දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේදී මව්පියන්ට වැරදුණේ මෙතැනද?

එදිනෙදා ජීවිතයේදී දරුවන් සමග ගනුදෙනු කරද්දී දරුවන් මෙන්ම මව්පියන් යන දෙපාර්ශවයම පීඩාවට පත් වන මාතෘකාවක් ලෙස දරුවන්ගේ අධ්‍යාපනය හඳුන්වා දිය හැකියි‍. මේ ළමයා ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නැහැ කියන වාක්‍යය අම්මා තාත්තාගේත් කටින් පිටවෙන්නේ ඔවුන්ව නොදැනුවත්ව වීමට තරම් එය පවුලක් තුළ ගැටලුවක් වෙලා අවසන්. ඇතැම් අවස්ථාවලදී දරුවා මහන්සි වුවත් ඉගෙනීම වෙනුවෙන් කැප වුවත් ඒ තරමට ප්‍රතිඵල දරුවාට හිමි නොවනා වෙන්නත් බැරි නැහැ. 

වෛද්‍යතුමනි, මනෝ විද්‍යාවට අනුව අධ්‍යාපනය යනු කුමක්ද?

මෙය ලෝකයේ ඉතා පුළුල් ලෙස දකින කාරණාවක්. අධ්‍යාපනය තුළි අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ සමාජය තුල යහපත් පුරවැසියෙක් බිහිකිරීමයි. බර්ටම් රසල් කියන දාර්ශනිකයා දක්වන් අදහස වන්නේ විද්‍යාව යම්තාක් දුරට දියුණුවන්නේද ප්‍රඥාවද ඒ හා සමානව දියුණුවිය යුතුය. යම්තාක් දුරකට එය එසේ නොවන්නේද ඒ හා සමානව විද්‍යාව මිනිසාට අහිතකරය යන්නයි. කෙටියෙන් සඳහන් කළොත් විද්‍යාවෙන් සකසා දෙන ආයුධය කෙසේ භාවිත කළ යුතුද යන්න අපට කියා දෙන්නේ ප්‍රඥාව තුලිනුයි. මේ ආකාරයට අධ්‍යාපනය පිලිබදව විවිධ නිර්වචන තියනවා.

මනෝවිද්‍යාත්මක පැත්තෙනුත් ඒ ආකාරයේ බොහෝ නිර්වචන පවතිනවා. මහාචාර්ය රෝලන්ඩ් අබේපාලයන්ගේ පොතක සඳහන් වන ආකාරයට අධ්‍යාපනය යනු කිසියම් රටක සමාජ ක්‍රමය අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා, ස්වකීය අනාගතය පරපුරට පවරා දීමට තෝරාබේරා ගත් ඥාන සම්බාරයයි.  එහි ඇති වැදගත් කරුණ ‍වන්නේ රටක සමාජ ක්‍රමය අඛන්ඩව පවත්වාගෙන යාමට නිශ්චිත ක්‍රමයක්, දැනුම් සම්බාරයක් දරුවන්ට පැවරෙන අතරම ඒ සමාජ ක්‍රමය ඇතුලෙ සාරදර්ම, සංස්කෘති, යහපැවැත්ම, රාජ්‍ය පාලනය ආදී කාරණා රාශියක් ඇතුළත් වන බවයි. මේ සමාජ ක්‍රමය පුරවැසියාට යහපත්, හිතකර විදියට රැගෙන යාමට අවශ්‍ය මූලික කාරණා අධ්‍යාපනයේ මූලික පරමාර්ථය ලෙස හැඳින්විය හැකියි. ඒ ගනුව ගත් විට අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ සාර්ථක පුරවැසියෙකු බිහිකිරීමයි.

සාර්ථක පුරුවැසියෙක් බිහි කිරීම යන කරුණ තුළ අධ්‍යාපනය විසින් කළ යුත්තේ කුමක්ද?

දරුවෙක් මෙලොවට බිහිවෙද්දී ඒ දරුවාගේ මොළය හිස්. ස්නායු විද්‍යාවට අනුව වයර් කෑලි වගේ දේවල් ටිකක් පමණක් ඒ තුළ තියෙන්නේ. අපි ඒවා නියුරෝන ලෙස හඳුන්වනවා. මේවා තුළ සදාචාරය, සංස්කෘතිය කියන කරුණු කිසිවක් අන්තර්ගත නැහැ. නමුත් ඒ කරුණු ගොඩ නැගීමට අවශ්‍ය විභවය ඒ තුළ පවතිනවා. දරුවෙක් මේ ලෝකයට බිහිවන්නේ කුසලතා විශාල ප්‍රමාණයක් ගොඩනැගිය හැකි විභවයක් මොළය තුළ තබාගෙනයි. අන්න ඒ දරුවා රැගෙන එන විභවය තුළ අප විසින් නිවැරදිව ගොඩ නැගිය යුතු කරුණු රැසක් පවතිනවා. ජානමය වශයෙන් ගත්තොත් මේ විභවය තුළ උස යාම සම්බන්ධව ජානමය වශයෙන් විභවයක් චරුවා රැගෙන එනවා‍. ඒ වගේම භාෂා කුසලතාවයන් ඇතුළු විවිධ දේ සඳහා දරුවා තුළ විභවයන් පවතිනවා. 

උදාහරණයක් ලෙස දරුවාගේ පියා සංගීතය පිලිබඳ දක්ශයෙක් නම් ඔහුගේ දරුවන් තුලත් ඒ සංගීතමය හැකියාව වර්ධනයට අවශ්‍ය ජානමය විභවතා පවතිනවා. එතැනදී දරුවාට ඒ වටපිටාව සැකසුණොත් දරුවා ක්ෂණිකව එයට යොමු වෙනවා. උපතේදීම අපේ මොළය යම් යම් දේ ගොඩනගා ගැනීමට අවශ්‍ය ජානමය විභවතාවන් (Potential) සහිතව පැමිණෙන බව කිව යුතුයි. වැඩිහිටියන් ලෙස අප කළ යුතු වන්නේ ඒ සඳහා අවශ්‍ය සාධනීය පරිසරය ලබා දීමයි. 

ඒත් දරුවන්ට හිමිව තිබෙන විෂය නිර්දේශයන්ට අනුව ඔවුන්ගේ දක්ෂතා අනුව කටයුතු කිරීමට ලැබෙන අවස්ථාව අවමයි නේද?

අනිවාර්යෙන්ම. ඒක අපේ අම්මලා තාත්තලා  වැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක්. බොහෝ දෙනෙක් හිතන්නේ දරුවාට විෂය කරුණු ලබාදීම ඇර වෙනත් දෙයක් නැහැ කියලා. අද වෙද්දී විද්‍යාව, ගණිතය වගේ විවිධ විෂයයන්වලට මුල් තැන දෙන්න අපේ මව්පියන් හුරු වෙලා. මේ විදියට විෂය කරුණු දරුවන්ට පෙවීම වෙනුවෙන් දැන් වෙළඳ පොක් නිර්මාණය වෙලා කිව්වොත් නිවැරදියි. පෞද්ගලික පන්ති මේ තරම් ප්‍රමාණයක් විවෘතව ඇත්තේ ඒ නිසයි. ඒක ඉතාම ඛේදනීය තත්ත්වයක් විදියටයි මම දකින්නේ‍.

ඒ කියන්නේ දරුවෙක්ට විෂය කරුණු ඉගැන්වීම නුසුදුසුද ?

අත්‍යවශ්‍යයි. විෂය කරුණු දැනගැනීම තුල මොළේ යම් වෙනසක් වෙනවා. මොකද මේ විෂය කරුණු වල තියෙන්නෙ ලෝකෙ සිදුවන දේවල්වල යතාර්තය. විද්‍යාව, ආර්ථිකය, භූ ගෝලය, දේශපාලනය වැනි විෂය කරුණු දරුවෙක් දැන ගත යුතුයි. ඒත් විෂය කරුණු ගැන දැනුවත් වූ පමණින් සාර්ථක දරුවෙක් බිහි වෙනවා කියන කාරණය ගැන විශ්වාසය තැබිය නොහැකියි. 

අපේ රටේ අධ්‍යාපනය යම් රාමුවකට නාභිගත වෙලා තිබෙනවා. උදාහරණයක් විදියට මායිම් ගම්මාන ගත්තොත් බොහෝ විට කියන්නේ ඒ පැතිවල ප්‍රතිඵල මදියි ඒවා වැඩි කළ යුතු බව කියනවා ඒ වගේම වැඩිම ලකුණු ගත් දරුවන් මාධ්‍ය රට ඉිදිරියට රැගෙන එනවා. අන්න ඒ විදියට අධ්‍යාපනය, ප්‍රතිඵල මතම තීරණය වන්න පටන් අරගෙන. ඒත් දියුණු රටවල ගත්තොත් දරුවෙක්ගේ ප්‍රතිපල ලබාදෙන්නේ තැපැලෙන්. නමුත් අපේ රට තුළ ප්‍රතිඵල මතම යැපෙමින් ඒ මගින් තරගකාරීත්වයක් ගොඩනගලා හොඳම ප්‍රතිඵල ලබා ගන්නේ කියන අදහස ඇතිව තරගකරුවන් රැසක් බිහිකර අවසන්. ඒ නිසා අද වෙද්දී අධ්‍යාපනය කියන්නේකරගයක් බවට පත්වෙලා. අන්න ඒ තරගකාරී අධ්‍යාපන රටාව තුළ බිහි වෙන්නේ අසහනය සහිත දරුවෝ පිරිසක්. එය සමාජයට බලපාන කරුණක්. නමුත් අධ්‍යාපනය කියන්නේ සමාජය සුවපත්ව පවත්වා ගැනීම. මනෙ නමුත් මේ ක්‍රමෙන් වෙන්නෙ සමාජ අසහනය ඉහල යන එක. කිසිවෙකුටත් උදුරාගත නොහැකි සම්පතක් ලෙස හඳුන්වන අධ්‍යාපනය සමාජ අසහනය ඇති කිරීමට හේතුවක් බවට පත් වන්නේ මේ තරගකාරීත්වය නිසයි.

වෛද්‍යතුමනි, එසේ නම් මේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථකද?

ඔව්.. උදාහරණයක් විදියට උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වූ විගස බොහෝ දරුවන් පිරිසක් මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ආකාරය මම මගේ අත්දැකීමෙන් දකිනවා. මොකද ඒ දරුවන්ගේ බලාපොරොත්තු කඩ වෙලා. නොසිතූ ප්‍රතිඵලයක් ලැබිලා. අම්මා තාත්තා අහන්නෙත් හොඳන වැඩ කළා නම් ප්‍රතිඵල මෙහෙම වුණේ කොහොමද කියලා.  ඒත් මව්පියන් වැඩිහිටියන් ලෙස අපිත් වටහා ගත යුතු කරුණු රැසක් මෙතැනදී තියෙනවා. අධ්‍යාපනයෙන් ඉහළටම යා හැකි වන්නේ ඉතාම සුළු පිරිසකට බව අද ලෝකය පිළිගන්න කරුණක්. අනෙක් පිරිසටත් තමාට ඉහළට යා හැකි හැකියාවන් බොහොමයක් තිබෙනවා. ඉගෙනීමට දක්ෂ දරුවෝ ඒ පැත්තෙන් ඉදිරියට යද්දී අනිත් දරුවන්ට ඔවුන්ගේ විභවයෙන් ඉදිරියට යාමට එය මතුකර ගැනීමට සහය ලබා දිය යුතුතේ දෙමාපිය වැඩිහිටියන් විසින් බව අමතක කරන්න එපා. 

සියලුම දෙනා දැනුම ගොඩ නැගිය යුතු නැහැ. බොහෝ දෙනා අවශ්‍ය වෙන්නේ ලෝකය ගොඩ නැගීමටයි. ආහාර නිශ්පාදනයට, යන්ත්‍ර නිශ්පාදනයට, ඇගලුම් නිශ්පාදනයට වගේ ගොඩක් දේවල් වලට දක්ෂයින් අවශයි. ගණිතය, ඉංග්‍රීසි වගේ විෂයයන් නොහැකි වීම නිසා අද සමාජයේ කෙතරම් දක්ෂයින් පසුබෑමට ලක්ව සිටිනවාද? ඒ අපේ සමාජය තුළ අපේ වැඩිහිටියන් තුළ පවතින මත නිසයි. ඒ දරුවන්ට ඔවු‍න්ගේ හැකියාවෙන් ඉදිරියට යන්න අවස්ථාව අහිමි වන නිසයි. දරුවෙකු සතු හැකියාව එක එක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට පිහිටා ඇත්තේ එක එක විදියට, එක එක හැඩයට, එක එක් තැන්වලින්. ඒ එක එක තැන්වල එක ස්වරූපයන්ගෙන් පිහිටලා තියන විබවය මතුකිරීම අධ්‍යාපනයේ පරමාර්තයක්. 

ඒත් දරුවෝ ඉගෙන නොගන්නේ උනන්දු නැති නිසා කියලා මව්පියන් තරයේ විශ්වාස කරනවා නේද?

ඒක අපේ සමාජයේ තියෙන වැරදි මතයක්. හැම අම්මා කෙනෙක්ම හිතනවා මේ ළමයා හිතුවොත් උනන්දු උනොත් මේ වැඩේ කරගන්න පුලුවන් කියලා. අපිට පුළුවන් දරුවෙකුගේ බුද්දි මට්ටම පරීක්ෂා කරන්න. ඒ සහා උපකරණ තිබෙනවා. දරුවෙකුගේ හැකියාව පවතින්නේ ඒ දරුවාගේ බුද්ධි මට්ටම අනුව බව දෙමාපියන් වටහා ගත යුතුමයි. බුද්ධි මට්ටම අඩු දරුවෙකුට අම්මා බලාපොරොත්තු වෙන උපරිමය ලබා දෙන්න නොහැකි වීම අම්මා වටහා ගත යුතුයි. දරුවන්ට විෂය කරුණු ලබා දීම මනා ශාස්ත්‍රීය දැනුමක් සහිතව ඉතාම පරිස්සමින් කළ යුතු කාරණාවක්.

දරුවෙක් ඉගෙනීමට අදක්ෂ වීම මව්පියන්ට යම්තාක් දුරකට වේදනාවක් නේද?

වෙන්න පුළුවන්. ඒත් එ දරුවා වෙනත් දෙයක් හා සම්බන්ධව අති දක්ෂයෙක් නම් අපේ මව්පියන්ට ඒ ගැන සතුටු වෙන්නත් ඒ වෙනුවෙන් සහය වෙන්නත් බැරි ඇයි? සංගීතයට, නර්තනයට එහෙමත් නැත්නම් කාර්මික අංශයට ඒ දරුවා අති දක්ෂයෙක් විය හැකියි. අන්න ඒ නිසා දරුවෙකුට විෂය කරුණු පෙවීමට පෙර දරුවා හොඳින් වටහා ගෙන ඉතා සූක්ෂමව ඒ දරුවාට හැකියාව ඇති මගට යොමු කිරීමට තරම් දෙමාපියන්න සාර්ථක විය යුතුයි. එසේ නැතිනම් එවැනි දෙමාපියන් සමාජයට දායාද කරන්නේ අසහනයෙන් පිරුණු දරුවෙක් බව අමතක කරන්න එපා. 

දරුවෙකුට විෂය කරුණු ලබාදීම පමණක් අධ්‍යාපනය නොවේ නම් අධ්‍යාපනයට ඇතුළත් විය යුතු අනෙක් කරුණු මොනවාද?

ඔව්. එතැනදී වටිනාකම් පද්ධතියක් අපි  දරුවන් තුල ගොඩනැගිය යුතුයි. විශය කරුණු ලබා දෙනවා වගේම එයත් විශාල ව්‍යාපෘතියක් විදියට හඳුන්වන්න පුළුවන්. සදාචාරය, සංකල්ප වැනි දේවල් දරුවෙක් තුළ ඉබේ ඇති වෙන්නේ නැහැ. විෂය කරුණු වලට වගේම ඒ වටිනාකම්වලටත් අපි යම් වහෛසක් දැරිය යුතුයි. දරුවෙකුට දවසේ පැය 15ක් පමණ විෂය කරුණුම ලබා දීලා ඒ දරුවාට අවුරුදු 18ක් වගේ වෙද්දී ව‍ටිනාකම් සෙවීමේ ඵලක් නැහැ. 

අද අපේ සමාජයෙන්ම උදාහරණ ගත්තොත් තරුණ දරුවෙක් විවාහ වෙද්දී වටිනාකම් දෙන්නේ මොනවගේ දේවල්වලටද කියලා හිතලා බැලුවොත් සාමාන්‍යයෙන් නම් විවාහ වෙලා ප්‍රශ්න සතුටිනි නිරාකරණය කරගෙන දරුවන් හදාගෙන ඉිදිරියට යාමක් වුවත් අද වෙද්‍දී දරුවෝ ප්‍රී ෂූට් වගේ දේවල්වලට විශාල තැනක් වටිනාකමක් ලබා දෙනවා. අන්න එතැනදී අපිට අවබෝධ කරගත හැකියි අධ්‍යාපනයට වටිනාකම් එකතු නොකිරීම නිසා ඇති වන ගැටලු මොනවද කියලා. ඒ විතරක් නෙවෙයි අද වෙද්දී මුදලට කළ නොහැකි දෙයක් නැහැ. මේ කරුණු අද වෙද්දී අපේ සමාජයෙන් ගිලිහී යනවා. එය රටක් ලෙස සමාජයක් ලෙස පවුලක් ලෙස මව්පියන් දෙස මෙන්ම දරුවන් ලෙසත් අපේ අවාසනාවක්. 

එසේ නම් දරුවන්ට අපි ලබා දිය යුත්තේ මොනවාද? 

ජීවන කුසලතා. අද වන විට ලෝකයේ නව සොයා ගැනීම් අතර 4H model of life skills කියන දේ කතා වෙනවා. එහිදී  H හතරක කුසලතා ඒ කියන්නේ,

  • හෘදය ආශ්‍රිත කුසලතා (HEART)
  • අත ආශ්‍රිතව තියන කුසලතා (HAND)
  • ඔලුව ආශ්‍රිත කුසලතා (HEAD)
  • සෞඛ්‍ය ආශ්‍රිත කුසලතා (HEALTH)

රිය පැදවීම කුසලතාවයක්. මොකද අපි උපතින්ම ඒ දේ රැගෙන එන්නේ නැහැ. මෙන්ම මේ විදියට අපි රිය පැදවීමේ කුසලතාවය ප්‍රගුණ කළත් අපි ආවේග පාලන කුසලතාව දියුණු කරලා නැතිනම් ඒ කා්ර්යය සමාජයට පමණක් නොවෙයි අපේ ජීවිතවලටත් ගැටලු ඇති කරනවා. එතැනදී අපි දරුවෙකුට ජීවත් වීමට අවශ්‍ය මූලික කුසලතා (soft skills) දියුණු කර ගැනීමට මග පෙන්වීම ඉතාම වැදගත්. එතැනදී කෙනෙක් එක්ක ගණුදෙණු කරන්න, කෙනෙක් එක්ක කතාකරන්න, ඉදිරියට යන්න අවශ්‍ය කුසලතා තියනවා. ඒ හැම කුසලතාවයක්ම දියුණු කළ යුතුයි. අන්න ඒ වෙනුවෙන් විභාග ප්‍රතිඵල ඉහළ නිංවිම කියන අදහසින් ඉවත් වෙලා සමස්ත පුරවැසියා හැදීම කියන මූලික ව්‍යාපෘතියට අධ්‍යාපන අමාත්‍යාංශය අවතීර්ණ විය යුතු කාලය දැන් එළැඹ තියෙනවා කිව්වොත් නිවැරදියි. එසේ නොවන්නට අපි එය අනාගත දරු පරපුර වෙනුවෙන් සිදු කරන අසාධරණයක් වනු ඇත. 

වෙද්‍යතුමනි අධ්‍යාපනයේ සැබෑ පරමාර්ථය කුමක්ද?

අධ්‍යාපනයේ සැබෑ පරමාර්තය සංස්කෘතිය පැවරීම දැක්විය හැකියි. ශ්‍රී ලංකාව කියන්නෙ වැඩිහිටියන්, මව්පියන් රැකබලා ගැනීම,දරුවන් රැකබලා ගැනීම, ආහාර රටාව ඇදුම් රටාව ගත්තත් ඉතාම ශ්‍රේෂ්ඨ සංස්කෘතියක ගති ලක්ශණ වලින් පෝෂිත රටක්. අපේ භාෂාව,සිරිත් විරිත් කියන මේ සියලුම කරුණුවලින් පෝශණය වෙච්ච සංස්කෘතිය පැවරීම කියන එක අධ්‍යාපනයේ පරම පරමාර්ථයක්. ඒත් අපි බටහිර සංස්කෘතියේ විවිධ විකෘතිතා වැලඳ ගැනීම නිසා සංස්කෘතිය පැවරීම අසාර්ථකයි.

