ප්‍රථමාධාර කට්ටලයට එකතු කර ගත හැකි දේශීය බෙහෙත්

” හචිස්… හචිස්… ”
” පුතාට හෙම්බිරිස්සාව නේද බෙහෙත් ගෙනාවද ඔයා? ”
” නැහැ ”
” ඔය ළමයට ඕක වැඩි වෙයි”
” ඔව් ඒක නිසා තමයි කොත්තමල්ලි දුන්නේ ”

පුතාලගෙ තාත්තගෙ කට වැහුනා. ඇත්තටම අපි පුංචි කාලේ අපෙ අම්මා අපිට බෙහෙත් ගන්න ගියේ හරිම කලාතුරකින්. ඇත්තටම අපේ අම්මා හොඳට අත්බෙහෙත් ගැන දැන ගෙන හිටියා. ඒත් අද අම්මලට නම් ඔය අත් බෙහෙත් ගැන ඒ තරම් දැනුමක් නැහැ. බරපතලම ලෙඩ වලට හැරෙන්න උණකට හෙම්බරිස්සාවකට, සෙම් අමාරුවකට, බඬේ අජීර්ණයකට, හිසේ අමාරුවකට ඒ කාලේ අම්මලා ගෙදරම වෙදකම් කලා. සුළු රෝගයකට නිවසේදීම අත් බෙහෙතක් දැන ගෙන සිටීම හරිම වටිනවා. එනිසාම නිවසක  තිබිය යුතු ඔබේ ප්‍රථමාධාර කට්ටලයට එක්කාසු කර ගත හැකි දේශීය බෙහෙත් වර්ග කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න අප සිතුවා.

නිවසේ ප්‍රථමාධාර ඖෂධ තිබීමෙන් ලැබිය හැකි වාසී

  • සුළු ආබාධ සඳහා වන ප්‍රථමාධාර නැතහොත්  අත්බෙහෙත් දැන සිටීමෙන් මුදල් වැය කිරීමකින් තොරව ප්‍රතිකාර කර ගත හැකිය.
  • වෛද්‍යවරයකු වෙත රෝගියා යොමු කරන තෙක් රෝගය පාලනය කරගැනීම හැකියාව ලැබීම.
  • රෝගයක මුල් අවස්ථාවේදීම සුළු ප්‍රතිකාරයක් කිරීමෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැකි වන අතර එම රෝගය උත්සන්න වීමට ඉඩ නොදී යම් තාක් දුරට පාලනය කරගත හැකිවීම.
  • නිවසේදීම ප්‍රතිකාර කරන හෙයින් කාලය ඉතිරි කරගත හැකිවීම.
  • ස්වභාවික දාව්‍ය උපයෝගී කර ගන්නා නිසා අතුරු ආබාධ ඇති නොවේ.
ජාතික මට්ටමින් ඇති වාසී

  • සෞඛ්‍ය සේවා සඳහා රජයට දැරීම සිදුවන මුදල් ප්‍රමාණය අවම කර ගත හැකිවීම.
  • රෝහල් වල තදබදය අඩුවේ.
  • සුළු රෝගාබාධ සඳහා ඖෂධ නිකුත් කිරීම අවම වීම තුලින් ඖෂධ අඩුවෙන් වැය වීම.
ප්‍රථමාධාර ඇසුරුමක තිබිය යුතු ආයුර්වේද ඖෂධ

  • නවරත්න කල්කය
  • ත්‍රිඵලා පෙති
  • දෙසඳුන් කල්කය රත කල්කය
  • තාලිසාදි චූර්ණය
  • සුදර්ශතා චූර්ණය
  • ත්‍රිඵලා තෛලය
  • නිර්ගුණ්ඩ්‍යාදි තෛලය
  • පිණ්ඩ තෛලය
  • සීතෝදක තෛලය
  • සර්ව විෂාදිය තෛලය
  • කෝල ශෙලස්මා තෛලය
  • පිරිසිඳු මී පැණි
නවරත්න කල්කය
  • නිතර නිතර බඩ බුරුලට මලපහ වීම,වමනය හා අතීසාරයට ලබා දිය හැකිය.
  • භාවිතය- දෙහි ඉස්ම සමග දිය කර කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයක් සිට තේ හැඳි 1රැ4 දක්වා උදේ සවස
ත්‍රිඵලා පෙති
  • බඩ පිපුම, උදරයේ වේදනාව, උදරයේ දැවිල්ල සඳහා යෝග්‍ය වේ. පෙති 1 බැගින් කෑමට පෙර උදෑසන දහවල් හා රාත්‍රී ගන්න.
  • ආහාර විෂ වීම් නිසා ඇති වන කැසීම් හා පලු දැමීම සඳහා පෙති 2 බැගින් ගන්න.
දෙසඳුන් කල්කය රත කල්කය
  • ළදරු උණ සඳහා කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයක් ගෙන කබලේ බැද ගත් කොත්තමල්ලි තැම්බූ වතුරින් දිනකට තුන්වරක් ලබා දෙන්න.
  • ළදරු කැස්ස හා සෙම් ප්‍රතිශ්‍යාව කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයක් කබලේ බැද ගත් කොත්තමල්ලි තැම්බූ වතුරින් හෝ මවි කිරි සමඟ ලබා දෙන්න.
  • සමෙහි කැසීම හා පලු නැගීම සඳහා කොත්තමල්ලි ඇට දෙකක පමණ ප්‍රමාණයක් පොකුරු වද මල් තැම්බූ වතුරින් ලබා දෙන්න.
තාලිසාදි චූර්ණය
  • කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සඳහා තේ හැඳි 1රැ2 මී පැණි සමඟ හෝ උණුවතුර මේස හැඳි 02 දමා තැම්බෙන්නට පානය කිරීම.
සුදර්ශතා චූර්ණය
  • උණ සඳහා තේ හැඳි 1ක් උණවතුර මේස හැඳි 2දමා තැම්බෙන්න තබා පානය කිරීම.
ත්‍රිඵලා තෛලය
  • දැඩි අව්වේ ගමන් කිරීමෙන් වූ හිසරදයට.
  • සෙම රහිත හිසරදයට.
නිර්ගුණ්ඩ්‍යාදි තෛලය
  • සෙම සහිත හිසරදය
  • ඉදිමුම සහිත අස්ථි සන්ධි වේදනා
  • කොඳු ඇට පෙළ ආශ්‍රිත වේදනා
පිණ්ඩ තෛලය
  • වැටීමකදී ඇති වුන තැල්මන් සඳහා.
  • මාංශ පේශී ඇදීම, උළුක්කුව, මස් පිඬු පෙරලීම සඳහා.
සීතෝදක තෛලය
  • තියුණු ආයුධයකට කැපුණු විගස ලේ ගැලීමකදීූ.
  • වැටීමකදී තුවාල සිදු වූ විට.
සර්ව විෂාදිය තෛලය
  • කඩියකු දෂ්ඨ කළ විට ඇති වන ඉදිමුමකදී.
  • දළඹුවෙකු ගෑවුන විට පලු නැගීම් වලදී.
  • කෘමීන් දෂ්ඨ කර පලු නැගීමකදී හෝ ඉදිමුම් ඇති විට.
කෝල ශෙලස්මා තෛලය
  • සෙම් ගෙඩි ඇතිවී කෙළ ගිලීම අපහසු වූ විට උගුරේ පිටතින් බෙල්ලෙහි ගෑම.
  • කැස්ස අධිකව ඇති විට පපුවේ හා උගුරේ ගෑමට.
පිරිසිඳු මී පැණි
  • වැටීමකින් පසු, වැදීමකදී හිස පපුව විශේෂයෙන් ඒ විගසින්ම තේ හැඳි 2 පානයට ලබා දීම.

අපේ නිවසේ සිටින බොහෝ දෙනා පීඩාවට පත් වන්නේ සෙම්ප්‍රතිශ්‍යා,උණ,කැස්ස නිසා. එනිසාවෙන්ම මේ අත් බෙහෙත් ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත.

සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා
  • අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ සහිඳ ලූණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)
කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට
  • තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත අට හතරට සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලූණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.
සෙම සහිත කැස්සට
  • අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.
පපුවේ සෙමට
  • සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8*1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.
සෙම් ගෙඩිවලට
  • නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.
  • මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.
  • ගම්මිරිස් කඩු,දිය ලූණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඩි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.)
කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට
  • රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.
කැස්සට
  • කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.
  • වැල්මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.
වේලූම් කැස්සට
  • ආඩතෝඩා මුල්රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.
  • මෙහි පතක් යනු වතුර තේ කෝප්පයක ප්‍රමානයි. පැත අට එකට සිඳුවා යන්නෙන් අදහස් කරන්නෙ කෝප්ප අටක් වතුර දමා එය කෝප්ප එකක් වන තුරු සිඳවා ගැනීමයි.
ආයුර්වේද වෛද්‍ය,
W.M.S.M  ශිරෝමි විජේසිංහ මහත්මිය,
දියතලාව ආයුර්වේද මහ රෝහල

 

පරිසරයට සංවේදී දරුවෙක් නිර්මාණය කරමු

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුනට පසුව හැම දෙනාම කුණු ගැන කතා කරන්න පටන් ගත්තා. මීට ඉහතදී අපි කුණු ගැන කතා බහ අවදි කළේ ඩෙංගු රෝගය හිස ඔසවන විට විතරයි.ඇත්තටම තමන්ගේ නිවසේ හතර මායිමේ කුණු ඉතාව අවම විදිහට නිවසේ සහ ගෙවත්තේ වපසරියෙන් ඉවතට දමනවා නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. අතීතයේදී නම් හැම නිවසකම තමන්ගේ නිවසෙන් ඉවත් කරන කුණු කළමනාකාරණයක් ඇතුව ඉවත් කරන ක්‍රමවේද තිබුනා. අද හැම කෙනක්ම කියන්නේ කෝ…අනේ කුණු ටිකක් විසි කරන්නවත් ඉඩක්…යන්නයි. ඒ කතාව නිදහසට කාරනාවක් නෙවෙයි. දරුවන්ද ඉදිරියේ තබා ගෙන වැඩිහිටියන් කරන කියන වැරඅදි කටයුතු නිසා අපිට පරිසර සංවේදී පරම්පරාවක් ගොඩ නගා ගැනීම ඉතාම අපහසුයි.

වටපිට බලලා කවුරුත්ම නැත්තං විතරක් විසි කරන්න

අද අම්මා දරුවා අතට කුණු මල්ල දීල කියන්නේ පුතේ හොඳට වටපිට බලලා කවුරුවත්ම නැත්තං විතරක් විසි කරන්න…දරුවාත් දන්නේ මේ කුණු කාටවත් නොපෙනෙන විදිහට විසි කළොත් වරදක් නැහැ යන අදහසයි. අම්මා කියන විදිහටම දරුවා කුණු මල්ල විසි කලත් එයින් පසුව ඇති වෙන සිද්ධිය බොහොම අනතුරුදායකයි.

අනුන්ගේ කුණු අපිට මොකටද 

ඔබ අසල්වැසියාගේ වත්තේ මායිමට මේ විදිහට කුණු බැහැර කළාම ඔවුන්  විසින් ඔබේ වැට මායිමට කුණු දමා තිබුනොත් එය අසල කාණුවකට තල්ලු කරනවා. මේ කුණු තැන තැන රැඳීම නිසා ඩෙංගු මදුරුවන්ට හොඳ තිඹිරිගෙයක් බිහි කරනවා. ඒ විදිහට සිද්ධ නොවුනත් පළාත් පාලන ආයතන මගින් මේ කුණු වෙනත් තැනක එක්තැන් කරනවා කියන්නේ කුණු කන්දට තවත් අමුද්‍රව්‍ය ලබා දුන්නා කියන එකයි. හදිසියේවත් විනයක් නැති අය වැට මායිමට කුණු දමා තිබුනොත් ඒවා නිසි පරිදි බැහැර කරන්න.

ඔන්න ජනේලය ඇරල විසි කරන්න

ඔබ දරුවන් සමග නගරයේ හෝ වෙනත් ගමනක රථයකින් ගමන් කරන විට විවිධ ආහාරපාන මිළට  ගන්නවා ඇති. විශේෂයෙන්ම සිසිල් බීම, පළතුරු යුෂ කෑන්, වෙනත් රසකැවිලි දැවටුම් මේ වගේ දේ ආහාරයට ගත්තාට පසුව ඔබ දරුවාට කිසිම දිනක ඒවා ජනේලයෙන් පිටතට විසි කිරීමට උපදෙස් සදන්නේ නම් එයින් ඔබ දරුවා සමාජයට අහිතකර  තැනැත්තෙකුලෙසින්  නිර්මානය කරනු ඇත. අඩුම ගනනේ ඔබ දරුවාට උපදෙස් ලබා දිය යුත්තේ බසයේ ටිකට් පත වුනත් බසයෙන් බැස්ස විගස නැවතුමේ ඉවත නොදමන ලෙසයි. පරිසරයට සංවේදී වීම යහපත් ගති ගුණ සහිත දරුවෙකුගේ නිර්මානයට ඉතා වැදගත් හේතුවක් වේ.

දැවටුම් අවම කරන්න

අද අපි මුහුණ දෙන විශාලම ගැටළුව වී ඇත්තේ කසල බැහැර කිරීමේ අපහසුතාවයයි. නිවසේ ඉඳුල් සහ වෙනත් මුලුතැන්ගෙයින් ඉවතලන දෑ කොම්පෝස්ට් බැරලයකට දමන්නට දරුවාද දැණුවත් කරන්න. කාලය සමග මේවා ජීරණය වී ගෙවත්තේ මල් සහ එළවළු වෙනුවෙන් වූ පොහොර වශයෙන් යොදවා ගත හැකියි. නිතරම මේවා බැරලයට දැමීමට දරුවා මෙහෙයවන්න. එවිට ඔවුන් ජීරණය වෙන දේ ‍වටිනා පොහොරක් ලෙසින් භාවිතා කළ හැකි බව හඳුනා ගනු ඇත.

තව ෂොපිං මල්ලක් දෙන්න

නිකම් දෙනවා නම් ඕනෑම දෙයක් වැඏඳ ගැනීමේ මානසිකත්වයෙන් සිටින අපි නිවසට අනවශ්‍ය ලෙසින් කුණු කන්දල් එක් රැස් කරන බව ඔබත් නොදනී. දරුවන්ද අනවශ්‍ය ලෙසින් මෙම පොලිතින් ප්ලාස්ටික් නිවසට ගෙනෙන වාහකයන්ය. ඔවුන්ටත් මේවා බැහැර කිරීමේ ආදීනව පෙන්වා දෙන්න. අද බොහෝ පාසල් ” පොලිතින් තොර කලාපයක් ”බවට පත්ව ඇත. මෙම තත්වය නිවස වෙනුවෙන්ද ආදේශ කිරීමට දරුවා දැණුවත් කරන්න. හැම විටම  අලංකාර රෙදි මල්ලක් වෙළ පොලට රැගෙන යන්න. එයින් ඔබට කිසිම අපහසුවක් නැතුව විශාල බරක් මෙම මල්ලෙන් රැගෙන ආ හැක. එවිට නිවසේ පොලිතින් ඉබේටම අඩු වෙන්නේ ඔබ විකල්ප භාවිතා කළ නිසාය. මේ වෙනුවෙන් දරුවාද දැණුවත් කරන්න. ආහාර දැවටුම් වෙනුවෙන් කෙසෙල් කොළ, කැන්ද කොළ භාවිතයේ වාසි සහ රසය පෙන්වා දෙන්න.

අනතුරක් වෙන විට එයින් ඇති වෙන අපහසුතාවයට සීමා නැත

ඔබ අල්ලපු වත්තේ මායිමට කුණු විසි කොට අපේ වත්තේ කුණු නැහැ…යන ආත්ම තෘප්තියට පත් වුනත් ඩෙංගු මදුරුවා පහර දෙන විට වැරැදිකරුවා , නිවරැදිකරුවා ගැන නොහඳුනයි. මීතොටමුල්ලේ කුණු කන්දට යට වුන අය ඇත්තටම මේ කන්ද වෙනුවෙන් ඔවුන් බැහැර කළ කසල අංශු මාත්‍රයක්වත් නොතබෙන්නනට ඇත. එහෙත් අනතුර ඉදිරියේ එවන් තේරීමක් සිද්ධ වුනේම නැත.

පරිසරය රැකුනොත් අපිත් ආරක්ෂා වෙනවා

පරිසරයට හානි සිදු කළොත් එහි විපාක බෙහෙවින් බරපතලය. කිසිම දිනක එයින් ගැලවිය නොහැකි තරම් දරුණුය. ඒ නිසා ඔබ දරුවාට නිතරම පරිසරය රැකීමේ වැදගත්කම කියා දෙන්න.මලින් පලින් බර වුන කොළ පැහැති පරිසරය ඉතා දර්ශණීය සිතුවමක්. අපේ මුතුන් මිත්තන් ඉතා හොඳ පරිසරවේදීන් වූහ. ඔවුන් ගලන ජලයට කෙළ පිඩක්වත් ගැසුවේ නැත.  කුණු දූවිල ඇලට දොලට විසි කළේ නැහැ. ඒවා සැලකුවේ පාපකාරී කටයුතු ලෙසින්ය. ඒ නිසා පරිසරය වෙනුවෙන් පැවැතුනේ විශාල වටිනාකමකි. මේ නිසාම අද වගේ නාය යෑම්, ගංවතුර, නියං ගැන එදා ඇසුනේවත් නැත. මේ අන්තර් සම්බන්ධතාවය දරුවන්ට කියා දෙන්න. එවිට ඔවුන් කිසිම ලෙසකින් තමා ජීවත් වෙන පරිසරයට අකටයුතුකම් නොකරනු ඇත.

එදා කිරිමුහුද විදිහට හැඳින්වුන ‍මහනුවර බෝගම්බර වැව දැන් අවුරුදු කීපයකට පෙරාතුව ඇල්ගී වලින් අපිරිසිදු වුණා. මේ තත්වය මොනතරම් බරපතල වුනාද කිව්වොත් අවට පාසල් දැරියන් ක්ලාන්ත වෙන්න පටන් ගත්තා. ඉටපස්සේ වැවේ ජල සාම්පල් බලද්දී තේරුම් ගියේ අවට හෙ‍ේටල් මගින් සියළු අපජලය වැවට මුදා හැරපු බවයි.

පරිසරය මානසික ආතතියට ප්‍රතිකාරයක්

අද මානසික ආතතිය හෙවත් ” ස්ට්‍රෙස් ” රෝග තත්වය නැති කෙනෙක් නොමැති තරම්. මේ වෙහෙසකර හෝර්මෝනය නිදහස් වීම ගැන මනෝවිද්‍යාඥයන් බොහොම කතා බහ ගොඩ නගා ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් වූ අපූරු ප්‍රතිකාරයක් දැන් හඳුනාගෙන තිබෙනවා. මෙහිදී වෛද්‍යවරැ රෝගීන්ට උපදෙස් දෙන්නේ මෙහෙමයි.

භාවනාවට වගේ සිරුර සැැහැල්ලුවෙන් තබා ගෙන වාඩිවී වනාන්තරයක් හිතින් මවා ගෙන ඒ වනානත්රයේ ඇවිදින්න උපදෙස් දෙනවා. ගස්වල පිපුන මල්, පළතුරැ, කුරුළු ගී නාද ඇහෙන විදිහට පරිසරය විඳින්න උපදෙස් දෙනවා. වතුරට දෙපා තිබ්බාම මාලුවන් දැවටෙන අන්දම මේ වගේ විසිතරු මනසින් මැවෙද්දී වෙහෙසකර හෝර්මෝනයේ නිදහස් වීම නොදැනම අඩු වෙන බව මෙම අධ්‍යනය මගින් පෙන්වා දෙනවා.

ඔබත් දරුවන් නිසා තරහ යන මවක්ද ?

දරුවන් තරම් සම්පතක් දෙමව්පියන්ට තවත් නැහැ. මේ නිසාම දරුවන් වෙනුවෙන් අම්මාවරුන්ගේ කැපවීම අනාදිමත් කාලයක පටන්ම බොහොම පිළිගැනීමට ලක් වී තිබෙනවා. එදා දරුවන් හැදුන වැඩුන පරිසරයට වඩා අද පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස්. මේ හින්දාම දෙමව්පියන් සහ දරුවන් අතර ගැටුම් බහුලයි. පුංචි සන්දියේදී නම් කෝටුව පෙන්නලා මෙල්ල කර ගන්න පුළුවන් වුනත් කරදඩු උස්මහත් වෙනවිට දරුවන් අම්මා තාත්තා කියන දේ අහන්නේ නැති තැනට පත් වෙනවා. දරුවන්ට කියල වැඳගෙන ඉන්නත් බෑ…ඔබ එහෙම හිතනවා ඇති. එහෙම වුනොත් ඔබ මොකද කරන්නේ.

දරුවා තේරුම් ගන්න

ඔබේ ලෙයින් මසින් සැදුන දරුවා තේරුම් ගැනීම හෙවත් ඔහුගේ ක්‍රියාකලාපය තේරුම් ගැනීම ඔබට එතරම් අපහසුවක් නොවෙයි. අනේ මට තේරෙන්නේ නෑ…මේ දරුවෝ මම කියන දෙයක් අහන්නේම නෑ…මට එපා වෙලා මේ විදිහට මැසිවිලි නගන අම්මාවරුන් අපි අතරත් ඉන්නවා. ඔබත් මවක් නම් මේ විදිහටම විටින් විට මැසිවිලි නගා ඇති. ඇත්තටම අපි මැසිවිලි නග නගා සිටීම තේරුමක් නැහැ. ඊට වඩා වැදගත් වෙන්නේ දරුවා ඔබේ අවවාද වෙනුවෙන් දක්වන ප්‍රතිචාර හඳුනා ගැනීමයි.

ඇතැම් දරුවන්ට හොඳින් කියන විට ඒ වෙනුවෙන් එතරම් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. තවත් අයට ඉතා සැරෙන්ම කියා සිටින්න වෙනවා. මේ විදිහට අවවාද ඉදිරියේ දරුවා දක්වන ප්‍රතිචාර ගැන වැටහීමක් ලබා සිටීම ඉතාම වැදගත්. එවිට දරුවාට දෙන්න ඕන තිත්ත කසායද, එහෙම නැත්නම් පැණිරසද බව ඔබට තේරුම් ගත හැකියි. තවත් විටෙක හොදින් කියන විට ඇහුම්කන් නුදුන්නත් ටිකක් සැරෙන් කියද්දී ඇහුම්කන ගතියක් පෙන්වන දරුවන් සිටිනවා.

මේ විදිහටත් පුළුවන්

දරුවා ඔබ කියන දේ නාහන විට අම්මා කෙනෙක් විදිහට ඔබ මහත් වේදනාවෙන් සිටින බව ඔහුට දැනෙන්න අරින්න. වචන වලින් අපි මේ මේ දේ කළා කියනවාට වඩා ඔහුට ඇසෙන සේ මව්ගුණ ගීයක් ඇසෙන්න සලස්වන්න. දරුවන් මුල් කර ගෙන කරනු ලබන සැලකිලි ගැන විටන් විට කියනු ඇසීමට ඔවුන් බොහොම අකමැතියි. මේ නිසා වචන බෝ වෙනවා පමණි. ඒ නිසා කිසිම බලපෑමකින් තොරතව ඉබේටම මේ අන්දමේ දෙමවිපය සම්බාවනාවන් ගැන ඇසෙන්න සලස්වන්න. එවිට ඔවුන්ගේ හිතේද අනේ අපේ…අම්මා…තාත්තා…යන සංවේදී බව ගොඩ නැගෙනු ඇත.

කැත්තට පොල්ල වගෙත් බැහැ

දරුවන්ගේ ආවේග ඉදිරියේ නොඉවසනා මව්පියන් බොහෝ සිටිති. විශේෂයෙන් තාත්තාට මේ ආවේග ඉවසා සිටීම අපහසුය. මම උඹේ තාත්තා…ඒ බව දැන ගනින්.මේ විදිහට වචන හුවමාරුව නිසා දෙපාර්ශවයම අපහසුතාවයට පත් වෙනු ඇත. ඒ නිසා දරුවන්ගේ ආවේග ඉදිරියේ ඔබ මදක් සන්සුන් වීම ඉතාම වැදගත්. දරුවාගේ වුනත් මේ ආවේග ටික වේලාවකින් නොදැනම මෙල්ල වෙනු ඇත. ඒ කාලය එළැඹෙන තෙක් අමාරුවෙන් වුනත් ඉවසා සිටින්නට පුළුවන් නම් ඉතාම අගෙයි.

මොකුත් බැරිනම් දහයට ගනින්න

ගැටුම් කලමනාකාරණය පිළිබ ව ලබා දෙන උපදෙස් වලදී කියා දෙන්නේ ඔබට ඇති වෙන ආවේග පාලනය කර ගැනීම ඔබට අපහසු නම් දහයට ගනින්න…ලෙසයි. මේ ක්‍රමවේදය දරුවන් සමග ගණුදෙණු කරන විටත් ආදේශ කරගන්න. දරුවා ආවේගයෙන් කටයුතු කරන විට ඔබ ඉවසීමෙන් සිටීම ඉතා වැදගත්. මේ නිසා දහයට ගනින්න. ආවේග මදක් පාලනය වෙනු ඇත.

අපි වැඩිහිටියන් නොවැ

දරුවා යනු ඇත්තටම බාලවයස් කාරයෙකි. ඔවුන්ගේ ගති පැවැතුම් ඉදිරියේ  අපේ ගනුදෙණුව ඉතා ප්‍රවේසමෙන් සිදු විය යුතුය. නව යොවුන් විය යනු කුණාටු සමයකි. මේ කාලයේදී මෙල්ල කිරීමට අපහසු දරුවන් නොමැත්තේම නොවේ. එහෙත් ඔවුන් පසුකාලයක යහමගට නොයනවා යැයි සහතික වීමටත් නොහැක. ඒ නිසා මේ නොදරුවන් ඉදිරියේ අපිත් නොදරුවන් ලෙසින් කටයුතු කළ යුතු නැත..යන සිතුවිල්ලේ රැ‍ඳෙන්න. ඇතැම් මව්පියන් අපි මොකටද දරුවන්ට යටත් වෙන්නේ යැයි සිතනු ඇත. එහෙත් මෙය යටත් වීමක් නොවේ.

අනතුර වලක්වා ගත හැක

සියදිවි හානි කර ගත් බොහෝ දරුවන්ගේ තොරතුරු වලින් පෙනී යන්නේ ඔවුන් මේ තත්වයට පත්ව ඇත්තේ මව්පියන් විසින් සිදු කරන ලද මානසික හෙම්බත්වීමේ ප්‍රතිඵල නිසාය. දරුවන්ට වුනත් ආත්ම ගරුත්වයක්, අභිමානයක් ඇත. එය විනාශ වූ තැනදී ඔවුන් දුර දිග සිතන්නේද නැත. මේ නිසා දරුවන් සමග කරනු ලබන ගණුදෙණුව ඉතාම ප්‍රවේශමෙන් සිදු කිරීම වැදගත් වේ. බොහෝ සෙයින් මේ අන්දමේ අනතුරුවල පිටුපස සිටින්නේ මව්පියන්ය.

දෙමව්පියන්ට ජීවිතය එපා වුනොත්

දරුවන් කියල ඇහේ මුහුනේ තබා ගෙන හැදුවත් ඔවුන්ගෙන් ඇති වෙන විවිධ ගැටුම් ඉදිරියේ දෙමව්පියන් අසරණ වෙන අවස්ථාවන් නැතුවාම නොවේ. දරුවන් වැඩෙත්ම ඔවුන් සමග වූ ගැටුම් නිසා සිය දිවි හානිකර ගත් දෙමව්පියන්ද ඕනෑ තරම් සිටිති. එහෙත් ඔබ මෙසේ සිතන්න. මේ මගේ දරුවා නොවන්නේද…ඔවුන් මුල් කර ඇති වෙන ගැටුම් වලදී මා බුද්ධිමත් වීම අවශ්‍ය වේ. අපේ බාල කාලයේ වුවත් අම්මා තාත්තා සමග පුංචි පුංචි වුනත් යම් යම් බහින්බස් වීම් ඇති වුන අවස්ථා සිතට ගන්න. නමුත් අපි අද ඔවුන් ගැන කතා බහ කරන්නේ මහත් ගරුත්වයකින්ය. අපේ දරුවන්ද කාලයත් සමග වැඩිහිටියන් බවට පත් වුන විට මේ දඩම්බර ගති පැවැතුම් ඔවුන්ගෙන් ඉවත් වෙනු ඇති… මේ අන්දමට ඔබ වර්තමානයේදී හිත හදා ගන්න. මම අනවශ්‍ය විදිහට දරුවාට බලපෑම් කළොත් ඔවුන්ගේ තීරණ හදිසියේවත් දැඩි විය හැකියි.

එහොම එවුන් මොකටද…මැරැනා කියල දානයක් දීල හිත හදාගන්නවා…කිව්වත් එය පහසු කටයුත්තක් නම් නොවේ.

විකල්ප ගැන සොයන්න

දරුවා සහ ඔබ අතර තිබෙන ගැටුම සිඟන්නාගේ තුවාලය මෙන් සදාකාලික ප්‍රශ්නයක් කර ගන්න එපා. ඔබ සමග දරුවා ගැටෙන්නේ ඇයි…අධ්‍යාපනය, සහෝදරයන් අතර ගැටුම්, මත්ද්‍රව්‍ය වැනි විවිධ දේ මුල් කර ගෙන විය හැකිය. අධ්‍යාපනයේදී ඔහු ගැටෙන්නේ පාඩම් කටයුතු අපහසු නිසා විය හැකිය. එවිට කැත්තේ තබා ගත් මාලු කෑල්ල මෙන් නොසිට ඔහුට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. අතිරේක පංති හෝ වෙනත් විෂයක් වෙත යොමු වෙන්නට උපදෙස් දෙන්න. මත්ද්‍රව්‍ය වෙනුවෙන් ගොදුරු වී ඇත්නම් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට හෝ අදාල වෛද්‍ය උපදේශන ලබා දෙන්න. ගැටුම එතැනින් අවසාන වෙනු ඇත.

ඉවසන සීමාව දැන් පනින්නේ නැහැ

ඔබ නිතරම කියන්නේ අපි ඉවසලා ඉවසලා දැන් නම් ඇති…විදිහට වුනත් දරුවන් සමග වූ ගැටුමට හේතු සොයල ඒ වෙනුවෙන් ප්‍රතිකාර කළොත් දෙපාර්ශවය අතර තිබෙන ගැටුමට නොදැනම විසඳුම් ලැබේවි.

දරුවන්ට ක්‍රීඩාව අත්‍යාවශ්‍යද?

එදා සමාජයට වඩා අද සමාජ අතර ඇතිව තිබෙන වෙනස්කම් අතුරින් දරුවන්ගේ ක්‍රීඩා කිරීමද බෙහෙවින්ම වෙනසකට බඳුන්ව ඇත. අලින්ටයි ළමයින්ටයි දඟලන්නටමයි හිත කිව්වට අද හැදෙන දරුවන් ඇඟ වෙහෙසා දහදිය පිටවන තුරු සෙල්ලම් වල නිරත වන්නේ කීයෙන් කීදෙනාද? වීඩියෝ ගේම්, කාටුන්, රිමෝට් කන්ට්‍රෝල්  සෙල්ලම් බඩු අතර දවස ගෙවන ඔබේ පුංචි දියණියගේ හෝ පුතාගේ සෙල්ලම් කිරීම වෙනසකට ලක් කරන්නට කාලය පැමිණ ඇත.

දරුවන් නිරතුරුවම ක්‍රියාශීලී විය යුතුය- දරුවන්ගේ කායික ක්‍රියාශීලීභාවය ඔවුන්ගේ කායික වර්ධනය වගේම මානසික සංවර්ධනය ද වේගවත් කරයි- කුඩා අවදියේ සිටම  ඉතා ක්‍රියාශීලී දරුවන් පසු කලෙක, රුධිර පීඩනය, දියවැඩියාව, හෘදරෝග, පිළිකා හෝ තරබාරු බව වැනි රෝග වලට ලක්වීමේ අවදානම ඉතා අවම බව පර්යේෂණ වලින්ද තහවුරු කරගෙන ඇත. එසේම ක්‍රීඩාවෙහි යෙදෙන දරුවන්ගේ මානසික ආතතිය මඟ හැරී යන බවත්, මතක ශක්තිය වර්ධනය කරගත හැකි බවත් පර්යේෂකයෝ පවසති- දරුවන් කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා කිරීමෙන් සමාජ සබඳතා පවත්වාගෙන යාමට අත්වැලක් සපයන අතරම දරුවාගේ ආත්මාභිමානය වර්ධනය කරගැනීමට දරුවාට අවස්ථාව ලැබේ-

මානසික ශක්තිමත්භාවය සහ අභියෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාව යන ඉතා වැදගත් සංකල්පයන් පුද්ගල සංවර්ධනය සහ කාර්ය සාධනය තීරණය කරන ප්‍රධාන සාධක ලෙස ක්‍රියාත්මක වෙයි- එනිසාවෙන් ක්‍රීඩා ක්ෂේත්‍රය තුලින් එකී මානසික ශක්තිමත්භාවය නිර්මාණය වීම සහ අභියෝගයන්ට මුහුණදීමේ හැකියාව පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්ය.

ජීවිතයේ අපට කුඩා කළ සිටම අභියෝගයන් ඉලක්ක කරා හඹායාමට සිදුවී ඇත. එහිදී දරුවන්ද පීඩනය, ආතතියට ලක් වීමක් සිදුවේ. ජීවිතයේ එළැඹෙන අභියෝගයන් , අනපේක්ෂිත සිදුවීම් වලට ශක්තිමත්ව මුහුණදීම හා ඔරොත්තු දීම සඳහා පුද්ගලයෙකු සතු හැකියාව මානසික ශක්තිමත් භාවය ලෙස හඳුන්වාදිය හැකිය-

මානසික ශක්තිමත්බාවය සඳහා හික්මීම තිබිය යුතුය. එනම් තම හැගීම්, කැමැත්ත හෝ මානසික තත්ත්වයන් ස්වයං පාලනයට නතු කොට ඉලක්කය හෝ තම කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට හැකියාව තිබිය යුතුය.  ක්‍රීඩාව තුලින් දරුවකුගේ හික්මීම ඇති කරවයි. ක්‍රීඩාව තුලින් යම් ඉලක්කයක් සාක්‍ෂාත් කරගැනීම උදෙසා තම උපරිම ශක්ති යෙදවීම පිළිබඳව ක්‍රීඩකයකු පුරුදු පුහුණු කරයි.එනම් යමක් දිනා ගැනීමට නම් කැපවීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි. දරුවකුගේ මානසික ශක්තිමත්බාවය ඇති කරවීමට අවශ්‍ය කැපවීම යන කාරණය ද ක්‍රීඩාව තුලින් දරුවාට ලැබේ. ක්‍රීඩකයෙකු තරඟයට ඉදිරිපත් වන්නේම තම හැකියාවන් පිළිබඳව ඇති විශ්වාසය මතයි- අභියෝග හා ගැටළුවලට මුහුණ දීම සඳහා විශ්වාසය ඇතිකරගැනීමට ක්‍රීඩකයා ලබන පුහුණුව තමන් පිළිබඳව තමන්ටම ආත්ම විශ්වාසය ගොඩනගාගැනීමට අත්වැලක් සපයයි. ඒ අනුව දරුවකුගේ මානසික ශක්තිමත්බාවය ඇති කරවීමට අවශ්‍ය ආත්ම විශ්වාසය යන කාරණය ක්‍රීඩාව තුලින් දරුවාට ලැබේ.

මානසික ශක්තිමත්භාවය ඇතිකරගන්නා පුද්ගලයා තමන්ගේ ජීවිතයේ ඇතිවන ගැටළු නිරාකරණය සඳහා දක්‍ෂයෙකු වන අතර ශුභවාදී චින්තනයකින් පිරිපුන්වේ. එහෙයින් ඔවුන් ජීවිතය දෙස යථාර්ථවාදීව පු`ඵල් කෝණයකින් දකින්නට පුරුදු පුහුණුව ඇති හෙයින් ඔවුන්ගේ ජීවිතද සාර්ථකත්වයට පත්වේ. ක්‍රීඩාව පුද්ගලයෙකුගේ මානසික ශක්තිමමත්භාවය උසස් කරමින් පුද්ගල සංවර්ධනයට මාහැඟි අත්වැලක් සපයන බව පවසන්නේ එහෙයිනි.

අප ජීවිතයද එක් අතකින් බලන කල අභියෝග හා දිනුම හෝ පැරදුම තුල දෝලනය වෙමින් ගලා යන ක්‍රීඩාවකි. එනිසා දරුවාට සුදුසු ක්‍රීඩාවක් තෝරා ගැනීමට සහය වීම හා ඔවුන් ක්‍රීඩාවට යොමු කිරීමත් ඒ සඳහා සුදුසුකම් හා අත්දැකීම් සහිත පුහුණුකරුවකු වෙත යොමු කිරීමත් දෙමාපියන්ගේ වගකීමකි- එසේම තරඟයකදී ලබන ජය හෝ පැරදුම සමසිත්ව විඳ දරා ගැනීමට දරුවාට සහය දිය යුතුය.

ඔබේ දරුවා ක්‍රීඩාවේ නියැලීම තුලින් හිමිවන ප්‍රතිලාභ

  • දරුවා කායිකව හා මානසිකව ශක්තිමත්වේ.
  • දරුවාගේ පෞරුෂත්වය වර්ධනයවේ.
  • සමාජය සමග සම්බන්ධතා පවත්වාගැනීමට ඉගෙන ගනියි.
  • දිනුම ලබන්නේ කණ්ඩායම හා එක්වූ විට මිසක තනිව නොවන බව හඳුනා ගනියි.
  • තමාට එරෙහිව නැගෙන විවේචන විඳදරා ගැනීමට මෙන්ම තම හැකියාවන් හා දුර්වලතාවයන් පිළිගෙන ඒවා නිවැරදි කර ගැනීමට අත් වැලක් ලැබේ.
  • ජය පරාජය එක සේ විඳ ගැනීමට හා අන්‍යයන්ගේ මතය ඉවසීමට පුරුදු වේ.
  • තම ඉලක්කයක් සපුරා ගැනීමට නොසැලී ගමන් කලයුතු ආකාරය ඉගෙන ගනියි.
  • තමන් පිළිබඳ ආත්ම විශ්වාසය මෙන්ම ආත්ම අභිමානය ඇති කර ගනියි.
  • තමන් තුළ ඇති දුර්වලතා හඳුනා ගනියි.
  • කාලය කළමණාකරණය කරගැනීමට ඉගෙන ගනියි.

අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරනවාද? එහෙනම් මේ ලිපිය ඔබ සඳහායි

මේ දවස් වල රතිඤ්ඤා හේතුවෙන් සිදු වන හදිසි අනතුරු , නිලා කූරූ, අහස් කූරූ ,බඹර චක්‍ර වලට තිබෙන ඉල්ලුම නම් ඉතා ඉහළයි. ලබන්නාවූ  සිංහල හින්ඳු අවුරුද්ද නිමිත්තෙන් සතුට ප්‍රකාශ කරන්නට දල්වන මේ රතිඤ්ඤා කරලක් නිසාවෙන් පවුලේම සතුට නැති වන්නත් පුලුවන්. සෑම වසරකම රතිඤ්ඤා හේතුවෙන් සිදු වන හදිසි අනතුරු වල නම් අඩුවක් නැහැ. අන්න ඒ කාරණය නිසාම අපි හිතුවා මේ රතිඤ්ඤා ගැන ඔබව දැනුවත් කරන්න.

රතිඤ්ඤා මිලදී ගන්නට පෙර මේ පිළිබඳ සිතන්න

  • ප්‍රමිතියකින් යුතු රතිඤ්ඤා කරලක් 2 1/2 දිග සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත විය යුතුය.රතිඤ්ඤා කරලක බර 10 පට ක් පමණ වේ.
  • ඇසුරුම් කල පෙට්ටියේ උපරිම රතිඤ්ඤා කරල් තිබිය යුත්තේ 100 පමණක්ය.
  • තවද විශේෂයෙන් විශාල ලෙස ශබ්දය නිකුත් වන විශාල ප්‍රමාණයේ බට්ටෝ නමින් හඳුන්වන රතිඤ්ඤා වර්ග භාවිතයෙන් බරපතල අනතුරු සිදුවිය හැකි නිසා හැකිතාක් ඒවා මිලදී නොගන්න. රතිඤ්ඤාවල ගබඩාකර තිබෙන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිවෙත්ම එහි අනතුරු සහගත බවද වැඩිය.

භාවිතයට පෙර මේ ගැන සිතන්න

  • ගිණි කූරක් ආධාරයෙන් රතිඤ්ඤා දැල්වීම ඉතා අනතුරුදායක බව මතකයේ තබා ගන්න.
  • සතුන් සිටින බොහෝ දෙනෙක් සිටින ස්ථාන වල රතික්‍ද්ක්‍දා පත්තු කිරීමෙන් වලකින්න.
  • දැල් වූ රතිඤ්ඤා වැලි ගොඩවල්, ගල් ගොඩවල් මතට විසි කරන්න එපා. රතිඤ්ඤා පිපිරීයාමේදී වැලි හෝ ගල් විසි වී යාම තුලින් අවට සිටින අයට මෙන්ම ඔබටද අනතුරක් විය හැකිය.එසේම පොල්කටු, ටින්, කුරුම්බා කෝම්බ, ප්ලාස්ටික් භාජන යටිකුරුව නවා, ඊට යට කොට තැබූ රතිඤ්ඤා දැල්වීමෙන් රතිඤ්ඤාව වැසීමට භාවිත කළදෑ පිපිරී දසත කැබලි වීසි වී මුහුණ, ඇස්, සිරුර තුවාල වන්නට පුලුවන්.
  • උස් ගොඩනැගිලි වල සිට පහළට රතිඤ්ඤා දල්වා විසි කිරීමෙන් වලකින්න. මන්ද යත් පහළ සිටින පුද්ගලයන් හා ද්‍රව්‍යවලට හානි සිදු විය හැකිය.
  • රතිඤ්ඤා වැල් වශයෙන් පත්තු කිරීමට සකස් කර ඇති විට ඒවා ගලවා වෙන් වෙන් වශයෙන් පත්තු නොකරන්න. මෙම වැල්වල රතිඤ්ඤා වෙඩි නූල් කොටට සාදා බැඳ තිබෙන බැවින් වෙන් වෙන්ව ගලවා පත්තු කිරීමට යාමේදී අතේදීම පුපුරා යාමට ඉඩ තිබෙනවා පත්තු වෙනවා. ඒවා වැල් වශයෙන්ම පත්තු කරන්න.
  • නිලා, බඹර චක්‍ර, මල්වෙඩි ගුණ්ඩු වලින් පවා අනතුරු ඇති විය හැකියි. මේවා පත්තු කරන විට අන් අය ඈත් කර තබන්න. පත්තු කරන අයද ඉවත් වන්න පිළිස්සී ඉතිරි වන ද්‍රව්‍යයන් ගෙන්ද, විසිරෙන මල් වලින්ද දෙපය, දැස්වලට තුවාල විය හැකියි.

දැල් වූ රතිඤ්ඤා කරල විසි කල පසු

  • සමහර රතිඤ්ඤා කරල් දල්වා විසි කල පසු පුපුරා යන්නේ නැහැ. පුස් රතිඤ්ඤා කියමින් ඒවා පරික්ෂා කිරීමට නොයන්න. සමහර අවස්ථා වල ඔබ ඒ අසලට ළංවී නැවත බලන විට පුපුරා ගොස් මුහුණට අනතුරු විය හැකි ය.
  • තවද කුඩා දරුවන් සිටින ස්ථාන ආශ්‍රිතව රතිඤ්ඤා පත්තු කරනවා නම් ඒවා භාවිතයෙන් පසුව ඉතිරිවන කැබලි නිසි පරිදි ඉවත් කළ යුතුයි. එසේ නොකිරීමෙන් කුඩා දරුවන්ගේ තිබෙන නොදැනුවත්කම නිසා බරපතළ මට්ටමේ අනතුරු පවා ඇති කරගත හැකියි.

අනතුරක් සිදු වුවහොත්

  • යම් ලෙසකින් මුහුණට අනතුරක් සිදු වුවහොත් අනතුරට පත් තැනැත්තා පැතලි තලයක හාන්සි කරවා සියුම්ව අඛණ්ඩව මුහුණට වතුර ඉසිමින් රෝහල වෙත ගෙන යන්න.
  • ඇසකට හානී වූ විට දෑස් සිසිල් කිරීම හැර වෙන කිසිඳු ප්‍රතිකර්මයක් නොකර රෝහල වෙත ගෙන යන්න.
  • ඇඟිල්ලක් වෙන් වුවහොත් ඇඟිල්ල පිරිසිඳු පොලිතින් උරයක දමාඅයිස් දැමු බහාලුමක දමන්න. රුධිර වහනය වලක්වාලීමට අත ගැට ගසා ඉහළට ඔසවා තබා ගනිමින් රෝහල වෙත ගෙන යන්න.

දරුවන්ට අවුරුද්ද රසවත් කළ ජනක්‍රීඩා

සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අතීතයේ පටන්ම දරුවන්ට ඉතාමත් විනෝදජනක කාලයක්. අද කාලයේ දරුවන්ට වඩා එදා දරුවන් මේ කාලයේදී බොහෝ සෙයින් විනෝද වුණා. ඔවුන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය පරිසර තත්වයන්ද නිර්මානය වුණා. කුඹුරු අස්වනු කැපී අවසානයේ තිබෙන ඉඩ කඩ නිසා අවුරුදු කාලයම ගමේ වෙල් යායන් මුල් කර ගෙන සෙල්ලමින් කාලය ගෙවනු ලැබුවා. අද දරුවන් මුල් කර ගෙන මේ විදිහට පරිසර තත්වයක් ඇත්තේම නැහැ. සිංහල අලුත් අවුරුද්දේ නොනගත කාලයේදී එදා කෙළි දෙලෙන් ගෙවුවත් අද දරුවන් ඒ වෙනුවෙන් රූපවාහිනිය නරඹනවා  හැරුන විට වෙනත් කටයුත්තක යොමු වීමට අවස්ථාවක්ද ඇත්තේ නැහැ.

ඒ වුනත් අපි ජනක්‍රීඩා ගැන අපිත් දැනගෙනම සිටිය යුතු බොහෝ දේ තිබෙනවා.

අවුරුදු කාලයටම කල එලි දකින සෙල්ලම් කොටසක් තිබුණා. මේවා එදා පටන්ම හැදින්වුනේ ජන ක්‍රිඩා යනුවෙන්. ඔන්චිලි පැදීම , රබන් ගැසීම, පංච දැමීම මේ වගේ සෙල්ලම් අතරින් ඉස්මතු වුන ගුණාංගයන් බොහෙමයක් දේ තිබෙනවා.මේ ජනක්‍රිඩා වෙනුවෙන් සමූහයක් එකතු වෙනවා. කිසිම දවසක හුදෙකලාව මේ ක්‍රිඩාවන් ගොඩ නැගුනේ නැහැ. අද පරිගණක ක්‍රිඩාවන් නිසා දරුවන් හුදෙකලා වුනත් එදා දරුවන්ට සෙල්ලම් නිසා සමුහයක් ගොඩ නැගුනා.

පත්තිනි දෙවියන් වෙනුවෙන් බාර වී ඔන්චිල්ලා ඉදි කරන බවට සමාජගත අදහසක් ඇත. ඔන්චිල්ලා අතර වර්ග කීපයකි. කූඩු ඔන්චිල්ලා, බඹර ඔන්චිල්ලා, දෙපට ඔන්චිල්ලා, වැල් ඔන්චිල්ලා, සහ මල් ඔන්චිල්ලා ලෙසින් ප්‍රභේද කිහිපයක් ඇත. සිංහල අලුත් අවුරුද්ද සමග කල එලි බසින ඔන්චිල්ලා පැදීමේදී ගායනා කරන වාරම් කවි මෙසේය.

ඔන්චිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්න බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ 

 

රබාන සමග බැදී ඇති ජන විශ්වාසයන් ඇත. ඊශ්වර දෙවියන් දුටු සිහිනයකට අනුව රබාන නිර්මානය කළ බවත් , එම නිර්මානය සුවඳ සඳුන් ලීයෙන් සිදු කළ බවත් එක් ජනප්‍රවාදයක සඳහන් වේ. මුලින්ම සරල ලෙසින් වූ රබන් පදයක් තෝරා ගනී. එයින් අනතුරුව ක්‍රමක්‍රමයෙන් තෝරා ගැනීමට අපහසු පද වෙතට යොමු වේ.

උඩින් උඩින් වර පෙත්තප්පූ
බිමින් බිමින් වර පෙත්තප්පු

 

කාන්තාවන් වෙනුවෙන් විශේෂිත ඔලිඳ කෙලිය ගණිත ක්‍රමයට සිදු වෙන ගෘහස්ථ ක්‍රීඩාවක්. මෙම ක්‍රීඩාව ආරම්භයේ පටන් අවසානය තෙක්ම අත්වැල් ගායනය සිදු වේ.

ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔළිඳ තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනත්  සදන්නේ සිංහල දේසේ

 

ජනක්‍රීඩාවන් සඳහා සමුහයක් සහභාගී විමත් එක් ලක්ෂණයකි.දරුවන් අතර ඉතා ප්‍රචලිත කොප්පර කොප්පර පිපිඤ්ඤා ක්‍රීඩාවේදී දරුවන් රවුමට හිඳ ගනිති. එක් දරුවෙක් අතු කැබල්ලක් ගෙන රවුම වටා යයි. රවුම වටා යන අය සහ රවුමේ සිටින අය අතර සංවාදයක් ගොඩ නැගේ.

කොප්පර කොප්පර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා

 

රවුමේ සිටින අය කෝ නෑනෝ පනවා…කියන විට යන්න විසින් මෙසේ පිලිතුරු ලබා දෙයි. යට ලීයේ පනාව යැයි පිලිතුරු දෙයි. මේ අන්දමට රවුම වටා කීප විටක් කියයි. රවුමේ සිටින්නන් ” කලගෙඩි කළගෙඩි ” කියන විට රවුම වටා යන්නා ” බෝතල්….බෝතල්” කියමින් වට දුවයි. දුවන අතර අත්ත කෙනෙකුගේ පිටුපස අත්ත තබයි.වටය ගොස් එතැනට එන්න පෙර අත්ත ළඟ ඇති තැනැත්තා වට යන්නා ලුහු බඳිනු ලැබේ. එසේ නැත්නම් අත්ත ගෙන වටයේ යන්නා ඔහුට ගසයි. වට යද්දී වුවද කෙනෙකු පිටුපස බැලූ විට පහර වදී. එකිනෙකා මාරුවට මෙම සිද්ධිය දිගින් දිගටම සිදු වේ.

කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් සිදු වෙන ” මේවර ක්‍රීඩාව ” අවුරුදු කාලයේදී බෙහෙවින් ජනප්‍රිය ඉසව්වකි. මේවරය ගැන විවිධ අදහස් ඇත. එක් අදහසකට අනුව මේවරය යනු වලල්ලකි. තවත් අදහසකට අනුව මේවරය යනු කණ පළඳන ආභරණයකි. තවත් අදහසක් අනුව මෙහෙකරුවෙකි.එහිදී ඉද්රිපත් කරන සමූහ ගීතය සංවාද ස්වරූපයක් ගනී.

සාර සදිසි පෙත හේන නෙලන කල       – වල ගියෙදෝ මගෙ මේ වරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් – අප දුටුවේ නැත මේ වරයා
කොස්වතු කන්දේ කොස් නෙලනා කල – වල ගියෙදෝ මගෙ මේ වරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් – අප දුටුවේ නැත මේ වරයා

 

රංගනය සහ ගායනයේ සුසංයෝජනයෙන් මෙම ක්‍රීඩාව ගොඩ නැගී ඇත. එළුවන් සහ කොටියෙක් අතර වූ දෙබසින් මෙම ක්‍රීඩාව ඉදිරියට ගමන් කරයි.

හොදට නටඤ්ඤං රලහමි – දෙනවද එළුවා
දනින් වඳිඤ්ඤං රලහමි     – නොදෙමුව එළුවා

 

සිරුරට ව්‍යායාම ලැබෙන්නත් ජනක්‍රිඩාවන් මගින් නොදැන විශාල රුකුලක් ලැබුනා. පොරපොල් ගැසීම, කඹ ඇදීම සහ ඔන්චිලි පැදීම වැනි ක්‍රිඩාවලින් සිරුරට ලැබෙන ව්‍යායමය අද ජිම් ගිහින් ලබා ගන්නා ක්‍රිඩාවන්ට වඩා බොහොම වැදගත්. කිසිම වැය ශීර්සයක් නැතුව ඔවුන් මේ ව්‍යායාම ක්‍රිඩාවන්ගෙන් ලබා ගත්තා.

ගායන හැකියාවන් සංවර්ධනය වෙන්නත් ක්‍රිඩාව නොදැනම උපකාර වුණා. අද දරුවෙකුට කටේ හිරි ඇරල කවියක් කියන්න හැකියාවක් නැති වුනත් මේ ක්‍රිඩාවන්හිදී බද්ධව තිබුන ගායනා නිසා නොදැනම ගායන හැකියාවන්ටත් පිටුවහලක් ලැබුනා. මේවර කෙලිය, ලේන්සු හැංගීම වැනි ක්‍රිඩාවන් සමග ගැයුන පදවැල් තිබුනා. මේවායේ මිහිරි ගායනාවන් නිසා සිතටත් වින්දනයක් නොදැනම ලැබුනා.

ජනක්‍රිඩාවන්ගෙන් කොටසක් ගෘහස්ථවත් තවත් කොටසක් එළිමහනේදිත් කරනු ලැබුවා.ඔලිඳ කෙලිය, පංච දැමීම, වැනි ක්‍රිඩාවන් ගෘහස්ථව සිදු වුන අතර පොර පොල් ගැසීම, කොට්ට පොර, වැනි සෙල්ලම් එලිමහනේ සිද්ධ වුනා. ඒත් අද දරැවන් අවුරුදු ක්‍රිඩාවන් කී සැනම දකින්නේ අලියට ඇස් තැබීම, ග්‍රිස් ගහේ නැගීම වැනි සෙලල්ම් පමණයි. ඒත් අපේ ජනක්‍රිඩාවන් ගැන දරුවන්ගේ හිත් තුළ කිසිම සංකල්පයක් දැන් ඇත්තේම නැහැ.

ජනක්‍රිඩාවන් නිසා අවුරුදු කාලයට ආහාරයට ගනු ලබන තෙල් කිරි අඩංගු ආහාර මගින් සිරුරට ලැබුන මේදය නොදැනම දහනය වුණා. අද බොහෝ දෙනාට අවුරුදු කාලයට කැවුම් ගෙඩියක් , කිරිබත් කෑල්ලක් ආහාරයට ගන්න බැරි තරමටම මේදය පිලිබඳ ගැටළු තිබෙනවා. එදා මේවා වෙනුවෙන් හොඳම පිලිතුර ජනක්‍රිඩාවන්ගෙන් ලැබුනා.

ප්‍රසූතිය සඳහා රෝහලට යන ඔබ මේ දේවල් සුදානම් කරගත්තද ?

කිරි කැටියාට මෙන්ම ඔබට අවශ්‍ය දේ ද කල්වේලා ඇතිව සූදානම් කරගත යුතුය. මෙසේ අවශ්‍ය බඩු බාහිරාදිය සූදානම් කර ගැනීමේදී තමන්ගේ ආර්ථීකයට සරිලන පරිදි අවශ්‍යතාව පරිදි ඒවා සකස් කරගැනීමට මතක තබාගත යුතුය.

මවට අවශ්‍ය දේවල් :

  • බෙඩ් ජැකට්   04
  • චීත්ත   04
  • දත් බුරුසුවක්, දත් බෙහෙත්, සබන් කැටයක්
  • පිඟානක්, කෝප්පයක්, හැන්දක්
  • ඉනට රෙදි පටි කිහිපයක් (සනීපාරක‍ෂක තුවා ඉනෙහි රඳවා ගැනීමට)
  • මධ්‍යම ප්‍රමාණයේ ෂොපින් බෑග් 2 (කිලිටි රෙදි සඳහා)
  • රබර් සෙරෙප්පු ජෝඩුවක්
  • කොණ්ඩය බැඳීමට පටියක්
  • කුඩා උණු වතුර බෝතලයක්
  • වතුර බෝතලයක්
  • සීනි/තේ කොළ/කිරිපිටි දැමු කුඩා බඳුන්
  • මවගේ උප්පැන්න සහතිකය
  • මවගේ ජාතික හැඳුනුම්පත
දරුවාට අවශ්‍ය දේවල් :

  • බේබි ෂීට්           08
  • නැප්කින්            12
  • දරුවා එතීමට රෙදි  03
  • 36 X 36 ප්‍රමාණයේ කපු රෙදි     03
  • රබර් ෂීට්  01
  • ළදරු තුවා 01
  • ළදරු පනාවක්
  • ළදරු තොප්පි 01
  • ළදරු මේස් ජෝඩු  01

පෙර සඳහන් කළ මෙම බඩු ලැයිස්තුව අනුව සූතිකාගාරය තුළට ගෙන යා යුතු දේවල් වෙනම බෑගයකට දමා එහි මවගේ නම ලියා වෙනමම සූදානම් කරගත යුතුය.

සූතිකාගාරය තුළට ගෙන යා යුතු ද්‍රව්‍ය :

  •  බෙඩ් ජැකට්  02
  • චීත්ත  02
  • දරුවාට ඇඳුම් 02
  • නැප්කින්  02
  • ඉනට පටි  02
  • උණුසුම ආරක‍ෂා වන පරිදි දරුවා ඔතා තැබීමට රෙද්දක්
  • ළදරු තොප්පිය
  • ළදරු මේස්
  • ෂොපින් බෑග් 02
  • සනීපාරක‍ෂක තුවා ජැකට්  01
අවශ්‍ය ද්‍රව්‍ය පිළියෙල කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු :

මව විසින් පිළියෙල කරගත් හෝ සාප්පුවෙන් මිලදී ගත් ඇඳුම් රෝහලට ගෙන යාමට පෙර හොඳින් සෝදා තද අව්වේ වේලා හොඳින් මැද ගැනීම කළ යුතුය. එමෙන්ම සුුදුසු පරිදි ඇදුම් වර්ග කර වෙන වෙනම අසුරා ගැනීම සුදුසු වේ.

උදාහරණ ලෙස : රෝහලට ගෙන යන ඇදුම්, සූතිකාගාරයට ගෙන යන ඇදූම් ආදී ලෙස වේ.

ඒ මගින් ඔබ නැතත් ඕනෑම කෙනෙකුට අවශ්‍ය දේ ඔබ වෙත ගෙනවිත් දීමට හැකිවනු ඇත. සෑම කාන්තාවක්ම තම නිවස වෙන කවරදාටත් වඩා පිරිසිදු කර මනාව සංවිධානාත්මකව සකස් කිරීම සිදු කරනවා. මුළු නිවසම නැවත සකස් කිරීමක් සිදු වෙනවා කිව්වොත් නිවැරදියි. හරියට අලූත් ව්‍යාපෘතියක් දියත් කරනවා වගේ.

සති 35 දී, ඔබ ඉන්නේ ඔබේ බිළිඳා ලැඛෙන්න නියමිත දිනට හරියටම මාසයකට ඈතින්. ඔබේ සහකරු දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා ඔබේ දරු ප්‍රසූතිය සිදුවන රෝහල පිළිබඳව. එමෙන්ම ඔබට ලබා දී ඇති දිනයේදී දරුවා ලැබීමට පැය 24 කට පෙර රෝහලට පිටත්ව යාමට මතක තබාගත යුතු වෙනවා.

රෝහලට යාම පිළිබඳ පෙර සූදානමක් ලෙස ඔබ දෙපලට රෝහලට යාමට හොඳම කාලය මෙයයි. ඒ තුළින් ප්‍රසූතිකාගාරය ඇත්තේ කොහිද? වාට්ටු ඇත්තේ කොහිද? පළමුව යා යුත්තේ කොතැනටද යන ආදී දේ පිළිබඳ පෙර සූදානම් වීමක් ඇති කර ගැනීමට ද හැකියාවක් ලැඛෙනවා.

මෙම ලිපිය කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා සමග සකසන ලදී.

 

සොදුරු මිනිසකු බිහි කරන දරු නැලවිලි ගී

සංගීතය යනු විශ්ව භාෂාවකි. පර්යේෂකයන් පවසන ආකාරයට මිනිසකු මෙම විශ්ව භාෂාවට අත් පොත් තබන්නේ මවගේ ගර්භාෂයේ සිටමය. එම අත් දැකීම් ඔවුන් මෙළොවට බිහි වූ පසුවද අත්‍යවශ්‍යවේ. ළදරුවකුගේ ප්‍රථම ගායිකාව අම්මාය. දරුවන් නැලවීමට දරු නැලවිලි ගී ගායනා  කිරීම තුලින් එහි රිද්මයත් මිහිරි බවත් හේතූ කොට ගෙන දරුවාට සුවදායක නින්දක සුව ලබා දෙන්නට එදා අපේ අම්මාවරුන්ට හැකි විය. එහෙත් වර්තමානයේ කාර්්‍යය බහුල අම්මාවරුන්ගේ මුවින් නැලවිලි ගී ගිලිහී ගොස් ඇත. මමද නූතන යුගයේ මවක් ලෙස මගේ කුළුදුල් පුතු නළවන්නට දැන හුන්නේ නැලවිලි ගී කිහිපයක් පමණි. ඒවා මෙසේය,

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා
පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පවුම් තිහක් පඩි කනවා
ඉන් පවුමක් මට දෙනවා
උඹෙ අම්මත් ඉතා කළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නලවන මාත් කළුයි
නුඹ විතරයි තල එළළුයි

එදා ගැමි සමාජය තුලද කාන්තාවන් ඉතා කාර්ය බහුල විය. තම ගෙදර දොරේ ඉවුම් පිහුම් කටයුතු මෙන්ම හේනේ, කුඹුරේදී ස්වාමියාට සහය දීම මෙන්ම තමා දරුවන් රැක බලා ගැනීමද ඇය අතින් නොපිරිහෙලා සිදු විය. තම අත්දැකීම හා එදිනෙදා ජීවිතයේ සිදුවීම් අලලා සෙනෙහෙබර හැගුම් රිද්මයකට වදන් කොට තම බිළිදා නළවන්නට දරු නැළවිලි ගී ඇය ගයා ඇත. ඒවායේ වචනාර්ථයන් ළදරුවාට නොවැටහෙන නමුත් නාද රටාවේ ඇති මිහිරියාව ළදරුවා නළවන්නට සමත් විය. සත්තකින්ම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය කෙතරම් අපූරුද කිවහොත් එම දරු නැළවිලි ගී අදද අප සමාජය තුල නොනැසී පවතියි.

එහි සුන්දර රිද්මයක් හා පද ගැලපුමක් තිබුන නිසාම ම පුතු වෙන්නුවෙන් මගේම නැලවිලි ගීයක් මමද අත්හදා බැලීමි.

පුළුන් වළා රොදක් අරන්
මගේ පුතා සතපවමි
දුර අහසේ පා කරවා
දේදුන්නෙන් එතෙර වෙලා
සුරංගනා ලොවක් කරා මගේ පුතා ගෙනියනවා
සුරංගනාවන් ඇවිදින්
මගේ පුතා නළවාවී
ටිකිරි මුවින් කිරි සිනහා පපා
මගේ පුතා සැපට නිදී
හ්ම් හ්මිහු හ්ම් හ්ම් හ්මිහු හ්ම් හ්ම් හ්මිහු හ්ම් හ්ම් හ්මිහු හ්ම්

මවිසින්ම නිර්මාණය කර ගත් මේ නැළවිලි ගීයට පුතා තුල විශේෂ උනන්දුවක් පැවති බව ඔහුගේ හැසීරීමෙන් මා හැඳින ගතිමි.

අන්න පුතේ අවරගිරෙන් ඉර සඟවා
හඳ මාමා ඇවිදිල්ලා
ආකාසේම තරු විසි කර
කළුවර රෑ හැඩ කරලා
සුවඳ කරයි දසන්තයම
සමන් පිචිච, සේපාලික මල් පිපිලා
බකමූණන් මාවවුලන් අවදි වෙලා
ඔන්න ඉතින් නිදා ගන්න මගේ පුතේ
අද දවසත් නිමවීලා

මගේ නිර්මාණයට පුතු උනන්දු වූ නිසාවෙන්ම රාත්‍රිය විස්තර කරන්නට මා ඔහු වෙනුවෙන්ම මෙම පද ටිකද එකතු කොට කීවෙමි. වයස අවුරුදු පහක් පමණ වන තුරු ඔහුට නිදන්නට පෙර මගේ ස්ව නිර්මාණ අසන්නටම ඇවසිවිය.

දරු නැලවිලි ගී ගයන විට එදා අම්මාවරුන් තම දරුවා ගුණයහපත් දරුවකු වන්නට යෑයි නිරතුරු ප්‍රාර්ථනා කරමින් ඔවුන්ව ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ගෙන් ඇයද සිටීම කවිවලට නගා ඇති අයුරු ඉතාමත් සුන්දරය.

මගේ පුතා නැලවෙන්නේ
නැලවි නැලවි නිදියන්නේ
තොටිල්ල තාලෙට යන්නේ
සැම දෙවියනි රැකදෙන්නේ
උත්තම ගුණ ඇති වේවා
ලත් තැන වැඩ සෑදේවා
උවදුරු බයකුත් නේවා
රෑ සඳ නුඹ රැකදේවා

අනතුරුව මට අවැසි වූයේ පුතුට දේශාභිමානය දනවන නැලවිලි ගී ගයන්නටය. එයට මට උපකාරී වූයේ ඇස්.මහින්ද හිමියන් විසින් රචිත ජාතික තොටිල්ල හෙවත් දරු නැලවිල්ල කෘතියයි. ජාතික තොටිල්ල හෙවත් දරු නැවිල්ල කෘතියේ උන්වහන්සේගේ අරමුණ වී ඇත්තේ ළදරු වියේ සිටම ස්වකීය රට දැය ආගම පිළිබඳව දරුවන් තුල හැඟීමක් ඇති කරලීමයි. ඉතාමත් සරල බසින් ලියවී ඇති එම කෘතියේ මා බෙහෙවින්ම ප්‍රිය කල කවි කිහිපයකි මේ.

මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිදියෙන් නේ
ලක්වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමී
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එ මී
නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ
සිංහල රන් කිරි කට ගා
මගෙ පුතු හෙට ලොකු වෙනවා
රට රකින්න රන් අසිපත
පුතුගෙ අතට මම දෙනවා
ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන්ගෙ අතේ
නැළවෙන බව සිතනු පුතේ

ළදරුවන්ට නැලවිලි ගී ගායනා කිරීම තුලින් දරුවන්ට සුව නින්දක් ලබා දීම හා ළදරුවන් නළවා ගැනීම හැරෙන්නට එම ශබ්ද රසය දරුවාගේ විඥානයට ඇතුලුවීම තුලින් දරුවා රිද්මය උගනී. පෙර දැක්වූවා සේම කුස තුල සිටින ළදරුවා තමන්ගේම චලන තුලින් මෙන්ම මෙළොවට බිහි වූ පසු මවගෙන් කිරි උරා බොන්නේද තම ශරීරය චලනය කරන්නේද රිද්මයානූකූලවය. ඒ සෑම රිද්මයකම සංගීතයක් ඇතියි මා විශ්වාස කරමි. දරුවාකුගේ සවන් දීමේ කුසලතාවයේ ළදරු වියෙහිදීම වර්ධනය කළ හැකිය. ඒ සඳහා දරුවා තුල සවන් දීමේ හුරුව ඇති කළ යුතුය. එහි මුලීක අඩිතාලම මවගේ දරු නැලවිලි ගී තුලින් ලැබේ. හොඳ සවන් දෙන්නෙක් හොඳ ධාරණය සහිත තැනැත්තෙකි. එනම් ඔබේ දරුවා කුඩා අවදියේ සිටම හොඳින් සවන් දෙන්නෙකු වූ විට දරුවා අධ්‍යාපන කටයුතු කරන විට හොඳින් ධාරණය කරගැනීම තුලින් ඔබට දක්ෂයකු බිහි කරගත හැකිය. දරු නැලවිලි ගී තුලින් දරුවාගේ ශබ්ද කෝෂයට නව වචන හඳුන්වා දීමක්ද සිදුවේ. පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ, සංගීතය ශ්‍රවණය තුලින් ළමා මනස දියුණු වන බවයි. එය, දරුවාගේ මනසට සුවයක් සහ බුද්ධි වර්ධනයට මනා පිටිවහලක් බව ඔවුන්ගේ මතයයි.

එසේම බොහෝ විට දරුවා නැලවිලි ගී ශ්‍රවණය කරනු ලබන්නේ මවගේ උණුසුම ලබන නුදුරින්ය. ඒතුලින් දරුවාත් මවත් අතර ඇති සබඳතාවය ශක්තිමත්වේ. මවගේ ආදරය රැකවරණය සමගම දරුවාට තම සුරක්ෂිතබාවය පිළිබඳ සැකයක් ඇති නොවේ. ඔබේ දරුවා වැඩිහිටියකු වූ කල ජීවිතයෙහි සෞන්දර්යාත්මක ඉසව්වක සැරිසරන්නට ජීවිතය විඳින්නට ළදරු වියෙහි ඔවුන් ශ්‍රවණය කරන දරු නැලවිලි ගී බෙහෙව්න්ද ඉවහල්වේ. මොහොතක් ඔබේ ආදරණීය දරු පැටියා වෙනුවෙන් කාලය මිඩංගු කරන්න. දවසට එකවරක් හෝ ඔබේ ආදරණීය හැඟුමන් මුසු කොට ඔබේම හඬින් දරු නැලවිලි ගීයක් කිරි කැටියා වෙනුවෙන් ගයන්න. එයින් ඔවුන් විඳින රසාස්වාදය තුලින් ඔවුන්ගේ අනාගතය පැහැබර වනු ඇත.

දරුවන්ගේ මනස වියවුල් විය හැකි බව ඔබ දන්නවාද ?

අපි සාමාන්‍යයෙන් හිතන්නේ පොඩි එවුන්ට මොන මානසික ගැටළුද…? කන්න බොන්න දෙනාවා නම්..ඉස්කෝලේ ඇරලා උගන්නනවා නම්…. වෙනත් ඕනෑකම් ඉෂ්ට කර දෙනවා නම් වෙනත් මොනවාද..? වැඩිහිටි අපිට විතරයි මානසික ගැටළු කියල හිතුවත් ඒ සිතුවිල්ල එතරම් නිවරැදි නැහැ. වැඩිහිටි උදවිය තමන්ගේ පීඩනය කාට හරි කියල හිත නිදහස් කර ගත්තත් පොඩි අයට ඒ විදිහට කියන්නවත්…ඒ අය කියන දේ අහගෙන ඉන්නවත් පිරිසක් නැහැ. මේ නිසා ඔබ නොදැනම දරුවන්ටත් විශාදය තත්වය ඇති වෙන්න පුළුවන්. මව්පියන් විදිහට දරුවන්ගේ මානසික තත්වය ඔබ ඉතාම හොඳින් තේරුම් ගන්නම ඕන..අනේ අපිට ඉතිං දරුවන්ගේ මුහුණ බලන්නවත් වෙලාවක් නැහැ නොකියා දරුවා වෙතින් පහත දැක්වෙන වෙනස්කම් පෙනෙනවා නම් ඇත්තටම ඔබේ දරුවත් මානසික පීඩාවට පත්ව සිටින බව තේරුම් ගැනීම එතරම් අපහසුවක් නැහැ.

නොසන්සුන්බව

වෙනදා ඉතා හොඳින් සන්සුන් ගති පැවැතුම් ඇතුව සිටියත් දැන් දැන් දරුවා වෙතින් යම් යම් නොසන්සුන් ගති පැවැතුම් පෙනෙනවා නම් ඔහුගේ හිතේ කිසියම් මානසික හැලහැප්පීමක් ඇති වෙලා තිබෙන බවට හෝඩුවාවක්. එහෙම වුනාම දරුවාට දඬුවම් කරනවාට වඩා මේ වෙනස් හැසිරීමට හේතුසොයා බැලීම ඉතාම වැදගත්.

ආහාර වෙනුවෙන් උනන්දු නොවීම

වෙනදාට ආහාර වෙනුවෙන් කිසිම සීමාවක් නැතුව සිටි දරුවා දැන් ආහාර වෙනුවෙන් උනන්දුවක් දක්වන්නේ නැත්නම්, උදරාබාධයක් හෝ අජීර්ණ තත්වයක් වැනි ශාරිරික රෝග තත්වයකුත්නැත්තේ නම් මේ වෙනුවෙන් වූ එක් හේතුවක් විදිහට දරුවාගේ මානසික ගැටුමක් වීමට බොහෝ සේ ඉඩ තිබෙනවා. මගෙන් ගුටි නොකා බත් කනාවා…යනුවෙන් බලපෑම් කරනවා වෙනුවට ඒ වෙනුවෙන් බලපාන හේතුව ගැන සොයා බැලීම ඔබේ යුතුකමක්.

බර අඩුවීම

මානසික රෝග තත්වයන්හිදි දරුවාගේ බර පිලිබඳ පැහැදිලි අඩුවීමක් දැක ගත හැකියි. මේ වෙනුවෙන් මව්පියන් එතරම් යොමු නොවන්නේ ඔවුන් දරුවන්ගේ බර පිලිබඳව නිතරම විමසිල්ලේ නැති නිසයි. පංතියේ වාරාවසානයේ ලබා දෙන ප්‍රගති වාර්තාවේ බර සටහන වුනත් මව්පියන් එතරම් උනන්දුවෙන්  බලන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය දරුවාගේ ලකුණු ගැන විතරමයි. ඒත් ඔබ දරුවාගේ බර ගැනත් සැලකිල්ලෙන් සිටින්න. බර පහල බැසීමේ ප්‍රවනතාවයක් ඇත්තේ නම් එයින් අදහස් වෙන්නේ ඔවුන් තුල කිසියම් මානසික ගැටුමක් වෙනුවෙන් විඳ වීමක් ඇති බවයි.

නින්ද ආශ්‍රිත ගැටලු

වෙනදාට  ඇඳට වැටුන හැටියේ නින්දට වැටෙන දරුවා දැන් රාත්‍රියේ ඇදේ ඒ මේ අතට හැරි හැරී නන්ද නොයන ත්වයෙන් පසුවෙන බව ඔබට දැනුනොත් මව්පියන් විදිහට තව දුරටත් දරුවාගේ හැසිරීම ගැන උනන්දු වෙන්න. එසේ ඔබ උනන්දු නොවී මේ ගැන නොවිමසා සිටියොත් දරුවා දරුණු අන්දමට මානසික ගැටලු සහගත තත්වයට පත් විය හැකියි.

අසුබවාදී බව

ඉතාම  සතුටින් උනන්දුවෙන් හා ප්‍රබෝධයෙන් ජිවිතය සමග කටයුතු කළ දරුවා දැන් නිතරම් මේ විදිහට කියනවා නම් ඔබ දරුවා ගැන වඩාත් උනන්දු වීම වැදගත්.

මට ඒවා හරියන්නේ නැහැ…මම හරිම අවාසනාවන්තයි….මට දැන් ජීවිතයත් එපා වෙලා…සුන්දර ළමා වියේ සිටින දරුවෙක් වෙතින් මේ අන්දමේ වචන පිටවෙනවා යනු ඔහුගේ මානසිකත්වය ප්‍රකාශ වීමක් ඔබ එතැනින් නැවතිය යුතු නැහැ. ඇයි මේ විදිහට හිතන්නේ…ඔබට නැති වුනේ මොනවාද…ජීවිතය ඉතාම සුන්දර විදිහට ගොඩ නගා ගත යුත්තේ අපි බව ඔවුන්ට ඒත්තු ගන්වන්න. එවිට අසුබ සිතුවිලිවලින් මිදෙන මග ඔවුන්ටම තේරුම් ගත හැකිය.

හුදෙකලා වීම

වෙනදා නැසෑ හිත මිතුරු සමාගම ප්‍රිය කළ දරුවා දැන් ඒ සියල්ලෙන්ම වෙන්ව හුදෙකලා වීමට ප්‍රයක්ත දරන්නේ නම් ඊට බලපානු ලබන මානසික හේතුන් ඇත. එවන් වෙනසක් යනු දරුවාගේ මානසිකත්වයේ වෙනසක ආරම්භයයි. මේ සමගින්ම නුරුස්නා බවත් ඔවුන්ගෙන් ප්‍රදර්ශනය වෙනු ඇති.

පුතේ එන්න…මේ පුංචිඅම්මා ඇවිත්…කතා කරන්න…විටෙක ඔහු අකමැත්තෙන් සහභාගි වෙනු ඇත. එසේ නැත්නම් අනේ මට පාඩුවේ ඉන්න දෙන්න…මං නිදි කියන්න…මේ විදිහට කියනු ඇති… ‍දරුවාගේ වෙනදා නොවූ හැසිරීම සහ නුරුස්නා බවෙන් පෙනේනේ ඔහුගේ මානසික ගැටුමයි.

අලසබව

නිරෝගි දරුවෙක් යන සංකල්පය ගොඩ නගා ගැනීමේදී අපි මුලින්ම දකින්නේ ඔවුන්ගේ ක්‍රියාශීලිත්වයයි. ඉතාම ක්‍රියාහීලිව හැසිරුන, ජීවිතයේ කටයුතු වෙනුවෙන් ඉතා හොඳින් දායකත්වය ලබා දුන් දරුවෙන් දැනැ දැන් අලසව සිටිනවා නම්…එසේත් නැත්නම් ඔහුගේ කටයුතු ලෙඩ කපුටන් වැල කනවා වැනි ඉතාම අලස ගතියෙන් සිදු වන්නේ නම් දරුවාගේ මානසිකත්වය යම් විපර්යාසයකට පත් වූවා විය හැකිය. එවන් ගති පුරුදු හෝ හැසිරීම් ප්‍රදර්ශනය වන්නේ නම් දරුවාට අපහාස නොකරන්න…තරවටු නොකරන්න…මේ වෙනසට හේතුව සොයා බලන්න…

දරුවන්ගේ මානසික ගැටුම් ඔබ නොදැනම රෝග තත්වය දක්වා වර්ධනය විය හැකියි. නියපිටින් කඩන්නනට තිබෙන දෙය ඇතත්ටම පොරොවෙන්වත් කපා ගත නොහැකි තැනට පත් කර ගත් යුතු නැත. මානසික රෝගීබව ඔවුන්ගේ එදිනෙදා ජීවිතයෙන් බොහෝ විට පෙන්නුම් කරනු ඇත. මේ සියල්ලම දරුවා වෙතින් පෙන්නුම් නොකලත් විටෙක එකක් හෝ කිහිපයක් ඔබ දරුවාගේ හැසිරීමෙන් දකින්නේ නම් ඔහු සමග කතා කරන්න. මානසිකව සැහැල්ලුව ඇති වෙන පරිදි කටයුතු කරන්න.

සමහර අවස්ථාවල තමා වෙනුවෙන් තීරණ තමාට ගත නොහැකි විට ඒ ඔස්සේම හිතමින් කාලය ගෙවන විට මෙවන් ගති ලක්ෂණ දැක ගත හැකි වෙනු ඇත. ඇතැම් දරුවන් ඉතා සංවේදීය. මව්පියන්ගේ ආර්ථික ප්‍රශ්න නිසා ඔවුන් දැඩි සේ කම්පා වෙනු ඇත. එවන් අවස්ථාවලදී මුදල් යනු සොයා ගත හැකි සදයක් බවත් ඉගෙනුම වෙනුවෙන් දරණ වැය බර අනාගත ආයේජනයක් බවත් පෙන්වා දෙන්න. දරුවෙක් ලෙසින් කළ හැකි හොඳම දෙය අධ්‍යාපනය ලැබීමයි.ප්‍රශ්න ඉදිරියේ නොසැලී සිටීමට අවශ්‍ය ධෛර්ය ලබා දෙන්න. දරුවන් කිසිම දිනක තනි නොවන බවත් ඔවුන්ගේ ශක්තිය වෙනුවෙන් මව්පියන් සිටින බවත් පහදා දෙන්න.

සමාජයේ ඇති වෙන ගැටුම් සහ ගැටලු නිසා ජීවිතය පිලිබඳ නීරස බවක් ගොඩ නගා ගැනීම වෙනුවට ඒවා එකිනෙක විසඳාගෙන ඉදිරියට යෑම සැබෑම ජීවත්වීම බව ඔවුන්ට පහසා දෙන්න.

දරුවන් කලහකාරී වීමට හේතුව ඔබද ?

එදා දරුවන් ට  පාසල ඉතා මිහිරි ස්ථානයක් විය. ඔවුන්ට පාසලේ සතුරන් සිටියේ නැත. සිටියේ මිතුරන් පමණි. ඉතා සැහැල්ලු මානසිකත්වයකින් කාලය ගෙවූ ඔවුන් අතර අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු තරඟයක් වූයේද නැත. පුළුවන් එකා ඉහලට ගිය විට අනෙකා ඔහු කකුලෙන් ඇද බිම දැම්මේද නැත. එහෙත් අද තත්වය ඊට වෙනස්ය.

අද බාලේ පටන්ම දරුවන් මුල් කර ගත් අධ්‍යාපනයේ පවතින්නේ තරඟයයි. එකිනෙකා හඹා ගෙන ඉදිරියට නොගියොත් තමා පරාජය වන්නේය යන සිතුවිල්ල ඉතා තදින්ම සිත් තුළට ඇතුළු වී අවසානය.මව්පියන් ලබා දෙන උපදෙස වන්නේත් අල්ලපු ගෙදර, එහෙම නැත්නම්  අයියාගේ මල්ලිගේ දරුවන්ට වඩා තමාගේ දරුවා ඉදිරියට යා යුතු බවයි. බාලේ පටන්ම මෙම අදහස තුළ දරුවාට ලැබෙන්නේ ඉලක්කයක් නොව පීඩනයකි. ඔහු නිතරම උත්සාහ කරන්නේ කෙසේ හෝ තමා අධ්‍යාපනයේ ඉදිරියෙන් සිටින්නටය. යම් ලෙසකින් තමාට ඉදිරියෙන් සිටින්නෙකු වේ නම් ඔහු කෙසේ හෝ පහතට ඇද දමන මානසිකත්වයකින් දරුවා පීඩා විඳින්නට පටන් ගනී.

ලෝකයේ හැම දෙනාම එකසේ දක්ෂයන් නොවනු ඇත. ඇගිලි පහ එක හා සමාන නොවන්නා සේ දරුවන් අතර පවතින දක්ෂතාවයන් එකිනෙකාට වෙනස්ය. ඔවුන් ඵල ප්‍රයෝජන ලබා ගත යුත්තේ එම දක්ෂතාවයන් පාදක කර ගෙනය. එවිට ඔබේ දරුවාට දිගු ගමනක් යා හැක.

මේ නිසා ඔබ කිසිම දිනක දරුවා තවත් කෙනෙකුට සාපේක්ෂ නොකරන්න. මව්පියන් ලෙසින් ඔබ කරන විශාල වරද එයයි. මව්පියන් විසින් පෙන්වන චරිත පාදක කර ගෙන ඉදිරියට යා යුතුය යන පෙලඹවීමක් ඔවුන්ගේ සිත තුල ගොඩ නැගෙන්නේ නැත. ඒ වෙනුවට ඇති වෙන්නේ වෛරයක් පමනි. මේ වෛරය නිසාම දරුවාට නිරවුල් මනසකින් යුක්තව ඉගෙණුම් කටයුතු ඉදිරියට කර ගෙන යෑමට අවශ්‍ය මානසික පසුබිම ගොඩ නැගෙන්නේ නැත.

මව්පියන් විදිහට ඔබ දරුවාට ලබා දිය යුතු අවවාදය වන්නේ ඔබේ හැකියාවට අවශ්‍ය පරිදි වපසරිය සකසා ගන්නා ලෙසයි. හොඳ අස්වැන්නක් ලබා ගත හැක්කේ එවිටයි. අහවලාගේ දරුවා ගැන ඔබ සිතින් වද විඳින්නට අවශ්‍ය නැත ඒ ඔහුගේ බුද්ධියේ ධාරිතාවයි. ඔබේ දරුවා ඊට වෙනස්ය.ඔවුන්ට අවශ්‍ය තීන්දු තීරණ නිදහසේ ලබා ගැනීමට අවසර දෙන්න.

අද පාසල් අධ්‍යාපනයෙන් ලැබෙන පීඩනය නිසාද දරුවන් අතර කලහකාරිත්වය ගොඩ නැගෙනු ඇත. සෙල්ලමට අවසර ඇත්තේම නැත. පංති කාමරයේ හුස්මක් ගැනීමට ඉඩක් නැත. එදා බොහෝ පංතිවල පාඩම් ඉගැන්වීම ගසක් යට වැනි එලිමහන් පරිසරයක සිදු විය. සුළග සමග ඔවුන්ගේ සිතට ඇති වුනේ අලුත් බවකි. සැහැල්ලුවකි. අද තත්වය ඊට වෙනස්ය. බිත්ති වලින් වට වුන පංති කාමරයට අනෙක් පංතියෙන් නැගෙන ඝෝෂාව විඳ දරා ගැනීම අපහසුය. රස්නය දරා ගත නොහැක. මෙවන් පරිසරයකදී අධ්‍යාපනය මහත් පීඩාවක් වෙනු ඇත. මෙම පීඩනය නිසාම සහජීවන පිලිබඳ සංකල්ප ගොඩ නැගෙන්නේම නැත.

මෙම පීඩාකාරි මානසිකත්වය නිසාම අද අසල්වැසි පාසල්වල දරුවන් අතර ඇත්තේ නයි පොලොං‍ වෛරයකි. කිසිම හේතුවක් අවශ්‍ය නැත පන්න පන්නා පහර දෙති. විටෙක මේ වෙනුවෙන් වැරැද්දක් අවශ්‍ය නැත අහවල් පාසලේ නම් ඔවුන්ට හිරිහැර කළ යුතුව ඇත. බාල සහෝදරයන් වුවත් කමක් නැත.

අන්තර් පාසල් ක්‍රිකට් ගැටුම් කෙළවර වෙන්නේ දෙපිරස අතර ඇති වෙන හැල හැප්පීමත් සමගින්ය. සහෝදර පාසල් යන සංකල්පයක් හිතේ කොතැනකවත් නැත. මේ වෛර පිරිමහන අවස්ථවක් තරමටම අද මහ තරග ගැටුම දුර්දාන්ත තත්වයට පත්ව ඇත.ඒ වෙනුවෙන් ලබා දෙන උපදෙස් බීරි අලින්ට වීනා ගායනා වැනිය. ඒ තරමටම දරුවන්ගේ විනය පිරිහී ඇත. වෙනදා වැඩිහිටියෙකුට මෙල්ල කර ගත හැකි දරුවන් අද නීතියටවත් නම්මවා ගැනීම අපහසුවක්ව ඇත.

විශ්ව විද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනයන්හිදී තවත් සහෝදර පිරිසක් පිලිගැනීමේ මුහුණුවර වධකාගාරයක ලබා දෙන දඩුවම් තරමටම දරුණුය. නවකයන් යනු තවත් ආගන්තුකයන් පිරිසක් පමනි. මෙම දෙපාර්ශවය අතර මීට පෙරාතුව කිසිදු ගණුදෙණුවක් සිදු වී නැත එසේ නම් අමානුෂික ලෙසින් නවකයන්ට වධ බන්ධන ලබා දීමට තරම් තරුණ සිත් සැහැසිව ඇත. මෙතැන ඇත්තේ නවකයන් පිලිගැනීමක් නොව තමන්ගේ ක්‍‍ෂත්‍රය තුළට එක් වූ තවත් පරම්පරාවක් මුල් කර ගත් ද්වේශයක් පමණි.

එදා නවකයන් පිළිගත්තේ ගීතයක් ගායනා කිරිම , රංගනයක් වැනි සැහැල්ලු ඉල්ලීමකින් පමණි. මේ තත්වය අද අලුත් පංතියක , පාසලකටත් ආරෝපණය වී ඇත. නවකයන් මානසික් බිමට ඇද දැමීමේ එකම ප්‍රයත්නය එයයි. එතැනින්ම ඇතැම් දරුවන් මානසික පසුබෑමට පත් වේ.

නිතරම දරුවන්ට සහජීවනය හුරු කරන්න. සමාජයේ අපි සියළු දෙනාම එකසේ ජීවත් විය යුතුය යන සංකල්පය හඳුන්වා දෙන්න. තරඟයක් නොව ඔබට හැකි දේ ඔබ කරන්න…නියම ජයග්‍රහනය ඇත්තේ එතැන බව කියා දෙන්න. අද නවකයෙක් ලෙසින් පංතියට එන දරුවා අනාගතයේදී බොහෝ දුර ගමණක් යන හැකියාවෙන් යුක්ත වුනත් මානසිකව ඔහු වට්ටවා දැමීම විශාල වරදක් බවත් ඇත්තෙන්ම එය පාපයක් තරමට දරුනු බවත් දරුවන්ට කියා දෙන්න. බොහෝ ආකල්ප ඇති වෙන්නේ මුලින්ම තමාට ලබා දෙන පිලිගැනීම නිසාය. එබැවින් අලුත් සාමාජිකයන් ඉදිරියේ කලහයට වඩා සුන්දර පිලිගැනීමක් ලබා දුන් විට ඔවුන් තුළ ගොඩ නැගෙ මිතුරු හිත ඉතා ප්‍රබල වෙනු ඇත.

පංතිය, පාසල , විශ්ව විද්‍යාලය සැමට පොදුය. අධ්‍යාපනය ලැබීමේ සමාන අයිතිය සැම දෙනාටම ඇත. එය එක් පිරිසකගේ වරප්‍රසාදයක් පමණක් නොවේ. එහෙත් මෙම සමානාත්මතාවයෙන් එකිනෙකාට සංග්‍රහ කරන්නට තරුණ ශිෂ්‍ය කණ්ඩායම් සූදානම් නැත. එසේ සංග්‍රහ ලබන්නට තවත් පිරිසකට වරම් නොමැත. මේ විසංවාදය නිසා නිරන්තරව ඇත්තේ හැල හැප්පීම් මිස අධ්‍යාපන අරමුණු ඉටු කර ගැනීමට හැකියාව සහිත පරිසරයක් ගොඩ නැගෙන්නේම නැත.

ඔබත් දරුවට දඬුවම් කරන මවක්ද ?

හැඳි නොගා හදන හොද්දයි ගුටි නොගහ හදන දරුවයි දෙදෙනාම එතරම් ගුනාත්මක නොවන බව කිව්වත් පමණට වඩා හොද්ද හැදි ගෑ විට එය නරක් වෙන බවත් අමතක කළ යුතු නැහැ. දරුවන් ගැනත් කියන්න වෙන්නෙත්  මේ කරුණමයි. අපි දරුවෙකුට දඬුවමක් ලබා දෙන්නේ ඔහු යහමගට යැවීමටයි. ඒත් සමහර අම්මලා දරුවන්ට දඬුවම් කිරීමේදී පවා කිසිදු සාධාරණත්වයක් නැහැ.

බොහෝ දෙමව්පියන් දරුවන්ට දඩුවම් කරන්නේ තමන්ගේ ආවේග පිට කිරීමේ මාර්ගයක් විදිහටයි. සැමියා බිරිඳ සමග ඇති වෙන නොහොඳ නෝක්කාඩු වලදී අතරමැදියා වෙන්නේ දරුවන් බව බොහෝ දෙනාගේ අදහස් වලින්ම පිටවෙනවා.සේරම තරහ මං පොඩි එකා පිටින් යැව්වා…මේ වගේ ඔබ හිත නිදහස් කර ගැනීමට දරුවා ඉත්තෙක් කර ගැනීම ඉතාම වැරැදි සහගත කටයුත්තක්. දරුවන්ට දඩුවම් ලබා දිය යුත්තේ ඔහු යහමගට යොමු කිරීමට මිසක ඔබේ ආවේග පිට කිරීමට නොවන බව තරයේ මතක තබා ගන්න.

දඬුවම් කිරීමේදී වරදේ ස්වභාවය ගැනත් අවධානය යොමු කරන්න. ඇතැම් අවස්ථාවලදී ඉතාම සුලු වරදට පවා දරුණු අන්දමින් දඬුවම් දෙන අවස්ථා තිබෙනවා. අත්වැරැද්දකින් යමක් බිදුන අවස්ථාවලදී ඒ ගැන අවවාදයක් ලබා දෙනවා මිසක දඬුවම කිසිදු ලෙසකින් ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ. ඒ වුනත් ප්‍රවේසමෙන් කටයුතු කිරීම ගැන අවවාද ලබා දීම මෙවන් අවස්ථාවකදී ප්‍රයෝජනවත් වෙනවා.

දඬුවම් ලබා දෙන විට එය දරුවාට දරන්නට තරම් හැකියාවක් ඇත්දැයි මදක් හිතන්න. අද දවසේ දෙමව්පියන් දරුවන්ගේ හිත් හඳුනන නිසාම‍ ඒ තරම් දරුණු වද බන්ධන දරුවන්ට ලබා දෙන්නේ නැහැ. අතීතයේදී බොහෝ දෙමව්පියන් දරුවන්ට නැවත ඒ දෙය නොකරන ලෙසට මතක හිටින දඬුවම් ලබා දුන්නා. මේවා ඉතාමත් දරුනුයි. ඇතැම් අවස්ථාවලදී ගස බැඳ තැලීම, දිමි ගොහොටු කඩා දැමීම වැනි අමානුෂික අන්දමේ දඬුවම් ලබා දුන්නා. මේ වද වේදනාවන් ඔවුන් ඉවසා ගෙන හිටියත් ඒවායේ පසු විපාක ඉතාම දරුණුයි. පුංචි හිත්වල අම්මා , තාත්තා ගැන ඇති වෙන්නේ වෛරයක්. මේ වෛරය සමග දරුවන් උස් මහත් වෙනවා. ගට්ටනය පටන් ගන්නේ එතැනදීයි. අපිට පුංචි කාලේ හරකුන්ට වගේ ගැහුවා….ඔවුන් කියනු ඇත. ඒ සියල්ල ආදරේ මුල් කර ගෙන කළ කී දේ බව කිව්වත් දරුවන්ට ඒ ගැන විශ්වාසයක් නැත. ඒ තරමටම ඔවුන්ගේ හිත් පෑරී අවසානය.

බොහෝ දෙමව්පියන් එදා දරුවන් ප්‍රසිද්ධියේ අපහාසයට පත් කිරීමට යොමුව සිටියේ මේ අන්දමින් ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්වුන විට නැවත එම වරදට යොමු නොවනු ඇතැයි සිතාය. එහෙත් එම අදහස නිවරැදි නැත. ප්‍රසිද්ධියේ සම වයස් කණ්ඩායම් ඉදිරියේ අවමානයට පත් වුන විට දරුවාගේ ආත්මාභිමානය මුලුමනින්ම බිද වැටෙනවා. නැවත සමාජය ඉදිරියේ මුහුණ දෙන්නේ කෙසේද යන ගැටළුවට දරුවා පත් වෙනවා. ගෙදර ගින්දර පිටතට දිය යුතු නැතුවා සේ දරුවාගේ වැරැදි නිවරැදි කි ගැනීමට යැයි සිතා ඔවුන් අවමානයට පත් කිරීම එතරම් යෝග්‍ය දෙයක් නොවේ.දරුවාටත් ආත්ම ගරුත්වයක් ඇත. වයසින් කුඩා වුනත්, ඔබේ අණසක යටතේ වැඩුනත් ඔවුන්ටත් යම් අභිමානයක් ඇත. මේ අභිමානය උපන්ගෙයිම බිද දැමිය යුතු නැත.

වරදකට දඬුවම කිරීමෙන් අනතුරුව නැවත නැවත දඬුවම් කිරිමෙන් වලකින්න. ඇතැම් දෙමව්පියන් දඬුවම අවසාන කරන්නේද නැත. කායික ලෙසින් දඬුවම් කොට නැවත නැවත දොස් නගමින් දරුවා දැඩි සේ හෙලා දකකින්නට පටන් ගනිති. මෙය නොකල යුතු කටයුත්තකි. වරදට දඬුවම් කිරීමෙන් පසුව නැවතුම් තිතක් එම අවස්ථාව වෙනුවෙන් තබන්න. විටින් විට දරුවාට පීඩාකාරී ලෙසින් හැසිරීම නොකල යුතුය.

දරුවාට දඩුවමක් ලබා දීමෙන් පසුව නිවසේ සියළු දෙනාම ඒ පිලිබදව එක් පැත්තක් නොගන්න. දඬුවම දුන් තැනැත්තා සමග එක්ව විවේචනය නොකරන්න. නිවසේ සෙසු අය මධ්‍යස්ථව සිටීම ඉතා වැදගත්ය.

අද දරුවන් ඉතාම ආවේගශීලීය. අවවාද ඔවුන් රුස්සන්නේම නැත. පුංචි අවවාදයෙන් පවා සියදිවි හානි කර ගන්නා තැනට දරුවන් පත් වෙන අවදානමක් ඇත. මේ නිසා යම් දඬුවමකින් අනතුරුව ඔවුන් ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත් වෙනවා. ආව්ගයන්ට වඩා දරුවන් තුළ ගොඩ නැගෙන්නේ ආත්මානුකම්පාව, අසරණබව වැනි තත්වයන්ය.

මේ නිසා දඩුවම් ලබා දීමෙන් පසුව මව්පියන් මේ අන්දමින් දඬුවම් ලබා දෙන්නේ ඔවුන් සුමගට යැවීමට බව පහදා දෙන්න. මව්පියන්ගෙන් දඬුවම් නොලබා නොමගට ගිය තැන එහි වන්දි ගෙවීමට දරුවන්ට සිදු වෙන බව පහදා දෙන්න. බන්ධනාගාරගතව , එසේත් නොමැති නම් යහමග නොගොස් සමාජයේ පිලිගැනීමක් නැති තැනට පත්ව සිටින පුද්ගලයන් ගැන පහදා දෙන්න. දඬුවම යනු වෛරයෙන් හෝ ද්වේෂයෙන් කරන දෙයක් නොව හදා වඩාගෙන යහමග යැවීම පිණිස සද්බාවයෙන් කරන කටයුත්තක් බව දරුවා තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

නිතර දෙවේලේම දඬුවම් ලබා දීමත් නොකල යුත්තකි. අතීතයේදී දෙමව්පියන් කියන්නා‍සේ කොටුවට තිබෙන බිය පවත්වා ගත යුතුය. බිය හැරුනොත් එයින් ඇති වෙන්නේ මුරණ්ඩු ගති පැවැතුම්ය. මට ඕනනම් ගහයි….නැත්තං මරයි….මම බය නැහැ…මේ අන්දමින් කියමින් වැරැද්දේම නිරත වෙන දරුවන් සිටිති. එයින් අදහස් වන්නේ දඬුවම කෙරෙහි තිබෙන බිය ඔවුන්ගේ හිතෙන් පහව ගොස් ඇති බවයි.

දරුවන් එකිනෙකාට වෙනස්ය. ඇතැම් දරුවන් දඬුවමෙන් යහ මගට පමුනුවා ගත හැකි වුනත් තවත් පිරිසක් දඬුවමට වඩා ආදරයෙන් කරුණු කාරනා කියා දී යහපත් ලෙසින් හදා වඩා ගත හැක. එය ඔවුන්ගේ චරිත ස්වභාවය අනුව වෙනස් වේ. මේ නිසා මුලින්ම දරුවාගේ චරිතය තේරුම් ගන්න. එයින් අනතුරුව ඔහුට යහමග කියා දීමට ගැලපෙන භාෂාව හඳුනා ගන්න. එවිට දඬුවම හෝ වෙනත් අන්දමින් යහමග කියා දෙන ක්‍රමවේදයක් අනුව දරුවා සුමගට පත් කර ගැනීම අසීරු කටයුත්තක් නොවනු ඇත. දඬුවම යනු කෝටු පහරම පමණක් නොවන බව සිතන්න.

සිංහල අලුත් අවුරුද්ද සමරන හැටි ඔබේ දරුවටත් කියාදෙන්න

කොහාගේ  නාදය සහ ගස් අතු පතර දිලිසනෙ එරබදු මල් අද දැක ගන්නට නොමැති වුනත් සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ සංකල්පය අපේ හිතෙන් තවමත් ඈත් වෙලා නැහැ. ඒත් සමහර මව් දෙමව්පියන් සිංහල අලුත් අවුරුද්දේ සංස්කෘතික වටිනාකම ගැන බොහොම ගොරෝසු විදිහට හිතනවා. අවුරුද්ද කියන්නේ සල්ලි විනාශ කිරීමක්…සිංහල අලුත් අවුරුද්ද කියන්නේ කැලැන්ඩරයේ එක දවසක් විතරයි. මේ වගේ අනවශ්‍ය තර්ක විතර්ක නගමින් සිංහල අලුත් අවුරුදු සමග බැඳුන යුතුකම් සහ වගකීම්වලින් බොහොම අපූරු විදිහට නිදහස් වෙන්න බලනවා. ඒත් සිංහල අලුත් අවුරුද්ද දරුවන්ගේ ලෝකයට ලබා දෙන්නේ අපූරු වින්දනයක්. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පොත් පත් කියවන විට එදා සිංහල අලුත් අවුරුද්ද තුළ දරුවන් ලද චමත්කාරය ගැන වින්දනාත්මක තෘප්තියක් අපටත් ලබා ගත හැකියි.

කජු ගස් , එරබදු මල් නැතැත් අදටත් දරුවන්ගේ ලෝකයට අවුදරුදු සිරිය ලබා දීම ඉතා වැදගත් සිංහල අලුත් අවුරුද්ද වචනයේ පරිසමාපත්තියන්ම අලුත් බවක් අපිට ඇති වෙනවා. එකාකාර ජීවන රටාවෙන් මිදුන කිසියම් වෙනසක් දරුවන්ගේ හිත්වලටත් මෝදු වෙන්න මේ කාලය ඉතාම උචිතයි. අවුරුද්ද වෙනුවෙන් හැම දෙනාම එකම විදිහිට සැරසෙන විට ඔබේ දරුවන්ටත් ඒ අත්දැකීම ලබා දෙන්න අවශ්‍යයි. අවුරුද්දේ ඉතාම සුන්දර වෙන්නේ පෙර සූදානමයි.

සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව එදා වගේ ගොම මැටි නොගෑවත් අදටත් අපි නිවස පිරිසිදු කරනවා. මේ කටයුතු නිසා නිවසට ලැබෙන ආලෝකය සුලුපටු නැහැ.ඒ වගේම නිවස පිරිසිදු කිරීම නිසා දරුවාත් ඒ කටයුතුවලට සම්බන්ධ වෙනවා. තෙල් තාච්චියක් අනිවාර්යෙන් ලිප තිබ්බේ නැත්නම් නිවසට සිරියාවක් නැතැයි වූ කතා බහ එදා ගොඩ නැගුනා. අදට නම් නිවසේ කැවිලි පෙවිලි සකස් නොවුනත් අවුරුදු මේසයට පමණක්වත් කැවිලි සූදානම් කරනවා. මේ කටයුතු දරුවන්ට ඉතා විනෝදජනකයි. කෙහෙල්කැන් ඉදවන්න අද වගේ කාබයිට් නැති යුගයක කෙහෙල්කැන්වලට දුම් ගැහුවේ රංචු පිටින් දරුවන් එකතු වෙලා. අදටත් කෙහෙල්කැන් ඉදවන කටයුතු වෙනුවෙන් දරුවන් විවිධ විදිහට යොමු කරන්න පුළුවන්. වස විස නැති ආහාර පිලිබඳ සංකල්ප ඔවුන්ගේ හිත්වලටත් නෙදැනම ඇතුළු වෙනවා.

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ගැන දරුවන් දැණුවත් කිරීම අවශ්‍යයි. අද පවුලක් වුනාට ඒ පවුල පවුල තුලම විතැන් වෙලා. අම්මා , තාත්තා දරුවන් එකම වෙලාවක , එකම මේසයක ආහාර ගැනීමක් ඇත්තේම නැහැ. අවුරුදු සිරිත් අනුව ලිප ගිනි මෙලවීම, ගණුදෙණු කිරීම හා වැඩ ඇල්ලීම ආහාර අනුභවය , හිසතෙල් ගා ස්නානය සහ රැකීරක්ෂාවන්ට පිටත්වීමට නියමිති නැකත් තිබෙනවා. මේ නිසා පවුලක් තුළ එකම වේලාවක , එකට එකතුව කටයුතු කිරීමේ ගති පුරුදු ගොඩ නැගෙනවා.

අද බොහෝ දෙනා නගන චෝදනාව අපි අතර යුතුකම් පාර්ශවය බොහොම සීඝ්‍රයෙන් පිරිහෙන බවයි. සිංහල අලුත් අවුරුද්ද මේ චෝදනාවන්ගෙන් නිදහස් වෙන්න නොව මේ ගති සිරිත් වගා කර ගන්න අවස්ථාව සලසා දෙනවා.

ගමෙන් දුරස්ථව සිටින දරුවන් මව්පියන් දැක බලා ගෙන ඔවුන්ගෙන් ආශිර්වාද ලබා ගන්නවා. බුලත් දුංකොල දී ඔවුන්ට නමස්කාර කරනවා. ගමේ පන්සලේ ස්වාමින්වහන්සේලා හමුවට ගොස් සෙත් පිරිත් ආශිර්වාද ලබා ගන්නවා. අද නම් සමාජයේ එකමුතු බව බොහෝ සෙයින් ඈත්ව ගොසින්. අතීතයේදී ගමේ ගොඩේ පවුල් අතර ඇති වෙන පුංචි පුංචි නෝක්කාඩු හිත් සිංහල අලුත් අවුරුද්දට නැති කර‍ගෙන එකමුතු වුණා. අදට නම් ඒ වගේ ගති පුරුදු නැති වුනත් දරුවන්ට මේ බව පහදා දෙන්න. ඔවුන්ගේ හිත් සාමකාමී කිරීමට ගැලපෙනම කාලය සිංහල අලුත් අවුරුද්දයි. නෑදෑකම් අලුත් කර ගන්න, දුරස්ථව ගිය හිත් නැවත සමීප කරගන්න මේ කාලයේදී පුලුවන්.

ගණුදෙනු කරන නැකතට දරුවාටත් පොත පත සමග රැ‍ෙඳෙන්නනට උපදෙස් දෙන්න. සුබ මුහුර්තියට කටයුතු කරන විට අධයාපනය සුබදායක ලෙසින් ඉදිරියට කර ගෙන යා හැකි බව ඔවුන්ට පහදා දෙන්න. වැඩ අල්ලන නැකතට එදා වගේ කිරි ගසට කොටන්නනට, කැත්ත උදැල්ල අතට ගන්නට නොමැති වුනත් පාසලේ පොත් පත් අරගෙන මුලින්ම ” ස්වස්ති සිද්ධම් ” යන වගන්තිය සටහන් කිරීමට උපදෙස් දෙන්න. මේ නිසා ඇති වෙන මානසික අලුත්බව දරුවාගේ ඉදිරි වාරයට අලුත් ජවයක් ලබා දෙනු ඇත.

හිස තෙල් ගාන නැකතට පන්සලට ගොස් හිස තෙල් ගල්වා ගෙන ආශිර්වාද ලබා ගන්න. ආගමික හුරු පුරුදු මගින් දරුවාගේ ජීවිතයට ලැබෙන ශක්තීන්ද පවතින බව පහදා දෙන්න. බුද්ධියෙන් ඉහල ගියත් මානසිකව ශාන්තිය ලබා ගැනීමට නම් අපි ආගම දහම සමග සම්බන්ධ වීම අවශ්‍යයි. කිසිම දවසක මේවා බැහැර කලොත් මානසිකව සහනශීලිත්වයක් ලබා ගැනීම අපහසුයි.

රැකීරක්ෂාවන්ට වැඩිහිටියන් පිටත්ව යන පරිද දරුවන්ටත් පාසල පටන් ගන්නා දිනයක් අලුත් අවුරුද්දට පසුව එළැඹෙනු ඇත. එදිනටත් දරුවාගේ මනස අලුත් වෙන පරිදි පාසල් අධ්‍යාපනයට යොමු කරන්න. නව පාසල් වාරයට අලුත් ඇඳුමක් ලබා දෙන්න. සිංහල අලුත් අවුරුද්දට ඇඳුම් පැලඳුම් මිලට ගන්නා විට ඒ ගැනත් සිතීම අවහ්‍ය වේ. නව වාරයට පෙර දිනයේ පන්සලට හෝ අදාල ආගමික කටයුත- කරන ස්ථානයකට කැඳවා ගෙන ගොස් ආගමික ආහිර්වාද ලබා දෙන්න. දරුවාගේ මානසිකත්වය නවාවයකින් පන ලබන්නේ එවිටය. මට මේ වාරයේ වැඩ කටයුතු හොඳින් කර ගෙන යා හැකිය යන විශ්වාසය ඔවුන්ගේ හිතේ ගොඩ නැගෙනු ඇත. මේ කටවුතු වෙනුවෙන් අමතර වැය ශිර්ඹ්‍ෂයක් අවශ්‍ය නැත සිංහල අලුත් අවුරුද‍‍්‍සමග දරුවාගේ අදයාපනයටක් අලුත් බවක්ලබා දෙන්න.

අවුරුද්ද ගෙවුන තැන අපි නැවතත් අලුත් දිනයක් වෙනුවෙන් යොමු වීම සාමාන්‍ය සංසිද්ධියයි. මේ වෙනුවෙන් නව බලාපොරොත්තු ගොඩ නගා ගැනීමට උපදෙස් ලබා දෙන්න. අපේ ජීවිත ජීවත් කරන්නේ බලාපොරොත්තුවයි. දරුවන්ටත් ඒ සංකල්පය ගොඩ නගන්න. බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ මාර්ග සලසා ගෙන ඒ අරමුණු ඉලක්ක වෙත යන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලබා ගැනීමට සිංහල අලුත් අවුරුද්ද අලුත් විදිහට බුත්ති විඳින්නට දරුවන්ට ඇවැසි මග දෙමවිපියන් වශයෙන් සලසා දෙන්න. අද වැඩිහිටියන් සේ සිටින උදවිය අතීතයේ අවුරුදු සිරිය ගැන කතා බහ කරන්නේ ඔවුන් ලද අපූර්ව වූ අත්දැකීම නිසාය. අනාගතයේදී ඔබේ දරුවාටත් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අද දවස පාදක කරගෙන ලබන අත්දැකීමෙන් හෙට දිනයට කුමන හෝ රසවත් මිහිරක් ඉතිරි වෙනු ඇත. ඒ අවස්ථාව වෙනුවෙන් ඔවුන්ට සිටින එකම පෙර මග ගමන්කරුවා ඔබය.