Home Blog Page 119

අලුත විවාහ වූ ඔබ ඊළගට කළ යුතු දේ දන්නවාද ?

විවාහක යුවලකගේ ඊළඟ සිහිනය තම පවුලට පුංචි කිරි කැටියකු කැන්දාගෙන ඒමය. ඒ සිහිනය කල එලි කරන්නට ඔබට මෙම උපදෙස් වටිනු ඇත.

විවාහ වූ අලුතම තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමුවී ලියාපදිංචිවන්න

අපේ රටේ සියලුම සෑම ප්‍රදේශයකටම පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් පත් කර තිබෙනවා. එනිසා ඔබත් විවාහ වූ අලුතම ඔබ පදිංචි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමුවී ලියාපදිංචි වන්න. එවිට ඔබට ගර්භණීත්වයට පෙරම සිටම දැනුවත් වීමේ හැකියාව ලැබේ.

ෆෝලික් අම්ලය ලබා ගන්න

දරුවකුගේ ස්නායු පද්ධතියේ වර්ධනයට ෆෝලික් ඇසිඞ් අත්‍යවශ්‍ය වේ. කළලයේ ස්නායු වර්ධනය ආරම්භ වන්නේ ගර්භණීත්වයේ මුල් සති කිහිපයේ සිටමය. බොහෝ විට කාන්තාවක් ගැබ් ගෙනඇති බව දැන ගන්නේ සති පහක් හයක් පමණ ගත වූ පසුය. එනිසා දරුවකු අපේක්ෂා කරන කාන්තාවක් ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිටවත් ෆෝලික් ඇසිඞ් 1 mg  ක් පෙත්තක් වශයෙන් ගැනීම වැදගත්ය. එවිට දරුවා පිළිසිඳ ගත් දා සිටම ස්නායු පද්ධතියේ වර්ධනය නිසියාකාරව සිදුවේ. රනිල කුලයේ මුං ඇට, කඩල, කවුපි වැනි ධාන්‍ය වර්ග වලින් මෙන්ම එලවළු  පළතුරු වලින්ද ස්වභාවිකව ශරීරයට අවශ්‍ය ෆෝලික් ඇසිඞ් ලබා ගතහැකිය.

ඔබගේ පෝෂණය පිළිබඳ අවදානය යොමු කරන්න

ගර්භණී වීමෙන් පසු නීරෝගී බව පවත්වා ගැනීමට පෙර සූදානමක් තිබිම ඉතා වැදගත්. ගර්භණී සමයේ පෝෂණය මෙන්ම ගර්භණීවීමට ප්‍රථමව ඇයගේ පෝෂණයත් ගර්භණී සමය පුරාවට මවකගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි සෘජුවම බලපායී. ගර්භණී වීමට ප්‍රථමව අඩු බරක් තිබූ මවක් නම් ඇයට ගර්භණී සමය තුල නියමිත බර කරා ළඟාවීමට නොහැකි වීම තුලින් දරුවා අඩු බරක් සහිත නොමේරූ දරුවකු වීමේ අවදානමක් ඇත. එසේම ගර්භණී වීමට ප්‍රථමව අධි බරක් ඇති මවක් නම් ඇය ගර්භණී සමයේ අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම හේතුවෙන් ඇය මෙන්ම දරුවාද විවිධ සංකූලතාවයන්ට ගොදුරු විය හැකිය. එනිසා ගර්භණීත්වය පෙර සිටම නිසි උසට සරිලන බරක් පවත්වාගෙන යාම ඉතා වැදගත්ය.

ඔබේ ඔසප්වීම පිළිබඳ අවදානයෙන් සිටින්න

ඔබගේ ඔසප්වීම නියමිත කාලවකවානුවට සිදු නොවුනා නම් ගර්භණි පරීක්ෂණය සිදු කරන්න. ඔබ පරික්ෂාවට ලබා ගත යුත්තේ උදෑසන හිස්බඩ පිටකරන මුත්‍රා සාම්පලයකි. එයට හේතුව උදෑසන හිස්බඩ පිටකරන මුත්‍රා සාම්පලයක සාන්ද්‍රණය උපරිමව ඇති නිසාවෙන්ය. මෙසේ ලබා ගත් මුත්‍රා සාම්පලය වෛද්‍ය රසායනාගාරයකට ලබා දී පරික්ෂා කරවා ගත හැකිය. නැතහොත් වෙළෙඳ පොලේ තමන්ටම තනිවම ගර්භණීත්වය පරික්ෂා කර ගත හැකි අයුරින් සකස් කර ඇති කූරක් භාවිත කළ හැකිය.

ඔබ ගැබ් ගෙන ඇත්නම් ඒ බව පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැනුම් දෙන්න

ඔබ ගැබ් ගෙන ඇත්නම් ඒ බව පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැනුම් දුන් පසු ඇය ඔබව සායනයට යොමු කරනු ඇත. ඒ අනුව ගර්භණී කාලය පුරාවටත් දරු ප්‍රසූතියෙන් පසු සේවාවන්ද ඔබට ලබාගත හැකිය.ඔබව සායනයට යොමු කල පසු සායනයේ වෛද්‍යවරයාට සියළු දත්ත ලබා දෙන්න.

සායනයේදී ඔබ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට හා වෛද්‍යවරයාට සැපයීය යුතු තොරතුරු

ඔබට ඔසප් වුනු අවසාන දිනය – ඔබේ අවසාන ඔසප් දිනය නිවැරදිව  දැන ගැනීමෙන් ඔබගේ දරු ප්‍රසුතිය සිදු වන දිනය ගණනය කිරීම පහසු වේ.

උපත් පාලන භාවිතා කලේ නම්, සරු බාවය වැඩි කිරීමට අවශ්‍ය ඖෂධ භාවිතා කලේනම්, විශේෂ ඖෂධ භාවිතා කලේ නම්, ඒ පිළිබද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට හා වෛද්‍යවරයා දැනුවත් කරන්න.

මෙයට පෙර ගබ්සා වීම් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න

ඔබට හා ඔබේ සහකරුට ඇති  රෝගී තත්ත්වයන් මෙන්ම ඔබගේ හා ඔබේ සහකරුගේ දෙමාපියන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳවද දැනුවත්වී සිටින්න.

ඔබ දැනටමත් යම් රෝගයක් සඳහා ප්‍රතිකාර ගන්නවා නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න.

වෛද්‍යවරයෙකු තෝරා ගැනීම

ඔබ දරු ප්‍රසූතියට යාමට බලාපොරොත්තු වන රෝහලේ ලියාපදිංචි වන්න. ඔබේ කැමැත්ත අනුව ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු මුණ ගැසිය හැකිය. ඔබ දැනටමත් කෙනෙකු තීරණය කර තිබෙන්නට පුළුවන. ඔබ එසේ කිසිවෙකු තීරණය කර නැත්නම් ඔබ කැමති රෝහලට ගොස් ඒ වන විට රාජකාරියේ යෙදෙන වෛද්‍යවරයා මුණ ගැසෙන්න. ඔබට කිසියම් බරපතල වෛද්‍ය ගැටළු හෝ සංකුලතාවයන් පවතින්නේ නම් ඔබ තෝරා ගන්නා ලද වෛද්‍යවරයා විසින් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරනු ඇත. එවිට ගර්භණි සමය තුල ඔබව වෛද්‍යවරුන් දෙදෙනාගේම අධීක්ෂණය යටතට පත්වනු ඇත.

හෙට දවස සුබ වෙන්න දරුවන්ට කියා දිය යුතු කරුණු 8ක්

අද ඉන්න අපේ දරුවන් අතර කිසිම පිරිමැස්මක් නැහැ..මේ අද පරම්පරාව ගැන නැගෙන අ‍ඳෝනාවක්  බවට පත්ව තිබෙනවා. ඉස්සර කාලයේ අම්මා තාත්තා දරුවන්ට කියල දුන්නේ හෙට දවස වෙනුවෙන් යමක් ඉතුරු කරන්න ඕන …. එහෙම නැත්නම් හෙට දවස අවාසනාවන්ත විදිහට ගෙවන්න වෙන බවයි. ඒත් අද දෙමව්පියන් අතර වුනත් මේ සංකල්පය නැහැ. ඒ අය අතරත් තියෙන්නේ වර්තමානයේ ජීවත්වීම ගැන අදහස පමණයි.

හෙට දවසට සුනාමියක් ආවොත්

හෙටක් ගැන කතා කරන හැම අවස්ථාවකම දරුවන් කියන්නේ අනේ..හෙට ගැන නෙවෙයි…අද කාල බීලා ඉන්න ඕන..සුනාමියක් ආවොත් සේරම ඉවරයි.. ඒත් සුනාමියක් නාවොත් අපි ජීවත් වෙන්න ඕන කියන සිතුවිල්ල ඔවුන්ට නැහැ. අපේ අනාගතය වෙනුවෙන් යමක් කමක් ඉතුරු කරගත්තොත් හෙට දවස වෙනුවෙන් ශක්තිය ගොඩ නැගෙනවා.  ඒ නිසා දරුවන්ට අද දවසේ පවතින සම්පත් කලමනාකාරනයකින් පවත්වා ගැනීමට උපදෙස් දීම අවශ්‍ය වෙනවා.

කලමනාකරනයක් හඳුන්වා දෙන්න

අතීතයේ හැම නිවසකම තිබුන පිලිගැනීම වුනේ ගඟක මුහුදක දැම්මත් ගානක් මිම්මක් තියෙන්න ඕන යන අදහසයි. ඒත් අද මේ සිතුවිල්ල අපෙන් හොඳටම දුරස් වෙලා. පවුලේ ආදායම දරුවන් දන්නෙත් නැහැ. වෙන දෙයක් තබා අම්මා තාත්තා වුනත් ඒ ගැන තක්සේරුවක් නැහැ. කලමනාකරණයක් වෙනුවෙන් අපි මුලින්ම අපේ ආදායම හ‍ඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට ඒ අනුව ගලපා ගැනීම එතරම් අපහසු නැහැ.

අපිට ලැබෙන්නේ මේ ආදායමයි …. වියදම මෙහෙමයි…

පවුලක මාසික නඩත්තුව විදිහට ලැබෙන දල ආදායමක් තිබෙනවා. මේ ආදායමට අනුව අපි හැඩ ගැහෙන්න වෙනවා. ඒ වගේම මාසය තුල කළ යුතුම වැය බරක් තිබෙනවා. ඊට අතිරේක ඇති වෙන විවිධ වැය අනපේක්ෂිත විදිහට ඇති වෙනවා. මේ නිසා දරුවන්ට ඔබ නිතරම පවුලේ අයවැය අනුව හැසිරෙන්න අවශ්‍ය බව කියා දෙන්න අමතක කරන්න එපා. එවිට දරුවාට වුනත් අපිට ආදායම ලැබෙන්නේ සල්ලි ගහකින් හෝ උල්පතකින් නොවන බව තේරුම් යාවි.

අරපිරිමැස්ම හෙවත් තිබෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න

එදා දරුවන්ට අද වගේ විසිතුරු ලෝකයක් තිබුනේ නැහැ. අද වාණිජ ලෝකය විසින් ඔවුන්ඉදිරියේ මවන විසිතුරු දරා ගන්න අපහසු තරම්. එදා පැන්සල ලියන්න බැරි වුනාම පෑන් බටයක ගහලා ලියන්න සකස් කර ගත්තා. අභ්‍යාස පොත්වල ඉතුරු පිටු අරගෙන ලියන්නට අලුත් පොතක් හදා ගත්තා. ඒත් අද තිබෙන පැන්සල, පෑන, පොත වෙනුවට අලුත් දේ මිලට ගන්නේ ඒවායින් ප්‍රයෝජන ගැනීම අපහසු නිසාවත් ඒවා අවසාන නිසාවත් නොවෙයි.. අලුත් නිෂ්පාදනයක් එහෙම නැත්නම් සන්නාමයක් මාධ්‍ය මගින් පෙන්වූ සැනින්ම ඒ වෙනුවෙන් දරුවාගේ අවශ්‍යතාවය ගොඩ නැගෙනවා.

තරඟයක් මොකටද …?

ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕන….මේ අපිට ඉතාම හුරු පුරුදු කියමනක්. එය සම්පූර්නයෙන්ම ඇත්ත. අපිට නොහැකි දේ වෙනුවෙන් හඹා යා යුතු නැහැ. අල්ලපු ගෙදර පුතා ටැබ් එකක් මිළිට ගත් පමනින්ම ඔබේ දරුවාද ඒ වෙනුවෙන් ඇවිටිලි කළත් එය අදට අවශ්‍ය දෙයක් නොවන බව පහදා දෙන්න. අපි කළ යුත්තේ අපට කළ හැකි සහ අපට අවශ්‍ය දෙය මිසක අනුන් කරන දෙයක් නොවන බව ඔවුන්ට ‍තේරුම් කර දෙන්න.

අවශ්‍ය දෙයට වඩා අත්‍යවශ්‍ය දෙය ගැන පමණක් යොමු වෙන්න

අපේ ජීවිතයේ බොහෝ අවශ්‍යතාවයන් ඇත. ඒත් මේ හැම අවශ්‍යතාවයක්ම දැවෙන අවශ්‍යතාවයන් නොවේ. අධ්‍යාපනය වෙනුවෙන් වූ පොත් පත් දරුවන්ගේ අත්‍යවශ්‍ය දේ බව නොරහසක්. ඒ නිසා ඔවුන්ගේ එම ඉල්ලීම් ඉටු කිරීම අත්‍යවශ්‍ය සේ සැලකීම වරදක් නැත. වර්තමානයේ ලබන අධ්‍යාපනය මගින් ඔවුන්ගේ හෙට දවස නිර්මානය වෙනු ඇත. මේ නිසා අධ්‍යාපනය වෙනුවෙන් වූ යෙදවුම අනාගත ආයෝජනයකි.

දරුවන්ටත් මේ පෙල ගැස්ම කියා දෙන්න. අලුත් රූපවාහිනියක් වෙළඳපොලට හදුන්වා දුන් පමණින් එය පවුලේ අවශ්‍යතාවයක් නොවන බව කියා දෙන්න. ඒ වෙනුවෙන් නැගෙන පෙරැත්තයේදී ඔබ මෙසේ සිතනු ඇත.

අපේ දරුවා අසරණ වෙයි…මේ ලේන් එකේ හැමෝටම අලුත් බ්‍රෑන්ඩ් එකේ ටී.වී තිබෙනවා. ඒත් මේ සංකල්ප දරුවාගේ හිතට එතරම් ගෝචර නැත. ඔවුන්ට ඔබ කියා දුත්තේ මේ ටිකයි.

අපිට මේ තියෙන ටී.වී. එක දැනට ඇති ඔයගොල්ලන්ගේ විභාග ඉවර වුනාම අලුත් එකක් ගමු යන පිලිතුරයි. එය දරුවාට ඒත්තු යන අන්දමින් පහදා දුන් විට ඔවුන්ද ඒ අනුව හැසිරෙනු ඇත.

ණයවීම එතරම් හොද දෙයක් නොවේ

ණය නිසා මුදලත් මිතුරත් දෙකම නැති වෙන බව ඔබ දන්නා දෙයක්. ඊටත් වඩා ඔබ මේ ගැන හිතන්න. ණය වීමට පෙරාතුව එය ගෙවන අන්දම ගැන හිතන්න. දරුවන්ගේ අනවශ්‍ය ඉල්ලීම් වෙනුවෙන් ණය බරින් මිරිකී ලැජ්ජාවට පත් වෙන දෙමව්පියන් ගේ ශෝකාලාපයන් ඔබත් අසා ඇති.ඔවුන් ඔබ මේ අන්දමින් ණයගැති බවට පත් කරනු ලැබුවේ බාල කාලයේ පටන් අරපිරිමැස්මකින් සහ සකසුරුවමෙන් කටයුතු නොකළ නිසාය. මෙම සංකල්ප ඔවුන්ගේ හදවතේ තිබුනේ නම් කිසිම දිනක මව්පියන්ට මේ අපහසුතාවය ඇති කරවන්නේ නැත.

ණය නැති නම් ඒ සැපයක්

සමාජයේ පිලිගැනීම තිබෙන්නේ ණය වී ඇඳුම්ඇඳීම, බඩු මුට්ටු ගැනීම වැනි කටයුතු මත නොවන බව දරුවාට කියා දෙන්න. රටට ලෝකයට අභිමානය මවා පාන්නට මේ අන්දමින් කටයුතු කිරීම ඉතා අනතුරුදායක බව දරුවන්ට තේරුම් කරන්න. බාලකාලයේ පටන් කිසිම කෙනෙකුගෙන් ණයට යම් යම් දේ ඉල්ලා ගැනීමෙන් වැලකී ස්වාධීනව තමන්ගේ අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම වැදගත් බව කියා දෙන්න. ණය නොවී සිටින්නට හැකි නම් ඒ තරම් උතුම් සැපතක් වෙනත් නැති බව දරුවන්ද දැන ගත් විට තමාගේ පවතින සම්පත් තුලින් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔවුන්ද යොමු වෙනු ඇත.

දරුවන්ට බනින්න විශේෂණ එපා

දරුවන්ට බනින්න ගියාම අම්මා තාත්තා වුනත් සීමාව පනින විදිහට වචන හසුරුවනවා. සමහර අවස්ථාවලදී මේ වෙනුවෙන් පිටකරන වචන දෙමව්පියන්ගේ කටට ආවාට නිකුත් කළත් ඒවායෙන් දරුවාගේ මනසට සිද්ධ වෙන බලපෑම සුලුපටු නැහැ.

මොනවද මේ වචන

සමහර දෙමව්පියන්ට තමන්ගේ ශබ්ද කෝෂයේ පාලනයක් ඇත්තේම නැහැ. ගොනා, බූරුවා, කාලකන්ණියා , මූසලයා මේ වගේ වචන වලින් දරුවාට  තමන්ගේ කෝපය පිටකරවනවා.

ඉතින් දරුවා බූරුවෙක් නොවෙයි නේ,

සමහර විට ඔබත් මේ විදිහට හිතනවා ඇති. අපි අම්මා තාත්තා විදිහට දරුවන්ට මොන තරම් ආදරෙයිද…? මේ වචන ඉතින් කියන්නේ කටට ආවාට මිසක දරුවන් ගැන වෛරයකින් ක්‍රෝධයකින් නොවෙයිනේ…ඒ වගේම මව්පියන් වුනත් වචන පිටකරන්නේ ඒවා අන්වර්ථ නිසාම නොවෙයි. ඒ වුනත් මේ වගේ අවතක්සේරු වචන නිසා දරුවාගේ පෞරෂයටත් විශාල බලපෑමක් ඇති වෙනවා.

තමා ගැන අවතක්සේරුවක් ඇති වෙනවා

දරුවන්ගේ ලෝකයේ සිටින වැදගත්ම චරිතයන් වන්නේ තමන්ගේ අම්මායි තාත්තයි. පවුල තුල හැසිරෙන විට දරුවාගේ සුවිශේෂී ආරක්ෂකයන් වන්නේ මේ දෙදෙනා බව ඔවුන් හිතනවා. ඒත් වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව වගේ…අම්මා තාත්තා මේ විදිහට අවතක්සේරුවක් දරුවාට ලබා දෙනවා නම් ඔවුන්ද තමා මුල් කර ගෙන ඒ විදිහට හිතන එකෙත් ඇති වැරැද්දක් නැහැ.

ආත්මානුකම්පාව

පුංචි දරුවන්ගේ ලෝකයේ සිටින ආරක්ෂකයා වන්නේ දෙමව්පියන් පමනයි. මේ නිසා ජීවිතයේ ශක්තිය ගොඩ නැගෙන්නේ මේ සෙවනේදී බව ඔබ අමතක කරන්න එපා. ඒ නිසාදරුවන්ට ඉතාම ලයාන්විතව ආමන්ත්‍රනය කරන්න. එහෙම නැතුව බෙලිකටු මල්ල හොලවනවා වගේ උදේ දවල් රැය නැතුව නැගෙන කටුක කඨෝර වචන නිසා දරුවාගේ හිතේ ඇති වෙන සංකල්පයන් ඒ තරම් සුබවාදි නැහැ. අනේ මට අම්මා තාත්තා මේ විදිහට අපහාස කරන්නේ ඇයි යන ගැටුම නිතරම හිතට වද දෙනවා. මේ වචන එන්නේ හදවතින්ම නොවන බව දරුවාට තේරෙන්නේ නැහැ. ඒත් මේ වචනවලින් නැගෙන දරුණු බව ඔහුගේ හදවතට වධයක් වෙනවා.

ආත්මාභිමානයට බලපානවා

තමා මුල් කර ගත් අභිමානයක් හැම කෙනෙකුටම තිබෙනවා. මේ තත්වය නිසා අනාගතයේදී විශේෂ හැකියාවන් වර්ධනය වෙනවා. ඒත් මෝඩයා යනුවෙන් දරුවා ආමන්ත්‍රනය කළ විට එතැනින්ම ඔහුගේ ඉදිරි ගමන අවසානයි.

ගුරුවරුන්ද මේ ගැන දැනගත්තොත් හොඳයි

සමහර අවස්ථාවල ගුරුවරුන්ගේ වචනත් දරුවන්ට ඉතාම තදබල විදිහට බලපාන්න පුලුවන්. දරුවෙක් මුල් කර ගෙන වර්තමානයෙන් තක්සේරු කරන්න බැහැ. තෝමස් අල්වා එඩිසන් පංතියේ දුර්වල දරුවෙක් වුන නිසාම ඔහුගේ ගුරුවරයා තම මවට ලිපියකින් මේ විදිහට ලියා යැව්වා.

” ඔබේ මේ බල්ලා ගෙදර බැඳගනින්…” පුංචි තෝමස් අම්මාට මේ ලිපිය ගිහින් දුන්නා. පහුවදා පටන් තෝමස් පාසලට යැව්වේ නැතැත් අම්මා පුද්ගලිකව ගුරුවරයෙක් ලවා ඔහුට උගන්වන්න පටන් ගත්තා. ඇයි අම්මේ මම ඉස්කෝලේ යන්නේ නැද්ද?..දවසක් තෝමස් ඇහුවා.

නැහැ පුතා..පුතා බොහොම දක්ෂ දරුවෙක්..ඒ නිසා පංතියේ පුතාට ඉගෙනගන්නවාට වඩා යමක් පුද්ගලිකව ඉගෙන ගන්න පුලුවන්. අම්මා පිලිතුරු දුන්නා. තෝමස්ද ඉගෙනුමට පසු නොබා හොදින් ඉගෙන ගත්තා.

කාලයක් ගිහින් තෝමස්ට අර ගුරුතුමා එවන ලද ලිපිය හමුවුනා. එය කියවූ ඔහුට අම්මා ගැන පුදමු ගරුත්වයක් ඇති වුනා. ඇතත්ටම එදා මේ බල්ලා යැයි හංවඩු ගැසූ තෝමස් වෙනුවෙන් අම්මා මේ විදිහට තීරණයක් නොගත්තා නම් අද අපිට විදුලි බල්බයේ ආලෝකය ලැබෙන්නේ නැහැ.

ඒ නිසා පංතියක වුනත් මොනතරම් පසුගාමී දරුවෙක් හිටියත් ඔහු වෙනුවෙන් විශේෂණ පද ගොඩ නැගීම නම් ගුරුවරුන් විසින් නොකල යුතුම දෙයක්. වයසට තිබෙන දඟකාරකම් වගේම අවධානය නොදක්වා හිටියත් ඔවුන්ගේ බුද්ධිය ගැන අපි දන්නේ නැහැ. පංතියක ඉදිරි පෙල සිටින දරුවන් අභිබවා සමහර අවස්ථාවල පසුපෙල දරුවන් ඉදිරියට යනවා. ඒ නිසා කිසිම විදහකින් මේ අයට අවතක්සේරු වෙන විදිහට කතා නොකල යුතුමයි.

සමාජයට බියයි

මට කිසිම වටිනාකමක් නැහැ. යන සංකල්පය දරුවාගේ හිතේ ගොඩ නැගෙන්න පටන් ගන්නවා. ඇයි ඉතින්…අම්මා තාත්තා නිතරම තමාව ආමන්ත්‍රනය කරන්නේ ගොනා, බූරුවා, කාලකණ්නියා කියන වචන වලින් නිසා දරුවා හිතන්නෙත් තමා නොවටිනා කෙනෙක් බවයි. මේ නිසාම ඔහු සමාජය සමග සම්බන්ධතාවයන් පටන් ගන්නත් වගේම පවතින සම්බන්ධතාවයන් වුනත් දිගින් දිගට පවත්වා ගැනීමට උත්සාහ ගන්නේ නැහැ.

නොමග යන්නත් ඉඩ තිබෙනවා

දරුවන් නිතරම තමන් වෙනුවෙන් මව්පියන්ගේ ගරුත්වය බලාපොරොත්තු වෙනවා. ඒක ඉතින් දරුවන්ට විතරක් නොවෙයි සතුන්ට වුනත් පොදුයි. දරුවන්ගේ පෙල පොතේ තිබෙන ” නන්දිවිසාල ජාතිකය ” කියවන ඔබටත් මේ බව තේරුම් යාවි. මොන තරම් හීලෑව සිටි නන්දිවිසාල ගවයා බර අදින්න පසුබැස්සේ තමාගේ හිමිකරුවා නපුරු විදිහට කතා කල නිසයි. ඒත් කරුණාවෙන් ආමන්ත්‍රනය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මීට වෙනස්. ඔබ අලියන්ගේ ගති පුරුදු දන්නවා නම් වචන මොන තරම් බලවත්ද සිතාවි. අලියත් ගරුත්වයට කැමැතියි. රාලහාමි කියන ආමන්ත්‍රනයට කැමැති අතර ගෙරියා..වැනි අවතක්සේරුවට නම් මනාපයක් නැහැ. සතුන් පවා වචන ගැන මේ තරම් අවධානයක් දක්වනවා නම් යමක් කමක් තේරුම් ගැනීමේ බුද්ධිය තිබෙන අපේ දරුවන් ගැන ඉතින් කවර කතාද…?

බොරු කිව්වොත් නාසය දිග් වෙනවා

බොරු කියන දරුවන් බොහොම නිර්මානශීලි බව දැන් මනෝවිද්‍යාඥයන් විසින් පිලිගෙන තිබෙනවා. ඒත් දරුවන් බොරු කියන එක ගැන අපිට අනුමත කරන්න බැහැ. ඒ නිසා දෙමව්පියන් ඉතාම අසීරුතාවයට පත් වෙන අතරම සමාජය තුළ දරුවා ගැන තිබෙන විශ්වාසය බිඳවැටෙනවා. දරුවන් බොරු කියන විට ඒ වෙනුවෙන් දඬුවම් විදිහට දෙමව්පියන් ඔවුන්ගේ කටේ මිරිස් ඇතිල්ලීම, වැනි දැඩි දඩුවම් පමුණුවනවා. ඒ තත්වය නිසා දරුවන්ගේ මානසික බිඳවැටීම සිද්ධ වෙනවා. ඒත් බොරුවෙන් දරුවා මුදවා නොගෙන ඉන්නත් බැහැ. බොරුව නිසා ඇති වෙන තත්වයට ඔබත් කවදා හෝ දිනක මුහුණ දී ඇති…..

මව්පියන් නොමග යනවා

දරුවා කියන්නේ බොරුවක්ද නොඑසේනම් අැත්තක්ද යන්න මව්පියන්ට වටහා ගැනීමත් සමහර අවස්ථාවලදී අපහසුයි. දරුවාගේ බොරු කියන අවස්ථාවන් කිහිප විටකදීම අහු වුනොත් මේ ගැන චකිතය දෙමව්පියන්ට ඇති වෙනවා. ඒත් සමහර අවස්ථාවලදී මව්පියන් දරුවා ගැන උපරිම විශ්වාසය තබා සිටියදීම මේ විදිහට දරුවන් විසින් මව්පියන් නොමග යවන අවස්ථාවනුත් තිබෙනවා. පැරණි ජනකතාවක සඳහන් විදිහට කොටියා ආවා…වගේ ඇත්තක් කිව්වත් එය තේරුම් ගන්න අපහසු වෙනවා.

දරුවා බොරුකියන බව දැනගත්තොත් ආවේශ වෙන්න එපා

ඔබේ දරුවා බොරු කියන අවස්ථාවක් ගැන දැනගත් විට ඒ වෙනුවෙන් වූ ගණුදෙණුව ඉතා ප්‍රවේසමෙන් කළ යුතුයි. පංතියේ මිතුරන් අතර, ගුරුතුමියට මෙයා කියන්නේ බොරු …විශ්වාස කරන්න එපා යනුවෙන් ඔහු ප්‍රසිද්ධ බොරුකාරයෙක් බවට පත් කළ යුතු නැහැ. එහෙත් ඔහු කියන බොරු ඔබ කෙසේ හෝ හඳුනා ගත යුතුය.දෙවැනි වසරේ ඉගෙනුම ලබන දියනිය සතියේ දින පහට රැගෙන යා යුතු ආහාර වට්ටෝරුව ඊට පෙර දින ඉිදිරිපත් කලේ පාසලෙන් ලද නියෝගයක් විදිහටයි. එක් දිනක් ඇය කියා සිටියේ හෙට මඤ්ඤොක්කා ගෙනෙන්න කී බවයි. ඒ දිනවල දැරිය සෙම් රෝගය වෙනුවෙන් බෙහෙත් බොන නිසා මව මඤ්ඤොක්කා දීමට කැමැත්තක් නොදැක්වූ අතර ඇය පංති භාර ගුරුතුමියට දුරකථන ඇමතුමක් ලබා දී කියා සිටියේ මඤ්ඤොක්කා සහ ඖෂධ අතර අන්තර් සම්බන්ධතාවයක් තිබුනොත් එය අහිතකර විදිහට බලපා හැකි නිසා වෙනත් යමක් එවන්නදැයි යනුවෙන්ය.

කමක් නෑ ළමයා කැමැති දෙයක් එවන්න…දැරියගේ විධාන ගැන කිසිම සඳහනක් නැත අම්මාට සිද්ධිය තේරුම් ගියත් දියනිය අපහසුවට පත් කිරීමට අපහසු නිසා ඇය හා හොදයි යනුවෙන් නිශ්ශබ්ද වුවා පමණි.

පසුව ඇය දැරියට අවවාද කළා මිස මේ ගැන හාංකාවිසියක්වත් ගුරුතුමියට දැනගන්නට ඉඩ තැබුවේ නැත.

බොරුව වංචාවට හැරෙන්න පුළුවන්

සමහර අවස්ථාවලදී දරුවන් ගණුදෙණු මුල් කර ගෙන බොරු කියන අවස්ථා ඇත. මුලින් රුපියලක් දෙකක් වෙනුවෙන් පටන් ගන්නා මෙම බොරුව පසුව විශාල මුදලක් තෙක් වර්ධනය වෙන්න පුළුවන්. ඒ සිදුවීම් ගැන සෙමව්පියන් ඉතාම සියුම් ලෙසින් පසුවිපරම් කිරීම අවශ්‍ය වේ.

පුතා මේ පොත කීයද….සමහර විට ඔහු කියන මුදල සත්‍යක් නොවනු ඇත. ඔබ දරුවා එම පොත මිලට ගත් ආයතනයෙන් ඒ ගැන අසා දැන ගන්න. එවිට ඔබට දරුවා කියන දෙය ගැන නිශ්චිතවම බොරුව බැව් හඳුනා ගෙන එයින් පසුව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. පදනම් විරහිතව චෝදනා කිරීමත් ඒ තරම් සුදුසු නොවන නිසා මුලින් දරුවා කියන බොරුව පිලිබඳව තහවුරුව ඔබ ගොඩ නගා ගන්න.

බොරුවේ ආදීනව ගැන කියා දෙන්න

දරුවා බොරුවෙන් මුදවා ගැනීමට නම් එහි ආදිනව ගැනත් ඔහුට කියා දීම ඉතා වැදගත් වේ. මේ වෙනුවෙන් උපදේශාත්මක කවි ලෝවැඩ සඟරාව වැනි පද්‍ය ග්‍රන්ථයන්හි ඇත.

” ලැදිව රජෙක් බොරු බස් කී විගසකයා
නැතුව රිද්දි බලයත් ඒ මිනිස් කයා “

 

මේ අන්දමේ උපදේශ මගින් බොරුවේ ආදිනව දරුවාටත් ඒත්තු යනු ඇත. බොරු කීමේ ආදිනව නිසා කපිල මාලුවාගේ කටින් නික්මුන දුර්ගන්ධය ගැන කියා දීමට පුළුවන්.

බොරු කිව්වොත් නාසය දිග් වෙනවා

පිනෝකියෝ කතාව දරුවන් අතර මොනතරම් ජනප්‍රිය වූවාද යත් දරුවන් බොරු කියන විට දෙමව්පියන් ඔවුන් වෙනස් කරනු ලැබුවේ පිනෝකියෝගේ මෙන් නාසය දිගු වේය යන සියුම් උපක්‍රමයෙන්. එහෙත් නාසය සහ බොරුව අතර සම්බන්ධතාවයක් පවතින බව ස්පාඤ්ඤයේ ග්‍රැනඩා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා. ඔවුන් මෙම තත්වය හඳුන්වන්නේ පිනෝකියෝ (Pinocchio effect) ආවරණය නමින්.මෙම අධ්‍යනය වෙනුවෙන් තාප රේඛන (thermography)  පර්යේෂන ක්‍රමවේදය යොදා ගත්තා. මෙම ත්‍රමවේදය මීට පෙරාතුව යොදා ගෙන තිබුනේ දෙවැනි ලෝක මහා සංග්‍රාම කාලයේදියි. එහෙත් මනෝවිද්‍යාත්මක තොරතුරු වෙනුනේ මෙතෙක් මෙම ක්‍රමය යොදා ගත්තේ නැහැ.

ග්‍රැනඩා විශ්ව විද්‍යාලයේ එමිලියෝ ගෝමස් මිලාන් සහ එල්විරා සලාසාර් ලෝපස් විසින් ඔවුන්ගේ අධ්‍යනයන් වෙනුවෙන් තාපරේඛන ක්‍රමය යොදා ගත්තා. එහිදී පෙනී ගියේ අපේ මනසේ ක්‍රියාකාරිත්වයට අනුව සිරුර විවිධ ප්‍රතිචාර දක්වන බවයි.අපි බොරුවක් කියන්නේ අනුදැන්මක් ඇතුවයි. එවන් අවස්ථාවලදී නාදය සහ ඒ අවට ප්‍රදේශය උණුසුම් වී පිම්බීමක් සිද්ධ වෙනවා. දරුවන් ඉගෙනුම් කටයුතුවලට උදාසීන වෙන විට බූරුවන්ට මෙන් කන් එන බවත් බොරු කියන දරුවන්ට පිනෝකියෝ මෙන් නාසය දිගු වෙන බවත් කියමින් දරුවන් බිය ගැන්වීම පිළිබඳව අපි එතරම් තැකීමක් නැහැ. කොහොම වුනත් බොරුව සහ නාසයේ ප්‍රමාණය අතර සහසම්බන්ධතාවයක් ඇති බව දැන් නම් තේරුම් යනවා.

එහෙමනම් මේ විදිහට විවිධ ප්‍රයෝග මගින් බොරුවට තිත තියනු මිස දැඩි දඬුවම් පැමිණවීම නම් ඒ තරම් සුබවාදී නැත.

පොඩි පැටියට බත් කවන්න ගෙදර යුද්ධයක්

අනේ ඇත්තටම හම්බ කරන්නයි උයන්න පිහන්නයි මෙච්චර අමාරු නැහැ. මේ ගොල්ලන්ට බත් කවන්න ගියාම පිස්සු හැදෙනවා. බොහෝ අම්මලාගෙන් මුවින් පිට වෙන මේ මැසවිල්ල ඔබටත් පුරුදු ඇති. ඇත්තටම දරුවාට අවශ්‍ය පෝෂණය ළමා කාලයේදී නොලැබුනොත් ඔවුන්ගේ අනාගතයේදී ඇති වෙන පෝෂණ ඌනතාවයන්ට පිලිතුරු සොයන්න ලේසි පහසු නැහැ. එහෙමනම් දරුවන්ට කන බොන එකත් අම්මලාට කවන පොවන එකත් කරදරයක් නොවන විදිහට අපි මේ ගණුදෙණුව ඉදිරියට ගෙනි යමු.

බල කරන්න එපා

බොහෝ වෛද්‍යවරුන් කියන්නේ දරුවන්ට ආහාර දීමට බල කරන්න එපා යන්නයි. ඇත්තටම බල කිරීම දරුවාට වධයක්. ඒ නිසාම ඔවුන් මව්පියන් කෝප ගන්වන විදිහටත් හැසිරෙනවා. සාමාන්‍ය වයසකට ආ විට දරුවාගේ ආහාර මේසයක් මත තබා ඔබ ඔහුට බල කරන්කේ නැතුව සිටියොත් ඔහුම ඒ වෙත යොමු වෙන තරමටම තත්වය සාමාන්‍ය විය හැකියි.

ආකර්ශණීය වීම

දරුවාගේ ආහාරය බැලු බැල්මටම ආකර්ශණීය වුනොත් ඔහු තුළ නොදැනම ආහාර රුචිය ගොඩ නැගෙන්න පුළුවනි. මේ වෙනුවෙන් ඔබ තෝරා ගන්නා ආහාරය ඉතා වැදගත් වේවි. එහි වර්ණවත් බව ගොඩ නැගෙන විදිහට පිලියෙළ කරන්න.

එකම වර්ණයේ ආහාර වෙනුවට විවිධ වර්ණ කෝරා ගන්න. උදාහරන විදිහට බෝංචි, කැරට් , බීට් විදිහට.

විවිධ හැඩතල හදන්න

බත් කෝප්පයක් විදිහට… එහෙම නැත්නම් කෙසෙල් කොළයක ගැට ගසා.. කැන්ද කොළ , නෙළුම් කොළ එලන ලද වට්ටියක…

ඔබට බත් කෝප්පයක් ගෙන එය කෝම්පිට්ටුව සේ පිඟානක මුනින් නවා එහි බිත්තර පලු වලින් ඇස් තබන්න. කැරට් පලුවක් ගෙන කට ලෙසින් සරසන්න. බත් කෝප්පයෙන් මිනිස් හැඩ රුව මවන්න. දරුවාට එය මහත් ආකර්ශනයක් ඇති කිරීමට පුලුවන්.

ආහාරයේ විවිධත්වයක් අවශ්‍යයි

හැමදාම බත්, පරිප්පු සහ අලුත් මාලු වෙනුනට මෙම රටාවේ වෙනසක් ගොඩ නගන්න. ඔබට බත්  තෙම්පරාදුවක්. එළවලු බතක් එසේත් නැත්නම් කහ බතක් ලෙසින් විවිධ අන්දමින් පිලියෙල කර ගත හැකියි.

එලවළු වුනත් ඒ විදිහට එකාකාර රටාවෙන්ම පිලියෙල නොකරන්න. එකාකාර කැරට් ව්‍යංජනය විදිහට මැල්ලුමක්, සලාදයක් එහෙම නැත්නම් තම්බා ගෙන විවිධත්වයක් ගොඩ නගා ගත හැකියි. පලා වර්ග වුනත් එහෙමයි. පලා මලවන්නම නියමයක් නැහැ. ඒවා සලාද විදිහටත් පුළුවන්. ඒ වගේම මුකුණුවැන්න , ගොටුකොළ මිටිකිරි ස්වල්පයක් දමා පිසගන්නත් පුළුවන්. ‍ගොටුකොල වැනි පලා වර්ග සුප් එකට යොදන්න. එයින් දරුවාට උගුරට හොරා බේත් කවන්නා සේ ඔහු නොදැනම අවශය පෝෂණය ලබා දීමට හැකි වේ.

ආහාරවල ගැලපීමක්බොහෝ දරුවන්ට ආහාර අප්‍රිය වන්නේ එහි කිසිදු ගැලපීමක් නැති නිසාය. කිසිම විට හොදි සහිත ව්‍යංජන දෙකක් එක් වේලට පිළියෙල නොකරන්න. එක් හොදි ව්‍යංජනයක් සමග මිරිසට හෝ බොරට එකක්ද මැල්ලුමක් සලාදයක් වැනි වෙන් ආකාරයකට පිසින ලද දෙයක් එක් කරන්න.

හැමදාම මේසය එපා

දරුවාට ආහාර දෙන විට එකාකාර රටාවට මේසයටම දෙන්න එපා. තුන්සිය හැටපස් දවසේම මේසයේ ආහාර ගන්නා විට දරුවාට එතැන අප්‍රසන්න ස්ථානයක් වෙනු ඇති මේ නිසා වෙනසක් ඇති වෙන විදිහට පැදුරක් බිම එලා එම ස්ථානයේ දරුවා තබන්න. සෙල්ලම් ගෙයක සෙල්ලම් කරන විට එතැනට ආහාර ගෙන ගොස් ඔහුගේ නිවසේ අමුත්තකේ ලෙසින් ඔබ සිටින්න. මේ අන්දමින් ඇති වෙන වෙනස නිසා ඔහුගේ ආහාර රුචිය ඇති වෙනවා පමණක් නොව ඔබට වධයක් නොවන විදිහට ඔහු ආහාරය බුත්ති විඳිනු ඇත.

මේ ගැනත් ටිකක් ඔබ හිතුවොත්…

නිවසේදී ආහාර ගන්නා වේලාවට යුද්ධයක් කරන, මට අරක එපා… මේක එපා…යැයි ඔබ ආවේශ කරන දරුවා පිටස්තර තැනකදී කිසිම කරදරයක් නොකර ඔබ නොහිතන අන්දමින් ප්‍රමාණාත්මක බත් පිගානක් ආහාරයට ගන්නා අවස්ථාවන් ඇත.

එවන් අවස්ථාවලදි මේ අන්දමින් කතා බහත් ගොඩ නැගෙනු ඇත.

අද බත් හොඳට කෑවා…ගෙදරදී පලා කොලයක් කවා ගන්න බෑ …..අද…? කවුරුවත්ම කිව්වෙත් නෑ එයාම හිතල කෑවා..ඇත්තටම මෙතැන ඇති රහස මොකක්ද…?

  • ඔබේ බලපෑමක් නැහැ
  • වෙනස් පරිසරය
  • දරුවා ගැන විශේෂ අවධානයක් නැති වීම
  • සමහර විට ඔහුගේ සම වයස් කණ්ඩායම් සිටීම

මේ නිසා ඔහුට රිසි සේ ආහාර බුත්ති විදින නිදහස ලැබුණි. වෙනදා මෙන් පුතා…බත් කන්න…යන ඇවිටිල්ල නැතිව ඇති.

බත් නොකන දරුවන් වෙනුවෙන් ඉතා හොඳ කතන්දරයක් ඇත. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ උඩගිය බබා කථාන්දරය ඇසූ දිනයේ පටන් මම බත් කෑමට කිසිම කරදරයක් කළේ නැත. මේ කතා‍ව කිසිම කෙනෙක් විසින් මගේ මනසට දැම්මේද නැත. මගේම අවශ්‍යතාවයෙන් එම ළමා පොත කියවූ දින පටන් ඇති වුනේ බත් නොකැවොත් උඩ යයි යන බියය. ඒ නිසා මගේ උවමනාවෙන්ම බත් කන්නට පටන් ගත්තේ එතැන් පටන්ය.

බත් කවන විට රසකතා කියන්න

අපේ අම්මා මට බත් කැව්වේ කුරුල්ලන් ලෙස ගුලි සකසා ගෙන එක් එක් ගුලිය කටට දැම්මේ කුරුල්ලන් ඉගිලි යන අන්දම කියමින් කටට බත් කටවල් ඇතුල් කිරීමයි. ඇය ඉතා රසට බත් ටික අනා ඒවා ගුලි කිහිපයකට පිඟානේ තබා ගනීත මා නොකන සියල්ල නොදැනෙන ලෙසින් මේ බත් ගුලිවල අනා ඇති නිසා වෙන් වෙන් වශයෙන් ඒවා නොකන්නේ යැයි ප්‍රතික්ෂෙප කරන්නේද නැත.අන්තිම බත් ගුලිය නොකන තැනට පත් වුනොත් අනේ මේ චූටි කුරුල්ලාට පව්…අම්මා ගෙදර යන්න බැරි වෙලා…ලෙසින් වූ ඉකාම සම්‍ය ප්‍රයෝග ඇය දැන සිටියාය. මට ප්‍රමාණවත් ලෙසින් බත් පිගානට කුරුල්ලන් සකසා ගන්නටද ඇය දැන සිටියාය.ඒ නිසා දකින විටම එපා වෙන අන්දමින් විශාල බත් පිගානක් බෙදා ගෙන ඇවිත් එය කන්න යැයි පෙරැත්තයක් කිසිදු දිනක සිදු වුනේ නැත.

බතට පසු අතුරුපසක් දෙන්න

බත් හෙවත් ප්‍රධාන ආහාරයෙන් පසුව දරුවාට අතුරුපසක් ලබා දෙන්න. ඒ වෙනුවෙන් ඔහු බත් ආහාරයට ගත යුතු බව දන්නා නිසාම යම් අන්දමින් උනන්දුවක් ඇති කර ගනු ඇත. මෙම අතුරුපස පලතුරු සලාදයක් වුනොත් එය වඩාත් ගුණදායක වේ. සලාද ලෙසින් අකමැත්තේ නම් ප්‍රිය කරන පළතුරක් ආහාරයට දෙන්න. එසේත් නැත්නම් රසකැවිල්ලක් වුනත් කමක් නැත. ආහාර අවශෝෂනය වෙනුවෙන් ප්‍රධාන ආහාරයට පසුව සීනි හෙවත් පැණි රස වඩාත් ප්‍රතිඵලදායක බැනවි වෛද්‍යවරුන් විසින්ද අනුමත කොට ඇත.

දරුවෙකු ස්මාට් ෆෝන් එකකට සුදුසු වයස බිල් ගේට්ස් හෙලි කරයි

නව පරිගණක කර්මාන්තයේ නිර්මාණකරුවා පවා දරුවන් ස්මාට් ෆෝන් භාවිතයෙන් ඈත් කළයුතු බව පවසන විට අපේ සංස්කෘතිය තුළ නව තාක්ෂණ භාවිතය සීමාව ඉක්මවා ඉහළ ඉසව්වකට නැංවී ඇති බව පෙනේ. වයස අවු 14 පිරෙන තෙක් දරුවෙකු ස්මාට් ෆෝන් භාවිතයෙන් මුදා ගත යුතු බව බිල් ගේට්ස් සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත. තාක්ෂණය සහ මව් පිය වගකීම් පිළිබඳ විශේෂඥයින් දැඩිව පවසන්නේ නව තාක්ෂණය දෙසට දරුවන් දක්වන ආකර්ෂණය හැකි තරම් දුරට ඔවුන්ගෙන් ඈත් කළයුතු බවයි. සිවු වසරක් පුරා ලෝකයේ ධනවත්ම මිනිසා වූ බිල් ගේට්ස් පවසන්නේ ඔහුත් ඔහුගේ බිරිඳ මෙලින්ඩාත් ඔවුන්ගේ දරුවන්ට ස්මාට් ෆෝන් භාවිතයට අවකාශ නොදෙන බවයි.ඔවුන් දෙදෙනා ද තිරය අභියස ගෙවන කාලයට බොහෝසේ සීමා පනවාගෙන ඇත්තේ ඔවුන්ගේ කාලය වඩාත්ම දරුවන් වෙත යොමු කිරීමේ අභිලාෂයෙනි.

බ්‍රිතාන්‍ය පුවත් පතකට අදහස් දක්වමින් ඔවුහු ඒ වෙනුවෙන් පනවා ඇති නීති රීති පද්ධතිය සහ විනය පිළිබඳ තම ආකල්ප පැහැදිලි කළහ.

”අපි ආහාර ගන්නා මේසය මත ජංගම දුරකථන නැහැ. අනිත් අය අත ජංගම දුරකතන ඇති බවට ඔවුන් මැසිවිලි නැගුවත් අපි අපේ දරුවන්ගේ වයස අවුරුදු 14 පිරෙනතුරු දරුවන්ට ජංගම දුරකථන දෙන්නෙ නැහැ. අපි රූපවාහිනි තිරය වෙනුවෙන් වුණත් වෙලාව සීමා කරනවා. එවිට ඒ වෙනුවෙන් ගත කරන කාලය ඉතිරි වෙනවා. ඒකෙන් දරුවො වැඩි වේලාවක් සුවසේ නිදා ගන්නවා.ඒ ඉතිරි කරන කාලය වඩාත් ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේදැයි දැන් ඔබ සිතනවා නේද? ඒක පියවා ගන්නෙ මිතුරන් ඇසුර, ගෙදර දොරේ වැඩ හා වෙනත් අවශ්‍ය වඩා වැදගත් කටයුතු වල නියැලීමෙන්”

එය එතරම් බරපතල නොවූවත්, ඔස්ට්‍රේලියානු දරුවන් ගැන සිතන විට නම් බොහෝ පමා වැඩියි.

රෝයි මෝගන්ගේ ඔස්ට්‍රේලියානු සමීක්ෂණයට අනුව වයස අවුරුදු 10 දී සෑම ඔස්ට්‍රේලියානු දරුවන් පස් දෙනෙකුගෙන් එක් දරුවෙකුටම ස්මාට් ෆෝන් තියෙනවා. එම ප්‍රතිශතය ඉහළට පිමි පනිමින් වයස 12 වන විට දරුවන් ¾ කටම ස්මාට් ෆෝන් තියෙනවා.

තාක්ෂණ උපකරණ අලෙවි කරුවන් දරුවන් අලලා කරන අලෙවි කටයුතු අතරතුරේ වුව ඔවුන්ගේ දරුවන් හමුවේ තම නිෂ්පාදන ගැන සිතන අන්දම  මිය යාමට පෙර ඇපල් සමාගමේ සමස්ථාපනකරු වූ ස්ටීව් ජොබ්ස්, නිව්යෝක් ටයිමිස් වාර්තාකරුවෙකුට පැවසූ මේ අදහසින් ඔබට හොදින්ම පැහැදිලි වේවි. ”ඔබේ දරුවන් නව අයි පෑඩ් එක ගැන මොකද හිතන්නෙ? ස්ටීව් ජොබ්ස්ගේ පිළිතුර වුණේ අපේ නිවසේ ඒව තහනම් යන්නයි

ඇඟිලි උරන දරුවන්ට දිය යුතු සහ නොදිය යුතු දඬුවම් ගැන දැනගන්න

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම මව්කුස තුළ දරුවෙකුගේ හැසීරීම දැකගන්නට අද වන විට සෑම මවකටම අවස්ථාව උදා වෙනවා. අතපය විසි කරමින් දඟලමින් නිදහසේ මව්කුස තුළ සැරිසරන කිරිකැටියා විටින් විට තම ඇඟිල්ලක් මුව තුළ රුවා ගන්නා ආකාරය දුටු මව්වරුන් ද අපි අතර සිටිය හැකියි. අම්මලාගේ වචනයෙන් කියනවා නම් ”දරුවන්ගේ ඇඟිලි උරන නරක පුරුද්ද” ඇරඹෙන්නේ මව් කුස තුළ වැඩෙන අවධියේ සිටයි.

ළදරුවෙකු බිහි වී පළමු වසර ඇතුළත මූලිකවම ආස්වාදය පිළිබඳව දැනුවත් වන්නේ කටට දැනෙන රසවලට අනුවයි. මේ වයස් කාණ්ඩයේ දරුවන් අතට හසුවන සියලූ දේ මුව තුළට දමා ගන්නේ ඒ නිසයි. අතේ සෑම ඇඟිල්ලක්ම මුව තුළට දමා ගනී. ඇතැම් දරුවන් පාදයේ ඇඟිලිත් මුව තුළට යොමු කරගනී. එයට හේතුව වන්නේ මුඛය හරහා දරුවා මූලිකව දැනුමක් ලබාගැනීමයි. අන්න ඒ නිසාම දරුවෙකුගේ පළමු වසර තුළ එනම් ළදරු අවධියේදී මේ පුරුද්ද සාමාන්‍ය තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය.

කෙමෙන් කෙමෙන් දරුවා වැඩෙත්ම ඔවුන් වටපිටාව පිළිබඳව දැනුවත් වීම සඳහා වෙනත් ක්‍රම තෝරාගන්නා අතර වයස අවුරුදු 2 -4 කාලය වන විට සාමාන්‍යයෙන් මේ තත්ත්වය මග හැරී යන අතරම ඇතැම් දරුවන් දැතේ සියලූ ඇඟිලි වෙනුවට එක් ඇඟිල්ලක් පමණක් තෝරා ගැනීමට යොමු වේ. වයස අවුරුදු 4 දක්වා කාල සීමාව තුළ මෙසේ අඟිලි ඉරීම අසාමාන්‍ය තත්ත්වයක් නොවුණ ද වයස අවුරුදු හය ඉක්ම වූ දරුවන් මෙම තත්ත්වය පෙන්නුම් කරයි නම් දෙමාපියන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය වේ.

දිගින් දිගටම දරුවෙකු මෙසේ ඇඟිලි ඉරීම දරුවාගේ මානසික සෞඛ්ය හා සම්බන්ධ ගැටලූකාරී තත්ත්වයක් වීමට ද ඉඩ ඇත. එය එම දරුවාගේ ශාරීරික සෞඛ්ය හා සම්බන්ධ නොයෙකුත් ගැටලූකාරී තත්ත්වයන් ද ඇති කිරීමට හේතු විය හැකිය.

