Home Blog Page 117

දරුවාගේ කාමරයට එස් 5

එස් පහ (5S) සංකල්පය ජපන් ජාතිකයන් විසින් ලෝකයට හඳුන්වා දෙන ලද ක්‍රමවේදයක්. මෙහි දක්වා ඇති පංචවිධ සංකල්ප මගින් අපේ කාලය ඉතිරි වෙන අතර සම්පත් ඵලදායක ලෙසින් පාවිච්චි කිරීමට දැණුවත් බවක් ලැබෙනු ඇත.ඔබේ දරුවාගේ කාමරය පිලිවෙලකට තබා ගැනීම වෙනුවෙන් ඔබට ඔහු සඳහා මෙම පංච විධ සංකල්ප හඳුන්වා දිය හැකිය.

  • සෙයිරි        (Seiri )      සුසංහරණය – වෙන්කිරීම, අනවශ්‍ය දෑ ඉවත් කිරීම
  • සයිතෝන්   (Seiton)  සුසංයොජනය – ක්‍රමවත්බව සහ පිළියෙල කිරීම
  • සෙයිසෝ    (Seiso ) සුපසන්නතාවය – පිරිසුදු කිරීම/පරීක්ෂා කිරීම
  • සෙයිකෙට්සු (Seicetsu)  සුසංස්ථාපනය – ක්‍රමානුකූලබාවය සහ උසස් ප්‍රමිතිය
  • ෂිට්සුකේ     (Sitsuke ) සුසංවේදයත – ශික්ෂණය සහ මනා පුහුණුව

සෙයිරි


දරුවාගේ කාමරයේ තිබෙන අනවශ්‍ය දේ ඉවත් කිරීම එතරම් අපහසු කාර්යක් නොවෙයි. සමහර දරුවන්ගේ කාමරය බොහෝ සේ තිබෙන්නේ අනවශ්‍ය දේ බව ඒවා අස් පස් කරන විට ඔබටම පෙනේවි. මේ නිසා අනවශ්‍ය දේ ගොඩ කර ගැනීම නිසා ඒවා ඉවත් කිරීමේ අපහසුතාවය පමණක් නොව කාමරයේ අපිලිවෙල තත්වයක් ඇති වෙන බව දරුවාට පැහැදිලි කර දීම ඉතා වැදගත්. අනවශ්‍ය ලෙසින් ප්ලාස්ටික් ඇසුරුම්, පොලිතින් මලු කාමරයෙන් ඉවත් කරන්න. අනාගතයට අවශ්‍ය යමක් වේ නම්  ඒවා වෙනම අසුරා තබන්නත්  උපදෙස් ලබා දෙන්න. කසල බැහැර කරන විටත් දිරන, නොදිරන සහ ඝන අපද්‍රව්‍ය ලෙසින් වර්ගීකරණයකින් ඒවා බැහැර කරන ලෙසට උපදෙස් ලබා දෙන්න.

පවතින භාන්ඩ හෝ වෙනත් උපකරණ ලැබෙන විට පවතින දේ එම ස්ථානයෙන් ඉවත් කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තකි. එහෙත් බොහෝ දෙනා ඒ ගැන අමතක කිරීම නිසා කාමරයේ ඇති වෙන්නේ අපිලිවෙලකි. අලුත් ඇඳුම් වලින් අල්මාරිය පිරෙන විට පවතින ඇඳුම් අතර පරහරනයට නොහැකි ඒවා ඉවත් කරන්න. එවිට නොදැනීම අලුත් දේ වෙනුවෙන් කාමරයේ ඉඩක් ඇති වේ.

සුසංයෝජනය


දරුවාගේ කාමරයේ පිලිවෙල ඇති කිරීම එතරම් අපහසු කාර්යක් නොවෙයි. ඔහුගේ පොත් පත් විෂය අනුව වගේම අවශ්‍යතාවය අනුව වර්ග කරන්න. ඉතා පහසුවෙන් අවශ්‍ය දේ තෝරා ගැනීමට පොත් වෙනුවෙන් වර්ණ කේත භාවිතා කරන්න. එක් එක් විෂය වෙනුවෙන් තෝරාගත් වර්ණවලින් කවර යොදන්න. එවිට දරුවාට වෙහෙසක් නොමැතිව තමාට අවශ පොත් පත් තෝරා ගැනීම පහසු වෙනවා.

ඒ වගේම හැම දෙයක් වෙනුවෙන්ම ස්ථානයක් වෙන් කරන්න. පැන්සල, පෑන පමණක් නොව සපත්තුව, ම්ස් දෙක, කුඩයට පවා ස්ථානයක් ලබා දෙන්න. එවිට කාලය අනවශ්‍ය සේ වැය නොවී තමාට අවශ්‍ය දේ සොයා ගැනීම පහසු වේ.

ඒ වගේම අවශ්‍ය දේ ඉතා පහසුවෙන් තෝරා ගැනීමට ලේබල් යොදා ගැනීමත් වඩාත් පහසු වේ. පොත් පත් වෙනුවෙන් වර්ණ කේත යොදා ගැනීමට අමතරව මෙම පොතේ විෂය කුමක්දැයි ලේබල් කරන්න.

සෙයිසෝ- පිරිසිදු බව/පරීක්ෂා තිරීම


දරුවාගේ කාමරය නිවසේ තිබෙන ප්‍රසන්නම ස්ථානය වීම වැදගත් වේ. මේ නිසා නිතරම අතුගා පිරිසිදු කර ගැනීමට ඔවුන්ට උපදෙස් දෙන්න. කොට්ටඋර ඇඳ ඇතිරිලි ආදිය පිරිසිදුව තබා ගැනීමට උපදෙස් ලබා දෙන්න. මකුලුදැල් ආදිය නිතරම කඩා ඉවත් කර ගැනීම ඉතා වැදගත්. බොහෝ දරුවන් අද ශ්වසන ආබාධ වලින් පෙලෙන තත්වයට පත්ව ඇත්තේද ඔවුන් ජීවත්වෙන වටපිටාවේ පවතින අපිරිසිදුබව නිසාය.කාමරයේ පවතින අඳුරු අහුමුලු මදුරුවන්ට වාසස්ථාන සපයනු ඇත. නිරන්තරව පරීක්ෂා නොකරන විට වේයන් , කාවන් වැනි කෘමිසතුන් බෝවෙන අතර එයින් පොත් පත් පවා හානියට පත් වෙන අවස්ථාවන් ඇත.

සෙයිකෙට්සු-ක්‍රමානුකූලබව


දරුවාගේ කාමරය තුළ ක්‍රමානුකූල බවක් නොතිබුන විට එය පිස්සාගේ පලා මල්ලට සමාන වේ. ඔහුට අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට පහසුවෙන් සොයා ගැනීම අපහසුය. එය පිදුරු ගොඩක ඉදිකටුවක් සොයනවා වැනි කාර්යක් වෙනු ඇත. මේ නිසා පොත් පත්, ඇඳුම් පැලඳුම් පමණක් නොව ඔහුගේ සියලු බඩු භාන්ඩ සහ ලිපිද්‍රව්‍ය අවම වේලාවකින් සොය ගත හැකි පරිදි ක්‍රමානුකූල බවකින් යුක්ත වීම ඉතා වැදගත් වේ.

ෂිටුසුකේ-ශික්ෂණය සහ මනා පුහුණුව


දරුවාට බාල කාලයේ පටන්ම තමාගේ කාමරය පමණක් නොව ඔවුන් ජීවත් වෙන පරිසරය ඉතා පිරිසිදුව සහ පිළිවෙලට පවත්වා ගැනීමට අවශ්‍ය පුහුණුව ලබා දීම ඉතා වැදගත් වේ. එයින් පබන ශික්ෂනය නිසා ඔහු තමාගේ ජීවිතය තුළ ගොඩ නගා ගන්නා පිළිවෙල ජීවිතයේ සාර්ථකත්වයට හේතු වෙනු ඇත.

දරුවාගේ වටපිටාව ප්‍රසන්නව තිබීමෙන් ඇති වෙන වාසි


  • කාලය ඉතිරි වේ.
  • මානසික සන්සුන් බවක් ඇති වේ.
  • රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලැබේ.

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට අපිළිවෙල මගින් මනසට ඇති කරන අවිවේකය ඉතා අහිතකර ලෙසින් අපේ සාමාන්‍ය ජීවිතයට බලපාන බවයි. මේ නිසා නිතරම අවශ්‍ය සහ අනවශ්‍ය දේ තෝරා ගෙන එයින් අත්‍යවශ්‍ය දේ තබා ගෙන අනවශ්‍ය දේ ඉවත් කරන්න. අනාගතයට අවශ්‍ය දෙයක් ඇත්තේ නම් එය සුරක්ෂිතව තබන්න. පිළිවෙල ගැන නිතරම උනන්දු වෙන්න. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ දරුවාගේ මනස සන්සුන් වෙනවා පමණක් නොව ඉගෙණුම් කාර්යය වෙනුවෙන් ඔහු වෙතින්ම උනන්දුව ගොඩ නැගීමයි.හැකි හැම විටම ඔවුන් ඉදිරියේ ප්‍රසන්න පරිසරයක් ගොඩ නගන්න.

දරුවන්ට රාත්‍රි ආහාරය කලින් දෙන්න

ඉස්සර කාලයේ අම්මලා තමන්ගේ දරුවන්ට රාත්‍රි ආහාරය ගත් විගසම නින්දට යන්න අවසර දුන්නේ නැහැ. ඔවුන් ඒ දවස්වල කිව්වේ බත් ඇට කූරු අස්සේ යන නිසා රෑට ආහාරය ගත් විගසම යහන්ගත වෙන්න අවසර දුන්නේ නැහැ. ඔවුන්ට රාත්‍රි ආහාරය සමග වූ නින්ද ගැන විද්‍යාත්මක අවබෝධයක් නොතිබුනත් කුමක් හෝ අයහපත් දෙයක්ය යන අදහස හිතේ තිබුනා.

ජපන් ජාතිකයන් රාත්‍රි ආහාරය සන්ධ්‍යා කාලයේදීම බුත්ති විඳින අතර අපේ රෝහල්වල වුනත් රාත්‍රි ආහාරය ඉතාම වේලාසන දෙනවා ඔබ දැක ඇති. සරල ජීවන රටාවක් තිබුන යුගයක අපි හුරු පුරුදුව සිටියේ රාත්‍රි ආහාරය හවස 7 සිට 8 අතර කාලයේදී ලබා ගන්නයි. එයින් පසුව රාත්‍රි දහය පමණ වෙන තෙක් යම් යම් කටයුතුවල නිරත වෙන අපි ඒ නිසාම ආහාරයෙන් ලැබෙන ශක්තිය දහනය වුනා. නමුත් අද තත්වය මීට හාත්පසින්ම වෙනස්. උදේ හයට විතර නිවසෙන් පිටත්ව යන දරුවන් නැවත නිවසට එන්නේ රාත්‍රි හත අට පමණ වේලාවක. ඒ ඇවිත් අම්මා මොනවා හරි යමක් පිලියෙල කරල දරුවන්ට කන්න දුන්නත් මේ වෙද්දී දරුවන් හොඳටෝම හෙම්බත් වෙලා. ඒ නිසා ලැබෙන දේ කොහොම හරි ආහාරයට ගෙන එසැනින්ම නින්දට යෑම ඔවුන්ගේ සිරිතයි.දවසේ කාර්යභාරය සමග මෙය සාමාන්‍ය සිද්ධියක් වුනත් රාත්‍රි ආහාරය ගත්ත ගමන් නින්දට යැමේ  ආදිනව බොහොම තිබෙනවා. මෙතෙක් අපි මේ ගැන දැන සිටියේ කාපු ගමන් නින්දට ගියොත් ආහාර දහනය පිළිබඳ ගැටලු ඇති වෙලා සිරුරේ අනවශ්‍ය ලෙසින් මේද ගබඩා වීම සහ තරබාරුව ගැන විතරයි. ඒත් අද ඒ ගැන දැනගත යුතු දේ බොහොමයි.

ඇමරිකාවේ වෛද්‍ය තිමොති මොගෙන්තලාගේ අදහස මොකක්ද බලමු


ඇමරිකාවේ වෛද්‍ය තිමොති මොගෙන්තලා සඳහන් කරන අන්දමට සෝස්, මිරිස් යෙදූ ආහාර වගේම ක්ෂනික ආහාර හොඳම නැහැ. ඒත් අද අප් අම්මලා හැන්දෑවට ගෙදර එන්නේ නයිට් කඩ වන්දනා කරගෙනයි.මෙම කඩවල තිබෙන අධික ඇසිඩ් වර්ග යෙදූ ආහාර නිසා පපුවේ දැවිලි ස්වභාවය වගේම ගැස්ටරයිටිස් රෝග තත්වයට දරුවා ඉතා පහසුවෙන් ගොදුරු වෙන්න පුලුවනි. මේයෝ චිකිත්සාගාරයේ සිදු කරන ලද චිකිත්සාගාර අධ්‍යනයන් මගින් පෙන්වා දෙන අන්දමට මෙම ආහාර කුඩා දරුවාගේ පටන් කොයි කාටත් වයස් භේදයක් නොමැතිවම අහිතකර අන්දමට බලපාන බවයි.

ඇමරිකාවේ ජාතික සංගමයේ අදහස


පවා අනුදැන වදාලේ රාත්‍රි ආහාරය අපේ පැවැත්මට අත්‍යවශ්‍ය නොවන නිසා වෙන්නැති. අද මේ ගැන අධ්‍යනයේ යෙදෙන වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසට අනුව අධික කැලරි ශක්තියකින් ආහාරයට ගතහොත් තරබාරුවට මග කියන බවයි. ඒ වගේම බොහෝ දෙනෙකුට නිරාහාරව නින්ද නොයන තත්වයෙන් පීඩා විදින්නට සිද්ධ වෙනවා. මේ නිසා වෛද්‍ය පර්යේෂකයන්ගේ  උපදෙස් වන්නේ රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගැනීම ඉතා වැදගත් බවයි. ඒ වගේරාත්‍රි ආහාරය හතට පමණ ගැනීම වඩාත් යෝග්‍ය බව වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසයි.

” The food you crave  “ග්‍රන්ථයේ කර්තෘ  කියන විදිහට

” The food you crave  “ග්‍රන්ථයේ කර්තෘ  කියන විදිහට  රාත්‍රි ආහාරය පිලියෙල කිරීමේදී අධිශක්තිය  දහනය නොවී සිරුරට එකතු වෙනවා. මේ නිසා අනවශ්‍ය ලෙසින් තෙල් සහ ලුණු සිරුරට එක් වීමටත් රාත්‍රි ආහාරය ගත් සැනින් නින්දට යොමු වීම බලපානවා.

ඇදුම රෝගයටත් හේතුවක්…


2004 වසරේ The Amaerican Journal of Gastroenterolgy  ” මගින් පෙන්වා දෙන අන්දමට  රාත්‍රි ආහාරය ගත් විගසම නින්දට යෑම ඇදුම රෝගයට හේතු වෙන බවයි. අද දරුවන් අතර හතිය, ඇදුම වැනි රෝග තත්වයන් ඉතාම සුලබයි.  මේ වෙනුවෙන් අපේ ජීවන රටාවේ වැරදි බලපාන බව මෙම කෘතිය මගින් පෙන්වා දී තිබෙනවා.ඒ නිසා ලෙඩ රෝග ඉල්ලා ගෙව වැළ  ගන්නේ නැතුව තමන්ගේ ජීවන රටාව ගලපා ගැනීමෙන් තමන්ගේ ජීවිතයේ නිරෝගි පැවැත්ම පවත්වා ගත හැකියි.

උපතේදීම බිලිඳු සමෙහි දක්නට ලැඛෙන නිල් – අළු පැහැ ලප වර්ගය කුමක්ද?

Mongolian blue spots (මොන්ගෝලියන් බ්ලු ස්පෝට්ස්) ලෙස සාමාන්‍යයෙන් හඳු න්වන බිලිදුන්ගේ සම ආශ්‍රිතව ඇති වන ලප විශේෂය වෛද්‍ය විද්‍යාත්මකව congenital dermal melanocytosis ලෙස හඳුන්වයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදි මෙවැනි තත්ත්වයන් කුඩා දරුවන්ගේ සම ආශ්‍රිතව ඇතිවන සෞඛ්‍යමය වශයෙන් දරුවාට හානිදායක නොවන ලප වර්ග ලෙස හඳුන්වා ඇත. මේවා අයත් වන්නේද උපන් ලප වර්ගයටමය.

සාමාන්‍යයෙන් උපතේදීම මෙම ලප දක්නට ලැඛෙන අතර තට්ටම් ප්‍රදේශයේ හා පහළ පිටකොන්ද ප්‍රදේශයේ බහුලව දක්නට ලැබේ. සමහර විටෙක බාහුවල ද දක්නට ලැබේ. නිල්-අළු පැහැයකට හුරු මෙම ලප රතු පැහැයෙන් ඇතිවන අවස්ථා ද ඇත. කෙසේ වෙතත් දරුවා පරීක‍ෂා කරන පළමු අවස්ථාවේම වෛද්‍යවරයා විසින් එය නිශ්චය කරගනු ලබයි.

මේ සඳහා හේතු තවම සොයාගෙන නොමැති අතර ප්‍රධාන ලක‍ෂණ වන්නේ,
  • සමෙහි ස්වභාවයෙන්ම පැතලිව නිල්-අළු පැහැයෙන් පැවතීම
  • 2-8 cm පමණ ප්‍රමාණයේ ලප
  • අක්‍රමවත් හැඩැති ලප

කිසිසේත් මෙම ලප පිළිකා කාරක ෙසෙල නොවන අතර දරුවාගේ හමේ අවපැහැ වීම හැර කිසිදු සෞඛ්‍ය ගැටලූවක් ඇති නොවේ. දරුවන් වැඩිවියට පත්වන විට බොහෝ විට මෙම ලප ස්වභාවිකවම ඉවත් වී යයි.

යක්කල, ගම්පහ ආයුර්වේද විද්‍යායතනයේ ආයුර්වේද වෛද්‍ය නිලීකා සමන්වීර මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

පෙර පාසැල් සිඟිත්තන්ගේ කෑම පෙට්ටිය සකසන්නට අම්මලාට උපදෙස්

මව්පියන් සිය ජීවිතය කැප කරන්නේ තම ආදරණීය දරු පැටියන් වෙනුවෙනි. ඔවුන්ගේ අනාගතය, නිරෝගීකම, පෝෂණය මෙන්ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ඔවුන් දිවා රෑ නොතකා වෙහෙසෙයි. මේ තත්ත්වය යටතේ සෑම මවක්ම පියෙක්ම නිරන්තරයෙන් ඔවුන්ගේ සෑම කටයුත්තක් පිළිබඳවම දැනුවත් වීම අනිවාර්ය වනවා සේම බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. දරුවාගේ කෑම පෙට්ටිය එතරම් දෙයැක්දැයි සිතා ඔබ කටයුතු කළද පෙර පාසැල් ගොස් නිවසට එන සිඟිත්තාගේ කෑම පෙට්ටිය දකින ඔබට සිතෙන්නේ ”දරුවා අදත් කාලා නෑනේ” යන්නයි. ඒ සිතිවිල්ලෙන් මිදෙන්නට මේ ලිපිය ඔබට උදව් වනු ඇත.

අද වන විට දරුවෙකු තම පෙර පාසැල් ජීවිතය අරඹන්නේ බෝහෝ විට අවුරුදු දෙකහමාර වයස් සීමාවේදීය. නිවසේ සුපුරුදු වටපිටාවෙන් මිදෙන දරුවා පය තබන්නේ ඔහුට නුහුරු නුපුරුදු අලූත් පරිසරයකටයි. මේ වයස් සීමාවන්වල පසුවන ඇතම් දරුවන් ඉතා ඉක්මණින් අලූත් වටපිටාවට හුරු වන අතරම ඇතැම් දරුවන් ඒ සඳහා හුරු විමට යම් කාලයක් ගනී. මේ අවධියේදී මවකට පැවරෙන වගකීම අකුරටම ඉටුකළ යුත්තේ අලූත් වටපිටාව තුළ දරුවා අත්දකින සියලූ දේ පිළිබඳව ඔහුට/ඇයට ධනාත්මක හැඟීම් සමුදායක් ඇති විය යුතු බැවිනි. එසේම පෙර පාසැලේ නවක පුංචි සාමාජිකයන්ට එම ස්ථානය සුන්දර කිරීමේ වගකීම පෙර පාසැල් ගුරුවරියන්ට පැවරෙන බව පැවසීමේ වරදක් නොමැත. නමුත් ඒ සඳහා මව්පියන්ගේ පූර්ණ සහයෝගය අවශ්‍ය බව සිහිතබගන්න.

පෙර පාසැලට යන ඔබේ සිඟිත්තාගේ බෑගය තුළ,

  • කෑම පෙට්ටිය
  • වතුර බෝතලය
  • අමතර ඇඳුමක්
  • තොප්පිය/වැහි කබාය ඇතුළු අවශ්‍ය සියලූ දේ පිළිවෙළකට ඇසිරීම මවගේ කාර්යය භාරයේ කොටසකි

මෙසේ අත්‍යවශ්‍ය දේ අතරින් සිඟිත්තාගේ කෑම පෙට්ටිය පිළිබඳව ඔබේ අවධානය යොමු විය යුතු සුවිශේෂී කරුණු කිහිපයක් පිළිබඳව මේ ලිපිය හරහා මව්වරුන් දැනුවත් කිරීමටයි මේ සූදානම.

පෙර පාසැල් සිඟිත්තාගේ කෑම පෙට්ටිය

  • උසස් තත්ත්වයේ ප්ලාස්ටික් නිෂ්පාදනයක් තෝරාගන්න
  • ප්‍රමාණයෙන් විශාල නොවිය යුතුය
  • හැකි නම් කෑම පෙට්ටි දෙකක් තබා ගන්න
  • කෑම පෙට්ටිය සිඟිත්තාට තනිව හෝ විවෘත කරගැනීමට පහසු එකක් වීමට වග බලාගන්න
  • කෑම පෙට්ටිය ඔතන සර්වියට් එක දරුවාට පාලනය කරගැනීමට හැකි ප්‍රමාණයක් විය යුතුය

සිඟිත්තාගේ කෑම පෙට්ටියට පෝෂණයෙන් සපිරි විවිධ කෑම වර්ග විවිධත්වයකින් යුතුව එක් කිරීමට මෙන්ම ආහාරයේ රසය, වර්ණය පිළිබඳව ද ඔබේ අවධානය යොමු විය යුතුයි. ඇතැම් මව්වරුන් සිතා සිටින්නේ දරුවන් කුඩා නිසා ආහාරයේ පෙනුම පිළිබඳව ඔවුන් අවධානයක් යොමු නොකරනු ඇතැයි කියාය. නමුත් වැඩිහිටි අපට මෙන්ම දරුවන්ට ද ආහාර දුටු විගස රුචිකත්වයක් ඇති වන්නේ ආහාරයේ පෙනුම නිසාය. එසේම පෙර පාසැල් වයසේ දරුවෙකු ආහාරයට ගන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් නිසාම කෑම පෙට්ටිය පිරී ඉතිරෙන ලෙස ආහාර දැමීමෙන් වැළකිය යුතුය. එන්ද එය දරුවාට අප්‍රියජනක දසුනක් වනු නොඅනුමානය. එසේම එය දරුවාව විශාල අභියෝගයකට ලක්කිරීමකි.

එසේ රුචිකත්වයක් ඇති නොවන විට ආහාර ලබා ගන්නා වේලාව ළංවත්ම උදරයේ වේදනාවක් හෝ වෙනත් රෝගී තත්ත්වයක් පවසමින් කෑම වේල මග හරින්නට උත්සාහ ගන්නා සිඟිත්තන් මෙන්ම අනෙක් දරුවන්ගේ කෑම පෙට්ටිය දෙස දෙනෙත් යොමා සිටින සිඟිත්තන් ද අපට හමුවේ.

මේ කරුණු මත සිඟිත්තාගේ ආහාර වේලට විවිධත්වයක් එක් කරන්නත් එය රසයෙන් හා පෙනුමෙන් උසස් ලෙස සකසන්නටත් නිසි සැලසුමක් තබාගැනීම මවකට පැවරෙන වගකීමකි.

ඔබේ සිඟිත්තාට විවේක කාලයෙදී ලබාදෙන්නේ බත් නම්,

  • එය මිශ්‍ර කර ගැනීමට පහසු ලෙස ලබාදෙන්න
  • කටු ඉවත් කරන ලද මස්/මාළු කුඩා කැබලි ලෙස ලබාදෙන්න
  • සම්පූර්ණ බිත්තරය පිටින්ම යොදා හතරට හෝ කපා දමන්න
  • කරපිංචා නටු/කොළ ඉවත් කරන්න
ඔබ ලබාදෙන්නේ පාන් නම්,

  • සැන්විච් ලෙස සැකසුව ද බටර්/ජෑම් හෝ බටර්/මාමයිට් තැවරුවද පාන් පෙත්තේ වැටි කපා කුඩා කැබලිවලට කැපීමෙන් දරුවාට තනිව එය ආහාරයට ගැනීම පහසු කරවයි. එවිට දරුවාට තම ආහාරය ඉතා පිළිිවෙළට හා පිරිසිදුවට ලබාගැනීමට ද හැකියාව ඇත.
ධාන්‍ය වර්ග ලබාදෙන්නේ නම්,

  • බටර්/තෙල් යොදා තෙම්පරාදු කරන්න
  • දරුවා කැමති නම් සිහින්ව ගාගත් පොල් සමග ලබාදෙන්න
නුඩ්ල්ස්/පැස්ටා ලබාදෙන්නේ නම්,

  • එළවළු/බිත්තර/මස් හෝ මාළු එක්කර තෙම්පරාදු කර ලබාදීමෙන් පෝෂණ ගුණය සුරැකෙනවා සේම සුවඳ සහ පෙනුම නිසා දරුවා ආහාරයට රුචියක් දක්වයි.
සමපෝෂ/අග්ගලා වැනි දෙයක් ලබාදෙන්නේ නම්,

  • දරුවාගේ විවේක කාලය වන විට වියළි තත්ත්වයට පත්නොවී තිඛෙන අයුරින් සකසාගන්න
  • දරුවාට අල්ලාගෙන කෑමට පහසු ප්‍රමාණයේ කුඩා බෝල සකසන්න
පළතුරු/එළවළු ලබාදෙන්නේ නම්,

  • හොඳින් තම්බා කුඩා කැබලිවලට කපා අසුරා දෙන්න.
  • එය ආහාරයට ගැනීම සඳ හා ආරාක‍ෂාකාරී ගෑරුප්පුවක් ලබාදෙන්න
  • සුපිරි වෙළඳසැල්වල පලතුරු කපා අසුරා ඇති රිජිෆෝම් පලතුරු අසුරුම් විවේක කාලය සඳහා එවීමෙන් වළකින්න
පාන වර්ග

  • සැමවිටම හොඳින් උතුරවා නිවාගත් පිරිසිදු ජලය පමණක් පානය සඳහා ලබාදෙන්න. එක් එක් වර්ණයන්ගේ රසයන්ගේ බීම වර්ග ලබාදීමෙන් වළකින්න. වතුර බෝතලය සැමවිටම දරුවාට තනිව විවෘත කරගැනීමටත් වැසීමටත් හැකි ආකාරයේ එකක් වීම වඩාත් පහසුවක් වනු ඇත.
– සැලිකිය යුතුයි –

  • දරුවා පෙර පාසැලට යැවීමට පෙර උදෑසන ආහාර වේල ලබාදීමට සැලකිලිමත්වන්න එවිට පෙර පාසැලේදී ආහාරයට ගැනීම සඳහා කෙටි ආහාරයක් ලබාදීමේ වරදක් නොමැත.
  • බත්/නූඩ්ල්ස්/පැස්ටා/පළතුරු/එළවළු/ධාන්‍ය වර්ග ලබාදීමේදී හැන්දක් හෝ ගෑරුප්පුවක් දරුවාට ලබාදීමෙන් ආහාර ගැනීමේදී එය විශාල පහසුවක් වනු ඇත. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු වැදගත් කරුණක් වන්නේ පුංචි දඟකාරයන් වන පෙර පාසැල් වයසේ සිඟිත්තන්ට ස්ටේන්ලස් ස්ටීස් ගෑරුප්පු දීමෙන් දරුවාගේ හෝ අනෙක් දරුවෙකුගේ හෝ ඇණනහොත් තුවාල සිදුවිය හැකි බැවිනි. මේ සඳහා උසස් තත්ත්වයේ ප්ලාස්ටික් ගෑරුප්පුවක් යොදාගත හැකි නම් එය වඩාත් යෝග්‍ය වේ.
වළකින්න

  • සීරියල්/කෝනෆ්ලෙක්ස් කිරි සමග මිශ්‍ර කොට එවීමෙන් වළකින්න
  • දරුවාට පාලනය කරගත නොහැකි ප්‍රමාණයේ අත්පිස්නා එවීමෙන් වලකින්න (එය දිනපතා පිරිසිදු කිරීමටත් කල්පනාකාරී වෙන්න)
  • දිනපාතා කෙටි කෑමහල් වෙතින් ලබාගන්නා කෙටි ආහාර වර්ග දිනපතා එවීමෙන් වළකින්න
පෙර පාසැල් ආචාරිනී ක්‍රිස්ටීන් ෆ්රැන්සිස්කා සිල්වා මහත්මිය සමග සකසන ලද ලිපියකි 

 

පාසැල් බෑගය දරුවන්ගේ කොදුඇට පෙළේ අසාමාන්‍යතා ඇති කරන බව ඔබ දන්නවාද?

මෑතක සිට අප භෞතචිකිත්සක අංශ වෙත පැමිණෙන පාසැල් දරුවන් සංඛ්යාව ඉහළ ගොස් ඇති බව පෙනී යයි. ඒ කොඳු ඇට පෙළ එක් පැත්තකට වක්ර වී තිබීම (ස්කෝලියොසිස් තත්ත්වය) හේතුවෙනි. මෙයට මූලිකම හේතුවක් ලෙස අප දකින්නේ අධික බරින් යුත් පාසැල් බෑගය එක් උරහිසකට පමණක් දමාගෙන දිනපතා පාසල් යාමට පුරුදු වූ දරුවන් දිගු කාලයක් මෙලෙස බෑගය රැගෙන යාමෙන් කොඳු ඇට පෙළ එක් පැත්තකට වක් වී ඇති බවයි. එබැවින් අප නිර්දේශ කරන්නේ පිටේ එල්ලාගෙන යන බෑගය සුදුසු බවයි. එය වුවත් දරුවාට ඔසවාගෙන යාමට සුදුසු බරකින් එය යුක්ත විය යුතුය.

මේ ආකාරයෙන් වැරදි ඉරියව් හේතුවෙන් ඇති විය හැකි මෙවැනි තත්ත්වයන් පිළිබඳව සැවොම දැනුවත් වීම ඉතාම වැදගත් වන අතරම ලොකු කුඩා කාටත් මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවිය හැකිය.  මේ ලිපිය හරහා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ වැරදි ඉරියව් හේතුවෙන් කොදු ඇට පෙළ ආශ්රිතව ඇති විය හැකි අසාමාන්යතා පිළිබඳව දැනුවත් කිරීමටයි.

දිගු කාලයක් මුළුල්ලේ වැරදි ඉරියව්වල සිට කාර්යයන්වල නිරත වූවන්ට කොඳු ඇට පෙළ ආශ්රිතව ඇති විය හැකි ආබාධ පහත පරිදි වේ.

  • කොඳු ඇට පෙළ කුදු වීම හෙවත් කයිපොසිස් (Kyphosis)
  • කොඳු ඇට පෙළ පැත්තකට නෙරා යෑම හෙවත් ස්කෝලියෝසිස් (Scholiosis)
  • කොඳු ඇට පෙළ ඉදිරියට නෙරා ඒම හෙවත් ලෝඩෝසිස් (Lodosis)

කයිපොසිස් සහ ස්කෝලියොසිස් යන වක්ර වැඩි වශයෙන් දක්නට ලැඛෙන්නේ උරස් කශේරුකා ආශ්රිතවය. ලෝඩෝසිස් වක්රය කටී කශේරුකා පද්ධතිය තුළත් බහුලව දක්නට ලැබේ. මෙම අසාමාන්ය වක්ර ශරීරයේ අලංකාරය නැති කරනවා පමණක් නොව පෙණහලූ රෝග සහ ස්නායු රෝග ද ඇති කරයි.

මේ තත්ත්වයන් ඇති වීමට බලපෑ හැකි වෙනත් හේතු

  • මාංශ පේශීන් දුර්වල වී සමතුලිතාව බිඳවැටීම
  • ස්නායු ආඝාතයට ලක්වීම
  • සුෂුම්නාව හෝ කශේරුකාවට ඇති වන ආසාදන
  • උත්පත්තියෙන්ම ඇතිවන අසාමාන්යතා
  • සුෂුම්නාවේ හටගන්නා අර්බුද (Tumour)
  • දෙපාවල දිගෙහි වෙනසක් තිබීම

කුඩා වියේ සිටම දරුවන්ගේ ඉරියව් පිළිබඳව නිරීකෂණය කරමින් ඔවුන්ව නිවැරදි ඉිරියව්වලට පුරුදු කිරීම ඉතා වැදගත් බව ඔබට වැටහෙනවා ඇති. විශේෂයෙන් ඔවුන් පාඩම් කරන ඉරියව් නිවැරදි විය යුතුය. බොහෝ දරුවන් කොන්ද කුදු කරගෙන පාඩම් කරන අතරම එවිට කොඳු ඇට පෙළේ කයිපොසිස් නම් තත්ත්වය ඇති වේ. දරුවා පාඩම් කරන විට කොන්ද ඍජුව තබාගෙන, හිස හැකි පමණ කෙළින් තබාගෙන පොත මේසයට ආනතව සිටුවාගෙන එය කරන්නේ නම් වඩාත් නිවැරදිය.

ස්කොලියෝසිස් තත්ත්වයට තවත් හේතුවක් නම් පාද දෙකෙහි දිග අසමාන වීමයි. එවිට එම වෙනසට ගැළපෙන ලෙස කොඳු ඇට පෙළ ඇද වී යයි.

උදරය ඉදිරියට නෙරා එන ලෙස කොඳු ඇට පෙළ පිහිටීම zලෝඩෝසිස්Z නම් තත්ත්වයට  පේශිවල දුර්වලතාවය ප්රධාන වශයෙන් බලපායි. උදර පේශි ශක්තිමත් කරන ව්යායාම කිරීමෙන් ලෝඩෝසිස් තත්ත්වය අවම කර ගත හැක.

ස්කෝලියෝසිස්, කයිපොසිස්, ලෝඩෝසිස් තත්ත්ව නිවැරදි කිරීමට

  • ඛෙල්ට්/කෝසෙට් වර්ග පැලඳ සිටීම සුදුසුය.
  • ස්කෝලියෝසිස් සඳහා දෙඅත් ඔසවා ආධාරකයක එල්ලී සිටීම සුදුසුය
  • කයිපෝසිස් සඳහා මුනින් අතට දිගා වී දෙඅත් පිටුපසට බැඳ හිස හා කඳ කොටස ඉහළට ඔසවාගෙන සිටීම
  • ලෝඩෝසිස් සඳහා උඩුබැලි අතට හාන්සි වී උදරය මත උඩින් අත් දෙක බැඳගෙන හිස හා කඳ අංශක 45ක් ඔසවාගෙන මිනිත්තුවක් පමණ සිටීම.
කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞතචිකිත්සක, වරලත් භෞතචිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි

 

ළදරුවාට මාස හයක් පුරා මව්කිරි පමණක් ලබා දීමට හේතු මෙන්න

අලුත උපන් ළදරුවාට ඉතාම සුදුසු ආරක්ෂිත ආහාරය මව්කිරි වන අතර දරුවාට අවශ්‍ය සියලූ පෝෂණ කොටස් එහි අන්තර්ගත වේ. දරු ප්‍රසූතියෙන් පසු මුල් දින කිහිපය තුළදී මව විසින් නිපදවන ලා කහ පැහැති කිරි කොලෙස්ට්‍රම් ලෙස හඳුන්වයි. මෙය ඉතා ස්වල්ප වශයෙන් නිපදවූවත් අලූත උපන් දරුවාට ප්‍රමාණවත් වේ. සියලූ පෝෂකවලින් අනූන මෙම මුල් කිරි මගින් දරුවා ආසාදන රෝගවලට ගොදුරු වීම වළකයි. එමෙන්ම මෙම කාලයේදී නිපදවන මුල් කිරි සියල්ලම දරුවාට ලබාදිය යුතුයි. දරුවාට මාස 06 සම්පූර්ණ වන තෙක් මව්කිරි පමණක් දීම අනිවාර්ය වේ. මාස 06 න් පසු අමතර ආහාර හඳුන්වා දිය යුතු අතර මව්කිරි දීම අවුරුදු 2 දක්වා හෝ ඊට වැඩි කාලයක් ක්‍රියාත්මක කළ හැකිය.

මව්කිරි මගින් දරුවාට ලැඛෙන වාසි

  • දරුවාගේ වර්ධනයට සහ විකසනයට අවශ්‍ය සියලූ පෝෂක ප්‍රශස්ථ මට්ටමින් දරුවාට ලැබේ.
  • මව්කිරි පහසුවෙන් දිරවයි. දරුවාට හොඳින් අවශෝෂණය වෙයි.
  • දරුවා ආසාදන රෝගවලින් ආරක‍ෂා කරයි.(උදා- පාචනය, ස්වසන මාර්ග ආශ්‍රිත ආසාදන හා කනේ ඇති වන ආසාදන)
  • මල බද්ධය වළකයි.
  • එය පිරිසිදුයි. ඕනෑම අවස්ථාවක දරුවාට ලබාදිය හැකිය.
  • මව හා දරුවා අතර සම්බන්ධතාවය වැඩිදියුණු කරයි.
  • ජීවිතයේ පසු අවස්ථාවල ඇතිවිය හැකි ආසාත්මිකතාවයන් වන ඇදුම, සමේ රෝග ආදිය වළකයි.
  • ජීවිතයේ පසු අවදියේ ඇතිවිය හැකි බෝ නොවන රෝග වන තරබාරුව, දියවැඩියාව, හෘද රෝග වැනි රෝග ඇතිවීම වළකයි.
මව් කිරි දීම නිසා මවට සහ පවුලට ලැඛෙන වාසි

  • මවට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු වේ.
  • මවගේ බර අඩු වීමට උදව් වේ.
  • ආර්ථීක වාසි ලබා දෙයි.
දරුවාට මාස 06 ක් යන තෙක් මව්කිරි පමණක් දිය යුත්තේ ඇයි ?

අලූත උපන් දරුවා මාස 06 සම්පූර්ණ වන තෙක් ප්‍රශස්ථ මට්ටමෙන් වර්ධනය සිදුවීම සඳහා ප්‍රමාණවත් පෝෂක මව් කිරිවල අඩංගු වේ. එමෙන්ම මව විසින් නිපදවනු ලබන මව්කිරි ප්‍රමාණයද දරුවාගේ වර්ධනය සඳහා ප්‍රමාණවත්ය. මව්කිරි මගින් දරුවාට අවශ්‍ය ජලයද ප්‍රමාණවත් ලෙස ලැඛෙන නිසා මෙම කාලයේදී අමතර දියර වර්ග දීම අවශ්‍ය නොවේ. මාස 06 ක් යන තෙක් මව් කිරි පමණක් ලබා දීම නිසා දරුවා ලෙඩ රෝග වලින් ආරක්ෂා වන අතර ආසාත්මික රෝග වලට ගොදුරු වීමේ අවදානම අඩු කරයි.

මව කොපමණ කලක් මව් කිරි දිය යුතුද ?

දරුවා ඉපදී පැයක් ඇතුළත මව්කිරි දීම ආරම්භ කළ යුතුය. දරුවාට අවශ්‍ය සෑම විටම මව්කිරි දිය යුතුය. දරුවාගේ බර මැනීම මාස් පතා සිදු කළ යුතු අතර මෙයින් දරුවාගේ වර්ධනය මැන ගැනීමට පුළුවන. බර වැඩිවීම ප්‍රශස්ථ අයුරින් සිදු නොවේ නම් වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුය. අමතර ආහාර මාස හයක් වන විට ආරම්භ කල යුතු අතර මව්කිරිදීම අවුරුදු දෙකක් හෝ ඊට වැඩිකාලයක් දක්වා ක්‍රියාත්මක කළ හැක.

මව්කිරිදෙන ළදරුවන්ට විටමින් පරිපූරක අවශ්‍යද ? 

මව්කිරි පමණක් දෙන ළදරුවනට අමතර විටමින් හා ඛනිජ ලවණ අවශ්‍ය නොවේ. නොමේරූ හා අඩු බර සහිත දරුවන්හට වෛද්‍ය උපදෙස් මත පමණක් මෙම පරිපූරක විටමින් හා ඛනිජ ලවණ භාවිතා කළ හැක.

අසනීප වූ දරුවාට මව්කිරි දිගටම ලබා දිය යුතුය. දරුවා අසනීප වූ විටදී ප්‍රමාණවත් ලෙස පෝෂණය පවත්වාගෙන යාම ඉතා වැදගත් අතර එමගින් දරුවාගේ සුව වීම ඉක්මන් වේ. තවද මෙම කාලය තුළදී දරුවාගේ වර්ධනය අඩාල වීමද වළකී. එමනිසා දිගටම මව්කිරි දීම කළ යුතු අතර කිරි දෙන වාර ගණන වැඩි කිරීම මගින් දරුවාට නිසි පෝෂණය හා ඉක්මණින් සුවවීම යන ප්‍රතිලාභ අත් වේ.

වැඩකරන මව්වරුන්

මව දරුවා සමඟ නොමැති අවස්ථාවල තම මවගෙන් දොවාගත් කිරි දරුවා පෝෂණය කිරීමට භාවිතා කළ හැකිය. දොවාගත් කිරි පැය 06 ක් කාමර උෂ්ණත්වයේද පැය 24 ශීතකරණයක් තුළද (අධිශීතකරණ නොවන කොටස) සුරක‍ෂිතව ගබඩා කිරීමට හැකිය. මෙම දොවාගත් කිරි නැවත දරුවාට ලබා දීමේදී රත් කිරීම සුදුසු නැත. කිරි පෙවීම සඳහා කෝප්පයක් සමඟ හැන්දක් භාවිත කිරීම වඩා යෝග්‍ය අතර සූප්පු සහිත කිරි බෝතල් භාවිතය සම්පූර්ණයෙන් බැහැර කළ යුතුය. මාස හය සම්පූර්ණ වන තෙක් දිගටම මව් කිරි දීම කළ නොහැකි අවස්ථාවක හෝ කිරි දොවා ගැනීමේ හා ගබඩා කිරීමේ අපහසුතා ඇති අවස්ථාවක දරුවා පෝෂණය කිරීම සඳහා අමතර ආහාර මාස හතරෙන් වෛද්‍ය උපදෙස් මත ආරම්භ කළ හැකි අතර පිටිකිරි ලබා දීම සිදු නොකළ යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ ප්‍රකාශනයක් ඇසුරෙනි

 

ව්‍යායාම හා ක්‍රියාශීලී වීම මගින් ප්‍රියමනාප සහ නිරෝගී සිරුරක් පවත්වාගන්න

පුද්ගලයකු කිනම් වයස් කාණ්ඩයක වුවද, ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍යය හා පෝෂණ තත්වය තීරණය කිරීමට ශරීරයේ බර, ඉතාම වැදගත් සාධකයකි.

උසට සරිලන නියමිත බර පවත්වා ගැනීමට පෝෂ්‍යදායි ආහාර පාන නිසි ප්‍රමාණයට ගැනීමත්  දිනපතා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමත් කළ යුතුය.

ශරීර ස්කන්ධ දර්ශකය

පුද්ගලයකුගේ උසට සරිලන  නියමිත බර ප්‍රමාණය තීරණය කිරීමේ මිනුම් දණ්ඩ BMI අගය හෙවත් ”ශරීර ස්කන්ධ දර්ශකය” නමින් හැඳින්වේ. BMI අගය තීරණය කිරීමට පුද්ගලයෙකුගේ බර ( කි.ග්‍රෑම් ) ඔහුගේ උසෙහි වර්ගඵලයෙන්  ( මීටර් වලින් ) ඛෙදිය  යුතුය.

සුදුසු බර :  BMI  අගය 18.5 – 23 අතර

  • නිරෝගී පුද්ගලයකුගේ එනම් උසට සරිලන ශරීර බර ඇති අයෙකුගේ අගය ඉහත පරාසය තුළ තිබිය යුතුය.

අඩු බර : BMI  අගය 18.5 අඩු

  • පුද්ගලයකුගේ BMI  අගය 18.5 ට වඩා අඩුනම් ඔහු හෝ ඇය අඩු බර හෙවත් මන්ද පෝෂණ තත්වයකින් පෙලේ. මන්ද පෝෂණය ඇති පුද්ගලන්ට ඇනීමියාව ඇතුළු විටමින් හා ඛනිජ ලවන ඌණතා රෝග ඇතිවීමේ අවදානමද වැඩිය.

අධි බර : BMI අගය 25-30 අතර

තරබාරු  : BMI අගය 30 ට වැඩි

  • BMI අගය 25 ට වැඩි වු විට අධිබර හෝ තරබාරු ගණයට වැටේ. ශරීර බර වැඩි අයට හෘද රෝග, දියවැඩියාව, අධි කොලොස්ටරෝල් තත්වය, අධි රුධිර පීඩනය ඇතුළු රුධිර නාළ අවහිරතා රෝග වැලඳීමේ අවදානම ඉතා වැඩිය.
ඉණ වට ප්‍රමාණය (Waist Circumference)

පුද්ගලයකුගේ ඉණ වට ප්‍රමාණයත් (බඳ වටා ඇති මේද ප්‍රමාණ) එම පුද්ගලයාගේ දියවැඩියාව, හෘද රෝග හා රුධිර නාළ අවරහිරතා රෝග වැළඳීමේ අවධානමත් අතර දැඩි සම්බන්ධතාවයක් පවතින බව සොයාගෙන ඇත. එම රෝග සඳහා අඩු අවදානමක් ඇති නිරෝගි කාන්තාවකගේ (ආසියානු) ඉණවට ප්‍රමාණය අඟල් 31ට (සෙ.මි. 79ට) වඩා අඩු විය යුතු අතර, පුරුෂයෙකුගේ එය අඟල් 35 (සෙ.මි. 89ට) වඩා අඩු විය යුතුය.

ඉහත සීමාවන්ට ඔබ්ඛෙන් ඉණ වට ප්‍රමාණය සහිත අයට වෛද්‍ය උපදෙස් මත ආහාර පාලනය සහ නිසි ව්‍යායාම මගින් අවදානම අවම කරගත හැකිය.

ඔබ සෘජුව සිටගත් විට, අවසාන ඉල ඇටය සහ උකුල් ඇටය අතර හරි මැදින් වු බඳේ වට ප්‍රමාණය ඉණේ වට ප්‍රමාණය වේ. මෙය බොහෝ පුද්ගලයන්ගේ නාභිය හරහා ගමන් කරයි.

ළමා සෞඛ්‍ය වර්ධන සටහන

උපතේ සිට වයස අවුරුදු 5 දක්වා දරුවාගේ වර්ධනය මැන බැලීම සඳහා ළමා සෞඛ්‍ය වර්ධන සටහන භාවිතා කරන අතර , ළමා මාතෘ සායන මගින් මෙය සිදු කරයි.

ව්‍යායාම හා ශාරීරික ක්‍රියා

වැඩිහිටි වයස (අවුරුදු 18-65)

ශරීරය නිරෝගීව, නිසි බරින් පවත්වා ගැනීම සඳහා වැඩිහිටියෙකු දිනකට පැය භාගය බැගින් සතියකට දින පහක් ව්‍යායාමයක හෝ කය වෙහෙසා කරන කාර්යයක නිරත විය යුතුය.එසේම අවම වශයෙන් සතියකට දින දෙකක් මාංශ පේෂීන් වර්ධනය කරන ව්‍යයාමයක නිරත විය යුතුය.

වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම, හෝ එල්ලේ, වොලිබෝල්, දැල්පන්දු, බැඩ්මීන්ටන්  යනාදී විවිධ ක්‍රීඩා නිරත වීම මෙන්ම අතු ගෑම, ගෙවතු වගාව, ගෙවතු පිරිසිඳු කිරීම, හේන්වල සහ කුඹුරුවල  වැඩ ඇතුළු සියළු දේ ව්‍යායාම හෝ කය වෙහෙසා සිදුකරන කාර්යයන් වේ.

ළමා සහ යොවුන් විය (අවුරුදු 5 – 18 දක්වා)

ළමයින් හා යොවුන් වියේ දරුවන් අවම වශයෙන් දිනකට පැය එකක්  ශාරීරික ක්‍රියාකාරකමක හෝ ව්‍යායාමයක නිරතවිය යුතුය.මෙම ව්‍යායාම මධ්‍යස්ථ ක්‍රියාශීලී හා වේගවත් ව්‍යායාම විය යුතුය.

උදා :– දිවීම, උස පැනීම, කවපෙත්ත / යගුලිය විසි කිරීම වැනි මලල හා ජවන පිටිය ක්‍රීඩා, පිහිනීම, ක්‍රිකට්, පාපන්දු, වොලිබෝල් හා දැල්පන්දු වැනි සාමුහික හෝ කණ්ඩායම් ක්‍රියාය.

ගර්භණී හා කිරි දෙන මව්වරුන්

වෙනත් සෞඛ්‍යමය ගැටලුවක් නොමැති ගර්භණී හා කිරි දෙන මව්වරුන් සඳහා හැකි සෑම දිනයකම සුපුරුදු දෛනික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් සහ අවම වශයෙන් පැය භාගයක් වෛද්‍ය උපදෙස් මත සුදුසු ව්‍යායාම කිරීම යෝග්‍ය වේ. විශේෂයෙන් මෙය ගර්භණී සමයේ සිදුවිය හැකි අනවශ්‍ය බර වැඩිවීම පාලනයටත්, ප්‍රසුතිය පහසු කිරීමටත් උපකාරී වේ.

ශාරීරික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම ශාරීරික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද ?

ශාරීරික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම මගින් ඔබේ ශාරීරික මස් පිඬු හා විශේෂයෙන් හෘද පේෂී ශක්තිමත් කරන අතරම, සෑම ශරීර අවයවයකටම හොඳ රුධිර සැපයුමක් ලබා දෙයි. ශාරීරික ක්‍රියා හා ව්‍යායාම මානසික ප්‍රබෝධය ඇති කරන අතර, මානසික ආතතිය දුරු කරලීමටද උදව් වේ. ආහාර පාන මගින් ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමාණයට සමගාමීව ව්‍යායාම හෝ ශාරීරික ක්‍රියාකාරකම් කිරීම මගින් ඔබේ ශරීර බර තුලනය කිරීමට හැම විටම උත්සහ ගත යුතුය. ශාරීරික ක්‍රියාකාරකමක් එක දිගට කළ නොහැකි නම් එය මිනිත්තු 10 හෝ 15 කොටස් ලෙස වෙන්කර සිදු කළ යුතුය.

ආහාර  හා බර තුලනය

අධිබර ඇති අය ශරීර බර අඩු කර ගැනීමේදී, ප්‍රධාන ආහාර වේලක් සම්පූර්ණයෙන්ම මගහැරීම නොකළ යුතුය. එමෙන්ම බර අඩු කර ගැනීමේදී සතියකට උපරිම ලෙස ග්‍රෑම් 500 ත්  කි.ග්‍රෑම් 1 ත් අතර ප්‍රමාණයකින් බර අඩු කර ගැනීම සෞඛ්‍යයට හිතකර නිර්දේශය වේ.

උසට සරිලන බර අඩු අය, ගන්නා ආහාර ප්‍රමාණය වැඩිකළ යුතුය. මෙහිදී ශක්තිජනක හා ප්‍රෝටීන බහුල ආහාර වැඩිපුර ගත යුතු අතරම, සාමාන්‍ය පරිදි තම දෛනික ක්‍රියාකාරකම්වල යෙදිය යුතුය.

දිනකට ගන්නා සියලු  ආහාර පාන ප්‍රධාන ආහාර වේල් තුනට හා පෝෂ්‍යදායී කෙටි ආහාර වේල් දෙකකට සීමා කිරීමටත්, ආහාර වේල් අතර, කාල පරතරයක් තබා ගැනීමත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතකට උපකාරී වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ ප්‍රකාශනයක් ඇසුරෙනි.

 

ගංවතුර සමයේදී මහජනතාව විසින් අවධානය යොමුකළ යුතු කරුණු

වසංගත රෝග විද්‍යා අංශය, – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය

 

ගංවතුර සහ ඊට පසුව …

පැය ගණනාවක් පුරා දිගින් දිගටම ඇති වෙන නොනවතින වැස්ස අන්තිමේදී නවතින්නේ අපේ ජීවිත, දේපල වගේම වගා බිම් පවා පාලුවට පත් කරමින් වැස්ස අපිට පාලනය කිරීම අපහසු වුනත් වැස්සත්  සමග ගංවතුර තත්වයක නිමිති පහල වුනොත් අපි බුද්ධිමත්ව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒත් ඉතිං හදාගත්තු ගෙදර දොර, නිවසේ සිටින සතුන් මේ සියල්ල අතහැරල අපි කොහේ යන්නද කිව්වත් ඒ සියල්ලටම වඩා ජීවිතේ වටින නිසා ආත්මාරක්ෂාව සලසා ගැනීම අවශ්‍යයි.

ගංවතුර අවදානමක නිමිති දැනුනාම මොකද කරන්නේ….

ඔබ ජීවත්වෙන පලාතට ගංවතුර අවදානමක් ඇත්තේ නම් මුලින්ම ඔබ බුද්ධිමත්ව තීරනයක් ගත යුතුයි.

මුලින්ම ඔබේ ඇති වටිනා දේ තෝරා ගන්න. මුදල්, බැංකු පොත් රත්රන් භාණ්ඩ , අධ්‍යාපන සහතික වැනි දේ අනාගතය වෙනුවෙන් වූ සැබෑම ආයෝජනයන් බව අමතක කරන්න එපා.

ඒ සමගම නිවසේ ජලනල පද්ධති නැවතුම් කරාමයෙන් වසන්න. විදුලිය විසන්ධි කොට නිවසේ විදුලි භාණ්ඩ කල් තබාම ආරක්ෂිත යැයි සිතන උසකින් තබන්න.ශීතකරන, අධිශීතකරන වදුලිය විසන්ධි කොට ඇතුලත තිබෙන දේ ඉවත් කර තබන්න. ගෑස් ලිප හා සිලින්ඩරයද ආරක්ෂිත ස්ථානයක තබන්න. මේ සියල්ල ඉතා හදිසියේ කිරීම අපහසු නිසා ඔබ අවදානමට ඉඩ ඇති බව දැනුන විට ඒ වෙනුවෙන් සූදානම් වෙන්න.

ඔබ ආරක්ෂාව පතා නිවසින් බැහැර වෙන විට ඉතා හොඳින් නිවසේ ජනේල සහ දොරවල් වසා යන්න අමතක කරන්න එපා.ගංවතුර බැස ගිහින් නැවත යතා තත්වයට පත් වුනාම ඔබ පුරුදු නිවසට පැමිණෙනවා. ඒ පැමිණීම සමග ඔබට තිබෙන කටයුතු එතරම් ලෙහෙසි පහසු නැහැ. ඒ සමගම සම්පූර්ණයෙන්ම ආරක්ෂිතය යන නිවේදනය ලැබෙන තෙක් නිවස පැමිණීමට උත්සාහ කරන්න එපා. වතුර බැස ගියත් නැවතත් ජල මට්ටම ඉහල යෑමට විශාල අවදානමක් තිබෙනවා.

ගංවතුර ගැලූ ප්‍රදේශයන්හි ඇවිදීම ඉතා අනතුරුදායකයි. ඊට හේතුව වතුර සමග පැමිණි වීදුරු , ලී වැනි දෙයින් අනතුරක් වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ඔබ නිවසින් යන විට තිබුන ස්වරූපයට වඩා පැමිණෙන විට පවතින ස්වරූපය බොහෝ සේ වෙනස් විය හැකියි.

කැඩුන බිදුන තැන් නිසා අනතුරු සිද්ධ වෙන්න පුලුවන්. පොලවේ බිඳුන තැන් නිසා අනතුරක් විය හැකියි.

ඒ විතරක් නොවේ ඉතාම අනතුරුදායක් තත්වයක් මෙතැනදී තිබෙනවා. ගංවතුර සමග ඇති වෙන සුලං නිසා විදුලි රැහැන් බිඳ වැටී විදුලි කාන්දු වීම් සිදු වෙන විට එයින් ඇති වෙන අනතුරු නිසා ඔබ ගංවතුරෙන් ආපදාවක් නොමැතිව ආරක්ෂා වුනත් විදුලි සැරෙන් බේරෙන්න අපහසු විය හැකියි. ඒ නිසා අනවශ්‍ය විදිහට වතුරට යට වුන ප්‍රදේශයන්හි ඇවිදින්න එපා. බොහෝ දෙනෙක් මේ වතුරට යට වුන ප්‍රදේශයේ ඇවිදින්නේ හේතුවක් ඇතුව නොවේ. ඔවුන්ට අනතුරු ඉව ගැන ඇත්තටම වැටහීමක් නැහැ. ඒ නිසා අනවශ්‍ය විදිහට ජලයට යට වුන ප්‍රදේශයන්හි ඇවිදින්නඑපා.

වතුර සමග ගසා ගෙන පැමිණි විසකුරු සතුන්ගෙන්ද අවදානම් නැතුවා නොවෙයි. පසුගිය දිනක ගංවතුර සමග ගසා ගෙන ආ කිඹුලෙක් නිවසක සිටි අන්දම ඔබ මාධ්‍ය මගින් දකින්නට ඇත. තලියේ පැනෙහි කිඹුලන් දැකිය යුතු නැති වුනත් ගංවතුර සමග නම් විසකුරු සර්පයන්ගේ ආගමනය ගැනත් අනතුරු තිබෙනවා.

නිවස ඇතුලට පැමිනීමට පෙරාතුව කුඩා දරුවන් පසෙක තබන්න. වතුරට තෙමුන බිත්ති බිඳ වැටෙන්නට ඉඩ තිබෙන නිසා මුලින්ම නිවස ඇතුලත පරීක්ෂා නර බැලීම වැදගත්.

නිවසේ විදුලි උපකරණ ඉතා ප්‍රවේසමෙන් පරීක්ෂා කරන්න. විදුලි පද්ධතිය පරීක්ෂා කොට ඔබේ නිවසේ ආරක්ෂිත බව සහතික වෙන‍ තෙක් උපකරණ ක්‍රියාත්මක ‍කිරීමට  ඉක්මන් වෙන්න එපා.

ජලය බැස යෑමට තිබෙන කාණු පද්ධති පිරිසිදු කොට වතුර බැස්මට හරින්න. විෂබීජ නාශක දියර භාවිතා කරන්න. පිරිසිදු කිරීම්වලදී පාවහන් පළඳා සිටීම ඉතා වැදගත්. විශේෂයෙන් මීයන්ගේ මුත්‍රා මාර්ගයෙන් වගේම වෙනත් විෂ සංයෝග ශරීරගත වීමට ඉඩ තිබෙනවා.

වැසිකිලිය පිරිසිදු කරන්න. නිවසට හොදින් වාතය සහ හිරු එලිය ඇතුලු වෙන සේ ජනේල අරින්න. බිත්තිවල ඇති ස්විච් ආදියට හානි වී ඇත්තේනම් ඒවා අලුත්වැඩියා කරන්න. බිත්තිවල ඉරි තැලීම්, දොර උලුවහු ආදිය වෙනස් වී ඇත්තේනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දෙන්න. භූමිය පිලිබඳව සැලකිලිමත් විය යතු බවට මෙම තත්වයෙන් අනතුරු දන්වා සිටින නිසා ඔබ දකින වෙනස නොසලකා සිටින්න එපා.පොත් පත් තෙමී ඇත්තේ නම් අව්වේ වියලන්න එපා. තෙමුන පිටු අතරට තීන්ත උරන කඩදාසි තබන්න. එය වියදම් අධික නිසා සාමාන්‍ය සුදු කඩදාසි තෙත පිටුවෙන් පිටුවට තබා හිසකෙස් වියලය යන්ත්‍රයක් මගින් වියලා ගන්න. එසේ නැත්නම් පවනේ හෝ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ වියලා ගන්න.

පලා කොල මොනතරම් ගුණ දායක වුනත් ගංවතුරට පසුව නම් පලා ආහාරයට ගැනීම එතරම් සුදුසු නැ. ‍මේ පලා මගින් සිගෙල්ලා, ඊකෝලායි බැක්ටීරියා ශරීරගතව කොලරාව, වමනය, පාචනය වැනි රෝග තත්වයන්ට ‍ගොදුරු විය හැකියි.

ඔබේ ගෙවත්තේ ලිඳ ගංවතුරට ගසා ගෙන පැමිණි විවිධ දෙයින් ජලය දූෂනය තත්වයට පත්ව ඇති. ඒ නිසා ළදේ ජලය ඉස පිරිසිදු කරගන්න. පානීය ජලය පිරිසිදු නොවුනහොත් ලෙඩ රෝග වෙනුවෙන් ඇති අවදානම ඉතා ඉහලය. මේ නිසා ජලමුලාශ්‍ර පරීක්ෂා කොට ඒ ගැන සහතිකය ලැබෙන තෙක් ඉවසා සිටීම ඉතාම වැදගත් වෙනවා.

ගංවතුර ගැන වගේම ආරක්ෂාවට පිලියම් මොන තරම් පෙන්වා දුන්නත් මෙම අත්දැකීම නිසා පසුකම්පන තත්වය දරා ගැනීම වචනයෙන් කියන තරමට පහසු නැත ජීවිතය පුරා ගොඩ නගා ගත් බොහෝ දේ වතුරට ගසා ගෙන ගොස් ඔබ ජීවිතයේ අවතැන් තැනැත්තකු බවට පත්ව ඇත. මේ නිසා මානසික උපදේශන මගින් සිතේ පසුතැවිල්ලට පිලියම් ලබා ගැනීමත් ඉතා වැදගත් වේ.

දරුවන් බරක් නොව සම්පතකි

ඉස්සර කාලයේ අම්මාවරුන්ගේ නිතරම කටේ දිවේ තිබුනේ වැලේ ගෙඩි වැලට බර නැත යන්නයි. එහෙත් කාලයත් සමගම දෙමව්පියන්ගේ සංකල්පය වුනේ වැලේ ගෙඩි හරියට හදා ගන්නවා මිස දරන්න බැරි විදිහට පලදාව තිබුනත් ඒවා ඵල ප්‍රයෝජන නැත්නම් වැඩක් නැත යන අදහසයි. මේ නිසා ඔවුන් තමන්ගේ පවුල තුළ පුංචි පවුල රත්තරන් යන සංකල්පය ගොඩ නගා ගත්තා.

එහෙත් එදා පවුලක දරුවන්ගේ ගණන සංඛ්‍යාත්මකව ඉහල යෑමෙන් බොහෝ වාසි තිබුනා. පවුලේ වැඩිමහල් දරුවන් විසින් බාල දරුවන් ඉතාම හොඳින් රැක බලා ගත්තා. මේ නිසා වැඩිමහල් දරුවන්ට අනාගතයේදී පවුලක් ගෙනයන අන්දම, සහෝදර පිරිස සමග ගණුදෙණු කරන්නේ කොහොමද වැනි අන්තර් සම්බන්ධතාවයන් නොදැනීම ගොඩ නැගුනා.

අද දරුවන් තුල මේ ගති ලක්ෂණය දකින්න ලැබෙන්නේ නැහැ. එකා යකා කියල ඇහේ මුහුනේ තබා ගෙන හදනවා විතරක් නොවෙයි, අතට පයට හැම දේම කරල දෙනවා. ලොකු මහත් වුනාම මේ දරුවන්ගේ යට ඇඳුම් පවා අම්මා ලවා සෝදා ගන්නා තරමටම මේ තත්වය අද ඉතාම නරක අතට හැරිල තියෙන්නේද ඒ නිසයි. එකා යකා වුනාම අම්මලාට අනාගතයේදී ඇති වෙන විස්සෝපත් එතරම් සරල නැහැ. එකදරුවකුටවුනත් හයි හත්තිය නැති විට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන පසුපෙල සහෝදර පරම්පරාවක් සිටිනවා. ඒත් අද දවසේ ඒ විදිහට උදව්වට වුනත් පැමිනෙන පරම්පරාවක් නැහැ.

එදා බාල දරුවන් රැක බලා ගැනීම අද වගේ ගැටලුවක් වුනේ නැහැ. අම්මා තාත්තා පූර්ණකාලීනව කැත්තේ උදැල්ලේ වැඩට යොමු වුනාම පවුලේ වැඩිමහල් දරුවන් මේ බාල උදවිය රැක බලා ගත්තා. එහෙම නැත්නම් පුංචි අම්මා, නැන්දා මේ වෙනුවෙන් අනිවාර්යෙන්ම සම්බන්ධ වුනා. අද රැකියාවන්හි නිරත වෙන මව්පියන් දරුවන් සීමා කරන එක් හේතුවක් වී ඇත්තේද මදරුවන් රැක බලා ගැනීමේ ගැටලුවයි. එදා වගේ තමා වෙනුවෙන් උදව්වට එන බාල සහෝදරියන් අද නැති නිසා විශ්වාසවන්තව පිහිටක් ලබා ගැනීමට කෙනෙක් ඇත්තේම නැහැ.

අද පවුල බොහොම සීමිත නිසා දරුවන් අතර හුදෙකලාව ඉතාම දරුනුයි. ඇලේ දොලේ පැන දුවන්න පනින්න අවස්ථාවක් නැතුවා පමණක් නොවෙයි තමන් සමග සෙල්ලමටවත් කිසිම කෙනෙක් නොමැති මානසික හුදෙකලාව ඉතාම දරුණු විදිහට ඔවුන්ට බලපානවා. දුක සැප බෙදා ගන්නවත් කෙනෙක් නැහැ.දරුවන්ගේ සමහර ගැටළු අම්මා තාත්තාට කියන්නත් බැහැ… ඒවා කියන්න තරම් හොඳ මිතුරන් පිරිසකුත් නැහැ. මේ මානසිකත්වය නිසා හැම දෙයක්ම හිතේ දරා ගෙන සිටින මානසිකත්වයෙන් ඔවුන් හෙම්බත් වෙනවා. අන්තිමේදී මේ හෙම්බත්වීම පිට පනින්නේ මානසික ආතතිය එහෙම නැත්නම් අවපීඩනය වගේ රෝග තත්වයක් සමගයි.

අද පවුල තුල දරුවන් සීමා වෙනවා විතරක් නොවෙයි, පවුලේ ඉන්න පිරිසත් ඉතාම සීමිතයි. අම්මා , තාත්තා, ආච්චි , සීයා , නැන්දා, මාමා වෙනුවට අද ඉන්නේ අම්මයි , තාත්තයි, දුවයි පුතයි පමණයි. මේ න්‍යෂ්ටික පවුල තුලත් තිබෙන්නේ බොහොම සීමිත අන්තර් සම්බන්ධතාවයන් පමනයි. ඒ නිසාම දරුවන්ට සමාජයේදී හැසිරෙන අන්දම තේරුම් ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවෙයි.

දරුවන් අම්මා තාත්තාගේ  සෙවනේ සිට සමාජගත වුනාම ඒ වෙනුවෙන් ඔවුන් ඔරොත්තු නොදෙන තත්වයකට පත් වෙන්නෙත් මේ නිසයි. තමා මෙතෙක් ජීවත් වුන සීමිත රාමුවෙන් එපිටට ඇති ලෝකය තේරුම් ගැනීමේ හැකියාව දරුවන්ට නැහැ. මේ ගැටුම නිසා ඔවුන් සමාජයේ අතරමං පිරිසක් බවට පත් වෙනවා. එදා දරුවන් සමාජය ඉගෙන ගත්තේ තමන්ගේ නිවස එහෙම නැත්නම් පවුල තුලින්මයි.

පුංචි පවුල රත්තරන් වුනත් අද මේ රත්තරන් දරුවන්ට ස්වාධීනව තීන්දු තීරණ ගැනීමේ හැකියාව නැහැ. තීරණ ගැනීමට ඔවුන් මහත් බියක් දක්වනවා. මෙහෙම වුනොත් ඉදිරි ප්‍රතිඵලය ගැන තේරුම් ගැනීමේ හැකියාව දරුවන්ට නැහැ. ඒ තරම් ඔවුන් මුහුකුරා නොගිය තැනක සිටින්නට හේතුවත් තමන් උපයා ගත් අත්දැකීම් නොමැති වීමයි.මේනිසා පුංචි පවුල රත්තරන් වුනත් එහි අසුබ පැත්තක් නැත්තේම නැහැ. 1970 දශකයේ චීනය වැනි රටවලින් ගොඩ නැගුන මෙම සංකල්පය අපි වැළඳ ගත්තත් දැන් චීනයත් දරු උපත් සීමාව ගැන තිබුන බාධක ඉවත් කරනවා. මේ නිසා ලාංකික අපටත් දැන් පවුලක දරුවන් බරක් නොව සම්පතක්ය යන පිලිගැනීමට එකඟ වීමට සිද්ධ වෙනවා.