ලෝක ළමා දිනය බිහිවුණේ මෙන්න මෙහෙමලු

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය ඔක්තෝබර් මාසයේ පළමු වැනි දිනට යෙදී තිබෙනවා. අද දරුවා හෙට ලෝකයේ නායකයා බවට පත් වෙන නිසාම දරුවා සුවිශේෂී බව අවිවාදයෙන්ම පිලිගන්නවා.

දරුවා ගැන දාර්ශනික අදහස් :


ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් කියා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි.දරුවාගේ මනස සුදු පැහැති කඩදාසියක් වැනියි. මුල් කාලයේදී එය ඉතා පිරිසිදුයි. මෙහි මුල්ම සටහන තබන්නේ මව , පියා සහ සහෝදර සහෝදරියන් විසින්ය.රුසියාවේ ‍නායක ලෙනින් කියා සිටියේ දරුවන්ට දිය යුත්තේ හොදම දෙය බවයි. චීනයේ මාවෝ සේතුං කියා සිටින්නේ ලෝකයේ උත්තම චරිතය දරුවා බවයි.

ලෝක ළමා දිනය ආරම්භ වුනේ කොහොමද…..?

1954 වසරේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 13 ක් අත්සන් කළ අතර මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියා. මේ සඳහා නොවැම්බර් 20 වැනි දින තෝරා ගත් අතර තම රටවල් වෙනුවෙන් ගැලපෙන දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දෙන ලදී.හැම රටකම ඔක්තෝබර් පළමුවැනි දිනයම තෝරා ගන්නේ නැහැ.

රොමේනියාවේ ජාත්‍යන්තර ළමා දිනය සමරන්නේ ජූනි මාසයේ පළමු වැනි දිනටයි. එදිනට  මෙම රටේ දරුවන්ට නොමිලයේ සත්වෝද්‍යානයට ඇතුලු වී විනෝද වෙන්න පුලුවන්. ආර්ජන්ටිනාව අගෝස්තු මාසයේ දෙවැනි ඉරිදා දිනය ළමා දිනය සමරන්න යොදා ගෙන තිබෙනවා.බ්‍රසිලය ඔක්තෝබර් 12 වැනි දිනත් කැමරන් රාජ්‍යය සහ කොංගෝ රාජ්‍යය දෙසැම්බර් 25 වැනි දින ළමා දිනය සමරනු ලබනවා. ඉන්දියාව මේ සඳහා තෝරා ගන්නේ ජවහල්ලාල් නේරු තුමාගේ ජන්ම දිනය යෙදී තිබෙන නොවැම්බර් 20 වැනි දිනයි. පකිස්ථානයත් මේ දිනයම තෝරා ගත් අතර ඊශ්‍රායලය ඔක්තෝබර් 19 වැනි දින ළමයින් වෙනුවෙන් තෝරා ගත්තා.

ළමා දිනය වැදගත් ඇයි ?….

දරුවා යනු සුවිශේෂී චරිතයක් නිසාත් ඔවුන් මුල් කර ගෙන වර්තමානයේ ලබා දෙන ආදරය, රැකවරනය අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීමට වැදගත්  වෙනවා.  ඒ නිසාම ළමා දිනය මුල් කර ගෙන අපි දරුවා ගැන බොහෝ දේ කතා බහ කරමින් කතිකාවත් ගොඩ නගනවා. මේ කතිකාවත තුලින් අපි දරුවාට විය යුතු ආරක්ෂාව සහ රැකවරනයේ පසුබිම තේරුම් ගන්නවා.

දරුවා මුල් කර ගත් සමාජ කතිකාවත ගොඩ නැගිය යුත්තේ ඇයි….?

දරුවා යනු සමාජ ජීවියෙක්. ඔහු හෝ ඇය තව වසර කීපයකින් සමාජයේ වගකීම ලබා ගත් චිතයක්. එබැවින් ඔවුන් මුල් කර ගෙන ගොඩ නැගිය යුතු පෞරෂ ලක්ෂණ කීපයක් තිබෙනවා. දරුවා ස්වාධීන විය යුතුයි. තීරණ ගැනීමේ හැකියාව වගේම අන්‍ය අදහස් ගරු කරන ඒ වෙනුවෙන් සවන් දෙන තැනැත්තෙක් වීම අවශ්‍යයි. යුතුකම් ඉටු කිරීමට වගේම සමාජ නීති රීති සහ ආචාර ධර්මයන් තුළ හැසිරෙන අන්දම තේරුම් දීම අවශ්‍යයි.

ළමා පරපුර සහ වැඩිහිටි පරපුර අතර ඇති හිදැස ගොඩ නැගෙන්නේ ඇයි ?….

  • පරම්පරා අතර ඇති ගැටුම
    අද බොහෝ වැඩිහිටියන්ට තමන්ගේ දරුවන්ටත් වඩා මුනුපුරන් නිසා ඇති වෙන ගැහැට දරා ගැනීමටත් අපහසුයි. එදා දරුවන් සමග මව්පියන් එක නිවසක් තුළ කාලය ගත කළා. අදහස් උදහස් අතර පැහැදිලි වෙනස්කම් ඇති වුනේ නැහැ. අද තත්වය ඊට වෙනස්. මේවා වැඩිහිටියන්ට නොගැලපීම නිසා ඇති වෙන ගැටුම බොහෝ දුර යා හැකියි. මේ නිසා වැඩිහිටියන් නිරන්තරව තම දෙවැනි පරම්පරාව දෙස නොරිස්සුම් සහගතව සිතීම නොදැනම ගැටුමක් ගැටුමක් වෙනුවෙන් මුල පුරනවා. ඔවුන් කියන්නේ අත්තම්මා , සීයා යනු කෝපි කාලයේ චරිත බවයි.
  • වැඩිහිටියා අවලංගු කාසියක් වීම
    එදා පවුල මුල් කරගෙන දැවැන්ත වගකීම් සම්භාරයක් අද ජීවිතයේ සැදෑ සමය ගෙවන වැඩිහිටියන් සතු විය. එදා ඔවුන් ඉතා යහපත් පරිදි ගත් තීන්දු තිරණ නිසා අත දරුවන්ගේ ජීවිතය බෙහෙවින් ආලෝකමත් වී ඇත. ජීවිතය තුලින් ඔවුන් උපයා ගත් දේ බොහෝය. එම අත්දැකීම් පාදක කර ගෙන දරුවන්ගේ ජීවිතයට මග පෙන්වීම ලබා දිය හැකිය. එහෙත් අද ඔවුන් අවලංගු කාසියක් බවට පත්ව ඇත. ඔවුන්ගේ අදහස් පිලිබඳව කිසිදු ඇගයීමක් නැත. දරුවන් විසින් තමාට ලබා දෙන ‍නොවැදගත්කම නිසා අනේ මටත් ගිය කලක් යනුවෙන් වූ කම්පනය වැඩිහිටියන්ට දැනෙනු ඇත.
  • පුංචි පවුල රත්තරන්
    පවුලක් කී විට එදා දරුවන් හය හත් දෙනෙක් සිටියා. මේ නිසා දරුවන්ගෙන් කවරෙක් හෝ මව්පියන් ආරක්ෂා කළ අතර ඔවුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කළා. අද පවුලක සිටින්නේ දරුවෙක් හෝ දෙදෙනෙක් පමනි. අද ඔවුන් ගම හැර නගරයට සංක්‍රමනය කිරීමත් සමග දෙමව්පියන් මහගෙදර තනි වෙනු ඇත. ඔවුන් රැකබලා ගැනීමට කිසිවෙක් නොවන නිසා අද වැඩිහිටියන්ගේ සමාජගත ගැටලු බෙහෙවින් උග්‍ර තත්වයට පත්ව ඇත.
  • දෙමව්පියන් නඩත්තුව බරක් වීම
    දරුවන්ට බාල කාලයේදි ඔවුන්ට අවශ්‍ය ආහාරපාන, ඇදුම් පැළඳුම් ලබා දීමට මව්පියන් උපරිමයෙන් උත්සහ දරනු ඇත. ආර්ථික ප්‍රශ්න ඉදිරියේ පවා දරුවන්ගේ බත්පත වැරදුවේ නැත. ඒත් අද දරුවන් විසින් මව්පියන්ගේ ආහාරපාන ගැන නොව වෙහෙසෙන්නේ තමාගේ දරුවන් වෙනුවෙන් වූ ආහාරපාන ගැනමය. දරුවන්ට ගැලපෙන දෙය මිස වැඩිහිටියන්ට ගැලපෙන දෙයක් ගැන සිතීමක් මෙන්ම තැකීමක් නැත. මේ නිසා තමන්ගේම දරුවන් වෙතින් අවතැන් වෙන මව්පියන්ගේ ශෝචනීය ඉරණම ගැන සිතන්නට කාලය එළැඹ ඇත. පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීම වැඩිහිටියන් මහත් සේ කැපවීමකින් කරන කටයුත්තක් වේ. ඒ නිසා දරුවන්ද පෙරලා ඔවුන් වෙනුවෙන් හදවතින් බැඳීමක් ගොඩ නගා ගැනීම ඉතා වැදගත්.මෙම අන්තර් සම්බන්ධතාවය නිසි පරිදි සිද්ධ වන්නේ නම් දරුවා සහ වැඩිහිටියන් යන සංකල්ප එකම කාසියක දෙපැත්ත සේ ජීවිතයට සම්බන්ධ පුද්ගලයන් බවට නොදැනීම පත් වෙනු ඇත.

දරුවාගේ කථන හැකියා වර්ධනයට මව්පියන්ට සරල ක්‍රම 9ක්

අද වන විට වෙනවාදාට වඩා වැඩි දරුවන් පිරිසක් කතාව සම්බන්ධව යම් යම් පසුබෑම් පෙන්නුම් කරයි. මේ තත්ත්වයට මූලිකව බලපාන හේතුවක් ලෙස පවුලේ සාමාජියකයන්ගෙන් දරුවාට ලැඛෙන සක්‍රීය දායකත්වය අවම වීම දැක්විය හැකියි. කාර්යබහුල ජීවන රටාව සමග දරුවන් සමග ගතකිරීමට දෙමාපියන්ට ලැඛෙන කාලය අවම වී ගොස් ඇති අතරම ඒ තත්ත්වය වක්‍රාකාරව දරුවන් කෙරේ බලපෑම් ඇති කරන්නේ මෙවැනි ගැටලූකාරී තත්ත්වයන් මතු කරමිනි. දරුවා ඉතා උද්යෝගයෙන් ක්‍රියාශීලීව ගත කරන අවස්ථාවන්වලදී අඩුම තරමේ පැයක පමණ කාලයක්වත් දරුවා සමග ඒ අවස්ථාවට එක්වන්න මව්පියන් වන ඔබ සැලකිලිමත් විය යුතුයි. දරුවෙකු තම භාෂාව ඉගෙනීම අරඹන්නේ මව්කුස තුළ සිටින කාලයේ සිට වන අතරම මොලොවට බිහිවීමත් සමග මොහොතින් මොහොත ඒ දැනුම වැඩිදියුණු කරගනී. තම වටපිටාව තුළින් දරුවන් යම් යම් දේ තමා වෙත ග්‍රහණය කරගන්නා ආකාරය පුදුමය දනවන සුලූය. කතාව හා සම්බන්ධයෙන්ද මේ තත්ත්වය මෙසේමය. වටපිටාවෙන් මොහොතින් මොහොත ග්‍රහණය කරගන්නා වචන අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය අයුරින් භාවිත කිරීමට ඕනෑම දරුවෙකුට හැකියාව පවතී. අන්න ඒ නිසාම දරුවෙකුගේ වටපිටාව තුළින් අසන්නට දකින්නට ලැඛෙන දේ සැමවිටම දරුවාට උත්තේජනයක් සපයන ආකාරයේ දේවල්ම විය යුතුය. කාටූන් වැනි වැඩසටහන් හරහා කිසිදු විටෙක දරුවෙකුගේ කතන හැකියාවන්ගේ සංවර්ධයක් ඇති වන්නේ නැත.

දරුවෙකුගේ කථන හැකියාව සංවර්ධනය උදෙසා වැදගත් සරල, සක්‍රීය ක්‍රම : 

දරුවාට සරල බසින් අමතන්න 

කුඩා දරුවෙකුට කතා කිරීමේදී භාවිත වන බස සැමවිටම සරල භවිය යුතුය. කතාවේ හෝ භාෂාවේ ඌනතාවයක් නොමැති දරුවෙකුහට එක් භාෂාවක් පමණක්ම කතා කිරීම අනිවාර්ය දෙයක් නොවන අතරම කතාවේ හෝ භාෂාවේ ඌනතා සහිත දරුවෙකු සිටින මව්පියන් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ එවැනි දරුවෙකුට භාෂාවන් කිහිපයක් ඉගැන්වීමට යාම කථන හා භාෂා ඌණතාවය වර්ධනය වීමට හේතුවක් විය හැකි බවයි. ඒ හේතුව මත ඕනෑම දරුවෙකුට මූලිකව එක් භාෂාවකින් කතා කිරීම වඩා උචිතය. දරුවා වයසින් වැඩෙත්ම වෙනත් භාෂාවක් ඉගැන්වීම අපහසු නොවන බව සිහිතබාගන්න.

දරුවා සමග කතා කිරීමේදී කෙටි වාක්‍ය භාවිතයට ගන්න 

ඔබ පවසන දේ වචන ගණනාවක් සහිත දීර්ඝ වාක්‍යයක් නම් එය වටහා ගැනීම කුඩා දරුවෙකුට අපහසුය. කෙටි වාක්‍ය යොදාගනිමින් දරුවාට කතා කළ විට භාෂාව වටහා ගැනීමටත් වචන මාලාව පිළිබඳව දැනුවත් වීමටත් අවශ්‍ය තැනට අවශ්‍ය වචනය යෙදීමටත් දරුවා දරුවත් වනු ඇත.

ඔබේ හඬ නිසි අයුරින් පාලනය කරන්න

සැමවිටම ඔබ පවසන වාක්‍යයේ ප්‍රධාන වචනය තීව්‍ර වන අයුරින් කතා කිරීම ඉතා වැදගත් කරුණකි. මිනිස් මොළය වඩා හොඳින් උත්තේජනයට නිසි අයුරින් හඬ පාලනය වීම ඉතා වැදගත් වේ. එබැවින් දරුවා සමග කතාකරන හැම අවස්තාවකදීම මේ කරුණ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න.

ඔබේ හැඟීම් මුහුණේ ඉරියව් තුළින් පෙන්නුම් කරන්න

දරුවා සමග කතා කරන හැම වෙලාවකදීම අදාල අදහසට, හැඟීමට අදාල ඉරියව්ව වෙනස් කරන්න. ඇස් කුඩා කිරීම/විශාල කිරීම/නලල රැලි ගැන්වීම/සිනහව/දුක වැනි හැඟීම් මුහුණේ ඉරියව් සමගින් පෙන්නුම් කරමින් දරුවා සමග කතා කරන්න.

අදාල අවස්ථාවේදී අදාල අංගචලනයන් භාවිත කරන්න

උදාහරණයක් ලෙස ලොකු බෝලයක් ගැන දරුවාට විස්තු කරන අවස්ථාවකදී දෙඅත් විහිදුවා එහි ප්‍රමාණාත්මක බව පෙන්වීමට ඔබට හැකියි.

යම් යම් දේ සහ පින්තූර භාවිතයෙන් දරුවාට කියාදෙන්න

ඔබත් දරුවාත් අතර සිදුවන කතාබහට අදාල රූප යොදා ගන්න ඔබට හැකියි. පින්තූර භාවිතයේදී ත්‍රිමාණ රූප භාවිතය වඩාත් සුදුසුය.

සරල ගීත ගයමින් ඒ සඳහා වූ සරල අංග චලන ඉදිරිපත් කරන්න

දරුවා සමග දරුවාගේ වයසට යමින් ගී ගයමින් රංගනයේ යෙදෙන්න වැඩිහිටි වුවත් ඔබටත් සිදුවනු ඇත. උදාහරනයක් ලෙස “අලියා හොඬවැල පද්දනවා…” මේ පද පෙළ සරල අංග චලනයන් සමගින් දරුවාට කියාදෙන්නටත් ඒ සඳහා දරුවා සම්බන්ධ කර ගැනීමටත් ඔබට හැකියාව ඇත.

සෙල්ලම් බඩු සමග දරුවාව තනි නොකරන්න

සෙල්ලම් බඩු සමග වුවද සල්ලම් කිරීමේදී ඒ සඳහා ඔබේ දායකත්වයත් ලබාදෙන්න. දරුවා සමඟ කතා කරමින් ඔබත් සෙල්ලම් කරන්න.

රූපවාහිනියට හෝ පරිගණක ක්‍රීඩා වෙත දරුවා යොමු කිරීමෙන් වලකින්න

මෙවැනි දේ හරහා කිසිදු ආකාරයක උත්තේජනයක් දරුවෙකුට හිමි වන්නේ නැත. ඒ නිසා බහතෝරන වියේ දරුවන් සමග එක්ව සිටීම ඉතා වැදගත් වනු ඇත. මන්ද දරුවා හා එක්ව ක්‍රියාකාරකම්වල යෙදෙන්න යෙදෙන්න දරුවා භාෂාව ඇතුළු බොහොමයක් දේ ඔඛෙන් අවශෝෂණය කරගනු ඇත.

කථන හා භාෂා ව්‍යාධිවේදී  නිමිර චතුරංග වීරරත්න මහතා සමග සකසන ලද ලිපියකි.

 

දරුවන්ට හැමදේටම “එපා එපා” කියද්දී මෙහෙම වෙන්නත් බැරි නැ

උණහපුලුවාට උගේ දරුවා මැණිකක් සේම ඔබට ඔබේ දරුවා තරම් වටිනා වස්තුවක් තවත් නැත. ඒවගේම අනේ හරිම යහපත් දරුවෙක් විදිහට යන හැඳින්වීමෙන් ඔබේ දරුවා ගැන සමාජයේ පිලිගැනීමක් ඇත්තේ නම් එය සැබෑම වාසනාවකි. ඒ වුනත් ඇතැම් දරුවන්ගේ ගති පැවැතුම් අනුව ඒ හැදින්වීම ලබා දීමත් එතරම් පහසු නැත.දෙමව්පියන් විදිහට දරුවන්ගේ විවිධ හැසිරීම් ඔබට පුරුදු වුනත් පිටස්තර තැනකදී මේ ස්වභාවික හැසිරීම පාරාවලලලක් සේ ඔබ වෙතටම එල්ල වීමට පුලුවන්. ඒ නිසා පිටස්තර තැනකදී දරුවාගේ හැසිරීම ගැන දෙමව්පියන් විදිහට ඔබ වඩාත් සිතන්න දේ බොහෝ ඇත.

සමහර දරුවන් පිටස්තර තැනකදී නිවසට වඩා වෙනස් ගති පැවැතුම් ප්‍රදර්ශනය කරනු ඇත. නිවසේ ඉතාම කීකරු දරුවන් තමන්ගේ සියලු දඩබ්බරකම් ප්‍රදර්ශනය කරන්නේ පිටස්තර ස්ථානයන්හිදීය. අද විවිධ ආයතනයන්හිදී මේ තත්වය බෙහෙවින් දක්නට ඇත. පාසල් ඇරී තම දෙමව්පියන් සමගම හවස නිවසට යන අදහසින් ආයතනයන්හි කාලය ගෙවන ඇතැම් දරුවන් නිසා බොහෝ අයට තමන්ගේ දෛනික කටයුතු පවා කර ගැනීමට අපහසුතාවයන් පැන නැගී ඇත.

 ඇතැම් දරුවන් කෙලින්ම පැමිනේනේ පරිගණකය වෙතටයි. ඔවුන්ගේ පරිගණක ක්‍රිඩාවන් නිසා සමහර අවස්ථාවන්හිදී සෙවයේ යෙදී සිටින නිළධාරි මහත්ම මහත්මින්ට ලිපියක් සකස් කර ගැනීමටවත් අවසර නැති තරම් හිරිහැරකාරීය. ඒත් ඔවුන් මුවින් නොබැන සිටියත් දරුවන්ගේ මේ ගති පැවැතුම් නිසා දෙමව්පියන් චෝදනා ලබනු ඇත. හැම දෙනාගේම අදහස වන්නේ නිසි පරිදි දරුවන් හැඩ ගසා නොමැති වීමෙන් කාර්යාලයටත් හිරිහැරයක්  බවයි.

මේ දරුවන් විටෙක නිවසේදී ඉතාම කීකරු දරුවන් විය හැකියි. ඒ කීකරුබවටත් හේතු තිබෙන්නට පුලුවන. සමහර දෙමව්පියන් දරුවන්ට නිවසේ භාණ්ඩ පරිහරනයට අවසර නොදෙන්නේ  ඒවායේ ආරක්ෂාවට ඇති වෙන හානි නිසාය. ඒත් කාර්යාලයේදී එම භාන්ඩම පරිහරනය කරන විට දරුවන්ට ඒ වෙනුවෙන් අවවාද ලබා නොදෙන විට ඔවුන්ගේ බිය සැක දුරුව අනවශ්‍ය විදිහට ඒවායේ පරිහරනයට යොමු වීම නිසා දෙමව්පියන්ටත් පසුතැවිල්ලක් ඇති වෙන තරමටම ගැටළුව උග්‍ර වෙනු ඇත.

 මේ නිසා ඔබ දරුවාට යම් ඇල්මක් සහ උනන්දුවක් ඇති දෙයකදී තහංචි නොපනවා ඔබගේ අධීක්ෂනය යටතේ ඒ වෙනුවෙන් දරුවාට අවසර ලබා දෙන්න. ඒ සමගම නිවසේ භාණ්ඩයක් කැඩී බි‍ඳෙනවාට වඩා කාර්යාලයේ යමකට අලාබයක් වුනොත් ඇති වෙන අන්තරායකාරි බවත් ගැන දරුවාට කරුණු කාරණාවන් පහදා දෙන්න.

ඇතැම් දරුවන් නිවසේ පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධියේම කියන අවස්ථාවන් ඇත. පවුලක කිව යුතු සහ නොකිව යුතු දේ ඇති බැවින් ඒ ගැන පාලනය දරුවන් නොදනිති.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ ඉතාම ප්‍රවේසම් වීම අවශ්‍ය වන්නේ නොකිව යුතු යමක් දරුවාගෙන් පිට වීම යනු එතරම් සුබ දෙයක් නොවන නිසාය. දරුවන් විවෘතව කියන දෙය නිසා පවුල් අරගල පවා ඇති විය හැකි තරම් තත්වය දරුනු වීමටත් ඉඩ ඇත.

නිවසේ අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට තරම් මුදලක් සමග යන ඔබට දරුවා අනවශ්‍ය යමක් ඉල්ලමින් කරදර කිරීම නිසා මහත් සේ අපහසුතාවයක් මෙන්ම පීඩනයක් ඇති විය හැකියි. දරුවාගේ හැසිරීම ඔබ දන්නා නිසා මෙවැනි අවස්ථාවන් ඇති වනවා නම් අදාල ප්‍රදේශ වෙතට දරුවා සමග යන ගමන් සීමා කරන්න. මුදලේ වටිනාකම ඔහු දන්නේ නැත. ඔහුට අවශ්‍ය වන්නේ ඒ අවස්ථාවට ඇස ගැටෙන දේ පමණි. ඒ නිසා ඔබ දරුවා ගැන ඉතා හොදින් දන්නා නිසා අත මිට නොමැති නම් හැකිතාක් දරුවන් සමග නොගොස් අවශ්‍යතාවය වෙනුවෙන් ඔබ පමණක් යෑම ප්‍රමාණවත් වේ.

 හෝටලයකට තේපැන් පානයට යන අවස්ථාවන්හිදීත් ඇතැම් දරුවන් කැවිලි හෝ මේසයට ගෙනෙන සියලුම දේ අවශ්‍ය බැව් කියා සිටිනු ඇත. එයින් ඔබට අනවශ්‍ය වැය බරක් දැරීමට සිදු වේ. මෙම කරුණු දරුවාට පැහැදිලි කිරීමට යම් වයස මට්ටටමකට පැමිණීම අවශ්‍ය නිසා එතෙක් මේ වෙනුවෙන් ඔබ දරුවාගේ රටාවට හැඩ ගැසෙන්න. අවන්හලකින් දරුවා සමග ‍ගොස් ආහාරපාන මිළයට ගැනීම ඒ වෙනුවෙන් එක් විකල්පයකි. එතැනදී ඔහුගේ අවශ්‍යතාවයට පමණක් ඉඩ ලබා දීම අපහසු නැත.පිටස්තර නිවසකට ගිය විටත් සංග්‍රහ කරන දෙයින් එකකට වඩා නොගන්නා බවට දරුවා දැනුවත් කරන්න.

දරුවන්ට ආහාර පිලිබදව අවශ්‍යතාවයන් ඇති බව ඇත්ත වුනත් ඉතාම කෑදර අන්දමින් දරුවා කටයුතු කිරීම නිසා ඔබ අපහසුතාවයට පත් වෙන අතරම දරුවා ගැනත් ඇති වන්නේ අප්‍රසන්නතාවයකි.

පිටස්තර තැනකදී ඒ නිවසේ භාණ්ඩ වලට හානියක් නොවන සේ මෙන්ම දකින දකින දෙය ඉල්ලා සිටීමත් එක්තරා ආකාරයක හිරිහැරයක් බව අත්දැකීම් ඇති දෙමව්පියන් දන්නවා ඇති. කුඩා දරුවෙක් ඉල්ලා සිටින සේ පිටස්තරයන් ලබා දුන් විට බි‍ඳෙන හෝ අක්‍රිය වෙන තත්වයට පත් වීමට පුලුවන. ඔබ සමග ඇති සුහදතාවය සහ දරුවා මුල් කර ගෙන ඇති  ආදරය නිසා ඔවුන් අලාබය ඉවසනු ඇත. එහෙත් ඔබේ දරුවා නිසා ඇති වුන ආර්ථික හානිය ඔවුන් ඉවසා සිටියද ඒ ගැන ඔබ තුල ඇතිවෙන පසුතැවිල්ල සුලුපටු නැත.

මගේ දියණිය කුඩා කාලයේදී යම් පිටස්තර තැනකට ගිය විට ඒ නිවසේ තිබෙන යම් දේ ඉල්ලා සිටීමට පුරුදුව සිටියාය. මේ තත්වය හොදින් දන්නා නිසාම පිටස්තර තැනකට යෑමට පෙරාතුව එසේ ඉල්ලීම හොඳ නැති බව ඇයට කියා දී ඇයව පොරොන්දු කරවාගෙන යෑම පුරුද්දක් විය. මගේ මිතුරියකලග් අලුත උපන් දරුවා බලන්නට යන ගමනට මා ඇය සම්බනධ කර ගත්තේ ඔවුන්ගේ වැඩිමහල් දියනිය මගේ දියණියගේ මිතුරියක් නිසාය. ටික වේලාවක්ම කිසිවක් නොඉල්ලා සිටි ඇය මද වේලාවකින් එතැනින් නැගිට ගියත් ඒ ගැන මා විමසිලිමත් නොවුනේ මෙතෙක් කිසිම දෙයක් වෙනුවෙන් ඉල්ලුමක් නොවුන නිසාය.

මට ඇගේ කටහඬ ඇසුනේ කාමරයක් ඇතුලින්ය. අත්තම්මා වෙතට ගිය ඇය අල්මාරිය උඩ තිබෙන සෙල්ලම් අහ්වයා ඇගෙන් ඉල්ලා සිටින හඩ ඇසෙත්ම මා කියා සිටියේ “ගෙදරදී මොකද වුන පොරොන්දුව අමතකද…?” ඇගේ පිළිතුර වුනේ “ඉතින් මට උඩින් තියෙන දේවල් ඉල්ලන්න එපා කිව්වේ නැහැනේ…” යන්නයි.

දරුවන් තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉතාම සියුම් විදිහට හැසිරෙන නිසා වැඩිහිටියන් වශයෙන් අපේ සැලකිල්ලත් ඒ වෙනුවෙන් යොමු කිරීම ඉතාම වැදගත් බවයි. ඔවුන්ගේ සියුම් හැසිරීම් වැඩිහිටියන් විදිහට අපට පසුතැවිල්ලට හේතු වෙන බැවින් ඒ ගැන විශේෂ අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වේ.

යහළුවන් එක්ක සෙල්ලමට යන ඔබේ දරුවා මේ දේවල් නොදැන හිට්යොත් නම් අමාරුවේ

සෙල්ලම කියන්නේ අපේ ශාරිරික සහ මානසික පෝෂණය වෙනුවෙන් අපිට ඉතාම වැදගත් ක්‍රියාකාරකමක්. යාන්තම් හය හතර තේරෙන තැන පටන් කෙලි සෙල්ලමින් ජීවිතය ගෙවන්න අපි කැමැතියි. ඒ නිසාම සෙල්ලම අපේ ජීවිතයේ අවශ්‍ය සහ වටිනාම අයිතියක්. ඒත් සෙල්ලම කිසිම විටෙක අනවශ්‍ය හිරිහැරයක් පීඩාවක් නොවන ලෙසින් සිදු කිරීමට සිත තබා ගත යුතුයි. විටින් විට අපිට ඇසෙන පුවත් අනුව වැඩිහිටියන් පවා ක්‍රීඩා කටයුතුවලදී විහාල වශයෙන් මතබේද සහ ආන්දෝලනයන් ඇති කර ගන්නා අන්දම ගැන ඔබටත් අත්දැකීම් ඇති එහෙම නම් අපි දරුවන්ට සමූහයක් සමග සෙල්ලම් කරන විට ලබා දිය යුතු දැණමුතුකම් මොනවාද…

නායකත්වයට ගරු කරන්න

අතීතයේදී නම් සෙල්ලමට ගියාම දරුවන් තමන්ගේ ක්‍රීඩාව වෙනුවෙන් නායකයෙක් ‍තෝරා ගෙන ඔහුගේ අණසකට අනුව කටයුතු කලා. ඒ කාලයේ සෙල්ලම් සකස් වෙලා තිබුනෙත් ඒ විදිහටයි.

“කං කං බූරු

සිං සිං ඤෝරු

මං කියන දේ අහනවාද….? ”

ඔව්…” මේ විදිහට ක්‍රීඩාව පුරාම නායකත්වය පිලිගන්නා ස්වරූපයක් තිබුණා. ඒ වුනත් අද දරුවන් අතර ඒ ගුණාංගය බොහොම අඩුයි. ක්‍රීඩාවේදී වුනත් නායකත්වයට ගරු නොකරන දරුවාගේ ගති පැවැතුම් ගැන ඔවුන්ට පහදා දීම ඉතාම වැදගත්.

විරුද්ධ මත ඉවසන්න

සෙල්ලම් කරන්න ගියාම දරුවන් අතරත් විවිධ මතගැටුම් ඇති වෙනවා. අපි හිතන විදිහටම හැම දරුවෙක්ම විරුද්ධ මත ඉවසන සාමකාමී ගති පැවතුම්වලින් යුක්ත නැහැ. සෙල්ලම් පිටිය තුළ විවිධ මතවාද ඇති වෙනවා. ඒ ඉතාම සාමාන්‍ය තත්වයක්. ඒත් මේ අදහස් විසංවාද වෙලා මත ගැටුම් උග්‍ර තත්වයට පත් නොවන විදිහට බුද්ධිමත්ව හැසිරෙන අන්දම ගැන ඔබ දරුවා දැණුවත් කිරීම ඉතාම වැදගත්. සමහර වේලාවට වැඩිහිටියන්ගේ ක්‍රිඩාවන්හි පවා විරුද්ධ මත ඉවසන ගති පැවැතුම් අද දැක ගැනීමට නොමැත්තේත් මේ නිසාම වෙන්න ඇති.සෙල්ලම් කිරීමෙන් පසුව ඔබේ දරුවත් ගතු කියමින් ඔබවෙත පැමිනෙනු ඇති. ඒත් මේවායේ ඔබ කිසිම විටෙක පාර්ශවකරුවෙක් නොවන්න. සම වයස් කණ්ඩායම් අතර ඇති වෙන ගැටුම් විසඳා ගැනීමට මගක් ලබා දෙනු මිසක ඒවා වෙනුවෙන් වැඩිහිටියන් විදිහට ඔබ මැදිහත් නොවන්න. ඇතැම් අම්මලා තාත්තලා සිතන්නේ මෙය ක්‍රිඩාවක් ලෙසින් නොවේ. දරුවාට යම් අකටයුත්තක් වුනොත් එය මහත් අපරාදයක් සේ සලකන තරමටම දෙමව්පියන්ගේ මානසිකත්වය දුර්වල වී ඇත.දරුවන්ගේ සෙල්ලම දරුවන්ට මිස ඔබට නොවේ.

පරාජය පිලිගන්න

සෙල්ලම් කිරීමෙන් අපි බොහෝ දේ ඉගෙන ගන්නවා. එහිදී ඉතාම වැදගත් දෙය වන්නේ ජය පරාජය සම සිතින් විඳ ගැනීමයි. ඒත් අපි නිතරම ජයග්‍රහනයේදී වඩාත් සතුටු වුනත් පරාජය ඉවසන්නේ නැහැ. ඒත් ඔබ දරුවාට මේ දෙය කියා දෙන්න. සෙල්ලමකින් ජය වගේම පරාජයත් ලැබෙනවා. ඒ වුනත් පරාජයෙන් බොහෝ පාඩම් ඔවුන්ට ඉගෙන ගත හැකි බව කියා දෙන්න. හැම විටම දරුවාට ජයග්‍රහනයම යන පෙරැත්තය නොදී පරාජය ඉදිරියේදිත් හැසිරෙන අන්දම බුද්ධිමත් ලෙසින් පහදා දීම මව්පියන් විදිහට ඉතාම වැදගත් කටයුත්තක්. අද ජාත්‍යන්තර තරගයන්හි පවා පරාජය ඉදිරියේ එම ක්‍රිඩකයන් පවා ඉතාම අසීරුතාවයට පත් වන්නේ සමාජගතව තිබෙන පරාජය නොඉවසන තත්වය නිසාම බව අමතක නොකරන්න.ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රිඩකයන්ට තම කණ්ඩායම පරාජයට පත් වුවහොත් පෞද්ගලික දේපල පවා හානි කරන තත්වයට සමාජය යොමු වී ඇත්තේ ඔවුන් තුළ පරාජය පිලිගැනීමට තරම් ශික්ෂනයක් ක්‍රිඩාව වෙතින් නොලබා ඇති නිසාම බැව් කිව යුතුයි.

ක්‍රිඩාවටත් විනයක් තිබෙනවා

ක්‍රිඩාවකින් අපි බොහෝ දේ ඉගෙන ගන්නවා. හැම ක්‍රිඩාවක් වෙනුවෙන්ම සැකසුන නීති රීති තිබෙනවා. ඒ නීති රීති අනුව අපි කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒත් බොහෝ දෙනෙක් මේ නීති රීති නොසලකා කටයුතු කිරීම මගින් තමන්ගේ ජයග්‍රහනය තහවුරු කර ගැනීමට යොමු වෙන අවිනීත තත්වයක් දැන් නිර්මානය වෙමින් තිබෙනවා. ඒ වුනත් ඔබ දරුවාට මේ දේ කියා දෙන්න…ක්‍රිඩාවකදී වුනත් ස්වයංවිනයක් පනවා ගන්න. අදාල ක්‍රිඩාවේ සම්මත නීති රීති අනුව කටයුතු කරන්න. එයින් පරාජයක් ලැබුවද එය විනය විරෝධීව ක්‍රිඩාවෙන් ලබන ජයග්‍රහනයට වඩා  බෙහෙවින් අගනා බැව් ඔවුන්ට කියා දෙන්න. අද බොහේ ක්‍රිඩකයන් තහනම් උත්තේජක ලබා ගෙන ක්‍රිඩා තහනම්වලට පවා යොමු වන්නේ ඔවුන් වෙතින් මෙම ස්වයංවිනය පිරිහීම නිසාම බව කිව යුතුය.

සෙල්ලම් පිටියේ විරෝධතාවයන් එතැනට පමණයි

සෙල්ලම් කරන විට අපි පිල් බෙදා ගන්නවා. එහෙම නැත්නම් නිවාසාන්තර ක්‍රිඩාවන්හිදී වගේ නිවාස තිබෙනවා. එහිදී එකම ඉලක්කය තමාගේ කන්ඩායම, පිල, එහෙමත් නැත්නම් නිවාසය ජයග්‍රහනය වෙනුවෙන් ඉදිරියට ගෙන යෑමයි. පාසලක වුනත් තමන්ගේ නිවාසය දිනවන්න උගුර ලේ රහ වෙනකම් අපි කැ කෝ ගසන අන්දම අද දෙමව්පියන් වුනත් ඔබට මතක ඇති. ඒ කාලයේදී එකම ලෝකය තමන්ගේ නිවාසය වුනත් නිවාසාන්තර ක්‍රිඩාව අවසාන වුනාට පසුව සියලු විරසක අවසානයි.

විදුලිපුර විදුලි එලිය සේ විරුදාවලි ලත් මලල ක්‍රිඩක සුගත් තිලකරත්නගේ පුහුණුකරුව කටයුතු කළ ජේ. ජයලත් මහතා වරක් සඳහන් කලේ එවක කලාප තරගවලට පාසල් අතර ක්‍රිඩකයන් පුහුණු කිරීමේදී කොත්මලේ ප්‍රදේශයේ පාසල් දරුවන් එකම පිටියක පුහුණුව ලැබූ බවයි. කලාපීය තරඟවලදී පමණක් ඔවුන් අතර තරඟයක් තිබුනත් ඒ හැරුන විට මේ හැම දෙනාම ඉතාම සුහදතාවයෙන් කටයුතු කළ බව ජයලත් මහතා සදහන් කරයි. අම්මා , තාත්තා විදිහට ඔබේ දරුවන්ටත් මේ ගුණාංගය කියා දෙන්න. සෙල්ලම් පිටියෙන් ඉවතට එන්නනටත් පෙරාතුව මිතුරන් මිසක සතුරන් ඇති කර ගැනීම ඉතාම අනුවණ කටයුත්තක් බැව් ඔවුන්ට ඒත්තු ගන්වන්න.

කෝම් පිට්ටුවට වඩා ස්මාර්ට් ෆෝන් එකට දරුවෝ ආදරේ මෙන්න මේ නිසයි

අද වෙනකොට ජීවන අරගලය සමග ගැටෙන මව්පියන් බොහොම කාර්යබහුලයි. ඉස්සර නම් අම්මා දරුවන් එක්කම ගෙදර හිටියා. අද වෙන කොට අම්මත් රැකියාවට යනවා. ඉතිං මේ කාර්යබහුල වටපිටාව ඇතුළේ දරුවන්ගේ මොළය උත්තේජනය කිරීම සඳහා අවශ්‍ය වෙනස් වෙනස් දේ කෙරේ දරුවන්ව යොමුකිරීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. ඉතිං දරුවොත් ලෝකය දිහා බලන්නේ එයාලට පුරුදු කෝණයෙන්ම තමයි. උදාහරණ විදියට එදා අපිට කෝම්පිට්ටු හදන එක බොහොම රසවත් වුණාට වටපිටාව එක්ක අපේ දරුවෝ අද හුරුවෙලා තියෙන්නේ ගෙවල්, වාහන, ලොකු ඉස්කෝල වගේ මුදල්මය වටිනාකමක් තියෙන දේවලට. ඒ නිසාම බහුතරයක් දරුවෝ එකතු වුණාම කතා වෙන්නෙත් මේ දේවල් ගැනම තමයි. මොකද ඒ හැමකෙනෙක්ම ඇති දැඩි වෙන්නේ ඉහත සඳහන් කරපු වටපිටාවන් ඇතුළේ. මේ කාණ්ඩයට ඇතුළත් නොවෙන දරුවෙක් වුණත් තමන්ගේ යහලූවන්ගේ අදහස්වලට අනුව හැඩගැහෙන්නටයි වැඩි නැඹුරුතාවයක් පවතින්නේ.

මොකද වයස අවුරුදු 10 පස්සේ දරුවන් වැඩිපුරම අහන්න කැමති එයාලගේ යහලූවන් කියන දේවල් ගැනයි. පාසැලේ සිටින වත්පොහොසත්කම් අවම දරුවා වුවද හිතන්නේ පතන්නේ මේ මානසිකත්වයෙන් තමයි. මොකද එක එක ළමයා තමන්ගේ තත්ත්වය පවත්වා ගන්නේ එක එක විදියට. සමහරවිට පන්තියේ ඉන්න වත්පොහොසත්කම්වලින් අඩුව දරුවා අධ්යාපන කටයුතු හොඳින් කරන නිසා පන්තියේ ඉහළ තත්ත්වයක සිටිනවා විය හැකියි. තවත් දරුවෙක් ක්රීඩාව නිසා එසේ ඉහළ තලයක වැජඹෙනවා විය හැකියි. තවත් දරුවෙකු රැගෙන එන බඩු බාහිරාදිය හේතුවෙන් ඉහළින් සිටිනවා විය හැකියි. උදාහරණයක් විදියට ගත්තොත් ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වැනි රටවල්වල දරුවන්ට/මව්පියන්ට දරුවාගේ විෂය සඳහා ලැඛෙන ලකුණුවල අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් සැලකිලිමත් වන්නේ ක්‍රීඩා අංශය තුළින් දරුවාගේ සාර්ථකත්වයයි.

මොකද්ද මේකට හේතුව ?

ඉස්සර අපිට ස්මාට් ෆෝන් එකක් ඕනේ වුණේ නෑ, ඒක නෑ කියලා දුකෙන් හිටියෙත් නෑ. ඒත් අද දරුවෝ ස්මාර්ට් ෆෝන් එකක් නැති එක ගැන දුක් වෙනවා. මොකද යහළුවන්ට/අක්කට/අයියට තියෙන නිසා.

එහෙම නම් මොකද්ද මේ තත්ත්වයට හේතුව ?

Reward Pathway තමයි මේකට හේතුව. ඒ කියන්නේ ලෝකය රස විඳින්න අපිට ස්නායු පද්ධතියක් තියෙනවා. Reward Pathway කියන්නේ ඒකට. මෙන්න මේ Reward Pathway එක ක්‍රියාත්මක වෙන්නේ අපි ජීවත් වෙන පරිසරය අනුව. දැන් දරුවෝ ඉස්සර දරුවන්ගෙන් වෙනස් වෙන්නේ මෙන්න මෙතනින්.

මේ පිළිබඳව තවත් පැහැදිලි කළොත්, හිතන්න අනූව දශකයේ වයස අවුරුදු 15ක දරුවෙකුට නොකියා වර්ගයේ ජංගම දුරකතනයක් ලබා දුන්නොත් ඒ දරුවා ඒ පිළිබඳව බොහොම සතුටට පත්වෙනවා. නමුත් අද කාලයේ අවුරුදු 15ක දරුවෙකුට එවැනිම නොකියා දුරකතනයක් ලබාදුන්නොත් කිසිසේත්ම ඒ පිළිබඳව සතුටට පත්වෙන්නේ නැහැ. එකම වයසේ දරුවන් දෙදෙනෙකුහට එකම දේ ලබාදුන්නත් දෙදෙනාම ඒකෙන් සතුටු වූණේ නැහැ. ඒකෙන් ඔබට පැහැදිලි වෙනවා නේද අද පවතින වටපිටාව තුළ දරුවෙකු ලෝකය රස විඳින ආකාරය, එදා දරුවෙකු ලෝකය රසවිඳි ආකාරයට වඩා බොහෝ සෙයින් වෙනස් බව. එනම් අද දරුවන්ගේ වටපිටාව ඛෙහෙවින් වෙනස් අතකට හැරි පවතින නිසා දරුවෙකු වින්දනය ලබන්නේ අද පවතින දේ සමගයි. අනූව දශකයේ වයස අවුරුදු 15 වූ දරුවාට වඩා අද වයස අවුරුදු 15 සම්පූර්ණ වූ දරුවෙකු දියුණු වූ ලෝකයට විවරව ඇති බැවින් ඔවුන්ගේ Reward Pathway එදා පැවති දේ සමග ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ නැහැ. දියුණු වෙමින් පවතින මේ ලෝකය තුළ අද වන විට දරුවෙකුට සාමාන්‍ය සතුටක් ලබන්න විශාල උත්තේජනයක් ලබාදිය යුතුව තිඛෙනවා. ඔන්න ඔතනදි තමයි අපිට හිතෙන්නේ අපේ ළමයින්ට අපිට වගේ සුන්දර ළමා කාලයක් නෑ නේද කියලා. ඒත් ඒ තත්ත්වයේ වරදක් දකින්න අපිට බෑ. මොකද අපේ දරුවෝ ඇති දැඩි වෙන්නේ අපි ඇති දැඩි වූ වටපිටාව තුළ නම් නොවෙයි. මේ තත්ත්වයට වගකිව යුතු කිසිවෙකුත් නොවේ. දියුණු වෙමින් ඉදිරියට යන ලෝකය තුළ ඉබේම මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වනු ඇත.

හැබැයි.. මව්පියන් වන ඔබටත් යුතුකමක් තියෙනවා

දෙමව්පියන් වශයෙන් ඔබ දරුවන් වෙනස් වෙනස් දේ කෙරේ යොමු කිරීමට උත්සාහ දැරිය යුතුයි. දියුණු වන ලෝකය සමග අපි සැවොම ඉදිරියට යා යුතුව තිබුණද දරුවන් වෙනස් වෙනස් දේ කෙරේ යොමුකිරීම ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස ඔබේ දරුවා මුහුදු වෙරළට ගොස් පැමිණ ඔබට පවසන තොරතුරු අතරට එහි සුන්දරත්වය, සිප්පි කටු ගැන, ඔබ කුඩාවියේදී මුහුදු වෙරළේ විනෝද වූ ආකාරය ගැන දරුවන් සමග කතා කරන්න. සත්තු වත්ත, උද්භිද උද්යාන වැනි ස්වභාවික සුන්දර ස්ථාන වෙත දරුවන් රැගෙන යන්න. කෙසේ වුවද වෙනස් වන ලෝකයේ නොවෙනස්ව අපේ ළමා විය අපේ දරුවන්ගෙන් දකින්නට නොහැකි බව අවබෝධ කරගන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


වැඩිවිය පැමිණි දියණිය සම්බන්ධයෙන් මවක් දැනුවත් විය යුතු කරණු

මාසික ඔසප් චක්‍රය ආරම්භ වෙන්නේ දැරියක් වැඩිවියට පත්වීමෙන් පසුවයි. ගර්භාෂය ඇතුලත ස්ථරය බිඳ වැටී රුධිරය ලෙසින් පිටවීම “ඔසප්” වීම විදිහට හැඳින්වෙනවා. අද තරුණ දැරියන්ට පවා වැඩිහිටි කාන්තාවන්ටවත් ඒ කියන්නේ විවාහ වී වසර දෙක තුන ගෙවුන අය පවා තමන්ගේ ඔසප් දිනය ගැන දැනීමක් නැහැ. හැම මාසයකම ඔසප් වීම එකම දිනයට සිද්ධ වෙන්නේ නැහැ. කැලැන්ඩරයේ දින විසිඅටක රටාවක් තුළ ඔසප් වීම ගැලපුනත්  මෙය දින 30 ක් වැනි කාලයක වීමට පුලුවන්. හෝර්මෝන අසමතුලිතතාවය සහ ඩිම්බ මෝචනය ප්‍රමාද වුනාම මේ විදිහට වෙනස්කම් ඇති වෙනවා.

ඔසප්වීම ගැන ඉහත වෛද්‍ය විද්‍යාත්මක අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර ඩී. ඇස් සේනානායක වීදියේ ඩොලායෝ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය අයෝමි ශානිකා දොලපිහිල්ල මහත්මිය විසින්,

හදිසියේවත් ඔසප්වීම මේ දිනයට කලින් සිද්ධ වුනොත්…

පමාව වගේම අපේ අත්දැකීම් අනුව දින විසිඅටට පෙරාතුවත් ඔසප්වීම සිද්ධ වෙන අවස්ථා තිබෙනවා. ඉතින් තරුණ දැරියන් වගේම අම්මාවරුනුත් මේ ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත්. පෙරදිග සම්ප්‍රදායන්ට අනුව ඔසප්වීම සලකන්නේ අපිරිසිදු තත්වයක් විදිහටයි. කෙසේ වුනත් ගර්භාෂයේ ඇතුලත ස්ථරය බිඳ වැටී රුධිරය ලෙසින් පිටවෙනවා. මෙම තත්වය ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත්. අපි නොහිතන අවස්ථාවක ඔසප්වීම සිද්ධ වුනොත් රුධිරය අපේ ඇඳිවතේ පවා තැවරෙන්න පුලුවන්. පාසල් දැරියන් අතර මේ තත්වය ඉතාම සුලබයි.අපේ රටේ පාසල් නිල ඇඳුම සුදු නිසා රුධිර පැල්ලම් කැපී පෙනෙනවා.

තමන්ගේ ඔසප්වීම තමන් හැර අම්මා ඒකටත් වග කිව යුතුද….?

දියනියගේ ඔසප්වීම ගැන ඇය දැනගත යුතු බව ඇත්ත. ඒත් දරුවන්ගේ හද ගැහෙන රිද්මය පමණක් නොව අම්මා කෙනෙක් විදිහට ඔබ අනිවාර්යෙන්ම දැන් ඔසප් දිනයත් දැන ගැනීම ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් දැනුවත් වීමට පෙරාතුව පසුගිය දිනක බී.බී.සී පුවත්සේවයේ පළ වුන මෙම පුවත කියවා බලන්න….

ඉන්දියාවේ ග්‍රාමීය පලාත්වල ඔසප්වීම ඉතාම අපිරිසිදු කටයුත්තක් වගේම තහංචියක් විදිහට සැලකනවා. ඔවුන් මෙහි තිබෙන ජීව විද්‍යාත්මක සංසිද්ධිය ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ.ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මේ පාසල් දැරියට පංතියේදී ඔසප්වීම සිද්ධ වුනා. ඇය එදිනට සූදානමින් ගියේ නැහැ. අනපේක්ෂිත ලෙස ඔසප් වීම සිද්ධ වුන නිසා ඇගේ පාසල් නිල ඇදුමේ රුධිර පැල්ලම් තැවරුනා. මෙය මහ විනාශයක් නොවෙයි…ඒත් කාන්තා ගුරුවරියක වෙලත් ඇය කළේ මේ දැරියට දූවිලි පිස්නාකඩක් පෑඩ් එකක් විදිහට පාවිච්චි කිරිමට ලබා දුන්නා. ඇය එතැනින් නැවතුනේ නැහැ. දැරිය පංතියෙන් පිටත සිටුවා තැබුවා. දැරිය මහත් අපහසුතාවයට පත්ව නිවසට ආවා…

ඇය සිද්ධිය කොළයක සටහන් කළා. “අම්මේ මට සමාවෙන්න…” ලිපියක් ලියා තබා සිය දිවි හානි කර ගත්තා.

අපේ දැරියන්ටත් මෙහෙම වුනොත්…

තවමත් අපේ රටේ නම් තත්වය මේ තරමට දරුණු නැහැ. ඒත් හදිසියේ මේ වගේ සිද්ධියකට ඔබේ දියණිය මුහුණ දුන්නොත් ඇය මොන තරම් මානසික අසහනයකට පත් වෙනවාද…ඒ  වගේම ඔසප් දිනයන්හි හැසිරෙන අන්දමත් ඇයට කියා දීම ඉතා වැදගත්. එංගලන්තයේ එක්තරා දැරියක් තමා වැඩිවියට පත් වීමෙන් පසුව නැවත ඔසප් වූ විට ඒ ගැන බියට පත්ව සිය දිවි හානි කරගත්තා. මේ නිසාම සෑම කෙනෙකුටම තමන්ගේ හිතේ පීඩනය බෙදා ගන්නා අරමුණ ඇතුව ලෝකයේ විවිධ ස්වේච්ඡා සංවිධාන පවා බිහිවෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔසප්වීම දියණියටම දරා ගැනීමට බාර දිය යුතු නැහැ.

ඒ වගකීමත් අම්මාටම දෙන්නේ ඇයි…

දියනියට හෝ දියනිවරුන් කීප දෙනෙක් සිටින පවුලක නම් තමන්ගේ ඔසප් දිනය දිනපොතක හෝ කැලැන්ඩරයේවත් සටහන් කරන සේ කියා දෙන්න. මවක ලෙසින් ඔබටත් ඒ දිනය ගැන මතකයේ තබා ගැනීමත් වැදගත්. ඒ අතරම දින 21 ක් ගෙවුන තැන පටන් සූදානම් සරීරෙන් සිටීමටත් දියණියට උපදෙස් ලබා දෙන්න. පෑඩ් එකක් තමාගේ බෑගයේ හෝ දමා ගෙන සිටින්නනට ඇය දැණුවත් කරන්න. එහෙම නැති වුනොත් දියනිය මහත් සේ අපහසුතාවයට පත් වෙනු ඇති.

තවත් අවස්ථාවක් නම්  දියනිය පාසල් අවසානයේ වෙනත් අතිරේක පංති ආදියට සහභාගී වී නිවසට පැමිණෙන්නේ බොහෝ රෑ බෝ වී විය හැකිය. පැය ගණනාවක් එකම පෑඩයෙන් සිටීම අපහසු නිසා අතිරේක පෑඩ් රැගෙන යෑමට ඇයට උපදෙස් ලබා දෙන්න. ඒ වගේම මේවා බැහැර කරන පිලිවෙලත් ඇයට කියා දෙන්න.

කාන්තා ගුරුතුමියන්ටත් යමක් කිව්වොත්…

ඉස්සර අපේ පාසලේ නම් පංතියේ ගවුම් කීපයක් තිබෙනවා. පෑඩ් නම් අනිවාර්යෙන්ම තිබෙනවා. ගවුම් තියෙන්නේ හදිසියේවත් මේ වගේ ආපදාවක් වුන විටෙක පාවිච්චියටයි.ඒවා අලුත් ඒවා නොවෙයි…තමන්ට අදින් හිර වගේ ගවුම් හතර පහක් පංතියේ අල්මාරියක නිතරම තිබෙනවා. හදිසියේ මේ වගේ අපහසුතාවයක් වුන විට ඒ ගවුමකින් අපහසුතාවය මග හැරෙනවා.

ඔසප් වේදනාවට මොකද කරන්නේ…

ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකා දොළපිහිල්ල මහත්මිය සඳහන් කරන අන්දමට කොත්තමල්ලි කබලේ බැද කුඩු කරගන්න. ඒවාට උනු වතුර දමා කෝපි මෙන් පැසවා මන්ඩි පෙරා හැර ඔසප් වීමට දින දෙක තුනකටපෙරාතුව පානය කරන්න.

ඊට අතිරේකව අත්බේත් විදිහට කලු තල කබලේ බැද කුඩු කර එයින් තේ හැන්ද බැගින් උදේ හවස ආහාරයට ගන්න.පොකුරු වදමල් සෝදා එයට උණුවතුර දමා පෙරා ගෙන දෙහි ඇඹුල් සහ සීනි එක් කර ඔසප් වීමට ආසන්න දිනයන්හි පානය කරන්න.

ඔන්න ඇවිත් පොත් වසන්තේ…

සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසය. දැන් ඉතින් අම්මලා තාත්ලාට දරුවන්ට කියවන්න පොත් ටිකක් අරගෙන දෙන්න පුලුවන්. මේ කාලය අතිරේක පොත් පත් මිළට ගන්න හොඳටම ගැලපෙන කාලයක්. අපි දරුවන්ට ලබා දිය යුත්තේ හොඳ දේවල්. ඉතින් පොත් කොහොමද දරුවන්ට හොඳ වෙන්නේ කියල ඔබ ඇහුවොත් මෙන්න උත්තර වැලක් තිබෙනවා.

මතකය වර්ධනය වෙනවා

දරුවන්ගේ මතකය ඉතාම තිරිහන්. මේ කාලයේ ඔවුන්ට බොහෝ දේ අවශෝෂනය කරගන්න පුලුවන්. ඒ නිසා පොත් පත් කියවීම මගින් දරුවාගේ මතක ශක්තිය වර්ධනය කිරීමට පුලුවන් බව හස්කින්ස් විද්‍යගාරයේ පර්යේෂක නිළධාරියෙක් වෙන “කෙන් පුෂ්කින්” සඳහන් කරනවා. ඒත් අද දරුවන් වැඩි අවධානයක් දෙන්නේ පොත් පත් කියවීමට වඩා රූපවාහිනිය සහ පරිගණකයට බව අම්මලා තාත්තලා දන්නවා. හැබැයි සාහිත්‍ය මාසයේදී දරුවන්ට කියවන යමක් මිළට ගැනීමට උනන්දු වුනොත් කියවන දරුවන් පිරිසක් බිහි කර ගැනීමට පුලුවන් වේවි.

තමන්ගේ ආත්මාභිමානය ගොඩ නැගෙනවා

කියවීම මිනිසා සම්පූර්ණ කරනවා කියන්නේ ඇත්තටම නිකමට නොවේ. අර්ථවත් යමක් දරුවන්ට කියවීමට ලබා දීමෙන් ඔවුන්ගේ ආත්මාභිමානය ගොඩ නගා ගැනීමට පුලුවන්.විහේසයෙන් ලෝකයේ පුර්වාදර්ශ චරිත තිබෙනවා. අපේ දරුවන්ගේ ලෝකයේ ජීවත් වෙන්නේ නයිට් රයිඩර්, ස්පයිඩර් මෑන් වුනත් දරුවාගේ මානසිකත්වය මේ විදිහටම ගොඩ නගා ගැනීමට ඔවුන්ට ගැලපෙන යමක් තෝරා දීමෙන් පුලුවන්.

මානසික ආතිතයට හොඳයි

අද හැම කෙනෙක්ම කියන්නේ කතා කරන්නේ මානසික ආතතිය ගැනයි. තමන්ට මානසික ආතිතය තිබෙනවා නම් එයින් මිදෙන්නත් මග හොයා ගැනීම අවශ්‍යයි. ඉතින් මේ වෙනුවෙන් ‍ඖෂධීය ප්‍රතිකාරයන්ට වඩා සරල පිලිවෙත් අනුගමනය කිරීමට පුලුවන්. පොත් පත් කියවීම ඒ අතරින් ඉතාම ගැලපෙන බව දැන් මනෝ වෛද්‍යවරුන් පවා පිලිගෙන තිබෙනවා. ඉතින් එළැඹෙන සාහිත්‍ය මාසයේදී දරුවන් වෙනුවෙන් ඔබේ මුදල් පසුම්බියට ගැලපෙන විදිහට අතිරේක කියවන දේ ලබා දීමට උත්සාහ කරන්න.

භාෂා ඥානය වැඩිවෙනවා

අද පරම්පරාවේ අය මුල් කර ගෙන නැගෙන ප්‍රදාන චෝදනාවක් තිබෙනවා. අක්ෂර වින්‍යාසයක් දන්නේ නැහැ…භාෂාව ගැන දැණුමක් ඇත්තේම නැහැ. කිසිම නිර්මානශීලීත්වයක් නැහැ. හරියට පුරන් වුන කුඹුරක් වගෙයි..ඉතින් අපිට මේ පුරන් කුඹුර අස්වද්දන්න බැරිද…එක රැයකින් බැරි වුනත් දරුවන් වෙනුවෙන් කියවන දේ ලබා දීමට පුලුවන්. එවිට නිතරම නෙත ගැටෙන අක්ෂර නිසා නිවරැදිව ලිවීම පුරුදු වෙනවා. ව්‍යාකරණ ගැන වුනත් දැනුමක් ලැබෙනවා. බස හසුරුවන්නේ කොහොමද යන්න ගැන අමුතුවෙන් ඉගැන්වීමක් අවශ්‍ය නැහැ.

මනස හා හදවත අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා

අපි පොත් පත් කියවන විට ඇත්තටම අපි ඒ චරිත සමග ජීවත් වෙනවා. ගැමුණු කුමාරයා ගැන අහන විට ඇති වෙන්නේ වීරත්වයක්. මද්දුම බණ්ඩාර ගැන ඇති වෙන්නේ එඩිතර බවක්. මේ විදිහට චරිත පමණක් නොව විවිධ ස්ථාන ගැන මනස්කාන්ත දර්ශන අපේ හිතේ මැවෙනවා. ඒ නිසා දරුවන්ගේ චරිත සංවර්ධනයටත් පොත් පත් කියවීමෙන් විශාල දායකත්වයක් ලැබෙනවා.

ආදර්ශ ලබා ගත හැකියි

පොත් පත් කියවීමෙන් ලැබෙන දැනුම මගින් දරුවන්ට ආදර්ශ ලබා ගත හැකියි. අපි හැසිරෙන්නේ කොහොමද යන්න ඔවුන්ටම වැටහේවි. වචන දහස් ගණනක් අවවාදවලට වෙන් කරනවාට වඩා එක් කතාවක ආදර්ශයකින් ඒ ගැන දරුවාම තේරුම් ගනු ඇති.

නිර්මානශීලී වීම

පොත් පත් කියවන දරුවන්ට එයින් ලැබෙන ආශ්වාදය පමණක් නොව තමාගේ චින්තනයද ඉතාම නිර්මානශීලී ලෙසින් අවදි වේ. දරුවෙකුගේ නිර්මාශීලී චින්තනය ඔවුන්ගේ අධ්‍යාපනයට පමණක් නොව එදිනෙදා ජීවිතයට පවා ඉතා වැදගත් වේ. කියවීමෙන් ලැබෙන තොරතුරු ඔහු නොදැනම ගබඩා වෙන අතර අවශ්‍ය අවශ්‍ය තැන්හිදී ඒවා ආදේශ කිරීමෙන් නිර්මානශීලී දරුවෙක් බිහි වෙනු ඇත.

මානසික විවේකයට ගුණයි

අපි කායිකව වෙහෙසීම නිසා ඇති වෙන විඩාව වගේම මානසිකවත් අපට දැනෙන වෙහෙසකර බව ඇත්තටම දුරු කර ගැනීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක් විනෝදාංශ වෙත යොමු වෙනවා. හැම කෙනෙකුටම කුමක් හෝ විනෝදංශයක් තිබීම වැදගත්. එය මේ විනෝදාංශය විය යුතු බව අපිට තීරණය කරන්න බැහැ. ඒත් බාල කාලයේ පටන්ම දරුවාට කියවන සමාජයක් නිර්මානය කලොත් ඔහු තුළ පොත් පත් කියවීම වෙනුවෙන් ඇල්මක් ඇති වෙනවා. ඒ නිසා වෙහෙසකර මානසිකත්වයට හොඳ පුටුවහලක් නොදැනීම ලැබේවි.

කොච්චර ගුණ තිබුනත් කියවන්නේ නැත්නම්…

  • දරුවන්ට නිතරම කියවන පරිසරයක් ගොඩ නගන්න. බාල කාලයේ පටන්ම දරුවා වෙනුවෙන් කුඩා පුස්තකාලයක් ඇත්නම් ඔවුන් පොත් සමග ගණුදෙණුව එතැනින් ආරම්භ කරනු ඇත.
  • පළාත් පාලන ආයතන පුස්තකාලයේ හෝ වෙනත් පුස්තකාලයක සාමාජිකත්වය ලබා දෙන්න. එසේ නැත්නම් ඔබ දරුවා කැටුව අවස්ථාව ලැබූ විට පුස්තකාලයට යන්න. දෙමව්පියන් විදිහට ඔබ පුස්තකාලයේ සීමාවට වත් නොයා දරුවන් පමණක් පුස්තකාල පරිශීලනය වෙනුවෙන් යොමු කිරීම තරම් පහසු නැත.
  • උපන්දිනයට දරුවාට ලබා දෙන තෑගි අතරට පොතක්ද එක් කරන්න. ඉදහිට හෝ පොත් වලින් ප්‍රශ්න ලබා දී ඒ වෙනුවෙන් ත්‍යාග ලෙසින් ඔවුන් සතුටු යමක් දෙන්න.
  • පොත් ප්‍රදර්ශනයට අනිවාර්යෙන්ම දරුවා කැටුව යන්න. රසවත් ආහාරයක් පිසින විට විහිදෙන සුවඳට අපේ ඇති වෙන උත්තේජනය ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. පොත් ප්‍රදර්ශනයේදී පොත් වෙතින් වහනය වෙන නැවුම් සුවඳ නිසා ඔබේ දරුවාටත් පොත් සමග ජීවත් වෙන රුචිකත්වය නොදැනීම වගා වෙනු ඇත.

ප්‍රසුතියේන් පසු ඔබේ බිරිඳත් මේ ලකෂණ පෙන්නුම් කරනවා නම් සැලකිලිමත් වෙන්න

ගර්භණී සමයේදීත් දරුවා ලැබී ගත වන වසරක පමණ කාලසීමාව තුළදීත් කාන්තාවකගේ චිත්තාවේග පුළුල් පරාසයක විහිදෙනවා. කනස්සල්ල, මූලිකව හටගන්නා හැඬිම, නොරිස්සුම හා අධි සංවේදී බව වැනි මානසික ස්වභාවයන් මේ කාලයේදී බොහෝ විට දැකිය හැකි තත්ත්වයන්ය.

දරු ප්‍රසූතියෙන් පසු එළඹෙන දින කිහිපය තුළ ආතතිය, බහුලව ඇතිවන පොදු තත්ත්වයක්. මව්වරුන් අතරින් 80% කට ආසන්න පිරිසක් මේ මානසික තත්ත්වයට මුහුණ දෙන බව කියවෙනවා. මෙයට හේතුව වන්නේ දරුවා බිහි කිරීමෙන් පසු සිරුරේ සිදුවන හෝමෝනයන්ගේ වෙනස් වීමයි. එමෙන්ම කොටිසෝල් සාන්ද්‍රණය ඉහළ යාමත්, ප්‍රසූතිය අතරතුරේදී සිදුවන ආසාදන තත්ත්වයනුත්, දරුවාගේ මුල් වයස් කාලයේදී මවගේ වගකීම් වැඩිවීම මත ඇතිවන අවිවේකි බවත් මෙයට හේතු කාරණා වේ. මේ සියලූ කාරණාවලට අමතරව ආර්ථීක ගැටලූවලට මැදිවන කාන්තාවන් බිළිඳාගේ අවශ්‍යතා ඉටු කරගැනීමට යාමේදී ඒ මත විඳින්නට සිදුවන පීඩාවන්ද මානසික ව්‍යාකූලතාවලට පෙර නිමිති වේ.

පසු ප්‍රසව මානසික වික‍ෂිප්ත භාවය ලෙස හැඳින්වෙන මේ තත්ත්වය ප්‍රසූතියෙන් පසු මුල් සති දෙක තුළ ඇතිවන තාවකාලික තත්වයකි. හැඬිම, නුරුස්සනා සුලූ බව, මානසික අවපීඩනය ඇතිවීම වැනි ලක‍ෂණ පෙන්නුම් කරන අතරම මේ සඳහා ස්වාමිපුරුෂයාගේ, පවුලේ අයගේ සහයෝගය, ආදරය, කරුණාවන්ත බව ලැබීම වැදගත් වේ. සති දෙකට වඩා පවතී නම් පසු ප්‍රසව විශාදය තත්ත්වයට පත්විය හැකියි.

මේ කාලයේදී මවට ප්‍රසව විශාදය, ප්‍රසවයෙන් හටගත් සයිකෝසිස් වැනි තත්ත්ව ඇති වීමට වැඩි ඉඩ කඩක් පවතිනවා, මේ පිළිබඳ විශේෂයෙන්ම තේරුම්ගත යුතු පුද්ගලයා සහ දැනුවත් විය යුතු පුද්ගලයා වන්නේ ස්වාමිපුරුෂයායි. තම බිරිඳ සමග සියලූම කාර්යයන්වලට උර දීමට ඔහුට හැකියාවක් ඇත්නම් මෙවැනි තත්ත්වයන් අවම කරගැනීමට හැකියාව ලැඛෙනවා. තම බිරිඳගේ යම් යම් වෙනස්වීම් කෙරෙහි බලපාන හේතු සාධක හඳුනාගනිමින් ඇයව තේරුම් ගනිමින් විවාහ දිවිය ගෙවන්නට අවැසි අවබෝධය ස්වාමිපුරුෂයෙකු වශයෙන් ඔබට තිබිය යුතුමයි. යම් යම් අවස්ථාවන්වලදී ඔබේ දයාබර බිරිඳ පීඩාකාරී මානසික පසුබිමක සිටියත්, ඒ බව ඔබට නොපවසන්නේ ඇය තුළ පවතින පීඩාකාරී මානසික වටපිටාව නිසාමයි. එවැනි අවස්ථාවල ඇයව හොඳින් තේරුම් ගැනීමට ස්වාමිපුරුෂයා ලෙස ඔබට පුළුවන් නම් ඇයට එය මහත් වූ අස්වැසිල්ලක් වනු ඇත.

එසේ නොමැතිව ඔබ ඇයට තව තවත් පීඩනය එල්ල කිරීමක් සිදු කළහොත් ඇය තව තවත් අසරණ වනු ඇත. ස්වාමිපුරුෂයාගේ දැඩි ආදරය, රැකවරණය තම බිරිඳට ලැබුණහොත් බිරිඳට ඇතිවන මානසික පීඩනය අවම වේ. එසේ නැතිවුණහොත් ප්‍රසූතියකින් පසු ඇතිවන ගැටලූ මත මව හා බිළිඳා අතර දුරස් බව ඇති වන අතර එය දරුවාගේ වර්ධනය සහ ආරක‍ෂාව කෙරෙහි සෘජුවම බලපායි. මෙවැනි තත්ත්වවලදී සමහර කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසුව කේන්තිය, දරුවා නොරිස්සීම, ස්වාමියාගෙන් වෙන්ව සිටීම වැනි දේවලට පෙළඹේ. මේ තුළ විශාදය වැනි මානසික සෞඛ්‍යය ගැටලූ ඇති වීමටද හැකියාව පවතී.

විශාදයේ ලක‍ෂණ

දරු ප්‍රසූතියෙන් සති 6 ක් ඇතුලත දැකිය හැකි තත්ත්වයකි. නොසලකා හැරීමෙන් මාස 6 කට වඩා වැඩි කාලයක් පැවතිය හැකියි. බොහෝ අවස්ථාවල මේ සමග ඇතිවන වෙනස්කම් වෙන් වෙන් වශයෙන් පහදා දීමත් අසීරුය. සමහර පැවතුම් ම`ද වශයෙන් වෙනස්වීමේ හැකියාව පවතී. සිතෙහි ඇතිවන කලකිරීම, සතුටක් නොලැබීම, දුර්වල යැයි හැඟීම හා වෙහෙසට පත්වීම (ඉක්මණින්), අවධානය අඩු වූ විට තරහ යාම, නින්දයාමේ වෙනස්කම්, ආහාර රුචිය නැතිවීම, නින්ද අඩුවීම/වැඩිවීම, ආහාරු රුචිය අඩුවීම/වැඩිවීම වැනි දේවල සිදුවන වෙනස්කම් මෙහි රෝග ලක‍ෂණ ලෙස සැලකිය හැකිය. මව සැමියා/අන් අය කෙරේ ඇති කර ගන්නා නොරිස්සුම් ස්වභාවය නිසා ඉතාමත් ඉවසීමෙන්, කල්පනාවෙන් හා ආදරයෙන් මවට සමීපව කටයුතු කිරීම කළ යුතුයි.

සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් මේ ලක‍ෂණ අත් විඳිනවා නම් ඔබ උපකාර ලබාගත යුතු මොහොත එළඹ ඇතැයි සිතන්න. එනිසා මෙවැනි රෝගී ලක‍ෂණ ඔබට ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු වෙනවා.

  • අසන්තෝෂය, අප්‍රාණික ගතිය
  • පරාජිත බව, වරදකාරී හැඟීම්, ලැජ්ජාව, බලාපොරොත්තු සුන් වූ බව
  • දුක වැනි හැඟීම් ඇති වීම/නිතර කදුළු සලන්නට සිතීම
  • තරහ, නුරුස්සනාකම
  • නිදාගන්න බැරිකම, රාත්‍රියේදී දරුවාට කිරි දුන් පසු මවට නින්ද නොයාම/අධික ලෙස නින්ද යාම හා බියකරු සිහින දැකීම
  • ආහාර රුචියේ වෙනස්කම්
  • සමාජ ආශ්‍රයෙන් දුරස් වීම/තමා ගැනම නොසලකා හැරීම
  • සාමාන්‍යයෙන් විනෝදයට සතුටට පත්වන දේ පිළිබඳ උනන්දුවක් නැති වී යාම
  • පැහැදිලිව සිතන්නට හා තීරණ ගැනීමට නොහැකියාව ඇති වීම

මෙවැනි තත්ත්වයකින් මිදීමට යම් කාලයක් ගතවන බව වටහාගත යුතු අතර ඒ කාලය කෙරතම් අසීරු වුවත් ඉවසිලිවන්තව උපේක‍ෂා සහගතව තම බිරිඳ රැකබලාගැනීම ස්වාමිපුරුෂයාගේ වගකීමයි. මෙය ඇයට ඇතිවන සාමාන්‍ය තත්ත්වයක් වන අතර කිසිවිටෙක ලැජ්ජා වීමට කරුණක් නොවනු ඇත. එමෙන්ම මෙවැනි තත්ත්වයක් උද්ගතවන්නේ කාන්තාවක් වන ඇයගේ වරද නිසා නොවන බවද සිහි තබාගත යුතු අතරම ඇයට තමා පිළිබඳවත් තම දරුවා පිළිබඳවත් සැලකිලිමත් වීම සම්බන්ධයෙන් අවශ්‍ය සහය ස්වාමියා වන ඔබ වෙතින් ලබා දිය යුතුය. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබාගත් විට ඉක්මණින් මෙම තත්ත්වයෙන් මිදීමේ හැකියාව පවතී. ඖෂධ ප්‍රතිකාර මග නොහැරෙන සේ ලබාදීමත් මවව හොඳින් රැකබලා ගැනීමත් මවව අගය කිරීම් හා ප්‍රශංසනාත්මක ලෙස කටයුතු කිරීමත්, හුදෙකලා නොකර ඇය සමග කාලය ගත කිරීමත් වැදගත් වේ.

ස්වාමිපුරුෂයා ලෙස/පියා ලෙස ඔබ

මෙවැනි තත්ත්වයන්වලදී අවශ්‍ය සියලූ උපකාර ඉතා සමීපව සිදු කළ හැකි සුදුසුම තැනැත්තා පියාය. රෑ දෙගොඩ හරියේ දරුවා අඬනවා නම් පියාට දරුවා බලාගැනීමට බොහෝ විට ඉඩකඩ තිඛෙන අතර එමගින් මවට ටිකක් විවේක ගැනීමට හැකිවෙයි. එමෙන්ම දරුවාගේ නැපි සේදීමට, ළදරුවා නෑවීම වැනි අවස්ථාවලදී බිරිඳට උදව් කිරීම ඔබට කළ හැකි වේ. එමගින් දෙමව්පියන් දෙදෙනාගේම සහයෝගයෙන් හා එකමුතුවෙන් තම දරුවා හදා ගැනීමට අවස්ථාව හිමි වේ.

බුලත්සිංහල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි අයිරාංගනී ගගලගමුව මහත්මිය සමග චමිලා සෙනෙවිරත්න විසින් සකසන ලද ලිපියකි.

 

දිනකට අවශ්‍ය ශක්තියෙන් 10-15% පමණ ලබා ගැනීමට ප්‍රෝටීන් අවශ්‍ය ඇයි ?

පියලි හා ඇට වර්ග, මාළු, කරවල, බිත්තර, කුකුළු මස් හා අනෙකුත් මස් වර්ග ප්‍රෝටීන බහුල ආහාර වේ. දිනක ශක්ති අවශ්‍යතාවයෙන් 10-15% ක් පමණ ප්‍රෝටීන අඩංගු ආහාර මගින් ලබාගත යුතුය. ශරීරයේ ෙසෙල ගොඩනැගී ඇති මූලික ව්‍යුහය ප්‍රෝටීන් වන අතර එන්සයිම, හෝමෝන සහ අනෙකුත් වැදගත් රසායනික ද්‍රව්‍ය නිපදවීම හා ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රෝටීන අත්‍යවශ්‍ය වේ. ප්‍රෝටීන, කැලරි ප්‍රභවයක්ද වන අතර, එය ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වේ. ප්‍රෝටීන ඌණතාවය ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් කෙරෙහි බලපෑමක් ඇති කරයි. විශේෂයෙන් ශරීරයේ වර්ධනය හා විකසනය වන අවදියේදී ප්‍රෝටීන ඌණතාවයක් ඇති වුවහොත් එය එම ක්‍රියාවලිය කෙරෙහි ඛෙහෙවින් බලපෑම් ඇති කරයි. එමනිසා ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන් අඩංගු ආහාර ප්‍රමාණවත් ලෙස ආහාරයට එකතුකර ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හේතු වේ. විශේෂයෙන් ප්‍රෝටීන අඩංගු සත්ව ආහාර වල සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ඇති බැවින් එම ආහාර පෝෂණ ගුණයෙන් ඉහළ වේ.

මාළු සහ කරවල ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන මූලාශ්‍ර වේ. එය පහසුවෙන් ජීරණය වේ. එමෙන්ම මාළු හා කරවලවල අඩු මේද ප්‍රමාණයක් අන්තර්ගත වන අතර, මාළු විවිධ පෝෂකවලින් පොහොසත් වේ. විවිධ වර්ගවලට අයත් මසුන් (මුහුදු මාළු, මිරිදිය මාළු, තෙල් සහිත මසුන් සහ ඉස්සන්, කකුළුවන්, දැල්ලන් වැනි කලපු මත්ස්‍යයන්) ආහාරයට ගැනීම මගින් විවිධ වූ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලැබේ. ශරීරයට හිතකර තෙල් වර්ග මාළුවාගේ මොළයේ අන්තර්ගත වේ. එම නිසා මාළු පිසගැනීමේදී සම්පූර්ණ මාළුවාම ඒ සඳහා යොදාගන්න. මාළු තැම්බීම, බැදීම හා ව්‍යාංජන ලෙස සකස් කිරීම මගින් විවිධ රසයන්ට මාළු පිළියෙළ කළ හැක.

ප්‍රෝටීන

මාළු ප්‍රෝටීන, ගුණාත්මක බවින් ඉතා ඉහළය. ශරීරය වර්ධනය වීම හා අලූත්වැඩියාව සදහා අවශ්‍ය වන සියලූම ඇමයිනෝ අම්ල ප්‍රමාණවත් ලෙස මාළුවල අන්තර්ගත වේ. අමු බර මාළු ග්‍රෑම් 100 ක ප්‍රෝටීන ග්‍රෑම් 18-20% පමණ අඩංගු වේ.

මාළුතෙල්

ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ලයක් වන ඔමේගා 3 මේද අම්ලය මාළුවල අඩංගුය. මෙමගින් රුධිර වාහිනී අවහිරතා රෝග, හෘද රෝග, අධි රුධිර පීඩනය හා පිළිකා වැනි රෝග තත්ත්ව වැළැක්වීම සඳහා වැදගත් මෙහෙයක් ඉටු කරන බවට මෑතකදී කරන ලද පරීක‍ෂණවලට අනුව ඔප්පු වී ඇත. විශේෂයෙන්ම තෙල් සහිත මාළු වන සාලයා, හුරුල්ලා (සාඩිනෙල්ලා විශේෂය), කුම්බලාවා, බෝල්ලා (මැකරල් මාළු) සතියකට දෙවරක් වත් ආහාරයට ගැනීමෙන් මොළය වර්ධනයට හා පෙනීම ඇති වීමට අවශ්‍ය වන ප්‍රමාණවත් ඔමේගා 3 මේද අම්ල ප්‍රමාණයක් ලැබේ. කලපු මත්ස්‍යයින් වන ඉස්සන්, කකුළුවන්, දැල්ලන් හා ඛෙල්ලන් ඔමේගා 3 මේද අම්ල ලබාගත හැකි හොඳ මූලාශ්‍ර වේ.

කැල්සියම්

මාළු, කැල්සියම් බහුල ආහාරයකි. විශේෂයෙන් වියළි හාල් මැස්සන්, කූනිස්සන් (ඉස්සන් විශේෂ) ආහාරයට ගැනීමෙන් හා හුරුල්ලා සහ සාලයා වැනි කුඩා මසුන් බැද කටුත් සමග ආහාරයට ගැනීම මගින් කැල්සියම් හොඳින් ලබාගැනීමට හැකිය. කැල්සියම් ශරීරයේ අස්ථී හා දත් විකසනයට අලූත්වැඩියා කිරීමට හා නීරෝගීව පවත්වා ගැනීමට අවශ්‍ය වේ. මෙයට අමතරව කුඩා දරුවන්ට වැලඳෙන රිකට්ස් (අස්ථී ඇද වීම) නැමති රෝගයද වැඩිහිටියන්ට වැලඳෙන ඔස්ටියෝපොරෝසිස් නැමති රෝගය වැළඳීමට ඇති අවදානමද කැල්සියම් බහුල ආහාර ගැනීම මගින් අඩු කෙරේ.

යොවුන් වියේදී කැල්සියම් අවශ්‍යතාවය ඉතා ඉහළ අතර, බැදගත් කුඩා මසුන් ඔවුන්ගේ ආහාර වේලෙහි අඩංගු කරලීම මගින් කැල්සියම් අවශ්‍යතාවය සපුරාලිය හැකිය.

විටමින් ඩී

කිරි හා බිත්තරවලට අමතරව මාළු විටමින් ඒ හා ඩී ලබාදෙන ගුණාත්මක බවින් ඉහළ මූලාශ්‍රයක් වේ. විශේෂයෙන් තෙල් සහිත මසුන් වන සාඩිනෙල්ලා විශේෂ, සැමන්, බල මාළු විශේෂ හා මැකරල් මාළුන්ගේ විටමින් ඩී අඩංගුය. විටමින් ඩී ආහාරයේ ඇති කැල්සියම් ශරීරයට හොදින් අවශෝෂණය වීමට උදව් කරන අතර, අස්ථී විකසනයට හා හොඳින් පවත්වාගෙන යාමට උපකාරී වෙයි.

යකඩ

මත්ස්‍ය ආහාර යකඩ සඳහා හොඳ මූලාශ්‍රයකි. මාළුවල අඩංගු යකඩ, ශාකවල අඩංගු යකඩවලට වඩා ශරීරයට හොඳින් අවශෝෂණය වේ. මස රතු පැහැ වූ සියලූම මත්ස්‍යයින්, සාඩිනෙල්ලා විශේෂ කරවල සහ කලපු මත්ස්‍යයින් (ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන්) යකඩ බහුල ආහාර වේ. එමෙන්ම මත්ස්‍ය ආහාර සින්ක්, සෙලීනියම් හා අයඩීන් ලබාදෙන හොඳ මූලාශ්‍ර වේ.

ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන සඳහා බිත්තර ආහාරයට ගන්න

බිත්තරවල තිඛෙන ප්‍රෝටීන  මස්, මාළු හා කිරිවල අඩංගු ප්‍රෝටීනවලට වඩා ගුණයෙන් ඉහළය. ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මෙන්ම විටමින් සී හැර අනෙකුත් විටමින්, ඛනිජ ලවණ බොහෝමයක් බිත්තරවල අඩංගුය. බිත්තර කහ මදයේ මේදය හා කෝලීන් ඇතුළුව බොහෝමයක් විටමින් වර්ග හා යකඩ අඩංගු වේ. එමෙන්ම එහි සැළකිය යුතු ප්‍රමාණයක් කොලෙස්ටරෝල් සහ කැල්සියම්ද අන්තර්ගත වේ. බිත්තර සුදු මදය සම්පූර්ණයෙන්ම ප්‍රෝටීන්වලින් සෑදී ඇත. බිත්තරවල අඩංගු යකඩ ශරීරයට උරාගැනීම තරමක් කාර්යක‍ෂම නොවන අතර, විටමින් සී අඩංගු ආහාරයක් සමග ගැනීමෙන් අවශෝෂණය ඉහළ යයි.

බිත්තර පිස ගැනීමේදී එළවළු සමග මිශ්‍ර කිරීමෙන් එහි අඩංගු කොලෙස්ටරෝල් ප්‍රමාණය ශරීරයට අවශෝෂණය කිරීම අඩු කර ගැනීමට පුළුවන. බිත්තර ආහාරයට ගැනීමේදී එය තම්බා හෝ බැද ආහාරයට ගැනීම වඩාත් සුදුසුය. තම්බාගත් හෝ බැදගත් බිත්තර ජීරණයට පහසු අතර, සැල්මොනෙල්ලා වැනි අහිතකර විෂබීජ කාරක ශරීරයට ඇතුළුවීමද වළකයි. බිත්තර මිලෙන් අඩු හා පහසුවෙන් පිළියෙළ කරගත හැකි ප්‍රෝටීන් ප්‍රභවයක් වන අතර, ක්‍රියාශීලී දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට දිනපතා බිත්තරයක් ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් සපුරා ගැනීමට පුළුවන. එහෙත් රුධිරවාහිනි අවහිරතා රෝග ඇති අය හා එම රෝගවලට ගොදුරුවීමේ අවදානමක් ඇති අය බිත්තර සතියකට දෙකකට හෝ තුනකට දක්වා සීමා කළ යුතු වේ. මෙවැනි අය සඳහා බිත්තර සුදුමදය දිනපතා වුවද භාවිතය සුදුසු වේ.

ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන් සඳහා මස් ආහාරයට ගන්න

මස් ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන ලබා දෙන හොද මූලාශ්‍රයක් වේ. යකඩ, සින්ක්, කොපර් ඇතුළු බොහෝමයක් ඛනිජ ලවණ මස්වල අඩංගු අතර, එහි ඇති යකඩ හොදින් අවශෝෂණය වේ. එමෙන්ම ධාන්‍ය හා පියලිවල ඇති යකඩ ශරීරයට අවශෝෂණය වීමට මස්වල ඇති යකඩ උදව් කරයි. ධාන්‍ය හා රනිල ආහාරයට ගැනීමේදී එයට ස්වල්ප ප්‍රමාණයක් මස් එකතු කරගැනීම යෝග්‍ය අතර, රක්තහීනතාවයෙන් පෙලෙන අය සඳහා මෙවැනි ආහාරයක් ලබා දීම ඉතා ප්‍රතිඵල දායක වේ. මස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන, විටමින් බී 12 ඇතුළු විටමින් බී සංකීර්ණය අයත් විටමින් ලබාගැනීම සඳහා භාවිත කළ හැකි හොද මූලාශ්‍ර වේ. මස් සංතෘප්ත මේදය හා කොලෙස්ටරෝල් බහුල ආහාරයකි. එම නිසා රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ අය සදහා නිතර මස් අනුභවය සුදුසු නොවේ. රතුමස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන වන සොසේජස්, මීට් බෝල්ස්, හැම්බේකන් වැනි මස් වර්ග අධික ලෙස භාවිතය මගින් සමහර පිළිකා වර්ග සෑදීමේ අවදානමක් ඇත. කුකුළු මස්වල සංතෘප්ත මේදය ප්‍රමාණය අනෙකුත් මස් හා සසඳන කළ තරමක් අඩුය. එහෙත් අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය අනෙකුත් මස්වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණයට සමාන වේ. ආහාරයට ගැනීමේදී මස්වල අඩංගු මේද කොටස් ඉවත් කිරීමෙන් සහ කුකුළු මස්වල හම ඉවත් කර පිස ගැනීම මගින් මේද ප්‍රමාණය අඩු කර ගැනීමට පුළුවන.

පියලි හා ඇට වර්ගවල අඩංගු වැදගත් පෝෂක

පියලි හා ඇට වර්ග ප්‍රෝටීන් ලබා ගැනීමට භාවිත කළ හැකි හොඳ ප්‍රභවයකි. පියලි හා ඇට වර්ගවල තන්තු, සංකීර්ණ කාබොහයිඩ්රේට්, විටමින් හා ඛනිජ ලවණ බහුල වන අතර, මේදය ඇත්තේ මද වශයෙනි. දිනපතා ආහාරයට පියලි හා ඇට වර්ග එකතුකර ගැනීම මගින් දියවැඩියා රෝගය සෑදීමට ඇති අවදානම අඩුවේ.

ප්‍රෝටීන

පියලි හා ඇට වර්ග (බෝංචි, මුං ඇට, කව්පි, සෝයා සහ පරිප්පු) ධාන්‍ය සමග ආහාරයට ගැනීම මගින් ශරීරයට අවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලම ලැබේ. නිර්මාංශ ආහාර අනුභව කරන අයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලබා ගැනීම සඳහා ධාන්‍ය වර්ග සමග පියලි හා ඇට වර්ග ආහාරයට එකතු කරගත යුතුය.

උදා: පරිප්පු/කඩල/කව්පි/මුං ඇට, බත් සමග ආහාරයට ගැනීම

විටමින්

පියලි හා ඇට වර්ගවල විටමින් බී කාණ්ඩයට අයත් බොහෝමයක් විටමින් ඇත. පියලි හා ධාන්‍ය ප්‍රරෝහනය වීමේදී / පැලවීමේදී එහි අඩංගු විටමින් බී හා සී ශරීරයට අවශෝෂණය වීම වැඩිවේ.

යකඩ

පියලි හා ඇට වර්ගවල අඩංගු යකඩ පහසුවෙන් ශරීරයට අවශෝෂණය නොවේ. පියලි හා ඇට වර්ග පැල කිරීමෙන් හෝ පැසවීමෙන් යකඩ අවශෝෂණය ඉහළ නැංවිය හැක. පියලි හා ඇට වර්ග සඳහා පරිප්පු, කඩල, මුං ඇට, සෝයා හා බෝංචි ඇට උදාහරණ වේ. ආහාර වේලක් සදහා මින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක.

ප්‍රෝටීන, ඛනිජ ලවණ, විටමින්, මේදය හා තන්තු ලබා දෙන හොඳ ආහාරයක් ලෙස සෝයා සැලකිය හැකිය. ටි.වී.පී. (පදම් කරන ලද එලවළු ප්‍රෝටීන) ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කරන සෝයා ආහාරයකි. සෝයා හා සෝයා නිෂ්පාදන, නිර්මාංශ ආහාර ගන්නා අයට භාවිත කළ හැකි හොඳ ප්‍රෝටීන ප්‍රභව වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ ප්‍රකාශනයක් ඇසුරෙන් අවසර ඇතිව පල කරන ලදී

 

ලුණු සීමා කරමු … අයඩීනිකරණය කළ ලුණුවලට මුල් තැන දෙමු

මානව ශිෂ්ඨාචාරය ආරම්භයේ සිටම ආහාර රස ගැන්වීමේ ක්‍රියාවලියේදී ලුණු ප්‍රධාන මෙහෙයක් ඉටු කරමින් සිටී. ආහාරයට සෝඩියම් එකතු කරනු ලබන ප්‍රධාන මූලාශ්‍රය වශයෙන් ලුණු සැලකිය හැකිය. ශරීරයේ සමබරතාවය පවත්වාගෙන යාම සඳහා ලුණු  අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. දිනපතා භාවිත වන ආහාරවල ස්වභාවයෙන්ම අඩංගු සෝඩියම් ශරීරයේ සියලු අවශ්‍යතාවයන් සඳහා ප්‍රමාණවත් වුවත් වැඩිපුර දහදිය දමන අය සඳහා ලුණු අමතර වශයෙන් භාවිතය අවශ්‍ය විය හැක. එක් පුද්ගලයෙකු සඳහා දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 05 කට (දළ වශයෙන් තේ හැන්දක්) වඩා අඩුවිය යුතුය.

ආහාරයට ලුණු  ලැඛෙන මූලාශ්‍ර : 

ආහාරයට ලුණු  විවිධ අයුරින් එකතු වීමට පුළුවන.

  • සියලුම ස්වභාවික ආහාරවල සුළු වශයෙන් අඩංගු වීම
  • ආහාර පිසීමේදී එක් කිරීම
  • කෑම මේසයේදී ආහාරයට මිශ්‍ර කිරීම
  • ආහාර පිරිසැකසුම් කිරීමේදී එක් කිරීම

මාංශමය අහාර වන හැම් බේකන්, සොසේජස්, ලුණු  දමා වියලන ලද කරවල, ලුණු  දමන ලද ඌරු මස් වලද, බටර්, මාගරින්, ටින් කරන ලද එළවළු, මාමයිට් හා වෙජිමයිට් (යීස්ට් නිස්සාරක) සෝයා සෝස් ඇතුළු සෝස් වර්ග ලුණු  රසැති ක‍ෂණික කෑම වර්ග වන සේවරි බිස්කට්, ක්‍රිස්පි වර්ග, අච්චාරු සහ උදය ආහාරය සඳහා සකස් කල ධාන්‍ය වර්ග වලද ලුණු  බහුලව අන්තර්ගතය.

අප විසින් ලුණු සීමා කළ යුත්තේ ඇයි?

සාමාන්‍යයෙන් ලුණු  අඩුවෙන් පරිභෝජනය හා පොටෑසියම් බහුල ආහාර වැඩිපුර ගැනීම හේතුවෙන් සමස්ත ජනගහනයේම රුධිර පීඩනය අඩු වීමකට තුඩු දිය හැක. වැඩිපුර පළතුරු හා එළවළු ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැඛෙන පොටෑසියම් ප්‍රමාණය වැඩිකර ගැනීමට පුළුවන. අධි රුධිර පීඩනයෙන් පෙළෙන අය ලුණු භාවිතය සීමා කිරීම සෞඛ්‍යයට හිතකරය. වයස්ගත වීමත් සමග ලුණුවලට ඇති සංවේදීතාවය ඉහළ යයි. අධික ලුණු සහිත ආහාර ගැනීම නිසා මුත්‍රා සමග කැල්සියම් පිටවීම ඉහළ යයි. මෙම හේතුව නිසා ශරීරයේ කැල්සියම් ඌනතාවයක් ඇතිවිය හැක.

අයඩිනීකරණය කරන ලද ලුණු පමණක් භාවිත කරන්න

අයඩිනීකෘත ලුණු සෑම නිවසකම ආහාර රස කර ගැනීම සඳහා යොදා ගන්නා නිසා සෑම කෙනෙකුටම තම අහාර වේල මගින් අයඩීන් ලබා ගැනීමට හැකියාව ඇත. එම නිසා ලුණු භාවිතයේදී අයඩිනීකරණය කරන ලද ලුණු පමණක් භාවිතයට ගත යුතුය. මිනිසාගේ කායික සහ මානසික ක්‍රියාකාරිත්වය සඳහා තයිරොයිඩ් හෝමෝනය ඉතා වැදගත් වේ. මෙම හෝමෝනය නිපදවීමේදී අයඩින් ප්‍රධාන මෙහෙයක් ඉටු කරයි. අයඩින් ඌණතාවය හේතුවෙන් මන්ද බුද්ධිකතාව,මානසික හා ශාරීරක වර්ධනය අඩු වීම සහ විකසනය වීමේ ගැටළු ඇති වේ.

අයඩිනීකරණය කරන ලද ලුණු ආරක්ෂාකාරීව භාවිත කළ යුත්තේ කෙසේද?

  • ලිප, හිරු එළිය හෝ වෙනත් උණුසුම් සාදකවලින් ඈත්ව අඳූරු බෝතලයක ගබඩා කරන්න
  • ආහාරයට එකතු කිරීමට පෙර ලුණු සේදීමෙන් වලකින්න
  • ආහාර පිස ගැනීමෙන් අනතුරුව ආහාරයට ලුණු එකතු කරන්න
ලුණු භාවිතය අඩු කරගත හැක්කේ කෙසේද?

  • කෑම පිසීමේදී, ලුණු ඉතා ස්වල්ප ප්‍රමාණයක් එක්කර ගන්න. ආහාරයේ රසය වැඩිකිරීම සඳහා ලුණු වෙනුවට කුළුබඩු ඇතුළු ස්වභාවික රසකාරක එකතු කරන්න. උදා: කුරුඳු, කරපිංචා, එනසාල්
  • ආහාර වේලක් සැලසුම් කිරීමේදී පිරිසැකසුම් කල ආහාරවලට වඩා සෝඩියම් අඩුවෙන් අන්තර්ගත ස්වාභාවික ආහාර තෝරා ගැනීමට සැළකිලිමත් වන්න.
  • ටින් කරන ලද මාළු සහ මස්වලට වඩා අලුත් මාළු හා මස්වල අඩංගු ලූණු ප්‍රමාණය අඩු බව මතක තබා ගන්න
  • ටින් කරන ලද ආහාර තෝරා ගැනීමේදී ලේබලය කියවා ලුණු අඩු හෝ ලුණු රහිතව පිළියෙල කර ඇති ඒවා තෝරා ගන්න
  • අච්චාරු, ලුණු දෙහි, චට්නි, සෝස්, සලාද මිශ්‍රණ (සැලඩ් ක්‍රීම්) හා අබ ක්‍රීම් (මස්ටඩ් ක්‍රීම්) වල අධික ලුණු ප්‍රමාණයක් අන්තර්ගත බැවින් භාවිතය සීමා කරන්න.
  • ලුණු අධික කෙටි ආහාර වෙනුවට අලුත් එළවළු සහ පළතුරු ආහාරයට ගන්න
  • පිරිසැකසුම් කරන ලද ටින් කළ ආහාර සකස් කිරීමේ ක්‍රියාවලියේදී අමතර ලුණු ප්‍රමාණයක් එක් කරන බව මතක තබා ගන්න
  • ළදරුවන් සහ ළමයින්ට ලුණු හඳුන්වාදීම ප්‍රමාද කරන්න. ලුණුවලට හුරුපුරුදු වීම නිසා අඩු ලුණු  ප්‍රමාණයකින් තෘප්තිමත් වීමට පුරුදු වේ
  • ලුණු  රසට හුරු පුරුදු වීම එය භාවිතයත් සමග සිදුවන ක්‍රියාවලියක් නිසා අඩු ලුණු  ප්‍රමාණයකට දිව හුරු පුරුදුකර ගැනීම මගින් ආහාරයේ ස්වභාවික රසය භුක්ති විඳීමට පුරුදු වන්න
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ ප්‍රකාශනයක් ඇසුරෙන් අවසර ඇතිව පල කරන ලදී.

 

බුද්ධිමත් ජානය දරුවන්ට ලැබෙන්නේ අම්මාගෙන්

දරුවෙකුට ආදරය සෙනහස වගේම බුද්ධිය ලබා දීමේදිත් වඩාත් බලපෑමක් ලැබෙන්නේ අම්මාගෙන් බව නවතම අධ්‍යනයන් මගින් පෙනී ගොස් තිබෙනවා.  මව්පිය ආරය සහ පරිසරය දරුවන්ට බලපාන බව සාමාන්‍ය පිලිගැනීම වුනත් බුද්ධිය වෙනුවෙන් මවගෙන් ලැබෙන දායකත්වය සනාථ කිරීමට ජර්මන් ජාතික වෛද්‍ය ජෙනිෆර් ස්ටුවර්ට් විසින් ප්‍රකාශයට පත් කරන ලද  අධ්‍යන වාර්තාව වඩාත් හේතු වී තිබෙනවා.

ඔහුගේ මෙම අධ්‍යනය වෙනුවෙන් ජර්මනියේ යූ. අයි. එම් විශ්ව විද්‍යාලයේ සමීක්ෂනයද පාදක කර ගනු ලැබීය. එම අධ්‍යනය මගින් හදුනා ගත් අන්දමට කාන්තාවන් බුද්ධිය සපයන එක්ස් වර්ණ දේහ දෙකකට හිමිකම් කියන නිසා දරුවන්ගේ බුද්ධිය වෙනුවෙන් මවගෙන් ලැබෙන මෙම ජානය වඩාත් වැදගත් බැව් පෙන්වා දෙනවා. කාන්තාවන්ගේ නුවණ හැදිමිටේ දිගට සමාන කලත්, මෙම අධ්‍යනයන් මගින් පෙන්වා දෙන අන්දමට පිරිමින්ගෙන් 30 % ක් පමණ දෙනා බුද්ධිය පිලිබඳ ඌනතාවයන්ගෙන් පෙලෙන පිරිසක් බව පෙනී ගොස් ඇත. මෙම දත්ත පාදක කර ගෙන පර්යේෂක “සුඩා රෝස්” පෙන්වා දෙන්නේ දරුවන්ගේ බුද්ධිය වෙනුවෙන් මවගේ බලපෑමක් ඇති බව පිලිගත යුතු සත්‍යක් බවට පත් වෙන බවයි.

විද්‍යාත්මක පිලිගැනීමට අනුව දරුවෙකුගේ බුද්ධිය වෙනුවෙන් ආරය සහ පරිසරය විශාල බලපෑමක් ඇති කරනු ලැබේ.එය 60% ක් තරම් ඉහල අගයක පවතී. දරුවාගේ බුද්ධිය වර්ධනය වෙනුවෙන් අදාල පරිසයේ බලපෑමද බොහෝ විට ලැබෙන්නේ මව ගෙන් බව නොරහසක්. පියා පවුලේ ආදායම සරි කරනු මිස පරිසරයෙන් දරුවාට අවශ්‍ය දැනුවත්බව ලබා දීමෙහි ලා එතරම් දායකත්වයක් දක්වන්නේ නැත. එහෙත් අම්මා යාන්තමින් දරුවා දෙනෙත් විවෘත කරන ලද දිනයේ පටන්ම දරුවාට ලබා දෙන්නේ දැණුමයි. නැලවිලි ගීතයේ පටන්ම ඇය දරුවාට ලබා දෙන දැණුම අඩුවක් නැත. කවිය , ගීතය , මගින් ඇය දරුවාට අත්දැකීම් එකතු කරන්නීය. සුන්දර සිතුවිලි වලින් රසභාවයන් පෝෂණය කරන්නීය. මේ නිසාම අද දරුවන්ගේ බුද්ධි මට්ටම සහ ඔවුන් බිහි කරන ලද මව්වරුනගේ බුද්ධි මට්ටම අතර ඇත්තේ සියට 15 ක පමණ වෙනසක් බව සුඩා රෝස් ගේ අධ්‍යන වාර්තාවේ සඳහන් වේ.

මිනිසෝටා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ වාර්තාවකින් හඳුනා ගත් අන්දමට මව සමග ඉතාම සමීප සම්බන්ධතාවයක් දක්වන දරුවන් අනාගතයේදී ඉතාම දක්ෂයන් බැව් පෙනී ගොස් ඇත. බාල කාලයේ පටන් අම්මාගේ ඇසුර වෙතින් ලබන ශක්තිය නිසා දරුවාට තමා පිලිබඳව විශ්වාසයක් ගොඩ නැගීම රහසක් නාවේ. මේ නිසාම ඔහු අනාගත අභියෝගයන් බාර ගන්නා නිසාම ඒ වෙනුවෙන් ලබන අත්දැකීම් සහ පරිසරයෙන් ලබන පන්නරය නිසා බුද්ධියෙන් සන්නද්ධ වීමට අවශ්‍ය පෙර සූදානම ලබනු ඇත. වොෂිංටන් විශ්ව විද්‍යාලයය විසින් මව සහ දරුවා අතර වූ අන්තර් සම්බන්ධතාවය ඔවුන්ගේ බුද්ධිය සදහා සිදු කරනු ලබන බලපෑම අධ්‍යනය කිරීමට දරුවන්ගේ මොලයේ ඉගෙනුම හා මතකයට ප්‍රතිචාර දක්වන “හයිපොකැම්පස් ” කලාපය පිලිබ ව පරීක්ෂා කරන ලදී. එහිදි ඔවුන්ට පැහැදිලිව පෙනී ගියේ මව සමග සමීප සම්බන්ධතාවයක් දක්වන දරුවන්ගේ බුද්ධි මට්ටම සාමාන්‍යයෙන් මව සමග බැඳීමක් නොමැති දරුවන්ට වඩා සියයට පහලොවකින් ඉහල මට්ටමක පැවැති බවයි.

මෙතැනදී ඔවුන් බුද්ධිය යනුවෙන් අදහස් කරනු ලැබුවේ පාසල් හා උසස් අධ්‍යාපනය මුල් කර ගත් පසුබිම පමණක් නොවේ. අභියෝග ඉදිරියේ මුහුණ දිම, ගැටලු නිරාකරනය, ස්වාධීනබව වැනි විවිධ කරුණු ඔවුන්ගේ අධ්‍යනය වෙනුවෙන් පාදක විය. දරුවන්ගේ නොමග යෑමේදී බොහෝ දෙනා දොස් නගන්නේ මවටයි. එහෙත් සමාජයට හිතකර දරුවෙක් දායාද කළ විට අම්මා මුල් කර ගෙන විශේෂ ඇගයීමක් ලැබෙන්නේද නැත. එම අවස්ථාවන්හිදී බොහෝ විට එහි සම්මානයට විශේෂණ පදය ලෙසින් ගලපන්නේ පියාගේ ලේ උරුමයයි. එහෙත් මෙතෙක් ඔබ නොදැන සිටියත් දරුවා බුද්ධිමත් වීමේදී වඩාත් දායක වන්නේ මවගෙන් ලැබෙන බුද්ධිමත් බව පිළිබඳ ජානයයි. මේ අනුව පෙනී යන්නේ  අම්මලා දුක් ගනිමින් පුතුන් රජුන් කරන්නට උත්සාහ ගන්නේ ඔවුන් මුල් කර ගෙන තමන්ගේ ජානගත ශක්තින්ද සපයමින් බව දැන් ලෝකයා තේරුම් ගෙන ඇත.

ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස් නම් ඔහු සුවිශේෂී ඇයි ?

දරුවන් කී විට ලෝකයේ හැම දරුවෙක්ම එක සේම වටිනාකමක් ඇති වස්තුවක් කීම සාධාරණය. සෑම අම්මා කෙනෙකුටම තමන්ගේ දරුවා සුවිහේෂී වස්තුවක්. අපේ ජනවහරට අනුව වුනත් කියැවෙන්නේ “උනහපුලුවාට උගේ දරුවා මැනිකක්” බවයි. ඒත් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස් නම් ඔහු ලෝකයේ අනිකුත් දරුවන්ට සාපේක්ෂව සුවිශේෂී වීමට කරුණු කීපයක් තිබෙනවා.  පසුගිය ජූලි මස 22 වැනි දින සිය  ජීවිතයේ හතරවැනි වසරට සම්පූර්ණ වුන ඔහු සුවිශේෂී වෙන්නේ ඇයි…?

ඔහු බ්‍රිතාන්‍ය කිරුලේ හතරවැනි උරුමක්කාරයාය

2013 වසරේ ජූලි මාසයේ 22 වැනි දින එංගලන්තයේ කේට් මිඩ්ල්ටන් විසින් ලොවට දායාද කළ මෙම පුත් කුමරු නමින් “ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස් ” නම් වේ. ඔහු උපත ලබන විට බ්‍රිතාන්‍ය ජාතිකයන් බිලිඳු කුමරා පිලිගත්තේ ආචාර වෙඩි මුර 21 ක් පවත්වමින්ය. ඔහු අනාගත රජ පුරුකේ තවත් හිමිකරුවෙකි.

දෙවැනි එලිසබෙත් රැජිනගේ මීමුණුපුරාය 

දැනට 91 වැනි වයසේ පසුවෙන එංගලන්තයේ මහරැජින වූ දෙවැනි එලිසබෙත් රැජිනගේ මීමුණුපුරාවන්නේ මෙම ජෝර්ජ් කුමරුවන්ය.රැජින ඔහු ආමන්ත්‍රනය කරන්නේ ගැන්-ගැන් යන සුරතල් නාමයෙන්ය. බකින්හැම් මාලිගාවට පැමිනෙන හැම මොහොතකම තම මීමුණුපුරා වෙනුවෙන් තෑග්ගක් අත තැබීමට මහ රැජින අමතක නොකරයි.

ඔහු ජීවත් වන්නේ 18 වන සියවසට අයත් ගොඩනැගිල්ලකය

ජොර්ජ් කුමරුට දෙවැනි එලිසබෙත් රැජින නිවසන බකිංහැම් මාලිගාවේ  කල් ගෙවීමට හැකි වුනත් දැන් ඔවුන් ජිවත්වන්නේ  18 වන සියවසට අයත් ගොඩනැගිල්ලකය. පියා වූ විලියම් කුමරුද , මව කේට් මිඩිල්ටන් සහ නැගණිය චාර්ලට් කුමරිය සමග ඔවුන් මේ නිවසේ කාලය ගෙවති. මෙම මන්දිරය විලියම් සහ කේට් විවාහ මංගල්‍යයේදී තිලිනයක් ලෙසින් මහරැජින විසින් තම මුණුපුරාට ලබා දුන් මන්දිරයකි.

ඔහුගේ උපන්දිනයට නිවසක් තෑගි

සාමාන්‍යයෙන් දරුවන්ගේ උපන්දිනය වෙනුවෙන් තෑගි ලෙස ලැබෙන්නේ සෙල්ලම් බඩු හෝ වෙනත් ළමා ලෝකයට ගැලපෙන ත්‍යාගයන් වේ. එහෙත් ජෝර්ජ් කුමරාගේ උපන්දිනය වෙනුවෙන්  2015 වසරේ සිය දෙවැනි උපන්දිනයට පියා වූ විලියම් කුමරු විසින් පවුම් දහඅට දහසක් වටිනා නිවසක් තෑග්ගක් සේ ප්‍රදානය කරන ලදී. වික්ටෝරියානු යුගයට අයත් මෙම මන්දිරය කෙලවර චාල්ස් කමරු හෙවත් ඔහුගේ සීයාගේ මල් සහිත තැනිතලාව  පිහිටා ඇත.

ඔහු තොරතුරු පනතින් නිදහස්ය

ජෝර්ජ් කුමරු දැනටමත් තොරතුරු පනතින් නිදහස්ය. බ්‍රිතාන්‍ය ජාතිකයන් රජ පවුල වෙනුවෙන් දක්වන ගරුත්වය නිසාම ඔවුන්ගේ තොරතුරු පිලිබඳව ප්‍රශ්න කිරීමක් හෝ විවේචනයක් නොමැති වුනත් අනාගතයේදී මෙම තත්වය වෙනස් වීමේ අවදානමක් ඇති වීම වලක්වා ලනු වස් ටෝනි බ්ලෙයාර් අගමැති විසින් බ්‍රිතාන්‍ය රජපවුල තොරතුරු පනතින් නිදහස් කරන ලදී.

ජෝර්ජ් කුමරුගේ රුව සටහන් සංකේත ඇත

ජෝර්ජ් කුමරුගේ රුව ඇතුලත් කරමින්  මුද්දර සහ කාසි නිකුත් කර ඇත. ඒ අතරින් ඔහු ජන්මය ලද 2013 වසරේ ජූලි 22 වැනි දින පවුම් පහක සමරු කාසියක් නිකුත් කරන ලදී. 2016 වසරේ අප්‍රේල්  මාසයේදී මෙම ළදරු කුමරාගේ රුව ඇතුලත් තැපැල් මුද්දරයක් නිකුත් කරන ලදී.