දරුවන් ස්වාධීනව ජීවිතයට මුහුණ දෙන්න පුරුදු කරන්නෙ මේ විදියට

මම නම් දරුවන්ගේ වැඩ කටයුතු වලට කිසිම උදව්වක් දෙන්නේ නැහැ….අපි උදව් දෙන්න ගියොත් දරුවෝ කිසිම දවසක ස්වාධීනව ජීවිතය ගොඩ නගා ගන්නේ නැහැ…..එක් අයෙක් එහෙම කියද්දී තවත් කෙනෙක් මේ විදිහට කියනවා….

මං නම් අනේ හරියට උදව් කරනවා. දරුවන්ට ඉතින් අපේ උදව් නැතුව කවුරු උදව් කරන්නද…ඒ තවත් අම්මා කෙනෙකුගේ අදහසයි…

මම හැම දේටම නම් උදව් දෙන්නේ නැහැ…ඒත් බැරි දෙයකට නම් ටිකක් උදව් වෙනවා.

මේ අදහස් අතර ඔබ නවතින්නේ එහෙම නැත්නම් ඔබ දරුවන්ට දක්වන ප්‍රතිචාරය කොහොමද….

දරුවන් කියන්නේ බොහොම අවධානයෙන් වගේම ආරක්ෂාව සහ ආදරය සමග ගොඩ නගා ගත යුතු පිරිසක්. අපි හිතන විදිහට ඔවුන් පාලනය කිරීමට හැකි වුනත් ඒ තත්වය හැම විටම සාධාරණ නැහැ. ඒ නිසා දරුවන් වෙනුවෙන් ඔබ අනුගමනය කරන පිලිවෙත් ගැන විවිධ අධ්‍යනයන් සිදු වෙනවා. ඒ අනුව දරුවන්ට අපි සලකන්නේ කොහොමද යන්න ගැන අලුත් අත්දැකීම් බෙදා හදා ගත හැකියි.ජෙසිකා ලේහෝ කැමැති ගත් කතුවරිය පෙන්වා දෙන්නේ දරුවන් සතුටින් තබන්නට යැයි ඔබ ඔවුන් වෙනුවෙන් සීමාව ඉක්මවා කටයුතු නොකළ යුතු බවයි.

ඉස්සර කාලයේ මව්පියන් මේ අදහස ඉහලින්ම පිලිගත්තා. ඔවුන් නිතරම කියනු ලැබුවේ  දරුවන් කියන කියන විදිහට හැසිරුනොත් ඔවුන් යම් දිනක ඉර හඳ ඉල්ලා සිටියොත් එයත් ලබා දෙන්නනට සිදු වෙන බවයි. අද දෙමව්පියන් මේ තත්වයට මුහුණ දී සිටිනවා.

බොහෝ දරුවන්ට තමන්ගේ නොහැකියාවන් නොපෙන්වා මව්පියන් කටයුතු කරනවා. ඒ විතරක් නොවෙයි, බාල වයසේදී දරුවාගේ ඉගෙණුම් කාර්යන්හිදීත් දරුවාට වඩා පංතියේ වැඩ කටයුතු කරන්නේ දෙමව්පියන් විසිනුයි. ඒ නිසා ඇති වෙන අහිතකර තත්වය ගැන දෙමව්පියන්ට අවබෝධයක්ද නැහැ. අද පහ වසර ශීෂ්‍යත්වය අම්මලාගේ විභාගය ලෙසින් හඳුන්වන්නේද ඒ නිසාම බව ඔබට දැන් සිහියට නැගේවි.

මේ කාලයේදී දරුවාට ස්වාධීනව හැසිරෙන්න අවස්ථාවක් නැහැ. ඔවුන්ගේ තර්ක බුද්ධිය අවදි වෙන්නෙත් නැහැ. සමාජය දුවන රැල්ලට දරුවන්ද සමග යන ගමන නිසා දරුවාට  මෙම අභියෝග්‍යතාවය ගැන වැටහීමක් ලැබෙන්නෙත් නැහැ. අපේ රටේ එක් සිද්ධියක් මේ විදිහට පෙන්වන්න පුලුවනි. ඒ සිද්ධිය ඉතාම හොඳින් ජෙසිකා ලේහෝගේ ඉදිරිපත් කිරීම් සමග ගැලපෙනවා.

ඇය කියන්නේ පාසල් වියේ දරුවන් අඩු ලකුණු ගත් විට ඒ ගැන වඩාත් කම්පාවට පත් වෙන දෙමව්පියන් දරුවන් බලහත්කාරයෙන්ම අධ්‍යාපනයට යොමු කිරීම එතරම් ප්‍රඥගෝචර නොවන කටයුත්තක් බවයි. තමන්ගේ නොහැකියාවන් තුළ ඒවා අවබෝධ කර ගෙන දරුවන්ට ඉදිරියට යන්නට මග සලසා දීම වැදගත්. මේ නිසා තමාගේ නොහැකියාවන් ගන අවබෝධයක් ලබා දීම ඉතාම වැදගත්.

දරුවන් නොවැටී සිටිනවාද…එසේත් නැත්නම් වැටි වැටී නැගී සිටනවාද යන්න මුල් කර ගෙන මනෝවිද්‍යාඥ වෙන්ඩ් ග්‍රෝන්ලික්ස් විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. එහිදී මව්වරුන් සහ දරුවන් කණ්ඩායමක් තෝරා ගෙන මේ දෙපිරසම කාමරයක රදවා ගෙන ඔවුන්ගේ ක්‍රියාවන් වීඩියෝගත කරනු ලැබුවා. යම් යමි ක්‍රියකාරකම් ඉදිරියේ දරුවන් පාලනය කරන සහ සහය දෙන මව්වරුන් හදුනා ගෙන එම හැසිරීම ඉදිරියේ දරුවන්ගේ ප්‍රතිචාර අධ්‍යනය කරනු ලැබුවා. එහිදී වඩාත් පැහැදිලිව පෙනී ගියේ මව්වරුන් විසින් පාලනය කරන ලද දරුවන්ට වඩා  සහය දක්වන ලද දරුවන් යම් සතුටුදායක මට්ටමක සිටි බවයි.

ඇතැම් දරුවන් තමන්ගේ අසීරු ඉලක්කය වෙනුවෙන් කිසිවෙකුගේ හෝ සහය නොලැබෙන බව දැන දැනම අසහනයෙන් පසු වෙන බවත් මනෝවිදයාඥයන්ගේ අදහසයි. ඒ නිසා ඔවුන්ට තනිවම නැගිටන්න යැයි ලබා දෙන උපදෙස් වෙනුවට යම් විදිහකින් අවධානයක් ලබා දෙන්නේ නම් ඉතා වැදගත්. දරුවන්ට කළ නොහැකි දෙයට සහය දෙන්න. එය කළ නොහැක්කක්  බව දරුවාටද ඒත්තු යා යුතුය. එවිට ඔහු වෙනුවෙන් සහය ලබා දෙන්න. එසේ නැතුව නෑ..මං උදව් දන්නේ නැහැ….යන ස්ථාවරයේ සිටීම එතරම් සුබවාදී නැත. ඒ වගේම ඔය වැඩේ ඔයාට කරන්න බැහැ. මං කරල දෙනකම් ඉන්න යැයි දරුවාගේ සහභගිත්වයට සීමාවන් පැනවුනේ නම් දරුවා එතැනින් ඉදිරියටත් තවත් අයෙක් මත රැදෙනවා මිස ස්වාධීනව ඉදිරියට යන හැකියාව ගොඩ නගා ගන්නේද නැත.

දරුවන් තනිව නැගිටිය යුතු බව ඇත්ත. ඒත් ඒ වෙනුවෙන් අත්වාරුවක් අවශ්‍ය වෙනවා. මව්පියන් නැවතිය යුත්තේ එතැනය. අනවශ්‍ය විදිහට දරුවන්ගේ සියලු කටයුතු තමාගේ වගකීමක් ලෙසින් සලකන විට දරුවන් කිසිම දිනක ස්වාධීන ජීවිතයට හුරු නොවනු ඇත. ඒ නිසා නොවැටී සිටින්නට නොව වැටි වැටි නැගිට සිටින්නට හැකියාව ඇති දරුවන් සමාජයට දායාද වන්නේ නම් ඔබ සැබෑම වාසනාවන්ත දෙමව්පියන් වන්‍නෝය.

විභාගයට සුදානම් වෙන දරුවාට අම්මාගෙන් උපදෙස් 4ක්

විභාගයට තවත් ඇත්තේ සති කිහිපයක් පමනයි. මේ කෙටි කාලයෙන් වුනත් එකම අරමුණක් ඇතුව ඉලක්කයක් ගොඩ නගා ගෙන අවධානයෙන් සහ උනන්දුවෙන් කටයුතු කලොත් විභාගය ජය ගැනීම එතරම් අපහසුවක් නොවෙයි. එහෙම නම් මේ පුංචි කාලය තුළ ඔබ විභාග ඉලක්කය වෙනුවෙන් සූදානම් වෙන්නේ කොහොමද ? ….

පෙර සූදානම


විභාගයට නම් පෙර සූදානම ඉතාම වැදගත්. විභාගය වෙනුවෙන් ඔබේ විශ්වාසය ගොඩ නැගෙන්නේ එවිටයි. සූදානමක් නැතුව විභාගයට මුහුණ දීම තුළ එතරම් සාර්ථකත්වයක් ඇති නොවන්නේ ඔබට ආත්ම විශ්වාසයක් නොමැති නිසයි. මේ නිසා විෂය නිර්දේශය ඉතාම හොදින් අධ්‍යනය කර ගෙන සූදානම් ශරීරයෙන් විභාගයට පිටත් වෙන්න.

විභාගය කියන්නේ ඔබට අවශ්‍ය විදිහට පිලිතුරු සපයන්න පුලුවන් අවස්ථාවක් නොවෙයි. සමස්ත විෂය නිර්දේශයම ආවරන වෙන විදිහට ලබා දෙන ප්‍රශ්න පත්‍රයට ඔබ පැය තුනක කාලයකින් පිලිතුරු ලබා දීම අවශ්‍යයි. ඒ නිසා මම අහවල් මාතෘකාවෙන් ලැබෙන ප්‍රශ්න අතහරිනවා. අහවල් මාතෘකාවෙන් ලැබෙන ප්‍රශ්නවලට පමණක් පිලිතුරු ලියනවා යැයි පූර්ව නිගමන ගොඩ නගා ගන්න එපා. ඔබේ රුචිය අනුව එම අවස්ථාවේදී ප්‍රශ්න තෝරා ගන්න. එසේ නැතුව ඔබ යම් රාමුවක් තුළ සිටියොත් හදිසියේවත් ඔබ බලාපොරොත්තු වුන විදිහට ප්‍රශ්න පත්‍රය නොතිබුන විට ඔබේ බලාපොරොත්තු ලත් තැනම ලොප් වෙනවා. ඒ නිසා පෙර සූදානම තුළ ගොඩ නැගෙන ආත්ම විශ්වාසය විබාගය ජය ගැනීමට අවශ්‍ය ශක්තිය සපයනු ඇත.

අපහසු තැන් වෙනුවෙන් උපකාර ලබා ගැනීම


විභාගය වෙනුවෙන් නිර්දේශිත විෂය නිර්දේශයේ ඔබට යම් යම් ගැටළු සහගත තැන් ඇත්තේ  නම් ඒ වෙනුවෙන් උදව් උපකාර ලබා ගැනීම ඉතාම අවශ්‍ය වේ. මේ වෙනුවෙන් පුද්ගලිකව ගුරුවරයෙක් වෙත හෝ උපකාරක පංතියක් වෙතට ගොස් හෝ මෙම අපහසුතාවයන් ඇති පාඩම් කොටස් කිරවුල් කර ගැනීම අවශ්‍ය වේ.

සිතියමක් ගොඩනගාගන්න


පාඩම් සටහන් තමන්ට වඩාත් පහසුවෙන් ධාරනය කර ගත හැකි සිතියමක් ගොඩ නගා ගන්නමෙතෙක් ඔබ විසින් කරන ලද විෂය කරුණු වඩාත් පහසුවෙන් මතකයට නැගෙන අන්දමින් ගොඩ නගා ගැනීම අවශ්‍ය වේ. මෙය හදුන්වන්නේ “මයින්ඩ් මැප්” යනුවෙන්ය. විෂය කරුණු ඉතා පහසුවෙන්  මතකයට නැගෙන සේ කරුණු පෙල ගසා ගන්න. ඒවා කෙටි සටහනක් අන්දමින් හෝ කරුණු හයිලයිට් කරමින් හෝ සකසා ගත හැකිය. එය ඔබ උගත් දෙය සාරාංශ කර ගැනීමක් වන අතර ඉතාම ඉක්මනින් අවශ්‍ය කරුණු මතකයේ පෙලගස්වා ගැනීමකි.

කෙටි විවේකයබොහෝ දරුවන් පාඩම් කිරීමේදී විභාගය ආසන්න වෙත්ම දැඩි සේ වෙහෙසට පත් වෙනු ඇත. නින්දක්, ආහාරයක් වා නොලබමින් මහත් සේ වෙහෙසීම නිසා විභාග දිනයන්හිදී ශාරිරිකවත් දුර්වලතාවයන්ට පත් වේ. ඒ නිසාම දක්ෂතාවයන් තිබුනද පැය තුනක කාලයේදී දැනුම ඉදිරිපත් කිරීමේදී ඇති වෙන දුෂ්කරතාවය නිසා ප්‍රතිඵල අතින් අසාර්ථකත්වයට පත් වීම අද බොහෝ දරුවන්ට බලපාන තත්වයකි. මේ නිසා පාඩම් කටයුතු කරන කාලයේදී කෙටි විවේක ලබා ගැනීම වැදගත් වේ. පැය දෙකකට වරක් විනාඩි පහළොවක හෝ කෙටි විරාමයක් ලබා ගන්න. මෙම කෙටි විවේකයේදී,

  • හිතේ නැගෙන අනවශ්‍ය දේ බැහැර කරන්න.
  • ගීතයක් හෝ වෙනත් විනෝදාත්මක ආශ්වාදයක් ලැබෙන යමක් කරන්න.
  • උණුසුම් පානයක් හෝ වෙනත් ආහාරයක් ලබා ගන්න.
  • අද අධ්‍යාපන විද්‍යාඥයන් පවා පෙන්වා දෙන අන්දමට එක දිගටම විවේකයක් නොමැතිව පාඩම් කටයුතුවල යෙදීමෙන් මතකයේ ධාරනය කර ගැනීම එතරම් සාර්ථක නැත. අර්ල් මිලර් නම් වූ මනෝ විද්‍යාඥයා සඳහන් කරන අන්දමට එකම කාර්යක දිගටම නිරත විට ඇති වෙන ආතතිය නිසා ඇඩ්රනිල් ශ්‍රාවය වැඩි වෙනවා. එය මහත් සේ වෙහෙසකර තත්වයක් ලෙසින් ඔබට දැනෙනු ඇත. එහෙත් කෙටියෙන් හෝ විවේක ගන්නා විට “ඩොල්මින්” වැඩි වශයෙන් ශ්‍රාවය වෙන අතර එය මානසික සතුට වෙනුවෙන් බලපාන තත්වයක්. වෙහෙසක් සේ කටයුතු කරනවාට වඩා සැහැල්ලු මනසකින් කටයුතු කිරීම ඉතාම වැදගත්.

තාක්ෂණික මෙවලම් ඈත් කරන්න


සන්නිවේදන තාක්ෂණය අද සැම දෙනාගේම අවශ්‍යතාවය බවට පත්ව ඇත. සන්නිවේදනය වෙනුවෙන් පමණක් නොව ඉගෙණුම් කාර්යය සඳහාද මෙවැනි මෙවලම් අත්‍යවශ්‍ය වී තිබේ. එහෙත් මේ කෙටි කාලයේදී ඉගෙණුම් අරමුණු හැර වෙනත් කටයුතු වලදී මේවා භාවිතයෙන් දුරස්ථ වීම ඉතා වැදගත් වේ. අද ඇතැම් දරුවන් විභාග ආසන්නයේදී ෆේස් බුක් ගිණුම් පවා අත්හිටවන්නේ දුර දක්නා නුවනින් කටයුතු කරන නිසාය. මේ නිසා ඉදිරියේ ඇති කෙටි කාලයේදී ඉගෙණුම් අරමුණ වෙනුවෙන්ම අවධානය ලබා දීම ඉතා වැදගත් වේ.

අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමෙන් ඇත්තටම පලක් නැත. ඒ නිසා කළ යුතු එකම දෙය වන්නේ විභාගයට ඇති කාලරාමුව තුළ උපරිම ලෙසින් කටයුතු කොට විභාග ඉලක්කය ජය ගැනීමයි.

දුක වේදනාව හමුවේ දරුවෙකුට හඬන්නට ඉඩ දිය යුත්තේ මේ නිසයි

පුංචි දරුවන් අවමගුල් නිවසෙකදී පුංචි දරුවන් කිසිම වගක් විභාගයක් නැතුව ඉන්නවා දැක්කම අපි කවුරුත් ඔවුන්ට අනුකම්පා කරන්නේ අනේ හයක් හතරක් තේරෙන්නේ නැහැ නේද කියලයි. ඒත් ඔවුන්ගේ හිතේ කොනක මේ දුක හංඟා ගෙන ඉන්නවා විතරක් නොවෙයි, ඒ තත්වය අනාගතයේදි ඔවුන්ගේ පෞරෂය වෙනුවෙන් බලපාන බවත් අමතක කරන්න හොඳ නැහැ.

පසුගිය දිනක ඇමරිකාවේ “නිව්ස්වීක්” සඟරාව සමග සම්මුඛ සාකච්චාවකට සහභාගී වුන හැරී කුමරු ගේ සටහනක් අනුව මවගේ වෙන්වීම ඔහුගේ හිතට මොනතරම් අත්දැකීමක් වුනාද කියල ඔහුගේ වචන වලින්ම සඳහන් කරල තිබෙනවා. ඉතා කුඩා කාලයේදීම ලෝකයක් ආදරය කළ තම මෑණියන්ගේ අහිමි වීමේ පශ්චත්තාපයෙන් ඔහු මානසික අවපීඩන තත්වයට පත්ව ඇත. ඒ ගැන ඔහු අදටත් කතා කරන්නේ දැඩි කම්පනයෙන්ය.

මගේ අම්මා නැති වුන මොහොතේ මට ඒ අවමගුල් පෙරහැරේ ගමන් කරන්න සිද්ධ වුණා. දරුවෙක් විදිහට මම මුහුණ දුන් අවාසනාවන්තම සිද්ධිය එයයි. ලෝකයක් බලා සිටියදී අම්මාගේ දේහය පිටුපසින් මම ඇවිදගෙන ගිය කම්පනය තවමත් මගේ සිතේ දෝංකාර දෙනවා.හැරී කුමරු එම අනුවේදනීය අවස්තාව සිහිපත් කරන්නේ එසේය. මම කියන්නේ මම විතරක් නොවෙයි, ලෝකයේ කිසිම දරුවෙකුට මේ වගේ දරුවෙක් මේ වගේ තත්වයකට පත් විය යුතු නැහැ.

මේ නිසා දුක වේදනාව ඉදිරියේ දරුවන්ට අඬන්න ඉඩ දීම ඉතාම වැදගත්. එහෙම නැත්නම් මේ දුක් වේදනාවන් හිතේ හිර කර ගෙන ඉඳල පසු කාලයකදී වෙනත් මානසික රෝග විදිහට ඉස්මතු වෙනවා. සමීප කෙනෙක් පවුලෙන් ඈත් වුනාම දරුවාට තනි වෙන්න ඉඩ දිය යුතු නැහැ.ඇඟිලි පහ එක සමාන නැහැ කියන්නා වගේ සමහර දරුවන්ට මේ තත්වය දරා ගැනීම අපහසුයි. ඒ නිසා ඔවුන් හුදෙකලාව ඉන්න බලනවා. සමහර දරුවන් මේ සියල්ල ඉදිරියේ ශක්තිමත්ව ඉන්න අවස්ථාවන් විතරක් නොවෙයි , ඒ සියල්ල දරා ගෙන ඉදිරියට ගිය අවස්ථාවනුත් තිබෙනවා. මේ නිසා නිතරම දරුවන්ට ද     දුක දිනා ජයගත් පුද්ගලයන්ගේ චරිතාපදාන පිලිබඳව හදවතට සමීප වන සේ කියා දීම ඉතා වැදගත්.මේ අන්දමට ජීවිතයේ අත්වැල කඩා වැටුනේ මට පමණක් නොවේය යන සිතුවිල්ලෙන් දරුවා පෝෂණය කිරීම ඉතා වැදගත් වෙනවා.

බාල කාලයේ අම්මාගේ සෙනහස දරුවන්ට මොන තරම් අවශ්‍යද යන්න සතුන්ගේ හැසිරීම් රටාවන්ගෙන් පවා පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා. මී පැටවන්ට තමන්ගේ අම්මාගේ උත්තේජනය නොලැබුන විට මේ මීයන් ලොකු වුනාම පවා අනතුරකින් බේරෙන්න පවා නොදන්නා බව එම අධ්‍යනයන් මගින් හඳුනා ගෙන තිබෙනවා. ඒ විතරක් නොවෙයි මෙම සතුන්ගේ  ඇස් ඇරීමත් ප්‍රමාද වෙනවා. බලු පැටවුන්ට අවශ්‍ය උණුසුම නොලද විට වේදනාව නොදන්නා බවත් චිම්පන්සි පැටවුන්ට මව් සෙනෙහස නොලද විට අනතුරකට මුහුණ දුන් විට බේරෙන්න මග නොදන්නා බවත් දැන් හදුනා ගෙන තිබෙනවා. ඒ නිසාම දරුවන්ට අම්මාගේ සෙනහස ඉතාම අවශ්‍ය දෙයක්.

ඒත් ජීවිතය අපිට අවශ්‍ය විදිහට හසුරුවන්න බැහැ.අනපේක්ෂිත සිදුවීම් ඉදිරියේ ශක්තිමත් වීම අවශ්‍යයි. ඒ නිසා දරුවන්ටත් ජීවිතයේ මෙම වෙනස්වීම් ඉදිරියේ ශක්තිමත්ව මුහුණ දෙන්නේ කොහොමද බව කියා දීම ඉතාම වැදගත්. එහෙම නැති වුනොත් දරුවන්ට යම් යම් සිදුවීම් ඉදිරියේ හිත කඩා වැටෙන තත්වයට පත් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ කායික ශක්තිය වගේම මානසික ශක්තියත් හොඳින් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

නාන කාමරයෙන් හෙලිවන ඔබේ ජීවිතයේ අපි නොදුටු පැත්ත

අපි කවුරුත් අපේ පෞද්ගලික පිරිසිදුකම ගැන දක්වන්නේ ලොකු උනන්දුවක්. ආවාට ගියාට නිවසින් පිටතට නොබහින්න හැමකෙනෙක්ම වගේ වගබලාගන්නවා. ඇත්තටම දකින කෙනෙකුට ප්‍රියමනාප දසුනක් වීමත් අපි ලබපු භාග්‍යයක් විදියට සලකන්න පුළුවන්. අපිත් එක්ක අපි ගෙනියන කෑමක් බෙදා හදාගන්න වුණත් තවත් කෙනෙක් කැමැත්තක් දක්වන්නේ අපේ බාහිර පිරිසිදුකමත් එක්ක. ඒත් අපේ ඒ හිතවතෙක්/හිතවතියක් නිවසට ආවොත් අපේ පෙනුම තුළින් අපි පිළිබඳව ඔවුන්ගේ හිතේ ඇති වූ ආකල්පයට යම් වෙනසක් ඇති කරන්න අපේ නිවසේ නානා කාමරයට පුළුවන් වෙයි කියලා ඔබට හිතිලා නැතිද?

නිරාෂාත් අචලත් දුවලගේ පෙර පාසැල නිසා හිතවත් වුණු මව්වරුන් දෙදෙනෙක්. ඔවුන් හැමදාකම දරුවන් පෙර පාසැලට ඇරලවලා කොහෙට හරි වෙලා කතා කර කර ඉන්න පුරුදු වෙලා හිටියා. ඔය අතරෙදි තමයි දවසක් දුවලට කොන්සර්ට් ප්‍රැක්ටිසස් නිසා දවල් වෙනකන් ඉන්න වෙන බව දැනගන්න වුණේ. ඉතිං නිරාෂාගේ ගෙදරට වඩා ළඟින් අචලාගේ ගෙදර තිබුණු නිසා අවලා යෝජනා කළා එහේ ගිහින් එමු කියලා. නිරාෂාත් බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වුණා. වෙනදට එයාලා කන්න ගේන කෑම එකත් නොකාම ත්‍රී වීලර් එකක නැගලා අචලාගේ ගෙදරට ගියා.

අචලා පෙනුමෙන් බොහොම සුන්දරයි. ගෙට ගොඩවෙද්දිම නිරාෂාට පෙනුනේ අචලාගේ කෑම මේසය. කුණු ගොඩ වගේ. අද ගෙවල් අස්කරන්න බැරි වුණා. හැමදාම මම ඇවිත් තමයි අස්කරන්නේ. ගණන් ගන්න එපා හොඳේ. ඇයට සිනහවකින් පිළිතුරු දුන් නිරාෂා අසුන්ගත්තා. නිරාෂට ඒ ගෙදර ඉන්න ලොකු අපහසුවක් දැණුනා. ඒත් ඒක නොපෙන්වා ඇය සිටියා. දරුවන් ගන්න වෙලාව හරි ගිය නිසා නිරාශා තමාට මුහුණ ටිකක් සෝදාගැනීමට නානා කාමරයට යාමට අවශ්‍ය බව දැන්වූවා.

“අයියෝ එන්න එන්න…” කියලා අචලා නානකාමරයේ දොර විවෘත කළා.

ඇතුළට ගිහින් දොර වහගනිපු නිරාශට දැණුනේ හරිම පිළිකුළක්. අචලා ඉන්න විදියට මේ තරම් අපිරිසිදු ඇති කියලා හිතණේ නෑ. දැන්නම් මට එයා දෙන තේ එකක්වත් බොන්න පිළිකුළක් දැනෙනවා.

දන්නවද ඇයි නිරාෂට එහෙම හිතුණේ කියලා,

  • ඒ නාන කාමරයේ බිම හැමතැනම වතුර
  • බිත්තියට අල්ලපු සුදු පාට ටයිල් කහපාට වෙලා
  • කොමඩ් එක පතුලෙ කහට බැඳිලා
  • වොෂ් බේසින් එකේ පාට මොකද්ද කියලා හිතාගන්න බැරි තරමට කිලිටි වෙලා
  • බිම අල්ලලා තියෙන ටයිල් අවර්ණ වෙලා, ටයිල් අතර දාර කලූ පාට වෙලා
  • සබන් පෙටිටියේ සබන් කෑල්ල යට දිය වුණු සබන් නිසා සෙවල තට්ටුවක් හැදිලා
  • සබන් කෑල්ලේ හිසකේ කොට ඇලවිලා
  • දත් බුරුසු දාන බඳුනේ යට වතුර/කුණු පිරිලා
  • ආවරණය ඉවත් කරලා වොෂ් බේසින් එක උඩ තියපු දත් බුරුසුවේ කෙඳි දෙපැත්තට වක් වෙලා
  • ෂැම්පු බෝතලේ වටේ ෂැම්පු බේරිලා, ඒ විතරක් නෙවෙයි කොණ්ඩ ගසුත් ඒ වටේට ඇලවිලා
  • ගලි එක උඩ මාස ගාණක් එකුතු වුණු කොණ්ඩ ගස් ඉවත් කරලා නෑ
  • අත හෝදගන්නවත් වතුර කරාමයක් අල්ලන්න බෑ, ඒවා ලිස්සනාව විතරක් නෙවෙයි කිලිටියි
  • කන්නාඩියෙන් මූණ බැලූවම දත් මදිද්දි විසි වූ දත් බෙහෙත් බිංදු බිංදු වේලිලා

තමන්ගේ අවශ්‍යතාවය අමතක කරලා නිරාෂා ඉක්මණින් පිටතට ආවා. ඒ එද්දි අචලා දොඩම් යුෂ වීදුරුවක් අරගෙන ආවා. නිරාෂාට ඒක බොන්න කොයි විදියටවත් හිත හදාගන්න අපහසු වුණා. ඇය එය අතට ගත්තත් එක උගුරක්වත් බිව්වේ නෑ. ඇයට එය ගැන දැණුනේ අපුලක් නිසා. නමුත් මේ පිළිබඳව අචලාට උපදෙසක් ලබාදිය යුතු බව නිරාශා තරයේම සිතා ගත්තා.

ඔබත් හිතන්න මෙවැනි නානා කාමරයක් තුළ තම අවශ්‍යතා ඉටුකරගත හැකි නම් ඔබේ පෞද්ගලික පිරිසිදු බවට ලකුණු දිය හැකිද යන්න. නාන කාමරය යනු විෂබීජ බොහොමයක් රැඳුණු ස්ථානයකි. ඉහත දැක්වූ ලක‍ෂණ සහිතව ඔබ ඔබේ නාන කාමරය භාවිත කරන්නේ නම් සැබවින්ම එය ඔබටද ඇති කරන්නේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයකි. මන්ද අද වන විට බොහොමයක් නිවෙස්වල නාන කාමරයේ වාතය පිටතට ගමන්කර පිරිසිදු වාතය ගෙන්වා ගැනීමට යොදන වාත කවුලූ නැති අවස්ථා බහුලය. කිසිසේත්ම හිරු එලිය හෝ පිරිසිදු වාතය ඇතුළු වීමක් දැකිය නොහැක. ඒ නිසා සියලූ දූෂිත වාතය ගමන්කරන්නේද නිවස තුළටමය. ඉතිං මෙවැනි අපිරිසිදු තත්ත්වයක් පවතින විට එය නිවසේ වෙසෙන පොඩි දරුවන්ටද අයහපත්ය. එසේම මෙවැනි අත්දැකීම් ලබන දරුවාට අපිරිසිදුකම පිළිබඳව ලොකු අත්දැකීමක් නොලැබේ. ඔහු/ඇය ඒ පිළිබඳව පිළිකුළක් නොදක්වයි.

නිරාෂගෙයි අචලාගෙයි කතාවට අනුව දැන් ඔබට දැනෙනවාද අපේ පෞද්ගලික පිරිසිදුකම මනින එක සාධකයක් ලෙස අපේ නිවසේ නාන කාමරය නම් කරන්න පුළුවන් බව. ඉතිං ඔබත් මේ හා සම්බන්ධව අත්දැකීම් තියෙනවා නම් ඔබේ අදහස්/අත්දැකීම් අපිත් එක්ක බොදාගන්න.

ත්‍රිවිලරේ තනියම මාව යවන්න අම්මාට බය හිතුනා නම්, අදටත් මම අම්මා ලග

දරුවෙක් කියන්නේ මව්පියන්ගේ මුළු ජීවිත කාලය පුරාම පැවරෙන මග අරින්නම බැරි විශාල වගකීමක්. ඒ වගකීමෙන් යම්තාක් දුරකට මව්පියන්ට සුළු නිදහසක් හෝ ලැඛෙන්නේ දරුවන්ට දැනුම් තේරුම් ඇති වයසකට එළැඹි පසුව පමණි. පුංචි අහිංසක දරු පැටව් ජීවිතය ගෙවන්නේ දෙමාපියන්ගේ මගපෙන්වීම යටතේ. එයාලට අවදානමක සේයාවක්වත් දැනෙන්න තරම් දැනුමක් අත්දැකීමක් නෑ. අන්න ඒ නිසාය අපි මුලදිත් කිව්වේ මව්පියන්ට දරුවන් ගැන තියෙන වගකීමෙන් මිදෙන්න ඔවුන්ට යමක් කමක් තේරෙන වයසට එනතාක් අපහසුයි කියලා. අපේ රටේ නීතියට අනුව දරුවෙකු වැඩිහිටියෙකු ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසුව වුවත් දැන් දැන් අසන දකින සිදුවෙන දේ හරහා මව්පියන් තම දරුවන්ට වගකීම් පවරන්නේ ඔවුන්ගේ පුංචිකම ගැනවත් නොසිතාය කියන දේ තමයි අපට වැටහෙන්නේ. අද සමාජය තුළ බොහෝ අවස්ථාවලදී අසන්නට දකින්නට ලැඛෙන යම් යම් සිදුවීම් අනුව මව්පියන් තම වගකීම අකුරටම ඉටුකරනවාද යන්නත් සැකයක්.

මව්පියන්ට දරුවෙකුගේ වගකීම කරුණු රාශියක් ඔස්සේ පැවරෙනවා. ඒ අතරින් දරුවෙකුට අවශ්‍ය ආරක්ෂාව  සැපයීම ද ප්‍රධානයි. අද වෙන කොට පුංචි දරුවන්ට එයාලගේ වගකීම එයාලටම බාරදීලා නිදහස් වෙන මව්පියන් නිසා දරුවන් අනාරක‍ෂිත වන අවස්ථා වැඩියි. ඒ හේතුවෙන් මහමගදී දරුවන් අනතුරට ලක්වන අවස්ථා බොහොමයක් තිඛෙනවා. ඒ අනාරක‍ෂිත වාහාන හේතුවෙන්. මෝටර් සයිකල්, පාපැදි වගේම ත්‍රී රෝද රථ අනාරක‍ෂිත වාහන වන අතරම අද ලිපිය හරහා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ වැඩිහිටියෙකුගේ සහයක් නොමැතිව ත්‍රිරෝද රථවල පිටුපස අසුනේ තනිව ගමන්ගන්නා දරුවන් ලක්විය හැකි අවදානම් අවස්ථා පිළිබඳවයි.

කතාවටත් කියන්නේ අපි කොයිතරම් කල්පනාකාරීව සුපරික‍ෂාකාරීව ගියත් වැඩක් නෑ, වෙන කෙනෙක්ගේ නොසැලකිලිමත්කම නිසා අපිටත් අනතුරු වෙන්න පුළුවන් කියන එක. ඇත්තම තමයි, නොසැලකිලිමත් එක් රියැදුරෙක් නිසා සැලකිල්ලෙන් රිය පදවන අනෙක් වාහනවලටත් අනතුරු සිදු වූ අවස්ථා ඕනෑ තරම් අපට වාර්තා වෙලා තියෙනවා. ඉතිං මෙබදු වටපිටාවක ඔබේ දරුවා අවදානමට ලක්කරන්නට මව්පියන් වන ඔබට පුළුවන්ද? සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථයක පිටුපස අසුනේ තනිව ගමන් කිරීමට නම් අවම වශයෙන් දරුවෙකුගේ වයස අවුරුදු දොළහක්වත් විය යුතුය.

හිතන්න,….

  • අසුනේ හොඳින් අසුන්ගත් පසු දරුවාගේ දෙපා රථයේ බිම නිසි ලෙස තබා ගත හැකි ආකාරයේ උසකින් යුක්තද?
  • අසුනේ හොඳින් අසුන්ගත් පසු දරුවාගේ දෑත් ඉදිරියේ ඇති ඇලූමිනියම් දණ්ඩ (බාර්) අල්ලා ගැනීමට තරම් දිගුද?
  • දරුවා මෙවැනි ගමනකදී කෙතරම් අනාරක‍ෂිත ද යන්න මෙන්ම මෙහි අවදානම මව්පියන් නොදකිනවා නම් හය හතර නොදත් දරුවෙකුට එය කෙසේ වටහාගත හැකි වෙයිද?
දැඩිව සිතට ගන්න

පාසැල හෝ අමතර පන්තිය අවසන් වී ත්‍රි රෝද රථයේ එන දරුවෙකු කුසගින්නෙන් මෙන්ම නිදිමතෙන් සිටින බව කවුරුත් දන්නා කරුණකි. එක් වරම යමෙක් පාර පැණීමකදී, අතුරු පාරකින් වාහනයක් පාරට දැමීමකදී හෝ වෙනත් හේතුවක් මත ක‍ෂණිකව තිරංග තද කිරීමට රියදුරාට අනිවාර්යෙන්ම සිදුවන අතර ඒ අවස්ථාවේදී ඉදිරියට විසි වී බාර් එකේ හිස වැදී තුවාල විය හැකියි. නැතිනම් දත් වැදී කැඩී යා හැකියි. එසේත් නැති නම් ඉවතට විසි වී මහපාරට ඇද වැටීමට වුවද ඉඩ ඇත. එසේ විසි වන දරුවෙකු කුමන ඉරණමකට බදුන් වේද යන්න කිව නොහැක. පිටුපසින් එන වාහනයක දරුවාගේ සිරුර මතින් ගමන් කිරීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට හෝ මිය යාමට හැක. ඉතා වේගයෙන් හිස පොලවේ වැදීම හේතුවෙන් දරුවා සදාකාලිකව අකර්මන්‍ය තත්ත්වයට පත් විය හැකිය. එසේ නැතිනම් හිස දැඩිව වැදීම හේතුවෙන් මිය යා හැකිය. මේ අපිට නිතර අසන්නට දකින්නට ලැඛෙන අවාසනාවන්ත සිදුවීම්ය. මෙවැනි සිදුවීමකදී ජීවිත හානියක් සිදු නොවුණද ඒ සිදුවීමේ අමිහිරි මතකය සදාකාලිකව දරුවාගේ ජීවිතයට බලපෑම් කළ හැකිය.

එසේම දරුවා අනතුරකට බඳුන් නොවී රැගෙන යාමේ වගකීම ත්‍රි රෝද රථයේ රියදුරුට පැවරිය නොහැක. ඔහු කෙතරම් විශ්වාසවන්ත අවංක අයෙකු වුවද ඊලඟ මොහොතේ සිදුවන්නේ කුමක්ද යන්න අප කිසිවෙකුටත් කිව නොහැක. මන්ද රිය පැදවීම යනු සම්පූර්ණ නිදහස් මගක තමා පමණක් තනිව නිදහසේ යාමක් නොවන නිසාය. ඉදිරියට එන හෝ පසු කර යන වාහන පදවන්නන් ඔහුට පාලනය කළ නොහැකි නිසාවෙනි. ත්‍රි රෝද රථ සඳහා ද ආසන පටි හඳුන්වා දුන්නද මෙතෙක් එවැනි ත්‍රිරෝද රථ දැකගත හැකි වූයේ ඉතා සුළු සංඛ්‍යාවක් පමණි. මෙවැනි අනතුරු ලංකරගන්නේ ඔබේ නොසැලකිලිමත් බව, අලස කම මෙන්ම වගකීම් විරහිත බව නිසා නොවේද? ඔබේ හය හතර නොදත් අහිංසක දරුවාගේ ආරක‍ෂාව පිළිබඳව නිසි අවදානය යොමුකරමින් දිනෙන් දින වාර්තා වන මෙවැනි අනතුරු වළක්වා ගැනීමට අද සිටම සැලකිලිමත් වීම මාපියන් වන ඔබේ වගකීමයි.

ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා සමග සකසන ලද ලිපියකි.

 

මල් කැකුළු පූදින්නට පෙර මිලිනව යන්නට ඉඩ නොතබන්න ….

ඈත ආකාසේ පායන දේදුන්නක් දිගේ සුරංගනා ලෝකයට යන්න, කුරුල්ලෙක්ගෙන් පිහාටු ඉල්ලගෙන ඈත ආකාසේ පියාසර කරන්නට පෙරුම් පුරන, මල් වල පාට තවරන අමුත්තා සොයන , ආකාසෙන් මහ වැසි ඇද හැලෙන විට සුරංගනාවන්ට නාඬා ඉන්න ගී ගයන පුංචි හිත් තියෙන දරු පැටවුන් සිත් කොයි තරම් නම් නිර්ව්‍යාජද , අවිහිංසකද? දරුවන් මල් වලට උපමා කර ඇත්තේ ඔවුන්ගේ  ඒ අවිහිංසකත්වය, සුන්දරත්වය හා නිර්ව්‍යාජත්වය නිසාවෙන්මය. දෙමාපියන්ගේ ඒකායන අරමුණ පැහැබර, සුරක්ෂිත අනාගතයක් තම දරුවන්ට ලබා දීමය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම  අන්තර්ජාලය ඔස්සේ අසන්නට දකින ලැබෙන පුවත් හරහා කියැවෙන්නෙ පූදින්නට පෙරම මල් පොහොට්ටු තලා පෙලා දැමු පුවත්ය. මිනිසුන් අතර හිඳින නොමිනිසුන් පිළිබඳ පුංචි පැටවුන්ට අවබෝධයක් නැත. වර්තමානයේ සාහසික මිනිසුන්ගේ දෑත් වලින් මේ අවිහිංසක මල් කැකුළු වල ජීවිතය තීරණය කරන අවස්ථා අපට අසන්නට දකින්නට සිදුවීම අපගේත් අවාසනාවය. ආදරණීය දෙමාපියනි දරුවා සුරක්ෂිත කිරීම ඔබගේ යුතුකම සේම වගකීම බවද සිහියෙහි තබා ගන්න.

තාක්ෂණික දියුණුවත් සමගම සමාජ බැඳීම් වල වටිනාකමක් නොදැනෙන නොහැඟෙන පරිදි මිනිසුන්ද යාන්ත්‍රීකරණය වී ඇත. පියා තමන්ගේම දියණිය, පුතු නොහඳුනන , පුතු මව, තම සහෝදරිය නොහඳුනන සීයා මිනිපිරිය ,මුණුපුරා නොහඳුන සමාජයක පිටස්තරයන් කෙරෙහි කෙසේ නම් විශ්වාසය තබන්නද? දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේදී 95% පමණ සිදුව ඇත්තේ දෙමාපියන් හොඳින් දන්නා හඳුනන පුද්ගලයන් අතින්ම බව ඔබ දන්නවාද? තම හිතවත්ම ඥාතීන් අතින් , සමීපව ආශ්‍රය කරන පියාගේ හෝ මවගේ මිතුරන් හෝ මිතුරියන් අතින් , දරුවා බලා ගැනීමට පැමිණෙන සේවක සේවිකාවගෙන් තමන්ගේ දරුවා අපයෝජනයට ලක් විය හැකිය. ලිංගික වශයෙන් තවත් කෙනෙකු හිංසනයට පත් කරන තැනැත්තා හෝ තැනැත්තිය මානසික රෝගියෙක්ය. එනිසාම වයස, අදාල පුද්ගයා සමග ඇති ඥාතීත්වය පිළිබඳ හැඟීමක් ඔවුන් වෙත නැත.

සමීපතයන් අතින්ම පහසුවෙන් දරුවන් අපයෝජනයට ලක් වන්නෙ ඇයි?

පවුලේ සමීපතයන් දරුවන් සුරතල් කිරීම, ඔවුන්ට ආදරය කිරීම, ඔවුන් සමඟ තනිවම කාලය ගත කිරීමට වැනි කාරණා පිළිබඳ දෙමපියන් කිසි විටකත් සැකයක් පහළ නොවීම ප්‍රධාන හේතුවයි. ලිංගික අපයෝජනය පිළිබඳ කිසිත් නොදන්නා දරුවන්ව පහසුවෙන් එම කාර්යයන්ට අවනත කරගෙන ඇබිබැහි කරගැනීමට ඔවුන් සූක්ෂමය.

දරුවා ලිංගිකව අපයෝජනයට ලක්ව ඇති බව දැන ගන්නනේ කෙසේද?

  • සතුටින් සැහැල්ලුවෙන් දවස ගත කල ඔබේ දරුවා අසතුටින් බියෙන් පසු වීම
  • නිතරම කල්පනා කිරීම
  • වෙනදා චකිතයකින් තොරව දොඩමළු  වූ පුද්ගලයන් සමග දොඩළුම වීම ප්‍රතික්ෂේප කිරිම
  • දරුවාගේ ලිංගික ප්‍රදේශ වේදනා සහගත බව පැවසීම
  • දරුවාගේ ශරීරයෙ සීරීම් තැලීම් ලකුණු දක්නට ලැබීම
දරුවන්ට තම පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීමක් ඇත

ළදරුවෙකුට මාස 6 දී පමණ ප්‍රථම වරට තම පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීමක් ජනිත වීම සිදු වේ. ළදරුවා රැක බලා ගන්නා කෙනා තමන් අසල නැති විට ඔවුන් හඬාවැටෙන්නේ මෙම  හැඟීම ජනිත වන නිසාවෙන්ය.එසේම සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම්, පිඟන් කෝප්ප තමන්ට වෙන් කරගන්න ඔවුන් දිනෙන් දින උත්සුක වේ. සෑම මනුෂ්‍යයෙකුටම පෞද්ගලිකත්වයක් ඇත. තමන්ගේ ශරීරයේ හිමිකාරිත්වය පිළිබඳ සියළුම වගකීම් හිමිවන්නේ තමන්ටමය. මෙය පෞද්ගලිකත්වය බව වටහා ගන්නට තරම් කුඩා දරුවන්ට අවබෝධයක් නැත. එනිසා ඒ බව වටහා දීමේ වගකීම පැවරෙන්නේ දෙමාපියන්ටය.

දරුවාට කියාදෙන්න …

සාමාන්‍යයෙන් වයස අවු. 2 ක් 2 ½ පමණ වන විට දරුවන්ට යමක් අවබෝධ කරවීමේ හැකියාව පවතී. බොහෝ විට දරුවන් සමග කාලය ගත කරන්නේ මවය. එනිසා දරුවාට  දරුවාගේ ශරීරයේ වටිනාකම කියා දෙන්නට මවට හැකිය. මේ සඳහා සුදුසු වෙලාව ලෙස දරුවා නෑවීම, ඇඟ සේදීම වැනි කාර්යයක් කරන අවස්ථා තෝරාගන්න.

“පුතේ මේ ඇඟ අයිති ඔයාට විතරමයි. අම්මා තාත්තා ආච්චි අම්මා ඇරෙන්න ඔයාගේ ඇඟ අත ගාන්න කිසිම කෙනෙකුට ඉඩ දෙන්න එපා. අපි ඇඳුම් අඳින්නේ ලැජ්ජ නිසානේ. ඒක නිසා ඔයාගේ ඇඳුම් කාටවත්ම ගලවන්න දෙන්න එපා. ඉතිං කවුරු හරි ඔයාගේ ඇඳුම් අයින් කරන්නේ ඔයාට රිද්දන්න වෙන්නත් පුළුවන්. පුතාගේ මේ චූ දාන පැත්ත කක්කි දාන පැත්ත කාටත්ම අල්ලන්න දෙන්න එපා. එහෙම ඇල්ලුවොත් මගෙ පැටියා අම්මට කියන්න. නරක මාමාමලා ,නැන්දලා ,අයියලා ,අක්කලා පුංචි ළමයින්ව බය කරලා නරක වැඩ කරනවා. ඒක නිසා කිසිම වෙලාවක එයාලට බයේ එයාලා කරන නරක දේවල් අම්මට කියන්නෙ නැතිව ඉන්න එපා. ඔයාව බලාගන්න අම්ම ඉන්න නිසා කාටත්ම බය වෙන්න එපා.”

මේ ආකාරයට සරලව දරුවාට තම ස්වයං ආරක්‍ෂාව පිළිබඳ වැටහීමක් වගේම මවගේ රැකවරණය පිළබඳව විශ්වාසයත් ඇති කරවන්න. සතියකට වරක්වත් දරුවන්ට මේ සරල පැහැදිලි කිරීම සිදු කිරීම තුලින් දරුවන්ට තම ආරක්‍ෂාව පිළිබඳ හැඟීමක් ඇති වනු ඇත.

මේ ගැනත් සිතන්න…

  • ඇතැම් විට දරුවා අපයෝජනයට ලක් කරන තැනැත්තා දරුවාට ඉතා කුළුපගුය.පවුලට වඩාත් හිතවතුන් වුවද ඔවුන්ගෙන් දරුවාට අතවරයක් සිදු විය හැකි බැවින් ඔවුන් සමග දරුවා තනි නොකරන්නත් නිරන්තරයෙන්ම ඔබේ අවධානය යොමු කරන්නත් අමතක නොකරන්න.
  • දෙමාපියන් වශයෙන් දරුවන්ට බෙහෙවින් ලං විය යුතුය. කුඩා කළ පුංචි පැටවුන් අතොරක් නැතිව ගිරවුන් සේ කියවයි. ඔවුන්ට ඇහුම් කන් නොදුන්නහොත් තව දුරටත් ඔවුන් ඔබ හා දොඩම`ඵ වීම ප්‍රතික්ෂේප කරනු ඇත. එනිසා සෑම විටම දරුවාට ඇහුම්කන් දෙමින් දරුවා සමග ඉතාමත් සමීප සබඳතාවක් ගොඩනගා ගැනීම ඔබට ඉතා වාසිදායකය. මන්ද ඔවුන් වයසින් මුහුකුරා යන විටද ඔවුන්ගේ දවසේ සිදු වූ සියළු තොරතුරු එකී මෙකී නොකී සෑම දෙයක්ම ඔබ හමුවේ සුහදශීලීව ප්‍රකාශයට පත් කරන නිසාවෙන්ය. දරුවන් දෙමාපියන්ට විවෘත හා සුහදශීලී වීම තුලින් දරුවාට ලිංගික අපයෝජනය සිදු වීමට පෙර මවට හෝ පියාට ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක්  ගත හැකි නිසා තම දරුවා බේරා ගැනීමටත් හැකියාව ලැබේ.
  • දරුවන් අපයෝජනයට ලක් කරන පුද්ගලයන් දරුවා බියට පත් කිරීම තුලින් බිය නිසාම දරුවා ඒ පිළිබඳ කිසිවෙකුටත් ප්‍රකාශ කිරීමට මැලිවේ. දරුවාට මරණීය තර්ජන හෝ දෙමාපියන්ට මරණීය තර්ජන කර පුංචි සිත් බියවද්දා තම මනදොල සපුරාගැනීමට කාමාතුරයින් සූක්‍ෂමය. තමන්ට කවරෙකුගෙන් හෝ හිංසනයක් වේ නම් වහාම තමන්ට පවසන ලෙසත් එසේ තර්ජනය කිරීමෙන් දරුවාට  හිංසනයක් කළ හැක්කේ දරුවන් නිවසේ වැඩිහිටියන් දැනුවත් නොකළහොත් පමණක් බවත් දරුවාට ප්‍රත්‍යක්‍ෂ කිරීම ඉතා වැදගත්.
  • කිසි විටකත් නාඳුනන පුද්ගලයන් සමඟ කතාබහ නොකරන ලෙසත් ඔවුන් දෙන යම් යම් දේවල් නොගන්නා ලෙසත් ඔවුන් සමග යන්නට කතා කළ හොත් නොයන ලෙසටත් දරුවා කල්තියාම දැනුවත් කර තබන්න.
  • ලිංගික අපයෝජනය, හිංසනය පිළිබඳ දරුවන්ට අවබෝධයක් නොමැත. එහෙයින් ඇතැම් විට දරුවන් දෙමාපියන්ගෙන් බැනුම් ඇසීමට සිදුවේයැයි සිතා හෝ මේවා සාමාන්‍ය දේවල් යැයි හෝ සිතා සිටීම තුලින් දරුවා දීර්ඝ කාලීනව අපයෝජනයට භාජනය වීමට ඉඩකඩ පවතී.
  • නිවසට පැමිණෙන නෑදෑ හිතුවතුන් පිළිබඳ ඔබ ඉතා අවධානයෙන් සිටිය යුතුය. ඔබ කාමාතුරයා සැක නොකරන තරමට ඔහුට මල් කැකුළු තලා පෙලා දමන්නට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සහ කරනු ඇත. දරුවන් තමන්ගේ උකුල මත තබාගෙන සුරතල් කරන ගමන් දරුවාගේ ශරීරය ස්පර්ශ කරමින් තෘප්තියක් ලබාගන්නා ඇතැම් කාමාතුරයන් දරුවාට එය සාමාන්‍ය දෙයක් බව ඒත්තු ගන්වමින් දරුවා එම කාර්යයන් සඳහා නැඹුරු කරගැනීමට ද හැකිය.
  • කුඩා පාසල් දරුවන් ගුරුවරුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන් අපයෝජනයට ලක් වූ තත්ත්වයන් බොහෝමයක්  මෑත කාලය තුල වාර්තා විය. එහිදී දරුවන්ට ඇසැබි දර්ශන පෙන්වා දරුවන් ලවා තම ලිංගික ප්‍රදේශ ස්පර්ශ කරවා ගැනීම, දරුවන්ගේ ලිංගික ප්‍රදේශ ස්පර්ශ කරමින් වින්දනයක් ලබා ගැනීම ආදී ලෙස මෙන්ම දරුවන්ව සංසර්ගය සඳහා යොදා ගැනීමත් සිදු වූ බව මාධ්‍ය මඟින් ප්‍රචාරයට පත්විය. වයස අවු. 16 අඩු දරුවන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික ක්‍රියාකරකම් වල යෙදෙනවා නම් එය නීතිය හඳුන්වන්නේ දූෂණයක් ලෙසටය.
  • දරුවන් දරුවන් අතරද ලිංගික අපයෝජනයන් සිදු විය හැකියි. බොහෝ පාසල් වල පිළිලයක් සේ සම ලිංගිකත්වය ව්‍යාප්තව ඇත. දරුවා ආශ්‍රය කරන යහළු යෙහෙළියන් පිළිබඳ, දරුවාගේ හැසීරීම් පිළිබඳ මනා අවබෝධයකින් පසු වීම ඔබ අතින් සිදු විය යුතුය. දරුවාට තෑගි බෝග ලබාදෙන පුද්ගලයන් පිළිබඳ පුළුල් අවධානයෙන් සිටිය යුතුය. විරුද්ධ ලිංගිකයන් අතින් මෙන්ම සම ලිංගිකයන් අතින් ද දරුවාට ලිංගික හිරිහැර හෝ අපයෝජන සිදු විය හැකි බව තරයේ සිහි තබා ගන්න.
  • බොහෝ විට මවත් පියාත් රැකියාවක නිරත වන විට දරුවා ගෘහ සේවිකාවකගේ රැකවරණයට පත් කරයි. ඇතැම් සේවිකාවන් අත දරුවන්ගෙන් පවා වින්දනයක් ලබා ගනියි.  එනිසා තම දරුවාගේ සුරක්ෂිතබාවය තහවුරු කරන්න.
  • අනවශ්‍ය ලෙස යම් කෙනෙකු දරුවාගේ ලිංගික ප්‍රදේශ ස්පර්ශ කරන විට දරුවාට එය එපා කියා ප්‍රතික්ෂේප කරන්නටත් නැතහොත් කෑ ගසා අවටින් උදව් ලබා ගන්නටත් දැනුවත් කොට තිබීම ඉතා වැදගත්ය. දරුවාට උපක්‍රමශීලීව කටයුතු කරන්නට කියාදීමත් දරුවාට ළමා අපයෝජනයෙන් මිදී යාමට මහඟු අත්වැලකි. නමුත් මෙවැනි උපක්‍රමශීලී කටයුතු කරන්නට වයස අවු.12 පමණවත් විය යුතුය.
  • බස් රථ වල ගමන් කිරීමේදී දරුවා නාඳුන ළඟින් හිඳුවා ගන්නට ඉඩනොතබන්න.එසේම  දරුවා තනි නොකරන්නත් වග බලා ගන්න.

වැඩිහිටියන් දරුවන්ට සලසන රැකවරණය තුල යම් හිඩසැක් මතු වූ සැනින් දරුවන්ට විය හැකි හානිය අතිමහත්ය.මල් කැකුළු තැලී පොඩීවී ගිය පසු හඬා දොඩා පලක් නැත. මල් කැකුළු  තැලී පොඩීවී යන්නට මත්තෙන් නිරන්තරයෙන්ම දෑස් මෙන් රැක බලා ගත යුතුය. එහි පූර්ණ වගකීම පැවරෙන්නේ දෙමාපියන් වන අපටමය.

ඔබේ සැමියා විදෙස් ගත වෙලාද ?

ජීවිතේ කියන්නේ ලේසී පහසු දෙයක් නම් නොවේ. අපේ ජීවිත වල සල්ලි වලට තියෙන්නේ ලොකු ඉඩක්නෙ. සල්ලි නැත්නම් සතුටින් ඉන්න පුලුවන්ද? මම නම් කියන්නෙ බැහැ කියලා. ජීවිතේම සල්ලි නොවුනට ජීවත් වෙන්න සල්ලි ඕනිමයි. මොකද කෑම බීම, ඉඳුම් හිටුම්, දරුවන්ගේ අධ්‍යාපනයට, විනෝදය  මේ හැම දේටම සල්ලි අත්‍යාවශ්‍යයි. ඒත් අපි හැමෝම ආර්ථික අතින් ශක්තිමත් නැහැනේ. තමන්ටම කියලා ගෙයක් දොරක් හදා ගන්න, වාහනයක් ගන්න, තමන් දැන් ගත කරන ජීවිතයෙන් ඉහළට නගින්නට නම් ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක් තිබිය යුතුයි. අන්න ඒ නිසාම බොහෝ දෙනා රට රැකියාවක් කරන්නට පෙළඹෙනවා. කාන්තාවන් වගේම පුරුෂ පාර්ශවයත් තමන්ගේ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් විදේශ ගත වෙනවා. ස්වාමියා විදේශගත වු පසු බිරින්දෑවරුන් පිළිබඳ ලියන්නට සිතුවෙ වැඩියෙන්ම කාන්තා පාර්ශවය වටා රොක්වෙලා ඉන්න නිසයි.

