Home Blog Page 118

විභාගය ජීවිතයේ අප්‍රසන්න මාතෘකාවක් නොවන්නට

විභාගය ගැන දරුවන් අතර තිබෙන්නේ එතරම් සුබවාදී අදහසක් නොවේ. ඒ නිසාම  මේ අප්‍රසන්නතාවය තුළ අනේ මට නම් විභාග එපා වෙලා…. යන මානසිකත්වයේ රැඳුනොත් එපා වීම තවත් දරුණු අතට හැරෙනවා. අද ඇතැම් දක්ෂ දරුවන් පවා විභාග ඉදිරියේ බොහොම අසාර්ථකයි. ඒ වගේම දිනපතා පාසලේ විශිෂ්ටයන් විභාගවලදී ලබා ගන්නේ නොහිතන මට්ටමේ ප්‍රතිපල වුන අවස්ථා ගැන අපි ඉතා හොඳින්ම දන්නවා. එහෙම නම් දරුවන්ගේ හිතෙන් මේ විභාග අප්‍රියතාවය දුරු කරන්නේ කොහොමද ?…

විභාගය කරදරයක් විදිහට හිතන්න එපා

අද දරුවාගේ විභාගය බොහොම වෙහෙසකර අත්දැකීමක් බවට පත් කර ගන්නේ දෙමව්පියන් බව ඔබත් අත්දැකීමෙන්ම දන්නවා. වෙන දෙයක් තබා පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය විභාගය වෙනුවෙන් සූදානම් වෙන දරුවා ගැන වුනත් ඔවුන් කතා කරන්නේ අපේ පුතා මේ වතාවේ ශිෂ්‍යත්වය ලියනවා…මොන විනෝද ගමන්ද… මේ විදිහට නිතර දෙවේලේ අම්මා තාත්තා වෙහෙසකර මානසිකත්වයකින් පසුවෙන විට දරුවාටත් ඇත්තටම විභාගය ගැන ඇති වෙන්නේ අනියත බියක්. කාලයක් පුරාම ඇසෙන සහ හැසිරෙන රටාව නිසා ඔහු විභාගයට වෛර කරන තත්වයක් නොදැනීම ගොඩ නැගෙනවා.

විභාගයට සූදානම් නැද්ද….?

විභාගය ආසන්නයේ තිබියදීත් දරුවා ඒ ගැන කිසිම තැකීමක් නැතුව සිටිනවා නම් එයින් අදහස් වන්නේ ඔහු විභාගයට සූදානම් නැති බවයි. දරුවා තුළ විභාගය වෙනුවෙන් විශ්වාසයක් ගොඩ නැගීම අවශ්‍යයි. දරුවාගේ පාඩම් කිරිම අම්මා , තාත්තා තෘප්ත කරන මට්ටමට නොවුනත් ඔහු වෙතින් යම් සූදානමක් පෙන්නුම් කිරීම අවශ්‍යයි. මේ නිසා ඔබ නිතරම දරුවාගේ විභාග සූදානම ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත් වෙනවා. ගෙදර මහ පොතක් ඇත…එකක් වත් මතක නැති තැන දරුවා සිටින්නේ නම් එයින් තහවුරු වෙන්නේ ඔහු විභාගය වෙනුවෙන් සාර්ථකව මුහුණ දීමට සූදානමක් නැති බවයි.

ජීවිතය කියන්නේ විභාගය ‍නොවෙයි

අපේ මව්පියන් දරුවන්ට ලබා දෙන අභියෝගය වෙන්නේ විභාගය සමත් නොවුනොත් ජීවිතේම අවසානයි. යන සංකල්පයයි. මේ නිසා දරුවාට  විභාග ප්‍රතිඵල මහත් අසහනයක්. ඔබ නිතරම දරුවාට විභාග වෙනුවෙන් සාර්ථකව මුහුණ දීමේ වැදගත්කම පහදා දිය යුතු වුනත් කිසිම දිනක විභාගය අසමත් වීම ජීවිතයේ අවසානය යන සෘණාත්මක අදහස් ලබා දීම නොකල යුතුමය. විභාගයට සාර්ථකව මුහුණ දෙන්න…එහි ප්‍රතිඵල අනුව ඉදිරිය තීරණය කරමු යන විකල්ප සමග විභාගයට උපරිම අන්දමින් කැපවීම සහ වෙහෙසවීම අවශ්‍ය බවත් පහදා දෙන්න.

විභාගය කියන්නේ ඔබ උගත් දෙයයි

විභාග වෙනුවෙන් නියමිත විෂය නර්දේහයක් හෝ අවම වශයෙන් ඒ වෙනුවෙන් නියමිත විෂය පරාසයක් ඇත. විභාගය සකස් වන්නේ මේ සීමාව තුළය. ඒ නිසා සූදානම තුලින් විභාගය යනු ජය ගැනීමට අපහසු කඩුල්ලක් නොවේ.පොතම පමණක් නොව රට තොට සහ ‍ලෝකයේ දැනුම, එම දැනුම තමාගේ විෂයට ආදේශ කර ගන්නා අන්දම වගේම ප්‍රශ්න පත්‍රය ඉදිරියේ තර්කානුකූලව සහ සන්සුන් මානසිකත්වයකින් මුහුණ දීමේ වැදගත්කම ගැන පහදා දෙන්න.

එක රැයකින් බැහැ

විභාගයක් සාර්ථකව ජය ලැබීම එක් රැයකින් ‍නොහැකි බව සිතන්න. බොහෝ දරුවන් විභාගයට සූදානම් වන්නේ ඒ වෙනුවෙන් අවසර පත්‍රයත් ලැබුනාට පසුවය. ඔවුන් ඒ ගැන ඉතා උජාරුවෙන් කියනුද ඇත. එහෙත් මේ අන්දමින් ලහි ලහියේ සූදානමට වඩා හෙමින් සීරුවේ වෙහෙසක් නොමැතිව සූදානම් වූවා නම් ඔහු නවතින තැන මීට වඩා වෙනස් විය හැකිය.

ඇතැම් කඩඉම් විභාගවලදී දශමය පවා වටිනු ඇත. ඒ නිසා ලකුණු මත හමා යෑමට නම් සැලසුමක් ඇතුව වෙහෙසක් නැතුව විභාග වෙනුවෙන් මුහුණ දීම ඉතා වැදගත් වේ.

මානසික ශාන්තියත් ලබා දෙන්න

විභාගයකට මුහුණ දෙන විට ඔවුන් වෙනුවෙන් මානසිකවත් යම් ශක්තියක් අවශ්‍ය වේ. ඒ නිසා නිතරම මානසිකව ශක්තිය ලබා දෙන්න. ආගමිකව හෝ යම් යම් ධනාත්මක සිතුවිලි ඔස්සේ ‍දරුවාගේ ආත්ම ශක්තිය ගොඩ නගන්න. එය ඔහුගේ අනාගතයටම විශාල පිටුවහලක් වෙනු ඇත.

විභාග හැමදාම නැහැ

ළමා කාලය නැවත ජීවිතයේ කිසිම දිනක උදා වෙන්නේ නැහැ.තරුණ කාලයත් එසේය.විභාගය වෙනුවෙනුත් කියන්නට ඇත්තේ එයම බව දරුවාට කියා දෙන්න. සාර්ථක ලෙසින් සුදානම් වන්නේ නම් එක් විභාගයක් වෙනුවෙන් ඇත්තටම මුහුන දිය යුතු වන්නේ එක් අවස්ථාවක් පමණි. එයින් උපරිම ප්‍රතිඵල ලද විට විභාගය යනු ජීවිතයේ තවත් එක් ප්‍රසන්න අත්දැකීමක් බවට පත් වෙනු ඇත.

බබා තරබාරුද ?

තරබාරු බබාලා දැක්කාම චබි බබෙක් කියල එදා අපි සතුටට පත් වුනත් අද දකින තරබාරු බබාලා ඉදිරියේ නම් මේ සතුට ගොඩ නගා ගැනීම අපහසුයි. එදා දරුවෙක් තරබාරු වුනේ ඔවුන්ගේ උසට සරිලන විදිහට නිරෝගී බරක් ඇතුවයි. ඒ නිසා ඔවුන් ගේ නිරෝගී බවක් මිසක රෝග තත්වයන් ගැන අවදානමක් ඇති වුනේ නැහැ.  අද නාගරික ප්‍රදේශවල ජීවත්වෙන දරුවන්ගෙන් සියයට දහයක් පමණ බොහොම තරබාරු කොටසට අයත් වෙනවා. ඊට එකම හේතුව ඔවුන්ගේ ආහාර රටාවයි. උදේ ආහාරය බොහෝ වේලාවට ආපනශාලාවකින් ලබා ගත් දෙයක් මිසක ගුණාත්මකව පිලියෙල වෙන්නේ නැහැ. අධික සීනි, ලුනු සහ මේද වලින්ම පමණක් පිලියෙල වුන මේ ආහාර නිසා දරුවා නොදැනම තරබාරු හෙවත් උසට සරිලන බරක තත්වයට පත් වෙන්නේ නැහැ. අද අම්මලා විසින් දරුවන්ට ලබා දෙන ආහාර රටාව නිසා මේ තත්වයට දරුවන් ගොදුරු වීමේ ආදිනව දැනෙන්නේ කාලයක් ගත වෙන විටයි. යාන්තම් වයස අවුරුදු දහය පහලොව වෙන විට දරුවන් දියවැඩියා රෝග තත්වයට නොදැනීම පත් වෙනවා. ඒ වගේම ගැහැණු දරුවන් වයසටත් කලින් මල්වර වීමටත් අහිතකර විදිහට ආහාරපාන ලබා ගැනීම බලපානවා.

මේ නිසා අද පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට අපේ දරුවන්ගේ අහිතකර ආහාර රටාව සකස් වෙන්නේ මේ විදිහටයි.

ස්වභාවික ආහාර ඇත්තේම නැහැ

ඉස්සර කාලයේ අපේ අම්මලා දරුවන් වෙනුවෙන් උදේ ආහාරය නිතරම නිවසේ පිළියෙල කර ගත්තා. ඒවා විවිධත්වයකිනුත් යුක්ත වුනා. බත්, කිරිබත්, පිට්ටු, මුංඇට කිරිබත් වගේ විවිධ විදිහට පිළයෙල වුණා. අද ඒ කිසිම දෙයක් නැහැ. උදේ ආහාරයට ආපනශාලාවකින් මිළට ගත් රෝල් , පැටිස්, හෝ වෙනත් පිරවුමක් සහිත බනිස් වැනි දෙයකින් පිරිමසා ගත්තා.

සකස් කළ ආහාර බහුලයි

අද දරුවන් වෙනුවෙන් සකස් කළ ආහාර වෙනුවෙන් ඇති ඉල්ලුම ඉහලයි. සකස් කළ ආහාර යනුවෙන් අදහස් වෙන්නේ කල් තබා ගැනීමට හෝ ක්ෂනිකව පිළියෙල කර ගැනීමේ අරමුණ ඇතුව විවිධ තාක්ෂණික ක්‍රමයන් යොදා ගෙන සකස් කළ ආහාරයි. මේවා ඉතාම අහිතකර බව දැන් හඳුනා ගෙන තිබෙනවා.ඒ වුනත් දරුවන් කෑ මොර දෙන්නෙත් මේ ආහාර ඉල්ලමින් නිසා මව්පියන්ද අසහනයට පත් වෙනවා.මෑතකදී සකස් කළ ආහාරවල ආදීනව අලලා විවිධ අධ්‍යනයන් සිදු කළ අතර එහිදී පෙනී ගියේ බේකන් ආහාරයට ගැනීමෙන් පුද්ගලයෙකුගේ ආයු කාලය 44 % කින් අඩු වෙන බව පෙන්වා දෙනවා. සොසේජස් ආහාරයට ගැනීමෙන් අග්න්‍යාස පිලිකාවට ගොදුරු වෙනඅවදානම ඉතාම ඉහලින් තිබෙන බව දැන් හඳුනාගෙන තිබෙනවා.

ඇමරිකාවේ බොස්ටන්හි ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ඇමරිකානු සංගමයේ සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ සකස් කළ ආහාර පරිහරනය නිසා පිරිමින්ගේ ශුක්‍රාණු ගිනුමේ සක්‍රීය ප්‍රතිශතයට විශාල බලපෑමක් ඇති කරන බවයි. අද උසස් පෙල පංතිවල ඉගෙනුම ලබන දරුවන්ගේ උදේ සහ දිවා ආහාරය මුලුමනින්ම සකස් වෙන්නේ අහිතකර රටාවකටයි. ඊට හේතුව ඔවුන්ගේ අතිරේක පංති නිසා ආපනශාලාවන්හි පිහිට පතන්නට සිද්ධ වීමයි.

ඒත් මේ තත්වයෙන් මිදෙන්න එතරම් අපහසු නැහැ. දිවා ආහාරය වෙනුවෙන් කුමක් හෝ නිවසෙක් පිළියෙල කර ගෙන රැගෙන යෑම අපහසු නැහැ. එදා දුර බැහැර ගමන්වලදී පවා බත්මුලක් ගැට ගහගෙන ගියේ අද වගේ ශීතකරන තිබිලා නොවෙයි. රාත්‍රියේ උයා පිහා අවසාන වීමෙන් පසුව පරිප්පු, පොල්සමබෝල වැනි දේ හොඳින් රත් කරන ලිප ගින්දර නිවා ඒ මත තබනවා. හොඳින් රත්වුන නිසා ආහාර නරක් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසාත් ටිකක්වත් දෙන්න විදිහක් නැහැ යන මිථ්‍යා‍වෙන් මිදෙන්න අපහසු නැහැ.

නිෂ්ඵල ආහාර

පර්යේෂකයන් විසින් අද දරුවන්ගේ අහිතඑක ආහාර පිලිබඳ  වර්ග කිරීමේදී නිෂ්ඵල ආහාර ලෙසින් කොටසක් පෙන්වා දෙනවා. ඔවුන් කියන අන්දමට මේ ආහාර මොන තරම් ගත්තත් ප්‍රයෝජනයක් නැහැ. ඒත් දරුවන් සහ දෙමව්පියන් මේ ආහාර වෙනුවෙන් බොහොම උනන්දුයි. බයිට්, ටිප්ස්, චිප්ස්, ක්‍රිස්පි වැනි මේ ආහාරවල ශක්තිය අධික වුනත් කැලරි ඇත්තේම නැහැ. ඒ නිසා දරුවාගේ පෝෂණයට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ.

පළතුරු ගැන අදහසක්වත් නැහැ

අද දරුවන් අතර පළතුරු ගැන උනන්දුවක් ඇත්තේම නැහැ. සියල්ලම කෘතිම රසකාරක සහිත පැණි බීම පමණයි.දරුවෙක් වෙනුවෙන් දොඩම් ගෙඩියක්, නාරං ගෙඩියක් සාදා දීම මහ ප්‍රාතිහාර්යක් නොවෙයි. මේ ගැන උනන්දුවක් නොදක්වන නිසා සියලු පාන වර්ගත් අහිතකර මිස කිසිම විදිහකට හිතකර තත්වයක් ඇති වෙන්නේ නැහැ. පළතුරු සලාදයක් මගින් පෝෂණය ලබා දීමටත් අම්මලාට උනන්දු වෙන්න පුළුවන්. මේ සියල්ලම අපි අතින් නොදැනම අතපසු පුංචි පුංචි සිද්ධි වුනත් එහි ප්‍රතිඵල දරුණුයි. ඒ නිසා අනාගත පරම්පරාව රෝගින් පිරිසක් බවට පත් වෙන ශෝචනීය වාතාවරනයෙන් මිදෙන්න දැන් කාලය ඇවිත් ඇති බව අපි හැම‍දෙනාටම ඒත්තු යා යුතුයි.

දරුවන්ගේ හිත හඳුනන පොත්

පොතේ හැටියට දරුවන් හදන්න බැහැ කිව්වත් දරුවන් හදන විට යහපත් දරුවෙක් හදා වඩා ගන්නා මං සලකුණු අපි දැන හදුනා ගැනීම ඉතා වැදගත්. දරුවෙක් කියන්නේ ලේ මස් ඇට නහර වලින් සමන්විත ජීවයක්. ඔහු යහපත් ලෙස සමාජගත වුනොත් ලැබෙන ආශිර්වාදය වගේම ඔහු සමාජයට අහිතකර පුද්ගලයෙක් වුනොත් ඇති වෙන ආදීනව ඉතාම නපුරුයි. මේ නිසා දරුවා මලක් බව ආරක්ෂා කර ගෙන ඔහු සමාජයට වාගේම ඔහුගේ අනාගතයටත් මුහුණ දීමට හැකි පූර්ණ පෞරෂයෙන් යුක්ත තැනැත්තෙක් බවට පත්කිරීම අවශ්‍ය වෙනවා.මේ නිසා අද අම්මලා දරුවා ගැබ දරණ කාලයේ පටන්ම ඔහුගේ පෞරෂය ගැන වෙහෙසෙනවා. ආහාර පාන වලින් ලබා දෙන ශාරිරික නිරෝගිතාවය වගේම මානසික සුවතාවය ගැන නිරන්තරව යොමු වෙන මේ යුගයකදී දරුවන් හදා වඩා ගැනීමට අවශ්‍ය දැණුම පොත් පත් කියවා හෝ උපයා ගැනීමට අමමලා දක්වන උනන්දුව ගැන ඇත්තටම අපි සතුටට පත් විය යුතුයි.

මුල් ළමා විය ගැන දෙමව්පියන් ඇතත්ටම වඩාත් අවධානය දැක්වීම අවශ්‍ය වන්නේ දරුවාගේ ජීවිතය ගොඩ නගන අත්තිවාර සකස් වන්නේ එතැනදී නිසයි. මේ නිසා අම්මා තාත්තා වගේම දරුවා සමග ගණුදෙණු කරන උදවිය මානසික චිකිත්සකයෙකු තරම් සියුම් නිරීක්ෂකයෙක් වීම වැදගත්.

ඒ නිසාම අද බොහෝ දෙනා පොත් පත් කියවලා දරුවන්ගේ මානසිකත්වය ගැන කරුණු අවබෝධ කර ගන්නවා.. ඒත් බහුලව පොත් පත් වෙළදපොලට එකතු වෙන අද කාලයේ හරියටම ගැලපෙන පොතක් තෝරා ගැනීම එතරම් පහසු නැහැ. ඒ කටයුත්ත හරියට පිදුරු ගොඩ ඉදිකටුවක් හොයනවා වගේ අපහසුයි.පොත්ත තෝරා ගැනීමේදී මේ කෘතිය ලියන ලද පුද්ගලයා ගැන සොයා බලන්න. මුල් ළමා විය ගැන ඔහුට තිබෙන අධ්‍යාපන හා සමාජ දැණුම ගැන සොයා බලන්න. පොත රචනා කරන ලද තැනැත්තා උපාධිධාරියෙකු වීම එයින් අදහස් නොවේ. ඔහු සමාජය තුලින් ඒ දැණුම උපයා ගෙන තිබීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා අදාල කතුවරයාට පුර්ව ළමා විය ගැන ඇති දැනුම සොයා බැලීම ඉතාම වැදගත් වෙනවා.

මේ දැනුම වෙනුවෙන් ඔහුට හෝ ඇයට උපාධි අවශ්‍ය නැත. සමාජයේ සිද්ධි අධ්‍යනයන් මගින් ඔහු බෙහෝ දේ දැන ගෙන සිටින්නට පුලුවන. මේ අත්දැකීම් ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් ලෙසින් ඔබේ දරුවා හැඩ ගසා ගැනීමට හේතු වෙනු ඇත. මේ ප්‍රායෝගික කරුණු දරුවාට ඉතා පහසුවෙන් ආදේශ කර ගෙන ඉතා යහපත් දරුවෙකු ලෙසින් ඔබ අපූරු නිර්මානයක් අනාගතයේදී සමාජයට දායක වෙනු ඇත.

දරුවාගේ හිත හඳුනා ගැනීමට කියවන  පොත මේ විදිහට තිබුනොත් …

සරල බස් වහරකින් ලියැවී තිබුනොත් එය තේරුම් ගැනීම අපහසු වන්නේ නැත. ඇත්තටම අපි යමක් කියවන්නේ එය ඉක්මනින් අවබෝධ කර ගැනීමට බැවින්  සරල බස් වහරකින් යුක්ත පොත් පත් කියවා ඔබේ පුර්ව පාසල් අවධියේ සිටින දරුවා තේරුම් ගන්න පුලුවන්.

දරුවන්ගේ මානසිකත්වය පිලිබඳව තොරතුරු නිරන්තරව යාවත්කාලීව වීම අවශ්‍යයි. මේවා පර්යේෂණ මට්ටමින් සිද්ධ වෙන අතර ඒ ප්‍රතිඵල අනුව අපේ දරුවන් හැඩ ගසා ගැනීමට පුලුවනි. ඉස්සර කාලයේ සමාජයේ තිබුන අදහස වුනේ දරුවන්ට කෝටුවට බය කර ගෙන සිටියේ නැත්නම් වගේම දඬුවම් නොකර සිටියොත් ඔවුන් නොමග යන බවයි. ඒත්අද තිබෙන පිලිගැනීමට අනුව දරුවන්ට අනවශ්‍ය විදිහට වෙහෙසකර දඬුවම් ලබා දීම ඒ තරම් සුදුසු දෙයක් නොවන බවයි. ඒ විතරක් නොවෙයි, ඉස්සර කිව්වේ දරුවන්ට ආදරය පෙන්වීම එතරම් හොඳ දෙයක් නොවන බවයි. ඒ වුනාට අද කියන්නේ දරුවන්ට ආදරය දැනෙන් කළ යුතු බවයි. මේ වගේ අදහස් අපි දැනගැනීමට නම් පොත් පත් කියවීම අත්‍යවශ්‍යයි.

මේ නිසා හදිසියේවත් පොත් සාප්පුවකට යන ඔබ පුර්ව පාසල් අවධියේ සිටින දරුවාගේ අනාගත හැඩගැස්ම ගැන කරුණු කාරනාවන් දැන ගැනීම කියැවිය යුතු පොත් කිහිපයක් පහත දැක්වෙනවා. මේ පොත් වලට අමතර මෙතැන සටහනක් නොවුනත් වටිනා පොත් තිබෙන්නත් පුලුවනි. ඒ වගේම අම්මලා විදිහට ඔබත් වටිනා පොත් පත් කියවා ඇති. ඒ නිසා ඔබ කියවන ලද හොඳ පොත් ඒ කියන්නේ දරුවෙක් හදා වඩා ගන්නේ කෙසේද යන්නට ගැලපෙන පොත් ලැයිස්තුත් මෙතැනට ඉදිරිපත් කරන්න. අපි ඒ අත්දැකීම් බෙදා ගනිමු. මේ පොත් සමහර විට ඔබත් කියවා ඇති.

  • පෙර පාසල් අධ්‍යාපනය හා මුල් ළමා විය සංවර්ධනය – වයඹ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය
  • ළදරු පාසල්වලට ඉගැන්වීමේ ක්‍රම -දයා රෝහණ අතුකෝරල
  • ළමා මනසට සුව ඔවදන් – වෛද්‍ය විජිනි ජයවර්ධන
  • ළමා මනෝ විද්‍යාව -සුගතමුනි ඤානසිරි
  • පූර්ව පාසල් දරුවා සහ මනෝ විද්‍යාව -යූ. පී. ජී. කාරියවසම්
  • ළමා මනෝවිද්‍යාව -ටී. එස්. එස් කාරියවසම්

දරුවාගේ උපන්දිනය මේ විදිහට ගනිමුද ?

දරුවෙකුගේ උපත කියන්නේ නිවසට මහත් සම්පතක්. මේ නිසා හැම දෙමව්පියෙක්ම දරුවාගේ උපන්දිනය තම තමන්ගේ ශක්තියේ ප්‍රමාණයෙන් සමරනු ලබනවා. එහෙම නොකරනවා නම් එයත් ලොකු වැරැද්දක්. එහෙම කියන්නේ ඇයි කියනවා නම් දරුවා ගැන පවුලේ උදවිය තුල කිසියම් පිලිගැනීමක් තිබෙනවාය යන අදහස දරුවාට ඇති වෙන්නේ එවිටයි. එහෙම නම් මේ උපන්දිනය අපි සමරන්නේ කොහොමද ? ….

  • ආගමික ආශිර්වාදයට මුලින්ම යොමු වෙන්න
    ඔබ කුමන ආගමක වුනත් ඔබ අදහන ආගමට අනුව ආශිර්වාදය සලසන යම් යම් පිලිවෙත් තිබෙනවා. දරුවාගේ උපන්දිනය මුල් කර ගෙන මුලින්ම එවැනි පිලිවෙත් වෙනුවෙන් යොමු වෙන්න. එය ඉතාම වැදගත්. දරුවාට ඒ නිසා ආහිර්වාදයක් ඇති වෙන අතරම එයින් ඔහුගේ ජීවිතයේ ශක්තිය ගොඩ නැගෙන වාතාවරනයක් නිර්මානය වෙනු ඇත.
  • උත්සවය සංවිධානය ගැන දරුවා සමග සාකච්ඡා කරන්න
    ඔබේ දරුවා යම් වයස මට්ටමක සිටිනවා නම් උපන්දිනය සංවිධානය කිරීමේ අයිතිය ඔහුට දෙන්න. ඒ වෙනුවෙන් ඔහුගේ අදහස් විමසා සිටින්න. එවිට තමාගේ අවශ්‍යතාවය අනුව උපන්දිනයේ සැලසුම ඔවුන්ම ඉදිරිපත් කරනු ඇත.එතකොට තමා වැදගත් අයෙක් බව දරුවාටත් හිතෙන්නේ ඔවුන්ගේ අදහස් ගැනත් දෙමව්පියන් විමසන නිසාය.
  • තමන්ගේ ශක්තිය ගැනත් හිතන්න
    ඔබ දරුවාගේ උපන්දිනය සමරනු ලැබිය යුත්තේ අල්ලපු ගෙදර දරුවාගේ උපන්දිනයට හෝ කාර්යාලයේ මිතුරන්ගේ දරුවන් විසින් උපන්දින සමරනු ලැබූ ආකාරයට නොවේ. අද බොහෝ දෙනා අවන්හල්වල උපන්දින සමරන අවස්ථා ඇත. ඒ වෙනුවෙන් එක් පුද්ගලයෙක් වෙනුවෙන් විශාල වැය බරක් දරන්නට සිදු වේ. මේ නිසා එය අනවශ්‍ය නොව ඔබට දරන්නට හැකියාවක් නොමැත්තේ නම් ආර්ථික ලෙසින් අපහසුතාවයට පත් නොවී ඔබේ හැකියාව අනුව උපන්දිනය සංවිධානය කර ගත යුතු බව දරුවාටත් දන්වා සිටින්න.
  • උත්සවය සංවිධානය කිරීම
    උත්සව සංවිධානයේදී වර්ණ තේමාවක් වගේම ඇ‍ඳුම ගැන තේමාවක් ගොඩ නගා ගැනීම අද සිදු වෙන සාමාන්‍ය තත්වයක්. මේ තත්වයේ උපන්දින අවශ්‍යම නැහැ. ඒත් ඔබ ගේ ආර්තික හැකියාව අනුව සංවිධානය කරන පිලිවෙල අනුව මේ අන්දමේ සැලසුම් ගොඩ නගා ගැනීමට බාධාවක් නැත. ඒ අතරම මේ මතක සිහිවටන ඡායාරූප හෝ වීඩියෝ කිරීමට අමතක කරන්න එපා. යම් දවසක දරුවාට තමාගේ උපන්දින සැමරුම වෙනුවෙන් වූ මතකයේ ඉතිරි වෙන්නේ මෙම ඡායාරූප පමණි.
  • විඩියෝ නරකද ?
    වීඩියේ කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වුනත් අපි මේ දර්ශන මුලදී නිතර නිතර නරඹා සිටියත් කාලය සමග එය නොදැනම අමතක වෙනවා. මේ වෙනුවෙන් කාලය අවශ්‍යයි.ඒ වෙනුවෙන් උපාංග ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. කාලය සමග මේ විඩියෝ දර්ශන අක්‍රීය වීමත් සිද්ධ වෙනවා. ඒ නිසා නිතරම විඩියෝ කරනවා වගේම මතක සිහිවටන ලෙසින් ඡායාරූප සංරක්ෂනය කොට තබා ගැනීම ඉතාම වැදගත්.
  • උපන් දිනය උත්සවයේ විවිධාංග
    උපන්දින උත්සවයේ ආහාරපාන පමණක් නොව බෙහෙවින් විචිත්‍ර අංග ඇතුලත් වීම ඉතාම වැදගත්. ගීත ගායනාවන්, සංගීත පුටු තරග, වෙනත් විනෝද අවස්තාවන් මගින් දරුවාට වින්දනයක් ලබා දීම ඉතාම වැදගත්. ඒ නිසා උත්සවය සංවිධානය කිරීමේදී මෙම ඉසව් ගැනත් අවධානය දක්වන්න.
  • තෑගි බෝග දෙන විට
    උපන්දිනය වෙනුවෙන් දරුවාට තෑගි බෝග ලබා දෙන විට ඔහුගේ අවශ්‍යතාවය ගැන හිතන්න.ඒ වගේම රුචිකත්වය ගැනත් අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ. ලැබෙන ත්‍යාගයෙන් දරුවාට සතුටක් ලැබෙනවා නම් එය ඉතාම වැදත් වෙනවා
  • අර්ථවත් තෑගි මොනවාද ?
    දරුවාගේ උපන්දිනය සමරන විට ලබා දෙන ත්‍යාගයන්ට අමතරව එම දිනය මුල් කර ගෙන පැලයක් රෝපනය කරන්න. දරුවා වාගේම මේ පැලයත් ඔබ පෝෂණය කරමින් දරුවාද ඒ කටයුත්තට සම්බන්ධ කර ගන්න. ගස මල් පළ දරන විට දරුවාටත් එයින් ලැබෙන සතුට අසීමිතය. ඒ වගේම පරිසරය ආරක්සා කිරීම වෙනුවෙන් දරුවාගෙන් ලැබෙන සහයෝගය නොදැනීම ඔබට ලැබෙනවා පමණක් නොව ඔහු පරිසර සංවේදී දරුවෙක් ලෙසින් සමාජගත වෙනු ඇත.
  • පොතක් පතක් නරකද ?
    අද දරුවන් මුල් කර ගෙන නැගෙන චෝදනාව වන්නේ කියවීමට උනන්දුවක් නැති බවත් ඒ නිසාම බාහිර දේ ගැන ඇති දැනුම ඉතාම අල්ප බවත්ය. මේ නිසා පොත පත වෙනුවෙන් ඇල්ම සහ රුචිය බාල කාලයේ පටන්ම වගා කළ යුතුය. ඒ වෙනුවෙන් ඇති හොඳම අවස්ථාව උපන්දිනයයි. දරුවාට ලබා දෙන සෙසු තෑගි බෝග අතරටම අලංකාර පොතක් තෑගි කරන්න. උපන්දින තෑගි ඉතා සතුටින් පරිශීලනය කරන විට මේ පොත් පත් වෙනුවෙන් ඔහුගේ මනස නොදැනම යොමු වෙන නිසා කියවීමේ රුචිය නොදැනම වගා වෙනු ඇත.
  • පැමිණෙන දරුවන්ටත් තෑගි
    අද ඇතැම් උපන්දින උත්සවයන්හිදී පැමිනෙන දරුවන්ටත් රස කැවිලි වලින් සංග්‍රහ කිරීමත් සමග පුංචි තෑග්ගක් ලබා දෙන අවස්ථා ඇත.පංතියේ දරුවන්ටත් මේ විදිහටම පුංචි තෑග්ගක් විදිහට පොතක්, පැන්සලක් හෝ වෙනත් ඉගෙනුමට අවශ්‍ය පුංචි තිලිනයක් පිරිනැමීමෙන් පැමිනෙන දරුවන්ටත් සතුටක් ඇති වේ.

බිළිදාගේ දෑස් වෙත ඔබේ අවධානය වැදගත් වන්නේ මේ නිසයි

ඇස යනු ශරිරයේ ඉතා කුඩාම අංගයක් වුවච එය සංකීර්ණව සැකසුණු ඉන්ද්‍රියයකි. අපි ලෝකය දකින්නේ ඇසෙනි. දරුවන්ට ඇති විය හැකි අක‍ෂි ආබාධ පිළිබඳව මව්වරුන් දැනුවත් විය යුතු වන්නේ නොදැනුවත්කම දරුවන්ගේ ලෝකය අඳුරු කරන්නට මග විවර කරන බැවිනි.

දරුවන්ට ඇති වන අක‍ෂි ආබාධ තත්ත්වයන් සඳහා ජානමය බලපෑම ද හේතු විය හැකිය. උදාහරණයක් වශයෙන් යම් දරුවෙකුගේ මව/පියා කුඩා වියේදී ජානමය වශයෙන් ඇති වන යම් අක‍ෂි ආබාධයකට ගොදුරු වූයේද එය දරුවාට ද ඇති වීමට ඇති ඉඩ කඩ වැඩිය. අන්න ඒ නිසාම දරුවන්ගේ ඇස් පිළිබඳව අවධානය යොමු කරමින් ගැටලූ සහගත තත්ත්වයන් ඇත්නම් වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුත්තේ මෙවැනි දුර්වලතා බොහොමයක් කුඩා අවධියේදී නිට්ටාවටම සුව කරගැනීමේ හැකියාව ඇති බැවිනි.

ළදරුවෙකු උපත ලබා සුළු මොහොතකින් වටපිටාව දැකිය හැකි වුවද දෙනෙත් හොඳින් විවර කර බැලීමට අපහසු වේ. නමුත් මාස දෙක තුනක් ගත වන කල්හි තම වටපිටාව හොඳින් දැකගැනීමේ හැකියාව ලැබේ. ශරීරයේ ප්‍රධාන පාලක මධ්‍යස්ථානය වන මොළය සහ ඇස අතර ස්නායු වර්ධනය වීම වසර දහයක් පමණ කාලයක් දක්වාම සිදුවන අතරම සාමාන්‍යයෙන් නම් දරුවකුගේ ඇස් නියමාකාරයෙන් වර්ධනය වීම සඳහා දරුවාට වයස අවුරුදු තුනක් පමණවත් සම්පූර්ණ විය යුතුය.

අලූත උපන් ළදරුවකුගේ දෙනෙත් ගැන මව්වරුන් බියපත් වන අවස්ථා

කඳුළු/කබ ගැලීම – ඇතැම් දරුවන්ගේ ඇසෙහි කබ/කඳුළු නාසය ඔස්සේ පිටකරන නාලය සම්පූර්ණයෙන් විවෘතව නොතිබීම නිසා මේ තත්ත්වය ඇති විය හැකිය. වෛද්‍ය උපදෙස් මත බලපෑමට ලක් වූ ඇසේ කෙළවර ඇසේ කබ ස්‍රාවය වන ස්ථානය (Lacrimal Caruncle) සම්බාහනය කිරීමෙන් මේ තත්ත්වය මගහරවා ගත හැක.

සුදු ඉංගිරියාව පෙදෙස රත්පැහැ ගැන් වී තිබීම – ප්‍රසූතියේදී ඇති වන පීඩනය හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි අතරම එය දින කිහිපයකින් මඟ හැරී යයි.

ඇසි පිය ඉදිමීම/සුදු ඉංගිරියා ප්‍රදේශය රතුවීම/කඳුළු, කබගැලීම – අසාදන තත්ත්තවයක් විය හැකිය. අක‍ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.

මෙන්න මේ විදියට දරුවගේ ඇස්වල වෙනසක් තියෙනවද බලන්න

ඇසේ කලූ ඉංගිරියාව වෙත ආලෝකයක් යොමු කරන විට රත් පැහැයක් ගන්නේ නම් එය සාමාන්‍ය තත්ත්වයක් වන අතරම සුදු පැහැයක් ගන්නේ නම් අක‍ෂි වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් වේ.

ළදරුවාගේ ඇස්වල දෝෂ තියෙනවද කියලා දැනගන්න මේ දේවල් කරන්න

ළදරුවන්, අධික ආලෝක තත්ත්වයකදී ඔවුන් දෙනෙත් හකුලවාගන්නේ ඔවුන් සාමාන්‍යයෙන් ආලෝකයට සංවේදී නිසයි. වයස මාස දෙකක් තුනක් පමණ වන ළදරුවා සෙලවෙන දේවල් දිහා දෙස දෙනෙත් එහා මෙහා කරමින් බලයි. අලංකාර වර්ණවත් දේ පිළිබඳව ඔවුන්ගේ අවධානය/කැමැත්ත  වැඩියි. බහුතරයක් දරුවන් තමන් දකින දේට මෙවන් ප්‍රතිචාර දැක්වුවත් ඇතැම් දරුවන් කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැත. ඒ ඇතැම් විට ඒ එම දරුවාගේ එක් ඇසක පෙනීමේ දුර්වලාතාවයක් තිබිය හැකි නිසාය.

දරුවාගේ ඇස් මේ ආකාරයෙන් පරීක‍ෂා කරන්න. එක ඇසක් අතින් වසන්න, එවිට දරුවා හඬමින් අත ඉවත් කිරීමට උත්සාහ කරයි නම් එවැනි ප්‍රතිචාරයක් අනෙක් පස ඇස වැසූ විට නොමැති නම් ළදරුවාගේ එක් ඇසක යම් ආබාධයක් ඇති බව ඔබට වටහා ගත හැකියි. මෙවැනි තත්ත්වයකදී වහාම අක‍ෂි වෛද්‍යවරයෙකු හමුවී පරීක‍ෂාකරවා ගත යුතු අතරම ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වේ.

ඇතැම් දරුවන්ගේ විටින් විට යම් වපරයක් වැනි ස්වභාවයක් ඔබ දැක ඇති. නමුත් ළදරුවාට මාස හය සම්පූර්ණ වූ පසුවත් මේ තත්ත්වය දැකගත හැකි නම් වහාම අක‍ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. මන්ද ඇසේ වපරය පෙනීමේ දුර්වලතා මත මෙන්ම පෙනීමේ දුර්වලතා මත ඇසේ වපරය ඇති වීම ද සිදු විය හැකි බැවිනි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පුහුණු වෛද්‍ය මහේෂ් කුඹුකගේ මහතා සමග සකසන ලද ලිපියකි.

 

දරුවන් හික්මවීමට ප්‍රථම මවුපියන් හික්මිය යුත්තේ ඇයි දැයි දැනගන්න , මේ ලිපිය කියවන්න

මේ ළමයි නම් හරිම විසේකාරයි. මුරණ්ඩුයි. කියන කිසිම දෙයක් අහන්නේ නෑ. කියන දේ අමතක කරනවා, ඇහුනෙ නෑ වගේ ඉන්නවා. දැන් මම දෙනවා රිදෙන්න ගුටි දෙක තුනක්, ආයෙ අමතක නොවෙන්නම. 
කෝප ගැන්වුණු වැඩිහිටි ඔබ පළමුව සන්සුන් වෙන්න

මව්පියන්ගේ කෝපය දරුවන්ගේ මානසික සංවර්ධනයට සැබවින්ම විශාල පහරකි. අන්න ඒ නිසාම කෝප ගැන්වීගෙන එන ඔබ පහත ක්‍රමයක් උපයෝගී කරගනිමන් පළමුව සන්සුන් වන්න.

(01)  ගැඹුරු හුස්මක් ගනිමින් පිටකරමින් ආනාපානාසති භාවනාව ප්‍රගුණ කරන්න

(02)  1 සිට 10 ත් නැවත 10 – 1 ත් කිහිප වතාවක් ගණන් කරන්න

(03)   ඔබ කැමති ගීතයකට සවන් දෙන්න

දෙමාපියනි, දැන් සන්සුන් මනසින් මේ ලිපිය කියවන්න

කායිකව මෙන්ම මානසිකවත් නිරෝගී දරුවන් දැයට දායාද කිරීමට වෙහෙසෙන මව්පියන් වන ඔබ දරුවන්ට ඔබ විසින් ලබා දෙන දඬුවම් පිළිබඳව දැනුවත් වීම ඉතාම වැදගත් වේ.

දරුවන්ගේ විසේකාරකම වෙලාවකට අම්මලාට දරාගන්න අමාරුයි. දවසේ විශාල රාජකාරී ගොඩකට කැප වෙන්න වෙන අම්මා කෙනෙක් දරුවන්ගේ අකීකරුකම් නිසා කෝප ගැන්වෙන එක එක් අතකින් අසාධාරණයි කියන්නත් බැහැ. මොකද දරුවනුත් වෙලාවකට එයාලගේ සීමාවන් ඉක්මවා යනවා. එහෙමයි කියලා දරුවන්ට ගුටි දෙන එක, බොහොම තරහෙන් බැන වදින එක ඒ තරම්ම සාධාරණ නැහැ. ඔබේ සිතට ආ කේන්තියට වැඩිහිටි ඔබව පාලනය කරන්න ඉඩ තියන්න පුළුවන්ද? ඔබේ දඬුවම දරුවාට බලාපාන්නේ කොයි ආකාරයෙන්ද යන්න පිළිබඳව ඔබ දැනුවත්ද? දරුවාගේ උඩු සිතට මෙවැනි සිදුවීම් ටික දිනකින් අමතකව ගිය ද දරුවාගේ යටි සිතට එය ප්‍රබල ලෙස බලපාන තත්ත්වයකි.

දරුවෙකුට පහර දීම කිසිසේත්ම අනුමත කළ හැකි තත්ත්වයක් නොවන අතරම ඒ හරහා දරුවාට ඇති වන මානසික පසුබෑම කෙතරම්ද යන්න වචනයෙන් විසිතර කළ නොහැකි තරම්ය. බැන වැදීම/පහර දීම/බියට පත්කිරීම වැනි මාපියන්ගේ දඬුවම්වලට ලක්වන දරුවන් විෂාදය, සාංකාව වැනි මානසික රෝගවලට ගොදුරුවීමේ අවධානම ඉහළය. එසේම එවැනි ක්‍රියාවන් හරහා දරුවන්ගේ පෞර්ෂ වර්ධනයට ඇති වන බලපෑම ද සුළු පටු නොවේ.

ඔබ දරුවා නිවැරදි මගට ගැනීමට ගුටි බැට දෙන බවත් කෑ ගසා බැන වදින බවත් සැබෑවක් විය හැකිය. සැබවින්ම මවක් කිසිදු විටෙක දරුවෙකුට වරදක් කරන්නට සිතන්නේ නැත. නමුත් එය දරුවාට වටහා ගත හැකි යැයි ඔබ සිතන්නේ නම් ඔබ නිවැරදි විය යුත්තේ එතැනදීයී.

දරුවන් සැමවිටම උත්සාහ කරනුයේ ඔබේ අවධානය දිනා ගැනීමටයි. ඔවුන් කුමන හෝ ආකාරයකින් ඔබේ අවධානය දිනා ගැනීමට උත්සාහ කරන අතරම කීකරුව හෝ අකීකරුව යමක් කිරීමට පෙළඹෙන්නේ ඒ වෙනුවෙනි. අකීකරු වැඩවලදී දරුවාට දඬුවම් කිරීමට දැඩිව ක්‍රියාත්මක වන මව්පියන් දරුවා සිදුකරන කීකරු/හොඳ වැඩකදී ඔහුව/ඇය පැසසුමට ලක්කරන්නට කල්පනා නෙකරන්නේ මන්ද? එහෙයින් අකීකරු අවස්ථාවලදී දරුවාට දඬුවම් දෙනවා සේම කීකරුව කටයුතු කරන විට ඔවුන්ට වැඩි අවධානයක් හිමි වන බව දරුවාට ඇඟවීමට වැඩිහිටි ඔබ සැලකිලිමත් විය යුතුය.

දරුවන් මෙසේ මුරණ්ඩු වීමට ඇති හේතු පිළිබඳව ඔබ සැලකිලිමත් වූවාද ?
  • දෙමාපියන් සියලූ දේට එපා එපා යැයි පවසමින් දරුවා පාලනය කිරීම
  • නිරන්තරයෙන් බැන වැදීම දරුවාට පුරුද්දට යාම නිසා අම්මාගේ අවවාද නොසලකා හැරීම
  • ඇසීමේ යම් ආබාධ තත්ත්වයක් පැවතීම
  • දරුවා මානසික සංවර්ධනයේ පසුබෑමකට ලක්ව තිබීම නිසා පවසන දේ අවබෝධ කරගැනීමට අපහසු වීම
මව්පියන් දරුවන් හික්මව ආකාර තුනක් දැක්විය හැකිය
  • දරුවා වඩාත් කැමති දෙයක් දරුවාට නොදී සිටීම
  • දරුවා වඩාත් අකමැති දෙයක් කරන්නට කීම
  • දරුවාට දඬුවම් කිරීම

ඉහත ක්‍රම අතරින් දරුවන්ට ”දඬුවම් කිරීම” මව්පියන් වැඩි ප්‍රතිශතයක් දරුවන් පාලනය කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමයයි. එහිදී,

  • වාචිකව දඬුවම් කිරීම (දරුවාට දරාගත නොහැකි ආකාරයේ කුරිරු වදන් භාවිතය කිසිසේත්ම සුදුසු නොවේ)
  • නිහඬව තරහව හැඟීම්වලින් ප්‍රකාශ කිරීම (කෝපය පිරුණු දැසින් දරුවා දෙස වෛරයෙන් බැලීම)
  • දරුවාට කායිකව පහරදීම

මේ ගෙවෙන මොහොතේ ඔබ දරුවා පාලනය කරගත්ත ද දරුවාගේ හෙට දවස කෙරේ මෙවැනි තත්ත්වයන් ඉතාම අයහපත් ලෙස බලපානු ඇත. මෙසේ වෛරයෙන් පිරුණු වටපිටාව තුළ ඇති දැඩි වන දරුවා තම ජීවිතයට ලංකර ගනුයේ ඒ වටපිටාවමය. ඒ තම නිවස තුළින් ඔහුට/ඇයට හිමි වූ ආදර්ශයයි. මන්ද ඒ මොහොතේ සිදුවීම අමතකව ගිය ද දිගුකාලීනව දරුවාගේ මානසික වර්ධනය කෙරේ මේ තත්ත්වය බලපෑම් කරන බැවිනි.

එසේ නම් මෙවැනි දරුවන් පාලනය කළ යුත්තේ කෙසේද ?

මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ දරුවන්ට දඬුවම් ලබාදීමේදී නිවසේ සියලූම වැඩිහිටියන් එක් තීරණයක සිටීමයි. මන්ද අම්මාගේ නොලැඛෙන අවසරය තාත්තගෙන් ලැඛෙනවා නම් එය සාර්ථක නොවේ.

දරුවන් හික්ම වීම සඳහා ඉහත දැක්වූ ක්‍රම තුන යටතේ පළමු හා දෙවන ක්‍රම දෙක මව්පියන් වන ඔබට ප්‍රයෝජනයට ගත හැකිය. එනම්,

  • දරුවා වඩාත් කැමති දෙයක් දරුවාට නොදී සිටීම
  • දරුවා නිවැරදි දේ කළ විට කැමති දෙයක් ලබාදීම

උදා : පාසැලේ වැඩ ඉවර වෙනකන් ටීවී එක නම් ඕන් වෙන්නෙ නෑ පුතා

පුංචි සිරුරට මෙන්ම හිතට දරා ගත නොහැකි සේ ගුටි බැට දෙමින් කෑ කෝ ගසමින් වැඩිහිටි ඔබද පීඩාවට දුකට පත් වෙමින් දරුවෙකු පාලනය කිරීම කිසිසේත්ම කළ නොහැකි තත්ත්වයකි. එවිට දරුවා දිනෙන් දින මුරණුඩු දරුවෙකු බවට පත් වන අතරම දෙමාපියන් පිළිබඳව ඔවුන් තුළ ගොඩනැගෙන්නේ කලකිරමකි.ඉහත දැක්වූ ආකාර දෙක ප්‍රයෝජනය ගනිමින් දරුවන් පාලනය කරගැනීම වඩාත් උචිත වේ. නිරෝගී අනාගත පරපුරක වගකීම රැඳී ඇත්තේ මාපියන් වන ඔබ අතේය.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


ආරක්ෂාව ගැන කවදාවත් අමතක නොවෙන අභියෝගයක්… ඔබත් සූදානම්ද?

ආරක්ෂාව පුරුද්දක් කරගන්න එක අපි කාගේත් ජීවිතවලට බොහොම වැදගත් වෙනවා.
ජිවිතේ අභියෝග හමුවේ පලනොයන ශක්තිමත් හිතක් තියෙන හැමෝම ආරක්ෂා චාරය චැලේන්ජ් එකත් නොබියව බාරගනි කියලා අපි හිතනවා.
බලන්න, මේ #arakshacharaya චැලේන්ජ් එක බාරගන්න ඔබටත් පුලුවන්ද කියල.

 

ළදරුවන්ගේ නින්ද ගැන මව්වරුන් දැනුවත් විය යුතු කරුණු ගැන ඔබ දන්නවාද?

අලුත උපන් දරුවෙකුට නින්ද අත්‍යවශ්‍ය වන අතරම දරුවාගේ මොළයෙහි වර්ධනයට දරුවාගේ නින්ද බලපාන බව කියවේ. එමෙන්ම සෑම දරුවෙකුටම නිදාගැනීමේ රටාවක් පවතී. ළදරුවා ඉපදී මුල් කාලයේදී දිනකට පැය 16-17 ක් පමණ නිදාගනී. සමහර දරුවන් වැඩිපුර වේලාවක් රාත්‍රියට නිදාගන්නා අතර සමහර දරුවන් රාත්‍රී ඇහැරගෙන සිටිමින් දහවල් කාලයේදී නිදාගනියි.

ඔබ මවක් ලෙස දරුවා නින්දට යැවීමේදී දරුවා සමග කතා කරමින් කවි කියමින් හොඳ නින්දක් ලබාගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතුයි. දරුවාට නිදහසේ ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබාදීමත්, නිදහසේ ප්‍රතිචාර දැක්වීමට හුරු කිරීමත් ඉතා වැදගත් වේ.

දරුවාට හොඳ නින්දක් ලබාදීම

ළදරුවාට මව්කිරි ලබාදෙන මුල් මාස 6 තුළ දරුවාට සුදුසුම ස්ථානය කාමරයයි. සාමාන්‍යයෙන් දරුවෙකු මවගේ හෝ පියාගේ තුරුලේ නිදා ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. දරුවාට ඔබේ උණුසුම අවැසි බව සැබෑවකි, නමුත් නිරන්තරයෙන් එය සිදු කිරීම දරුවාට මෙන්ම ඔබටද කරගනු ලබන හානියක් වේ. මන්ද ඔබේ කටයුතු කර ගැනීමට අවශ්‍ය කාලය වැය වනවා සේම ඔබ දරුවාගේ තුරුලෙන් ඉවත් වන විට දරුවාද අඩ නින්දෙන් ඇහැරීමට ඉඩ ඇති බැවිනි. මේ නිසා දරුවාට හොඳ නින්දක් නොලැඛෙන අතර දරුවාට තනිවම නිදා ගැනීමට හුරුවක්ද නැතිවී යයි. එබැවින් කිරි දීමෙන් අනතුරුව දරුවා ඇද මත හෝ තොටිල්ල මත තැබීමෙන් දරුවා තනිව නිදා ගැනීමට හුරු වේ.

දරුවාට නිසි වේලාවට නින්ද හුරු වීම

දහවල සහ රාත්‍රිය අතර වෙනස දරුවාට හඳුන්වාදිය යුතු අතර රාත්‍රි කාලය නින්ද සඳහා වෙන්වන බව දරුවාට වටහා ගැනීමට හැකි අයුරින් ක්‍රියා කළ යුතුයි.

දහවල් කාලයේදී,

  • ඔබේ සාමාන්‍ය කටයුතු මෙන්ම නිවසේද වැඩ කටයුතු ද සුපුරුදු ආකාරයට සිදු කරන්න
  • සුපුරුදු පරිදිම ශබ්ද නඟා කතාබස් කරන්න
  • කාමරය තුළට ආලෝකය හොඳින් ලැඛෙන සේ ජනෙල් හැර තිර රෙදි විවර කරන්න
රාත්‍රි කාලයේදී

  • කිරි බී කුස පිරුණු ඉක්මණින් ඇඳ මත තබන්න
  • ශබ්ද ඇති කිරීමෙන් වළකින්න
  • අඩු එළියක් සහිත විදුලි බුබුළු භාවිත කරන්න
  • යම් සංයමයකින් යුතුව කතාබස් කරන්න
  • දරුවා සමග සේලලම් කිරීමෙන් වළකින්න

දරුවා රාත්‍රියට නින්දට සූදානම් කිරීම මගින් ඔවුන් ක්‍රමයෙන් වැඩෙන විට ඉබේම හුරුව ඇති කරගැනීමට පෙළඹේ.

මවක් ලෙස ඒ සඳහා යම් විධි ක්‍රම භාවිත කිරීමේ හැකියාව ඔබ සතුව පවතී. දරුවා සේදීම මගින් දරුවාට සෞම්‍ය බවක් ලැබේ. එය දරුවාගේ නින්දට රුකුල් දීමකි. එමෙන්ම ලයාන්විත නැළවිලි ගීයක් මිමිණීම, දරුවාට කතාන්දරයක් කියා දීම වැනි ක්‍රියාකාරකම් තුළින් දරුවා නිසි වේලාවට නිදි කරවීමට හැකියාව ඇත.

සමහරවිට මෙලෙස සුදානම් කළද දරුවා නිදා නොගන්නා අවස්ථා දක්නට ලැබේ. නමුත් නොකඩවා මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ටික දිනක් යාමේදී දරුවාට නිසි අයුරින් නින්දක් ලබාගැනීමට හුරුවක් ලැබේ. දරුවන් එකිනෙකකාට නින්දෙහි අවශ්‍යතාවය වෙනස් වන අතර නිදාගැනීමේ රටාවද වෙනස් වේ. එමෙන්ම එක් එක් වයස් කාණ්ඩ සඳහා නින්ද අවශ්‍ය වන ප්‍රමාණයද වෙනස් වෙයි.

අලූත උපන් දරුවා අවදිව සිටින කාලයට වඩා නිදාගෙන සිටින කාලය වැඩිවන අතර බොහෝ විට පැය 8-16 දක්වා කාලයක් දිනකට නිදාගනී.

මාස 3-6 අතර දරුවා ක්‍රමයෙන් වැඩෙන විට රාත්‍රි කාලයේ කිරි දිය යුතු වාර ගණන ක්‍රමයෙන් අඩුවේ. සමහර දරුවන්ට රාත්‍රී කාලය තුළ පැය 8 ක් හෝ ඊට වඩා වැඩි කාලයක් නිදාගත හැකි වුවත් සමහර දරුවන් එලෙස නිදා නොගනී. සාමාන්‍යයෙන් මාස 4 ක් පමණ ගත වන විට දහවල් කාලය තුළ නිදාගන්නා කාලය මෙන් දෙගුණයක් රාත්‍රි කාලය තුළ නිදාගනී.

මාස 6-12 අතර දරුවා රාත්‍රී කාලය තුළ කිරි බීම අඩු අතර පැය 12 ක පමණ නින්දක් ලබයි. දත් ඒම, කුසගින්න වැනි තත්ත්ව නිසා රාත්‍රියේදී අවදිවිය හැකියි. කෙසේ වෙතත් දරුවන්ගේ නින්ද දරුවන්ට අත්‍යවශ්‍ය වන නිසා දරුවන්ට ප්‍රමාණවත් නින්දක් ලැඛෙන්නේ දැයි විමසිලිමත් විය යුතුය.

බුලත්සිංහල, සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍යය සේවා නිළධාරිනි අයිරාංගනි ගගලගමුව මහත්මිය සමග සකසන ලද ලිපියකි.  

 

කිරි සහ කිරි ආහාර දිනපතා පරිභෝජනය කළ යුතුද?

– සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ ප්‍රකාශනයක් ඇසුරෙනි –

කිරි, ඕනෑම වයස් කාණ්ඩයකට සුදුසු වූ, කාබෝහයිඩ්‍රේට (ලැක්ටෝස්) මේද, ප්‍රෝටීන, විටමින් හා ඛනිජ ලවණ අඩංගු සම්පූර්ණ ආහාරයකි. මාස 6 ට අඩු දරුවන් සඳහා මව්කිරි අනිවාර්ය අතර, අනෙකුත් කිරි හා කිරි නිෂ්පාදන මෙම වයස් කාණ්ඩය සඳහා සුදුසු නොවේ. ළමුන් හා යෞවන අවදියේ පසුවන අය සඳහා කිරි හා කිරි නිෂ්පාදන පරිභෝජනයට ගැනීම වැදගත් අතර, ඔවුන්ගේ දත් හා අස්ථී වර්ධනය සඳහා මෙය අත්‍යවශ්‍ය වේ. මෙම අවදියේ සිදුවන සීඝ්‍ර වර්ධනය උදෙසා අත්‍යවශ්‍ය පෝෂක වන කැල්සියම් හා පොස්පරස් කිරිවල බහුල අතර, පැණි බීම වෙනුවට කිරි බීම සඳහා යොමුවීම ඉතා වැදගත් වේ.

විටමින් :

කිරිවල සැළකිය යුතු ප්‍රමාණයක් විටමින් බී සංකීර්ණයට අයත් විටමින් අඩංගු වේ. විශේෂයෙන් කිරි වල අඩංගු බී 12 විටමිනය ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට මෙන්ම රතු රුදිරාණු නිෂ්පාදනයට ද වැදගත් වේ. සම්පූර්ණ යොදය සහිත කිරි, විටමින් ඒ වලින් පොහොසත් අතර, මේද රහිත හෝ අඩු මේද කිරි වල විටමින් ඒ අන්තර්ගතය ඉතා අල්පය. මේද රහිත හෝ අඩු මේද කිරි වල මේදයේ දියවන විටමින් අන්තරව්ගතය ඉතා අඩු වුවත් නැවත එකතු කිරීම හෝ බලකරණය තුලින් මෙම විටමින් නැවත ආහාරයට එකතු කල හැකිය.

ඛනිජ ලවණ :

කැල්සියම් හා පොස්පරස් බහුල ආහාරයක් වන කිරි, අස්ථී සහ දත් වර්ධනයට වැදගත් වේ. කිරි වල අඩංගු කැල්සියම් ශරීරයට පහසුවෙන් අවශෝෂණය වේ. එමෙන්ම සම්පුර්ණ යොදය සහිත කිරිවල අන්තර්ගත කැල්සියම් ප්‍රමාණය හා මේද රහිත කිරිවල අන්තර්ගත කැල්සියම් ප්‍රමාණය එක සමානය. ජීවිතයේ පසු කාලයේදී වැලඳිය හැකි ඕස්ටියෝපොරෝසිස් නැමති අස්ථී තුනී වීමේ රෝගය වළක්වා ගැනීම සඳහා දිනපතා කිරි හෝ කිරි ආහාර පරිභෝජනයට ගැනීම යෝග්‍යය.

මේදය :

දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලබාදීම සඳහා කිරි වල අඩංගු මේදය දායක වෙයි. සම්පූර්ණ යොදය සහිත කිරිවල සංතෘප්ත මේදය බහුලය. එහෙත් මේද රහිත කිරිවල මේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, අඩු මේද සහිත කිරිවල මේදය හරි අඩකටත් වඩා අඩුවෙන් අඩංගු වේ. මේද රහිත කිරි වැඩිහිටියන්ට, අධිබරැති දරුවන්ට හා රුධිරවාහිණි අවහිරතා රෝග ඇති අයට වඩා යෝග්‍ය වේ. එයට හේතුව වන්නේ කිරිවල ඇති මේදය රුධිර වාහිණිවල තැන්පත් වීමයි. මේදය අඩු කිරිවල අඩංගු ශක්ති ප්‍රමාණය, අත්‍යවශ්‍ය මේද අම්ල හා මේදයේ දියවන විටමින් වර්ග අඩු බැවින් කිරිපිටි නිර්දේශ කරන අවස්ථාවලදී, අවුරුදු දෙකට අඩු දරුවන් සඳහා මේද රහිත කිරි භාවිතය සුදුසු නොවේ.

සීනි :

කිරිවල අඩංගු සීනි ලැක්ටෝස් ලෙස නම් කරයි. කිරිවල අඩංගු ලැක්ටෝස් එදිනෙදා භාවිතයට ගැනෙන සුදු හා දුඹුරු සිනි මෙන් දත් දිරායාම කෙරෙහි එතරම් බලපෑමක් ඇති නොකරයි.

කිරි ආහාර

මුදවපු කිරි : 

මුදවපු කිරි හා යෝගට් ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කරන කිරි ආහාර වේ. යෝගට් හා මුදවපු කිරි නිෂ්පාදනයේදී කිරි පැසවීමකට ලක් කරයි. එමගින් එහි විටමින් බී සංයුතිය ඉහළ යයි. මුදවපු කිරි හා යෝගට්වල ඇති ඉහළ ප්‍රෝටීන් සංයුතිය, එහි ඇති කැල්සියම් ශරීරයට අවශෝෂණය කිරීම කාර්යක‍ෂම කරයි.

මී කිරි මේදයෙන් ඉහළය. එබැවින් එළකිරිවලින් සාදන ලද මුදවපු කිරිවලට වඩා මී කිරිවලින් සාදන ලද මුදවපු කිරි හොඳින් ඝනවේ.

යෝගට්:

යෝගට් නිෂ්පාදනයට යොදා ගන්නා බැක්ටීරියාවන් මිනිසාට සෞඛ්‍යමය හිතකර ප්‍රතිලාභ ලබා දෙයි. සමහර යෝගට් වර්ග නිෂ්පාදනයේදී හිතකර බැක්ටීරියා (ප්‍රෝබයෝටික්ස්) වර්ග එකතු කරයි. එය ආහාර ජීරන පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට උදව් කරයි.

චීස් :

චීස්, කිරි මෙන්ම පෝෂණ ගුණයෙන් අනූන ආහාරයකි. එහෙත් චීස්වල සංතෘප්ත මේදය සහ එකතු කරන ලද ලුනු ඉහළ මට්ටමක පවතී. එම නිසා සම්පූර්ණ යොදය අඩංගු චීස් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන්න.

ලැක්ටෝස් ආසාත්මිකතාවය :

කිරි විශාල ප්‍රමාණයක් (කිරි මිලි ලීටර් 500 හෝ ඊට වැඩි ප්‍රමාණයක්) එකවර පානය කිරීම නිසා පාචනය, බඩ පිපුම වැනි උදරයේ ආසාත්මිකතාවයන් සමහර පුද්ගලයින්ට ඇති විය හැක. මෙය ලැක්ටෝස් ආසාත්මිකතාවය ලෙස හඳුන්වයි. එවැනි පුද්ගලයින්, කිරි භාවිතයේදී එය ස්වල්ප ප්‍රමාණයක් (වීදුරු 1/4) බැගින් මුලින් ගෙන ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩි කළ යුතුය. මුදවපු කිරි හා යෝගට්වල අඩංගු ලැක්ටෝස් පැසවීමේදී ලැක්ටික් අම්ලය බවට පත්වේ, එමනිසා ලැක්ටෝස් ආසාත්මිකතාව ඇති අයට මෙවැනි ආහාර වඩා සුදුසුය. ආහාර වේලකින් පසු කිරි ස්වල්ප ප්‍රමාණයක් පානය කිරීම හෝ යෝගට් හෝ මුදවපු කිරි ආහාරයට ගැනීම මගින් මෙම තත්ත්වය පාලනය කරගත හැක. තවද කිරිවල අඩංගු ප්‍රෝටීන සඳහා ආසාත්මිකතාව දක්වන අයට සෝයා කිරි යෝග්‍ය වේ.

දීර්ඝ කාලයක සිට අස්ථී තුනී වීම සහ අස්ථී ඝණත්වය අඩු වීම නිසා අස්ථී බිඳී යාමේ තත්ත්වය වන ඔස්ටියෝපොරෝසිස්  වලක්වා ගැනීමට කුඩා කල සිට කිරි හා කිරි ආහාර දිනපතා ආහාරයට එකතු කර ගැනීම යෝග්‍ය වේ.

අප විසින් දිනකට පරිභෝජනය කළ යුතු කිරි ප්‍රමාණය

  • නැවුම් කිරි පීරිසි කෝප්ප / වීදුරු 1ක් (මිලි ලීටර් 200)
  • මුදවපු කිරි පීරිසි කෝප්ප 1ක් (මිලි ලීටර් 100) හෝ යෝගට් 1 ක්
  • පිටි කිරි මේස හැඳි 2 ක් යොදා සාදන ලද කිරි වීදුරු 1 ක්

ඉහත සඳහන් කිරි හෝ කිරි ආහාරවලින් 1 ක් හෝ 2 ක් දිනපතා ගැනීම ඕනෑම අයෙකුට සුදුසු වේ. එහෙත් ළමුන්, යොවුල් වියේ පසු වන්නන්, ගර්භණී හා කිරි දෙන මවුවරුන්ගේ කැල්සියම් අවශ්‍යතාවය ඉහළ බැවින්, කිරි හෝ කිිරි ආහාර දෙකක් දිනපතා ගැනීම සුදුසු වේ.

– ශ්‍රී ලාංකිකයන් සඳහා ආහාර පිළිබඳ උපදෙස් කෘතිය ඇසුරෙනි –
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අවසරය සහිතව පල කරන ලදී.

 

මාස 6 සම්පූර්ණ ළදරුවාට අමතර ආහාර ඇරඹිමේදී දැනුවත් විය යුතු කරුණු

මාස හය එනම් දවස් 180 සම්පූර්ණ වූ ළදරුවාගේ වර්ධනයට අවශ්ය පෝෂක හා ශක්තිය සැපයීමට මව්කිරි පමණක් ප්රමාණවත් නොවන නිසා එතැන් සිට දරුවාගේ නිසි වර්ධනයට අමතර ආහාර හඳුන්වාදීම අවශ්ය වේ.

ළදරුවාට සුදුසු අමතර ආහාර ගැන දැනුවත් වෙමු

මුලින්ම හඳුන්වාදීමට හැකි ඉතාමත් සුදුසු අමතර ආහාරය වන්නේ බත්ය. එය හොඳින් පොඩි කර අර්ධ ඝන ස්වභාවයෙන් හැන්දක් ආධාරයෙන් දරුවාට ලබාදිය හැකිය. පොඩි කරගත් පියලි හා ඇට වර්ග අර්තාපල් එළවළු හා පළතුරු ක්‍රමයෙන් ළදරුවාට හඳුන්වාදිය යුතුය. මාළු, හාල්මැස්සන්, මස් යන ආහාරවලින් එකක් හෝ කිහිපයක් අමතර ආහාරයේ දිනපතාම අඩංගු විය යුතුය. එහෙත් බිත්තර හඳුන්වා දීම සඳහා එතරම් ඉක්මන් විය යුතු නැත. ළදරුවාට වයස අවුරුද්ද සම්පූර්ණ වන විට සාමාන්‍යයෙන් පවුලේ ආහාර හඳුන්වාදීම කළ යුතුය.

අමතර ආහාරයේ පෝෂණ ගුණය වැඩිකර ගතහැකි ක්‍රම ගැන දැනගනිමු

  • සෑම ආහාර වේලකම විවිධ ආහාර අඩංගු කරන්න
  • සත්ව ආහාර පියලි හා ඇට වර්ග හඳුන්වා දෙන්න
  • මාළු/හාල්මැස්සන්/කුකුළු මස් හා අනෙකුත් මස්, සත්ව අක්මා සහ බිත්තර වැනි යකඩ බහුල ආහාර අමතර ආහාරයට එක් කරන්න
  • මීට අමතරව ඇට වර්ග (මුං ඇට, කඩල, සෝයා, කව්පි) සහ පළා වර්ග (තම්පලා, සාරන, ගොටුකොළ) දිනපතා ආහාරයේ අඩංගු කරගන්න
  • පැළවීමට සලසන ලද (මුල් ඇදුණු) පියලි වර්ග අමතර ආහාරය සඳහා යොදා ගන්න
  • පීකුදු, බිත්තර කහ මදය, වට්ටක්කා, කහ බතල, කැරට් සහ තද කොළ පැහැති පළා වර්ග විටමින් ඒ බහුල ආහාර වන අතර ඒවායින් එකක් හෝ කිහිපයක් අමතර ආහාරයට එකතු කරන්න
  • ආහාර පිළියෙල කිරිමේදී පොල්කිරි ස්වල්පයක් හෝ පොල් තෙල්, බටර් හෝ මේද තැවරුම් තේ හැඳි 1-2 ක් පමණ එකතු කිරීමෙන් ආහාරයේ මුදු බව හා රසවත් බව වැඩි කර ගැනීමට හැකිය. එයින් වැඩිපුර කැලරි ප්රමාණයක් අමතර ආහාරයට එකතු වේ
  • ගස්ලබු/අඹ වැනි විටමින් ඒ අඩංගු පළතුරක් ආහාරයෙන් පසු ලබා දෙන්න. ඒ සඳහා දේශීය පළතුරු වර්ග තෝරාගන්න. (පළතුරු ලබා දීමේදී පොඩිකරගත් හෝ පල්පයක් ලෙස සාදාගත් පළතුරු ලබාදිම පළතුරු යුෂ ලබා දීමට වඩා සුදුසුය)
  • යෝගට්, මුදවපු කිරි, සහ ගෙදරදී පිළියෙල කරන ලද ධාන්යමය ආහාර කෙටි ආහාර ලෙස ලබා දිය හැකි අතර මේ සඳහා සීනි හෝ පැණි එකතු කර ගැනීම අවශ්ය නොවේ

අමතර ආහාර ලබා දීමේදී පිළිපැදිය යුතු නිවැරදි උපදෙස්

  • ආරම්භයේ සිටම අර්ධ ඝන ස්වභාවයෙන් යුත් ආහාර හඳුන්වා දෙන්න
  • අමතර ආහාරයට නිවැරදි වූ ඝනත්වය සහ රසයක් ලබාදීම සඳහා මව්කිරි ස්වල්පයක් එකතු කරන්න
  • ආහාර කැවීම සඳහා දරුවාට බඩගිනි වනතෙක් සිටින්න
  • විවිධ වර්ගයේ ආහාර දරුවාට ලබා දෙන්න
  • නිදිමත වීමට පෙර දරුවාට ආහාර කවන්න
  • අසනීප වූ විටදී දරුවාට ලබා දෙන ආහාර ප්‍රමාණය අඩු නොකරන්න. ඉක්මන් සුවය සඳහා වැඩිපුර ආහාර අවශ්‍ය වේ
  • ආහාර පිළියෙල කිරීමට හොඳින් සෝදා ගත් උපකරණ භාවිත කරන්න
  • ආහාර පිළියෙල කිරීමට ප්‍රථම හා දරුවාට කැවීමට පෙර අත් සබන් යොදා හොඳින් සෝදාගන්න
  • විවිධ වර්ගවලට අයත් ආහාර අමතර ආහාරය පිළියෙල කරගැනීම සඳහා යොදාගන්න
  • විවිධ වර්ගවලට අයත් ආහාර වර්ග යොදා අමතර ආහාරය පිළියෙල කරගන්න
  • මාස 8-9 වන විට තනිව ආහාර ගැනීමට දරුවා පුරුදු කරවන්න

බොහෝමයක් ස්වභාවික ආහාරවල ප්‍රමාණවත් ලෙස සීනි හා ලූණු අඅන්තර්ගත වේ. සීනි හා ලූණු රසයට දිව හුරුවීම එය භාවිතයත් සමග සිදුවන්නකි. එමනිසා අමතර ආහාර සඳහා සීනි හා ලුණු හඳුන්වා දිම හැකිතාක් ප්‍රමාද කිරීම හෝ එකතු නොකිරීම යෝග්‍ය වේ. (14 වැනි සටහන)

අමතර ආහාරය සඳහා ලුණු සහ සීනි එකතු නොකිරිමට හේතු

  • ආහාරයට ලුණු එකතු කිරීමෙන් දරුවා වයසින් වැඩෙත්ම ලුණු සහිත ආහාරවලට දක්වන කැමැත්ත වැඩි වන නිසා
  • ආහාරය සඳහා එකතු කරන ලුණු ප්‍රමාණය දරුවාගේ ශරීරයෙන් බැහැර වීම අතපසු වෙයි
  • අධික සීනි සහිත ආහාරවලට පුරුදු වීම නිසා දරුවා පෝෂ්‍යදායි ආහාර ප්‍රතික්ෂේප කරයි
  • සීනි අධික ආහාර ගැනීම නිසා දත් දිරා යයි
  • සීනි අධික ආහාර නිතර පරිභෝජනය නිසා තාරබරුව ඇති වේ
ආහාර අසාත්මිකතාවයන් වළක්වා ගනිමු

ජීවිතයේ මුල් මාස කිහිපය තුළදී ළදරුවන් ආහාර ආශ්‍රිත ආසාත්මිකතාවයන්ට ලක්වීම හේතුවෙන් ද ඇදුම හා සෙම් රෝග වැනි නොයෙකුත් රෝග ඇති විය හැක. සහජ ආසාත්මික රෝග ඇති පවුල්වල ළදරුවන්ට ආසාත්මිකතාවය පිළිබඳ අනතුරු අතිශයින් වැඩිය. මෙවැනි අවදානම් තත්ත්වයේ සිටින ළදරුවන්ට ආසාත්මිජනක ආහාර දීමෙන් හැකිතාක් දුරට වැළකී සිටිය යුතුය. එළකිරි ඇතැම් ළමා කිරිපිටි වර්ග/ඇට වර්ග බිත්තර සුදු මදය හා සමහර මාළු වර්ග මෙවැනි දරුවන්ට හඳුන්වාදීම ප්‍රමාද කිරීම සුදුසු වේ.

අමතර ආහාර දීමේදී ඇතිවන ගැටලූ

  • අමතර ආහාරය පෝෂණ ගුණයෙන් සම්පූර්ණ නොවීම
  • පාචනය වැනි රෝග ඇති කරන විෂබීජයන් ආහාර සමග ශරීරගත වීම

වැඩිපුර ජලය එකතු කිරීම මගින් ආහාරයේ දියාරු ස්වභාවය වැඩි වන අතරම අමතර ආහාරයේ අඩංගු ශක්තිය හා පෝෂක ප්‍රමාණය අඩු වීමට ද හේතු වේ. මෙලෙස ජලය එකතු කිරීම වෙනුවට දොවාගත් මව්කිරි ස්වල්පයක් අමතර ආහාරයට එකතු කිරීම නිසා දරුවාට ආහාර කැවීමට මෙන්ම ගිලීමට ද පහසු වේ. මෙවැනි ආහාරයක් පෝෂණ ගුණයෙන් ඉහළ අතර රසවත් බවින් ද වැඩිය. ළදරුවාගේ ආමාශය කුඩාය. එම නිසා ළදරුවාට එක්වරකට ගත හැක්කේ කුඩා ආහාර ප්‍රමාණයකි. ළදරුවාට ප්‍රමාණවත් පෝෂණයක් ලබා දීම සඳහා දෙනු ලබන ආහාරය ශක්ති ජනක විය යුතු අතර පෝෂ්‍යදායි විය යුතුය.

අමතර ආහාරය සඳහා පැළවීමට සලසන ලද පියලි වර්ග යොදා ගැනීම

  • පියලි වර්ග පැළවීමට සැලසීම මගින් එහි අන්තර්ගත පෝෂක ශරීරයට අවශෝෂණය වීම පහසු වෙයි

පියලි වර්ග පැලවීමට සලස්වා භාවිතයට ගන්නා ආකාරය

  • නොකැඩුණු සම්පූර්ණ පියලි (මුං ඇට/කව්පි/උළුඳු) මේ සඳහා තෝරා ගන්න
  • බීජ අංකුර ඇදෙන තෙක් පියලි පැය 48 ක් පමණ වතුරේ පොඟවා තබන්න
  • ඉන්පසු මෙම පියලි අව්වේ වියළා මදගින්නේ තරමක් බැදගන්න
  • වියළාගත් පියලි වංගෙඩියකින් හෝ විදුලි අඹරණයකින් කුඩු කර ගන්න
  • කට පළල් ඉස්කුරුප්පු මූඩිය සහිත බෝතලයක මෙම සාදාගත් මිශ්‍රණය සුරැකිව ගබඩා කරන්න
  • ආහාර පිළියෙල කරන විට මෙම මිශ්‍රණයෙන් තේ හැන්දක් අමතර ආහාරයට එකතු කරන්න
– ශ්‍රී ලාංකිකයන් සඳහා ආහාර පිළිබඳ උපදෙස් කෘතිය ඇසුරෙනි –
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අවසරය සහිතව පල කරන ලදී.