Home Blog Page 93

බබාට කෑම හදමු – ලිපි අංක 2

බබාට බත් කවමු… කොහොමද ඒක කරන්නේ…?

අපේ රටේ ප්‍රධාන ආහාරය බත් නේ. ඉතින් චූටි බබාට මුලින්ම කෑම පටන් ගන්නකොට දෙන්න කියන්නෙත් බත්. ඉතින් අද මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ මම කොහොමද මගේ පැටියට බත් ආරම්භ කරලා වයසත් එක්ක ටික ටික ඒ බත් තලපය බබාට ආස වෙන විදියට වෙනස් කර ගත්තේ කියල.

බත් අපි දෙන්නේ ප්‍රධාන ආහාර වේලක් විදියටනේ. බබාගේ වර්ධන සටහන් පොතේ බබාට බත් කන්න දෙන්න ඕන ප්‍රමාණ වයසත් එක්ක දාලා තියෙනවා පැහැදිලිව. ඔයාලට ඒක මතක් කරලා දෙන්නම් මම මෙතන සාරාංශයක් විදියට.

chart-01

chart-02

මම නැවතත් ඕගොල්ලොන්ට ආදරයෙන් මතක් කරනවා “බබාගේ වර්ධන සටහන් පොත” හොඳින් කියවන ලෙස. ඉහත වගුවේ ඉතා කෙටියෙන් දක්වා ඇති කරුණු ඔබට වඩා විස්තරාත්මකව එම පොතෙන් බලා ගන්න පුළුවන්.

හරි…. දැන් මම කියන්නම් මේ උපදෙස් අනුව මගේ බබාට මුල් අවුරුද්ද ඇතුළත බත් විවිධ ආකාරයෙන් සාදා ගත් අන්දම​. මෙහිදී බබාගේ වයස අනුව බත්වලට එකතු කර ගන්නා දේවල් තීරණය කර ගැනීමේ වගකීම පැවරෙන්නේ ඔබට. එම වයස් සීමාවන් ගැන හෝ වෙනත් මේ ලිපිය සම්බන්ධ ඕනෑම කරුණක් ගැන වැඩි දුරට දැන ගැනීමට අවශ්‍ය නම් මේ ලිපිය යටින් කමෙන්ට් කරන්න​.

මූලිකව අපි බබාට දෙන බෙරි බත් තලපය මම සාදා ගත් ආකාරය මගේ “බබාට කෑම හදමු” ෆේස්බුක් පිටුවේ පින්තූර සහිතව පැහැදිලි කර තියෙනවා. එම පෝස්ට් එකේ ලින්ක් එක මෙහි ඔබ සැමගේ පහසුවට මම සඳහන් කරන්නම්.

Link : බබාට කෑම හදමු

මම නම් බබාට දුන්නේ රතු කැකුළු සහල්. තවත් ඉතා ගුණවත් දේශීය සහල් වර්ග  තියෙනවා බබාලට දෙන්න සුදුසු සුවඳැල්, කහවනු, පච්ච පෙරුමාල්, කුරුලුතුඩ ඒවායින් සමහරක්.

දැන් අපි බලමු බබාට බත් විවිධ ආකාරයෙන් සකසා දිය හැකි ආකාර. මට පුළුවන් මගේ අත්දැකීම් අනුව මේවා ප්‍රධාන ක්‍රම 3 කට වෙන් කරලා පෙන්වන්න​.

ක්‍රමය 1 :- මේ මූලික බත් තලපයට එහි රසය වෙනස් වෙන්න තව එක ආහාර වර්ගයක් සමග මිශ්‍ර කරලා දෙන්න පුළුවන්.

මෙන්න උදාහරණ කීපයක් :-

  1. බත් සහ පොල්කිරි එකතුව සාදා ගත් කිරිබත්
  2. බත් සහ ඇපල් / පෙයාස් / කෙසෙල් වැනි පලතුරක් සමග​
  3. බත් සහ පරිප්පු / මුං ඇට​/ කව්පි /කඩල/ කුරක්කන් වැනි ධාන්‍ය වර්ගයක් සමග​
  4. බත් සහ කැරට් / වට්ටක්කා වැනි එක් එළවළු වර්ගයක් සමග​
  5. බත් සහ අර්තාපල් / බතල වැනි අල වර්ගයක් සමග​
  6. බත් සහ යෝගට් / මී කිරි / චීස් වැනි කිරි ආහාරයක් සමග​
  7. බත් සහ නිවිති වැනි පලා වර්ගයක් සමග​
  8. බත් සහ මාළු/මස් / හාල්මැස්සෝ කරවල​/ බිත්තර වැනි සත්වමය ආහාරයක් සමග​

බලන්න​, ඉහත ආකාර සියල්ලම සැලකුවාම විවිධ රසවලින් යුතු බත් සාදා ගන්න පුළුවන් නේද?

ක්‍රමය 2 :- බත් සමග ආහාර වර්ග දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හැකි පමණින් එකතු කිරීමෙන්

පෝෂණීය සමබර බත් වේලකට අඩංගු වෙන්න ඕනා ප්‍රධානම ආහාර කාණ්ඩ දැන් ඔබට පැහැදිලි ඇති. මම මූලිකවම හිතේ තබා ගත්තේ මේ ආකාරයටයි.

  1. සහල්
  2. එළවළු වර්ග 2 ක් (මෙහි මම එළවළු ගොඩටම අල වර්ගත් සලකා තියෙනවා)
  3. ධාන්‍ය වර්ගයක්
  4. සත්වමය ආහාරයක්
  5. පලා වර්ගයක්
  6. මේදය​

මේ මූලික දේවල් සියල්ලම නිසි වයසේදී ප්‍රධාන ආහාර වේලකට දෙන්න පුළුවන් නම් ඉතාම හොඳයි. නමුත් බබාලා ටික ටික ලොකු වෙන කොට කෑම ප්‍රතික්ශේප කරන අවස්ථා එනවනේ. ඒ වගේ වෙලාවල්වලට මේ ආහාර වර්ග ටික ටික​ එහා මෙහා කරමින්, බබා කැමති රස ඉස්මතු කරමින් බත් එක සාදා ගන්න උනන්දු වෙන්න​.

ඉහතින් සඳහන් කළ මූලික ආහාර වර්ග සඳහා උදාහරණ කිහිපයක් ද මම සඳහන් කරන්නම්, ඔබේ පහසුවට​.

  1. සහල් වර්ග – මම කිහිපයක් මෙම ලිපියේම කලින් සඳහන් කළා
  2. එළවළු වර්ග 2 – මෙහිදී මම එළවළු වර්ණ දෙකකින් තෝරා ගන්න උනන්දු වෙනවා. උදාහරණ ලෙස බීට් රූට් සහ දඹල , කැරට් සහ බෝන්චි, බතල සහ පතෝල යනාදී වශයෙන්. ඔබට කැමති ඕනැම එළවළුවක් බබාට හඳුන්වා දෙන්න පුළුවන්, එයට සීමාවක් නැහැ. කිසි දෙයක් තෝරන්න එපා. සියලුම එළවළු වර්ගවලට පොඩි කාලේ සිටන්ම පුරුදු වෙන බොහෝ දරුවන් ලොකු වුනාම ආහාර තෝරන්නේ නැහැ.
  3. ධාන්‍ය වර්ග – මුං ඇට​, පරිප්පු (විශේෂයෙන් තෝර පරිප්පු – වස විසවලින් අවම නිසා), රතු සහ සුදු කව්පි, කඩල​, කුරක්කන් වගේ ධාන්‍ය තමයි මම දුන්නේ. මේවා අපට ලේසියෙන් කල් තබා ගන්නා විදියට සකසා ගන්න පුළුවන්. මේවා හොඳින් සෝදලා, අව්වේ වේලලා, කබලේ බැදලා, කුඩු කර ගෙන බෝතල්වල අසුරලා තබා ගන්න පුළුවන්. මම නම් ශීතකරණයේ තබා ගත් නිසා මාස කීපයක්ම පාවිච්චි කළා. නමුත් තවත් සමහර අම්මලා නම් ශීත කිරීමකින් තොරවම එළියේ කාලයක් තබා ගෙන පාවිච්චි කළ බවත් මා සමග පවසා තිබෙනවා. මේ සියල්ල ඔබේ කැමැත්ත පරිදි සිදුකර ගන්න​.

මෙලෙස ධාන්‍ය ඇට ලෙසද​, පිටි ලෙස ද භාවිතයට අමතරව ධාන්‍ය පැල කර මුල් අද්දවා ආහාරයට එකතු කිරීමද කරන්න පුළුවන්. ධාන්‍ය ඔබට අවශ්‍ය ප්‍රමාණය හොඳින් සෝදා දවසක් වතුරේ පෙගෙන්න තිබ්බාම ඒවායෙහි මුල් ඇදීම සිදුවෙනවා. ඒවා බත් එකට එකතු කර කෙලින්ම උයා ගන්න පුළුවන්. වැඩිපුර සාදා ගත්තොත් ශීතකරණයේ තබා දින කීපයක් කල් තබා ගැනීම කර ගන්න පුළුවන්. මේ දිනවල සුපිරි වෙළඳ සැල්වල පැල කරන ලද මුං ඇට එහෙම ගන්න තියෙනවා. ඒත් මේවා ගෙදරම සාදා ගැනීම එච්චර දුෂ්කර කාර්‍යයක් නෙවෙයි.

  1. සත්වමය ආහාරයක් – මස්, සුදු මාළු, බිත්තර​, හාල්මැස්සෝ කරවල වගේ දේවල් තමයි.

මස් නම් කුකුළු මස් මුලින්ම හඳුන්වා දීම සුදුසුයි. අනෙක් මස් වර්ග දෙනවා නම් බොහොම කල්පනාවෙන් ටිකෙන් ටික හඳුන්වා දෙන්න​. මොකද ගොඩක් මස් වර්ගවලින් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. මම දුන්නේ නම් කුකුළු මස් පමණයි. ඒත් සතියකට හෝ දෙකකට වේලක් හෝ දෙකක් පමණයි. අද කාලේ නැවුම්, වස විස නැති කුකුල් මස් සොයා ගැනීමට හරි අපහසු නිසා. කාබනික (organic) මස් ලැබෙයි නම් නිතරම වුවත් බබාගේ බත් එකට එකතු කළාට කමක් නැහැ.

මාළු විදියට තෝරා, පරා, මී වැටි, තලපත් වගේ සුදු මාළු දෙන්න පුළුවන්. බබා ලොකු වෙද්දී අවශ්‍ය නම් කෙලවල්ලා, ඉස්සා, දැල්ලා වගේ මාළු ටිකෙන් ටික හඳුන්වා දෙන්න පුළුවන්. එහෙම දීපු අම්මලා ඉන්නවා. නමුත් මම නම් තාම ඉස්සා, දැල්ලා නම් දීලා නැහැ. මොකද ඒවා ටිකක් ආසාත්මිකතා ඇති කරන මාළු වර්ග නිසා.

බිත්තර නම් මුලින්ම කහ මදයෙන් පටන් අරන් මාස 10 වගේ වෙද්දී සම්පූර්ණ බිත්තරයක්ම දෙන්න මම කටයුතු කළා.

හාල්මැස්සෝ කරවල – බඩවත් අයින් කර, ඔළුව සමග හාල්මැස්සෝ අරගෙන​, හොඳින් සෝදලා, අව්වේ වේලලා, කබලේ බැදලා හොඳට කුඩු කර ගත්තාම කෙලින්ම බත් එකට එකතු කරගන්න පුළුවන්. කටු නැතිවෙන්න හොඳින් කුඩු කරගන්න වග බලා ගන්න​. මේවත් හොඳින් බෝතලයක අසුරලා කල් තබා ගන්න පුළුවන්.

(පීකුදු දෙන්න නියම කර තියෙන කෑමක් වුනත් මම ඒවා දුන්නේ නැහැ. කුකුළු අක්මාවේ වස විස බොහෝ රැඳෙන්න ඉඩ තිබෙන නිසා)

  1. පලා වර්ගයක් – ගෙදරම පොඩියට වවා ගත්ත ගොටුකොළ සහ නිවිති තමයි ගොඩක්ම මම බබාට දුන්නේ. ඊට අමතරව මුකුණූවැන්න​, කංකුං දුන්නා. තවත් ඕන තරම් පලා වර්ග තියෙනවා. විශේෂයෙන් කංකුං දෙද්දී දලු හරියෙන් දෙන්න​. ලොකු දඬු දෙන්න එපා. ඒවා ඇතුළේ සත්තු ඉන්න පුළුවන් නිසා හොඳින් පිරිසිදු කිරීමට වග බලා ගන්න​.
  2. මේදය – බටර්, එළගි තෙල් (ගී), සූරියකාන්ත තෙල්, ඔල්ව් තෙල්, පිරිසිදු පොල් තෙල් බබාට දෙන්න සුදුසුයි.
ක්‍රමය 3 :- බත් මගින් සාදා ගත හැකි වෙනත් ආහාර​ 

  1. කුරක්කන් කැඳ (බත්, පොල්කිරි, කුරක්කන් පිටි)
  2. කිතුල් කැඳ (බත්, පොල්කිරි, කිතුල් පිටි )
  3. කොළ කැඳ (බත්, පොල්කිරි, කොළ වර්ගයක්)
  4. එළවළු සුප් බත් (සුප් සාදා වතුර බේරා ගත් පසු ඉතුරු වන එළවළු, බත් සමග මිශ්‍ර කර​)
  5. කොහිල කැඳ (බත්, පොල්කිරි, කොහිල අල​)
  6. කිරිබත් සහ කෙසෙල්
  7. හාල් පිටි ඉඳි ආප්ප​
  8. හාල් පිටි ආප්ප මදය​
  9. හාල් පිටි පිට්ටු සහ පොල් කිරි

බලන්න .. ඕගොල්ලොන්ට පේනවා ඇති බත් (හෝ සහල්) ආශ්‍රය කරගෙන විවිධ විදියේ රසවලින් යුත් කෑම වර්ග ගණනාවක් සාදා ගන්න පුළුවන් නේද කියලා. කාගෙන්වත් අහ අහා ඉන්න අවශ්‍ය නැහැ. නිර්මාණශීලීව සිතීම පමණයි කරන්න ඕන​. ඒකට අම්මලා දක්ෂ වෙන්න ඕන​.

මම අවසාන වශයෙන් ඔයාලාට, බබාලට බත් ආහාරය සකස් කිරීමේදී වැදගත් වන ඉඟි (TIPS) කිහිපයක් කියන්නම්. ඒවා හොඳින් හිතේ තියා ගෙන බබා ගේ බත් එක සකස් කර ගන්න​.

  • බත් උයනකොට බත් සමගම එළවළු, ධාන්‍ය ඇට​, මස්/මාළු මුල සිටම එකට දමා උයා ගන්නවා නම් හොඳයි.
  • ඔබ බත් එකට දමන්නේ කුඩු කල ධාන්‍ය නම් බත් එක ඉදීගෙන එනවිට ඒවා එකතු කරන්න​.
  • පළා වර්ග බත් එක බාන්න කිට්ටුව එකතු කර ගන්න​
  • බිත්තර නම් වෙනම තම්බා ගෙන බත් එක බබාට කවන කොට බත් එකට මිශ්‍ර කරගන්න​
  • මාළු/මස් බත් එකට එකතු කරන විට අමුවෙන්ම කටු ඉවත් කරගෙන මාංශ කොටස් පමණක් බත් එකට දමන්න​.
  • පොල්කිරි එකතු කිරීමේදී කිරිබත් උයන ආකාරයට බත් එක ඉදුනාම එකතු කර ගන්න පුළුවන්. නැත්නම් මුල සිටම දිය කිරි සහ මිටි කිරි දෙකම දමා කිරෙන්ම බත් එක උයා ගන්නත් පුළුවන්
  • බටර්, ගී, තෙල් වර්ග කෙලින්ම බත් එක ඉදුනාට පසු බතටම එකතු කර අනා ගන්න පුළුවන්, නැත්නම් බත මේවායින් තෙම්පරාදු කර ගන්නත් පුළුවන්.
  • සමහර විට ඔබේ කාර්‍යබහුලකම නිසා ඔබ බත් වේල් දෙකක් සඳහා එකටම උයා ගන්න තීරණය කරන්න ඉඩ තියෙනවා. එහිදී වේල් දෙකේම බත් එක, එකම වූවත් එහි රස මොන යම් හෝ ආකරයකින් වෙනස් කිරීමට ඔබ උත්සහ ගන්න​.

උදා :- තෙම්පරාදුවක් දැමීමෙන්, ඇපල්/පෙයාස්/මිදි/නාරන්/කෙසෙල් වැනි පලතුරක් එකතු කිරීමෙන්, තල/රුලන් වගේ දෙයක් බැදලා තෙම්පරාදුවක් දැමීමෙන්, යෝගට්/මීකිරි/චීස් වැනි දෙයක් එකතු කිරීමෙන්

  • පුළුවන් තරමින් බ්ලෙන්ඩ් කිරීමෙන් වලකින්න​. ඒ, බ්ලෙන්ඩ් කරන විට ඉතා සියුම් ක්‍රීම් එකක් බවට පත් වෙන නිසා බබා හපලා කන්න පුරුදු කර ගන්න අමාරු වෙන නිසයි. නමුත් සමහර ආහාර පොඩි කර ගැනීමට බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න සිදු වෙනවා. මස්/බෝන්චි/කොළ වර්ග වගේ දේවල්. මේ අවස්ථාවල බ්ලෙන්ඩ් කරද්දී අවශ්‍ය ලෙස වේගය පාලනය කර අවශ්‍ය ප්‍රමාණයට කැබලි කර ගන්න අම්මා දක්ෂ වෙන්න ඕන.
  • බත් එක උණුසුම් ව තියෙද්දී බබාට කවන්න
  • බත් කන්න අදි මදි කරන බබෙක් නම් ඔබ සකස් කරගන්නා බත් වේල හොඳින් භාජනයක දමා අසුරා ටිකෙන් ටික අරගෙන බබාට සැරින් සැරේ කවන්න​. පොඩි ආහාර ප්‍රමාණයක් වැඩි වේල් ගනණක් කැවීම සුදුසුයි.
  • බබා කන්න අදි මදි කරන විට කළ හැකි තවත් දෙයක් විදියට බබා පැය කීපයක් නිරාහාරව තබා හොඳින් බඩගිනි දැනෙන විට සැලකිය යුතු ප්‍රමාණයක් බත් කවා ගැනීම කළ හැකියි.
  • උණුකර නිවාගත් වතුර කවන වෙලාවට ලඟින් තබා ගන්න​. බබාට වැඩි ආහාර ප්‍රමාණයක් කැවුනොත් වතුර ටිකක් බොන්නට දී එය ගිල ගැනීම පහසු කර දෙන්න පුළුවන්.
  • කහ​, තුනපහ​, ගම්මිරිස්, අබ වගේ වෙනත් කුළු බඩු ඔබේ කැමත්ත පරිදි බත් එකට එකතු කර ගන්න පුළුවන්. මම නම් අවුරුද්දක් යනකම් කිසිම කුළු බඩුවක් එකතු කළේ නැහැ. නමුත් වෙන අම්මලා නම් එකතු කරලා තියෙනවා.
  • අවුරුද්දක් පහු වෙනකම් බතට ලුණු හෝ සීනි එකතු කරන්න එපා.

මගේ “බබාට කෑම හදමු – Lets make Baby Food” පිටුවට පිවිසිලා මම මගේ බබාට සාදා දුන් බත් වර්ග ගැන වැඩි විස්තර පින්තූර සහිතව බලා ගන්න ඔයාලට පුළුවන් (https://www.facebook.com/pg/umibabyfoodblog)

මම මේ ලිපියෙන් කිව යුතු සියල්ල හැකි පමණින් ආවරණය කරන්න උත්සාහ ගත්තත් සමහර කරුණු මග හැරී තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබට නැගෙන ගැටලු කමෙන්ට් කිරීමෙන් අපට දන්වන්න​. අපි  හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

ළඟම පාසල හොඳම පාසල ඒත්… අපි නගරයට

දරුවෙක් ගැබ් ගත් තැන පටන් අම්මලා තාත්තලාගේ ඊළඟ අරමුණ මේ දරුවා වෙනුවෙන් නම ගිය පාසලක් ලබා ගන්නේ කෝහොමද කියන ගැටළුවයි. ඒ නිසා ඇති හැකි හැම දෙමව්පියෙක්ම අදාල චක්‍රලේඛන අනුව ලියකියවිලි සකස් කරනවා. පළමු වසරට දරුවන් ඇතුලත් කර ගැනීමේදී ඒ වෙනුවෙන් නිර්ණායක කීපයක් තිබෙනවා.

  • පදිංචිය
  • ආදි ශිෂ්‍ය
  • රජයේ සේවක
  • ස්ථානමාරු

මේ විදිහට අවස්ථා තිබුනත් පළමුවසරට පංති කීපයක් වෙනුවෙන් බඳවා ගන්නා දරුවන්ගේ යම් සීමාවක් තිබෙනවා. මේ හැම නිර්නායකයක්  තුලින්ම දරුවා ප්‍රතික්ෂෙප වීමට තිබෙන අවස්ථාව ඉහලයි. එයිනුත් වැඩි ප්‍රතිශතයකින් දරුවන් බඳවා ගන්නේ පදිංචිය පදනම් කර ගෙනයි.

පදිංචියට අවශ්‍ය ලියකියවිලි

පදිංචියට අවශ්‍ය ලියකියවිලි නිසා අද සිද්ධ වෙන අසාධාරණය සුළුපටු නැහැ. දුර බැහැර හිටියත් කෙසේ හෝ පදිංචිය තහවුරු වෙන විදිහට ලියකියවිලි හදා ගත්තාම ඇත්තටම පදිංචි වෙලා ඉන්න අයගේ දරුවන් නොදැනීම ප්‍රතික්ෂෙප වෙනවා.

අම්මාගේ ගමේ දරුවා ලැබුණා..

මේ එක් උදාහරණයක්. අම්මාගේ ගම අම්පාරේ වුනත් ඇය විවාහ වුනේ මහනුවර ප්‍රදේශයටයි. හැබැයි සාමාන්‍ය පවුලකින්. ඒත් ලංකාවේම ජනප්‍රිය පාසලක වැට මායිමේ දරුවාගේ තාත්තා, සීයා විතරක් නොවෙයි, සීයාගේ තාත්තාත් පදිංචිව සිටියා. ඒත් ඔවුන්ට ඒ යුගයේ තිබුන පදනම අනුව මේ පාසලට යන්න ලැබුනේ නැහැ. දම්වැල් 22 ක් නොවෙයි, පාසලේ සීනුව නාදකරන හඩ පවා ඇසෙන මායිමේ හිටියට තාත්තා මේ පාසලේ ආදි ශිෂ්‍යයෙක් නොවෙයි. ඒත් දැන් කාලයේ මේ පාසලට සාමාන්‍ය පවුල්වලින් දරුවන් ඇතුලත් කර ගැනීමට බාධාවක් තිබුනේ නැහැ. ඒ නාමිකව පමණයි. කෙසේ හෝ පදිංචිය සනාථ කිරීමට සියලු ලිපි ලේඛන තිබුනත් දරුවාගේ උප්පැන්නයේ උපත ලද රෝහල විදිහට අම්පාර සඳහන් වීමත් අම්මාගේ ඡන්ද හිමි නාමලේඛන උපුටන නොමැති වීමත් නිසා දරුවා බාර ගැනීම ප්‍රතික්ෂෙප වුනා.

දුර සීමාවන් තිබුනත් පාසල් බස් නම් අල්ලපු දිස්ත්‍රික්ක වලිනුත් ඇවිත්…

දරුවන් බවා ගැනීමේ චක්‍රලේඛනයේ දුර සීමාවන් තිබුනත් පාසලක් ඇරෙන වේලාවට අහල පහල දිස්ත්‍රික්කත් ආවරණය වෙන විදිහට පාසල් බස් සේවාවන් තිබෙන බව ඔබ 11.30 ට ප්‍රාථමික පංති ඇරෙන වේලාව නිරීක්ෂනය කලොත් පෙනේවි. ඉහළ පංති ගැන නම් මේ චෝදනාව නගන්න බැහැ. ඊට හේතුව 6 වරෙන් ඉහළට ශිෂ්‍යත්ව විභාගය, ඇතුලත්වීමේ විභාගය, සාමාන්‍ය පෙළ වැනි විවිධ විභාග සමත් අයට ඇතුලත් වෙන්න පුලුවනි. ඒත් ප්‍රාථමික පංතිවලට දුර සීමාව අදාල නම් මේ පාසල් බස්වලින් යනෙන දරුවන් ඇතුලත් වුනේ හොර පාරෙන් බව විවෘත රහසක්. ඒත් විදුහල්පතිවරුන්ටත් අදාල ලියකියවිලි නිවරැදි නම් එයින් ඔබ්බට ආයේ කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

ආදි ශිෂ්‍ය වෙද්දී තමන් ඉගෙන ගත්ත පාසල එතරම් සුදුසු නැති බව හිතෙනවාද…?

වර්තමාන අධ්‍යාපන රටාව තුළ අපි සීමිත පාසල් කීපයක් වෙනුවෙන් පොර බදිනවා මිස තමා උගත් පාසලට දරුවා ඇතුලත් කරන්න එතරම් මනාපයක් නැහැ. මම මේ පාසලේ ඉගෙනගෙන මේ තැනට ආවා නම් මගේ දරුවාට මේ පාසල වඩාත් සුදුසුයි කියල කාටවත් හිතෙන්නේ නැහැ.

ජනප්‍රිය පාසලේ ආදි ශිෂයන්ටත් තරගයක්…?

ඒ වගේම ජනප්‍රිය පාසලේ ආදි ශිෂ්‍යය බව තිබුනාටමත් දරුවා ඇතුලත් කරන්න එය සුදුසුකමක් වෙන්නේ නැහැ. ආදි ශිෂ්‍යයෙක් විදිහටත් ඔවුන් ලකුණු උපයා ගන්න ඕන. මේ නිසාම අද විවිධ විදිහට දරුවන් ඇතුලත් කිරීමේදී සාධාරණ පදනමක් ඇති වෙන්නේ නැහැ.

ළඟම පාසල හොඳම පාසල වුනත්….

අද “ළඟම පාසල හොඳම පාසල” ජනප්‍රිය කරන්න ගියත් එය ඉටු නොවන බව නම් කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා. අද ළඟම පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 33 ක් පමණ වෙන ඇතැම් පාසල් තිබෙන අමතක කරන්න එපා. ඒත් සුදුසුකම් ලත් ගුරුවරු මේ පාසල්වල පත්වීම් ලබා සිටින නිසා කිසිම විදිහකින් අධ්‍යාපනයේ ගුණාත්මක බව බාල වෙන්නේ නම් නැහැ. නමුත් අපේ මනස් සංකල්පය නගරයේ පාසල් මුල් කර ගෙන නිසා කරන්නන් වාලේ රැල්ලට යෑම නිසා දරුවන් හෙම්බත් වෙන බව දෙමව්පියන් කිසිම විටක හිතන්නේ නැහැ.

උපත ලබන විටම දරුවාගේ පාසලත් නම් කරන රටවල් තිබෙනවා. අපි උපත ලබන විට අපේ ආගම තීන්දු වෙනවා වගේ මේ රටවල් දරුවාගේ පාසල තීරණය කරනවා.එවිට පාසලේ අධ්‍යාපන බලධාරීන් එළැඹෙන වසරට මේ පාසලට ඇතුලත් විය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව මෙපමණක් බවට තීරණ ලබා ගන්නවා.

ජනප්‍රිය පාසලට ඇතුළු කල පමනින්ම සෑහෙන්න පුලුවන්ද…?

ජනප්‍රිය පාසලකට කෙසේ හෝ ඇතුලත් කළ පමණින් සියල්ල ඉෂ්ට වූවා යැයි ඔබට සෑහීමට පත් වෙන්න බැහැ. ජනප්‍රිය පාසල්වල පංති තදබදය නිසා ගුරුවරුන්ටත් එක් එක් දරුවාට අවධානය දක්වන්න අසීරුයි. ළඟම පාසලේදී නම් දරුවාට ඒ වාසිය හොදින්ම ලැබෙනවා. පංතියක සිසු පිරිස සීමිත නිසා අවදානය ඉතා හොදින් දක්වන්න පුලුවනි. ගුරුවරුන් ගැන අද කිසිම ගැටලුවක් නැහැ. හැම පාසලක් වෙනුවෙන්ම දක්ෂ සහ වෘත්තිය ප්‍රායෝගික සුදුසුකම් ලත් ගුරුවරු අමාත්‍යාංශයෙන්ම පත්වීම්, මාරුවීම් ලබන නිසා ඒ ගැන ගැටළුවක් නැහැ. නමුත් අපේ හිතේ මැවී තිබෙන සංකල්පය අනුව හොඳම ගුරුවරු ඉන්නේ ජනප්‍රිය පාසලේ පමණයි. ඒ වුනත් ඇතැම් අවස්ථාවලදී ප්‍රාථමික අධ්‍යාපනය ඉතාම හොඳින් ළඟම පාසලෙන් ලබා ගත් දරුවන් ඒ අත්තිවාරම ඔස්සේ පසුකාලීනව තමන්ගේ ද්විතියික අධ්‍යාපනය ඉතා සාර්ථකව සිදු කර ගැනීමට හැකියාව ලබනවා. මේ නිසා අම්මලා, තාත්තලා ඇත්තටම දිවිය යුතු වෙන්නේ ජනප්‍රිය පාසල වෙනුවෙන් නොව පොඩි දරුවාට ඉතාම හොදින් අධ්‍යාපනය ලබා ගත හැකි පරිසරය ඇති සහ ආරක්සාව වගේම පීඩනයක් නැති ළඟම පාසලට නොවේද…?

කූට ලේඛන හදාගෙන මලක් වගේ දරුවා දවස පුරාම පාසල් බස් රථවල තැලී පොඩි වෙනවාට වඩා ඔවුන්ගේ ළමා කාලය නිදහසේ ගෙවන්න අවසරයක් ලබා දිය හැකි පරිසරයක් නිර්මානය වෙනවා නම් මොන තරම් අගෙයිද ?

නරක වචන කියන දරුවන්ට වේවැල් කසාය දුන්නොත් හරිද?

“අනේ බලන්නකෝ මෙයාලා කියන වචන. මේ දරුවෝ මේවා කොහෙන් ඉගෙන ගන්නවද මම දන්නේ නැ. තැනකට ගෙනියන්න බෑ ලැජ්ජයි. අඩු තරමේ අම්මා තාත්තා ගැනවත් හිතන්න ඕනේ, දෙයක් කියන්න කරන්න කලින්. පොඩියි කියල හැමදාමත් මෙහෙම කරන්න දෙන්න බැහැනේ…” ගමනක් බිමනක් අවසානයේ අම්මගේ සුපුරුදු දෝශාරෝපණයත් එක්ක ගෙදරට ගොඩ වැදුණු කවුරු කවුරුත් නිහඬව තම තමන්ගේ කටයුතුවලට යොමු වුණේ අම්මගේ හිත දුකටත් තරහටත් පත්ව ඇති වෙලේ තමන් අතින් තවත් වැරැද්දක් වුනොත් නිහඬව සිටින තාත්තගෙනුත් බේරිල්ලක් නැති බව දන්නා නිසාමය.

“අපි ඇහේ මූණේ තියාගෙන දරුවෝ හැදුවට එයාලට නම් අපි ගැන අබ මල් රේණුවක තරම්වත් හැඟීමක් නැහැ. ඒ නිසානේ කතා බහ කරන කොට කිසි සැලකිල්ලක් නැතිව කැත වචනම කියන්නේ, තැනකට යන්න කලින් කොච්චර කියලද එක්කන් යන්නේ, හොඳට හැසිරෙන්න කියලා…”

මෙන්න මේ විදියට දරුවන්ගේ භාෂා භාවිතය ගැන අම්මල මැසිවිලි නැඟුවත් කොහෙන්ද දරුවෝ මේ දේවල් ඉගෙන ගන්නේ ඒ වගේම මේ දේවල් නතර කරන්න අපි මොනවද කරන්න ඕනේ කියන කරුණ ගැන දැනුවත් බවක් නම් නැහැ.

ඇයි මේ පුංචි දරුවෝ නරක වචන කියන්නේ, ඒ ගැන හිතලා බැලුවද?

දරුවෝ කියන්නේ එයාලගේ වටපිටාවෙන් ලැබෙන හැමදේම ග්‍රහණය කරගන්න පිරිසක්. ඉතිං නිවසේ වටපිටාව කොයි තරම් හොඳින් පැවතුණත් බාහිර පරිසරයට නිරාවරණය වෙන මේ පුංචි දරුවන්ට උස් පහත් භේදයකින් තොරව භාවිත වෙන වචන අහන්න වගේම හැසිරීම රටා දකින්නත් ලැබෙනවා. එතැනදී තමන්ට නුහුරු අත්දැකීම් වෙතට දරුවෙක් නැඹුරු වෙන සම්භාවිතාවය බොහොම ඉහළයි. ඔන්න ඔතනදි තමයි “අපි සතෙකුටවත් නොකියන වචන තමයි මේ දරුවෝ අපිට කියන්නේ…” කියන දෝෂාරෝපණය අම්මලාගෙන් එල්ල වෙන්නේ.

විශේෂයෙන්ම වයස අවුරුදු පහ දක්වා කාලය දරුවෝ බොහොමයක් දේ ඔවුන්ගේ පරිසරයෙන් උකහා ගන්නවා. ඒ වගේම එදිනෙදා ක්‍රියාකාරකම්වලදී ඔවුන් ඒවා අත්හදා බලන්න පැකිලෙන්නේ නැහැ. එහෙමයි කියලා අපිට දරුවෝ සමාජයට යොමු නොකර ඉන්න බැහැ. පෙර පාසැල, පාසැල, පාසැල් වෑන් රථය, වෙළඳසැල වගේ බොහොමයක් ස්ථානවලදී එක් එක් පුද්ගලයන් භාවිතයට ගන්න වචන අපේ දරුවන්ට අහන්න ලැබෙනවා. ඉතිං අපේ නිවස තුළ පරිසරය කොයි තරම් හික්මුණු පරිසරයක් වුනත් මෙන්න මේ විදියට වට පිටාවෙන් දරුවෝ බොහෝ දේ ලබාගන්නවා නේද කියන දේ දැන් ඔබට වැටහෙනවා ඇති. ඒ වගේම පාසැලට පෙර පාසැලට එන එක් එක් සමාජ මට්ටම්වල දරුවෝ වගේම රූපවාහිනියත් දරුවන්ට මේ හා සම්බන්ධ නව අත්දැකීම් ලබාදෙන තවත් අවස්ථා. මෙන්න මේ දේවල් හරහා දරුවෝ ග්‍රහණය කරගන්නා දේ ඒ අත්දැකීම්වලට අනුව සුදුසු අවස්ථාවට භාවිත කරන්න දරුවෝ උත්සාහ කරනවා. මෙන්න මෙතැනදී තමයි අපේ අම්මල තාත්තලා කලබලයට පත්වෙන්නේ.

ඒ වගේම ඇතැම් වැඩිහිටියන් දුරකථන සංවාදවලදී දරුවන් අසලක රැඳෙන බව අමතකව තම යහළුවන් සමග කරන කතා බස්වලදී දරුවන්ගේ මුවෙන් ඔබ අසන්නට අකමැති වචන භාවිතයට ගැනෙන අවස්ථා ගැන අත්දැකීම් අපි කාටත් තියෙනවා. ඒ හරහා දරුවා ලබා ගන්නේ ඒ සාමාන්‍ය කතා බහට සුදුසු වාග් මාලාවක් ලෙස  විය හැකියි. අපි නොදැනුවත්වම වුවත් දරුවන්ගේ ශබ්ද කෝෂයට අපි හරහා වුවත් අනවශ්‍ය වචන මෙන්න මේ විදියට උනත් එකතු වෙන්න පුළුවන්.

දරුවෙකු හොඳ නරක ඉගෙන ගන්නේ තම වටපිටාවෙන් බව දැන් ඔබට පැහැදිලි ඇති. අපි අන්‍යයන්ට ගෞරව කරයිද දරුවාත් එය අපෙන් ඉගෙන ගන්නවා සේම අපි යමෙක්ට අගෞරවයෙන් යුතුව සලකයිද දරුවාද එය අනුගමනය කරයි.

ඉතිං මොකද්ද වැඩිහිටියෝ විදියට දැන් අපි කරන්න ඕනේ…?

දරුවෝ ගැන හොඳ අවබෝධයක් තියෙන කිසිම කෙනෙක් පුංචි දරුවෙක් නරක වචනයක් පාවිච්චි කළාම ඒ දරුවට දෝෂාරෝපණය කරන්නේ නැහැ. නැති තැන දොස් කියන්නේ නැහැ. මොකද ඔවුන් තුළ තියෙන අවබෝධය නිසා ඔවුන් දන්නවා මේ වයසේ දරුවෝ වටපිටාවෙන් ගොඩක් දේවල් උකහා ගන්නවා කියලා. ඉතිං අම්මල මේක ලොකු ලැජ්ජාවක් කරගෙන දරුවට කෑකෝ ගහන්න ගියොත් නම් මේ වරද ලේසියෙන් හදා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහොම සැලකිල්ලෙන් ඉවසීමෙන් මේ තත්ත්වය නිරාකරණය කරගන්න ඕනේ. ඉතිං මෙවැනි අවස්ථාවකදී දරුවෙකුගේ මෙවැනි ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන ආකාරය ගැන සැලකිලිමත් වීම බොහොම වැදගත්.

දරුවා නරක වචනයක් කියද්දී එයට සිනාසෙමින් හොඳ ප්‍රතිචාර ලබා දීමෙන් සිදුවන්නේ දරුවා ඒ වෙනුවෙන් ලබන ප්‍රසාදය හේතුවෙන් ඒ වැරැද්ද දිගින් දිගටම සිදු කිරීමයි. මන්ද දරුවා සිතන්නේ තමා සිදු කරන දේ වරදක් ලෙස නොව, අන්‍යයන්ගේ පුදුමයටත් සිනහවටත් හේතුවක් වන බවය. එසේම එවිට දරුවාට ඔබේ අවධානය සම්පූර්ණයෙන්ම ලැබෙන බව තහවුරු වන නිසා මෙවැනි ප්‍රතිචාර මත දරුවා මේ තත්ත්වයෙන් ගලවා ගැනීමට ඔබට නොහැකියි. ඉන්පසු දරුවා ඔබ ඉදිරියේ පමණක් නොව, පිටස්තරයන් ඉදිරියේත් නොපැකිලිව තම සුපුරුදු වචන මාලාව භාවිත කරයි. එහෙමයි කියලා මේ වගේ වරදකට දරුවාට දඬුවම් දෙන එකත් අනුමත කරන්න බැහැ. මොකද ඒ උත්සාහත් නිෂ්ඵලයි. ඒ දඬුවම හරහා දරුවා ඒ පිළිබඳව කුතුහලයෙන් සිතන්නට පෙළඹෙන නිසාම තව දුරටත් ඒ වචන භාවිතයට ගනිමින් ඔබේ ප්‍රතිචාර කෙබඳු දැයි බැලීමට උත්සාහ කරයි.

ඒ නිසා දඬුවම් මගින්ද මෙවැනි අවස්ථාවලදී ප්‍රයෝජනයක් නොමැත. අන්න ඒ නිසාම මෙවැනි අවස්තාවලදී දරුවාට ප්‍රතිචාර නොදක්වා සිටීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. ඔබ කළ යුත්තේ, දරුවා නිදහසේ සතුටින් ගත කරන අවස්ථාවක මේ පිළිබඳව පැහැදිලි කිරීමත් දරුවා එසේ හැසිරුණහොත් අනෙක් පිරිස් ඔහුව ප්‍රතික්ෂේප කළ හැකි බවත් තේරුම් කර දීමයි. ඒ ආකාරයෙනුත් මේ තත්ත්වය වලක්වා ගන්න බැරි නම් ශාරීරික නොවන පුංචි පුංචි දඬුවම් කිහිපයක් දරුවට ලබාදෙන්න ඔබට පුළුවන්. ඒ කියන්නේ දරුවා කැමතිම දෙයක් දරුවාගෙන් ඈත් කිරීම වගේ දඬුවමක්. එහෙම නැත්නම් ඒ වෙනුවට වෙනත් වචනයක් හඳුන්වා දෙන්නත් ඔබට පුළුවන්. මේ තත්ත්වය මගහරවා ගත නොහැකි තත්ත්වයක් ලෙස නොසිතිය යුතු වන්නේ දැනුම් තේරුම් ඇති වයසට එන විට දරුවන් විසින්ම මේ තත්ත්වය මගහරවා ගන්න බැවිනි.

දරුවන්, වැඩිහිටියන් අනුකරණය කිරීමට බොහෝ සෙයින් ප්‍රිය කරනැ නිසාම දරුවෙකුගේ හැසිරීමේ රටාවට වැඩි බලපෑමක් ඇති වෙන්නේ දරුවා ජිවත් වන වටපිටාවයි. ඒ නිසාම දරුවෙකුට නිසි වටපිටාවක් සැකසීමේ වගකීම පැවරෙන්නේ වැඩිහිටි ඔබටයි. ඒ වෙනුවෙන් හොඳ පැවැත්ම උදෙසා පැසසුමට ලක්වූ චරිත පිළිබඳව අලලා සැකසුණු වීඩියෝ, ගීත, පොත් පත් ආදිය දරුවාට ලබා දෙමින් ඔවුන් දිරිගැන්වීමට ඔබට හැකියි.

මෙම ලිපිය හරහා සාකච්ජා කළේ සාමාන්‍ය නිරෝගී දරුවන් සම්බන්ධවයි. නමුත් අඩු අවධානම් අධි ක්‍රියාශීලි (ADHD – Attention Deficit Hyperactivity Disorder) දරුවන්, මානසික සංවර්ධනය මන්දගාමී දරුවන් (Intellectual Developmental Disorder), Tourette Syndrome, Conduct Disorder නම් තත්ත්වවල සිටින දරුවන් වේ නම් ඔවුන් විශේෂිත ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුකළ යුතුය.

මනෝවෛද්‍ය විශේෂඥ වෙනුර පලිහවඩන මහතා සමග සකසන ලද ලිපියකි.

 

කෑම කන්නේ පරිස්සමෙන්…

2016 වසරේ ජූලි 17 වැනි දා “නතාෂා එඩ්නන් ලැපරෝස්” තම පියා සමග හීත්රෝ ගුවන්තොටුපොලට පැමිනියේ කෙටි නිවාඩුවක් වෙනුවෙන් ප්‍රංශයේ “නීස්” නගරයට යෑම වෙනුවෙන්. මේ වෙන විට නතාෂාගේ වයස අවුරුදු 15 යි. පුංචි වයසට මොනවා හෝ දෙයක් හපන්න තිබෙන සාමාන්‍ය ළමා ලෝකයේ ගති පුරුදු ඇයගෙන්ද ඉවත්ව ගියේ නැහැ.

හීත්රූ ගුවන්තොටුපොලේ පිහිටි “ප්‍රීට්” ආපනශාලාවකින් ඇය පාන් බගට් එකක් මිළට ගත්තා. මේ බගට් එක ඇතුලේ “තල ඇට” තිබුනත් ඇය ඒ බව දුටුවේ නැහැ. නතාෂා තල වෙනුවෙන් ආසාත්මිකතාවයක් දක්වන දැරියක්. පාන් බගට්ටුව පිටතින් තල ඇට නොතිබුන නිසා ඇය කිසිම සැකැක් නැතුව මෙය ආහාරයට ගත්තා.

අපි අතරත් එකිනෙක ආහාර වෙනුවෙන් ආසාත්මිකතාවයන් දක්වන තත්වයන් තිබෙනවා. බොහෝ දරුවන් රටකජු, බිත්තර, අන්නාසි වැනි විවිධ ආහාරවලට ආසාත්මිකතාවයක් දක්වනවා. මේ ආහාර නිසා කැසීම, ඉදිමුම, වමනය වැනි තත්වයන් පමණක් නොව හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි තත්වයන්ද ඇති වෙන්න පුලුවනි. ඒ නිසා ආහාරයට පෙරාතුව ඒ ගැන දැනගැනීමට නම් ඒ පිලිබඳව ඇසුරුමේ සටහන්ව තිබීම ඉතාම වැදගත් බවයි.

මෙම මරණ පරීක්ෂන වාර්තාවට අනුව තීන්දු වුනේ එම බ්‍රෙඩ් නගට්ටුවේ ඇතුලත් සෙසමි සීඩ් හෙවත් තල ඇට ආසාත්මික තාවයෙන් මෙම මරණය සිදු වුන බවයි. එහි බරපතල චෝදනාව වන්නේ ඇසුරුමේ මෙම නිෂ්පාදනයේ අඩංගු දේ සටහන්ව නොතිබීමයි. ප්‍රිට් ආයතනයට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට තීන්දු වුනා. ඒත් මේ ආයතනය නිදහසට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ආහාර මිලට ගැනීමට පෙරාතුව එහි ඇතුලත තිබෙන දේ ගැන විමසා දැනගැනීමේ අයිතිය පාරිභෝගිකයන්ට තිබෙන නිසා මේ ගැන කල්තබා විමසා සිටියා නම් දැරිය මේ අවාසනාවන්ත ඉරණමට පත් නොවන බව කියා සිටියා.

ඔබ ආහාර ගැනීමේදී ඇසුරුමේ එම ආහාරයේ අඩංගු දේ සටහන්ව තිබීම වගේම ඇසුරුම සුරක්ෂිතව තිබීමත් වැදගත්. ඇසුරුම බිදී හෝ ඉරී ඇත්නම් එවන් ආහාර මිළට ගැනීමෙන් වලකින්න. කිරි සහ මස් එකට ගබඩා කර තිබෙනවානම් එවන් ස්ථානවලින් මිලට ගන්නා ආහාර පිලිබඳව සුරක්ෂිතතාවයක් නැහැ.

නිතරම මස් ගබඩා කළ යුතු වන්නේ අධි ශීතකරණයකයි. මේ අන්දමින් ගබඩා කර තිබෙන මස් මිළට ගැනීමේදී ඉහලින්ම සහ බිත්ති අසල තිබෙන මස් හෝ වෙනත් ආහාර වර්ග තෝරා ගන්න එපා. මස් වලින් ඇමෝනියා ගන්ධයක් යාන්තමින් හෝ දැනෙනවා නම් ඒවා මිලට නොගෙන සිටීම විතරක් නොවෙයි, අදාල ආයතනයටත් ඒ බව දන්වා සිටින්න. එසේ නොවුනොත් ඔබ මිලදී නොගත්තත් වෙනත් කෙනෙක් විසින් මෙම මස් / මාළු වර්ග මිළට ගත හැකියි. ඒවා ආහාරයට ගැනීමට සුදුසු නැහැ.

නිවසට ගෙනැවිත් අධි ශීතකරන කොටසේ තබන මස් වර්ගවලින් එදා ආහාරය පිණිස ගන්නේ සුලු කොටසක් විය හැකියි. ඉතිරි  කොටස ශිතල ඉවත් වුන පසුව නැවත ශීතකරනයේ තබන පුරුද්ද ඔබටත් ඇති නමුත් මෙය එතරම් සෞඛ්‍යාරක්ෂිත නැත. ඒ නිසා කොටස් ලෙසින් මස් වෙන් වෙන්ව තැන්පත් කර අවශ්‍ය වේලාවට අදාල කොටස ගෙන පිළියෙල කරගන්න.

ඔබේ දරුවන් තුළත් මෙවැනි පුරුදු ඇති .විශේෂයෙන් සුපිරි වෙළඳසැලකදී දරුවන් බිළ ගෙවීමටත් පෙරාතුව ශිතකළ ආහාර එසැනින්ම කටට ඔබා ගන්නා පුරුදුවලට හුරුවී ඇති. ඒත් මේ නිසා මුඛයේ සංවේදී සෛල විනාශ වෙනවා. ස්නායුවලටත් බලපෑමක් ඇති වෙන්න පුලුවනි. ඒ නිසා ශීත කරන ලද ආහාර වුනත් අනුභව කිරීමට පෙරාතුව ඒ වෙනුවෙනුත් පිළිවෙලක් අවශ්‍ය වෙනවා.

ඉතින් අම්මා තාත්තා විදිහට ආරක්ෂිත නොවන විදිහට ආහාර මිළට ගැනීම මොනතරම් දරුණු ප්‍රතිඵල ගෙන දෙනවාද කියල දැන් ඔබට තේරෙයි. යුරෝපීය ළමා රෝග විශේෂඥයෙකු වන “ස්ටීව් රයන්” පවසන ආකාරයට දෙමව්පියන් විදිහට අනාරක්ෂිත ආහාර පුරුදු නිසා  නිසාම වර්තමාන පරම්පරාව තමන්ගේ දරුවන්ගේ සොහොන් කොත්වල පහන් දල්වන දෙමවුපියන් බවට පත්ව සිටින බවයි.

පිළිවෙලකට උයමුද?

ඉක්මණින්ම මුහුණ කට සෝදා ගත් දුලීකා හිතුවෙ මොනවද අද උයන්නෙ? කියලා. ඇඳුම් මාරු කරමින්ද ඇය සිතුවෙ මොනවද උයන්නෙ? ශිතකරණයෙන් එළවළු දමන කූඩය මේසය මතින් තැබූ ඇය සිතුවෙ මොනවද අද උයන්නේ ? ශීතකරණයේ තිබූ මාළු පෙට්ටියත් එළියට තබමින් ඇය සිතුවෙ මොනවද අද උයන්නෙ? එළවළු කූඩයම පෙරලා බෝංචි ටික ගත්ත ඇය… තව මොනවද? පරිප්පු උයනවා, මාළුවකුත් හදනවනේ මැල්ලුමකුත් හදනවා. ඇයට හිතන්නම පැය කාලකටත් වඩා ගතවෙලා, දැන් ඉතින් ඇය ලහි ලහියේ උයනවා.

“ළමයින්ගේ කෑම පෙට්ටි වලට දාන්නේ මොනවද?” ආයෙත් ප්‍රශ්නයක්. “යන ගමන් මොනවා හරි අරන් දෙන්න කියනවා…” වෙලාවට තටු ඇවිල්ලා වගේ ගත වෙලා ගිහින්. තේ ටික පිළියෙල කර සැමියවත් දරුවන් දෙදෙනාවත් ඇය අවදි කලා.

“අනේ රෝහිත යන ගමන් මෙයාලට ඉස්කෝලෙට ගෙනියන්න මොනවා හරි අරන් දෙනවද? මට ටිකක් නින්ද ගියා ඊයේ ටිකක් රෑ වෙනකල් ළමයින්ගේ පොත් බලපු නිසා…” ඇය නිදහසටත් කරුණු කිව්වා.

“හා..”

“අයියෝ අම්මා… කඩ කෑම ගේන්න එපා කියලා ටීචර් කියනවා”

“අදට ගෙනියන්න”

රෝහිතට දහවල් ආහාරයද බෙදා අවසන් කර තැබූ ඇය දියණියටත් පුතාටත් බත් කවන්නට පටන් ගත්තා.

“අනේ අම්මා ලුණුත් නැහැ පරිප්පු වලට…, අර නතාරාගෙ අම්ම නම් එක එක දවසට එක එක කෑම හදලා එවනවා හරිම රසයි.”

දඩිබිඩිය නිසා පරිප්පුවට ලුණු දමන්නට තමන්ට අමතක වන්නට ඇත. කුමක් කරන්නද දැන් රෝහිතගෙ කෑම පෙට්ටියද සූදානම් කර අවසන්ය. කිසිදා මැසිවිලි නොනගන රෝහිත අදත් ලුණු නැති පරිප්පු සමඟ බත් රසවිඳිනු ඇත. එහෙත් පොඩ්ඩන්ගෙන් නම් දූලීකාට මේ මැසිවිල්ල හැම දිනකම අසන්නට සිදු වෙන නිසා ඇයට ඇය පිළිබඳම දැනුනේ තරහකි. සියළු දෙනාම නිවසින් පිටව ගිය පසු ඇය පුටු වේ හිඳ ගත්තේ හිතේ තියෙන නොසන්සුන් බව නිසාමය. පෙර පාසලක ඉගැන්වීම් කටයුතුත් කරන අතර ගෙදර කප්පරක් වැඩ තනිවම කරන ඇයට තමන් පිළිබඳව දැනුනේ ආත්මානුකම්පාවකි. සුසුමක් හැර ලය සැහැල්ලු කරගන්නට වෙර දරමින් ඇය පෙර පාසලට යන්නට සූදානම් වූවාය.

“ගුඞ් මෝර්නිග් දූලීකා…. මොකද මේ මුණ තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ.. ?”

මලීෂා ගුරුතුමී අසද්දි දුලීකා හිනා වුණා.

“මොකද කියන්නකො…?”

“අනේ මන්දා මේ උයන එක නම් මට එපා වෙලා. උදේට නැගිටලා හිතන්නම පැයක් විතර යනවා ඊට පස්සෙ වෙලා මදි වෙනවා. අදත් බබාලට කඩෙන් කෑම යැව්වේ…”

“අයියෝ ඕකද ගැටලුව මම දෙන්නම් ඔයාට විසඳුම. හැමදාම නිදියන්න කලින් පහුවදාට උයන්නෙ මොනවද කියලා හිතලා ඒවා වෙනම තියන්න. පුලුවන් නම් රෑට පොල් ටික ගාලා එළවළු ටික සුද්ධ කරලා තියන්න. කට්ටියම ගෙදර ඉන්න වෙලාවනේ ගෙදර කට්ටියවත් වැඩේට එකතු කරගන්න. උදේට හිතන්න යන කාලයත් ඉතිරියි, වැඩෙත් පහසු නිසා කූල් එකේ උයන්න පුළුවන්.”

“ඒක නම් ඇත්ත..”

යෙහෙළියගේ අවවාදය තදින් හිතට ගත්ත දූලීකා. එදා රාත්‍රී ආහාර පිළියෙල කරන්නට පෙර තීරණයක් ගත්තා. ඒ සතියටම වේල් තුන සහ දරුවන්ගේ කෑම පෙට්ටි වලට දමන්න ආහාරත් අමතර ආහාරත් කල් තියාම සැලසුම් කරන්න.

  • මුලින්ම ඇය නිවසේ සාමාජිකයන් කැමතිම ආහාර ලැයිස්තුවක් සකස් කලා.

කිරි බත්, ෆරයිඞ් රයිස් ,රොටි, නූඞ්ලස් ,පැස්ටා ,පාන්, කහ බත්, ඉඳි ආප්ප, පිට්ටු, බිරියානි, තෝසේ, පරාට,සමෝසා ආප්ප, කඩල ,කවුපි, මුං ඇට

  • අනතුරුව සඳුදා සිට ඉරිදා දක්වා මෙම ආහාර වර්ග බෙදුවා. වේල් තුනට බෙදා වෙන් කලා.

chart1

  • කල් තබා ගත හැකි ආහාර ටිකක් සකස් කර තබා ගත්තොත් තවත් පහසුවක් බව ඇයට සිතුනා. ඇය වෙනමම කල් තබා ගත හැකි ආහාර වර්ග ලෙස කූණිස්සන් චිලි පේස්ට්, වම්බටු මෝජු, අච්චාරූ, සීනී සම්බෝල, මාලු ඇඹුල් තියල්, රටකජු හාල් මැස්සන් බැදුම, කෙසෙල් මුව සීනී සම්බෝල සටහන් කරගත්තා.

“ආ දැන්නම් හිතට නිදහසක් දැනෙනවා හෙට ඉඳලා පිළිවෙලට වැඩ ටික කරන්න දැන් පුලුවන්… ” දුලීකා සිතුවා. පසු දිනට අවශ්‍ය කලමණා ලෑස්ති කල ඇය කවරදාකවත් නැති නිදහස් සිතකින් සතුටින් නින්දට ගියා.

මෙම ලිපිය සකස් කරන්නට කමනි සිරිවර්ධන සොයුරියගේ අදහස්ද බෙහෙවින්ම උපකාරී වූ බැවින් ඇයට විශේෂ ස්තුතිය පුද කරමි.

ගෙදර ලස්සනට පිළිවෙළ කරන පුංචි පුංචි ට්‍රික්ස්

පවුලේ හැමෝටම සහනය, විවේකය, නිදහස, ආරක්‍ෂාව වගේම දහසක් සිත් පීඩා නිවාලන එකම තැන නිවසයි. අපගේ නිවස තුළ පවතින ආදරය හා සාමකාමී පරිසරයට නිවසෙහි පිරිසිදු බව හා පිළිවෙළ සෘජුවම බලපාන සාධකයි. නිවසක් අපිරිසිදුව, අපිළිවෙළට තිබෙන විට නම් හිතට මහා බරක් වගේම නොසන්සුන් බවකුත් දැනෙනවා. එන්න අපි නිවස පිළිවෙලක් කරගමු.

  • නිවස පිළිවෙළට තබා  ගැනීම  සඳහා  අපේ අවධානය හා උනන්දුව නිරන්තරයෙන් යොමු  කළ  යුතුයි. නිවස පිළිවෙලට තබා ගැනීම සෑම දිනකම අපේ දින චරියාවෙ කොටසක් බවට පත්  කරගන්න උත්සහ කරන්න. ඒ සඳහා කැමැත්තක්  ඇති  කරගන්න.
  • අපට දිනකට වැඩ රාශියක් ඉටු කරන්න සිදු වෙනවා. මේ නිසා කලයුතු යම් යම් දේ අමතක වීම හා අතපසු වීම සමාන්‍ය දෙයකි. එනිසා කළ යුතු වැඩ කටයුතු සියල්ල ලියා තබා ගැනීම වඩා පහසු වේවී. ඉවර කරන සෑම වැඩක්ම ලෑයිස්තුවේ ලකුණු කර ඔබට කිරීමට ඉතිරිව ඇති වැඩ මොනවාදැයි මතක තබා ගත හැක. මෙලෙස ලියා තැබීමෙන් අපට ඒවා නිසි වෙලාවට සම්පුර්ණ කර ගන්නට පුළුවන්.
  • කාන්තාවන් වන අපි ලස්සන දෙයක් දැක්කොත් දෙවරක් නොහිතාම ගෙදර ගේනවා. නිවසේ අනවශ්‍ය ලෙස ගෘහ භාණ්ඩ තබා ගැනීමෙන් නිවසේ ඉඩකඩ ඇහිරී යනවා. එනිසා අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමෙන් වලකිමු. අතිරේක මේස පුටු ආදිය තිබෙන්නේ නම් ඒවාද ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරන්න. ගෙදර පොළව හැකිතාක් නිදහසේ තියෙන කොට අපට පිරිසිඳු කරන්න ගත වෙන කාලය මෙන්ම බඩු එහාට මෙහාට අදිමින් පිරිසිදු කරන්න යන වෙහෙස අඩුයි. අපේ ඇඳුම් අල්මාරියේ තියෙන ඇඳුම්, දරුවන්ගේ ගවුම්, පරණ පොත් පත්තර, ඔබේ කුස්සියේ තිබෙන කැඩුණු පරණ බඩු වගේ දේවල් සියල්ල ඉවත් කරමු.
  • අපි මුළුතැන්ගෙය තුළ වැඩ කරන විට අවශ්‍යම දේවල් පමණක් භාවිත කරමු. සීමිත භාජන ප්‍රමාණයක් අපේ කටයුතු සඳහා යොදා ගමු. ඉවුම් පිහුම් අතරම භාජන පිරිසිඳු කරන්න අමතක කරන්න එපා. ඉඳුල් භාජන නිතර රෑස්  කරලා තියන්න පුරුදු වන්න එපා. එයින් නිවස අපිළිවෙලට පත් වෙනවා වගෙම අපිරිසිඳු නිසා අනවශ්‍ය මැස්සෝ, කැරපොත්තෝ වගේ කෘමි සතුන් බෝ වෙනවා. මුළුතැන් ගෙයද වැඩ අවසන් කල සැනින් පිරිසිඳු කරන්න
  • ඒ ඒ වැඩය ඒ වෙලාවෙම අවසන් කරන්න. උදාහරණයක් ලෙස රෙදි සේදු පසු එවෙලේම වේලෙන්නට දමන්න. වේලුනු පසු එවා නවා නිවැරදිව අසුරන්න. නැතහොත් පස්සට කල් දැමීමෙන් අපට වැඩ ගොඩ ගැසී නිවස අපිළිවෙලට පත් වෙනවා.
  • නිවසේ සෑම දෙයකටම නිශ්චිත ස්ථානයක් වෙන් කර ගන්න. ඉතා කුඩා දෙයක් වුනත් එය නොසලකා හරින්න එපා. උදාහරණයක් ලෙස යතුරු වෙනම තැනක එල්ලන්න. බෙහෙත් පෙට්ටිය ,අවු කන්නාඩි, තොප්පි, ෆෝන් චාජර්, කතුරු පිහි වැනි දෑ සඳහා නිශ්චිත ස්ථානයක් වෙන් කරන්න. එවිට අවශ්‍ය විට හැම තැනම සොයමින් කාලය අපතේ යැවීමට අවශ්‍ය වෙන්නේ නැහැ.
  • කිළුටු ඇඳුම් සඳහා භාජන තබන්න. කිළුටු ඇඳුම් තැන් තැන් වල නොදමන්නට නිවැසියන් පුරුදු කරවා ගන්න. එවිට කිළුටු ඇඳුම් සෑම තැනම දැමීම වළක්වා නිවස පිරිසිඳුව, පිළිවෙළට පවත්වා ගන්න හැකියි.
  • නිවස පිළිවෙලට තබා ගැනීමට දරුවන් අතර වැඩ පවරා දෙන්න. එක් එක් අයට නිවසේ විවිධ කොටස් බෙදා දී පිළිවෙලට සහ පිරිසිදුවට තබා ගන්නා ලෙස උපදෙස් දෙන්න. දරුවන්ගෙ සෙල්ලම් බඩු පොත් පත් ඔවුන්ටම නිසි පිළිවෙලට තැබීමට උනන්දු කරවන්න. සුලූ දේටත් ඔවුන්ව අගය කරන්න. මෙයින් දරුවන්ටද සිතට සතුට ලැබෙනව වගේම දරුවන්ද පිළිවෙලට සිටීමට ද පුරුදු වෙනවා වගේම නිරායාසයෙන්ම ඔබට උදව් කරන්නත් සැදී පැහැදේවී.

මේ කාරණා හිතේ තියා ගන්නකො අපි ඊළග ලිපියෙන් නිවස පිළිවෙල කරන ආකාරය ගැන කතා කරමු.

බබාට කෑම හදමු – ලිපි අංක 1

අදින් ඇරඹෙන මෙම ලිපි මාලාව සියලුම අම්මාවරු වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් ඉතා ආදරයෙන් සකස් කරන ලද්දක්. සාම්ප්‍රධායික මාතෘකා වලින් ඔබ්බට ගොස් ආහාර ගැන පමණක් කතා කරන ලිපි පෙලක් වේවි මෙය​. මා මෙහි සටහන් කිරීමට බලාපොරොත්තු වන්නේ මගේ දරුවන් තිදෙනා වෙනුවෙන් මම දෙන මූලික ආහාර වර්ග මොනවාද ?​, ඒවාහි ගුණ මොනවාද සහ එම ආහාර වර්ග වලින් සැකසිය හැකි විවිධ කෑම වර්ග සඳහා අදහස් මොනවාද යන්නයි. විශේෂ කෑම වට්ටෝරු පිළිඹඳ සවිස්තරාමකව දැන ගන්න ඔබට මගේ https://www.facebook.com/umibabyfoodblog/ පිටුවට පිවිසෙන්න පුලුවන්.

සියල්ලටම කලින් මම සඳහන් කල යුතු කාරණා කීපයක් තියෙනවා. ඒවා සියල්ල මෙම ලිපි පෙලට ආරම්භයක් ලෙස මෙලෙස සැකෙවින් සටහන් කරන්නට සිතුවා.

ළදරුවන්ට  මාස 6 ක් වෙනකම් මව්කිරි විතරයි

අපේ ළදරුවන් මාස 6 ක් වෙනකම් ආහාර ලෙස ගන්නෙ මව් කිරි විතරයි. අපිට අමතර ආහාර ආරම්භ කරන්න කියන්නේ මාස 6 න් පසු. නොයෙකුත් හේතූන් නිසා සමහර ළදරුවන්ට මාස 4-6 අතර ආහාර පටන් ගන්න සිදු වෙනවා. ඒ අම්මගෙ කිරි සැපයුම අඩු නිසා හෝ බබාගේ බර හුඟක් අඩු නිසා හෝ වෙනත් කාරණයක් නිසා හෝ විය හැකියි. මේ විදියට මාස 6 ට පෙර ආහාර පටන් ගැනීම වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව පමණක් සිදු කල යුතුයි.

රජයෙන් සහ සායන වලින් ලබා දෙන පොත් අවතක්සේරු නොකරන්න

මාස 6න් පස්සේ අම්මා සූදානම් වෙනවා එයාගේ බබාට මුලින්ම ඝණ ආහාර පුරුදු කරන්න​. බබාට ලැබෙන වර්ධන සටහන් පොතේ අග කොටසේ පහැදිලිව උපදෙස් ලබා දී තියෙනවා අපි කොහොමද බබාට ක්‍රම ක්‍රමයෙන් කෑම පටන් ගන්නේ කියලා. මීට අමතරව ගමේ සායනයෙන් ද ඔබට විශේෂ වූ පොත් පිංචක් ලබා දෙනවා බබාට කවන විදිය ගැන පියවරෙන් පියවර ලියලා. නමුත් මම වැඩි වශයෙන් දකින දෙයක් තමයි අම්මලා මේ පොත් එතරම් පරිශීලනය කරන්නේ නැති බව​. මේවාට මුල් තැනක් නොදෙන බව​. සමාජජාලා වල දරුවන් සම්බන්ධ සමූහ වලට ඔවුන් බොහෝ දෙනෙක් යොමු කරන ප්‍රශ්ණ වලින් අපට ඒ බව හොඳින් තේරුම් ගන්න පුලුවන්. ඒ නිසා මේ ලිපිය කියවන අම්මලගෙන් මම කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබට නොමිලේ ලැබී ඇති මේ වටිනා පොත් හොඳින් පරිශීලනය කරන ලෙසයි. එවිට ආහාර දීම සම්බන්ධයෙන් ඔබට ඇති බොහෝ ගැටලු වලට පිළිතුරු ඉක්මණින් සොයා ගන්න පුලුවන් වේවි.

අලුත් ආහාරයක් හඳුන්වා දීමේ දින 3නේ පියවර

ඝන ආහාර පටන් ගත් ගමන් දරුවන්ට අලුත් ආහාර හඳුන්වා දීමේ ක්‍රමය ගැන ඔබ මේ වෙනකොට දැනුවත් යැයි සිතනවා. අලුත් මූලික අහාරයක් එක දිගට දින 3 ක් ලබා දී දරුවාගේ සිරුර ඒ ආහාරය සඳහා දක්වන ප්‍රතිචාරය නිරික්සිය යුතුයි. එවිට දරුවා යම් ආහාරයකට ආසාත්මිකතාවක් පෙන්වයි ද යන්න අපට සොයා ගන්න පුලුවන්. පලමු දවසේ සිට තුන් වන දවස දක්වා දරුවාට හඳුන්වා දෙන අලුත් ආහාරයේ ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කල යුතුයි. එමෙන්ම අලුත් ආහාරයක් දිය යුත්තේ උදෑසන සහ දහවල් කාලයේදීය​. මුල් මාසය හෝ දෙක පුරාම අප කාලය වෙන් කල යුත්තේ අපි මුලින් දිය යුතු යයි සායන වලින් උපදෙස් දී ඇති මූලික එලවලු, පළතුරු, පලා වර්ග​, ධාන්‍ය, සත්ව ආහාර සහ මේදය ක්‍රම ක්‍රමයෙන් දරුවාට හුරු කිරීමටයි. එසේ කිරීමෙන් මුල් මාසය හෝ දෙක අවසානයේදී දරුවා අහාර ගණනාවක් හඳුනා ගෙන තිබෙන අතර ඒ හේතුව නිසා දරුවාට දෙන වේල් ගණන ඉන් ඉදිරියට ක්‍රමානුකූලව සැලසුම් කර ගන්නට අපට පුලුවන් වේවි.

දරුවාට කෑම කවන ස්ථානය තීරණය කරන්න

දරුවාට කැවීමට සුදුසුම ස්ථානය ලෙස මම නම් දකින්නේ ගෙදර සියලු දෙනාම ආහාර ගන්නා ස්ථානයයි. එම කෑම කාමරයේම දරුවා සමග තනිවී , දරුවා කෙරෙහිම සම්පූර්ණ හිතම යොමු කරගෙන දරුවා සමඟ කථා කරමින් විනෝදයෙන් මෙය සිදු කරන්න ඕන​. සමහර අවස්තාවලදී දරුවා නොයෙක් හේතු නිසා නොසන්සුන් විය හැකියි. එවන් අවස්ථාවක අපිට ආහාර කැවීමට අපහසු නම් දරුවා සතුටින් තබා ගැනීමට මේ නියමයෙන් පිට පැනීමට සිදුවේවි. මටත් එහෙම සිදු වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට වතුර කරාමය ලඟට ගොස් වතුර අල්ලන්න දෙන්න​, සෙල්ලම් බඩු තියෙන තැනට ගොස් සෙල්ලම් කරන්න දෙන්න​, වත්තේ තණකොල ගොඩේ දණ ගාන්න දෙන්න මට සිදු වෙනවා. නමුත් කමක් නෑ. අපේ මූලික අරමුණ දරුවාව සතුටින් තබාගෙන ආහාර ටික කවා ගන්න එකනේ… ඒ නිසා පුලුවන් සියලු උපක්‍රම යොදන්න අපිට සිදු වෙනවා. නමුත් එය පුරුද්දක් වශයෙන් සිදු නොකර දරුවා පෙර කියූ පරිදි පිළිවෙලකට ආහාර ගැනීමේ පුරුද්දට ගෙන එන්න අපි උනන්දු වෙන්න ඕන​.

බබාට කෑම හදන සහ කෑම කවන බඩු ටික

අාහාර පිසීමට පොඩි භාජනයක් : මෙය මළ නොබඳෙන වානේ හෝ නොඇලෙන බඳුනක් හෝ මැටි බඳුනක් විය හැකියි. ඔබට ලේසියෙන් පරිහරනය කලහැකි සහ පහසුවෙන් ලබා ගත හැකි ඕනෑම භාජනයක් මේ සඳහා හොඳයි.

බබාට කවන්න සිලිකන් හැන්දක් : වෙළඳ පොලේ විවිධ වර්ගයේ ද්‍රව්‍යන් ගෙන් සාදන ලද හැඳි මිලදී ගන්න තියෙනවා. එවායින් මම විශ්වාස කරනවා සිලිකන් හැන්ද වඩාත් සුදුසුයි කියලා. මොකද එහි නම්‍යශීලී බව නිසා බබාට කවද්දී කටේ ඇනිලා තුවාල වෙන්නේ හෝ බබාට රිදෙන්නේ හෝ නැති නිසා. ප්ලාස්ටික් වලින් හදපු හැඳිත් තියෙනවා. ඒවායින් ඔබ උසස් ත්ත්වයේ ප්ලස්ටික් එකකින් සාදපු හැන්දක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න​. මුකුත් ම නැත්තම් පුන්චි ප්‍රමාණයේ සුදු යකඩ හැන්දක් වුනත් කමක් නෑ හැබයි කවද්දි සීරුවට කවන්න​.

ආහාර මත් ගෑමට උපකරණයක් :  මම ගත්තේ මළ නොබැඳෙන වානේ පෙරනයක්. එයින් ඉතා සියුම් ලෙස ආහාර පොඩි කර ගන්න පුලුවන්. මීට අමතරව දැති සහිත භාජනයක් ද සුදුසුයි.

මත් ගාන්න පැතලි හැන්දක් : මම මේ සඳහා ප්ලාස්ටික් හැන්දක් තමයි හොයා ගත්තේ.

පුංචි ජෑම් බෝතල් : මේවා නම් මට සෑහෙන්න උදව් වෙනවා වැඩිපුර ආහාර පසු ප්‍රයෝජනය සඳහා ඇසිරීමට. ඒ වගේම ගමනක් යන කොටත් මේවා වල තමයි මම කෑම අරගෙන යන්නේ.

බිබ් එකක් : බබාට කවන විට කෑම ඇගට හැලීම වැළැක්වීමට.

බබාට කැවීමට පුටුවක් : එය ඔබට හැකියාවක් තිබේ නම් පමනක් මිලදී ගත හැකියි. සමහර විට ඔබට පෙර පාවිච්චි කරන ලද ලදරු පුටු ඉතා අඩු මිලට ලබා ගන්න පුලුවන් වේවි. නැතිනම් ගෙදර තියෙන විදියට තියෙන පුටුවක් හෝ ස්ථානයක් සකස් කර ගන්න​.

හැම විටම බබාව කෙලින් අතට හිඳවාගෙන කෑම කවන්න

මාස 4-6 කාලයේදී ඔබ ආහාර පටන් ගත්තත්, මාස 6 සිට ආහාර පටන් ගත්තත් ඉහත කාරණය ඔබ හොඳින් හිතට ගත යුතුයි. ඉතා කුඩාම කාලයේ කොඳු ඇට පෙල එතරම් වාරු නැති නිසා කොට්ට වල ආධාරය ඇතුව බබාව ඉහල අතට ආනත කර කෑම කවන්න පුලුවන්. මාස 6 සිට පුලුවන් තරම් සිරස් අතට බබාව තබාගෙන කවන්න බලන්න​. පුටුවක ඉන්දවීමට අපහසු නිසා ඔබේ ඔඩොක්කුවේ ඉන්දවා තියා ගන්න පුලුවන්. මුල් කාලයේ අවශ්‍ය නම් ඔබේ උදව්වට කෙනෙකු ලඟින් තබාගෙන දරුවාව කෙසේ හෝ නියම ආහාර ගැනීමේ ක්‍රමයට පුරුදු කර ගන්න​. ඔව්, ඔබේ දරුවා මුලින් කෑම ටික එළියට දමාවි.. නමුත් ඔබ පසුබට වෙන්න එපා.. කාලයත් සමඟ සියල්ල හරි යාවි.

කෑම සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත බැහැර කර අලුත් ආහාර හැම විටම බබාට හඳුන්වා දෙන්න​

හැම අම්මා කෙනෙක්ටම මේ ගැටලුවට මුහුණ දෙන්න සිදු වෙනවා. බේරෙන්නම අමාරු තමා ලඟින්ම ඉන්න අයගේ අදහස් පිළිගැනීමට සිදු වෙන නිසයි. මේ ආහාරය සීතලයි, මේක උශ්ණයි, මේකෙන් බඩ වේලෙනවා, මේකෙන් බඩ බුරුල් වෙනවා, මෙකෙන් බර අඩු වෙනවා, මේවා හවසට දෙන්නේ නෑ යනාදී එකී මෙකී නොකී සියල්ල අපි අහන්න පිළිපදින්න ගියොත් අම්මලාට දරුවොන්ට දෙන්න ආහාරයක් නැති වේවි. මේ මත පිළිබඳ සොයා බලා මේවාට එරෙහිව උඩු ගං බලා පිහිනන්න අම්මලාට දැඩි මානසික ශක්තියක් තියෙන්න ඕන​. මේ හැම මතයක් ගැනම ඔබට ඔබේ වෛද්‍යතුමාගෙන් විමසා සියලු කරැණු සැක හැර දැන ගැනීමට පුලුවන්.

එසේනම් ඊළඟ ලිපියේ සිට ඉදිරියට එක් එක් ආහාර වර්ග ගැන අපි වෙන වෙනම කථා කරමු. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

ශිෂ්‍යත්වය කියන්නේ ජීවිතය ‍නොවේ…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇවිත්… මේ නිසා සතුටට පත් වෙන පිරිස ඉතා සීමිත වෙන අතර පුංචි කැකුළු හිත් නොදැනීම පීඩාවට පත් වෙනවා. ඒ විතරක් නොවෙයි, මව්පියන් හඬා වැටෙනවා. මේ පසුබිම තුළ දරුවා මානසිකව බිඳවැටෙනවා.

ඒත් ශිෂ්‍යත්වය කියන්නේ ජීවිතයේ එකම අවස්ථාව නොවේ. ශිෂ්‍යත්වය සමත් වූ පමණටම සුපිරි දරුවන් බිහි වෙන්නේ නැහැ. ශිෂ්‍යත්වය අසමත් වූ නිසා ඔවුන්ගේ අනාගතය ආපස්සට යන්නෙත් නැහැ. මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් සදහන් කළේ අද ශ්‍රි ලංකාවේ අධ්‍යාපනයෙන් යට පත් පුද්ගලයන්ගෙන් 72 % ක්ම ශිෂ්‍යත්වය අසමත් බවයි. අපි හිතන විදිහට ශිෂ්‍යත්වය සමර්ථයින් අනාගතයේ ඉහළම තලයට පත් වෙනවා නම් ඉහලම වෘත්තීන් හි නිරත පිරිසේ ප්‍රතිශතය ශිෂ්‍යත්වය සමතුන්ගෙන්ම බැබැලෙන්න ඕන නේද…? ඒත් ශිෂ්‍යත්වය සමත් කිරීමට නොව දරුවාගේ ඉගෙනුමට අවශ්‍ය සහයෝගය ලබා දීමට නම් දෙමව්පියන් මේ විදිහට කටයුතු කිරීම ඉතාම වැදගත්.

ඉගෙණුම් පරිසරයක් අවශ්‍යයි

දරුවන්ට බාලකාලයේ පටන්ම ඉ‍ගෙණුමට ගැලපෙන පරිසරයක් නිර්මානය කිරීම ඉතාම වැදගත්. ඒ ශිෂ්‍යත්වය ඉලක්ක කර ගෙන නොවේ. ඉගෙණුමට ඇවැසි පරිසර තත්වයක් බාල කාලයේ පටන්ම නොලැබුනොත් ඔවුන්ගේ අධ්‍යාපනයට තිබෙන උනන්දුව නොදැනීම ගිලිහෙනවා. ඒ විතරක් නොවෙයි. ප්‍රාථමික පංතියේදී අකුරු ලිවීම, කියවිම, සවන්දීම වැනි හැකියාවන් ගොඩ නගා නොගතහොත් අනාගතයේදී අධ්‍යාපනය වෙනුවෙන් වූ අත්තිවාරමක් නොමැති තත්වයකට දරුවා පත් වෙනවා. ඒ නිසා පුංචි කාලයේ පටන්ම ඉගෙනුම් පරිසරයක් නිවසේදීම ගොඩ නැගීම වැදගත්. එය පහ වසරේ ශිෂ්‍යත්වය වෙනුවෙන් වු සිඝ්‍රගාමි ව්‍යපෘතියක් නොව එදිනෙදා ජීවිතය් බොහොම හෙමින් සීරුවේ දරුවාටත් දෙමව්පියන්ටත් නොදැනෙන අන්දමේ සරල පසුබිමක් වීම වැදගත්. එක වසරේදී දරුවාගේ අසා ලිවිම, සවන්දීම වැනි කුසලතාවයන් දියුනු නොවුනොත් පහ වසරේදී මේ සියල්ල සමග ඉදිරියට යැම දරුවාට අපහසුයි.

දෙමව්පිය හමුවට යන්න

දරුවා කුස පිලිසිදගත් අවස්ථාවේ පටන් දෙමව්පියන්ගේ දෙවැනි ඉලක්කය දරුවා වෙනුවෙන් පාසලක් තීරණය කිරීමයි. කෙසේ හෝ ලියකියවිලි සූදානම් කර ගෙන ඉහල පරිපාලකයන්ගේ සහයෝගයෙන් දරුවා පාසලට ඇතුලත් කර ගත් තැන පටන් අම්මලා කියන්නේ යාන්තම් දැන් හුස්ම ගන්න පුලුවන් බවයි… ඔවුන්ගේ අවශ්‍යතාවය වෙන්නේ දරුවා සමාජයේ ඉහළ කීර්තිනාමයක් ලබා සිටින පාසලක ඉගෙනුම ලැබීමෙන් ඔවුන්ට ආලෝකයක් ලබා ගැනීමයි.

එතැන් පටන් නැවත පාසල පැත්ත පළාතට නොයන දෙමව්පියන් සිටිනවා. ඔබ දෙමව්පිය හමුවකට නොයනවා කියන්නේ ඔබ දරුවා ගැන කිසිම සැලකිල්ලක් නොදක්වනවාය කිව්වත් සාධාරණයි. ඔබ නිතරම හිතන්නේ “මගේ දරුවා දක්ෂයෙක් බවයි…” කූඹියාට උගේ මුත්‍රා ගංගාවක් සේ පෙනෙනවා වගේ ඔබේ සිතුවිල්ලත් සාධාරණයි. ඒත් තරඟකාරිත්වයේදී ඔබේ දරුවා අසාර්ථක චරිතයක් වීමට පුලුවන්. එවිටත් ඔබ හිතන්නේ මං හිතාගෙනම හි‍ටියේ “අපේ පුතා හොඳ ලකුණක් ගනී කියලා…” යන අපේක්ෂා භංගත්වයට පත් විය හැකියි. දෙමව්පිය හමුවේදී ඔබේ දරුවා පංතියේ සිටින තැන ගැනත් දැන ගන්න පුලුවනි. දරුවාගේ නොහැකියාවන් වගේම ඔවුන්ට උදව් අවශ්‍ය වෙන ආකාරය, ඒ උදව් වෙනුවෙන් කටයුතු කරන අන්දම ගැන ගුරුවරුන් සමග විවෘත සාකච්ඡාවකට මෙතැනදී අවස්ථාව ලැබෙනවා.

නිතරම පාසලට යවන්න

අද දෙමව්පියන් දරුවා පාසල් යැවීම ගැන තීන්දු තීරණ ගැනීමට හරිම දක්ෂයි. ඔවුන් නිවසේ සිටම ඒ වෙනුවෙන් නයාය පත්‍ර පිළියෙල කරනවා. අද ඉස්කොලේ යවල වැඩක් නැහැ… ශ්‍රමදාන තියේවි… එහෙම නැත්නම් අද අහවල් දේ වෙනුවෙන් ඉස්කෝලේ උත්සවයක් තියෙයි. ඒ වගේම තමන්ගේ පුද්ගලික කටයුතු තිබෙන විටත් ළමයි ගන්නයි මේ වැඩ කර ගන්නයි වෙලාවක් නැහැ. ඒ නිසා අද දරුවා ගෙදර නවත්වා ගන්නවා. මේ විදිහට ගන්නා තීරණ නිසා දරුවාට පාසල් යෑමට තිබෙන අවස්ථාවන් දෙමව්පියන් විසින්ම කප්පාදු කරනවා.

ඒත් දෙමව්පියන් විදිහට ඔබ නොදැන සිටියට පාසලේ අධ්‍යාපන කටයුතුවලට සමගාමීව බාහිර වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒවාට දරුවන්ගේ සම්බන්ධතාවය ඉතා වැදගත් වෙන්නේ මේ වැඩසටහන් මගින් දරුවා ප්‍රායෝගිකව බොහෝ දේ ඉගෙනගන්නා නිසාය. එය පොත පතින් ලබන දැණුමටත් වඩා වැදගත්. ඒ නිසා ශිෂ්‍යත්ව ඉලක්කය හඹා දුවනවා වෙනුවට දරුවා දිනපතා පාසල් යැවීමට කටයුතු කිරීම ඉතාම වැදගත්.

අවතක්සේරුව වගේම අධි තක්සේරුවත් එපා

අපේ දෙමව්පියන්ගෙන් බොහෝ දෙනෙක් මේ අන්තවාදී හැසිරීම අනුගමනය කරනවා. ඇතැම් දෙමව්පියන් නිරතම තම දරුවා ගැන හිතන්නේ අවතක්සේරුවකින්. “ඔයාට බැහැ…ඔයා අලසයි…” එක් කාණ්ඩයක් මේ විදිහට කියද්දී තවත් පිරිසක් තමාගේ දරුවා මුල් කර ගෙන අධිතක්සේරුවක් ගොඩ නගා ගෙන “මගේ දරුවා සැබෑ දක්ෂයා” යන සංකල්පය දරුවාගේ හිතටත් කාවද්දවනවා. මේ දෙපැත්තම එතරම් සුබවාදී නැහැ. එක් පැත්තකින් තමා අදක්ෂයි යන සිතුවිල්ලෙන් දරුවා මානසිකව බිඳ වැටෙන අතර අධි තක්සේරුවකින් දරුවා ඔසවා තබන විට ඔහු වෙහෙසවී කටයුතු කිරීමට උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ මධ්‍යස්ථ තැනක සිටින්න. දක්ෂතාවය අගය කරන්න. අදක්ෂතාවයට උදව් කරන්න. “ඔව්..ඔබට පුලුවන්” යන සිතුවිල්ලෙන් දරුවා දිරි ගන්වන්න.

දරුවන් සතුටින්ම ඉන්න රට ජපානය කියන්නේ ඇත්තද?

ලෝකයේ සතුටින්ම දරුවන් සිටින රට ජපානය බව “ලැන්සෙට්” වාර්තාව මගින් පෙන්වා දෙනවා. දැන් ඔබ මේ විදිහට ප්‍රශ්න කලොත්… “ඇයි අපේ දරුවන්ගේ සතුට නැති වෙන්න හේතුවක් තියෙනවායැ… කන්න බොන්න අදින්න හැම දේම තියෙනවා… ඉගෙන ගන්න පහසුකම් තියෙනවා.. තව මොනවද ඉතින්…?” කියල ඔබ ඇහුවොත් ඒ වුනත් ජපානයේ දරුවන් සතුටින් සිටින හේතු කීපයක් ගැන මේ වාර්තාවේ දක්වා තිබෙනවා. ඉතින් ඔබේ නිවස තුළත් දරුවන්ට මේ වාතාවරණය තිබෙනවා නම් ඔබේ දරුවන් සතුටින් කියල ඔබටම තේරේවි.

විවිධ ආහාර දෙන්න

අපි ඉතින් හැම වේලාවේම දරුවන්ට බල කරන්නේ බත් කන්න කියලා… ඒ වගේම වචනයටත් කියන්නේ අපි තුන් වේලටම බත් කාලා හැදුන මිනිස්සු… කියල නොවෙයිද…? ඒ නිසාම දරුවන්ට බත් කෑමත් එපා වෙන තැනට පත් වෙනවා ඇති. ජපානයේ දරුවන්ගේ ආහාර‍වේලට විවිධ දේ එකතු වෙනවා. බත් විතරක් නොවෙයි, නූඩ්ල්ස්, පැස්ටා, ස්පැගටි, සුප්, වගේ අපි නොදන්නා ජපන් ආහාරත් සමග ඇති වෙන විවිධත්වය නිසා ජපානයේ දරුවන්ගේ හිත් නිතරම සතුටින් තියෙන බව මේ වාර්තාව පෙන්වා දෙනවා.

අනුභවයට බල කිරීමක් නැහැ…

අපේ දරුවන්ට නම් ඉතින් කෑම කවන එක තරම් යුද්ධයක් තවත් ගෙදර නැහැ. අම්මා , තාත්තා පුදුම වෙහෙසක් දරනවා වගේම එහි අනිත් පැත්තට දරුවාටත් මහත් වධ බන්ධනයක් වෙනවා ඇති. හැබැයි ජපානයේ දරුවන්ට ආහාර කවන්න පොවන්න පෙරැත්තයක් නැහැ. තමන්ගේ අවශ්‍යතාවය අනුව නිදහසේ කන්න බොන්න පුලුවන්. ඒ තත්වය නිසා ඔවුන්ගේ හිතේ සතුට ඇති වෙන බව දැන් පිලිගත් සත්‍යක්.

පිගාන පුංචියි…

ජපන් දරුවන්ගේ පිගාන බොහොම පුංචියි. අපේ අම්මලාට නම් දරුවාගේ ආහාරයේ ප්‍රමාණාත්මක බව ගැන මිසක ගුණාත්මක බව ගැන එතරම්  ගැටළුවක් නැහැ. බත් පිගානම කෑවා නම් අන්න අම්මා තෘප්තිමත්. ඒ වුනත් දරුවාට මේක ප්‍රශ්නයක්. බත් ඉතුරු කලොත් සමහර අම්මලා කෝටුව ගන්නවා කියන තැනත් ඉන්නවා ඇති. ඒත් ජපානයේ දරුවන්ට මේ ගැටලු නැහැ. පුංචි පිඟානට ගුණාත්මකව සකස් කළ ආහාර පොඩි ප්‍රමාණයකින් සෑහීමට පත් වෙන්න පුලුවනි. පළතුරු, එළවළු සමග ලැබෙන පුංචි පංගුවෙන් ඔවුන්ට ලොකු ගුණයක් ලැබෙනවා. ඒ නිසා ලොකු පිගානක බත් බෙදා ගෙන අම්මා තාත්තා සතුටු කරන ගැටළු ජපන් දරුවන්ට නැහැ. ඒ නිසාම ඔවුන් බොහොම සතුටින් සිටින පිරිසක් බවට පත් වෙලා.

හැම දෙනාම එක වේලාවට එක මේසයක

ජපන් පවුලක් වුනාම ආහාර ගන්නේ එකම මේසයක. ඔවුන් ඉතාම ආචාරශිලීව ආහාර ගැනීම ගැනත් ප්‍රසිද්ධයි. ඒ නිසා ආහාර බුත්ති විදින වේලාව බොහොම ප්‍රිය ජනක අවස්ථාවක් විදිහට පෙන්වා දෙන්න පුලුවනි.

මුලුතැන්ගෙටත් ඉඩ…

අපේ දරුවන්ට නම් මුලුතැන්ගෙය තහනම් කලාපයක්. අත කැපෙයි… පිහිය අල්ලන්න එපා.. .ගින්දර.. බිම වතුර හැලෙයි… එක වැඩය දහය නොකර යන්න මෙතැනින්… මේ වාගේ ගෝරනාඩු හොදින් පුරුදුයි. ඒ වුනාට ජපානයේ දරුවන්ට බාල කාලයේ පටන්ම මුලුතැන්ගෙයි වැඩ කටයුතුවලට අවසර තිබෙනවා. ඉතින් මාත් ලොකු මනුස්සයෙක් කියන තෘප්තිමත්බව දරුවාගේ හිතේ ගොඩ නැගනෙවා ඇති. ඒ නිසාම ඔවුන් සතුටු සිත් ඇති දරුවන් වීම බොහොම සුලු සිද්ධියක්.

මේ සේරම එදිනෙදා ජීවිතයේ සිදු වෙන සරල සිදුවීම්. ඒ අතරම ජපානයේ දරුවන්ගේ සතුටට හේතු වෙන තවත් සෞඛ්‍යමය වාසි කීපයකුත් තියෙනවා. ඒ තත්වයත් ඔවුන්ගේ සතුටට හේතු පාදක වෙනන් පුලුවනි.

ක්‍රියාශීලියි..

සාමාන්‍යයෙන් ජපන් ජාතිකයෙකුගේ ගමන දෙස බලන්න. ඔබට ඔවුන්ගේ ඇවිදීම තුළ තිබෙන රිද්මය සිහියට නැගෙනවා ඇති. අත් චලනය වෙන මේ ඇවිදිම නිසා නොදැනීම සිරුරට ලැබෙන ව්‍යායාමය සෞඛ්‍ය පැත්තෙනුත් වාසි සහගතයි. අපේ දරුවන් බොහොම වේලාවට බිම නොතියා අතේ එහෙ නැත්නම් කොටුවක හිර කර ගෙන හදන්නේ විෂබීජවලට නිරාවරනය වෙයි… එහෙම නැත්නම් දුවල පැනල තුවාල වෙයි… ඒ වගේම අම්මාට වැඩක් පොලක් කර ගන්න නිදහස හොයාගන්නා අටියෙන් වෙනන් පුලුවනි. ජපන් දරුවන් පුංචි කාලයේ පටන්ම බොහොම ක්‍රියාශීලියි.

ඇවිදීම

පුංචි කාලයේ පටන් ඔවුන් දරුවන් පයින්ම ඇවිද්දවනවා. ඒ නිසා මොළයට ලැබෙන ඔක්සිජන් සැපයුම නිසා මොළයේ ක්‍රියාකාරීත්වයට වගේම නිර්මාණශීලීත්වයට බොහොම ලොකු වාසියක් ලැබෙනවා.

බයිසිකල් පැදීම

පුංචි කාලයේ පටන්ම දරුවන්ට බයිසිකල් පැදීමට අවසර තිබෙනවා. නිවසේ සිට ගොවිපොලට, කඩපිලට මේ දරුවන් යන්නේ එන්නේ බයිසිකලයෙන්. ඒ වයායාමය සතුටින් ඉනන් වාසියක් වෙන්නේ මොළයට හොදින් ඔක්සිජන් සැපයුම ලැබෙන නිසයි.

ඉතින් අපි නිතරම බලන්නේ දරුවන්ගේ කායික සෞඛ්‍යය ගැන විතරයි. මානසිකව ඔවුන්ගේ නීරෝගිබවට නම් එතරම් උනන්දුවක් දක්වන්නෙත් නැහැ. නමුත් මේ දෙපැත්තම සමබර විදිහට පවත්වාගෙන නොගියොත් අපිට නීරෝගී දරුවෙක් බිහිවුනත් මානසිකව රෝග තත්වයන් තිබෙන්න පුලුවන්. ඉගෙනුම සාර්ථක කර ගන්න, ජීවිතයට මුහුණ දෙන ශක්තියට මානසික නීරෝගීතාවය අවශ්‍යයි. සතුට ඇති වෙන්නේ මානසිකව නීරෝගී පුද්ගලයන්ටයි. ඉතින් ජපානයේ දරුවන් බාල කාලයේ පටන්ම නිදහස් මානසිකත්වයකින් හැදෙන වැඩෙන නිසාම ඔවුන් සතුටින් සිටීම ගැන පුදුමයක් වෙන්න හේතු නැහැ නේද….?

-Times of India ඇසුරින්-

 

පවුලේ කවුරුත් හමුවෙන පුංචි වෙලාවක් මේ විදියට වෙන්කරමු නේද?

“අපේ ගෙදර හැම දෙනාටම එකට එකතු වෙලා ඉන්න වෙලාවක් ඇත්තේම නැහැ…..” බොහොම උජාරුවට මේ විදිහට කිව්වත් අපි නොදැනීම අපේ පවුලේ සම්බන්ධතාවයන් මේ නිසාම ගිලිහෙන බව නම් අමතක කරන්න එපා. දරුවන් සහ දෙමව්පියන් වෙන වෙනම ලෝකවල ජීවත් වෙන යුගය නිර්මාණය වුනේ ඉතාම මෑතකදීයි. ඒ නිසාම අපේ පවුල්වල තිබුන සුහදතාවය නොදැනීම ගිලිහුනා විතරක් නොවෙයි, තම තමන්ගේ ගැටළු බෙදා හදා ගැනීමට පරිසරය නොමැති නිසා අපි මානසික ගිලන්බවට පත් වෙන තරම් තත්වය දරුනු වුනා. සමාජ විද්‍යාඥයින් පවා කියන්නේ පවුලක් විදිහට අඩුම වශයෙන් එක් ආහාර වේලක්වත් එකට ගැනීම ඉතාම වැදගත් බවයි. එහෙමනම් අපිට අඩුම වශයෙන් පවුල වෙනුවෙන් පැයක්වත් මිඩංගු කරන්න බැරිද…..? බැහැය යන මතයේම නොසිට ටිකක් ඒ ගැන හොයල බැලුවොත්…

රාත්‍රි ආහාර පිළියෙල කරන්න…

කුරුල්ලෝ කූඩු හොයා ගෙන එනවා වගේ අපි හැම‍දෙනාම රාත්‍රි ආහාරයට නම් නිවසට එකතු වෙනවා. සමහර විට එකට රාත්‍රි ආහාරය නොගන්නේ හත අට වෙන කොට මෙය සූදානම් වෙලා නැති නිසයි. ඇයි ඉතින් අම්මා විතරයිනේ මුලුතැන්ගෙට සින්න වෙන්නේ. ඒ නිසා අපි මේ විදිහට යෝජනා කරමු…..?

අම්මත් ඉතින් මස්, ලේ, ඇට වලින් හැදුන චරිතයක්නේ. එයාටත් මහන්සිය දැනෙනවා. ඒ නිසා අම්මාගේ මහන්සිය අඩු කර ගන්න අපි වැඩ කටයුතු බෙදා ගත්තොත් අපි සේරම එකට එකතු වෙන පැයක් නොවෙයි පැය දෙක තුනක් ඉතුරු වේවි. පොල්ටික ගාන්න… එළවලු කපන්න… වැනි කටයුතු වලට පවුලේ අය මුලුතැන්ගෙට එකතු වුනොත් රාත්‍රි ආහාරයත් වේලාසනින් ගන්න පුලුවන්. ඒ වගේම එකට එකතු වෙන පරිසරයත් නොදැනීම නිර්මාණය වෙනවා.

රාත්‍රි ආහාර මේසය….

රාත්‍රි ආහාර මේසයට නම් හැම දෙනාම එකතු වෙන්න ඕන. ඉස්සර කාලයේ පටන්ම අපේ කෑම මේසයට පවුලේ හැම දෙනාම එකතු වුණා. එහෙම කන බොන විට සුහද කතා බහ විතරක් නොවෙයි, ආහාරවල වුනත් ප්‍රමාණය එකිනෙකාගේ රුචි අරුචිකම් දැන ගන්නවා… ගුණාත්මක දේ ආහාරයට ගන්න පුලුවන්… මේ සේරටම වඩා දවසේ තොරතුරු බෙදා හදා ගන්නත් පුලුවන්. ඒ නිසා පවුල වෙනුවෙන් අවම වශයෙන් පැයක්වත් එකට එකතු වෙන්න නම් රාත්‍රි ආහාරය හැම දෙනාම එකතුවෙලා කෑම මේසයට වාඩි වුනොත්.. එතතරම් අසීරුතාවයක් නැහැ.

නිවසේ වෙනත් වැඩ…

ගෙදරක් වුනාම උයන කන බොන එකම නොවෙයි, තව බොහෝ වැඩ තිබෙනවානේ. මේ කටයුතු වුනත් එකට එකතු වෙලා කරන්න පුලුවනි. අම්මා හෝදන රෙදි වැලට දාන්න. රෙදි මදිනවා නම් මැදපු රෙදි නවන්න. පහුවදාට ප්‍රයෝජනයට ගන්නා ඇඳුම් වෙන් කරන්න මේවාගේ පුංචි පුංචි වැඩ කොටස් බෙදා දුන්නාම පැයක් එකට ගත කරන්න ලැබෙනවා විතරක් නොවෙයි. වැඩ හුරුව වගේම පවුල අතරේ බැදීමක් ගොඩ නැගෙනවා.

සෙල්ලමක් කරන්න පුලුවන්…

අපේ ජන ජීවිතයේ පවුල කියන බැඳීම ඉතාම ප්‍රබලයි. තවමත් සමහර පවුල්වල අවුරුදු උත්සව, දන්සැල් ආදිය ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින්ම සිදු කරන තරම් බැඳීම් තිබෙනවා. අපිටත් පැයකවත් වේලාවක් එකට එකතු වෙලා විනෝද වෙන්න පුලුවන්. එක්තරා අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙක් වරක් කියා සිටියේ ඔහුගේ මිනිපිරියගේ පංතියේ ශිෂ්‍යන් බවට පත් වුනේ එම අධ්‍යක්ෂවරයා බවයි. පුංචි දරුවන් සමග සෙල්ලම් කරද්දී ඔවුන්ගේ සෙල්ලම් ගෙදර, සෙල්ලම් කඩේ, සෙල්ලම් රෝහලේ සාමාජිකයන් වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් වැඩුන දරුවන්ගේ නම් මොනොපොලි, ස්නේක් ඇන්ඩ් ලැඩර්, ලූඩෝ වැනි ක්‍රිඩාවන් වලදී පවුලේ සියලු දෙනාම එකතු වෙන්න පුලුවන්. ඔන්න ඉතින් පැයක් ගියා දැනෙන එකකුත් නැහැ.

ගමන් බිමන් චාරිකා…

අද පවුලක් වුනත් එකට ගමනක් බිමනක් යනන් තරම්වත් කාලයක් නැති බවටයි චෝදනාව නැගෙන්නේ. පුතාට අද පංති… මහත්තයාට කන්තෝරුවේ වැඩ… මේ විදිහට නිදහසට කරුණු කිව්වත් පෙර සැලසුම් කරද්දී මේවා ගැන අවධානයක් දක්වනන් පුලුවන්. පවුලක වුනත් කාලසටහනක් වගේම පෙර වැඩ සටහන් ගැනත් හැම දෙනාම දැණුවත්ව ඉන්නවා නම් ගමනක් සූදානම් කරද්දී පවුලේ හැම දෙනාටම සහභාගී වීම අපහසු නැහැ. එක්කෙනක් වුනත් අයින් වුනොත් ඔබටත් ගමන වෙහෙසයි. ඇයි ඉතින් නැවතුන සාමාජිකයා වෙනුවෙන් ආහාරපාන, ආරක්ෂාව ආදි හැම දෙයක්ම සැලසුම් කරන්න එපායැ. මේ කිසිම කරදරයක් නැතුව හැම දෙනාම එකට එකතු වෙලා ගමන් බිමන් චාරිකා යනවා නම් පැය හත අටක්ම පවුලේ අයට එකතු වෙලා ඉන්න අවස්ථාව ලැබෙනවා.

අධ්‍යාපන වැඩකටයුතු…

ඉහළ පංතිවලදී නම් මේ විදිහට කරන්න බැරි බව ඇත්ත. ඒත් සාමාන්‍යයෙන් ප්‍රාථමික පංතිවල දරුවන්ට නම් එකමුතු වෙලා පාසලේ වැඩ කටයුතු කරන්න පුලුවනි. එවිට වැඩිමහල් සහෝදරයන්ගෙන් උදව් ලැබෙනවා. ඒ අයගෙන් බැරි දේ වෙනුවෙන් දෙමව්පියන්ගේ සහයෝගය ලබා ගන්නත් පුලුවන්. මෙතැන වැදගත් වෙන්නේ දරුවාගේ ගෙදරවැඩ වෙනුවෙන් වැඩිහිටියන්ගෙන් ලැබෙන උදව් කියන සංකල්පය නොවෙයි. ඒකත් ඉටු වෙන බව ඇත්ත. ඊටත් වඩා පවුලේ හැම දෙනාම එකට එකතු වෙන පැයක්වත් නොදැනීම නිර්මාණය වෙනවා.

නිවසට නෑදෑ හිතවතුන් ආවාම…

මේ ගැන නිතරම චෝදනා නැගෙනවා. නැන්දා , මාමා, පුංචි අම්මා, බාප්පා, ලොකු තාත්තා, ලොකු අම්මා ආවාමවත් දරුවන් විතරක් නොවෙයි, සැමියා බිරිඳ වුනත් සමාගමට එකතු වෙන්නේ නැහැ යන චෝදනාව අපි කා අතරත් නිතරම අසන්න ලැබෙනවා. මෙය එතරම් සුබවාදී නැහැ. ඒ නිසා ඔබේ නිවසට පැමිනෙන අයටත් හිතට අමාරු වෙනවා. ඒ වගේම අනාගතයේදී සමාජ සම්බන්ධතාවයන් ගොඩ නැගෙන්නෙත් නැහැ. නිවසට නැදෑ හිතවතුන් පැමිණි විට දරුවන් සහ බිරිඳ සැමියා එකතුවෙලා සතුටු සාමිචි කතා බහට සම්බන්ධ වුනොත් ඔබ හැම දෙනාම නොදැනම එකට එකතුවක් ගොඩ නැගෙනවා.

සාප්පු හෝ අවශ්‍ය කළමනා ගැනීමේදී…

පවුලේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අපි සාප්පු වගේම වෙනත් කඩපිල, පොළට යනෙන අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවන්ටත් දරුවන් සමග දෙමව්පියන් එකට සම්බන්ධව යනවා නම් පවුලේ අයවැය ගැනත් දරුවන්ට දැනුමක් ලැබෙනවා. අමතක වෙන දේවල් මතක් කර දීමටත් සහය ලැබෙනවා. මුදල් ගනුදෙණු ගැනත් අත්දැකීම් ලැබෙනවා. මේ හැම දෙයටම වඩා වටින්නේ පවුලේ හැම දෙනාම එකතුව ගෙවන පැය පවුලේ බැදීමට මොන තරම් උපකාරි වෙනවාද කියන තැනයි.

පවුලක් එකට එකතු කිරීමට යෑමේදී සමහර විට දරුවන් එහෙම නැත්නම් සැමියා බිරිඳ මේ විදිහට කියාවි “මට දැන් වෙන වැඩක් තියෙනවා…” ඒ නිසා ඔබ මුලින්ම පවුලට මේ ගැන කියා දෙන්න. පළමුව පවුල… කියන සංකල්පයේ රැඳී සිටිනවා නම් අපිට පවුලේ හැම දෙනාම එකතුව අවම වශයෙන් පැයක්වත් ගත කරන්න කාලය ලබා ගන්න පුලුවන්.