දරුවාගේ පූර්ව භාෂා කුසලතා පිළිබඳ ඔබ දැනුවත් ද? ( 2 කොටස)

දරුවෙකු කතාව, භාෂාව හා සන්නිවේදනය ආරම්භ කිරීම ට පාර කියන පෙර කුසලතා පූර්ව භාෂා කුසලතා බව ඔබ දැනටමත් දන්නවා ඇති. නමුත් මෙම එක් එක් කුසතා  හා ඒවා පිළිබඳ හරි අවබෝධයක් ලබා දීම හා ගැටළු පවතී නම් ඒ සදහා කළ හැකි දේ සාකච්ඡා  කිරීම මෙම ලිපියේ අරමුණයි. 

පූර්ව භාෂා කුසලතා යටතට ගැනෙන කුසලතා බොහෝමයක් පවතී. ඒ අතර, 

  • සවන්දීම හා බැලීම 

දරුවෙකු මෙලොව එළිය දුටු විගස පෙනෙනුයේ තම මවගේ මුහුණයි. කල්යත් ම මිනිස් මුහුණු  අනිත් මුහුණු එනම් සත්ත්ව මුහුණු වෙන් කර හඳුනා ගැනීම එම මුහුණෙන් සිටින පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීම දක්වා මෙම කුසලතාව වර්ධනය වේ.

එමෙන්ම සවන්දීම ද භාෂා වර්ධනය මූලික සාධකයකි. විවිධ හඬ වලට සවන් දීම, එම හඬවල් වෙන් කර හඳුනා ගැනීම දක්වා මෙම කුසලතා වර්ධනය වීම සිදුවේ. 

  • ඇසට ඇස බැලීම 

දරුවා ඉදිරි පිට සිටින පුද්ගලයාගේ ඇස් දෙස බැලීම තුළින් දරුවා භාෂා වර්ධනය ට අවශ්‍ය වාචික අවාචික තොරතුරු ග්‍රහණය කරගැනීම සිදුවේ. තවද දරුවා වර්ධනය වීමත් සමඟ ම සමාජානුයෝජනය වීම, සමාජ සම්බන්ධතා ගොඩ නගා ගැනීම හා පෞරුෂ වර්ධනයට ඇසට ඇස බැලීම ඉතා වැදගත් වේ. 

  • තමන්ගේ වාරය ගැනීම  (turn taking) 

වාර ගැනීම ආරම්භ වන්නේ දරුවා මෙලොව ඉපදී පළමු සතියේ පටන්ය. උදාහරණයක් ලෙස දරුවා හඬන විට, සිනාසෙන විට දෙමව්පියන් එය අනුකරණය කිරීම, විවිධ ශබ්ද නැගීම වාර ගැනීමේ ආරම්භයයි. කල් යත් ම දරුවා ශබ්දයක්, වචනයක් පවසන විට දෙමාපියන් ද ඊට පසුව ඊට අනුරූප දේවල් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම, දරුවා පවසන වචන වලට තවත් වචන එකතු කිරීම තුළින් නිවැරදි සන්නිවේදනයට අවශ්‍ය වාර ගැනීම පුහුණු වේ. 

  • සිනා සීම

දරුවා සති හයක් පමණ වන විට සිනාසීම ආරම්භ කරනු ලබයි. පසුකාලීනව සමාජානුයෝජනය වීම සමඟ අන්තර් පුද්ගල සබඳතා ගොඩනගා ගැනීම ද  වාචික සන්නිවේදනය දියුණු වීමට ප්‍රථම අවාචික සන්නිවේදන මාධ්‍යයක් ලෙස  ( සතුට ප්‍රකාශ කරන ) සිනා සීම  හඳුන්වා දිය හැකිය. 

  • අනුකරණය 

දරුවාට මාස 9 පමණ වන විට අනුකරණය ආරම්භ කරනු ලබයි. උදාහරණ ලෙස දෙමව්පියන් අත්පුඩි ගසන විට දරුවා ද අනුකරණය කිරීම, දෙමව්පියන් නගන ශබ්ද දරුවා ද අනුකරණය කිරීම හඳුන්වා දිය හැකිය. අනුකරණය භාෂාව වර්ධනය ට අත්‍යවශ්‍ය ම සාධකයක් ලෙස හඳුන්වා දිය හැකිය. මන්ද දරුවන් අනුකරණය තුළින් බොහෝ ශබ්ද, වචන , වාක්‍ය ප්‍රගුණ කරනු ලබයි.

  • අවධානය 

දරුවා යම් දෙයක් සඳහා තම පූර්ණ අවධානය ලබා දීම භාෂාව ඉගෙනීම ට ඉතාමත් වැදගත් වේ. මන්ද අවධානය ලබා දීම තුළින් නිවැරදි ලෙස තොරතුරු ලබාගත හැකි අතර එය භාෂාව වර්ධනයට හා ඉගෙනීමට රුකුලක් වේ. 

පූර්ව භාෂා කුසලතා වල ගැටළු ඇති දරුවන් හට ඇති විය හැකි වෙනත් ගැටළු මොනවාද?

දරුවන් තුළ තුල විවිධ වූ හැසිරීම් ගැටළු ඇති විය හැකිය. මන්ද නිවැරදි ලෙස භාෂාව වර්ධනය වී  නොමැති විට දරුවා ක්ෂණික ව්‍යාකූල තත්ත්වයකට පත්විය හැකි බැවිනි. 

තවද සෙල්ලම් කිරීම, භාෂාව අවබෝධය හා භාවිතය, වාචික සන්නිවේදනය හා කතා කරන විට වාර ගැනීම, අවධානය දීම, අවධානය පවත්වා ගැනීම හා සමාජානුයෝජනයේදී ද ගැටළු ඇති හැකි ය.

දරුවන් තුළ ඇතිවන මෙම ගැටළු වලට කළ හැක්කේ කුමක්ද?

දෙමව්පියන් වශයෙන් ඔබේ දරුවාත් මෙවන් ගැටළු පෙන්නුම් කරනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. තවද දරුවා සමඟ වැඩි කාලයක් ගත කිරීම, දරුවා සමඟ සෙල්ලම් කිරීම, දරුවා සමඟ නිතර වාචික සන්නිවේදනයේ යෙදීම, දරුවාගේ අවධානය බිඳෙන දේවල් අවම කිරීම, නිතර මුහුණ දෙස බලමින් කතා කිරීම, දරුවා සමඟ සරල භාෂාවෙන් කථා කිරීම හා දරුවා ට ලයාන්විත ස්වරයෙන් කතා කිරීම ඉතා වැදගත් වේ. 

තවද දරුවන් එකිනෙකාට වෙනස් බැවින් පූර්ව භාෂා කුසලතා වල ගැටළු වෙන යම් සුවිශේෂී තත්ව (උදා ඔටිසම්) සමඟ බැඳී පැවැතීම ට හැකි බැවින් මේ පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. තවදුරටත් ගැටළු පවතී නම් කථන හා භාෂා චිකිත්සකවරයෙකු වෙත යොමු වී තොරතුරු විමසීම අත්‍යවශ්‍ය වේ.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

පුංචි අයටත් ආතතිය

පුංචි හිත් මල් වගෙයි.බොහොම මෙලෙකයි. ඒ වගේම පුංචිම දෙයකින් වුනත් රිදෙනවා. සමහර රිදීම් නම් ටික වේලාවකින් සුවපත් වුනත් ඇතැම් රිදීම් නම් ඒ විදිහට සුවපත් වෙන්නේ නැහැ. ඉතින්.. මේ පුංචි හිත රිදෙන සිදුවීම් ගැන කිව්වොත්…

  • මව/පියා හෝ පවුලේ සමීපතම පුද්ගලයාගේ දුරස් වීම හෝ වියෝව
  • මව/ පියා විදෙස්ගත වීම
  • මව පියාගේ නිදන්ගත අසනීප
  • පාසලේ හෝ පංතියේ හිතමිතුරන්ගෙන් ඇති වෙන පීඩාව
  • තමා ආදරය කරන සුරතලාගේ වියෝව

සමහර සිදුවීම් දරුවාට දැනුනත් ඒවා වැඩිහිටියන්ගේ ඇසෙන් දකින විට ඉතාම සුලු සිදුවීම් වෙන්න පුලුවනි. දරුවන්ගේ සිතුම් පැතුම් වැඩිහිටියන්ගේ ලෝකයට සහ වැඩිහිටියන් සිතන පතන ආකාරයට වඩා වෙනස්. ඒ නිසා වැඩිහිටියන් විදිහට අප නොදකින නොසිතන ප්‍රශ්න දරුවාට දැඩි විදිහට පිඩාවක් දෙන මානසික ගැටුමක් බවට පත් වෙන්න පුලුවනි.

දරුවන්ගේ මානසික තත්වයත් විවිධයි.

එකම ප්‍රශ්නයේදී දරුවන් අතර එයට මුහුණ දෙන ආකාරය වෙනස් වෙන්න පුලුවනි. සමහර විටෙක අපි නොසිතන විදිහට ප්‍රහ්න ඉදිරියේ බොහොම ශක්තිමත්ව මුහුණ දෙන දරුවන් සිටිනවා. බාල කාලයේදී මව සහ පියා දෙදෙනාම මියගියත් ශක්තිමත්ව මුහුණ දීමෙන් බාල සහෝදරයන් සමග ජීවිතයට ශක්තිමත්ව මුහුණ දුන් දරුවන් සිටිනවා. ඒ වගේම පංතියේ මිතුරන්ගේ විහිලු තහලු ඉදිරියේ දැඩි විදිහට කම්පාවට පත්ව පාසල් අධ්‍යාපනය පවා අඩාල කර ගත් දරුවනුත් අප අතර සිටිනවා. මේ අන්දමින් ප්‍රශ්න ඉදිරියේ දරුවන් මුහුණ දෙන ආකාරය බොහොම වෙනස්. ඒ වෙනස ඉදිරියේ වැඩිහිටියන් විදිහට අපි පුංචි හිත් කියැවීමට නම් උගත යුතුමයි.

දරුවන්ගේ ආතතිය නොසලකා සිටින්න එපා

වැඩිහිටියන් විදිහට අපි නිතරම බලන්නේ අපේ පැත්තෙන් පමණයි. තවත් විදිහට දරුවන්ට මොන ආතතියක්ද..? ආතතිය තියෙන්නේ අපට නේ කියමින් අපව සාධාරණ කර ගැනීමටත් වැඩිහිටියන් දක්ෂයි.ඒ වුනත් පුංචි හිතේ කොනක සැගවිලා තිබෙන ආතතිය කාලයත් සමග මුල් බැස ගත්තොත් දරුවා නොදැනීම මානසික කම්පන තත්වයට පත් වෙන්නත් පුලුවනි.

දරුවෙක් කම්පන තත්වයට පත් වුනාම ඔබට ඒ බැව් දැනගන්න පුළුවනි.

ඔබේ පුංචි පැටියා කම්පන තත්වයට පත්ව ඇත්නම් ඒ බව ඔබට දරුවාගේ හැසිරීම් රටාවෙන් දැන ගන්න පුලුවනි.

  • වෙනදා වගේ ඔබේ පැටියා සතුටින් සිටිනු දකින්න බැරි වේවි. පුංචි හිතේ කොහේ කොනක බියක් සගවා ගෙන ජීවත්වෙන බවක් ඔබටත් හිතේවි.නමුත් ඒ වෙනුවෙන් පැහැදිලි හේතුවකුත් නැහැ.
  • සමහර අවස්ථාවලදී කිසිම දෙයක් වෙනුවෙන් කැමැත්තක් නැති වෙන්න පුලුවනි. වෙනදාට බොහොම කැමැත්තෙන් සම්බන්ධ වුන කටයුතු ගැන දැන් කිසිම කැමැත්තක් නැති බවක් පෙනේවි. 
  • වෙනදා නොමැති විදිහට රාත්‍රි නින්දෙන් බිය වෙන්න පටන් ගනීවි.ඒ වගේම නින්ද නොයන තත්වයක් ඇති වෙන්නත් පුලුවනි.
  • හේතුවක් නැතුව ඇඬීමත් දරුවාගේ හිතේ පවතින කම්පන තත්වය ප්‍රකාශ කිරීමක්. මේ වගේ අවස්ථාවලදී ඔබටත් යම් කේන්තියක් ඇති වේවි. කොච්චරවත් අඬනවා..මොකක්ද මේ කරදරය කිව්වත් දරුවාගේ මානසික තත්වය නිසා ඔවුන් මේ අන්දමින් හැසිරෙන්න පටන් ගන්නවා.
  • සමහර දරුවන්ගේ ගති පැවැතුම් ඉහත සදහන් කළ ඒවාටත් වඩා දරුනු වෙන්න පුලුවනි. ඔවුන් ප්‍රචණ්ඩව හැසිරෙන්න පටන් ගන්නවා. මොකද මේ කැලෑ සතෙක් වගේ කියමින් සමහර විට ඔබත් දරුවාට තරවටු කරන්න පුලුවනි.

නමුත් කිසිම දිනක ඔබේ පුංචි පැටියාගේ හැසිරීමේ වෙනසක් දුටුවොත් ඒ ගැන උරන වෙන්න එපා. 

දඬුවම් කිරීමය වේවැල පාවිච්චි කරන්නත් එපා. ඒ වෙනුවට දරුවා සමග කථා කරන්න. ඔවුන්ගේ මානසික පීඩනය පිටතට ගන්න දෙමව්පියන් විදිහට ඔබට පුලුවනි.

සමහර විට දරුවාගේ මානසික කම්පනය ඔබ සමග කාලය ගෙවීමෙන්මත් නැති වෙන්න පුලුවනි. ඒත් සමහර විට දරුවන්ගේ කම්පන තත්වයන් වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වෙන අවස්ථාවන් තිබෙනවා. එවැනි අවශ්‍යතාවයක් ඔබට පෙනී ගියොත් ඒ වෙනුවෙන් දරුවා යොමු කරන්න.

මුල් කාලයේදී චර්යාත්මක ප්‍රතිකාර මගින් දරුවාගේ මානසික තත්වය යහපත් තැනකට පත් කර ගන්න පුලුවනි.

මේ ගැන නොසලකා සිටියොත් දරුවා විශාදයට පත් වෙන්න පුලුවනි.

දරුවන්ගේ කම්පන තත්වයන් ගැන නොසලකා කටයුතු කිරීමෙන් මේ මානසික තත්වය තව දුරටත් නරක අතට හැරෙන්න පුලුවනි. ඒ නිසාම විශාදය නැමැති මානසික තත්වයට දරුවා පත් වීමට ඉඩ තිබෙනවා.දරුවන් මානසික රෝග තත්වයන්ට ගොදුරු නොවේය යන ස්ථාවරය කිසිම දිනක ඇති කර ගන්න එපා. දරුවන්ටත් දරා ගත නොහැකි මානසික පීඩාවන් තිබෙන නිසා ඔවුන්ද විශාදය තත්වයට පහසුවෙන්ම පත් වෙන්න පුලුවනි.

විශාදයට ගොදුරු වුනොත් ඇති වෙන තත්වයන්..

විශාදය රෝග තත්වයට පත් දරුවන් විසින් තමන්ටම තුවාල කර ගන්න පුලුවනි.

මත්පැන්, මත්ද්‍රව්‍ය වැනි අහිතකර පුරුදු වෙත පහසුවෙන්ම ඇබ්බැහි වීමටත් පුලුවනි.

ඒ නිසා ඔබ දරුවන් සමග බොහොම සමීපයෙන් කටයුතු කරන්න.ඔවුන්ගේ මානසික වෙනස්කම් පැහැදිලිව ඔබට දැකීමේ හැකියාව එවිට ලැබේවි.මව්පියන් තරමට දරුවන්ගේ හිත් කියවීමට දක්ෂ  වෛද්‍යවරයෙක් තවත් නැහැ.මනෝ වෛද්‍යවරයෙකු වෙතට පවා දරුවා කැටුව යෑමට නම් ඊට පෙරාතුව දරුවා මානසික ගැටුමකින් සිටින බැව් ඔබ තේරුම් ගත යුතුයි. ඒ නිසා දරුවන් සමග සමීපව කටයුතු කරන්න.

 

අම්මාට ඇහැ පියාගන්න දෙන්නේ නැති අපේ ”පුංචි වස්තුව”

මාස නවයක් අම්මාගේ කුසේ සැතපිලා සිටිය පුංචි වස්තුව දැන් අම්මාගේ තුරුලට ඇවිත්. හැබැයි තවම එයා හිතා ගෙන ඉන්නේ අම්මාගේ බණ්ඩියේ ඉන්නවා කියලයි. ඒ හින්දා රැයක් ,දවාලක් ගැන වෙනසක් නැහැ.පැටියා  දවල්ටත් නිදියනවා..රෑට ඇහැරගෙන ඉන්නවා . ඒ නිසා අම්මාටත් ඇහැ පියාගන්න නැහැ. හරිම වෙහෙසයි.

පැටියාට වෙනස තේරුම් ගන්න කාලයක් අවශ්‍ය වෙනවා..

අම්මාගේ බණ්ඩියේ වෙනසයි..දැන් පැටියා ජීවත්වෙන සැබෑ ලෝකය අතර වෙනසයි තේරුම් ගන්න මාස තුනකවත් කාලයක් අවශ්‍ය වෙනවා.ඉතින් මේ මුල් මාස තුනක කාලයේදීම පැටියාට රාත්‍රිය ගැන වෙනසක් නැහැ. පුංචි බන්ඩියට සැරින් සැරේ බඩගිනි දැනෙනවා. ඇහැරිලා අඬනවා.ඉතින් අම්මාටත් නින්දක් නැහැ.

අම්මාටත් මේ තත්වය එතරම් සුදුසු නැහැ…

පුංචි පැටියෙක් ලෝකයට දායාද කිරීමත් පහසු කාර්යක් නොවේ. නව මාසයක වෙහෙස පැටියාගේ මුහුණ දුටු සැනින්ම අවසානයි.එතැන් පටන් ඇති වෙන සෑම අපහසුතාවයක්ම අම්මාට නම් වෙහෙසක් විදිහට දැනෙන්නේ නැහැ. ඒ තරමටම පැටියාට තිබෙන ආදරය බොහොම විශාලයි.හැබැයි අම්මාගේ ප්‍රතිශක්තියත් දැන් ටිකක් අඩු වෙලා. ඒ වගේම හෝර්මෝන මට්ටම අසමතුලිත වීම නිසාත් අම්මා ගේ මානසික අසමතුලිතාවයන් ඇති වෙන්නත් පුලුවනි. ඒ නිසා අම්මාටත් හොද නින්දක් අවශ්‍ය වෙනවා. 

 පැටියා නිදි….වැඩ ටික ඉවර කරන්න ඕන..

බොහොමයක් අම්මලා පුරුදු වෙලා ඉන්නේ පැටියා නිදාගත්ත වෙලාවට ගෙදර වැඩ කටයුතු අවසාන කර ගන්න. ඒ නිසා පැටියා නිදාගන්න වේලාවේ අම්මා ගෙදර වැඩයි..පැටියාගේ වැඩයි සේරම අවසාන කර ගන්න උනන්දු වෙනවා. ඒ නිසා අම්මා දවල් කාලයටවත් නිදා ගන්නේ නැහැ.

හැබැයි අම්මාට නිදා ගන්න පුංචි අවසරයක්..

ඉතින් අම්මෙක් විදිහට ඇහැ පියවා ගන්න අවසරයක් නැතුව සිටීම එතරම් ගුණදායක නැහැ. ඒ නිසා පැටියා නිදා ගන්න දවල් කාලයට ඔබත් ටිකක් නිදා ගන්න.නිදා ගන්න වෙලාවට ජංගම දුරකථනයත් පැත්තකින් තියන්න. එහෙම නැකුව ජංගම දුරකථනය අතට ගත්තොත් නිදා ගන්නවා කියන්නේ බොරු.නිවසේ තව අයෙතු සිටිනවා නම් ලැබෙන ඇමතුම්වලට උත්තර දීමත් එයාලට පාර කරලා පුංචි නින්දක් ලබා ගන්න.

වැඩ පහසු කරන මෙවලම් ගැනත් හිතන්න

දැන් වැඩ පහසු කරන ලෝකයක් නිසා අම්මාගේ නින්දට බාධා නොවන විදිහට සැලසුම් සකස් කර ගන්නත් පුලුවනි. පැටියා වෙනම baby cot,එකක තියලා baby monitor මගින් අවධානය දක්වන්නත් පුලුවනි.ඒ වගේම අම්මාට නින්ද ගියත් පැටියාගේ කිරි වේල නොවරදින විදිහට breast pump, bottles මෙවලම් භාවිතා කරන්න පුලුවනි.අම්මට නින්ද අවශ්‍ය නම් Breast pump එකකට කිරි දොවලා පැටියාට ඇහැරුනාම දෙන්න කියල නිදා ගන්න පුලුවනි. එහෙම වුනොත් අඩුම වශයෙන් නිදා ගන්න වෙලාවටවත් අම්මාට නොකැඩී නිදා ගන්න පුලුවනි.

ඒ වගේම පැටියාගේ මල, මුත්‍ර අවශ්‍යතාවයන් නිසා විටින් විට අවදි වීම වෙනුවට රාත්‍රි කාලයේදී ඩයපර් පාවිච්චි කරන්න පුලුවනි.

දැන් නම් අමුත්තෝ අඩුයි

කොවිඩ් 19 වසංගත තත්වය නිසා පැටියා බලන්න එන අමුත්තෝ නැති වුනත් හැමදාමත් කොවිඩ් තියෙන එකක් නැහැ. පැටියාට මාස තුනක්වත් ගෙවෙනකම් අමුත්තන්ගේ පැමිණීම පැටියාටත්..අම්මාටත් වෙහෙසයි.අමුත්තන්ට සංග්‍රහ කරන්න….කථා බහ කරන්න අම්මා සම්බන්ධ වෙන අතර නෑ හිත මිතුරන් තේ සුහද කතා බහ සිනාවන් නිසා පැටියාගේ නින්දටත් බාධාවක්.ඒ නිසා ඔබ කාගේ හෝ අලුත් පැටියෙක් බලන්න යන අදහස තිබෙනවා නම් එය මාස තුනකට ප්‍රමාද කරන්න.එය ඔබේ නෑ හිතවතුන්ට කරන උදව්වක්

තාත්තාගේ උදව් ගන්න

අපේ සමාජයේ ආකල්පය අනුව අම්මා දරුවන් වෙනුවෙන් කැප වෙන බව ඇත්ත. ඒත් අම්මාගේ ශාරිරික සහ මානසික සෞඛ්‍ය වෙනුවෙන් තාත්තා වගේම නිවසේ සිටින දෙමව්පියන්, සහෝදරියන්ටත් උදව් වෙන්න පුලුවනි.එය පැටියාගේ නැපි ටික තාත්තා හේදුවොත් එය ලැජ්ජාවට කරුණක් නොවෙයි.

කාමරයේ පිලිවෙල සහ පිරිසිදුබව

පැටියෙකු වෙනුවෙන් එයාගේ කාමරය පිරිසිදුව තබා ගැනීම ගැන නම් කියන්න අවශ්‍ය නැහැ. ඒ ගැන දැන් දෙමව්පියන් හොදින්ම දැණුවත්.හැබැයි මේ කාමරයේ අනවශ්‍ය විදිහට භාණ්ඩ පුරවන්න එපා. පැටියාගේ වුනත් සෝදන රෙදි ඉක්මනින්ම කාමරයෙන් ඉවත් කරන්න.අනවශ්‍ය අන්දමින් ලී බඩු වගේම වෙනත් උපාංඟ කාමරයෙන් ඉවත් කරන්න.

කාමරයේ ආලෝකය

කාමරයේ  ආලෝකය නින්දට බාධා කරනවා. පමණට වඩා ආලෝකය නිසා මෙලටොනින් හෝමෝනය නිපදවීම අඩු වෙනවා. එවිට නින්ද පිලිබඳ ගැටලු ඇති වෙනවා.ඔන්න දැන් ඔබට මතක ඇති රූපවාහිනිය, ජංගම දුරකථන, ටැබ්,ලැප් මෙකී නොකි විද්‍යුත් උපාංගයන් අක්‍රිය කිරීමන් පසුව නින්දට යන්න උපදෙස් ලැබෙන්නේ මේ නිසයි. නිදන කාමරයේ ඇති ස්වභාවික වගේම කෘතිම ආලෝකය /නිල් එලිය විහිදුවන සියළුම උපකරණ සම්පූර්නයෙන්ම අක්‍රිය කරන්න.

මානසික විවේකය

පැටියා ලැබුන පසුව අම්මාට මානසික විවේකය වැදගත්. දැන් වෙනදා වගේ බාහිර ලෝකය සමග පවත්නා සම්බන්ධතාවයන් බොහෝ දුරට සීමිත නිසා කුමන හෝ විනෝදාංශයක් අම්මාට  වෙනවා.පොතක් පතක් කියවන්න, පැටියාට ඇඳුමක් මහන්න වගේ විනෝදාංශයක් තෝරා ගන්න පුලුවනි.

ව්‍යායාම අවශ්‍යයි.

පැටියා වෙනුවෙන් කරන මේ වැඩ කන්දරාවෙන් ලැබෙන ව්‍යායාම හොදටම ඇති කියල හිතන්න එපා.දරුවා ලැබුනාට පසුව සිදු කළ හැකි සහ කළ යුතු ව්‍යායාම ගැන ඔබ දැණුවත් ඇති. ඒ නිසා වයායාම ගැනත් උනන්දු වෙන්න.

අලුත් අම්මාගේ නින්ද ගැන ඇත්තටම නොසලකා සිටිය යුතු නැහැ. අද බොහෝ මව්වරුන් පසු ප්‍රසව විශාදය තත්වයට පත් වෙන්නේ  මේ කාලයේදී ඇති වෙන මානසික අසමතුලිතාවය නිසයි.ඒ නිසා අලුත් අම්මාට සුවදායක නින්දක් ලබා දෙන්න කාගේ කාගේත් සහයෝගය ඉතාම වැදගත්.

 

 

 

දරුවාගේ පූර්ව භාෂා කුසලතා පිළිබඳ ඔබ දැනුවත් ද? (01 කොටස)

දරුවා මෙලොව එළිය දුටු දා සිට භාෂාව ඉගෙනීම අරඹයි. භාෂා වර්ධනය නිවැරදිව සිදු වීමට පූර්ව භාෂා කුසලතා ඉතා වැදගත් වේ

  1. පූර්ව භාෂා කුසලතා යනු කුමක්

දරුවකු මෙලොව එළිය දුටු දා සිට වාචික සන්නිවේදනය දියුණු වීමට රුකුල් දෙන පූර්ව කුසලතා පූර්ව භාෂා කුසලතා ලෙස සරලව හඳුන්වා දිය හැකිය. පූර්ව භාෂා කුසලතා දරුවාගේ භාෂා වර්ධනය ට ඉමහත් ලෙස බලපෑම් ඇති කරන අතර දරුවා වාචික සන්නිවේදනය ආරම්භ කිරීම ට පෙර සිදු වන අවාචික සන්නිවේදනය හා පූර්ව භාෂා කුසලතා දරුවාගේ නිසි භාෂා වර්ධනයට මනා පිටුවහලකි.

  1. භාෂා කුසලතා යටත ට ගැනෙන දරුවාගේ කුසලතා මොනවාද?

දරුවා වාචික සන්නිවේදනය ට පෙර අවාචික සන්නිවේදනය සිදු කරන අතර දරුවා වාචික සන්නිවේදනය ඉගෙනීමට රුකුල් දෙන කුසලතා එනම්, 

  • අංග චලන භාවිතය 
  • මුහුණේ ඉරියව් භාවිතය 
  • මුහුණ දෙස බලා සිනා සීම 
  • අනුකරණය 
  • අවධානය ලබා දීම  
  • ඇහුම්කම් දීම 
  • ඇසට ඇස බැලීම ආදී බොහෝ කුසලතා අතර වේ.  මෙම කුසලතා දරුවා වාචික සන්නිවේදනය ට පූර්ව සූදානම් කරනු ලබයි. 
  1. පූර්ව භාෂා කුසලතා වැදගත් වන්නේ ඇයි?

දරුවා වාචිකව තම දෙමව්පියන් අමතනු දැකීම, වාචිකව වචන, වාක්‍ය  කතා කරනු දැකීමට සෑම දෙමාව්පියෙක් තම දරුවා පළමු වසර අවසන් කරන තුරු සිටිනුයේ ඉමහත් නොඉවසිල්ලකිනි. එමනිසා දරුවා වාචික සන්නිවේදන ඉගෙන ගැනීමට ගනු ලබන කාලය තුළ පූර්ව භාෂා කුසලතා දියුණු වීම ඊට ඉමහත් බලපෑමක් කරනු ලබයි. 

උදාහරණයක් ලෙස දරුවා හට තම මව දෙස බැලීම, මව ගේ හඬට අවධානය දීම, ඇහුම්කන් දීම අපහසුයි නම් දරුවා හා තමාව අතර ඇති විය යුතු සුහද  සන්නිවේදනය ඇති වීම බාධා ඇති කරනු ලබයි. එපමණක් නොව දරුවා තම මවගේ මුහුණ දෙස බලමින් සිනාසීම, ශබ්ද නැගීම ආදිය පමා කරනු ලබයි. තවද දරුවා අනුකරණය නොකරයි නම් තම මව මුවින් නගන ශබ්ද හෝ දරුවා අනුකරණය කිරීම පමා කරනු ලබයි. 

එම නිසා දරුවා ගේ පූර්ව භාෂා කුසලතා වල ගැටළු ඇත්නම් දරුවාගේ භාෂාව අවබෝධය හා භාවිතයේ ගැටළු ඇති කරනු ලබයි. එම නිසා දරුවාගේ මෙම  කුසලතා පිලිබද පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. 

  1. පූර්ව භාෂා කුසලතා වල ගැටළු හඳුනා ගනු ලබන්නේ කෙසේද?

දරුවාගේ කුඩා කාලයේ බොහෝ විට දරුවා සමීපයේ සිටින දරුවාගේ මව යි. මව  හා දරුවා අතර ඇති වන සන්නිවේදනය හා සම්බන්ධතාවයක් සමඟම පූර්ව භාෂා කුසලතා වල ගැටළු හඳුනා ගැනීම පහසු කරයි. උදාහරණ ලෙස, 

  • දරුවා මවගේ මුහුණ දෙස නොබලයි නම් 
  • දරුවා මුහුණ දෙස බලමින් සිනා වීම සිදු නොකරයි නම් 
  • දරුවා ශබ්ද නගන හෝ කතා කරන විට ඇසට ඇස නොබලයි නම් 
  • ශබ්ද නඟන සෙල්ලම් බඩු, ගීත ගායනා වලට දරුවා අවධානය හා ඇහුම්කන් දීම සිදු නොකරයි නම් 
  • දරුවා තම දෙමව්පියන් හෝ සමීපතමයෙක් අනුකරණය සිදු නොකරයි නම් 
  • සෙල්ලම් කරන විට ඊට සම්බන්ධ වීම මග හරි නම්  
  • දරුවා හට තම වාරය පැමිණෙන තුරු රැඳී සිටීමට අපහසු යි නම් 
  • දරුවා සෙල්ලම් කරන විට වාර නොගනී නම්  මේ පිළිබද සැලකිලිමත් වීම වැදගත් වේ. තවද එක් එක් දරුවන් පෙන්නුම් කරන ගැටළු වෙනස් වන බව කිව යුතුම ය. 

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

ආදරයෙන් සහ සෙනෙහසින් ගොඩ නැගෙන දරු පැටියාගේ අනාගතයට සමසහභාගි දෙමාපියත්වයේ වැදගත්කම

බේබි ෂෙරමි අලෙවි කළමනාකාරිනී දනුෂ්කා සිල්වා සමඟ සිදු කළ සාකච්ඡාවක් 

  1. සමසහභාගි දෙමාපියත්වයයන සංකල්පයේ අදහස සහ වර්තමාන සමාජය තුළ එහි වැදගත්කම ඔබ දකින්නේ කුමන ආකාරයකින්ද ?

පවතින සමාජීය හා ආර්ථික රටා හමුවේ දෙමව්පියන් වන ඔබ අප සැවොම ගත කරන්නේ අධික කාර්යබහුල ජීවන රටාවක්. මෙම කාර්ය බහුලත්වය හමුවේ දරු පැටියාට අවශ්‍ය ආදරය, සෙනෙහස සහ ආරක්ෂාව නිසි පරිදි ලැබේද යන්න පිළිබඳ විවිධ ගැටලු මතු වීමට ඉඩ තිබෙනවා. ඒ හේතුවෙන්, විශේෂයෙන්ම මෙවන් කාල වකවානුවක් තුළ ‘සමසහභාගි දෙමාපියත්වයයන සංකල්පයේ වැදගත්කම පිළිබඳ අවබෝධ කර ගැනීම සෑම මවකටම සහ පියෙකුටම අත්‍යවශ්‍ය වනවා.  

 ‘සමසහභාගි දෙමාපියත්වයයනුවෙන් අප අදහස් කරනුයේ දරුවෙකුගේ සංවර්ධන කාර්යය සඳහා මෙන්ම දරුවා රැකබලා ගැනීමේ කාර්යය සඳහා මව සහ පියා යන දෙදෙනාම  ක්‍රියාකාරීව සහභාගී විය යුතුයි කියන එක. දරුවාගේ සංවර්ධනය පිළිබඳ කතා කිරීමේදී දෙමව්පියන් වන ඔබ දන්නවා ඇති, දරුවාගේ පළමු වසර තුන කියන්නේ ඔවුන්ගේ මොළය විශාල වශයෙන් වර්ධනය වන සහ ඔවුන්ගේ ඉදිරි අනාගතය තීරණය වන මානසික සහ ශාරීරික වෙනස්කම් රැසක් සිදුවන කාල වකවානුවක් බව. මේ කාලයේ  පුංචි පැටවුන් හැදෙන වැඩෙන පරිසරය, අහන්න දකින්න ලැබෙන දේ දරුවාගේ චරිතය පෝෂණය කිරීමට ඉවහල් වන නිසා, මෙම  කාල වකවානුව තුළ දරුවාගේ සංවර්ධනයට දෙමව්පියන්ගේ  ක්‍රියාකාරී දායකත්වය ඉතා වැදගත් වනවා.  

වර්තමාන සමාජීය පිළිගැනීම් අනුව බොහෝ දෙනෙකු විශ්වාස කරනුයේ පියා මූලික වශයෙන් දරුවාගේ ආරක්ෂකයා සහ මූල්‍ය සම්පාදකයා බවත්, මව දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් කැපවී සිටිය යුතු බවත්. නමුත්, මෙම මතයන්ට සීමා නොවී ඉන් ඔබ්බට විහිදීමේ වැදගත්කම අවධාරණය කරන සමසහභාගි දෙමාපියත්වයයන සංකල්පයේ අවශ්‍යතාව මෑතකාලීනව ඉහළ යමින් පවතිනවා. මෙහිදී ඔබට සිහියට නැගෙන්න පුළුවන් ප්‍රධාන කාරණාවක් තමයි දෙමව්පියන් අහිමි හෝ මව හෝ පියා සමඟ පමණක් ඇති දැඩි වන අපේ පුංචි පැටවුන් ගැන. පරම්පරා ගණනක විශ්වාසය සුරැකි දේශීය සන්නාමයක් ලෙස එම සියලුම මව්පියවරුන් ඇතුළු භාරකරුවන් අප අගය කරනුයේ සමසහභාගි දෙමාපියත්වයයන සංකල්පය තුළ ඔවුන් මව හා පියා යන චරිත ද්විත්වයේම භූමිකා හා බැඳී පවතින නිසාවෙන්.  

  1. පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත් දේශීය සන්නාමයක් විදිහට සමසහභාගි දෙමාපියත්වයයන සංකල්පය දිරිමත් කිරීමෙහිලා බේබි ෂෙරමිහි කාර්යභාරය කොයි විදිහද?

දශක හයක කාලයක් පුරාවට ශ්‍රී ලාංකේය මව්පියවරුන් අතර විශ්වාසනීය සන්නාමයක්  වූ බේබි ෂෙරමි විසින්, දරු පැටියා රැකබලා ගැනීමේ සහ සංවර්ධනය  කිරීමේ කාර්යය සඳහා මව සහ පියා දෙදෙනාගේම  ක්‍රියාකාරී සහභාගීත්වයේ වැදගත්කම  සමාජයට පෙන්වා දෙමින් සිටිනවා.  මේ අනුව සමසහභාගි දෙමාපියත්වයයන සංකල්පය දේශීයව ප්‍රචලිත කිරීමටත්, එහි වැදගත්කම පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමටත්, ක්ෂේත්‍ර විශේෂඥයින්ගේ මාර්ගෝපදේශනය සහිතව වැඩසටහන් රාශියක් බේබි ෂෙරමි අප ක්‍රියාත්මක කළා. ඉදිරියටත් අපේ දරු පැටවුන්ට ආදරය, සෙනෙහස පිරුණු ලොවක් නිර්මාණය කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට අප කැපවී ක්‍රියා කරනවා.  

  1. සමසහභාගි දෙමාපියත්වයපිළිබඳව කරන ලද සමීක්ෂණ ප්‍රතිඵලයන්ට අනුව, ශ්‍රී ලංකාවේ දෙමව්පියන් මෙම සංකල්පය සඳහා කුමන ආකාරයකින් ප්‍රතිචාර දක්වයිද ?   

බේබි ෂෙරමි, කැන්ටාර් (Kantar) ආයතනය සමඟ එක්ව සිදුකල සමීක්ෂණයකින් හෙළි වුණා ශ්‍රී ලාංකේය දෙමව්පියන් ‘සමසහභාගි දෙමාපියත්වය’ යන සංකල්පය පිළිබඳ ධනාත්මකව සිතන බව. නමුත්, විවිධ සමාජීය න්‍යායන්ට අනුව  බහුතරයක් තවමත් විශ්වාස කරනුයේ පියා නිවසේ මූල්‍ය සම්පාදකයා බවත්මව දරුවන් රැකබලා ගැනීම සිදු කළ යුතු බවත්. 

සමීක්ෂණයේදී අනාවරණය වූ මූලිකම ධනාත්මක කරුණක් ලෙස, එයට සහභාගී වූ දෙමව්පියන්ගෙන්   64%ක් විශ්වාස කරනුයේ පියා ද දරුවාගේ එදිනෙදා කාර්යයන් සඳහා මව මෙන්ම ක්‍රියාකාරීව දායක විය යුතු බව. බහුතරයක් මෙම ක්‍රියාකාරී සහභාගීත්වයේ වැදගත්කම අවබෝධ කර ගත්තත්, සමීක්ෂණයට සහභාගී වූ 33% ක් පමණ පියවරුන් පමණයි දරුවාගේ එදිනෙදා කාර්යයන් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වන බව පවසා තියෙන්නේ.  මේ සියල්ල අභිබවා, දෙමව්පියන් බහුතරයක් විශ්වාස කරන අන්දමට, දරුවා රැකබලා ගනිමින් සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා ක්‍රියාකාරී ලෙස මව සහ පියා යන දෙදෙනාම සහභාගී විය යුතුයි යන වැඩි විශ්වාසය, දේශීයව ‘සමසහභාගි දෙමාපියත්වය’ යන සංකල්පය ප්‍රචලිත කිරීමට මූලාරම්භයක් සපයන බව අපගේ විශ්වාසයයි.  

 

  1. ඔබ සිතන ආකාරයට දරුවාගේ යහපැවැත්ම උදෙසා සමසහභාගි දෙමාපියත්වය යන  සංකල්පය කොතරම් දුරට වැදගත් වනවාද

විද්‍යාත්මකව ගත්තොත් දරුවකුගේ මොලයෙන් 80% ක ප්‍රතිශතයක වර්ධනය සිදු වන මුල් අවුරුදු තුන තුළ දෙමව්පියන්ට විශාල වගකීමක් තියෙනවා දරුවා පිළිබඳව සුවිශේෂී අවධානයක් දැක්වීමට. දරුවාගේ යහපත් හැසිරීමට, භාෂා හැසිරවීමට, කුඩාකල සිටම තමන් පිළිබඳව අවබෝධයක්  ලබාගැනීමට පවා  මව සහ පියා සමඟ ගෙවන කාලය දරුවකුට ඉතා වැදගත්. විශේෂයෙන්ම දෙමව්පියන් අතර පවතින අන්තර්සම්බන්ධතා තුළින් දරුවන් නොයෙක් දේ තම ජීවිතයට එකතු කරගන්නවා.   දරුවාගේ  බුද්ධි වර්ධනය, කාර්ය කුසලතා, භාෂා කුසලතා, ස්වයං දැනුවත්භාවය, දයාව, කරුණාව, සමාජීය කුසලතා ඇතුළු තවත් බොහෝ ජීවන කුසලතා වර්ධනය වීමට සමසහභාගි දෙමාපියත්වය යන සංකල්පය ඉවහල් වනවා. එසේම, තනි මාපිය/භාරකරුගේ ක්‍රියාකාරී සහභාගීත්වය තුළද දරුවා තුළ විශාල සංවර්ධනයක් ඇති වන බව මතක් කල යුතුයි.

 

  1. ඔබ හිතන ආකාරයට සමසහභාගි දෙමාපියත්වය යන සංකල්පයේ අවශ්‍යතාව වර්තමාන දෙමව්පියන් කොතරම් දුරට තේරුම් ගනීද ?

වර්තමාන කාර්යබහුල ජීවන රටා හමුවේ සමසහභාගි දෙමාපියත්වය යන සංකල්පය පුංචි පවුල තුළ ක්‍රියාත්මක කිරීමට යාමේදී  විවිධ දුෂ්කරතා සඳහා මුහුණ දීමට සිදුවෙයි. නමුත් අප සිදු කළ සමීක්ෂණ ප්‍රතිඵලයන්ට අනුව වැඩි වශයෙන් පියවරුන් ඉදිරියේදී මෙම සංකල්පයේ වැදගත්කම තේරුම් ගනීයයි අපට ධනාත්මක බලාපොරොත්තුවක් පවතිනවා.  

  1. තරුණ දෙමව්පියන් වෙනුවෙන් ඔබ ලබා දීමට බලාපොරොත්තු වන පණිවිඩය කුමක්ද

කාර්ය බහුල මවක් විදිහට මමත් හොඳින්ම දන්නවා දරුවාගේ පළමු වසර තුනක කාලය තුළ විවිධ කටයුතු කළමනාකරණය කරගනිමින් දරුවා සමඟ කාලය ගත කිරීම කොතරම් අසීරුද කියලා. නමුත් අප අමතක නොකළ යුතුයි, ඒ ගෙවෙන්නේ  අපේ දරුවාගේ අනාගතයට අඩි තාලමක් සපයන රත්තරන් කාලසීමාවක් කියලා. දරුවාගේ මානසික සංවර්ධනය උදෙසා මෙන්ම ඔහුව හෝ ඇයව රටට වැඩදායී ක්‍රියාශීලි දරුවකු බවට පත් කිරීමට, දෙමව්පියන් වන ඔබ හැකි පමණ සියලු කාර්යයන් බෙදාහදා ගනිමින්  ඔබට ලැබෙන සීමිත කාලය දරුවා සමඟ ඵලදායී ලෙස ගත කිරීමට උත්සහ කරන්න

 

 අදහස සහ මූලික සටහන:

දනුෂ්කා සිල්වා
බේබි ෂෙරමි අලෙවි කළමනාකාරිනී

 

 

 


 

පින්වන්ත දරුවෙක් ඇත්නම්…

අද කාලයේ පුංචි දරුවන් ගැන දෙමව්පියන්ගේ හිතේ ගැටුමක් නැති වුනත් නව යොවුන් වයසේදී දරුවන්ගේ හැසිරීම ගැන නම් ඒ තරම් මනාපයක් නැහැ.පන්සලකට, පල්ලියකට යන්නේ නැහැ. ආගමක් දහමක්..පින් අතේ වැඩකට කිසිම කැමැත්තක් නැහැ. මේ වගේ සිතුවිලිවලින් දෙමව්පියන් නොදැනීම දරුවන් සමග නොමනාපයෙන් පසු වෙනවා.නමුත් පින්වන්ත හෙවත් යහ ගුණ පිරුන දරුවෙක් ගැන ඔබත් සිහින මවනවා නම්…ඔබේ දරුවා මේ විදිහට හැඩ ගසන්න.

ආගමික පරිසරය නිවසේ ඇති කරන්න…

දරුවන් මුල් කර ගත් ආගමික පරිසරය නිවසේදීම ගොඩ නගන්න ඔබට පුලුවනි. කොටින්ම දරුවන්ගේ හිත පන්සලක් කරන්න ඔබට හැකියාව තිබෙනවා.ඒ නිසා ඔබ කුමන ආගමක වුනත් නිවස තුළ ආගමික හැදියාව ගොඩ නගන්න. සෑම ආගමක් තුළින්ම උගන්වන මිනිසෙකු ලෙසින් ජීවත් වීමේ පාඩම ඔබේ දරුවාටත් කියා දෙන්න.

දවස පටන් ගැනීමේදී…සහ දවස අවසානයේදී..

ඔබේ දරුවාගේ දවස ආරම්භයේදී ආගමික වත් පිළිවෙත් අනුව ආශිර්වාදය ලබා ගැනීමට හුරු කරන්න. එය දරුවාගේ ජීවිතයේ එක් අනිවාර්ය අංගයක් බවට පත් කරන්න.දවස අවසානයේදීත් ආගමික වත් පිලිවෙත් පවත්වා ආගම සිහිපත් කර ගෙන නින්දට යැමේ වටිනාකම දරුවාට කියා දෙන්න.මේ අන්දමින් දරුවාගේ හිත තුළ ගොඩ නැගෙන ආගමික සංකල්ප නිසාම ඔබටත් නොදැනීම දරුවාගේ හිත පන්සල් මලුවක් බවට පත් විය හැකියි.

සතුන්ට කරුණාවන්ත වීම

අද සෑම නිවසකම වාගේ සුරතල් සතෙකු ඇති දැඩි කිරීම සාමාන්‍ය රටාවක්. මේ සතුන්ට හිරිහැර කරන දරුවනුත් ඒ අතර සිටින්න පුලුවනි. දරුවන්ගේ හිතට කරුණාව ඇති කිරීමේ සරලම ක්‍රමය සතුන්ට කරුනාව දැක්වීමෙන් පටන් ගන්න පුලුවනි.

ගෙදර සිටින සුරතල් බළලාගේ වලිගයෙන් ඇද රිදවන මානසිකත්වයක් ඇත්නම් එයින් බලල් පැටවාට රිදෙන බැව් දරුවාට කියා දෙන්න. පින් පව් ගැන අවබෝධයක් ලබා දීමේ සරලම පාඩම මෙතැනින් පටන් ගන්න.

සහකම්පනය…

දෙමව්පියන් ලෙස ඔබ දරුවාට සහකම්පනය කියා දෙන්න. අසරණයන්ට පිහිට වීමේ ගුණය..අනුන්ගේ දුකක් ඉදිරියේ සංවේදී වීමට දරුවාට කියා දෙන්න.

අසරණ පුද්ගලයෙකු පැමිණෙන විට ගේට්ටුව වැසීමට..බල්ලන් ලිහන බැව් කීමට දරුවන් යොදා ගැනීම කිසිසේත්ම නොකල යුතුය.අසරණ පුද්ගලයෙකුගේ අසරණබවට ඔබට පිහිට වීමට අපහසු වුනත් අවස්ථාවේ හැටියිට යම් පිහිටක් වෙන්න. අඩුම වශයෙන් ඒ වෙනුවෙන් සංවේදී වීමටවත් කියා දෙන්න.

සොබා දහමට ආදරය කරන්න

දරුවාගේ ලෝකයේ ජීවත්වෙන මව්පියන් , හිත මිතුරන් ,ඤාතීන් සහ සුරතල් සතුන් මෙන්ම සොබා දහමටත් ප්‍රාණයක් ඇති බැවි කියා දෙන්න. ගහකොළ ,මල්වැලට ආදරය කරන අන්දම කියා දෙන්න. පරිසරය පූජණීය බැව් දරුවාගේ හදවත ස්පර්ශ කරමින් කියා දෙන්න.

වෙසක් මාසය හොඳම කාලයයි..

මේ වෙසක් මාසයේදී දරුවාට බොහෝ පාඩම් කියා දීමට අවස්ථාව ලැබී තිබෙනවා. බුදුරජාණන්වහන්සේ බුදුබව ලබා බුද්ධත්වයට පත් බෝධින් වහන්සේට පවා ඇසි පිය නොහෙලා බලා සිටිමින් කෘත ගුණ දැක්වූ ආකාරය ගැන කියා දෙන්න. බෝසත් උපත , බුදුවීම සහ පිරිනිවන් පෑම පරිසරය මුල් කර ගෙන සිදු වුන අන්දම කියා දෙන්න. මේ සියල්ල තුළ බුදුරජාණන්වහන්සේ පරිසරයට දැක්වූ ආදරය ගැන පනිවිඩ දරුවාටත් ලබා දෙන්න.

වෙසක් පිංකම් වලට දරුවන්ගේ සහභාගීත්වය

වෙසක් මාසය මුල් කර ගෙන සිදු කරන ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන් ගැන දරුවාට කියා දෙන්න.ඒ නිසා වෙසක් මුල් කර ගෙන විනෝද සැනකෙලි නොව ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දිමේ වැදගත්කම කියා දෙන්න.

වෙසක් සැරසිලි..

ඔබේ අතීතය සිහිපත් කරන්න. වෙසක් මුල් කර ගෙන විවිධ සැරසිලි කළ ආකාරය සිතට නැගේවි.අද දවසේ ඔබේ දරුවාටත් ඒ අත්දැකීම ලබා දෙන්න.වෙසක් සැරසිලිවලදී ඔබේ සහයෝගය දරුවාට ලබා දෙන්න. මේ නිසා දරුවාගේ නිර්මානශිලිත්වය අවදි වෙන අතරම නිවසේ යම් සාමුහිකත්වයක් ඇති වෙනවා.කොටින්ම වෙසක් පිංකම් මුල් කර ගෙන නිවස තුළ කන්ඩායම් ක්‍රියාවලියක් ගොඩ නැගෙනවා.

ආගමික ස්ථාන වෙත යන්න

දෙමව්පියන් ලෙස ඔබට නිතරම ආගමික ස්ථාන වෙත යෑමට හැකියාවක් නැතැත් අවස්ථාව ලද විටෙකදී දරුවන් සමග ආගමික ස්ථාන වෙත යෑම ඉතා වැදගත්. විශේෂයෙන් පසලොස්වක වැනි පොහොය දිනයන්හිදී දරුවන් සමග ආගමික මධ්‍යස්ථාන වත යෑම නිසා දරුවාට ආගමික ස්ථානයකට යෑම. ඒ තුළ හැසිරීම වැනි පුරුදු ගොඩ නැගෙනු ඇත.

භාවනාව

භාවනාව සිතේ සන්සුන්බව, සැහැල්ලුව සහ සතිමත් බව ඇති කරන ක්‍රියාවලියක් නිසාම අද බටහිර ලෝකයේ පවා භාවනාවට වැදගත් තැනක් ලැබී තිබෙනවා. ඒ නිසා ඔබේ දරුවාට දිනකට සුලු වේලාවක් හෝ භාවනා කිරීමට උනන්දු කරන්න.එතැනින් දරුවා ලබන පුහුනුව මගින් අනාගතයේදී සන්සුන් මානසිකත්වයක් ගොඩ නැගීමට අවශ්‍ය පසුබිම අද දිනයේ පටන්ම නිර්මානය වීමට ඉඩ තිබේ.ඒ නිසාම පාල කාලයේදී පටන්ම දරුවාගේ හිතේ සතිමත් බව පුහුණු කිරීම වෙනුවෙන් සුලු වේලාවක් හෝ භාවනා කිරීමට දරුවා උනන්දු කිරීම ඉතාම වැදගත්.

 

 

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වුණා…. උසස් පෙළ ජීවිතයේ එකම කඩඉම ලෙසින් සලකන්න එපා.

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වුණා.උසස් පෙළ කියන්නේ අපේ රටේ විදිහට නම් ජීවිතයේ කඩඉමක්. නමුත් උසස් පෙළ අසමත් වුන හෝ අපේක්ෂිත ප්‍රතිඵල නොලැබු පමනින් දරුවෙක් ජීවිතයේ අතරමං වන්නේ නැහැ. ඒ නිසා ජිවිතය කඩා වැටෙනවා වගේ පසුතැවිලි විමත් අවශ්‍ය නැහැ.ඒ නිසා උසස් පෙළ ජීවිතයේ එකම කඩඉම ලෙසින් සලකන්න එපා.

නමුත් අපි හිතන විදිහට දරුවන් හිතන්නේ නැහැ.

උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙන කාලය දරුවෙකුගේ ජීවිතයේ කුනාටු කාලයක් කිව්වොත් නිවරැදියි. ඔවුන්ගේ හිතේ ආවේග බොහොමයි. සමාජයේ කැපී පෙනේන උවමනාවෙන් පසු වෙනවා.ඒ නිසාම දරුවන්ට උසස් පෙළ ප්‍රතිඵල නිසා ඇති වෙන පීඩනය දරා ගැනීමත් අපහසු වෙන්න පුලුවනි.

නව යොවුන් දරුවන්ගේ හුදෙකලා බව

අද නව යොවුන් වයසේ පසුවෙන දරුවන් බොහොම හුදෙකලා ජීවිතයක් ගෙවනවා.. ඔවුන් ගනුදෙනු කරන්නේ ජංගම දුරකථනය සමග පමණයි. විටෙක අම්මලා වුනත් මේ විදිහට කියනවා ඔබ අසා ඇති. ආවා..කැවා…කාමරයට ගියා..එතැනින් එහාට ගෙදරත් එක්ක කිසිම ගනුදෙණුවක් නැහැ.

වරදින තැනත් එතැනයි..

දරුවෙකුගේ ලෝකය දෙමව්පියන්ට විවෘත විය යුතුයි. විශේෂයෙන් නව යොවුන් වයසේ පසුවෙන දරුවෙක් දෙමව්පියන් සහ පවුලේ උදවිය සමග සමීප සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.එවැනි සම්බන්ධතාවයක් ඇති විටෙක තමන්ගේ හිතේ ඇති සතුට වගේම දුක්ඛ දෝමනස්සයන් පවුලේ අය සමග බෙදා හදා ගැනීමට පුලුවනි.

නව යොවුන් වුනත් ප්‍රශ්න ඉදිරියේ ඔවුන් අසරණයි..

කර දඬු උස් මහත් වුනත් උඹලා අපට තවම දරුවෝ…මනෝ විද්‍යාව නොදත් අපේ වැඩිහිටියන් එදා දරුවන්ට දැනමුතුකම් දුන්නේ ඒ විදිහටයි. ඇත්තටම ප්‍රශ්න ඉදිරියේදී නව යොවුන් දරුවන් බොහොම අසරණයි.ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරියේ වැඩිහිටියන්ගේ උදව් අවශ්‍ය වෙනවා. ඒ ශක්තිය වැඩිහිටියන් විසින් ලබා දීම ඉතාම වැදගත්.

වැඩිහිටියන්ද බුද්ධිමත් වීම..

දරුවන්ගේ ප්‍රතිඵල ඉදිරියේ වැඩිහිටියන්ද කම්පාවට පත් වෙන අවස්ථාවන් තිබෙනවා. ඇතැම් දෙමව්පියන් දරුවන්ට වඩා කඩා වැටෙනවා. අල්ලපු ගෙදර දරුවා..නංගි ගේ මල්ලිගේ දරුවාගේ ප්‍රතිඵල මෙතැනට අදාල නැහැ. සමහර විට දරුවාට තමන්ගේ ප්‍රතිඵල නිසා ඇති වුන පිඩනය දරා ගැනීමට පුලුවන් වුනත් දෙමව්පියන්ගේ කඩා වැටීම දරා ගැනීමට අපහසු වෙන්න පුලුවනි. ඒ නිසාම දරුවා තවත් කම්පාවට පත් වෙන අවස්ථාවන් ගැන ඔබටත් අත්දැකිම් ඇති.

ඉතින් දරුවා අස්වසන්නේ කොහොමද..?

වැඩිහිටියෙක් ලෙස ඔබ දරුවාගේ ප්‍රතිඵල ගැන ඔහුගේ හිත නැවත ශක්තිමත් කිරීම වැදගත්. ලැබුන ප්‍රතිඵල ගැන කම්පා නොවී තවත් අවස්ථාවක් ඇත්නම් ඒ වෙනුවෙන් සූදානම් වීමට අවවාද කරන්න. ඒ අවස්ථාව පෙරට වඩා සැලසුමකින් ගොඩ නගා ගත හැකි බැව් කියා දෙන්න.

ඒ වගේම අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන්නත් බලපාන යම් හේතු ඇති නිසා ඒවා හදුනා ගන්න. මෙම අවස්ථාවේදී වැරදුන තැන් නිවරැදි කර ගෙන ඉදිරියට යෑමට තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැකි බවත් දරුවාට කියා දෙන්න.

මේ දරුවා විභාගයට ඉදිරිපත් වුන අවසාන අවස්ථාව නම්..ඔවුන්ගේ විශ්ව විද්‍යාල සිහිනය හෝ වෛද්‍ය, ඉංජිනේරු සිහිනය බිද වැටුනා නම් ඒ ගැන පසුතැවිලි නොවී වැටුන තැනින් නැගිටීමට අවශ්‍ය ධෛර්ය ලබා දෙන්න.

ඉලක්කය බිද වැටුන බැව් ඇත්ත..

මෙතෙක් දරුවා උසස් පෙළ මුල් කර ගෙන යම් ඉලක්කයක් ගොඩ නගා ගෙන තිබුනා නම් ඔවුන් ලද ප්‍රතිඵල ඉදිරියේදීම ඒ සිහිනය බිද වැටුනා නම් දැන් අලුත් ඉලක්කයක් ගොඩ නගා ගැනීමට අවශය චිත්ත ශක්තිය ගොඩ නගන්න.ඒ වෙනුවෙන් ඇති විකල්ප අවස්තාවන් විමසා බලන්න.දැන් ඒ වෙනුවෙන් ගවේශන මාර්ග බොහොමයක් තිබෙන නිසා වැටුන තැනින් නැවත ගොඩ එන ධෛර්ය ඇති කරන්න.

ෆීනික්ස් කුරුල්ලෙක් වෙන්න කියා දෙන්න

ෆීනික්ස් කුරුල්ලා අලු මතින් නැවත නැගිටින්නා සේ දරුවාටත් නැවත නැගිටින පන්නරය ලබා දෙන්න. ජීවිතය හැමදාමක් වරදින්නේ නැති බවත් වැරදුන තැන් ඇති බොහෝ පුද්ගලයන් නැවත නැගී සිටියේ වැරදුන තැනින් බැව් කියා දෙන්න. මේ වෙනුවෙන්  අලි බබා වෙළඳ ජාලයේ ”ජැක් මා ” ගේ චරිතාපදානය මේ වෙනුවෙන් හොදම උදාහරණයයි. ඔහු රැකියාවන් තිහකට ඉල්ලුම් කළත් ඒ සියල්ලලෙන්ම ඔහු ප්‍රතික්ෂෙප විය. වෙන දෙයක් තබා චීනයේ KFC ආයතනය ආරම්භ කරන විට ඒ වෙනුවෙන් විසි හතර දෙනෙක් ඉල්ලුම්පත් යොමු කර තිබුනි. කළමනාකාරිත්වය විසින් විසි තුන්දෙනෙකු තෝරා ගත් අතර එයින් ප්‍රතික්ෂෙප වුන එකම පුද්ගලයා ”ජැක් මා “පමණි. නමුත් ඔහු එතැනින් වැටුනේ නැත. යම් ලෙසකින් ඔහු එතැනින් පරාජිත මානසිකත්වයක් ගොඩ නගා ගත්තා නම් අද ජැක් මා නමින් බිලියනපතියෙක් නිර්මානය වන්නේ නැත.

නව යොවුන් සිත බොහොම ඉක්මනින් වෙනස් වෙනවා.

ප්‍රතිඵල සමග දරුවන්ගේ දරා ගැනීමේ හැකියාවන් එකිනෙකාට වෙනස් නිසා ඔවුන් ගැන අවධානයෙන් සිටින්න.බොහෝ දරුවන් විසින් තමන්ගේ අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුන විට ජීවිතය පවා එපා වෙන අන්දමින් පරාජිත බවට පත් වේ.පරාජිත මානසිකත්වය දරුවෙකුගේ ජීවිතයට එතරම් ගැලපෙන්නක් නොවේ. ඒ නිසා මේ කාලසීමාවේදී ඔවුන්ගේ හිතට සතුටක් ලබා දෙන කටයුතු වෙත යොමු කරන්න. අවශ්‍යතාවයන් ගැන විමසන්න.අනාගත ඉලක්ක සමග ඉදිරියට යෑමේ පන්නරය ලබා දෙන්න.එසේ නොමැතිව අනේ වෙච්ච දෙයක් යැයි තව තවත් දරුවා තුළ පරාජිත මානසිකත්වය ගොඩ නැගීම කිසි සේත්ම සුදුසු නැත.

ප්‍රතිඵල සමග ගනුදෙණුව බොහාම අසීරුයි..

ප්‍රතිඵ සමග ගනුදෙණු කිරීම පහසු නැහැ. සමාජාජාල නිසා දැන් සුබපැතුම් නිතරම හුවමාරු වෙනවා. සාර්ථකත්වයට පත් දරුවන් එයින් සතුටට පත් වෙන බව සැබෑය. අපිත් ඒ දරුවන්ට සුබ පතමු. මේ අතරම තම මිතුරු හවුලේ අපේක්ෂිත ඉලක්කයට පත් නොවුන මිතුරන්ගේ සිත් සුවපත් කිරීමටත් හැකි අන්දමින් ගනුදෙනු කිරීමටත් ඔබට පුලුවනි. එක් අවස්ථාවකදී උසස් පෙළ අසමත් වුනත් අද වෙන විට මහ කළමනාකරුවෙකු ලෙසින් කටයුතු කරන චරිතාපදානයක් ගැන තොරතුරු සමාජාලා ඔස්සේ හුවමාරු විය. කාර්මික විද්‍යාල අධ්‍යාපනයෙන් රැකියාව ලබා එතැන් පටන් ඉදිරියට ගිය ඒ චරිතාපදානය උසස් පෙළ අසමත් දරුවන්ට මනා වූ ශක්තියක් විය.එවැනි අත්දැකීම් හුවමාරු වුන විට ”උසස් පෙළ නැත්නම් ජීවිතයක් නැත..” යන මානසිකත්වයෙන් මිදී දරුවාට තමාගේ අනාගත ස්ථාවරත්වය ගොඩ නගා ගැනීමට මනා වූ ශක්තියක් ලැබෙනු ඇත.

 

 

හෙපටයිටිස් A ගැන ඔබ දන්නේ ‍මොනවද ?

හෙපටයිටීස් A යනු වෛරස ආසාදන තත්ත්වයකි. බෝවන අක්මා ප්‍රදාහය එසේත් නැතිනම් සෙංගමාලය යනු වෛරස හේතුවෙන් අක්මාවේ ඇති වන ආසාදන තත්ත්වයකි. හෙපටයිටීස් A වෛරසය ාාවරස අක්මා ප්‍රදාහය ඇති කරන සුලබ හේතුකාරයයි. මේ තත්ත්වය හෙපටයිටිස්  A එන්නත මගින් මෙන්ම නිසි සෞඛ්‍ය පුරුදු අනුව ජීවත් වීම මගින්ද මගහරවා ගත හැකියි.

හෙපටයිටීස් A වෛරසය මිනිස් මළවල පැවතිය හැකි අතරම වෛරසය මූලිකව පැතිරෙන්නේ ඍජුවම ආසාධිත පුද්ගලයෙකුගේ මළ මගින් හෝ මළවලින් අපවිත්‍ර වූ ජලය හෝ ආහාර නිරෝගී පුද්ගලයෙකු  ගැනීමෙනි. මෙම රෝගය වැළදීමෙන් පසුව ඔවුන් ජීවිත කාලය පුරාම ලබාගන්නා ප‍්‍රතිශක්තියත් සමග සුව වේ. මෙම රෝගය නිසා බොහෝ පුද්ගලයන්ට සුළු රෝග ලක්‍ෂණ ඇතිවන අතර රෝගය සති කිහිපයක් පමණ පවති. කලාතුරකින් ඇතැමෙකුට දරුණු ලෙස රෝග ලක්‍ෂණ ඇති විය හැකි අතර එය මාස කිහිපයක් පැවතිය හැක. මෙහිදී ඇති වන සංකූලතාවයන් ලෙස අක්මාව අක්‍රීය විමේ තත්ත්වය කලාතුරකින් දැකිය හැකිය. හෙපටයිටීස් A තතත්ත්ය සාමාන්‍යයෙන් බරපතල රෝග තත්ත්වයක් නොවන අතර එය වළක්වා ගැනීම සඳහා උනන්දු විය යුතුය.

හෙපටයිටීස්  A රෝගයේ ලක්‍ෂණ

යම් පුද්ගලයෙකුට මෙම රෝග තත්ත්ව පවතී නම් මෙම වෛරසය මගින් අක්මාවේ ප‍්‍රදාහමය තත්ත්වයක් ඇති කරයි. සමහර පුද්ගලයන් විශේෂයෙන් ළමුන් ලක්‍ෂණ නොපෙන්විය හැකිය. අනෙක් පුද්ගලයන්ට ඇතිවන ලක්‍ෂණ ලෙස,

  • ඇස් හා සම කහ පැහැවීම (කාමලාව)
  • උදර වේදනාව 
  • මුත‍්‍රා තද පැහැ වීම 
  • කෑම අරුචිය  
  • උදර අපහසුව 
  • වමනය 
  • කැසීම 
  • මළ සුදු ලා () පැහැ වීම 
  • සන්ධි වේදනාව 
  • උණ 
  • පාචනය 
  • තෙහෙට්ටුව 

මෙම ගැටලු ඉවත් වීමට බොහෝ විට මාස දෙකක පමණ කාලයක් ගත විය හැක. නමුත් සමහරවිට එය මාස 6 ක් දක්වාද විය හැක. රෝග ලක්‍ෂණ පෙන්වීමට සති දෙකකට පෙර සිට ඔබෙන් රෝගය තවත් අයෙකුට බෝවිය හැක.  මේ නිසා වැලදුන පුද්ගලයා රෝග ලක්ෂන රහිතව සිටියදී වුවද ඔහුගෙන් රෝගය බෝවිය හැක. 

හෙපටයිටීස්  A රෝගය බෝ වන ආකාරය

හෙපටයිටීස් A රෝගය මූලික වශයෙන් තවත් අයෙුට බෝවීම සිදු වන්නේ රෝගය සෑදුනු පුද්ගලයෙකුගේ මළ මගිනි.  මේ සඳහා පහත අවස්ථා හේතු විය හැකිය. 

  • ආසාධිත පුද්ගලයෙකු විසින් පිළියෙල කළ ආහාර පරිභෝජනයට ගැනීම
  • මළවලින් දූෂිත ජලය/අයිස් පරිභෝජනයට ගැනීම
  • වෛරසයෙන් දූෂිත  වූ අතකින් මුඛය ඇල්ලීමෙන්
  • ආසාදිත පුද්ගලයෙකු සමග ලිංගික ඇසුරේ යෙදීම (විශේෂයෙන් පිරිමි සමලිංගික සේවනය)
  • වෛරසය තැවරී ඇති ඉඳිකටුවකින් මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම
  • ඊට අමතරව වෛරසය ජීවත් වන ජලයේ සිටින බෙල්ලන් අමුවෙන් ආහාරයට ගැනීම මගින්ද රෝගය ඇති විය හැකිය.

හෙපටයිටීස්  A රෝගය ඇති වීමට බලපෑ හැකි අධි අවධානම් තත්ත්ව

  • ආසාධිත පුද්ගලයෙකු සමග සමීප ඇසුරක් තිබීම
  • හෙටයිටීස්  A  පවතින රටකට සංචරණය කිරීමෙන්
  • නිවාස නොමැති පුද්ගලයන්
  • මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්
  • නිතර රුධිර පාරවිලයනය ලබාගන්නා පුද්ගලයන් 
  • පුරුෂ සමලිංගික සේවනය
  • ළමා සුරැකුම් මධ්‍යස්ථාන වල දරුවන්ට

හෙටයිටීස්  A රෝග විනිශ්චයේදී

  • රෝග ලක්‍ෂණ පිළිබඳව විමසීම
  • රුධිරයේ අක්මාවේ එන්සයිම සාන්‍ද්‍රණය වැඩි වී (High levels of liver enzymes) ඇත්දැයි පරීක්ෂා කිරීම සිදුකෙරේ

හෙපටයිටීස් A රෝගී තත්ත්වය නිෂ්චිත කරගැනීමට සිදුකරන විශේෂ පරීක්ෂණ

  1. IgM (Immunoglobulin M) ප‍්‍රතිදේහ පරීක්ෂාව

අලුතෙන් රෝගය වැළඳුණු පුද්ගලයන්ගේ ශරීරයේ නිපදවෙන මෙම ප‍්‍රතිදේහ රුධිරයේ මාස 3 –  6 ක කාලයක් පවතී.

2. IgG (Immunoglobulin G antibodies) ප‍්‍රතිදේහ

යම් අවස්ථාවක රෝගයට නිරාවරණය වූ පුද්ගලයන්ගේ හා හෙපටයිටීස් A එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ රුධිරයේ IgM ප්‍රතිදේහ නිරීක්ෂණය කළ හැක. මෙමගින් හෙපටයිටීස් A රෝගය සෑදිමෙන් ආරක්ෂා කරයි. මෙම ප්‍රතිදේහ වර්ගය බොහෝවිට ජීවිත කාලයක් පවතී.  

හෙපටයිටීස්  A රෝගය සඳහා ප‍්‍රතිකාර

මේ සඳහා ඖෂධ නොමැති අතර රෝග ලක්‍ෂණවලට ප‍්‍රතිකාර සිදුකරයි. මීට අමතරව පහත ආකාරයට ජීවන රටාව යම් වෙනසකට ලක් කළ යුතු වේ

  • විවේක ගැනීම – සාමාන්‍ය තෙහෙට්ටුව, රෝගී බව සහ ශක්තිය හීනවී ඇති බව දැනීම නිසා
  • ආහාර ගැනීම සාමාන්‍ය ලෙස තබාගැනීම – ඔක්කාරය පැවතීම නිසා ආහාර ගැනීමට අපහසු වේ. සම්පූර්ණ ආහාර වේලක් ගැනීමට වඩා දිවා කාලයේදී කෙටි ආහාර ලබා ගත හැක. ආහාර මෙන්ම දියර වර්ග ද ගත යුතුය. 
  • මධ්‍යසාර භාවිතය නතර කිරීම – වෛරසය ශරීරගත වී ඇති විට අක්මාව රෝගී වී ඇත. මේ නිසා ඇල්කොහොල් ඉතා අහිතකරය
  • යහපත් සනීපාරක්‍ෂක ක‍්‍රම පවත්වා ගැනීම (අත් සේදීම)
  • සැහැල්ලු, කුඩා ආහාර වේල් ගැනීම.
  • ලිංගික කටයුතු වලින් තාවකාලිකව වැළකී සිටීම. 

හෙපටයිටීස්  A රෝගය නිසා ඇති විය හැකි සංකූලතා

හදිසියේම අක්මාවේ ක‍්‍රියාකාරීත්වය නොමැති වී යා හැකි අතරම කලාතුරකින් අක්මා බද්ධ කිරීමට පවා සිදු විය හැකිය. 

 

හෙපටයිටීස්  A රෝගය වළක්වා ගැනීම

  1. හෙපටයිටීස්  A එන්නත ලබාගැනීම

එන්නත මාත්‍රා දෙකක් ලෙස ලබාදේ. පළමු මාත‍්‍රාව ගෙන සති 6 කට පසු දෙවන මාත‍්‍රාව ලබාගත යුතුය. මෙය විශේෂයෙන් රෝගය වැළඳීම වැඩි අවධානම් ැති පුද්ගලයන්ට, අක්මාව ආශ්‍රිත රෝග ඇති පුද්ගලයන්ට සහ ආහාර සකසන්නන්ට නිර්දේශ කෙරේ. 

2. හෙපටයිටීස්  A රෝගය පැතිරෙමින් පවතින ලෝකයේ වෙනත් රටකට ගමන් කිරීමේදී රෝගය බෝවීම වළක්වා ගැනීමට පහත පියවරවල් වෙත යොමු වීම ඉතා වැදගත් වේ. 

3. සංචාරයට පෙර හෙපටයිටීස් A එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා ගැනීම

  • තමා විසින්ම අලුත් පලතුරු, එළවළු පිරිසිදු කර ආහාරයටගැනීම 
  • අමු සහ නොපිසින ලද බෙල්ලන් ආහාරයට නොගැනීම.
  • සැමවිටම නටන තෙක් උණු කර නිවාගත් ජලය හෝ බෝතල් කළ පානීය ජලය භාවිතය
  • පිටතින් ආහාර පාන ලබාගැනීමට අවශ්‍ය නම් ආහාරවල සුරක්ෂිත බව තහවුරු කළ ස්ථානවලින් පමණක් ආහාර ලබා ගැනීම

 

කොළඹ වෛද්‍ය පීඨයේ ක්ෂදුජීවී හා ප්‍රතිශක්ති විද්‍යා අංශයේ කථිකාචාර්ය වෛද්‍ය ඉෂාරා ප්‍රේමතිලක

මහත්මිය සමග සැකසූ ලිපියකි


 

ශ්‍රී ලංකාව තුළ ක්ෂය රෝගය පවතින්නේ කෙබඳු තත්ත්වයකද?

අපේ රට තුළ ක්ෂය රෝග තත්ත්වය පැතිර යන්නේ කුමන මට්ටමකින්ද කියන්න ඔබටත් මටත් දැනුමක් නැහැ. අන්න ඒ නිසාම ඒ ගැන කතා කිරීම බොහොම වැදගත්. ශ්රී් ලංකාව තුළ ක්ෂය රෝග තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින පිරිස වගේම මේ තත්ත්වයට වෙනුවෙන් රෝහල් හා සායන මගින් සිදුකෙරෙන සේවාවන් ගැන අපි කතා කළා.

වෛද්‍ය R.J.M. අමාලි ජේ. සේනානායක සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවර්ධන ඒකකය ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන නාරාහේන්පිට

ඇඳුම තියෙන දරුවන්ට ඉන්හේලර් ලබාදීම සුදුසුද?

ඇදුම, හතිය, වීසින් එහෙමත් නැතිනම් ඇස්මා ලෙසත් හඳුන්වන මේ රෝග තත්ත්වය නිසා පුංචි දරුවෝ බොහොම පීඩාවට පත් වෙනවා. වෛද්යෙවරු මේ සඳහා ඉන්හේලර් ප්‍රතිකාර ක්‍රමය නිර්දේශ කරනවා. මේ ගැන ඇතැම් මව්පියන් දක්වන්නේ බියක්. එය බිය විය යුතු ප්‍රතිකාර ක්‍රමයක්ද යන්න පිළිබඳව අපි දැනුවත් වෙමු.

ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා රිජ්වේ ආර්යා ළමා රෝහල, බොරැල්ල

BCG එන්නත ලබා දුන් ස්ථානයේ කැලලක් හට නොගත්තොත් මොකද කරන්නේ?

BCG එන්නත සාමාන්යැයෙන් දරුවෙකු බිහිවී රෝහලෙන් පිටවීමට පෙර ලබාදෙනවා. මේ සම්බන්ධයෙන් මව්පියන්ට බොහොම ගැටලු තියෙනවා. එන්නත ලබා දුන් ස්ථානයේ කැලල නැති වීම, එන්නත ලබා දුන් පසු දරුවා අපහසුවෙන් පසු වීම වැනි තත්ත්වයන් මව්පියන් කලබලයට පත් කරනවා. අපි මේ ගැන දැනුවත් වෙමු.

ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා රිජ්වේ ආර්යා ළමා රෝහල, බොරැල්ල

ක්ෂය රෝගය ගැබිනි මවකට වැළදුණොත් මොකද වෙන්නේ?

ගැබිනි කාන්තාවක් එහෙමත් නැත්නම් ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවක් වගේම කිරි දෙන මවක් රෝග තත්ත්ව ආරක්ෂා වීම බොහොම වැදගත්. මොකද එයාලා තවත් ජීවිතයක් සමග සම්පූර්ණයෙන්ම වගේ බැඳී පවතින නිසා. අම්මාගේ කුසේ ඉන්න දරු පැටියට හෝ කිරි බොන පුංචි පැටියට අම්මා ක්ෂය රෝගී තත්ත්වයට ගොදුරු වීම බලපාන්නේ කොයි විදියටද?

වෛද්‍ය R.J.M. අමාලි ජේ. සේනානායක සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවර්ධන ඒකකය ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන නාරාහේන්පිට