Home Blog Page 112

ඔන්න ඇවිත් පොත් වසන්තේ…

සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසය. දැන් ඉතින් අම්මලා තාත්ලාට දරුවන්ට කියවන්න පොත් ටිකක් අරගෙන දෙන්න පුලුවන්. මේ කාලය අතිරේක පොත් පත් මිළට ගන්න හොඳටම ගැලපෙන කාලයක්. අපි දරුවන්ට ලබා දිය යුත්තේ හොඳ දේවල්. ඉතින් පොත් කොහොමද දරුවන්ට හොඳ වෙන්නේ කියල ඔබ ඇහුවොත් මෙන්න උත්තර වැලක් තිබෙනවා.

මතකය වර්ධනය වෙනවා

දරුවන්ගේ මතකය ඉතාම තිරිහන්. මේ කාලයේ ඔවුන්ට බොහෝ දේ අවශෝෂනය කරගන්න පුලුවන්. ඒ නිසා පොත් පත් කියවීම මගින් දරුවාගේ මතක ශක්තිය වර්ධනය කිරීමට පුලුවන් බව හස්කින්ස් විද්‍යගාරයේ පර්යේෂක නිළධාරියෙක් වෙන “කෙන් පුෂ්කින්” සඳහන් කරනවා. ඒත් අද දරුවන් වැඩි අවධානයක් දෙන්නේ පොත් පත් කියවීමට වඩා රූපවාහිනිය සහ පරිගණකයට බව අම්මලා තාත්තලා දන්නවා. හැබැයි සාහිත්‍ය මාසයේදී දරුවන්ට කියවන යමක් මිළට ගැනීමට උනන්දු වුනොත් කියවන දරුවන් පිරිසක් බිහි කර ගැනීමට පුලුවන් වේවි.

තමන්ගේ ආත්මාභිමානය ගොඩ නැගෙනවා

කියවීම මිනිසා සම්පූර්ණ කරනවා කියන්නේ ඇත්තටම නිකමට නොවේ. අර්ථවත් යමක් දරුවන්ට කියවීමට ලබා දීමෙන් ඔවුන්ගේ ආත්මාභිමානය ගොඩ නගා ගැනීමට පුලුවන්.විහේසයෙන් ලෝකයේ පුර්වාදර්ශ චරිත තිබෙනවා. අපේ දරුවන්ගේ ලෝකයේ ජීවත් වෙන්නේ නයිට් රයිඩර්, ස්පයිඩර් මෑන් වුනත් දරුවාගේ මානසිකත්වය මේ විදිහටම ගොඩ නගා ගැනීමට ඔවුන්ට ගැලපෙන යමක් තෝරා දීමෙන් පුලුවන්.

මානසික ආතිතයට හොඳයි

අද හැම කෙනෙක්ම කියන්නේ කතා කරන්නේ මානසික ආතතිය ගැනයි. තමන්ට මානසික ආතිතය තිබෙනවා නම් එයින් මිදෙන්නත් මග හොයා ගැනීම අවශ්‍යයි. ඉතින් මේ වෙනුවෙන් ‍ඖෂධීය ප්‍රතිකාරයන්ට වඩා සරල පිලිවෙත් අනුගමනය කිරීමට පුලුවන්. පොත් පත් කියවීම ඒ අතරින් ඉතාම ගැලපෙන බව දැන් මනෝ වෛද්‍යවරුන් පවා පිලිගෙන තිබෙනවා. ඉතින් එළැඹෙන සාහිත්‍ය මාසයේදී දරුවන් වෙනුවෙන් ඔබේ මුදල් පසුම්බියට ගැලපෙන විදිහට අතිරේක කියවන දේ ලබා දීමට උත්සාහ කරන්න.

භාෂා ඥානය වැඩිවෙනවා

අද පරම්පරාවේ අය මුල් කර ගෙන නැගෙන ප්‍රදාන චෝදනාවක් තිබෙනවා. අක්ෂර වින්‍යාසයක් දන්නේ නැහැ…භාෂාව ගැන දැණුමක් ඇත්තේම නැහැ. කිසිම නිර්මානශීලීත්වයක් නැහැ. හරියට පුරන් වුන කුඹුරක් වගෙයි..ඉතින් අපිට මේ පුරන් කුඹුර අස්වද්දන්න බැරිද…එක රැයකින් බැරි වුනත් දරුවන් වෙනුවෙන් කියවන දේ ලබා දීමට පුලුවන්. එවිට නිතරම නෙත ගැටෙන අක්ෂර නිසා නිවරැදිව ලිවීම පුරුදු වෙනවා. ව්‍යාකරණ ගැන වුනත් දැනුමක් ලැබෙනවා. බස හසුරුවන්නේ කොහොමද යන්න ගැන අමුතුවෙන් ඉගැන්වීමක් අවශ්‍ය නැහැ.

මනස හා හදවත අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා

අපි පොත් පත් කියවන විට ඇත්තටම අපි ඒ චරිත සමග ජීවත් වෙනවා. ගැමුණු කුමාරයා ගැන අහන විට ඇති වෙන්නේ වීරත්වයක්. මද්දුම බණ්ඩාර ගැන ඇති වෙන්නේ එඩිතර බවක්. මේ විදිහට චරිත පමණක් නොව විවිධ ස්ථාන ගැන මනස්කාන්ත දර්ශන අපේ හිතේ මැවෙනවා. ඒ නිසා දරුවන්ගේ චරිත සංවර්ධනයටත් පොත් පත් කියවීමෙන් විශාල දායකත්වයක් ලැබෙනවා.

ආදර්ශ ලබා ගත හැකියි

පොත් පත් කියවීමෙන් ලැබෙන දැනුම මගින් දරුවන්ට ආදර්ශ ලබා ගත හැකියි. අපි හැසිරෙන්නේ කොහොමද යන්න ඔවුන්ටම වැටහේවි. වචන දහස් ගණනක් අවවාදවලට වෙන් කරනවාට වඩා එක් කතාවක ආදර්ශයකින් ඒ ගැන දරුවාම තේරුම් ගනු ඇති.

නිර්මානශීලී වීම

පොත් පත් කියවන දරුවන්ට එයින් ලැබෙන ආශ්වාදය පමණක් නොව තමාගේ චින්තනයද ඉතාම නිර්මානශීලී ලෙසින් අවදි වේ. දරුවෙකුගේ නිර්මාශීලී චින්තනය ඔවුන්ගේ අධ්‍යාපනයට පමණක් නොව එදිනෙදා ජීවිතයට පවා ඉතා වැදගත් වේ. කියවීමෙන් ලැබෙන තොරතුරු ඔහු නොදැනම ගබඩා වෙන අතර අවශ්‍ය අවශ්‍ය තැන්හිදී ඒවා ආදේශ කිරීමෙන් නිර්මානශීලී දරුවෙක් බිහි වෙනු ඇත.

මානසික විවේකයට ගුණයි

අපි කායිකව වෙහෙසීම නිසා ඇති වෙන විඩාව වගේම මානසිකවත් අපට දැනෙන වෙහෙසකර බව ඇත්තටම දුරු කර ගැනීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක් විනෝදාංශ වෙත යොමු වෙනවා. හැම කෙනෙකුටම කුමක් හෝ විනෝදංශයක් තිබීම වැදගත්. එය මේ විනෝදාංශය විය යුතු බව අපිට තීරණය කරන්න බැහැ. ඒත් බාල කාලයේ පටන්ම දරුවාට කියවන සමාජයක් නිර්මානය කලොත් ඔහු තුළ පොත් පත් කියවීම වෙනුවෙන් ඇල්මක් ඇති වෙනවා. ඒ නිසා වෙහෙසකර මානසිකත්වයට හොඳ පුටුවහලක් නොදැනීම ලැබේවි.

කොච්චර ගුණ තිබුනත් කියවන්නේ නැත්නම්…

  • දරුවන්ට නිතරම කියවන පරිසරයක් ගොඩ නගන්න. බාල කාලයේ පටන්ම දරුවා වෙනුවෙන් කුඩා පුස්තකාලයක් ඇත්නම් ඔවුන් පොත් සමග ගණුදෙණුව එතැනින් ආරම්භ කරනු ඇත.
  • පළාත් පාලන ආයතන පුස්තකාලයේ හෝ වෙනත් පුස්තකාලයක සාමාජිකත්වය ලබා දෙන්න. එසේ නැත්නම් ඔබ දරුවා කැටුව අවස්ථාව ලැබූ විට පුස්තකාලයට යන්න. දෙමව්පියන් විදිහට ඔබ පුස්තකාලයේ සීමාවට වත් නොයා දරුවන් පමණක් පුස්තකාල පරිශීලනය වෙනුවෙන් යොමු කිරීම තරම් පහසු නැත.
  • උපන්දිනයට දරුවාට ලබා දෙන තෑගි අතරට පොතක්ද එක් කරන්න. ඉදහිට හෝ පොත් වලින් ප්‍රශ්න ලබා දී ඒ වෙනුවෙන් ත්‍යාග ලෙසින් ඔවුන් සතුටු යමක් දෙන්න.
  • පොත් ප්‍රදර්ශනයට අනිවාර්යෙන්ම දරුවා කැටුව යන්න. රසවත් ආහාරයක් පිසින විට විහිදෙන සුවඳට අපේ ඇති වෙන උත්තේජනය ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. පොත් ප්‍රදර්ශනයේදී පොත් වෙතින් වහනය වෙන නැවුම් සුවඳ නිසා ඔබේ දරුවාටත් පොත් සමග ජීවත් වෙන රුචිකත්වය නොදැනීම වගා වෙනු ඇත.

ප්‍රසුතියේන් පසු ඔබේ බිරිඳත් මේ ලකෂණ පෙන්නුම් කරනවා නම් සැලකිලිමත් වෙන්න

ගර්භණී සමයේදීත් දරුවා ලැබී ගත වන වසරක පමණ කාලසීමාව තුළදීත් කාන්තාවකගේ චිත්තාවේග පුළුල් පරාසයක විහිදෙනවා. කනස්සල්ල, මූලිකව හටගන්නා හැඬිම, නොරිස්සුම හා අධි සංවේදී බව වැනි මානසික ස්වභාවයන් මේ කාලයේදී බොහෝ විට දැකිය හැකි තත්ත්වයන්ය.

දරු ප්‍රසූතියෙන් පසු එළඹෙන දින කිහිපය තුළ ආතතිය, බහුලව ඇතිවන පොදු තත්ත්වයක්. මව්වරුන් අතරින් 80% කට ආසන්න පිරිසක් මේ මානසික තත්ත්වයට මුහුණ දෙන බව කියවෙනවා. මෙයට හේතුව වන්නේ දරුවා බිහි කිරීමෙන් පසු සිරුරේ සිදුවන හෝමෝනයන්ගේ වෙනස් වීමයි. එමෙන්ම කොටිසෝල් සාන්ද්‍රණය ඉහළ යාමත්, ප්‍රසූතිය අතරතුරේදී සිදුවන ආසාදන තත්ත්වයනුත්, දරුවාගේ මුල් වයස් කාලයේදී මවගේ වගකීම් වැඩිවීම මත ඇතිවන අවිවේකි බවත් මෙයට හේතු කාරණා වේ. මේ සියලූ කාරණාවලට අමතරව ආර්ථීක ගැටලූවලට මැදිවන කාන්තාවන් බිළිඳාගේ අවශ්‍යතා ඉටු කරගැනීමට යාමේදී ඒ මත විඳින්නට සිදුවන පීඩාවන්ද මානසික ව්‍යාකූලතාවලට පෙර නිමිති වේ.

පසු ප්‍රසව මානසික වික‍ෂිප්ත භාවය ලෙස හැඳින්වෙන මේ තත්ත්වය ප්‍රසූතියෙන් පසු මුල් සති දෙක තුළ ඇතිවන තාවකාලික තත්වයකි. හැඬිම, නුරුස්සනා සුලූ බව, මානසික අවපීඩනය ඇතිවීම වැනි ලක‍ෂණ පෙන්නුම් කරන අතරම මේ සඳහා ස්වාමිපුරුෂයාගේ, පවුලේ අයගේ සහයෝගය, ආදරය, කරුණාවන්ත බව ලැබීම වැදගත් වේ. සති දෙකට වඩා පවතී නම් පසු ප්‍රසව විශාදය තත්ත්වයට පත්විය හැකියි.

මේ කාලයේදී මවට ප්‍රසව විශාදය, ප්‍රසවයෙන් හටගත් සයිකෝසිස් වැනි තත්ත්ව ඇති වීමට වැඩි ඉඩ කඩක් පවතිනවා, මේ පිළිබඳ විශේෂයෙන්ම තේරුම්ගත යුතු පුද්ගලයා සහ දැනුවත් විය යුතු පුද්ගලයා වන්නේ ස්වාමිපුරුෂයායි. තම බිරිඳ සමග සියලූම කාර්යයන්වලට උර දීමට ඔහුට හැකියාවක් ඇත්නම් මෙවැනි තත්ත්වයන් අවම කරගැනීමට හැකියාව ලැඛෙනවා. තම බිරිඳගේ යම් යම් වෙනස්වීම් කෙරෙහි බලපාන හේතු සාධක හඳුනාගනිමින් ඇයව තේරුම් ගනිමින් විවාහ දිවිය ගෙවන්නට අවැසි අවබෝධය ස්වාමිපුරුෂයෙකු වශයෙන් ඔබට තිබිය යුතුමයි. යම් යම් අවස්ථාවන්වලදී ඔබේ දයාබර බිරිඳ පීඩාකාරී මානසික පසුබිමක සිටියත්, ඒ බව ඔබට නොපවසන්නේ ඇය තුළ පවතින පීඩාකාරී මානසික වටපිටාව නිසාමයි. එවැනි අවස්ථාවල ඇයව හොඳින් තේරුම් ගැනීමට ස්වාමිපුරුෂයා ලෙස ඔබට පුළුවන් නම් ඇයට එය මහත් වූ අස්වැසිල්ලක් වනු ඇත.

එසේ නොමැතිව ඔබ ඇයට තව තවත් පීඩනය එල්ල කිරීමක් සිදු කළහොත් ඇය තව තවත් අසරණ වනු ඇත. ස්වාමිපුරුෂයාගේ දැඩි ආදරය, රැකවරණය තම බිරිඳට ලැබුණහොත් බිරිඳට ඇතිවන මානසික පීඩනය අවම වේ. එසේ නැතිවුණහොත් ප්‍රසූතියකින් පසු ඇතිවන ගැටලූ මත මව හා බිළිඳා අතර දුරස් බව ඇති වන අතර එය දරුවාගේ වර්ධනය සහ ආරක‍ෂාව කෙරෙහි සෘජුවම බලපායි. මෙවැනි තත්ත්වවලදී සමහර කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසුව කේන්තිය, දරුවා නොරිස්සීම, ස්වාමියාගෙන් වෙන්ව සිටීම වැනි දේවලට පෙළඹේ. මේ තුළ විශාදය වැනි මානසික සෞඛ්‍යය ගැටලූ ඇති වීමටද හැකියාව පවතී.

විශාදයේ ලක‍ෂණ

දරු ප්‍රසූතියෙන් සති 6 ක් ඇතුලත දැකිය හැකි තත්ත්වයකි. නොසලකා හැරීමෙන් මාස 6 කට වඩා වැඩි කාලයක් පැවතිය හැකියි. බොහෝ අවස්ථාවල මේ සමග ඇතිවන වෙනස්කම් වෙන් වෙන් වශයෙන් පහදා දීමත් අසීරුය. සමහර පැවතුම් ම`ද වශයෙන් වෙනස්වීමේ හැකියාව පවතී. සිතෙහි ඇතිවන කලකිරීම, සතුටක් නොලැබීම, දුර්වල යැයි හැඟීම හා වෙහෙසට පත්වීම (ඉක්මණින්), අවධානය අඩු වූ විට තරහ යාම, නින්දයාමේ වෙනස්කම්, ආහාර රුචිය නැතිවීම, නින්ද අඩුවීම/වැඩිවීම, ආහාරු රුචිය අඩුවීම/වැඩිවීම වැනි දේවල සිදුවන වෙනස්කම් මෙහි රෝග ලක‍ෂණ ලෙස සැලකිය හැකිය. මව සැමියා/අන් අය කෙරේ ඇති කර ගන්නා නොරිස්සුම් ස්වභාවය නිසා ඉතාමත් ඉවසීමෙන්, කල්පනාවෙන් හා ආදරයෙන් මවට සමීපව කටයුතු කිරීම කළ යුතුයි.

සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් මේ ලක‍ෂණ අත් විඳිනවා නම් ඔබ උපකාර ලබාගත යුතු මොහොත එළඹ ඇතැයි සිතන්න. එනිසා මෙවැනි රෝගී ලක‍ෂණ ඔබට ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු වෙනවා.

  • අසන්තෝෂය, අප්‍රාණික ගතිය
  • පරාජිත බව, වරදකාරී හැඟීම්, ලැජ්ජාව, බලාපොරොත්තු සුන් වූ බව
  • දුක වැනි හැඟීම් ඇති වීම/නිතර කදුළු සලන්නට සිතීම
  • තරහ, නුරුස්සනාකම
  • නිදාගන්න බැරිකම, රාත්‍රියේදී දරුවාට කිරි දුන් පසු මවට නින්ද නොයාම/අධික ලෙස නින්ද යාම හා බියකරු සිහින දැකීම
  • ආහාර රුචියේ වෙනස්කම්
  • සමාජ ආශ්‍රයෙන් දුරස් වීම/තමා ගැනම නොසලකා හැරීම
  • සාමාන්‍යයෙන් විනෝදයට සතුටට පත්වන දේ පිළිබඳ උනන්දුවක් නැති වී යාම
  • පැහැදිලිව සිතන්නට හා තීරණ ගැනීමට නොහැකියාව ඇති වීම

මෙවැනි තත්ත්වයකින් මිදීමට යම් කාලයක් ගතවන බව වටහාගත යුතු අතර ඒ කාලය කෙරතම් අසීරු වුවත් ඉවසිලිවන්තව උපේක‍ෂා සහගතව තම බිරිඳ රැකබලාගැනීම ස්වාමිපුරුෂයාගේ වගකීමයි. මෙය ඇයට ඇතිවන සාමාන්‍ය තත්ත්වයක් වන අතර කිසිවිටෙක ලැජ්ජා වීමට කරුණක් නොවනු ඇත. එමෙන්ම මෙවැනි තත්ත්වයක් උද්ගතවන්නේ කාන්තාවක් වන ඇයගේ වරද නිසා නොවන බවද සිහි තබාගත යුතු අතරම ඇයට තමා පිළිබඳවත් තම දරුවා පිළිබඳවත් සැලකිලිමත් වීම සම්බන්ධයෙන් අවශ්‍ය සහය ස්වාමියා වන ඔබ වෙතින් ලබා දිය යුතුය. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබාගත් විට ඉක්මණින් මෙම තත්ත්වයෙන් මිදීමේ හැකියාව පවතී. ඖෂධ ප්‍රතිකාර මග නොහැරෙන සේ ලබාදීමත් මවව හොඳින් රැකබලා ගැනීමත් මවව අගය කිරීම් හා ප්‍රශංසනාත්මක ලෙස කටයුතු කිරීමත්, හුදෙකලා නොකර ඇය සමග කාලය ගත කිරීමත් වැදගත් වේ.

ස්වාමිපුරුෂයා ලෙස/පියා ලෙස ඔබ

මෙවැනි තත්ත්වයන්වලදී අවශ්‍ය සියලූ උපකාර ඉතා සමීපව සිදු කළ හැකි සුදුසුම තැනැත්තා පියාය. රෑ දෙගොඩ හරියේ දරුවා අඬනවා නම් පියාට දරුවා බලාගැනීමට බොහෝ විට ඉඩකඩ තිඛෙන අතර එමගින් මවට ටිකක් විවේක ගැනීමට හැකිවෙයි. එමෙන්ම දරුවාගේ නැපි සේදීමට, ළදරුවා නෑවීම වැනි අවස්ථාවලදී බිරිඳට උදව් කිරීම ඔබට කළ හැකි වේ. එමගින් දෙමව්පියන් දෙදෙනාගේම සහයෝගයෙන් හා එකමුතුවෙන් තම දරුවා හදා ගැනීමට අවස්ථාව හිමි වේ.

බුලත්සිංහල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි අයිරාංගනී ගගලගමුව මහත්මිය සමග චමිලා සෙනෙවිරත්න විසින් සකසන ලද ලිපියකි.

 

දිනකට අවශ්‍ය ශක්තියෙන් 10-15% පමණ ලබා ගැනීමට ප්‍රෝටීන් අවශ්‍ය ඇයි ?

පියලි හා ඇට වර්ග, මාළු, කරවල, බිත්තර, කුකුළු මස් හා අනෙකුත් මස් වර්ග ප්‍රෝටීන බහුල ආහාර වේ. දිනක ශක්ති අවශ්‍යතාවයෙන් 10-15% ක් පමණ ප්‍රෝටීන අඩංගු ආහාර මගින් ලබාගත යුතුය. ශරීරයේ ෙසෙල ගොඩනැගී ඇති මූලික ව්‍යුහය ප්‍රෝටීන් වන අතර එන්සයිම, හෝමෝන සහ අනෙකුත් වැදගත් රසායනික ද්‍රව්‍ය නිපදවීම හා ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රෝටීන අත්‍යවශ්‍ය වේ. ප්‍රෝටීන, කැලරි ප්‍රභවයක්ද වන අතර, එය ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වේ. ප්‍රෝටීන ඌණතාවය ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් කෙරෙහි බලපෑමක් ඇති කරයි. විශේෂයෙන් ශරීරයේ වර්ධනය හා විකසනය වන අවදියේදී ප්‍රෝටීන ඌණතාවයක් ඇති වුවහොත් එය එම ක්‍රියාවලිය කෙරෙහි ඛෙහෙවින් බලපෑම් ඇති කරයි. එමනිසා ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන් අඩංගු ආහාර ප්‍රමාණවත් ලෙස ආහාරයට එකතුකර ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හේතු වේ. විශේෂයෙන් ප්‍රෝටීන අඩංගු සත්ව ආහාර වල සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ඇති බැවින් එම ආහාර පෝෂණ ගුණයෙන් ඉහළ වේ.

මාළු සහ කරවල ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන මූලාශ්‍ර වේ. එය පහසුවෙන් ජීරණය වේ. එමෙන්ම මාළු හා කරවලවල අඩු මේද ප්‍රමාණයක් අන්තර්ගත වන අතර, මාළු විවිධ පෝෂකවලින් පොහොසත් වේ. විවිධ වර්ගවලට අයත් මසුන් (මුහුදු මාළු, මිරිදිය මාළු, තෙල් සහිත මසුන් සහ ඉස්සන්, කකුළුවන්, දැල්ලන් වැනි කලපු මත්ස්‍යයන්) ආහාරයට ගැනීම මගින් විවිධ වූ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලැබේ. ශරීරයට හිතකර තෙල් වර්ග මාළුවාගේ මොළයේ අන්තර්ගත වේ. එම නිසා මාළු පිසගැනීමේදී සම්පූර්ණ මාළුවාම ඒ සඳහා යොදාගන්න. මාළු තැම්බීම, බැදීම හා ව්‍යාංජන ලෙස සකස් කිරීම මගින් විවිධ රසයන්ට මාළු පිළියෙළ කළ හැක.

ප්‍රෝටීන

මාළු ප්‍රෝටීන, ගුණාත්මක බවින් ඉතා ඉහළය. ශරීරය වර්ධනය වීම හා අලූත්වැඩියාව සදහා අවශ්‍ය වන සියලූම ඇමයිනෝ අම්ල ප්‍රමාණවත් ලෙස මාළුවල අන්තර්ගත වේ. අමු බර මාළු ග්‍රෑම් 100 ක ප්‍රෝටීන ග්‍රෑම් 18-20% පමණ අඩංගු වේ.

මාළුතෙල්

ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ලයක් වන ඔමේගා 3 මේද අම්ලය මාළුවල අඩංගුය. මෙමගින් රුධිර වාහිනී අවහිරතා රෝග, හෘද රෝග, අධි රුධිර පීඩනය හා පිළිකා වැනි රෝග තත්ත්ව වැළැක්වීම සඳහා වැදගත් මෙහෙයක් ඉටු කරන බවට මෑතකදී කරන ලද පරීක‍ෂණවලට අනුව ඔප්පු වී ඇත. විශේෂයෙන්ම තෙල් සහිත මාළු වන සාලයා, හුරුල්ලා (සාඩිනෙල්ලා විශේෂය), කුම්බලාවා, බෝල්ලා (මැකරල් මාළු) සතියකට දෙවරක් වත් ආහාරයට ගැනීමෙන් මොළය වර්ධනයට හා පෙනීම ඇති වීමට අවශ්‍ය වන ප්‍රමාණවත් ඔමේගා 3 මේද අම්ල ප්‍රමාණයක් ලැබේ. කලපු මත්ස්‍යයින් වන ඉස්සන්, කකුළුවන්, දැල්ලන් හා ඛෙල්ලන් ඔමේගා 3 මේද අම්ල ලබාගත හැකි හොඳ මූලාශ්‍ර වේ.

කැල්සියම්

මාළු, කැල්සියම් බහුල ආහාරයකි. විශේෂයෙන් වියළි හාල් මැස්සන්, කූනිස්සන් (ඉස්සන් විශේෂ) ආහාරයට ගැනීමෙන් හා හුරුල්ලා සහ සාලයා වැනි කුඩා මසුන් බැද කටුත් සමග ආහාරයට ගැනීම මගින් කැල්සියම් හොඳින් ලබාගැනීමට හැකිය. කැල්සියම් ශරීරයේ අස්ථී හා දත් විකසනයට අලූත්වැඩියා කිරීමට හා නීරෝගීව පවත්වා ගැනීමට අවශ්‍ය වේ. මෙයට අමතරව කුඩා දරුවන්ට වැලඳෙන රිකට්ස් (අස්ථී ඇද වීම) නැමති රෝගයද වැඩිහිටියන්ට වැලඳෙන ඔස්ටියෝපොරෝසිස් නැමති රෝගය වැළඳීමට ඇති අවදානමද කැල්සියම් බහුල ආහාර ගැනීම මගින් අඩු කෙරේ.

යොවුන් වියේදී කැල්සියම් අවශ්‍යතාවය ඉතා ඉහළ අතර, බැදගත් කුඩා මසුන් ඔවුන්ගේ ආහාර වේලෙහි අඩංගු කරලීම මගින් කැල්සියම් අවශ්‍යතාවය සපුරාලිය හැකිය.

විටමින් ඩී

කිරි හා බිත්තරවලට අමතරව මාළු විටමින් ඒ හා ඩී ලබාදෙන ගුණාත්මක බවින් ඉහළ මූලාශ්‍රයක් වේ. විශේෂයෙන් තෙල් සහිත මසුන් වන සාඩිනෙල්ලා විශේෂ, සැමන්, බල මාළු විශේෂ හා මැකරල් මාළුන්ගේ විටමින් ඩී අඩංගුය. විටමින් ඩී ආහාරයේ ඇති කැල්සියම් ශරීරයට හොදින් අවශෝෂණය වීමට උදව් කරන අතර, අස්ථී විකසනයට හා හොඳින් පවත්වාගෙන යාමට උපකාරී වෙයි.

යකඩ

මත්ස්‍ය ආහාර යකඩ සඳහා හොඳ මූලාශ්‍රයකි. මාළුවල අඩංගු යකඩ, ශාකවල අඩංගු යකඩවලට වඩා ශරීරයට හොඳින් අවශෝෂණය වේ. මස රතු පැහැ වූ සියලූම මත්ස්‍යයින්, සාඩිනෙල්ලා විශේෂ කරවල සහ කලපු මත්ස්‍යයින් (ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන්) යකඩ බහුල ආහාර වේ. එමෙන්ම මත්ස්‍ය ආහාර සින්ක්, සෙලීනියම් හා අයඩීන් ලබාදෙන හොඳ මූලාශ්‍ර වේ.

ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන සඳහා බිත්තර ආහාරයට ගන්න

බිත්තරවල තිඛෙන ප්‍රෝටීන  මස්, මාළු හා කිරිවල අඩංගු ප්‍රෝටීනවලට වඩා ගුණයෙන් ඉහළය. ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මෙන්ම විටමින් සී හැර අනෙකුත් විටමින්, ඛනිජ ලවණ බොහෝමයක් බිත්තරවල අඩංගුය. බිත්තර කහ මදයේ මේදය හා කෝලීන් ඇතුළුව බොහෝමයක් විටමින් වර්ග හා යකඩ අඩංගු වේ. එමෙන්ම එහි සැළකිය යුතු ප්‍රමාණයක් කොලෙස්ටරෝල් සහ කැල්සියම්ද අන්තර්ගත වේ. බිත්තර සුදු මදය සම්පූර්ණයෙන්ම ප්‍රෝටීන්වලින් සෑදී ඇත. බිත්තරවල අඩංගු යකඩ ශරීරයට උරාගැනීම තරමක් කාර්යක‍ෂම නොවන අතර, විටමින් සී අඩංගු ආහාරයක් සමග ගැනීමෙන් අවශෝෂණය ඉහළ යයි.

බිත්තර පිස ගැනීමේදී එළවළු සමග මිශ්‍ර කිරීමෙන් එහි අඩංගු කොලෙස්ටරෝල් ප්‍රමාණය ශරීරයට අවශෝෂණය කිරීම අඩු කර ගැනීමට පුළුවන. බිත්තර ආහාරයට ගැනීමේදී එය තම්බා හෝ බැද ආහාරයට ගැනීම වඩාත් සුදුසුය. තම්බාගත් හෝ බැදගත් බිත්තර ජීරණයට පහසු අතර, සැල්මොනෙල්ලා වැනි අහිතකර විෂබීජ කාරක ශරීරයට ඇතුළුවීමද වළකයි. බිත්තර මිලෙන් අඩු හා පහසුවෙන් පිළියෙළ කරගත හැකි ප්‍රෝටීන් ප්‍රභවයක් වන අතර, ක්‍රියාශීලී දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට දිනපතා බිත්තරයක් ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් සපුරා ගැනීමට පුළුවන. එහෙත් රුධිරවාහිනි අවහිරතා රෝග ඇති අය හා එම රෝගවලට ගොදුරුවීමේ අවදානමක් ඇති අය බිත්තර සතියකට දෙකකට හෝ තුනකට දක්වා සීමා කළ යුතු වේ. මෙවැනි අය සඳහා බිත්තර සුදුමදය දිනපතා වුවද භාවිතය සුදුසු වේ.

ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන් සඳහා මස් ආහාරයට ගන්න

මස් ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන ලබා දෙන හොද මූලාශ්‍රයක් වේ. යකඩ, සින්ක්, කොපර් ඇතුළු බොහෝමයක් ඛනිජ ලවණ මස්වල අඩංගු අතර, එහි ඇති යකඩ හොදින් අවශෝෂණය වේ. එමෙන්ම ධාන්‍ය හා පියලිවල ඇති යකඩ ශරීරයට අවශෝෂණය වීමට මස්වල ඇති යකඩ උදව් කරයි. ධාන්‍ය හා රනිල ආහාරයට ගැනීමේදී එයට ස්වල්ප ප්‍රමාණයක් මස් එකතු කරගැනීම යෝග්‍ය අතර, රක්තහීනතාවයෙන් පෙලෙන අය සඳහා මෙවැනි ආහාරයක් ලබා දීම ඉතා ප්‍රතිඵල දායක වේ. මස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන, විටමින් බී 12 ඇතුළු විටමින් බී සංකීර්ණය අයත් විටමින් ලබාගැනීම සඳහා භාවිත කළ හැකි හොද මූලාශ්‍ර වේ. මස් සංතෘප්ත මේදය හා කොලෙස්ටරෝල් බහුල ආහාරයකි. එම නිසා රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ අය සදහා නිතර මස් අනුභවය සුදුසු නොවේ. රතුමස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන වන සොසේජස්, මීට් බෝල්ස්, හැම්බේකන් වැනි මස් වර්ග අධික ලෙස භාවිතය මගින් සමහර පිළිකා වර්ග සෑදීමේ අවදානමක් ඇත. කුකුළු මස්වල සංතෘප්ත මේදය ප්‍රමාණය අනෙකුත් මස් හා සසඳන කළ තරමක් අඩුය. එහෙත් අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය අනෙකුත් මස්වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණයට සමාන වේ. ආහාරයට ගැනීමේදී මස්වල අඩංගු මේද කොටස් ඉවත් කිරීමෙන් සහ කුකුළු මස්වල හම ඉවත් කර පිස ගැනීම මගින් මේද ප්‍රමාණය අඩු කර ගැනීමට පුළුවන.

පියලි හා ඇට වර්ගවල අඩංගු වැදගත් පෝෂක

පියලි හා ඇට වර්ග ප්‍රෝටීන් ලබා ගැනීමට භාවිත කළ හැකි හොඳ ප්‍රභවයකි. පියලි හා ඇට වර්ගවල තන්තු, සංකීර්ණ කාබොහයිඩ්රේට්, විටමින් හා ඛනිජ ලවණ බහුල වන අතර, මේදය ඇත්තේ මද වශයෙනි. දිනපතා ආහාරයට පියලි හා ඇට වර්ග එකතුකර ගැනීම මගින් දියවැඩියා රෝගය සෑදීමට ඇති අවදානම අඩුවේ.

ප්‍රෝටීන

පියලි හා ඇට වර්ග (බෝංචි, මුං ඇට, කව්පි, සෝයා සහ පරිප්පු) ධාන්‍ය සමග ආහාරයට ගැනීම මගින් ශරීරයට අවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලම ලැබේ. නිර්මාංශ ආහාර අනුභව කරන අයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලබා ගැනීම සඳහා ධාන්‍ය වර්ග සමග පියලි හා ඇට වර්ග ආහාරයට එකතු කරගත යුතුය.

උදා: පරිප්පු/කඩල/කව්පි/මුං ඇට, බත් සමග ආහාරයට ගැනීම

විටමින්

පියලි හා ඇට වර්ගවල විටමින් බී කාණ්ඩයට අයත් බොහෝමයක් විටමින් ඇත. පියලි හා ධාන්‍ය ප්‍රරෝහනය වීමේදී / පැලවීමේදී එහි අඩංගු විටමින් බී හා සී ශරීරයට අවශෝෂණය වීම වැඩිවේ.

යකඩ

පියලි හා ඇට වර්ගවල අඩංගු යකඩ පහසුවෙන් ශරීරයට අවශෝෂණය නොවේ. පියලි හා ඇට වර්ග පැල කිරීමෙන් හෝ පැසවීමෙන් යකඩ අවශෝෂණය ඉහළ නැංවිය හැක. පියලි හා ඇට වර්ග සඳහා පරිප්පු, කඩල, මුං ඇට, සෝයා හා බෝංචි ඇට උදාහරණ වේ. ආහාර වේලක් සදහා මින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක.

ප්‍රෝටීන, ඛනිජ ලවණ, විටමින්, මේදය හා තන්තු ලබා දෙන හොඳ ආහාරයක් ලෙස සෝයා සැලකිය හැකිය. ටි.වී.පී. (පදම් කරන ලද එලවළු ප්‍රෝටීන) ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කරන සෝයා ආහාරයකි. සෝයා හා සෝයා නිෂ්පාදන, නිර්මාංශ ආහාර ගන්නා අයට භාවිත කළ හැකි හොඳ ප්‍රෝටීන ප්‍රභව වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ ප්‍රකාශනයක් ඇසුරෙන් අවසර ඇතිව පල කරන ලදී

 

ලුණු සීමා කරමු … අයඩීනිකරණය කළ ලුණුවලට මුල් තැන දෙමු

මානව ශිෂ්ඨාචාරය ආරම්භයේ සිටම ආහාර රස ගැන්වීමේ ක්‍රියාවලියේදී ලුණු ප්‍රධාන මෙහෙයක් ඉටු කරමින් සිටී. ආහාරයට සෝඩියම් එකතු කරනු ලබන ප්‍රධාන මූලාශ්‍රය වශයෙන් ලුණු සැලකිය හැකිය. ශරීරයේ සමබරතාවය පවත්වාගෙන යාම සඳහා ලුණු  අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. දිනපතා භාවිත වන ආහාරවල ස්වභාවයෙන්ම අඩංගු සෝඩියම් ශරීරයේ සියලු අවශ්‍යතාවයන් සඳහා ප්‍රමාණවත් වුවත් වැඩිපුර දහදිය දමන අය සඳහා ලුණු අමතර වශයෙන් භාවිතය අවශ්‍ය විය හැක. එක් පුද්ගලයෙකු සඳහා දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 05 කට (දළ වශයෙන් තේ හැන්දක්) වඩා අඩුවිය යුතුය.

ආහාරයට ලුණු  ලැඛෙන මූලාශ්‍ර : 

ආහාරයට ලුණු  විවිධ අයුරින් එකතු වීමට පුළුවන.

  • සියලුම ස්වභාවික ආහාරවල සුළු වශයෙන් අඩංගු වීම
  • ආහාර පිසීමේදී එක් කිරීම
  • කෑම මේසයේදී ආහාරයට මිශ්‍ර කිරීම
  • ආහාර පිරිසැකසුම් කිරීමේදී එක් කිරීම

මාංශමය අහාර වන හැම් බේකන්, සොසේජස්, ලුණු  දමා වියලන ලද කරවල, ලුණු  දමන ලද ඌරු මස් වලද, බටර්, මාගරින්, ටින් කරන ලද එළවළු, මාමයිට් හා වෙජිමයිට් (යීස්ට් නිස්සාරක) සෝයා සෝස් ඇතුළු සෝස් වර්ග ලුණු  රසැති ක‍ෂණික කෑම වර්ග වන සේවරි බිස්කට්, ක්‍රිස්පි වර්ග, අච්චාරු සහ උදය ආහාරය සඳහා සකස් කල ධාන්‍ය වර්ග වලද ලුණු  බහුලව අන්තර්ගතය.

අප විසින් ලුණු සීමා කළ යුත්තේ ඇයි?

සාමාන්‍යයෙන් ලුණු  අඩුවෙන් පරිභෝජනය හා පොටෑසියම් බහුල ආහාර වැඩිපුර ගැනීම හේතුවෙන් සමස්ත ජනගහනයේම රුධිර පීඩනය අඩු වීමකට තුඩු දිය හැක. වැඩිපුර පළතුරු හා එළවළු ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැඛෙන පොටෑසියම් ප්‍රමාණය වැඩිකර ගැනීමට පුළුවන. අධි රුධිර පීඩනයෙන් පෙළෙන අය ලුණු භාවිතය සීමා කිරීම සෞඛ්‍යයට හිතකරය. වයස්ගත වීමත් සමග ලුණුවලට ඇති සංවේදීතාවය ඉහළ යයි. අධික ලුණු සහිත ආහාර ගැනීම නිසා මුත්‍රා සමග කැල්සියම් පිටවීම ඉහළ යයි. මෙම හේතුව නිසා ශරීරයේ කැල්සියම් ඌනතාවයක් ඇතිවිය හැක.

අයඩිනීකරණය කරන ලද ලුණු පමණක් භාවිත කරන්න

අයඩිනීකෘත ලුණු සෑම නිවසකම ආහාර රස කර ගැනීම සඳහා යොදා ගන්නා නිසා සෑම කෙනෙකුටම තම අහාර වේල මගින් අයඩීන් ලබා ගැනීමට හැකියාව ඇත. එම නිසා ලුණු භාවිතයේදී අයඩිනීකරණය කරන ලද ලුණු පමණක් භාවිතයට ගත යුතුය. මිනිසාගේ කායික සහ මානසික ක්‍රියාකාරිත්වය සඳහා තයිරොයිඩ් හෝමෝනය ඉතා වැදගත් වේ. මෙම හෝමෝනය නිපදවීමේදී අයඩින් ප්‍රධාන මෙහෙයක් ඉටු කරයි. අයඩින් ඌණතාවය හේතුවෙන් මන්ද බුද්ධිකතාව,මානසික හා ශාරීරක වර්ධනය අඩු වීම සහ විකසනය වීමේ ගැටළු ඇති වේ.

අයඩිනීකරණය කරන ලද ලුණු ආරක්ෂාකාරීව භාවිත කළ යුත්තේ කෙසේද?

  • ලිප, හිරු එළිය හෝ වෙනත් උණුසුම් සාදකවලින් ඈත්ව අඳූරු බෝතලයක ගබඩා කරන්න
  • ආහාරයට එකතු කිරීමට පෙර ලුණු සේදීමෙන් වලකින්න
  • ආහාර පිස ගැනීමෙන් අනතුරුව ආහාරයට ලුණු එකතු කරන්න
ලුණු භාවිතය අඩු කරගත හැක්කේ කෙසේද?

  • කෑම පිසීමේදී, ලුණු ඉතා ස්වල්ප ප්‍රමාණයක් එක්කර ගන්න. ආහාරයේ රසය වැඩිකිරීම සඳහා ලුණු වෙනුවට කුළුබඩු ඇතුළු ස්වභාවික රසකාරක එකතු කරන්න. උදා: කුරුඳු, කරපිංචා, එනසාල්
  • ආහාර වේලක් සැලසුම් කිරීමේදී පිරිසැකසුම් කල ආහාරවලට වඩා සෝඩියම් අඩුවෙන් අන්තර්ගත ස්වාභාවික ආහාර තෝරා ගැනීමට සැළකිලිමත් වන්න.
  • ටින් කරන ලද මාළු සහ මස්වලට වඩා අලුත් මාළු හා මස්වල අඩංගු ලූණු ප්‍රමාණය අඩු බව මතක තබා ගන්න
  • ටින් කරන ලද ආහාර තෝරා ගැනීමේදී ලේබලය කියවා ලුණු අඩු හෝ ලුණු රහිතව පිළියෙල කර ඇති ඒවා තෝරා ගන්න
  • අච්චාරු, ලුණු දෙහි, චට්නි, සෝස්, සලාද මිශ්‍රණ (සැලඩ් ක්‍රීම්) හා අබ ක්‍රීම් (මස්ටඩ් ක්‍රීම්) වල අධික ලුණු ප්‍රමාණයක් අන්තර්ගත බැවින් භාවිතය සීමා කරන්න.
  • ලුණු අධික කෙටි ආහාර වෙනුවට අලුත් එළවළු සහ පළතුරු ආහාරයට ගන්න
  • පිරිසැකසුම් කරන ලද ටින් කළ ආහාර සකස් කිරීමේ ක්‍රියාවලියේදී අමතර ලුණු ප්‍රමාණයක් එක් කරන බව මතක තබා ගන්න
  • ළදරුවන් සහ ළමයින්ට ලුණු හඳුන්වාදීම ප්‍රමාද කරන්න. ලුණුවලට හුරුපුරුදු වීම නිසා අඩු ලුණු  ප්‍රමාණයකින් තෘප්තිමත් වීමට පුරුදු වේ
  • ලුණු  රසට හුරු පුරුදු වීම එය භාවිතයත් සමග සිදුවන ක්‍රියාවලියක් නිසා අඩු ලුණු  ප්‍රමාණයකට දිව හුරු පුරුදුකර ගැනීම මගින් ආහාරයේ ස්වභාවික රසය භුක්ති විඳීමට පුරුදු වන්න
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ ප්‍රකාශනයක් ඇසුරෙන් අවසර ඇතිව පල කරන ලදී.

 

බුද්ධිමත් ජානය දරුවන්ට ලැබෙන්නේ අම්මාගෙන්

දරුවෙකුට ආදරය සෙනහස වගේම බුද්ධිය ලබා දීමේදිත් වඩාත් බලපෑමක් ලැබෙන්නේ අම්මාගෙන් බව නවතම අධ්‍යනයන් මගින් පෙනී ගොස් තිබෙනවා.  මව්පිය ආරය සහ පරිසරය දරුවන්ට බලපාන බව සාමාන්‍ය පිලිගැනීම වුනත් බුද්ධිය වෙනුවෙන් මවගෙන් ලැබෙන දායකත්වය සනාථ කිරීමට ජර්මන් ජාතික වෛද්‍ය ජෙනිෆර් ස්ටුවර්ට් විසින් ප්‍රකාශයට පත් කරන ලද  අධ්‍යන වාර්තාව වඩාත් හේතු වී තිබෙනවා.

ඔහුගේ මෙම අධ්‍යනය වෙනුවෙන් ජර්මනියේ යූ. අයි. එම් විශ්ව විද්‍යාලයේ සමීක්ෂනයද පාදක කර ගනු ලැබීය. එම අධ්‍යනය මගින් හදුනා ගත් අන්දමට කාන්තාවන් බුද්ධිය සපයන එක්ස් වර්ණ දේහ දෙකකට හිමිකම් කියන නිසා දරුවන්ගේ බුද්ධිය වෙනුවෙන් මවගෙන් ලැබෙන මෙම ජානය වඩාත් වැදගත් බැව් පෙන්වා දෙනවා. කාන්තාවන්ගේ නුවණ හැදිමිටේ දිගට සමාන කලත්, මෙම අධ්‍යනයන් මගින් පෙන්වා දෙන අන්දමට පිරිමින්ගෙන් 30 % ක් පමණ දෙනා බුද්ධිය පිලිබඳ ඌනතාවයන්ගෙන් පෙලෙන පිරිසක් බව පෙනී ගොස් ඇත. මෙම දත්ත පාදක කර ගෙන පර්යේෂක “සුඩා රෝස්” පෙන්වා දෙන්නේ දරුවන්ගේ බුද්ධිය වෙනුවෙන් මවගේ බලපෑමක් ඇති බව පිලිගත යුතු සත්‍යක් බවට පත් වෙන බවයි.

විද්‍යාත්මක පිලිගැනීමට අනුව දරුවෙකුගේ බුද්ධිය වෙනුවෙන් ආරය සහ පරිසරය විශාල බලපෑමක් ඇති කරනු ලැබේ.එය 60% ක් තරම් ඉහල අගයක පවතී. දරුවාගේ බුද්ධිය වර්ධනය වෙනුවෙන් අදාල පරිසයේ බලපෑමද බොහෝ විට ලැබෙන්නේ මව ගෙන් බව නොරහසක්. පියා පවුලේ ආදායම සරි කරනු මිස පරිසරයෙන් දරුවාට අවශ්‍ය දැනුවත්බව ලබා දීමෙහි ලා එතරම් දායකත්වයක් දක්වන්නේ නැත. එහෙත් අම්මා යාන්තමින් දරුවා දෙනෙත් විවෘත කරන ලද දිනයේ පටන්ම දරුවාට ලබා දෙන්නේ දැණුමයි. නැලවිලි ගීතයේ පටන්ම ඇය දරුවාට ලබා දෙන දැණුම අඩුවක් නැත. කවිය , ගීතය , මගින් ඇය දරුවාට අත්දැකීම් එකතු කරන්නීය. සුන්දර සිතුවිලි වලින් රසභාවයන් පෝෂණය කරන්නීය. මේ නිසාම අද දරුවන්ගේ බුද්ධි මට්ටම සහ ඔවුන් බිහි කරන ලද මව්වරුනගේ බුද්ධි මට්ටම අතර ඇත්තේ සියට 15 ක පමණ වෙනසක් බව සුඩා රෝස් ගේ අධ්‍යන වාර්තාවේ සඳහන් වේ.

මිනිසෝටා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ වාර්තාවකින් හඳුනා ගත් අන්දමට මව සමග ඉතාම සමීප සම්බන්ධතාවයක් දක්වන දරුවන් අනාගතයේදී ඉතාම දක්ෂයන් බැව් පෙනී ගොස් ඇත. බාල කාලයේ පටන් අම්මාගේ ඇසුර වෙතින් ලබන ශක්තිය නිසා දරුවාට තමා පිලිබඳව විශ්වාසයක් ගොඩ නැගීම රහසක් නාවේ. මේ නිසාම ඔහු අනාගත අභියෝගයන් බාර ගන්නා නිසාම ඒ වෙනුවෙන් ලබන අත්දැකීම් සහ පරිසරයෙන් ලබන පන්නරය නිසා බුද්ධියෙන් සන්නද්ධ වීමට අවශ්‍ය පෙර සූදානම ලබනු ඇත. වොෂිංටන් විශ්ව විද්‍යාලයය විසින් මව සහ දරුවා අතර වූ අන්තර් සම්බන්ධතාවය ඔවුන්ගේ බුද්ධිය සදහා සිදු කරනු ලබන බලපෑම අධ්‍යනය කිරීමට දරුවන්ගේ මොලයේ ඉගෙනුම හා මතකයට ප්‍රතිචාර දක්වන “හයිපොකැම්පස් ” කලාපය පිලිබ ව පරීක්ෂා කරන ලදී. එහිදි ඔවුන්ට පැහැදිලිව පෙනී ගියේ මව සමග සමීප සම්බන්ධතාවයක් දක්වන දරුවන්ගේ බුද්ධි මට්ටම සාමාන්‍යයෙන් මව සමග බැඳීමක් නොමැති දරුවන්ට වඩා සියයට පහලොවකින් ඉහල මට්ටමක පැවැති බවයි.

මෙතැනදී ඔවුන් බුද්ධිය යනුවෙන් අදහස් කරනු ලැබුවේ පාසල් හා උසස් අධ්‍යාපනය මුල් කර ගත් පසුබිම පමණක් නොවේ. අභියෝග ඉදිරියේ මුහුණ දිම, ගැටලු නිරාකරනය, ස්වාධීනබව වැනි විවිධ කරුණු ඔවුන්ගේ අධ්‍යනය වෙනුවෙන් පාදක විය. දරුවන්ගේ නොමග යෑමේදී බොහෝ දෙනා දොස් නගන්නේ මවටයි. එහෙත් සමාජයට හිතකර දරුවෙක් දායාද කළ විට අම්මා මුල් කර ගෙන විශේෂ ඇගයීමක් ලැබෙන්නේද නැත. එම අවස්ථාවන්හිදී බොහෝ විට එහි සම්මානයට විශේෂණ පදය ලෙසින් ගලපන්නේ පියාගේ ලේ උරුමයයි. එහෙත් මෙතෙක් ඔබ නොදැන සිටියත් දරුවා බුද්ධිමත් වීමේදී වඩාත් දායක වන්නේ මවගෙන් ලැබෙන බුද්ධිමත් බව පිළිබඳ ජානයයි. මේ අනුව පෙනී යන්නේ  අම්මලා දුක් ගනිමින් පුතුන් රජුන් කරන්නට උත්සාහ ගන්නේ ඔවුන් මුල් කර ගෙන තමන්ගේ ජානගත ශක්තින්ද සපයමින් බව දැන් ලෝකයා තේරුම් ගෙන ඇත.

ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස් නම් ඔහු සුවිශේෂී ඇයි ?

දරුවන් කී විට ලෝකයේ හැම දරුවෙක්ම එක සේම වටිනාකමක් ඇති වස්තුවක් කීම සාධාරණය. සෑම අම්මා කෙනෙකුටම තමන්ගේ දරුවා සුවිහේෂී වස්තුවක්. අපේ ජනවහරට අනුව වුනත් කියැවෙන්නේ “උනහපුලුවාට උගේ දරුවා මැනිකක්” බවයි. ඒත් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස් නම් ඔහු ලෝකයේ අනිකුත් දරුවන්ට සාපේක්ෂව සුවිශේෂී වීමට කරුණු කීපයක් තිබෙනවා.  පසුගිය ජූලි මස 22 වැනි දින සිය  ජීවිතයේ හතරවැනි වසරට සම්පූර්ණ වුන ඔහු සුවිශේෂී වෙන්නේ ඇයි…?

ඔහු බ්‍රිතාන්‍ය කිරුලේ හතරවැනි උරුමක්කාරයාය

2013 වසරේ ජූලි මාසයේ 22 වැනි දින එංගලන්තයේ කේට් මිඩ්ල්ටන් විසින් ලොවට දායාද කළ මෙම පුත් කුමරු නමින් “ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස් ” නම් වේ. ඔහු උපත ලබන විට බ්‍රිතාන්‍ය ජාතිකයන් බිලිඳු කුමරා පිලිගත්තේ ආචාර වෙඩි මුර 21 ක් පවත්වමින්ය. ඔහු අනාගත රජ පුරුකේ තවත් හිමිකරුවෙකි.

දෙවැනි එලිසබෙත් රැජිනගේ මීමුණුපුරාය 

දැනට 91 වැනි වයසේ පසුවෙන එංගලන්තයේ මහරැජින වූ දෙවැනි එලිසබෙත් රැජිනගේ මීමුණුපුරාවන්නේ මෙම ජෝර්ජ් කුමරුවන්ය.රැජින ඔහු ආමන්ත්‍රනය කරන්නේ ගැන්-ගැන් යන සුරතල් නාමයෙන්ය. බකින්හැම් මාලිගාවට පැමිනෙන හැම මොහොතකම තම මීමුණුපුරා වෙනුවෙන් තෑග්ගක් අත තැබීමට මහ රැජින අමතක නොකරයි.

ඔහු ජීවත් වන්නේ 18 වන සියවසට අයත් ගොඩනැගිල්ලකය

ජොර්ජ් කුමරුට දෙවැනි එලිසබෙත් රැජින නිවසන බකිංහැම් මාලිගාවේ  කල් ගෙවීමට හැකි වුනත් දැන් ඔවුන් ජිවත්වන්නේ  18 වන සියවසට අයත් ගොඩනැගිල්ලකය. පියා වූ විලියම් කුමරුද , මව කේට් මිඩිල්ටන් සහ නැගණිය චාර්ලට් කුමරිය සමග ඔවුන් මේ නිවසේ කාලය ගෙවති. මෙම මන්දිරය විලියම් සහ කේට් විවාහ මංගල්‍යයේදී තිලිනයක් ලෙසින් මහරැජින විසින් තම මුණුපුරාට ලබා දුන් මන්දිරයකි.

ඔහුගේ උපන්දිනයට නිවසක් තෑගි

සාමාන්‍යයෙන් දරුවන්ගේ උපන්දිනය වෙනුවෙන් තෑගි ලෙස ලැබෙන්නේ සෙල්ලම් බඩු හෝ වෙනත් ළමා ලෝකයට ගැලපෙන ත්‍යාගයන් වේ. එහෙත් ජෝර්ජ් කුමරාගේ උපන්දිනය වෙනුවෙන්  2015 වසරේ සිය දෙවැනි උපන්දිනයට පියා වූ විලියම් කුමරු විසින් පවුම් දහඅට දහසක් වටිනා නිවසක් තෑග්ගක් සේ ප්‍රදානය කරන ලදී. වික්ටෝරියානු යුගයට අයත් මෙම මන්දිරය කෙලවර චාල්ස් කමරු හෙවත් ඔහුගේ සීයාගේ මල් සහිත තැනිතලාව  පිහිටා ඇත.

ඔහු තොරතුරු පනතින් නිදහස්ය

ජෝර්ජ් කුමරු දැනටමත් තොරතුරු පනතින් නිදහස්ය. බ්‍රිතාන්‍ය ජාතිකයන් රජ පවුල වෙනුවෙන් දක්වන ගරුත්වය නිසාම ඔවුන්ගේ තොරතුරු පිලිබඳව ප්‍රශ්න කිරීමක් හෝ විවේචනයක් නොමැති වුනත් අනාගතයේදී මෙම තත්වය වෙනස් වීමේ අවදානමක් ඇති වීම වලක්වා ලනු වස් ටෝනි බ්ලෙයාර් අගමැති විසින් බ්‍රිතාන්‍ය රජපවුල තොරතුරු පනතින් නිදහස් කරන ලදී.

ජෝර්ජ් කුමරුගේ රුව සටහන් සංකේත ඇත

ජෝර්ජ් කුමරුගේ රුව ඇතුලත් කරමින්  මුද්දර සහ කාසි නිකුත් කර ඇත. ඒ අතරින් ඔහු ජන්මය ලද 2013 වසරේ ජූලි 22 වැනි දින පවුම් පහක සමරු කාසියක් නිකුත් කරන ලදී. 2016 වසරේ අප්‍රේල්  මාසයේදී මෙම ළදරු කුමරාගේ රුව ඇතුලත් තැපැල් මුද්දරයක් නිකුත් කරන ලදී.

දුව නිතරම කණ්නාඩිය ඉසසරහමයි..පුතාගේ හිත ජැන්ඩියට අඳින්නමයි..මොකක්ද මේ දරුවන්ට වුණේ

ඔබේ දියණිය/පුතා කෙමෙන් වැඩිවියට ළඟා වන ලකුණු පෙන්නුම් කරන බව ඔබ දිනෙන් දින නිරීක‍ෂණය කරනු ඇත. අපි එතැනින් පටන් ගනිමු. යොවුන් විය පිළිබඳව ප්‍රථමයෙන්ම දැනුවත් විය යුත්තේ මා පියන් වන ඔබයි. ඒ දැනුවත් බව හරහා දරුවන්ට ළංව ඔවුන්ගේ ජීවිතය පිළිබඳව පහදා දෙන්නට ඔබට පහසු වනු ඇත. යොවුන් විය ජීවිතයට නව ප්‍රබෝධයක් ගෙන එන කාලයයි. එනම් දරුවා කායිකවත් මානසිකවත් වර්ධනය කරා ගමන්ගන්නා කාලයයි. එනම් ළමාවිය සහ වැඩිහිටි විය අතර මැද ජීවිතයේ සුන්දරම කාලසීමාව යැයි කීමේ වරදක් නැත.

වයස අවුරුදු 10ත් 14ත් අතර කාල සීමාව, පෙර යොවුන් විය ලෙසද වයස අවුරුදු 15 – 18 ත් අතර මැද යොවුන් වියද අවුරුදු 19 – 24 තෙක් කාල සීමාව යොවුන් විය ලෙසද හැඳින්විය හැකිය. මේ කාල සීමාව තුළ ඕනෑම දරුවෙකු ඉතා සීග්‍ර ලෙස සමාජීය, මානසික සහ කායික වශයෙන් බොහෝ වෙනස්කම් පෙන්නුම් කරයි. එසේම මේ කාල සීමාව තුළ ඉතා සීග්‍රයෙන් වර්ධනය සිදුවන අතරම ගැහැණු දරුවන්ගේ වර්ධනය පිරිමි දරුවන්ට සාපේක‍ෂව වේගවත් බවක් පෙන්නුම් කරයි. පිරිමි දරුවන් වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන්නේ නව යොවුන් වියේ අවසන් කාල සීමාවේදීය.

සාමාන්‍යයෙන් පොදුවේ යොවුන් වියේ දරුවන් පෙන්නම් කරන කායික වෙනස්කම් පහත පරිදි දැක්විය හැකිය.

  • සම තෙල් සහිත වීම/බොහෝ විට කුරුලෑ ඇතිවීම
  • ශරීරයේ කෙස් වර්ධනය වීම (කිහිලි, ඉකිලිය, මුහුණේ)
  • කටහඬේ සිදුවන වෙනස්කම්
  • දහදිය දැමීම වැඩිවීම
නව යොවුන් ගැහැනු දරුවා

ගැහැනු දරුවන්ගේ නව යොවුන් විය වයස අවුරුදු 10 සම්පූර්ණ වනවාත් සමග ඇරඹේ. එතැන් පටන් මානසික/ශාරීරික/සාමාජීව වශයෙන් වෙනස්කම් රැසකට ඇය බඳුන් වේ.

යොවුන් වියට පියනගන ගැහැනු දරුවෙකුගේ සිදුවන කායික වෙනස්වීම්

  • පියයුරු වර්ධනය වීම
  • උකුල පළල වීම
  • උස සහ බර වැඩි වීම
  • යෝනි මාර්ගය සහ අවට තෙතමනයක් සහිත වීම
  • කටහඬ තියුණු වීම
  • ආර්තවය ඇතිවීම

ඔබේ දියණියගේ මෙම වෙනස්කම් තුළින් ඇය යොවුන් වියට එළැඹ ඇති බව ඔබට වටහා ගත හැකි නොවේද?

මේ කාල තුළ ගැහැනු දරුවෙකුගේ සිරුර ඉතා වේගයෙන් වර්ධනය වේ. සාමාන්‍යයෙන් වයස අවුරුදු 15 පමණ වන විට ඔවුන් සතු උපරිම උස දක්වා වර්ධනය වී ඇති බව කිව හැකිය. මේ වයස් සීමාව වන විට ගැහැණු දරුවන්ගේ උකුළු පෙදෙස වර්ධනය වී නාරි දේහයක ලක‍ෂණ පෙන්නුම් කරයි.

එසේම, මේ වයස් සීමාව වන විට ඩිම්බ කෝෂයෙන් හෝමෝන නිපදවීම ආරම්භ වන අතරම ප්‍රථමයෙන් පියයුරේ බඳ කොටස වර්ධනය වීම ආරම්භ වේ. ඉන්පසුව කෙමෙන් පියයුරුවල පටක වර්ධනය වීමත් සමගම තන පුඩුව හා ඒ අවට ප්‍රදේශයට වර්ධනය වී හොඳින් කැපී පෙනෙන සේ සැකසෙයි. මේ අවධිය තුළ ප්‍රජනක අවයව ආශ්‍රිතව රෝම වර්ධනය සිදු වේ.

මෙම වයස් සීමාවේදී සිදුවන අනෙක් වැදගත්ම දේ වනුයේ ගැහැණු දරුවාගේ ඔසප් චක්‍රය ආරම්භ වීමයි. එක් එක් දරුවාගෙන් දරුවාට වයස් සීමාව වෙනස් විය හැකිය.  පෙර සඳහන් කළ අත් යට රෝම ඇති වීම ඇරඹෙන්නේ මෙම ඔසප් චක්‍රයේ ආරම්භයත් සමගමය.

මේ සියලූ කරුණ සමග යොවුන් වයසේ ගැහැණු දරුවන් තුළ ලැජ්ජාශීලී බව/තම රුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරිම/තැන්පත් බව වැනි ලක‍ෂණ ද දැකගත හැකිය.

නව යොවුන් පිරිමි දරුවා

පිරිමි දරුවන්ගේ යොවුන් විය ඇරඹෙන්නේ වයස අවුරුදු 12 සම්පූර්ණ වීමත් සමගය. එතැන් පටන් මානසික/ශාරීරික/සාමාජීව වශයෙන් වෙනස්කම් රැසකට බඳුන් වේ.

යොවුන් වියට පියනගන පිරිමි දරුවෙකුගේ සිදුවන කායික වෙනස්වීම්

  • මස්පිඩු වර්ධනය වීම
  • උරහිස් පළල වීම
  • උස සහ බර වැඩි වීම
  • කටහඬ ගැඹුරු වීමශිෂ්ණය සහ කෝෂ වල වර්ධනයක් ඇතිවීම
  • ශුක්‍රානු පිටකිරීමට හැකිවීම
  • ලිංගික හැගීම් ඇතිවීම

යොවුන්වියට එළැඹීමත් සමගම පිරිමි දරුවෙකුගේ සිදුවන ශාරීරික වෙනස්කම් ලෙස ශරීර වර්ධනය වේගවත් වීම දැකගත හැකිය. සිරුර උසින් සහ බරින් වැඩි වේ. සාමාන්‍යයෙන් අවුරුදු 18 – 19 වයස් සීමාව වන විට උපරිම උසට ළඟා වන අතරම එය වසරකට සෙන්ටිමීටර් 10ක පමණ ප්‍රමාණයක් වේ. තවද උරහිස් පළලින් වැඩිවීම, මාංශ පේශීන් ශක්තිමත් වීම/වර්ධනය වීම ශරීර වර්ධනය යටතේ දැක ගත හැකි ප්‍රධාන ලක‍ෂණ වේ.

පිරිමි දරුවෙකුගේ පුරුෂ ප්‍රජනේන්ද්‍රියේ වර්ධනය ආකාර තුනක් යටතේ දැකගත හැකිය. එනම් වෘෂණයේ වර්ධනය/ශිෂ්ණයේ වර්ධනය/ ශිෂ්නයේ සම ඝනකමින් වැඩිවී තද පැහැයක් ඇතිවීම යන පියවර තුනයි. තවද ප්‍රජනන අවයව ආශ්‍රිතව රෝම ඇති වීම අත් යට රෝම ඇතිවීම ද දැක්විය හැකිය. පිරිමි දරුවන් යොවුන් වියට එළැමීමත් සමගම ශුක්‍ර මෝචනය සහ පිටවීම ඇරඹේ. කුරුළෑ ඇති වීම දැකිය හැකි තවත් වෙනස් කමකි.

යොවුන්වියේ දරුවන් තුළ සිදුවන මානසික සහ සමාජීය වෙනස්කම්

  • විවිධ දේ අත්හදා බැලීමට ඇති කැමැත්ත
  • අනුකරණයට ඇති කැමැත්ත
  • සමාජ සම්බන්ධතා ඇතිකරගැනීමට ඇති උනන්දුව
  • අවදානම් හැසිරීම් වලට යොමු වීම
  • වගකීම් භාර ගැනීමට ඇති කැමැත්ත
  • තමන් කරන දේ සැමවිටම නිවැරදි යැයි සිතීම
  • නිර්මාණශීලී බව
  • ආවේගශීලී බව
  • අභියෝගවලට මුහුණ දීමට ඇති කැමැත්ත
  • කල්ලි ගැසීමට ඇති උනන්දුව

මව්පියන් ලෙස ඔබ මේ කරුණු පිළිබඳව නිවැරදිව දැනුවත් වීම තුළින් දරුවන්ගේ වෙනස් වීම් වටහාගැනීමට හැකි අතරම ඔවුන් සමග ඉතා සුහදව ක්‍රියාකිරීමටත් අවස්ථාව සැලසේ.

ඒත් සමගම සංවර්ධන අවධීන් කිහිපයක්ම පසු කොට සුවිශේෂී වු අවධිය වන නව යොවුන් වියට පා නගන ඔබේ දුව/පුතාගේ දැන් වෙනදාට වඩා වෙනස්කම් රැසක් ඔබට පෙනෙනු ඇත. යොවුන් වියේ දරුවන් තම අත්දැකීම් මෙන්ම වටපිටාව තුළින් තමා ලබාගන්නා අත්දැකීම්වලට අනුව තමා පිළිබඳව වටහා ගැනීමට උත්සාහ ගන්නා පිරිසක් ලෙස නම් කිරීමේ වරදක් නැත. මෙතෙක් කල් මාපයින් යටතේ ඔවුන්ගේ අදහස්වලට අනුව සිය ජීවිතය ගෙන ගිය දරුවන් යොවුන් වියට එළැඹීමත් සමගම ස්වාධීන ජීවිතයකට අවතීර්ණ වීමට උත්සාහ දරයි. යොවුන් දරුවන් පිළිබඳව නිසි අවබෝධය මාපියන් තුළ නොපැවතීම මේ අවධියේදී දරුවන් හා දෙමාපියන් අතර මත භේද/ගැටුම් ඇති වීමට මූලික හේතුවි විය හැකිය. සැමවිටම වැඩිහිටියන් වන ඔබ සමබරව දරුවන් සමග ක්‍රියාත්මක විය යුතුය.

උදාරහණයක් වශයෙන් යොවුන් වියට පා තැබූ ඔබේ දියණිය වෙනදා මෙන් සෙල්ලම් බත් උයන්නේ නැත. ඇය ඇලූම් කරන්නේ හැඩට වැඩට ඇඳුම් අඳින්නටය. යහළුවන් සමග විනෝද වන්නටය. ඇය වැඩි වේලාවක් ඇගේ රුව දෙස බලමින් කාණ්නාඩිය ඉදිරිපිට සැරිසරන්නේ ඇයගේ ඔප වැටුණු රුව පිළිබඳිව වූ අහිංසක ආඩම්බරයකිනි. ඔබේ පුතු පියා සමග මෝටර් රථයේ පිටුපස අසුනේ ගියද දැන් ඔහු පි්‍රයකරන්නේ පියාද සමග මෝටර් රථය පදවාගෙන යාමට වියහැකිය.

මෙවැනි අවස්ථාවලදී නුවණැතිව කල්පනාකාරීව තීරණ ගැනීමේ වගකීම මව්පියන්ට පැවරෙන්නේ යොවුන් විය සමගම ඔබේ දියණිය/පුතා ශාරීරික/මානසික වෙනස්කම් රැසකට මුහුණ දී ඇති බැවිනි. මෙවැනි දේ වැදගැම්මකට නැති බවත් ඒ දේ තුළින් ලැඛෙන දෙයක් නැත යන්නද ඔබට හිතෙනු ඇත. නමුත් තරයේ සිහිතබාගත යුත්තේ මේ අවධියේදීත් දරුවන්ට මාපියන්ගේ පූර්ණ අවධානය මෙන්න සහයෝගයද අත්‍යවශ්‍ය බවයි.

යොවුන් දරුවෙකුගේ නිදහසට බාධාවක් නොවන පරිදි ඔවුන් පිළිබඳව දැනුවත් විය යුත්තේද ඔවුන්ගේම ආරක‍ෂාව උදෙසාමයි. ඒ වෙනත් පිරිස් ඔබේ යොවුන් දරුවා නොයෙකුත් වැරදි ක්‍රියාවන් වෙත පොළඹවා අද සමාජය තුළ පවතින ඉඩ කඩ බොහෝ වැඩි බැවිනි. යොවුන් වයසේ දරුදැරියන් යම් යම් දේ අදහදා බලන්නට උනන්දු වන අතරම මෙවැනි අත්හදා බැලීම් නොයෙකුත් පුද්ලයන් සමගින් වැරදි අයුරින් සිදුකිරීමට පෙළඹිය හැකියි. නමුත් මව්පියන් තරයේ සිහිතබාගත යුතු කරුණ වන්නේ යොවුන් වියේ දරුවෙකු පරිස්සමෙන් රැකබලාගන්නවා යන ක්‍රියාවේ අදහස විය යුත්තේ සෑම මොහොතකම දරුවාගේ නිදහසට බාධාකාරී ලෙස හැසිරීම නොවේ. මව්පියන්ගේ වගකීම විය යුත්තේ දරුවාට නොතේරෙන පරිදි විමසිලිමත් වීමයි. ඔබ සැමවිටම දරුවාගේ කටයුතු කෙරේ බාධාවක් වෙන්නට ගියහොත් එය ඔහුගේ/ඇයගේ ජීවිතයට විශාල බලපෑමක් වනු නියතය. එමනිසා මව්පියන් ලෙස ඔබට පැවරෙන් වගකීම වන්නේ දරුවා ඇසුරු කරන පුද්ගලයන් යන එන තැන් කරන දේවල් පිළිබඳව දැනුවත් වෙමින් අවධානයෙන් සිටීමයි. උදාහරණයක් ලෙස ඔබේ දරුවාට ෆේස් බුක් ගිණුමක් ඇත්නම් ඔබ කළ යුත්තේ දරුවා ෆේස් බුක් යන වාරයක් පසා එතැනට වී සිටගෙන බලා සිටීම නොව ඔහුගේ/ඇයගේ ගිණුමේ සිටින යාහළුවන් කවුද මොනවද කරන්නේ කුමන වයස් සීමාවන්වල අයද යන්න පිළිබඳව කෙසේ හෝ දැනුවත් බවක් ලබාගැනීමයි. සැමවිටම වැඩිහිටි ඔබ සැලකිලිමත් විය යුත්තේ දරුවාට හිරිහැරයක් නොවන පරිද්දෙන් ඔවුන්ගේ එදිනෙදා කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් අවශ්‍ය රැකවරණය සැපයීම පිළිබඳවයි.

යොවුන් වියේ දරුවන් පිළිබඳව මව්වරුන් දැනුවත් කිරීමේ මෙම ලිපි පෙළ හරහා ඊළගට අපි ඔබට දැනුවත් කිරීම සඳහා කරුණු ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ “ෆේස් බුක්, නිල් චිත්‍රපට හා ඔබේ යොවුන් දරුවා” යන මාතෘකාව ඔස්සේයි.

වෛද්‍ය ජානකී විදානපතිරන, ප්‍රජා වෛද්‍ය විශේෂඥ
ජාතික ලිංගාශ්‍රිත රෝග/එඩ්ස් මර්දන වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යංශය

 

දුව පුතා කියලා වෙනසක් නැතිව දරුවන්ට හැමදේම ඉගැන්විය යුත්තේ ඇයි කියලා ඔබට හිතුනද?

දුවලා විතරක් බතක් මාඵවක් උයාගන්න දැන ගත්තම ඇති කියන ආකල්පයෙන් අපි හුඟක්ම ඈත් වෙලා. දන්නවනේ අද ලෝකයේ වැඩිපුරම ඉන්නනේ පිරිමි චෙෆ්ලා. නරකද දුව පුතා කියලා බලන්නේ නැතිව ගෙදර දොරේ වැඩ කටයුතු දරුවන්ට පුරුදු කලොත්. ඇත්තටම දරුවන්ව එයාලා පුංචි කාලේ ඉඳලම ගෙදර වැඩ කටයුතු වලට  සම්බන්ධ කරගන්න පුලුවන්. එයාලා අපිට සහයකයෝ වශයෙන් පත් කරගන්න පුලුවන්. හැබැයි ඉතින් ටිකක් කරදරකාරී සහයකයෝ. හැබැයි ඉතින් කරදරයක් වුණත් එයාලවත් අපේ නිවසේ කටයුතු වලට සම්බන්ධ කර ගැනීමෙන් ඒ පුංචි හිත් වල සතුටක් ,මටත් පුඵවන්, මම දැන් ලොකුයි කියන හැඟීමත් ඇති වෙන්නනේ නිරායාසයෙන්මයි.

“පොදයක් යනවා රෙදි ටික ගන්න ඕනී”

අමායා හනි හනිකට රෙදි ටික ගන්න දුවද්දිම වැස්ස කඩා වැටෙන්න ගත්තා. නලින්දත් හනි හනිකට අමායාට උදව් වුන නිසා යන්තම් රෙදි ටික නොතෙමී ගන්න පුඵවන් වුණා.

“අනේ උයන්න පරක්කු වුණා නලින්ද බඩගිනියිද?”

නලින්ද දෙතුන් වතාවක් කුස්සියට එබී බලද්දි අමායා කිව්වා.

“දෙන්න මොනවද ඔයාට කරලා දෙන්න ඕනී?”

“ආ එහෙනම් මේ පොල් ටික ගාන්නකෝ”

නලින්ද අමායාට දහවල් ආහාර වේල පිළියෙල කරන්න උදව් වුණා. ඒ අතර පුංචි දිනෙතුත් කුස්සිය පැත්තට ආවා

“ආ… අද තාත්තා අම්මා කරන්න ඕනී වැඩත් කරන්නේ ”

“ඒ කිව්වේ?”

“ඇයි ඉතින් උයන එක ,රෙදි හෝදන, රෙදි ගන්න එක, නමන එක ඒවා ඉතින් අම්මට අයිති වැඩනේ”

“අම්මට අයිති වැඩ… මොනවද පුතේ තව අම්මට අයිති වැඩ ?”

“උයන එක ,ගෙවල් අස්පස් කරන එක, අපේ පාඩම් වැඩ බලන එක, එතකොට අපිව බලා ගන්න එක”

“හ්ම්… ඇත්ත මේ සේරම වැඩ අම්මා කරනවා තමයි. ඒත් ඒවා අම්මටම අයිති වැඩ නෙමේ අපේ පවුල වෙනුවෙන් අම්මා කරන වැඩ. අම්මා අපේ වැඩ සේරම තනියම කරන්නේ අපිට ආදරේට. ඒත් අපි පුඵවන් අම්මට උදව් වෙන්න.”

“එතකොට තාත්තා උදව් වුණේ අපේ වැඩටද?”

“ඔව්”

අමායා තාත්තාගේත් පුතාගේත් සංවාදය අසා උන්නා මිසක් එයට පිළිතුරු බඳින්නට ගියේ නැත.

“ඇයි ඉතින් තාත්තට උදේ පාන්දරත් නැගිටලා උදව් කරන්න පුළුවන්නේ.”

“ඔව් ඒත්…”

නලින්ද අමාරුවක වැටී ගිය බව හැඟුන නිසා අමායා කටහඬ අවදිකලාය.

“තාත්තා උදේම නැගිටලා අම්මට උදව් කලා අම්මත් ඔෆිස් යන කාලේ. ගෙවල් අතු ගාලා රෙදි සෝදලා වේලෙන්න දාලා උයන්නත් උදව් වුණා.”

“ඉතින් දැන් ඇයි බැරි”

“අම්මා ගෙදරනේ පුතේ දැන් ඉන්නේ. එතකොට අම්මට ඒවා තනියම කරන්න වෙලාව තියෙනවා.කොහොම වුනත් තාත්තා ගෙදර ඉන්න වෙලාවට අම්මට උදව් කරනවනේ.”

යාන්තම් දිනෙත්ගෙ ප්‍රශ්න කිරීම නතර වුණා. ඇත්තටම දරුවො හැඩ ගැහෙන්නේ දෙමාපියන් දිහා බලලා.

“අම්මා බොන්න මොනවත් නැද්ද?”

“නැහැ හදන්න ඕනී”

“මම හදන්නද ? ”

“හා…ඒත් ඔයාට පු`ඵවන්ද?”

“පුඵවන් පුඵවන්”

දිනෙත් බොහොම සතුටින් කිව්වා.නාරං ගෙඩි දෙකක් ගෙන සෝදා කපා මිරිකා එයට වතුර ජෝගුවකුත් දමා සීනිත් දමා කලවම් කර කටපුරවලා ලුනු හැන්දක් හදද්දිම අමායා

“හෝව්… හෝව්… ඔච්චර ලුනු දාන්නෙ නැහැ ලුනු මෙන්න මෙන්න මෙහෙම චූට්ටක් තමයි දාන්න ඕනී ම්..ම්.. රසයිනේ”

“ඇත්තමද අම්මා?”

“ඔව් ”

ඇත්තටම අමායාට දැන් දැන් වැඩ පහසු කරන්න දෙන්නෙක්ම උදව්වට ඉන්නවා. අවුරුදු හතක් වුණ දිනෙතුත් එයාගේ අවුරුදු පහක් වුණ නංගියත්ය.

“අම්මට තාත්තා උදව් වෙනවා තාත්තාට අම්මා උදව් වෙනවා වගේ ඒ නිසා අපිත් ගෙදර වැඩ වලට උදව් වෙන්න ඕනී නේද අම්මා?”

“ඔව්… ඔව්… ඒක ඇත්ත”

පොල් ගාන්න, ලූණු සුද්ද කරන්න, සම්බෝලයක්, සැන්විච් එකක් ,ඔම්ලට් එකක්,  තේ කෝප්පයක් හදාගන්නත් දිනෙත්ට වගේම දිනිතිටත් පුඵවන්. හැබැයි ඉතින් මේ හැම කාර්යකදීම අමායාගේ පූර්ණ අවදානය යොමු කරන්න නම් ඇය අමතක කරන්නේ නැහැ. මොකද තවම මේ පුංචි පැටවුන්ට අනතුරු ගැන ඒ තරම්ම අවබෝධයක් නැති නිසා අනතුරක් වෙන්න ඒ හැටි වෙලාවක් ගත නොවන නිසා.

ඇත්තටම දරුවන්ට කුස්සියේ තියෙන බඩු පවා පාඩම් වශයෙන් උගන්වනවා. සමහර දරුවො නෑඹිලිය ,තාච්චියවත් අඳුනන්නෙ නැහැ.අමායට උදව් දෙන ගමන් දුවටත් පුතාටත් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරුණු කාරණා වගේ පොතට පතට අවශ්‍ය දැනුම දෙන්නත් හැකියාව ලැබෙනවා වගේම දරුවෝ ප්‍රායෝගිකව අත්දැකීම් ලබමින් ඉගෙන ගන්නා දේවල් තමන්ගේ ජීවිත වලට ආයාසයකින් තොරවම එක් කරගන්නවා.

අද අපේ උකුලෙහි නැලවෙන දුව පුතා මතු දිනයක  වගකීම් සහිත දෙමාපියන් වන දිනයට අද ඔවුන්ගේ දෙමාපියන්ගේ ජීවිත වලින් ලබා ගන්නා දෑ ඔවුන්ගේ ජීවිත වලටද ආදේශ කර ගනු ඇත.

දරුවාගේ සවන්දීමේ කුසලතා වර්ධනයට විනෝදජනක සරල ක්‍රම 19ක්

මව්කුසේ සිටින අවධියේ සිටම දරුවෙකුට ශ්‍රවන හැකියාව පවතී. මොලොවට බිහිවීමත් සමගම තම පවුල තුළින් මෙන්ම  තමා අවට සිටින වෙනත් පුද්ගලයන් හරහා සෑම දරුවෙකුම බොහෝමයක් දේ උකහා ගනී. දරුවෙකුගේ භාෂා ඥානය සංවර්ධනය වන්නේ මෙවැනි වටපිටාවක් තුළයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ භාෂා වර්ධනය සවන්දීමේ කුසලතා වර්ධනය/කථන කුසලතා වර්ධනය/පෙර කියවීමේ කුසලතා වර්ධනය සහ පෙර ලිවීමේ කුසලතා වර්ධනය යන අංශ තුන යටතේ සාකච්ඡාවට බදුන් කළ හැකිය. මෙම අංශ හතර සඳහාම සෑම දරුවෙකුහටම සිය නිවසින් ද විශාල සහයෝගයක් අවශ්‍ය වේ. එය මව්පියන් වශයෙන් අපහට පැවරෙන විශාල වගකීමකි. ඉහත දැක් වූ එක් එක් අංශ පිළිබ`දව සවිස්තරාත්මකව මව්පියන් දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වන අතරම මේ ලිපිය තුළින් මූලිකත්වය ලබදෙන්නේ දරුවෙකුගේ සවන්දීමේ කුලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් නිවසේදීම මවට සහ පියාට සිදුකළ හැකි ක්‍රියාකාරකම් පිළිබ`දව සාකච්ඡා කිරීමටයි.

දරුවෙකුගේ සවන්දීමේ කුසලතාවය වර්ධනය කිරීම තුළින්

    1. අලූත් වචන දරුවාගේ ශබ්ද කෝෂයට එක්වීම නිසා භාෂා වර්ධනය
    2. කතා කිරීමේ හැකියාව වර්ධනය වේ
    3. නිර්මාණශිලී බව
    4. මතක ශක්තිය වැඩි දියුණු වීම
    5. ඉවසීමේ ගුණය
    6. යමක් අවබෝධ කරගැනීමේ හැකියාව
    7. චිත්ත රූප මැවීමේ හැකියාව බොහෝ සෙයින් ප්‍රගුණ වේ.

වයස අවුරුදු පහට අඩු දරුවන් යනු පෙර පාසැල් වියේ දරුවන්ය. මව්පියන් ලෙස ඔබ දරුවෙකුගේ සමස්ත නිරෝගී වර්ධනය කෙරේ අවධානය යොමු කළ යුතු අතරම ඒ හා සමානම වගකීමක් පෙර පාසැල් ගුරුවරියටද පැවරේ. කෙසේ වුවද මේ තුළින් මාපියන්හට දරුවන්ගේ සවන්දීමේ කුසලතා වර්ධනය කෙරේ නිවසේදී සිදු කළ හැකි ක්‍රියාකාරකම් හඳුන්වා දීම අපගේ අරමුණයි.අවධානයෙන් සවන්දීම/අවබෝධයෙන් සවන්දීම/විනෝදාත්මක සවන්දීම ලෙස සවන්දීමේ හැකියාව දියුණු කිරීමෙහි පියවර තුනක් දැක්විය හැකිය. මෙම පියවර තුන ඔස්සේම දරුවා සංවර්ධනය කිරීමට ඔබ කැප විය යුතුමය. ඒ ඔබේ දරුවාට සාර්ථක අනාගතයක් හිමි කරදීමේ අරමුණෙනි.

දරුවන්ගේ සවන්දීමේ කුසලතා වර්ධනය කිරීමට පහත දැක්වෙන විනෝදජනක ක්‍රියාකාරකම් ඔබට යොදා ගත හැකිය.

1 කතා කිරීම හා සවන්දීම – දෛනිකව නිවසේ සිදුවන දේ පිළිබඳව දරුවා සමගද අදහස් හුවමාරු කරගන්න.

2 ශබ්ද මගින් ක්‍රීඩා – ලී කැබලි/ටින්/ඇට වර්ග/සීනු/හැඳි/සොලවන උපකරණවලින් එක් එක් හඬවල් ඇති කරගනිමින් දරුවාට ඒවා හඳුනාගන්නට අවස්ථාව ලබාදෙන්න.

3 ශබ්ද පෙට්ටි – පරිප්පු වැනි ධාන්‍ය වර්ග/වැලි/ගල් කැට/මදටිය/සියුම් ගල් කැට වැනි දේ එක් එක් එක වර්ගය බැගින් සිලින්ඩර දෙකකට දමා පිටතට නොඑන ලෙස හොඳින් වසන්න. මේ ආකාරයෙන් එක හා සමාන සිලින්ඩර යුවළ කිහිපයක් සකසා ගන්න. එවිට ඔබට එක් සිලින්ඩරයක් සොලවා ඒ හා සමාන හ`ඩ ඇති අනෙක් සිලින්ඩරය තෝරා ගැනීමට අවස්ථාව සලසා දෙන්න.

4 දුර/ළඟ ඇතිවන ශබ්ද හඳුනාගන්න අවස්ථාව සලසන්න

5 දුරකථන සංවාද – භාවිතයෙන් ඉවත් කළ දුරකතන/සෙල්ලම් දුරකතන ඇත්නම් ඒවායෙන් හෝ ප්ලාස්ටික් කේප්ප දෙකක් නූලකින් සම්බන්ධ කිරීමෙන් සාදා ගත් දුරකථනයකින් මෙම අත්දැකීම දරුවාට ලබාදිය හැකිය.

6 ඉබේ ඇතිවන එක් එක් ශබ්ද හඳුනා ගැනීමට අවස්ථාව සැලසීම – දොරක්/ජනේලයක් වැසෙන හඬ හෝ හුරුප්රුදු යම් යම් දේ බිම වැටෙන හඬවල් හඳුන් ගැනීමට දරුවාට අවස්ථාව සැලසීම.

7 කටහඬ හඳුනාගැනීම – පවුලේ සාමාජිකයන්ට සැඟවී දරුවා සමග කතාකරන්නට උපදෙස් දී කටහඬින් ඒ තැනැත්තා හඳුනා ගැනීමට අවස්ථාව ලබා දෙන්න.

8 පණිවිඩ ගෙන යෑම – පුතේ ආච්චිට කියන්න බුදුන් වඳින්න එන්න කියලා වැනි පණිවිඩ දරුවා මාර්ගයෙන් හුවමාරු කරන්න

9 නිශ්ශබ්ද ක්‍රීඩාව – විනාඩි කිහිපයක් නිහඬව හිඳින්න. ඒ අවස්ථාවේ දරුවාට ඇසුණු දේ පිළිබඳව කතා බහ කරන්න.

10 නිදහසේ කතාබහ කරන්න – පෙර පාසල තුළ මෙන්ම නිවසේදීත් සහෝදරයන් වැඩිහිටියන් යහළුවන් සමග අත්දැකීම් ඛෙදාහදාගනිමින් කතා බහ කරන්නට අවස්ථාව සලසා දෙන්න. ඒ හරහා දරුවෙකු අනෙකාට සවන්දීමට මෙන්ම ඒ වෙනුවෙන් පිළිතුරු ලබාදීමටද හුරු වේ.

11 ගයන්න, රඟන්න – දරුවා කැමති ආකාරයේ කවි, ගීත ගයන්නට වැඩිහිටි ඔබත් දරුවා සමග එක්වන්න.

12 තාලයට අනුව ගැයීම – එක වචනයක්/එක සමාන වචන පේලියක් හෝ එකම තාලයකට අනුව ගැයීමට උනන්දු කරවීමයි. උදාහරණයක් ලෙස  ”කාක්        කාක්      කාක් – කෝක්      කෝක්   කෝක්වැ” නි පද භාවිතය දැක්විය හැකිය.

13 රංගනය – දරුවාගේ සිතට කා වැදුණු නොයෙකු චරිතවලට පණ පොවන්නට දරුවාට අවස්ථාව සලසා දීම මෙහිදී ප්‍රධානව සිදුවන කාර්යයි. උදාහරණයක් ලෙස අම්මාගේ චරිතය අනුකරණය කිරීම දැක්විය හැකිය.

14 තාල අනුකරණය – එක් එක් තාලයට අත්පුඩි ගැසීම මෙහිදී සිදුකළ හැකිය. එනම් කෙටි අත්පුඩි දෙකක් හා දිග අත්පුඩියක් එක්කෝ දිග අත්පුඩි දෙකක් හා කෙටි අත්පුඩි දෙකක් ලෙස සරල ක්‍රියාකාරකමක් දරුවාට ඉගැන්විය හැකියි.

15 තාලයට අනුකූල චලනය – අත්පුඩියේ හෝ සංගීත කණ්ඩයක තාලයට දෑත් දෙපා චලනය දරුවාට හුරුකරන්න.

16 තේරවිලි – තේරවිලි කවි අසන්නට සැලැස්වීම
උදා – ගහක් උඩ ගෙඩියක් – ගෙඩියක් උඩ ගහක්

17 කතන්දර කීම – කෙටි/සරල කතන්දර මගින් දරුවෙකු ලබන තෘප්තිය අතිමහත්ය. මෙහිදී කතාන්දර කීමට දරුවාට අවස්ථාවක් සලසා දීමටද ඔබට හැකියි. එනම් පින්තූර කාඩ්පතක් ලබා දී දරුවාට හැෙ`ගන පරිදි කතාවක් ගොඩනඟන්නට අවස්ථාව සලසා දිය හැකිය.

18 සංගීත භාණ්ඩ වාදනයට ඉඩ ලබාදීම – මෙවැනි භාණ්ඩ සරල ලෙස නිවසේදීම ඉතා ආරක‍ෂාකාරී ලෙස සකසා ගැනීමට වැඩිහිටි ඔබට හැකියාව පවතී. උදාහරණ ලෙස ඉවතලන ද්‍රව්‍ය හොඳින් පිරිසිදු කිරීමෙන් පසුව සකසා ගත හැකි පොල් කටු තාලම්පට/ උණ බට ඛෙරය/ නලා/සීනු/ තාලම්පට වැනි සංගීත භාණ්ඩ දැක්විය හැකිය.

19 රූකඩ නැටවීම – මේ වන විට මේ සඳහා අවශ්‍ය බොහොමයක් ක්‍රීඩා භාණ්ඩ වෙළඳ පොලෙන් මිලදී ගත හැක. එසේ නැතිනම් රූප කපා කාඩ්බෝඩ් මත අලවා සිහින් බටයක අලවා හෝ ප්‍රයෝජනයට ගත හැකිය. මෙහෙිදී එම චරිතවලට හඬ කවමින් දරුවාට විනෝදජනක අත්දැකීමක් ලබාදීමට ඔබට හැකියි.

මේ දැක්වූයේ ඔබේ දරුවාගේ සවන්දීමේ කුසලතාවය වර්ධනය සඳහා කුඩා වියේ සිටම ඔබට නිවසේදීම සිදුකළ හැකි ක්‍රියාකාරකම් කිහිපයකි. මේ වෙනුවෙන් ඔබේ කැපවීම මතු දිනක ඔබේ දරුවා විශිෂ්ඨ පුද්ගලයෙකු කිරීමට ඔබට සහය වන බව නිසැකවම පැවසිය හැක.

පෙර පාසැල් ආචාරිනි ක්‍රිස්ටින් ෆ්‍රැන්සිස්කා සිල්වා මහත්මිය සමග සකසන ලද ලිපියකි.

දරුවාගේ ඇඳුම් සම්බන්ධයෙන් මේ වැදගත් කරුණු මවුපියන්ගේ අවධානය පිණිසයි

පිපෙන්නට වෙරදරන මල් කකුළු වැනි පුංචි දරු පැටවූ යමක් කමක් තේරෙන වයසට එනකන් මවුපියන් වන අපිට පැවරෙන්නේ ලොකු වගකීමක්. ඒ වගකීමට බොහොමයක් දේ ඇතුලත් වන අතරම ඒ දේවල් අතරින් බොහොමයක් පිළිබඳව නිතර කතා බහට ලක්වෙනවා. නමුත් මගහැරෙන කොටසකුත් තියෙනවා. ඒ අතරින් අමතක කරන්නම බැරි මාතෘකාවක් විදියට පුංචි දරුවන්ගේ ඇඳුම් පිළිබඳව දැක්විය හැකියි. අන්න ඒ නිසාම අද මේ ලිපිය වෙන්වෙන්නේ, දරුවන්ට ඇඳුම්, ,පිරිසිඳු කිරීම වැනි දේ ගැන මවුපියන් දැනුවත් කිරීමටයි.

විලිවසා ගැනීම මෙන්ම රටක සස්කෘතිය විදහාපාන අංගයක් ලෙස ඇඳුම සැලකුවද කුඩා දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් අපිට ක්රියාත්මක වන්නට සිදු වන්නේ ඉන් පිටතට ගොස්ය.

දරුවෙකුගේ ඇඳුම් පිළිබඳව අවධානය යොමු කිරිමේදී ප්රධානව සැලකිලිමත් විය යුතු කරුණු

  • දරුවා ජිවත් වෙන ප්‍රදේශයට අනුව කාලගුණ/දේශගුණය ස්වභාවය
  • ඔබ තෝරාගන්නා ඇඳුම සැකසු රෙද්දේ ස්වභාවය
  • ඇඳුමේ පැහැය/ඇඳුම අඳින අවස්ථාව
  • සුවපහසුව

උපන්දා සිට මස හය සම්පුර්ණ වන තෙක් ළදරුවන්ට මෙය අත්යවශ්යය.   එසේම උෂ්ණ අධික පෙදෙස්වල වෙසෙන දරුවන්ට දහදිය හොදින් උර ගන්නා පරිදි ඇඳුම් තොර ගතඅ යුතුය. අපේ රටේ දේශගුණයට වඩාත් සුදුසුවන්නේ කපු රෙද්දෙන් නිමවන ලද ඇඳුම්ය. තවද ඇඳුම් තොර ගැනීමේදී වයස් මට්ටම පිළිබඳවද අවදානය යොමු කල යුතු අතරම පහත දැක්වෙන්නේ, එක එක වයසට අනුව ඇඳුම් තොර ගත යුත් ආකාරයයි.

උපතේ සිට මාස 03 දක්වා

මෙම කාලසීමාව දරැවාට උණුසුම ඉතාම අවශ්ය වන අවධියකි. එයට හේතුව මව් කුසයේ උණුසුමේ හැදී වැඩුණු දරැවාට එම උණුසුමට සමාන උණුසුමක් ලැබිය යුතු බැවිනි.එම නිසා දරැවාට බොත්තම්,ලොකු පටි නැති සැහැල්ලු ඇදුම්,හොදින් උණුසුම ඇති කරන (ජර්සි)ඇදුම් අන්දවන්න. මේ සඳහා වඩා අවධානය යොමු කල යුත්තේ සවස් කාලයේ සිට පාන්දර වන තෙක් කාලසීමාවේදීයි. එම අවස්තා වලදී පරිසරය වඩාත් සීතල නම් කකුල් හා අත් වලට මේස් පැළැන්දවීමද සුදුසු වේ. නමුත් සමහර රාත්‍රීවලදී ඉතා උණුසුම් බවක් හැගී යන්නේ නම්, දරැවාට වැඩිපුර දහඩිය දමා තිබේ නම් ජර්සි ඇදුම ඉවත් කර තබන්න. උණුසුම් කිරීමට විශාල රෙදි පොරවන භාවිත කිරීම කුඩා දරැවන්ට සුදුසු නොවේ. එයට හේතුව කුඩා දරැවන් ඉතා පහසුවෙන් SUID(Sudden Unexpected Death in Infancy) තත්වයන්ට ගොදුරැ විය හැකි බැවිනි. දහවල් කාලයේදී ද පරිසර තත්වය සලකා බලා සීතල නම් පමණක් හොඳින් උණුසුම ලැබෙන ඇදුම් ඇන්දවීම සුදුසු වේ. කුඩා කල සෙම් රෝග ඇති වීමේ අවදානම වැඩි නිසා සීතලෙන් ළදරැවා ආරක්ෂා කර ගැනීම සුදුසු වේ. මේ අවධියේදී දරුවාට ඇදුම් තේරීමේදී ලා පැහැති ඇදුම් තෝරා ගැනීම උචිතය. ඉන් ප්‍රසන්න බවද ඇති වේ. තවද මෙකල ළදරුවාගේ වර්ධනය ඉතාම සීග්‍රයෙන් සිදු වන නිසාත් ඇදුම් ඉතා ඉක්මනින් ශරීරයට හිර වන නිසාත්  ලිහිල්ව හා ප්‍රමාණයෙන් වැඩි ඇදුම් මිලදී ගන්න.

මාස 03 සිට 06 දක්වා

සැහැල්ලු ඇදුම් අන්දවන්න. පරිසර තත්වය අනුව බලා උණුසුම් ඇදුම් අන්දවන්න. මේ අවධිය වන විට දරැවා කමයෙන් පරිසර තත්වයන්ට අනුගත වෙමින් සිටී. නමුත් සීතලෙන් ආරාක්ෂා කර ගත යුතු කාලයකි. මේ අවධියේදීද වර්ධනය ඉතා ඉක්මනින් සිදු වන නිසා ලිහිල්, පමාණයෙන් වැඩි ඇදුම් මිලදී ගැනීම සුදුසු වේ.

මාස 06 සිට අවුරැදු 01 

මුල් මාස 06 තරම් දරැවාගේ වර්ධනය ශීඝයෙන් සිදුවන අවධියක් නොවන නමුත් වර්ධනය හොදින් පෙන්නුම් කරන අවධියකි. ශරීරයට හිර නොවන ලෙස ඇදුම් ඇන්දවිය යුතුය. හොදින් දහඩිය උරා ගන්නා, ශරීරයට පහසු ඇදුම් තෝරා ගන්න. බඩ ගෑම, දණ ගෑම හා ඇවිදීම ද ආරම්භ වන්නේ මෙම කාලසීමාවේ නිසා එම කියාකාරීත්වයන්ට පහසු වන අන්දමේ ඇදුම් අන්දවන්න.

අවු 01 – අවු 02

දරැවන් එළිමහනේ ඇවිදීමට, කීඩා කිරීමට රැගෙන යන කාලසීමාවයි. මෙම අවධියේදී වර්ණවත් ඇදුම් තෝරා ගැනීම සුදුසුයි. දරැවන්ට වර්ණ පිළිබදවද යම් අවබෝධයක් ලබා ගැනීමට එය සුදුසු වේ. මෙය දරැවන් ඇවිදින කාලසීමාව බැවින් ඒ සදහා වඩාත් සුවපහසු ඇදුම් තෝරා ගැනීම උචිත වේ. එළිමහනේ ඇවිදින බැවින් දරැවන්ට පාවහන් පළදවන්නේනම් ඉතා හොදයි. කුඩා ගල් කැබලි, කුඩා සතුන්, කටු ආදියෙන් යටි පතුල් ආරක්ෂා කර ගැනීමටද කොකු පණු වැනි රෝග ඇති වීම වළක්වා ගැනීමටද එය ඉතා සුදුසු වේ.

අවුරුදු දෙකෙන් පසු

දරුවාගේ සිරුරර සුවපහසුව ලැබෙන පරිදි ඇඳුම් තෝරාගැනීම මෙන්ම අවස්තානුකුලව විලාසිතා තෝරාගැනීමේද වරදක් නැත. විලාසිතා තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ දරුවෙකුගේ ළමා ගතිය රැකෙන පරිදි එය තොර ගැනීමයි. අවස්තනුකුලව තෝරාගැනීමෙන් දරුවාටද ඒ පිලිබඳ අවබෝදයක් ද ලැබෙනු ඇත.

උදාහරණයක් ලෙස ගත් කල, ආගමික ස්ථානයකට යන විට සුදුසු පැහයක හොඳින් සිරුර ආවරණය වූ  ඇඳුම් ඇන්දවීම, උත්සව අවස්ථාවකදී වර්ණවත් විලාසිතාවක් දරුවට සුදුසු තොර ගැනීම, සෙල්ලම් කිරීමේදී, නිවසේදී පහසු සරල දහදිය හොඳින් උර ගන්න ඇඳුම් ඇන්දවීම.

මේ ආකාරයට වයස, අවස්ථාව පරිසර තත්වය යන කරුණු මත ඇඳුම් තොර ගැනීම ඉතා වැදගත් වේ.

ඇඳුම් සේදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

  • මල මුත්රා කල විගස සෝදා දමන්නේ නම් වඩාත් සුදුසුයි
  • කල්තබා සේදීමෙන් ඇතිල්ලිමට වුවද වැඩි වෙහෙසක් දැරිය යුතු අතරම ඉක්මනින් දිරාපත් වීම, සිදුරු ඇති වීම සිදු වේ.
  • රෙදි වේලෙන්නට දමන ස්ථානයේ ලේනුන්/කුඹීන් වැනි සතුන් සිටිදැයි අවධානයෙන් සිටින්න.
  • ගස්/ගල් මත දමා රෙදි වෙලීමෙන් වලකින්න.
  • ඉරීගිය/අවපැහැ වූ ඇඳුම් දරුවාට ඇන්දවීමෙන් වලකින්න. සැමවිටම පිරිසිඳු නැවුම් සුවඳ ඇඳුම් දරුවාට අන්දවන්න.

 

මේ ආකාරයෙන් සැලකිලිමත් වෙමින් දරුවට සුව පහසු ලෙස සිටීමට අවශ්‍ය ඇඳුම තෝරාගන්න උනන්දු වන්න. දරුවන්ගේ සතුට දෙමාපියන්ගේ එකම පැතුම නිසාම මේ පිළිබඳවද ඔබේ අවධානය යොමු කරන්න.

වෛද්‍ය S.A.U සෞම්‍යා කුමාරි ජයසිරි
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය
කැලණිය විශ්වවිද්‍යාලය
යක්කල