Home Blog Page 92

Mindfulness හෙවත් සතිය පිහිටුවා ගත් දරුවෙක්

අද දරුවන්ගේ විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන‍්නේ යම් දෙයක් වෙත අවධානය දැක්වීමට තිබෙන පසුගාමීත්වයයි. මේ වෙනුවෙන් අපි චෝදනා නගන්නේ විද්‍යුත් උපංගයන්ට වුනත් ඒ වෙනුවෙන් චෝදනා නැගීමට වඩා දරුවන් එයින් මුදවන මාර්ගය පිලිබඳව විමසිලිමත් වීම ඉතාම වැදගත්. භාවනාව නිසා මේ තත්වය බොහෝ දුරට මග හරවා ගැනීමට හැකි වෙනවා. ඒ නිසාම ඔවුන්ට යම් දෙයක් වෙනුවෙන් සිහිය පවත්වා ගැනීම හෙවත් අවධානය දැක්වීමට තිබෙන ශක්තිය නොදැනීම වර්ධනය වීම එක්තරා ආකාරයකින් දරුවන් ලද වාසනාවක් ලෙස සලකන්න පුලුවනි. මේ නිසා භාවනාව වෙනුවෙන් දරුවන් යොමු කිරීමේ ඇති දැඩි අවශ්‍යතාවයක් ගැන අවධානය යොමු වෙන යුගයක්.

අණුක ජීව විද්‍යාඥයෙකු ලෙස ප්‍රකටව සිටින “එරික් ලෑන්ඩර්” විසින් අධි සංඛ්‍යාත ගැමා තරංගයන් සමග මොළයේ භාවනාවට සම්බන්ධ ( පූර්ව පාර්ශවික) කොටස අතර පවතින සම්බන්ධතාවය අද්‍යනය කරනු ලැබුවා. එහිදී පෙනී ගියේ භාවනාව මගින් දකින මොලයේ පිබිදීම ඉතාම අපූරු බවයි. මෙම මානසික ක්‍රියාකාරකමෙන් ලැබෙන පිබිදීම ගෝල්ෆ් හෝ ටෙනිස් ක්‍රිඩාවෙන් මොළයට ලැබෙන ප්‍රබෝධයට සමාන බව පර්යේෂකයන් සඳහන් කරනවා.

බොස්ටන් විශ්ව විද්‍යාලයේ “සාරා ලාසන්” විසින් MRI ස්කෑන් දර්ශනයක් ආශ්‍රිතව ලබා ගත් තොරතුරු පාදක කර ගෙන පෙන්වා දෙන්නේ සිහිය පිහිටුවාගෙන සිදු කරන භාවනාවන් මගින් මානසික වෙහෙසකර තත්වයන් පවා නැති කර ගත හැකි බවයි.

සතිය පිහිටුවා ගැනීමේ වාසි

  • අධ්‍යාපනයේ ප්‍රගතියක් :

 ඉගෙණුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනුවෙන් ගුරුවරුන්ගේ මෙන්ම දරුවන්ගේ සහභාගීත්වය කරත්තයක රෝද දෙක සේ සමාන්තරව අවශ්‍යි. මොනතරම් දක්ෂ ගුරුවරුන් සිටියත්, දරුවන් ඒ වෙනුවෙන් වූ සහභාගීත්වය සතුටුදායක නොවේ නම් මුනින් නවන ලද කළයක් ජලයෙන් පිරවීමට සමාන නිෂ්ඵල ක්‍රියාවක් බව අපි දනන්වා. ඒත් සතිමත් හෙවත් භාවනාවෙන් සිහිය පවත්වා ගන්නා දරුවෙකුගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඔවුන් දක්වන දායකත්වය ඉතාම සතුටුදායක බව විවිධ අධ්‍යනයන් මගින් දැන් හදුනා ගෙන තිබෙනවා.

  • අන්තර් සම්බන්ධතාවයන් :

“අනේ අපේ පුතා අල්ලපු ගෙදර මිනිස්සු එක්කවත් වචන දහයක් තව කථා කරල නැහැ…” මේ වගේ කතා බහ අපි අතර නැගෙන්නේ දරුවන්ගේ අන්තර් සම්බන්ධතාවයන්ගේ තිබෙන ඛේදාන්තය නිසයි. මෑතකදී වයස අවුරුදු 22 ක් පමණ වුන තරුණයෙකුගේ පියා අභාවප්‍රාප්ත වුණා. ඔහු පවුලේ එකම දරුවා. මේ මළගෙදරට දරුවා සේවය කරන ස්ථානයේ හිතවතුන් ආවාත් ඔහු ඒ තරම් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. සාමාන්‍යයෙන් දරුවන් පවුලේ නැදෑයින්ට කෙසේවුනත් සමවයස් කණ්ඩායම් සමග පවත්නා සම්බන්ධතාවයන් ඒ තරමටම පිරිහී නැති බවටත් අදහස් තිබෙනවා.

ඒත් මේ තරුණයා අවම වශයෙන් ඒ අයටවත් සංග්‍රහශීලව කතා බහ කළේ නැහැ. පවුලේ ඥාතීන් විසින් කාර්යාලයේ හිතවතුන්ට කතා බහෙන් සහ වෙනත් සංග්‍රහ කරද්දී මේ තරුණයා මුහුනු පොත ඔස්සේ කටයුතු කළ නිසා ඉතාම අප්‍රසන්නතාවයක් ඇති වුනා. එහෙත් සතිමත් දරුවෙක් පසුකාලයක තරුණයෙක් වුනත්, සමාජගත පුද්ගලයෙක් වුනත් ඔහුගේ පිරිසිදු මනස නිසා ඉතාම හෙඳ අන්තර් සන්නිවේදන පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

  • තමන්ගේ අභ්‍යන්තරය කණ්නාඩියකින් දකිනවාට සමානයි :

සිහිය පිහිටුවා ගත් දරුවෙකුගේ සාමාන්‍ය හැසිරීම අපි කණ්නාඩියකින් අපේම අඩු පාඩු අපිම දකිනවාට සමාන බවයි. මේ අඩු පාඩු වෙන කිසිම ‍අයෙකුගේ පෙන්වා දීමක් නැතුව අපිම සකස් කර ගන්නවා වගේ මේ දරුවන්ටත් තමන්ගේ අඩු පාඩු සකස් කර ගැනීමට ඉබේටම හැකියාව ලැබෙනවා.

  • අනුන් මත වැරැදි පැටවීම අඩුයි :

අද බොහෝ දරුවන් වැරැද්ද පිලිගන්නේ නැහැ. එය වෙනත් අයෙකු මත පටවා තමන් නිවරැදි යැයි කියනවා මිසක වැරැද්දක් නිවරැද්දක් කර ගැනීමට සූදානම් නැහැ. මේ ගැන දෙමව්පියන්ද යම් දුරකට වග කිව යුතුයි. ඔවුනුත් මගේ දරුවා අර ළමයා නිසා නාස්ති වුනා යැයි චෝදනා නගනවා විනා දරුවා නිවරැදි කිරීමට මුල් අවස්තාවේදි උත්සාහ ගන්නේ නැහැ. නොමගට ගිය පසු පසුතැවිලිවීම හරියට අශ්වයා පැන ගිය පසුව ඉස්තාලය වසනවාට සමානයි. ඒත් භාවනාව ප්‍රගුණ කල දරුවෙකුට කිසිම විදිහකට අනුන් මත වැරැදි පැටවීම අවශ්‍ය නැහැ. ඊට හේතුව සිහියේ පිහිටුවා ගත් සන්සුන් මනස නිසා නිවරැදි දේ නිවරැදි ලෙසින් තෝරා ගැනීමට තරම් වාසනා ගුණයක් ඔවුන් තුළ නිර්මාණය වෙනවා.

  • පාසලේ විනය :

අද පාසල් දරුවන්ගේ විනය දැඩි ලෙස පිරිහී තිබෙන බවට අපට නිතරම ඇසෙන කරුණක්. අඩුම වශයෙන් ගුරුවරුයෙකුට පවා දරුවන්ගේ වරදක් වෙනුවෙන් අවවාදයක් කිරීමට නොහැකි තැන් පවතිනවා. ඒත් සිහිය පිහිටුවා ගත් දරුවෙක් තුළ ස්වයං විනය ඉබේටම ගොඩ නැගෙන නිසා පාසල තුළ ඔවුන්ගේ හැසිරීම ඉතාම සංයමයෙන් සහ සංවරයෙන් පවත්වා ගන්න පුලුවනි.

පාසල තුළ වුනත් දරුවා ලොකු සහ කුඩා පංතිවල දරුවන් අතර වගේම ගුරුවරුන් සහ වෙනත් පාසලේ කළමනාකාරිත්වය සමග ඉතාම හොඳ සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නවා. මේ නිසා පාසල් පරිසරය තුළ ඇති වෙන ගැටුම් ආරවුල් නොදැනීම පහව ගොස් “පාසලෙන් මග දකින හොඳම දරුවා මමය…” යන සංකල්පයේ සතිමත් දරුවා පිහිටන බව රහසක් නොවේ.

ලෝක මානසික සෞඛ්‍යය දිනය වෙනුවෙන්  මහනුවර ශික්ෂණ රෝහලේ  පවත්වන ලද දේශනයක් ඇසුරිනි.

 

දරුවන්ගේ කතා විශ්වාස කරන අම්මලාට උපදෙස්

අපේ දරුවා අපිට ඇත්තටම විශ්වාසයි. ආදරයේ අසීමිත සෙනහස ඇටමිදුලු , ලේ නහර ඔස්සේ දිවෙන නිසා මේ සංසිද්ධිය ඉතින් අමුත්තක් නොවෙයි. වෙන දෙයක් තබා මොන තරම් පාපකාරී වැඩ කටයුතු කළත් දෙව්දත් ඔහුගේ අම්මාට ඉතාම හොඳ පුතෙක්. “දෙව්දත් මවට මැනවි…” කියමන අපේ ජනවහරේ ඔබ අසා ඇති.

ඉතින් මේ විශ්වාසය නරක නැහැ. ඒත් අපි හැම දෙනාම මිනිස්සු නිසා මේ කියන විදිහටම විශ්වාසය නැති වෙන වේලාවන් තියෙන්න පුලුවන්. දරුවන්ගෙනුත් ඒ තත්වය අපිට ඇති වීම තවත් වැඩි වෙන්න බැරි කමක් නැහැ. ඊට හේතුව දරුවන්ට එතරම් අත්දැකීම් නැහැ. ඒ නිසා ඔවුන් බොහෝ විට දුර දිග නොසොයා නොබලා කරන කියන දෙය බොහෝ දෙනෙකුට අනතුරක් වෙන්නත් පුලුවනි. ඒ නිසා දරුවන් කියන හැම දෙයක්ම විශ්වාස කිරීම එතරම් හිතකර නැහැ.

දරුවන්ගේ විශ්වාසය බිඳ වැටෙන අවස්ථා

දරුවන්ගේ විශ්වාසය බිඳ වැටෙන විවිධ අවස්ථා තිබෙන්න පුලුවනි. විශේෂයෙන් මුදල් පිළිබඳ තත්වයන්හිදී මෙය ඉතාම සුලබයි. පංති ගාස්තු, විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් පාසලෙන් ඉල්ලන මුදල්, පංතියේ ලකුණු, වෙනත් දරුවන් සමග තිබෙන ඊර්ශ්‍යාව වැනි සියුම් ගති ,තමාටම අවධානය ලබා ගැනීමට මේ අන්දමට එක් එක් දරුවන් විවිධ දේ මුල් කර ගෙන විශ්වාසය බිඳවැටෙන අන්දමින් කටයුතු කිරීමට පුලුවනි. මේ සිදුවීම් මුලදී ඉතා සරල සහ අහිංසක සිදුවීම් වුනත් පසුකාලීනව විවිධ අන්දමින් එහි ආදීනව ඇති වෙන්න පුලුවනි.

දරුවාටත් හානියක්

දරුවා කියන කරන හැම දෙයම ඔබ විශ්වාස කිරීම නිසා ඔවුන් බිය නැතුව වැරැදි සිදුවීම් වෙත යොමු වෙන්න පුලුවනි. ඊට හේතුව තමා කරන හැම දෙයක්ම දෙමව්පියන්ට විශ්වාස හෙයින් වැරැද්ද පවා ඉතා පහසුවෙන් නිවරැදිව දෙමව්පියන්ට පෙන්වා දීමට දරුවාට අමුද්‍රව්‍ය තිබෙනවා. උදාහරණයක් විදිහට දරුවාට පංතියේ ලකුණු අඩුවුනොත් ඔහු ඒ වෙනුවෙන් නිදහසට කරුනු ලෙස කියන්නේ “අපිට සිලබස් එක ඉවර නැහැ…ඒත් මේවායින් ප්‍රශන දාලා..” දරුවා එසේ කිව්වත් ඔබට ඔවුන්ගේ පොත් පත් පරීක්ෂා කලොත් මේ සියල්ල දරුවාට විෂය භාර ගුරුවරුන් විසින් උගන්වා අවසාන විය හැකියි.තමා විභාගයට සූදානම් නොවුනත් ඒ බව නොකියා මේ අන්දමින් වරද පටවන අවස්ථාවන්හිදී ඔවුන් විශ්වාස කළ විට දරුවා හෙටත් කරනුයේ මේ අන්දමින් වංචාවක් මිස තමාගේ විෂය නිර්දේශය ආවරනය වන සේ විභාගයට සූදානම් වන්නේ නැත.

දරුවෝ අවිශ්වාස කරන බව ඔවුන්ට පෙන්වන්නත් එපා

ඒ වුනත් දරුවා අවිශ්වාස කරන බව ඔවුන්ට දැනෙන්න හැරීමත් නොකල යුතුයි. එසේ වුනොත් අපේ අම්මට , තාත්තාට මාව අවිශ්වාසයි කියන සිතුවිල්ල ඇති වෙනවා. එහෙම වුනොත් එය දරුවාගේ පෞරෂයට හිතකර නැහැ.

අවිශ්වාස දෙයක් වුනොත්

දරුවාගේ විශ්වාසය බිඳ වැටෙන වගේම බඩුත් එකක්ම හොරු අහුවෙන දෙයක් වුනොත් ඉතාම බුද්ධිමත්ව එය විසඳන්න ඕන. අපේ ළමයි කියල සුද්දවන්තයින් වෙන්න බැහැ. ඊට හේතුව අපේ වුනත් ඔවුනුත් ළමයි නිසා. සැක කටයුතු දෙයක් දැනුනමා හොරාට පෙරාතුව වැට පනින්න අවශ්‍ය නැහැ. එය ස්ථිරවම දැන ගන්නා තෙක් විමසිල්ලෙන් ඉන්න. එතැනින් පසුව සාක්ෂි ඇතුව දරුවාට මේ බව පෙන්වන්න. ඔබ කරුණු කාරණා නොදැන යමක් කියන්න ගියොත් දරුවා ඉදිරියේ ඔබ අසරණ වේවි.

පවුල් ආරවුල්

බොහෝ පවුල් වල විශේෂයෙන් අම්මා, තාත්තා, ආච්චි, සීයා, නැන්දා… වැනි සම්බන්ධතාවයන් එක වහලක් යට පවතින විට ඇති වෙන අරගලයන්හි වාහකයා වන්නේ දරුවන්. ඊට හේතුව දරුවන් කියන දේ ගැන දෙමව්පියන් උපරිම විශ්වාසය තැබීමයි. දරුවන් යම් යම් දේවල් ඉතාම නිර්මාණාත්මකව ගොතා කියන්න පුලුවනි. ඒ නිසා දරුවන් කියන දේ මතම රැදෙන්න අවශ්‍ය නැහැ.

අසල්වැසියන් සමගත්

පවුලක පමණක් නොව අසල්වැසියන් අතර ඇති වෙන විවිධ ගැටුම්වල ප්‍රධාන චුදිතයා වන්නේ දරුවන්ය. ඒත් දරුවන් මේ සිදුවීම නිසා අමනාප වුනත් එය ටික වේලාවකින් එසේත් නැත්නම් ටික දිනකින් අමතක කරනු ඇත. එහෙත් මේ සිද්ධිය මුල් කර ගෙන අමනාප වෙන වැඩිහිටියන් සදාකාලික වෛරකාරයින් බවට පත් වෙනු ඇත. ඒ නිසා දරුවන් කියන ගතු ඔවුන් කියන අන්දමටම විශ්වාස කරන්න එපා.

දරුවන් නොමග යනවා

නිතරම දරුවා කියන දේ විශ්වාස කරමින් ඔබ ඒ මත විවිධ ප්‍රතිචාර දක්වනවා නම් දරුවා මේ තත්වය ආයුධයක් කර ගන්න පුලුවනි. මේ නිසා තමාගේ වාසිය මුල් කර ගෙන ඔහුට දෙමව්පියන් නොමග යැවීම ඉතාම පහසුයි. දෙමව්පියන් තමන්ට අවශ්‍ය විදිහට හැසිරවීම ඉතාම පහසු බව දරුවාගේ විශ්වාසය නිසා ඔවුන් මේ ගැන දෙවතාවක් හිතන්නේ නැහැ.

තවත් අයගෙන් විමසන්න

දරුවා කියන දෙය ඔහු කියන නිසාම විශ්වාස කරන්න එපා. ඒ ගැන තවත් දෙතුන් දෙනෙක් ගෙන් විමසා සිටින්න. ඒ විමසා සිටීම දරුවාගේ අභිමානයට පලුද්දක් නොව විදිහට විමසා දැන ගැනීම වැදගත්. “අපේ පුතා මේ විදිහට කිව්වේ… අද මම එයාව අල්ලා ගන්නම්… කෝටු මස් කරන්න ඕන…” මේ විදිහට දරුවාට චෝදනා නගන්න එපා. තවත් අයගෙන් ඔබ විමසා දැන ගත් දෙය දරුවාට කියන්න. අම්මට තාත්තාට බොරු කරන්න ගියොත් කොහෙන් කොහොම හෝ එය එළිවෙන බව කියා දෙන්න.

මීට පස්සේ මම කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ

යම් සිදුවීමක් නිසා දරුවා මුල් කර ගෙන මෙතෙක් තිබුන විශ්වාසය බිඳ වැටුනත් අනාගතයේදීත් මේ සිදුවීම නිසා ඔහු ගැන විශ්වාසයක් නැතැයි සහතියක් නොදෙන්න. ආයේ මම හිතන්නේ ඔයා එහෙම කරන එකක් නැහැ… යනුවෙන් ඉදිරියේදී විශ්වාසය බි‍ඳෙ න කටයුතු නොවන සේ හැසිරීමට අවවාද ලබා දෙන්න.

දරුවන්ගේ හැසිරීම් වැඩිහිටි ඇහෙන් බලන්න එපා

එක්තරා මිශ්‍ර පාසලක හතර වසරේ දරුවන් අතර සිදු වුන එක් සිදුවීමක් මේ. එදා පාසලේ උත්සවයක්. ගුරුතුමියන් සේරම ඒ වෙනුවෙන් යෙසවුන නිසා පංතියේ ඉතිරි වුනේ දරු දැරියන් විතරයි. මේ පංතියේ සිටිය ලස්සන දුවකට ඒ පංතියේම පුතෙක් පුංචි ලියුමක් දීලා. ඒ ලියුමේ තිබුනේ “මම ඔයට ආදරෙයි කියලා…”

ඉතින් මේ සිද්ධිය පංතියේ ගුරුතුමියටත් පෙරාතුව කොහොම හෝ අම්මලා අතරට ගියා. අපේ අම්මලාට ඔය ටික හොදටම ඇති. ඔන්න පටන් ගත්තා. “අර ළමයාගේ තියෙන නැහැදිච්චකම බලන්න… ඔය වයසේ ඉදන්ම ඔය විදිහට හැසිරෙන්න ගත්තාම ඉස්සරහ ගැන නම් අනේ හිතාගන්න බැහැ….” තවත් මේ පුතාගේ පවුල් ගහත් බදා ගත්තා. අනේ “ඔය පවුලේ හැදියාවක් නැහැ…” අත්තම්මාගේ පටන් ඉතිහාසය දැන් ඈදිලා. මේ පුතා පාසලට යන එන විටත් “අම්මලා ආන්න…. අර නැහැදිච්ච දරුවා…” ලේබල් අලවලා ඉවරයි.

ඒත් මේ දුවගේ අම්මලා මේ සිද්ධිය ගැන එතරම් කලබල වුනේ නැහැ. “අම්මේ මට පංතියේ අය විහිලු කරනවා..” දුව කිව්වාම අම්මයි තාත්තයි දූට මේ විදිහට කිව්වා.

“ඉතින් පුතේ ආදරෙයි කියන එක නරක දෙයක්යැ. දැන් අපි ඔයාට ආදරෙයි…. අයියා ඔයාට ආදරෙයි.. ආයේ… පුංචිලා… නැන්දලා…ඒ වගේ යාළුවත්  ඔයාට ආදරෙයි කියන්න ඇති… බොහොම සරල විදිහට ඒ ප්‍රශ්නය ගැන දුවගේ අම්මලා කරුණු පැහැදිලි කළා.

ඇත්තටම පුංචි දරුවන්ගේ බොහොම වැරැදි සිද්ධ වෙන්නේ ඔවුන් නොදැණුවත්ම. මේවා වැරැදි කියල දන්නවා නම් කවදාවත් ඒ වගේ දේවල් ඔවුන් එළිපිට කරන්නේ නැහැ. ඒ නිසාම අපි දරුවන්ට විවෘතව කටයුතු කරන්න දුන්නොත් ඔවුන්ගේ මේ හැසිරීම් වලින් අපිට යම් යම් දේ ඔවුන් ගැනත් දැන ගන්න පුලුවනි.

දරුවන් ගැන නිරීක්ෂනයෙන් ඉන්න…

දරුවන්ගේ වැරැදි වෙනත් අය අතරට පත්වෙලා ඔවුන් ඒවා ඉතාම විනාශකාරී විදිහට බෙදන යුගයක් නිසා අපි දරුවන් ගැන සියුම් විදිහට නිරීක්ෂනය කිරීමත් ඉතාම වැදගත්. මේ නිරීක්ෂනයේදී අපිට ඔවුන් ගැන බොහෝ දේ දැනගන්න පුලුවනි. සමහර දරුවන් නිවසේ සිට යම් යම් දේවල් සොරෙන් රැගෙන එන්න පුලුවනි. එහෙම නැත්නම් පංතියේ මිතුරන්ගේ දේවල් හොරෙන් අරගෙන යන්න පුලුවනි. මේ අවස්ථාවලදී ඔවුන් “හොරු” කියල චෝදනා කළ යුතු නැහැ. ඉතාම සියුම් විදිහට මේ කරන වැරැද්දෙන් දරුවා මුදවා ගැනීම මිස මේ සොරකම් දිහා අපේ මට්ටමින් බැලීම එතරම් සුබ නැහැ. හැබැයි ම් සොරකම් වලින් දරුවා මුදවා ගන්නා තැනටත් කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

අපේ අම්මලාගේ සමාජයක් පාසලේ ගේට්ටුව ළග නිතරම හැදෙනවා. මේ සමාජයට සමහර විට අම්මලා විතරක් නොවෙයි, ආච්චිලාත් එකතු වෙනවා. ඉතින් මේ උදවියට දවස ගෙවන්න අතුරුපසකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේ වෙලාවට දරුවන්ගේ පුංචි පුංචි වැරැදි දිහා මහ පරිමාණයෙන් දකින්න පටන් ගන්නවා.

හැම දරුවෙක්ම වටිනවා..

දරුවන්ගේ හැසිරීම් බොහෝ අය දකින්නේ ඒ දරුවාගේ පවුල් පරිසරය පදනම් කර ගෙනයි. කිසිමි විදිහකින් අපිට ඒ තක්සේරුව ඇති කර ගන්න බැහැ. වැරැදීම සාමාන්‍ය දෙයක්. එයට පවුල්වාදය ගලපා ගන්න එපා. ප්‍රාථමික පංතියක දරුවෙකුගේ වතුර බෝතලයේ ඒ දරුවාගේ නමත් මුද්‍රණය කරල තිබුනා. ඒත් වෙන දරුවෙක් මේ බෝතලය සොරකම් කර ගත්තා. බෝතලයේ සැබෑ අයිතිකරු සාමාන්‍ය පවුලකයි. ඒත් සොරකම් කළ දරුවාගේ දෙමව්පියන් වෘත්තියෙන් ගුරුවරු. පංති භාර ගුරුතිමිය එක හෙලාම කිව්වේ… “මේ ළමයාගේ අම්මා. .තාත්තා දෙන්නාම ගුරුවරු…ඉතින් අපි ළමයා හොරක් කියල චෝදනා කරන්නේ කොහොමද..?”  ඒ වුනත් බෝතලයේ නමත් කපා තිබියදීම අයිතිකරුට බෝතලේ අහිමි වුණා.

ඉතින් දරුවන්ගේ හැසිරීම් වලදී කිසිම විටෙක පවුල් පසුබිම බලපාන්නේ නැහැ. ඒවා දරුවන් කරන්නේ ළමා වියේ ඇති වෙන පුංචි පුංචි ආසාවන් නිසයි. ඒත් සොරකම නරක නිසා ඔවුන්ට ඉතාම සෙමෙන් ඒ වැරැදද් ගැන කියා දීම වැදගත්. එහෙම නැති වුනොත් ඔවුන්ගේ සොරකම පිලිබඳව තිබෙන යොමු වීම ඉතාම අසුබ විදිහට ඔවුන් සමගම වැඩිදියුණු වෙන්න පුලුවනි.

ඒ නිසා දරුවන්ගේ හැසිරීම් දෙස බැලිය යුත්තේ දරුවන්ගේ ලෝකයේ සිට මිසක අපේ ලෝකයේ සිට නොවේ. අපේ ළමා කාලයේ සමහර විට මේ තත්වයට වඩා නරක හැසිරීම් තිබෙන්න පුලුවනි. ඒත් කාලය සමග ඒවා නැති වී යෑම සිදු වී තිබෙන නිසා දරුවන්ගේ බොහෝ වැරැදි ඔවුන් දැනුම් තේරුම් ලබන විට නැති විය හැකියි. එතෙක්… අපි මේ දෙස දරුවන් නිවරැදි කිරීමට මිස ඔවුන් බාල අපරාධකරුවන් විදිහට සැලකිය යුතු නැහැ.

බාලඅපරාධකරුවන් වෙන්නත් පුලුවන්..

සමහර විට දරුවන්ට සමාජයට මුහුන දෙන්න බැරි විදිහට මේ හැසිරීම් තැන තැන විවේචනය වෙනවා. ඒ නිසාම ඔවුන් හුදෙකලා චරිත බවට වගේම මානසිකවත් සමාජයෙන් පලිගන්න තරම් දරුණු වෙනවා. විශේෂයෙන් නව යොවුන් කාලයේදී මෙය ඉතාම දරුණු විදිහට බලපාන්න පුලුවනි. තමාගේ ආදර සම්බන්ධතාවය ගැන තැන තැන වපුරන පුද්ගලයෙක් නිසා තමා මිතුරියට ඇති වුන අවමානය නිසා පිහියක් රැගෙන මේ පුද්ගලයා එන මග රැක සිටියා. හදිසියේවත් ඒ අවස්තාවේ ඔහු පැමිණියා නම් අනිවාර්යෙන්ම අනින තරම් දරුවා දරුණු සේ කෝපයට පත්ව සිටියත් බොහෝ දෙනාගේ මැදිහත් වීමෙන් එය බේරුනා. මේ වගේ සිදුවීම් නිසා එක් පැත්තකින් දරුණු අපරාධකරුවෙක්ද, අනිත් පැත්තෙන් ඔහුගේ මිතුරුයව සිටි දියණියටද විශාල ලැජ්ජාවක් ඇති වුණා. ඒ නිසා හැම සිදුවීමක් දෙසම මනෝවිද්‍යාත්මක ඇසකින් බලන්න පුලුවන් නම් වඩාත් උචිතයි නේද…?

දරුවාගේ විනාශයට වෙන වැරැදි නම් ඒ ගැන වගකිව යුතු අයට කිව්වාට කමක් නැහැ…

සමහර වෙලාවට දරුවන්ගේ ඇතැම් හැසිරීම් නිසා ඔවුන් නොමගට යන ප්‍රවනතාවයක් තිබෙනවා නම් ඒ ගැන වගකිව යුතු අයට කිව්වාට නම් කමක් නැහැ. එක් දරුවෙක් තමන්ගේ මිතුරා පාසලට මත්ද්‍රව්‍ය ගෙනෙන බව අම්මාට කිව්වා. මේ අම්මායි..මත් ද්‍රව්‍ය රැගෙන එන අම්මයි එකම කන්තෝරුවේ වැඩ කළ නිසා බොහොම වගකීමෙන් පුතුගේ වැරැදි හැසිරීම ගැන ඇය තම මිතුරියට කිව්වා. ඒ නිසා දරුවා මේ වැරැදි හැසිරීමෙන් බේරා ගන්න මුල් අවධියෙන්ම හැකියාව ඒ පවුලට ලැබුනා. දරවන්ට ආදරය කරනවා නම් ඔවුන් සුමගට යොමු කරන්න අවශ්‍ය නම් ඒ වැරදි හැසිරීම වගකිව යුතු විදිහට වගකීමෙන්ම කියනවා හැර දරුවන් දිහා වපර ඇසින් නම් බැලීම එතරම් හොඳ කටයුත්තක් නොවෙයි.

සෙල්ලම් බඩු වුනත් පමණට වඩා අවශ්‍ය නැහැ

සෙල්ලම් බඩු වුනත් පමණට වඩා අවශ්‍ය නැති බව දැන් අලුත්ම සොයා ගැනීමක්. අපේ දෙමව්පියන් දරුවන්ට තිබෙන ආදරය ප්‍රදර්ශනය කිරීමට පමණටත් වැඩියෙන් ඔවුන්ට සෙල්ලම් බඩු අරගෙන දෙනවා. මේ නිසා ඇති වෙන ගැටළු දෙයාකාරයි. අපිට මතුපිටින් පෙනෙන විදිහට සුලබ ගැටලු විදිහට මේ අවස්ථාවන් ඔබට මට ඉතාම සාමාන්‍යයි.

  • අනවශ්‍ය විදිහට සෙල්ලම් බඩු ගෙදර ගොඩ වුනාම ඒවා පිළිවෙලට තබන්න අපහසුයි. මේවායේ දූවිලි මකුළුදැල් බැඳිලා දරුවන්ට ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුලුවනි.
  • ප්ලාස්ටික් සහ බොහෝ සෙයින් අන්තර්ගත නොදිරන දේ නිසා බැහැර කිරීමත් අපහසුයි.
  • ඒ වගේම අපේ ආර්ථිකය අනුව දරුවන්ට මේ සෙල්ලම් බඩු වෙනුවෙන් වැය බරක් ඇති වුනාම වෙනත් අවශ්‍යතාවයන් වෙනුවෙන් මුදල් ප්‍රශ්නත් ඇති වෙනවා.

ඔය සේරම එක් පැත්තක තියලා මේ ගැනත් අපේ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්.

නිර්මාණාත්මක හැකියාවන් නැති වෙනවා …

දරුවන්ට සෙල්ලම් බඩු ලබා දුන්නාම ඔවුන්ට සහජයෙන්ම ලැබී තිබෙන නිර්මාණශීලී හැකියාවන් නැති වෙන්නත් පුලුවනි. ඊට හේතුවක් තිබෙනවා. සෙල්ලම් බඩු මතම රැදී සිටිනවා මිසක යමක් දෙස නිර්මාණශීලීව බලන්න, අලුත් දෙයක් නිර්මාණය කරන්න කිසිම වෙහෙසක් ගන්නේ නැහැ. ඉස්සර කාලයේ දරුවන් සෙල්ලමට අවශ්‍ය සියලු ආම්පන්න, උපකරණ ඔවුන්ම නිර්මානය කර ගත්තා. පැපොල් බටයෙන් නලාවක්, පොල්පිත්තෙන් ගොනෙක්, කුරුම්බා ඇට්ටියෙන් මැෂිමක්… මේ වගේ දේවල් හදා ගන්න හැම දරුවෙකුටම යම් හැකියාවක් තිබුණා. ඒ ඔස්සේ තව තවත් අලුත් දේවල් පවා නිර්මාණය කරන්න දරුවන් යොමු වුණා. ඒත් අද දවසේ දරුවන්ට මේ හැකියාවක් නැහැ. තමන්ගේ සෙල්ලම්බඩු මත කොටු වෙනවා මිසක එතැනින් එපිටට හිතන්නත් අවශ්‍ය නැහැ. ඇයි ඉතින් සාගරේට සෙල්ලම් බඩු තිබෙන ලෝකයක පැපොල් බටයෙන් නලාවක් හදා ගන්න කිසිම අවශ්‍යතාවයක් ඔවුන්ට ඇති වෙන්නේ නැහැ.

ප්‍රමාණයෙන් අඩු වුනොත් හොඳයි නේද…

සෙල්ලම්බඩු ප්‍රමාණයෙන් අඩු වුනාම දරුවාට ඒවා හසුරුවා ගන්නත් පහසුයි. තමන්ගේ සීමිත වපසරියේ සිට ඒවා පරිහරනයට යොමු වෙන නිසා කළමණාකරණය වගේම පරිස්සමින් පාවිච්චි කිරීමටත් යොමු වෙනවා. ලද පමණින් සතුටු වෙන ගුණයත් දරුවාගේ ඇති කරන්න මේ සුලු ප්‍රමණයක සෙල්ලම් බඩු ඉවහල් වේවි.

අවධානයත් නැහැ…

මනෝ විද්‍යාඥයින්ගේ අදහසට අනුව නම් වයස අවුරුදු එකට අඩු දරුවන් වෙනුවෙන් නම් බහුල විදිහට සෙල්ලම් බඩු ලබා දීම එතරම් සුදු නැහැ. ඊට හේතුව පාලනය කර ගැනීමට බැරි තරම් සෙල්ලම්  බඩු තිබුනොත් ඔවුන් ට මේ වෙනුවෙන් අවධානය දැක්වීම අපහසුයි. එක සෙල්ලම් බඩුවකින් පමණක් සෙල්ලම් කිරීමට යොමු වෙන්නේ නැහැ. ඒ නිසාම අවධානයෙන් කටයුතු කිරීමේ හැකියාව දරුවන්ගෙන් නොදැනීම දුරස් වෙනවා.

අන්තර් සම්බන්ධතාවයන් නැහැ…

දරුවා සෙල්ලම් බඩුවලින්ම පෝෂණය වුනොත් ඔවුන්ට බාහිර ලෝකයක් සමග සම්බන්ධතාවයක් අවශ්‍ය නැහැ. මගේ ලෝකය සෙල්ලම් බඩු විදිහට හිතනවා. මේ නිසා පවුලේ තමන්ගේම සහෝදරයන් සමග පවා තිබෙන සම්බන්ධතාවය දුරස් වෙනවා. පවුලක් තුළ මේ විදිහට සම්බන්ධතාවයන් දුරස්ථ වීම එතරම් හිතකර තත්වයක් නොවේ. සෙල්ලම් බඩු ප්‍රමානයෙන් අඩු වුනාම දරුවන් ඒ සෙල්ලම් බඩු සමග වගේම පවුලේ සහ වෙනත් සමීප දරුවන් සමග අන්තර් සම්බන්ධතාවයන් ගොඩ නගා ගෙන සෙල්ලමට යොමු වෙන තත්වයක්ද ඇති වෙනවා.

පොත පතට අවධානය අඩුයි…

දරුවාගේ ලෝකය සෙල්ලම් බඩු වලින්ම විසිතුරු වුනාම පොත පතට තිබෙන ඇල්ම, බැල්ම ‍නොදැනීම අඩු වෙනවා. ඔවුන්ගේ ලෝකය සෙල්ලම් බඩු පමණයි. සමහර දරුවන් දිනපතා පාසලට පවා මෙම සෙල්ලම් බඩු රැගෙන ගොස් ඉගෙනුම් කටයුතු අතර පවා සෙල්ලම් කරන අවස්ථා තිබෙනවා. ඒ නිසා සෙල්ලම් බඩු සීමා කිරීම සමග චිත්‍ර, නැටුම්, සංගීතය වැනි සෞන්දර්ය පක්ෂය වර්ධනය වෙන ක්‍රියාකාරකම් මගින් දරුවන් පොත පත සමගත් සම්බන්ධ කිරීම වැදගත්.

සුහදතාවය…

දරුවාට සෙල්ලම් බඩු වැඩි වෙන තරමටම ඔහුගේ ඒවා බෙදා හදා ගැනීමේ ගැටළු ඇති වෙනවා. පුංචි කාලයේ පටන්ම දරුවන්ගේ හිතේ ඇති වෙන අත්පත් කිරීමේ දැඩි පීඩාව ඔවුන්ගේ පෞරෂය වෙනුවෙන් එතරම් හිතකාමී නැහැ. “මගේය…” යන දැඩිව අල්ලා ගැනීමත් සමග බෙදා හදා ගැනීමේ ගති පැවැතුම් ඇති වෙන්නේ නැහැ. ඒත් යම් සීමාවක සෙල්ලම් බඩු තිබුනොත් තවත් අයෙක් සමග ඒවා සුහදතාවයෙන් බෙදා ගැනීමට දරුවාගේ හිතේ ස්වයං පෙළඹවීමක් ඇති වෙනවා.

පරිසරයට ඇළුම් කරන දරුවෙක් නිර්මානය වෙන්නේ නැහැ…

අපි අද දරුවන් මුල් කර ගෙන නගන ප්‍රධානම චෝදනාව වෙන්නේ පරිසරයත් සමග දරුවන්ගේ කිසිම ගණුදෙණුවක් නැති බවයි. මේ තත්වය දරුවන්ට විතරක් ගොඩ නගා ගැනීමට  බැහැ. ඒ සදහා දෙමව්පියන්ගේත් උදව් අවශ්‍ය වෙනවා. අද දෙමව්පියන් දරුවන්ට සෙල්ලම් බඩු ගෙනැවිත් දී ඔවුන් සන්සුන් කරනවා විනා ගෙයින් එළියටවත් බැහැර වීමට ඉඩ දෙන්නේ නැහැ. ප්ලාස්ටික් සහ විද්‍යුත් මෙවලම් අතර සිරගතව සිටින දරුවා ගහ, කොළ, සතා සිවුපාවුන් හදුනා ගන්නේ නැහැ. විවේක වේලාවට හද පායන හැටි බලන්න, තරු නැගෙන හැටි, කුරුල්ලන් ඉගිලෙන, සමනළයින් මල් පැණි සොයන විසිතුර ඔවුන්ට හමු වෙන්නේ නැහැ. ඒත් පිස්තෝලයෙන් වෙඩි තබන, වේගයෙන් දුවන මෝටර් රථ තරඟ, වෙනත් වීඩියෝ ක්‍රිඩාවන් අතරම රැදී සිටීම හැරුන කොට වෙනත් විසිතුරු ලෝකයක් දරුවන්ට නැහැ.

ඔබ දරුවන්ට ආදරය බව ඇත්ත… මේ ආදරය ප්ලාස්ටික් සහ රබර් උපාංගයන්ට සීමා කරන්න අවශ්‍ය නැහැ.අපි දරුවන් නිර්මාණය කළ යුත්තේ හෙට දිනයේ ලෝකය දකින මිනිස් ගුණදහමින් යුක්ත පිරිසක් විදිහටයි. ඒ නිසා දරුවාගේ බාල කාලයේ පටන්ම සුන්දර දරුවෙක් දකින සිහිනයෙන් සිටිනවා නම් සෙල්ලම් බඩු වුනත් පමණ දැන ලබා දීම වඩාත් සුදුසු යි. සරල මිනිසෙකු නිර්මාණය කිරීමේ මූලික අත්තිවාරම ඇතැම් විට එතැනින් ගොඩ නගා ගන්නත් පුලුවනි.

දෙමව්පියන්ගෙන් දරුවන්ට නොදැනීම සිද්ධ වෙන වැරැදි

අපි අම්මලා තාත්තලා වුනත් සාමාන්‍ය මිනිස්සු ලඟ තිබෙන ගති ගුණ අපිටත් බොහොම සාධාරණයි. අපි දැන් අත්දැකීම් තිබෙන උදවිය. දරුවන් හදන්න වඩන්න අපිට වෙන දැනමුතුකම් අවශ්‍ය නැහැ කියල හිතුවත් දෙමව්පියන් අතිනුත් දරුවන්ට නොදැනීම සිද්ධ වෙන වැරැදි කීපයක් තිබෙනවා. මේ වැරැදි දෙමව්පියන් හිතා මතා කරන දේවල් නම් නොවෙයි. ඒත් ජීවිතයේ එදිනෙදාට සිද්ධ වෙන සිදුවීම් අනුව මේවා දෙමව්පියන් ඔවුන්ට සාධාරණ කර ගත්තත් දරුවන්ගේ පැත්තෙනුත් එහි ආදීනව බරපතල වෙන්න පුලුවනි.

දරුවාටම වැරැද්ද පැටවීම

අමම්ලා තාත්තලා වුනාම දරුවන් ඉදිරියේ තමා වැරැදිකරු වීමට කැමැති නැහැ. දෙමව්පියන්ට වුනත් වරදින අවස්ථා නැතුවාම නොවෙයි, මොකද ඒ අයත් මිනිස්සු නිසා වැරැදි වෙන්න ඇති අවස්ථාවන් ඉතාම සුලබයි. ඉතින් යම් වැරැද්දක් වුනොත් නිතරම ඒවා දරුවා වෙතටම පටවන්න එපා. එහි ඔබට කොටසක් තිබෙනවා නම් එය බාර ගැනීමට තරම් නිහතමානී වීම ඉතාම වැදගත්. එහෙම නැතුව හැම දෙයටම දරුවා වැරැදිකරු කරන්න ගියොත් දරුවා මානසිකව පීඩනයට පත් වෙන්න පුලුවන්.

දෙමව්පියන් අතර සමගිය

දෙමව්පියන් විදිහට ඔබ දෙන්නාට අවශ්‍ය විදිහට හැසිරෙන්න පුලුවන් වුනත් ඒ තත්වය දරුවන්ට විශේෂයෙන් බලපෑමක් ඇති කරන බව අමතක කරන්න එපා. අම්මයි තාත්තායි නිරන්තරවම අඩ දබර වෙමින්  සිටිනවා නම් එයින් වඩාත් අසරණ වෙන්නේ දරුවන් බව ඔබ නොදන්නවා ඇති. දරුවන්ට නිවස ඉතාම ප්‍රසන්න පරිසරයක් වීම වැදගත්. ප්‍රසන්න විදිහට දැන් දෙමව්පියන් බොහෝ විට අපේක්ෂා කරන්නේ සියලු භෞතික සම්පත් පමණයි. ඒත් මේ නිවහන “පසන් නිවසක්” බවට පත් වෙන්නේ අම්මා තාත්තා අතර ගොඩ නැගෙන සමගිය නිසා බව අමතක කරන්න එපා. දෙන්නා දෙමහල්ලන් නිතරම ආරෝ වියවුල් ඇති කර ගන්නවා නම් දරුවන්ට ඒ නිවස අපායක් තරම් අප්‍රසන්න තැනක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ නොදැන කරන මේ අඬදබර නිසා දරුවාගේ මානසිකත්වයට විශාල බලපෑමක් ඇති වෙනවා.

තීරණ බුද්ධිමත් වීම

මම තමයි තාත්තා… මගේ අණසකට එපිටින් කිසිම දෙයක් බැහැ. ඒ විදිහට ඉන්නවා නම් මේ ගෙදර ඉන්න පුලුවන්. නැත්නම් අන්න දොර … ඔය විදිහට අණසක යටතේ දැඩි තීන්දු තීරණ ගන්නා දෙමව්පියන් නැතුවාම නොවෙයි. එක් එක් අයගේ මානසිකත්වය අනුව තීරණ ගැනීමේ අයිතිය ඒකපාර්ශවිකව සිදු කිරීමට දක්වන නැඹුරුතාවය නිසා දරුවන් ඉතාම අසරණ වෙනවා. ඊට හේතුව මේ දැඩි තීන්දු තීරණ ඔවුන්ට දරා ගැනීමට තිබෙන අපහසුතාවයයි. ඒ නිසා තීරණ ගැනීමේදී ඔබ බුද්ධිමත් නොවුනොත් එය දරුවන් විෂයෙහි ඇති කරන දැඩි පීඩනයක් බව අමතක කරන්න එපා.

විවේකය එකට ගත කරන්න

වෙලාවක් කලාවක් නැහැ කියන පොදු සංකල්පය අද හැම තැනින්ම ඇහෙන කතාවක්. ඒ වගේම පවුලක වැඩිම වුනොත් ඉන්නේ හතර දෙනයි. මේ හතර දෙනාටවත් එකට විවේකයක් ලබා ගැනීමට අද අවස්ථාවක් නැහැ. හතරදෙනා හතර තැනක හුදෙකලාව ගත කරනවා. අපි හිතන්නේ හැම ගෙදරකම මේ වගේ නිසා අපේ ගෙදරත් ඒ විදිහට වුනාම කමක් නැති බවයි. ඒත් මිනිසුන් හුදෙකලා වීම එතරම් හොඳ ප්‍රවනතාවයක් නොවෙයි. අපි හැමෝටම පුංචි හෝ සමාජයක් අවශයි. එයිනුත් පවුල කියන සමාජය ඉතාම බලගතුයි. ඒ නිසා කෙසේ හෝ දරුවන් සමග එකට කාලය ගෙවන විවේකයක් ඔබ හදුනා නොගතහොත් දරුවන් හුදෙකලාවීමට පටන් ගන්නවා. එය මව්පිය දූදරු සම්බන්ධතාවය ගිලිහෙන මුල්ම අවස්ථාව බව අමතක කරන්න එපා. මේ හිදැස තව තවත් පුලුල් වෙලා අනාගත‍යේදී අම්මා , තාත්තා අමතක කරන තරමටම දරුවන්ගේ මානසික හිස්කම බලගතු වෙන්නත් පුලුවනි.

නව සිතුවිලි දකින්න

දරුවන් අනුකරනයට හරිම කැමැතියි. ඒ නිසා ඔවුන්ගේ ලෝකයේ සිටින ප්‍රදාන චරිත වෙන්නේ අම්මයි, තාත්තයි පමණයි. දරුවන් ඔබ දෙස බලා බොහෝ දේ  ආදර්ශයෙන් ඉගෙනගන්නවා. ඒ නිසා එකාකාර ජිවන රටාවකටම යොමු නොවී නව සිතුවිලි වෙතින් දරුවන්ටත් සතුටක් ලබා දීමට උත්සාහ ගන්න.

නිතරම ආවේශ වෙන්න එපා

ඇතැම් දෙමව්පියන් නිතරම සිටින්නේ දුම්මල වරම අතට ගත් විදිහටයි. සමහර උදවියගේ සාමාන්‍ය රටාවක් බවට මෙය පත්ව තිබෙනවා. ඒ නිසා පවුලක හොඳ සන්නිවේදනයක් ගොඩ නැගෙන්නේ නැහැ. දෙමව්පියන්ගේ සාමකාමී මනස දරුවන්ගේ ජීවිතයට ඇවැසි යහමග පමණක් නොව යායුතු මගත් පෙන්වා දීමට අවශ්‍ය වෙනවා. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියන්නා සේ අම්මාටත් කතා කරන්න බැරි නම්… තාත්තා නිතරම කෝපාවිෂ්ටව සිටිනවා නම් දරුවන්ට ඇහුම්කන් දෙන්නෙක් නොමැති නම් ඒ තරම් අවාසානාවක් දරුවෙකුට තවත් නොමැති බව විස්තර කිරීම අවශ්‍ය නැහැ.

පවුල ප්‍රධානයි

ඇතැම් විට මේ වගේ චෝදනාවන් ඔබ අසා ඇති. තාත්තාට කන්තෝරුව තමයි ජීවිතේ… ඒ වගේම අම්මාත් ප්‍රධාන ‍තැනට ලා සලකන බොහෝ දේ තිබෙන්න පුලුවනි. නමුත් ඔබ කන්තෝරුවට යන විට නිවසේ ප්‍රශ්න ගෙදර තබා යනවා සේම , නිවසට එන විට කන්තෝරු ප්‍රශ්න කන්තෝරුවේ තබා එන්න. එසේ නොමැතිව නිවසත් කන්තෝරුවක් කර ගත තැන අසරණ වෙන්නේ දරුවන් බව විවිධ පවුල් වෙතින් ලත් උදාහරණ මගින් පැහැදිලි වෙනු ඇති. මට දරුවන්ට වඩා වැදගත් කෙනෙක්… පවුල තරම් සම්පතක් නැතැයි යන සංකල්පයේ පිහිටා කටයුතු කරන්න. එවිට ඔබේ දරුවන්ද ලෝකයේ  සිටින ප්‍රිතිමත්ම දරුවන් බවට පත් වෙනු ඇත.

දරුවන්ට අත්දැකීම් ලබා දෙන්න

අපි දරුවන්ට තිබෙන ආදරය නිසා ඔවුන්ව ඉතාම ආදරයෙන් රැකබලා ගන්නවා වගේම සෙනහස / රැකවරණය අවශ්‍ය තරම් ලබා දෙන්න පසුබට වෙන්න් නැහැ. ඒත් මේ සියලු දේ අතරේම දරුවන්ට යම් විදිහකින් අත්දැකීම් ලබා ගැනීමටත් අවස්තාවක් ලබා දිය යුතු බවත් අමතක කරනන් එපා. ඒ ගැන ළමා මනෝ වෛද්‍ය විදයාඥයෙක් විසින් නිකුත් කරන ලද අපුරු කතාන්දරයක් මට මෑතකදී කියවන්න ලැබුනා.

එක්තරා නිවාස සංකීර්ණයක පවුල් දෙකක් ජීවත් වුණා. එක් නිවසක සිටි වැඩිමහල් තැනැත්තා සහ අනෙක් නිවසේ සිටි දරුවෙක් පැල දෙකක් රෝපණය කලා. වැඩිමහල් තැනැත්තා සාමාන්‍ය විදිහට පැලය රැකබලා ගත්තා. දරුවා ඉතා හොදින් වතුර සහ පොහොර යොදමින් පැලය බලා ගත්තා. බැලු බැල්මට දරුවාගේ පැලය බොහොම සරු සරෙට වැඩුනත් වැඩිහිටියාගේ පැලයේ එතරම් වර්ධනයක් තිබුනේ නැහැ.

එක දවසක් මේ පලාතට සුළඟක් හැමුවා. පහුවදා උදේ බලද්දී දරුවාගේ පැලය ඉදිරිලා ගිහින්. ඒත් වැඩිහිටියාගේ පැලය කිසිම වෙනසක් නැතුව තිබුනා. දරුවාට හරිම දුකයි. ඒ වගේම වැඩිහිටියාගේ පැලය කිසිම කරදරයක් නැතුව තිබෙන එක ගැන සතුටුයි. ඉතින් දරුවා මෙහෙම ඇහුවා..

“සීයේ… මගේ පැලය මේ තරම් හොඳට හැදිලා සුළගට කඩාගෙන ගියා. ඔබේ පැලය එතරම් සරුවටත් නැහැ. ඒත් ඔබේ පැලය හොදින් ඉතුරු වෙලා…ඇයි මේ වෙනස…? හරි නම් මගේ පැලය නේද ඉතුරු වෙන්න ඕන.. ?” දරුවා නොතේරුම් කමට ඇහුවා.

“නෑ පුතේ ඔබ වැරැදියි… මගේ පැලයේ මුල් හොදින් පොළවට සවි වෙලා. ඒ පැලය වතුර හා පාහොර හොයා ගෙන ගියා. ඔබේ පැලයට කිසිම මාන්සියක් නැතුව අවහ්‍ය සියළු දේ ඔබ දුන්නා. ඉතින් මගේ පැලය ‍ස්වභාවයෙන්ම ශක්තිමත් වුණා. පුතා කනගාටු වෙන්න එපා. ලෝකයේ හැටි ඔහොමයි. අපි ශක්තිමත් වෙන්නේ අපි විසින්ම හොයා කියාගෙන කරන දෙයින් මිසක අපිට ළගට ලැබෙන දෙයින් සැනසිලා හිටියාම නොවේ. දැන් මගේ  පුතාට තේරුනාද?” වැඩිහිටියා ඇහුවා.

ඉතින් මේ පුංචි කතාවෙන් ඉදිරිපත් වුන අදහස අපිටත් ඉතාම වැදගත්. අපි බොහෝ දෙනෙක් දරුවන්ට අත්දැකීම් ලබනන් ඉඩ දේනනේ නැහැ. ඉස්සර කාලයේ අම්මලාගේ අදහස වුනේ ගින්දරෙන් පිච්චෙනවා කියනවාට වඩා පිච්චෙන බව දැනගත්තාම දරවන් විසින්ම එයින් ආරක්ෂා වෙන මග හොයා ගන්නා බවයි. අද ඒ තත්වයක් නැහැ. දරුවන්ට සියළු දේ අතට පයට කර කියා දීම නිසා දරුවන් ගේ ජීවිතයේ අත්දැකීම් නැහැ.

සමහර අය බොහොම උජාරුවෙන් මේ විදිහිට කියනවා ඔබ අසා ඇති

අපේ පුතාට දැන් අවුරුදු විස්සකටත් කිට්ටුයි. ඒත් තවම කඩේට ගිහින් පාන් රාත්තලක් දන්නේ නැහැ. ඔබ මේ විදිහට කිව්වත් දරුවා‍ මෙතෙක් ජීවිතයේ කිසිම අත්දැකීමක් නොලද චරිතයක් වීම නිසා ඉතාම අපහසුතාවයට පත් වෙවා. එය හරියට හොදින් සාත්තු සප්පායම් කළ මල් පැලය සුලඟට පහසුවෙන්ම ඉදිරිලා ගියා වගෙයි.

පුංචි පුංචි දේ කරන්න ඉඩ දෙන්න

දරුවන්ට පුංචි කාලයේ පටන් පුංචි පුංචි දේ කරන්න ඉඩ දෙන්න. එක්වරම මහත් වූ ප්‍රාතිහාර්යන් පාන දේ ඔවුන්ට කිරීමට නොහැකි වුනත් පියවරෙන් පියවර ඔවුන් කරන කියන දෙයින් අත්දැකීම් උපයා ගනු ඇත. ප්‍රායෝගිකව දරුවන් තමන් කරන කටුතු වෙතින් යම් අත්දැකීමක් ලබා ගන්නවා. එතැනින් ලබන ශක්තිය නිසාම ඉදිරියට බොහෝ සාර්ථකව ඒ සිදුවීම්වලට මුහුණ දීමේ හැකියාව ලබා ගන්නවා.

Empty nest syndrome….. හෙවත් හිස්වුන කැදැල්ලේ ඛේදවාචකය

ලෝකය පුංචි ගම්මානයක් බවට පත් වීමත් සමග එදා දෙමව්පියන්ට වඩා දරුවන්ගේ දෙනෙතට ලෝකය පෙනෙන්න වුණා. ඒ නිසාම ඔවුන් අධ්‍යාපනය, රැකියාව එහෙම නැත්නම් පදිංචිය වෙනුවෙන් විදේශගත වෙද්දී දෙමව්පියන් අපේ රටේ තනිවීමේ ශෝකාකූල තත්වය අද පොදු ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඒ වුනත් කවා පොවා ඇති දැඩි කල මේ කුරුලු පැටවු රටෙත් නැතුව විදේශගත වුනාම මව්පියන් අසරණ වෙනවා. ඒ කියල දරුවන් තමන්ගේ තීරණ වෙනස් කරන්නෙත් නැහැ. දෙමව්පියන්ට ඔවුන්ගේ තීරණ වෙනස් කිරීමට හැකියාවක් ඇත්තෙත් නැහැ. ඒ වුනත් අපේ දුව..පුතා අහවල් රටේ කියල තවත් කෙනෙක් සමග කියල සතුටු වීම හැර වෙනත් කිසිම තෘප්තියක් අද කාලයේ දෙමව්පියන්ට නැහැ.

ඒ අතරම අතීතයේ දරුවන් සමග ගත කළ මිහිරි අතීතය ගැන හිත හිතා ආත්මීය ශෝකයට පත් වෙන අතරම සුන්දර අනාගතයක් නොමැතිවීම නිසා පසුතැවෙන්න පටන් ගන්නවා. මේ නිසාම අද බොහෝ වැඩිහිටි දෙමව්පියන් මානසිකව ඩිමෙන්සියා අැල්සයිමර් වැනි රෝග තත්වයනගේ ගොදුරු බවට පත්ව සිටිනවා. නමුත් වැඩිහිටියන්බවට පත් වෙන විට ජීවිතය මේ විදිහට සැලසුම් කළොත් අපහසුවෙන් වුනත් මානසිකව නීරෝගීව සිටින්නට හැකියාව ඔවුන් උපයා ගනීවි.

වයසට යන බව සිතන්න

ජෛව විද්‍යාත්මකව වියපත්වීම මට පමණක් නොව හැම දෙනාටම සිදු වෙන පොදු ධර්මතාවයක් බව සිතන්න. දරුවන් වියපත් වීම සමග ඔවුන් කැදැල්ල හැර පියා යෑමේ සාමාන්‍ය තත්වය නොවලැක්විය හැකි‍ හේතුවක් නිසා ඒ වෙනුවෙන් කල් තබාම හිත සූදානම් කර ගන්න.

ගැටළුවක් ඇත්නම් කා සමග හෝ කතා කරන්න

බොහෝ දෙනෙක් තමන්ට ඇති ප්‍රශ්න දරා ගෙන සිටිනවා විනා කිසිම කෙනෙකුට ඒ ගැන කීමට මැලියි. මේ දරා ගැනීම එතරම් සුදුසු නැහැ. දරා ගැනීමට අපහසු ගැටළුවක් ඇත්තේ නම් ඒය කා සමග හෝ කියා හිත නිදහස් කර ගන්න. දරුවන් අසල නොමැති නම් ඔබට හිතවත් පවුලේ කවුරු හෝ හිතවතෙක් සමග මේ ගැටලුව කියා ඒ වෙනුවෙන් කිසියම් සහනයක් ලබා ගන්න.

උදව් ඉල්ලා සිටින්න

වියපත්වීම සමග හව්හරන පිලිබඳව ඇති වෙන අවශ්‍යතා බොහෝ තිබෙනවා. එවන් අවස්ථාවන්හිදී තමාට ලැදි කෙනෙකුගෙන් උදව්වක් ඉල්ලා සිටීමට පසුබට වෙන්න එපා. අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍ය පුද්ගලයෙකුගෙන් උදව්වක් ඉල්ලා සිටීම එතරම් ගැටලුවක් නොවේ. එහෙත් උදව් නොඉල්ලා සිටීමෙන් මේ ගැටලුව බරපතල ගැටලුවක් බවට පත් වීම තිබෙන ඉඩ කඩ විශාලය.

තවත් අයට සලකන්න

අනුන්ට උදව් කිරීම වියපත්බව අමතක කරන ක්‍රියාවක්. ඔබ තවත් කෙනෙකුට උදව් කිරීම නිසා ලබන සතුට ඔබේ ජීවිතයට බොහෝ සේ ආශිර්වාදයක් විය හැකියි. ඒ නිසා හැකි හැම විටම සුලුවෙන් හෝ තවත් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරනන්. එයින් ඔබේ ජීවිතයට විශාල ආලෝකයක් ලැබෙනු ඇති.

සමාජ සේවාවන්ට යොමු වෙන්න

දැන් ඔබේ කැදැල්ල හිස් බව ඇත්ත. ඒත් මේ හිස් වුන කැදැල්ල ගැන නොසිතා සමාජ සේවාවන්ට යොමු වෙන්න. එතැනින් ඔබට තවත් සමාජයක් ගොඩ නගා ගත හැකියි. සමාජ සත්කාර නිසා ලබන සතුට මනසේ නිරෝගීතාවයටත් හේතු විය හැකියි. අද විවිධ අධ්‍යනයන් මගින් පවා හඳුනාගෙන ඇති අන්දමට වියපත් පුද්ගලයන් සමාජ සත්කාර කටයුතුවල යෙදීම ඔවුන්ගේ මානසික නීරෝගීතාවයට හේතු වෙන අතර එහි අතුරු ප්‍රතිඵලයක් වශයෙන් ආයුෂ පවා දිගු විය හැකි බව දැන් තහවුරුව තිබෙනවා.

ක්‍රියාශීලි වෙන්න

“මට මහලු වයසේ කිසිම දෙයක් පෙර සේ…” බැරි බවට මානසිකත්වයක් ගොඩ නගා ගෙන අලසව ජීවිතය ගත කිරීම ඔබ රෝගී පුද්ගලයෙක් බවට පත් කරන ඇති. ශාරිරිකව රෝගී වීමට වඩා මානසිකව රෝගී තත්වයට පත් වීම බරපතල ගැටලුවලට මුල පුරන බැවින් හැම විටම ක්‍රියාශීලී වෙන්න. නිවස අතුගෑම, මිදුල ඇමදීම, මල්පැල සිටුවීම වැනි ව්‍යායාම ලැබෙන කටයුතුවල යෙදීමෙන් සිරුරේ විවිධ රෝගාබාධයන් ඇති විය හැකි අවදානමෙන් ඔබ නිදහස් වෙනු ඇති. අක්‍රියශීලී ජීවිතය නිසා රුධිරගත අහිතකර කොලස්ටරෝල් වැඩි වෙන අතර රැදිරගත සීනි වෙනුවෙන්ද බලපානු ඇත. සිරුරේ ගොඩ නැගෙන මේ තත්වය නිසා හදවත් රෝග සංකුලතාවයන්,දියවැඩියාව, තරබාරුව, අක්මාරෝග, වකුගුඩු ආබාධ වැනි රෝග තත්වයන්ගේ ගොදුරක් නොවීමටත් වග බලා ගන්න.

තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න

වියපත් වීම සමග පුංචි අනතුරකින් පවා ජීවිතය එක්තැන් වෙන්න පුලුවනි. මේ නිසා තමන්ගේ ආරක්ෂාව ගැන වැඩියෙන් හිතන්න. කෙසල් පොතු වැනි ලිස්සන දේ ගැන අවධානය දක්වනන්. පඩිපෙලක නගින විට අත්වැල අල්ලා ගෙන යන්න. අදුරේ අතපාත ගානවාට වඩා විදුලි පන්දමක් හෝ වැනි දරුණු තත්වයන්ට මුහුණ දීමට සිදු වෙනු ඇති.

සැහැල්ලුවෙන් ඉන්න

හිත ලෙඩ වුනොත් එයින් ඇති වෙන අතුරු ආන්තරාවන් අවසානයක් නැත මේ නිසා නිතරම හිත සැහැල්ලුවෙන් සිටීමට නම් ආගමික වතාවත්, භාවනා වැනි ආධ්‍යාත්මික ශාන්තිය ගෙනෙන කටයුතුවල නිරත වෙන්න.

සතුට ලැබෙන දේ කරන්න

සතුට ලැබෙන දේ මේ යැයි කිසිම කෙනෙකුට ලැයිස්තුවක් ඉදිරපත් කිරීමට බැහැ. ඒ වුනත් ඔබට සතුට ලැබෙන්නේ කුමකින්ද යන්න ඔබට තේරෙනවා ඇති. ඇතැමෙක් පොත් පත් කියවීමෙන් සතුට ලබන අතර තවත් කෙනෙක් ඇදුමක් මැසීම, ඉවුම් පිහුම්, පත්තර බැලීම, ගෘහස්ථ ක්‍රිඩාවක යෙදීම වැනි විවිධ කටයුතු වලින් සතුට ලබනු ඇත. එසේ ඔබට හිතට සතුටක් ලැබෙන දෙයක් වේ නම් ඒ වෙනුවෙන් යොමු වෙන්න. සතුට ඇත්තේ එතැනය.

මේ අන්දමින් අනේ අපේ නිවස හිස් වුන හැටි කියමින් ලතනොවි නිවස හිස් වුනත් ඔබ පිරුණ මනසකින් යුක්ත පුද්ගලයෙකු ලෙසින් ජීවිතයට මුහුණ දෙන්න.

අනාගතයේදී අත්තම්ලා, සීයලා වෙන්න ඕනෑද…?

“අද මට බත් කන්න බැහැ…කඩෙන් මොනවා හරි ගේන්න…
ඇයි කඩෙන්.. ගෙදර උයපු බතුත් තියෙනවා.. එළවළුවක් හදන්නම්…
අපෝ එපා… මට ගෙදර කෑම ඇති වෙලා… දෝනි කිව්වා..”

එහෙමනම් කඩෙන් මොනවා හරි ගෙනාවා නම් එක අතකට ලේසියි. දැන් ආයේ උයනවාට වඩා අම්මාටත් හිතුනා. මේ අපේ හැම ගෙදරකම දැන් සිද්ධ වෙන සුලබ සිද්ධියක්. ඒත් මේ පිටුපස දිවෙන ඛේදවාචකය ගැන සමහර විට අම්මලාවත් නොදන්නවා ඇති.

දරුවෝ නැති පවුල් …..

ඔන්න ඔය සිද්ධියටම මේ කතාවත් සම්බන්ධ කර ගන්නකෝ… ඉස්සර කාලයේ බොහෝ පවුල්වලට සිද්ධ වුනේ දරුවන් ලැබීම සීමා කර ගැනීමට විවිධ විධි විධාන අනුගමනය කරන්න සිද්ධ වුණා. ඒත් අද මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. දැන් අපිට නිතරම දරුවන් පිලිසිඳගැනීම් පිලිබඳ ගැටළු ගැන නිතරම අහන්න ලැබෙනවා. විවිධ ප්‍රතිකාර, ශාන්තිකර්ම ඔස්සේ ඔවුන් මේ වෙනුවෙන් විසඳුම් බලාපොරොත්තුව මහත් සේ වෙහෙසට පත් වෙනවා. ඒ අතරම පසුගිය දා ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද මේ අධ්‍යනය නිතරම කඩ කෑම හොයන දරුවන්ට යම් විදිහට හෝ සීමාවක් පැනවීම අවශ්‍ය බව තේරුම් ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම අම්මලා වුනත් තමන්ගේ දියණිය අනාගත මවක් බවට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා නම් පුංචි පුංචි සීමාවන් මගින් හෝ ඔවුන්ගේ මේ රැල්ල නැවැත්තුවොත් හොදයි නේද….?

ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ ජෙසිකා ග්‍රෙගර් විසින් ඇගේ අධ්‍යනය වෙනුවෙන් විවාහක ජෝඩු 6000 ක් සම්බන්ධ කර ගත්තා. මේ නියැදියට සම්බන්ධ වුනේ ඔස්ට්‍ර්ලියාව,නවසිලන්තය, අයර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍යය වැනි රටවල්වල අඹු සැමියන් පිරිසක්. ඒ අතරින් ජෝඩු 2204 ක් හනිමුන් බේබිලා හෙවත් විවාහයෙන් මාසයක් තුළ දරු පිලිසිඳ ගැනීම් වෙනුවෙන් වාසනාවන්ත නිමිති පහළ කර ගත්තා.මේ පිරිස තවත් වැදගත් ආහාර පුරුද්දක් අනුගමනය කර තිබුනා. ඔවුන් දිනකට අවම වශයෙන් පළතුරු පංගු තුනක්වත් ආහාරයට ගෙන තිබුණා.

දරු නිමිති නැති අයගේ ආහාරය…

දෙවනුව මේ අධ්‍යන කණ්ඩායමේ අවධානය යොමු වුනේ දරු පිලිසිඳ ගැනීම ප්‍රමාද ජෝඩු සම්බන්ධවයි. ඔවුන්ගෙන් ලබා ගත් ආහාර පුරුදු පිලිබඳ දත්ත අනුව මේ පිරිස සතියකට සකස් කළ ආහාර වේල් හතරක් හෝ පහක් ලබා ගත්තා පමණක් නොවෙයි, පළතුරු එළවලු ආහාරයට ගත්තේ ඉතාම අඩුවෙනුයි. පිට්සා, බර්ගර්, සහ සකස් කරන ලද කුකුලු මස් ආහාරයට ගැනීමෙන් දරු පිලිසිඳ ගැනීමට බාධාවක් වීමට ඇති අවස්ථාව 16 % කින් ඉහල යන බව මෙම අධ්‍යනය මගින් තහවුරු වුනා.

පිරිමි දරුවන්ටත් අවදානමක් තිබෙනවා…

දැන් ඉතින් පුතාලා ඉන්න  අම්මලා සැනසුම් සුසුම් හෙලයි.. මොකද… ගැහැණු දරුවන්ට නේද ?…මේ අනතුරු දැන්වීම අපි මොකට බයවෙනවාද ? කියලා… ඒත් මද සරුබවට ගැහැණු දරුවා විතරක් නොවෙයි, පිරිමි දරුවාටත් දායකත්වයක් තිබෙනවා.මේ  ආහාර ගැනීම නිසා පිරිමි දරුවන්ගේ ශුක්‍රාණු ගිණුමේ සක්‍රියතාවයට වගේම පරිමාවටත් බලපාන බව මෙහිදී පෙනී ගිය බව අධ්‍යනයේ කර්තෘ ජෙසිකා ග්‍රෙගර් (Jessica Grieger) විසින් සඳහන් කර තිබෙනවා.

දරු සම්පතක් ලබා ගන්න නම් හොදින් ආහාර ගන්න…

මේ අධ්‍යනයට තවත් අතුරු තොරතුරු එක් කරමින් නිව්යෝක් ලෙනොක්ස්හිල් රෝහලේ නාරි සහ ප්‍රසව වෛද්‍ය ජෙනිෆර් වූ සඳහන් කරන්නේ මනා පෝෂණය දරුවන් පිලිසිද ගැනීම වෙනුවෙන් බලපාන ප්‍රබල සාධකයක් බවයි. වෛද්‍ය ජෙනිෆර් සඳහන් කරන්නේ නිවරැදි ලෙසින් මේ සංසිද්ධිය තහවුරු කර ගැනීමට නම් නියැඳිය තව දුරටත් පුලුල් කළ යුතු බවයි. ඒ නිසා තවත් ගැබ්ගත් සහ මද සරු කාන්තාවන් මේ අධ්‍යනයට සම්බන්ධ කර ගත්තා.

තරබාරුවත් ගැටලුවක්…

වෛද්‍ය “ජෙනිෆර් වූ” විසින් ලබා ගත් දත්ත විශ්ලේෂනයේදී පෙනී ගියේ තරබාරු සහ අධික බර ඇති කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත්ව පැවැති බවයි. ඔවුන්ගේ ආහාර රටාවත් උක්ත අධ්‍යනයට සම්බන්ධ කාන්තාවන්ගේ ආහාර රටාවටම සමාන වුනා.

ගැබ්ගත්තාට පසුව ආහාර ගැන සැලකිලිමත් වුනාට බැහැ…

මේ දත්ත විශ්ලේෂනය කරමින් වෛද්‍ය “ජෙනිෆර් වූ” සඳහන් කරන්නේ බොහෝ කාන්තාවන් පෝෂණය ගැන වෙහෙසෙන්නේ දරු පිලිසිඳ ගැනීම සිදු වුනාට පසුවයි. එතෙක් ඔවුන් තමන්ගේ ආහාර ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ.එතෙක් මේ කාන්තාවන්ගෙන් අපි ඇහුවොත් මොනවද ආහාරයට ගන්නේ කියලා ඔවුන්ගේ පිලිතුර වෙන්නේ ෆ්‍රයිඩ් චිකන්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, පිට්සා වැනි විවිධ ආකාරයේ මේද බහුල ආහාර ගැන විතරයි. කිසිම කෙනෙක් පළතුරු ,මාළු, අලුත් එළවලු ගැන කියන්නේම නැහැ.

අම්මලාටත් පණිවිඩයක් තිබෙනවා…

එක අතකින් ආහාර පුරුදු එක රැයකින් ගොඩ නගන්න බැහැ. ඒත් අහිතකර විදිහට ආහාර වෙනුවෙන් ආකර්ශනයට නම් කාලයක් යන්නේ නැහැ. අද තරුණ පරම්පරාව යොමු වෙලා තියෙන්නේ මේ අහිතකර තත්වයට පමණයි. ඔවුන්ගේ ආහාර ‍අතර පළතුරු, පලා සහ එළවලු ඇත්තේම නැහැ.ආහාර ගුණ දන්නා අම්මලාට වුනත් මේ රැල්ල නවත්වා ගන්න බැරි තැනට අද ඇවිත් තිබෙන වසංගතයක් වෙලා. අනුකරනයට වඩා අපේ තියෙන්නේ අන්ධානුකරනයක්. අපි කන්නේ බොන්නෙත් වැඩියෙන්ම අනුන්ට අවශ්‍ය විදිහට වගේම තවත් අයට ප්‍රදර්ශනය කරන්න. ඒත් අන්තිමට එයින් අමාරුවේ වැටෙන්නෙත් අපිම බව තවමත් අපි දන්නේ නැහැ. ඒ නිසා දරුවන් ඉන්න අම්මලා තාත්තාලාට අනාගතයේදී අත්තම්ලා, සීයලා වෙන්න අවශ්‍ය නම් දැන් ඉතින් මේ ගැනත් ටිකක් හිතල බැලුවොත් හොදයි. මේ අධ්‍යන වාර්තාව ඔවුන් “Human Reproduction” මගින් ප්‍රකාශයටත් පත් කර තිබෙනවා.

CNN පුවත් සේවයේ Want to increase fertility? Try dropping fast food ලිපිය ඇසුරින්

 

පරිස්සමින් තෝර ගන්න

ටියුෂන් කියන්නෙ අද රැල්ලක්. පෙර පාසල් යන දරුවන්වත් හවස් වරුවෙ ටියුෂන් ඇදගෙන යන අම්මලා මට කොතෙකුත් මුණ ගැහිලා තියෙනවා. ඒ වෙලාවට මම අහනවා,

“අනේ ඇයි මේ පොඞ්ඩන්ව පන්ති යවන්නේ…”

“අනේ ගෙදර පොතක්වත් අල්ලනෙ නැහැ මේ පැය දෙකවත් වැඩ කරනවනේ..”

“මොනවද අනේ ඔච්චරට ඉගෙන ගන්න තියෙන්නෙ මේ පොඞ්ඩන්ට අනික උදේට මොන්ටිසෝරි ගිහින් ඉගෙන ගන්නෙ…”

“ඔව් අනේ ඒ වුණාට ගොඩක් අම්මලා පන්ති යවනවනේ…”

එතනින් එහාට ඒ අම්මත් එක්ක කතා කරලා පලක් නැහැ. ඇත්තටම අම්මලා කියන්නෙ බුද්ධිමත්ව හිතන්න ඕනී පිරිසක්. බොහෝ විට මේ උපකාරක පන්තිය පවත්වන්නෙ පෙර පාසලේම ගුරුවරියන්ය. කුමක් හෝ දෙයක් වැඩිපුර උගන්වන බව කියා ඔවුන් දරුවන්ව උපකාරක පන්තියට ගෙන්වා ගනියි. එලකියුෂන්ද දැන් අවුරුදු 3 දරුවාගේ පටන්ම ඇති රැල්ලකි. අවුරුදු 3 පැටවුන්ව උපකාරක පන්තියට සහභාගී කරවන්න අම්මලා දෙවරක් නොසිතයි. උපකාරක පන්තියට සහභාගී වන දරුවන්ට විශේෂ සැලකිල්ලකුත් හිමිවෙනවාලු. ගුරුවරු දරුවන්ට එහෙම විශේෂත්වයක් කරන එක කොයි තරම් නම් අසාධාරණද?

මමත් අම්මා කෙනෙක්. මගේ පුතා ලබන වසරේ අම්මලගේ විභාගේ ඒ කියන්නෙ පහවසර ශිෂ්‍යත්වය ලියන්න ඉන්නෙ. පුතා යන්නෙ නිවසට කිට්ටු ප්‍රාථමික අංශය පමණක් තිබෙන පාසලකට. පහෙන් පස්සෙ පුතාව හොඳ පාසලකට ඇතුලත් කිරීමේ අභියෝගය මටත් තියෙනවා. ඉතින් ගිය වසරෙ අවසාන කාලයේ පුතාට ගැලපෙන පන්තියක් හොයන්න මමත් හැම අම්මා කෙනෙක් වගේම වෙහෙසුනා.

“ඒ සර් ෂොක්ලු ගණිත ගැටලු වලට විසඳුම් ළමයින්ට පොවනවා වගේ උගන්වන්නේ…” ඔය වගේ විවිධ තැන් වල ප්‍රසිද්ධ ගුරුවරු ගැන තොරතුරු හොයද්දි මට අහන්න ලැබුණා. කොහොම වෙතත් මගේ පුත්‍රයවත් ශිෂ්‍යත්වයෙන් එතෙර කිරීමේ අභිප්‍රායෙන් මම නම ගිය ගුරුවරයෙක් ළඟට පුතාව ඇතුල් කලා. පළමු දවසෙ මමත් පන්තිය පිටු පසට වෙලා හිටියා.

පැය දෙකකට විෂයන් තුනක්. ඔන්න දැන් ගණිත ගැටළු පොවන්න යන්නේ. බෝඞ් එකේ දැමු ගණන පිටපත් කරගෙන දරුවො ගණන හදනවා.

“හරි දැන් වෙලාව ඉවරයි. සසංක එන්න බෝඞ් එකේ මේකට පිළිතුර හදන්න…”

පොඞ්ඩත් ලැජ්ජාවෙන් ඉදිරියට ගිහිල්ලා ගාණ හදනවා.

දරුවන්ව ඉදිරියට ගෙනල්ලා සබකෝලය නැති කරන එක නම් හොඳයි මගෙ හිත කිව්වා.

“මේ මොකද්ද මේ කලිනුත් කියලා දීලා තියෙනවා නේද? මෝඩ ළමයා යනවා, යනවා” පුංචි සසංකගෙ මුහුණ ලැජ්ජාවෙන් රතු වුණා. අනිත් යාළුවොත් හිනා වෙනවා.

“ආ … තරුක එන්න බලන්න…”

පළවෙනි දවසෙම මගෙ පුතාගේ වාරය ආවා. ලොක්කා වගේ ඉස්සරහට ගිය මගේ පුතත් වැරදියට ගාණ හැදුවා. “වැරදියි , වැරදියි අද පළවෙනි දවස නිසා බේරුණා…”

“නිම්නා එන්න”

පුංචි කෙල්ල ගාණ නිවැරදිව හදනවා.

“හරියටම හරි මේ කෙල්ල විතරයි මම කියලා දීපුව ඔළුවට අරන් තියෙන්නෙ. ඔය ළමයි හරියට ඉගෙන ගත්තෙ නැතිවුනොත් මම හම්බ කරලත් ඉවරයි.”

මේ ඔවුගේ රැකියාවයි. එය රැදෙන්නෙ දරුවන් සමත්වීම මතය. ඔන්න දැන් චක්කර ගන්න වෙලාව. බැරි වුණ හැම දරුවෙක්ටම ගුරුතුමාගෙන් ගුටියක් ලැබුණා.

“නැතිව බැහැ”

පන්තියේ කෙළවර සිටිය මගේ දිහා බලලා එතුමා කියන්න ඇත්තෙ මගෙ මුහුණෙ තිබුණ නොරිස්සුම් බව නිසා වෙන්න ඇති. ඉදිරියට අරගෙන දරුවෙක්ව ලැජ්ජාවට පත් කලාම ඒ දරුවා මානසිකව ඇද වැටෙන බවවත්, අනාගතයේ දරුවගේ පෞරුෂත්වයටද බලපෑම් කරන බවවත් දරුවන්ට ගුටි බැට දීම හරියන්නෙ නැති බව වත් වටහා නොගත්ත ගුරුවරයෙක්ගෙන් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබේවිද?

පන්තිය අවසන් වුණා. දරුවන්ගෙ අම්මලා ඇවිත් ගුරුතුමා වට කරගත්තා.

“අනේ සර් සර්ගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ කොහොම හරි ගොඩදාලා දෙන්න…”

“අනේ ඔව් ඔය ගුටියක් දුන්නට කමක් නැහැ…”

“හරි හරි අපි බලමුකො. තරුකගෙ අම්මාත් ලබන සතියේ පැය භාගයක් කලින් පුතාව ගේන්න.”

කිසිවක්ම නොකියා සිනාසුනු මම එතැනින් පිටවුනේ ආයේ නම් එතුමගෙ උපකාරක පන්තියට නොයවන්නට තීරණය කරමින්මයි. ඒත් ඉතින් මේ අම්මලා කියන විදිහට දරුවා ගොඩ දැමීම තියෙන්නෙ ගුරුතුමා අතේ. විභාගය ලියන්නෙ දරුවද ගුරුතුමාද? දරුවෙක්ට නිදහස් මනසක් නැත්නම් පැය දෙකක් දෙකාමාරක් ඉඳගෙන පිළිතුරු ලියන්නට හැකියාවක් ලැබෙනවා කියන්න නම් අමාරුයි.

ඔන්න මගේ දෙවන මෙහෙයුම. ඔහු තරුණ ගුරුවරයෙක් දරුවන්ට හරිම ආදරෙන් කතා බහ කරන්නෙ. විෂය කරුණුත් වේගයෙන් වුණත් සරලව කියා දෙනවා. වැඩිම ලකුණු වලට කප් එකක්. මගේ පුතත් සතුටින් යනවා. නමුත් මේ පොත් ආයේ මේසේ උඩට එන්නෙ පන්ති දවසට විතරයි. සතියෙ දවස් වල පාසලේ පොත් වලින් විතරයි පාඩම් කරන්නෙ. වාර විභාගයට පෙරම පන්තිය නතර කලා. මමත් ටිකක් වැඩිපුර මහන්සි වෙලා පුතාගේ පාඩම් වැඩ බැලුවා. පුතා වෙනදට වඩා ලකුණු වලින් ඉදිරියට ආවා. තැන් තැන් වලට දුවන එක නතර කරන්න මම හිතා ගත්තා. කොහොමින් කොහොම හරි පහු ගිය දිනෙක මම ප්‍රශ්න පත්‍ර වලට පමණක් පන්තියකට ඇතුලත් කලා.

“ළමයි ඔයාලා හැමෝම පන්තියේ ඉන්න අනිත් ළමයට වඩා ලකුණු ගන්න හිතන්න ඕනී. එයාට 95යි නම් මම එයාට වඩා ලකුණක් හරි ගන්නවා කියලා වැඩ කරන්න ඕනී. ඔයාලට අමාරු රචනාවනෙ මම අවුරුදු 15 ක රචනා ලියන විදිහ ලියලා ටියුට් එකක් දෙනවා ඒක හොඳට කටපාඩම් කරගන්න…”

දරුවන් විභාගයට ලකුණු ලබාගත යුතුයි. එහෙත් අනෙකා පරයා යන සිතුවිල්ල දැක්ම දරුවකු තුල වැපිරීමෙන් බිහිවන්නෙ ආත්මාර්ථකාමී දරුවෙක් නොවේද? දරුවන්ට සිතන්නට පුරුදු කරනවා හැර ගිරවුන් මෙන් කට පාඩම් කරවීමෙන් නිර්මාණශීලි දරුවකු බිහිවේවිද? කට පාඩම් කරන දරුවා එකම රාමුවකට හිරවෙනවා. වෙනස් විදහකට ගැටළුව ඉදිරිපත් කරලා තිබුණොත් දරුවට තමන් සතු දැනුම අදාල තැනට ආදේශ කරගන්නට තේරෙන්නෙ නැහැ. ඉතින් අපි කියනවා “අනේ හොඳට වැඩ කරපු ළමයෙක් ෆේල් වුණේ…” කියලා.

මේ උපකාරක පන්තියටත් නැවතීමේ තිත තබන්නට හිතා ගත් මම පන්තිය අවසන් වූ පසු ඉදිරි පස වූ පොත් හලින් පසුගිය විභාග ප්‍රශ්න පත්තර කට්ටලයක්ද රැගෙන නිවසට ගියෙමි.

ඇත්තටම දෙමාපියන් ලෙස දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම අපගේ යුතුකම් හා වගකීම් අතර ප්‍රධාන තැනක් ගන්නවා. දරුවන්ට නොතේරෙන දෙමාපියන්ටද කියා දෙන්නට බැරි දෙයක් වේ නම් උපකාරක පන්තියකට දරුවා යොමු කලාට වරදක් නැත. එහෙත් මේ ගුරුවරුන් පිළිබඳ සැලකිලිමත්විය යුතුයි නේද? අපි ලෝකයට දායද කල යුත්තේ විභාග සමත් ආත්මාර්ථකාමී, පෞරුෂත්වයෙන් හීන, අනෙකාට සිනහා නගන දරුවෙක් නම් ඔබේ මහන්සියේ ප්‍රතිඵලයක් නැත. ගුරුවරයෙකුගෙන් විය යුත්තේ දරුවන්ට නුවණැස ලබා දෙමින් යහපත් පුරවැසියකු වීමට අවශ්‍ය අඩිතාලම සකස් කිරීම නොවන්නේද? දෙමාපියනි එනිසා ඔබේ දරුවා යොමු කරන උපකාරක පන්තියෙ ගුරුවරයා පිළිබඳ හොඳ අධ්‍යයනකින් හා අවබෝධයකින් යුතුව දරුවාට යහපත් නම් පමණක් එම උපකාරක පන්තියට ඇතුලත් කරන්න.

 

පොඩ්ඩන්ගෙ ප්‍රශ්නවලට අත දාන්නෙ බලාගෙන

“බලන්නකො අම්මා නෙතුකිගෙ අම්මා අදත් මට බැන්නා…”
“බැන්නා… ඔයාට… නෙතුකිගෙ අම්මා”
“ඔව්”
“ඇයි ඒ?”
“එයා කොයි වෙලාවෙත් මට විහිළු කරනවා ඒක නිසා මම එයාට බැන්නා එයා ඒක එයාලගේ අම්මට ගිහින් කියලා”
“මොකද්ද ඔයාට කල විහිළුව ? ”
“මට වඩා එයා ලස්සනලු මම විභාගෙට ලකුණු ගන්නෙ කොපි කරලලු, ඉතින් එයා කියන්නෙ බොරු නිසා මම කිව්වා ඔයා බොරුකාරයෙක් කියලා එයා එක එයාගේ අම්මට ගිහින් කියලා. එයාගේ අම්මා ඇවිත් මට එයාගේ දුවට බොරුකාරයෙක් කියලා කියන්න එපා ආයෙත් ඒ විදිහට කිව්වොත් ටීචර්ට කියනවා කියලත් කිව්වා ඔය වගේ හැමදාම මොකක් හරි දේකට එයාගේ අම්මා ඇවිත් මට මොනා හරි කියලා යනවා මට මේක හරිම කරදරයක්…”

ඔබ මොකද සිතන්නෙ පිටස්තර දරුවෙකුට පිටස්තර කෙනෙක් තරවට්ටු කිරීම අනුමත කල හැකිද? දරුවන් සිටින අම්මලා බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලුවක් තමයි මේ. තමන්ගෙ දරුවට තවත් දරුවෙක් පහර දීම බැන වැදීම වගේම අරියාදු කිරීම. කවුද කැමති තමන්ගෙ දරුවට ඒ වගේ දෙයක් සිද්ධ වෙනවට. ඇත්තමයි කේන්තියක් හිතට එනවා නේද? ඒත් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ කෙසේද ? නෙතුකිගේ අම්මා වගේ හැසිරෙන එක නම් අනුමත කරන්න බැහැ.

ඇයි බැරි?

  • ඒ ඔබේම දරුවා නොවුනද ඔබේ දරුවාගේ වසසේම පසුවන පුංචි දරුවෙක්ය
  • දරුවන්ගෙ පුංචි පුංචි ගැටුම් පවතින්නේ ටික මොහොතක්ය
  • ඔවුන් වහා අමතක වන සුලු ප්‍රිතිමත් කොටසක්ය
  • ඔබේ දියණියගේ සිත මෙන්ම ඇගේ සිතද මෘදු මොලොක්ය
  • සියයට සීයයක් ඔබේ දියණිය නිවැරදි නැතිවා වන්නට පුලුවන්ය

එහෙනම් මොනවද කරන්නෙ…?

  • දරුවන්ගෙ ගැලවුම් කරුවන් දෙමාපියන නිසා දරුවාගේ මැසිවිල්ල ඉවසීමෙන් අසා සිටින්න
  • මුලින්ම පාසලේ ගුරුතුමියව දැනුවත් කරන්නට කියන්න

ඒත් ගැටලුව එසේම නම්…

බොහෝ විට අම්මලා අම්මලා දරුවන්ගෙ ගැටුම් වලට මැදිහත්වීම නියපොත්තෙන් කපන්නට තිබූ දෙයක් පොරවෙන් කපන්නා වගේ දෙයක් බවට පත් වෙන්න පුලුවන්. අපි අපේ දරුවන් හුරු කල යුත්තේ හැකිතාක් තමන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු තනිවම විසඳා ගැනීමටය. ඔවුන් අද ලබන අත්දැකීම් තුලින් නිර්මාණය කරගන්නේ ඔවුනගේ හෙට දවසය. පිහිනන්නට ඉගෙන ගත හැක්කේ දියට බැස පිහිනීමෙන්ය. බොහෝ විට දරුවන් තව දරුවකුට විහිළු කර සතුටක් ලබන්නට උත්සහා දරනවා. හැබැයි අපේ දරුවා විහිළුවට ලක් නොවී ඉන්න සමත් වුණොත් තව දුරටත් අර දරුවා විහිළුවට ලක් කරන්නට උත්සහ නොකරාවී.

උදාහරණයක් ලෙස මෙහෙම දන්වන්නම්කෝ මන්දිලට අලබෝලයා කියන විට ඔහුට කේන්ති යයි. ඉතින් ඔහු විහිළු කරන අයගෙ ඵසු පසු හඹා යයි. මෙය විහිළුවට ලක් වෙන දරුවාට හිරිහැරයක් වුවත් විහිලු විහිළු කරන දරුවන්ට තමන් පසු පස අර දරුවා හඹා ඒම සතුටක්. ඉතින් ඒ සතුට වෙනුවෙන් තමන්ගෙ යහළුවව විහිළුවට ලක් කරනවා. හැබැයි එය ගණනකට නොගෙන සිටියහොත් තමන්ගෙ අරමුණ ඉටු නොවන නිසා දිගින් දිගටම විහිළු කිරීම නතර කරාවී. එනිසා දරුවාව සිතීම අතින් සන්නද්ධ කරන්න. සෑම කෙනෙකු සමගම සුහදව සිටීම ගැටුම් අඩුවන්නට හේතුවක් වෙයි.

හිරිහැරයක් වන දරුවවා හමු වන්න. ආදරයෙන් ඒ දරුවා දෙස බලන්න. ඔබේ දරුවාට හිරිහැර කරන්නට හේතුව ආදරයෙන් විමසන්න. ඔහුටත් තිබේවි තමන්ගෙ නිදහසට කාරණා. ඔබ ඒවාටත් සවන් දෙන්න. ආදරයෙන් සිත නොරිදෙන පරිදි ඒ දරුවාට පහදා දෙන්න. එයිනුත් ප්‍රතිඵලයක් නොවන්නෙ නම් දොමාපියන් සමඟ සුහදව සාකච්ජා කර විසඳුමක් ලබා ගන්න.

මේ ලිපිය ලියාගෙන යද්දි මට සෝමරත්න දිසානායක මහතා රචනය කල එඩ්වඩ් මහතා සහ චරිතා මහත්මිය ගායනය කර ඇති මේ ගීතය මතකයට ආවා. ඔබත් රස විදින්නකො මේ යථාර්ථය…

මල් කැකුලූ පොකුරු වාගේ
අපි පුංචි පැටවු යාලූයි
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයි
අපි ඇති දැඩි වුණ පස්සේ ලොකු අය වාගේ
අපිටත් සැර වැර කම් පුරුදු වෙන්න වෙයිදෝ
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයි
නැන්දෙ මාමේ අම්මෙ තාත්තේ කියා දෙන්නකෝ
එහෙනම් නපුරුකමද වැඩිහිටිකම කියන්නේ
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයි
තරහා වෙලා ඉන්න දන්නෙ නැහැ එහෙම ඉන්න බැහැ
මොහොතක් තරහා වුනත් අපි ආයේත් යාලූවෝ
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයි