දීමට නියම කෙරේ.

මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම තුළින් රෝගය සුව වීමට අවශ්‍ය නිසි ප්‍රතිකාර වෙත රෝගියා යොමු වනු ඇත.

උණසන්නිපාත රෝග තත්ත්වය වලක්වා ගැනීම සඳහා

  • වැඩිහිටියන්ගේ මෙන්ම දරුවන්ගේද මලපහ නිසි ලෙස බැහැර කරන්න.
  • ආහාර පිසීමට/කෑමට පෙර මෙන්ම වැසිකිලි භාවිතයෙන් පසු සබන් යොදා දෙඅත් සෝදන්න.
  • ආහාර මැස්සන් වැනි කෘමි සතුන්ගෙන් අපවිත්‍රවීමට ඉඩ නොතබන්න.
  • උතුරවා නිවාගත් පිරිසිදු ජලය පමණක් පානය කිරීමට වග බලාගන්න.
  • නොපිසින ලද පලා වර්ග එළවළු වර්ග ආහාරයට ගන්නේ නම් ඒවා හොදින් සෝදා ලුණු මිශ්‍ර ජලයේ මද වෙලාවක් බහා තබා ආහාරයට ගන්නට පුරුදු වෙන්න.
  • වැසි සමයේදී හොඳින් පිසින ලද ආහාර ගැනීමට සැලකිලිමත් වෙන්න.
  • මාර්ග දෙපස ඇති වෙළද සල් වලින් පිසන ලද ආහාර මිල දී ගැනීමෙන් වලකින්න.

උණසන්නිපාත තත්ත්වය හඳුනා ගැනීම සඳහා රුධිර රෝපිත පරික්ෂාව (Blood Culture) සහ සැල්මොනෙලා ප්‍රතිදේහ පරික්ෂණ (SAT) යන පරීක්ෂණ වෙත රෝගියා යොමු කෙරෙන අතරම එසේ යොමු කෙරෙන්නේ ඇතැම් අවස්ථාවලදී රුධිරයේ බැක්ටීරියාව ඉතිරි වී තිබීම හේතුවෙන් වරින් වර රෝගය ඇති විය හැකි අතරම එම පුද්ගලයා රෝග වාහකයෙකු ලෙසද ක්‍රියාත්මක විය හැකි බැවිනි. මෙසේ සිදු කෙරෙන රුධිර පරීක්ෂණ මගින් තවදුරටත් රෝගියාගේ රුධිරයේ මෙම බැක්ටීරියාව වෙසේ නම් අවශ්‍ය  ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාර මගින් තත්ත්වය සම්පුර්ණයෙන්ම සුව අතට හැරවිය හැකිය.

උණසන්නිපාත තත්ත්වයට නිසි ප්‍රතිකාර ලබා නොගැනිමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වුවහොත් ඇතිවිය හැකි සංකුලතා

  • බඩවැල් සිදුරු වී තුවාල ඇතිවී අභ්‍යන්තර රුධිර වහනය
  • ස්නායු සහ අස්ථි පද්ධති කෙරේ බලපෑම් ඇතිවීම
  • බැක්ටීරියාව පිත්තාශය තුළ පැවතීම නිසා එය ඉවත් කිරීමට සිදුවීම
  • ප්ලීහාව ඉදිමුමට ලක්වීම
  • ජීවිතය අවධානමට ලක්වීම
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්.ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි