දරුවන්ට බනින්න විශේෂණ එපා

දරුවන්ට බනින්න ගියාම අම්මා තාත්තා වුනත් සීමාව පනින විදිහට වචන හසුරුවනවා. සමහර අවස්ථාවලදී මේ වෙනුවෙන් පිටකරන වචන දෙමව්පියන්ගේ කටට ආවාට නිකුත් කළත් ඒවායෙන් දරුවාගේ මනසට සිද්ධ වෙන බලපෑම සුලුපටු නැහැ.

මොනවද මේ වචන

සමහර දෙමව්පියන්ට තමන්ගේ ශබ්ද කෝෂයේ පාලනයක් ඇත්තේම නැහැ. ගොනා, බූරුවා, කාලකන්ණියා , මූසලයා මේ වගේ වචන වලින් දරුවාට  තමන්ගේ කෝපය පිටකරවනවා.

ඉතින් දරුවා බූරුවෙක් නොවෙයි නේ,

සමහර විට ඔබත් මේ විදිහට හිතනවා ඇති. අපි අම්මා තාත්තා විදිහට දරුවන්ට මොන තරම් ආදරෙයිද…? මේ වචන ඉතින් කියන්නේ කටට ආවාට මිසක දරුවන් ගැන වෛරයකින් ක්‍රෝධයකින් නොවෙයිනේ…ඒ වගේම මව්පියන් වුනත් වචන පිටකරන්නේ ඒවා අන්වර්ථ නිසාම නොවෙයි. ඒ වුනත් මේ වගේ අවතක්සේරු වචන නිසා දරුවාගේ පෞරෂයටත් විශාල බලපෑමක් ඇති වෙනවා.

තමා ගැන අවතක්සේරුවක් ඇති වෙනවා

දරුවන්ගේ ලෝකයේ සිටින වැදගත්ම චරිතයන් වන්නේ තමන්ගේ අම්මායි තාත්තයි. පවුල තුල හැසිරෙන විට දරුවාගේ සුවිශේෂී ආරක්ෂකයන් වන්නේ මේ දෙදෙනා බව ඔවුන් හිතනවා. ඒත් වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව වගේ…අම්මා තාත්තා මේ විදිහට අවතක්සේරුවක් දරුවාට ලබා දෙනවා නම් ඔවුන්ද තමා මුල් කර ගෙන ඒ විදිහට හිතන එකෙත් ඇති වැරැද්දක් නැහැ.

ආත්මානුකම්පාව

පුංචි දරුවන්ගේ ලෝකයේ සිටින ආරක්ෂකයා වන්නේ දෙමව්පියන් පමනයි. මේ නිසා ජීවිතයේ ශක්තිය ගොඩ නැගෙන්නේ මේ සෙවනේදී බව ඔබ අමතක කරන්න එපා. ඒ නිසාදරුවන්ට ඉතාම ලයාන්විතව ආමන්ත්‍රනය කරන්න. එහෙම නැතුව බෙලිකටු මල්ල හොලවනවා වගේ උදේ දවල් රැය නැතුව නැගෙන කටුක කඨෝර වචන නිසා දරුවාගේ හිතේ ඇති වෙන සංකල්පයන් ඒ තරම් සුබවාදි නැහැ. අනේ මට අම්මා තාත්තා මේ විදිහට අපහාස කරන්නේ ඇයි යන ගැටුම නිතරම හිතට වද දෙනවා. මේ වචන එන්නේ හදවතින්ම නොවන බව දරුවාට තේරෙන්නේ නැහැ. ඒත් මේ වචනවලින් නැගෙන දරුණු බව ඔහුගේ හදවතට වධයක් වෙනවා.

ආත්මාභිමානයට බලපානවා

තමා මුල් කර ගත් අභිමානයක් හැම කෙනෙකුටම තිබෙනවා. මේ තත්වය නිසා අනාගතයේදී විශේෂ හැකියාවන් වර්ධනය වෙනවා. ඒත් මෝඩයා යනුවෙන් දරුවා ආමන්ත්‍රනය කළ විට එතැනින්ම ඔහුගේ ඉදිරි ගමන අවසානයි.

ගුරුවරුන්ද මේ ගැන දැනගත්තොත් හොඳයි

සමහර අවස්ථාවල ගුරුවරුන්ගේ වචනත් දරුවන්ට ඉතාම තදබල විදිහට බලපාන්න පුලුවන්. දරුවෙක් මුල් කර ගෙන වර්තමානයෙන් තක්සේරු කරන්න බැහැ. තෝමස් අල්වා එඩිසන් පංතියේ දුර්වල දරුවෙක් වුන නිසාම ඔහුගේ ගුරුවරයා තම මවට ලිපියකින් මේ විදිහට ලියා යැව්වා.

” ඔබේ මේ බල්ලා ගෙදර බැඳගනින්…” පුංචි තෝමස් අම්මාට මේ ලිපිය ගිහින් දුන්නා. පහුවදා පටන් තෝමස් පාසලට යැව්වේ නැතැත් අම්මා පුද්ගලිකව ගුරුවරයෙක් ලවා ඔහුට උගන්වන්න පටන් ගත්තා. ඇයි අම්මේ මම ඉස්කෝලේ යන්නේ නැද්ද?..දවසක් තෝමස් ඇහුවා.

නැහැ පුතා..පුතා බොහොම දක්ෂ දරුවෙක්..ඒ නිසා පංතියේ පුතාට ඉගෙනගන්නවාට වඩා යමක් පුද්ගලිකව ඉගෙන ගන්න පුලුවන්. අම්මා පිලිතුරු දුන්නා. තෝමස්ද ඉගෙනුමට පසු නොබා හොදින් ඉගෙන ගත්තා.

කාලයක් ගිහින් තෝමස්ට අර ගුරුතුමා එවන ලද ලිපිය හමුවුනා. එය කියවූ ඔහුට අම්මා ගැන පුදමු ගරුත්වයක් ඇති වුනා. ඇතත්ටම එදා මේ බල්ලා යැයි හංවඩු ගැසූ තෝමස් වෙනුවෙන් අම්මා මේ විදිහට තීරණයක් නොගත්තා නම් අද අපිට විදුලි බල්බයේ ආලෝකය ලැබෙන්නේ නැහැ.

ඒ නිසා පංතියක වුනත් මොනතරම් පසුගාමී දරුවෙක් හිටියත් ඔහු වෙනුවෙන් විශේෂණ පද ගොඩ නැගීම නම් ගුරුවරුන් විසින් නොකල යුතුම දෙයක්. වයසට තිබෙන දඟකාරකම් වගේම අවධානය නොදක්වා හිටියත් ඔවුන්ගේ බුද්ධිය ගැන අපි දන්නේ නැහැ. පංතියක ඉදිරි පෙල සිටින දරුවන් අභිබවා සමහර අවස්ථාවල පසුපෙල දරුවන් ඉදිරියට යනවා. ඒ නිසා කිසිම විදහකින් මේ අයට අවතක්සේරු වෙන විදිහට කතා නොකල යුතුමයි.

සමාජයට බියයි

මට කිසිම වටිනාකමක් නැහැ. යන සංකල්පය දරුවාගේ හිතේ ගොඩ නැගෙන්න පටන් ගන්නවා. ඇයි ඉතින්…අම්මා තාත්තා නිතරම තමාව ආමන්ත්‍රනය කරන්නේ ගොනා, බූරුවා, කාලකණ්නියා කියන වචන වලින් නිසා දරුවා හිතන්නෙත් තමා නොවටිනා කෙනෙක් බවයි. මේ නිසාම ඔහු සමාජය සමග සම්බන්ධතාවයන් පටන් ගන්නත් වගේම පවතින සම්බන්ධතාවයන් වුනත් දිගින් දිගට පවත්වා ගැනීමට උත්සාහ ගන්නේ නැහැ.

නොමග යන්නත් ඉඩ තිබෙනවා

දරුවන් නිතරම තමන් වෙනුවෙන් මව්පියන්ගේ ගරුත්වය බලාපොරොත්තු වෙනවා. ඒක ඉතින් දරුවන්ට විතරක් නොවෙයි සතුන්ට වුනත් පොදුයි. දරුවන්ගේ පෙල පොතේ තිබෙන ” නන්දිවිසාල ජාතිකය ” කියවන ඔබටත් මේ බව තේරුම් යාවි. මොන තරම් හීලෑව සිටි නන්දිවිසාල ගවයා බර අදින්න පසුබැස්සේ තමාගේ හිමිකරුවා නපුරු විදිහට කතා කල නිසයි. ඒත් කරුණාවෙන් ආමන්ත්‍රනය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මීට වෙනස්. ඔබ අලියන්ගේ ගති පුරුදු දන්නවා නම් වචන මොන තරම් බලවත්ද සිතාවි. අලියත් ගරුත්වයට කැමැතියි. රාලහාමි කියන ආමන්ත්‍රනයට කැමැති අතර ගෙරියා..වැනි අවතක්සේරුවට නම් මනාපයක් නැහැ. සතුන් පවා වචන ගැන මේ තරම් අවධානයක් දක්වනවා නම් යමක් කමක් තේරුම් ගැනීමේ බුද්ධිය තිබෙන අපේ දරුවන් ගැන ඉතින් කවර කතාද…?

බොරු කිව්වොත් නාසය දිග් වෙනවා

බොරු කියන දරුවන් බොහොම නිර්මානශීලි බව දැන් මනෝවිද්‍යාඥයන් විසින් පිලිගෙන තිබෙනවා. ඒත් දරුවන් බොරු කියන එක ගැන අපිට අනුමත කරන්න බැහැ. ඒ නිසා දෙමව්පියන් ඉතාම අසීරුතාවයට පත් වෙන අතරම සමාජය තුළ දරුවා ගැන තිබෙන විශ්වාසය බිඳවැටෙනවා. දරුවන් බොරු කියන විට ඒ වෙනුවෙන් දඬුවම් විදිහට දෙමව්පියන් ඔවුන්ගේ කටේ මිරිස් ඇතිල්ලීම, වැනි දැඩි දඩුවම් පමුණුවනවා. ඒ තත්වය නිසා දරුවන්ගේ මානසික බිඳවැටීම සිද්ධ වෙනවා. ඒත් බොරුවෙන් දරුවා මුදවා නොගෙන ඉන්නත් බැහැ. බොරුව නිසා ඇති වෙන තත්වයට ඔබත් කවදා හෝ දිනක මුහුණ දී ඇති…..

මව්පියන් නොමග යනවා

දරුවා කියන්නේ බොරුවක්ද නොඑසේනම් අැත්තක්ද යන්න මව්පියන්ට වටහා ගැනීමත් සමහර අවස්ථාවලදී අපහසුයි. දරුවාගේ බොරු කියන අවස්ථාවන් කිහිප විටකදීම අහු වුනොත් මේ ගැන චකිතය දෙමව්පියන්ට ඇති වෙනවා. ඒත් සමහර අවස්ථාවලදී මව්පියන් දරුවා ගැන උපරිම විශ්වාසය තබා සිටියදීම මේ විදිහට දරුවන් විසින් මව්පියන් නොමග යවන අවස්ථාවනුත් තිබෙනවා. පැරණි ජනකතාවක සඳහන් විදිහට කොටියා ආවා…වගේ ඇත්තක් කිව්වත් එය තේරුම් ගන්න අපහසු වෙනවා.

දරුවා බොරුකියන බව දැනගත්තොත් ආවේශ වෙන්න එපා

ඔබේ දරුවා බොරු කියන අවස්ථාවක් ගැන දැනගත් විට ඒ වෙනුවෙන් වූ ගණුදෙණුව ඉතා ප්‍රවේසමෙන් කළ යුතුයි. පංතියේ මිතුරන් අතර, ගුරුතුමියට මෙයා කියන්නේ බොරු …විශ්වාස කරන්න එපා යනුවෙන් ඔහු ප්‍රසිද්ධ බොරුකාරයෙක් බවට පත් කළ යුතු නැහැ. එහෙත් ඔහු කියන බොරු ඔබ කෙසේ හෝ හඳුනා ගත යුතුය.දෙවැනි වසරේ ඉගෙනුම ලබන දියනිය සතියේ දින පහට රැගෙන යා යුතු ආහාර වට්ටෝරුව ඊට පෙර දින ඉිදිරිපත් කලේ පාසලෙන් ලද නියෝගයක් විදිහටයි. එක් දිනක් ඇය කියා සිටියේ හෙට මඤ්ඤොක්කා ගෙනෙන්න කී බවයි. ඒ දිනවල දැරිය සෙම් රෝගය වෙනුවෙන් බෙහෙත් බොන නිසා මව මඤ්ඤොක්කා දීමට කැමැත්තක් නොදැක්වූ අතර ඇය පංති භාර ගුරුතුමියට දුරකථන ඇමතුමක් ලබා දී කියා සිටියේ මඤ්ඤොක්කා සහ ඖෂධ අතර අන්තර් සම්බන්ධතාවයක් තිබුනොත් එය අහිතකර විදිහට බලපා හැකි නිසා වෙනත් යමක් එවන්නදැයි යනුවෙන්ය.

කමක් නෑ ළමයා කැමැති දෙයක් එවන්න…දැරියගේ විධාන ගැන කිසිම සඳහනක් නැත අම්මාට සිද්ධිය තේරුම් ගියත් දියනිය අපහසුවට පත් කිරීමට අපහසු නිසා ඇය හා හොදයි යනුවෙන් නිශ්ශබ්ද වුවා පමණි.

පසුව ඇය දැරියට අවවාද කළා මිස මේ ගැන හාංකාවිසියක්වත් ගුරුතුමියට දැනගන්නට ඉඩ තැබුවේ නැත.

බොරුව වංචාවට හැරෙන්න පුළුවන්

සමහර අවස්ථාවලදී දරුවන් ගණුදෙණු මුල් කර ගෙන බොරු කියන අවස්ථා ඇත. මුලින් රුපියලක් දෙකක් වෙනුවෙන් පටන් ගන්නා මෙම බොරුව පසුව විශාල මුදලක් තෙක් වර්ධනය වෙන්න පුළුවන්. ඒ සිදුවීම් ගැන සෙමව්පියන් ඉතාම සියුම් ලෙසින් පසුවිපරම් කිරීම අවශ්‍ය වේ.

පුතා මේ පොත කීයද….සමහර විට ඔහු කියන මුදල සත්‍යක් නොවනු ඇත. ඔබ දරුවා එම පොත මිලට ගත් ආයතනයෙන් ඒ ගැන අසා දැන ගන්න. එවිට ඔබට දරුවා කියන දෙය ගැන නිශ්චිතවම බොරුව බැව් හඳුනා ගෙන එයින් පසුව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. පදනම් විරහිතව චෝදනා කිරීමත් ඒ තරම් සුදුසු නොවන නිසා මුලින් දරුවා කියන බොරුව පිලිබඳව තහවුරුව ඔබ ගොඩ නගා ගන්න.

බොරුවේ ආදීනව ගැන කියා දෙන්න

දරුවා බොරුවෙන් මුදවා ගැනීමට නම් එහි ආදිනව ගැනත් ඔහුට කියා දීම ඉතා වැදගත් වේ. මේ වෙනුවෙන් උපදේශාත්මක කවි ලෝවැඩ සඟරාව වැනි පද්‍ය ග්‍රන්ථයන්හි ඇත.

” ලැදිව රජෙක් බොරු බස් කී විගසකයා
නැතුව රිද්දි බලයත් ඒ මිනිස් කයා “

 

මේ අන්දමේ උපදේශ මගින් බොරුවේ ආදිනව දරුවාටත් ඒත්තු යනු ඇත. බොරු කීමේ ආදිනව නිසා කපිල මාලුවාගේ කටින් නික්මුන දුර්ගන්ධය ගැන කියා දීමට පුළුවන්.

බොරු කිව්වොත් නාසය දිග් වෙනවා

පිනෝකියෝ කතාව දරුවන් අතර මොනතරම් ජනප්‍රිය වූවාද යත් දරුවන් බොරු කියන විට දෙමව්පියන් ඔවුන් වෙනස් කරනු ලැබුවේ පිනෝකියෝගේ මෙන් නාසය දිගු වේය යන සියුම් උපක්‍රමයෙන්. එහෙත් නාසය සහ බොරුව අතර සම්බන්ධතාවයක් පවතින බව ස්පාඤ්ඤයේ ග්‍රැනඩා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා. ඔවුන් මෙම තත්වය හඳුන්වන්නේ පිනෝකියෝ (Pinocchio effect) ආවරණය නමින්.මෙම අධ්‍යනය වෙනුවෙන් තාප රේඛන (thermography)  පර්යේෂන ක්‍රමවේදය යොදා ගත්තා. මෙම ත්‍රමවේදය මීට පෙරාතුව යොදා ගෙන තිබුනේ දෙවැනි ලෝක මහා සංග්‍රාම කාලයේදියි. එහෙත් මනෝවිද්‍යාත්මක තොරතුරු වෙනුනේ මෙතෙක් මෙම ක්‍රමය යොදා ගත්තේ නැහැ.

ග්‍රැනඩා විශ්ව විද්‍යාලයේ එමිලියෝ ගෝමස් මිලාන් සහ එල්විරා සලාසාර් ලෝපස් විසින් ඔවුන්ගේ අධ්‍යනයන් වෙනුවෙන් තාපරේඛන ක්‍රමය යොදා ගත්තා. එහිදී පෙනී ගියේ අපේ මනසේ ක්‍රියාකාරිත්වයට අනුව සිරුර විවිධ ප්‍රතිචාර දක්වන බවයි.අපි බොරුවක් කියන්නේ අනුදැන්මක් ඇතුවයි. එවන් අවස්ථාවලදී නාදය සහ ඒ අවට ප්‍රදේශය උණුසුම් වී පිම්බීමක් සිද්ධ වෙනවා. දරුවන් ඉගෙනුම් කටයුතුවලට උදාසීන වෙන විට බූරුවන්ට මෙන් කන් එන බවත් බොරු කියන දරුවන්ට පිනෝකියෝ මෙන් නාසය දිගු වෙන බවත් කියමින් දරුවන් බිය ගැන්වීම පිළිබඳව අපි එතරම් තැකීමක් නැහැ. කොහොම වුනත් බොරුව සහ නාසයේ ප්‍රමාණය අතර සහසම්බන්ධතාවයක් ඇති බව දැන් නම් තේරුම් යනවා.

එහෙමනම් මේ විදිහට විවිධ ප්‍රයෝග මගින් බොරුවට තිත තියනු මිස දැඩි දඬුවම් පැමිණවීම නම් ඒ තරම් සුබවාදී නැත.

පොඩි පැටියට බත් කවන්න ගෙදර යුද්ධයක්

අනේ ඇත්තටම හම්බ කරන්නයි උයන්න පිහන්නයි මෙච්චර අමාරු නැහැ. මේ ගොල්ලන්ට බත් කවන්න ගියාම පිස්සු හැදෙනවා. බොහෝ අම්මලාගෙන් මුවින් පිට වෙන මේ මැසවිල්ල ඔබටත් පුරුදු ඇති. ඇත්තටම දරුවාට අවශ්‍ය පෝෂණය ළමා කාලයේදී නොලැබුනොත් ඔවුන්ගේ අනාගතයේදී ඇති වෙන පෝෂණ ඌනතාවයන්ට පිලිතුරු සොයන්න ලේසි පහසු නැහැ. එහෙමනම් දරුවන්ට කන බොන එකත් අම්මලාට කවන පොවන එකත් කරදරයක් නොවන විදිහට අපි මේ ගණුදෙණුව ඉදිරියට ගෙනි යමු.

බල කරන්න එපා

බොහෝ වෛද්‍යවරුන් කියන්නේ දරුවන්ට ආහාර දීමට බල කරන්න එපා යන්නයි. ඇත්තටම බල කිරීම දරුවාට වධයක්. ඒ නිසාම ඔවුන් මව්පියන් කෝප ගන්වන විදිහටත් හැසිරෙනවා. සාමාන්‍ය වයසකට ආ විට දරුවාගේ ආහාර මේසයක් මත තබා ඔබ ඔහුට බල කරන්කේ නැතුව සිටියොත් ඔහුම ඒ වෙත යොමු වෙන තරමටම තත්වය සාමාන්‍ය විය හැකියි.

ආකර්ශණීය වීම

දරුවාගේ ආහාරය බැලු බැල්මටම ආකර්ශණීය වුනොත් ඔහු තුළ නොදැනම ආහාර රුචිය ගොඩ නැගෙන්න පුළුවනි. මේ වෙනුවෙන් ඔබ තෝරා ගන්නා ආහාරය ඉතා වැදගත් වේවි. එහි වර්ණවත් බව ගොඩ නැගෙන විදිහට පිලියෙළ කරන්න.

එකම වර්ණයේ ආහාර වෙනුවට විවිධ වර්ණ කෝරා ගන්න. උදාහරන විදිහට බෝංචි, කැරට් , බීට් විදිහට.

විවිධ හැඩතල හදන්න

බත් කෝප්පයක් විදිහට… එහෙම නැත්නම් කෙසෙල් කොළයක ගැට ගසා.. කැන්ද කොළ , නෙළුම් කොළ එලන ලද වට්ටියක…

ඔබට බත් කෝප්පයක් ගෙන එය කෝම්පිට්ටුව සේ පිඟානක මුනින් නවා එහි බිත්තර පලු වලින් ඇස් තබන්න. කැරට් පලුවක් ගෙන කට ලෙසින් සරසන්න. බත් කෝප්පයෙන් මිනිස් හැඩ රුව මවන්න. දරුවාට එය මහත් ආකර්ශනයක් ඇති කිරීමට පුලුවන්.

ආහාරයේ විවිධත්වයක් අවශ්‍යයි

හැමදාම බත්, පරිප්පු සහ අලුත් මාලු වෙනුනට මෙම රටාවේ වෙනසක් ගොඩ නගන්න. ඔබට බත්  තෙම්පරාදුවක්. එළවලු බතක් එසේත් නැත්නම් කහ බතක් ලෙසින් විවිධ අන්දමින් පිලියෙල කර ගත හැකියි.

එලවළු වුනත් ඒ විදිහට එකාකාර රටාවෙන්ම පිලියෙල නොකරන්න. එකාකාර කැරට් ව්‍යංජනය විදිහට මැල්ලුමක්, සලාදයක් එහෙම නැත්නම් තම්බා ගෙන විවිධත්වයක් ගොඩ නගා ගත හැකියි. පලා වර්ග වුනත් එහෙමයි. පලා මලවන්නම නියමයක් නැහැ. ඒවා සලාද විදිහටත් පුළුවන්. ඒ වගේම මුකුණුවැන්න , ගොටුකොළ මිටිකිරි ස්වල්පයක් දමා පිසගන්නත් පුළුවන්. ‍ගොටුකොල වැනි පලා වර්ග සුප් එකට යොදන්න. එයින් දරුවාට උගුරට හොරා බේත් කවන්නා සේ ඔහු නොදැනම අවශය පෝෂණය ලබා දීමට හැකි වේ.

ආහාරවල ගැලපීමක්බොහෝ දරුවන්ට ආහාර අප්‍රිය වන්නේ එහි කිසිදු ගැලපීමක් නැති නිසාය. කිසිම විට හොදි සහිත ව්‍යංජන දෙකක් එක් වේලට පිළියෙල නොකරන්න. එක් හොදි ව්‍යංජනයක් සමග මිරිසට හෝ බොරට එකක්ද මැල්ලුමක් සලාදයක් වැනි වෙන් ආකාරයකට පිසින ලද දෙයක් එක් කරන්න.

හැමදාම මේසය එපා

දරුවාට ආහාර දෙන විට එකාකාර රටාවට මේසයටම දෙන්න එපා. තුන්සිය හැටපස් දවසේම මේසයේ ආහාර ගන්නා විට දරුවාට එතැන අප්‍රසන්න ස්ථානයක් වෙනු ඇති මේ නිසා වෙනසක් ඇති වෙන විදිහට පැදුරක් බිම එලා එම ස්ථානයේ දරුවා තබන්න. සෙල්ලම් ගෙයක සෙල්ලම් කරන විට එතැනට ආහාර ගෙන ගොස් ඔහුගේ නිවසේ අමුත්තකේ ලෙසින් ඔබ සිටින්න. මේ අන්දමින් ඇති වෙන වෙනස නිසා ඔහුගේ ආහාර රුචිය ඇති වෙනවා පමණක් නොව ඔබට වධයක් නොවන විදිහට ඔහු ආහාරය බුත්ති විඳිනු ඇත.

මේ ගැනත් ටිකක් ඔබ හිතුවොත්…

නිවසේදී ආහාර ගන්නා වේලාවට යුද්ධයක් කරන, මට අරක එපා… මේක එපා…යැයි ඔබ ආවේශ කරන දරුවා පිටස්තර තැනකදී කිසිම කරදරයක් නොකර ඔබ නොහිතන අන්දමින් ප්‍රමාණාත්මක බත් පිගානක් ආහාරයට ගන්නා අවස්ථාවන් ඇත.

එවන් අවස්ථාවලදි මේ අන්දමින් කතා බහත් ගොඩ නැගෙනු ඇත.

අද බත් හොඳට කෑවා…ගෙදරදී පලා කොලයක් කවා ගන්න බෑ …..අද…? කවුරුවත්ම කිව්වෙත් නෑ එයාම හිතල කෑවා..ඇත්තටම මෙතැන ඇති රහස මොකක්ද…?

  • ඔබේ බලපෑමක් නැහැ
  • වෙනස් පරිසරය
  • දරුවා ගැන විශේෂ අවධානයක් නැති වීම
  • සමහර විට ඔහුගේ සම වයස් කණ්ඩායම් සිටීම

මේ නිසා ඔහුට රිසි සේ ආහාර බුත්ති විදින නිදහස ලැබුණි. වෙනදා මෙන් පුතා…බත් කන්න…යන ඇවිටිල්ල නැතිව ඇති.

බත් නොකන දරුවන් වෙනුවෙන් ඉතා හොඳ කතන්දරයක් ඇත. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ උඩගිය බබා කථාන්දරය ඇසූ දිනයේ පටන් මම බත් කෑමට කිසිම කරදරයක් කළේ නැත. මේ කතා‍ව කිසිම කෙනෙක් විසින් මගේ මනසට දැම්මේද නැත. මගේම අවශ්‍යතාවයෙන් එම ළමා පොත කියවූ දින පටන් ඇති වුනේ බත් නොකැවොත් උඩ යයි යන බියය. ඒ නිසා මගේ උවමනාවෙන්ම බත් කන්නට පටන් ගත්තේ එතැන් පටන්ය.

බත් කවන විට රසකතා කියන්න

අපේ අම්මා මට බත් කැව්වේ කුරුල්ලන් ලෙස ගුලි සකසා ගෙන එක් එක් ගුලිය කටට දැම්මේ කුරුල්ලන් ඉගිලි යන අන්දම කියමින් කටට බත් කටවල් ඇතුල් කිරීමයි. ඇය ඉතා රසට බත් ටික අනා ඒවා ගුලි කිහිපයකට පිඟානේ තබා ගනීත මා නොකන සියල්ල නොදැනෙන ලෙසින් මේ බත් ගුලිවල අනා ඇති නිසා වෙන් වෙන් වශයෙන් ඒවා නොකන්නේ යැයි ප්‍රතික්ෂෙප කරන්නේද නැත.අන්තිම බත් ගුලිය නොකන තැනට පත් වුනොත් අනේ මේ චූටි කුරුල්ලාට පව්…අම්මා ගෙදර යන්න බැරි වෙලා…ලෙසින් වූ ඉකාම සම්‍ය ප්‍රයෝග ඇය දැන සිටියාය. මට ප්‍රමාණවත් ලෙසින් බත් පිගානට කුරුල්ලන් සකසා ගන්නටද ඇය දැන සිටියාය.ඒ නිසා දකින විටම එපා වෙන අන්දමින් විශාල බත් පිගානක් බෙදා ගෙන ඇවිත් එය කන්න යැයි පෙරැත්තයක් කිසිදු දිනක සිදු වුනේ නැත.

බතට පසු අතුරුපසක් දෙන්න

බත් හෙවත් ප්‍රධාන ආහාරයෙන් පසුව දරුවාට අතුරුපසක් ලබා දෙන්න. ඒ වෙනුවෙන් ඔහු බත් ආහාරයට ගත යුතු බව දන්නා නිසාම යම් අන්දමින් උනන්දුවක් ඇති කර ගනු ඇත. මෙම අතුරුපස පලතුරු සලාදයක් වුනොත් එය වඩාත් ගුණදායක වේ. සලාද ලෙසින් අකමැත්තේ නම් ප්‍රිය කරන පළතුරක් ආහාරයට දෙන්න. එසේත් නැත්නම් රසකැවිල්ලක් වුනත් කමක් නැත. ආහාර අවශෝෂනය වෙනුවෙන් ප්‍රධාන ආහාරයට පසුව සීනි හෙවත් පැණි රස වඩාත් ප්‍රතිඵලදායක බැනවි වෛද්‍යවරුන් විසින්ද අනුමත කොට ඇත.

දරුවෙකු ස්මාට් ෆෝන් එකකට සුදුසු වයස බිල් ගේට්ස් හෙලි කරයි

නව පරිගණක කර්මාන්තයේ නිර්මාණකරුවා පවා දරුවන් ස්මාට් ෆෝන් භාවිතයෙන් ඈත් කළයුතු බව පවසන විට අපේ සංස්කෘතිය තුළ නව තාක්ෂණ භාවිතය සීමාව ඉක්මවා ඉහළ ඉසව්වකට නැංවී ඇති බව පෙනේ. වයස අවු 14 පිරෙන තෙක් දරුවෙකු ස්මාට් ෆෝන් භාවිතයෙන් මුදා ගත යුතු බව බිල් ගේට්ස් සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත. තාක්ෂණය සහ මව් පිය වගකීම් පිළිබඳ විශේෂඥයින් දැඩිව පවසන්නේ නව තාක්ෂණය දෙසට දරුවන් දක්වන ආකර්ෂණය හැකි තරම් දුරට ඔවුන්ගෙන් ඈත් කළයුතු බවයි. සිවු වසරක් පුරා ලෝකයේ ධනවත්ම මිනිසා වූ බිල් ගේට්ස් පවසන්නේ ඔහුත් ඔහුගේ බිරිඳ මෙලින්ඩාත් ඔවුන්ගේ දරුවන්ට ස්මාට් ෆෝන් භාවිතයට අවකාශ නොදෙන බවයි.ඔවුන් දෙදෙනා ද තිරය අභියස ගෙවන කාලයට බොහෝසේ සීමා පනවාගෙන ඇත්තේ ඔවුන්ගේ කාලය වඩාත්ම දරුවන් වෙත යොමු කිරීමේ අභිලාෂයෙනි.

බ්‍රිතාන්‍ය පුවත් පතකට අදහස් දක්වමින් ඔවුහු ඒ වෙනුවෙන් පනවා ඇති නීති රීති පද්ධතිය සහ විනය පිළිබඳ තම ආකල්ප පැහැදිලි කළහ.

”අපි ආහාර ගන්නා මේසය මත ජංගම දුරකථන නැහැ. අනිත් අය අත ජංගම දුරකතන ඇති බවට ඔවුන් මැසිවිලි නැගුවත් අපි අපේ දරුවන්ගේ වයස අවුරුදු 14 පිරෙනතුරු දරුවන්ට ජංගම දුරකථන දෙන්නෙ නැහැ. අපි රූපවාහිනි තිරය වෙනුවෙන් වුණත් වෙලාව සීමා කරනවා. එවිට ඒ වෙනුවෙන් ගත කරන කාලය ඉතිරි වෙනවා. ඒකෙන් දරුවො වැඩි වේලාවක් සුවසේ නිදා ගන්නවා.ඒ ඉතිරි කරන කාලය වඩාත් ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේදැයි දැන් ඔබ සිතනවා නේද? ඒක පියවා ගන්නෙ මිතුරන් ඇසුර, ගෙදර දොරේ වැඩ හා වෙනත් අවශ්‍ය වඩා වැදගත් කටයුතු වල නියැලීමෙන්”

එය එතරම් බරපතල නොවූවත්, ඔස්ට්‍රේලියානු දරුවන් ගැන සිතන විට නම් බොහෝ පමා වැඩියි.

රෝයි මෝගන්ගේ ඔස්ට්‍රේලියානු සමීක්ෂණයට අනුව වයස අවුරුදු 10 දී සෑම ඔස්ට්‍රේලියානු දරුවන් පස් දෙනෙකුගෙන් එක් දරුවෙකුටම ස්මාට් ෆෝන් තියෙනවා. එම ප්‍රතිශතය ඉහළට පිමි පනිමින් වයස 12 වන විට දරුවන් ¾ කටම ස්මාට් ෆෝන් තියෙනවා.

තාක්ෂණ උපකරණ අලෙවි කරුවන් දරුවන් අලලා කරන අලෙවි කටයුතු අතරතුරේ වුව ඔවුන්ගේ දරුවන් හමුවේ තම නිෂ්පාදන ගැන සිතන අන්දම  මිය යාමට පෙර ඇපල් සමාගමේ සමස්ථාපනකරු වූ ස්ටීව් ජොබ්ස්, නිව්යෝක් ටයිමිස් වාර්තාකරුවෙකුට පැවසූ මේ අදහසින් ඔබට හොදින්ම පැහැදිලි වේවි. ”ඔබේ දරුවන් නව අයි පෑඩ් එක ගැන මොකද හිතන්නෙ? ස්ටීව් ජොබ්ස්ගේ පිළිතුර වුණේ අපේ නිවසේ ඒව තහනම් යන්නයි

ඇඟිලි උරන දරුවන්ට දිය යුතු සහ නොදිය යුතු දඬුවම් ගැන දැනගන්න

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම මව්කුස තුළ දරුවෙකුගේ හැසීරීම දැකගන්නට අද වන විට සෑම මවකටම අවස්ථාව උදා වෙනවා. අතපය විසි කරමින් දඟලමින් නිදහසේ මව්කුස තුළ සැරිසරන කිරිකැටියා විටින් විට තම ඇඟිල්ලක් මුව තුළ රුවා ගන්නා ආකාරය දුටු මව්වරුන් ද අපි අතර සිටිය හැකියි. අම්මලාගේ වචනයෙන් කියනවා නම් ”දරුවන්ගේ ඇඟිලි උරන නරක පුරුද්ද” ඇරඹෙන්නේ මව් කුස තුළ වැඩෙන අවධියේ සිටයි.

ළදරුවෙකු බිහි වී පළමු වසර ඇතුළත මූලිකවම ආස්වාදය පිළිබඳව දැනුවත් වන්නේ කටට දැනෙන රසවලට අනුවයි. මේ වයස් කාණ්ඩයේ දරුවන් අතට හසුවන සියලූ දේ මුව තුළට දමා ගන්නේ ඒ නිසයි. අතේ සෑම ඇඟිල්ලක්ම මුව තුළට දමා ගනී. ඇතැම් දරුවන් පාදයේ ඇඟිලිත් මුව තුළට යොමු කරගනී. එයට හේතුව වන්නේ මුඛය හරහා දරුවා මූලිකව දැනුමක් ලබාගැනීමයි. අන්න ඒ නිසාම දරුවෙකුගේ පළමු වසර තුළ එනම් ළදරු අවධියේදී මේ පුරුද්ද සාමාන්‍ය තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය.

කෙමෙන් කෙමෙන් දරුවා වැඩෙත්ම ඔවුන් වටපිටාව පිළිබඳව දැනුවත් වීම සඳහා වෙනත් ක්‍රම තෝරාගන්නා අතර වයස අවුරුදු 2 -4 කාලය වන විට සාමාන්‍යයෙන් මේ තත්ත්වය මග හැරී යන අතරම ඇතැම් දරුවන් දැතේ සියලූ ඇඟිලි වෙනුවට එක් ඇඟිල්ලක් පමණක් තෝරා ගැනීමට යොමු වේ. වයස අවුරුදු 4 දක්වා කාල සීමාව තුළ මෙසේ අඟිලි ඉරීම අසාමාන්‍ය තත්ත්වයක් නොවුණ ද වයස අවුරුදු හය ඉක්ම වූ දරුවන් මෙම තත්ත්වය පෙන්නුම් කරයි නම් දෙමාපියන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය වේ.

දිගින් දිගටම දරුවෙකු මෙසේ ඇඟිලි ඉරීම දරුවාගේ මානසික සෞඛ්ය හා සම්බන්ධ ගැටලූකාරී තත්ත්වයක් වීමට ද ඉඩ ඇත. එය එම දරුවාගේ ශාරීරික සෞඛ්ය හා සම්බන්ධ නොයෙකුත් ගැටලූකාරී තත්ත්වයන් ද ඇති කිරීමට හේතු විය හැකිය.

ඇඟිලි උරන දරුවෙකුට ඇති විය හැකිය ශාරීරික සෞඛ්‍ය හා සම්බන්ධ ගැටලූකාරී තත්ත්වයන් : 
  • දන්ත විකෘතිතා ඇති වීම
  • මේ පුරුද්ද දිගින් දිගටම පැවතීම නිසා ඇඟිලිවල විකෘතිතා ඇති විම
  • දරුවා මිතුරන් ඉදිරියේ සමච්චලයට ලක්වීම
  • වැඩිහිටියන්ගේ විවේචන හේතුවෙන් දරුවාගේ අත්මාභිමානයට කැලැල් වීම
  • විෂබීජ කුස තුළට ඇතුළු වීම හේතුවෙන් රෝගාබාධ ඇති වීම
  • නියපොතු යට විෂබීජ රුඳීම හේතුවෙන් Paronychia තත්ත්වය ඇති විය හැකිය

ලිපියෙහි පෙර සඳහන් කළ පරිදි පළමු අවුරුද්ද තුළ දරුවෙකුගේ ඇඟිලි ඉරීමේ තත්ත්වය සිය යහපත වෙනුවෙන් සිදුකරන සාමාන්‍ය දෙයක් වන අතරම වයස අවුරුදු හය සම්පූර්ණ වූ දරුවන්ගේ මෙම තත්ත්වයට යම් යම් හේතු තිබිය හැකිය. ඇතැම්විට දරුවාගේ යම් මානසික පීඩාකාරී තත්ත්වයක් පිටතට පෙන්නුම් කරන ලක‍ෂණය වන්නේ ඇඟිලි ඉරීම විය හැකිය. මෙහිදී ඇඟිලී ඉරීම කුඩා කාලයේදී නතර කොට සිටි දරුවෙක් නැවත එය ආරම්භ කළේ නම් අනිවාර්යයෙන්ම ඒ දරුවාට යම්කිසි පීඩාකාරී වටපිටාවක් ඇති වීම සම්බන්ධයෙන් එය සුවිශේෂී සාධකයකි.

බිය, තමාට නුහුරු ස්ථානයකදී නුහුරු පිරිසක් ඉදිරියේදී නොසන්සුන් වීම හේතුවෙන් දරුවන් යොමු වන මෙම ඇඟිලි ඉරීමේ තත්ත්වය කුඩා කාලයේදී මෙන්ම වයසින් මුහුකුරා යද්දීත් දරුවෙකු සිදුකරන්නේ තමා යම් වටපිටාවක් තුළ නොසන්සුන් වීම හේතු කරගෙනයි. වයස අවුරුදු හය සම්පූර්ණ දරුවෙකු මේ පුරුද්දට යොමු වීම පිළිබඳව දෙමාපියන් කල්පනාකාරී විය යුත්තේ ඒ හේතුව නිසයි.

ඇඟිලි උරන පුරුද්ද නතර කරන්නට මව්වරුන් නොකළ යුතු දේ :
  • දරුවා විවේචනයට ලක්කිරීම
  • ඇඟිලි වල යම් යම් දේ ආලේප කිරීම
  • අත්වැසුම් යෙදීම
ඇඟිලි උරන දරුවා එයින් මුදවා ගැනීමට මව්වරුන් කළ යුතු දේ :
  • ඇඟිලි උරන අවස්ථාවේදී වැඩිහිටි ඔබ දරුවා මගහරින්න. උදාහරණයක් ලෙස කතාන්දරයක් කියාදෙන අවස්ථාවක දරුවා ඇඟිලි උරයි නම් ඔබ ඒ කතාව කියාදීම නතර කර ඉවත්ව යන්න. කිසිදු අවස්ථාවකදී ඇඟිලි ඉරීම සම්බන්ධයේ දරුවාට දඬුවම් කිරීමෙන් වළකින්න. හැමවිටම ඔබේ අවධානය ඒ කෙරේ යොමු කිරීමෙන් වළකින්න
  • ඇඟිලි ඉරීම සිදු නොකරන අවස්ථාවලදී දරුවා පැසසුමට ලක්කරන්න. වර්ණනා කරන්න. දරුවා එසේ නොකරීම පිළිබඳව ඔබ ඉතා සතුටට පත්වන බව පවසන්න. හැකි තරම් දරුවා සතුටට පත්වන ආකාරයට කටයුතු කරන්න
ඇඟිලි උරන ඔබේ දරුවා
  • බියපත්ව සිටීද ?
  • බියපත් සිහින දැක රාත්‍රියේ අවධි වෙනවාද ?
  • හිටිහැටියේ තිගැස්සෙනවාද ?
  • ඇඳ තෙත් කරනවාද ?
  • නිතරම මවගේ සමීපයටම වී සිටින්නට උත්සාහ කරනවාද ?

දරුවෙකු මෙවැනි ලක‍ෂණ පෙන්නුම් කරනවා නම් එම දරුවා ඇඟිලි ඉරීම සිදුකරන්නේ තමා සැහැල්ලූ වීම සඳහා විය හැකියි. එවිට දරුවාට පවතින ගැටලූකාරී තත්ත්වයන් හඳුනා ගනිමින් නිදහසේ කාලය ගතකිරීමට අවැසි වටපිටාව සකස් කරදීමට වැඩිහිට ඔබට හැකියි. ඒ සඳහා ඇඟිලි ඉරීම වෙනුවට වෙනත් විකල්ප හඳුන්වා දිය හැකියි.

දරුවා නොසන්සුන් වූ විට ඇඟිලි ඉරීම වෙනුවට වෙනත් ක්‍රම කියාදෙන්න
  • පපුව පිරෙන්න ලොකු හුස්මක් අරගෙන හිමින් හිමින් පිටකරන්න දරුවාට කියාදෙන්න
  • එකේ සිට පහට ගණන් කිරීමට දරුවාව යොමු කරන්න
  • පන්ති කාමරයේදී නම් ගුරුවරිය වෙත යාමට උපදෙස් දෙන්න

මෙවැනි සරල ක්‍රම හරහා දරුවන් මෙවැනි තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට බොහෝ අවස්ථාවලදී හැකියාව ලැබේ. මෙහිදී එය නිවස තුළ විශාල ගැටලූකාරී තත්ත්වයක් බවට පත්කර ගැනීමෙන් වැලකීම ඉතාම වැදගත් වේ. පෙර මෙවැනි පුරුදු නොමැතිව සිටි දරුවෙක් අලූතින් මෙවැනි පුරුද්දකට යොමු වූයේ නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව මව්පියන් සිහිතබාගන්න. එසේම දරුවා වයසින් වැඩෙත්ම මේ පුරුද්ද නතර කරගැනීමට හෝ මේ තත්ත්වයට හේතුව සොයා ගැනීමට හෝ වැඩිහිටි ඔබට නොහැකි නම් ළමා මනෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් කරා යොමු වීම ඉතා වැදගත් වේ.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


වෙසක් පොහොය දරුවන්ගේ අත්දැකීමක් කරන්න

වෙසක්  වචනය ඇසූ සැනින්ම දරුවාගේ සිතට ඇති වෙන්නේ විදුලි බුබුලු සැනකෙලියක් සහ දන්සැල් ගැන සංකල්පයක් පමණක් වෙන්නත් පුලුවනි. වෙසක් පොහොය නිමිති කර ගෙන මුල් තැනක් ලබා දිය යුත්තේ ප්‍රතිපත්ති පූජාවට වුනත් අද හැම තැනින්ම ඇහෙන්නේ පෙනෙන්නේ ආමිෂ පූජාවන් වෙනුවෙන් තිබෙන විශාල උද්‍යෝගයක්. ආමිෂ පූජාවන් සමග අපි ප්‍රතිපත්තිමය පැත්තට යොමු වීමත් අවශ්‍යයි.

දරුවන්ට ගුණ ධර්ම කියා දෙන්න

වෙසක් පොහොය මුල් කර ගෙන අපි ප්‍රතිපත්තිමය පාර්ශවයටත් යොමු වීම ඉතා වැදගත්.දරුවන්ගේ හදවතට වඩාත් සමීප වෙන විදිහට මව්පිය උපස්තාවය, වැඩිහිටියන්ට , ගිලනුන්ට, අසරණයන්ට පිහිට වීමේ වැදගත්කම පෙන්වා දෙන්න. බුදුරජාණන්වහන්සේගේ ධර්මය මෙම ගුණධර්ම මත රැඳී පවතින බවත් ඔවුන්ට පෙන්වා දෙන්න.

ආමිෂ පූජාවන්ටත් ඉඩ දෙන්න

අද ආමිෂ පූජාවන්ට වැදගත් තැනක් දෙන යුගයක්. මේ නිසා ඔබත් දරුවාට ආමිෂ පූජාවන් වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න. එදා සිංහල අලුත් අවුරුද්ද ගෙවුන තැන පටන් ළමා ලපටින් පටන් ගන්නේ වෙසක් වෙනුවෙන් කූඩු බැඳීමටයි. මේ තත්වය දරුවන්ට ඉතා මිහිරි අත්දැකීමක්. අද වෙසක් කූඩු වෙළඳපොලෙන් මිළට ගැනීමට හැකි නිසා දරුවන් ඒ වෙනුවෙන් එතරම් වෙහෙස මාන්සියක් නැහැ. ඒ වුනත් දරුවෙකුට මේ අත්දැකීම ලබා දීම අවශ්‍යයි. අද උණ බට ආදිය පරිසරයෙන් සොයා ගැනීම අපහසු බව ඇත්ත. ඒත් කුමක් හෝ හෝ විකල්පයක් ඒ වෙනුවෙන් ලබා දෙන්න. ඇතැම් අවස්ථාවන්හි බීම බට යොදා ගෙන මේ වෙසක්කූඩු නිර්මානය කරනවා. අනේ අපිට වෙසක්කූඩුවක් හදන්න විදිහක් නැහැ කියන මැසිවිල්ල වෙනුවට සම්බුදු තෙමගුල වෙනුවෙන් දරුවා සූදානම් කිරීම ඒ අන්දමින් සිද්ධ විය යුතුයි.

ප්‍රවේසම් වීම

වෙසක්කූඩු නිර්මානයේදී දරුවන්ගේ නොසැලකිල්ල සහ වැඩිහිටියන් විසින් ආරක්ෂාව ලබා නොදෙන නිසා විවිධ අනතුරු ඇති වෙන්න පුළුවනි. බට පතුරු කපන තැන පටන් වෙසක් පහන් කූඩු දල්වන තෙක් ගින්දර සහ විදුලියෙන් විය හැකි අවදානම බොහෝ සේ ඉහලයි. වෙසක් අවසාන වී ඔබ පුවත්පතක් බලන්න. වෙසක් කූඩුව වෙනුවෙන් විදුලි සම්බන්ධතාවයන් ලබා දීමට දැරූ උත්සාහයේදී විදුලි සැර වැදීමෙන් ඇති වනු අනතුරු බොහෝය. පොල්තෙල්  පහන් සහ බකට් පහන් දල්වන්න ගොස් ඇඳුමට ගිනි ඇවිලී තුවාල ලත් දරුවන් ගැනත් අසන්නට ලැබෙනවා. මේ නිසා ඔබ නිතරම දරුවාගේ නිර්මානශීලී වෑයම පිටුපසින් සිට ඔවුන්ගේ ආරක්ෂව ගැන සහතිකය ගොඩ නගා ගන්න.

පුංචි පුංචි බණ කතා කියා දෙන්න

වෙසක් කාලයේ ඔබ තොරන් බලන්නට දරුවාද කැටුව යනු ඇත. එහිදී ඔබේ ඇස විදුලි එලියේ ආලෝකයෙන් පමණක්්සෑහීමට පත් නොවන්න.තොරණක් වෙනුවෙන් නිමිති කර ගත් බණ කතාවක් ඇත. දරුවාට ඒ බණකතාව සමග එයින් ලැබෙන ආදර්ශය කියා දෙන්න. මෙම කතාවෙන් ජීවිතය හැඩ ගසා ගැනීමට ලැබෙන  වටිනා ආදර්ශ කියා දීමට වටිනා අවස්තාවක් ලැබෙනු ඇත. වෙසත් දිනයන්හිදී බණ කතාවක් කියා දෙන්නට ඒ වෙනුවෙන්ම ඉඩක් ලබා ගැනීම අපහසු කාර්යකි. වෙසක් කාලයේදී ඒ

වෙනුවෙන්ම ලැබෙන කාලයෙන් දරුවාගේ චරිත සංවර්ධනයට අවශ්‍ය බණ කතාවන් කියා දීමට ඔබත් නොදැනම අවස්ථාව ලැබෙන නිසා ඒ අවස්ථාව කිසිදු ලෙසකින් අත් හරින්න එපා.

ආගමික වැඩසටහන් වෙනුවෙන් සම්බන්ධ කරන්න

වෙසක් උත්සවය මුල් කර ගෙන බොහෝ පිංකම් පාසල් මට්ටමින් මෙන්ම දහම්පාසල් මට්ටමින් සිදු වේ. එහිදී පාසලේ සිද්ධ වෙන දාන , ශීල , භාවනා වැඩසටහන් වෙනුවෙන් දරුව‍ා අනිවාර්යෙන්ම සම්බන්ධ කරන්නේ පාසලේ විනය නීති තුළින් දරුවාට ලබා දී ඇති ආවරනය නිසාය. එහෙත්..දහම් පාසලේදී මේ තත්වයෙන් දරුවා නිදහස්ය. සිල් ගත්තාද නොගත්තාද කමක් නැත. ඒ වෙනුවෙන් දඬුවම් ලැබෙන්නේද නැත. දඬුවම් ලැබුනොත් ඒ  වෙනුවෙන් විකල්ප ඇත. එම දහම්පාසලෙන් ඉවත්ව වෙනත් දහම් පාසලකට ඇතුලත් වීමට බාධාවක් නැත මව්පියන්ද දහම්පාසලේ ප්‍රායෝගික කටයුතු ගැන එතරම් කැපවීමක් දක්වන්නේ නැත. එහෙත් අපේ අවශ්‍යතාවය වන්නේ දරුවා ගුණදහමින් පෝෂණය කිරීමයි. එය පාසලෙන් වේවා දහම්පාසලෙන් වේවා  එය විය යුත්තකි. එබැවින් වෙසක් පිංකම් මුල් කර ගෙන පවත්වනු ලබන ප්‍රායෝගික වැඩසටහන් වෙනුවෙන් දරුවා සම්බන්ධ කිරීම මගින් චරිත සංවර්ධනයට ලැබෙන ආලෝකට සුලුවෙන් සැලකිය නොහැක.

සංවර ව අඳින්න

වෙසක් යනු සැනකෙලියක් නොවේ. එය ආගමික උත්සවයකි. මේ නිසා පන්සල් බිමකට යන විට අදින පලඳින ආකාරයක් ඇත. ඒ ගැනත් දරුවන්ට කියා දීම මෙන්ම ඔබත් ආදර්ශමත් ලෙසින් ආගමික කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන්න. පාතේගම ඤානිස්සර ස්වාමින් වහන්සේ විසින් රචිත අපූරු කිවියක් මහනුවර වැල් බෝධියේ ඩිජිටල් පුවරුවක සටහන් කර තිබුණි. පන්සල් බිමකට පැමිණෙන විට එබ් ඇඳුම සකස් විය යුත්තේ කෙසේද යන්න එම කවියෙන් ඉස්මුතුව තිබුනේ මේ අන්දමටයි.

නැටුමක් නැහැනේ බෝධිය ළඟ නටන්නට
එනිසා සුදෝසුදු ඇදුමෙන් සැරසෙන්න
කෙස් ටික සංවරව පීරා ගෙන එන්න
එහි තරඟයක් නැහැ ඔබෙ රුව තෝරන්න
බුදුවරු මාර දූවරු දෙස බැලුවෙ නැත
එනිසා නිරුවතින් නාවට කමක් නැත
බෝමැඩ වටා සීතල මද පවන් ඇත
ඇඳුම්වල ජනේල නැතුවට කමක් නැත

 

මේ අන්දමින් වූ පද පේලි මගින් වචන දහස් ගණනකින් කියැවෙන අදහස් ඉතා සියුම් සේ හදවත ස්පර්ශ වන ලෙසින් නිර්මානය කර ඇත. බාල කාලයේ පටන් මව්පියන් විසින් දරුවා තැනට ගැලපෙන ලෙසින් සූදානම් කලේ නම් අද මෙවන් කවි අපිට ගයන්නට සිද්ධ නොවෙනු ඇත. එසේ නම් අනාගතය මුල් කර ගෙන ඔබේ දරුවාට මෙවන් අඩුපාඩු නොවන ලෙසින් හැසිරෙන අන්දම කියා දීමේ මෙහෙවර දෙමව්පියන් වශයෙන් ඔබ අද බාරගන්න.

අයියෝ මේ උකුණු කරදරේ නම්

නිර්මලාගේ දියණිය දින කිහිපයක සිට හිස කසන්න ගත්තා. දාඩිය දාලා වෙන්න ඇති කියලා හිතපු නිර්මලා දියණියව  හොඳින් නෑව්වා. එත් ඉතින් හිස කැසීමෙ නම් අඩුවක් නැහැ. පාඩම් කරන්න ගත්ත වෙලේ ඉඳලා දියණිය හිස කසනවා. කොකටත් කියලා නිර්මලා දියණියගේ හිසකෙස් එහෙ මෙහෙ කරලා බැලුවා. දුවගේ කෙස් ගස් අතර  ඉන්න ලේඩින්ව දැක්ක නිර්මලා පුදුමයට පත් වුණා. ගෙදර කාගෙවත් උකුණෝ හිටියේ නැහැනේ කොහොමද මේ උකුණො බෝ වුනේ? ඇත්තටම උකුණො හිසේ ඉන්නවා කියන්නෙ නම් හරිම හිරි හැරයක්. හිස කැසීම වගේම උකුණො ඉන්න හිසක් තිබීම ලැජ්ජාවටත් කාරණයක්.

උකුණො කියන්නේ

උකුණන් ලෙස හැඳින්වෙන හිසට හිරිහැරයක් වූ මේ පරපෝෂිතයන් pediculas humanis capitas යන විද්‍යාත්මක නාමයෙන් තමයි හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් අළු පැහැයට හුරු සුදු පැහැයක් ඇති සහ ක`ඵ පැහැති උකුණොත් ඉන්නවා. උකුණු බිත්තර ලේඩී ලෙස තමයි හඳුන්වන්නේ. උකුණන්ගේ ගැහැණු සතාට දිනකට බිත්තර 10ක් පමණ දැමීමේ හැකියාවක් තිබෙනවා. උකුණෙකුගේ ජීවිත කාලය සාමාන්‍යයෙන් දින 40 පමණ වෙනවා. මොවුන් හිස් කබලේ සමට කිට්ටුවෙන්ම ජීවත් වෙනවා. හිසෙහි ලේ උරා බොමින් ජීවත් වන උකුණන්ට සමේ තිබෙන උෂ්ණත්වය ජීවත් වීමට බොහොමත්ම හිතකරයි. උකුණන් තම බිත්තර හිසකෙස් මත රඳවා තිබෙනවා. මෙම බිත්තර ලේඩි පැටවුන් සහිත සරු ඒවා සහ පැටවුන් ඉවත්ව ගිය පැරණි ඒවා හෝ නිසරු ඒවා ලෙස වර්ග දෙක තුනක් දකින්න ලැබෙනවා.

උකුණන්ගේ ආහාරය

උකුණන් හිස මත ඇති සමට විද රුධිරය උරා බොනවා. රුධිරය කැටි ගැසීම වළක්වා ගැනීමට සමට විද්ද සැනින් ඌගේ කෙල ඒ ස්ථානයට ඇතුල් කරනවා. අනතුරුව හොඳින් ලේ උරා බොනවා.

උකුණන් නිසා හිස කසා තුවාල ඇති වෙන්නේ ඇයි?

සම සිදුරු කර කෙල ඇතුල් කල ස්ථාන කැසීමකට ලක්වන නිසා තමයි උකුණු ආසාදන ඇති අය නිතරම හිස කසන්නෙ. සාමානයෙන් හිස කැසීමක් සිදුවුවද, උකුණන් විදින ස්ථානයේ දකින්න ලැබෙන්නේ නැති හේතුවත් එයයි. සමහර අයට පමණක් ඒ ස්ථාන තුවාල වී, විෂබීජ ආසාදනයට ලක් වී එම ස්ථාන පැසවීමකට ලක්විය හැකියි. ඒ වාගේම එම තුවාල හේතුවෙන් බෙල්ල අවට කුද්දැටි ඉදිමීමක් වුවත් සිදු විය හැකිය. ඒ වාගේම හිස උකුණන් බහුලව ගැවසෙන බෙල්ල ආසන්නයේදී හිස කෙස් ප්‍රදේශය හා කන් දෙක ආශ්‍රිතව ඇති හිසකෙස් ප්‍රදේශයේ බහුලව තුවාල හෝ සලකුණු දැකිය හැකිය. කොහොම වුනත් හිස උකුණන් මගින් සිදුවන හිස කැසීමට අමතරව වෙනත් රෝග බෝවීම සිදු වන්නේ නැහැ.

කොහොමද මේ උකුණො බෝ වෙන්නෙ?

සාමාන්‍යයෙන් උකුණන් බෝවෙන්නේ උකුණන් සිටින අයෙකුගේ හිසකෙස් උකුණන් නොසිටින අයෙකුගේ හිසකෙස් හා ගැටීමෙනුයි. එකම නිවසක එකම ඇඳක් භාවිතා කිරීමේ දී එකිනෙකාගේ හිස් එකට ගෑ වීමෙන් ද පාසල් යන ළමුන් එකිනෙකා හා ගැටෙමින් කටයුතු කිරීමෙන් වගේම පාසල් වෑන් තුලදිත් මෙම උකුණන් හුවමාරු සිදු විය හැකිය.

හිසෙහි එකවරක් හෝ උකුණන් සිටීමේ වාසිය

එක් වරක් හෝ උකුණන් හිසෙහි බෝවී තිබීම තුලින් ශරීරය විසින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කරගෙන තිබෙන නිසා ඒ හා සමාන වඩාත් භයානක වූ ශරීර උකුණන් හා සටන් කිරීමට හා ඔවුන් ඉවත් කිරීමට හැකියාවක් ලැබෙනවා. මේ නිසා තමයි විශේෂයෙන් කුඩා ළමයින් සඳහා එක් වරක් හෝ උකුණු ආසාදනයක් වීම වාසි සහගත දෙයක් ලෙස සඳහන් කළේ.

උකුණන් සඳහා ප්‍රතිකාර :

  • උකුණු නාශක බෙහෙත් අඩංගු () රසායනිකයන් වෙනත් ස්වභාවික ශාකසාර නිෂ්පාදනයන් ස්නානය කරන විට ෂැම්පු ගෙන කන්ඩිෂනල් යොදා උකුණු පනාවකින් හිස පීරීමෙන්  උකුණන් වඳ කරගත හැකිය. මෙම ප්‍රතිකාර නැවත දින 7කට 12 පමණ පසු නැවත සිදුකරන්න.
  • උපකරණක් මගින් , උණුසුම් වාතය මගින් හිසකෙස් වියළීමෙන් ද
  • සමහර අවස්ථාවල හිසකෙස් කොටට කැපීම හෝ තට්ටය ගෑමෙන් ද ප්‍රතිකාර සිදු කරනු ලබනවා.
  • කෙසේ වෙතත් තදබල ලෙස හිස උකුණු ආසාදනය සඳහා ඔබගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් අවශ්‍ය වෙනවා.
උකුණු ආසාදනය නැවත ඇතිවීම වැළැක්වීමට ගතයුතු පියවර :

උකුණු බිත්තර හෙවත් ලේඩි හිසකෙස්වල තිබීම  නිසා උකුණන් නැවත සක්‍රීය විය හැකිය.

  • සති පතා දරුවන්ගේ හිසකෙස් පරීක්ෂාව
  • ලේඩි ඇති විට හා නිතර නිතර හිස කසන විට පරීක්ෂා කිරීම
  • හිස කෙස් හා සම්බන්ධ පනාව බුරුසු තුවා ඇඳ රෙදි ආදිය පිරිසුදු කිරීම
  • උකුණන් වඳ කිරීමේ ඖෂධ භාවිතා කිරීමෙන් පසුව සියළුම ද්‍රව්‍ය (පනා, බුරුසු, ඇඳ රෙදි කොට්ට උර) උතුරන වතුරින් තම්බා සෝදන්න.

දරුවන් ඉදිරියේ නොකල යුතු කතා

ඉස්සර කාලයේ පුංචි දරුවන්ට වැඩිහිටියන් ඉදිරියේ සිට ඔවුන්ගේ කතා බහට සවන් දීමේ අවසර තිබුනේ නැහැ. එදා ගම බොහොම පුංචියි. මේ නිසා ගමේ තොරතුරු බෙදා හරින අය අතර රෙදි නැන්දා නම් දරාපු පිරිසක් හිටියා.  රෙදි නැන්දා  ගෙන් ගෙට යමින් පිරිසිදු කිරීමට තිබෙන රෙදි පෙරෙදි වගේම ගමේ උදවියගේ කුණු කන්දල්ද අරගෙන එනවා.මේ වෙලාවට පුතා යන්න ඇතුලට කියල දරුවා එතැනින් ඉවත් කලා. එහෙම කරන්නේ දෙමව්පියන් දන්නවා දැන් ඇති වෙන කතා බහ දරුවන්ට නොගැලපෙන විදිහට සිද්ධ වෙන බව. ඒත් ඒ විදිහට දරුවා ඉවතට යැවීම සාධාරණත්  නැහැ.

එහෙම වුනාම මොකද වෙන්නේ

එතකොට දරුවන්ට කුතුහලයක් ඇති වෙනවා. අම්මා මොනවාද මේ කතාබහ කරන්නේ කියන්නේ යනුවෙන්. ඒ නිසා දරුවා හොරෙන් හෝ මේ සංවාදයන්ට සවන් දෙනවා. ඒ නිසා දරුවාට නොදැනෙන විදිහට මේ ඈත් කිරීම සුදුසුයි. ඒ වගේම අපි දරුවන් ඉදිරියේ නොකළ යුතු කතා මොනවාද ?

අසල්වැසියන්ගේ ඕපාදූප

අපි අතර තිබෙන ලොකු අඩුපාඩුවක් තමයි අනුන්ගේ අඩුපාඩු කතා කිරීම. ඒවා ඉතාම රසවත් මාතෘකාවන්. අපි දරුවන් ඉදිරියේ තබා ගෙන අසල්වැසියන්ගේ දුර්වලතාවයන් කතා කළ විට දරුවා එයින් අස්කොන් දැන ගන්නවා. මේවා යේ සීමාවන් දරුවා දන්නේ නැහැ. ඒනිසා ඔහු අතන මෙතන මේ තොරතුරු කියන්න පටන් ගන්නවා. එයින් ඇතැම් අවස්ථාවල අසල්වැසි නිවෙස් අතර ලොකු ගැටුම් ඇති වෙන්න පුලුවන්.

නෑදෑයන්ගේ අඩුපාඩු

අපි අතර සම්පුර්නයෙන්ම පිරිසිදු අය ඇත්තේ නැහැ. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා වගේ අපේ නැදෑයන් අතර තිබෙන අඩුපාඩු දරුවන් ඉදිරියේ කතා බහ කිරීම නරකයි. සමහර අවස්ථාවල නැන්දම්මා, නෑනාවරුන්ගෙන් ඔබ බොහෝ බැට කන්න ඇති. ඒවා දරුවාගේ හිතට ඇතුලත් වුනාම ඇති වෙන්නේ තමන්ගේ සනුහරය ගැන අප්‍රසාදයක්. ඒ නිසාම මේ වගේ අඩු පාඩු දරුවන් තබා ගෙන කතා බහ නොකළ යුතුයි.

දරුවන් දැන ගත යුතු නැති දේවල් තිබෙනවා

දරුවන් ලෝකය දකින්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඔහුට ඉඩ ලබා දීම ඉතා වැදගත්. ඒත් ළමා වයසට ඔරොත්තු නොදෙන දේවල් ඔවුන් කල් තබා දැන ගත යුතු නැහැ.

දරුවන් ඉදිරියේ සිටින විට ඔබටත් සීමාවක් අවශ්‍යයි

ඇතැම් දෙමව්පියන්ට කතා බහ සංවාදයන් ඉදිරියට යන විට තමා ඉන්නේ කොතැනද…කතා කරන්නේ ‍මොනවාද යන්න ගැන සීමාවක් නැහැ. අනවශ්‍ය විහිලු තහලු වගේම දෙපිට කැපෙන වචන ඉබේටම යොදා ගැනෙනවා. මේ පොඩි දරුවෙක් ඉදිරියේ සිටිනවා නේද යන හැඟිම් ඔවුන්ට ඇති වෙන්නේ නැහැ. ඒත් දෙමව්පියන් විදිහට හදිසියේවත් ඔබ ඉදිරියේ පොඩි දරුවෙක් සිටින්නේ නම් කතා බහ ගැන සීමාවන් පනවා ගන්න. විහිලු තහලු සහ අසංවර අසභ්‍ය වචන ඔබේ ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න.

එහෙම වුනාම වෙන්නේ මොනවාද

සම වයස් කණ්ඩායම අතර ඔබේ දරුවා අනවශ්‍ය විදිහ මෝරා ගිය අයෙක් බවට පත් වීම වැඩිහිටියන්ගේ කතා බහ අහගෙන සිටින දරුවාට මෙයින් සමාජය ඉදිරියේ කිව යුතු සහ නොකිව යුතු දේ ගැන සීමාව දන්නේ නැහැ. ඒ නිසා ඔහු ට ඒවා අවශෝෂණය වෙන්නේ නැහැ. ජීරණය නොවුන දේවල් තැනින් තැන වමාරන විට එම දුර්ගන්ධය නිසා දරුවා සමාජයේ අප්‍රසාදයට පත් වෙනවා.

මහ පැහිච්ච දරුවෙක්

ඔබේ දරුවාගෙන් ඩැහැ ගත් යම් යම් දේවල් ඔවුුන් තමන්ගේ වැඩිහිටියන් සමග පවසනු ඇත. එවිට මව්පියන් වඩාත් කලබල වන්නේ මේ සමාගමට නොගැලපෙන අප්‍රසන්න දරුවෙක්ය යන සංකල්පයෙනුයි. ඒ නිසා ඔවුන් තමාගේ දරුවාට මේ විදිහට අවවාද කරනවා.

මීට පස්සේ ආශ්‍රය කරන්න එපා

තමාගේ මිතුරු සමාගම හදිසියේම අතුරුදහන් වීම නිසා තදබල ලෙසින් ඇති වෙන මානසික කම්පනය නිසා දරුවා මහත් අපහසුතාවයට පත් වෙනවා.

පංතියේ අවතක්සේරුවට ලක් වෙනවා

වයසට නොගැලෙපෙන දේ සම වයස් කණ්ඩායම් අතර ප්‍රකාශ වුන විටදරුවන් ඒ බව තමන්ගේ ගුරුවරුන්ට කියා සිටිනවා. මේ අනවශ්‍ය පැහිච්ච සංකල්පයන් පංතියට ගෙනාවේ කවුද යන්නෙහි අග මුල සොයන විට එහි චූදිතයා බවට ඔබේ දරුවා පත් වෙනවා. නිදහට කරුනු එයින් ඉදිරියට අවශ්‍ය නැහැ. පංතිය තුලත් දරුවාට තිබෙන වටිනාකම නොදැනීම අහිමි වෙනවා.

දරුවන් ඇත්තටම මල් වගෙයි. මේ සංකල්පයේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සත්‍ය බවට පත් වීමට නම් දරුවාගේ ලස්සන වගේම ගුණ සුවඳත් අවශ්‍යයි.මලක වෙතින් වුනත් දුර්ගන්ධයක් විහිදෙනවා නම් අපි ඒ මලට ඇගයීමක් ලබා දෙන්නේ නැහැ. දරුවන් වෙනුවෙනුත් එම සත්‍යය ඒ විදිහටම බලපානවා. මේ නිසා ඔබේ දරුවා මලක් මෙන් සුවඳින් සමාජයට දායාද කරන්න. දරුවා හැදෙන හැටි බලා ගෙන ඒ වෙනුවෙන් ඇවැසි මග කියා දෙන්න.

තාක්ෂණ මෙවලම් භාවිතය දරුවන්ට බලපාන හැටි

තාක්ෂණ මෙවලම් සමග ගණුදෙණු කිරීම ගැන නිරන්තරවම කතා බහ ගොඩ නැගෙන්නේ එහි අහිතකර තත්වය ගැන වුනත් තාක්ෂණ මෙවලම් භාවිතයේ හොඳ පැත්තක් නැතුවාම නොවේ.  එකම කාසියක දෙපැත්ත වගේ තාක්ෂණය සමග දරුවන් සම්බන්ධ වීමේ හොඳ සහ නරක ප්‍රතිඵලත් තිබෙනවා. තාක්ෂණ මෙවලම් භාවිතය පිලිබඳ  මේ තත්වය අදාල වෙන්නේ යොවුන් වයසේ දරුවන් අරභයා නොව ළමා වයසේ සිටින දරුවන් වෙනුවෙනුයි.

දරුවන්ගේ ක්‍රියාකාරකම්

තාක්ෂණ මෙවලම් සමග ඒ කියන්නේ පරිගණකයක් එහෙම නැත්නම් ස්මාර්ට් දුරකථනයක් සමග ක්‍රිඩාවක නිරතව සිටින විට දරුවන්ගේ ආරක්ෂාව ගැන ප්‍රවේසමක් ඇති වෙන බව අද පර්යේෂකයන් පෙන්වා දෙනවා. මේ නිසා ඔවුන් එක්තැන් කොට තමන්ගේ කටයුතුවල නිතරන වීමට දෙමව්පියන්ට අවස්ථාව ලැබෙනවා. අද විදුලිය , ගෑස් වැනි අවදානම් තත්වයනට දරුවන් නිරාවරනය වෙන්නේ මව්පියන් තම තමන්ගේ කටයුතුවල නිතරව සිටින විටයි. ඒත් මේ තාක්ෂණ මෙවලමකට දරුවා යොමු කළ විට ඔවුන් ඒ අවධානයෙන් සිටින නිා අනතුරුදායක වීම ඉතා අඩු බව අද පිලිගැනීමයි.

විඥානික ක්‍රියාවලින් දියුණුයි

පරිගණක ක්‍රිඩාවන් මගින් දරුවන් ඉතා ආවේගශීලි වෙන බව කිව්වත් ඔබ දරුවාට තෝර‍ා දෙන අංශ මගින් මේ තත්වය වෙනස් කළ හැකියි. එදා කාටුන් වෙනුවෙන් විශාල චෝදනා එල්ල වුනත් අද ළමා මානසික විද්‍යාව අනුව පෙන්වා දෙන්නේ කාටුන් වැනි වැඩසටහන් ඉතා හිතකර ලෙසින් දරුව්ගේ මානසික ක්‍රියාවලියට සම්බන්ධ කර ගත හැකි බවයි. පරිණකය වුනත් ඒ විදිහට යොදා ගැනීමට බැරි කමක් නැහැ. පරිගණකය ඇසුරෙන් චිත්‍ර අදින්න, ප්‍රහේලිකා පුරවන්න වගේ කටයුතු දරුවාට ලබා දෙන්න. එයින් දරුවාගේ විඥානික ක්‍රියාවලිය දියුණු තත්වයට පත් වෙනවා.

තාක්ෂනයට හුරුවක් ලැබෙනවා

අනාගතයේදී සමස්ත අධ්‍යාපනය යැපෙන්නේ තාක්ෂනය මතයි. ඒ නිසා දරුවන් විදිහට තාක්ෂණය ඉගෙනීම අනිවාර්යයි. එහෙත් ඔබගේ දරුවා තාක්ෂණයෙන් පසුගාමී නම් අධ්‍යාපනය වෙනුවෙන් තාක්ෂණ කටයුතු අමුතුවෙන් ඉගෙන ගැනීමට සිදු වෙන නිසා බාල කාලයේ පටන්ම ඔවුන්ට මේ උපාංග පරිහරනයට අවස්ථාව ලබා දීම මගින් අනාගත අධ්‍යාපනයට අවශ්‍ය පෙරහුරුවක් ලබා දීමට පුළුවන්.

චාලක දැණුමක් ලැබෙනවා

බාලකාලයේ පටන්ම උපාංල හසුරුවන් විට දරුවන්ගේ අත් සහ ඇගිලිවල හැසිරවීම පහසු වෙනවා. එදා වගේ දරුවන්ට අද වැලිබත් උයන්න පරිසරයක් නැහැ. ඒ වගේම පොල්පිති ගොනුන් සකස් කරන්න අවස්ථාවක් නැහැ. ඒ වෙනුවෙන් විකල්ප විදිහට පරිගණකයේ යතුරුපුවරුව ඉතා ‍හොඳ මෙවලමක් වේවි. ජංගම දුරකථන යතුරුපුවරුව මගින්ද මේ හසුරුව ලැබෙනවා. දරුවන්ගේ අත් පය ක්‍රියාකාරිත්වයක් නොමැකි වුනාම සන්ධිවල ක්‍රියාකාරිත්වය දුර්වල විය හැකියි.

හැම දෙයකම දෙපැත්තක් තිබෙනවා. තාක්ෂණ මෙවලම් නිසා දරුවන්ට ඇති වෙන අහිතකර ප්‍රතිඵලත් නැතුවාම නොවේ.

සුඛෝපභෝගී ජීවිතය

අද දරුව්ගේ ශාරිරික ක්‍රියාකාරකම් නොමැති නිසා ඔවුන්ගේ ජීවිත ඉතාම සැපපහසුවට සක්ස් වෙනවා. මෙය කාලය විසින් ලැබුන තත්වයක්. තාක්ෂණ මෙවලම් නිසා මේ තත්වය තවත් නරක අතට හැරෙනවා. අවස්ථාව ලද හැම විටම මේවායේ නිරතව සිටිනවා  විනා දුවන පනින ක්‍රියාකාරකම් වෙනුවෙන් දරුවන්ගේ යොමු වීම අඩු වෙනවා. ඒ සුඛෝපභෝගී සහ අඩු ක්‍රියාකාරිත්වය නිසාම අනාගතයේදී දරුවා තරබාරුව වැනි අහිතකර සෞඛ්‍ය තත්වයන්ට පත් වෙන අවදානමත් තිබෙනවා.

හුදෙකලාව

අද දෙමව්පියන් කියන මේ කතාව ඔබටත් හොදින් හුරු පුරුදු ඇති. ” වීඩියෝ ගේම් එකක් දාලා දුන්නාම රැයක් එලි කරයි…” ඒ අනුව දරුවන් තම තමන්ගේ ලෝකයේ හුදෙකලා වෙන්නේ තාක්ෂණය නිසයි. හෙම නැත්නම් ඔවුන් තමන්ගේ වැඩිහිටියන් සමග හෝ සම්බන්ධ වෙනවා. පවුලක අන්තර් සම්බන්ධතාවය දුරස් වීමත් අහිතකර ප්‍රතිඵලයක් විදිහට පෙන්වා දීමට පුලුවන්.

සමාජශීලි නැහැ

මුලින් කී විදිහට දරුවන් තාක්ෂණය සමග හුදෙකලා වුනාම ඔවුන් සමාජශීලී වෙන්නෙත් නැහැ. නිතරම බලන්නේ සමාජයෙන් දුරස්ථ වෙන්නයි. පසුකාලයකදී සමාජ සහජීවනය ගොඩ නගා ගැනීමත් ඔවුන්ට මානසික වධයක් බවට පත් වෙනවා.

වියදම් වැඩියි

ඉස්සර කාලයේ කුඩා දරුවන්ට සෙල්ලම් බඩු වෙනුවෙන් කිසිම වැය බරක් දරන්න වුනේ නැහැ. පැපොල් බටයෙන් නලාවක්, පොල්පිත්තෙන් ගොනෙක්,පොල් කටු‍වකින් සපත්තු දෙකක් හදා දුන්නාම වැඩේ අහවරයි. ඒත් තාක්ෂනයේදී ඒ විදිහට පිරිමැහෙන්න බැහැ.ක්‍රිඩාවක් අවසාන වෙද්දී දරුවාගේ ඉල්ලීම තවත් ක්‍රීඩාවක් වෙනුවෙන් ගොඩ නැගී අවසානයි. මේ වෙනුවෙන් විකල්පත් නැහැ. අනිවාර්යෙන්ම ඒ සී. ඩී. තැටිය මුදලට ගත යුතුයි. මේ විදිහට දිගින් දිගට ඇති වෙන ඉල්ලීම් නිසා දරුවන්ගේ තාක්ෂණ මෙවලම් වෙනුවෙන් අවශ්‍ය ක්‍රිඩාවන් ලබා දෙන්නත් වෙනම වැය බරක් මාසිකව දරන්න වෙනවා. එය දෙමව්පියන්ට එතරම් පහසු තත්වයක් නොවේ.

මානසික අබාධ

පසුගිය දශකයක පමණ සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙනී යන්නේ දරුවන් පරිගණක සහ වෙනත් තාක්ෂණ උපංග මත යැපීම නිසා ඇති වෙන තත්වය අධි ක්‍රියාකාරිත්වය හෙවත් ආවේගශීලිත්වය, මානසික ඌනතා, සන්නිවේදන අපහසුතාවයන් වැනි රෝග තත්වයන්ට පත් වෙන බවයි.

මේ ක්‍රීඩාවන් දරුවන්ට ගැලපෙන්නේ නැති තරම් දරුණුයිබොහෝ පැිගණක ක්‍රිඩාවන්ගේ විෂය දරුවන්ගේ මනසට එතරම් යෝග්‍ය නැහැ. මෝටර් රථ රේස් එහෙම නැත්නම් වෙඩි තබා ගැනීම් මේ තත්වයන් නිසා දරුවාගේ මොළයේ ක්‍රියාකාරිත්වය ඉතා වේගවත් වෙනවා. ඔහු නිතරම උත්සාහ කරන්නේ වෙඩි තැබීමෙන් හෝ  මෝටර් රථ ධාවනයෙන් තමන් ඉදිරියෙන් සිටීමටයි. එය ඔවුන් සැබෑ ජීවිතයෙන්ද අපේක්ෂා කරනවා. තමාගේ දෛනික හෝ සමාජයේ සම්බන්ධතාවයන්හිදී ඉදිරියෙන් සිටින්නට නොහැකි වුනොත් එයින් ඇති වෙන පසුගාමී මානසිකත්වය එතරම් සුදුසු නැහැ.

සැමියා ඔබෙන් ඇසිය හැකි ඉතාම කටුකම ප්‍රකාශය

දීර්ඝ කලෙකින් නැවතත් ඕබ වෙනුවෙන් ලිවීමට සුලු කාලයක් වැය කලෙමි. මාගේ ෆේස්බුක් ගිණුමට නොයෙකුත් මව්වරුන්  ඒවන පණිවිඩ මා කියවන්නේ ඉතා සතුටින්. ඉන් හමුවූ මේ කතාව ඔබ වෙනුවෙන් අකුරු කිරීමට මට සිතුනේ මෙයින් අම්මා කෙනෙක් කෙතරම් ශක්තිමත් ද යන්න කියා පෑමටයි.


ලගදි ඉදලා ඇගට හරි තෙහෙට්ටුයි..කන්න පිරියක් නෑ..ඇදට වැටුනොත් නින්ද යනවා.. මේ ගතිය නිසා ගෙදර වැඩත් මග හැරුනා…මේ ලක්ෂණ ඔක්කොම දරුවෙකු පිළිසිඳගත් ගැහැණියකගේ ලක්ශණ වූවත් ඒය පිළිගැනීමට මා පැකිලුනේ මා හා සැමියා එකට එක් වන්නේ ඉතාමත් කලාතුරකින් එනම් මසකට වරක් හෝ මාස කීපයකට වරක් පමණක් නිසයි.. මාගේ ඔසප්වීමත් ඉතා අක්‍රමවත් වන අතර පසුගිය සතියේත් එය ඉතා සුලු ආකාරයෙන්න් සිදුවුනි.. ඒමෙන්ම අවසන් වතාවට අප ඒක්වු මොහොතේ අපි උපත් පාලන පෙතිද භාවිතා කලෙමු… මගේ ගත කෙමෙන් කෙමෙන් දුර්වල වන බව මට දැනේ..දැන් ටික ටික වමනය යයි..මගේ ගතේ දරුනු අසනීපයක් ඇති බව මට හැගේ..

“අපි full body check up එකක් කරගමු ඉක්මනට” ඒ මගේ සැමියාගේ යෝජනාවයි. මා ඒයට කැමති වූයේ ඒක පයින්. ඒත් දෙවරක් ගැබ් ගෙන පලපුරුදු මා හට එක වරම සිතට පැමිනියේ “ඔන්න ඔහේ urine pregnancy test එකක් කරල බලමු” කියාය. මාගේ ඉල්ලීම මත මගේ සැමියා මා හට ලබා දුන් මුත්‍රා පරීක්ශණ පටි වලින් මා පරීක්ෂණය කර බැලුවෙමි. පුදුමයකි..මා ගැබ් ගෙන තිබේ..

මෙය අපට අනපේක්ශිත පුවතකි. විශේශයෙන් මාගේ සැමියා ඒ පිලිබද කිසිදු ප්‍රසන්න බවක් නොපෙන්වූයේය..එය මගේ සිතට වද දුන්නේය.. පසුදින අපි නුදුරු පෞද්ගලික රෝහල වෙත ගොස් ලේ සාම්පලයක් ලබා දී දරු ගැබට කොපමණ කලක් දැයි බැලීමට පරීක්ෂණයක් කලෙමු. එහි ප්‍රතිපළ ලැබෙන්නේ පසුදිනයි.

අපි නැවත නිවස බලා එන අතරතුර මම සැමියාගෙන් මෙසේ ඇසීමි. “ඔයාට මේ ගැන සතුටු නෑ වගේ නේද?” ඔහු ඇසුවේ.. යම් බිරිදක් සිය ආදරබර සැමියාගෙන් ඇසිය හැකි ඉතාම කටුකම ප්‍රකාශයයි..එනම්..”ඔය ළමයාගේ තාත්තා කවුද?”

මට ඇත්ත කියන්න මවුවරුනි..ඔබට මෙවන් දෙයක් අසන්නට ලැබුනොත් ඔබේ ප්‍රතික්‍රියාව කුමක් වේවිද?

මොහු මේ කුරිරු ප්‍රශ්ණය මාගෙන් ඇසූයේ මන්ද? මීට මසකට පමණ පෙර ඔහු දින 12 කට පමණ විදෙස් සංචාරයකට සහභාගි වුනේය. ඉන් පසු අප එක්වූයේ ඒක් වරක් පමණි..ඒයත් ආරක්ෂිතවය. කෙතරම් උගත් මිනිසෙකු වුවද..කොපමණ ඉහළ රැකියාවක් කළද..ඔහු මා ඉදිරියේ සැණෙකින් අති දුර්වල මෝඩයෙකු බවට පත්වුණි. ඒ මන්ද?

මීට පෙර අප ලිංගිකව එක්වූ කිසිම විටක (අවසන් වතාවේ හැර) අපි කිසිම ආරක්ෂක ක්‍රමයක් භාවිතා නොකලෙමු. ඒසේ ම ඔහු මේ ප්‍රශණය ඇසීමට හදිසි වූයේය. ඔහුට පසු දින ලේ පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු ඉවසා සිටියේ නම්, ඔහු මේ තකතීරු ප්‍රශ්නය කවදාවත් අසන්නේ නැත. මන්ද. එහි ප්‍රතිඵල අනුව මා තෙමස් ගැබිණියකි.

මා සිතන්නේ ඔහු මේ පිළිබඳව දැන් තැවෙනවා විය හැකියි. නමුත් ඒ ගැන මට කිසිදු කලකිරීමක් නොමැත. නමුත් එක දෙයක් මා පැහැදිලිවම ප්‍රකාශ කලෙමි.

“මේ තීරණය මාව නිදොස් කිරීමට ගත් තීරණයක් නොව මාගේ නූපන් දරුවා වෙනුවෙන්,ඒ පිරිසිදු ලේ ධාතුව වෙනුවෙන් මම කලයුතු යුක්තියකි. මේ දරුවා ඉපදීමට පෙර හෝ පසු මේ දරුවාගේ ජාන පරීක්ෂාවක් සිදු කර මේ දරුවා පිරිසුදු බව ඕප්පු කර මිසක් මේ දරුවා පියාගේ නිවසට ගෙන නොඑමි”

මව්වරුනි .බලන්න මේ මවගේ තීරණය…. හඩා දොඩා වැලපෙන්නේ නැති මෙවන් තීරණ කෙතරම් ආදර්ශමත් ද? ඔබ දුර්වල නැත..එය කිසිදා අමතක නොකරන්න. ඔබ වරදක් කර නොමැතිනම් බුදු හිමියන් දෙසූ අටලෝ දහමින් නොසැලෙන්න. ජීවිතයට ශක්තිවන්තව මුහුන දෙන්න..

ඔබට ජය!

ආයුර්වේද ශාස්ත්‍රයට අනුව අලුත උපන් ළදරුවා රැක ගන්නේ මෙහෙමයි

දරුවෙකු මෙලොවට බිහි වීමෙන් පසු මුල්ම හා කෙටිම අවධිය නවජාත කාලය ලෙස ආයුර්වේද ශාස්ත්‍රයේ හඳුන්වයි. මෙම නවජාත අවස්ථාව කොටස් 02 යුක්තයි.

සද්‍ය (ජාත) අවස්ථාව :  
  • උපතින් පසු නාභි නාළය වෙන් කරන අවස්ථාව දක්වා කාලය
නවජාත අවස්ථාව : 
  • නාභි නාළය වෙන් කිරීමෙන් පසු මුල් සති හතර අවසාන වන තෙක් කාලයයි. මේ දක්වා නාභි නාළය හරහා යැපීම සිදු කළ දරුවා මෙතැන් සිට බාහිර පරිසරයට සුදුසු ආකාරයට අනුවර්තනය විය යුතුය.

එනම්, ළදරුවා :

  • තනියම ශ්වසන ක්‍රියාවට අනුවර්තනය වීම.
  • බාහිර උෂ්ණත්වයට අනුවර්තනය වීම.
  • කිරි උරාබීමට හා ගිලීමට අනුවර්තනය වීම.
  • බහිස්‍රාවී ද්‍රව්‍ය (මල ද්‍රව්‍ය) පිට කිරීමට අනුවර්තනය වීම.

යන කාර්යයන් සිදු කර ගත යුතුය. මෙම කාලය තුළදී ළදරුවා රෝග පීඩාවලට භාජනය වීමේ හැකියාව වැඩිය. එබැවින් පාරිසරික විෂමතා, විපත් රෝග කාරක හේතු ආදියෙන් වළක්වා ළදරුවා ආරක‍ෂා කරගත යුතුය.

ඒ සඳහා අයුර්වේද ශාස්ත්‍රය තුළ සඳහන් ශාස්ත්‍රීය කරුණු පහත පරිදි වේ.

කුමාරාගාරය/දරුවා තබන කාමරය සැකසීම

දරුවාගේ අවශ්‍ය සියලූම සැප පහසුකම් සහිතව දරුවා වෙනුවෙන්ම වෙන් වූ ආරක‍ෂාකාරී ස්ථානය (කාමරය) කුමාරාගාරය ලෙස හඳුන්වයි.

ආයුර්වේද ශාස්ත්‍රීය ග්‍රන‍ථවල දක්වා ඇත්තේ එය අඳුරු රහිතව, තද සුළං නැතිව එක් පැත්තකින් පමණක් සුළං ඇතුළට එන පරිදි දර්ශනයට සුන්දර ස්ථානයක් සකසන ලෙසයි. වර්ණවත් රූප හෝ දර්ශන දිස්වීමට තිබීමෙන් දරුවාට ඒවා දර්ශනය වීමෙන් දරුවාගේ බුද්ධි වර්ධනයට ඉවහල් වේ.

  • ඒ තුළ මැසි, මදුරු, මීයන් ආදී ප්‍රාණීන්ගෙන් තොර විය යුතුය.
  • එසේම බළල්, බලූ ආදී සතුන් ප්‍රවේශ නොවිය යුතුය.
  • ගෘහය ඉතාම පිරිසිදු විය යුතුය.
  • දරුවාට අවශ්‍ය උපකරණ වෙන් වෙන් ස්ථානවල පිළිවෙළින් තිබිය යුතුයි.
  • කුමරාගාරය නිරතුරවම රක‍ෂා ක්‍රමවලට භාජනය කළ යුතුයි. එනම් නිතර පවිත්‍ර කිරීම, ධූපන ක්‍රියා (දුම් ඇල්ලීම), ඖෂධ එල්ලා තැබීම ආදියයි.
දරුවා රැක ගැනීම සඳහා සඳහන් ආරක්ෂාකාරී ක්‍රම :

මෙයින් බලාපොරොත්තු වනුයේ දරුවා විවිධාකාර රෝගාබාධවලින් වළක්වා සෞඛ්‍ය සම්පන්න බව ඇති කිරීම සඳහා ගත යුතු පියවරයි.

දරු උපතට පෙර සිටම දරුවා තබන ස්ථානයේ පවිත්‍රතාව සඳහා :

  • රෙක‍ෂා්ශ්ත ඖෂධීය දියරවලින් සේදීම.
  • ඖෂධ ධූප වර්ග වලින් දුම් ඇල්ලීම.
  • ආරක‍ෂාකාරී ඖෂධ ද්‍රව්‍ය පොට්ටනි බැද සතර කොන තැබීම/එල්ලීම හා එය දරුවාගේ හා මවගේ යහනෙහි එල්ලා තැබීම.

අබ, වද කහ, පෙරුම්කාය, ගුගුල්, සුවඳ කොට්ටම්, සුදු ළුෑණු, අති විඩයං ආදී ද්‍රව්‍ය වලින් දුම් ඇල්ලීමද එම ඖෂධ ද්‍රව්‍ය වලින් සෑදූ ඖෂධ පොට්ටනි එල්ලා තැබීමද සිදු කල හැක.

දුම් ඇල්ලීම කාමරයට මෙන්ම මවගේත් දරුවාගේත් ඇඳුම් වලටද සිදු කිරීම වැදගත් වේ.මෙම ක්‍රියා මගින් රෝග කාරක විෂබීජ ඉවත් වීමෙන් දරුවාත් මවත් ආරක‍ෂා වේ.

රත කල්කය ලබාදීම

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව සති දෙකක් වයසැති දරුවාට රත කල්කය ලබාදීම ඔහුගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට මෙන්ම ප්‍රයෝජන රාශියකට ඉවහල් වේ. වර්තමානයේ රත කල්කය ලබාදීමට බොහෝ මව්වරුන් බිය වී ඇති අතර ඔවුන්ද රත කල්කය ලබාගත් බව අමතක වීම කණගාටුවට කරුණක් වේ.

තවද වර්තමානයේ භාවිතා කරන ප්‍රතිශක්තීකරණ එන්නත් නියමිත වේලාවට ලබාදීමද වැදගත් වේ.

දරුවාගේ පෝෂණය

ළදරුවා ඉපදීමෙන් පසු ලබාදෙන ප්‍රථම ආහාර වේල මව්කිරිය. අතීතයේ මව්වරු රන් කිරි කටගෑම ලෙස පිරිසිදු මී පැණී හා පිරිසිදු ගිතෙල්, රත් රන් පිටි මව්කිරි සමග මිශ්‍ර කර දරුවාට උරා බීමට සලස්වා ඇත.

  • මී පැණි මගින් දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනයත්,
  • ගිතෙල් මගින් හොඳින් මල පහ පිට කිරීමට උත්තේජනයත්,
  • ස්වර්ණ භෂ්ම මගින් බුද්ධි, මේධා වර්ධනයත් යන කාර්යයන් තුන සිදු කරයි.

නවජාත දරුවාට පළමු දින සිට හය වන මාසය දක්වා මව්කිරි අඛණ්ඩව ලබාදීම අත්‍යාවශ්‍ය වේ.

අලූත උපන් දරුවාගේ වස්ත්‍ර

  • දරුවා සඳහා භාවිතා කරන ඇඳුම්, ඇඳ ඇතිරිලි හා වෙනත් උපයෝගික වස්ත්‍ර මෘදු, සැහැල්ලූ, අලූත්, සුවඳවත් හා ලා පැහැති විය යුතුය.
  • එසේම එම ඇඳුම් ඇන්දවීමට පහසු ආකාරයෙන් සැකසිය යුතු වේ.
  • මෙම වස්ත්‍ර මල මුත්‍ර ආදියෙන් අපවිත්‍ර වූ වහාම ඉවත් කර පිරිසිදු අලූත් වස්ත්‍ර මාරු කර ගැනීම කළ යුතු වේ.
  • අපවිත්‍ර වූ වස්ත්‍ර රෙක‍ෂා්ස්ත ද්‍රව්‍ය වලින් දුම් අල්ලා නැවත භාවිතයට ගත යුතු වේ.
ආයුර්වේද වෛද්‍ය
හංසනී සෝමවීර (BAMS .col)
පුනර්ජීව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
බොරලැස්ගමුව

 

ඉන්ෆ්ලුවෙන්සා රෝගයට බොරුවට බය නොවී හරියට දැනුවත් වෙමු

ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය, ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති කරනු ලබන ආසාදන තත්ත්වයක් හේතුවෙන් මිනිසුන් අතර පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වෙලා.  2009 වසරේ පමණ සිට ඉන්ෆ්ලූවෙන්සා රෝග තත්ත්වය කාලයෙන් කාලයට වාර්තා වූ අතරම විශේෂයෙන් දෙසැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වාත් මැයි මාසයේ සිට ජුලි මාසය අතර කාලය තුළත් බහුලව වාර්තා විය. ඉන්ෆ්ලූවෙන්සා වෛරසයේ A, B, C ලෙස ප්‍රභේද තුනක් ඇති අතරම A වෛරස ප්‍රභේදය හේතුවෙන් හටගන්නා තත්ත්වය H1N1 ලෙස හැඳින්වෙන අතරම එය මාරාන්තික රෝග තත්ත්වයක් නොවේ. H1N1 තත්ත්වය ඇති කරනු ලබන වෛරසය සතුන් තුළ ඇති වන්නක් නිසා එය සූකර උණ (Swine Flu) ලෙස හැඳින්වුවද අද වන විට එයට H1N1 යන නාමය ස්ථීර ලෙස භාවිත වේ.

මෙම රෝගයට ගොදුරු වන සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් බහුතරයක් නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර මත දින හයක් හතක් ඇතුළත සුවය ලබයි. නමුත් ඇතැමුන්ගේ රෝග තත්ත්වය සුව අතට හැරුණ ද නිව්මෝනියාව, හෘද වස්තුවේ ආබාධ වැනි හේතු මත මිය යන අවස්ථා ද වාර්තා වී ඇත. ප්‍රතිශක්තිකරණය අඩු හෝ වෙනත් සෞඛ්‍ය ගැටලූ පවතින පිරිස් හැකිතාක් මෙවැනි රෝග තත්ත්වයන්ගෙන් වැළකී සිටීමට උනන්දු විය යුතුය.

ඉන්ෆ්ලූවෙන්සා රෝගය හේතුවෙන් ජීවිත අවදානමට ලක්විය හැකි පිරිස් ලෙස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, අවුරුදු දෙකට අඩු බිළිදුන්, ගර්භණී මව්වරුන්, පසු ප්‍රසව මව්වරුන්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටලූ සහ වෙනත් රෝග තත්ත්වයන් ඇති පුද්ගලයින් දැක්විය හැකිය.

වෙනත් රෝග ඇති පුද්ගලයන් ලෙස ඇදුම, හෘද රෝග, පෙනහලූ ආශ්‍රිත රෝග, දියවැඩියාව, වකුගඩු ආබාධ, ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග, අක්මාව හා සම්බන්ධ රෝග, පිළිකා ප්‍රතිශක්ති ඌණතා සහ අවයව බද්ධ කරන ලද පුද්ගලයන් දැක්විය හකිය. මෙවැනි පුද්ගලයන්ට රෝගය වැළඳීමේ අවදානමක් ද පවතී.

ඉන්ෆ්ලූවෙන්සා රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව ගත් කළ ඒ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ගැබිනි මව්වරුන්ය. ගැබිනි සමයේදී සිරුරේ හෝමෝන වෙනස්කම් මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ද වෙනස්කම් ඇති බැවින් රෝගය වැලදීම අවදානම් තත්ත්වයකි. නමුත් මේ රෝගයෙන් මිය ගිය ගැබිනි මව්වරුන් ගත් විට ඔවුන් මිය යාමට මූලික හේතුව වී ඇත්තේ නිසි කලට නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර වෙත යොමු නොවීමයි.

ඉන්ෆ්ලූවෙන්සා රෝග තත්ත්වය ඇති වූවෙකු පෙන්නුම් කරන ලක‍ෂණ :
  • තද උණ
  • සොටු දියර ගැලීම
  • කිවිසුම් යාම
  • අත් පා වේදනාව
  • අප්‍රාණික බව

මෙවැනි ලක‍ෂණ පෙන්නම් කරන ඕනෑම පුද්ගලයෙක් වෛද්‍යවරයෙකු හමු වී නිසි ප්‍රතිකාර වෙත යොමු විය යුතුය. එහිදී වෛද්‍යවරයා විසින් :

  • වෛද්‍ය පරීක‍ෂාවට අනතුරුව ඔබ යොමු විය යුතු පරීක‍ෂණ මොනවාද ?
  • ඔබ ලබාගත යුතු ඖෂධ මොනවාද ?
  • රෝහල් ගත විය යුතුද නැද්ද ?
  • සායනික පරීක‍ෂණ සඳහා යොමු විය යුතුද යන කරුණු පිළිබඳ ඔබව දැනුවත් කරනු ඇත. (සෑම රෝගියෙකුම රසායනාගාර පරීක‍ෂණ සඳහා යොමු කළ යුතු නැත. බරපතල තත්ත්වයේ සිටින රෝගීන් කොළඹ වෛද්‍ය පරීක‍ෂණ ආයතනයේ සායනික පරීක‍ෂණ සඳහා යොමුකර නාසය සහ උගුරේ පටලවල සාම්පල සහ ස්වසන පද්ධතියේ ශ්‍රාවයන් ද පරීක‍ෂාවට යොමු කෙරේ)

ඒ අතරතුරේ රෝගය උග්‍ර තත්ත්වයට පත් වන්නේ නම් විශේෂඥ වෛද්‍ය නිර්දේශයට අනුව ”ඔසෙල් ටැමිවීල් – Oseltamivir” නම් වූ වෛරස නාශක ඖෂධය ආරම්භ කෙරේ. (මෙය වෛද්‍යවරයෙකු විසින්ම නිර්දේශ කළ යුතු අතර හිතුමතේ භාවිත කිරීම සුදුසු නොවේ. එසේම සාමාන්‍ය වෛරස තත්ත්වයන්වලදී මෙම ඖෂධය ලබා නොදේ.) ගර්භණී කාන්තාවන් මෙම ඖෂධය ලබාගැනීමෙන් කලලයට කිසිදු බලපෑමක් ඇති නොවන අතරම ඔසෙල් ටැමිවීල් ඖෂධය ලබාදීම පිළිබඳව සෑම සෞඛ්‍ය වෘත්තිකයෙක්ම ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙන උපදෙස්වලට අනුකූලව පමණි.

තවද ඉන්ෆ්ලූවෙන්සා රෝගය වැළදුණු අයෙකුට දියර වර්ග වැඩි වශයෙන් ලබාදිය යුතු අතරම පෝෂණීය ආහාර ලබාදෙමින් සිරුර දුර්වල තත්ත්වයට පත්වීම වළක්වා ගත යුතුය. මේ පිළිබඳව ද වෛද්‍යවරුන් ඔබව දැනුවත් කරනු ඇත.

ඉන්ෆ්ලූවෙන්සා තත්ත්වය පැතිරීම වළක්වා ගැනීමට රෝගය වැළදුණු ඔබට කළ හැකි දේ :
  • රෝගය වැළදී සම්පූර්ණයෙන් සුවය ලබන තුරු ඔබ රැකියා ස්ථානය වෙත නොයන්න.
  • රෝගී වූ දරුවන් සම්පූර්ණ සුවය ලබන තුරු පාසැල/පෙරපාසැල වෙත නොයවන්න.
  • රෝගය වැළදුණු ඔබ කිවිසුම් යැවීමේදී ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් භාවිත කරන්න.
  • මුඛ ආවරණයක් භාවිත කරන්න.
  • නිවසේ සිටින නිරෝගී පුද්ගලයන්ගෙන් වෙන්ව සිටින්න.
  • රෝගය සුව වන තුරු පොදු ස්ථානවල සැරිසැරීමෙන් වළකින්න.
ඉන්ෆ්ලූවෙන්සා රෝගය මගහැරීමට නම් :
  • රෝගය පැතිර යන මේ කාලය තුළ ගමන් බිමන් හැකි තාක් අවම කිරීම හා නිවසින් බැහැර ගොස් පැමිණි විගස හොඳින් පිරිසිදු වීම.
  • අන්න්‍යයන්ගේ ලේන්සු/ටිෂූ කඩදාසි/තුවා භාවිතයෙන් වැළකී සිටින්න
  • සෙනඟ ගැවසෙන ස්ථානවලදී මුඛ ආවරණයක් භාවිත කරන්න
  • නිවසේ රෝගීන් සිටී නම් වෙන්ව සිටින්න

ඉන්ෆ්ලූවෙන්සා රෝගය සඳහා අවශ්‍ය පුද්ගලයන්හට පෞද්ගලික අංශයේ රෝහල් වෙතින් එන්නත් ලබාගත හැකි අතරම ඉදිරි ලිපියකදී ඒ පිළිබඳව සවිස්තරාත්මකව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ. කෙසේ වුවද නිසි පැවැත්ම සහ නිසි සෞඛ්‍ය පුරුදු මගින් මෙසේ පැතිර යන රෝගවලින් ආරක‍ෂා වීමට සැවොම අදිටන් කරගැනීම ඉතා වැදගත් වේ.

කොළඹ, වසංගත රෝග අංශයේ ජේෂ්ඨ ලේකකාධිකාරී ප්‍රජා වෛද්‍ය සමීර සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි.