බ්‍රොන්කියෝලයිටිස් -( Bronchiolitis )

පුංචි දරුවන් උණ සහ ප්‍රතිශ්‍යාව තත්වයට පත් වීම ඉතා සුලබයි. මේ අතර උණ , ප්‍රතිශයාව නෙසලකා සිටියොත් ඒ නිසාම පෙනහළු  ආසාදනය වීම හෙවත් බ්‍රොන්කියෝලයිටිස්  රෝග තත්වයට පත් වීමටත් යම් අවදානමක් තිබෙනවා. ඒ නිසා ඔබේ දරුවා ප්‍රතිශ්‍යාව සහ කැස්ස තත්වයෙන් පසු වෙනවා නම් ඒ ගැන නොසලකා ඉන්නත් එපා.වෛරසයක් හෝ බැක්ටීරියාවක් හේතුවෙන් ඇති වෙන බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වයේදී අභ්‍යන්තර පටල ඉදිමෙන නිසා ශ්වාස නාල සිදුරු සිහින් වී හුස්ම ගැනීම අපහසු වෙනවා.

බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වය සාමාන්‍ය සිදුවීමක්. නමුත් කැස්ස සමග මෙවැනි ලක්ෂණ ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.රෝග තත්වය නොසලකා සිටියොත් පෙනහළු තුළ තිබෙන ශ්වාසනාල ඇතුළු පටල තුවාල වී ශ්වාසනාල ආසාදනය වෙනවා.

බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වය ගැන යම් අනතුරු ලකුණු දැන ගැනීමට පුළුවනි. ඒවා දැන ගැනීම සමග දරුවා ප්‍රතිකාර වෙනුවෙන් යොමු කිරීම ඉතාම වැදගත්. 

බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වය ඇති වෙන්නේ…?

මේ රෝග තත්වය සමාන්‍ය ප්‍රතිශ්‍යාවකින් ආරම්භ වෙන්න පුළුවනි. වෛරස හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා ඇති වෙන රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ මේ අන්දමින් සඳහන් කරන්න පුලුවනි.

  • සාමාන්‍ය ප්‍රතිශ්‍යාව ( cold )
  • කැස්ස
  • කැස්ස සමග රුධිරය පිටවීම
  • නාසය සිරවීම
  • නාසයෙන් සොටු දියර ගැලීම
  • සමහර අවස්ථාවලදී මද උණ
  • සාමාන්‍යයෙන් මේ තත්වය දින කීපයක් තිබී සුවය ලැබීමට පුළුවනි. 

බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වයේ උග්‍ර අවස්ථාවන්

බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වය උත්සන්න වීමත් සමග ඇති වෙන රෝග ලක්ෂණ ගැනත් දෙමව්පියන් දැනුවත්ව සිටීම ඉතාම වැදගත්.

  • දරුවා හුස්ම ගන්නා විට ඇති වෙන  ( wheezing  ) ශබ්දය
  • වේගයෙන් හුස්ම ගැනීම
  • ශ්වසන මාර්ගයේ ඔක්සිජන් ධාරිතාවය අඩු වීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවය apnea ලනිසා දරුවාට යන්ත්‍රානුසාරයෙන් ශ්වසනය ලබා දීමට පවා සිදු වේ.
  • තොල් සහ නිය  නිල් පැහැ ගැනීම cyanosis
  • විජලන තත්වයට පත් වීම
  • නිව්මෝනියා රෝග තත්වයට පත් වීමටත් ඉඩ තිබෙනවා.

අවදානමක් ඇති දරුවන්

බ්‍රොන්කියෝලයිටිස් හැදුන විට සෑම දරුවෙක්ම අවදානම් ඇති දරුවන් ලෙස සලකන්නේ නැහැ. බ්‍රොන්කියෝලයිටිස් නිසා ඇති වෙන අපහසුතාවයට හුමාලය ඇල්ලීම වැනි ප්‍රතිකාර ලබා දෙන්න පුළුවනි.

මාස තුනට අඩු දරුවන් සහ  නොමේරූ ළදරුවන් බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වයට පත්  වීමේ වැඩි  අවදානමක් තිබෙනවා. බ්‍රොන්කියෝලයිටිස් රෝග ලක්ෂණ  උත්සන්න වී පෙනහළු ආසාදනය උග්‍ර වුන අතැම් දරුවන් දැඩි සත්කාර ඒකකයන්ට ඇතුලත් කර ප්‍රතිකාර කිරීමට සිදු වෙනවා. ඔවුන්ගේ පෙනහළු සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම වර්ධනය වී නොමැති නිසා බ්‍රොන්කියෝලයිටිස්  රෝග තත්වය යම් අන්දමකින් අවදානමක් ඇති කරන්න පුළුවනි. ඊට අමතරව 

  • නොමේරූ දරුවන්
  • හෘදයවස්තුව සහ පෙනහලු ආශ්‍රිතව සංජානනීය රෝග තත්වයන් ඇති දරුවන්
  • දුර්වල ප්‍රතිශක්තිකරණය සහිත දරුවන්

මව්කිරි පානයට අවස්ථාවක් නොලැබීම ( සමහර විට මවගේ රෝගී තත්වයන් සහ මව් මියයෑම වැනි හේතුන් නිසා ළදරුවාට අවශ්‍ය පෝෂණය මව්කිරි වෙතින් නොලැබීමට පුළුවනි. මව්කිරි නිසා දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය වීම සිදු වුනත් මෙවැනි දරුවන්ට එම වාසිය අහිමි වීම නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය දුර්වල නිසා ඕනෑම බෝ වන රෝගයකට පහසුවෙන් ගොදුරු විය හැක. ) 

  • ජනාකීර්ණ පරිසරයක ජීවත් වෙන දරුවන්
  • අක්‍රිය දුම්පානය හෙවත් දුම්පානයට නිරාවරනය වන දරුවන්

කුඩා දරුවන් බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වයෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේද..?

දරුවන්ගේ ආරක්ෂකයා මව්පියන් බැව් අපි දන්නවා. විශේෂයෙන් ශ්වසන රෝග තත්වයන් දරුවන්ට ඉතා පහසුවෙන් වැළඳීමට ඉඩ තිබෙනවා. ඒ නිසාම දෙමව්පියන් විසින් ළදරුවන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.

  • උණ ප්‍රතිශ්‍යාව ඇත්නම් දරුවා හැකි තාක් නීරෝගී දරුවන් හා ගැටීම වැලැක්විය යුතුයි.  සමහර විට පාසල් යන දරුවන් උණ ප්‍රතිශ්‍යයා තත්වයෙන් පසු වෙන විට ළදරුවන් ඇත්නම්  ආරක්ෂා කර ගැනීම වගේම වැඩිමහල් දරුවන්ටත් මෙවැනි රෝග තත්වයන්ගෙන් හැකිතාක් ආරක්ෂාව කරන්න.
  • මුහුණු ආවරණ පළඳින්න
  • දරුවා ස්පර්ශ කිරීමට පෙරාතුව සෑම අවස්ථාවකදීම සබන් යොදා හොඳින් අත් සෝදන්න.
  • දරුවාට මව්කිරි ලබා දෙන්න
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිඩා සෞඛ්‍ය සහ  නිර්වින්දන වෛද්‍ය නිළධාරී නාමල් චමින්ද විජේසිංහ

දිස්ත්‍රික් රෝහල, මීගමුව 

මළබද්ධය නොසලකාම ඉන්නත් එපා.

මළබද්ධය අප කා අතරත් පවතන සුලබ  රෝග තත්වයක්.කුඩා දරුවාගේ පටන් වැඩිහිටි වයසේ පසු වෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් වුනත් මෙහි පැහැදිලි වෙනසක් නැහැ. එයින් අප අදහස් කරන්නේ මළබද්ධය කුඩා දරුවන් අතර හෝ වැඩිහිටියන්ට පමණක් සීමා වුන රෝග තත්වයක් ලෙසින් වෙන් කිරීමට අපහසු බවයි.

මළපහ කිරීමට රටාවක් තිබෙනවාද..?

ඔව්. ඒ තත්වයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහර විට දිනකට තුන් හතර වාරයක් මළපහ කිරීමේ අවශ්‍යතාවය ඇති අය සිටිනවා. ඒ වගේම තවත් පුද්ගලයන් තමන්ගේ දවස ආරම්භ කරන්නේ උදේ තේ කෝප්පයක් හෝ ජලය පානය කිරීමෙන් පසුව ඇති වෙන මළපහ කිරීමේ අවශ්‍යතාවය අනුවයි. සමහර විට මේ රටාවට අනුව දින කීපයක් මළපහ පිට නොවුනොත් ඒ පුද්ගලයා තමන් මළබද්ධයෙන් පසුවෙන බවට ඔහු විසින්ම නිගමනයන් ගොඩ නගා ගන්නවා. ඒ නිසා මළ බද්ධය රෝග තත්වය ගැන පැහැදිලි නිර්වචනයක් ලබා දීමට බැහැ.

මේ රෝග ලක්ෂණ ඔබට තිබෙනවාද…?

නමුත් ඔබට මළබද්ධය යැයි ඔබ විසින්ම අනුමාන ගොඩ නගා ගැනීමට සාධාරණ හේතු සාධක ඔබටත් ඇති. ඉතින් එවැනි ලක්ෂණ කීපයක් මේ අන්දමින් සඳහන් කරන්න පුළුවනි.

  • සතියේ දින හතක් තිබුනත් ඔබට සතියේ දින තුනක්වත් මළපහ පිට වෙන්නේ නැත්නම්.
  • මළපහ පිට කිරීම සාමාන්‍යයෙන් සිදු වෙන ක්‍රියාවක් වුනත් එහිදී ඔබට අපහසුතාවයක් හෝ වේදනාවක් දැනෙනවා නම්
  • මළ වියළි නම්
  • මළපහ සමග රුධිරය පිටවෙනවා නම්
  • ඔබට අපහසුවක් නොමැති ලෙසින් යම්  ධාරිතාවයක් පිට නොවනවා නම්

මළබද්ධය ඇති වෙන්නේ ඇයි…?

මළබද්ධයට බලපාන ප්‍රධාන හේතුව විදිහට අපේ ආහාර රටාව සඳහන් කරන්න පුළුවනි. පවතින සමාජ රටාව අනුව අපි වගේම අපේ දරුවන් දැන් බොහෝ සෙයින් අනුභව කරන්නේ කෘතිම සහ සකස් ක්ෂණිකව කළ ආහාර. අපේ ජීරණ ක්‍රියාවලියට තන්තු අවශ්‍යයි. නමුත් ඉහතින් සඳහන් කළ අහාර මගින් අපට තන්තු ලැබෙන්නේ නැහැ.අතීතයේදී බොහෝ සෙයින් අපේ ආාහරවලදි ව්‍යංජන ලෙසින් සකස් කළ කොහිල, පලා ,කෙසෙල් මුව වැනි තන්තු බහුල එලවළු පවා කාර්ය බහුල ජීවන රටාව නිසා සකස් වීමක් සිදු වෙන්නේ නැහැ. එහි විපාකයක් විදිහට අද බොහෝ දෙනෙක් මළබද්ධය වැනි අපහසුතාවයන්ගෙන් පීඩා විඳිනවා.

ජලය පානය කිරීම

මළ මෘදු කිරීමට ජලය අවශ්‍යයි. නමුත් අද බොහෝ දෙනෙක්  ජලය පානය කිරීමට උනන්දුවක් නැහැ.

ව්‍යායාම අඩු වීම

අපේ ජීව ක්‍රියාවලියන්හිදී ව්‍යායාම වැදගත් මෙහෙයක් ඉටු කරනවා. රෝගාබාධ නිසා එක්තැන්ව සිටීම,වැඩි වේලාවක් වාඩි වී සිටීම වැනි හේතූ නිසා මළබද්ධය ඇති වෙනවා.

මළපහ කිරීමේ අවශ්‍යතාවය ඇති වූ විට ප්‍රමාද වීම…

මළපහ කිරීම වැනි අවශ්‍යතාවයන් ඇති වූ විට ඒවා ප්‍රමාද කිරීම එතරම් සුදුසු නැහැ. නමුත් අපි බොfාහ් විට දවසේ වැඩ රාජකාරි සමග මළපහ කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුනත් එය අපේ වෙනත් අවශ්‍යතාවයන් නිසා පසුවට කල් තබනවා. අපේ ජෛව රිද්මයට විරුද්ධව කටයුතු කිරීම නිසා සිදු වෙන ප්‍රමාදයට ප්‍රතිඵලයක් ලෙසින් අපට මළබද්ධය වැනි අපහසුතාවයන් ඇති වෙනවා. ඒ නිසා මළපහ කිරීමට අවශය වුනොත් එය කල් තැබීම අපටම සිදු කර ගන්නා වරදක්.

ඇතැම් ඖෂධ නිසා

විවිධ රෝගාබාධයන්ට අපි භාවිතා කරන ඖෂධවල අතුරු ප්‍රතිඵලයක් ලෙසින් මළ බද්ධය ඇති වෙනවා. ඒ ත්වය ඖෂධ භාවිතා කිරීම අවසාන විමත් සමග මග හැරෙනවා. ඒ වුනත් ඖෂධ භාවිතා කරන කාලසීමාවේදී තන්තු බහුල ආහාර ලබා ගැනිම, වැඩිපුර ජලය පානය කිරීමෙන් මේ අපහසුතාවය වලක්වා ගැනීමට පුළුවන්.

ගර්භණීත්වය

ගැබිණිබව සමග ඇති වෙන හෝර්මෝන වෙනස්කම් නිසාත් මළබද්ධය ඇති වෙනවා. මේ තත්වයටත් ප්‍රතිකාර ලෙසින් ගර්භණී කාලසීමාවේදී තන්තු බහුල ආහාර ලබා ගැනිම, වැඩිපුර ජලය පානය කිරීමෙන් මේ අපහසුතාවය වලක්වා ගැනීමට පුළුවන්. ඒ වගේම ඇවිදීම වැනි ව්‍යායාමයන් අනුගමනය කිරීමටත් හැකියාව තිබෙනවා.

මානසික ආතතිය

අද කාර්යබහුල ජීවන රටාව සහ තරඟකාරී සමාජය තුළ ආතතිමය තත්වයට පත් වීමේ වැඩි අවදානමක් තිබෙනවා. විභාග කාලසීමාවේදී දරුවන් මේ තත්වයට පත් වෙනවා. ඒ වගේම තමන් ජීවත් වුන පරිසරය වෙනස් වූ විට වගේම විවිධාකාර මානසික හැලහැප්පීම් නිසා ඇති වෙන මානසික අවපීඩනයත් මළබද්ධයට හේතුවක්.

කුඩාදරුවන්ට මළබද්ධය ඇති වීම

විශේෂයෙන්ම කුඩා දරුවන්ට වැසිකිලි පුරුදු පුහුනු කිරීමේ ආරම්භක අවධියේදී මලබද්ධය ඇති වෙනවා. ඔවුන් මේ ආගන්තුක පරිසරයට හුරු කිරීමේදී ඇති වෙන  මානසික වෙනස මේ තත්වයට හේතුවක්.

රෝග තත්වයන්

සමහර අවස්ථාවලදී මළබද්ධය රෝග තත්වයක තවත් ලක්ෂණයක් විදිහට සඳහන් කරනන් පුළුවනි. තයිරොක්සින් හෝර්මෝනයේ අඩු විම, පිළිකා, අර්ශස්,බඩවැල් ආහ්‍රිත රෝග තත්වයන්  ඊට නිදසුන් විදිහට දක්වන්න පුළුවනි.

මළබද්ධයෙන් ආරක්ෂාවමළබද්ධයෙන් ආරක්ෂා වීමට නම් ඔබේ පාර්ශවයෙන් කළ හැකි බොහෝ දේවල් තිබෙනවා. දිනපතා එකම වේලාවකට සහ අවශ්‍යතාවය ඇති වූ විට මළපහ කිරීම වැදගත්. ඉංග්‍රිසි භාෂාවෙන්  කියන අන්දමට ‘‘Respond to Natures call ‘‘කොටින්ම ඔබ ස්වභාව ධර්මයට අවනත වෙන්න

තන්තු බහුල එළවලු , පළා සහ පළතුරු, ධාන්‍ය, නිව්ඩ්ඩ සහිත හාල් ආහාර වැඩි පංගුවකින් ලබා ගන්න. පිරිපහදු කළ සහල්, ක්ෂණික සහ කෘතිම ආහාරවලින්  ඈත් වෙන්න.

දිනකට වතුර වීදුරු 6-8 අතර ප්‍රමාණයක් පානය කරන්න.

මළබද්ධය ගැන අවධානයක් දැක්විය යුතු අවස්ථා මොනවාද…?

 මළබද්ධය පිලිබඳව ඔබ සැලකිලිමත් විය යුතු අවස්ථාවන් කීපයක් තිබෙනවා.

  • ඔබේ වයස අවුරුදු 40 ඉක්මවා ඇත්නම් සහ කෙටි කාලයක් තුළ හදිසියේ සිදු වෙන මළපහ කිරීමේ රටාව වෙනස් වීම සමහර විට මළ වියළි ස්වබාවය වගේම අනවශ්‍ය ලෙසින් දියාරු විමත් නොසලකා ඉන්න එපා.
  • මළබද්ධයට හේතුවන කරුනු හඳුනා ගැනීමට අපහසු නම්
  • මළ සමග ලේ පිටවීම හෝ වර්ණයේ වෙනස්කම් ඇත්නම්

මළ බද්ධය වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාර

සම්පීඩනය වුන මළ වතුර මගින් ප්‍රසාරනය  කරවන ඖෂධ ලබා දීම.

ආහාර මාර්ගයේ ක්‍රමාකුංචනය වැඩි කිරීම.

ගුද මාර්ගය ඔස්සේ ඇතුලු කරන suppository මගින් විරේක කිරීම

විරේක කිරීම පිලියමක් නොවේ

නමුත් මළබද්ධයට විරේක ලබා ගැනීම සාර්ථක පිළියමක් නොවේ. හට මළබද්ධයට ප්‍රතිකාරයක්ද නොවේ. මෙම විරේක ප්‍රතිකාර මගින් සිදු වෙන්නේ මළපහ කිරීමට අවහ්‍ය උත්තේජනයක් ලබා දිමක් පමණි. ඒ නිසා මළපහ කිරීමේ පුරුදු ගොඩ නගා ගැනීම, තනත්ු බහුල ආාහර, ජලය හොඳින් පානය කිරීම සහ ශාරීරික මානසික සුවතාවයකින් ජීවිතය පවත්වා ගැනීම මළබද්ධයට හොඳම විසඳුම් ලෙස සඳහන් කළ හැක. ඒ වගේම මළපහ ආශ්‍රිතව ඇති වෙන අපහසුතාවයන් සියලල්ම මළබද්ධය යැයි අනුමාන කිරීමත් සුදුසු නැහැ.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි රවින්ද උඩගමගේ මහතා.

ගම්පහ දිස්ත්‍රික් රෝහල

දූලාගේ වැඩි ආදරේ තාත්තට.. පුතාගේ වැඩි ආදරේ අම්මට.. ඒක ඇත්තක්ද?

පුංචි කාලෙදි අපි අහලා තියනවා, ගෑනු ළමයෙක් නම් තාත්තට තමයි වැඩිපුර ආදරේ කියලා. ඒ වගේම පිරිමි ළමයෙක් නම් අම්මට වැඩිපුර ආදරේ කරනවා කියලා. ඇතැම් විට ඒක ඇත්තටම ප්‍රායෝගිකව දකින අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. හැම පවුලකම දුවෙක් හෝ පුතෙක් ඒහෙමත් නැත්නම් මේ දෙවර්ගයෙන්ම පවුලක් තුළ ඉන්නවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ කාරණය මානසික කාරණාවක්. මොකද සාමාන්‍යයෙන් වැඩි ආදරයක් දක්වන්නේ විරුද්ධ ලිංගිකයන්ට. මේ කාරණාව දරුවාගෙ පෞරුෂ වර්ධනයටත් දැඩිව බලපාන කරුණක් බව කිව යුතුමයි. අන්න ඒ නිසාම පිරිමි දරුවෙක් අම්මටත් ගැහැණු දරුවෙක් තාත්තටත් වැඩිපුර ආදරේ ඇයි කියන කාරණාව ගැන අද අපි කතා කරමු.

දරුවාගේ පෞරුෂ සංවර්ධනය පිළිබඳව කතා කිරීමේ දී මුල් අවුරුදු 05 කාලය තුළ 80% ක් වර්ධනය වන බව මනෝ විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා. එහිදී සිග්මන් ‍ෆ්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥයාට අනුව අවධීන් 05 ක් ඔස්සේ දරුවාගේ පෞරුෂ සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. එම අවධි වලින් 03 වන අවධිය වන ලිංගරූප අවධිය තුළදී දරුවන් විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය සහ ආදරය දැක්වීම මත ඔවුන් සිය පෞරුෂය සකස් කර ගන්නා බව ෆ්‍රොයිඩ් සඳහන් කරයි. මෙම අවධිය තුළ පිරිමි සහ ගැහැණු දරුවන්ගේ පෞරුෂයන් වෙන වෙනම වර්ධනය වීම යන කාරණය තීරණය වෙනවා

පිරිමි දරුවෙකුගේ පෞරුෂය වර්ධනය

පිරිමි දරුවෙක්ගෙ පෞරුෂය සංවර්ධනය සදහා බලපාන කරණු පිළිබඳ‍ සොයා බැලීමේදී පිරිමි දරුවෙක් මූලික අවධියේදිම තම පියා සමාන ලිංගිකයෙක් බව හඳුනා ගන්නවා. ඒවිට තමාට විරුද්ධ ලිංගිකයෙකු ලෙස නිවසේ සිටින්නේ මව වන අතරම පිරිමි දරුවා මවගේ සෙනෙහස, ආදරය දිනාගන්නට වෙහෙසෙන විට තම පියාව දකින්නේ ඒ සෙනෙහස දිනාගන්න උත්සාහ කරන තවත් තරගකරුවෙක් ලෙසටයි. ඒතැනදි දරුවා තුල තරගයක් ගොඩනැගෙනවා. එය පසුකාලීනව තරහකාරි චේතනාවන්ට අමතරව වෛරී චේතනාවන්ද පත් විය හැකි තත්ත්වයක්. ඒත් එය ඉතා ආදරණීය, අහිංසක වෛරයක් යැයි කීවොත් වඩාත් නිවැරදියි

පුතා තමන්ගේ අම්මට දක්වන ආදරය ඊඩිපස් සංකීර්ණය ඒහෙමත් නැතිනම් ඊඩිපස් සම්බන්ධය ලෙස හඳුන්වනවා. මේ ඊඩිපස් සංකීර්ණය එහෙමත් නැතනම් ඊඩිපස් සම්බන්ධය හරහා පිරිමි දරුවෙක්ගේ පෞරුෂය වර්ධනය වෙන ප්‍රධාන කාරණා තුනක් හඳුන්ව දී තිබෙනවා

  • පුතා, තම පියා ලිංගික වෛරක්කාරයෙක් ලෙස දැකීම 
  • විරුද්ධ ලිංගිකයෙක් වෙත ආදරයක් ඇතිවෙද්දි ඒ පාර්ශවයෙනුත් තමන්ට ඒ බලාපොරොත්තු වෙන ආදරය සෙනෙහස ලැබිය යුතු වුවත් තම මවගෙන් එහෙම අනුබලයක් නොලැබෙනවා පමණක් නොව මවගෙන් හිමිවන්නේ ඒ් ආකාරයේ ආදරයක් නොවෙයි. මවගෙන් ලැබෙන ආදරය මව්සෙනෙහස හා බැඳුණු ආදරයක්. අන්න ඒතැනදි පිරිමි දරුවා දැනෙන්න පටන් ගන්නවා මවගෙන් මේ කාරණාවේදී අනුබලයක් නොලැබෙන බව සහ ඒතැන් පටන් දරුවා ඒය වටහා ගැනීම ආරම්භ කරනවා.
  • දරුවා ක්‍රමයෙන් පරිණත වීමේදී වර්ධනය විමේදී ඔවුන් තත්ත්වය වටහා ගන්නවා.

මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධවෙන ආකාරය සහ මේ කාරණා දරුවෙකුගේ පෞරුෂය වර්ධනයට ඉවහල් වන කාරණා ලෙස හදුනාගෙන තියනවා.

ක්‍රමයෙන් පිරිමි දරුවාගේ පෞරුෂ වර්ධනය සිදුවන විට තමන් බලාපොරොත්තු වුන ආකාරයට දේවල් සිදුනොවුන නිසා පියා තමාට සිටින තරගකරුවෙක් නොවන බව දරුවා වටහා ගන්නවා. ඒ් වගේම තම මවගෙන් බලාපොරොත්තු වු ආකාරයේ ආදරය නොලැබීම මත පිරිමි දරුවන් තම පියා අනුකරණය කිරීමට පටන් ගන්නවා. පිරිමි දරුවෝ තාත්තා වගෙ අදින්න, කොන්ඩෙ පීරන්න කැමතියි කියලා අපි  අසා ති‌බෙනවා.  ඒ වගේම මව දරුවාගෙන් ඈත්වීම කියන කාරණාවත් පිරිමි දරුවන්ගෙ පෞරුෂය නිසි පරිදි වර්ධනය නොවීමටත් බලපාන කාරණාවක් බව මේ වන විට සොයාගෙන තිබෙන කරුණක්

කෙසේ වුවත් මේ කුමන ආකාරයකින් හෝ දරුවෙකුගේ පෞරුෂය නිසි කාලය තුළ නිසි පරිදි සංවර්ධනය නොවීම දරුවා වැඩිවියට පත්වෙද්දි පෞරුෂය සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකියි

නිසි කලට නිසි පරිදි මනා පෞරුෂවර්ධනයක් සිදු නොවන දරුවන් ස්වයංවින්දනයට  වැඩි කැමැත්තක් දක්වන බව වගේම මව සහ පුතා අතර බැදීම කියන කාරණාව වර්තමාන සමාජ තත්ත්වයන් තුල දික්කසාදය, පවුල් ආරවුල් ඇති වීම සඳහාත් ප්‍රධාන හේතුවක් වන බවත් මේ තත්ත්වයට හේතු ලෙස පිරිමි දරුවා, පියා සමග එකගතාවයන් ඇතිකර නොගැනීම ආදි කරුණු බලපාන බව පර්යේෂකයන් පවසනවා

ගැහැනු දරුවෙකුගේ පෞරුෂ වර්ධනය

ඊඩිපස් සම්බන්ධය පිරිමි දරුවෙකුගේ පෞරුෂ වර්ධනයට බලපෑ ආකාරයටම ගැහැනු දරුවන්ට බලපානු ඇත. ගැහැනු දරුවනුත් පියාගේ ආදරය ලබාගන්න මවත් සමග තියන තරගකාරීත්වය ඉලෙක්ට්‍රා සම්බන්ධය ලෙස හදුන්වනවා. මේ තත්ත්වය තුල ගැහැනු දරුවෙකුගේ පෞරුෂය සංවර්ධනයට ප්‍රධාන කරුණු දෙකක් බලපාන බවට සදහන් වෙනවා.

  • පියාගෙන් අනුබලයක් නොලැබීම
  • පරිණත වීමත් සමගම ගැහැනු දරුවන් පියාගෙන් අපේක්ශා කරන සෙනෙහස ක්‍රමයෙන් පෞරුෂ සංවර්ධනයට අදාලව හැඩගස්සවා ගන්නවා.

සාමාන්‍යයෙන් මේ තත්ත්වයේදී පියාගේ ආදරය සඳහා වු තරගයෙන් පසුව ගැහැනු දරුවෙක් තම මව අනුකරණයට පෙළඹෙනවා. අම්මා අදින විදිය, මේකප්, සපත්තු සියල්ල අනුකරණය කිරීමට ගැහැනු දරුවන් පෙළඹෙනවා. ඉහත සඳහන් කරන ලද කාරණා නිසි පරිදි ඉටු නොවුනොත් ගැහැනු දරුවෙකුගේ වුවද පෞරුෂය නිසි පරිදි සකස් නොවිය හැකියි.

මව ළඟ නොමැති වීම/ මවගේ චරිතය දුර්වල වීම/මවගේ පෞරුෂය නිසි පරිදි සකස් නොවී තිබිම වැනි කරුනු ගැහැනු දරුවෙකුගේ පෞරුෂය  තුළ යම් යම් අඩුලුහුඩුකම් ඇති වීමට හේතු විය හැකියි. උදාහරණ ලෙස සමලිංගික සේවනයගැහැණුකම නොමැති විම පෞරුෂයේ දුර්වලතා ඇති ගැහැනු දරුවන් තුළ දැකිය හැකියි. ඒනම් ඔවුන් පෙන්නුම් කරන්නේ අසාමාන්‍ය ගති ලක්ෂණයි. මෙවැනි තත්ත්වයන් ඇති ප්‍රධාන හේතුව ලෙස වයස අවුරුදු 3 – 6 කාලයේදී ලබන ඉලෙක්ට්‍රා සම්බන්ධය ඔස්සේ ගැහැනු දරුවෙකුගේ පෞරුෂය සංවර්ධනය නොවීම දැක්විය හැකියි

කුඩා වියේ සිටම දරුවෙකුගේ පෞරුෂ වර්ධනයට අදාල අත්දැකීම් නිසි පරිදි හිමි වීම ඉතාම වැදගත් වන්නේ දරුවෙක් වැඩිවියට පත්වෙද්දි පෞරුෂ සංවර්ධනයට අදලාව ඉතිරිව ඇත්තේ 15% – 20% වැනි සුළු ප්‍රමාණයක් වන අතරම වැඩි ප්‍රමාණයක් සිදු වන්ගේ වයස අවුරුදු 3 – 6 වැනි කුඩා වියේ වීමයි. නිසි වයස් සීමාවේදී නිසි ලෙස පෞරුෂ වර්ධනය සිදු නොවිම මත වැඩිවියට පත් වන දරුවා පෞරුෂ අඩුපාඩු ඇති පුද්ගලයෙක් ලෙස සමාජගත වීම කණගාටුවට කරුණක්. රටට අවශ්‍ය වන හොද පෞරුෂයක් සහිත පුද්ගලයෙක් බිහිකරන්නට නම් දෙමාපියන් වන ඔබ පූර්ව ළමා විය නිසි පරිදි සංවර්ධනයකිරීමෙහිලා නිසි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත් වේ.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

නිලානි අලුත්ගේ මහත්මිය

මනෝවිද්‍යා උපදේශිකා 

 


                

දෙමව්පියන් දරුවන්ට ආකර්ශනය වෙන රීති

දරුවන්ගේ ජීවිතයේදී අම්මා, තාත්තා තරම් සමීප චරිතයක් දරුවන්ට තවත් නැහැ. ඒ වගේම දෙමව්පියන් මුල් කර ගත් ආදරය, විහ්වාසය දරුවන්ගේ හදවතේ ගොඩ නැගෙන්න නම් මව්පියන්ගේ ගති පැවැතුම් ගැනත් දරුවන් බලාපොරොත්තු වෙනවා. අද දවසේ ඔබ මුල් කර ගෙන පූර්වාදර්ශ චරිත දරුවන්ගේ හිතේ ගොඩ නැගුනේ නැත්නම් සැබැවින්ම ඔබ දරුවන්ට ආකර්ශනයක් ලබා දෙන මව්පියන් ලෙස සලකන්න බැහැ. ඉතිං දරුවන්ගේ ආකර්ශනය ලබන දෙමව්පියන් විදිහට ඔබේ ජීවිතය හැඩ ගසා ගන්නේ කොහොමද…?

සරල වෙන්න…

අපේ ජීවිතයේදී සරල බව අපට ආභරණයක්. සරල ජීවිතයට පැවැත්මක් තිබෙනවා. කොටින්ම අපේ තරමට අපි වැඩ කරන, අනුන් අනුකරණය නොවන සරල පැවැත්මක්  තිබුනොත් අපේ ජීවිතයේ ස්ථාවරත්වය රදවා ගන්න පුලුවනි. සමහ මව්පියන් දරුවන් පවා තරඟකාරීත්වයට යොමු කරමින් ඔවුන්ටත් පිඩාකාරී වෙන අන්දම අපේ අත්දැකීම් තුළත් තිබෙනවා. ඒ නිසා නිතරම සරල වෙන්න. එවිට ඔබේ දරුවන්ද එය අනුගමනය කරනු ඇති. සරල දෙමව්පියන් දරුවන්ට නොදැනීම ආකර්ශනයක් වෙනවා. ඊට හේතුව අනවශ්‍ය අන්දමින් සමාජය හඹා යෑමේ ගති පැවැතුම් මේ දෙමව්පියන් තුළ නොමැති නිසා දරුවන්ටත් එයින් ලැබෙන සහනශීලී බවක් ගොඩ නැගෙනවා.

බුද්ධිමත් වෙන්න..

දෙමව්පියන්ගේ බුද්ධිමත්බව මනින්නේ ඔවුන් ලබා ඇති උපාධි සහතිකවලින් නොවේ. අපි දරුවන් සමග කටයුතු කරන විට බුද්ධිමත්ව හැසිරීම ඉතාම වැදගත්.ජීවිත අත්දැකීම් ලබා දරුවන් පෝෂණය කිරීමට සූදානම්ව සිටින මව්පියන් තුළ බුද්ධිමත් හැසිරීමක් අත්‍යවශ්‍ය වෙනවා. දරුවන්ගේ රටාව, ඔවුන්ගේ මානසික තත්වය, ඔවුන්ගේ ඕනෑ එපාකම් දැන හදුනා ගැනීමේ ඉවක් තිබීම ඉතාම වැදගත්.

දරුවන් කියන්නේ සමාජ අත්දැකීම් නැති පිරිසක්. ඔවුන්ගේ ජීවිතයට මුල්ම අත්දැකීම් ලැබෙන්නේ දෙමව්පියන්ගෙන්. ඒ නිසා දරුවන් සමග ගණුදෙනු කරන විට දෙමව්පියන්ගේ බුද්ධිමත් හැසිරීම ඉතාම වැදගත්.

සකසුරුවම…

අද ජීවන තත්වය අනුව ජීවත්විමත් සෑහෙන ගැටුමක්. එය විටෙක ආර්ථික වශයෙන් පමණක් නොව මානසික ලෙසින්ද ගැටුමක් බවට පත් වී අවසානයි. සමහර දෙමව්පියන් දරුවන්ටත් වස පොවා ඔවුන්ද සිය දිවි හානි කර ගන්නා තත්වයක් අපි දැක තිබෙනවා නමුත් ඒ බුද්ධිමත් මව්පියන්ගේ ගති ලක්ෂන නොවෙයි. ජීවත් වීමේ අයිතිය දරුවන්ට..ඔවුන් ජීවත් කිරීමේ වගකීම මව්පියන්ට ඇති නිසා නිතරම සකසුරුවමින් වැඩ කරන්න. එවිට හෙට දවස වෙනුවෙන් දරුවන්ට ලතැවෙන්න අවශ්‍ය නැහැ. දෙමව්පියන්ගේ සකසුරුවම නිසාම දරුවන්ට මේ අසීරු කාලයේදී වුනත් දෙමව්පියන් විසින් ඔවුන්ගේ  මූලික අවශ්‍යතාවයන් ඉටු කරන නිසා සැබැවින්ම  ඔබ දරුවන්ගේ ආකර්ශනයට යොමු වෙනු ඇති.

කරුණාව

අපි මව්පියන් බව ඇත්ත. දරුවන්ට අපේ අණසක පතුරුවන්නත් පුළුවනි. ඒකත් ඇත්ත. නමුත් අනවශ්‍ය අන්දමින් ආධිපත්‍ය ගොඩ නගා ගැනීමට වඩා දරුවන්ට නිතරම කාරුණික වෙන්න.දරුවන්ට කාරුණික වීම නිසා ඔවුන් ඔබට දක්වන ගරුත්වයට කිසිම ලෙසකින් හානියක් සිදු වෙන්නේ නැහැ. දරුවන්ට ඕනෑම ප්‍රශ්නයක් කථා කරන්න..හිත නිදහස් කර ගැනීමට ඔබ සමග සමීප සම්බන්ධතාවයක් තිබීම වැදගත්. දරුවන්ට කටක් අරින්නට ඉඩ නොදෙන අන්දමින් අමානුෂික වීම ඔබේ පෞරෂය ගොඩ නගා ගැනීමක් නොවේ. ඒ අන්දමින් අනවශ්‍ය ලෙසින් මවා ගත් ආඩම්බරයක් සහිත මව්පියන්ගේ දරුවන් පවුල තුළම විතැන් වෙනවා. ඒ පමණක් නොවෙයි, ඔවුන්ගේ ප්‍රශ්න කථා කිරීමට කිසිවෙකුත් නැහැ. එයින්ද මානසික ලෙසින් දරුවන් බිඳ වැටෙන්නට ඉඩ තිබෙනවා.

මව්පියන් දෙදෙනාම නිවසේ බුදුවරුන් විදිහට අපි සලකනවා නම් ඔවුන්ගේ කාරුණික ගති පැවැතුම් දරුවන්ට මහත් වූ ශක්තියක්. දයාබරව ආමන්ත්‍රණය, වරදක් දුටු තැන කාරුනිකව පැහැදිලි කර දීම, නොමගට යන මාවත් ගැන දරුවාට කරුනු කාරනාවන් වටහා දීම දෙමව්පියන්ගේ යුතුකමක්. මව්පියන් දරුණු අන්දමින් දරුවාට ප්‍රතිචාර දක්වනවා නම්  එවැනි දෙමව්පියන් සමග දරුවන්ට ඉතාම පහසුවෙන් ගනුදෙණු කරන්න පුලුවනි. 

සෑම ආගමික ශාස්තෘවරයෙක්ම සමාජයේ ආකර්ශනයට පාත්‍ර වූයේ කාරුණිකත්වය වැනි මෘදු ගුණාංඟ නිසා බැව් අපි හොදින්ම දන්නවා. ඒ නිසා දෙමව්පියන්ගේ කාරුණිකත්වය දරුවන්ගේ ආකර්ශයට හේතු වෙනවා. ඒ නිසා ඔබ නිතරම දරුවන්ට කාරුනික වෙන්න. දරුවන්ගේ හදවතට ආමන්ත්‍රණය කරන්න. එවිට අපේ අම්මා..තාත්තා අපට කරුණාවන්තව සලකන නිසා අපේ ජීවිතයේ සෑම දුකක් හෝ පසුබැස්මක් ඔවුන් සමග සාකච්චා කරන්න හැකියාව තිබෙනවා යන සහනය හිතේ ගොඩ නැගෙනවා.

ආත්ම විශ්වාසය..

දෙමව්පියන්ගේ ආත්ම විශ්වාසය දරුවන්ගේ පෞරෂ වර්ධනයට විශාල ශක්තියක්.දරුවන්ගේ අනාගතයේ අත්තිවාරම ලෙසින් සඳහන් කළත් ඒ තරමටම නිවරැදියි. දෙමව්පියන්ගේ ආත්ම විශ්වාසය වගේම දරුවන් මුල් කර ගෙන දෙමව්පියන් තුළ ගොඩ නැගෙන ආත්ම විශ්වාසයද ඉතාම වැදගත්.දරුවන්ට මග නොමග කියා දීමේදී ඔයාට ඔය දේ කරන්න පුළුවනි….බය නැතුව පටන් ගන්න… මේ අන්දමින් දරුවන්ට අනාගතයට පාර කියා දීමට මව්පියන්ගේ ආත්ම විශ්වාසය ඉතාම වැදගත්.එවැනි දෙමව්පියන් නිරන්තරවම දරුවන්ගේ අනාගතයට බියක් නැතුව පාර කියන්න සූදානම්. ඒ නිසාම තමන්ගේ ජීවිතයට ශක්තිය ලබා දෙන දෙමව්පියන් දරුවන්ගේ ආකර්ශනය පත් වීම අරුමයක් නොවෙයි.

 

අලුත උපන් දරු පැටවුන්ගේ අතපය නහය හදන්න ඕනෙමද?

සෑම දරුවෙකුම උපදින විට ඔවුන් කුස තුල සිටි ඉරියව්ව අනුවම ඉන්නවා අපිට දකින්න පුලුවන්. ඒ  දරුවාට ලැබුණු ඉඩකඩ හෝ ඔහුට ලැබුණු ක්‍රියාකාරකම් හෝ අනුව. එහෙම උනාම අපිට පේන්නෙ සමහර ඉන්ද්‍රියන් හැදිලා මදි එහෙම නැත්තම් ඇදයි, මිටියි මේ ලෙසින්. ඉතින් අපි එහෙම දකින ඉන්ද්‍රියන් අපි හිතන විදියට හදාගන්න පුලුවන්ද කියන ප්‍රශ්නය අපිට එනවා.

ඒ එක්කම අපිට හිතෙන්නෙ නෑ දරුවා තවම පුංචී, එහෙම නැත්තම් මෝරලා නෑ වගේ දේවල්. එතකොට අපිට හිතෙනවා මේවා ටිකක් අතගාලා හදන්න පුලුවන් කියලා. එහෙම හිතුවට ඇත්තටම ඒක කරන්න පුලුවන්ද, එහෙම වෙනවද කියන එක නම් ප්‍රශ්නයක්.

ඉපදෙන කොට හැම බබෙක්ම එකවගේ. ගැහැණු පිරිමි පවා අදුරගන්න මූණ බලලා බැහැ.විශේෂිත ආබාධ තත්ත්වයන් ඒ කියන්නෙ මොළය නිසි වර්ධනයක් නැති හෝ මන්ද බුද්ධික ලක්ශණ පෙන්නුම් කරන ඩවුන් වැනි තත්ත්ව වලදී පැහැදිලි ලෙස දැකිය හැකි යම් ලක්ශණ තිබුනත් එහෙම නොවන හැම දරුවෙකුගේම මානව ලක්ශණ බොහෝ දුරට සමානයි. ඒ වගේම ජානමය ලක්ශණ වලින් ඉවත් කලාම හුගක් අයගෙ ඇස්කන් නාස පිහිටීම වගේම ඒවායේ දුරස්ථ බව හෝ අනුපාතය එක සමානයි. එහෙම උනත් ජානමය ලක්ශණ සහිත දරුවන්ගේ ඒ ජාන ලක්ශණ අනුව උස් මිටි බව පැතලි රවුම් බව නළලේ ස්වාභාවය, නාසයේ පිහිටීම, ස්වාභාවය බොහෝදුරට දෙමව්පියන්ගේ ලක්ශණ වලට සමාන වෙනවා. දරුවන් පුංචි නිසා එම ලක්ශණ කුඩාකල දුටුවිට වෙනස් කල හැකියි කියලා තමයි ගොඩක් අය හිතන්නෙ. ඒත්…. උස යන කොට ශරීර බර වැඩිවෙන කොට, සම යට මේද තැම්පත් වෙලා එනකොට ගොඩක් ඒ ලක්ශණ පහසුවෙන් අදුරගන්න බැරි වෙනවා. ඒත්… කුඩා කල මේවා වෙනස් කරන්න පුලුවන් කියලා අනවශ්‍ය ලෙස අතපත ගෑම නම් හොද නෑ. මොකද බොහෝ වෙලාවට ශරීර බර දරාගෙන ක්‍රියාකාරකම් කරන්න නැගී සිටින කාලයට දරුවන්ගේ ඒ ශරීර බර හා ක්‍රියාකාරකම් දරාගැනීමත් සමගම දකින ඇද හෝ බකල ලක්ශණ පහව යනවා. එහෙම වෙන්නෙ දරුවා බයෙන් බයෙන් හෝ නැගීසිටින අවදියේදී නෙවෙයි. හොදින් නැගීසිටීමට හා ඇවිදීමට හැකියාව ලැබෙන විට ගුරුත්ව කේන්ද්‍රය අනුව ශරීර බර රැදෙන විට එය හරියන ලෙස පාදවල පේශි ශක්තිමත්ව සකස් වෙනවා. එතකොට අර ඉබාගාතෙ තියපු පාද නියමිත පරිදි බර දරාගන්නට උත්සහ දරන නිසා නිවැරදි ඉරියව්ව ඉබේම පිහිටනවා.

යමක් නැවී හෝ වැරදියට පිහිටින විට අතගා එය මත දිගින් දිගටම පීඩනය යෙදීම මගින් එය සකස් කරගත හැකි වුවද දරුවන්ගේ දෑත දෙපය මත අපිට එසේ පීඩනය යෙදිය නොහැක්කේ ඒවාට පීඩනය  ලැබිය යුත්තේ දරා සිටින ශරීර බර අනුපාතිකව වන හෙයිනි. එහි ප්‍රමාණය අපිට පැහැදිලි ලෙස නිර්ණය කරගත නොහැකි නිසා අප යොදන පීඩනය අනවශ්‍ය බරක් වුවහොත් සමාන පරිදි වැඩීමට ඉඩ තිබූ දේවල් අපගේ පීඩනය නිසා වෙනස් තත්ත්වයකට පත්විය හැකි නිසයි.

එහෙත්…දරුවන් නාවන විට නහය අතගෑම, කකුල් අතපය අතගෑම දරුවන්ට සංවේදන ලබාදෙන සිද්දියක් වූ විට ඒ හරහා දරුවාට දැනෙන සිනිදු සීතල හෝ ලිස්සන සුලු අත්දැකීම් මොළයේ වර්ධනයට දායක කරගත හැකියි. එහෙයින්…අතපත ගෑමේ වරදක් දැකිය නොහැකි වුවද ප්‍රමාණට ඉක්මවා සිදුවන යම් යම් ක්‍රියාකාරකම් නිසා එය හානි දායක ලෙස බල පෑ හැකිය.

දරුවන් කුසතුල සිටින විට එම අවකාශය පරිදි සිටින ඉරියව් සකසා ගන්නෙ යම්සේද ඉපදී වැඩෙන විට මේ පරිසරය හා ක්‍රියාත්මක වීමට හැකි ලෙසින් අවයව සකස් වීම සිදුවන හෙයින් ඒ සදහා විශේෂිත ලෙසින් සත්කාර අවශ්‍ය නොවේ. කාලයක් තිස්සෙ පැවත එන ක්‍රමවේද යල්පැන ගියා යැයි ප්‍රතික්ෂේප නොකල යුතු නමුදු අප විසින් කලයුත්තේ විද්‍යාත්මක ක්‍රමවේද ඒ තුල වේදැයි විමසා බැලීමයි. එසේ නොවූ  කල පරම්පරා දෙකක ගැටලුවක් බවට පත්වීමත් නිවැසියන් අතර මතභේද හටගැනීමටත් හේතු විය හැකි මෙවන් කරණු පැහැදිලි කරගැනීම මෙන්ම පැහැදිලි කර දීමත් වඩාත් යෝග්‍ය වේ.

කුස තුල සිටින දරුවා යෝනි කුහරය තුලින් මෙලොවට පැමිණීමේදී එහි ප්‍රමාණය හා හැඩය අනුව බිහිවීම පහසු වීම සදහා හිසේ අස්ථි පවා වෙනස්වෙමින් හැඩය වෙනස් කර ඉඩ හදාගනු ලබනවා. එසේ බිහිවන දරුවාගෙ උල් හැඩයක් ගන්නා බවත් සමහර ප්‍රදේශවල දොදොල් වැනි  මෙලෙක් ස්වාබාවයක් ඇතිවීමක් සිදුවුවද ක්‍රමයෙන් එම අස්ථි කොටස් දරුවාගෙ වැඩීම සමගම සමාන පරිදි සකස් වී නියම උරුමකම් ඇති හැඩයට හිස පත්වීම සිදුවනවා. එය අපි විසින් බලපෑම් එල්ලකර අතගෑම තුලින් වෙනස් කිරීමට නොහැකි අතරම එසේ කිරීමට යාමෙන් වෙනත් අනතුරු ඇතිවීමට ඉඩකඩ පවතිනවා.

නහය ඇදීම හෝ අතපය අත ගෑම රිදෙන හෝ වේදනාකාරී ලෙසින් සිදුකිරීම දරුවාට හිරිහැරයක් වන අතර එසේ නොවන ලෙසින් සියුම්ව සුමුදුව කරනවා නම් එය දරුවාට ආදරනීය වූ හැගීමක් ඇතිකිරීමට කල හැකි නම් වරදක් හෝ හිරිහැරයක් නොවනු ඇත. සකස් වූ අවයව වැඩීම සාමාන්‍ය පරිදි සිදුවන බැවින් අතින් ඇද තදින් අතගෑමෙන් වෙනස් කිරීමට ලක්කල නොහැකි බැවින් ඒ බව වැඩිහිටියන්ට වටහා දීම අපේ වගකීම වනවා.

පරම්පරාවෙන් ජානගතව උරුම වූ ලක්ශණ වෙනස් කිරීමට  නොහැකි සේම දරුවා වැඩෙත්ම ඔහු සිදුකරන ක්‍රියාකාරකම් සමග ශරීර සමබරතාවයට අදාල වන සේ අතපය වල හැඩගැසීම් සිදුවන හෙයින් කුස තුලදී ඒ හැඩයට අනුවම වකුටු වී තිබූ අතපය ක්‍රම කමයෙන් දිග හැරීමත් ශරීර බරට මෙන්ම සංචරනයට පහසු වන සේ පැහැදිලි ලෙස ඉරියව් ගතවීමත්  දරුවාට අවුරුදු දෙකක් පමණ ගතවන විට සිදුවන හෙයින් ඒවා සදහා කලබල වීම අනවශ්‍යයි.

කේසේ නමුත් සහජ ආබාධ තත්ත්වයක් නිසා සිදුවන අත්පාවල වකුටු වීම් හදුනාගැනීමත් මේ සමගම වැදගත් වනවා. එවැනි ආබාධ තත්ත්වයක් හදුනා ගැනිමත් ඒ සදහා වෙද්‍ය ප්‍රතිකාර ලබාදීමත් අවශ්‍ය වන අතර එවැනි අවස්තාවලදී ශල්‍යකර්ම සිදුකිරීම, ප්ලාස්ටර් යෙදීම වැනි ක්‍රම වලට අමතරව සිදුකරනු ලබන භෞතික චිකිත්සක ප්‍රතිකාර වේ නම් ඒවා නිසි පරිදි හා වෛද්‍ය නියමයන්ට අනුකුලව සිදුකල යුතුයි. කැල්සියම් හෝ විටමින් D ඌනතාවය මෙන්ම සංජානනීයව උපතේදීම ඇතිවන එවන් තත්ත්ව වලදී අසීරු අවස්තාවන් හදුනා ඒ අනුව නියමිත ප්‍රතිකාර සිදුකිරීමද එකසේ වැදගත් වෙනවා.

නියමිත පරිදි පෝෂණය ලැබීමට අවැසි පසුබිම සැකසීමද වැදගත් කාර්ය භාරයක් වනුයේ කුඩා දරුවන් සීග්‍ර වර්ධනයක් පෙන්වන හෙයිනි. එසේම ආබාධිත තත්ත්වයන් ඇති වීමට හේතුවිය හැකි අවස්ථාවන් හදුනා ගැනීමත් වඩාත් වැදගත් වන්නෙ කුස තුල සිටම නියමිත පෝශණයක් පවත්වා ගැනීම මගින් කලල අවස්තාවේදී ඇතිවන ආබාධ අඩුකරගත හැකිවන බැවිනි.

මේ ලෙස සලකා බැලීමේදී දරුවන්ගේ හිස අතපය නහය ආදිය සකස් වූ ඒවා අත ගෑමෙන් හෝ ඇදීමෙන් වෙනස් හැඩවලට පත්කර ගත නොහැකි බව ඔබට අවබෝධ වනවා ඇති. එසේම අනවශ්‍ය රිදීම්,බාධාවන් මගින් ඇතිකරන කරදරකාරී හැගීම් වෙනුවට ආදරණීය ලෙසින් සිදුකරනු ලබන අතපත ගෑම මගින් දක්වන සෙනෙහස ආදරය දරුවාගෙ මුල් ළමාවිය සංවර්ධනයටද මහගු පිටුවහලක් වනු ඇති.

එසේ හෙයින් අවශ්‍ය පරිදි වැඩෙන්නට ඉඩ ප්‍රස්තාව සපුරා දීමත් දුර්වලතා හෝ අඩුපාඩු ඇති තැන්වලදී ඒව අධ්‍යයනය මගින් තේරුම් ගෙන ඒවාට පිළිතුරු සෙවීමත් සෑම කටයුත්තකදීම අප විසින් කල යුතු වෙනවා. දරුවන්ට දරුවන්ගේ ලෝකය තුල ස්වාධීනව කටයුතු කල හැකි අවස්තාවන් හිදී බලපෑම් ඇති නොකිරීමටද ප්‍රශස්ත මට්ටමක වර්ධනයක් හා සංවර්ධනයක් ඇතිකිරීමට ඇති බාධාවන් ඉවත්කල අවැසි පරිදි ශේස්ත්‍ර සටහන් උදව් සැපයීම ළමා ලෝකය ලස්සන කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කරනවා. 

නහය අතපය හෝ ඔලුව අතගෑම තුලින් බලාපොරොත්තු වන ඇද කුද ඉවත් නොවන බව තේරුම් ගැනීමටත් හැකිවන සේ අපගේ දැනුම වැඩිදියුණු කරගත යුතු අතරම මෙවන් වූ දුර්මත සමාජගත වීම වළක්වා ගැනීමත් පාරම්පරිකව පවත්වාගෙන ආ දේවල් සිත් රිදවීම් රහිතව ඉවත් කිරීමට උත්සාහ ගැනීම කලයුතු වෙනවා. පරම්පරා දෙකක ගැටුම නැති කර ගැනීමට නම් විද්‍යානුකුලව ඇති සත්‍යතා පැහැදිලි කල හැකිවන සේ දැනුම වැඩිදියුණු කරගත යුතුමය. තවද අත්තම්මලා ආච්චිලා යනු අත්දැකීම් බහුල කණ්ඩායමක් හා නිවැරදි හා පැහැදිලි ලෙසට දරුවන්ට සැබෑම ආදරය දක්වන්නන් බවත් අප තේරුම් ගත යුතුය. ඒ අනුව අපහට මේ සියලු කරුණු වලදී මැදිහත් විමටත් අවබෝධයයෙන් යුතුව ක්‍රියාකිරීමටත් ඇති හැකියාව විද්‍යාමාන වනුයෙ කටයුතු කිරීමට ලබාගන්නා හැකියාව තුලින් ඔවුනට නව පරම්පරාවෙ අදහස් තේරුම් ගැනීමටත් ඔවුන් පිලිබදව ඇති විශ්වාසය ගොඩ නැගීමටත් හැකි පරිසරයක් ගොඩ නැගීම තුලිනි. එවිට මෙවන් මතභේදාත්මක තත්‍ත්වයන් වළක්වා දරුවන්ගෙ හෙට දවස ආලෝකමත් කිරීමට පරම්පරාවෙ සියලු පුරුක් වලට හැකියාව ලැබෙනවා.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

දියණියගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව ඔබටත් ගැටලුවක්ද?

දියණියක් වැඩිවිය පැමිණි දිනයේ සිට මාස්පතා නිසි ක්‍රමවත් බවකින් යුතුව ඔසප් සිදු විය යුතුය යන්න මව්වරුන් සිතන නිසාම එහි ඇති වන අක්‍රමවත් බව ඔවුන් පීඩාවට පත් කරන්නේ ඔසප් චක්‍රය එසේ අක්‍රමවත්ව පැවතීම ඇයට යම් රෝගාබාධයක් නිසා ඇති වන තත්ත්වයක්ද කියා ඔවුන් බියට පත් වෙන නිසයි. ඒ ඔසප් චක්‍රයේ අක්‍රමවත් වීම සාමාන්‍ය තත්ත්වයක්ද එසේත් නැත්නම් අසාමාන්‍ය තත්ත්වයක්ද යන්න පිළිබඳවත් එසේ වීමට හේතු මොනවාද යන්න පිඝිබඳවත් දැනුවත් වීම ඉතා වැදගත් වේ. 

වෛද්‍යතුමනි, ගැහැනු දරුවෙකුගේ ඔසප් චක්‍රය සාමාන්‍යද අසාමාන්‍යද යන්න පිළිබඳව තීරණය කරන්නේ කුමන සාධකවලට අනුවද?

ඔව්. ඔසප් චක්‍රයක් සාමාන්‍ය ද කියා සොයා බැලීමේදී  සාධක තුනක් සම්බන්ධව අපි සැලකිලිමත් වෙනවා.

  • ඔසප් චක්‍ර අතර ඇති පරතරය
  • ඔසප් ආරම්භ වීමත් සමග පිටවන රුධිර පරිමාව
  • ඔසප් සමයේ ඇති වන වේදනාව

ඔසප් චක්‍ර අතර ඇති පරතරය

සාමාන්‍යයෙන් ඔසප් සිදු වන්නේ දවස් 28කට වරක් බව බොහෝ විට පැවසෙනවා. ඒත් දින 28කට වරක් සෑම ගැහැනු දරුවෙකුගේම ඔසප් ඇති වන්නේ නැති විය හැකියි. එය දින 2135 ත් අතර, දින 21 න් 21ට, දින 31 න් 31 ඇති විය හැකියි. ඒ පරතරය සාමාන්‍ය පරතරයක් ලෙස අප හඳුන්වනවා. ඒත් යම් ගැහැනු දරුවෙකුගේ ඔසප් චක්‍ර අතර පරතරය දින 35ක් හෝ ඊට වැඩි නම් එය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස හඳුන්වනවා. 

ඔසප් ආරම්භ වීමත් සමග පිටවන රුධිර පරිමාව

සාමාන්‍යයෙන් 80ml ලෙස පැවසුවත් එය මැනිය නොහැකියි. ඒ ගැන අදහසක් ලබා ගැනීමට පහත කරුණු වැදගත් වනු ඇත.

  • වහනය වන රුධිරයේ ස්වභාවය අනුව පරිමාව පිළිබඳව අදහසක් ලබා ගත හැකියි. එනම් රුධිරය ජලය ලෙස වහනය වීම, කැටි ලෙස හෝ කැබලි ලෙස වහනය වීම යන කරුණු විමසා රුධිර පරිමාව පිළිබඳව අදහසක් ලබා ගත හැකිය.
  • දිනකට අවශ්‍ය වන සනීපාරක්ෂක තුවා සංඛ්‍යාව අනුවත් වහනය වන රුදිර පරිමාව පිළිබදව අවබෝධ කරගත හැක. සාමාන්‍යයෙන් දිනකට සනීපාරක්ෂක තුවා 3 – 5 පමණ නම් එය සාමාන්‍ය වන අතරම 7 – 9 වැනි සංඛ්‍යාවක් අවශ්‍ය නම් රුධිර වහනය වැඩිය. එසේම සනීපාරක්ෂක තුවායක් ඇන්ද විට එය කාන්දු වෙන තරමට රුධිර වහනය සිදු වෙනවා නම් එයද අධික රුධිර වහනය ඇති බවට ලක්ෂණයකි. 
  • ඔසප් චක්‍රය පවතින දින ගණන අනුව ද වහනය වන රුධිර පරිමාව පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය. සාමාන්‍යයෙන් අවම වශයෙන් දින 3- 5 -7 වැනි කාලයක් නම් එය සාමාන්‍ය වන අතරම දින 7ට වැඩි කාලායක් ඔසප් පවතිනවා නම් එය අධිකව රුධිරය වහනය වන ත්ත්වයකි.

ඔසප් සමයේ ඇති වන වේදනාව

වේදනාව හේතුවෙන් දෛනික වැඩකටයුතු සියල්ල අවුල් වනවා නම් එය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකියි. 

වෛද්‍යතුමනි, ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවට බලපෑ හැකි හේතු මොනවාද?

පෝෂණ තත්ත්වය සහ ව්‍යායාම – මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්න නම් නිසි පෝෂණයක් වගේම උසට සරිලන බර පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම දරුවන් ක්‍රීඩාවලට යොමු වීම ව්‍යායාම වල යෙදවීමත් වැදගත්. 

මහතින් වැඩි කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් බව සාමාන්‍ය ව්‍යවහාරයේ කතා වෙන දෙයක්. වර්තමානයේ අපේ දරුවෝ පිටි කෑම, ක්ෂණික ආහාර වලට යොමු වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. වයස අඩු වුවත් දරුවන්ගේ බර වැඩි වීමට මේ ආහාර රටාව හේතුවක් වෙනවා. ශරීරය, වයසට වඩා බර පිළිබඳව සැලකිලිමත් වන නිසා ඔසප් චක්‍රය කලින් ආරම්භ වීමට එය හේතුවක් වෙනවා. වයසට වඩා උස මහත දරුවෝ කල්තියා වැඩි විය පැමිණෙන්නත් ඒක හේතුවක්. ඒ වගේම මේ හේතු මත ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකියි. එයට හේතුව නිසි සමබල පෝෂණ රටාවකට හා ව්‍යායාම වෙත දරුවන් යොමු නොවීමයි. 

ජානමය  සාධක – මේ සාධක මත ඇති වන තත්ත්වයන් වයස අනුව වෙනස් විය හැකියි. එනම් යොවුන් දියණියකට  මෙන්ම වැඩිහිටි කාන්තාවකට බලපාන හේතු වෙනස් විය හැකියි. එ් වගේම ආර්තවභාවයට ආසන්නව සිටින කාන්තාවන්ට ඇති විය හැකි වෙනත් ගැටලු තිබෙනවා. මැදි වයසේ කාන්තාවකට අධික රුධිර වහනයක් පවතිනවා නම් එය ගර්භාෂයේ ඇති වන ගෙඩි එහෙමත් නැතිනම් මස්ගෙඩි ලෙස හඳුන්වන තත්ත්වය නිසා විය හැකියි. අන්න ඒ ආකාරයට ඇති වන තත්ත්වයන් වෙනස් විය හැකියි..

නව යොවුන් දියණියන්ගේ බොහෝ විට ඔසප් චක්‍රය අක්‍රමවත්. එ් ගැන සැලකිලිමත් විය යුතු තවත් කරුණු තිබෙනවාද?

ඇතැම් අම්මලා ගැහැනු දරුවෙකුගේ ඔසප් චක්‍රය ගැන වැඩි වශයෙන් සැලකිලිමත් වෙන්නේ ඒ දරුවාගේ විවාහය ආසන්න වන විට. නමුත් ගැහැනු දරුවා වැඩිවිය පැමිණි දිනයේ සිටම ඇයගේ ඔසප් චක්‍රය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ මන්ද හෝමෝන ක්‍රියාකාරීත්වයේ ගැටලු නිසා උදාහරණයක් ලෙස ගත්තොත් තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය අඩු/වැඩි වීම, පෝලැක්ටීන් හෝමෝනය අසාමාන්‍ය ලෙස ශ්‍රාවය වීම වැනි හේතු මත ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකියි. අන්න ඒ නිසාම යොවුන් දරුවන්ගේ ඔසප් චක්‍රය ගැන සැලකිලිමත් වීම වැදගත්. එසේ නොවුණහොත් තවත් රෝගාබාධ තත්ත්ව ඇති වන තුරු මව්පියන්ට ඒ ගැන අවබෝධයක් ලබා ගත නොහැකියි.

වෛද්‍යතුමනි, ඔසප් චක්‍රයේ අක්‍රමවත් වූ විට ඇතැම් වෛද්‍යවරු තරුණ දරුවන්ට උපත් පාලන පෙති නිර්දේශ කරනවා. මව්වරු එය තදින්ම ප්‍රතික්ෂේප කරනවා. තරුණ දියණියන්ට උපත් පාලන පෙති වර්ග ලබා දීම අහිතකරයි නේද?

කිසිසේත්ම නැහැ. කාන්තාවන්ට ඇති රෝග බොහොමයකට අපි උපත් පාලන පෙති ලබා දීම සිදු කරනවා. ඒක අපේ සමාජයේ පවතින මිත්‍යා මතයක් පමණයි. අපි එක් එක් රෝග තත්ත්ව වලදී හෝමෝන පෙති වර්ග පාවිච්චි කරනවා. උපත් පාලන පෙති කියන්නෙත් හෝමෝන පෙත්තක්. එහි අඩංගු වෙන්නේ කාන්තා ශරීරයේ පවතින ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක පමණයි. එහිදී සිදු වෙන්නේ ඒ කාලය තුළ ඩිම්බ මේරීම අඩාල කිරීම පමණයි. පෙති නතර කළ වහාම මාස දෙක තුනක් ඇතුළත නැවතත් ඩිම්බ මේරීමට පටන් ගන්නවා. මේ පෙති අවුරුදු කිහිපයක් ගත්තත් දරුවෙකු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. 

ඇතැම් අවස්ථාවලදී යම් රෝග තත්ත්වයකදී උපත් පාලන පෙති ලබා දුන්නත් රෝගී කාන්තාවන් ඒවා ගන්නේ නැහැ. මොකද ඔවුන් දරුවන් සෑදීමට නොහැකි වේය යන බියෙන් සිටින නිසයි එහෙම වෙන්නේ. ඉතිං ඔවුන් කාලයක් ගත වෙලා ප්‍රතිකාර සදහා පැමිණෙනවා පැවතුණු රෝග තත්ත්වයටම. උපත් පාලන පෙති ගැනීම දරුවන් අහිමි කරවනවා යන මතය සමාජයේ මුල් බැසගෙන තියෙන නිසා වෙනස් කිරීම ඉතාම අපහසුයි. 

ගැහැනු දරුවකු තම ඔසප් චක්‍රයේ අක්‍රමිකතා වලක්වා ගැනීමට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

සැමවිටම ගැහැනු දරුවන් නිසි ආහාර රටාවකට වගේම ව්‍යායාම වෙත යොමු විය යුතුයි. සියලු පෝෂක අන්තර්ගත සමබල ආහාර වේලක් ලබා දිය යුතු අතරම ක්ෂණික ආහාර/අධික ලෙස මේද සහිත ආහාර අවම කළ යුතුයි. ඒ අනුව උසට සරිලන බර පවත්වා ගන්නට උත්සාහ කළ යුතුයි‍.

වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දෙන්නේ ඒ ඒ වයස් සීමාවන්ට අදාලවයි. උදාහරණයක් ලෙස වයස අවුරුදු 40ට වැඩි කාන්තාවක් සඳහා කිසියම් වූ අසාමාන්‍ය ලක්ෂණයක් ඇත්නම් පරීක්ෂණ වෙත යොමු කරලා අනතුරුව ඇති ගැටලුව නිරාකරණය කරගන්නවා. එය හෝමෝන සම්බන්ධ ගැටලුවක් නම් මාසයෙන් මාසයට හෝමෝන පෙති (උපත් පාලන පෙති) ලබා දීම සිදු කරනවා. වෙනත් ගැටලුවක් නම් ඒ සඳහාත් අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කෙරෙනවා. තරුණ ගැහැනු දරුවන්ට නම් බොහෝ විට ආහාර පාලනය මගින් බර අඩු කිරීමෙන් ඔසප් චක්‍රයේ ගැටලු මගහරවා ගත හැකියි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ
MBBS (COL),MD(OBS AND GYN),MRCOG (UK)


                

සිංහල අලුත් අවුරුද්ට ඉමෝජියකින් ඔබ්බට යමු..

මනෝරි ගමගේ කියන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක්. ඇය ගැන පසුගිය දා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ කථා බහ ගොඩ නැගුනා. උඩුගුවනේදී අසනීප වුන කාන්තාවක් වෙනුවෙන් හදිසි ප්‍රතිකාර ලබා දීමට ඉදිරිපත් වීම මුල් කර ගෙන ගොඩ නැගුන මේ කථා බහ තුළ ඇය අපූරු අදහසක් ඉදිරිපත් කළා.

අද පරම්පරාව මිනිසුන් සමග ගණුදෙනු කරන්නේ ඉමෝජි වලින්…ඔවුන් තවත් කෙනෙකුගේ හදවත කියවන්න දන්නේ නැහැ.. මේ අදහස ගැන අපි තව දුරටත් කථා කරන්න හොඳම කාලය දැන් ඇවිත්…

සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපේ සංස්කෘතික මංගල්‍යක්. ඒ වගේම අපේ ජීවන රටාව තුළ යම් මානසික විවේකයක් ලබා දෙන, අපේ බැඳීම් තහවුරු කරන කාලපරිච්චේදයක්. නමුත් අද දවස වෙන විට මේ සහජීවනය අපෙන් නොදැනීම ගිලිහී ගිහින්.

එදා සිංහල අලුත් අවුරුද්දට බුලත් දුංකොළ දීම යන චාරිත්‍රය අද ක්‍රමයෙන් ඈත් වෙන රටාවක් ගොඩ නැගෙනවා. පවුලේ වැඩිහිටියන්ට බුලත් දුංකොල දිලා ඔවුන්ගේ දෙපා වැඳ නමස්කාර කරලා ලබන්නා වූ අලුත් නව වසරට ආහිර්වාද ලබා ගන්නවා. නමුත් අද වෙන විට එවැනි සිරිත් අපටත් නොදැනීම අභාවයට යන රටාවක් අප අතර තිබෙනවා.

එදා පවුලක් කිව්වොත් එක වහලක් යට කීප දෛනක් ජීවත් වුණා. ඒ අතරම අල්ලපු සහ ඉහළ පහළ ඉඩම් කට්ටිවල මාමා, ලොකුතාත්තා වගේ සහලේ ඤාතීන් ජීවත් වුණා. ඒ නිසා ඥාති සම්බන්ධතාවයන් ඉතා හොදින් පවත්වා ගැනීම අපහසු වුනේ නැහැ. ඒ වුනත් අද වෙන විට පවුල් පිටින් ගමෙන් නගරය ඇදී යන ප්‍රවනතාවයක් ගො නැගී තිබෙනවා. එතැනින් නවතින්නෙත් නැහැ. බොහෝ දරුවන් විදේශගත වීම ඉලක්කය කර ගෙන අධ්‍යාපනය ලබන නිසා නුදුරු දිනක ඔවුන්ද විදේශයන්හි පදිංචියට යාවි. ඒ නිසා මහගෙදර තනි වෙන්නේ වියපත් මව්පියන් පමණක් වෙන තත්වයක් උදා වෙන දවසත් වැඩි ඈතක නැහැ.

මේ සියල්ල තුළ අද සැබැවින්ම අපේ සම්බන්ධතාවයන් පවතින්නේ ඉමෝජි මත පමණක් බව වචනයේ පරිසමාප්තියෙන්ම ඇත්ත. තවත් කෙනෙකු වෙනුවෙන් අකුරක් ලියා සතුට හෝ හෝකය ප්‍රතිචාර ලෙසින් දැක්වීමට තරම්වත් සම්බන්ධතාවයක් අප අතර නැහැ. කෙනෙකුගේ දුකකට හඩන මුහුණක් සතුටට හිනා මුහුණක් එකතු කිරීමෙන් සියල්ල හරි යන අදහසක් තිබුනත් ඇත්තටම ඒ වෙනුවෙන් අකුරක් සටහන් කරන්න තරමටවත් දරුවන් කාලයක් තවත් පුද්ගලයෙක් වෙනුවෙන් දරුවන් වැය කරන්නේ නැහැ.  මෙවැනි ඉමෝජියක් තුළ යාන්ත්‍රික බවක් මිස කිසිදු සංවේදීතාවයක් ගොඩ නැගෙන්නේ නැහැ.

සමාජයේ තවත් එක් පුද්ගලයෙක් විදිහට  අපි තවත් කෙනෙකුගේ හිත කියවන කලාව උගත යුතුයි. ඒ වගේම තවත් කෙනෙකුගේ දුකකට ඇහුම්කන් දීමට තරම් සංවේදී විය යුතුයි. නිවසෙන් පිටට යෑමට පෙරාතුව එක වහලක් යට ජීවත් වෙන පුංචි සමාජය දෙස බැලුවොත් අපි අතර හිර කර ගෙන සිටින ප්‍රහ්න කොතරම් තිබෙනවාද…? මේ දුක් කන්දරාව තනියම දරා ගෙන සිටිනවා මිසක ඒ ගැන කියා හිත නිදහස් කර ගැනීමටවත් කෙනෙක් නොමැතිව අසරණ වෙන මව්පියන් කොතරම් සිටිනවාද..?

උදේ පටන් නිවසේ වැඩ කටයුතුවලටම සිරගතව සිටින අම්මා හවසට දරුවන් නිවසට එන තෙක් මග බලා ගෙන සිටියත් ඇය සමග හදවතින් සමීප වෙන දරුවන් අද නැති තරම්. වචන දෙක තුනක් හෝ ඔවුන් සග කථා කිරීමට කාලයක් නැහැ.

අම්මාට මහන්සිද…? අම්මා අද මොකද දුකින් වගේ.. අසන්නට නම් දරුවන් විසින් මවගේ මුහුණ කියැවීමට හැකියාවක් තිබිය යුතුය. එහෙත් ඔබේ මව පියාගේ පරම්පරාව මුහුනු පොත සමග ගනුදෙණු කලේ නැත. එහෙත් ඔබේ මුහුණ කියැවීමට ඔවුන් ඉතා හොඳින් දැනුවත්ව සිටි බැව් ඔබට මතක ඇති.

පුතාගේ මුහුණ මැලවිලා…බඩගිනි ඇති

අනේ  ඇස් පියවෙනවා නිදිමත වෙලා…මේ අන්දමින් ඔබ මුවින් නොකී දේ ඔබේ මුහුණේ  ලියැවී තිබෙන්න ඇති. එය කියවන හොදම හැකියාව ඔබේ දෙමව්පියන්ට තිබුණ බැව් රහසක් නොවේ.අද ඔබ වැඩිහිටි වයසේ දරුවෙක් විය හැක. අද ඔබේ මවගේ, පියාගේ මුහුණේ නිදිමත බඩගින්න පමණක් නොව මානසික හුදෙකලාව, වේදනාව වැනි බොහෝ දේ සටහන්ව තිබෙනු ඇති. එය මුහුණු පොතේ ඉමෝජියක් සන්තර්පනය කළ නොහැක. ජීවිතය පුරාවට දරුවන් හදා වඩා ගෙන ඔවුන් වෙනුවෙන් ජීවිතය කැප කළ මව්පියන්ගේ ආත්මීය කථාව ඔවුන්ගේ සැබෑ මුහුණක සටහන් වී තිබෙනු ඇති. එය කියැවීම දරුවන්ගේ යුතුකමකි. නමුත් අද දරුවන් සහ වැඩිහිටි පරම්පරාව අතර ඇත්තේ දුරස් බවකි. දරුවන්ගේ පරම්පරාවේ සාමාජිකයන් අතර ඉමෝජියකින් හෝ දුක වේදනාවට දක්වන ප්‍රතිචාරය මව්පියන්ට ලැබෙන්නේ නැත. ඊට හේතුව ඔවුන් මුහුණු පොත් සාමාජිකයන් නොවීමයි. තවමත් අපේ මව්පියන් සියල්ල විඳ දරා ගෙන සිටින කණ්ඩායමක් නිසා ඔවුන් තමන්ගේ දුක වේදනාව සමූහයක බෙදා ගන්නේද නැත.

මේ එළැඹෙන්නේ සිංහල අලුත් අවුරුදු සමයයි. ඔබට මග හැරී ගිය යුතුකම් අලුත් වෙන කාලයයි. දරුවන් මහගෙදර තනිවුන මව්පියන් බැලීමට ගමට එන වාරයයි. ඒ වගේම අත්තම්මා , සීයා වැනි වැඩිහිටියන්ගේ දුක සැප විමසන බුලත් හුරුලු දි ඔවුන්ගේ දෙපා නමදින අවස්ථාවයි. ඒ නිසා ඉමෝජියකින් ඔබබ්ට ගිය හදවත් කියවන සංවේදී චරිතයක් ලෙසින් දරුවන්ට ගෙඩ නැගෙන්නට මේ හොඳම කාලයයි.

ලස්සන ලස්සන ඉමෝජි දිනපතා එකතු වෙනු ඇති. එහෙත් ඔබ සමග ගණුදෙණු කළ සුන්දර මිනිසුන්ට වචනයකින් ආමන්ත්‍රණය කරන්න. එහි වටිනාකම ශවුන්ට ඉතා හොඳින් දැනෙනු ඇත.

 

 

අලුත උපන් බබාගේ කොණ්ඩේ අඩුද?

සෑම මවකගේ බලාපොරොත්තුව සියලු අංග සපිරි දරුවෙක්. ඒ වගේම නිරෝගි හොඳ ක්‍රියාශිලි බබෙක්. මේ හින්දා ගර්භනී කාලය තුල අම්මා තාත්තා වගේම නිවැසි ඥාති හිත මිත්‍රාදින්ගේත් බලාපොරොත්තු සමානය. ඒ වගේම ඒ වෙනුවෙන් හැම දෙයක් පිලිබඳවම වැඩි සැලකිල්ලක්. 

ඉතින් කලලයක්  පිලිසිඳ ගන්න දවසේ ඉදන් මේ කලලය වර්ධනය වෙන්න පටන් ගන්නවා . එතකොට මේ වර්ධනය කියන්නේ මොකක්ද ? 

වර්ධනය කියන්නේ වැඩි වීම. දරුවගේ අඟපසඟ හැදෙන්න එහෙම නැත්නම් සියලු ඉන්ද්‍රීයන් විකසනය වීමත් ඒ විකසනය වූ ඉන්ද්‍රීයන් වර්ධනය වීමත් නිසා තමයි නිරෝගි අඟ පසඟ ඇති දරුවෙක් බිහිවෙන්නේ.

මේ ඉන්ද්‍රීයන් විකසනය බොහෝ වෙලාවට මුල් මාස තුන තුළ දී සිදුවෙනවා. එහෙම විකසනය වූ ඉන්ද්‍රියයන් ඒ කියන්නේ හිස, කඳ , ගාත්‍රා ඒ වගේම අභන්තර ඉන්ද්‍රියන් මොලය, ඇස්, කන්, නාසය, දිව, හෘදය, පෙනහලු, ආහාර මාර්ගය, වකුගඩු, අක්මාව ආදී ලෙසින් වූ සියලු ඉන්ද්‍රියන් විකසනය සිද්ධ වෙනවා. මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයන් මත සිදුවන සේ වර්ධනය විම එහෙමත් නැතිනම් මේරීම සිද්ධ වෙනවා. ඊලගට මේ අභන්තර ඉන්ද්‍රියයන් වගේම නියපොතු හිස කෙස් ශරීරයේ රෝම ආදියත් සැකසෙනවා. මේවා සඳහාත් අවශ්‍ය පරිදි පෝෂණය දරුවා විකසන අවස්තාවේදීම ලැබිය යුතු වෙනවා. මේ නිසා මේ සියලු ඉන්ද්‍රියන්ගේ වර්ධනයට මවගේ පෝෂනය බලපානවා.

එසේ හෙයින් කාන්තාවක ගර්භනියක වන විටත් ගර්භනි වූ දිනයේ පටන් දරුවා බිහිකරන තෙක් හා බිහිවූ දරුවාගේ පෝෂනය සම්බන්ධයෙන්ද සියලු දෙනාගේ අවදානය යොමුවිය යුතු වෙනවා. මන්ද යත් දරුවාගේ වර්ධන සංවර්ධනය ක්‍රියාවලිය සඳහා අවැසි වූ පෝෂක සියල්ල මවගෙන් ලැබෙන පෝෂණය මත තීරණය වන්නක් හෙයින් මවගේ පෝෂනය නිසි පරිදි පැවතීම එනම් මව හොඳ පෝෂනයකින් යුක්ත වීම සිදුවිය යුතුමයි.

මවගේ පෝෂන තත්වය මත දරුවාගේ වර්ධන ක්‍රියාවලිය තීරණය වන හෙයින් ඒ පිලිබඳව සැලකිලිමත් විම වැදගත්. අන් ඉන්ද්‍රියන් වර්ධනය සේම දරුවාගේ හිසකෙස් වර්ධනයටද මෙය ඒ අයුරින්ම බලපානු ලබනවා . හිස කෙස් වල පැහැය ස්වාභාවය ආදිය සඳහා මවගේ පෝෂණය බලපානවා. පෝෂකාංග සැලකිමේදි වර්ධනයට අවැසි වන ප්‍රෝටීන වල අවශ්‍යතාවය හිසකෙස් වලට බලපාන අයුරින්ම ඒ හා සම්බන්ධ අනෙකුත් පෝෂන වර්ග ද මේ සමඟ බැදී තිබෙනවා.

ප්‍රෝටීන හා සම්බන්ධවන කැල්සියම් ලවණයද ඒ හා සම්බන්ධ විටමින් ඩී ලැබීමද මෙම අවයවයන් වර්ධනය සඳහා වැදගත් වෙනාව. අස්ති, නිය, දත් හා කෙස් සම්බන්ධව මෙම විටමින් මෙන්ම කැල්සියම් පොස්පරස් වැනි ලවණද මහගු කාර්යයක් ඉටුකරන ලබන හෙයින් ගර්භණී සමයේ මවගේ පෝෂනයේ මෙවැනි පෝෂක සංඝටක අඩුවක් නොමැතිව පැවතීම දරුවාගේ හිසකෙස්, දත්, නිය හා අස්ති වර්ධනයට මහඟු බලපෑමක් එල්ල කරනු ලබනවා . එසේ හෙයින් අඩුපාඩු විය හැකි ලවණ ලබාගන්නා ආහාර මඟින් මෙන්ම ලබාගන්නා අමතර විටමින් මඟින්ද සම්පූර්න කරගැනිමට හැකියාවක් ලැබෙනවා.

එසේ හෙයින් කිරි ආහාර, කුඩා කටු සහිත මාලු කරවල මෙන්ම රනිල ඇට වර්ග මඟින් මෙම පෝෂක කොටස් බහුල ලෙස ලබාගත හැකි අතරම ඒවා අවශෝෂණය සඳාහා හැකි අයුරින් ලබා ගැනිමද වැදගත් වෙනවා . එසේ වන්නේ ආහාරයේ යකඩ උරා ගැනිමට විටමින් සී හා විටමින් බී වැදගත් වන්නේ යම්සේද ඒ හා ලෙසින් විටමින් ඩි හා කැල්සියම් අතර බැදී පවතින බැදියාවද වැදගත් වෙනවා. එසේම මේ සියලු කාර්යයන් මවගෙන් දරුවා වෙත පරිවහනය කිරිමට මව තුල ඇති රුධිරයේ හිමොග්ලොබින්ද බලපෑමක් එල්ලකරනු ලබන හෙයින් මවගේ රුධිරයේ පවතින හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිකර ගැනීමද වැදගත් වනෙවා. මෙසේ ජීවිතයක පැවැත්මට මෙන්ම මෙවැනි වූ සියලු පෝෂකාංග සපිරි පරිසරයක් දරුවෙකුට දායාද කිරිමට අප සියලු දෙනා උත්සුක වීම වැදගත්.

මේ පෝෂණ ක්‍රියාවලියේ දුර්වලතා ඇති වු විට එය දරුවාගේ අන් ඉන්ද්‍රියයන් වලට වගේම හිස්කබලේ වර්ධනයට බලපෑමක් එල්ල විය හැකියි . එසේ හෙයින් ලැබෙන පෝෂන ඌනතා හේතුකොටගෙන දරුවන්ගේ හිසකෙස් වර්ධනය නොවන නිසා අලුත උපන් දරුවන්ගේ හිසෙහි කෙස් අඩුවීම හෝ කොන්ඩය දකින්නට නැතිවෙනවා. අවශ්‍ය පමණට පෝෂනය ලැබුනු දරුවන් තුල හොඳින් වැඩුනු කෙස් වගේම දිගට වැඩුනූ නියපොතු අපිට දක්නට ලැබෙනවා. එසේ හෙයින් පෝෂනය පිළිබඳව සැලකිලිමත් විම ඉතා වැදගත් වෙනවා.  

පෝෂණය පැත්තෙන් එසේ වුවද ජානමය ගති ලක්ෂන නිසාද මෙවැනි අවස්තා අපිට දක්නට හැකියි. එසේ වන්නේ පරම්පාරමය ලක්ෂණ වශයෙන් කොණ්ඩය වැඩි නොමැති දරුවන් සිටීමයි. එසේම එම පරම්පරා තුල ඇති ලක්ෂන අනුව කෙස් නොමැති වීම, තිබෙන කෙස් තුනී වීම, බොකටු වීම, පැහැයේ වෙනස්කම් ආදිය දරුවන් තුල දක්නට ලැබනෙවා. එසේම විටමින් කැල්සියම් හෝ ප්‍රෝටීන ඌනතා නිසා කෙස් කුරු ගතියෙන් යුක්ත වීමද සමහර සහජ අසාමාන්‍යතා වලදීද උපතින්ම ඇතිවන තත්ව වලදීද කෙස් වල අසාමාන්‍ය බවක් දක්නට ලැබිය හැකියි.

නිෂ්චිත වශයෙන් හේතු පැවසිය හැකි නොවුනද පරම්පරාගත වන මේ ලක්ෂන හරහා සිතන්නට හැක්කේ පෝෂණ ඌනතා ලක්ෂන මෙන්ම බොහෝවිට පෝෂනය ලැබුනද ආවේනික හෝ පරම්පරාගත ලක්ෂන හේතුවෙන් එම පෝෂන ද්‍රව්‍ය ජීර්ණ ක්‍රියාවලියේ යම් යම් දුර්වලතා තිබිය හැකි බවයි . මෙසේ බලන විට කෙලින්ම හෝ වක්‍රාකාරව හෝ සිතිය හැක්කේ මේ සියල්ලටම හේතුව පෝෂණ දුර්වලතා බවයි.

එසේම කෙස් ඝනව නැතිව හෝ සුළු ප්‍රමාණයක් සහිතව උපදින දරුවන්ගේද ටික දිනක් යනවිට මේ කෙස් වැඩි ප්‍රමාණයක් ගැලවී යනවා දැකිය හැකි අවස්තාද දක්නට ලැබෙනවා. එයද පෝෂන ඌනතාවයක් මෙන්ම යම් දිලීරමය ආසාදන තත්වයක් විය හැකි අවස්තාද පවතිනවා. එසේම කුඩා දරුවන්ගේ කෙස් තදින් ඇතිල්ලීමට අපහසු අතර කෙස් මත රැදී ඇති දෑ එකතු වී කබොලු බැදීම වැනි තත්ව වලදිද එම කබලු සමඟ කෙස් ගැලවී යනු දක්නට හැකියි.

එවන් විටකදි දරුවන් නෑවීමේදි හිසට නොගැලපෙන කිසිදු සබන් හෝ ෂැම්පූ වර්ගයක් යොදා සේදීමත් සිනිදු පනාවකින් සෙමින් පිරීම මගින් මේවා ක්‍රම ක්‍රමයෙන් (එකවර ඉවත් නොකර) ඉවත් කිරිමට කටයුතු කිරිමත් කලහැකි වෙනවා. මෙවන් තත්ව වලදිද දරුවාගේ කොන්ඩය නැති වීමට පුළුවන්. තදින් කබොලු බැඳී ඉවත් කිරීමට අපහසු අවස්තා වලදි තදින් ඒවා ඉවත් කිරිමට නොගොස් වෛද්‍ය උපදෙස් ලබාගැනිමද වඩා වැදගත් වෙනවා. එසේ නොවී තදින් ඉවත් කිරිමට ගිය හොත් හිස කෙස් ගැලවි යාම පමණක් නොව හිසෙහි සමට හානි සිදුවිම නිසා දරුවා අපහසුතාවයටද පත්විය හැකිවෙනවා මෙන්ම දරුවාට වේදනාවක් ඇති වීමටද එය හේතුවිය හැකියි.

එසේම හිස් කබලේ සම මත ඇතිවෙන දිලිර ආසාදනද මෙවන් තත්ව වලට හේතු විය හැකි හෙයින් ඒ පිලිබඳව සැලකිලිමත් විය යුතුය. සියල්ල මෙසේ සලකා බැලිමේදි ජීවිතයට පෝෂනය වැදගත් යම්සේද හිසකෙස් සඳහාද පෝෂණය, රැකවරණය අත්‍යාවශ්‍ය කරුණක් බව ඔබට වැටහෙනවා ඇති. එසේම මනුෂ්‍ය ජිවිතයේ සියලු අවස්ථාවන් සඳහා පෝෂණය වැදගත් වන්නේ යම්සේද සමහර පරම්පරාගත හෝ ආවේනික ලක්ෂන පවා ජයගැනිමට සාර්ථක පෝෂනයක් ලබාදීම තුලින් හැකි බව අවබෝධ වේ.

මීට අමතරව දරුවන් තබන විට එකම පැත්තට තැබිම නිසාද එම පැත්තට සැපයෙන වාතය, රැධිර සැපයුම වැනි හේතු මත මෙන්ම නිතරම ඔලුව ඇතිල්ලීම වැනි ක්‍රියා නිසාද හිසේ පවතින කෙස් ගැලවියාමට පුළුවන්. එසේ හෙයින් කුඩා දරුවන්ගේ හිස හැරවිම හිස අතුල්ලන විට එය සිනිදු මතුපිටක් සකසා තිබීම මගින්ද හිසකෙස් ගැලවී හැලියාම වලකා ගැනිමට හැකිවෙනවා. සියලු දෙය විමසා බැලිමේදි සෑම කටයුත්තකටම මිනිස් දිවියේ පෝෂණය මූලික වන බවත් ඒ හා සම්බන්ධ හුරු පුරුදු හෝ සිරිත් විරිත් අනුව පරම්පරාගත වීමට ඇති ඉඩකඩක් ඇති බවත් අපට ගම්‍ය වේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

බබා හැරිලද කියලා අම්මට දැනගන්න බැරිද?

දරුවෙකු කුස පිළිසිඳ ගත් බව දැනගත් මොහොතෝ ඇතිවන හැගිම වචන වලට පෙරලන්නට නොහැකි වන්නේ එය එතරම් ප්‍රීතිමත්ම හා ආදරනිය දැනීමක් හෙයිනි. එමෙන්ම ඒ බව දැනගත් මොහොතේ සිට ඊලග අපේක්ෂාව ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද යන වග මෙන්ම බබා දඟලනවා දැනීම ආදි ලෙසින් දැන ගැනිමේ අවශ්‍යයතාවයයි.

එමෙන්ම දරුවා ක්‍රමයෙන් වැඩෙත්ම මවගේ උදරය විශාල වෙන්නට පටන් ගනී. ඒ දරුවාගේ වැඩීමත් සමඟ අවශ්‍ය ඉඩකඩ සැපයීමට, දරුවාට ජීවය සපයන අපරාවේ වැඩීමට සහ දරුවාට ආරක්ෂාව සපයන උල්බ තරලය ආදි සියල්ලේම එකතුවෙනි. මෙසේ උදරය විශාල වන විට ගර්භාෂය ඇදී විශාල වෙනවා. එසේම ඒ ආශ්‍රිත අනෙකුත් ඉන්ද්‍රීයන්ද පීඩනයට ලක්වේ. මෙසේ හෙයින් වෙනදා මෙන් දිගු වේලාවක් මුත්‍රා දරා සිටීමට නොහැකි විම ආදී ලෙසින් මෙය ගම්‍ය වේ. එසේම ඉහලින් ආමාශය තෙරපිම නිසා වෙනදා මෙන් බඩපුරා කන්නට අපහසු වේ. එසේ හෙයින් වරන් වර කුඩා ප්‍රමාණ වලින් ආහාර ගැනීම සිදුවේ. දරුවාගේ වර්ධනය සතියකට 1 CM  වන සේ බුදනය ඉහලට එසවෙයි. මෙසේ වැඩෙනා දරුවන් මුල්කාලයේ කුඩා නිසා මෘදු පැටියෙකු සේ කුසපුරා පීනමින් සිටින ආකාරයක් වගේ දකින්න පුළුවන්. සති විසිඅටෙන් පස්සේ දරුවාගේ සියලු අවයවයන් වර්ධනය වෙලා අවසන් . ඊට පස්සේ සිද්ධ වෙන්නේ හමයට මේද තැන්පත් වෙමින් අවයව මේරීමයි.

කුස තුළ සිටින දරුවා මෙසේ දිනෙන් දින වර්ධනය වෙත්ම කුස තුළ දරුවාට ලැබෙන ඉඩ ප්‍රමාණය මත දරුවාගේ හැරීම සිදු වේ. ප්‍රසූතියට ආසන්න වනවිට බොහෝ දරුවන් 97 % ක් පමණම හිස ප්‍රමුඛ ඉරියව්වක සිටිනවා. මෙසේ සිටින දරුවාගේ හිස ක්‍රමයෙන් යෝනි කුහරය තුලට යනවා . එය අපි හෙඩ් එන්ගේජ් ලෙසින් හදුන්වනවා. බොහොවිට සති තිස් හයෙන් පසුවත් එය සිදු විය හැකියි. එය අම්මාට පහසුවක් දනවනවා. සමග පපු කුහරය දෙසට ඇති වන තෙරපුම වැඩි නිසා හුස්ම ගැනීමට යම් අපහසුතාවයක් අම්මාට දැනෙනවා. ඒ්ත් බබා හැරුණු පසු ඒ් අපහසුව යම් තාක් දුරට මගහැරී යනවා. ඒ මඟින් දරුවා පහත් වෙලා කියලා අම්මාටම යම් අවබෝධයක් ලබා ගත හැකියි. වෙනදට වඩා සැහැල්ලුවක් නොමැතිව අම්මට එක දිගටම වෙනිදා තිබුණු අපහසුකම් දැනෙනවා බාබා හැරී නැති වෙන්න පුළුවන්. ඒය ඒසේ අම්මාට දළ අවබෝධයක් ලබා ගත හැකි ලක්ෂණ වුවත් ඒමගින් බබා හැරී ඇතිද යන්න ගැන 100%ක්ම ස්ථිරව පවසිය නොහැකියි. ඒ නිසා වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් පරීක්ෂා කිරීමේදී ස්ථිරව ඒය හඳුනා ගත හැකියි. 

බොහෝ විට 95% – 97 % දරුවො හිස ප්‍රමුඛව ඉරියව්ව පවත්වා ගන්නා ආකාරය දිස් වුවත් ඇතැම් දරුවන් හිස ප්‍රමුඛ නොවී පිහිටිය හැකියි. ඇතැම් දරුවන් ප්‍රසූති අවස්ථාවේදී හැරිය හැකියි. 

හිස ප්‍රමුක නොවී දරුවෙක් සිටිය හැකි ආකාර 

  • තට්ටම ප්‍රමුඛව 
  • උරහිස් පුමුඛව 
  • පාද ප්‍රමුඛව 
  • පාද ප්‍රමුඛව 
  • දණහිස් ප්‍රමුඛව 
  • මුහුණ ප්‍රමුඛව

දරුවෙකු හිස ප්‍රමුඛ නොවන ඉරියව්වට පත්වීමට බලපෑ හැකි හේතු 

  • නොමේරු ළදරුවෙකු ප්‍රසූතියේදී
  • කුමක් හෝ හේතුවක් මත සිදුවන හදිසි ප්‍රසූතියකදී දරුවාට හැරෙන්න කාලයක් අවම වීම
  • නිවුන් දරුවන් සිටින විට ගර්භාෂය තුළ ඉඩ අවම වීම 
  • පෙකනි වැල දිගින් අඩු වීම (පෙකෙනි වැල අධිකව දිගු වීම නිසා දරුවා දගලන විට ඒය ගෙල වටා ඒතිතී කෙටි වීම නිසාත් දරුවාට හැරීමට නොහැකි විය හැකියි)
  • ගර්භාෂයේ ඉඩකඩ අවම වීම නිසා 
  • ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් වැනි ගෙඩි වල වර්ධනය නිසාත් ගර්භාෂයේ ඇති වූ ආසාදන තත්ත්වයන් නිසා
  • වැදෑමහ ගර්භාෂයේ පහළ ඛන්ඩයේ පිහිටා තිබීම 
  • ගර්භාෂයේ පිහිටි තරල ප්‍රමාණය වැඩිවිම හෝ අධික ලෙස අඩුවීම නිසා ගර්භාෂය තුල දරුවාගේ චලනයට ඒය බලපෑම නිසා
  • පලමු ප්‍රසූතිය නම් මවගේ උදරයේ හෝ ගර්භාෂයේ දැඩි ගතිය හෝ අධික ලිහිල් බව නිසා
  • මවගේ වයස අවුරුදු 18 ට අඩු අවස්ථාවකදි ශරීර වර්ධනය අඩුවීම හෝ ඉඩ අඩුවීම නිසා යෝණි කුහරයේ පළල් අඩු වීම
  • පෙර ප්‍රසූතියක් නොමේරු ලෙසට සිදු වූ මවක් වීම
  • කුසේ සිටින දරුවාගේ වර්ධනයේ දුර්වලතා, හිස් කබල නොපිහිටිම හෝ වෙනත් ආබාධ නිසා

මෙසේ සලකා බැලීමේදි සාමාන්‍ය පිහිටීමෙන් වෙනස් වන 3% සඳහා තිබිය හැකි හේතු කාරණා ඔබට පැහැදිලි වන්නට ඇති. සාමාන්‍යෙයන් කුසේ සිටින දරුවෙකු මුල් කාලයේ සිටින ස්ථාපිතයෙන් මෙය තීරණය කල නොහැකි වුවද සාමාන්‍යයයෙන් සති තිස් හතර පමණ වනවිට එය පැහැදිලි ලෙස අදහසක් ගත හැකියි . මුල් කාලයේ සිදුකරන ස්කෑන් පරික්ෂනයකදී හිස ප්‍රමුඛ නොවේ යැයි පැවසුවද ඔබ කලබලයට පත්විය යුතු නොවේ. මන්ද සති තිස්හතරින් පසුව පමණක් ඒ පිළිබඳව පැහැදිලි තීරණයක් ගත හැකි හෙයිනි.

මෙසේ හිස ප්‍රමුඛ නොවන දරුවන් පෙර කාලයේදි විශේෂඥ වෛද්‍යවරයෙකු රෝහල තුලදී පිටතින් හැරවීම සිදුකරනු ලැබුවත් අද වන විට ඒසේ කිරීම අවම වි ඇත්තේ දරුවා නොහැරිමට බලපා ඇති හේතු හා ගලපා බලා දරුවාට මවට ඇතිවිය හැකි සංකූලතා වලක්වා ගැනීමේ අරමුනිනි. එසේ හැරවීම සිදුකලද නැවත එම දරුවන් පෙර සිටි ඉරියව්වටම පිවිසීමටද බොහෝ විට දක්නට ලැබෙන්නකි. මෙසේ හිස ප්‍රමුඛ නොවී සිටින දරුවන් සාමාන්‍ය දරු ප්‍රසූතියකට යෑමෙන් දරුවාගේ අත් පා උරහිස් ආදීය හරස් වීම හේතු කරගෙන දරුවාට උග්‍ර සංකූලතා මෙන්ම මවටද දීර්ඝ ප්‍රසවයකට මුහුණ දීමට සිදුවීම හේතුවෙන් යෝනී මාර්ගය ආශ්‍රිතව ඇති විය හැකි ඉරීම් මෙන්ම තදබල රක්තපාතයකට ලක්වීම හෝ ප්‍රසූත වේදනාව සමඟ ඇතිවන සංකෝචන හා ලිහිල් විම් තදබල ලෙස බලපෑම හේතුවෙන් ගර්භාෂය පිපිරීමට ලක්වීම පවා ඉඩ ඇත. ඒවැනි සංකූලතා හේතුවෙන් නව ජන්ම ළදරු මරණ මෙන්ම මාතෘ මරණ අවදානමක් පවතී.

එසේ හෙයින් බොහෝ විට මෙවන් මව්වරුන්ට සැලසුම් සහගත සීසර් ශල්‍ය කර්මය මගින් ප්‍රසූතිය සිදුකිරීමට විශේෂඥ වෛද්‍ය වරුන් තීරණය කරනු ලබනවා. මව මෙන්ම ළදරුවා සිටින අවදානම වේලාසන හඳුනාගෙන මවගේත් දරුවාගේත් ජීවිත අනතුරට ලක්නොකර ශල්‍ය කර්මයක් මගින් ප්‍රසූතිය සිදුකිරිම මගින් මවටත් දරුවාටත් ලැබෙන සැනසීම සැහැල්ලුව මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩලයටද ලැබෙන අස්වැසිල්ල අති මහත්ය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගනිමු

මත්ද්‍රව්‍ය පිළිබඳ සාකච්ඡා කරනවිට එහි ප්‍රවණතාවන් කලින් කලට වෙනස් වෙමින් පවතින අතර මෑතකදී සමාජය තුළ කතිකාවතකට ලක් වී තිබෙන මත්ද්‍රව්‍යයක් ලෙස අයිස් හෙවත් මෙතැම්පිටමින් හඳුන්වා දෙන්න පුළුවන්. එය අපේ රට තුළ ව්‍යාප්තිය ආරම්භ කර ඇත්තේ 2020 පමණ සිටය. 2017 දී හෙරොයින් භාවිතයට අමතරව වන ප්‍රවණතාවක් ලෙස වෙවද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ඖෂධ අවභාවිත කිරීමේ ප්‍රවණතාවක් ද හඳුනාගත හැකිවිය. හෙරොයින් මිදලී ගැනීමට නොමැතිවීම හෙරොයින් සඳහා ආදේශකයන් ලෙස මෙම ඖෂධ අවභාවිත කිරීම සිදු කරන ලදි. විශේෂයෙන්ම මානසික රෝගවලට ලබාදෙන ඖෂධ අවභාවිතය එකළ විශාල වශයෙන් සිදු වූවක්. අයිස් නමින් හඳුන්වන මතුද්‍රව්‍යය 2020 වසරේ සිට භාවිතය කෙමෙන් වැඩිවෙමින් එය තව තවත් සීග්‍ර ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. මේ වන විට පාසැල් දරුවන් සඳහා ද අභියෝගයක් වී තිබෙන මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කරමු. 

පාසැල් දරුවන් මත්ද්‍රව්‍ය කෙරේ යොමුවන්නේ කෙසේද?

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු දරුවන් සමග කතා කරද්දී ඔවුන් බොහෝ දෙනෙක් සදහන් කරන කාරණාව තමා මත්ද්‍රව්‍ය භාවිතයට තමා යොමුවුනේ යහලුවන්ගේ/සමකාලීනයන්ගේ බලපෑම මත යන්නයි. ඒ වගේම අපි පර්යේෂණ තුළින් තහවුරු කරගෙන තියනවා ගොඩාක් තරුණ පිරිස් පාසල් යන වයසෙ දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වෙන්නෙ යාලුවන්ගෙ බලපෑම මත කියලා. හැබැයි කුතුහලයට වින්දනයක් ගන්න වගෙත් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවුණු දරුවනුත් නැතුවාම නෙමෙයි. ඒ වගේම ලංකාවේ විතරක් නෙමේ ජ්‍යත්‍යන්තර පර්යේෂණ විමසා බැලීමේ දීත්  අපිට පේනවා ප්‍රධානම හේතුව මිතුරන්ගේ බලපෑම කියලා. ඒ වගේම සමාජ විද්‍යාත්මකව සාධක කීපයක් වගේම මනෝවිද්‍යාත්මක සාධකත් මේ මත්ද්‍රව්‍ය මුල්වරට භාවිතයට පෙලබීමට හේතුවෙලා තියනවා.

මත්ද්‍රව්‍ය භාවිත කරන අය සමග කතා කරද්දි ඔවුන් තුළින් දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවාද?

එය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාගේ ජීවනරටාව අනුව වෙනස් වෙන්නත් පුළුවන්. මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියලා එහෙම අසාමාන්‍ය ලක්ෂණ ඔවුන් පෙන්වන්නේ නැහැ. සමහර වෙලාවට එවැනි අය තුළ ඉතාම හොඳ ගති ලක්ෂණ තියෙනවා. එයාලගෙ තියන එකම ගැටලුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම පමණයි. ඇතැම් අයගේ කතා හරිම දුක්ඛිතයි. ඔවුන් මේ ඇබ්බැහියට යොමුවෙන්නත් ජීවිතයේ යම් යම් හේතු තියෙනවා. බොහෝදෙනෙක් පසුතැවෙනවා ඔවුන් මේ දෙයට යොමු වීම සම්බන්ධව. ඔවුන් එයින් මිදෙන්න උත්සාහ කරනවා.

යම් හෙයකින් පාසැල් දරුවෙකු සතුව මත්ද්‍රව්‍ය තිබී සොයා ගතහොත් ඒ සදහා ක්‍රියාත්මක වන නීතිමය  ක්‍රියාමාර්ග මොනවාද?

පාසලේ විදුහල්පතිතුමා ගුරුවරු අනිවාර්යයෙන්ම මේ ගැන දැනුවත් විය යුතුයි.‍ පාසලේ විදුහල්පති තුමාට මෙතනදි ලොකු කාර්යයක් පැවරෙනවා. අපි එක් පන්තියක් ගත්තොත් ඒ ඉන්න හැම දරුවෙක්ම මෙයට යොමු වෙන්නේ නැහැ. මෙතනදි මුරණ්ඩු, ප්‍රශ්නකාරී (problem behavior) දරුවා හෝ කණ්ඩායම ගැන අවබෝධයක් ගුරුවරයාට තිබිය යුතුයි.‍ ඒ වගේම ගුරුවරයා විසින් පන්තිය කලමනාකරණය කර ගත යුතුයි. මේ කණ්ඩායම හදුනගන්න ඕනෙ. 

මේ වන විට ලංකාව පුරා ඉන්න ගුරු උපදේශකවරු පුහුණු කරගෙන යනවා..ඉතින් ඒ කළමනාකරණය තුලින් ගුරුවරයාට හැකිවෙන්න ඕනෙ මෙන්න මේ ළමයගෙ වෙනසක්/අවදානමක් තියනවා, මෙයා මත්ද්‍රව්‍ය වලට ගොදුරු වීමෙ අවස්ථාවක් තියනවා කියලා ඒ වෙනස් හදුනගන්න. ඉතින් ඒ ගුරුවරයාගෙ හදුනා ගැනිම තුලින් යම්කිසි දරුවෙක් විදුහල්පතිවරයා වෙත ආවොත් විදුහල්පති විසින් උපදේශනය සඳහා පුහුණුව ලැබූ ගුරුවරයෙකු වෙත යොමු කළ යුතුයි. ඉතාම වැදගත් අනෙක් කරුන වන්නේ දරුවෙකු සතුව මත්ද්‍රව්‍යක් තිබිලා හමුවුනොතින් මුලු පාසලක් ඉදරියේ දඬුවම් දීම හෝ ලැජ්ජාවට පත්කිරීම හෝ නොකොට රහස්‍ය බව සුරකිමින් අවශ්‍ය ඉදිරි පියවර වෙත යොමු විය යුතුයි. 

සාමාන්‍යයෙන් පාසල් යන වයසේ දරුවෙක් මත්ද්‍රව්‍ය සමග පොලිසියට අසුවුනොතින් ඔහු/ඇය අධිකරණයට යොමුකරනවා. ඇබ්බැහියේ මට්ටම අනුව ඔවුන් ප්‍රතිකාර හා පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය වුවහෝත් අධිකරණය මඟින් 2007 අංක 54 මත්ද්‍රව්‍යට වෙත ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන සම්බන්ධව පනතට අනුව අදාල මහේස්ත්‍රාත්වරයා දරුවා පුනරුත්ථාපනයට යොමුකරනවා. අපේ අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් නුවර මධ්‍යස්ථානයෙන් අවුරුදු 21 ට අඩු දරුවන් නොමිලේ පුනරුත්ථාපනය හා ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා. 

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ දරුවන්ගේ දෙමව්පියන් සම්බන්ධව ඔබට ඇති අත්දැකීම් මොනවාද?

පර්යේෂණ  කටයුතු සිදුකරගෙන යද්දි අපි අනිවාර්යයෙන්ම ඒ දරුවන්ගෙ දෙමව්පියෝ සමගත් කතාබහ කරනවා. ගොඩක් දෙමව්පියෝ මේ පිලිබදව දන්නෙ දරුවා ඇබ්බැහි උනාට පස්සෙ. සමහර දෙමව්පියෝ  දරුවා මේ වගේ දේකට යොමුවෙලා කියලා දැනගත්ත ගමන්ම අන්තරාදායක ඖෂධ පාලන ජාතික මණ්ඩලය යටතේ තියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කරනවා. ඔවුන්ට දරුවා මෙයින් ගලවා ගැනීමට අවශ්‍යයි. නැත්තම් අපේ දිස්ත්‍රික් නිළදාරින් හමුවෙලා උපදේශනයට එනවා. සමහර දෙමව්පියෝ ඇවිත් කියනවා මගෙ සේසතම වියදම් උනත් කමක් නෑ මගෙ දරුවව මේකෙන් ගලවලා දෙන්න කියලා. හරි සංවේදීයි. ඒවගේම සමහර දෙමව්පියෝ වැරදියට හැසිරෙන අවස්තාවලුත් තියනවා. තමන්ගෙ දරුවා ඇබ්බැහි වෙලා කියලා දැන දැනත්ම මත්ද්‍රව්‍ය ගන්න සල්ලි ඉල්ලද්දි දෙන දෙමව්පියොත් ඉන්නවා. ඉතින් ඒ තත්ත්වෙට එන්න කලින් දරුවට අවශ්‍ය ආදරය ලබා දීලා සෙනහස දීලා දරුව මේ වගේ භයානක තත්ත්වෙකට පත්වෙන එක නවත්තගන්න දෙමව්පියන්ටත් විශාල වගකීමක් තියනවා.

මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වුණු දරුවෙක් පුනරුත්තාපනයට‍ යොමු කරනවා නම් දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?

දැන් අපට සෘජුවම කතාකරන්න පුලුවන් 0112868794 අංකය ඔස්සේ. ඒ වගේම 1927 ක්ෂණික දුරකථන අංකයට කතා කරලා ඔබේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලුව කතා කරලා කියන්න පුළුවන්. ඒ හරහා ගැටලුව යොමු කළ විට අදාල අංශයට යොමු කිරීම සිදු වෙනවා. එසේත් නැතිනම් රාජගිරිය අපේ ප්‍රධාන කාර්යාලයට පැමිණ අවශ්‍ය උපදෙස් ලබා ගත හැකියි. එසේ පැමිණෙන දරුවා/පුද්ගලයා අනාවරණ පරීක්ෂණයකට යොමුකරනවා. එමගින් භාවිත කරන මත්ද්‍රව්‍ය, අදාල තැනැත්තා සිටින තත්ත්වය වැනි දේ හඳුනා ගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පැමිණිය නොහැකි නම් අදාල උපදේශන අදියර කිහිපයක් යටතේ දැනුවත් විය යුතු කරුණු පිළිබඳව අවබෝධය ලබා දෙනවා. 

මෙසේ ඔබ වෙත පැමිණෙන පුද්ගලයන්ගේ රහස්‍යබාවය සුරැකෙනවාද?

අනිවාර්යයෙන්ම. කිසිදු පුද්ගලයෙකුගේ හෝ දරුවෙකුගේ හෝ කිසිදු තොරතුරක් වෙනත් කිසිදු පාර්ශවයකට ලබා දෙන්නේ නැහැ. නමුත් අධිකරණ මාර්ගයෙන් ඉල්ලීමක් කලොත් පමණක් අපිට තොරතුරු ලබාදීමට සිදුවෙනවා.

ඔබ ඇතුළු මේ හා සම්බන්ධව ක්‍රියාත්මක වන සැම සමාජයෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද?

ඇත්තටම මේ කාර්යය ජය ගන්න අපිට විතරක් බැහැ. මේ උවදුරෙන් රට ගලවා ගන්න නම් මේ වෙලාවෙ අපි රටක් විදියට එකතු වෙන්න ඕනෙ. තමන්ගේ දරුවාට මෙහෙම ගැටලුවක් නැති නිසා ඇතැම් පිරිස් මේ හා සම්බන්ධව කතා කරන්න පවා අකමැතියි. නමුත් හැම දරුවෙක්ම කාගේ හෝ අම්මෙක්ගේ දරුවෙක්. ඒ අපේ අනාගතය. ඒ නිසා රටේ සෑම දරුවෙක්ම මෙයින් මුදවා ගන්න අපි හැමෝම දායක විය යුතුමයි. ඔබේ දරුවාව ආරක්ෂා කරගන්නවා වගේම රටේ දරුවන් ආරක්ෂා කිරීමටත් ඔබට යුතුකමක් පැවරෙනවා. ඒ නිසාම අපි පවුලක් වශයෙනුත් සමාජයක් වශයෙනුත් රටක් වශයෙනුත් මතට එරෙහිව නැගී සිටිය යුතුමයි. එක ඔබේ වගකීම ඒ වගේම මේ දරුවන් රටේ අනාගතය ඒක නිසා සමාජීය වශයයෙනුත් වගකීමක් තියනවා මත්ද්‍රව්‍ය වලින් දරුවන්ව මුදාගැනීම සම්බන්දව.ඉතින් අපි හැමෝම එකතු උනොතින් මේ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කරන එකට උත්සහයක් දරන්න පුලුවන් මොකද මේක සුලුපටු කාරනාවක් නෙමේ මෙය රටක් වෙලාගත්ත ජාලයක් ඉතින් විශාල ජාලයකට එරෙහිව සටන් කරන්න ඕනෙ සමාජයක් විදියට එකට ඉතින් එහෙම කලොත් අපිට අපේ දරුවන්ව මෙයින් මුදවාගන්නට පුලුවන් වේවි.

 


නිලානි අලුත්ගේ මහත්මිය

පර්යේෂණ නිලධාරිනී 

අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය 


                

මොළේ ගැන ‍නොදැන මොළේ ඇති කිසි වැඩක් කරන්න බැරි බව දන්නවද?

මොළය කියන්නේ කොයි තරම් වැදගත් දෙයක්ද කියලා අපි කවුරුත් දන්නවා. අපි හිතන් ඉන්නේ අපිට මොළය තියෙනවා කියලා වුණත් ඇතැම් විට වෛද්‍ය විද්‍යාත්මකව ඒ ගැන අවබෝධයක් අපිට නැහැ. ඒ නිසා රැකියාව විතරක් නෙවෙයි විශේෂයෙන්ම අපේ පවුල, අපේ දරුවෝ  සම්බන්ධ වැඩ කටයුතු වලදී හරි විදියට මොළය පාවිච්චිය පාවිච්චි කළ යුතුමයි. මොකද මොළය පිළිබඳව මූලික අවබෝධය නැතිව දරුවන්ගේ ජීවිත ‍නිවැරදිව ගොඩනගන්න අපිට බැහැ. ඒ විදියට දරුවෝ හදද්දී තමයි දරුවන්ට මානසික රෝග හදන්න මූලික වෙන්නේ දෙමාපියන් සහ ගුරුවරු කියලා කියන්නේ. 

උදාහරණයක් විදියට අපි මව්පියන් විදියට අපේ දරුවන්ගේ ගුරුවරුන්ගෙන් දරුවාගේ අධ්‍යාපන මට්ටම විමසනවා. එතැනදී ගුරුවරයා දරුවා ගැන දෙන අදහසට අනුව අපි එතැන් සිට ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් කොහොමද ටීචර් දැන් දුව… දුවට නම් කිසිම උනන්දුවක්, ඕනේ කමක් නැ … හොඳට වැඩකරන්න පුලුවන් දරුවෙක් වුණාට දැන් කරන්නෑ.. එයාට උනන්දු උනොත් කරන්න බැරි දරුවෙක් නෙවෙයි…

ඉතිං මෙතැන් පටන් ඕනෙම අම්මා කෙනෙක් දරුවාට ඉගෙන ගන්න උනන්දු කරවන්න බලපෑම් කරනවා කිව්වොත් වැරදිද? නැහැ. අම්මා කෙනෙක් නිතරම හිතන්නේ දරුවා ට හොඳින් උගන්වන්න. ඒකනේ අපේ සමාජයේ කතාවක් තියෙන්නෙත් කවද හරි ඉතිං ‍ඉගෙන ගත්ත දෙයක් තමයි කියලා. ඒක ඇත්ත වුණත් අපි අපේ දරුවන් ඒ දේ වෙත යොමු කරන ආකාරය ගැන සැලකිලිමත් විය යුතුයි. එසේ සැලකිලිමත් වෙන්න නම් මව්පියන්ට වගේම ගුරුවරුන්ටත් මොළය පිළිබඳව විද්‍යාව (Brain science) ගැන යම් දැනුමක් තිබිය යුතුයි. 

එහෙමනම් මොළේ කියන්නෙ මොකක්ද? ඒක ඇතුලෙ වෙන්නෙ මොකක්ද? මොළේ හැදිලා තියෙන්නෙ කොහොමද? ඒක නිවැරදිව සකසන්න අපි කළ/නොකළ යුතු දේ මොනවද? කියන මේ මූලික අඩුතාලම දෙමාපියන් වශයෙන් අප සතු විය යුතුමයි. ඒක හරියට ලැප්ටොප් එකක් ජංගම දුරකතනයක් භාවිතයේදී ඒක ගැන අපි දැනුවත් වෙනවා හා සමාන දෙයක්. 

අපේ මොළය සැකසිලා තියෙන්නේ නියුරෝන සෛලවලින්. දරුවෙක් බිහිවෙන්නේ මේ නියුරෝන සෛල බිලියන 100ක පමණ ප්‍රමාණයක් එක්ක. දරුවා ඉපදුණු දා ඉඳන්ම මේ මොළයේ සංවර්ධනය සිදු වෙනවා. ඒ කියන්නේ දරුවෙක් භාෂාව, සංස්කෘතිය, සාරධර්ම, ආකල්ප, ආවේග පාලන හැකියාව, සංවිධානාත්මක හැකියාව වගේ ගොඩක් කරුණු ඉගෙන ගත යුතුයි. දරුවෙක් උපදින විට මේ කිසිවක් දරුවා තුළ නැහැ. ඉතිං ඒ පරිසරයේ තියෙන හැමදෙයක්ම දරුවා ග්‍රහණය කර ගත යුතුයි. ඒ දේවල් හරි විදියට දරුවා ග්‍රහණය කර නොගත්තොත් අද වන විට අහිමි වුණු පෙම්වතිය මරා දමන තතත්වයේ දරුවන් වගේම තමන්ගේ ජීවිතයට හානි කරගන්නා දරුවන් නිර්මාණය වෙන එක ගැන අමුතුවෙන් සිතිය යුතු නැහැ. මොකද ඒ දරුවන්ගේ ආවේග පාලනය, සංවිධානාත්මක හැකියාව, නම්‍යශීලී චින්තන රටාව කියන කරුණුවල සංවර්ධනයක් සිදුව නැහැ. දරුවා තරුණ වියට එළැඹෙන විට මේ අඩුපාඩුකම් පෙන්නුම් කරනවා. අන්න ඒ හින්දා මුල් අවුරුදු 5 – 12 අතර කාලය දරුවෙකුගේ මොළයේ ස්වර්ණමය අවධියක්. දරුවෙක්ගේ අනාගතය තීරණ්‍ය වෙන්නේ ඒ අවධිය ගත කරන සාර්ථක/අසාර්ථක බව මතයි.

හුරතල් පොඩි දරුවෙක් දැක්කම ‍වඩා ගන්න, තුරුල් කරගන්න, සිපගන්න අපි කවුරුත් ආසයි. මේ සොබාදහම කියන අති විශේෂ නිර්මාණ කරුවා ඒ දේවල් ඒ ආකාරයෙන් නිර්මාණය කරලා තියෙන්නේ අන්තර්පුද්ගල සබදතාව වැඩි දියුණු කිරීමේ උපක්‍රමයක් විදියටයි. ඒ ‍වගේම දරුවෙක් කියන්නේ අපිට ඕනේ විදියට රඳවගන්න පුළුවන් අයෙකුත් නෙවෙයි. දරුවා හරිම ක්‍රියාශීලීයි. ඒ සොබා දහම දරුවාව සෙල්ලම් කිරීම කියන දේත් එක්ක නිර්මාණය කරලා ඒකෙන් දරුවාට පරිසරයත් එක්ක අන්තර්ක්‍රියා කරන්න උත්තේජනයක් සපයලා තියෙනවා. 

සොබා දහමෙන් දරුවාට ලැබෙන මේ අවස්ථා වැඩිහිටියෝ විදියට අපි එයාට අහිමි කළොත් දරුවා හිර කළොත් බය කළොත් එය දරුවාගේ ක්‍රියාකාරකම් අතරමග ඇණහිටවීමක්. ඒක දරුවාගේ සංවර්ධනයට ඍණාත්මකව බලපානවා. දරුවාගේ කුසලතා සංවර්ධනය ඇණ හිටිනවා. මව්පියන් මේ විදියට දරුවාගේ චර්යා පාලනය කරන්න ගියොත් දරුවන්ගේ ක්‍රියාකාරකම් මට්ටම පහත වැටෙනවා. අපි මේ වෙනුවෙන් කළ යුතු දේවල් ගැන මූලිකවම දැනුවත් විය යුතුයි.

දරුවාගේ චර්යා පාලනය කිරීම

දරුවාට සෙල්ලම් කරන්න කාලයක් දෙන්න ඕනෙ වගේම පුළුවන් තරම් තනියම එයාගෙ වැඩටික කරගන්න ඉඩදෙන්න. අම්මයි තාත්තයි කියන්නෙ ළමයට පලංචියක්. දරුවාට බැරි කාලේ සහය වූවාට වයස අවුරුදු එකහමාරෙන් පස්සෙ දරුවාට තනිව තමන්ගේ දේ කරගන්න ඉඩ හැරිය යුතුයි. නැතිනම් දරුවාගේ පෞරුෂය පිළිබඳව ගැටලු පැන නගිනවා. අහිංසක, කීකරු, සන්සුන් දරුවෙක් බිහි වුවත් ඉදිරියට එන්න ශක්තිමත් පෞරුෂයක් ඒ දරුවා තුළ ගොඩ නැගෙන්නේ නැහැ.  ඒ නිසා මනෝවිද්‍යාවෙ මූලදර්මය තමයි, දරුවෙක් පොඩි කාලෙ ඉදලා තමන්ගෙ වැඩ කරගැනීමට හුරු වීම අවශ්‍යයි.

වයස අවුරුදු තුනේදීට දරුවෙක් කරන දේ වයස අවුරුදු 15 දී දරුවෙක් කරන්නේ නැහැ. උදාහරනයක් විදියට අවුරුදු තුනේදී පුටු අඩ මේස උඩ නගිනවා. ඒ ඒ වයසට අදාලව ඒ ඒ ක්‍රියාකාරකම් තමයි දරුවන් කරන්නේ. මේ විදියට දරුවෙක්ගේ මොළය සංවර්ධනය වෙනවා.

දරුවාගේ භාෂාව 

ලෝකයේ දැන් පැවතෙන ආකාරයට දරුවෙකුගේ මුල් අවුරුදු 6 හා 7 වන තුරු මව්භාෂාව හොඳින් ඉගැන්විය යුතුය. භාෂාවක් නතුකර ගැනීමෙ උපරිම ධාරිතාව මොළයට තියෙන්නෙ මාස 8 හා 9 කාලයේදීයි. එය සිංහල ද ඉංග්‍රීසි ද දෙමළ ද කියලා වෙනසක් නැහැ. උදාහරණයක් විදියට අපිට දැන් අලුත් භාෂාවක් ඉගෙනීමට අවශ්‍ය වුවත් ඒක එතරම් සාර්ථක නැහැ. නමුත් කුඩා වියේ සිටම එය දරුවෙක්ට ලැබෙනවා නම් ඉතා ඉක්මනින් දරුවා එයට යොමු වෙනවා. 

අපි අපේ දරුවන් මේ රටේ ජීවත් කරමින් ඔවුන්ට මව්භාෂාව ලබා නොදී ඉංග්‍රීසි භාෂාව පමණක් ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ දරුවන් හැමදේම ග්‍රහණය කරගන්නේ ඉංග්‍රීසි භාෂාවට අදාලව. ඔබ ඔබේ දරුවාවෙනත් රටක තැබීමට බලාපොරොත්තු වෙනවා නම් පමණක් මාස 9 සිටම ඒ අදාල භාෂාව දරුවාට ලබා දෙන්න. ඒත් ඔබ ලංකාවේ ඔබේ දරුවා තියන්න අදහස් කරනවා නම් මව්භාෂාව දරුවාට හොින් උගන්වන්න. 

දරුවෙකුගේ මොළය මනා ලෙස සංවර්ධනය වී ඇති බව දැනගන්නේ කොහොමද?

ඒකට අපි කියනවා Resilience කියලා. ඒ කියන්නේ ඔරොත්තු දීමේ හැකියාවයි. දරුවෙකුගේ මොළය නිවැරදිව සකස් වූවා නම් ජීවිතේ අභියෝග වලදි, ගැටලු වලදි, ශෝකාන්තයන් වලදි, තර්ජන වලදි දරාගෙන හැඩගැසීමේ විශාල ප්‍රවණතාවක් පෙන්නනවා. ඒ කියන්නෙ ජිවිතයේ බරපතළ ගැටලුවක් ආවම ඒක කොයිතරම් දුරට දරාගෙන ඒකට හැඩගැහිලා තමන්ගේ සාමාන්‍ය මානසික ස්වාභාවය පවත්වා ගන්නවාද කියන එක එයින් අදහස් වෙනවා. 

උදාහරණයක් ලෙස යොවුන් දරුවෙකුගේ ප්‍රේමය බිඳ වැටනම නින්ද යන්නෙ නැහැ, රැවුල් කපන්න හිතෙන්නෙ නෑ, කන්න හිතෙන්නෙ නෑ, කාමරෙන් එලියට එන්න හිතෙන්නෙ නෑ, කතාබහ කරන්නෙ නැහැ. දැන් දරුවාගේ මොළය මනා ලෙස සංවර්ධනය වී ඇත්නම් ඔරොත්තු දීමේ හැකියාව හොඳ නම් මේ තත්ත්වයන් දරාගෙන දරුවා ජීවිතයට හැඩ ගැහෙනවා. එයට හැඩගැහෙන්න නොහැකි වූ විට දරුවන් ආතතියට පත් වෙලා සියදිවි නසා ගන්නා තත්ත්වයට වුවත් ‍පත් විය හැකියි. අන්න ඒ නිසාම ජීවිතයට යම් ගැටලුවක් තර්ජනයක් ආ විට එය සන්සුන්ව මුහුණ දීමේ හැකියාව අපි දරුවන් තුළ වර්ධනය කළ යුතුයි. 

දරුවෙකු සතු ඔරොත්තු දීමේ හැකියාව resilience අඩු නම් ඒ දරුවාට ජීවිතයට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව අවම වන බව අමතක කරන්න එපා.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී


                

අලුත උපන් බිළිදාට මව්කිරි ආසාත්මික විය හැකිද ?

උත්තරීතර මාතෘත්වය වගේම උත්තරීතර මාතෘත්වයේ සෙනෙහස පෙරදැරි කොටගත් එකම නිෂ්පාදනය මව්කිරි ය. මව්කිරි නිෂ්පාදනය සිදුවෙන්නේ මව් සෙනෙහස නිසාමයි . මව් සෙනෙහස කොතෙක්ද යත් මෙලොවට බිහිකරණ දරුවාගේ සියලු පෝෂණිය සාධකයන් සියල්ල මෙහි ගැබ් වී ඇත . මව්කිරි යනු ජීවි සෛල එනම් ජීවිතයක් ජීවත් කිරීමට අවැසි රුධිර සෛල මෙන්ම අනෙකුත් ජීවි සෛල අඩංගු සජීවි දියරකි .

කුස තුලදී දරුවාගේ පෝෂණය අවශ්‍ය සියලු දේ මවගෙන් පෙකනි වැල හරහා ලබාගන්නා දරුවා මෙලොව එළිය දැකීමත් සමඟම මේ සජීවි දියරය එනම් පණ ඇති දියරය මවගේ පියයුරු තුල නිෂ්පාදනය වී දරුවා පෝෂනය කිරිමේ කටයුත්ත ආරම්භ කරයි . ඉපදුණු සැනෙන් එනම් පැය බාගයක් පැයක් වැනි සුළු කාලයකින් මව් කිරි ආරම්භ කරන අතරම දරුවාගේ දෙතොලට පියයුරේ තනපුඩු ස්පර්ශ වීමත් සමඟම මොලයේ පිහිටි පිටියුටර් ග්‍රන්තියට දැනෙන මේ සංවේදනය හරහා පියයුරු උත්තේජනය සිදුවේ . ඒ සියල්ල සිදුවනුයේ පිටියුටරි ග්‍රන්තියේ අපර භාගයෙන් නිපදවන ප්‍රෝලැක්ටීන් හෝමෝනය ස්‍රාවය වීමෙනුයි. ප්‍රෝලැක්ටීන් හෝමෝනය ස්‍රාවය වීම නිසා මව්කිරි නිපදවීම ආරම්භ වේ . මෙම ප්‍රෝලැක්ටින් නිපදවීම දරුවාගේ පෝෂන කටයුත්ත උපරිම ලෙස සිදුකරන හෙයින් එය දරුවාගේ සියලු ඉන්ද්‍රීයයන් හා ක්‍රියාකාරිත්වයන් වර්ධනයට මාස හයක් පුරාවටම වැදගත් වේ. මෙසේ හෙයින් මව්කිරි යනු උස් පහත් හෝ වෙනත් කිසිදු භේදයක් නොමැතිව මිනිස් පැටියාගේ සියලු ක්‍රියාකාරිත්වයන් මෙන්ම වර්ධනය ප්‍රශස්ථ අයුරින් සිදුකිරීමට හැකියාව ඇති ජීවි ආහාරයයි.

මේ මගින් දරුවාගේ සියලු පෝෂන කටයුතු ඉටුකරන අතරම අලුත උපන් දරුවා වෙනුවෙන් මව්කිරි තවත් සුවිශේෂී තත්වයකින් සැකසි තිබේ එනම් අරම්භක අවස්ථාවේදි මවකට එරෙන කිරි එනම් කොලස්ට්‍රම් නම් ද්‍රවයයි. ව්‍යවහාරයේ රන්කිරි ලෙසින් හඳුන්වන මෙම කිරෙහි ප්‍රතිශක්තිකරණ ගුණය හොඳින්ම පවතී. ලා කහපැහැති මෙය ස්‍රාවය වන්නේ ඉතා සුළු ප්‍රමාණයකිනි. එය අධික ප්‍රෝටීන ප්‍රමාණයකින් යුක්තයි. මෙම කොලස්ට්‍රම් මගින් දරුවා රෝග වලින් ආරක්ෂා කරන අතරම නොමේරු ආහාර මාර්ගය ආස්තරණයක් ලෙස පැතිරී ආහාර මාර්ගය තුල ඇති බැක්ටීරියා විනාශ කරයි . එමෙන්ම කුසතුල විරේකයක් ලෙස ක්‍රියා කර කුස තුල ඇති මිකොනියම් (කලු පැහැති මල )පිටකිරීමට මෙම කොලස්ට්‍රම් ක්‍රියාකරයි.

ආහාර මාර්ගය එනම් අන්ත්‍ර පිරිසිදු වීමේ නැතහොත් විරේක විම මගින් ආහාර මාර්ගය ක්‍රියාත්මක වීම හොඳින් සිදුවන හෙයින් මව්කිරි එයට ඇති ලොකුම බලපෑමයි . එසේම ආහාර මාර්ගයේ ක්‍රියාකාරිත්වය හොඳින් සිදුවීම මගින් දරුවාගේ කිරි අවශ්‍යතාවය වැඩිවේ.

මෙසේ හෙයින් මව්කිරි නිෂ්පාදනයද හොඳින් සිදුවේ . එසේම පිත්ත ලවණ අවශෝෂනය හොඳින් සිදුවන හෙයින් දරුවා කහ වීමද වැලකේ.

මෙසේ දරුවාගේ ආහාර මාර්ගය හොඳින් ක්‍රියාත්මක වන හෙයින් මව්කිරි අවශ්‍යතාවය වැඩිවීමත් අවශ්‍යතාවයට අනුව කිරි නිෂ්පාදනය වැඩි වීමත් සිදුවන හෙයින් ද කිරි ගලා ඒමද සාර්තකව සිදුවේ. මෙසේ කිරි යාන්ත්‍රණය සාර්ථකව සිදුවනවිට දරුවා සුවෙන් පහසුවෙන් සිටින අතරම බහිස්‍රාවිය ක්‍රියාවන්ද හොඳින් සිදුවේ. මෙසේ බලන කල මව්කිරි මගින් දරුවාගේ ආහාර මාර්ගය ශක්තිමත් කිරීමත් හොඳින් වර්ධනයත් සිදුවන හෙයින් කිසිදු විටක දරුවාට ආසාත්මිකතා ඇති නොවේ.

යම් හෙයකින් අසාත්මිකතාවයේ ලක්ෂණ ලෙස හඳුනා ගන්නේ පාචනය, වමනය, උදර වේදනාව, පලු දැමීම ආදී ලක්ෂණයි. එවන් ලක්ෂණ යම් යම් අවස්ථාවලදී අපට දක්නට හැකි වුවද ඒවා ආසාත්මිකතාවය නිසා හට ගත්තක් නොවේ.

වමනය – වමනය ඇති වන්නේ කිරි උරාබීම සඳහා දරුවා නියමිත ස්ථාපිතයේ තබා නොගැනීම හෝ සම්බන්ධය දුර්වල වීම නිසා පෙවෙන වාතය පිටවිමේදි හෝ කිරි වේල් වලින් පසු ගුඩුස් නොයැවීම නිසා හෝ පිටවන වාතය සමඟ කිරි පිටවීම නිසාය. මෙය කිරි දීම සඳහා මව පුරුදු පුහුණු විම හෝ දැනුවත්ව සිටිම මඟින් කිරි උරා බීමට පහසු ලෙසින් දරුවා පියයුරට සම්බන්ධ කිරීම මගින් පාලනය කරගත හැකි තත්වයකි. එසේ හෙයින් එය කිසිදු විටක ආසාත්මිකතාව නිසා ඇතිවන්නක් නොවේ .

දියර ලෙස මල පිටවීම – ස්ථාපිතයේ හෝ සම්බන්ධයේ දුර්වලතා නිසා පෙවෙන වාතය හේතුවෙන් ආහාර මාර්ගයට කිරි වැටෙන විට වරින් වර දියර ලෙස මලපහ පිටවීම සිදුවේ. මේ නිසා මෙම දියර මලපහ මඟින් ගුද මාර්ගය අවට සම රතු වීම, හම යාම වැනි තත්වයන් ඇති විය හැකියි. එයද ආසාත්මිකතාව නිසා ඇතිවන්නක් නොවන අතර කලින් ස්ථාපිතයේ හෝ සම්බන්ධයේ දුර්වලතාව නිසාම ඇති වාය හැකි තත්ත්වයකි. 

උදර වේදනාව – එයද දරුවාට ඇති වන්නේ කලින් පැවසූ හේතු නිසාම වන හෙයින් බඩට වැටෙන වාතය පිටවීමට උදරයට ලැබෙන පීඩනය හෝ තවත් ස්ථාපිතය අනුව එම වාතය පිටවූ විට දරුවාට ලැබෙන සහයනය හේතුවෙන් උදර වේදනාව වැලකේ. මෙසේ හෙයින් දරුවා වේදනාවෙන් අඩන එක නැති වේ . එසේ නොවුන හොත් කිරි සමඟ උදරයට ලැබෙන වාතයේ පීඩනය නිසා ඇතිවන අසහනය හේතුවෙන් දරුවා අසහනකාරි ලෙස හඩන්නට වෙයි. මෙය කිසිසේත්ම ආසාත්මිකතාවයක් ලෙස වැරදි ලෙස වටහාගත යුතු නොවේ.

මෙසේ සලකා බැලිමේදි අලුත අපන් දරුවන්ගේ අහාර මාර්ගය හොඳින් මේරීමටත් ක්‍රියා කිරීමටත් මව්කිරි යාන්ත්‍රණය ප්‍රබල ලෙස බලපෑම් එල්ල කරන අතරම මව්කිරි හොඳින් ලබන දරුවාගේ වර්ධන වේගය ප්‍රශස්ත මට්ටමක පවතියි. එසේ වන්නේ මව්කිරිවල කිසිදු ආසාත්මිකතාවයක් නොමැති හෙයිනි. හොඳින් නිවැරදිව කිරි උරා බොන දරුවෙකු නිවැරදි ලෙස ප්‍රශස්ත වර්ධන වේගයක් ලබාගන්නේ මව්කිරි පිලිබඳව මව තුල ඇති ආකල්මය සුබවාදි හේතු නිසාවෙන් නොමැතිනම් ඇතිවන ගැටලු ආසාත්මිකතා ලෙස තිරණය කිරීම සුදුසු නොවේ . 

දරුවෙකු නිවැරදි වර්ධන වේගයක් ලබා ප්‍රශස්ත මට්ටමකින් කායිකව මානසිකව පෝෂණය ලබන්නේ මව්කිරි ලබන කාලසීමාවේදි හෙයින් පැහැදිලි ලෙසට මව්කිරි මගින් ආසාත්මිකතා ඇති නොවන බව අවිවාදයෙන් පිලිගතයුතු වේ.

මනාව පුරුදු පුහුනු කල දැනුම දක්ෂතා හා ආකාල්පමය තත්වයන් මගින් මවකිරි කළමනා කරණය පිළිබඳව ඇතිකර ගන්නා ශක්තිය සෑම මවකටම මෙම අභියෝගය ජය ගැනීමට හැකි අවස්තාවන් උදාකරනවා. එමෙන්ම සැහැල්ලු මනසින් අලුත උපන් දරුවා සමඟ කටයුතු කිරීමට හැකි වාතාවරණයක් සැපයෙනවා නොඅනුමානය.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල