Home Blog Page 110

බදාගෙන කන එකෙයි බෙදාගෙන කන එකෙයි වෙනස දරුවන්ට කියාදෙන්නේ මෙහෙමයි

” මේ ගසේ බොහෝ
පැණි දොඩම් තිබේ
නංගිටයි මටයිගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි
එහෙම නොවේ අපී…”

1930 ගණන්වල සිට අපේ සමාජයේ දරුවන් අතර පැවැති මෙම කෙටි පැදිය දරුවන්ගේ ගුණධර්ම පෝෂණයට ලබා දුන්නේ මහත් රුකුලක්. තවමත් මල්පල බරින් යුත් ගහක් වෙත ගිය විට අපේ හිතට දැනෙන්නේ ප්‍රවේසමෙන් පල නෙලා ගත යුතු අන්දම වගේම බෙදා හදා ගෙන ජීවත්වීමේ වටිනාකමයි. ඒත් අද දරුවන් තුළ තිබෙන්නේ බෙදා ගැනීම නොව බදා ගැනීමයි. මේ ගැන ඔබටත් සමාජයෙන් ඕනෑ තරම් උදාහරණ සපයා ගත හැකියි. මෑතකදී මා ඇසූ කවි පද කිහිපයකින් අද සමාජය දරුවන්ට ලබා දෙන ආදර්ශය ගැන මටම පුදුම හිතුනා.

“පැලයක් සිටවන්න
ඵලයක් ලැබ ගන්න
මුදලට විකුනන්න
සතුටක් ලැබ ගන්න…”

ව්‍යාපාරික ලෝකයට මෙය සැබෑවක් වුනත් අපේ අම්මලා , අත්තම්මලා ගසක් හිටුවා සතුටක් ලැබුවේ වෙනත් විදිහකටයි. කුරුල්ලෙක් ඇවිත් ඉදුන ගෙඩි ආහාරයට ගන්නා විට ඔවුන් මහත් සේ සතුටු වුණා. ගමේ සෙල්ලම් කරන දරුවන් ඇවිත් “ජම්බු ටිකක් කඩා ගන්නද නැන්දේ….” ඇහුවාම කිසිම සීමාවක් තිබුනේ නැහැ. ඇති තරම් කඩා ගත්තා. පාර තොටේ වුනත් මල් පැලයක් හිටුවලා කිව්වේ පන්සලට යන එන කෙනෙක් හරි මලක් කඩා ගන්නේ නැතෑ…කියලයි. ඒ වගේ හිතේ තිබුන බෙදා හදා ගැනීම ඉතාම අපූරු විදිහට ඔවුන්ගෙන් ප්‍රදර්ශනය වුනේ එහෙමයි.ඒ නිසාම ඔවුන්ගේ සෙවෙන‍ෙ හැදුන වැඩුන අයටත් බදා හදා ගැනීමේ ගුණ නොඅඩුව ජීවිතයට සම්බන්ධව තිබුණා.

අද දරුවන්ට මේ වගේ පුංචි කවි පද ගැන දැණුමක් ඇත්තේම නැහැ. අම්මලාට වුනත් එවන් ආදර්ශමත් සාහිත්‍යයෙන් දරුවන් පෝෂණය කිරීමට අවශ්‍යතාවයක් ඇත්තෙත් නැහැ.

ඒ වගේම කවි , කථන්දර කියන්න අම්මලා දරුවන් එකට එකතු වෙන්නෙත් නැහැ

අද මව්පිය දූ දරුවන් අතර එකට හමුවක් වෙතොත් ඒ රූපවාහිනිය බලන විට පමණයි. ඒත් කතා බහක් නොමැතිව මේ දෙපැය ගෙවෙන්නේ කතාවට දැහැන්ගත වෙන නිසයා. එදා පවුලක අත්තම්මා, නැන්දා, පුංචිඅම්මා වැනි චරිත ජීවත්වුන නිසා ඔවුන් කුඩා දරුවන්ට මේ වගේ හොඳ ගුණධර්ම දැනෙන කවි පද කියා දුන්නා.

මව්පියන් කියාදෙන්නෙත් තනිවම ජීවත්වෙන්න..

අද මව්පියන් දරුවන්ට කියා දෙන්නෙත් බෙදා ගැනීම නොව බදා ගැනීමයි. වෙනතක් තබා පාසලට නොපැමිණෙණ පංතියේ මිතුරෙකුට වුනත් පාඩම් සටහනක් ලබා නොදෙන ලෙස ඔවුන් දරුවන්ට තරයේ අවවාද කරනවා.

පොත් නැති වුනොත්…

ඔව් ඒකත් ඇතත් සමහර දරුවන් පොත් පත් අරගෙන ගිහින් නැති නාස්ති කරන අවස්ථාවන්ද නැතුවාම නොවෙයි. ඊට හේතු වෙන්නෙත් තව කෙනෙක් ගැන හිතන සංවේදි සිතුවිලි නැති එකයි. ඔබ දරුවාට තවත් කෙනෙක් ගැන හිතන්න උපදෙස් නොදෙනාව වගේම සෙසු දරුවන්ගෙත් තිබෙන්නේ ඒ විදිහේ සිතුවිලියි.මේ නිසා සමහර දෙමව්පියන් දරුවා පාසලට නොගිය විට ඔවුන් පංතියට පැමිණ සටහන් සහ ගෙදරවැඩ ඉල්ලා ගෙන යෑමට  සිදුවෙලා. ඒත් අද වගේසන්නිවේදනයන් නොතිබුන කාලයක පාසල් නොගිය දිනට අසල්වැසි මිතුරු සමාගම ඒ නොගිය අයගේ  නිවසටම ගොස් දවසේ කරන ලද වැඩ කටයුතු ගැන බෙදා හදා ගත්තා.

ඇයි එහෙම කියන්නේ අදටත් සමහර දෙමව්පියන් ඡායා පිටපත් අ‍රගෙනත් දෙනවා

ඇගිලි පහම එක සමාන නාහැ කියන්නා වගේ ඇතැම් දෙමව්පියන් පාසල් නොගිය තම දරුවාගේ මිතුරන් වෙනුවෙන් අවශ්‍ය සටහන් ආදිය එවුන්ගේ වියදමෙන්ම ඡායාපිටපත් අගෙන දෙනන් තරමටත් උනන්දුයි. එහෙම අයත් නැතුවාම නොවෙයි.

සහජීවනය නැති දරුවන් නිර්මානය කලොත් ඔබත් අසීරුවට

බාල කාලයේ පටන්ම බෙදා හදා ගෙන එකට එක්ව ජීවත්වීමට අද ඉගැන්වුවේ නැත්නම් හෙට දවසේ ඔබේ දරුවාගෙන් ඔබත් පීඩා විදිනු ඇත. ඊට හේතුව වන්නේ ඔවුන් සමග මේ ගතිගුණ වැඩෙන නිසා එයින් අනාගතයේදී ඔබටත් බැට කෑමට සිදු වෙනු ඇත.සහයෝගයක් නොමැතිව ජීවත්වෙන දරුවා තුළ ගොඩ නැගෙන ආත්මාර්ථකාමී ගති පැවතුම් නිසා ඔවුන් තම පවුලේ උදවිය අතර පවා සහයෝගයක් නොමැතිව ජීවත්වෙන පිරිසක් බවට පත් වෙනු ඇත. මේ නිසා ඔබේ දරුවා අනාගතයේදී “ආත්මාර්ථකාමී” චරිතයක් ලෙසින් සමාජගත වෙනවාට වඩා බෙදාහදාගන්නා ඉතාම යහපත් අයෙක් ලෙසින් සමාජයට දායාද කිරීමට නම් බාලේ පටන්ම බෙදා හදා ගැනීම ඔවුන්ට පුරුදු කරන්න.

අතීතයේදී කිරි මවට වූ තහංචි අද කාලේ කිරි මවටත් හරියටම ගැලපෙන්නේ මේ නිසයි

අද අම්මලාට දරුවන්ට කිරි පොවන විට තැනක් නොතැනක් නොතිබුනත් එදා අම්මලා තමන්ගේ දරු පැටියාට කිරි පොවන විට අනුගමනය කරන ලද පිළිපැදීම් බොහොමයක් තිබුණා. එදා නිවසක වැඩිහිටි කාන්තාවන්  දරු උපත ලද කාන්තාව සමග සමීපව සම්බන්ධතාවයන් දක්වන ලද නිසාම ඔවුන්ගේ අවධානය නවදරු උපත ලද කාන්තාව වෙත යොමු වුනා. ඒ නිසා දරුවාට කිරි පොවන විට පැනවුන තහංචි කීපයක්ම තිබුණා.

  • දොරකඩ හෝ පිලමත සිට කිරි දීම
  • ඉදිකඩුල්ල පෙනෙන තැනක කිරි දීම
  • අම්මා දිය නාගත් විගස කිරි දීම

ඒ වගේම දරු ප්‍රසුතිවයෙන් මාස හතරක්  ගෙවෙන තෙක් දියනෑමට අවසර ලැබුනේ ඉර මද්දහනට පැමිණීමට පෙරාතුවයි. හවස් යාමයේදී දියනෑම අගුණ ලෙසින් සැලකුනා. දිවා කාලයේ වුනත් දිය නා ගෙන තෙත කෙස් පිටින් දරුවාට කිරි පොවන්න අවසර දුන්නේ නැහැ. කිරි පොවන විට හිසකෙස් හොදින් බැඳ ගන්න උපදෙස් දුන්නා. ඒ විදිහට උපදෙස් ලබා දුන්නේ යම් විදිහකින් ගිලිහෙන කෙස් දරුවාගේ මුඛයේ වැටෙන්නනට ඉඩ තිබෙන නිසයි.

කිරි පොවන විට පිරිමින්ට පෙනන්න කිරි දුන්නේ නැහැ. අද කාන්තාවන්ට මාස හතරක් ගෙවෙන තෙක් ප්‍රසුත නිවාඩු ලබා දෙන්නා සේම එදා කාන්තාවන් දරුවා ලැබී මාස හතරක් ගෙවෙන තෙක්  කුඹුරේ වැඩට ගියේ නැහැ.

තනිපංගලමේ කිරි පොවනවානම් කිරි ස්වල්පයක් ඇඟිල්ලට ගෙන කෙළ ගා ඉවත දැමියි යුතුයි. දරුවා ලැබී මාස හතරක් ගෙවෙන තෙක් දරුවාට අවශ්‍ය විදිහට පෝෂණය ලබා දිය යුතු නිසාම මේ විදිහට තහංචි ඔවුන් නොදැනම වුනත් සමාජයෙන්ම බිහි වී තිබුණා.  ඇයට අයත් කුඹුරු  කොටස්වල වැඩ කටයුතු සිද්ධ කරන ලද්දේ වෙනත් කාන්තාවන් විසිනුයි. ඒ වෙනුවෙනුත් හේතුවක් තිබුණා.

සිංහල අලුත් අවුරුදු කාලයේදී කිරි දෙන අම්මෙක් සිටින විට ඇගේ නිවසේ ගොමමැටිගෑම, වහල සෙවිලි කිරීම, වැනි කටයුතු සඳහා ගමේ උදවිය සහභාගි වුනා.දරුවාට කිරි දෙන අම්මා තෙල් වළං අද්දර සිටීමත් අනුමත දෙයක් නොවේ. ඒ නිසා අවුරුදු කැවිලි සකස් කර දුන්නෙත් ගමේ කාන්තාවන් විසින්. මාස හතරක් ගෙවෙන තෙක් දානමාන සහ පිරිත් පිංකම් වැනි දයට කිරි දෙන අම්මා කෙනෙක් සම්බන්ධ වුනේ නැහැ.

දරුවන්ට කිරි ලබා දෙන විට අලුත උපන් අම්මාට ලබා දුන් ආහාර අතර කොස් ඉතාම වැදගත්. කොස් සහ ‍පොළොස් ගැට හොදින් කිරි එරෙන ආහාරයක් බවට පිලිගැනීම ඉතාම තදින් ගැමි ජීවිතයට බද්ධව තිබුනා

ඒ වගේම ඔවුන් එදා සූදුරු, කොත්තමල්ලි වගේම උලුහාල් තම්බා ගත් ජලය පානයට ලබා දුන්න.එයින් අම්මාට කිරි එරෙන හැකියාව වැඩි වෙන බවට පිලිගැනුනා පමණක් නොවෙයි ඇත්තටම අඩුවක් නැතුවම කිරි එරෙන හැකියාව ඇති වුණා. කුරුදු සහ උළුහාල් වතුරේ දමා තබා එය පෙරාගෙන පානය කිරීමත් කිරි දෙන අම්මාවරුන්ට ඉතා හොඳ පානයක් විදිහට පිලිගෙන තිබුනා.

ඔවුන් කිරි දෙන අම්මාට සුදුළූණු දුන්නේ ඉතාම අපුරු විදිහකටයි. ලොකු සුදුළූණු ගෙඩියක් හෝ දෙකක් කඩදාසියක ඔතා ගිනිඅගුරු අස්සේ වලලා තබනවා. එය පිලිස්සී ඇතැයි සිතුනාම පොතු හැර හකුරු සමග ආහාරයට ගත්තා.දරුවා ලැබී මුල් දිනයන්හි ලබා දෙන මෙය අම්මාගේ කිරි උත්තේජනය කරනවා වගේම විෂබීජ ආදියෙන් ආරක්ෂා කරන බවත් එදා සමාජයේ තිබුන පිලිගැනීමයි.ව්‍යංජනවලටත් ඔවුන් වැඩියෙන් සුදුළුෑනු එකතු කරගත්තා. සුසුදුළුෑණු ආහාරයට ගත් විට එක්වතාවකදීම කිරිකළ හතක් පොවන්න පුලුවන් හැකියාවක් තිබුන බව ඔවුන් අතර තිබුන පොදු පිලිගැනීමයි.

ප්‍රසවය සමග ඇති වෙන තුවාල නිසා කිරි දෙන අම්මාට මලබද්ධය ඇති වුනොත් ඉතාම අසීරුයි. ඒ නිසා තන්තු බහුල ආහාර වැඩියෙන් ආහාරයට එක් කර ගත්තා. ඒ ආහාර මගින් කිරි එරෙන ශක්තියත් ඇති වුනා. කොහිල, කෙහෙල්මුව, අමු පැපොල් ,වට්ටක්කා වැනි ආහාර නිසා මල බුරුල් වුනා පමණක් නොව කිරි එරෙන හැකියාවත් ඇති වුණා.කුරක්කන් වලින් පිලියෙල කරන ලද පිට්ටු, කැඳ , රොටී සහ තලප පවා අම්මාගේ ආහාරයට ලබා දුන්නේ කිරිකැටියාට හොදින් කිරිටික ලබා දෙන්නයි.

ජපන්බටු කොළ මුල් කර ගෙන විවිධ මතවාද දැන් ඇති වුනත් එදා කිරි දෙන කාලයේදී අම්මාගේ බත් වේලට ජපන්බටු කොළ වගේම කිරි හැන්ද, අගුන කොළ පිලියෙල කර දුන්නා. ඇතැම් පලාත්වල සිංගප්පුරු කොළ යනුවෙනුත් හැදිනවුනේ ජපන්බටු කොළයි.

දරුවා ලැබීමෙන් පසුව අම්මාට දෙන ලද තැම්බුම් හොද්දේ බොහෝ ගුණ තිබුනා.  ප්‍රසවයෙන් පසු ගර්භාෂයේ ඉතිරි රුධිර කැටිති ඉවත් කර ගර්භාෂය සංකෝචනය කිරීම, ප්‍රසවයේ තුවාල ඉක්මනින් වියලීමට වගේම කිරි උත්තේජනයට තැම්බුම් හොද්දෙන් ලැබුන ගුණ බොහොමයි.

තද දම් පැහැයක් ඇති රාජල වගේම රතු බතල කිරි වඩවන ගුණය ඇති ආහාර ලෙසින් ඔවුන් පිලිගත්තා. මේ අල වර්ග වගේම කඩල, කොල්ලු වැනි දේ අම්මාගේ ආහාරයට ලබා දුන්නේ පොල් සමගයි. ඒ පොල් වුනත් අලුතම පොල් බෑයකින් ලබා ගත්තා.

ප්‍රසවයෙන් පසුව ඇති වෙහෙස වගේම සිරුර උණුහුම් කිරීමට ඉඟුරු බහුලව එකත් කළා. ඒ වගේම මව් කිරිවල විෂ ඉවත් කිරීම හෙවත් ස්තන්‍ය ශෝධනය වෙනුවෙන් නිතරම රතුලුනු ආහාරයට ගබා දුන්නා. මුරුංගා වලත් විෂ හරනය කිරීමේ ගුණය තිබුනා.

මව්කිරි දෙන අම්මාගේ කිරි විෂ වුනොත් දරුවාට රත ගෙඩි ඇති වීමට බලපාන බව සමාජයේ පිළිගැනීම වුන නිසාම මව්කිරි පිරිසිදුව ලබා දීමට එදා තිබුනේ විශේෂ අවධානයක්. මාස හයත් ගෙවෙන තෙක් දරුවාට ඖෂධ දීමට බැහැ. මේ නිසා මව්කිරි ඉතා පිරිසිදුව ලබා දිය යුතුයි. දරුවාගේ පෝෂණය මව්කිරෙන් සිද්ධ වෙන නිසා මව ආහාරයට ගන්නා දෙය දරුවාගේ සෞඛ්‍යය වෙනුවෙන් බලපාන නිසා මේ කාලේයදී අම්මාගේ ආහාර ගැන වඩාත් අනන්දු වුණා. සතියකට දෙවතාවක් පමන අම්මාට පොල්පලා, නෙල්ලි, රසකිඳ , නීරමුල්ලිය, ඉරමුසු තම්බා දුන්නා. මුත්‍රාකාරක ගුණයක් ඇති මෙම ඖෂධ මගින් කිරිවල තිබෙන විෂ මුත්‍රාමගින් පිට වුණා.  ( ආයුර්වේද වෛද්‍ය, අයෝමි ශානිකා දොලපිහිල්ල , ඩොලායෝ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, මහනුවර )

අද දරුවාට කිරි මදිවගේ දැනුනාම පිටිකිරි දියකරගෙන බ්වවාට එදා අම්මාවරුන් ඒ වගේ ගැටලුවලට මුහුණ නොදී ආරක්ෂාව ලැබුවේ ඔවුන්ගේ ආහාර රටාව නිසයි. අපි අද ගෝලීයකරණයට පත්ව පුංචි ගම්මානයක් වුනත් දරුවන් ලද අම්මාට මේ විදිහට සංග්‍රහ කිරීමට නම් කිසිම අපහසුවක් නැහැ.

උදේ ආහාර වේල දරුවන්ගේ නිසි වර්ධනයට මේ තරම්ම වැදගත් බව ඔබ දැන සිටියාද?

දරුවෙකුගේ පෝෂණය ඇරඹෙන්නේ මව්කුස පිළිසිඳි මොහොත් සිටයි. මව්කුස තුළදී මවගෙන් තම පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නා ළදරුවා මෙලොවට බිහිවීමත් සමගම මාස හයක් සම්පූර්ණ වන තෙක් මව්කිරෙන් පමණක් පෝෂණය වේ. නිසි පෝෂණයක් නොලැබී යාම දරුවෙකුගේ ශාරීරික මෙන්ම මානසික වර්ධනයට ද බාධාවක් බව හෙලිවී ඇත. අන්න ඒ නිසාම අද වන විට දරුවන්ගේ ආහාර පිළිබඳව මව්වරුන්ගේ අවධානය සිය දහස් ගුණයකින් ඉහළ ගියද දරුවන් සිය ආහාර වේල ප‍්‍රතික්ෂේප කිරීම මව්පියන්ට ඇති එකම සහ ප‍්‍රධානතම ගැටලූවක් බවට පත්ව ඇත.

කෙසේ වුවද දරුවාගෙන් දරුවාට ලබාගන්නා ආහාර වර්ග මෙන්ම ආහාර ප‍්‍රමාණවලද වෙනස්කම් පවතී. ඇතැම් දරුවන් තරයේ ප‍්‍රතික්ෂේප කරනු ලබන ආහාර වර්ග ඇතැම් දරුවන් ඉතා ආසාවෙන් ලබාගන්නා ආකාරය අප දැක ඇත. මේ තත්ත්වය මෙසේ වුවද දරුවෙකුට නිසි පෝෂණය ලබාදීමේ වගකීම පැවරෙන්නේ මව්පියන් වන ඔබටයි. දරුවෙකුගේ වර්ධනයට අවශ්‍ය නිසි පෝෂණය මෙන්ම ශක්ති ප‍්‍රමාණයක් ලැබෙනවාද යන්න පිළිබඳව මව්පියන්ගේ අවධානය උපරිමයෙන් යොමු විය යුතුය. එසේම උස සහ බර මැනීම නොකඩවා සිදු කරමින් එය නියමිත මට්ටමේ පවතිනවාද යන්න තහවුරු කරගැනීමද ඉතා වැදගත් වේ.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 1 – 3 දක්වා දරුවන්ගේ ආහාර ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධව මව්වරුන් නිතර මැසිවිලි නගනු ඇත. මේ වයස් සීමාවේ පසුවන බොහෝ දරුවන්ගේ මව්පියන් මේ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටි. කොයි ආකාරයෙන් ආහාර සකස් කළද දරුවන් එය ප‍්‍රතික්ෂේප කරයි නම් සැබවින්ම එය කණගාටුවට කරුණකි. මන්ද දරුවාගේ සෞඛ්‍ය සම්පන්න බව සංවර්ධනය කිරීමේ වගකීම මව්පියන්ගේ බැවිනි. එසේම නිිසි පෝෂණය මනා ප‍්‍රතිශක්තිකරණ හැකියාවකට අත්‍යවශ්‍ය සාධකයක් වනු නියතය.

දරුවන්ගේ ආහාර පිළිබඳව කතාකිරීමේදී වැදගත්ම කරුණක් වන්නේ උදේ ආහාර වේලයි. ඇතැම් දරුවන් උදේ කිරි බෝතලය බිව් පසු නැවත ආහාර ලබාගන්නට සූදානම් බව පෙන්වන්නේ දහවල් ආහාර වේලයි. නමුත් මව්වරුන් සිත තබාගත යුතු වැදගත්ම කරුණක් වන්නේ දරුවන් අනිවාර්යෙන්ම උදේ ආහාර වේල සඳහා හුරුකළ යුතු බවයි. මන්ද උදේ ආහාර වේල මගහැරීම බොහොමයක් බෝ නොවන රෝග තත්ත්වයන් ඇති වීමටද හේතු විය හැකි බව සමීක්‍ෂණ මගින් අද වන විට පෙන්වා දී ඇති බැවිනි. ඒ නිසාම කුඩා අවධියේ සිටම දරුවන්ට උදේ ආහාර වේල සඳහා නියමිත වේලාවක් හුරු කිරීම ඉතාම වැදගත් වේ.

වයස අවුරුදු 1 සිට 3 දක්වා දරුවන්ට උදේ ආහාරය වශයෙන් ධාන්‍ය වර්ග ලබාදිය හැකි නම් එමගින් දරුවාට ඉහළ පෝෂණයක් හිමි වන බව කිව යුතුමය. සෑම පෝෂකාංගයකින්ම අනූන ධාන්‍ය වර්ග දරුවන්ට දෛනික අවශ්‍ය වන ශක්ති ප‍්‍රමාණය සැපයීම සඳහා විශාල රුකුලක් වනු ඇත. එසේම ධාන්‍යවල කෙඳි සහ තන්තු අන්තර්ගත නිසාම මලබද්ධය වැනි තත්ත්වයන් ඇති වීමද වළකයි.

වයස අවුරුදු 1 – 3 දක්වා වයස් සීමාවන්වල දරුවන්ගේ වර්ධනය ඉතා ශීග‍්‍රයෙන් සිදුවන අතරම මව්වරුන් ඒ පිළිබඳව පූර්ණ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. තවද මනා පෝෂණයක් දරුවෙකුහට යම් හෙයකින් අහිමි වෙයිද ඒ දරුවා ලෙඩ රෝගවලට ගොදුරු විමේ ප‍්‍රවණතාවයද ඉහළය. මන්ද නිසි පෝෂණය නොලැබී යාම හේතුවෙන් ප‍්‍රතිශක්තිකරණ හැකියාවද පහළ බසින බැවිනි. තවද නිසි පෝෂණය මගින් දරුවෙකුගේ බුද්ධි වර්ධනයට ද විශාල පිටුවහලක් ලබාදෙයි. උදේ ආහාර වේල ලෙස ධාන්‍ය හෝ ධාන්‍ය සහිත සීරියල් දරුවාට ලබාදීමේදී එය පරිපූර්ණ ආහාර වේලක් ලෙස ලබාදිය හැකි නිසා දරුවාට අවැසි පෝෂණය උපරිමයෙන් ලැබෙනවාට කිසිදු සැකයක් නැත.

ඔබේ දරුවාට ඇවැසි නිසි පෝෂණය ලබාදීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. මෙහිදී වැදගත්ම කරුණ වන්නේ සැමවිටම නිවැරදි දේ තෝරාගැනීම ඔබ දැනුවත් වීමයි. එනම් දරුවාට ලබාදෙන ආහාරවල පෝෂණය පිළිබඳ ඔබ තුළ තිබිය යුතු දැනුවත් බව සහ විශ්වාසයයි.

මෙය Ceregrow අනුග්‍රාහකත්වයෙන් පලකරන ලද ලිපියකි.

බබාලා එක්ක සුපර් මාර්කට් යන අම්මලා මේ ගැන සැලකිලිමත් වීම අනිවාර්යයි

දරුවන් සමග සුපිරි වෙළඳසැලකට යන දෙමව්පියන්ට විටෙක ඉතාම අසීරුතාවයන්ට මුහුණ දීමට සිද්ධ වෙනවා. දරුවන්ට වෙළඳපොලේ භාණ්ඩ වටිනාකම හෝ අවශ්‍යතාවය තේරෙන්නේ නැහැ. ආකර්ශණීය විදිහට අසුරා තබන සහ ඉතාම ප්‍රසන්න වූ පරිසරයකදී ඔවුන් හැසිරෙන්නේ තමන්ට අවශ්‍ය විදිහටයි. බඩු භාණ්ඩ එහා ‍මෙහා ගෙන යන ට්‍රොලිවලට අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය දේ අසුරන්නත්, එහා මෙහා දුව පැන යමින් රාක්ක ඇසුරුමේ තිබෙන බඩු භාණ්ඩ එහා මෙහා කිරීමටත්, අනවශ්‍ය දේ ඉල්ලා කෑ මොර දෙන්නත් දරුවන් සුපිරිවෙළඳසැල ආයුධයක් කර ගන්නවා. එහෙමනම් සුපිරි වෙළඳසැලට යන විට දරුවන් කැටුව යා යුතු නැද්ද…

දරුවන්ටත් මේ පරිසරය වටහා දිය යුතුයි

අද දරුවා හෙටදෙවසේ පවුල් ජීවිතයකට අනිවාර්යෙන්ම පත් වෙන නිසා ඔවුන්ද වෙළඳපොල හැසිරීම අනිවාර්යෙන්ම ඉගෙනගත යුතුයි. ඒ නිසාම ඔබ දරුවන්ද සුපිරි වෙළඳසැලට කැටුව යා යුතු අතර එහිදී හැසිරෙන අන්දම කියා දීම ඉතා වැදගත්.මෙය දරුවන්ගේ සෙල්ලම් පිටියක් නොවන බව ඔවුන්ට කියා දෙන්න. එක්තරා දරුවන් දෙදෙනෙක් සුපිරි වෙළඳසැලේ තම සහෝදරයා සමග දුව පනින විට අසුරා තිබුන ජෑම් බෝතල් දෙකක් බිම වැටී බිඳුන අතර ඒ වෙනුවෙන් අලාබය දෙමව්පියන්ට ගෙවීමට සිද්ධ වුණා. මේ නිසා කිසිම විටෙක දරුවන් නිදැල්ලේ හැර ඔබ වෙළඳසැලේ ඔබේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පමණක් යෙදෙන්න එපා. නිතරම දරුවන් කරන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටින්න.

මුලින්ම ලැයිස්තුවක් පිළියෙල කරගන්න

බොහෝ විට සුපුරි වෙළඳසැලකදී අපිට නිවසේ අවශ්‍යතාවයන් නොදැනීම දැනගන්න පුලුවන්. බඩු භාණ්ඩ, එළවලු, පළතුරු සහ වෙනත් සියලු දේ එකම වහලක් යටතේ මිළට ගත හැකි නිසා මේ පහසුව ඇති වුනත් ඔබ නිවසේදීම ලැයිස්තුවක් පිළියෙල කරන්න. මේ ලැයිස්තුවේදී මුලින්ම නිවසට සහ අදට අත්‍යවශ්‍ය දේ සටහන් කරගන්න.

දරුවාගේ සහයෝගයත් ලබා ගන්න

මේ ලැයිස්තුව පිළියෙල කරන විට දරුවාගේ සහයෝගය ලබා ගන්න. නිවසේ අවශ්‍ය සහ අත්‍යවශ්‍ය දේ ගැන ඔවුන් සමග සාකච්ඡා කරන්න. සුපිරි වෙළඳසැලේදීත් ඔබ වෙත ඇති ලැයිස්තුවේ අවශ්‍යතාවයන් නිවරැදිව ලබා ගත්තාද යන්න සලකා බැලීමට දරුවන්ගේ සහයෝගය ලබා ගන්න.

අකුරු ලියන්න කම්මැලිකරන පැටවුන්ටත් හොඳයි

මගේ දියණිය බාලකාලයේදී අසා ලිවීමට දක්වන්නේ මහත් කම්මැලිකමක්. ඒත් නගරයට යෑමට පෙරාතුව ඇයට අවශ්‍ය දේ කොළයක ලියන්න කී විට සැනින් එය ලියන්න ඇය දක්වන ලද හැකියාව නිසා අපි නිතරම ඇයට ඒ විදිහට අවශ්‍ය බඩු ලියන්න අවස්තාව ලබා දුන්නා. ඒ නිසා කිසිම  අමුතු වෙහෙසක් නැතුව ඇය ලියන්න ඉගෙන ගත්තා. ඔබත් දරුවන්ට තමන්ගේ අවශ්‍යතාවයන් සටහන් කර දෙන්න කිව්වොත් ඔවුන් ඉතා අපුරුවට ඒ දෙය කරනු ඇති.

දරුවාගේ අවශ්‍යතාවයන්ද විමසා දැනගන්න

සුපිරි වෙළඳසැලට ගිය විට දරුවාට අවශ්‍ය දේ නිවසේදීම දැන ගන්න. ඉවක් බවක් නැතුව අවශ්‍යතාවයන් ගැන දරුවන්ගෙන් ලැබෙන පැමිනිලි වෙනුවෙන් එය ඉතාම හොඳ විසදුමකි. ඒ වගේම ඔබේ වැය ශීර්ෂ පිලිලෙ කර ගැනීමටත් එය හොඳම පියවරක් වෙනු ඇත.

දරුවන්ගේ සහයෝගය භාණ්ඩ තෝරන විට ලබා ගන්න

දරුවන් අයාලේ තබා ඔබ බාණ්ඩ මිළට ගැනීමට වඩා ඔවුන්ද ඒ වෙනුවෙන් සම්බන්ද කර ගන්න.හය හතර තේරෙන දරුවන්ට  භාන්ඩ මිළට ගන්නා විට එහි ඇසුරුමේ ඇති තොරතුරු බැලීමට කියා දෙන්න.

එක් දරුවෙක් අම්මාට කියාසිටියේ භාන්ඩ මිලට ගන්නා විට ඇසුරුමේ තිබෙන ලේබලය ගැන විමසා බලන ලෙසයි. අම්මා බලන්නේ මිළ විතරයි. ඒත් ඇසුරුමේ දිනය, ක්ලඉකුත්වෙන දිනය, අඩංගු දේ ගැන බලන්න. දරුවා පාසලේ උගත් ප්‍රායෝගික තාක්ෂණ කුසලතාවය එදා තමන්ගේ මිළට ගන්නා දෙයට  සම්බන්ධ කර ගත්තා.

මුදල් පසුම්බියේ තරම සිතන්න

ඔබ ඉවක් බවක් නැතුව මිළදී ගැනීමේ වෙනුවෙන් යොමු වුනත් කවුන්ටරයේදී අපහසුතාවයන්ට පත් නොවන සේ සකසුරුවම් සහතිතව මිළදී ගැනීම ඉතාම වැදගත්. ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පතෙන් වැය බර නිදහස් කර ගත හැකි වුනත් මේ කුමන මාධයයෙන් හෝ අනවශ්‍ය ලෙසින් වියදම් දැරීමට වඩා මිළ පාලනයකින් බඩු මිළට ගන්න. මිළට ගන්නා අතරවාරයේදීම ඒ ගැන සසඳා බලන්න.

බිල්පත සුරැකිව තබා ගන්න

මිළට ගත් බවට වූ එකම සහතිකය බිල්පත නිසා එය සුරැකිව තබා ගන්න. දරුවාට බිල්පත දී එහි ඇති අයිතමයන් නිවරැදිව බැලීමට සහය කර ගන්න. එයින් ඔවුන් තුළ ගණිතමය සංකල්පයන් වර්ධනය වෙනු ඇත. දැණුම් තේරුම් ඇති දරුවාට යන්ත්‍රානුසාරයෙන් වුනත් මිළට ගත් අයිතමයන් හා මිළ අතර ගැලපීම, ඉතුරු මුදල් පිලිබඳ නිවරැදිතාවය පරීක්ෂා කිරීමට උපදෙස් දෙන්න.

ගැබිනි මව්වරුන්ට ඇති වෙන දොළ දුක, මේ දේවල් ඔබ අසා තිබෙනවාද?

දරුවන් ලැබෙන්න ඉන්න අම්මලාට විවිධ ආහාර වෙනුවෙන් ඇතිවෙන උත්තේජනය අත්තම්මලා විසින් එදා හැදින්වූයේ “දොළ දුක” විදිහටයි.තවත් අන්දමකින් ඔවුන් මේ ආහාර වෙනුවෙන් ඇති වෙන අවශ්‍යතාවය මගින් දරුවාගේ ගති පැවතුම් ගැනත් අනාගත වාක්‍ය ගොඩ නගා ගත්තා. ගැමුණු කුමාරයා ලැබෙන්න සිටියදී විහාරමහ දේවියට නෙළුම් කොළේ බත් කන්නත්, අසිපත සෝදා ගත් ජලය පානය කරන්නත් ආසාවක් ඇති වුණා. මේ දොළ දුක මගින් නිමිත්තක් විදිහට කියා සිටියේ අනාගතයේදී වීර පුතෙක් උපත ලබන බවයි.

සද්ධර්මරතනාවලියේ වනවාසක තෙරුන්වහන්සේගේ කතා වස්තුවේ සදහන් අන්දමට මවට ඇති වුන දොළ දුක වුයේ රහතන්වහන්සේලාට ආරාධනා කොට වඩා හිඳුවා රන්වන්පාට වස්ත්‍රයෙන් සැරසී, රන්තැටියක් ගෙන ජලය මුසු නොකල කිරිබතක් පිලිගන්වා එහි ඉතුරු කොටස ඇයට ආහාර ලෙස ගැනීමටයි.

බන්ධුල මල්ලිකාවන්ට ඇති වුන දොළදුක වූයේ ලිච්ඡවී රජවරුන් හත්දහස් හත්සිය හතක් දිය නාන පොකුණට බැස ස්නානය කොට එයින් පැන් පානය අජාසත් කුමරැ ගැබ් ගත් විට මවට ඇති වුන ආසාව වූයේ රජතුමාගේ දකුණු උරස පලා රුධිරය පානය කිරීමටයි.

ඒ වගේම ගැබ් දරණ අම්මා කෙනෙකුට ඇති වෙන දොළ දුක කෙසේ හෝ සංසිදවීමට එදා වැඩිහිටියන් වග බලා ගත්තා. එහෙම නැති වුනොත් උපත ලබන දරුවාට එයින් යම් දොසක් ඇති වෙතැයි ඔවුන් අනුමාන කළා. මේ සංසිද්ධිය අද විද්‍යාත්මකව විශ්ලේෂනය කිරීමට “බොනවිස්ට් සාලේ” නැමැති පර්යේෂකයා විසින් උනන්දු වී සිටිනවා.

එහිදී ගැබ් දරණ මවක් සහ ඇයට ආසාව ඇති වෙන ආහාරපානාදිය පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවා. එම අධ්‍යනයේදී පෙනී ගියේ දරු ගැබ දරණ කාලයේදී අම්මාගේ කැමැත්ත ඇති ආහාරපානාදිය ගැන උපත ලබන දරුවා තුළත් යම් සම්බන්ධතාවයක් ඇති වෙන බවයි.

ඒ වගේම දරු උපතෙන් පළමු සති කීපය තුළ මව බුත්ති විදින ආහාරයේ රසය, සුවඳ  වෙනුවෙන් නව ජන්ම දරුවාගේද ආකර්ශනයක් ඇති වෙන බව වෛද්‍ය බොනවිස්ට්ගේ අදහසයි. මෙම අධ්‍යන කණ්ඩායම විසින් ගැබිණි මව්වරුන්ට එකම රසයක බිස්කට් සහ රසකැවිලි ලබා දුන්නා. ඒ වගේම දරුවා හඩන හැම අවස්ථාවකදීම මගැබ් දරණ කාලයේදී මවට ලබා දුන් බිස්කට් හා රසකැවිලිවල සුගන්ධය වැදෙන්නට සැලසූ විට දරැවන්ගේ හැඬිම නැවතුනා. එයින් පෙනී ගියේ ගර්භාෂයේදී සිටින විට දරුවාට දැණුන සුවද වෙනුවෙන් ඔවුන්ගේ ආකර්ශනය ඒ අයුරින්ම පැවතුන බවයි.

ඊට අතිරේකව මෙම පර්යේෂකයන් විසින් සුදුළූණු සහ කැරට් වැනි දෙයින් නික්මෙන අපුල ගන්ධයන්ද අධ්‍යනයේදී පාදක කර ගත්තා.  එතැනදීත් පෙනී ගියේ ගැබිණි අවධියේදී මව විසින් එම ආහාර වෙනුවෙන් දක්වන ලද ප්‍රතිචාර අනුව දරුවන්ද ඊට අනුගත වුන බවයි.

ඒ වගේම දරුවා ගැබ සිටින කාලයේදී මව විසින් ලබා ගන්නා යහපත් ආහාර රටාව දරුවාගේ වර්දනය සඳහා සමීප සම්බන්ධතාවයක් දක්වනවා. දරුවා ගැබ දරණ කාලයේ පටන්ම අම්මාගේ අහිතකර ආහාර පුරුදු වුනත් ඔවුන්ගේ මතු ජීවිතයට බලපානවා. ආර්ජන්ටිනාවේ සිදු කරන ලද අධ්‍යනයකට අනුව ගර්භණී කාලයේදී මත්පැන් පානය කරන ලද මව්වරුන්ගේ දරුවන් උපත ලැබීමෙන් පසුවත් මද්‍යසාර සුවඳට ආකර්ශනයක් දක්වන ලද බවයි.

මේ කාලයේදී ඇතැම් ගැබිණි මව්වරුන් හාල්, සබන්, මැටි , වැලි වැනි දේ ආහාරයට ගනු ලබනවා. මෙය අසාමාන්‍ය දොළ දුකක් විදිහට සැලකිය යුතු නැහැ.ප්‍රසව හා නාරි රෝග වෛද්‍ය විශේෂඥයන්ගේ හදුනා ගැනීමට අනුව මෙය “පිකා සින්ඩෝරමය” යනුවෙන් හැදින්වෙනවා. මේ වගේ දේ ආහාරයට ගනිද්දී “අනේ ඉතින් දොළදුක්කාරයෙක්නේ…” කියා ඉවසා සිටිය යුතු නැහැ. මේ වගේ ආහාර නිසා ගැබිණි මවට ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයන්ට පහසුවෙන්ම ගොදුරු විය හැකියි.

කර්ණාටක ප්‍රදේශයේ ගැබිණි මව්වරුන්ගෙන් සියයට පස් දෙනෙක් පමණ මෙම අසාමාන්‍ය දොළ දුක් තත්වයෙන් පීඩා විදිනවා. පෝෂණ විද්‍යාඥයින්ගේ උපදෙස් අනුව ගැබිණි සමයේ මවගේ ආහාර රටාව දරුවාගේ ශාරිරික මෙන්ම මානසික පෝෂණය වෙනුවෙන් බලපානවා. ඒ නිසාම ගැබිණි මව්වරුන්ට පෝලික් අම්ලය අඩංගු ආහාර අනුමත කරනු ලබනවා.බ්‍රිතන්‍ය වැනි රටවල පාන් නිෂ්පාදනයේදී පෝලික් අම්ලය සංයෝග කරන්නේද මේ අඩුපාඩුව පිරිමසා ගැනීමටයි.

ඉතින් දරුවන් ලැබෙන්න ඉන්නා විට ඇති වෙන විවිධ දොලදුක් ගැන අද දැක්වෙන් අදහස් නිසා අමුතු දොළදුක් ගැනත් නොසලකා සිටිය යුතු නැහැ.

අතට අහුවෙන හැමදේම කපලා දානවා, ඔබේ දරුවටත් මේ පුරුද්ද තියෙනවද?

වයස අවුරුදු හතරක් පමණ වෙත්ම දරුවා තමන්ට හසුවන දේ අතර ග්‍රහනය කර ගැනීමට උත්සාහ දරනවා. මේ කාලයේදි ඔවුන් තමාගේ අතට හසුවන දෙයින් කරන ඇතැම් කටයුතු දෙමව්පියන්ට රුස්සන්නේ  නැහැ. කතුරක් දුටු විට එයින් රෙද්දක් , ඇඳුමක් කිසිම ඉවක් බවක් නැතුව කපනවා. ඒ වගේම පැන්සලක් අතට අහු වුනොත් බිත්තියේ කුරුටු බලි අදිනවා. මේ වගේ සිද්ධි නිසා දරුවන්ට ඇතැම් විට බරපතල දඬුවම් පවා ලැබෙනවා. ඒත් ‍බුද්ධිමත් දෙමව්පියන් විදිහට ඔබ මේ ගැන දරුවන් සමග උරන විය යුතු නැහැ.

දරුවන්ගේ හැසිරීමේ මේ වෙනස ඔබ දකින්නේ…..

වයස අවුරුදු තුනක් පමණ වෙත්ම දරුවාගේ මාංශපේශි වර්ධනය වීම සමග ඔහුට වේගයෙන් දුවන්න, පඩි පෙලක් නගිනන් වගේම බයිසිකලයක් පැදීම වැනි හැකියාවන් ලැබෙනවා. දාර්ශනිකයන් පෙන්වා දෙන අන්දමට දරුවෙකුට නීරෝගී මනක් ලැබෙන්නේ ඔහුට නීරෝගී කයක් ඇත්නම් පමණයි. ඒ නිසා දරුවන්ගේ මේ ක්‍රියාකාරිත්වය ගැන දෙමව්පියන් විදිහට ඔබ පුදුම විය යුතු නැහැ.

ඒත් කතුරකින් ඔබේ වටිනා ඇඳුමක් එසේත් නැත්නම් ඇඳුමක් මැසීමට මිළට ගත් රෙද්දක් කපා දමා තිබුනොත් ඔබට ඇති වෙන තරහ සීමා මායිම් නැහැ. ඒ වුනත් ටිකක් ඉවසන්න. වයස අවුරුදු හතරක් පමණ වෙත්ම දරුවාගේ අතේ ඇගිලි ක්‍රියාකාරී වෙනවා. ඒ නිසා ඔහුට තමන්ට අවහ්‍ය විදිහට ඇඟිලි හසුරුවන්න පුලුවනි.

එහෙම නම් අපි මොකද කරන්නේ…මේ කාලයේදී  දරුවාට සෙල්ලම වෙනුවෙන් මැටි ලබා දෙන්න පුලුවනි. දැන් ඔබ මෙහෙම කියාවි. ඉස්සර නම් අපි කිරිමැටි හාරා ගෙන විවිධ රූප හැදුවා. ඒත් දැන් කිරිමැටි තියෙන තැනක් හොයා ගන්න තියෙනවායැ. කිරිමැටි නැති  බව ඇත්ත. ඒ වෙනුවට අද පදම් කරන ලද මැටි පොත් සාප්පුවලින් පහසු මිළට ගත හැකියි.

කඩදාසි කැපීමමේ කාලයේදී අතට හසුවෙන හසුවෙන දේ කැපීමේ කටයුත්තෙන් දරුවන් මුදවා ගැනීමට නම් ඔබ ඔවුන් වෙනුවෙන කපන දෑ ලබා දෙන්න. වර්ණවත් කඩදාසි, කාඩ්බෝඩ් වැනි දේ දරුවාට ලබා දුන් විට ඔවුන් යම් යම් දේ නිදහසේ කැපීමට යොමු වෙනවා.

ඉතින් මොනවාද කපන්න කියන්නේ….

නිවසට බඩු භාණ්ඩ මිලට ගැනීමෙන් ඉතිරි වෙන කඩදාසි ඇසුරුම් වුනත් කමක් නැහැ. හැබැයි වර්ණවත් විය යුතුයි.ඔබ දරුවාට කඩදාසිය දෙකට නවා එය නැවූ ඉර දිග කපන්න උපදෙස් දෙන්න. යම් යම් පහසු රූප රටාවන් ඇඳ එය වටා කපන්න උපදෙස් දෙන්න. පාට කඩදාසි නම් වඩා‍ හොදයි.

දරුවන්ගේ නිර්මානාත්මක සිතුවිලි අවදි වීමට නම් වර්ණවත් කඩදාසි යොදා ගැනීම වඩාත් වැදගත්.

කඩදාසි කැපීමෙන් වෙන්නේ…

වෘත්තයක් වැනි හැඩතලයක් එහි සීමාව වටා කැපීම නිසා දරුවාගේ ඉවසීම වගා වෙනවා. ඒ වගේම මෙම ඉර දිග කපන විට අවධානයෙන් කුටයුතු කිරීම නොදැනීම සිද්ධ වෙනවා. යම් ක්‍රියාවක් වෙනුවෙන් අවධානය නොදැක්වීම දරුවන්ගේ සාමාන්‍ය සිරිතක්. ඒ නිසා මෙවැනි නිර්මානාත්මක කටයුතු මගින් ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය රඳවා ගත හැකියි.

මේ වියදම් අස්සේ පාට කඩදාසිවලටත් මිළක් දෙන්න පුලුවනිද….?

ඔබ කලබල විය යුතු නැහැ. නිවසේ ඇති පත්තර සඟරාවලින් සිහින්ව ඉරා ගත් කොළ දරුවාට ලබා දෙන්න. රවුමක් හෝ හතරැස් කොටුවක් තුළ මේ වර්ණවත් කඩදාසි කැබැලි අලවන්න උපදෙස් දෙන්න. කොලාජ් යනුවෙන් හැදින්වෙන මෙම කටයුත්ත නිසා දරුවා මහත් සතුටක් ලැබෙන්නේ එහි නිමාවෙන් දකින අලංකාරය නිසයි.

දැන් මම ලොකුයි

මේ කාලය වෙන විට දරුවාට අවශ්‍ය වන්නේ අම්මා, තාත්තා, ගුරුතුමා වැනි චරිත වෙනුවෙන් තමාට ආදේශ කර ගැනීමයි. ඒ නිසා අම්මා වගේ සාරියක් ඇඳීම , තාත්තා වගේ රැකියාවට යෑම, පංති කාමරයක ඉගැන්වීම වැනි චරිත නිරූපනය කරනු ඇත. ඒ වෙනුවෙන් අල්මාරියේ සාරි ගැනීම, වෙනත් ගෘහ උපකරණ හැසිරවීම වැනි කටයුතු වල යෙදෙන්නට පටන් ගනී.තවත් විටෙක මුහුණේ පියරු දැමීම, තොල් ආලේපන යොදා ගැනීමටත් යොමු වෙනු ඇත. එහිදී දරුවන් හිතන්නේ තමා දැන් ලොකු අයෙක් බවයි. එය දරුවාගේ මානසික සංවර්ධනයේ ප්‍රතිඵලයක්. ඒ නිසා කිසිම විටෙක එවන් කටයුතු දුටු විට ඔබ ආවේශ විය යුතු නැහැ. සමහර විට දරුවා ඔබේ වටිනා සාරියක් අරගෙන දූවිලි තවරා තිබිය හැකියි. ඒ වුනත් තවත් පැත්තකින් එයින් දරුවා ලද තෘප්තිය ඉතාම වටිනවා. මේ නිසා නිතරම දරුවාගේ සෙල්ලම්වලට අවශ්‍ය සාරි, තාත්තාගේ  කමිස ආදිය තෝරා දෙන්න. ගත යුතු සහ නොගත යුතු දේ ගැන කියා දෙන්න.

දරුවන්ට උපකරණ ලබා දෙන්නමේ අන්දමින් සෙල්ලම්වල යෙදෙන දරුවන් වෙනුවෙන් කුඩා වලං , අකුරු ලියන ලෑල්ලක්, පාට කූරු වැනි අවශ්‍ය දේ ලබා දෙන්න. එයින් දරුවා මවන විසිතුරු ළමා ලොකයෙන් ඔබටත් මහත් සතුටක් දැනෙනු ඇත.

පරිස්සම් වෙන්නත් ඕන

මේ කාලයේදී දරුවන් ගැන වඩාත් අවධානයක් දැක්වීම අවශ්‍ය වන්නේ ඔවුන්ගේ කටයුතු විටෙක දැලි පිහිය අතට ගත් වඳුරාට සමාන වන බැවින්ය. නිවසේ තිබෙන අහිතකර බෙහෙත්, විවිධ ආලේපන, කැපුම් ආයුධ ඔහුට අනතුරුදායක වෙන නිසා ඒ ගැනත් අවධානයෙන් සිටින්න. දරුවන්ගේ ලෝකය ඉතාම විසිතුරුයි. ඒ විසිතුරු ලෝකයේ අනතුරක් නැතුව සැරිසැරීමට ඔවුන්ට අවසරය තිබිය යුතුයි.

පුංචි බබාලට කවන එක හරිම වදයක්ද? මේ ලිපිය ඔබටමයි

ගොඩක් අයට තියන ලොකුම ගැටලුවක් තමයි චූටි බබාලට කවන එක. ඇත්තටම ඒක ගොඩක් වගකීමෙන් කලයුතු දෙයක් .මෙතන පලවන post දැක්කම මට මේක ලියන්න හිතුනා. මේක මං ලියන්නේ WHO AND UNICEF එකතු වෙලා හදපු GUIDELINE එකකුයි ලංකාවේ FAMILY HEALTH BUREAU කියන ආයතනයෙන් හදපු guideline එකකුයි උදව් කරගෙන.
උපතේ සිට අවුරුදු 2 දක්වාකාලය දරුවෙකුට හරිම වැදගත්.මේ කාලයට කියනවා critical window කියලා.මේ කාලයේ දරුවෙකුට නිසි පෝෂණයක් නොලැබුනොත් දරුවෙකුගේ මානසික ශාරිරික වර්ධනය අඩුවෙනවා.දීර්ඝ කාලිනව බැලුවොත් බබාගේ ඉගෙනුම් කටයුතු, වැඩකිරිමේ හැකියාව වගේ දේවල් අඩු වෙනවා,ගැහැණු දරුවෙක් නම් එයාගෙ දරුවන්ටත් මේක බලපානවා.
බබාට මාස 6 ක් දක්වා මවුකිරි විතරමයි දෙන්න ඕන .මේ පෝෂණය ඒකාලයට හොදටම ඇති.ඒ කියන්නේ සාමානය උපත් බරක් ඇති නියමිත කාලයේ ඉපදුන බබෙකූට.මේකෙන් බබාගේ ආහාර මාර්ගයේ ඇතිවන ආසාදන, අසාත්මිකතා,අවම කරනවා.ඒ වගේම බබාගේ චාලක හැකියා වර්ධනය ටත් මේක වැදගත්.
දින 180ක් පිරුන බබාලට තමයි අමතර ආහාර පටන් ගන්න ඕන. ඒත් එක්ක අවුරුදු 2ක් යනකම් මවුකිරි දෙන්න ඕන.අම්මලා රැකියාවට යනකොට මේතත්වය වෙනස් වෙනවා.ලංකාවේ government service එකේ no pay leave ගන්න පුලුවන්නේ. කොහොම වුනත් රැකියාවට යායුතු මවක් නම් මාස 4න් දින 120න් අමතර ආහාර පටන් ගන්න පුලුවන්.
අවුරුදු 2 ක් වෙනකම් මවුකිරි දෙන එකේ වැදගත් 
1.ඒකාලයේ 70%ක් විටමින්,40%ක් කැල්සියම් මවු කිරි වලන් ලැබෙනවා.
2මොලයේ වර්ධනයට වැදගත්,
3හතිය වගේ දීර්ඝ කාලින අසනීප අඩු කරනවා.
4සථූල තාවය අඩු කරනවා
5ඒ වගේම අසනීප අවස්ථාවක අනෙක් කෑම වලට apetite අඩු වුනත් අම්මගේ කිරි ටික ආසා වෙන් බොන නිසා සනීප වෙන්න ඕන පෝෂණය ඒකෙන් ලැබෙනවා.
මවුකිරි දෙන්න බැරි මොකක් හරි අපහසුතා වක් තියනවනම් බබාලට හදලා තියන formula සම්පූර්ණ යොදය සහිත කිරිපිටි දෙන්න ඕන.soy වලින් හදලා තියන ඒවත් හොදයි.
කිරි බෝතල් පාවිච්චියත් හොද නෑ.

Fresh milk ඇතුලුව වෙන කිසිම කිරි ජාතියක් දෙන්න හොද නෑ.
ගොඩක් අය හිතනවා fresh milkහොදයි කියලා ඒ වුනත් ඒක එහෙම නෙවෙයි
1මේවයේ ගොඩක් ලවණ තියනවා මේ ලවණ ශරීරයට උරා ගන්න බෑ ඒක හේතුවෙනවා වකුගඩුවල ලවණ වැඩිවෙන්න මෙය විජලනය දක්වා හේතුවෙන්න පුලුවන්
2ඒ වගේම ආහාර මාර්ගයේ සැගවුන රුධිර වහනයක් ඇතිකරන්න හේතු වෙනවා කියලත් තිබුනා
3අනිත් දේ ආසාදනයන්

ඊලගට බබාලට කවන එක .ඒක හරිම වගකීමෙන් කරන්න ඕන දෙයක්
එතකොට බබාලගේ ශාරිරික වර්ධනය විතරක් හිතලා මදි ,මානසික වර්ධනය ගැන හිතන්න ඕන
ඒ වෙලාව එයාට සෙල්ලම් කරන වෙලාවක් ,ආදරය කරන වෙලාවක්, ඉගෙන ගන්න වෙලාවක් වෙන්න ඕන
ඒ වෙලාවේදි බබාගේ බඩගින්න ගැන වගේම ඇතිවීම ගැනත් හිතන්න ඕන
කොයි වෙලාවකවත් බල කරන්න එපා
කෑම කන එක එයාලගෙ වැඩක් කරගන්න දෙන්න
බබා කෑම refuseකරනවනම් විවිධ දේ විවිධ විදිහට හදලා දෙන්න
කෑම කවන්න එක තැනක් තියාගෙන ඒ තැන එයාට pleasant තැනක් කරන්න.

කෑම ගබඩා කිරීම , සැකසීම හරිම පිරිසිදුව කරන්න ඕන. කෑම දෙන, සකසන භාජන පිරිසිදුව තියාගන්න ඕන. හැකි සෑම විටම නැවුම්ව ආහාර ලබාදෙන්න ඕන.
අමතර ආහාර පටන් ගන්න කොට තේ හැදි2,3කින් පටන් ගෙන amount එක වැඩි කරන්න ඕන ඒ වගේම දෙන වාර ගණනත් වැඩි කරන්න ඕන
එතකොට කිරි දීම අඩු කරන්න ඕන .එහෙම නැත්නම් කිරි වලින් එන ශක්තිය නිසා එයාලට කෑමේ උවමනාව අඩුවෙනවා

කෑම පටන් ගන්න කොට මුලින්ම මත්ගාගත් බත් තලපයට මවු කිරි දාලා දෙන්න
මාස6- 8 mashed, pureed ඒ කියන්නෙ හොදින් අබරලා දෙන්න මාස8 වෙනකොට සියුම් කැබලි අඩංගු වෙනසේ දෙන්න
මාස 9 වෙනකොට අතින් අල්ලගෙන කන ආහාර finger food දෙන්න ඕන
අවුරුද්ද වෙන කොට අපි කන කෑමම එයාලට දෙන්න ඕන අවුරුද්දෙන් පස්සේ අපේ අධීක්ෂණය සහිතව එයාලට තනියෙන් කන එක promote කරන්න ඕන

ස්වශන මාර්ගයේ හිරවෙන්න පුලුවන් කෑම දෙන්න එපා

හැම දවසකම එහෙම නැත්නම් පුලුවන් හැම වෙලාවෙම මස් ,මාලු, බිත්තර කෑම වලට එකතු කරන්න
මස් මාලු නැත්නම් යකඩ බහුල ශාකමය ආහාර දෙන්න ඕන.
vit A බහුල එලවලු පලතුරු දෙන්න ඕන.

පොල් තෙල් ,පොල්කිරි, unsaltedබටර් එකතු කරලා කෑම හදන්න ඕන. අවුරුද්ද යනකම් සීනි ,ලුණු දෙන්න එපා. අසාත්මිකතා වියහැකි ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕන
තේ, කෝපි ,සීනි සහිත පාන වර්ග දෙන්න එපා.

රෝගී වෙලාවටබබා ආස කෑම වර්ග දෙන්න .මවු කිරි ඉල්ලන සෑම වටම දෙන්න.
සනීප වුනාම වැඩියෙන් ආහාර දෙන්න ඕන.

කර්තෘ ගැන:
වෛද්‍ය පූර්ණිමා ලක්මාලි (MBBS, USJ)
හපුගස්තැන්න මූලික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය නිලධාරිණී.

ඔබේ දරුවා බොරු කියනවාද…..?

දරුවන් ඉතාම නිර්මානශීලියි.  ඒ් නිසාම ඒවුන් අැත්තට වඩා බොරු කීයන්නට  වැඩි ප්‍රවනතාවයක් දක්වනවා. අැත්තටම දරුවන් බොරු කියන්න පෙළඹෙන්නේ ඇයි…

  • අවධානය ලබා ගැනීමට

සමහර දරුවන්ට අවශ්‍ය වෙන්නේ සම වයස් කන්ඩායමක් තුළ තමා ඉහලින් සිටිනු දැකීමටයි. මේ නිසා එවුන් විවිධ විදිහට බොරු ගොතනවා. සමහර අය තම දෙමව්පියන්ගේ රැකියාවන් ගැන බොරු කියමින් ඔවුන්ට නොතැමිත සමාජ තත්වයක් ආරෝපනය කර ගැනීමට උත්සාහ දරනවා. අපේ තාත්තා දොස්තර කෙනෙක්…පොලිසියේ ලොක්කෙක්… මේ විදිහට කියන බොරු මගින් තමන්ට නොමැති සමාජ තත්වයක් ආරෝපනය කර ගැනීමට උත්සාහ දරනවා.

  • අවශ්‍යතාවය ඉ‍ටු කර ගැනීමට

සමහර දරුවන් පාසල් යෑමට එහෙම නැත්නම් පාසලේ වැඩ කටයුතු කිරීමට කම්මැලි වූ විට බොරු බඩේ කැක්කුම් එහෙම නැත්නම් හිසේ කැක්කුම් ගැන පැමිණිලි කරනවා. මේ රෝග තත්වයන් අපිට බාහිරව හදුනා ගැනීමට අපහසුයි. ඒ වුනත් දෙමව්පියන් සහ ගුරුවරුන් නොමන යවමින් ඔවුන් තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමට විශාල උත්සාහයක් දරනවා.

බොරු කියන දරුවාට සමාජයේ ඇති වන ගැටළු

  • පිලිගැනීමක් නැත

බොරු කියන දරුවෙක් ගැන ඔහුගේ කුඩා සමාජයේ වුවද පිලිගැනීමක් ඇති වෙන්නේ නැත. ඒ ළමයා හරියට බොරු කියනවා… බොහෝ වැඩිහිටියන් මේ අන්දමින් දරුවන් වර්ග කිරීමක් කරනු ඔබත් අසා ඇති.

  • වටිනාකම අඩු වේ

දරුවන් කී විට සමාජයේ තිබෙන පිළිගැනීම වන්නේ ඉතා අහිංසක සහ පිරිසිදු චරිත ලෙසයි. ඒ වුනත් බොරු කියන දරුවෙක් මුල් කර ගෙන ඒ අන්දමින් පිරිසිදු සංකල්පයන් ගොඩ නැගනේනේ නැත.

  • ආශ්‍රයට නොගැලපේ

බොරු කියන දරුවන් සමග තමාගේ දරුවා ඇසුරේ සිටීම ගැන දෙමව්පියන් තුළ එතරම් මනාපයක් නොමැත. ඊට හේතුව වන්නේ බොරු කියන දරුවා සමාජයට හානිකර චරිතයක් වීමයි.

  • බොරු කියන දරුවෙකුට කළ නොහැකි දුසිරිතක් නැත

බොරුව මොන තරම් සමාජයට අහිතකරද යත් බොරු කියන දරුවෙකුට ඕනෑම සමාජ විරෝධී ක්‍රියාවක් කළ හැකි පරිද්දෙන් ලැජ්ජාව සහ බිය පහව යනු ඇත.

  • බොරුව දරුවා සමග වර්ධනය වේ

ඔබේ දරුවා බොරු කියන්නේ නම් “අනේ ඉතින් හය හතර ‍ නොතේරෙන පොඩි එකා නේ… යන සංකල්පයේ පිහිටා සිටින්න එපා. බොරු කීමට ඔහු දක්වන නැඹුරුතාවය දරුවා සමග වර්ධනය ලබනු ඇත. මේ නිසා දරුවා බොරු කියන්නේ නම් බාල කාලයේ පටන්ම එය වලක්වා ගැනීම ඉතා වැදගත් වේ.ඇතැම් වැඩිහිටියන් අතර පවා වැදගැම්මකට නොමැති සේ බොරු කියන ගති පුරුදු ඔවුන් සමගම වර්ධනය ලබා ඇත. මේ නිසා ඔබේ අත්දැකීම් අනුවත් කාර්යාලයේ, අසල්වැසියන් අතර , නෑදෑයින් අතර මේ විදිහට කියන චරිත ගොඩ නැගී ඇති….” අනේ…ඕවා බොරු ඔය මනුස්සයා කිසිම දවසක ඇත්තක් කියන්නේ නැහැ. ඒ හින්දා අපි නම් කිසිම විශ්වාසයක් නැහැ.

දරුවා බොරු කියන්නේ නැතැයි සහතික වෙන්න පුලුවන්ද….?

කිසිම විදිහකින් බැහැ. මගේ දරුවා බොරු කියන්නේ නැතැයි වූ ස්තාවර උපකල්පනයක ඔබ සිටියද දරුවන්ට බොරුවක් කීමට එතරම් වෙලාවක් ගත වෙන්නේ නැහැ. මේ නිසා නිතරම දරුවා කියන කරන දේ ගැන ඔහුට හෝ ඇයට නොදැනෙන සේ පසුවිපරම් කරන්න. එය දරුවාට නොදැනෙන සේ කළ යුතු අතර යම් විදිහකින් දරුවා කරනුයේ බොරුවක් බව ඔබට ඒත්තු ගියොත් දරුවා බොරුවෙන් මුදවා ගැනීමට අවශ්‍ය වැඩ කටයුතු කිරීම ඉතාම වැදගත්.

  • බොරුවේ ආදීනව ගැන කියා දෙන්න

බොරු  කීම යහගුණ සපිරි දරුවෙකුට නොගැලපෙන දෙයක් බව ඔවුන්ට කියා දෙන්න. මේ වෙනුවෙන් බෞද්ධ සාහිත්‍යයේ වටිනා කවි , කථන්දර බොහෝ සේ ඇත. ලෝවැඩ සඟරාවේ එන මේ පද්‍යය ඔබේ දරුවාට බොරුවේ ආදීනව පිලිබඳව ඉතා වටිනා අදහසක් ලබා දෙනු ඇත.

ලැදිව රජෙක් බොරු බස් කී විගසකයා
නැතුව රිද්දි බලයත් ඒ මිනිස් කයා
පොලොව පලාගෙන ගොස් වැටුණි නරකයා
මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා

 

මෙම කවි පද මගින් බොරුව නිසා ඇති වෙන හානිය ඔබට මනා සේ කියා දෙනු ඇත. බොරු කීමේ ආදීනව නිසා කපිල මාලුවාගේ කට දුර්ගන්ධයෙන් යුක්ත වූ බවට බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. මේ අන්දමින් විවිධ ආගමික වටපිටාවෙන් මෙන්ම ජනකතා මගින් දරුවන්ට බොරු කිමේ ආදීනව කියා දෙන්න.

  • වැඩිහිටියන්ද වග කිව යුතුයි

දරුවන් බොරු කීමෙන් වලක්වා ගැනීම අද අපහසු කාර්යක් වී ඇත. ජනප්‍රිය පාසලකට දරුවා ඇතුලත් කිරීම නිසා පාසලට සමීප ලිපිනයක් තෝරා ගෙන එහි පදිංචි බවට සනාථයක් ලබා ගැනීමට දරුවාට බොරුව සනාථ වන සේ කියන්නට උපදෙස් ලබා දෙන්නේ වැඩිහිටියන්ය. එයින් දරුවා බොරුවට  අත්පොත් තබනු ඇත. මේ නිසා වැඩිහිටියන් වශයෙන් ඔබ නිතරම දරුවාට ආදර්ශමත් වන සේ හැසිරීම ඉතා වැදගත්ය.

ශ්වසන රෝගවලින් දරුවන් මුදවන්න භෞත චිකිත්සාවට හැකි බව ඔබ දැන සිටියාද?

ශ්වසන රෝග හෙවත් ශ්වාස නාල පද්ධතිය සම්බන්ධව ඇති වන රෝග තත්ත්වයන් වලට ප්‍රධාන හේතු වෛරසයක් හෝ නියුමොකොකස් නියුමෝනියේ, ස්ටේ‍රප්ටොකොකස් නම් වූ බැක්ටීරියාවක් වැනි විෂබීජයක් ශ්වසන නාල පද්ධතියට ඇතුළු වීමයි. තවද මේ තත්ත්වය රසායනික ද්‍රව්‍ය, විෂ වායු  සහ ආසාත්මිකතා ද දූවිලි ආඝ්‍රාණ වීමෙන් හෝ වෙනත් රෝගී පුද්ගලයෙකුගෙන් හෝ නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට ඇතුළු විය හැකියි.

ශ්වසන රෝග

  • නිව්මෝනියාව (Pneumonia) – විෂබීජයක්/යම් විෂක් පෙනහලු කරා ගොස් එම පෙනහලු පටක ආසාදනය වීම
  • බ්‍රොන්කයිටීස් (Bronchitis) – ශ්වාසනාල ආසාදනයකට හෝ ආසාත්මිකතාවයට ලක්වීම
  • බ්‍රොන්කියෝලයිටිස් (Bronchiolitis) – වයස අවුරුද්දට අඩු ළදරුවන්ට විශේෂයෙන්ම ඇති විය හැකි අනුශ්වාසනාලික ආසාදනයට කල්වීම
  • බ්‍රොන්කියෙක්ටේසිස් (Bronchiectasis) – ශ්වාසනාලවල අසාමාන්‍ය පලල්වීම නිසා ඇති වන නිදන්ගත රෝග තත්ත්වයක්
  • ඇදුම (Asthma) – විවිධ දේවලට ආසාත්මිකතා නිසා ශ්වාසනාලවල පේශී දරදඩු වී එම නාල සිහින්වීම
  • ප්ලූරල් එෆියුෂන් (Plural effusion) – පෙනහලූ වටා ඇති හිස් අවකාශය නැතහොත් ප්ලූරල් කුහරය ආසාදනයට ලක් වී තරලයකින් පිරී යාම
  • පෙනහලූ හැකිලීම (Atelectasis) – ස්‍රාවයන් නිසා හෝ වෙනත් සිරවීමකදී හෝ ප්ලූරල් එෆියුෂන් තත්ත්වය නිසා පෙනහලූ හැකිලී යාම සිදු විය හැකිය.
ශ්වසන රෝග ඇති වීමට බලපෑ හැකි වෙනත් හේතු

  • අනතුරුවලට මුහුණ දී එක්තැන් වී සිටීමයි.
    (උදා.. අංශභාගය වැනි රෝග/කැඩුම් බිදුම්වලට ලක්වීම/ශල්‍යකර්මවලට මුහුණ දීම මත එක්තැන් වී සිටීම නිසා)
  • ශ්වසන පද්ධතියේ ඇති අර්බුද (Tumour) නිසා
  • ශ්වසන පද්ධතියට පැමිණි ආගන්තුක ද්‍රව්‍යයක් නිසා
  • මානසික හේතු
ශ්වසන රෝග තත්ත්වයන්වලදී පෙන්නුම් කරන රෝග ලක‍ෂණ

  • වියළි හෝ බුරුල් කැස්ස
  • හතිය නැතහොත් මහන්සිය
  • හුස්ම ගැනීමේදී පපුවේ ඇති වන වේදනාව
  • උණ
  • වමනය
  • කෑම අරුචිය
  • බඩේ වේදනාව
  • හිසේ කැක්කුම

මෙම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම භෞත චිකිත්සක ප්‍රතිකාරද අත්‍යවශ්‍ය වේ.

භෞත චිකිත්සක ප්‍රතිකාර

පොස්වරල් ඩ්‍රේනේජ් ˜ (Postural drainage) ක්‍රමය – රෝගියා ගුරුත්වාකර්ෂණය උපයෝගී වන ලෙස ඉරියව්වල තබා පෙනහලූවල සෙම තිඛෙන තැන අනුව එම ස්ථානයට අතින් තට්ටු කර සෙම ඉවත් කිරීමයි. රෝගියා තබන ඉරියව්ව රෝගියාගේ සෙම තිඛෙන ස්ථානය අනුව වෙනස් වේ. මෙම ප්‍රතිකාරයට පෙර සමහර රෝගීන්ට වතුර වාෂ්ප අඝ්‍රාණයද අත්‍යවශ්‍ය වේ.

හුස්ම ගැනීමේ ව්‍යායාම – බොහෝ දෙනෙක් අතර බහුලව දක්නට ලැඛෙන ඇදුම රෝග තත්ත්වයද මේ හුස්ම ගැනීමේ ව්‍යායාම මගින් පාලනය කර ගත හැක. ඔවුන් සඳහා හුස්ම පිට කිරීමේ ව්‍යායාම වැදගත් වේ.

හුස්ම පිටකරන වේගය මනින උපකරණ උපයෝගී කරගෙන දල මිනුමක් ලබාගනිමින් හුස්ම ගැනීමේ ව්‍යායාම වෙනස් කරමින් සිදුකළ යුතු වේ. පෙනහලූවල ඇති එක් එක් කණ්ඩිකා පිම්ඛෙන අයුරින් හුස්ම ගැනීම පුරුදු පුහුණු කිරීමද භෞත චිකිත්සකවරු අතින් සිදුවේ. සමහර රෝග සඳහා හුස්ම ගැඹුරට ගැනීම කළ යුතුව ඇති අතර සමහර රෝග සඳහා කෙටි හුස්ම ගත යුතුය. හුස්ම දරා සිටීම පාලනය කරන ව්‍යායාමද ඇත . ශ්වාස නාලිකා සිහින් වී ඇති අවස්ථාවල හුස්ම පිට කිරීම රෝගියාට අපහසුය. එවිට රෝගියාගේ ඇතුළත කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩිවී ශ්වසන වේගය වැඩි වේ. රෝගියාගේ පපු කූඩුව ඇතුළට තෙරපීම මගින් පෙනහලූවල ඇති වැඩි කාබන්ඩයොක්සයිඩ් පිට කළ හැක. තවද ඇදුම වැනි රෝග පාලනය කළ හැකි ඉරියව් කිහිපයක්ද භෞත චිකිත්සාවේදී උගන්වනු ලැබේ. භෞත චිකිත්සක ප්‍රතිකාර කෑමට පෙර කල යුතුය. නැතහොත් වමනය ඇති විය හැකිය.

කුඩා දරුවන්ට අධික ලෙස සෙම ඇති විටදී ඒවා ඉවත් කිරීමට කැස්ස ඇති කිරීම – ඒ සඳහා උත්තේජන ක්‍රම තිබේ. දරුවාට කැස්සක් ඇති වූ විට කලබල නොවිය යුතුය. එය ශරීරයේ ඇති මහගු ප්‍රතික්‍රියාවකි. එමගින්  පෙනහලූවල ආරක‍ෂාව සැලසෙන බව සිහි තබා ගත යුතුය. බොහොමයක් දෙමාපියන්ගේ මතය වන්නේ කුඩා දරුවන් සෙම කටින් පිට නොකිරීම නිසා රෝගී තත්ත්වය අඩු නොවන බවයි. දරුවා කැස්සත් සමග සෙම ගිල දැමූ විට ඒවා ආමාශයට ගොස් මල සමග පිටවේ. ඒ නිසා කුඩා දරුවන් ඒවා ගිල දැම්මාට බිය විය යුතු නැත . දරුවා සෙම ශ්‍රාවයන් ගිල දමන නිසා ආමාශය ඒවායින් පිරී ගෙස් කෑම රුචිය අඩු වීයයි. තවද කිරි බිව් පසු වමනයද ඇති විය හැකිය.

කුඩා දරුවන්ගේ නහස් කුහර ශ්‍රාවයන්ගෙන් පිරී යා හැකිය. එවිට හුස්ම ගැනීමට මුඛය විවෘත කරයි. එවිටද දරුවා කිරි උරා බීම ප්‍රතිෙක‍ෂ්ප කරයි. මෙවැනි අවස්ථාවලදී සක්ෂන් උපකරණයක් මගින් සෙම ශ්‍රාවයන් පිටතට ගැනීම සුදුසුය. එවිට දරුවාගේ අපහසුතා දුරුවී යයි.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

 

දරුවන්ට සාරධර්ම හුරු කරමු

අද දරුවන්ගේ කිසිම සදාචාරයක් නැහැ…අපිට නිතරම ඇහෙන මේ තත්වයට ඇඟිල්ල දිග් කළ යුත්තේ කාටද…දරුවෙක් බිහි කළ පමනටම  ඔබ සර්ව සම්පූර්ණ දෙමව්පියන් බවට පත් වෙන්නේ නැහැ. “හිටියොත් හොඳට හැදී…දෙවියොත් නමට වඳී…” යන යහ සිත-විල්ලට ගැලපෙන විදිහට ඔබ දරුවෙක් ලෝකයට දායාද කරන්නේ නම් සැබැවින්ම ඔබ වාසනාවන්ත මව්පියන්ය.. ඒ වගේම ඔබේ දරුවා ලෝකයට ආශිර්වාදයකි.

අපි හැම දෙනෙක්ම සාරධර්ම ගැන කතා කරනවා. ඇත්තටම සාරධර්ම යනු මොනවාද…සාරධර්ම විදිහට අපි හඳුන්වන්නේ සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් අපි හැම දෙනෙක් තුළම පැවැතිය යුතු ශික්ෂනයක්. දරුවා සදාචාරාත්මකව හැඩගැසුනොත් ලෝකය ඉබේටම යහපැවැත්මෙන් යුක්ත වෙනවා. ඒ නිසා දරුවා සදාචාරාත්මකව හැඩගස්වන්නේ කොහොමද….?

අතීතයේදී මවක් දරුවාගේ සාරධර්ම ගැන හිතුවේ කුස තුළ සිටියදී පටන්. ඇය බෙහෙවින්ම සීලවන්ත හැසිරීමක් ගොඩ නගා ගත්තා. මහමායා දේවිය පවා දරු ගැබ පිලිසිඳ ගන්නා දිනයේ සිටියේ පෙහෙවස් සමාදන් වී බව අපි දන්නවා. දරුවෙක් ගැන පතන හැම සිහිනයක් පිටුපසින්ම තිබුනේ ධාර්මික ගති පැවැතුම්. ඒ නිසාම දරු කලලයත්  දැහැමි සිතුවිලි වලින් පෝෂණය වුනා.

විද්‍යාව පවා පිලිගෙන තිබෙන විදිහට ගැබිණි මවකගේ හැසිරීම දරු කලලයට බලපානවා. ඒ නිසා මවක් විදිහට ඔබ නිරන්තරවම දැහැමි විදිහට හෙවත් සාර්ධර්ම අනුව ගති පැවැතුම් ගොඩ නගා ගන්න. ගහේ කටු උල් කරන්න අවශ්‍ය නැහැ කියන්නා සේම දෙමව්පියන් විදිහට ඔබ සදාචාරාත්මක නොවන විදිහට හැසිරෙමින් දරුවාගෙන් සාරධර්ම බලාපොරොත්තු වෙන්න බැහැ.

අවවාදයට වඩා ආදර්ශය උතුම්බව

ඔබේ දරුවා සාරධර්ම තුළ හැඩගැස්වීමට නම් අවවාදයට වඩා ආදර්ශයෙන් ඒ බැව් ඔවුන්ගේ හදවතට ඒත්තු ගැන්වීම ඉතා වැදගත්ය. කකුලුවා හරහට යමින් දරුවන්ට කෙලින් යෑමට පාර කිව්වත් අර්ථයක් නොවන සේ ඔබ දරුවන්ට ඒ පිලිබඳව ආදර්ශයෙන් කියා දීම වැදගත්ය. එක්තරා ජනකතාවක දැක්වෙන අන්දමට තම පියාට වලං කටුවක ආහාර පාන දෙමින් ඔවුන් සුවසේ ජීවත් වූහ. දිනක් මෙම මැටි වලං කැබැල්ල දක්නට නොවුයෙන් පියා ඒ පිලිබදව විමසා සිටියදී කුඩා දරුවා කියා සිටියේ තාත්තා වයසට ගියාම කන්න දෙන්න මම වලං කැබැල්ල අරගෙන තිබූ බවයි. මේ අන්දමට මව්පියන්ගේ හැසිරීමත් දරුවන්ගේ සාරධර්ම ගොඩ නැගීමට වඩාත් වැදගත් වෙන බැව් නොරහසක්.

ඔවා දෙනු පරහට
තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත දනන් දෙන
ඔවා වැද්දන් දෙසන බණ වැනි…”

මෙම කවියෙන් කියවෙන්නා සේම දෙමව්පියන් වන ඔබත් පූර්වාදර්ශ චරිත නොවුනොත් ඔබේ අවවාද අනුශාසනාවන්ද වැද්දන් දෙසන බණ තත්වයට පත් වෙනු ඇත. නිතරම දරුවන්ට අම්මා…තාත්තා වගේ හැදෙන්න කීමට තරම් ඔබ ආදර්ශමත් චරිතයක් විය යුතුමය.

ඒ වගේම සාරධර්ම මේවා යැයි අවවාද ලබා දීමටත් වඩා සාරධර්ම නිසා ඇති වෙන යහ ප්‍රතිඵල පිලිබඳව දරුවන්ටම අවබෝධ විය යුතුයි. මේ වෙනුවෙන් ඉතාම රසවත් කවි, කතාන්දර අප අතර ඇත. සාම ජාතකය වැනි ජාතක කතා මගින් මව්පියන්ට සැලකීමේ වටිනාකම දරුවන්ට කියා දීම එතරම් අපහසුවක් නොවේ.

සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි ”

මේ අන්දමින් පරමාදර්ශි චරිත ගැන දරුවන්ට සාහිත්‍ය මගින් කියා දීම අපහසුවක් නැත.එවිට ඔවුන්ගේ හදවතට මෙම යහගුණ අනුගමනය කිරීමේ වටිනාකම ඉතාම හොදින් ඒත්තු යනු ඇත.එය වචන දහසකින් ලබා දෙන අවවාදයන්ට වඩා දරුවන්ට අගනේය.

ආගමික වටපිටාවට දරුවා හුරු කරන්න

ඔබ අදහන ආගම කුමක් වුනත් මේ හැම ආගමකින්ම කියා දෙන්නේ සමාජයේ ජීවත්වමට අවශ්‍ය යහගුණ බව අමතක නොකරන්න. ඒ නිසා බාලකාලයේ පටන්ම පන්සල,පල්ලිය, කෝවිල මේ කුමන ආගමික ස්තානයකට වුව දරුවා කැටුව යන්න. උදේ හවස තමන් අදහන ආගම දහමට අනුව ජීවිතය හැඩ ගසන්න.

දහම්පාසල් අධ්‍යාපනය

ඔබ කුමන ආගමක වුනත් දහම්පාසලක් වෙත දරුවා යවන්න අමතක නොකරන්න. අද ඉරිදා දිනයන්හි පංති තහනම් කිරීමේ නියෝගයන් පැනවීමට තරම් අවශ්‍යතාවයනක් ගොඩ නැගී ඇත්තේ දරුවන් දහම් අධ්‍යාපනයට ඇති පසුගාමී බවයි. ඒ වෙනුවෙන් දෙමව්පියන්ගේද උනන්දුව ඇති වීම ඉතා වැදගත්. බොහෝ මෙව්පියන් කල්පනා කරන්නේ ඉරිදා දිනයටත් දරුවන් දහම්පාසල් වෙත කැඳවා ගෙන යෑමට ගිය විට ඔවුන්ගේත් කාලය සහ විවේකය නැති වෙන බවයි. ඒ වුනත් දහම් අධ්‍යාපනයෙන් දරුවා හැඩගැසීම යනු අනාගත ආයෝජනයක් බව හිතන්න.

දිනපතා පාසලෙන් දරුවා ලබන අධ්‍යාපනයට වඩා දහම්පාසලකින් ඔවුන් බොහෝ දේ ඉගෙන ගන්නවා ඇත. සමගිය, සාමය වගේම අනුකම්පාව, ගිලනුනන්ට උපස්තානය, බෙදා හදා ගැනීම වැනි බොහෝ යහගුණ ඉගෙන ගැනීමට හොඳම තෝතැන්න දහම්පාසලයි.අද දරුවන් තුළ බදා ගැනීම විනා බෙදා හදා ගැනීමක් නැත. ඒත් දහම්පාසලකදී ප්‍රායෝගිකව සිදු වෙන දන්සල්, දානමය පිංකම් නිසා දරුවන් තුළ දීමට පුරුද්ද ඇති වේ. අනුන්ගේ දුක වේදනාව ඉදිරියේදී සහකම්පනය වගා වීමටත් මෙවැනි කටයුතුවලින් නොදැනීම ඇති වෙන පුරුදු බවට පත් වේ.

වැඩිහිටි සහ ළමා නිවාස වෙත දානමය කටයුතු සඳහා සහභාගී වෙන දරුවා තමාට තිබෙන පහසුකම් ගැන නොවන තවත් දරුවන් සහ වැඩිහිටියන් පිරිසක් පිලිසරණක් නොමැතිව සිටින බව දැකීමෙන්ම ඒ ගැන යම් වැටහීමක් ලබා ගනු ඇත.

මව්පියන් විදිහටත් යහගුණ වගා වෙන කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන්න

දරුවන්ගේ උපන්දින උත්සවයන්හිදී ඉහළ පෙලේ හෝටලයක සාද පවත්වනවාට වඩා සමාජයේ සිටින අසරණ දරුවන්ට හා වැඩිහිටියන්ට සරණක් වීමට මගක් දරුවාට පෙන්වන්න. ඉගෙණුම් උපකරණ නැති පාසලක, පංතියක හෝ අසල්වැසි දරුවන්ට ඒ වෙනුවෙන් උපකාර වෙන්න. වාර්තා තබන කේක් කපනවා වෙනු‍වට එම වැය බර යහපත් කටයුත්තක් වෙනුවෙන් යොදවන්න. එහිද සමාජය සමග එකට එක්ව ජීවත් විය යුතු අන්දම දරුවා හඳුනා ගනු ඇත.

බොහෝ දෙමව්පියන්ගේ ඉලක්කය වී ඇත්තේ දරුවා තමාට වඩා ඉහල සමාජ තත්වයට ඔසවා තැබීමයි. ඒ වෙනුවෙන් වෙර දරනවා විනා හැම දෙනෙක් සමගම එකට එක්ව ජීවත්වෙන අන්දම කියා දීමට මැලිය. එය මැලිකමට වඩා උනන්දුවක් නොදැක්වීක් යැයි කිව හැකිය. එහෙත් දරුවන් තුළ සාරධරම ගොඩනැගුනොත් ඔහු තුළ සමානාත්මතාවය වැනි ගුණාංගයන් වර්ධනය කිරීම එතරම් අපහසුතාවයක් නොවේ.