ඇඟිලි උරන දරුවෙකුට ඇති විය හැකිය ශාරීරික සෞඛ්‍ය හා සම්බන්ධ ගැටලූකාරී තත්ත්වයන් : 
  • දන්ත විකෘතිතා ඇති වීම
  • මේ පුරුද්ද දිගින් දිගටම පැවතීම නිසා ඇඟිලිවල විකෘතිතා ඇති විම
  • දරුවා මිතුරන් ඉදිරියේ සමච්චලයට ලක්වීම
  • වැඩිහිටියන්ගේ විවේචන හේතුවෙන් දරුවාගේ අත්මාභිමානයට කැලැල් වීම
  • විෂබීජ කුස තුළට ඇතුළු වීම හේතුවෙන් රෝගාබාධ ඇති වීම
  • නියපොතු යට විෂබීජ රුඳීම හේතුවෙන් Paronychia තත්ත්වය ඇති විය හැකිය

ලිපියෙහි පෙර සඳහන් කළ පරිදි පළමු අවුරුද්ද තුළ දරුවෙකුගේ ඇඟිලි ඉරීමේ තත්ත්වය සිය යහපත වෙනුවෙන් සිදුකරන සාමාන්‍ය දෙයක් වන අතරම වයස අවුරුදු හය සම්පූර්ණ වූ දරුවන්ගේ මෙම තත්ත්වයට යම් යම් හේතු තිබිය හැකිය. ඇතැම්විට දරුවාගේ යම් මානසික පීඩාකාරී තත්ත්වයක් පිටතට පෙන්නුම් කරන ලක‍ෂණය වන්නේ ඇඟිලි ඉරීම විය හැකිය. මෙහිදී ඇඟිලී ඉරීම කුඩා කාලයේදී නතර කොට සිටි දරුවෙක් නැවත එය ආරම්භ කළේ නම් අනිවාර්යයෙන්ම ඒ දරුවාට යම්කිසි පීඩාකාරී වටපිටාවක් ඇති වීම සම්බන්ධයෙන් එය සුවිශේෂී සාධකයකි.

බිය, තමාට නුහුරු ස්ථානයකදී නුහුරු පිරිසක් ඉදිරියේදී නොසන්සුන් වීම හේතුවෙන් දරුවන් යොමු වන මෙම ඇඟිලි ඉරීමේ තත්ත්වය කුඩා කාලයේදී මෙන්ම වයසින් මුහුකුරා යද්දීත් දරුවෙකු සිදුකරන්නේ තමා යම් වටපිටාවක් තුළ නොසන්සුන් වීම හේතු කරගෙනයි. වයස අවුරුදු හය සම්පූර්ණ දරුවෙකු මේ පුරුද්දට යොමු වීම පිළිබඳව දෙමාපියන් කල්පනාකාරී විය යුත්තේ ඒ හේතුව නිසයි.

ඇඟිලි උරන පුරුද්ද නතර කරන්නට මව්වරුන් නොකළ යුතු දේ :
  • දරුවා විවේචනයට ලක්කිරීම
  • ඇඟිලි වල යම් යම් දේ ආලේප කිරීම
  • අත්වැසුම් යෙදීම
ඇඟිලි උරන දරුවා එයින් මුදවා ගැනීමට මව්වරුන් කළ යුතු දේ :
  • ඇඟිලි උරන අවස්ථාවේදී වැඩිහිටි ඔබ දරුවා මගහරින්න. උදාහරණයක් ලෙස කතාන්දරයක් කියාදෙන අවස්ථාවක දරුවා ඇඟිලි උරයි නම් ඔබ ඒ කතාව කියාදීම නතර කර ඉවත්ව යන්න. කිසිදු අවස්ථාවකදී ඇඟිලි ඉරීම සම්බන්ධයේ දරුවාට දඬුවම් කිරීමෙන් වළකින්න. හැමවිටම ඔබේ අවධානය ඒ කෙරේ යොමු කිරීමෙන් වළකින්න
  • ඇඟිලි ඉරීම සිදු නොකරන අවස්ථාවලදී දරුවා පැසසුමට ලක්කරන්න. වර්ණනා කරන්න. දරුවා එසේ නොකරීම පිළිබඳව ඔබ ඉතා සතුටට පත්වන බව පවසන්න. හැකි තරම් දරුවා සතුටට පත්වන ආකාරයට කටයුතු කරන්න
ඇඟිලි උරන ඔබේ දරුවා
  • බියපත්ව සිටීද ?
  • බියපත් සිහින දැක රාත්‍රියේ අවධි වෙනවාද ?
  • හිටිහැටියේ තිගැස්සෙනවාද ?
  • ඇඳ තෙත් කරනවාද ?
  • නිතරම මවගේ සමීපයටම වී සිටින්නට උත්සාහ කරනවාද ?

දරුවෙකු මෙවැනි ලක‍ෂණ පෙන්නුම් කරනවා නම් එම දරුවා ඇඟිලි ඉරීම සිදුකරන්නේ තමා සැහැල්ලූ වීම සඳහා විය හැකියි. එවිට දරුවාට පවතින ගැටලූකාරී තත්ත්වයන් හඳුනා ගනිමින් නිදහසේ කාලය ගතකිරීමට අවැසි වටපිටාව සකස් කරදීමට වැඩිහිට ඔබට හැකියි. ඒ සඳහා ඇඟිලි ඉරීම වෙනුවට වෙනත් විකල්ප හඳුන්වා දිය හැකියි.

දරුවා නොසන්සුන් වූ විට ඇඟිලි ඉරීම වෙනුවට වෙනත් ක්‍රම කියාදෙන්න
  • පපුව පිරෙන්න ලොකු හුස්මක් අරගෙන හිමින් හිමින් පිටකරන්න දරුවාට කියාදෙන්න
  • එකේ සිට පහට ගණන් කිරීමට දරුවාව යොමු කරන්න
  • පන්ති කාමරයේදී නම් ගුරුවරිය වෙත යාමට උපදෙස් දෙන්න

මෙවැනි සරල ක්‍රම හරහා දරුවන් මෙවැනි තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට බොහෝ අවස්ථාවලදී හැකියාව ලැබේ. මෙහිදී එය නිවස තුළ විශාල ගැටලූකාරී තත්ත්වයක් බවට පත්කර ගැනීමෙන් වැලකීම ඉතාම වැදගත් වේ. පෙර මෙවැනි පුරුදු නොමැතිව සිටි දරුවෙක් අලූතින් මෙවැනි පුරුද්දකට යොමු වූයේ නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව මව්පියන් සිහිතබාගන්න. එසේම දරුවා වයසින් වැඩෙත්ම මේ පුරුද්ද නතර කරගැනීමට හෝ මේ තත්ත්වයට හේතුව සොයා ගැනීමට හෝ වැඩිහිටි ඔබට නොහැකි නම් ළමා මනෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් කරා යොමු වීම ඉතා වැදගත් වේ.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


වෙසක් පොහොය දරුවන්ගේ අත්දැකීමක් කරන්න

වෙසක්  වචනය ඇසූ සැනින්ම දරුවාගේ සිතට ඇති වෙන්නේ විදුලි බුබුලු සැනකෙලියක් සහ දන්සැල් ගැන සංකල්පයක් පමණක් වෙන්නත් පුලුවනි. වෙසක් පොහොය නිමිති කර ගෙන මුල් තැනක් ලබා දිය යුත්තේ ප්‍රතිපත්ති පූජාවට වුනත් අද හැම තැනින්ම ඇහෙන්නේ පෙනෙන්නේ ආමිෂ පූජාවන් වෙනුවෙන් තිබෙන විශාල උද්‍යෝගයක්. ආමිෂ පූජාවන් සමග අපි ප්‍රතිපත්තිමය පැත්තට යොමු වීමත් අවශ්‍යයි.

දරුවන්ට ගුණ ධර්ම කියා දෙන්න

වෙසක් පොහොය මුල් කර ගෙන අපි ප්‍රතිපත්තිමය පාර්ශවයටත් යොමු වීම ඉතා වැදගත්.දරුවන්ගේ හදවතට වඩාත් සමීප වෙන විදිහට මව්පිය උපස්තාවය, වැඩිහිටියන්ට , ගිලනුන්ට, අසරණයන්ට පිහිට වීමේ වැදගත්කම පෙන්වා දෙන්න. බුදුරජාණන්වහන්සේගේ ධර්මය මෙම ගුණධර්ම මත රැඳී පවතින බවත් ඔවුන්ට පෙන්වා දෙන්න.

ආමිෂ පූජාවන්ටත් ඉඩ දෙන්න

අද ආමිෂ පූජාවන්ට වැදගත් තැනක් දෙන යුගයක්. මේ නිසා ඔබත් දරුවාට ආමිෂ පූජාවන් වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න. එදා සිංහල අලුත් අවුරුද්ද ගෙවුන තැන පටන් ළමා ලපටින් පටන් ගන්නේ වෙසක් වෙනුවෙන් කූඩු බැඳීමටයි. මේ තත්වය දරුවන්ට ඉතා මිහිරි අත්දැකීමක්. අද වෙසක් කූඩු වෙළඳපොලෙන් මිළට ගැනීමට හැකි නිසා දරුවන් ඒ වෙනුවෙන් එතරම් වෙහෙස මාන්සියක් නැහැ. ඒ වුනත් දරුවෙකුට මේ අත්දැකීම ලබා දීම අවශ්‍යයි. අද උණ බට ආදිය පරිසරයෙන් සොයා ගැනීම අපහසු බව ඇත්ත. ඒත් කුමක් හෝ හෝ විකල්පයක් ඒ වෙනුවෙන් ලබා දෙන්න. ඇතැම් අවස්ථාවන්හි බීම බට යොදා ගෙන මේ වෙසක්කූඩු නිර්මානය කරනවා. අනේ අපිට වෙසක්කූඩුවක් හදන්න විදිහක් නැහැ කියන මැසිවිල්ල වෙනුවට සම්බුදු තෙමගුල වෙනුවෙන් දරුවා සූදානම් කිරීම ඒ අන්දමින් සිද්ධ විය යුතුයි.

ප්‍රවේසම් වීම

වෙසක්කූඩු නිර්මානයේදී දරුවන්ගේ නොසැලකිල්ල සහ වැඩිහිටියන් විසින් ආරක්ෂාව ලබා නොදෙන නිසා විවිධ අනතුරු ඇති වෙන්න පුළුවනි. බට පතුරු කපන තැන පටන් වෙසක් පහන් කූඩු දල්වන තෙක් ගින්දර සහ විදුලියෙන් විය හැකි අවදානම බොහෝ සේ ඉහලයි. වෙසක් අවසාන වී ඔබ පුවත්පතක් බලන්න. වෙසක් කූඩුව වෙනුවෙන් විදුලි සම්බන්ධතාවයන් ලබා දීමට දැරූ උත්සාහයේදී විදුලි සැර වැදීමෙන් ඇති වනු අනතුරු බොහෝය. පොල්තෙල්  පහන් සහ බකට් පහන් දල්වන්න ගොස් ඇඳුමට ගිනි ඇවිලී තුවාල ලත් දරුවන් ගැනත් අසන්නට ලැබෙනවා. මේ නිසා ඔබ නිතරම දරුවාගේ නිර්මානශීලී වෑයම පිටුපසින් සිට ඔවුන්ගේ ආරක්ෂව ගැන සහතිකය ගොඩ නගා ගන්න.

පුංචි පුංචි බණ කතා කියා දෙන්න

වෙසක් කාලයේ ඔබ තොරන් බලන්නට දරුවාද කැටුව යනු ඇත. එහිදී ඔබේ ඇස විදුලි එලියේ ආලෝකයෙන් පමණක්්සෑහීමට පත් නොවන්න.තොරණක් වෙනුවෙන් නිමිති කර ගත් බණ කතාවක් ඇත. දරුවාට ඒ බණකතාව සමග එයින් ලැබෙන ආදර්ශය කියා දෙන්න. මෙම කතාවෙන් ජීවිතය හැඩ ගසා ගැනීමට ලැබෙන  වටිනා ආදර්ශ කියා දීමට වටිනා අවස්තාවක් ලැබෙනු ඇත. වෙසත් දිනයන්හිදී බණ කතාවක් කියා දෙන්නට ඒ වෙනුවෙන්ම ඉඩක් ලබා ගැනීම අපහසු කාර්යකි. වෙසක් කාලයේදී ඒ

වෙනුවෙන්ම ලැබෙන කාලයෙන් දරුවාගේ චරිත සංවර්ධනයට අවශ්‍ය බණ කතාවන් කියා දීමට ඔබත් නොදැනම අවස්ථාව ලැබෙන නිසා ඒ අවස්ථාව කිසිදු ලෙසකින් අත් හරින්න එපා.

ආගමික වැඩසටහන් වෙනුවෙන් සම්බන්ධ කරන්න

වෙසක් උත්සවය මුල් කර ගෙන බොහෝ පිංකම් පාසල් මට්ටමින් මෙන්ම දහම්පාසල් මට්ටමින් සිදු වේ. එහිදී පාසලේ සිද්ධ වෙන දාන , ශීල , භාවනා වැඩසටහන් වෙනුවෙන් දරුව‍ා අනිවාර්යෙන්ම සම්බන්ධ කරන්නේ පාසලේ විනය නීති තුළින් දරුවාට ලබා දී ඇති ආවරනය නිසාය. එහෙත්..දහම් පාසලේදී මේ තත්වයෙන් දරුවා නිදහස්ය. සිල් ගත්තාද නොගත්තාද කමක් නැත. ඒ වෙනුවෙන් දඬුවම් ලැබෙන්නේද නැත. දඬුවම් ලැබුනොත් ඒ  වෙනුවෙන් විකල්ප ඇත. එම දහම්පාසලෙන් ඉවත්ව වෙනත් දහම් පාසලකට ඇතුලත් වීමට බාධාවක් නැත මව්පියන්ද දහම්පාසලේ ප්‍රායෝගික කටයුතු ගැන එතරම් කැපවීමක් දක්වන්නේ නැත. එහෙත් අපේ අවශ්‍යතාවය වන්නේ දරුවා ගුණදහමින් පෝෂණය කිරීමයි. එය පාසලෙන් වේවා දහම්පාසලෙන් වේවා  එය විය යුත්තකි. එබැවින් වෙසක් පිංකම් මුල් කර ගෙන පවත්වනු ලබන ප්‍රායෝගික වැඩසටහන් වෙනුවෙන් දරුවා සම්බන්ධ කිරීම මගින් චරිත සංවර්ධනයට ලැබෙන ආලෝකට සුලුවෙන් සැලකිය නොහැක.

සංවර ව අඳින්න

වෙසක් යනු සැනකෙලියක් නොවේ. එය ආගමික උත්සවයකි. මේ නිසා පන්සල් බිමකට යන විට අදින පලඳින ආකාරයක් ඇත. ඒ ගැනත් දරුවන්ට කියා දීම මෙන්ම ඔබත් ආදර්ශමත් ලෙසින් ආගමික කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන්න. පාතේගම ඤානිස්සර ස්වාමින් වහන්සේ විසින් රචිත අපූරු කිවියක් මහනුවර වැල් බෝධියේ ඩිජිටල් පුවරුවක සටහන් කර තිබුණි. පන්සල් බිමකට පැමිණෙන විට එබ් ඇඳුම සකස් විය යුත්තේ කෙසේද යන්න එම කවියෙන් ඉස්මුතුව තිබුනේ මේ අන්දමටයි.

නැටුමක් නැහැනේ බෝධිය ළඟ නටන්නට
එනිසා සුදෝසුදු ඇදුමෙන් සැරසෙන්න
කෙස් ටික සංවරව පීරා ගෙන එන්න
එහි තරඟයක් නැහැ ඔබෙ රුව තෝරන්න
බුදුවරු මාර දූවරු දෙස බැලුවෙ නැත
එනිසා නිරුවතින් නාවට කමක් නැත
බෝමැඩ වටා සීතල මද පවන් ඇත
ඇඳුම්වල ජනේල නැතුවට කමක් නැත

 

මේ අන්දමින් වූ පද පේලි මගින් වචන දහස් ගණනකින් කියැවෙන අදහස් ඉතා සියුම් සේ හදවත ස්පර්ශ වන ලෙසින් නිර්මානය කර ඇත. බාල කාලයේ පටන් මව්පියන් විසින් දරුවා තැනට ගැලපෙන ලෙසින් සූදානම් කලේ නම් අද මෙවන් කවි අපිට ගයන්නට සිද්ධ නොවෙනු ඇත. එසේ නම් අනාගතය මුල් කර ගෙන ඔබේ දරුවාට මෙවන් අඩුපාඩු නොවන ලෙසින් හැසිරෙන අන්දම කියා දීමේ මෙහෙවර දෙමව්පියන් වශයෙන් ඔබ අද බාරගන්න.

අයියෝ මේ උකුණු කරදරේ නම්

නිර්මලාගේ දියණිය දින කිහිපයක සිට හිස කසන්න ගත්තා. දාඩිය දාලා වෙන්න ඇති කියලා හිතපු නිර්මලා දියණියව  හොඳින් නෑව්වා. එත් ඉතින් හිස කැසීමෙ නම් අඩුවක් නැහැ. පාඩම් කරන්න ගත්ත වෙලේ ඉඳලා දියණිය හිස කසනවා. කොකටත් කියලා නිර්මලා දියණියගේ හිසකෙස් එහෙ මෙහෙ කරලා බැලුවා. දුවගේ කෙස් ගස් අතර  ඉන්න ලේඩින්ව දැක්ක නිර්මලා පුදුමයට පත් වුණා. ගෙදර කාගෙවත් උකුණෝ හිටියේ නැහැනේ කොහොමද මේ උකුණො බෝ වුනේ? ඇත්තටම උකුණො හිසේ ඉන්නවා කියන්නෙ නම් හරිම හිරි හැරයක්. හිස කැසීම වගේම උකුණො ඉන්න හිසක් තිබීම ලැජ්ජාවටත් කාරණයක්.

උකුණො කියන්නේ

උකුණන් ලෙස හැඳින්වෙන හිසට හිරිහැරයක් වූ මේ පරපෝෂිතයන් pediculas humanis capitas යන විද්‍යාත්මක නාමයෙන් තමයි හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් අළු පැහැයට හුරු සුදු පැහැයක් ඇති සහ ක`ඵ පැහැති උකුණොත් ඉන්නවා. උකුණු බිත්තර ලේඩී ලෙස තමයි හඳුන්වන්නේ. උකුණන්ගේ ගැහැණු සතාට දිනකට බිත්තර 10ක් පමණ දැමීමේ හැකියාවක් තිබෙනවා. උකුණෙකුගේ ජීවිත කාලය සාමාන්‍යයෙන් දින 40 පමණ වෙනවා. මොවුන් හිස් කබලේ සමට කිට්ටුවෙන්ම ජීවත් වෙනවා. හිසෙහි ලේ උරා බොමින් ජීවත් වන උකුණන්ට සමේ තිබෙන උෂ්ණත්වය ජීවත් වීමට බොහොමත්ම හිතකරයි. උකුණන් තම බිත්තර හිසකෙස් මත රඳවා තිබෙනවා. මෙම බිත්තර ලේඩි පැටවුන් සහිත සරු ඒවා සහ පැටවුන් ඉවත්ව ගිය පැරණි ඒවා හෝ නිසරු ඒවා ලෙස වර්ග දෙක තුනක් දකින්න ලැබෙනවා.

උකුණන්ගේ ආහාරය

උකුණන් හිස මත ඇති සමට විද රුධිරය උරා බොනවා. රුධිරය කැටි ගැසීම වළක්වා ගැනීමට සමට විද්ද සැනින් ඌගේ කෙල ඒ ස්ථානයට ඇතුල් කරනවා. අනතුරුව හොඳින් ලේ උරා බොනවා.

උකුණන් නිසා හිස කසා තුවාල ඇති වෙන්නේ ඇයි?

සම සිදුරු කර කෙල ඇතුල් කල ස්ථාන කැසීමකට ලක්වන නිසා තමයි උකුණු ආසාදන ඇති අය නිතරම හිස කසන්නෙ. සාමානයෙන් හිස කැසීමක් සිදුවුවද, උකුණන් විදින ස්ථානයේ දකින්න ලැබෙන්නේ නැති හේතුවත් එයයි. සමහර අයට පමණක් ඒ ස්ථාන තුවාල වී, විෂබීජ ආසාදනයට ලක් වී එම ස්ථාන පැසවීමකට ලක්විය හැකියි. ඒ වාගේම එම තුවාල හේතුවෙන් බෙල්ල අවට කුද්දැටි ඉදිමීමක් වුවත් සිදු විය හැකිය. ඒ වාගේම හිස උකුණන් බහුලව ගැවසෙන බෙල්ල ආසන්නයේදී හිස කෙස් ප්‍රදේශය හා කන් දෙක ආශ්‍රිතව ඇති හිසකෙස් ප්‍රදේශයේ බහුලව තුවාල හෝ සලකුණු දැකිය හැකිය. කොහොම වුනත් හිස උකුණන් මගින් සිදුවන හිස කැසීමට අමතරව වෙනත් රෝග බෝවීම සිදු වන්නේ නැහැ.

කොහොමද මේ උකුණො බෝ වෙන්නෙ?

සාමාන්‍යයෙන් උකුණන් බෝවෙන්නේ උකුණන් සිටින අයෙකුගේ හිසකෙස් උකුණන් නොසිටින අයෙකුගේ හිසකෙස් හා ගැටීමෙනුයි. එකම නිවසක එකම ඇඳක් භාවිතා කිරීමේ දී එකිනෙකාගේ හිස් එකට ගෑ වීමෙන් ද පාසල් යන ළමුන් එකිනෙකා හා ගැටෙමින් කටයුතු කිරීමෙන් වගේම පාසල් වෑන් තුලදිත් මෙම උකුණන් හුවමාරු සිදු විය හැකිය.

හිසෙහි එකවරක් හෝ උකුණන් සිටීමේ වාසිය

එක් වරක් හෝ උකුණන් හිසෙහි බෝවී තිබීම තුලින් ශරීරය විසින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කරගෙන තිබෙන නිසා ඒ හා සමාන වඩාත් භයානක වූ ශරීර උකුණන් හා සටන් කිරීමට හා ඔවුන් ඉවත් කිරීමට හැකියාවක් ලැබෙනවා. මේ නිසා තමයි විශේෂයෙන් කුඩා ළමයින් සඳහා එක් වරක් හෝ උකුණු ආසාදනයක් වීම වාසි සහගත දෙයක් ලෙස සඳහන් කළේ.

උකුණන් සඳහා ප්‍රතිකාර :

  • උකුණු නාශක බෙහෙත් අඩංගු () රසායනිකයන් වෙනත් ස්වභාවික ශාකසාර නිෂ්පාදනයන් ස්නානය කරන විට ෂැම්පු ගෙන කන්ඩිෂනල් යොදා උකුණු පනාවකින් හිස පීරීමෙන්  උකුණන් වඳ කරගත හැකිය. මෙම ප්‍රතිකාර නැවත දින 7කට 12 පමණ පසු නැවත සිදුකරන්න.
  • උපකරණක් මගින් , උණුසුම් වාතය මගින් හිසකෙස් වියළීමෙන් ද
  • සමහර අවස්ථාවල හිසකෙස් කොටට කැපීම හෝ තට්ටය ගෑමෙන් ද ප්‍රතිකාර සිදු කරනු ලබනවා.
  • කෙසේ වෙතත් තදබල ලෙස හිස උකුණු ආසාදනය සඳහා ඔබගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් අවශ්‍ය වෙනවා.
උකුණු ආසාදනය නැවත ඇතිවීම වැළැක්වීමට ගතයුතු පියවර :

උකුණු බිත්තර හෙවත් ලේඩි හිසකෙස්වල තිබීම  නිසා උකුණන් නැවත සක්‍රීය විය හැකිය.

  • සති පතා දරුවන්ගේ හිසකෙස් පරීක්ෂාව
  • ලේඩි ඇති විට හා නිතර නිතර හිස කසන විට පරීක්ෂා කිරීම
  • හිස කෙස් හා සම්බන්ධ පනාව බුරුසු තුවා ඇඳ රෙදි ආදිය පිරිසුදු කිරීම
  • උකුණන් වඳ කිරීමේ ඖෂධ භාවිතා කිරීමෙන් පසුව සියළුම ද්‍රව්‍ය (පනා, බුරුසු, ඇඳ රෙදි කොට්ට උර) උතුරන වතුරින් තම්බා සෝදන්න.

දරුවන් ඉදිරියේ නොකල යුතු කතා

ඉස්සර කාලයේ පුංචි දරුවන්ට වැඩිහිටියන් ඉදිරියේ සිට ඔවුන්ගේ කතා බහට සවන් දීමේ අවසර තිබුනේ නැහැ. එදා ගම බොහොම පුංචියි. මේ නිසා ගමේ තොරතුරු බෙදා හරින අය අතර රෙදි නැන්දා නම් දරාපු පිරිසක් හිටියා.  රෙදි නැන්දා  ගෙන් ගෙට යමින් පිරිසිදු කිරීමට තිබෙන රෙදි පෙරෙදි වගේම ගමේ උදවියගේ කුණු කන්දල්ද අරගෙන එනවා.මේ වෙලාවට පුතා යන්න ඇතුලට කියල දරුවා එතැනින් ඉවත් කලා. එහෙම කරන්නේ දෙමව්පියන් දන්නවා දැන් ඇති වෙන කතා බහ දරුවන්ට නොගැලපෙන විදිහට සිද්ධ වෙන බව. ඒත් ඒ විදිහට දරුවා ඉවතට යැවීම සාධාරණත්  නැහැ.

එහෙම වුනාම මොකද වෙන්නේ

එතකොට දරුවන්ට කුතුහලයක් ඇති වෙනවා. අම්මා මොනවාද මේ කතාබහ කරන්නේ කියන්නේ යනුවෙන්. ඒ නිසා දරුවා හොරෙන් හෝ මේ සංවාදයන්ට සවන් දෙනවා. ඒ නිසා දරුවාට නොදැනෙන විදිහට මේ ඈත් කිරීම සුදුසුයි. ඒ වගේම අපි දරුවන් ඉදිරියේ නොකළ යුතු කතා මොනවාද ?

අසල්වැසියන්ගේ ඕපාදූප

අපි අතර තිබෙන ලොකු අඩුපාඩුවක් තමයි අනුන්ගේ අඩුපාඩු කතා කිරීම. ඒවා ඉතාම රසවත් මාතෘකාවන්. අපි දරුවන් ඉදිරියේ තබා ගෙන අසල්වැසියන්ගේ දුර්වලතාවයන් කතා කළ විට දරුවා එයින් අස්කොන් දැන ගන්නවා. මේවා යේ සීමාවන් දරුවා දන්නේ නැහැ. ඒනිසා ඔහු අතන මෙතන මේ තොරතුරු කියන්න පටන් ගන්නවා. එයින් ඇතැම් අවස්ථාවල අසල්වැසි නිවෙස් අතර ලොකු ගැටුම් ඇති වෙන්න පුලුවන්.

නෑදෑයන්ගේ අඩුපාඩු

අපි අතර සම්පුර්නයෙන්ම පිරිසිදු අය ඇත්තේ නැහැ. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා වගේ අපේ නැදෑයන් අතර තිබෙන අඩුපාඩු දරුවන් ඉදිරියේ කතා බහ කිරීම නරකයි. සමහර අවස්ථාවල නැන්දම්මා, නෑනාවරුන්ගෙන් ඔබ බොහෝ බැට කන්න ඇති. ඒවා දරුවාගේ හිතට ඇතුලත් වුනාම ඇති වෙන්නේ තමන්ගේ සනුහරය ගැන අප්‍රසාදයක්. ඒ නිසාම මේ වගේ අඩු පාඩු දරුවන් තබා ගෙන කතා බහ නොකළ යුතුයි.

දරුවන් දැන ගත යුතු නැති දේවල් තිබෙනවා

දරුවන් ලෝකය දකින්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඔහුට ඉඩ ලබා දීම ඉතා වැදගත්. ඒත් ළමා වයසට ඔරොත්තු නොදෙන දේවල් ඔවුන් කල් තබා දැන ගත යුතු නැහැ.

දරුවන් ඉදිරියේ සිටින විට ඔබටත් සීමාවක් අවශ්‍යයි

ඇතැම් දෙමව්පියන්ට කතා බහ සංවාදයන් ඉදිරියට යන විට තමා ඉන්නේ කොතැනද…කතා කරන්නේ ‍මොනවාද යන්න ගැන සීමාවක් නැහැ. අනවශ්‍ය විහිලු තහලු වගේම දෙපිට කැපෙන වචන ඉබේටම යොදා ගැනෙනවා. මේ පොඩි දරුවෙක් ඉදිරියේ සිටිනවා නේද යන හැඟිම් ඔවුන්ට ඇති වෙන්නේ නැහැ. ඒත් දෙමව්පියන් විදිහට හදිසියේවත් ඔබ ඉදිරියේ පොඩි දරුවෙක් සිටින්නේ නම් කතා බහ ගැන සීමාවන් පනවා ගන්න. විහිලු තහලු සහ අසංවර අසභ්‍ය වචන ඔබේ ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න.

එහෙම වුනාම වෙන්නේ මොනවාද

සම වයස් කණ්ඩායම අතර ඔබේ දරුවා අනවශ්‍ය විදිහ මෝරා ගිය අයෙක් බවට පත් වීම වැඩිහිටියන්ගේ කතා බහ අහගෙන සිටින දරුවාට මෙයින් සමාජය ඉදිරියේ කිව යුතු සහ නොකිව යුතු දේ ගැන සීමාව දන්නේ නැහැ. ඒ නිසා ඔහු ට ඒවා අවශෝෂණය වෙන්නේ නැහැ. ජීරණය නොවුන දේවල් තැනින් තැන වමාරන විට එම දුර්ගන්ධය නිසා දරුවා සමාජයේ අප්‍රසාදයට පත් වෙනවා.

මහ පැහිච්ච දරුවෙක්

ඔබේ දරුවාගෙන් ඩැහැ ගත් යම් යම් දේවල් ඔවුුන් තමන්ගේ වැඩිහිටියන් සමග පවසනු ඇත. එවිට මව්පියන් වඩාත් කලබල වන්නේ මේ සමාගමට නොගැලපෙන අප්‍රසන්න දරුවෙක්ය යන සංකල්පයෙනුයි. ඒ නිසා ඔවුන් තමාගේ දරුවාට මේ විදිහට අවවාද කරනවා.

මීට පස්සේ ආශ්‍රය කරන්න එපා

තමාගේ මිතුරු සමාගම හදිසියේම අතුරුදහන් වීම නිසා තදබල ලෙසින් ඇති වෙන මානසික කම්පනය නිසා දරුවා මහත් අපහසුතාවයට පත් වෙනවා.

පංතියේ අවතක්සේරුවට ලක් වෙනවා

වයසට නොගැලෙපෙන දේ සම වයස් කණ්ඩායම් අතර ප්‍රකාශ වුන විටදරුවන් ඒ බව තමන්ගේ ගුරුවරුන්ට කියා සිටිනවා. මේ අනවශ්‍ය පැහිච්ච සංකල්පයන් පංතියට ගෙනාවේ කවුද යන්නෙහි අග මුල සොයන විට එහි චූදිතයා බවට ඔබේ දරුවා පත් වෙනවා. නිදහට කරුනු එයින් ඉදිරියට අවශ්‍ය නැහැ. පංතිය තුලත් දරුවාට තිබෙන වටිනාකම නොදැනීම අහිමි වෙනවා.

දරුවන් ඇත්තටම මල් වගෙයි. මේ සංකල්පයේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සත්‍ය බවට පත් වීමට නම් දරුවාගේ ලස්සන වගේම ගුණ සුවඳත් අවශ්‍යයි.මලක වෙතින් වුනත් දුර්ගන්ධයක් විහිදෙනවා නම් අපි ඒ මලට ඇගයීමක් ලබා දෙන්නේ නැහැ. දරුවන් වෙනුවෙනුත් එම සත්‍යය ඒ විදිහටම බලපානවා. මේ නිසා ඔබේ දරුවා මලක් මෙන් සුවඳින් සමාජයට දායාද කරන්න. දරුවා හැදෙන හැටි බලා ගෙන ඒ වෙනුවෙන් ඇවැසි මග කියා දෙන්න.