බොහෝ විට විදේශ රැකියාවන් වෙත යොමු වන්නේ අපේ රට තුල සැලකිය යුතු ආදායමක් ලබා ගත නොහැකි නිසානේ. පවුලේ සියලුම දෙනාගෙන් සමුගෙන විදේශගත වන ස්වාමිපුරුෂයා  ඇතැම් විට විදේශ රටක රැකියාවට යොමු වන්නේ තම අධ්‍යපනය උගත්කම පසෙකලා වන්නට පුළුවන.  ඇතැම් විට ඒ බව තම බිරිඳටවත් නොකියා තමන් කරන රැකියාවට අමතරව තම විවේකී කාලයේදී අර්ධ කාලීන රැකියා කරන්නත් උත්සහා කරනවා. ඒ තම පවුලේ සුභ සිද්ධිය උදෙසාය.

මාසය අවසානයේ බිරිඳ වෙත එවන මුදලෙහි ඇත්තේ ඔහුගේ වෙහෙස මහන්සියයි. එනිසා මෙරට සිටින බිරිඳ කලයුත්තේ සැමියා උපයා එවන මුදලින් පවුලේ සුභ සිද්ධිය සඳහා කටයුතු කිරීමය. සාමාන්‍යයෙන් අපට දෙයක් වැඩිපුර ලැබෙන විට එහි අගයක් නැත. අගහිඟ කම් තිබූ නිවසෙහි අග හිඟකම් පහව යන විට ඔබටත් නොදැනුවත්වම අනවශ්‍ය වියදම් වෙත ඔබ යොමු වනු ඇත.මා මේ ලියන්නට යන කතාව සත්‍ය කතාවකි.

නිරාෂාත් ප්‍රභාතුත් හමු වුයේ ඔවුන් සේවය කළ නිමි ඇඳුම් ප්‍රදර්ශනාරයේදීය. විවාහයෙන් පසු කුඩා කුලී කාමරයකින්  ජීවිතය අලුතින් ආරම්භ කළ ඔවුන් දෙදෙනා සතුටින් ජීවත් විය. කාලය සෙමෙන් ගලා යද්දි තමන්ටම කියා නිවහනක් තනා ගන්නට, ඔවුන්ගේ සිහින හැබෑ කරගන්නට විදෙස් ගත වන්නට ඔවුන් දෙදෙනා තීරණය කලාය. ඉංග්‍රීසී භාෂාව හොඳින් හැසිරවිය හැකි නිසා පහසුවෙන්ම ප්‍රභාත්ට මැද පෙරදිග ප්‍රදර්ශනාගාරයක රැකියාවක් සොයා දුන්නේ මැද පෙරදිග සේවය කරන ඔහුගේම මවයි. ප්‍රභාත් නිරාෂාගෙන් සමු ගත්තේ නිරාෂාටද රැකියා අවස්ථාවක් සොයා දෙන පොරොන්දුව මතය. එහෙත් නිරාෂා මවක් වී ඇතැයි දැන ගත්තේ ප්‍රභාත් විදේශ ගතව සති දෙකට පමණ පසුය. වසරකට තෙවරක් ප්‍රභාත් මෙරටට පැමිණෙයි. වසරකට වරක් නිරාෂාත් පුතාත් ප්‍රභාත් වෙත යයි.

ප්‍රභාත් සෑම මසක් අවසානයේම නිරාෂාට මුදල් එවයි. නැති බැරිකම් මග හැරෙද්දි නිරාෂාගේද පැවැත්ම වෙනස් විය. නිරාෂා තමන්ගේ අවශ්‍යතාවයටත් වඩා ඉඩ කඩ සහිත නිවසක් කුලියට ගත්තේ ඊට වඩා අඩු මුදලකට නිවසක් කුලියට ගැනීමට හැකියාව තිබියදීමය. පයින් යාහැකි දුරත් ඇය ගමන් කලේ ත්‍රී රෝද රථයේය. පුතාගේත් ඇයගේත් ඇඳුම් පැළඳුම් සඳහාද මාසිකව සැලකිය යුතු මුදලක් ඇය වැය කලාය. පුතාගේ උපන් දින සාදය , නත්තල් උත්සව ප්‍රභාත් මෙරටට එන සෑම විටම සාද පැවැත්වීමටත් යහළු යෙහෙළියන්ගේ සාද සඳහාද  නිතර නිතර මුදල් වැය කරන්නටත් ඇය දෙවරක් නොසිතුවාය. කෙසේ වෙතත් පුතාට වසර පහක් සපිරෙන විට නිරාෂා නැවත මවක් වන ලකුණු පල කලාය. වසර පහක් පුරාවට ආදරයෙන් සිටි ප්‍රභාත් වෙනස් වන්නට ගත්තේ එතැන්සිටය. නිරාෂාට වෙනදා මෙන් මුදල් එවනවා වෙනුවට අවශ්‍යතාවයට පමණක් මුදල් එවීය. කාලය ගතවද්දී ඔවුන්ගේ සබඳතාවය බෙහෙවින් දුරස්ථ විය. අවසන ඇයට සිදු වුයේ දරු දෙදෙනාත් සමඟ තනි වන්නටය. ප්‍රභාත්  වෙනත් කාන්තාවක් සමඟ ඇසුරක් පවත්වන බව දැන ගන්නට ලැබීමෙන් නිරාෂා කායිකව මෙන්ම මානසිකවද ඇද වැටුනාය. අවසානයේ නිරාෂාගේ යෙහෙළියක් ප්‍රභාත් සමඟ කතා කරන්නට තීරණය කලේ තව දුරටත් තම යෙහෙළිය දුක් විඳිනවා බලා සිටින්නට නොහැකි නිසා වෙන්මය.

“ඇයි ප්‍රභාත් මේ වගේ පව්කාර වැඩක් කරන්නේ? අර දරුවො දෙන්නා ගැනවත් හිතලා තීරණ ගත්තොත් නේද හොඳ?”

“මම දරුවන්ට ජීවත් වෙන්න සල්ලි යවනවා?”

“සල්ලි විතරක් යැව්වම ඇතිද ඒ දරුවන්ට තාත්තා කෙනෙක් ඕනී නේද? නිරාෂා කවදාවත් වැරදි වැඩක් කලේ නැහැ. ඉතින් ඇයි මේ ඒ අහිංසකීට මෙහෙම කරන්නේ?”

“ඔයා දන්නවද මම මෙහෙ ඉඳලා මොනවද කලේ කියලා. මට ඕනී වුණේ අපේම කියලා ගෙයක් දොරක් හදාගෙන දියුණු වෙන්න. ඒ වෙනුවෙන් මම කොච්චර මහන්සි වුණාද? මම ෂොප් එකේ වැඩ ඉවර කරලා හොටෙල් එකක පිඟන් හෝදන්නත් ගියා.ඒ පුළුවන්  තරම් ඉක්මණට ලංකාවට එන්න ඕනී නිසා. මගේ කෑම බීම වලට තියාගෙන ඉතිරි සල්ලි සේරම මම එව්වෙ නිරාෂට. ඒත් අවුරුදු පහක් මම හම්බ කරලා එව්වත් තවම අපිට කියලා ගෙයක් හදා ගන්න බැරි වුණා. ගෙවන්න ගත්ත ඉඩම විතරයි තියෙන්නෙ.ඉතින් ඇයි මම මෙහෙ මෙහෙම නැහෙන්නෙ කියලා මටම හිතුනා. මම නිතරම කිව්වා අනවශ්‍ය වියදම් අඩු කරලා ඉතිරි කරන්න කියලා. ඒත් එහෙම සිද්ධ වුණේ නැහැ. අංජලී මම වැඩ කරන තැනම කෙනෙක්. එයා මගේ හොඳ යාළුවෙක්.  ඉතින් මගේ හැම ප්‍රශ්නෙම මම එයාට කියනවා. එයා මට කිව්වා මගේ පඩිය කළමණාකරණය කරගන්න හැටි. ඇත්තට දැන් මගේ ළග ගෙයක් හදා ගන්න පුළුවන් තරමට සල්ලි තියෙනවා. මට අංජලී ගැන තිබුණු පැහැදීම වැඩි වෙන්න වැඩි වෙන්න මම එයාට ආදරේ කරන්න පටන් ගත්තා. මටත් මේ වගේ සකසුරුවම් බිරිඳක් හිටිය නම් කොයි තරම් දියුණු වෙන්න පුළුවන්ද කියලා හිතුනා. කොහොම හරි අපි අතර ප්‍රේම සම්බන්දතාවයක් ඇති වුණා. ඇත්තටම නිරාෂා මුල ඉඳලම අපේ දියුණුව ගැන හිතලා කටයුතු කලා නම් මෙහෙම වෙන්නෙ නැහැ. කොහොම වුණත් තව අවුරුදු දෙකකින් මම ලංකාවට එනවා. අංජලීගේත් මගෙත් සම්බන්ධය නතර කරන්න අපි දෙන්නම තීරණය කලා. මොකද එයත් දරුවො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් නිසා”

ඔබට මේ කතාව කියවාගෙන යද්දි සිතුනෙ කුමක්ද? වරද කාගේ කියලද? සෑම පිරිමියෙක්ම තමන්ගේ බිරිඳගෙන් බලාපොරොත්තු වන සකුසුරුවම, දුර දිග බලා කටයුතු කිරීම පවුලේ අභිවෘද්ධිය නිරාෂා සතුව පැවතියේ නම් ප්‍රභාත්ට තම ගැටළු තුන්වන පාර්ශවයකට පැවසීමටත් ලං වන්නටත් අවශ්‍ය නොවන්නට ඉඩ තිබුණී. එහෙයින් ආදරණීය සොයුරියනි ඔබේ සැමියා විදෙස් ගතව සිටී  ඔබටත් මේ කතාවෙන් සිතට ගත යුත්තක් ඉතිරි වනු ඇත.

යොවුන් දරුවන් සිය දිවි නසා ගන්න හේතු මෙන්න

1990 දශකයේ සියදිවි නසා ගැනීම් අතින් මුල් තැන සිටි ශ්‍රී ලංකාව කෙමෙන් කෙමෙන් ඒ තත්ත්වයෙන් මිදෙන්නට විය. ඒ කාලවකවානුව තුළ බහුල වශයෙන් සියදිවි නසාගැනීම් වාර්තා වූයේ ගොවි ජනතාව අතරිනි. වගා පාලූවීම, ණය ගෙවා ගැනීමට නොහැකි වීම, අස්වැන්න නිසි මුදලට අලෙවි කරගත නොහැකි වීම මත කෘමිනාෂක පානය කොට ඔවුහු දිවි තොර කරගත්හ. නමුත් ඉන් පසුව කෘමිනාශකවල ඇති රසායනික ද්‍රව්‍ය සාන්ද්‍රනයේ ප්‍රතිශතය අවම කිරීමත් සමගම මේ තත්ත්වය කෙමෙන් අඩු වූවා. කෙසේ වුවද අද වන විටත් සියදිවි නසා ගැනීම් සම්බන්ධයෙන් වැඩි වශයෙන් වාර්තා වෙන රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කළ හැකිය.

සියදිවි නසාගැනීම සම්බන්ධව සමාජ මතය

සියදිවි නසා ගැනීමක් සිදු වූ විගස වෙබ් අඩවි, මාධ්‍ය ජාල හරහා බොහෝ දෙනෙක් අදහස් දක්වන්නේ පෙම්වතා අහිමි වීම, රැකියාව අහිමි වීම, ණය තුරුස්/මුදල් නැතිකම, විභාග අසමත් වීම වැනි සාමාජීය වෙනසක් හේතුවෙන් යමෙක් සිය දිවි තොර කරගන්නා බවයි. එසේම ප්‍රසිද්ධිය/මිල මුදල්/රූ සපුව ඇතුළුව මිනිසුන් ආසා කරන සියලූ දේ සහිත සුප්‍රකට නළු නිළියන්/ගායකයන් කොයිතරම් සිය ජීවිතය තොර කරගෙන ඇතිද? එසේ නම් ඔවුන්ට තම ජීවිතය නැති කරගැනීම හේතු වන්නේ කුමක් අහිමි වීමද? ඒ වෛද්‍ය විද්‍යාත්මකව මේ තත්ත්වය පිළිබඳව නොදැනුවත් මිනිසුන්ගේ අදහස් හා ආකල්ප පමණි. සාමාන්‍ය මානසිකත්වයක සිටින පුද්ගලයෙකුට තම ජීවිතය අහිමි කර ගැනීමට තරම් සිත නතු කරගැනීමේ හැකියාවක් නොමැත.

උදා:

  • පෙම්වතා/පෙම්වතිය හැරගිය සෑම තරුණයෙක්/තරුණියක්ම සිය දිවි හානි කරගන්නවාද?
  • විභාග අසමත් වූ සෑම සිසුවෙක්ම සිය දිවි හානි කරගන්නවාද?

නැත. තාර්කිකව මෙන්ම වෛද්‍ය විද්‍යාව පිළිබඳව දැනුවත් වෙමින් යමක් දෙස විවෘතව සහ දැනුවත්ව බැලීමට අප සමාජය හුරු විය යුතු බව දැන් ඔබට වැටහෙනවාද?

සාමාන්‍යයෙන් මරණයකිින් පසුව සිදු කෙරෙන පශ්චාත් මරණ පරීක‍ෂණය හා සමානවම සියදිවි නසාගැනීමක් හේතුවෙන් සිදු වූ මරණයකදී එසේ මිය ගිය පුද්ගලයාගේ මානසිකත්වය පිළිබඳ තොරතුරු අණාවරණය කරගැනීමට පරීක‍ෂණ සිදු කෙරෙන අතරම ඒ අවස්ථාවේදී ඔහු/ඇය සිටි මානසිකත්වය පිළිබඳව යම් තීරණයකට එළැඹීමට එහිදී අවස්ථාව සැලසේ. මේ ආකාරයෙන් ගත් කළ සියදිවි නසා ගන්නා ප්‍රතිශතයෙන් 90%කට වැඩි පිරිසකට එසේ වීමට හේතුව වන්නේ මානසික ව්‍යාකූලත්වයන්ය. මේ අතරින් 50%ක්ම විශාදය නම් වූ මානසික ව්‍යාකූලත්වයට ලක්වූවන් බව පැවසිය හැක. බොහෝවිට සියදිවි නසාගැනීමට වැඩි වශයෙන් යොමු වන්නේ  කාන්තාවන්ය. නමුත් සියදිවි නසාගැනීම් සඳහා යොමු වන කාන්තාවන් මියයාමේ ප්‍රතිශතය මේ සඳහා පෙළඹෙන පුරුෂ පාර්ශවයේ ප්‍රතිශතයට වඩා අඩුය. පුරුෂ පාර්ශවය මේ අවස්ථාවේදී බොහෝ විට යොදාගන්නේ ඉතාම දරුණු ක්‍රම වීම එයට හේතුවයි.

සියදිවි නසා ගැනීම්වලට බලපාන මූලික හේතු

  • විෂාදය
  • මත්ද්‍රව්‍ය භාවිතය
  • සයිකෝසියාව
  • බයිපෝල රෝග තත්තවය
  • කම්පනයකින් පසුව එන මානසික ව්‍යාකුලත්වය
  • පෞරුෂත්වය පිළිබඳ රෝග

මේ අතරින් සිය දිවි නසාගැනීම් සඳහා මුලිකව බලපෑ හැකි හේතුව වන්නේ විශාදය නැමැති මානසික ව්‍යාකූල තත්ත්වයයි. මෙහි තීව්‍රතාවය අනුව මද, මැද සහ උග්‍ර වශයෙන් ව්‍යාකූලත්වය පෙන්නුම් කරයි. විශාදයේ උග්‍ර තත්ත්වයේදී ඔවුන් පිටතට එක් එක් රෝග ලක‍ෂණ පෙන්නුම් කරන නිසා තත්ත්වය හඳුනාගැනීම අපහසු නොවේ. නමුත් මද සහ මැද තත්ත්වයන්හිදී රෝග ලක‍ෂණ වටහා ගැනීමට අදාල පුද්ගලයන්ගේ සමීපතමයන්ට පවා අපහසුය.

ඔබට මෙසේ සිතිය හැකියි.

” එහෙම වෙන්න බෑ. ඒ ළමයා හොඳට හිනා වෙලා කතා කරලා හිටියනේ. කොහොමද එක පාරටම මෙහෙම දෙයක් කරගත්තේ. එයාට කිසි මානසික රෝගයක් තිබුණේ නෑනේ ”

නමුත් ඔබ වටහා ගන්න, මානසික ව්‍යාකූලත්වයක් යනු අඩ නිරුවතින් ඉරුණු ඇඳුම් ඇඳ, හිස කේ විසිරුවාගෙන අසිහියෙන් ඒ මේ අත දිවීමේ තත්ත්වය පමණක් නොවන බව.

depression_girl

තම දිවි අහිමි කරගැනීමට තරම් සිත ගල් කරන ”විශාදය” පිළිබඳ දැනුවත් වෙමු

ජීව විද්‍යාත්මක/සමාජීය/මනෝ විද්‍යාත්මක වැනි සාධක ගණනාවක බලපෑම අවසානයේදී මොළේ ස්නායු සම්ප්‍රේෂක වෙනස් වීම විශාදයයි. 10% – 20% ත් අතර ප්‍රමාණයකට සිය ජීවිත කාලය තුළ මේ තත්ත්වය ඇති විය හැකි අතරම හඳුනාගැනීමේ අපහසුතාවය මත වගේම මානසික රෝග සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ඇති පැකිලීම මත ප්‍රතිකාර ගැනීම සඳහා යොමුවන්නේ ඉතා සුළු පිරිසකි.

විශාදයේ උග්‍ර තත්වයේදී පෙන්නුම් කරන ලක‍ෂණ 

  • දිගින් දිගටම පවතින මානසික පසුබෑම
  • ඉක්මනින් විඩාවට පත් වීම
  • තම වැඩ කටයුතු නිසා ලෙස කරගත නොහැකි වීම
  • කිසිදු දෙයකින් සතුටට/තෘප්තියට පත් නොවීම
  • නිනද අඩු/වැඩි වීම
  • කෑම රුචිය අඩු/වැඩි
  • කෑම රුචිය වැඩි වුවද සිරුරේ බර අඩු වීම
  • අධික කෝපය
  • අවධානය පවත්වා ගත නොහැකි වීම
  • සියදිවි නසාගන්නා බවට පැවසීම/ සිය දිවි නසාගැනීමට සිතීම/එයට උත්සාහ කිරීම

ඕනෑම දරුවෙක් මානසිකව ආතතියට ලක්විය හැකි බව තරුණ දරුවන් සිටින මව්වරුන් සිහිතබාගන්න, අදවන විට බොහොමයක් දෙමාපියන් සිතා සිටින්නේ දරුවන්ගේ සියලූ අවශ්‍යතා සම්පූර්ණ කොට ඇති බැවින් ඔවුන් මෙවැනි මානසික තත්ත්වයන්ට පත් වීමට හේතුවක් නැති බවයි. නමුත් එය සම්පූර්ණයෙන් වැරදි මතයකි.

ඔබේ යොවුන් දරුවා විශාදය තත්ත්වයේ පසුවෙනවාද යන්න අඳුනා ගන්නේ මෙහෙමයි. මාස කිහිපයක් තුළ පහත සඳහන් ලක්ෂණ පෙන්නුම් කරයි නම් සැලකිලිමත් වීම අනිවාර්ය බව සිහි තබාගන්න.

  • දරුවාගේ නින්දේ යම් වෙනසක් තිබීම (හොඳ නින්දක් ලබා ගත් දරුවෙක් මෑතක සිට සුව නින්දකට යොමු නොවීම)
  • කෑම අරුචිය
  • දින චර්යාවේ වෙනසක්
  • පවුලේ සාමාජිකයන් සමග තිබූ සම්බන්ධතාවයේ වෙනසක් ඇති වීම
  • කෝපය
  • යහළු යෙහෙළියන්ගෙන් ඈත් වීම වැනි අන්තර් පුද්ගල සබඳතාවයන්ගේ වෙනසක් ඇති වීම
  • හොඳින් සිදු කළ අධ්‍යාපන වැඩකටයුතුවල පසුපෑමක් දක්නට ලැබීම
  • සියදිවි නසාගන්න උත්සාහ කිරීම
  • සියදිවි නසාගන්නා බවට පැවසීම

මෙවැනි තත්ත්වයකිදී තම යොවුන් දරුවා වටහා ගැනීම දෙමාපියන්ගේ මූලික වගකීමයි. දරුවාගේ පසුබෑම්/අසමත් වීම් හමුවේ වැඩිහිටි ඔබද ඔහු වෙත දෝෂාරොපණ එල්ල කිරීමට නුසුදුසු බව දැන් ඔබ දන්නා කරුණකි. ඇතැම් විට දරුවෙක් තම මවට/පියාට සිය තත්ත්වය පැවසීමට අකමැති විය හැකිය. එවැනි අවස්ථාවක ඔහු/ඇය ප්‍රියකරන විශ්වසනීය වෙනත් පුද්ගලයෙකු හෝ මනෝ උපදේශකවරයෙකු හරහා හෝ සිදුව ඇති දේ කුමක්ද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය.

සියදිවි නසා ගැනීම්වලින් යොවුන් දරුවන් මුදවා ගැනීමට

සාමාන්‍යයෙන් සියදිවි නසාගැනීම් වෙත යමෙකු යොමු වීමට බලපාන්නා වූ අවදානම් සහගත සාධක මෙන්ම ආරක‍ෂිත සාධක ද ඇත. මේ තත්ත්වය වළක්වා ගැනීමට අවදානම් සාධක අවම කරමින් උපරිමයෙන් ආරාක‍ෂිත සාධක සැලසුම් කළ යුතුය.

අවධානම් සාධක අතරින් වෙනස් කළ නොහැකි සාධක ද තිබේ. පෙර සඳහන් කළ පරිදි සියදිවි නසාගැනීම ගත් කළ එක් කාන්තාවකට පිරිමින් 4 දෙනකු වන අනුපාතයෙන් ඇති අතරම මේ තත්ත්වයේදී පුතුන් සිටින මවකට ඇති වගකීම් ඉහළය. මන්ද යොවුන් පිරිමි දරුවන් සිය දිවි නසා ගැනීම සඳහා භාවිත කරන ක්‍රම ගැහැණු දරුවන් යොදා ගන්නා ක්‍රමවලට වඩා දරුණු බැවින් මේ තත්ත්වයට යොමු වන පිරිමි දරුවන් මියයාමේ සම්භාවිතාව ඉහළය. එය වෙනස් කළ නොහැකි අවධානම් තත්ත්ව වේ.

සියදිවි නසාගැනීම සම්බන්ධව වෙනස් කළ හැකි අවදානම් තත්ත්වයක් ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම දැක්විය හැකි අතරම එහිදී ආරක‍ෂක සාධක යෙදීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය. දරුවා ඇසුරු කරන යහළු කවුද? දරුවා ඔවුන් සමග හොඳ ඇසුරක් පවත්වනවාද? යහළු යෙහෙළියන් නැතිද? එයට හේතු මොනවාද? යන කරුණු පිළිබඳව සැලකිලිමත් වීමට වැඩිහිටියන් උනන්දු විය යුතුය. මෙහිදී දරුවා එක් එක් ක්‍රියාකාරකම් වෙත යොමුකර සමාජයට අනුගත වී යහළු යෙහෙළියන් සමග ඔහුට එක්ව කටයුතු කරන්නට අවස්ථාව සලසා දී එක් එක ඇබ්බැහි විම්වලින් දරුවා මුදවා ගත හැකිය.

යොවුන් දරුවන් සිටින මව්වරුන් ලෙස ඔබ අවධානය යොමු කළ යුතු අනෙක් වැදගත් කරුණ වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝග තත්ත්වයකට පවා වෛද්‍යවරයා වෙත දරුවා රැගෙන යන ඔබ දරුවාගේ යම් මානසික ව්‍යාකූලත්වයක් හමුවේ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු වී තත්ත්වය නිරවුල් කරගැනීමට නොපෙළඹීමයි. නමුත් හොඳින් මතක තබාගන්න, ඒ ඔබේ ප්‍රමාදය සිය දිවි නසා ගත් දරුවෙකුගේ ජායාරූප හා ඔහු වටා ගෙතුණු මන:කල්පිත කතා රාශියක් නැවත සමාජයට රස විදීමට අවස්ථාව සැලස්වීමක් විය හැකි බව.

සියදිවි නසා ගැනීම් වැලැක්වීම උදෙසා සමාජයේ වගකීම

අද වන විට මෙවැනි සිදුවීමක අතිශය සංවේදී දර්ශන/ජායාරූප සීමාවකින් තොරව සමාජ වෙඩ් අඩෙවිව මෙන්ම ඇතැම් විට රූපවාහිනි නාලිකා හරහා ද විකාශය වේ. මූලිකවම සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ මිය ගිය පුද්ගලයෙකුට පවා ගරුත්වයක් ඇති බව අද වන විට අප සමාජයට අමතක වී ඇති බවයි. මෙසේ ජායරූප පල කරමින් ඒවා මිතුරන් අතරේ ඛෙදාගනිමින් සිදු කරන්නේ මිය ගැය පුද්ගලයාගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බව ඔවුන් නොසිතයි. සියදිවි නසාගැනීමට හේතු වූ දහසතුත් කතා සමාජය විසින් නිර්මාණය කරයි. එසේම මිය ගිය පුද්ගලායාගේ ඥාතීන් හිත මිතුරන් මෙවැනි දේ නිසා තව තවත් පීඩාවට දුකට පත්වෙනු ඇත. සැබවින්ම එය ඉතාම පහත් ක්‍රියාවක් ලෙස හෙලාදැකිය යුතුය.

එම ක්‍රියාවලිය දාමයක් ලෙස අපේ සමාජය වෙත බලපෑම් කරන්නේ තවත් යොවුන් වියේ දරුවෙකුගේ සිත සියදිවි නසාගැනීමක් දක්වා යොමුකරමිනි. මන්ද යොවුන් දරුවන් යනු අනුකරණය කරන පිරිසකි. ඔවුන් මෙසේ මාධ්‍ය හරහා උලූප්පමින් පෙන්නුම් කරන සියදිවි නසාගැනීම පිළිබඳව දකින්නේ වීර ක්‍රියාවකි ලෙසිනි. ඒ යෞවන යෞවනියන්ගේ මානසිකත්වයයි. පෙම්වතාට හොඳ පාඩමක් උගන්වන්න, දෙමාපියන්ට තමන්ගේ අගේ පෙන්වන්න මෙවැනි දෙයකට යොමුවීම වීරත්වයක් ලෙස ඔවුන් සලකයි. දිවි නසාගැනීම් අපේ රටෙන් තුරන් කිරීමට සමාජයෙන් ද ඉටුවිය යුතු යුතුකම් කොටසක් ඇති බව ඔබත් වටහාගන්න. මේ පණිවිඩය ඔඛෙන් තවත් අයට රැගෙන යන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


දරුවාගේ කාමරයට එස් 5

එස් පහ (5S) සංකල්පය ජපන් ජාතිකයන් විසින් ලෝකයට හඳුන්වා දෙන ලද ක්‍රමවේදයක්. මෙහි දක්වා ඇති පංචවිධ සංකල්ප මගින් අපේ කාලය ඉතිරි වෙන අතර සම්පත් ඵලදායක ලෙසින් පාවිච්චි කිරීමට දැණුවත් බවක් ලැබෙනු ඇත.ඔබේ දරුවාගේ කාමරය පිලිවෙලකට තබා ගැනීම වෙනුවෙන් ඔබට ඔහු සඳහා මෙම පංච විධ සංකල්ප හඳුන්වා දිය හැකිය.

  • සෙයිරි        (Seiri )      සුසංහරණය – වෙන්කිරීම, අනවශ්‍ය දෑ ඉවත් කිරීම
  • සයිතෝන්   (Seiton)  සුසංයොජනය – ක්‍රමවත්බව සහ පිළියෙල කිරීම
  • සෙයිසෝ    (Seiso ) සුපසන්නතාවය – පිරිසුදු කිරීම/පරීක්ෂා කිරීම
  • සෙයිකෙට්සු (Seicetsu)  සුසංස්ථාපනය – ක්‍රමානුකූලබාවය සහ උසස් ප්‍රමිතිය
  • ෂිට්සුකේ     (Sitsuke ) සුසංවේදයත – ශික්ෂණය සහ මනා පුහුණුව

සෙයිරි


දරුවාගේ කාමරයේ තිබෙන අනවශ්‍ය දේ ඉවත් කිරීම එතරම් අපහසු කාර්යක් නොවෙයි. සමහර දරුවන්ගේ කාමරය බොහෝ සේ තිබෙන්නේ අනවශ්‍ය දේ බව ඒවා අස් පස් කරන විට ඔබටම පෙනේවි. මේ නිසා අනවශ්‍ය දේ ගොඩ කර ගැනීම නිසා ඒවා ඉවත් කිරීමේ අපහසුතාවය පමණක් නොව කාමරයේ අපිලිවෙල තත්වයක් ඇති වෙන බව දරුවාට පැහැදිලි කර දීම ඉතා වැදගත්. අනවශ්‍ය ලෙසින් ප්ලාස්ටික් ඇසුරුම්, පොලිතින් මලු කාමරයෙන් ඉවත් කරන්න. අනාගතයට අවශ්‍ය යමක් වේ නම්  ඒවා වෙනම අසුරා තබන්නත්  උපදෙස් ලබා දෙන්න. කසල බැහැර කරන විටත් දිරන, නොදිරන සහ ඝන අපද්‍රව්‍ය ලෙසින් වර්ගීකරණයකින් ඒවා බැහැර කරන ලෙසට උපදෙස් ලබා දෙන්න.

පවතින භාන්ඩ හෝ වෙනත් උපකරණ ලැබෙන විට පවතින දේ එම ස්ථානයෙන් ඉවත් කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තකි. එහෙත් බොහෝ දෙනා ඒ ගැන අමතක කිරීම නිසා කාමරයේ ඇති වෙන්නේ අපිලිවෙලකි. අලුත් ඇඳුම් වලින් අල්මාරිය පිරෙන විට පවතින ඇඳුම් අතර පරහරනයට නොහැකි ඒවා ඉවත් කරන්න. එවිට නොදැනීම අලුත් දේ වෙනුවෙන් කාමරයේ ඉඩක් ඇති වේ.

සුසංයෝජනය


දරුවාගේ කාමරයේ පිලිවෙල ඇති කිරීම එතරම් අපහසු කාර්යක් නොවෙයි. ඔහුගේ පොත් පත් විෂය අනුව වගේම අවශ්‍යතාවය අනුව වර්ග කරන්න. ඉතා පහසුවෙන් අවශ්‍ය දේ තෝරා ගැනීමට පොත් වෙනුවෙන් වර්ණ කේත භාවිතා කරන්න. එක් එක් විෂය වෙනුවෙන් තෝරාගත් වර්ණවලින් කවර යොදන්න. එවිට දරුවාට වෙහෙසක් නොමැතිව තමාට අවශ පොත් පත් තෝරා ගැනීම පහසු වෙනවා.

ඒ වගේම හැම දෙයක් වෙනුවෙන්ම ස්ථානයක් වෙන් කරන්න. පැන්සල, පෑන පමණක් නොව සපත්තුව, ම්ස් දෙක, කුඩයට පවා ස්ථානයක් ලබා දෙන්න. එවිට කාලය අනවශ්‍ය සේ වැය නොවී තමාට අවශ්‍ය දේ සොයා ගැනීම පහසු වේ.

ඒ වගේම අවශ්‍ය දේ ඉතා පහසුවෙන් තෝරා ගැනීමට ලේබල් යොදා ගැනීමත් වඩාත් පහසු වේ. පොත් පත් වෙනුවෙන් වර්ණ කේත යොදා ගැනීමට අමතරව මෙම පොතේ විෂය කුමක්දැයි ලේබල් කරන්න.

සෙයිසෝ- පිරිසිදු බව/පරීක්ෂා තිරීම


දරුවාගේ කාමරය නිවසේ තිබෙන ප්‍රසන්නම ස්ථානය වීම වැදගත් වේ. මේ නිසා නිතරම අතුගා පිරිසිදු කර ගැනීමට ඔවුන්ට උපදෙස් දෙන්න. කොට්ටඋර ඇඳ ඇතිරිලි ආදිය පිරිසිදුව තබා ගැනීමට උපදෙස් ලබා දෙන්න. මකුලුදැල් ආදිය නිතරම කඩා ඉවත් කර ගැනීම ඉතා වැදගත්. බොහෝ දරුවන් අද ශ්වසන ආබාධ වලින් පෙලෙන තත්වයට පත්ව ඇත්තේද ඔවුන් ජීවත්වෙන වටපිටාවේ පවතින අපිරිසිදුබව නිසාය.කාමරයේ පවතින අඳුරු අහුමුලු මදුරුවන්ට වාසස්ථාන සපයනු ඇත. නිරන්තරව පරීක්ෂා නොකරන විට වේයන් , කාවන් වැනි කෘමිසතුන් බෝවෙන අතර එයින් පොත් පත් පවා හානියට පත් වෙන අවස්ථාවන් ඇත.

සෙයිකෙට්සු-ක්‍රමානුකූලබව


දරුවාගේ කාමරය තුළ ක්‍රමානුකූල බවක් නොතිබුන විට එය පිස්සාගේ පලා මල්ලට සමාන වේ. ඔහුට අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට පහසුවෙන් සොයා ගැනීම අපහසුය. එය පිදුරු ගොඩක ඉදිකටුවක් සොයනවා වැනි කාර්යක් වෙනු ඇත. මේ නිසා පොත් පත්, ඇඳුම් පැලඳුම් පමණක් නොව ඔහුගේ සියලු බඩු භාන්ඩ සහ ලිපිද්‍රව්‍ය අවම වේලාවකින් සොය ගත හැකි පරිදි ක්‍රමානුකූල බවකින් යුක්ත වීම ඉතා වැදගත් වේ.

ෂිටුසුකේ-ශික්ෂණය සහ මනා පුහුණුව


දරුවාට බාල කාලයේ පටන්ම තමාගේ කාමරය පමණක් නොව ඔවුන් ජීවත් වෙන පරිසරය ඉතා පිරිසිදුව සහ පිළිවෙලට පවත්වා ගැනීමට අවශ්‍ය පුහුණුව ලබා දීම ඉතා වැදගත් වේ. එයින් පබන ශික්ෂනය නිසා ඔහු තමාගේ ජීවිතය තුළ ගොඩ නගා ගන්නා පිළිවෙල ජීවිතයේ සාර්ථකත්වයට හේතු වෙනු ඇත.

දරුවාගේ වටපිටාව ප්‍රසන්නව තිබීමෙන් ඇති වෙන වාසි


  • කාලය ඉතිරි වේ.
  • මානසික සන්සුන් බවක් ඇති වේ.
  • රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලැබේ.

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට අපිළිවෙල මගින් මනසට ඇති කරන අවිවේකය ඉතා අහිතකර ලෙසින් අපේ සාමාන්‍ය ජීවිතයට බලපාන බවයි. මේ නිසා නිතරම අවශ්‍ය සහ අනවශ්‍ය දේ තෝරා ගෙන එයින් අත්‍යවශ්‍ය දේ තබා ගෙන අනවශ්‍ය දේ ඉවත් කරන්න. අනාගතයට අවශ්‍ය දෙයක් ඇත්තේ නම් එය සුරක්ෂිතව තබන්න. පිළිවෙල ගැන නිතරම උනන්දු වෙන්න. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ දරුවාගේ මනස සන්සුන් වෙනවා පමණක් නොව ඉගෙණුම් කාර්යය වෙනුවෙන් ඔහු වෙතින්ම උනන්දුව ගොඩ නැගීමයි.හැකි හැම විටම ඔවුන් ඉදිරියේ ප්‍රසන්න පරිසරයක් ගොඩ නගන්න.

දරුවන්ට රාත්‍රි ආහාරය කලින් දෙන්න

ඉස්සර කාලයේ අම්මලා තමන්ගේ දරුවන්ට රාත්‍රි ආහාරය ගත් විගසම නින්දට යන්න අවසර දුන්නේ නැහැ. ඔවුන් ඒ දවස්වල කිව්වේ බත් ඇට කූරු අස්සේ යන නිසා රෑට ආහාරය ගත් විගසම යහන්ගත වෙන්න අවසර දුන්නේ නැහැ. ඔවුන්ට රාත්‍රි ආහාරය සමග වූ නින්ද ගැන විද්‍යාත්මක අවබෝධයක් නොතිබුනත් කුමක් හෝ අයහපත් දෙයක්ය යන අදහස හිතේ තිබුනා.

ජපන් ජාතිකයන් රාත්‍රි ආහාරය සන්ධ්‍යා කාලයේදීම බුත්ති විඳින අතර අපේ රෝහල්වල වුනත් රාත්‍රි ආහාරය ඉතාම වේලාසන දෙනවා ඔබ දැක ඇති. සරල ජීවන රටාවක් තිබුන යුගයක අපි හුරු පුරුදුව සිටියේ රාත්‍රි ආහාරය හවස 7 සිට 8 අතර කාලයේදී ලබා ගන්නයි. එයින් පසුව රාත්‍රි දහය පමණ වෙන තෙක් යම් යම් කටයුතුවල නිරත වෙන අපි ඒ නිසාම ආහාරයෙන් ලැබෙන ශක්තිය දහනය වුනා. නමුත් අද තත්වය මීට හාත්පසින්ම වෙනස්. උදේ හයට විතර නිවසෙන් පිටත්ව යන දරුවන් නැවත නිවසට එන්නේ රාත්‍රි හත අට පමණ වේලාවක. ඒ ඇවිත් අම්මා මොනවා හරි යමක් පිලියෙල කරල දරුවන්ට කන්න දුන්නත් මේ වෙද්දී දරුවන් හොඳටෝම හෙම්බත් වෙලා. ඒ නිසා ලැබෙන දේ කොහොම හරි ආහාරයට ගෙන එසැනින්ම නින්දට යෑම ඔවුන්ගේ සිරිතයි.දවසේ කාර්යභාරය සමග මෙය සාමාන්‍ය සිද්ධියක් වුනත් රාත්‍රි ආහාරය ගත්ත ගමන් නින්දට යැමේ  ආදිනව බොහොම තිබෙනවා. මෙතෙක් අපි මේ ගැන දැන සිටියේ කාපු ගමන් නින්දට ගියොත් ආහාර දහනය පිළිබඳ ගැටලු ඇති වෙලා සිරුරේ අනවශ්‍ය ලෙසින් මේද ගබඩා වීම සහ තරබාරුව ගැන විතරයි. ඒත් අද ඒ ගැන දැනගත යුතු දේ බොහොමයි.

ඇමරිකාවේ වෛද්‍ය තිමොති මොගෙන්තලාගේ අදහස මොකක්ද බලමු


ඇමරිකාවේ වෛද්‍ය තිමොති මොගෙන්තලා සඳහන් කරන අන්දමට සෝස්, මිරිස් යෙදූ ආහාර වගේම ක්ෂනික ආහාර හොඳම නැහැ. ඒත් අද අප් අම්මලා හැන්දෑවට ගෙදර එන්නේ නයිට් කඩ වන්දනා කරගෙනයි.මෙම කඩවල තිබෙන අධික ඇසිඩ් වර්ග යෙදූ ආහාර නිසා පපුවේ දැවිලි ස්වභාවය වගේම ගැස්ටරයිටිස් රෝග තත්වයට දරුවා ඉතා පහසුවෙන් ගොදුරු වෙන්න පුලුවනි. මේයෝ චිකිත්සාගාරයේ සිදු කරන ලද චිකිත්සාගාර අධ්‍යනයන් මගින් පෙන්වා දෙන අන්දමට මෙම ආහාර කුඩා දරුවාගේ පටන් කොයි කාටත් වයස් භේදයක් නොමැතිවම අහිතකර අන්දමට බලපාන බවයි.

ඇමරිකාවේ ජාතික සංගමයේ අදහස


පවා අනුදැන වදාලේ රාත්‍රි ආහාරය අපේ පැවැත්මට අත්‍යවශ්‍ය නොවන නිසා වෙන්නැති. අද මේ ගැන අධ්‍යනයේ යෙදෙන වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසට අනුව අධික කැලරි ශක්තියකින් ආහාරයට ගතහොත් තරබාරුවට මග කියන බවයි. ඒ වගේම බොහෝ දෙනෙකුට නිරාහාරව නින්ද නොයන තත්වයෙන් පීඩා විදින්නට සිද්ධ වෙනවා. මේ නිසා වෛද්‍ය පර්යේෂකයන්ගේ  උපදෙස් වන්නේ රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගැනීම ඉතා වැදගත් බවයි. ඒ වගේරාත්‍රි ආහාරය හතට පමණ ගැනීම වඩාත් යෝග්‍ය බව වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසයි.

” The food you crave  “ග්‍රන්ථයේ කර්තෘ  කියන විදිහට

” The food you crave  “ග්‍රන්ථයේ කර්තෘ  කියන විදිහට  රාත්‍රි ආහාරය පිලියෙල කිරීමේදී අධිශක්තිය  දහනය නොවී සිරුරට එකතු වෙනවා. මේ නිසා අනවශ්‍ය ලෙසින් තෙල් සහ ලුණු සිරුරට එක් වීමටත් රාත්‍රි ආහාරය ගත් සැනින් නින්දට යොමු වීම බලපානවා.

ඇදුම රෝගයටත් හේතුවක්…


2004 වසරේ The Amaerican Journal of Gastroenterolgy  ” මගින් පෙන්වා දෙන අන්දමට  රාත්‍රි ආහාරය ගත් විගසම නින්දට යෑම ඇදුම රෝගයට හේතු වෙන බවයි. අද දරුවන් අතර හතිය, ඇදුම වැනි රෝග තත්වයන් ඉතාම සුලබයි.  මේ වෙනුවෙන් අපේ ජීවන රටාවේ වැරදි බලපාන බව මෙම කෘතිය මගින් පෙන්වා දී තිබෙනවා.ඒ නිසා ලෙඩ රෝග ඉල්ලා ගෙව වැළ  ගන්නේ නැතුව තමන්ගේ ජීවන රටාව ගලපා ගැනීමෙන් තමන්ගේ ජීවිතයේ නිරෝගි පැවැත්ම පවත්වා ගත හැකියි.

උපතේදීම බිලිඳු සමෙහි දක්නට ලැඛෙන නිල් – අළු පැහැ ලප වර්ගය කුමක්ද?

Mongolian blue spots (මොන්ගෝලියන් බ්ලු ස්පෝට්ස්) ලෙස සාමාන්‍යයෙන් හඳු න්වන බිලිදුන්ගේ සම ආශ්‍රිතව ඇති වන ලප විශේෂය වෛද්‍ය විද්‍යාත්මකව congenital dermal melanocytosis ලෙස හඳුන්වයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදි මෙවැනි තත්ත්වයන් කුඩා දරුවන්ගේ සම ආශ්‍රිතව ඇතිවන සෞඛ්‍යමය වශයෙන් දරුවාට හානිදායක නොවන ලප වර්ග ලෙස හඳුන්වා ඇත. මේවා අයත් වන්නේද උපන් ලප වර්ගයටමය.

සාමාන්‍යයෙන් උපතේදීම මෙම ලප දක්නට ලැඛෙන අතර තට්ටම් ප්‍රදේශයේ හා පහළ පිටකොන්ද ප්‍රදේශයේ බහුලව දක්නට ලැබේ. සමහර විටෙක බාහුවල ද දක්නට ලැබේ. නිල්-අළු පැහැයකට හුරු මෙම ලප රතු පැහැයෙන් ඇතිවන අවස්ථා ද ඇත. කෙසේ වෙතත් දරුවා පරීක‍ෂා කරන පළමු අවස්ථාවේම වෛද්‍යවරයා විසින් එය නිශ්චය කරගනු ලබයි.

මේ සඳහා හේතු තවම සොයාගෙන නොමැති අතර ප්‍රධාන ලක‍ෂණ වන්නේ,
  • සමෙහි ස්වභාවයෙන්ම පැතලිව නිල්-අළු පැහැයෙන් පැවතීම
  • 2-8 cm පමණ ප්‍රමාණයේ ලප
  • අක්‍රමවත් හැඩැති ලප

කිසිසේත් මෙම ලප පිළිකා කාරක ෙසෙල නොවන අතර දරුවාගේ හමේ අවපැහැ වීම හැර කිසිදු සෞඛ්‍ය ගැටලූවක් ඇති නොවේ. දරුවන් වැඩිවියට පත්වන විට බොහෝ විට මෙම ලප ස්වභාවිකවම ඉවත් වී යයි.

යක්කල, ගම්පහ ආයුර්වේද විද්‍යායතනයේ ආයුර්වේද වෛද්‍ය නිලීකා සමන්වීර මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

පෙර පාසැල් සිඟිත්තන්ගේ කෑම පෙට්ටිය සකසන්නට අම්මලාට උපදෙස්

මව්පියන් සිය ජීවිතය කැප කරන්නේ තම ආදරණීය දරු පැටියන් වෙනුවෙනි. ඔවුන්ගේ අනාගතය, නිරෝගීකම, පෝෂණය මෙන්ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ඔවුන් දිවා රෑ නොතකා වෙහෙසෙයි. මේ තත්ත්වය යටතේ සෑම මවක්ම පියෙක්ම නිරන්තරයෙන් ඔවුන්ගේ සෑම කටයුත්තක් පිළිබඳවම දැනුවත් වීම අනිවාර්ය වනවා සේම බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. දරුවාගේ කෑම පෙට්ටිය එතරම් දෙයැක්දැයි සිතා ඔබ කටයුතු කළද පෙර පාසැල් ගොස් නිවසට එන සිඟිත්තාගේ කෑම පෙට්ටිය දකින ඔබට සිතෙන්නේ ”දරුවා අදත් කාලා නෑනේ” යන්නයි. ඒ සිතිවිල්ලෙන් මිදෙන්නට මේ ලිපිය ඔබට උදව් වනු ඇත.

අද වන විට දරුවෙකු තම පෙර පාසැල් ජීවිතය අරඹන්නේ බෝහෝ විට අවුරුදු දෙකහමාර වයස් සීමාවේදීය. නිවසේ සුපුරුදු වටපිටාවෙන් මිදෙන දරුවා පය තබන්නේ ඔහුට නුහුරු නුපුරුදු අලූත් පරිසරයකටයි. මේ වයස් සීමාවන්වල පසුවන ඇතම් දරුවන් ඉතා ඉක්මණින් අලූත් වටපිටාවට හුරු වන අතරම ඇතැම් දරුවන් ඒ සඳහා හුරු විමට යම් කාලයක් ගනී. මේ අවධියේදී මවකට පැවරෙන වගකීම අකුරටම ඉටුකළ යුත්තේ අලූත් වටපිටාව තුළ දරුවා අත්දකින සියලූ දේ පිළිබඳව ඔහුට/ඇයට ධනාත්මක හැඟීම් සමුදායක් ඇති විය යුතු බැවිනි. එසේම පෙර පාසැලේ නවක පුංචි සාමාජිකයන්ට එම ස්ථානය සුන්දර කිරීමේ වගකීම පෙර පාසැල් ගුරුවරියන්ට පැවරෙන බව පැවසීමේ වරදක් නොමැත. නමුත් ඒ සඳහා මව්පියන්ගේ පූර්ණ සහයෝගය අවශ්‍ය බව සිහිතබගන්න.

පෙර පාසැලට යන ඔබේ සිඟිත්තාගේ බෑගය තුළ,

  • කෑම පෙට්ටිය
  • වතුර බෝතලය
  • අමතර ඇඳුමක්
  • තොප්පිය/වැහි කබාය ඇතුළු අවශ්‍ය සියලූ දේ පිළිවෙළකට ඇසිරීම මවගේ කාර්යය භාරයේ කොටසකි

මෙසේ අත්‍යවශ්‍ය දේ අතරින් සිඟිත්තාගේ කෑම පෙට්ටිය පිළිබඳව ඔබේ අවධානය යොමු විය යුතු සුවිශේෂී කරුණු කිහිපයක් පිළිබඳව මේ ලිපිය හරහා මව්වරුන් දැනුවත් කිරීමටයි මේ සූදානම.

පෙර පාසැල් සිඟිත්තාගේ කෑම පෙට්ටිය

  • උසස් තත්ත්වයේ ප්ලාස්ටික් නිෂ්පාදනයක් තෝරාගන්න
  • ප්‍රමාණයෙන් විශාල නොවිය යුතුය
  • හැකි නම් කෑම පෙට්ටි දෙකක් තබා ගන්න
  • කෑම පෙට්ටිය සිඟිත්තාට තනිව හෝ විවෘත කරගැනීමට පහසු එකක් වීමට වග බලාගන්න
  • කෑම පෙට්ටිය ඔතන සර්වියට් එක දරුවාට පාලනය කරගැනීමට හැකි ප්‍රමාණයක් විය යුතුය

සිඟිත්තාගේ කෑම පෙට්ටියට පෝෂණයෙන් සපිරි විවිධ කෑම වර්ග විවිධත්වයකින් යුතුව එක් කිරීමට මෙන්ම ආහාරයේ රසය, වර්ණය පිළිබඳව ද ඔබේ අවධානය යොමු විය යුතුයි. ඇතැම් මව්වරුන් සිතා සිටින්නේ දරුවන් කුඩා නිසා ආහාරයේ පෙනුම පිළිබඳව ඔවුන් අවධානයක් යොමු නොකරනු ඇතැයි කියාය. නමුත් වැඩිහිටි අපට මෙන්ම දරුවන්ට ද ආහාර දුටු විගස රුචිකත්වයක් ඇති වන්නේ ආහාරයේ පෙනුම නිසාය. එසේම පෙර පාසැල් වයසේ දරුවෙකු ආහාරයට ගන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් නිසාම කෑම පෙට්ටිය පිරී ඉතිරෙන ලෙස ආහාර දැමීමෙන් වැළකිය යුතුය. එන්ද එය දරුවාට අප්‍රියජනක දසුනක් වනු නොඅනුමානය. එසේම එය දරුවාව විශාල අභියෝගයකට ලක්කිරීමකි.

එසේ රුචිකත්වයක් ඇති නොවන විට ආහාර ලබා ගන්නා වේලාව ළංවත්ම උදරයේ වේදනාවක් හෝ වෙනත් රෝගී තත්ත්වයක් පවසමින් කෑම වේල මග හරින්නට උත්සාහ ගන්නා සිඟිත්තන් මෙන්ම අනෙක් දරුවන්ගේ කෑම පෙට්ටිය දෙස දෙනෙත් යොමා සිටින සිඟිත්තන් ද අපට හමුවේ.

මේ කරුණු මත සිඟිත්තාගේ ආහාර වේලට විවිධත්වයක් එක් කරන්නත් එය රසයෙන් හා පෙනුමෙන් උසස් ලෙස සකසන්නටත් නිසි සැලසුමක් තබාගැනීම මවකට පැවරෙන වගකීමකි.

ඔබේ සිඟිත්තාට විවේක කාලයෙදී ලබාදෙන්නේ බත් නම්,

  • එය මිශ්‍ර කර ගැනීමට පහසු ලෙස ලබාදෙන්න
  • කටු ඉවත් කරන ලද මස්/මාළු කුඩා කැබලි ලෙස ලබාදෙන්න
  • සම්පූර්ණ බිත්තරය පිටින්ම යොදා හතරට හෝ කපා දමන්න
  • කරපිංචා නටු/කොළ ඉවත් කරන්න
ඔබ ලබාදෙන්නේ පාන් නම්,

  • සැන්විච් ලෙස සැකසුව ද බටර්/ජෑම් හෝ බටර්/මාමයිට් තැවරුවද පාන් පෙත්තේ වැටි කපා කුඩා කැබලිවලට කැපීමෙන් දරුවාට තනිව එය ආහාරයට ගැනීම පහසු කරවයි. එවිට දරුවාට තම ආහාරය ඉතා පිළිිවෙළට හා පිරිසිදුවට ලබාගැනීමට ද හැකියාව ඇත.
ධාන්‍ය වර්ග ලබාදෙන්නේ නම්,

  • බටර්/තෙල් යොදා තෙම්පරාදු කරන්න
  • දරුවා කැමති නම් සිහින්ව ගාගත් පොල් සමග ලබාදෙන්න
නුඩ්ල්ස්/පැස්ටා ලබාදෙන්නේ නම්,

  • එළවළු/බිත්තර/මස් හෝ මාළු එක්කර තෙම්පරාදු කර ලබාදීමෙන් පෝෂණ ගුණය සුරැකෙනවා සේම සුවඳ සහ පෙනුම නිසා දරුවා ආහාරයට රුචියක් දක්වයි.
සමපෝෂ/අග්ගලා වැනි දෙයක් ලබාදෙන්නේ නම්,

  • දරුවාගේ විවේක කාලය වන විට වියළි තත්ත්වයට පත්නොවී තිඛෙන අයුරින් සකසාගන්න
  • දරුවාට අල්ලාගෙන කෑමට පහසු ප්‍රමාණයේ කුඩා බෝල සකසන්න
පළතුරු/එළවළු ලබාදෙන්නේ නම්,

  • හොඳින් තම්බා කුඩා කැබලිවලට කපා අසුරා දෙන්න.
  • එය ආහාරයට ගැනීම සඳ හා ආරාක‍ෂාකාරී ගෑරුප්පුවක් ලබාදෙන්න
  • සුපිරි වෙළඳසැල්වල පලතුරු කපා අසුරා ඇති රිජිෆෝම් පලතුරු අසුරුම් විවේක කාලය සඳහා එවීමෙන් වළකින්න
පාන වර්ග

  • සැමවිටම හොඳින් උතුරවා නිවාගත් පිරිසිදු ජලය පමණක් පානය සඳහා ලබාදෙන්න. එක් එක් වර්ණයන්ගේ රසයන්ගේ බීම වර්ග ලබාදීමෙන් වළකින්න. වතුර බෝතලය සැමවිටම දරුවාට තනිව විවෘත කරගැනීමටත් වැසීමටත් හැකි ආකාරයේ එකක් වීම වඩාත් පහසුවක් වනු ඇත.
– සැලිකිය යුතුයි –

  • දරුවා පෙර පාසැලට යැවීමට පෙර උදෑසන ආහාර වේල ලබාදීමට සැලකිලිමත්වන්න එවිට පෙර පාසැලේදී ආහාරයට ගැනීම සඳහා කෙටි ආහාරයක් ලබාදීමේ වරදක් නොමැත.
  • බත්/නූඩ්ල්ස්/පැස්ටා/පළතුරු/එළවළු/ධාන්‍ය වර්ග ලබාදීමේදී හැන්දක් හෝ ගෑරුප්පුවක් දරුවාට ලබාදීමෙන් ආහාර ගැනීමේදී එය විශාල පහසුවක් වනු ඇත. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු වැදගත් කරුණක් වන්නේ පුංචි දඟකාරයන් වන පෙර පාසැල් වයසේ සිඟිත්තන්ට ස්ටේන්ලස් ස්ටීස් ගෑරුප්පු දීමෙන් දරුවාගේ හෝ අනෙක් දරුවෙකුගේ හෝ ඇණනහොත් තුවාල සිදුවිය හැකි බැවිනි. මේ සඳහා උසස් තත්ත්වයේ ප්ලාස්ටික් ගෑරුප්පුවක් යොදාගත හැකි නම් එය වඩාත් යෝග්‍ය වේ.
වළකින්න

  • සීරියල්/කෝනෆ්ලෙක්ස් කිරි සමග මිශ්‍ර කොට එවීමෙන් වළකින්න
  • දරුවාට පාලනය කරගත නොහැකි ප්‍රමාණයේ අත්පිස්නා එවීමෙන් වලකින්න (එය දිනපතා පිරිසිදු කිරීමටත් කල්පනාකාරී වෙන්න)
  • දිනපාතා කෙටි කෑමහල් වෙතින් ලබාගන්නා කෙටි ආහාර වර්ග දිනපතා එවීමෙන් වළකින්න
පෙර පාසැල් ආචාරිනී ක්‍රිස්ටීන් ෆ්රැන්සිස්කා සිල්වා මහත්මිය සමග සකසන ලද ලිපියකි