සංස්කෘතිය තුලින් අපේ දරුවන් ආරක්ෂා වෙනවාද?

මෙතැනදී සදාචාර සංවර්ධන කියන කාරණාව ඉතාමත් වැදගත් වෙනවා. සදාචාරය, අවදි 3ක් යටතේ සාකච්ඡා කළ හැකියි. 

  • සදාචාරාත්මක දැනුම – ගැබැනි මවක් බසයට නැග්ග විට ඉඩ දිය යුතුයි කියන දැනුම අපට තියෙනවා. ඒ දැනුම අපි අපේ දරුවාට ලබා දිය යුතුයි. 
  • සදාචාරාත්මක හැගීම – පළමු කරුණ වුණු සදාචාරාත්මක දැනුම, හැගීමක් බවට පත් වෙනවා
  • සදාචාරාත්මක චර්යාව – දැනුම හැඟීමක් බවට පත් වීමෙන් පසුව එය ක්‍රියාවක් බවට පත් වෙනවා. 

මේ කරුණු තුනම පෝෂණය වීම සදාචාර සංවර්ධනය ලෙස හඳුන්වනවා. අවාසනාවකට අපේ රටේ අධ්‍යාපනය විෂය කරුණුවලට පමණක් සීමාවී තිබුණත් සාර්ථක පුරවැසියෙකු බිහි කිරීමට විෂය කරුණු ඉගැන්වීම හා සමාන විශාල ව්‍යාපෘතියක් ලෙස මේ සදාචාර සංවර්ධනය කිරීමත් වැදගත් වෙනවා.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී


                

ඇත්තටම රචනා ලියන්න දරුවන් කම්මැලි ඇයි…?

ගණිතය, විද්‍යාව ඉංග්‍රිසි මිසක් රචනා ලියන්නේ මොකටද..?

සමහර දරුවන් රචනා ලියන්න හරිම කම්මැලියි. කොටින්ම ගණිතමය බුද්ධිය ඉහළ මටට්මක ඇති දරුවෙක් පවා රචනාවක් ලියන්න කිව්වාම ටිකක් අදි මදි කරනවා. නමුත් රචනා ශෛලීය බාල කාලයේ පටන් ප්‍රගුණ කර නොගතහොත් උසස් අධ්‍යාපනය ලබන අවධියේදී පවා මේ දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවළිය සම්බන්ධයෙන් විවිධ ගැටළු ඇති වෙනවා.

ඇත්තටම රචනා ලියන්න දරුවන් කම්මැලි ඇයි…?

රචනාවක් ලියන්න කිව්වට දරුවා රචනාව ලියන්න කම්මැලි ඇයි කියන මූල බීජය ගැනත් අපි ටිකක් අවධානය යොමු කරමු. බොහෝ දරුවන්ට රචනාවක් ලියන්න තරම් කරුණු ඔවුන්ගේ දැණුමේ නැහැ. වට පිටාවෙන් ලබා ගත් දැණුම නැති නිසා ඔවුන්ට රචනාවක් ලියන්න ගිය විටෙක සෑහෙන ගැටලුවක් ඇති වෙනවා.

ලේඛන හැකියාව නැති නිසාත් දරුවන් රචනා ලියන්න උදාසීනතාවයක් දක්වයනවා. ලේඛන හැකියාව ලිවීමෙන්ම ප්‍රගුණ කර ගැනීම අවශ්‍යයි. ලේඛනයට පසුගාමී වුනොත් එවැනි දරුවන් තුළ ලියන කලාව නිර්මානය වෙන්නේ නැහැ.

සමහර දරුවන් දිගින් දිගට ලියන්න කම්මැලියි. ගණිතමය සමීකරණයක් විසඳනවාට වඩා රචනාවක් ලියන්න ඔවුන් කම්මැලියි. ගණිතමය සමීකරණයක තිබෙන ආදේශ කිරීමේ ක්‍රිවාවලිය රචනාවක් වෙනුවෙන් යොදා ගැනීමට අපහසුයි. ඒ නිසා රචනාවක් කියන සැනින්ම මුහුණ පුළුටු කර ගන්නා දරුවන් සිටිනවා.

ඒ වගේම අකුරු ලිවීමේ ඇති පසුගාමී බව නිසාත් රචනාවක් ලියන්න කම්මැලි දරුවන් සිටිනවා. ඔබ අතරත් එවැනි දරුවන් ඇති. ඔවුන් සමග කථා කරන විට අපුරු අදහස් තිබෙනවා. ඒවා ඉතාම නිර්මානශීලියි. ඒ වුනත් රචනාවක් ලියන විට අකුරු ලිවීමේ ඇති අපහසුතාවය නිසා එවැනි දරුවන්ට ඔවුන්ගේ නිර්මානශීලී අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව නැහැ.

රචනාවකදී කාලකළමනාකරණය අවශ්‍ය වෙනවා. අදාල වචන හෝ ලබා දෙන කාලය තුළ තුළ තමන්ගේ අදහස් නිර්මානශීලීව ඉදිරිපත් කිරීම වැදගත්. සමහර දරුවන්ට කාලය තුළ ලියන්න දෙයක් නැති නිසා පෑන කටේ ගහගෙන කල්පනා කරනවා මේ අතර සමහර දරුවන්ට කාලයට අනුව අවශ්‍ය දේ ගලපා ගෙන ඉදිරිපත් කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා ඔවුන් ප්‍රශ්නයෙන් පිට පිලිතුරු ලිවීම නිසා සාර්ථක නිර්මානයක් බිහි වෙන්නේ නැහැ.

ඉතිං රචනා ලියන්න අවශ්‍යද…?

අපේ දෙමව්පියන් වුනත් ගණිතය, විද්‍යාව වැනි විෂයන්ට දරුවන්ගේ අවධානය යොමු කරනවා විනා රචනා ලියන්න වැඩි අවධානයක් දක්වන්නේ නැහැ. ගණිතය, ඉංග්‍රිසි සහ විද්‍යාව වගේ උසස් අධ්‍යාපනයේදී රචනා ලියන්න අවශ්‍ය නැහැ කියලා ඔබ හිතනවා නම් එය අදම සිතින් ඉවත් කර ගන්න.

උසස් අධ්‍යාපනයේදී මොකද වෙන්නේ….?

රචනා ශෛලීය අධ්‍යාපනය සමග බද්ධයි. පුංචි පංතිවල ලියන වගන්තියේ පටන් උසස් අධ්‍යාපනයේදී ඔබ විසින් සපයන රචනා ශෛලියේ ප්‍රශ්න පිලිතුරුවල දක්වාම රචනා තුළින් ඔබ ලබා ඇති හැකියාව වැදගත්. නමුත් අද දවසේ පශ්චාත් උපාධිය හදාරන සිසුන් අතර පවා රචනා ලිවීමේ හැකියාව නොමැති බැව් අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා.

මේ පිලිබඳව අධ්‍යනයක් මලාවි විහ්ව විද්‍යාලයේ පැවැත්වූවා. ‘‘ඇප්ටා සෙලිමාමි “එහි ප්‍රධානී ලෙසින් කටයුතු කළා.පශ්චාත් උපාධි නිබන්ධන ඉදිරිපත් කරන සිසුන්ගේ නිබන්ධන ඇසුරින් මෙම දත්ත ලබා ගත්තා. එහිදී පෙනී ගිය අන්දමට මෙම සිසුන්ගෙන් 85% ක්ම මීට ඉහත සිදු කරන ලද නිබන්ධනයන්ගේ තොරතුරු cut & paste ක්‍රමයට ලබා ගෙන තිබුණා. බොහෝ සිසුන් තමන්ගේ ස්වාධීනව අදහස් ඉදිරිපත් කිරීමට උනන්දුවක් දක්වා තිබුනේ නැහැ. අනුන්ගේ නිගමන සහ යෝජනා ලබා ගෙන නිබන්ධනය සම්පූර්ණ කොට විභාගයේ ප්‍රතිඵල ලබා ගත්තා මිසක අලුත් යමක් සමාජයට ඉදිරිපත් කිරීමට උනන්දුවක් දක්වා තිබුන් නැහැ.

නිර්මානශීළී නැහැ…

පශ්චාත් උපාධියක් ලබා ගැනීම දක්වා යන ගමනේදී සියලු කඩඉම් ජය ගැනීමට තරම් මෙම සිසුන්ගේ බුද්ධි මටට්ම ඉහළින් තිබෙන බැව් අවිවාදයෙන්ම පිලිගත යුතුයි. නමුත් ඔවුන් අනුන්ගේ අදහස් සොරකම් කර ගැනීමට යොමු වුනේ ඇයි කියන සිදුවීම ගැනත් පසුවිපරම් කිරීමේදී මෙම තොරතුරු අනාවරනය කර ගැනීමට හැකි වී තිබෙනවා.

  • ලියන්න වෙලාවක් නැහැ
  • ලියන්න කම්මැලියි
  • ලිවීමේ හැකියාව නැහැ.

ඉතින්..අනාගතයේදී එබේ දරුවා උසස් අධ්‍යාපනය ලබන දිනක් එනු ඇති. එදාට ඔහු හෝ ඇය ක්‍රමයට අනුගත වීමට ඉඩ දෙන්න එපා. ඒ නිසා බාල කාලයේදී පටන්ම රචනා ලියන හැකියාව ගැනත් දරුවා උනන්දු කරන්න.

  • දවසේ සිදුවීම් අලලා පුංචි පුංචි වගන්ති ලියන්න දෙන්න.
  • ළමා පුවත් පතකට හෝ වෙබ් පිටුවක දරුවාගේ නිර්මාණ පළ කරන්න
  • නිතරම පොත් පත් ඇසුරින් දැනුම ලබා දෙන්න.
  • අසා ලිවීම සහ පිටපත් ලිවීම මගින් දරුවාගේ අකුරු ලියන හැකියාව ටිකෙන් ටික දියුනු කරන්න.
  • පුස්තකාල පාඪක සමාජ මගින් සංවිදානය කරන සාහිත්‍ය ඉසව් වෙනුවෙන් දරුවා සම්බන්ධ කරන්න.

කිසිම දිනක දරුවන්ගේ කියන ලියන කලාව ඔවුන්ගෙන් දුරස් කරන්න එපා. නිර්මානශිලී සිතුවිලි දරුවාගේ පැවැත්මට වගේම ඔවුන්ගේ අධ්‍යාපනයටත් හේතු සාධක වෙන බැව් දැන් ඔබට හොඳින්ම ඒත්තු ගැනෙනු ඇති.

 

 

කෙස් කලඹේ නිරෝගී බව රැකගන්න ඔබට වටිනා කරුණු 5ක්

කාන්තා රූ සපුව ගැන කතා කරද්දි පංච කාල්‍යාණයට ඇතුළත් වන එක් කල්‍යාණයක් හිස කෙස්. අද වෙද්දි තරුණ දරුවෝ එක් එක් විලාසිත පසු පස යමින් හිස කෙස් අලංකාර කරගන්නට උත්සාහ කරත් ඇතැම් විට ඒ මගින් සිදු වන්නේ හිස කෙස්වල සෞඛ්‍ය සම්පන්න බව ගිලිහී යාම විය හැකියි. හිසකෙස් රිලැක්ස් කිරීම, ස්ට්‍රේට් කිරීම, වර්ණ ගැන්වීම ඇතුලු බොහොමයක් දේ අද වන විට රූපලාවන්‍යාගාර තුළ සිදු කෙරෙනවා. බොහොමයක් තරුණ ගැහැනු දරුවන් මෙවැනි විලාසිතා කෙරේ දැඩි ඇල්මක් දක්වනවා වගේම ඇතැම් ගැහැනු මෙන්ම පිරිමි දරුවනුත් තම හිසකේ ගැලවී යාම ගැන කණස්සල්ලෙන් පසුවන අවස්ථාත් බොහෝ සෙයින් තිබෙනවා. මේ බොහොමයක් ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා කරුණු හතරක් මත අපි හිසකෙස් පිළිබඳව දැනුවත් වෙමු. 

  • හිසකේ වැඩෙන්නේ කෙසේද?

සමෙහි ගැඹුරින් පිහිටි චර්ම ස්ථරයේ පවතින රෝම කූප වලින් කෙස් හෙවත් රෝම හටගන්නා අතරම සියලුම රෝම හෝ හිසකෙස් වර්ධන චක්‍රයකට අනුව වර්ධනය වේ. වර්ධන අවදියේදී හිසකෙස් දිගින් වැඩෙන අතර කාන්තාවකගේ හිසකෙස් සදහා මෙම කාලය වසර දෙකක සිට දහයක් පමණ දක්වා විය හැකිය. ශරීරයේ වෙනත් ස්ථාන වල පවතින රෝම සදහා මෙම කාලය බෙහෙවින් කෙටි විය හැක.  වර්ධන අවදිය පසු කළ  කෙස්/රෝම මාස තුනක පමණ විවේක කාලයක් ගත කර හැලී යනු ඇත. ඕනෑම වේලාවකදී යම් අයකුගේ හිසේ පවතින කෙස් වලින් 1% පමණ හැලී යන අවදිය පසු කරණ බැවින් දිනකට හිස්කෙස් පනහේ සිට සියයක් පමණ දක්වා ගැලවී යාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.

  • හිසකෙස්වලට දිනපතා කළ හැකි සත්කාර මොනවාද?

සමබල ආහාර වේලක් – එය අත්‍යවශ්‍ය වේ. හිසකෙස් යනු අප සිරුරේ පවතින ඉතා වේගයෙන් වැඩෙන අංගයක් වන බැවින් පෝෂණ ඌණතා වලදී ඉක්මනින්ම හිසකෙස් වර්ධනය බාල වනු ඇත.

හිසකේවල පිරිසිදු බව පවත්වා ගැනීම – දිනපතා නෑම/ හිස්කෙස් සේදීම කළ හැකි වුවද දිනපතා සබන්/ ෂැම්පු භාවිතය සුදුසු නොවේ. දිනපතා නෑම කරන අයෙකු සතියකට දින දෙකක් පමණ ජලයෙන් පමණක් හිස සේදීම සුදුසුය

හිස්කබලේ සම ගැන සැලකිලිමත් වීම – සබන් වල පවතින ඉහල pH අගය නිසා හිස් කබල වියලි වීමක් සිදු විය හැක. වියලි සමක් ඇති අයකුට ෂැම්පු වඩා සුදුසු විය හැකි වුවද දිනපතා භාවිතය නුසුදුසුය. එසේම ෂැම්පු හිසකෙස් වල මුලට ආලේප කර සම්පූර්ණයෙන්ම සෝදා හැරිය යුතුය.

කන්ඩිෂනර් භාවිතය – කන්ඩිෂනර් මගින් හිසකෙස් වඩා මෘදු බවට පත් කර සේදීමේදී, වියලීමේදී හා පීරීමේදී සිදු විය හැකි හානිය අවම කරයි. කන්ඩිෂනර් භාවිත කිරීමට පෙර හිසකෙස් වල ඇති වැඩිපුර ජලය ඉවත් කරන්න. හිසකෙස් මුලට නොව, කෙස් වල අග කොටසට ඉතා සුළු ප්‍රමාණයක් කන්ඩිෂනර් තවරා විනාඩි දෙකක් තුනක් පමණ ගතවූ පසු සම්පූර්ණයෙන් සෝදා හරින්න.

තෙල් භාවිතය – කෙස් වලට තෙල් ආලේප කිරීමෙන් දිනපතා හිසකෙස් හසුරුවා ගැනීම පහසු වේ. හිස් කබලට තෙල් ආලේප කරන්නේ නම් වඩාත් සුදුසු වන්නේ නෑමට පැයකට පමණ පෙර ඇගිලි තුඩු වලින් හිස් කබල පුරා ආලේප කිරීමයි. එය තමන් කැමති පරිදි සිදු කළ හැකිය. පොල්තෙල් හිසට ආලේප කිරීමට සුදුසු වන අතර වෙළඳපොළේ ඇති බොහෝ තෙල් වර්ග හිසට භාවිත කිරීමටම නිපදවා ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති සලකුණ ඇති ආලේපන භාවිත කිරීම සුදුසුය.

හිස කේ අග කපා ඉවත් කිරීම – ඔබට දිගු කෙස් කලඹක් ඇත්නම් මාස කිහිපයකට වරක් හිසකෙස් අග පැලුණු කොටස් කපා දමන්න. එම කොටස් හිසකෙස් වල වඩාත්ම පැරණි කොටස බැවින් හානි වීමට ඇති ඉඩකඩ අධිකය.

හිස කේ  සැකසීමේදී සැලකිලිමත් වෙන්න – හෙයා බෑන්ඩ් මගින් කොණ්ඩය හසුරුවා ගන්නා විට ඉතා තදින් ගැට ගැසීමෙන් වලකින්න. එසේ තදින් ගැට ගැසුවහොත් හිසකෙස් අධික ඇදීමකට ලක්වී කැඩී යාමට ඉඩ ඇත.

හිසකේ වියලනය සහ ආලේපන – නිතරම හිසකෙස් වියලන භාවිතය, වියලනය කෙස් වලට ඉතා ළඟින් පාවිච්චි කිරීම, නිතර සැර අධික රසායන ද්‍රව්‍ය හිසකෙස් වල ආලේප කිරීම වැනි දේ මගින් හිසකෙස් වල ශක්තිය අඩුවී කැඩී යාමට ඉඩ ඇත

  • හිසකෙස් ගැලවී යන්නේ ඇයි?

හිසකෙස් වැටීමක්ද, හිසකෙස් තුනී වීමක්ද යන්න පිළිබඳව අප මූලිකව දැනුවත් විය යුතුයි‍. හිසකෙස් තුනී වීමේදී දිනකට ගැලවී යන කෙස් ප්‍රමාණය සාමාන්‍ය වුවද හිස මැදින් කෙස් තුනී වීමක් දැකිය හැකියි. දිනකට කෙස් සියයකට වඩා ගැලවී යාම සිදු වන්නේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

  • ඉස්සොරි, තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග, රක්තහීනතාව, සමහර විටමින් ඌණතා සහ ශරීර අභ්‍යන්තරයේ සමහර රෝග නිසා හිසකෙස් ගැලවී යාම සිදු විය හැක.
  • පිළිකා ප්‍රතිකාර සිදු කරන විට
  • හිසකෙස් වලට සිදු කරන සත්කාර ක්‍රම නිසි ලෙස සිදු නොකිරීම නිසා මෙන්ම එවැනි සත්කාර වලට පසු නිසි ලෙස කෙස් කළඹ නඩත්තු නොකිරීම නිසාද කෙස් ගැලවී යාම සිදුවේ.
  • සමහර රෝගී තත්ත්ව වලදී හිසේ සමහර තැන් වල පමණක් කෙස් ගැලවීම දැකිය හැක.
  • හෝමෝන ක්‍රියාකාරිත්වයේ බලපෑම නිසා හිස මැද කොටසේ කෙස් තුනී වීම කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු ගැටලුවකි. මෙය බොහෝ විට මැදි විය පසු කරන අයට ඇති වන අතර මෙහිදී පවුලේ අනෙකුත් අයට මෙවැනි තත්ත්වයක් පවතීද යන්න වැදගත්ය.
  • හිසකෙස් ස්වභාවිකවම තුනී වීම නිසා හෝ හිසකෙස් කැඩී යාම නිසා කෙස් කළඹ සිහින්ව පෙනීම තවත් සුලබ ගැටලුවකි. 
  • බරපතල රෝගී තත්ත්වයකින් පසු හිස කේ ගැලවෙන්නේ ඇයි?

ඩෙංගු, කොවිඩ් වැනි තදබල උණ රෝග/ ජීවිත අවදානමක් ඇති රෝග/ තදබල මානසික පීඩා වැනි තත්ත්ව / දරු ප්‍රසූතිය වැනි තත්ත්වවලින් පසුව අධික ලෙස හිසකෙස් ගැලවී යාම සිදු විය හැක. මෙවැනි තත්ත්වවලදී හිසකෙස් වර්ධනය වැනි අධිකව ශක්තිය වැය වන ක්‍රියාවලි තාවකාලිකව නවතී. මෙහිදී සිදු වන්නේ වර්ධනය වෙමින් පැවති හිසකෙස් විශාල ප්‍රමාණයක් විවේක ගැන්වීමකි. මෙසේ විවේක ගැන්වූ කෙස් මාස තුනක් පමණ කාලයකට පසුව ගැලවී යයි. රෝගය සුව වූ පසුව ශරීරය සාමාන්‍ය තත්ත්වයට පත් වීමත් සමග හිසකෙස් වැඩීම නැවත යථා තත්ත්වයට පත් වෙයි. එනමුත් හිසකෙස් දිගින් වර්ධනය වීමට යම් කලක් ගත වන නිසා පෙර පැවති කෙස් කලඹ ලබා ගැනීමට කාලයක් ගත වනු ඇත. ශරීරයට නිසි ලෙස පෝෂණය ලබා දීම මගින් හිසකෙස් වර්ධනයට උදව්වක් ලබා දීම හා මේ පිළිබඳ ආතතියට පත් වීමෙන් වැළකීම මෙහිදී වැදගත්ය.

  • හිසකේවලට විලාසිතා සිදු කිරීම නුසුදුසුද?

හිසකෙස් වලට කරනු ලබන රීබොන්ඩින්, රිලැක්සින් වැනි විලාසිතා වලදී සිදු කරන්නේ රසායනික ද්‍රව්‍ය මගින් හිසකෙස් වල ව්‍යුහය වෙනස් කර එහි පෙනුම වඩා ආකර්ශණීය කිරීමයි. රසායනික භාවිතය හා හිසකෙස් වල කරනු ලබන වෙනස්කම් නිසා කෙස් වඩාත් පහසුවෙන් හානි වීමට ඉඩකඩක් පවතී. මෙවැනි විලාසිතා කරන ලද කෙස් “හානිවූ හිසකෙස්” ලෙස හඳුන්වන්නේ එබැවිනි.

එහිදී අප සැලකිලිමත් විය යතු කරුණු ඇත. එනම්, මෙවැනි විලාසිතාවක් සිදු කළ යුත්තේ පළපුරුදු අය ලවා උසස් ප්‍රමිතියෙන් යුතු ද්‍රව්‍ය භාවිත කරමිනි. එම සත්කාරයට පසු පිළිපැදිය යුතු සියලුම උපදෙස් නිවැරදිව පිළිපැදීමෙන් පසු කාලීනව සිදු විය හැකි හානි වළක්වා ගත හැක. උදාහරණයක් ලෙස මෙවැනි ප්‍රතිකාරයකට පසුව යම් කාලයක් යනතුරු නිර්දේශිත ෂැම්පු භාවිතය, ගෙතීමෙන් හා ගැට ගැසීමෙන් වැළකීම යනාදිය පිළිපැදිය යුතුය. මෙවැනි උපදෙස් නොපිළිපැදීම නිසා පසු කාලීනව හිසකෙස් ගැලවී යාම සිදු විය හැක.

කාන්තා මෙන්ම පිරිමි පාර්ශවය අද වන විට හිසකේ පිළිබඳව විශාල ගැටලු රැසකට මුහුණ පා සිටින්නේ සැබවින්ම නොසැලකිලිමත්කම නිසා සහ නුසුදුසු ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරන විලාසිතා හේතුවෙන් බව විශේෂයෙන්ම පෙනී යන කරුණකි. අන්න ඒ නිසාම හිසකේවලට සුදුසු සත්කාර ලබා දෙමින් එය රැක ගැනීමට උනන්දු වීම අප කාගේත් සොදුරු පෙනුම රැක ගැනීමට අවස්ථාව උදා කර දෙයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට 


                

මත්ද්‍රව්‍ය, ඔබේ දරුවා බිලිගනීවි යැයි ඔබත් බියෙන්ද?

වර්තමානය වනවිට පාසැල් දරුවන් මත්ද්‍රව්‍ය කෙරේ ඇබ්බැහි වීම යන කාරණාව නිසා බොහෝ දෙමව්පියන් සිටින්නේ බියෙන්. දරුවන් එවැන්නකට ඇබ්බැහි වීද නැතිද යන්න නිශ්චිතව හඳුනා ගන්න තරම් ඔවුන් සතුව ඇති දැනුම ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන්ම සමාජයේ විවිධ නම්වලින් ව්‍යාප්ත වී තිබෙන මේ මත්ද්‍රව්‍ය දරුවන් බිලිගනී යැයි සැකයෙන් සෑම මවක් මෙන්ම පියෙක්ම පීඩාවෙන් සිටින බව කිව යුතුමය. 

පසුගිය දිනවල කතා බහට ලක් වූ  අයිස් කියන්නේ මොනවද?‍

අයිස් කියන්නේ සත්‍ය නාමය නොවෙයි. එය වීදි නාමය ලෙස හඳුන්වන්න පුළුවන්. එහි තාක්ෂණික නාමය Methamphetamine යන්නයි. එය ජනප්‍රියත්වයට පත්ව තිබෙන්නේ අයිස් යන නමින්.

අයිස්, එය ලබාගන්නා පුද්ගලයාගේ සිරුරට බලපෑම් කරන්නේ කොහොමද ?

ඕනෑම මත්ද්‍රව්‍යක් අපේ ශරීරයට බලපාන විදියක් තියනවා. අනිවාර්යෙන්ම පුද්ගලයාගේ කායික, මානසික සහ ජෛව රසායන ක්‍රියාවලියට බලපෑමක් කිරීමේ හැකියාවක් එහි තිබෙනවා. අයිස් දුර්භාවිත කළහොත් එය සෘජුව බලපාන්නෙ අපේ මධ්‍ය ස්නායු පද්ධතියට. මේ අයිස් එහෙමත් නැත්නම් Methamphetamine කියන්නෙ උත්තේජකයක්. එමගින් අපේ මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය උත්තේජනයට ලක්කරනවා. එහෙත් එහි ක්‍රියාකාරීත්වය සෘජු ලෙස ශරීරය‍ට බලපෑම් කරනවා. 

අද වෙද්දී බොහොමයක් දෙමාපියන් තම පාසැල් යන දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වේවි යන සැකයෙන් පසුවෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාසල් දරුවන් ඉලක්ක කරගන්නේ ඇයි?

වර්තමානය වන විට මත්ද්‍රව්‍ය අලෙවිකරන්නන්ගේ ප්‍රධානතම ඉලක්කය වෙන්නේ පාසල් දරුවන්. මොකද මේ දරුවන් කියන්නෙම අලුත් සද්වල් අතහදා බලන්න කැමති දැඩි කුතුහලයකින් සිටින කොටසක්. සාමාන්‍යයෙන් දරුවෙක් පොඩි කාලෙ ඉදලම විශේෂයෙන්ම නවයොවුන් වියට පා තැබූ ගමන්ම අපි හැමෝම උත්සහ කරන්නෙ අලුත් දෙයක් අත්හදා බලන්න. අලුත් දෙයක් කුතුහලය දනවන දෙයක් විදින්න, ලබන්න ඒ වයසෙ දරුවෝ ගොඩක් කැමතියි. ඉතින් ඒකත් එක්ක මේ මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් උත්සහ කරනවා දවසින් දවස මේ කණ්ඩායම ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය භාවිතය එක දවසකට එක පුද්ගයලයෙක්ගෙන් හරි වැඩිකරගන්න.

සාමාන්‍යයෙන් වර්ෂයකට දුම්කොල හා මද්‍යසාර භාවිතය නිසා පුද්ගලයින් 4,0000 ක් පමණ මිය යන බව දැනට සොයාගෙන තිබෙනවා. වර්ෂයකට ඒ අඩුව පිරවීමට නව කණ්ඩායමක් ඇතුළත් කර ගැනීම තමයි අලෙවිකරුවන්ගේ ඉලක්කය වී තිබෙන්නේ. ඒ නිසා එහි දී පාසල් දරුවන් ඔඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක කණ්ඩායමක් බවට පත් වෙනවා. 

ඒ කියන්නේ  සමාජය තුළ අපේ දරුවෝ අනාරක්ෂිතයි කියන එක නේද?

ඔව් වර්තමානය වනවිට දරුවන් සමාජය තුළ විවිධ හේතූන් මත අනාරක්ෂිත වෙලා තිබෙනවා. රටේ මාධ්‍ය තුලත් සමාජය තුලත් සමාජ මාධ්‍ය තුළත් මත්ද්‍රව්‍ය පිළිබඳ සාකච්ඡා වෙනවා. සමාජය තුළ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය පිළිබඳව ගොඩනගා තිබෙන්නේ මිථ්‍යා මතයක්. ඒ කියන්නේ එහි එහි සත්‍ය නම් 

කුමන මත්ද්‍රව්‍යයක් ගත්තත් ඕනෑම අයෙක් ඉන්නේ අමාරුවෙන් සහ වේදනාවෙන් සහ අපහසුවෙන්

නමුත් සමාජයේ මේ මතයට වෙනස් වූ ආකර්ෂණීය මතයක් ගොඩනඟා තිබෙනවා. එම රැවටීම්වලට දරුවන් හසු කරගන්න උත්සාහ කරනවා.  ඒ වගේම තමයි දරුවන්ගෙ පාසල් පරිසරය විශේෂයෙන්ම පාසලෙන් පිටත පරිසරය. පාසල් අවට පුංචි පුංචි කඩ තියනවා. මේ දරුවෝ බොහෝවිට මේ ආශ්‍රිතව ගැවසෙනවා. ඉතින් මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් වඩාත් සූක්ෂ්ම ලෙස  දරුවන් ඒ සඳහා යොමු කරවා ගන්නට කටයුතු කරනු ලබනවා. බොහෝ වෙලාවට මුල් දවස් දෙක තුනෙ මේවා නොමිලේ ලබාදෙන්නත් පුළුවන්. දරුවන් ඒ ආකාරයෙන් මෙයට පොළඹවා ක්‍රමක්‍රමයෙන් අලෙවි කිරීම ආරම්භ කරනවා. ඒක තමයි ඔවුන්ගේ උපාය මාර්ගය. අන්න ඒ නිසා වයස අවුරුදු 12 සිට 19 දක්වා වයස් කාණ්ඩය මෙයට යොමුවීමේ වැඩි අවදානමක් වර්තමානයේ තියනවා.

මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් ගැහැනු දරුවන්ව විශේෂයෙන් ඉලක්ක කරනවා කියන කතාවේ සත්‍යයක් තිබෙනවාද?

නැහැ. එහෙම විශේෂත්වයක් නැහැ. අපේ රටේ සංස්කෘතිය සමාජ වාතාවරණය එක්ක කාන්තාවන්/පාසල් දැරියන් මත්ද්‍රව්‍ය වලට යොමුවෙනවා හරිම අඩුයි. හරිම සුළු ප්‍රමාණයක් සිටිය හැකියි. නමුත් සමාජය තුළ ගැහැණු දරුවන් නැතිනම් කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ද සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කළත් එම තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් තමයි ති‍බෙන්නේ. අපි අර කලින් කතා කළා වගේම ගැහැනු හෝ පිරිමි හෝ දරුවෙක් මේ සඳහා යොමු වෙන්නේ ඔවුන් පසු කරන වයස් සීමාව නිසයි. 

තමන්ගේ දුව/පුතා මත්ද්‍රව්‍ය භාවිත කරන බව මව්පියන්ට හඳුනාගත නොහැකිද?

දරුවාගේ ශරීර ලක්ෂණ, හැසිරීම හෝ වෙනයම් වෙනසක් මත සැක ඇති කරගෙන සොයා බලන්න මව්පියන්ට පුළුවන්. අපේ දරුවෝ ඉන්නේ අපි හෝ අපිට විශ්වාසවන්ත අයෙක් ළඟ පමණයි. 

දරුවෙක් මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වෙලා නම්,

  • ක්‍රමක්‍රමයෙන් මාපිය ග්‍රහණයෙන් මිදී ඈත්වන්නට උත්සාහ කරනව‍ා

අද වෙද්දී බෝහෝ නිවෙස්වල දරුවන්ට වෙනම කාමර තියෙනවා. ඒකේ වරදක් නැහැ. ඒත් දරුවො මොකද කරන්නෙ, මොන වගේ තත්ත්වෙකද ඉන්නෙ කියන එක නිතර හොයලා බලන එක දෙමව්පියන් විදියට ඔබේ වගකීමක් 

  • උපාංග සමග රැ‍‍දෙමින් මව්පියන්ගෙන් ඈත් වීමට උත්සාහ කරනවා

කොවිඩ් වසංගතයත් එක්ක online අධ්‍යාපනයට යොමු වෙන්න දරුවන්ට සිදු වුණා. ඒ නිසා දරුවන්ට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් වගේම උපාංග සැපයීමට මව්පියන්ට සිදුවුණා. සමහර වෙලාවට ස්මාර්ට් ජංගම දුරකතනවල වැඩකටයුතු ගැන මව්පියන් දැනුවත් නැහැ.  අන්න ඒ වගේ තත්ත්වයන් එක්ක දරුව දෙමාපියන් එක්ක සම්බන්දතාව අඩු කරන්න උත්සාහ කරනවා විය හැකියි.

  • අධ්‍යාපන කටයුතු අඩපණ වෙනවා
  • පාසල් යාමට වෙනදා මෙන් අකැමැත්තක් දක්වනවා
  • සුවබර නින්ද අහිමි වෙනවා 

බොහෝමයක් මත්ද්‍රව්‍ය බලපෑම් කරන්නෙ අපේ මද්‍ය ස්නායු පද්ධතියට. මේ මත්ද්‍රව්‍ය වල තියන රසායන මගින් නින්ද මහන්සිය මගහරිනවා. එය  අපේ ශරීරයට දීර්ඝ කාලීනව ලොකු බලපෑමක් සිදුකරනවා. 

අයිස්වලට ඇබ්බැහි වුණු අයෙක්ගේ ජීවිත කාලය අවුරුදු දෙකකට පමණක් සීමා වෙන බව සත්‍යයක්ද?

අපිට කිසිසේත්ම කියන්න බැහැ මෙච්චර කාලෙකින් ජීවිතක්ෂයට පත්වෙනවා කියලා. ඒක තීරණය වෙන්න පුද්ගලයා මත. සමහර කෙනෙක් භාවිතයට අරන් විනාඩි කීපයකින් උනත් ජීවිතක්ෂයට පත්වෙන්න පුලුවන්. අනික් මත්ද්‍රව්‍ය වලට සාපෙක්ක්ශව අයිස් නැමති මත්ද්‍රවයයේ ප්‍රතිඵලයක් තමා එය. අනිත් අතට ඒ ඒ පුද්ගලයා ගන්න ප්‍රමාණය වෙනස්. ඒ ගන්න ප්‍රමාණය මත ශරීරය ඇතුලෙ සිදුවන ජෛව්‍ය රසායනික ප්‍රතික්‍රියා ප්‍රමාණය වැඩිවෙනවා. ඒක නිසා භාවිතයට අරන් පැය කීපයකින් හෝ කෙටි කාලෙකින් මරණයට පත් විය හැකියි. කෑම අරුචිය, කෙට්ටු වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිට මිය යා හැකියි.

තමන්ගේ දරුවා මතට ඇබ්බැහි වී ඇති බව දැනගත්තොත් මව්පියන් කළ යුත්තේ මොනවාද?

දරුවන්ගේ මව/පියා/සහෝදරයෙක් මත්ද්‍රව්‍ය හෝ දුම්කොළ ආශ්‍රිත දෙයකට හුරුවෙලා ඉන්නවනම් තමයි දරුවනුත් ඒකට ගොඩක් දුරට යොමු වෙන්නේ. පර්යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට අලුතින් මත්ද්‍රව්‍ය භාවිතයට පෙලබෙන කෙනෙක්/දරුවෙක් මුලින්ම බොහොම දෘඩ මත්ද්‍රව්‍යයකට (heavy drug) යොමුවන්නේ නැහැ. ඔවුන් ආරම්භය ගන්නේ දුම්කොළ වගේ (gateway drug) එකකින්. ඉතින් ඒ වගේ දුම්කොළ ආශ්‍රිත දෙයක් නිවෙස තුල කව්රු හරි භාවිත කරනවා නම් දරුවනුත් ඒ දෙයින් මේකට ආරම්භයක් ගන්න පෙළබෙනවා. ඒ වගේම තමයි මේකෙන් මුදවා ගන්න එකත් ඒ ඒ පවුල් වල තත්ත්වය, පසුබිම අනුව තමා තීරණය වෙන්නෙ. 

තරවටු කිරීම මගින් සමහර දරුවෝ මෙවැනි දෙයකින් මුදවා ගත්තත් සමහර දරුවන් එසේ මුදවා ගත නොහැකියි. ඒ නිසා තරවටු කිරීමකට යන්න කලින් දෙමව්පියන් ආදර්ශමත් වෙලා දරුවන් ගැන හොයලා බලලා දරුවන්ට නිසි ආදරේ දෙනවා නම් දරුවො මේ වගේ මත්ද්‍රව්‍යයකට පෙලබෙන්නෙ නැහැ.

දරුවාට අවශ්‍ය සමාජ කුසලතාවය පවුල තුලින් වර්ධනය කරන්න ඕනෙ. පවුල තුල සෙනහසින් ආදරයෙන් ඉද්දි දරුව මේවට පෙලෙබෙන අවස්තා ඉතාම විරලයි. ඒ වගේම තමයි පාසල තුලිනුත් දරුවගේ සමාජ කුසලතා වර්ධනය කරන්න ඕනෙ. ගුරුවරයගේ දෙමව්පියන්ලේ ඉදලා සියලු දෙනාම මේකට දායක වෙන්න ඕන.

දරුවන්ට තරවටු කිරීමට පෙර ඔවුන්ව දැනුවත් කර තිබීම ඉතාම වැදගත්. එක එක පාටින් එක එක වර්ණ වලින් ලොසින්ජර්, ලොලිපොප් තියනවා. මේවා සමහර විට ළමයි ගන්නවා. ඒ නිසා ඊට කලින්ම අපි පවුල තුලින් හා පාසල තුලින් දරුවා දැනුවත් කළ යුතුයි. පුතේ මේවා ගන්න එපා… සමහර මාමලා අයියලා අක්කලා නොදන්න අය දෙන ඒවා ගන්න එපා… කියලා අපි අපේ දරුවන්ව දැනුවත් කළ යුතුයි. 

දරුවන් මත් උවදුරින් මුදවා ගැනීමට අපේ රට තුළ ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයේ වැඩසටහන්ද?

නිවාරන අධ්‍යාපන අංශය මගින් ලංකාව පුරාම විසිර සිටිමන් පාසල් වල හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි වැඩසටහන් පවත්වලා දරුවන්ගෙ සමාජ කුසලතා වර්ධනය සඳහා දායක වෙනවා වගේම දැනුවත් කිරීම වැඩසටහන් පවත්වනවා. මත්ද්‍රව්‍ය  කියන්නේ මොනවද ඒවා ගත්තම මොකද වෙන්නේ කියලා අපි ඒ දරුවන් එක්ක කතා කරන්නේ නැහැ. මොකද එතනින් වෙන්නෙ තවත් පෙලඹවීමක්. ඒ නිසා දරුවන්ගේ සමාජ කුසලතා වර්ධනය කරමින් මත්ද්‍රව්‍ය කෙරේ ඇබ්බැහි නොවන මට්ටමට දරුවාගේ ආකල්ප, මානසිකත්වය සංවර්ධනය කරනවා. 

අනෙක් අතට මත්ද්‍රව්‍ය කියන්නෙම භාවිතයට යොමු වුවොත් එය මෝඩ පාඩු වේදනාකාරී දෙයක් කියන අදහස දරුවාට ඇති කරන්න ඕනි. 

දරුවන් මත්ද්‍රව්‍ය වෙත පෙළඹීමට පවුලෙ දෙමව්පියෝ,සාමාජිකයෝ යම් මත්ද්‍රව්‍ය ගැනීම හේතුවක් වන නිසාම දෙමාපියන් දැනුවත් කිරීමෙ වැඩසටහනුත් පවත්වනවා‍. දෙමව්පියන්ගෙ කුසලතා වර්දනය කරන්න වගේම දරුවන්ව මේකට යොමුනොවෙන තැනට වැඩකරන්න කළ යුතු දේවල් ගැන දෙමව්පියන්ව දැනුවත් කරන්න අප ආයතනයේ නිළදාරීන් කටයුතු කරනවා.

දරුවන් කියන්නෙ දෙමාපියන්ගෙ වටිනාම සම්පත වගේම රටේ අනාගතය. අද වන විට මත් රකුසා අපේ සම්පත එහෙමත් නැතිනම් අපේ අනාගතය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වෙනවා. අපි තනි තනිව මෙන්ම සාමූහිකවත් අපේ සම්පත රැකගන්නට ඇප කැප විය යුතුමයි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

නිලානි අලුත්ගේ මහත්මිය

පර්යේෂණ නිලධාරිනී 

අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය 


                

රටක් ලෝකයක් සුවපත් කරන බලය ඇයටය…

පවුල කියන්නේ අපේ සමාජය් පුංචිම ඒකකය. නමුත් මේ පුංචි පවුල තුලින් ඇති වෙන සාමය, සහජීවනය අනාගතයේදී සමාජයේ සංහිඳියාව ඇති කිරීමට තරම් ප්‍රබල ශක්තියක් වෙනවා. ඒ නිසාම පවුලක බිරිඳ , අම්මා…සහෝදරිය…මිත්තනිය…ලේලිය..නැන්දම්මා කියන කාන්තා චරිත ඉතාම වැදගත්.

ගැටුමක මූලාරම්භයත් ඇය විය හැකියි…..

සාමාන්‍යෙයන්  අපි කියමනට වුනත් නැන්දා , ලේලි ගැටුම ඒ වගේම නෑනාලා අතර ඇති වෙන ගැටුම් ගැන සදහන් කරනවා. නමුත් ඒවා අපි පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන යා යුතු සම්ප්‍රදායන් නොවේ.කොහොම වුනත් අද වෙන විට නම් පවුල් අතර තිබෙන නැන්දම්මා ලේලි අරගල බොහෝදුරට අඩු වී තිබෙනවා. බොහෝ නැන්දම්මලා ලේලියත් තමන්ගේ දියණිය වගේම පිළිගන්නා අවස්ථාවන් තිබෙනවා. ඒ අතරම සහෝදරයාගේ බිරිද සමග ඉතාම සමීප සම්බන්ධතාවයන් පවත්වා ගෙන යන නෑනා වරුන්ද අප අතර ඕනෑ තරම් සිටිනවා. ඒ නිසා මෙම චිරාගත සම්ප්‍රදායට අනුව කාන්තාවන් විසින් වෛරය සහ ගැටුම ඉදිරියට ගෙන යා යුතු නැහැ.

කාන්තාවගේ ප්‍රතිචාර ඉතාම වැදගත්…

පවුල තුළ ඔබ තවමත් නව යොවුන් වියේ පසුවෙන දියණියක් විය හැකියි. එසේත් නැත්නම් බිරිඳක මවක හෝ නැන්දණියකගේ භුමිකාවේ සිටිනු ඇත. මේ කොතැනක සිටියත් ඔබ පවුල සමග ගොඩ නගා ගන්නා සංහිදියාව ඉතාම වැදගත්. නිතරම ඔබ ගැන පමණක් නොසිතා මේ වහල යට ජීවත්වෙන, සාමාජිකයන් ගැනත් අවධානය දක්වන්න.

ඇහුම්කන් දෙන්නිය විය යුත්තේ ඔබයි…

පවුලක වැදගත් චරිතයක් ලෙසින් ඔබ හොඳ සවන් දෙන්නියක් වෙන්න. ඔබගේ ඇහුම්කන් දීම පවුලේ අයට වචනයෙන් කියා ගත නොහැකි බොහෝ ප්‍රහ්න වලට පිලිතුරු සපයනු ඇති. පවුලේ ප්‍රශ්නවලදී ඔබත් එහි හවුල්කාරියක් වෙන්න. ඒවාට විකල්ප විසදුම් ගැනත් ඔබගේ මට්ටමින් අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න. සක්‍රිය සවන් දීම නිසා පවුලක බොහෝ ගැටුම් පුපුරා යෑමට පෙරාතුවම විසදා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

සවන්දීම සක්‍රිය විය යුතුයි…

පවුලක් තුළ ඔබ සවන්දෙන්නියක් වූවාට බැහැ. එය සක්‍රිය සවන් දීමක් වීම වැදගත්. තවත් කෙනෙකු කියන දෙය මේ කනින් අසා අනිත් කනින් පිට කරන්නේ නම් ඔබ සැබෑම සවන් දෙන්නියක් වන්නේ නැත. සමහර විට ඔබ සවන්දෙන්නියක් ලෙසින් සිටියත් ඒ වෙනුවෙන් වූ සක්‍රිය දායකත්වයක් නැත්නම් පවුලක් තුළ සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම අපහසු වේ.

සවන්දීමෙන් ප්‍රතිචාර…

පවුලේ සාමාජිකයෙක් ඔබට යමක් කියන්නේ සැබැවින්ම ඒ ගැන ඔබෙන් ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් බව මතක තබා ගන්න. ඒ නිසා නිතරම ඔබේ ප්‍රතිචාර යහපත් වීම වැදගත්. ඔබගේ සවන්දීම තවත් පුද්ගලයෙකුට යහපත් මානසික ප්‍රතිචාරයක් වෙනු ඇත. ඉතාම සරලව කිවහොත් සියදිවි නසා ගැනීමේ අදහස් ඇති පුද්ගලයෙකු පවා යහපත් සවන් දෙන්නෙකු සමග සමීපව සම්බන්ධ වුනොත් ඒ පුද්ගලයාගේ සිය දිවි හානි කර ගැනීමේ සිතුවිලි පවා නොදැනීම දුරස් වෙන තරමටම යහපත් වූ ප්‍රතිචාර ලැබෙනවා. පසුගිය වසරේ විශ්ව විද්‍යාල සිසුවෙක් ඔහුගේ කාමරයේ තබා ගිය සටහනක මෙසේ ලියා තිබුණි.

මගේ කතාව අසන්නට කවුරුන් මුණ නොගැසුනොත් මගේ සිරුර මහවැලි ගගෙන් හමු විය හැක…ඔහු නේවාසිකව සිටියත් සමහර විට පවුලේ අය සමග එදා කතා බහ කිරීමට අවස්ථාවක් ලැබුනේ නම් මේ මානසික සිතුවිල්ල ඔහු වෙතින් දුරස් වීමට ඉඩ තිබුණා.

එදා ඔහුට වුන දෙය අද හෝ හෙට අපට අපේ පවුලේ අයෙකුට වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ ක්‍රියව සවන් දීම සමග ප්‍රතිචාර දැක්වීමටත් සූදානමින් සිටින කාන්තා චරිතයක් වන්න.

සන්නිවේදනය වැදගත්…

අද බොහෝ කාන්තාවන් ඔවුන්ගේ සන්නිවේදනය පවත්වා ගෙන යන්නේ මුහුණු පොත සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලාවලින් පමනි. මුහුණු පොතට අදහස් ලියමින් පනිවිඩ හුවමාරු කරන ඔවුන් නිවසේ සිටින මව්පියන් සමග හෝ සැමියා සමග කිසිදු ලෙසින් වාචික සන්නිවේදනයක් පවත්වන්නේ නැත. මේ නිසා ඇය පවුලෙන් විතැන් වුන හුදෙකලා චරිතයක් බවට පත් වෙනු ඇත. එපමණක් නොව ඇගේ සමීපබව ගිලිහී යෑම නිසා දූ දරුවන්ද හුදෙකලා වුන චරිත ලෙසින් වර්ධනය වීම අද දවසේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ.

නමුත් බිරිදක, මවක ලෙසින් ඔබට වගකීම් සම්භාරයක් ඇත. ඒ සියලු දෙය වෙනුවෙන් පවුල අතර පවත්නා සන්නිවේදනය ඉතාම වැදගත්. උදේ පාසල් යන්නට සූදානම් වී දරුවා කොපි පොත , පෑන පැන්සල ඉල්ලා සිටින්නේද ඔබ සහ පවුල අතර පවත්නා දුර්වල සන්නිවේදනය නිසාම බැව් සමහර විට ඔබ නොසිතනු ඇත.හෙහ අවශ්‍ය දේ ගැන දරුවන් ගෙන් ඔබ විමසා දැන ගත යුතුය. ඒ වගේම දෛනික අවශ්‍යතාවයන් ගැන කල් තබා දැණුවත් කිරීමක් ඇති වෙන්නේ පවුලක් තුළ ක්‍රියාකාරී සන්නිවේදනයක් පැවැතුනොත් පමණි.

සාකච්ඡාව ඉතා වැදගත්…

පවුලක් වුනොත් සාකච්ඡා මණ්ඩපයක් අවශයයි. ඒ මණ්ඩපයේ  සම්බන්ධීකාරක පුරුක විය යුත්තේ මවයි. ඇය දරුවන්ට එක් පාර්ශවයකින් සහ සැමියාට අනෙක් පාර්ශවයෙන් වග කිව යුතු චරිතයකි. ඇගේ හෝ සැමියාගේ මව්පියන් එකට එක්ව වාසය කරන්නේ නම් ඔවුන් ගැනත් ආරක්ෂාව සහ රැකවරණය ලබා දීම කාන්තාවගේ යුතුකමයි. ඒ නිසා පවුලක් තුළ සාකච්ඡාව බෙහෙවින් වැදගත්.මේ සඳහා බොහෝ විට ආහාර ගන්නා කාලය වෙන් කර ගැනීමට පුළුවන්. එක වහලක් යට ජීවත් වෙන සියලු දෙනා එකම වේලාවට එකම මේසයක ආාහර ගන්නේ නම් තොරතුරු සාකච්ඡාවට ගැලපෙනම තැන එතැනයි.නමුත් අද බොහෝ පවුල් තුළ එකට එක්ව ආාහර ගැනීමේ පුරුදු පවා ගිලිහී ගොස් ඇත. ඒ නිසාම තොරතුරු සාකච්ඡා කිරීමට ගැලපෙනම භුමිකාව නොදැනීම දුරස්ව ගොස් ඇති නිසා පවුලක් තුළ කාන්තාවගේ වැදගත්කම ගැනත් අමතක වී යන තැනටත් කරුනු යෙදී තිබේ. 

සමාජ සම්බන්ධතාවයන් යහපත්ව තබා ගන්න.

ඔබ නිවසේ ගේට්ටුවෙන් ඉදිරිය බලන්න. ඒ නිවස සමග සමහර විට ඔබ අමනාප ඇති. පිටුපසින් සිටන්නේද අමනාප සිත් ඇත්තන්ය. මේ අමනාපයන්ට හේතුව කුමක්ද..එක්කේ කොස් කොළ ඔබේ මිදුලට වැටීමයි. එසේත් නැතම් ඔබේ වැට මායිමේ තිබෙන පොල් ගසක ගෙඩි ඒ පැත්තට වැටීමයි. එසේත් නැත්නම් ඔබේ බල්ලා ඔවුන්ගේ ගෙවත්තේ මළ පහ කිරීමයි. මෙවැනි සිදුවීම් අපට මනා සේ කළමනාකරණය කර ගැනීමට හැකියාවක් තිබෙනවා. එසේ තිබියදී කොස් කොළයට..පොල් ගෙඩියට අසල්වැසියන් සමග අමනාප සිත් ගොඩ නගා ගැනීම අවශ්‍ය නැහැ.

එදා වැඩිහිටි මව්පියන් අපට උපදෙස් දුන්නේ හදිසයේවත් ලෙඩක් දුකක් මරණයක් ුවුනොත්  දුර සිටින නෑදෑයින්ට වඩා අසල්වැසියාගෙන් මුලින්ම උදව් ලැබෙන නිසා සාමයෙන් සමගියෙන් ජීවත් වීමේ අවශ්‍යතාවයයි. නමුත් අද ඒ වෙනුවෙන් විකල්ප තිබෙන බැව් ඔබ කියනු ඇත. ලෙඩක් වුනොත් ඇම්බියුලන්ස් එක නිවසට..මරණයක් වුනොත්  මල් ශාලාවේ තැබීම..මේ සියල්ල වෙනුවෙන් අවශ්‍ය මුදල් මිස මිනිසුන් නොවන බැව් ඔබ කිව්වත් මිනිසෙකුගෙන් මිනිසෙකුට ලැබෙන සහයෝගය වචනයෙන් විස්තර කිරීමට නොහැකිය. එසේ උදව් ලබන්නේද ඔබ ජීවත් වෙන රටාවට ලැබෙන ප්‍රතිචාර අනුවයි.

එසේ නම් කාන්තාවක ලෙසින් ඔබ පවුලක, ගමක වැදගත් චරිතයක් වුනොත් එහි අනුසස් නිසා රටක් ලෝකයක් සුවපත් වෙන බැව් අවසාන වශයෙන් කිව යුතුමය.

 

ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කිරීමට පුළුවනි..

20 වන සියවස තෙක් ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර  නොතිබුන අතර 1944 වසරේදී ප්‍රංශ ජාතික වෛද්‍යවරුන්  වන කාල්මට් සහ ගුවේනි විසින් BCG එන්නත සොයා ගැනීමත් සමග මෙම එන්නත භාවිතා කිරීම සිදු විය. අදටත් දරුවෙකු වෙනුවෙන් ලබා දෙන මුල්ම ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ BCG එන්නතයි. 

BCG එන්නත

දරුවෙකුගේ උපත ලැබීමත් සමග මුලින්ම ලබා දෙන BCG එන්නත මගින් ක්ෂය රෝගයට එරෙහිව දරුවාගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය ගොඩ නගනවා. නව ජන්ම දරුවා රෝහලෙන් පිටත් වී යෑමට පෙරාතුව මෙම එන්නත ලබා දෙනවා.වම් අත උඩට ලබා දෙන මෙම එන්නත දරුවාට වේදනාවක් නැහැ. උණ තත්වයක් ඇති වෙන්නේ නැහැ.සති 4-8 ක් අතර කාලයේදී පැසවා හෝ පැසවන්නේ නොමැතිව ගැටිත්තක් ලෙසින් දකින්න ලැබෙනවා. මෙම එන්නත ලබා දීමෙන් පසු දරුවා නාවන්නත් වුනත් පුලුවනි. සමහර දරුවන්ගේ මේ එන්නත ලබා දුන් ස්ථානය පැසවන්නේ නැහැ. නමුත් ඒ ගැන අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීමත් අවශ්‍ය  නැහැ. මේ ස්ථානය පැසවීමක් සිදු නොවුනොත් මාස අටකින් පමණ නැවතත් BCG එන්නතක් ලබා දෙනවා.

BCG එන්නත ලබා නොදෙන අවස්ථා තිබෙනවාද…?

සමහර දරුවන්ගේ උපතේදී ඇති වෙන විවිධ සංකුලතාවයන් තිබෙනවා. එවැනි දරුවන්ට ප්‍රතිජීවක (^ antibiotic & ලබා දෙන අවස්ථාවන්හිදී බී.සී.ජී එන්නත ලබා දීම ප්‍රමාද  කරනවා.

අඩු බර දරු උපත් සහිත දරුවන්ට එන්නත ලබා දීමට බාධාවක් නැහැ.

ක්ෂය රෝග විෂබීජය

ක්ෂය රෝග විෂබීජය “ මයිකොබැක්ටීරියම් ටියුබර්කියුලොල්සිස් නොහොත් AFB යනුවෙන් හැඳින්වෙනවා. වාතය මගින් බෝවන මෙම රෝගය නිසා නිරෝගි පුද්ගලයෙක් වුනත් ඉතා ඉක්මනින් ආසාදිත වීමට හැකියාව තිබෙනවා. විෂබීජය ශරීරගත වූ පමනින් ආසාදිතයෙක් වෙන්නේ නැහැ. සමහර පුද්ගලයන්ට විෂබීජයට  ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙනවා. නමුත් සමහර විට ශරීරගත විෂබීජය යම් අවස්ථාවක මතු වෙන්න පුළුවනි. සමහර විට ජීවිත කාලයටම මෙම විෂබීජයෙන් ඒ පුද්ගලයා ආසාදිත නොවන්නත් පුළුවනි.

ක්ෂය රෝගය කී විට අපේ සිහියට නැගෙන්නේ පෙනහැල්ල මුල් කර ගෙන යම් රෝග තත්වයක් වුනත් අපේ ශරීරයේ පහත දැක්වෙන ඉන්ද්‍රියන් මුල් කර ගෙනත් ක්ෂය රෝග තත්වය ඇති වෙන්න පුළුවනි.

  • ස්නායු පද්ධතිය ( මොළය සහ සුෂුම්නාව )
  • වකුගඩු
  • මුත්‍රාශය
  • වසා ගැටිති
  • බඩවැල්
  • සම

සමහරුන් ක්ෂය රෝගයට ඔරොත්තු දෙන්නත් තවත් අය ආසාදිත වෙනනත් ඇයි…?

ක්ෂය රෝග වෛරසය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය අඩු වුන විටයි. ඒ නිසා ක්ෂය රෝගය ඇති වීමට අවදානම් පුද්ගලයන් මේ අන්දමින් දක්වන්න පුළුවනි.

  • දුම්පානය
  • ප්‍රතිශක්ති ඌනතාවය සහිත පුද්ගලයින්
  • දියවැඩියාව වැනි නිදන්ගත රෝග
  • ඒඩ්ස් ආසාදිතයන්
  • මන්ද පෝෂණය

රෝග ලක්ෂණ මොනවාද…?

ක්ෂය රෝග තත්වය ඇති විට රෝගියා වෙතින් දක්නට ලැබෙන රෝග ලක්ෂණ කීපයක් තිබෙනවා…

  • සති තුනකට වඩා පවතින කැස්ස
  • සවස් කාලයේ ඇති වෙන මද උණ
  • කැස්ස සමග ලේ පිටවීම
  • ශරීර බර අඩු වීම
  • ආහාර අරුචිය
  • වෙහෙසකර බව

රෝගය හඳුනා ගැනීම…

ඉහත රෝග ලක්ෂන ඔබ වෙතින් හෝ පවුලේ සාමාජිකයෙකු හෝ වෙනත් ඇසුරු කරන පුද්ගලයෙකු වෙතින් දක්නට ලැබෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. වෛද්‍යවරයා විසින් සිදු කරන යම් යම් පරීක්ෂණ මගින් රෝග තත්වය තහවුරු කර ගැනීමට පුළුවනි.

ක්ෂය රෝග විෂබීජය විසින් ආසාදනය කරන අවයවය අනුව රෝග ලක්ෂණ ඇති වෙනවා.ස්නායු පද්ධතිය ආශ්‍රිත ක්ෂය රෝග තත්වයක් ඇති වුනොත්..

  • හිසරදය
  • ආලෝකය දෙස බැලීමේ අපහසුතාවය
  • වලිප්පුව
  • වමනය
  • සිහිමද ගතිය

කොඳු ඇට පෙළ…

ඒ වගේම යම් රෝගියෙක් නිතරම කොන්ද වේදනාව ගැන පැමිණිලි කරනවා නම් හෝ කොන්ද ක්‍රමයෙන් ඇද වෙන තත්වයක් දක්නට ලැබෙනවා නම් එය කොන්ද ආශ්‍රිත ක්ෂය රෝග තත්වයක් විය හැකියි.

මුත්‍රාශය සහ වකුගඩු…

අපේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිත ක්ෂය රෝග තත්වයක් ඇති විට මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමග රුධිරය පිටවීම සහ මුත්‍රා කිරීමේ අපහසුතාවය වැනි රෝග ලක්සණ ඇති වෙනවා.

උදරයේ නම්

යම් රෝගියෙක් උදරය ආශ්‍රිත ක්ෂය රෝග තත්වයකින් පසුවෙනවා නම්

  • පාචනය සහ රුධිරය මිශ්‍ර පාචන
  • උදරය ඉදිමීම
  • උදරයේ ගෙඩි ඇති වීම

ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කිරීමට පුළුවනි…

ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝග තත්වයක්. ඒ නිසා වෛද්‍ය  උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත්. ක්ෂය රෝග තත්වයේදී මාස හයක් පුරා ප්‍රතිකාර ර ලබා ගැනීමට වෛද්‍යවරුන් විසින් ලබා දෙන උපදෙස් අනුගමනය කිරීම ඉතාම වැදගත්. යම් ලෙසකින් අදාල කාලයේදී නිසි ප්‍රතිකාර  ලබමින් සිට අතරමගදී නවතා දැමු විට යලිත් රෝග තත්වය ඇති වීමට පුළුවනි. ප්‍රතිකාර ලබන කාලයේදී බොහෝ විට රෝග ලක්ෂණ නොමැති වන නිසා බොහෝ රෝගීන් ප්‍රතිකාර නවතා දැමීම සිදු කළත් එය සුදුසු නැහැ.

බොහෝ අවස්ථාවලදී ක්ෂය රෝගයට ගොදුරු වන්නේත් ප්‍රතිශක්ති ඌනතාවය සහිත පුද්ගලයින් වීම බැව් මුලින් සඳහන් කළා. ඒ වගේම ප්‍රතිකාර ලබා ගැනීමේදීත් මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදන, සමාජ විරෝධී කටයුතුවල නිරත , බන්ධනාගාරගතව සිටින සහ වෙනත් විවිධ හේතූන් නිසා ප්‍රතිකාර මග හරින රෝගින් සිටිනවා.

ප්‍රතිකාර අවසාන කරන විට නැවත එක්ස්රේ පරීක්ෂණයක් සහ සෙම් පටල පරීක්ෂණයක් සිදු කරනවා. රෝග කාරක තත්වයක් නොමැති නම් ප්‍රතිකාර නතර කිරීමට වෛද්‍යවරුන් විසින් තීරණය කරනවා. එතෙක් ප්‍රතිකාර ලබා ගැනීම රෝගියාගේ වගකීමක්.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි රවින්ද උඩගමගේ මහතා.

ගම්පහ දිස්ත්‍රික් රෝහල

පුතු පැටියාගේ ඇඳුම් පිරිසිදු කිරීම මට ගැටලුවක් නොවුනේ මේ නිසයි

පුතා ලැබෙන්න ඉද්දි හැම අම්මා කෙනෙක්ගේ හිතේ වගේම මගේ හිතේත් දාහක් ගැටලු තිබුණා. එයා මගේ පළවෙනි දරු පැටියා. ප්‍රසූතිය ගැන මගේ හිතේ තිබුණෙත් පුංචි බයක්. ඒත් සැමියාගේ සහයෝගයත් සොයා බැලීම් ආදරය එක්ක මගේ හිත වැටෙන හැම වෙලාවකම මම හිත හයිය කරගත්තා. අපි දෙන්නත් එක්ක එකතු වෙලා පුතාට අලුතෙන්ම ගත්ත රෙදි පිළි සේරම සෝදලා, පිරිසිදු කරලා,  මැදලා බොහොම  පිළිවෙළට රෝහලට ගෙන යන බෑග් එක සූදානම් කරගත්තා. ඒ වගේම මගේ ඇඳුම් බෑග් එකත් අපි සූදානම් කරගත්තා. 

පුතා ලැබිලා මුල් සති දෙක තුන මට රෙදි සෝදන්න අයන් කරන්න අපහසු වෙයි කියලා දන්න නිසාම ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු කළමනා සූදානම් කළා. මොකද මට අපහසු වෙලේ ඒ වගකීම දරන්න වෙන්නේ එක්කෝ මගේ සැමියට, නැත්නම් අපි දෙන්නාගේ අම්මලාට සහ තාත්තලාට. ඉතිං එයාලට මේ කාර්යය වෙහෙස කර වුණත් එයාලා බොහොම ආසාවෙන් පැටියා වෙනුවෙන් ඒ දේවල් කරන්න බලාගෙන හිටියා. අත්තම්මලා සීයලා කෙහොමත් මුණුපුරු මිණිපිරියන්ගේ වැඩ එයාලා අතින්ම කරන්න ආසයිනේ. ඒ නිසා මම එයාලට අවශ්‍ය සියලු දේ රෝහල්ගත වෙන්න කලින්ම සූදානම් කළා. ඒ වගේම මිඩ්වයිප් මිස් කියලා දීපු විදියට දරුවාගේ රෙදි හෝදද්දි දැන ගන්න ඕනේ කරුණු ගැනත් නිකං කතා බහ කරන වේලාවල්වල එයාලට කිව්වා. ඕනෙම අලුත උපන් දරුවෙක්ගේ ඇඳුම් ටික හොඳින් පිරිසිදු කරලා මැදලා ආරක්ෂිතව අසුරන්න විශ්වාසවන්ත කෙනෙක් නම් ඉන්නම ඕනේ. 

මගේ පුංචි පුතාගේ ඇඳුම් සෝදන්න මම සූදානම් කළ දේවල්

  • සේදුම්කාරක

මම සබන් කුඩු ගෙනාවේ නැහැ. මොකද සබන් කුඩු කොයිතරම් හේදුවත් රෙදි වල රැදෙනවද කියලා සැකයක් තියෙනවා. ඉතිං එ්වා  නිසා පුතාගේ සමට ආසාදනයක් ඇති වුණොත් කියලා බයක් මට දැණුනා. ඒ නිසා මම පුතාගේ රෙදි හෝදන්න ගත්තේ බේබි සබන් සහ දරුවන් වෙනුවෙන්ම සැකසුණු රෙදි සෝදන දියර.  එ් වගේම මම රෙදි සුමුදු කරන කන්ඩිෂනර් එකක් ගත්තත්, ඒක නම් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්න හිතුවේ. මොකද සුවඳ තියෙනවා කියන්නේ යම් රසායනිකයක් තියෙනවා කියන එක කියලා මම අහලා තිබුණු නිසා මම අම්මලාටත් කිව්වා රෙදි වල සුවඳ යනකම්ම හොඳින් සෝදන්න කියලා. 

  • පියන සහිත භාජන දෙකක්

පුතාගේ චූ රෙදි සහ කක්කා රෙදි වෙන වෙනම දාන්න තමයි මම මේවා දෙකක් ගත්තේ. පියන තියෙන නිසා කූඹි වගේ පොඩි පොඩි සතුන්ට ඇතුළු වෙන්න බැහැ. මේ විදියට වෙන් කරලා දැම්මම ඒවා සෝදද්දි හරිම පහසුයි. කොහොමත් රෙදි සේරම එකට දාලා සෝදන්න හොඳ නැහැ. 

  • රෙදි සෝදන්න බේසම් දෙකක්

රෙදි සෝදද්දී නම් බේසම් කීයක් තිබුණත් මදි කියලා හිතුණේ පුංචි පුතාගේ ‍රෙදි මුලින්ම සෝදන්න ගත්ත දවසේ. වතුර දාලා රෙදි ටික තෙමන්න බේසමක් වගේම සබන් ගාලා දාන්න බේසමක් මට ඕනේ වුණා. බබාගේ නැපි හොඳට දිග ඇරලා සෝදන්න ඕනේ. එකම බේසමේ තියාගෙන ඒක කරන්න බැහැ. ඒ නිසා මම බේසම් දෙකකුත් ගත්ත. ඒක කරන කෙනාගේ අවශ්‍යතාවය මත තමයි තීරණය වෙන්නේ.

  • රෙදි වේලන්න රැක් එකක් සහ අයන් කළ රෙදි අසුරන්න කබඩ් එකක්

අපි ජීවත් වෙන්නේ ජනාකීර්ණ ප්‍රදේශවල. ඉතිං ගමේ ඉන්න කාලේ වගේ ගස් අතර වැල් බැඳලා ඉර අව්ව හොඳට වැටෙන මැස්සෝ වගේ සත්තු නැති තැන් සොයාගන්න මෙහේ නම් ටිකක් අමාරුයි. ඒ නිසා පුතාගේ රෙදි වේලන්න මම රැක් එකක් මිලට ගත්තා. තාප්පේ උඩ, ගස් අතු උඩ, ගල් උඩ විතරක් නෙවෙයි පුටු උඩ දාලා පුංචි පැටියාගේ රෙදි වේලන්න හොඳ නැති නිසා තමයි මම එයා වෙනුවෙන් ඒක ගත්තේ. මොකද පුංචි දරුවෙක්ගේ රෙදි හරිම පරිස්සමට වේලගන්න ඕනේ. මම රැක් එකක් ගන්න තීරණය කළේ ඉර එළිය බොහෝ විෂබීජ ඉවත් කරන නිසා හොදින් ඉර එළිය වැටෙන තැනක පුතාගේ රෙදි ටික හොඳින් වේලගන්න රැක් එක අපට අවශ්‍ය තැනට ගෙනියන්න පුළුවන් නිසයි. ඒ විතරක් නෙවෙයි, රැට වගේම වැස්සක් ආවත් ඉක්මනින් ගේ ඇතුළට ගන්න පහසුත් නිසයි. රෑට දරුවෙක්ගේ රෙදි නිවසින් පිටත තියන්න සුදුසු නැහැ. මොකද අපි දන්නේ නැති වුණාට එක එක කෘමි සත්තු, කුරුල්‍ලෝ මේ රෙදි රැක් එක උඩට එනවා වෙන්න බැරි නැහැ. ඉතිං ඒ නිසා ඒ සතුන් අරන් එන විෂබීජ දරුවාගේ රෙදි වලටත් එනවා. ඒක අවදානමක් නිසා රැක් එක රෑට ගෙට ගන්න එක හැම අතින්ම හොඳයි කියලා මම හිතනවා. පුංචි දරුවන්ගේ විතරක් නෙවෙයි වැඩිහිටි අපේ වුණත් රෙදි රෑට ගෙට ගන්නවා නම් ඒක වඩාත් සුදුසුයි. 

ඒ වගේම පුතාගේ සෝදලා අයන් කළ රෙදි අසුරන්න මම එයා වෙනුවෙන් පුංචි කබඩ් එකක් ගත්තා. එහෙම බැරි නම් හොඳ තත්ත්වයේ ටිකක් ලොකු ප්ලාස්ටික් බොක්ස් එකක් එහෙමත් නැත්නම් බෑග් එකක් ගන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත සහ හැකියාව මත කරන්න පුළුවන් දෙයක්. මේ හාහාපුරා කියලා අපේ පවුලට එන පුංචි පැටියා නිසා ආච්චිලා සීයලා විතරක් නෙවෙයි මාමලා නැන්දලා පුංචිලත් හරි හරියට හැම පැත්තෙන්ම උදව් කළා.

දැන් ඉතිං පුතා ගෙදර ආවම තාත්තට වගේම අත්තම්මලා සීයලාටත් මේ රෙදි වගකීම පැවරෙනවා. ඉතිං මම එයාලට සායනයේදී කියා දුන්නු මේ කරුණු ගැනත් කිව්වා. කොහොමින් කොහොම හරි පුත‍ා ලැබිලා  ගෙදර ආවම තමා තේරුණේ රෙදි කොයිතරම් ප්‍රමාණයක් එයා වෙනුවෙන් දවසකට වුවමනා වෙනවද කියලා. රෑට වැඩි ප්‍රමාණයක් රෙදි එකතු වුණා. චු රෙදි කක්කා රෙදි වෙන් වෙන්ව දාපු නිසා හෝදද්දි අයෙම කාලේ ගත කරගෙන රෙදි වෙන් කරන්න අවශ්‍ය වුණේ නැහැ. චූ තැවරුණු ඇදුම් සෝදන එක අපහසු නැති වුණත් මලපහ තැවරුනු නැපිවල කහට පැල්ලමක් වගේ තියෙන නිසා ඒවා ටිකක් අතුල්ලන්න වෙනවා. ඉතිං උදේම චූ රෙදි ටික පිරිසිදු කරලා රැක් එකට දාද්දිම අර කක්කා තැවරුණු රෙදි ටික කක්කා ඉවත් කරලා පෙ‍ෙඟන්න දාලා ටික වේලාවකින් තමයි අම්මා සේදුවේ. ඒ භාජනයට විශබීජ නාශක දියර බිංදු කීපයක් දාන්න මම යෝජනා කළත් අපේ අම්මා ඒ ගැන වැඩි කැමැත්තක් දැක්වුවේ නැත්තේ හිතකර විෂබීජත් ඒකෙන් විනාෂ වෙයිද කියලා අදහසක් එකතු කරමින්. කොහොම වුණත් සායනවලදීත් විෂබීජ නාෂක යොදන්න කියලා නම් අපට උපදෙස් දුන්නේ නැහැ. ඒ නිසා රෙදිවලට උණු වතුර ටිකක් දාන්න හිතුවා. 

බබාගේ රෙදි සෝදන එක ලොකුම ලොකු වැඩක් වුනු නිසාද මන්දා බබාගේ තාත්තට නම් ඕනේ වුණේ වොෂින් මැෂින් එකට දාලා රෙදි ටික ඉක්මනින් සෝදලා ගන්න. ඒත් මේ පුංචි පැටියෙක්ගේ සුමුදු රෙදි හරිම ඉක්මනට නාස්ති වෙන්න පුලුවන් වොෂින්මැෂින් එකට දැම්මොත්. ඒ අතරේ රෙදි ඇඹරුවොත් බබත් ඇඹරෙන්න ගන්නවා කියලා කතාවකුත් ඇදිලා ඇවිත්. විද්‍යාත්මක සත්‍යයක් නැති වුණත් බබාගේ රෙදි තදින් මිරිකන්න, අඹරන්න එපා කියනවා ඇත්තේ නම් ඒ සිනිදු රෙදි නාස්ති වෙන නිසා වෙන්න පුළුවන්. බබෙක් ඉතිං කොහොමත් ඇඹරෙනවනේ. එයාට වෙන දෙයක් කරන්න බැහැනේ. මම ඒක ගැන හිතුවේ ඒ විදියට.

ඒ කොහොම වුණත් ඉතිං අපි තිරණය කළා බබාට මාස හයක්වත් වෙනකන් එයාගේ රෙදි ටික අතේ සෝදන්න. මොකද එන්න එන්නම මමත් සුව අතට හැරෙන නිසා මේ වැඩ කටයුතු මටම කරගන්නත් ඉදිරියේදී පුළුවන්කම ලැබෙනවානෙ. 

ඉතිං මම මගේ රෙදි සේදුවෙත් බබාගේ සේදුම්කාරකවලින්ම තමයි. පුතා මගේ ඇඟට තුරුළු වෙලා ඉන්න නිසා මගේ ඇඳුම් එයාගේ සමේ තැවරෙනවනේ. එතැනදී ඒක පුතාට නරකක් නොවෙන්න ඕනේ නිසා මම මගේ ඇඳුම් ටිකටත් පුතාගේ සබන්ම පාවිච්චි කළා. ඇඳ ඇතිරිලි, කොට්ට උර, නෙට් එක, දොර රෙදි, ජනෙල් රෙදි හරිම පිරිසිදුවට පිළිවෙළට තියාගන්නත් ඕනේ. ඒ විතරක් ද ජනෙල් දොරවල්, කාමරේ බිම  දූවිලි පිසදමලා පාපිසි අව්වට දාලා පිරිසුදුවට තියාගන්න එක පුංචි පුතාගේ නිරෝගී පැවැත්මට හරිම වැදගත් වෙනවා. අම්මලා තාත්තලා විදියට අපි හැමදේම කරන්නේ අපේ දරුවන් වෙනුවෙන්. අපිට කිසිම දවසක එයාලගේ අත් අතහරින්න බැහැ. අපේ පුතා ලැබුණු මේ වෙලාවෙත් අපි දෙන්නාගේම අම්මලා තාත්තලා අදටත් අපිත් එක්ක සිටීම ඒකට හොඳ උදාහරණයක්. ඉතිං අපිත් කවදාහරි ඒ වගේම වෙයි. හැම නිතරම පසුතැවීමක් ඇති නොවෙන විදියට වැඩකටයුතු සැලසුම් කරගත හැකිනම් නිදුක් නිරෝගී ජීවිතයක් අපි කාටත් උරුම කරගත හැකියි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල


                

පසු ප්‍රසව මවගේ මානසික මට්ටම පරීක්ෂා කරන්න තියෙන මෙවලම මොකද්ද?

ප්‍රීතිමත් හා වේදනාත්මක අත්දැකීමක් වන ප්‍රසූතියට මවක් මුහුණදීමට සූදානම් වන්නේ පූර්ව ප්‍රසව සමයේ ඉඳන්. දරු පිළිසිඳ ගැනීමක් කියන්නේ කාන්තාවකට තම ස්වාමිපුරුෂයාට වගේම පවුලට අසල්වැසි ඥාති මිත්‍රාදීන්ට ඒ කියන්නේ වර්ග පරම්පරාවටම ප්‍රීතිමත් කරුණක්. මේ සඳහා පූර්ව සූදානම වගේම එතැන් සිට අත්දකින සියලු දේ සහ මවක අත්දකින මිහිරි හෝ අමිහිරි අත්දැකීම් ප්‍රසවයට පමණක් සීමා නොවී ප්‍රසූතියට පසුව එළඹෙන පසු ප්‍රසව සමය දක්වා ඉන් ඔබ්බට විහිදී ගොස් ජීවිත කාලෙටම බලපාන්නක් විය හැකිය. එසේ හෙයින් පූර්ව ප්‍රසව තුළ මවකට ලබා දෙන අත්දැකීම් ඇගේ ජීවිතයට ධනාත්මක සිතුවිලි වලින් පිරුණු එකක් කරනට උත්සාහය දැරිය යුතුය. ඒ සඳහා මවට උදවු කිරීම උනන්දු කිරීම වගේම ජීවිතයට යහපත් ලෙසින් මුහුණ දීම අගය කිරීම යන්නත් ඇයට වැදගත් වගේම එය ඇයගේ ප්‍රබෝධයට හේතුවනවා නිසැකයි.

ගර්භනී කාලය තුල සිදුවන ශාරීරික වෙනස්කම් සඳහා හේතුවන හෝමෝන ක්‍රියාවලි පිළිබඳ මව මෙන්ම පවුලේ සමීපතමයන් දැන සිටීම මගින් ඇයට ඇයගේ ශාරීරික වෙනස්කම් සහ අත්දැකීම් සිදුවන අපහසුතා වේදනා විඳ ගැනීමට ඒවා සදහා ශක්තියෙන් යුතුව මුහුණ දීමට ඇති හැකියාව වර්ධනය වනවා. මේ ශක්තිය මගින් ඇය ප්‍රසූතියට මුහුණ දෙනවා. ප්‍රසූතිය කියන්නේ මිහිරි වුවත් විඳ දරා ගත යුතු ප්‍රබලතම වේදනාත්මක අත්දැකීමක්. මේ වේදනාව සමගින් ඇයට හිමිවන ප්‍රතිඵලය අලංකාර එකක් වුන එයින් පස්සේ ඇයගේ සිතට දැනෙන හැඟීම් වගකීම් කාර්යභාර අතර ඇය බරපතළ ලෙස අතරමං වනවා. මේ මොහොත දරා ගන්නට ඇයට ලැබෙන ශක්තිය අවස්ථාවන් අනුව ඇය එය දරාගන්න උත්සාහ කළත් මුහුණ දෙන්නට සිදුවන සිදුවීම් හෝ බලාපොරොත්තු බිඳ වැටීම් වැනි කරුණු හේතු කොට ගෙන ඇයගේ මානසික සෞඛ්‍ය  බිඳ වැටීම සිදු විය හැකියි.  පිටතින් සිටින අප දකින තරමට එය එතරම් බරපතල හේතුවක් නොවුණත් ඇය එය බරපතළ තත්ත්වයක් ලෙස දකිනවා වන්නට පුළුවන්. ප්‍රසූතියෙන් පසු ඇති වන කායික අපහසුතා මැද ඇයට එය දරා ගැනීමට අපහසු විය හැකියි. 

එසේම ගබ්සා වීමක්, මළ දරු උපතක් වැනි බරපතළ තත්ත්වයක් වගේම මවට පැවති අධික රුධිර පීඩනය, හෘද රෝග තත්ත්වයක් හෝ ගර්භ වලිප්පුව වැනි තත්ත්වයක් වුවත් මවට තාවකාලික හෝ ස්ථිර වශයෙන් වුවද  මෙසේ මවගේ මානසික තත්ත්වය දුර්වල වීමට හේතුවක් විය හැකිය. තවද මෙවන් මොහොතක පවුලේ සමීපතමයෙක්ගේ වියෝවීමකට බලාපොරොත්තු රහිත අවස්ථාවකදි මුහුණ දීමට සිදු වීම වැනි තත්ත්වයකදී වුවද මවට තදබල මානසික තර්ජනයක් එල්ලවිය හැකි අතරම පවුලෙන් ලැබෙන සහය, සැලකිල්ල අඩු බවක් දැනීම වගේම මේ සමයේ වෛද්‍ය කාර්ය මණ්ඩල හා නිවැසියන් අතර ඇතිවන මත ගැටුම් ද මවගේ මානසික තත්ත්වයට බරපතර තර්ජනයක් එල්ල කළ හැකි තත්ත්වයන් ය.

එසේ හෙයින් වගකීම් සම්භාරයක් පැවරී ඇති මොහොතක ඇයට සමීපව කටයුතු කිරීම ඇගේ අඩුපාඩු ඉවසා ඇය සමඟ ළඟින් සිටීම වගේම ඇගේ සිතැඟි තේරුම් ගෙන කටයුතු කිරීම වටී. දහසක් රාජකාරි මධ්‍යයේ සිටිය ද රෝහල් කාර්ය කාර්යමණ්ඩලය වෙතින් මවකට ලැබෙන කාරුණික වචන පවා ඇයගේ පිඩනය අවම කිරීමටත් මානසික තත්ත්වය ප්‍රබල ලෙස නංවන්නටත් හේතුවක් වෙනවා. මෙසේ ඇය ගැන දක්වන ආදරණීය බව ඇයට ලැබෙන මානසික සහනයට ප්‍රබල හේතුවකි.

මෙවන් වටපිටාවක් තුළ පසු ප්‍රසව සමයට පිවිසි ඇය තුළින් සතුට සැනසුම දැකිය හැකිද යන්න විමසා බැලීම අප සැමගේ වගකීමකි. මෙසේ හෙයින් ඇයට කරදරයක් නොවන ලෙසට ඇයට සහාය දීම ,උදව් කිරීම වගේම අවශ්‍ය තැන්වලදී දැනුමින් සන්නද්ධ කරමින් ඇය අසල රැඳී සිටීම ඉතා වැදගත් වේ. 

කෙසේ වුවද ප්‍රසූතියත් සමඟම මවක් මානසික පීඩනයකට ලක් වීම විය හැකියි. එහෙත් එක් එක් මව්වරුන්ගේ දරාගැනීමේ ශක්තිය හා ඇයට සැපයෙන පහසුකම්, උදව් අනුව ඇය එයට අනුගත විය හැකියි. එය එසේ වුවත් ප්‍රසූතියෙන් පසුව මවකගේ මානසික මට්ටම මැන බැලීමට එඩින්බරෝ පසු ප්‍රසව අවපීඩන මාපකය උදව්කර ගැනෙනවා. ප්‍රසුතියෙන් මුල් දිනවල මවක් තුළ යම් යම් සුළු වෙනස්කම් දැකිය හැකි වුවත් ටික දිනකින් ඒ සියලුල වෙනස් වන්නේ ඇය එයට මුහුණ දීමට ගොඩනගා ගන්නා ශක්තිය අනුවයි. එසේ හෙයින් මුල් දිනවලට වඩා පසුව ඇගේ මෙම තත්ත්වයේ යහපත් වෙනස්වීමක් දැකිය හැකි වෙනවා. එහෙත් එසේ නොවන මව්වරු හඳුනා වෛද්‍ය උපදෙස් සඳහා යොමු කිරීමත් අවශ්‍ය ප්‍රතිකාර උපදෙස් ලබාදෙන බවට වග වීමත් අප සැමගේ යුතුකමක් මෙන්ම මවගේ තත්ත්වය පරික්ෂා කිරීම සඳහා සති 4 – 6 අතර කාලය වඩාත් සුදුසු වේ. 

එඩින්බරෝ පසු ප්‍රසව අවපීඩන මාපකය 

මෙහි ප්‍රශ්න 10ටම පිළිතුරු ලබාදිය යුතුයි. මෙයින් ලැබෙන ලක්ණු මට්ටම අනුව අදාල මව මනෝවෛද්‍ය උපදෙස් වෙත යොමු කරන්නේද යන්න තීරණය කෙරේ.  ඊට අමතරව දහවන ප්‍රශ්නය යනු බරපතල ලෙස මව අවපීඩනය ඇති අවස්ථාවක් පෙන්නුම් කරන එනම් මවට ජීවිතේ එපා වන, සියදිවි නසා ගැනීමේ අදහසක් ඇතිව සිටින විට හැඟවෙන ප්‍රශ්නයක් හෙයින් මෙම ප්‍රශ්න ප්‍රශ්නයට පිළිතුර ලෙස නිතරම පාහේ හෝ සමහරක් විට ඇති වූවා යැයි ලකුණු කර ඇත්නම් එම මව පිළිබඳ ඉතා ඉක්මනින් විමසිලිමත් වී ඇයගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට පියවර ගත යුතුයි‍. එසේ හෙයින් එම මව මානසික රෝග වෛද්‍යවරයා වෙත යොමු කිරීමත් අවශ්‍ය පරිදි පසුවිපරම් කිරීමත් කළ යුතුමය. 

එඩින්බරෝ පසුප්‍රසව අවපීඩන මාපකය 

  1. පසුගිය සතිය තුළ, ඔබට සිනාසීමටත්‌, යමක සිනහව උපදවන සුලු පැත්ත දැකීමටත්‌ කොපමණ දුරට හැකිවූයේද??
  • මට මීට පෙරත්‌ හැකිවූ පමණින්ම
  • ඉස්සර තරම්ම හැකිවූයේ නැත
  • කොහෙත්ම ඉස්සර තරම්ම හැකිවූයේ නැත
  • නැත, කිසිසේත්ම හැකිවූයේ නැත

2. යමි යම්‌ දේවල්‌ ගැන සතුටු සිතින්‌ පුල පුලා බලාසිටීමට පසුගිය සතිය තුළදී ඔබට කොපමණ දුරට හැකිවූයේ ද?

  • මා මීට පෙර සිටි තරමටම
  • වෙනදාට වඩා අඩුවෙන්‌
  • ස්ථීරවම වෙනදාට වඩා අඩුවෙන්‌
  • නැත, කොහෙත්ම නැති තරම්

3.පසුගිය සතිය තුළ යමක් වැරදුණු විට ඔබ අනවශ්‍ය ලෙස ඔබටම දොස්‌ පවරා ගත්තෙහි ද?

  • ඔව්‌, සැමවිටම වාගේ
  • ඔව්‌, සමහරවිටෙකදී
  • ස්ථ්රවම වෙනදාට වඩා අඩුවෙන්‌
  • නැත, කොහෙත්ම නැත

4.පසුගිය සතිය තුළ, ඔබ හේතුවක්‌ නොමැතිව හිත කරදර කර ගනිමින්‌ හෝ කුමක්‌ හෝ වෙයිදෝ යන සැකයෙන්‌ පසුවුනෙහි ද?

  • නැත, කොහෙත්ම නැති තරම්
  • බොහෝම කලාතුරකින්‌ පමණි 
  • ඔව්‌, සමහර විටෙක
  • ඔව්‌, නිතරම වාගේ 
  1. පසුගිය සතිය තුළ, ඔබ කිසිම සැලකිය යුතු හේතුවක්‌ නොමැතිව බියටත්‌ කලබලයටත්‌ පත්වූයෙහි ද?
  • ඔව්‌, විශාල වශයෙන්‌ 
  • ඔව්‌, සමහර විට 
  • නැත, එතරම්‌ නැත 
  • නැත, කිසිවිටකත්‌ නැත 

6.පසුගිය සතිය තුළ ඔබ එදිනෙදා ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දුන්‌ ආකාරය ගැන ඔබට කුමක්‌ කිව හැකි ද?

  • බොහෝ විට මට ඒවාට සාර්ථකව මුහුණදීමට හැකිවී නැත. 
  • සමහර විට වෙනදා තරම්‌ හොඳින්‌ මා එච්වාට මුහුණ දුන්නේ නැත. 
  • මම බොහෝ විට ඒවාට හොඳින්‌ මුහුණ දුන්නෙමි. 
  • මම වෙනදා මෙන්ම හොඳින්‌ ඒවාට මුහුණ දුන්නෙමි. 
  1. පසුගිය සතිය තුළ, ඔබ නින්දට වැටීමට පවා අපහසු වන තරමට අසතුටෙන් පසුවූයෙහි ද?
  • ඔව්‌, බොහෝවිට
  • ඔව්‌, සමහරවිට
  • ඔව්, ඉඳහිට අවස්ථාවල දී පමණක්‌ 
  • කිසිවිටෙක එසේ වූයේ නැත 
  1. පසුගිය සතිය තුළ, ඔබ දුකෙන්‌ හෝ සිත්තැවුලෙන්‌ හෝ සිටියෙහි ද?
  • ඔව්‌, නිතරම වාගේ
  • ඔව්‌, බොහෝ විට
  • කලාතුරකින්‌ පමණක්‌
  • නැත, කිසිවිටක නැත 

9. පසුගිය සතිය තුළ, ඔබ අසතුටින්‌ සිටීම නිසා හැඬූ අවස්ථා තිඛේ ද?

  • ඔවි, නිතරම වාගේ
  • ඔව්, බොහෝවිට
  • ඉඳහිට පමණයි.
  • නැත කිසිවිටෙක නැත

10. පසුගිය සතිය තුළ ඔබටම හානියක්‌ කර ගැනීමේ සිතුවිලි ඔබට කොතෙක්‌ ඳුරට ඇතිවූයේ ද?

  • ඔව්‌, නිතරම වාගේ ඇතිවිය 
  • ඔව්‌, සමහර විට පමණක්‌ ඇතිවිය
  • ඉතාමත්‌ කලාතුරකින්‌ පමණක්‌ ඇතිවිය
  • නැත, කිසිවිටක ඇති වූයේ නැත

ප්‍රශ්න 10 කින් සමන්විත මෙම පත්‍රිකාව මවට ලබා දී ඇයට එය කියවා සෑම ප්‍රශ්නයකටම වඩාත් සුදුසු පිළිතුර තේරීමට පහසුකම් ලබා දිය යුතුය. අන් අයගේ උදව් නොමැතිව ඇයගේ ම සිතැඟි අනුව මෙය ලකුණු කරන්නට ඉඩ ලබාදී පසුව ඒ සඳහා ඒ ලබාදුන් උත්තර අනුව ඊට ලකුණු ලබා දීමක් සිදු කරයි.

අදාල මවගේ මානසික මට්ටම හොඳ නම් ලකුණු 0 ලෙසින් ලකුණු දමා දීම සිදු කෙරෙනවා. රෝග ලක්ෂණවල උග්‍ර බව වැඩි වීමේ පිළිවෙළ අනුව පිළිතුරු සඳහා 0, 1, 2, 3 ආදී ලෙසින් ලකුණු ලබා දීම සිදු කෙරෙනවා. මෙය ලකුණු කිරීමට සාමාන්‍යයෙන් කාලය විනාඩි 5ක් පමණ කාලයක් ගතවිය හැකි අතරම ලකුණු කිරීමෙන් අනතුරුව ලකුණු ලබා දීම සිදු කෙරෙනවා. ඒ අනුව අවසාන ලකුණු එකතුවෙන් ඇගේ මානසික මට්ටම පිළිබඳ අදහසක් ලබා ගත හැකිය‍.

සෑම ප්‍රශ්නයකටම පිළිතුරු හතරක් ලබා දී ඇති අතර ඒ පිළිතුරුවලට යම් මවක් නමයක් හෝ ඊට වැඩි වශයෙන් ලබා ගත් විට මව මානසික ගැටලුවක් සිටින බව තහවුරු වන අතරම ඇයව මානසික වෛද්‍ය සායනයක් වෙත යොමු කළ යුතුය. ඊට අමතරව අවසාන ප්‍රශ්නය යනු බරපතළ මානසික ගැටලුවක සිටින අවස්ථාවක් පෙන්නුම් කරන එනම් පිළිතුර අනුව මවට ජීවිතේ එපා වන ජීවිතය අහිමි කර ගැනීමට සිතෙන බව හඟවන ප්‍රශ්නයයි. 

මෙය මවගේ මානසික අවපීඩනය හඳුනාගත හැකි පූර්ව මෙවලමකි. මානසික රෝග හඳුනාගැනීමට අපහසුය. කෙසේ වෙතත් මවකගේ ජීවිතේ වටිනාකම හැඳින පවුලේ සතුට රඳා සිටීමට මවගේ සෞඛ්‍ය නංවා එහි කොටස් කාරයකු වෙන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

පුංචි බබාට කිරි හිර වෙනකොට කොයි අම්මද බය නැත්තේ?

උත්තරීතර මාතෘත්වය හා බැඳුණු මව්කිරි කියන්නේ අති උතුම් මවු සෙනෙහසක බැඳීම තිර කරන හා ළදරුවාගේ පෝෂණය සම්පූර්ණයෙන් හිමිකර දෙන ප්‍රබලම සාධකය යි. මේ මගින් වර්ධනය ප්‍රශස්ත කරනවා පමණක් නොව මව් දරු සබඳතාව වගේම සුරක්ෂිතභාවය තුළ මුල් ළමා වියේ සත්කාරය තුළ වූ ප්‍රබලම බලපෑම එල්ල කළ හැකි වූ හැකියාවෙන් යුක්තයි. මේ නිසා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබන මව්කිරි අලුත උපන් දරුවන් එක්ක ගලපගන්න කොට අම්මලාට ඇතිවන ප්‍රශ්න ගැටලු බොහොමයි. ඒ අතරින් එකක් තමයි මේ කිරි හිරවීම කියන්නේ.

කිරි හිරවීමට විශේෂිත හේතුවක් විදියට දරුවාගේ තල්ලේ පිහිටි අසාමාන්‍යතාවයන් දැක්විය හැකියි. ඒ කියන්නේ තල්ල ඇතුළතින් බෙදී පවතින නිසා දරුවා උරා බොන කිරි උගුර දක්වා ගමන් කරන විට හිර වීමකට ලක් විය හැකිය. මේ තත්ත්වය දැක ගත හැකි වන්නේ දරුවා මුඛය විවෘත කර අඬන විටකදීය. එවැනි තත්ත්වයක් නිරීක්ෂණය වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. එවිට වෛදයවරයා විසි දරුවා පරීක්ෂ කර අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම වෙත යොමු කරනු ඇත. වෛද්‍ය උපදෙස් මත එය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය ශල්‍යකර්ම සඳහා යොමු විය හැකිය.

මෙවැනි අසාමාන්‍ය තත්ත්වයක් හැරුණු කොට  කිරි හිරවිම සඳහා විශේෂයෙන් බලපාන්නේ කිරි දීමේදී ඇතිවන වෙනස්කම් නිසා ඇතිවන ගැටලුය. 

කිරි දෙන ඉරියව්ව – දරුවාට කිරි උරා බීමට හැකි වුවද ඉතා වැදගත් වන්නේ පියයුරට දරුවා ස්ථාපිත වන ක්‍රමයයි. වැරදි ඉරියව්වේ පිහිට කිරි බොන විට දරුවාට හොඳින් කිරි ලැබෙන්නේ නැහැ. එසේ වන්නේ නිෂ්පාදනය වූ කිරි ගබඩා වී ඇති ඇරියෝලාව කොටස දරුවාගේ මුඛයට ඇතුළු නොවීම නිසා කිරි පිටතට එ්ම හොඳින් සිදු වන්නේ නැහැ. මෙසේ හෙයින් දරුවා පියයුර පුඩුව පමණක් ඉරීම නිසා දරුවාට කිරි පෙවෙන ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ. වැඩි වශයෙන් දරුවාට පෙවෙන්නේ වාතය නිසා උදරය පිපී වාතය පිටවන විට ඒ සමග කිරි පිටවීම නිසාත් කිරි හිර වීම සිදු විය හැකිය. මෙහි ඇති භායානක තත්ත්වය වන්නේ කිරි ස්වසන මාර්ගයට ඇතුළු වීම නිසා හුස්ම ගැනීම අපහසු වී  ජීවිත අවදානමකට වුවද ලක්විය හැකි වීමයි. ඒ නිසා මව්කිරි දෙන සෑම මවක්ම දරුවා නිවැරදි ස්ථාපිතයේ පිහිටිව මව්කිරි ලබාදීම ගැන අවධානය යොමු කළ යුතුය. 

දරුවා හඬද්දි කිරි දීම – බොහෝ දරුවන් හඬන විට මව්වරුන් සෑම විටම සිතන්නේ කුසගින්නේ දරුවා සිටින බවයි. ඒ සිතුවිල්ල නිසා හඬන සෑම විටම කිරිදීමට මව්වරුන් පෙළඹෙනවා. මෙවන් අවස්ථාවක දරුවා හඬමින් සිටිය දී කිරි දීමේදී කිරි ස්වසන මාර්ගයේ ගමන් කිරීමට ඉඩ තියෙනවා. එසේ හෙයින් එවන් අවස්ථාවක දරුවා සන්සුන් කර ගැනීමෙන් තොරව කිරි දීමට යාමෙන් දරුවාට කිරි හිරවීමට හැකි හෙයින් දරුවා නොසන්සුන්ව සිටින සෑම විටදී කිරි දීමට පෙර දරුවා සංසුන් කර ගැනීම වැදගත් වෙනවා.  කෙසේ වුවද දරුවා බඩගින්න නිසා හඬන අවස්ථා හඳුනා ගැනීමට මවුවරුන් සමත් විය යුතුය. දරුවා කිරි ඉල්ලන වාර ගණන, වේලාවන් මෙන්ම කිරි අවශ්‍යතාවලදී දරුවාගේ හැසිරීම යන කරුණු අධ්‍යයනය කර තිබීමෙන් හඩන සෑම අවස්තාවකදීම දරුවාට කිරි ලබා දිමට සිදු නොවන නිසාත් මේ තත්ත්වය වළක්වා ගත හැකිය.

සෑම කිරි වේලක් අවසානයේදීම ගුඩුස් යැවිම – සෑම කිරිවැල් අවසානයේදීම දරුවාට පෙවුණු වාතය නිවැරදි ස්ථාපිතයක තබා ඉවත් කළ යුතුය. එසේ නොවන විට දරුවා කිරි බොමින් සිටි අතර  ගුඩුස් යාමක් සිදු වීම නිසාත් කිරි බොමින් සිටි දරුවාට කිරි හිරවීමට ඉඩ ඇත. ඒ නිසා සෑම කිරි වේලක් අවසානයේදීම ගුඩුස් යැවීම නිවැරදිව කරමින් පෙවුනු වාතය ඉවත් කළ යුතුය. එසේ නොමැති නම් ඊට අමතරව නින්දේදී වුවද පෙවුණු වාතය පිටතට පැමිණීමේදී ඒ සමග කිරිත් පිටතට පැමිණිය හැකියි. එවිට නින්දෙන් දරුවාට කිරි හිර වීමට අවධානමක් ඇත. 

ආහාර මාර්ග පද්ධතියේ ඇති අසාමාන්‍යතා –   sඇතැම් අවස්ථවල කිරි වමනය ඇති වීමට හේතු විය හැකි තත්ත්වයකි. එහිදී කිරි වමනය වන විට කටින් බේරී ඉවත් නොවී යම් පීඩනයකින් විඳින ආකාරයට කිරි වමනය ඇති වේ. එවැනි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුමය. මෙවන් තත්ත්වයකදී දරුවා පැත්තට හරවා තැබීම උචිතය. එවිට ස්වසන මාර්ගය තුළට කිරි ගමන් කිරීම පාලනය වීමට ඉඩකඩ ඇත. 

මව අවිවේකී වීම – ප්‍රසූතියෙන් පසු මවක් ගත කරන්නේ අවිවේකී  වගේම අපහසුතාවලින් පිරිණු කාලයකි. ඒ නිසාම මව නිදන ඉරියව්වේ සිට දරුවාට කිරි ලබාදීමට පෙළඹිය හැකිය. එසේ හෙයින් ප්‍රසූතියෙන් පසු මවකට සුවපහසු බව මෙන්ම ‍විවේකය උපරිමයෙන්ම සලසා දිය යුතුය. එවිට මවට තම නින්ද පාලනය කරගනිමින් ආරක්ෂාකාරී නිවැරදි ඉරියව්වල හිදිමින් දරුවාට කිරි ලබාදිය හැකිය. එහෙයින් මව ගේ කටයුතු සඳහා මවට උදව් කිරීමත් මවට විවේකය ලබා ගැනීමට හැකි ආකාරයෙන් උදව් කිරීමත් මවට අවිවේකය මහන්සිය මගින් ඇතිවන නින්ද පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙසේ හෙයින් දරුවෙකු ප්‍රසූත කළ මවක් සම්බන්ධයෙන් අප සලකා බැලීමේදී ඇයට මව හා දරුවා අතර කාර්යභාරයට එහා ගොස් කිරීමට සිදුව ඇති නිවසේ අනෙකුත් වැඩ කටයුතු කෙරෙහිද අපගේ අවධානය යොමුවිය යුතුය. එසේ හෙයින් ගර්භනී කාලයේ සිටම ප්‍රසූතිය සැලසුම් කිරීමත් ප්‍රසූතියෙන් පසු මවගේ දරුවාගේ මෙන්ම පවුලේ කටයුතු වලදී මවට සහනයක් සලසන අයුරින් කටයුතු කිරීමට නිතැතින්ම නෑදෑ හිතමිතුරන් උනන්දු විය යුතුය.

වේගයෙන් කිරි ගලා ඒම – දරුවන් පමණට වඩා කිරි උරා බීම හෝ මවගේ කිරි ගලා ඒමේ වේගය වැඩි නිසා මුවට ගත් කිරි ගිල ගන්නට නොහැකි වීම නිසා කිරි හිරවීමට ලක්වෙන ආකාරය ඇතැම් අවස්ථාවලදී දැක ගත හැකියි. එවැනි අවස්ථාවකදී කිරි ගලා ඒමේ වේගය පාලනය කර ගැනීමට පියුර මත යම් පීඩනයක් යෙදිය හැකිය. 

පමණට වඩා කිරි උරා බීම – පමණට වඩා කිරි උරා බීම නිසා පමණට වඩා බර පිරී කිරි වමනය සේ පිටවන අවස්ථාවේදී වුවද එම වමනය නිසා කිරි හිරවීම සිදුවෙනවා.

මෙසේ සලකා බැලීමේ දී කිරි හිරවීමට හේතු වන සියලු කාරණා පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ පූර්ව ප්‍රසව සමය තුළ දී සිටයි.

  • කිරි දීමේ ඉරියව් හා ස්ථාපිත වල වැදගත්කම
  • කිරි දෙන කාලය තුළ මවගේ ඉවසීම
  • කිරි දීමට ගත කරන කාලය
  • කිරි වේල් අතර පරතරය 
  • අවශ්‍ය පමණට කිරි බීමට අවස්ථා සැලසීම 
  • කිරි බීමේදී ඇති වන අඩුපාඩු නිසා ඇතිවන තත්ත්වයන් වළක්වා ගැනීම
  • දරුවාගේ මුඛය තුළ හෝ ආහාර මාර්ග පද්ධතිය තුළ ඇතිවිය හැකි අසාමාන්‍යතා
  • කිරි නිෂ්පාදනය හා කිරි ගලා ඒම 

යන කරුණු පිළිබඳව සැලකිලිමත් වීම වගේම අවශ්‍ය සියලු අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමත් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමත් වැදගත් වෙනවා. එසේම ඒ පිළිබඳ පුහුණු සෞඛ්‍ය නිලධාරියෙකුගේ මගපෙන්වීම යටතේ උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. තවද ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ ද සහය ලබාගැනීම මගින් නිරතුරුවම ඔබට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හිමි වන අතර එයද මහත් පිටිවහලක් වනු ඇත.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

බය නැතිව පුංචි පැටියා නාවන්න, නාවන හැටි සරලවම ඉගෙන ගමු

පුංචි පැටියෙක් කුසට ආ බව දැනගත් මොහොතේ සිටම කියා ගන්න බැරි සතුටකින් හිටියත් මුල වරට අම්මා කෙනෙක් වෙන්න යන කාන්තාවකට දරුවාගේ වැඩ කටයුතු නිවැරදිව පරිස්සමෙන් කරගන්න පුළුවන්ද කියන බය හිත පුරාම තියෙනවා. මොකද අද වෙද්දී අපි ජීවත් වෙන්නේ අම්මා, තාත්තා, නැන්ද, මාමා , පුංචි බාප්පා එකට ජීවත් වෙන ලොකු පවුලක නෙවෙයි. එහෙම වුනානම් අම්මට තියෙන්නේ දරුවට කිරි ටික දීලා ආදරයෙන් තුරුළු කරන් ඉන්න විතරයි. අනිත් හැමදේම වැඩිහිටියන්ගේ අනුදැනුම ඇතිව කරන්න අවස්ථාව ලැබෙනවා. මොන දේ කරගත්තත් දරුවා නාවන්න නම් අලුත් අම්මා කෙනෙක් හරිම බයයි. සබන් නිසා දරුවා ලිස්සලා යාවිද? කන්වලට වතුර යයිද? වගේ ගොඩක් දේ වල් ගැන අලුතින් අම්මා කෙනෙක් වෙන්න යන කාන්තාවක් කල්පනා කරනවා. ඒත් ඇත්තටම පුංචි පැටියෙක් නාවන එක හිතෙන තරම් භාරදුර කාර්යයක් නෙවෙයි. අපි හරිම ක්‍රමය ඉගෙන ගත්තොත් පැටියා නාවන්න හැම අම්මා කෙනෙක්ටම පුළුවන්. බබා ලැබිලා රෝහලෙන් පිටවෙන්න කලින් බබාව නාවන හැටි අම්මාට බලන් ඉන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය දේ හෙදියන්ගෙන් අසා දැනගන්නත් පුළුවන්. මුළු ගැබිනි සමය තුළම තමාගේ වෙනැල්ල වගේම ළගින්ම හිටිය සැමියාත් ඉද්දි අම්මා කෙනෙක් මේ දේවල්වලට බය වෙන්න නම් ඕනේ නැහැ. මොකද දෙන්නත් එක්කම එකතු වෙලා පුංචි පැටියා නාවන්න පුළුවන්.

පුංචි පැටියා නාවන්නේ කොයි වෙලාවටද?

අලුත උපන් බිළිදෙක් නාවන්න සුදුසුම වෙලාව උදේ වරුව. හොඳින් එළිය වැටෙන ස්ථානයක් මේ සඳහා තෝරාගත යුතුයි. මොකද ඉපදුණු ගමන් පුංචි පැටව් කහ පැහැ වෙන අවස්ථා ගැන අපි අහලා තියෙනවා. ඒ නිසා අපිට පැටියව නාවන මේ වෙලාව එයාව හොඳින් පරීක්ෂා කරන්නත් අවස්ථාවක් කර ගත හැකියි. ඒහෙම වෙනස් පැහැයක් නිරීක්ෂණය වුණොත් අපිට වෛද්‍යවරයාගේ උපදෙස් කරා යොමු විය හැකියි. ඒ වගේම නාවන්න පැය භාගයකට කලින් වගේ පුංචි බණ්ඩිය පිරෙව්වා නම් නාන අතරේ කුක්කු ඉල්ලලා එයා අඬන එකක් නැහැ.

පුංචි පැටියා නාවන්න අවශ්‍ය වෙන්නේ මොනවද?

  • ලොකු සහ කුඩා ප්‍රමාණයේ බේසම් දෙකක්
  • දරුවාගේ හිසට වතුර දාන්න කුඩා භාජනයක් (වැඩිහිටියන් නම් මේ සඳහා හිල් පොල්කට්ටක් යොදා ගන්නවා)
  • ළදරු සමට උචිත Ph අගයකින් යුතු සබන් කැටයක් (මෙය වෛද්‍ය නිර්දේශය මත ලබා ගන්නේ නම් වඩාත් සුදුසුයි)
  • පුළුන් බෝල
  • ළදරු තුවායක් (මල්පීස්/බැන්ඩේජ් රෙද්දෙන් නිමවා ඇති නම් වඩාත් හොඳින් ජලය උරාගනී.)
  • නෑවීමෙන් පසු දරුවා උණුසුම් කිරීමට අවශ්‍ය ඇඳුම්  (නැප්කින්, ළදරු ගවුමක් සහ ප්ලැනල් රෙද්දක්, අත් සහ පා ආවරණ, තොප්පයික්)

පුංචි පැටියට නාවන්න වතුර ?

ඉන්න ඉන්න … අම්මා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. පැටියා නාවන්න වතුර සූදානම් කරගන්න හැටි තමයි මේ කියන්න යන්නේ. වැඩි උණුසුම වගේම වැඩි සීතලත් පැටියට දරාගන්න අමාරුයි. ඒ නිසා මද රස්නේ වතුර තමයි පැටියට සුදුසුම. අපි අපේ වැලමිට වතුරට දාලා තමයි වතුරේ උණුසුම පරීක්ෂා කරන්නේ. 

අපි දැන් බබාව නාවන්න පටන් ගනිමු නේද?

පුංචි පැටියෙක් නාවද්දි වැඩිහිටි අපි නානවා වගේ මුළු ඇඟටම වතුර වැටෙන්න සලස්වන්නේ නැහැ. අපි මුලින්ම සෝදන්නේ දරුවාගේ හිස. හිස සෝදලා පිහදලා අවසන් වෙනතුරු පැටියාගේ ඇඟ හොඳින් උණුසුම්ව තබා ගැනිමට ඔතා ගන්න ඕනේ. මොකද බබාගේ මුළු ඇඟම නිරාවරණය වුණොත් අම්මාගේ කුස ඇතුළේ උණුසුමු පරිසරයක වැඩුණු මේ පුංචි පැටියට සීතල දරා ගන්න බැරි වෙනවා. 

   

ඒ වගේම තමයි අපි පුංචි පැටියවි අල්ලගන්න විදිය. අලුත උපන් පැටියෙකුගේ කොඳු ඇට පෙළ, බෙල්ල ශක්තිමත් නැහැ කියලා අපි කවුරුත් දන්නවා. ඉතිං එයාව නාවද්දි ඒ බෙල්ලට වගේම කොන්දට හොඳ ශක්තියක් ලබා දිය යුතුයි. ඒ නිසා අපි පැටියගේ කොන්ද අපේ අතේ වැලමිටේ සිට අලුල දක්වා එන පරිදි රඳවා ගැනිම කළ යුතුයි. එවිට දරුවාගේ කොන්දට වගේම අපේ අත්ලෙන් හිසට ලැබෙන සහය නිසා දරුවා පරිස්සම්. 

මුලින්ම පැටියාගේ ඇස්දෙක 

පුංචි වුණත් බබාගේ ඇස්වලත් කබ එනවා. ඉතිං අපි ඒවා පිරිසිදු කරන්නම ඕනේ. ඉතිං ඒ සදහා පිරිසිදු කපු පුලුං බෝල තමයි වඩාත්ම සුදුසු. මුලින්ම බබාගේ ඇහේ ඇතුළු පැත්ත පිරිසිදු කරගන්න ඕනේ. ඒ කියන්නේ ඇහේ ඇත්ළත කොනේ සිට පිටතට එන විදියට තමයි අපි ඇහැ පිරිසිදු කරගන්නේ. ඊට පස්සේ අත තෙමමින් පැටියගේ පුංචි මූණ තෙත මාත්තු කරලා වගේ පිරිසිදු කරගන්න අපිට පුළුවන්. 

දැන් පැටියගෙ හිස  

පුංචි මූණ පිරිසිදු කරගතතට පස්සේ පැටියාගේ කන් දෙකට වතුර යන්නේ නැති වෙන්න අපේ මාපට ඇඟින්ලෙන් සහ සුළැගිල්ලෙන් වසා ගෙන (සමහර අය පුංචි පුළුං බෝල දෙකකින් කනේ සිදුර වසනවා. ඒත් බොහෝ දෙනෙක් එහෙම කරන්න නම් බයයි) පුංචි කෝප්පයෙන් හිසේ ඉදිරි කොටසට වතුර බේරී පහතට යන ආකාරයට වතුර ටිකෙන් ටික වත්කරන්න. මෙසේ වතුර වතකරද්දී බබාගේ කන්වලට නහයට වතුර නොයන්නට වග බලාගත යුතුමයි.සමහර අත්තම්මලා කියනවා වතුර කෝප්ප ගාන ගණන් කරන්න ඕනේ කියලා. නමුත් වෛද්‍යවිද්‍යාත්මකව ගත්තම නම් කළ යුත්තේ දරුවාගේ හිස හොදින් පිරිසිදු වනතුරු ඔබ යොදන සබන් හෝ ෂැම්පූ වර්ගය හොඳින් ඉවත් වන තුරු ඉතා සෙමින් සුමුදුව (අලුත් පැටියෙක්ගේ හිසකබල ශක්තිමත් නැති නිසා) සේදීම පමණයි. ඉන් පසුව හොදින් තෙත මාත්තු කිරිමෙන් පසුව පුංචි පැටියාගේ සිරුර පිරිසිදු කර ගැනීමට හැකියි.

දැන් පුංචි පැටියාගේ ඇඟ 

පැටියාගේ සිරුර පිරිසිදු කරද්දී අපි විශේෂයෙන්ම පෙකෙණිය ගැන සැලකිලිමත් විය යුතුමයි. සාමාන්‍යයෙන් පුංචි පැටියා ඉපදිලා සතියක් පමණ ගත වෙද්දී පෙකෙණිය හැලිලා යන බව ඔබ දන්නවා. එතෙක් වියළී යන තුරු අප එය ඉතා පරිස්සමෙන් බලා ගත යුතුයි. යම් විදියකින් පැසවීමක් හෝ ඒ හරහා විෂබීජයක් ඇතුළු වීම නිසා හෝ යම් යම් ගැටලු මතු විය හැකියි. ඒ නිසා පැටියාගේ පෙකෙණියේ පැහැය සාමාන්‍ය තත්ත්වයේ පවතිනවාද? දුර්ගන්දයක් තිබේද? සැරව ගතියක් තිබෙනවාද යන කරුණු ගැන සැලකිලිමත් වෙන්න. 

දැන් පුංචි පැටියගේ ඇදුම් ඉවත් කරලා වතුරට බස්සලා ඇඟ හෝදන්න ඔබට පුළුවන්. මුල් දින ටිකේ බබා ඇඩුවත් ඒක ටික දවසකින් හරියනවා. 

දැන් පුංචි පැටියාගේ ඇඟ හොදින් පිරිසිදු කරගන්න ඕනේ. බෙල්ල යට, අත් යට, කකුල් අතර, යෝනි පෙදෙස, පසු පෙදෙස ඉතා මෘදුව සෙමින් පිරිසිදු කරගත යුතුයි. වෛද්‍ය නිර්දේශය මත ඔබ පැටියා වෙනුවෙන් ලබා ගත් පිරිසිදු කාරක යොදනවා නම් ඒවා හොඳින් ඉවත් වන තුරු දරුවා පිරිසිදු කළ යුතුයි. කිසි විටෙක දරුවා තදින් ඇතිල්ලීම නම් කරන්න එපා. 

දැන් ඔන්න පුංචි පැටියා නාවලා ඉවරයි

එහෙම නම් ඉක්මනින්ම පැටියා හොඳින් තෙතමාත්තු කරලා පෙකෙණිය හොඳින් වියළා ඇඳුම් අන්දවන්න. පෙකෙණිය වෙනම පිරිසිදු කිරීමක් හෝ කොලෝන් වර්ග/ස්ප්‍රීතු වර්ග යෙදීම හෝ කිසිසේත්ම නොකළ යුතුයි නැවීමෙන් පසු පෙකෙණිය හොඳින් තෙත මාත්තු කිරීම (ඒ සඳහා හොඳින් පිරිසුදු කර අයන් දරගත් මල්පීස් වැනි සිනිදු රෙදි කැබිල්ලක් යොදාගත හැකියි) පමණක් ප්‍රමාණවත් බව අම්මා මතක තබා ගන්න. මේ සියලුම කාර්යයන් විනාඩි 10 -15 අතර කාලය තුළ අවසන් කරගන්නත් අම්මා සැලකිලිමත් විය යුතුයි.

 පුංචි පැටියට ඇඳුම් අන්දවද්දිත් අම්මා සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කීපයක්ම තියෙනවා. එකක් තමයි නැපි කටුව. අපේ රටේ බොහොමයක් අම්මලා දරුවා ලැබුණු ගමන් ඩයපර් අන්දවන්නේ නැහැ. නැප්කින් එක තමයි පාවිච්චි කරන්නේ. අපි පැටියට නැප්කින් එක හෝ ඩයපර් එක හෝ කියන මේ දෙකන් කුමන එක පාවිච්චි කළත් ඒක අන්දවද්දී පෙකෙණිය නොවැසෙන ආකාරයට ඇන්ද වීමට වග බලාගන්න. එහෙම නැතිනම් මුත්‍රාවලින් නැපි එක තෙත් වෙද්දී පෙකෙණිය අසාදනවලට ලක්වීමට ඉඩ තියෙනවා. 

ඒ වගේම පුංචි පැටියාට අනතුරු නොවන ආකාරයට (පැටියාගේ සම මත නැපි කටුව නොඇනෙන ලෙස නැපි එක ඔසවා ඔබේ අත  යටින් තබාගන්න) නැපි කටුව රදවන්න. නැතිනම් නැපිය පැටියාගේ උදරයට තද නොවන සේ ගැට ගසන්න. දැන් ඔබට පුළුවන් පුංචි පැටියව හොඳින් උණුසුම් වන විදියට ඇඳුම් අන්දවලා අත් පා ආවරන පලදලා උණුසුම රැකෙන රෙද්දකින් ඔතන්න. ඔන්න දැං පැටියා පිරිසිදු කරලා ඉවරයි. දැන් පැටියව අම්මා‍ගේ තුරුලට අරන් පුංචි බණ්ඩිය පිරෙන්න කුක්කු දුන්න නම් පැය කීපයක්ම පැටියා සුවසේ නිදියනවා. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල


                

දරුවෙක් වෙනුවෙන් පෙරුම් පුරන ඔබ කල්තියා දැනුවත් විය යුතු කරුණු 9ක්

හාහාපුරා කියලා පුංචි පැටියෙක් කුසට ආ බව දැනගත්තම බොහොම සතුටින් ඒ සුබ පණිවිඩය දෙපාර්ශවයේ මව්පියන්ට ලබා දෙන එක තමයි ඕනෙම යුවළකගේ පළවෙනිම කාර්යය. අනිත් හැම කටයුත්තක්ම ඉන්පස්සේ. මේ ඉන් පස්සේ කළ යුතු කටයුතු සියල්ල ගැන පළමු දරු ප්‍රපිළිසිඳ ගැනීමේදී මව්පිය යුවළට වැඩි අදහසක් නැහැ. ගැබිනි මවක් සායනයට හෝ වෛද්‍යවරයෙක් වෙත යොමු වන තැන සිට සිදු විය යුතු දේවල් ගැන අපි අද කතා කරමු.

    1. ගැබ් ගත් බව දැනගත් වහාම ඔබ කළ යුත්තේ මොනවාදකාන්තාවක් ගැබ් ගෙන ඇති බව දැනගත් වහාම කලලයට සති අට සම්පූර්ණ වීමට පෙර ගැබිනි මවක් තමාට අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වීම සාමාන්‍ය ක්‍රමයයි. ඒ අනුව ඇය මුලින්ම හමුවන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියයි. ඉන් පසු සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීවරයෙක් වෙත ඇයව යොමු කෙරෙන අතරම ඇයගේ තත්ත්වය පරීක්ෂා කොට අවශ්‍ය නම් ඇය විශේෂඥ වෙද්‍ය සානයනකට යොමු කෙරෙනවා. සාමාන්‍ය ක්‍රියා පිළිවෙළ ඒ ආකාරයෙන් වුවත් රැකියාව නිසා හෝ වෙනත් හේතු නිසා ඇතැම් මව්වරුන් රජයේ සායනයට සහභාගී නොවී ගැබ්ගත් වහාම හොඳම නාරි හා ප්‍රසව වෛද්‍යවරයා සොයා බලා ඒ වෛද්‍යවරයා පෞද්ගලිකව හමු වී අවශ්‍ය උපදෙස් ලබා ගන්නවා. 
  • ගැබිනි කාන්තාවක් නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් වෙන පැමිණි විට ඇයගේ මූලික සායන වාරයේදී සිදු වන්නේ මොනවාද?

ගැබිනි කාන්තාවගේ සායනික ඉතිහාසය පරීක්ෂා කිරීම මෙහිදී මූලිකව සිදු වෙනවා. එනම් පෙර පැවති රෝගී තත්ත්ව, පෙර පැවති ගර්භනී බාවයන් (මීට පෙර ගැබ් ගැනිමක් සිදුව ඇත් නම් ප්‍රසූතිය සිදු වූ ආකාරය, ඒ ගැබ්ගැනීමේදී ඇති වූ සංකූලතා වැනි දේ) පිළිබඳව වගේම යම් යම් දවද්‍ය පරීක්ෂණ වෙතත ගැබිනි මව යොමු කෙරෙනවා. 

  • ගැබිනි කාන්තාවක් නාරි හා ප්‍රසව වෛද්‍යවරයා හමුවන පළමු දිනයේ රැගෙන ආ යුත්තේ මොනවාද?

මූලික සායනයට පැමිණෙන කොට පෙර ලබා ගත් වෛද්‍ය වාර්තා, එනම් සැත්කමකට යොමු වූවා නම් ඒ කාඩ්පත්, පෙර ප්‍රසූතියේ වාර්තා ඇතුළු වෙනත් ලෙඩ රෝග සම්බන්ධව ඇති වාර්තා වමන්ම ලබා ගන්නා ඖෂධ වර්ග ඇත්නම් ඒ පිළිබඳව තොරතුරු රැගෙන ඒම ඉතාම වැදගත්. සරලවම කිව්වොත් මොනයම් ආකාරයේ වෛද්‍ය වාර්තා ඔබ ළඟ තිබේ නම් ඒවා ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. ගැබිනි සමයේ මුල් කාලයේදී නාරි හා ප්‍රසව වෛද්‍යවරයා හමුවන්නේ මසකට වරක් පමණයි. පළමු හමු වීමේදීම සියලු වාර්තා රැගෙන ඒමෙන් නැවත හමුවීමට පැමිණීම යෙදන දින තෙක් ප්‍රමාද නොවී ගැටලු කාරී තත්ත්ව ඇතිනම් ඒ සඳහා මුල් අවධියේදීම අවශ්‍ය පියවර වෙත යොමු වෙන්න අපට හැකියාව ලැබෙනවා. 

  • ගැබිනි මවක් වෛද්‍යවරයෙක් හමු විය යුත්තේ මසකට වරක් පමණද?

ගැබිනි මවගේ ඇති සංකූලතා මත වෛද්‍යවරයා හමුවන දිනය වෙනස් විය හැකියි. කිසිම සංකූලතාවයක් නොමැති මව්වරුන් සාමානයයෙන් විශේෂඥ සායනයට පැමිණීමට අවශ්‍ය වෙන්නේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන පරීක්ෂණ වාර්තා ලබාගැනීමට හෝ යම් ගැටලුවක් මතු වුවොත් පමණයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හෝ රෝහලේ දී පැවැත්වෙන සායනයට මව්වරුන් සහභාගි වෙනවා. නැවත විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවන්නේ අවසාන මාසයේදීයි. නමුත් සායනවලට සහභාගී නොවන මව්වරුන් එනම් පෞද්ගලිකව වෛද්‍යවරයා හමුවෙන මව්වරුන් මුල් කාලය තුළ මසකට වරක් වශයෙනුත් අවසාන කාලයේදී මසකට දෙවරක් වහයෙනුත්පරීක්ෂා කෙරෙනවා. එතැනදීත් සංකූලතා ඇති මව්වරුන් නිතර පරීක්ෂාවට බදුන් විය හැකියි.

  • ගැබිනි මවක් යොමු විය යුතු පරීක්ෂණ මොනවාද? ඒවා සිදු කිරීමේ වැදගත්කම කුමක්ද?

රුධිර පරීක්ෂණ මගින් රුධිර ඝනය, හිමොග්ලොබින් මට්ටම මැන බැලීම, රුධිරගත සීනි ප්‍රමාණය මැන බැලීම, රුධිර පීඩනය මැන බැලීම වැනි පරීකෂණ වෛද්‍ය නිර්දේෂ මත සිදු කළ යුතුයි. ඒ වගේම ස්කෑන් පරීක්ෂණ මගින් දරුවාගේ වර්ධනය හා යම් සංකූලතා පවතීය යන්න පිළිබඳව සොයා බැලීම සිදු කෙරෙනවා. 

  • රුධිර ඝනය පරීක්ෂා කිරීමේ වැදගත්කම කුමක්ද?

ඔව්. මවගේ රුධර ගණය (-) එනම් නෙගටිව් වෙලා පියාගේ රැධිර ගණය (+) වුනොත් දරුවාගේ රුධිර ගණය (+) වීමට ප්‍රවණතාවයක් තියෙනවා. එහෙම අවස්ථාවකදී මවගේ යම් ප්‍රතිදේහ මගින් දරුවාට නොයෙක් සංකූලතා ඇති විය හැකියි. එවැනි තත්ත්ව වළක්වා ගන්න නම් අපි කල්තියා ඒ පිළිබදව දැනුවත් විය යුතුමයි. ඒ විතරක් නෙවෙයි, මවට රුධිරය ලබාදීමට අපිට සිදු වුනොත් එහිදීත් රුධිර ගණය දැන සිටිම වැදගත්. යම් හදිසි තත්ත්වයක් මත රුධිර ගණය පරීක්ෂා කිරීමට කාලය මදි විය හැකියි. ඒ ප්‍රමාදය මවට පමණක් නොවෙයි කුස සිටින දරුවාටත් ගැටලු ඇති කළ හැකියි. 

  • ගැබිනි මවගේ ප්‍රසූති දිනය සැකසෙන්නේ කෙසේද?

කාන්තාවට අවසන් වරට ඔසප් සිදු වූ දිනය මත තමයි සාමානයයෙන් ප්‍රසූත දිනය අපි නිර්ණය කරන්නේ. එනම් අවසාන වරට ඔසප් වූ දිනයේ සිට සති 40ක් (දින 280) ගත වූ පසු ප්‍රසූතිය සිදු වෙන බවට ගනනය කෙරෙනවා. නමුත් ඒ දිනය වෙනස් වෙන ඉඩකඩ වැඩියි. නමුත් ස්කෑන් පරීක්ෂණය මගින් දරුවාගේ වර්ධනය පරීක්ෂා කොට එයට අනුව ප්‍රසූතිය සිදුවන නිවැරදි දිනය අනුමාන කළ හැකියි.

  • ගැබිනි මවක් තම ආහාර රටාව සකස් කරගත යුත්තේ කෙසේද?

නිරෝගී දරු පැටියෙක් බිහිකරන්න නම් ගැබිනි මවගේ පෝෂණය ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා දරුවෙකු ලැබෙන්නට පෙර සිටම කාන්තාවක් හොඳ පෝෂණයක් ලබා ගැනීම ඉතාම වැදගත්. දරුවා කුස පිළිසඳ ගන්නා විට මවක් නිසි පෝෂණ මට්ටමක සිටීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ගැබිනි සමයේ වැඩි පුර ආහාර ගැනිම වගේම අඩුවෙන් ආහාර ගැනීම කියන දෙවිදියම නුසුදුසුයි. වැඩිපුර ආහාර ගැනීම නිසා ස්තූලතාවයට පත්වීම වගේම අඩුවෙන් ආහාර ගැනීම නිසා දරුවාගේ වර්ධනයට බලපෑම් ඇති විම විය හැකියි. සාමාන්‍යයෙන් මුල් සති 20 – 25 අතර කාලය තුළ දරු පිළිසිඳ ගැනීමට පෙර සිටම ලබා ගත් ආහාර රටාවටම යොමු වීමේ ගැටලුවක් නැහැ. නමුත් ඉන්පසුව ක්‍රමයෙන් ආහාර රටාවේ කැලරි 200ක පමණ වැඩි කිරීමක් සිදු කරන්න අපි උපදෙස් දෙනවා.  

  • ගැබිනි මව්වරුන්ට ඖෂධ වර්ග ලබා දෙනවාද? ඒ කුමන හේතු මතද?එමගින් කුස සිටින දරුවාට බලපෑමක් නැතද?

සාමාන්‍යයෙන් ගැබිනි මවකට නිර්දේශ වෙන්නේ අවශ්‍ය විටමින් වර්ග (යම් පෝෂක අඩුපාඩුවක් ප්‍රතිස්තාපනය කිරීමට) කිහිපයක් පමණයි. ඒවා කිසිදු විටෙක මවට හෝ දරුවාට හානිකර වන්නේ නැහැ.

දරුවා පිළිසිඳ ගැනීමට පෙර සිටම පෝලික් අම්ල විටමිනය – දරුවන්ගේ කොදුඇට පෙළ ආශ්‍රිතව ඇති විය හැකි සුසුම්නාව හා ස්නායු පටක පිටතට පැමිණීම, හිස් කබලේ කොටස් නැති දරුවන් බිහි වීම වැනි දරුණු රෝග තත්ත්ව වළක්වාගන්නට මෙය දරු පිළිසිඳ ගැනීමට පෙර සිටම ලබා ගන්නා ලෙස මව්වරුන්ට නිර්දේශ කරනවා.

යකඩ පෙති – ගැබිනි මව්වරුන් ඉන්නවා ගැබ් ගැනීමට පෙර සිටම යකඩ ඌනතාවයෙන් පෙලෙන. ඒ වගේම ගගැබ් ගැනීමත් සමගම යකඩ ඌතාවයට ගොදුරු වෙන. ගැබිනි මව නීරක්තියට පත් වීම වළක්වා ගැනීමට යකඩ පෙති නිර්දේශ කිරීම සිදුකරනවා. ඒත් එක්කම යකඩ හොඳුනි අවහෝෂණය වීම සදහා විටමින් සී ලබා ගන්නා ලෙසත් වෛද්‍යවරු උපදෙස් ලබා දෙනවා. 

කැල්සියම් පෙති – මෙය යකඩ පෙති සහ විටමින් පෙති සමග එකට ලබා නොගත යුතුයි. කැල්සියම් කියන්නේත් විටමිනයක් මිස ඖෂධයක් නොවේ. 

යම් යම් සංකූලතා මත ඇතැම් මව්වරුන්ට මව්වරුන්ට අවශ්‍ය ඖෂධ (යම් රෝගයක් මර්දනය කිරීමට හෝ පාලනය කිරීමට) වෛද්‍යවරු විසින් නිර්දේශ කරනවා. මව දියවැඩියාව, අධි රුධිර පීඩනය, අපස්මාරය වැනි රෝග තත්ත්වයක සිටිනවා නම් හෝ මුත්‍ර ආසාදන, අසාත්මිකතා හෝ පැපොළ වැනි වෙනත් බෝවන රෝග ඇති වුවහොත් දරුවාට කිසිදු හානියක් නොවන ආකාරයේ ඖෂධ නිසි මාත්‍රාව ගැබිනි මවට වෛද්‍යවරු නියම කරනවා. නමුත් කිසිදු විටෙක වෛද්‍ය නිර්දේශයකින් තොරව ගැබිනි මවක් ඖෂධ ලබා නොගත යුතු බව කිව යුතුමයි. ගැබිනි මවකට යම්කිසි රෝගී තත්ත්වයක් ඇති වුවොත් වෛද්‍යවරයෙකු මුණ ගැසීම අත්‍යවශ්‍ය බව අමතක නොකළ යුතුයි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

අත්තම්මේ, බබා ගැන වගේම අම්මා ගැනත් ලොකු වගකීමක් ඔබ සතු බව දන්නවා නේද?

විවාහයක් කියන්නේ  දෙන්නෙක් එක් වෙනවා කියන එක විතරක් නෙවෙයි. දෙපාර්ශවයේම නෑදෑ හිත මිතුරන් එක් රැස් වීමත් විවාහයකදී අනිවාර්යෙන්ම සිදු වෙනවා. ඒ වගේම දරු උපතක් කියන්නෙත් පරම්පරා දෙකක් එක් වනවා වගේම තමන්ගේ දරුවාගේ දරුවා කියන්නේ අත්තම්මලා, සීයලාට පුදුම ආඩම්බරයකාර හැඟීමක්. ඒ වගකීම ඔවුන් බාරගන්නේ ඉහටත් උඩින්. අන්න ඒ නිසාම පවුල් සංස්ථාවන් ඇතුළෙ තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙන යන්න ලැබෙන මේ අවස්ථාවට හැම අත්තම්මා කෙනෙක්ම ලප ලෑස්ති වෙන්නේ තමන්ට ඒ බලය තමන් විසින්ම පවරගෙන.

මේ මගේ දරුවාගේ දරුවා. මගේ දරුවා ලැබුණු දවස මට තාම මතකයි. එදා මම විඳපු වේදනාවන්, මගේ දූ මේ ලෝකෙට ඇවිත් අඬනවා ඇහුණු වෙලාවෙ අමතක  වෙලා ගියා. මට දැනුණේ මම සම්පූර්ණ වුණා වගේ. මාස නවයක් තිස්සේ විඳපු අපහසුතා වේදනාවල් හැමදේම දුවගේ කටහඬ ඇහුණු ගමන් අමතක වුණා. 

අද වෙද්දී තමන්ගේ දරුවෝ උස් මහත් වුණත් අම්මා කෙනෙක්ට ඒ දරුවා තමන්නේ පුංචි දරුවාට තමයි. අන්න ඒ නිසාම ඔවුන් තමන්ගේ දරුවාට දරුවෙක් ලැබුණුමත් තමන් විසින් සියල්ල සිදු කළ යුතුයි කියා සිතනවා. ඒ දරුවා තමන්ගේ අනුදැනුම ඇතිව උස් මහත් වෙනවා දකින්න ඔවුන් බොහෝ සේ ප්‍රිය කරනවා. 

දරුවා පිළිසිඳ ගැනීම දැන ගත්තහම මහත්තයා වගේම ඊළඟට සතුටු වන දෙන්න තමයි අම්මා හා නැන්දම්මා. මේක එයාලට ලැබෙන ලොකුම ගෞරවය හැටියටයි එයාලට දැනෙන්නේ. ඒ වගේම දරු පිළිසිඳ ගැනීමක් නොවුනොත් ඒක සනුහරේට ම ඇති වන කැලලක් හැටියට දකින්නෙත් ඔවුන්මයි. නමුත් අද වන විට ඒ තත්ත්වය බොහෝ දුරට අඩු වී තිබෙනවා. 

මේ ආකාරයට ඔවුන් තමන් අත්දැකපු අත්දැකීම් දරුවන් තුළින් දකින්න බලාපොරොත්තු වෙනවා වගේම නිරතුරු දරුවන්ගේ ලෝකය සුන්දරව ගොඩනගන්න එයාලා ලොකු උත්සාහයක් දරනවා. මේ නිස බෙහේ දේ ඔවුන්දරුවගේ අම්ම වෙනුවෙන් ඉටු කරනව.

බබා ලැබුන අම්මගේ කෑම වේල ගැන ලොකුවට හිතනවා

මවගේ කිරි ටික වැඩි කරන්න හොඳ ආහාර වේල් සකසා දෙනවා. හැමතිස්සෙම කියන්නෙ කිරි අම්මාට හොද කෑම කියලා. එහෙම කියලා කරවිල, පොලොස් ආදී ලෙසින් ආහාර තෝරලා සකස් කර දෙනවා. ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙනවා අම්මට කිරි වැඩි වේවි කියලා. ඒ ‍වගේම අම්මට ආහාරයක් හෝ පානයක් සූදානම් කරද්දිත් උණුසුම්ව ලබා දීමට ඔවුන් උනන්දු වෙනවා. ඒවා ඇත්තටම කිරි යාන්ත්‍රණය උත්තේජනය කරන්න හරිම වැදගත්. ඒක නිසා දරුවාට කිරි උරන්න පහසු වෙනවා වගේම හොඳින් කිරි උරන නිසා ඊළඟ කිරිවේල නිෂ්පාදනය හොඳින් සිදු වීමටත් ඉවහල් වෙනවා. ඒකෙ කියන්නේ මව්කිරි දීමේ ක්‍රියාවලිය එයාලගේ වගකීම් නිසා සාර්ථක වෙන බව ඔවුන් සිතනව.

බබා ලැබුන අම්මට නාන්න කොළ වර්ග තම්බලා වතුර රත් කරනවා.

මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අම්මගේ ඇද වුනු කොදු ඇටපෙල අස්ථි වලින් නැගෙන වේදනාව වගේම අතපය වේදනාව නැති කිරීම. දේශීය වෙද වෙදකම තුළ මේවා පල දරනවා. දේශීය වෙදකම් වල කැඩුම් බිඳුම් වලදීත් කරන්නේ මෙවැනි ප්‍රතිකාර. ඒ නිසා මේ ක්‍රම නිසා අම්මට ඇත්තටම සහනයක් ලැබෙනවා. ඇඟ උණුසුම් වෙනවා. වේදනාවන් වල දී සහනයක් ලැබෙනවා. මේවා ඉතින් අම්මලා නැන්දම්මලාගේ වගකීම් තමයි.

අලුත ලැබුණු බබා නාවන්නත් වතුර රත් කරනවා

අලුත් සමට විසබීජ නාශක ලබා දෙන්න තමයි එහෙම කරන්නේ. ඒ වගේම දරුවා නාවනකොට එකවර ඔළුවට වතුර වක් නොකර ටික ටික දාන්නේ. ඒකත් ඉතින් ක්‍රමයෙන් දරුවාට දරා ගැනීමේ හැකියාව හුරු කරන්න ඇත්තටම හොඳයි. ඒ වගේම ගණන් කරලා නෑවීම තුළිනුත් නාන්න ගත කරන කාලය ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ නිසා ඒවායේ යම් යම් ප්‍රමිතියක් ඇති වෙනවා.

අලුත් බබාගේ ඇඳුම් සෝදන්නෙත් හරිම සැලකිල්ලෙන්

දරුවාගේ ඇඳුම් ටික හේදුවත් ඒක තදින් මිරිකන්න එපා කියනවා. එහෙම කියන එකේ සත්‍යය සොයා බැලුවහම ළදරු ඇදුම් නිම කරලා කරල තියෙන්නෙ මල්පීස් කියන තුනී සිනිදු රෙදි වලින්. මේවා ගොඩක් ඇඹරුවහම නූල් ඈත නිසා ඇදිල ඉරෙන්න බලනවා. එහෙම නැත්නම් වෙන්න ඉක්මනට ඒවා අයින් කරලා අලුතින් මිලදී ගන්න සිදු වෙනවා. මේ නැපි අවශ්‍ය වෙන්නේ ටික කාලයකට නිසා අරපිරිමැස්මෙන් ඒවා පාවිච්චි කරන්න ඔවුන්ගේ මේ අදහස් ඉතාම වැදගත් වෙනවා. නමුත් දරුවාගේ ඇඳුම් මිරිකුවහම දරුවා ඇඹරෙන්න් බටන් ගන්නවා කියලා ඇතැම් වැඩිහිටියන් විශ්වාස කළත් ඒවාගේ විද්‍යාත්මක පදනමක් නම් නැහැ. 

දරුවන් නිදි කරවන හැටි අම්මාට කියා දෙනවා

දරුවෙක් නිදි කරන විට ඒ දරුවාට සුව පහසුව උණුසුම් දැනෙන එක බොහොම වැදගත්. ඒ වගේම අත්තම්මා ඉතාම ලයාන්විතව නැලවිලි ගීත ගායනා කරනවා. නැලවිලි ගීත කියන්නේ සෞන්දර්ය රසාස්වාදය වැඩිදියුණු කරනවාට වගේම හිතට දැනෙන භාවනාවක්. මේ නිසා දරුවාගේ මොළයට දැනෙන ඒ සංයමය සිත නිවනවා. ඒ වගේම භාෂා හැකියාව චිත්තවේග වගේම තාර්කික හැකියාවත් වැඩි දියුණු වෙනවා. මේවා තමයි දරුවාගේ අධ්‍යාපනයේ මූලික අඩිතාලම. එනිසා දරුවාගේ සංයමය වැඩි වෙලා හොඳ නින්දකට නැලවිලි ගීත උපයෝගී වෙනවා වගේම චිත්තවේගය ශක්තිමත් භාවයත් වැඩි වෙනවා.

මේ විතරක් නෙමෙයි හැම ක්‍රියාවකදීම දරුවන් අගය කරන්නේ අත්තම්මලා. හපන් පුතා.. ආව් ආව්…ආදී ලෙසින් අත්පුඩි ගහලා දරුවා උනන්දු කරනවා. මේ නිසා දරුවන්ට දැනෙන අගය කිරීම ඔවුන්ගේ ඊළඟ පියවරට තෝතැන්නක්. මේ නිසා දරුවාට දැනෙන ආත්ම විශ්වාසය නිසා හැකියාවන් වැඩිදියුණු වෙනවා වගේම ආරක්ෂාකාරී හැඟීම් වැඩි දියුණු වෙනවා. 

මේ ආදී ලෙසින් අලුත උපන් දරුවෙකු වගේම මවක රැකබලා ගැනීමේදී පාරම්පරික දැනුම වගේම විශ්වාසනීය ලෙසින් ශක්තිය සපයන්නට අත්තම්මලා ට හැකි වෙනවා. ඒ වගේම දරුවා ලැබුණු අම්මට තමන්ගේ මව වගේම මව මෙන් තමා රැකගන්නා නැන්දම්මාත් හිතට අරන් එන්නේ ශක්තියක්. ජීවිතේ ඕනෑම වෙලාවක දුකට සැපට දෙකටම කියවෙන පළමු වචනය අම්මෙ කියන එක. එනිසා තමයි සෑම කෙනෙකුගේම ජීවිතයට ශක්තියක් ගෙන එන එකම වචනය මේ වෙලා තියෙන්නෙ. මේ නිසා අලුත් අම්මටත් බබාටත් ආදරය රැකවරණය විශ්වාසනීයව පිරුණු තැන තමයි මෙතැන. එසේ නම් හැම මොහොතකදීම මූලිකත්වය, වගකීම යන දෙකම අත්තම්මාට යන එක අරුමයක් නොවෙයි.

පරම්පරාගතව රැකගෙන එන චාරිත්‍ර වගේම ජීවිතේට අත්වැලක් සපයන්නට අම්මගේත් නැන්දම්මාගේත් වගකීම කොයි තරම් ශක්තියක් ධෛර්යයක් ගෙන එනවාද රැකවරණයක් සපයනවා ද යන්න ගැන තවත් කතා අවශ්‍යද?

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල